Thursday, January 31, 2019

ප්‍රේමයේ හැඩතල


එකිනෙකට බොහො දුරින්
පිහිටි ලක්ෂ්‍යයන් දෙකක්
සරල රේඛාවකින් යාකර
සරලවම නිමවෙද
ප්‍රේමාන්දර..


නොකල් වැහි අතරේ
කටුක සීතල සුළඟේ
සීසීකඩව විසිරුණ
කෝණික අහුමුළු අවුස්සා
අඳුරු තනි තිත් යා වුණ
ත්‍රිකෝණික හැඩයන් ය
අප අසා තිබු
බොහොමයක් අන්දර...



එසේත් නොමැති නම්
සිව්දිගින් සිව්කොන් හමුවුණ
ආයත චතුරස්‍රාකාරය
දීර්ඝ ඍජුකෝණාස්‍රාකාරය...



ඒ වුවද
නිශ්චල ලක්ෂ්‍යයක් වටා
නිතරම එක්තරා සමදුරකින් 
භ්‍රමණය වන
වෘත්තාකාර වෘතාන්ත ලෙස
නියත ව 
හුදකලාවී පවතී
සමහර ප්‍රේමාන්දර..






Monday, January 28, 2019

Bohemian Rhapsody (2018)


කැඩී බිඳී ගිය මිනිසෙක් මම අද...
පමණට වඩා කඳුළු ගලා යනව
මගෙ ඇස් දෙකෙන්...
මම ඉන්නෙ නිවසින් බොහොම ඈත..
මට විඳදරාගන්න සිද්ධවෙලා තියෙනව
හැමදෙයක්ම, තනියම..
කිසිම කෙනෙක් මට ඇත්ත කියල නෑ
වැඩුණු මිනිසෙක් වීම ගැන
ඒක කොයි තරම් අමාරුද කියල..
මගේ අවුල් වුණු මනසින්
ආපහු හැරී බලනවා මම
කොතනද වැරදුනේ කියල මට...

පමණට වඩා ආදරය මරා දමනවා ඔබව..
ඔබට ආපහු නැගීහිටින්න බැරිවුණොතින්..
ආදරය අතරේ ඔබේ ජීවිතය බිඳි විසිරී යාවි..
ඔබ කෙළින්ම ගමන් කරන්නෙ විනාශයට
මොකද ඔබ අනතුරු ඇඟවීම් ගණන් නොගත් නිසා
පමණට වඩා ආදරය මරා දමනවා ඔබව නිතරම.....

Freddy Mercury ගෙ Too much love will kill you සින්දුවේ සරල සිංහල පරිවර්තනයක් තමා මේ. මේ වචන අතරේ තියෙන්නෙ Freddy ගේ ම ජිවිතයද කියලා හිතෙනව චිත්‍රපටය බලනකොට. 2018 අවුරුද්දෙ එළියට ආව චිත්‍රපටි වලින් වැඩියෙන්ම බලාපොරොත්තුවෙන් හිටිය චිත්‍රපටය මේක මට නම්. සිනමාශාලාවටම ගිහින් මේක බලපු අය ඒ අත්දැකීම ඉහළින්ම ලබන්න ඇති. Queen සංගීත කණ්ඩායම විශේෂයෙන් Freddy Mercury මුල්කරගෙන තමා චිත්‍රපටය ගොඩනැගෙන්නෙ. 

Freddy ගේ දෙමාපියන් ඉන්දියානු සම්භවයක් ඇති පාර්සි ජාතිකයන්. ඔහු උපදින්නෙ බ්‍රිතාන්‍යයට අයිති සැන්සිබාර් දූපත් වල. ඔවුන් පසුකාලීනව ලන්ඩනයට සංක්‍රමණය වෙනව. ලන්ඩන් හීතෲ ගුවන්තොටුපළේ සේවකයෙක් විදිහට සේවය කරන අතරෙ Freddy ට සමාජ ශාලාවල ගායනා කරන කුඩා සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙන්නෙ ඔහුට තිබුණ විශේෂ සංගීත කුසලතාව හින්දාමයි. මෙතනදි මුලින්ම ඔහුගේ අසාමාන්‍ය විදිහට විශාල ඉදිරි දත් පෙළ සංගීත කණ්ඩායමේ සාමාජිකයන්ගෙ උපහාසයට ලක්වෙන හැටි අපි දකිනව. ඒත් ඔහුට ඉතාම ඉහළ ස්වර ගයන්න පුලුවන් ස්වර සප්තක හතරක (four octaves) හඬ පරාසයක් හිමිවෙන්න සංගීත ලෝකයෙ සදාකාලික සුපිරි තරුවක් බවට පත්වෙන්න මේ අපූරු දත් පිහිටීම උදව් වුණ බව තමා සඳහන් වෙන්නෙ. Freddy ගෙ මැදහත් වීමත් එක්ක Queen සංගීත කණ්ඩායම ගීයක සම්මත ආකෘතිය බිඳ දමල වෙනස් ආකාරයෙ නිර්මාණ කරන්න මිනිස්සුන්ට වඩාත් සමීප ඕනෑම කෙනෙකුට තමන්ගේ කරගෙන රසවිඳින්න පුලුවන් ගීත නිර්මාණය කරන්න යොමුවුණු හැටි අපි දකිනව. ශබ්දාගාරය ඇතුළට නොයෙක් උපාංග ගෙනල්ල මයික්‍රෆෝන එහෙ මෙහෙ හරවල, එකම හඬ තල ගණනාවක නැවත නැවත එක උඩ එක පටිගත කරල ඔවුන් කරන අත්හදාබැලීම් ඉහළින්ම සාර්ථක වෙනව. 

Freddy ගේ සංගීතයට සමගාමීව ඔහුගෙ දීප්තිමත් සුපිරි තරු ජීවිතයට යටින් තියන පෞද්ගලික ජීවිතය තිරය මත දිගහැරෙන්නෙ සංගීත ලෝකේ කොයිතරම් ඉහළින් බැබළුණත් ඔහු මනුෂ්‍ය දුර්වලකම් වලින් පිරුණු මිනිසෙක් කියන කාරණාව පෙන්වා දෙමින්. ඔහුගෙ විවාහය බිඳ වැටීමත් ඒ හරහා උරුම වෙන විශාල මානසික පීඩාවත් ඔහුගෙ ලිංගික නැඹුරුතාවනුත් අපි දකිනව. බොහෝ විට ලෝකය ඔහුව තේරුම් ගන්නෙ නෑ. ඔහුගෙ සමහර ගීතවල රූප රචනා තහනම් වෙනව. ඔහුගෙ සහකරුව දෙමාපියන්ට හඳුන්වාදෙන්න සිද්දවෙන්නෙ මිත්‍රයෙක් විදිහට, සංගීත කණ්ඩායමේ සාමාජිකයන් පවා ඔහුව හැර යනව. ඔහු නිර්මාණය කල ගීත වල පසුබිමෙන් මේ කාරණා මතු කරල තියනව.

සංගීතය ඇරුණාම Bohemian Rhapsody චිත්‍රපටය පුරාම දකින්න ලැබෙන සිත්ගන්නා සුළුම දෙය තමා Freddy mercury ගේ චරිතය නිරූපණය කර Remi Malek ගේ රංගනය. ඔහු ඉතාම හොඳින් ඒ කාර්ය කරනව. අනිවාර්යයෙන් විශාල හැදෑරීමක් සහ කැපවීමක් Remi මේ වෙනුවෙන් කරන්න ඇති. ඒ බව හොඳින්ම පෙනෙන්නෙ චිත්‍රපටය උපරිම තැනට එන Live Aid ප්‍රසංගයෙදි. වේදිකාව උඩ Freddy ගේ ඒ සුප්‍රසිද්ධ අංගචලනයන් Remi නැවත ප්‍රතිනිර්මාණය කරන්නෙ පුදුමාකාර විදිහට. මේ අවුරුද්දෙ හොඳම නළුවා විදිහට ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය ඔහුට හිමිවීම අරුමයක් නෙමෙයි. බොහෝවිට ඔස්කාර් සම්මානයත් ඔහුටම ලැබේවි. Queen රසිකයෙක් විදිහට මම මේ චිත්‍රපටය ගැන තෘප්තිමත්, ඒත් සිනමා විචාරකයන් නම් මේ ගැන දක්වා තිබුණෙ ඍනාත්මක අදහස්. කොහොම වුණත් ලොවපුරා ප්‍රේක්ෂකයක් මේ සිනමාපටය ආදරයෙන් වැළඳත්තා. රසික හදවත් වල අමරණීය හඬක් වුණු, එදා මෙදාතුර බිහිවුණ අංක එකේ ප්‍රාසාංගිකයා Freddy Mercury වෙනුවෙන් නිර්මාණය වුණු අපූරුම උපහාරයක් තමා Bohemian Rhapsody 





Friday, January 25, 2019

ගෙයි පහන්


කවුළුවක හිස පිරිමැද
හමායන පිට සුළඟ දැක දැක
එළිය එක බිඳකද
අඩු නොව ගෙයි පහන් දැල්වෙත.





Friday, January 18, 2019

නොකැළඹෙනු පිණිස



උදෑසන ඝන මීදුම
කැබලි කර සීසීකඩ
දුම්රියක් හඬයි
නංවා බෑඟිරි හඬ..

දුම්රියපොළේ 
පරවියන් මගහැර
එක්තරා මිනිසෙක්
තබයි පියවර..





Wednesday, January 16, 2019

The invisible guest (2016) (භාෂාව - ස්පාඤ්ඤ)


හෝටල් කාමරය ඇතුලෙ ඉඳන් ඒඩ්‍රියන් හෙමින් ඇස් අරිනව. ඔහු ඉන්නෙ බිම වැතිරිල. ඔලුවෙ වම් පැත්තෙන් ලොකු වේදනාවක් දැනෙනව. තමන් ඉස්සරහ තියන කණ්නාඩිය කෑලි කෑලි වලට බිඳිල ගිහින්. අමාරුවෙන් අමාරුවෙන් නැගිටින්න ඒඩ්‍රියන් උත්සහ කරනව. එතකොටම කවුද දොරට තට්ටු කරනව "කවුද ඇතුලෙ ඉන්නෙ" ඒඩ්‍රියන් අමාරුවෙන් නැගිටිනව "අපි පොලීසියෙන්" හෙමින් හෙමින් දොර ලඟට යන අතරේ කාමරයෙ තිබුණු කිරිගරුඬ පිලිමයක් බිම වැටිල තියන හැටි ඔහු දකිනව. පිලිමයේ ලේ තැවරිලා. ඔහු ලෝරාගෙ කාමරයට යනව. ඈ සිහිසුන්ව බිම වැතිරිලා. සල්ලි නෝට්ටු ඈ වටා විසිරිලා. "ලෝරා ලෝරා.. ඔයාට මොකද වුණේ ... කතා කරන්න ලෝරා!!!" පේන විදිහට ඈ මියගිහින්! "උදව් කරන්න .. අපිට උදව් කරන්න" ඔහු කෑගහනව.. එතකොටම පොලිසිය කාමරයට කඩාවදිනව. ලෝරා මියගිහින්. නෑ ඈව මරාදමල කිව්වොත් තමා හරි. ඒත් කාමරය ඇතුලෙන්ම අගුලු දමලයි තිබුණේ. සීත සෘතුව නිසා හෝටලේ ජනෙල් ඔක්කොම අගුලු දමලයි තියෙන්නෙ. පැහැදිලිවම පිටස්තරයෙකුට කාමරයට ඇතුලුවෙන්න වත් එයින් පිට වෙන්නවත් වෙන ක්‍රමයක් නෑ. මිනීමැරුම් චෝදනාව එල්ලවෙන්නෙ ඒඩ්‍රියන් ට. ඒඩ්‍රියන් එසේ මෙසේ පුද්ගලයෙක් නෙමේ. ඔහු දැවැන්ත ව්‍යාපාරිකයෙක්. කෝටිපතියෙක්. ජීවිතේ තරුණ වයසෙම විශාල මුදල් ප්‍රමාණයක් උපයන පුද්ගලයෙක්. නීතිඥ ඇලෙක්ස් මහත්මය තමා මෙතනදි ඔහුගෙ නීතිමය කටයුතු මෙහෙයවන්නෙ. ඒඩ්‍රියන් ට විරුද්ධව පැහැදිලි සාක්ෂි ඇති බවත් ඒවා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔවුන් සොයාගන්නව. ඇලෙක්ස් විශේෂඥ සහය පතනව. ඒ තමා මේ වගෙ නඩු බොහොමයක් විසඳා ඇති බව සුප්‍රසිද්ධ වර්ජිනියා ගුඩ්මන් මහත්මිය. එදා රෑ ඈ ඒඩ්‍රියන් හමුවට එනවා. ඈ ඒඩ්‍රියන් නිවැරදිකරු බව ඔප්පු කල යුතුයි. ඔවුන්ට තියෙන්නෙ එක රැයක් පමණයි. ඈ ඒඩ්‍රියන්ගෙන් ප්‍රශ්න කරමින් සිද්ධියෙ සුලමුල සොයාගන්න උත්සහයක යෙදෙනව. ඈ හිතනවට වඩා බොහොම දක්ෂ බවයි පේන්නෙ. ඔය අතරෙ තමා ඒ එක්තරා අඳුරු අතීත සිදුවීම කරළියට එන්නෙ. පාලු වනාන්තරයකින් පටන් ගන්න ඒ සිදුවීම් පෙල ඉන්පසු එකිනෙක ගැටෙමින් ඇදී යන්නෙ කුතුහලය දෙගුණ තෙගුණ කරමින්...

The invisible guest නැත්නම් ස්පාඤ්ඤ භාෂාවෙන් contratiempo සිනමාපටයකින් දැනෙන කුතුහලය උපරිම තැනකට ගේනව. 2012 අවුරුද්දෙ The body නමින් මෙවැනිම චිත්‍රපටයක් නිර්මාණය කරන Oriol Paulo කියන අද්‍යක්ෂවරයා තමා මේ චිත්‍රපටයත් නිර්මාණය කරන්නෙ. කුතුහලයට අමතරම ජීවිතේ ගැන බොහොම වටිනා පාඩමක් කියාදෙමින් තමා මේ කතාව නිමවෙන්නෙ. ඒ තමා මුදල් කියන දේ ජීවිතේට කොයිතරම් අවශ්‍ය වුණත් මනුශ්‍ය වටිනාකම් කියන දේ එක මොහොතක දි නැගීසිටින බවත් එතනදි මුදල් වලට කරන්න දෙයක් නැති වෙන බවත්.! මුලින් කිව්වා වගේ කතාව ගොඩනැංවීම හා ගලාගෙන යාම හොඳ මට්ටමකින් දකින්න ලැබුණ. වෙලාවකට "පාපනාසම්" එහෙම නැත්තම් අපි කවුරුත් දන්න විදිහට "ධර්ම යුද්ධ" චිත්‍රපට සිහිගන්වනව. ත්‍රාසය කුතුහලය පිරුණු "ඊලඟට මොකක්ද වෙන්නෙ" කියන දැඩි අවධානයකින් නරඹන්නා ඇද බැඳ තබාගන්න චිත්‍රපටයක් විදිහට The invisible guest ඉහළින්ම නිර්දේශ කරන්න පුලුවන්






Tuesday, January 8, 2019

Bird box (2018)


ලෝක අවසානය ගැන මේ වෙනකොට සිනමා නිර්මාණ සෑහෙන ප්‍රමාණයක් නිර්මාණය වෙලා ඇති. Bird box කියන්නෙ ඒ අතරින් සුවිශේෂී ව හඳුනාගන්න පුලුවන් නිර්මාණයක්. "ගැහැණිය" වෙනුවෙන් විශාල ඉඩකඩක් මේ චිත්‍රපටයෙ වෙන් වෙලා තියනව. අන්තවාදී ස්වරූපයෙන් බැහැරවෙලා මානුෂිකත්වයට කිට්ටු වුණ ස්ත්‍රීවාදයක් අපි මේක ඇතුලෙ දකිනව. මේක නිර්මාණය කරන්නෙත් "සුසාන් බියර්" නම් "අද්‍යක්ෂවරියක්.

ලෝකයට හිටිගමන් අත්භූත සත්තු විශේෂයක් පහළ වෙනව. මේ සත්තුන්ව දකින ඕනෑම කෙනෙක් ඒ මොහොතේ ම සියදිවි නසා ගන්නව. පාරවල් දිගට මිනිස්සු රොත්ත පිටින් මැරෙනව. ගෙයක් ඇතුලෙ හිරවෙන පිරිසක් ජීවිතේ ගලවගන්න සමත් වෙනව. මේ අතර ඉන්න මැලරි කියන ගර්භනී කාන්තාව වටා තමයි කතාව ගොඩ නැගෙන්නෙ. 

"අම්මා" කියන චරිතය මේ චිත්‍රපටයෙ බොහොම ප්‍රබලව මතුවෙනව. අම්මාකෙනෙක් තමාගෙ ජීවිතය ගැනවත් හිතන්නෙ නැතුව දරුවන්ව රැකබලාගන්න දරන වෙහෙස ඉතාම ඉහළින් පෙන්වා දෙනව. එතනදි අම්මා විදිහට රංගනයේ යෙදෙන සුරූපී "සැන්ඩ්‍රා බුලොක්" ගේ රංගනය කිසිසේත් අමතක කල නොහැකියි. ඔවුන්ගෙ අවට මේ සත්ත්වයා නිතරම ගැවසෙන නිසා ගෙයින් පිටත යද්දී කොයිම වෙලාවකවත් ඇස් ඇර බලන්න බෑ. ඒ නිසා ජීවිතය පවත්වගන්න ඔවුන්ට සෑහෙන දුකක් විඳින්න සිද්ධ වෙනව. 

මේ සත්තව විශේෂය මොකක් හෝ යමක් සංකේතවත් කරන බව තමා මට හිතෙන්නෙ. ඒ මේ ලෝකෙ පවතින නොයෙක් දෘෂ්ටි වාදයන් ද, ආගම් ජාති කුල මල කියල මිනිස්සුම හදා ගත්ත බෙදීම් ද ? මේ මතවාද වල ගොදුරු බවට පත්වීමෙන් මිනිස්සු තමන්ගෙ පුද්ගල භාවයන් අහෝසි කරගනිමින් ඉන්න බව ද මේ අපි දකින්නෙ.? කොහොම වුණත් මේ අවසානයට මම කැමතියි. ඒක බලාපොරොත්තු දල්වාලන්න සමත් වෙනව. ලෝකය කොයි තරම් විනාශකාරී වුණත් මේ දෙයකින්ම මිදුණු යම් තැනක් ඇති බව හිතන්න ඒක පොළඹනව. IMBD වල හිමිවෙලා තියෙන 6.8 ට වඩා අගයක් මේකට හිමිවිය යුතුයි කියල මම හිතන්නෙ. Bird box කියන්නෙ ත්‍රාසය කුතුහලය පිරුණු, ප්‍රබල කතා තේමාවක් තියන බොහොම සාර්ථක නිර්මාණයක් විදිහට හඳුන්වන්න කැමතියි..