Showing posts with label සිනමාව. Show all posts
Showing posts with label සිනමාව. Show all posts

Monday, May 11, 2026

The Drama (2026)

 "කෙනෙකු සම්බන්ධයෙන් නරකම දෙයක් දැනගෙනත් කිසි වෙනසක් නැතුව එයාව බාරගන්න ඔයාට පුලුවන් ද?"


මේක අනිවාර්යයෙන්ම "ඔව්" හරි "නෑ" හරි කියලා කෙලින් ඉරක් ගැහුවා වගේ උත්තර දෙන්න සෑහෙන අමාරු ප්‍රශ්නයක් බව පැහැදිලියි. මෙතනදි ඒ පුද්ගලයා එක්ක අපිට තියන සමීපත්වය සහ හොඳ නරක සම්බන්ධයෙන් අපිට තියන මිනුම් දඬු අනුව අපි ගන්න තීරණය මොන වගේ එකක් ද කියලා රඳා පවතිනවා. මිනිස්සු කොහොමත් හොඳ සහ නරක දෙකම අඩු වැඩි වශයෙන් මිශ්‍රණය වෙලා තමයි හැදිලා තියෙන්නෙ. ඕනෑම කෙනෙකුගෙ "නරක" පැත්ත අපි දරාගන්න සීමාවක් තියනවා. ජීවිතේ අපිට වැඩියෙන් සමීප වෙන්නෙ මේ විදිහට දරාගත හැකි උපරිම නරක සීමාවක් තියන අය වෙන්න ඕන. 


හැබැයි සමාජයක් ඇතුළෙ දි ගොඩක් වෙලාවට මිනිස්සු අනෙකා ගෙ "යහපත්" සහ "ආලෝකමත්" පැත්තට වඩා "නරක" සහ "අඳුරු" පැත්ත වැඩියෙන් දකින ස්වභාවයක් තියනවා. කෙනෙකු ගාව කොයිතරම් අගය කළ හැකි හොඳ ගුණාංග තිබුණත් එයා ගෙ නරක ගතිගුණාංගයක් දිහා බලලා ඒ පුද්ගලයාව විනිශ්චය කරනවා. මේකෙ මනෝවිද්‍යාත්මක පසුබිමක් තියනව. ඒ කියන්නෙ අවුරුදු ලක්ෂ ගානක මානව පරිණාමය එක්ක කාලයක් කැලෑවෙ දඩයමක් කරගෙන ජීවිත ගත කරමු අපේ වර්ගයාගෙ මොළය හැඩ ගැහිලා තියෙන්නෙ ආරක්ෂාව සහ අනතුර හඳුනා ගැනීම මූලික කරගෙන. කෙනෙක්ව තේරුම් ගන්නව කියන්න මනස ටිකක් පුරුදු කරන්න ඕන අමාරු වැඩක්. ඒ නිසා මිනිස්සු තව කෙනෙකුගෙ වැරදි ඉක්මන්ටම දකින්නත් ඒව ප්‍රචාරය කරන්නත් ඉක්මණින්ම පෙළඹෙනවා. 


මේ අවුරුද්දෙ ආව The Drama කියන Black Comedy film එකෙත් තියෙන්නෙ මූලිකවම ඔය වගෙ සිද්ධියක්. Coffe shop එකකට වෙලා තනියම පොතක් කියව කියව ඉන්නා Emma ව දකින ගමන් Charlie ට මේ සුන්දර ගෑනු ළමයා ගැන හිතක් පහළ වෙනවා. ඒක ඉතින් සොබාවිකයි නෙ. ඒත් කොහොමද මේ ගෑනුළමයා එක්ක කතාවකට පොටක් පාද ගන්න ඕන හින්දා ඒ වෙලාවෙ හැටියට බොරු හේතුවක් හදාගෙන Charlie එයා එක්ක කතාවට වැටෙනවා. ඒ පටන් ගන්න කතාව දුර දිග ගිහිල්ලා අන්තිමට Charlie සහ Emma ප්‍රේමවන්තයින් බවට පත් වෙලා විවාහයට දවස් නියම කරගන්න තැනටම එනවා. නමුත් හැමදේම අනිත් පැත්ත හැරෙන්න පටන් ගන්නෙ විවාහයට දවස් කීපයකට කලින් Emma තමන් ගැන කරන එළිදරව්වකින් පස්සෙ. ඉන්පස්සෙ හරියට සමනල් තටුවක සෙලවීමක් කුණාටුවක් දක්වා වැඩිවර්ධනය වෙනවා වගේ ඒ එක සිදුවීම දුර දිග ගිහිල්ලා මහ විනාසයකුයි වෙන්නෙ. 


The Drama කියන්නෙ 2023 අවුරුද්දෙ නිකලස් කේජ් ව අරගෙන ටිකක් අමුතු ජාතියෙ චිත්‍රපටියක් වෙච්ච Dream Scenario හදපු ක්‍රිස්ටොෆර් බෝර්ග්ලි ගෙ වැඩක්. ඒ වගෙම මේ ජාතියෙ අමුතු වැඩවලටම නම් දරාපු A24 බෙදා හැරීමක්. ෆිල්ම් එක ගැන ගොඩක් අය උනන්දු වෙන්න බලපාපු ලොකුම හේතුව, ඇත්තටම කිව්වොත් හේතු දෙක, වෙන මොකක් වත් නෙමෙයි අර උඩ කියපු ප්‍රධාන චරිත දෙක රඟපාපු Robert Pattinson සහ Zendaya දෙපළ. Dramatic ප්‍රේමවන්තියගෙ චරිතෙ Zendaya ගෙන් අපි මීටකලිනුත් දැකලා තියනවා. එතනදි මුලින්ම මට මතක් වෙන්නෙ Challengers ෆිල්ම් එක. ඒවගේම මෙතනදිත් චරිතයට අවශ්‍ය act එක එයා දීල තියනව. අනෙක් අතට Robert Pattinson.. මුලින්ම එලියට ආව Twilight එකේ පෙම්වතා ගෙන් සෑහෙන එහාට ගිහින් මේ අවුරුද්දෙ ම නෝලන් ගෙ Odyssey සිට Batman දක්වා ලොකු පරාසයක වැඩ කරන ආකාරය දැකගන්න ලැබීම සතුටක්. මෙතනදි Robert බොහොම ඉක්මණට මානසිකව බිඳ වැටෙන අති සංවේදී, අස්ථාවර තරුණයෙකුගේ චරිතය හරි අපූරුවට රඟදක්වනවා.


චිත්‍රපටියෙ එක දර්ශනයක් තියනවා මට තදින් දැනිච්ච. එතනදි Charlie එයාගෙ මිතුරියකට පැහැදිලි කරනවා මොකක් හරි ලොකු විනාශකාරී දෙයක් කරන්න ඔන්න මෙන්න වෙන තැනටම ගිහිල්ලා ආපහු හැරිලා ආපු අය කොයිතරම් මේ සමාජෙ ඉන්නව ඇති ද කියලා. ඒ දේවල් ගැන කිසි කෙනෙක් දන්නෙ නෑ, මොකද ඒ ගොල්ලො කාටවත් ඒ ගැන කියලා නැති නිසා. ඒ මොහොතෙදි සෙනඟ පිරුණ වීදි වල ඇවිද යන කෙනෙක් දෙන්නෙක් තිරය මත දර්ශනය වෙනවා. එයාලා අපි පාරක තොටක දකින අතිශ්‍ය සාමාන්‍ය මිනිස්සු. ඒ අයගෙ ඇතුළාන්තයෙ මොනවගෙ විපරිණාමයක් වෙමින් පවතිනවද කියන්න අපි දන්නෙ නෑ. ඒ වගේ එහෙම ලොකු ඛේදවාචකයන්ට ඔන්න මෙන්න ඉඳලා හැරිලා ආව මිනිස්සු ගැහැනු අපේ ජීවිත වල එදිනෙදා මුණගැහෙන අය අතරේ කොච්චරක් නම් ඉන්න පුලුවන් ද? අපි ඒ අය ගැන අපේ විනිශ්චයන් දෙන්නේ ඒ මිනිස්සු ගැන හැමදෙයක්ම දැනගෙන ද?




Wednesday, January 14, 2026

යුද්ධය හා සාමය

අපේ කාලේ සිනමාකාරයෙක් වෙච්ච ටැරන්ටිනෝ මහත්මයා මෑතක දී කියපු එක්තරා කට කැඩිච්ච කතාවක් හින්දා මේ සයිබර් අවකාශේ සිනමා සංවාද ඇතුළේ කතාවට ලක්වෙන මාතෘකාවක් බවට පත්වෙලා තිබුණා. ඒ මහත්මයා ඒ කතාව කියලා තිබුණේ නැගී එන ඇමරිකානු නළුවෙක් වෙච්ච පෝල් ඩේනෝ සම්බන්ධයෙන් සහ ඒ කතාව ඇදිලා එන්නේ 21 වෙනි සියවසේ බිහිවුණු හොඳම චිත්‍රපටි තෝරන එක්තරා වැඩසටහනකදි. එතනදි ටැරන්ටිනෝ කියලා තිබුණ කතාවෙන් කියවුණේ පෝල් ඩේනෝ කියන්නෙ කිසිම කමකට නැති නළුවෙක් සහ දැනට ඇමරිකානු නළුනිලි සමූහයේ (SAG) ඉන්න දුර්වලම නළුවා පෝල් කියන දෙය. There Will Be Blood චිත්‍රපටිය 21 වෙනි සියවසේ හොඳම චිත්‍රපටි අතරේ අඩුවෙන් ස්ථානගත කරන්න වෙන්නේ පෝල් ඩේනෝ ගේ දුර්වල රඟපෑම නිසා බව ටැරන්ටිනෝ කියලා තිබ්බා. ඒක ටැරන්ටිනෝගේ පුද්ගලික අදහසක් වෙන්න ඇති. නමුත් පෝල් ඩේනෝ ගේ රඟපෑම් දැකලා තියෙන කෙනෙකුට කවදාවත් එයා දුර්වල නළුවෙක් කියලා කොහොමත් දැනෙන්නෙ නැති බව සහතිකයි. (උදාහරණ The Batman, Prisoners, Swiss Army Man, Little Miss Sunshine වගේ චිත්‍රපට). පෝල් ඩේනෝ කියන්නෙ සිනමා කර්මාන්තය ඇතුළෙ දි තමන්ට අදාළ වැඩේ කරලා පැත්තකට වෙලා ඉන්න බොරු සෝබන නැති සහ තමන්ව ප්‍රවර්ධනය කරගන්න උත්සාහ නොකරන නිහඬ, නිවුණු චරිතයක් බවයි කියවෙන්නෙ. ඉතින් පෝල් ගේ රසිකයිනුත් සිනමාව ගැන උනන්දු සහ සාධාරණව හිතන්න පුලුවන් කවුරු වුණත් මේ කතාව සම්බන්ධයෙන් ටැරන්ටිනෝ මහත්මයාට සෑහෙන අමතලා තිබ්බා. ඔය අල්ලපනල්ලෙ පෝල් ඩේනෝ වෙනත් රඟපෑම් ගැන හොයමින් ඉන්න අතරේ මගෙ ඇහැ නතර වෙන්නෙ War & Peace කියන නිර්මාණය ලඟ. මේක ලියෝ ටෝල්ස්ටෝයි ගෙ යුද්ධය හා සාමය නවකතාව මුල් කරගෙන BBC යෙන් කළ නිර්මාණයක් බවත්, 2016 අවුරුද්දෙ ආව කොටස් 6 ක රූපවාහිනී නාටකයක් බවත් දැක්කාම හිතුණෙ මෙච්චර කල් කොහොමද මේවා මගඇරුණේ කියලා තමයි.


War & Peace ලෝකෙයෙ මෙතෙක් ලියවුණු අති විශිෂ්ටතම නවකතාවක් විදිහට සැලකෙනවා. ඒ වගේම ප්‍රධාන චරිත ගණනාවක්ම ඇතුළත්වෙන සහ ඒ චරිත ආශ්‍රයෙන් මිනිස් ජීවිතයත් සමාජ දේශපාලන කාරණාත් ගැඹුරට විවරණය කරන ඉතාම දීර්ඝ නවකතාවක්. මේ නවකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය "යුද්ධය හා සාමය" නමින් අපිට හිටපු අග්‍රගන්‍ය පරිවර්තකයෙක් වෙච්ච සිරිල් සී. පෙරේරා මහත්මයා විසින් කාණ්ඩ තුනක් යටතේ පළකරලා තියනවා. මේ 2016 රූපවාහිනී නාටකය ඇතුළෙ දී ඒ සාහිත්‍යමය බරසාර කම දැනෙනවා. ඒ වගේම කතාවට මුල් වෙන 1800 ගණන් ප්‍රතිනිර්මාණය කරලා තියන ආකාරයෙනුත් ඇහැට සනීප පසුතල සහ රූපරාමු එක්කත් මොහොතක් ඇහැ ඉවතට ගන්න හිතෙන්නෙ නැති රූපමය සෞන්දර්ය පිරුණු classic ගණයේ නිර්මාණයක්.


කතාවේ ප්‍රධානම චරිතයක් වෙච්ච පියරේ ගෙ චරිතය යි පෝල් ඩේනෝ මෙතනදි රඟපාන්නෙ. පියරේ කියන්නෙ රුසියාවේ ධනවත්ම සිටුවරයෙකුගේ අනීතික පුත්‍රයෙක්. පියරේ ඉතාම කාරුණික මෘදු ගතිගුණ ඇති අවංක තරුණයෙක්. සමාජයෙ බහුතර දෙනෙකුට වඩා වෙනස් විදිහට තමා එයා දේවල් දකින්නෙ. ඒ වගේම එයා සමාජයේ පිලිගැනීමක් ලබාගන්න බොරු ප්‍රතිරූපයක් මවාපාන්නෙ නෑ. ඉතින් එයාගෙ මෙන්න මේ වෙනස් දැක්ම සහ අව්‍යාජ ගති ගුණ හින්දා වැදගත් සමාජයෙ කවුරුත් එයාව වැඩියෙ ගණංගන්නෙ නෑ. ගොඩක් වෙලාවට එහෙම චරිත වලට සමාජෙන් ලැබෙන ප්‍රතිචාරය තමා ඕක. කතාවෙ හැටියට පියරේටත් වෙන්නෙ එහෙම. (පෝල් ඩේනෝ මේ චරිතයට තෝරා ගැනෙන්නෙ එයාගෙ ගති ස්වභාවයන් මීට සමපාත වෙන හින්දා වෙන්නත් පුලුවන්). දවසක් නොහිතූ විදිහට පියරේ ලොකු ධනස්කන්ධයක උරුමක්කාරයෙක් බවට පත් වෙනවා. එච්චර ධනයක් ලැබුණාට ඒවයින් මොනවද කරන්න ඕන කියලා එයාට තේරෙන්නෙ නෑ. මොකද එයාට ඒ දේවල් ගැන ලොකු උනන්දුවක් නැති නිසා. නමුත් ඉන් පස්සෙ එයා වටේ ලෝකය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. කලින් එයාව ගණන් ගත්තෙ නැති වැදගත් සමාජය දැන් එයාව හොයාගෙන එනවා. මංගල යෝජනා දවසට දෙක තුන එන තරමට මොකක්ද වෙනසක් සිදුවෙලා තියනවා කියල දැනෙන්න පටන් ගන්නවා.


පියරේ කියන්නේ මේ කතාවේ එක චරිතයක් පමණයි. තව ගොඩක් දෙනා ඉන්නවා. කතාවට පසුබිම් වෙන යුද්ධය සිද්ධවෙන්නේ ඔය අතරේ දි යි. 1805 දී ප්‍රංශයේ නැපෝලියන් අධිරාජ්‍යයා ඔස්ට්‍රියාව ආක්‍රමණය කරනවා. මේ සිදුවීම එක්ක අසල්වැසි රුසියාවත් දේශපාලනික වශයෙන් අවදානමට ලක්වෙනවා. ඒ නිසා රුසියාවත් ඔස්ට්‍රියාවත් එක්ව පොදු සතුරා වුණු නැපෝලියන්ට එරෙහිව යුධවදින්න තීරණය වෙනවා. රුසියන් තරුණයෝ බොහොම දෙනෙක් යුද්ධයට යනවා. පියරේ ගේ නැදෑ හිත මිත්‍රයින් බොහොම දෙනෙක් ඔය අතරේ ඉන්නවා. අන්ද්‍රේ කියන්නේ ඒ අතරින් එක්කෙනෙක්. හරියටම කිව්වොත් පියරේ ගේ ප්‍රාණසම අතිජාත මිත්‍රයා තමයි අන්ද්‍රේ. අන්ද්‍රේ වැදගත් පවුලකින් එන කඩවසම් තරුණයෙක්. අන්ද්‍රේ විවාහකයෙක්. ඔහුට ඉන්නවා සුරූපී භාර්යාවක්. ඔහුට සමාජයෙ හොඳ පිළිගැනීමක් තියනවා. බැලූ බැල්මට අන්ද්‍රේ ගත කරන්නේ කිසි දෙයකින් අඩුවක් නොවුණු සියල් සපිරි ජීවිතයක් වුණත් ඔහු මහා අතෘප්තියකින් පෙළෙනවා. උසස් සමාජයේ විනෝද සාද, හමුවීම්, උත්සව මේ කිසි දෙයක් අන්ද්‍රේගෙ සිත් ගන්නේ නැහැ. අනෙක් අතින් විවාහ ජීවිතේත් කිසි ප්‍රශ්නයක් නැතත් ඔහුට ඒ ගැන සතුටකුත් නෑ. අන්ද්‍රේ යුධ පෙරමුණට යන්නේ එක්තරා ආකාරයකට ජීවිතේ මේ හිස් කමින් පළායන්න.


War & Peace කතාව ගලා යන්නේ ඔය හැම දෙයක්ම එකිනෙක සම්බන්ධ කරමින් සංකීර්ණ සිද්ධිදාමයන් නිර්මාණය කරමින්. මේකෙ පෝල් ඩේනෝ ට අමතරව ජෙසී බක්ලි, ගිලියන් ඇන්ඩසන් වගේ අපිට හුරු පුරුදු තවත් අය කීපදෙනෙක්ම ඉන්නවා. පොත කියවා නැති නිසා පොතත් එක්ක සංසංදනාත්මකව කොයි තරම් සාධාරණයක් මූලික කතාවට මේ නාටකය කරලා තියනවද දන්නෙ නෑ. පොදු පිළිගැනීම අනුව නම් පොත මූලිකව කළ හොඳම ගණයේ අනුවර්තනයක් මේ නාටකය. Periodic Drama වලට කැමති අයට සැකයක් නැතුවම නිර්දේශ කරන්න පුළුවන් වැඩක්. අනෙක් අතට ටැරන්ටිනෝලා මොන කතා කිව්වත් පෝල් ඩේනෝ කියන්නෙ අපේ කාලේ දක්ෂයෙක් බව ඔප්පු කර පෙන්වන නිර්මාණයක්. එයාට එල්ල වුණු ඒ අපහාසයට මම දන්න තරමින් පෝල් කිසිම ආකාරයක ප්‍රතිචාරයක් දක්වා නැහැ. ඒවට ප්‍රතිචාර දිදී ඉන්න කාලයත් ශ්‍රමයත් නාස්ති කරන්න උවමනාත් නැහැ. අදාල වැඩේ පමණක් කරලා පැත්තකට වෙලා ඉන්න නිහඬ චරිත සාමාන්‍යයෙන් ඔය වැනි දේවල්වලදී ඉස්සරහට එන්නේ නැහැ. ඒක ඒ අයගෙ හැටි. තමන් වැඩ කරන්නේ හදවතට එකඟව නම්, කරන දේ ඇතුළේ තමන්ගේ ආත්ම තෘප්තිමත් නම් එතනින් එහාට තව මොනවද? ඒ සිද්ධිය ඇතුළේ අපිටත් හිතන්න යමක් ඉතිරි වෙලා තියනව කියලා මම හිතනවා.




Thursday, October 23, 2025

The Roses (2025)

ලොකු පාටියක් දාලා විවාහයක් සමරන්න ඕන බඳින දවසට නෙමේ බැඳලා අවුරුදු විස්සක් විසිපහක් විතර ගිහිල්ලා දරුවොත් හදලා ඒ දරුවො හොඳ මිනිස්සු විදිහට සමාජගත කළායිනුත් පස්සෙයි කියලා ගයාන් පෙරේරා Hari tv එකේ ළහිරු එක්ක කරලා තිබ්බ ඉන්ටවිව් එකකදි කියලා තිබ්බා. එහෙම වෙන්නෙ මොකද පුලුවන් තරම් ලොකුවට වෙඩින් ගත්තට ගොඩක් අයගෙ ජීවිත වල ඒ ලස්සන ඊට පස්සෙ මැකිලා ගිහින් අන්තිමට නතර වෙන්නෙ මොන එකකට මේක කරගත්තද කියලා එකිනෙකාගෙන් වෙන් වෙන තැනටම ඇවිල්ලා. අවුරුදු ගාණක් වෙන් නොවී ඔය විවාහය පවත්වගන්න එක තමා එහෙම බැලුවාම සමරන්න කාරණේ වෙන්න ඕන. මොකද එක මනුස්සයෙක් එක්ක එකම ගෙදරක කාලාන්තරයක් තිස්සෙ එකට ජීවත් වෙනවාය කියන්නෙම අමාරු වැඩක්. ඒකට සෑහෙන ලොකු ඉවසීමක් ඕන. දෙන්නෙක් අතරෙ රොමාන්තික බැඳීමක් ඇති වෙන මුල් කාලෙ නම් හරි ලස්සනයි සුන්දරයි. මොකද ඔය රොමැන්ටික් කාල සීමාවේදි මොළයෙන් නිකුත් කරන රසායනිකයන් එක්ක අනිත් මනුස්සයාගෙ වැරැද්දක් තිබුණත් ඒක නොපෙනී යනවා, තමාගෙ වැරදි අඩු පාඩු අනිත් කෙනාගෙන් වසන් කරලා පරිපූර්ණ ප්‍රතිරූපයක් මවා පෙන්වන්න උත්සාහ කරනවා. නමුත් කාලයක් ගත වෙද්දි ඔය රසායනිකය නිකුත්කරන එක ශරීරයෙන්ම නතර වෙනවා. "පෙම් ලොව දී දුටු ඔහුමද මේ, මොහුටද මා අන්ධ වුණේ" කියල කියවෙන්නෙ එතකොට තමා. කොහොමත් කාලයක් එකට ජීවිතේ බෙදාහදා ගන්න දෙන්නෙකුට මේ රොමාන්තික යුගය ඉවර කරලා ගැටළුකාරී යුගයකට අඩිය තියන්න වෙනවා. අමාරු කාලෙ ඇතුළෙ නම් පවතින්න පුලුවන් වෙන්නෙ දෙන්නා අතර තියන අවබෝධය, ඉවසිලිවන්තකම, ස්වයං විනය වගේ දේවල් එක්ක. එතනදි තමන්ව දැනෙන සහ හරි තේරුම් ගැනීමක් තියන කෙනෙකුව තෝරාගෙන ඉන්න එක වැදගත්. අමාරු කාල එද්දි ඒව පහු කරගෙන යන්න තරම් හොඳ බැඳීමක් ඇති වෙන්නෙ එහෙම තෝරාගැනීමක් ඇතුළෙ තමා. කතාවටත් කියන්නෙ දෙන්න දෙමහල්ලො අතර ප්‍රශ්න ඇති වෙන්නෙ බත් හැලිය ඉදෙනකම් විතරයි කියල නේ. නමුත් කොහොම වුණත් විවාහ ජීවිතයක් කාලයක් පවත්වාගෙන යන්න වෙන්නෙ අමාරුකම් විඳ දරාගනිමින්මයි. විවාහයක් අවසාන වෙන තැනට එන්නෙ මේ දරාගැනීමේ සීමාව ඉක්මවා යද්දි සහ කෙනෙකුව තෝරාගන්නකොට තමන් සෑහෙන වැරදීමක් කරගෙන තියනව කියලා නැත්නම් සෑහෙන රැවටීමකට ලක්වෙලා තියනව කියලා තේරුම් යද්දි.


සුප්‍රසිද්ධ සිනමාකරු ඉන්ග්මාර් බර්ග්මාන් ගේ 1974 අවුරුද්දෙ තිරගත වුණ Scenes from a Marriage කියන චිත්‍රපටියෙ ඇතුළත් වෙන්නෙ අවුරුදු දහයක් සාමකාමී විවාහ ජීවිතයක් ගත කිරීම සමරන යුවළක් ගැන. චිත්‍රපටිය ඇතුළෙ මේ දෙන්නා ගෙ විවාහය දෙදරා යන්න පටන් ගන්නෙ අවුරුදු දහයක් ගෙවිලා ගියාට පස්සෙයි. ජීවිතේට දුෂ්කර කාල එන්නෙ නොහිතනම වෙලාවල් වල. 2025 ආව The Roses කියන්නෙත් මේ වගේම කතාවක් තියන චිත්‍රපටියක්. චිත්‍රපටිය ඇතුළෙ අපි දකින්නෙ තියෝ සහ අයිවි දෙන්නගේ විවාහයේ කතාව. තියෝ කියන්නෙ ගෘහ නිර්මාණ ශිල්පය තමන්ගෙ ආත්මය කරගත්ත මනුසයෙක්. දවසක් අවන්හලකදී එයාට මුණගැහෙනවා සූපශාස්ත්‍රය ආත්මය කරගත්ත එක්තරා ගැහැනියක්. මේ දෙන්නා අතර ඇති වෙන්නේ "දැක්ක ගමන් හිත බැඳුණා, වාසනාවෙ දොර ඇරුණා" වර්ගයේ ක්ෂණික බැඳීමක්. ඉන්පස්සෙ කාලය අවුරුදු ගණනාවක් රිවයින් කරලා බැලුවාම අපි දකින්නෙ සැමියා සහ බිරිඳ විදිහට එක ගෙදරක ජීවත් වෙන සහ කර දඬු උස් මහත් වෙන වයසේ ළමයි දෙන්නෙක් ඉන්නා තියෝ සහ අයිවි කෙනෙක්ව. දෙන්නා හරි ආදරෙන් සාමදානෙන් ජීවිතේ ගෙවන වගක් අපිට පේනවා. නමුත් කාලය ගත වෙන්නෙ නොහිතු විදිහෙ වෙනස් කම් දෙන්නාගේ ජීවිත ඇතුළේ ඇති කරලා, කිසි ප්‍රශ්නයක් නැති ව අවුරුදු ගණනාවක් එක වහළක් යට ජීවත් වුණු තියෝ සහ අයිවි එකිනෙකා නොරුස්සන දෙන්නෙක් බවට පත්කරලා. දෙන්නා දෙමහල්ලෝ අතරේ දිගින් දිගටම ඇදි ඇදී යන මේ විරසකය කොතනින් කොහොම කෙළවර වෙයිද කියලා තමා අපිට බලා ඉන්න තියෙන්නෙ.


මුලින්ම බර්ග්මාන්ගෙ Scenes from a Marriage චිත්‍රපටිය ගැන සඳහන් කළත් The Roses කියන්නෙ ඒවගේ බරසාර ෆිල්ම් එකක් නෙවෙයි. කොමඩි/ ඩ්‍රාමා ටයිප් එකේ වැඩක්. මේක කොමඩියක් වෙන්න පුලුවන් ද කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්, විශේෂයෙන් දික්කසාදය වගේ සීරියස් මාතෘකාවක්. තමන්ට නැත්නම් තමන්ට හිතවත් කෙනෙකුට මෙහෙම අත්දැකීමක් තියනව නම් එහෙම හිතෙන එක වරදක් නෙවෙයි. ලංකාවෙ නීතිය අනුව මම දන්න තරමින් දික්කසාදය කියන්නෙ කාලයක් ගත වෙන අමිහිරි අත්දැකීමක්. හැමදාම ළඟින් ඉන්නා බවටත් දුකේ දීත් සැපේ දීත් අතනොහරින බවට පොරොන්දු වෙලා විවාහ වෙන අය පස්සෙ එකිනෙකාට විරුද්ධව එදිරිවාදීන් වෙලා උසාවියක් ඉස්සරහට එන එක ඉතාම අසුන්දර දෙයක්. The Roses කියන්නෙ එහෙම බැලුවාම අඳුරු ප්‍රහසනයක් විදිහට අරගන්න පුලුවන් චිත්‍රපටියක්. ෆිල්ම් එක බලලා අපි හිනා වෙනවා. නමුත් අපි හිනා වෙන්නෙ ජීවිතේ තියන ඇත්තම ඛේදවාචකයන්ට. 


The Roses බලන්න හේතුවක් වුණේ ප්‍රධාන චරිත රඟපාන  Benedict Cumberbatch සහ Olivia Colman මගේ ප්‍රියතම අය වීම. දෙන්නාම වර්තමානයේ සිනමාව ඇතුළෙ ඉහළින්ම නම තිබ්බ රංගවේදීන් දෙන්නෙක්. ඉතින් මේ දෙන්නගෙ සුසංයෝගය බලා ඉන්න අපූරු දෙයක් වුණා මට නම්. විශේශයෙන් දෙන්නගෙම බ්‍රිතාන්‍ය පන්නයේ ඉංග්‍රීසි කතා විලාසය. චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ ස්වයං විනාශකාරී යුවළක් මුල් කරගෙන ලියැවී තියෙන The war of the Roses නම් නවකතාව මුල් කරගෙන. 1989 අවුරුද්දෙ මේ කතාවෙන් The war of the Roses නමින්ම චිත්‍රපටියක් නිර්මාණය වෙලා තියනවා, 2025 අවුරුද්දෙ ආව The Roses කියන්නෙ මේ නවකතාවෙන් හැදෙන දෙවනි චිත්‍රපටිය. (නවකතාවෙදි ප්‍රධාන චරිත දෙක නම් වෙන්නෙ Jonathan Rose සහ Barbara Rose නම් වලින්. කතාවෙ නම එන්නෙ මේ නම් වලින් කියලා මම හිතන්නෙ)


ෆිල්ම් එක ගැන ඉන් එහා යමක් කියන්නෙ නෑ. Romantic/ Comedy ශානරයට කැමති අයට මේක අල්ලලා යාවි කියලා හිතෙනවා. 




Monday, October 20, 2025

ආයු

පහුගිය කාලෙක කියවපු Mark Manson ගේ The Subtle Art of Not Giving a F*ck පොතේ තිබ්බ මගේ හිතගත්ත එක කියමනක් ආපහු මේ සයිබර් අවකාශ දි දැකගන්න ලැබිලා ආයෙමත් මගේ ඔලුව ඇතුළේ ඒක නිතර ඇහෙන්න පටන් අරගෙන තියනවා. කතාව මේකයි. Mark Manson කියනවා ජීවිතය කියන්නෙ වියමනක් කියලා. නොයෙක් වර්ගවල නූල් වලින් තමා මේක ගෙත්තම් වෙලා තියෙන්නෙ. දුක් වේදනාවන් කියන්නේ ජීවිත වියමනේ තියන තවත් එක නූලකට. හැබැයි මේක ගලවලා අයින් කරන්න බැරි තරමට ජීවිතේ එක්ක පෑහිලා තියෙන්නෙ. අපි දුක කියන මේ නූල ජීවිත වියමනෙන් ගලවලා දාන්න උත්සාහ කිරීමෙන් සිද්ද වෙන්නෙ ඒ වියමනම ලෙහිලා විනාශ වෙලා යන එක. අපි දුක්වේදනාවන් එක්ක පොරබදන තරමට අපි තවත් වේදනාවෙම ගිලිලා යනවා. අපි මේ අනිවාර්ය දුක් වේදනාවන්ට අනවශ්‍ය තරම් අවධානයක් නොදී ඉඳීමයි කළ යුතු වෙන්නේ කියන කාරණාව Mark එයාගේ පොත පුරාම පැහැදිලි කරනවා. ජීවිතේ සැනසීමේ, සංහිඳීමේ මාර්ගය වැටිලා තියෙන්නේ මේ දුකත් එක්ක ඇලීම, ගැටීම නතර කරන තැනින්. මේක එක්තරා ආකාරයකට බෞද්ධ දර්ශනය එක්කත් සම්බන්ධ කමක් තියනවා. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මම දන්න තරමට, දුක කෙළවර කිරීම ආරම්භ වෙන්නේ පැවැත්මේ තියෙන මේ අනිත්‍යතාව සහ ඒ හේතුවෙන් හට ගන්න දුක්සහිත බව මැදහත් සිතකින් තේරුම් ගැනීමත් එක්ක. මිනිස්සු වශයෙන් ස්වභාවයෙන්ම අපි ඇතුළේ තෘෂ්ණාවත්, කෙළස් සහගත බවත් පවතිනවා. ඒ නිසා අපි දුකක් බව දැන දැන වුණත් ජීවිතය ඇතුළේ නොයෙක් දේවල් එක්ක දැඩි ආශාවකින් බැඳෙනවා. ස්ථිරසාර විදිහට දුක නිදහස් වීම කරන්න පුළුවන් මේ කෙළෙස් ප්‍රහීන කරලා තෘෂ්ණාව දුරු කර ගැනීමෙන් බවයි බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ.

මේ දවස්වල තිරගත වෙන ආයු චිත්‍රපටිය බලද්දී මගේ මතකයට ආවෙ අර ජීවිත වියමනේ කතාව සහ දැන් වෙනකොට සරලවම පින් පව් කර්ම වගේ දේවල් එක්ක සමාජය ඇතුළේ ඇත්ත දාර්ශනික ගැඹුර අහිමි වෙමින් තිබෙන බුදු දහම. වේදනාවේ නූල් පටින් ජීවිතේ ඇතුලේ අඳුරු ගෙත්තම් මවද්දී නමුත් තමන්ගේ ඇතුළාන්ත ආලෝකය නැති කර නොගන්න වෙරදරන චරිත කිහිපයක් එක්කයි චිත්‍රපටිය ගලා යන්නේ. ආයු කියන්නේ රූපයම මාධ්‍යයෙන් ලියවුණු කවියක්. මේක ඇතුළේ කරන දෘශ්‍යමය ගොඩනැංවීම ඒ තරම් සෞදර්යාත්මකයි, සංකේතරූපියි. රූපය පමණක් නොවෙයි මේ චිත්‍රපටියේ සංගීතයත් ඒ වගෙයි. චිත්‍රපටියේ හිස්කම මකා දැමීමට එහා ගිහින් කතාව ඇතුළේ ඒ සියුම් භාවයන් මතු කරන ආකාරයෙනුයි චිත්‍රපටිය ඇතුළේ සංගීතය භාවිත වෙලා තියෙන්නේ. ලෝක සිනමාව ඇතුළේ මේ කාව්‍යමය සෞන්දර්ය අපි අත්විඳලා තියනවා තර්කොව්ස්කි, බර්ග්මාන්, කිසලොව්ස්කි, කොරීඩා, ටෙරන්ස් මලික් වගේ අයගේ සිනමාපට ඇතුළේ. අපේ රටේ මේ වගේ චිත්‍රපටියක් දකින්න ලැබෙන එක ලොකු සතුටක්. මොකද ලංකාවෙ සිනමාව පණගැහිලා නැගිටගෙන එන මේ කාලේ එක පැත්තකින් ප්‍රේක්ෂකාගාර පුරවන සිනමාවක් වගේම අනෙක් පැත්තෙන් ආත්මය පුරවාලන සිනමාවක් අපිට අවශ්‍ය නිසා. ආයු චිත්‍රපටිය ඉෂ්ට කරන්නේ ඒ බලාපොරොත්තුව. චිත්‍රපටිය බලන මුළු වෙලාවෙමත් චිත්‍රපටි ශාලාවෙන් නැගිටලා ගියායින් පස්සෙත් පුදුම තරම් සැනසිල්ලක් සංහිඳීමක් මට අත් විඳගන්න ලැබුණා. මම විශ්වාස කරනවා චිත්‍රපටිය බලන්න එන කෙනා නොවෙයි ශාලාවෙන් පිටවෙලා යන්නේ, දශමයක් හරි ඇතුළාන්තයෙන් නිවිලා කියලා. ඒක තමා මනස සුවපත් කරන මේ කාව්‍යමය සිනමාවේ මැජික් එක.


මං බොහොම තදින් විශ්වාස කරනවා සොබාදහම ආශ්‍රයෙන් අපිට මේ ජීවිත සත්‍යතාවන් බොහොම පැහැදිලිව තේරුම්ගන්න පුළුවන් කියලා. මොකද මනුස්සයා කියන්නේ ස්වභාව ධර්මයේම කොටසක්ම තමයි. අපේ ජීවිත යථාර්ථයන් ස්වභාවික ලෝකයේ ධර්මතාවන් එක්ක හරි ලස්සනට සමපාත වෙන හැටි ඒ ගැන හිතලා බැලුවොත් අපිට වටහාගන්න පුළුවන්. කලාවෙන් කරන්නෙත් මේ සත්‍ය එක්තරා රසවින්දනාත්මක ආකාරයකට නැවත ගොඩනැංවීම. ආයු කියන්නෙත් එහෙම නිර්මාණයක්. ප්‍රධාන වශයෙන්ම මුහුද ප්‍රබල සංකේතයක් විදිහට චිත්‍රපටිය පුරාම පවතිනවා. මුහුද කියන්නෙත් හරි අපූරු කතන්දර කියන්නෙක්. රැළි රැළි පෙරළිලා ඇවිත් කිරි සුදු පාටට වෙරළේ විසිරිලා යන හැටි, අප්‍රමාණ ගැඹුරක් හංගගෙන දියඹ ඈතට වෙලා නිහඬවම බලා ඉන්න හැටි, මතුපිටින් සුළිකුණාටු හට ගත්තත් පතුළේ මුතුඇට, කොරළ්පර, වෛවරණ මාළු හැංගිලා ඉන්න හැටි, වෙනම හිතලා බැලුවොත් මේවාත් එක්තරා ආකාරයක කතන්දර තමයි. ආයු චිත්‍රපටියට වස්තු විෂය වෙන්නේ මුහුදු වෙරළ ඉස්සරහා ගෙවිලා යන එක්තරා කෙනෙකුගේ, දෙන්නෙකුගේ ජීවිත කතන්දර. මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුණු බවට චිත්‍රපටය ආරම්භයෙදිම සඳහන් වෙනවා. මනුස්ස සම්බන්ධකම් වල ගැඹුරු මානයන් ඒ කතාව ඇතුළේ ඉසියුම්ව ස්පර්ශ වෙනවා. ඒ කතාව ගැන කිසිවක් නොකියා ඉන්නම්, මොකද චිත්‍රපටිය බලනවා නම් ඔබ ඒ කිසිවක් නොදැන හිස් වුණු මනසකින් සිනමාශාලාවට යන එක වඩාත් සුදුසු නිසා. ඒ කම්පනයත් වගේ නිවීමත් ඔබම විඳගත යුතු යි. නමුත් කතාවේ ඇතුලාන්තය ගැන මට දැනුණ මේ ටික කියන්නම්. මිනිස්සු විදිහට අපි ගොඩක් වෙලාවට ජීවිතය දිහා බලන්නේ තෘෂ්ණාවේ පැත්තෙන් හිටගෙන. අපි අපේ දියුණුවේ අනාගත සැලසුම් හදන්නේ, මිනිස්සු එක්ක නොයෙක් සම්බන්ධකම් හදා ගන්නේ මේ ආශාවේ තෘෂ්ණාවේ පැත්තෙන් බලලා. නමුත් එක මොහොතක් එනවා සියළුදේම අපිට අහිමි වෙලා යනවා කියලා දැනෙන. අපි අල්ලාගෙන ඉන්න ලෝකය අපේ අතින් ගිලිහිලා යනවා. එතකොට ලෝකය අල්ලා ගැනීමේ පැත්තෙන් බැලුවාම අපි දුක් මහන්සි වෙලා ගොඩනගා ගත්තු සියළුදේම අහිමි වෙලා යන්න නියමිත බව පේන්න පටන් ගන්නවා. අන්න එතකොටයි අපි අතහැරීමේ පැත්තෙන් ජීවිතය දිහා බලන්නේ. අතහැරෙන්න නියමිත දේවල් එක්ක සාමයෙන් පවතින්න පුළුවන් අපිට එතකොට විතරයි. තෘෂ්ණාවෙන් නොබැඳී අවබෝධයෙන් ජීවිතය දිහා බලන්න අපිට පුළුවන් වෙන්නේ එතකොටයි. චිත්‍රපටිය ඇතුළෙම දෙබසකින් ඒ ගැන කියවෙනවා මෙහෙම.


"භෟතික ජීවිතයයි මනසයි කියලා කියන්නේ එකම කාසියක දෙපැත්තක්. මිනිස්සුන්ට මොළයක් දීලා තියෙන්නෙ ඇයි? තේරුම් ගන්න තේරුම් අරන් ජීවත් වෙන්න"


චිත්‍රපටියේ රඟපෑම් ගැන මේ ටික නොකියා බෑ. ප්‍රධන චරිතය වුණ නිෂ්මි විදිහට රංගනයෙන් දායක වෙන සැන්ඩ්‍රා මැක් ඒ චරිතය වෙනුවෙන් හොඳ සාධාරණයක් කරනවා. සැන්ඩ්‍රා එයාගෙ ඉන්ටවිව් එකකදි කියනවා එයා කලින් 2002 අවුරුද්දේ වගේ බූඩි ගේ "සත්‍යා" ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් කළා කියලා. එතකොට තමයි මම එයාව අඳුනගත්තේ. සත්‍යා ඒ කාලේ ගිය ටෙලි නාට්‍ය අතරින් වෙනස්ම වැඩක් විදිහට මගේ මතකයේ තියනවා. ඒ නාට්‍යයේ සැන්ඩ්‍රා ගේ රෑපකාය මට යන්තම් වගේ මතකයි. ඉන් අවුරුදු විසිගාණකට පස්සෙයි තිරයක් මත මම ආපහු එයාව දකින්නේ. සැන්ඩ්‍රා මේ නිශ්මි ගේ චරිතයට වෙනස්ම ආකර්ශණයක් අරගෙන එනවා කියලා මම හිතනවා. (සැන්ඩ්‍රා ගේ ඉන්ටවිව් එක වුණු "මතක පද" වැඩසටහන මුල සිට මම බැලුවා. මුළු වෙලාවෙම මම බලා හිටියේ එයා කතා කරන විදිහ දිහා, වචන පෙළගස්වන විදිහ දිහා, තමන්ගේ වෘත්තීය ඇතුළේ එයාට තිබ්බ passion එක දිහා, එයා හරි inspirational මනුස්සයෙක්. මට දැන් සැන්ඩ්‍රා හැර නිෂ්මි ගේ චරිතයට ගැළපෙන කෙනෙක් ඉන්නවද කියලා හිතාගන්න බැරි තරම්) ජගත් මනුවර්ණ මේ චිත්‍රපටියේ රඟපෑවද? මම නම් දැක්කේ සචින් කෙනෙක්ව, එයාගේ පෙනුම ජගත් මනුවර්ණ වගේ තමා. එතනින් එහාට ඒ රඟපෑම ගැන කියන්න දෙයක් නැහැ. සියළු අගය කිරීම් ඒ ඇතුළේ තියනවා කියලා මම හිතනවා. ලැබෙන සුළු කාල පරාසය ඇතුළේ වුණත් නලින් ලුසේනා, ප්‍රියන්ත සිරිකුමාර, අශාන් ඩයස්, තුමිදු දොඩංතැන්න මේ හැමෝම හොඳ රංගනයක් කරනවා. මාලනී ෆොන්සේකාව තිරය මත දකිද්දී සියුම් දුකක් දැනුණා. මේ ඇයගේ අවසාන රංගනයත් වෙන්න ඇති සමහර විට. 


හැකි තරම් කෙටියෙන් මේ ටික ලියුවේ තවමත් ආයු නොබැලූ කෙනෙක් ඉන්නව නම් ළඟම තියන සිනමා ශාලාවට ගිහින් මේක බලන්න කියන්න. ඒ නිවීම සැනසීම විඳගන්න කියන්න. 


මේ වැනි චිත්‍රපටියක් නිර්මාණය කිරීම ගැන අධ්‍යක්ෂ වරයා ඇතුළු සමස්ත කණ්ඩායමටම මගේ ආචාරය!!

.

.

.

"කෙලෙස් පිරිච්ච ජීවිතේ හරියට දූවිලි බාධක තියන පාරක් වගේ. කෙලෙස් අතහැරියාම දැනෙන්නේ අහසේ නිදහස් පියාඹන කුරුල්ලෙක් වගේ. කුරුල්ලොත් හුළං පාරට අහුවෙනවා. මෝසම් හුළඟට අහු වුණාම කුරුල්ලෝ යන්නේ වෙනම දේශයකට. කුරුල්ලෝ ඒ ගැන දුක්වෙන්නෙ නෑ. ඒක උන්ට වෙනම ලෝකයක්. උන් දන්නවා මේ ලෝකෙ කාටත් උන් ගැන ගාණක් නෑ කියලා."


- ආයු




Saturday, August 30, 2025

The Life of Chuck (2024)

බුදුන් වහන්සේ වතාවක් කියල තියනවා මම බඹයක් පමණ මේ ශරීරය තුළ මුළුමහත් ලෝකයම පනවමි කියලා. (මේ කතාව ඇතුළත් වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ රෝහිතස්ස සූත්‍රයේ. රෝහිතස්ස නම් දේවපුත්‍රයෙක් සහ බුදුන් වහන්සේ අතර ඇති වෙන සංවාදයක අතර දී මේ කාරණාව මතුවෙන්නෙ. රෝහිතස්ස වරක් භාවනා කරල සිත දියුණු කරගෙන ඊතලයක වේගයෙන් විශ්වය හරහා ගමන් කිරීමේ හැකියාව ලැබූ කෙනෙක්. විශ්වයේ කෙළවර හොයා ගෙන ඔය විදිහට අවුරුදු සීයක් ගමන් කරලා කෙළවරක් නොදැක මේ රෝහිතස්ස මියැදෙනවා. අවසානෙ දේව පුත්‍රයෙක් විදිහට ඉපදෙන මේ රෝහිතස්ස තමයි බුදුන්වහන්සේ ගෙන් ලෝකයෙ කෙළවර ගැන අහන්නෙ. ඊට දෙන පිළිතුර අතරෙ උන්වහන්සේ කියනව බඹයක් පමණ මේ ශරීරය තුළ ලෝකයත්, එයින් මිදීමේ මාර්ගයත් පනවමි කියලා)

අපි අවට මුළුමහත් සියළු දේකම, මුලු විශ්වයම අරගත්තොත් මේකේ ආරම්භයක් අවසානයක් අගක් මුලක් කිසි කෙනෙකුට හිතා ගන්න බෑ. නමුත් අපි බාහිර ලෝකයේ විශ්වයේ කොයිතරම් දේවල් දැක්කත් ඇහුවත් බැලුවත් අපි ඒ දේ කරන්නෙ අපේ ඉන්ද්‍රියන් හරහා. පිටස්තර ලෝකය අපි තේරුම් ගන්නෙ අපේම මනසින්. අපේ මතක, සංවේදනා, අදහස් සිතුවිලි මේ හැම දෙයක්ම නිර්මාණය වෙන්නෙ බාහිරින් අපි ග්‍රහණය කරගන්න දේවල් එක්ක. මෙන්න මේවයින් හැදුණු විශ්වයක් ඇතුළාන්තයෙන් අපි ගොඩනගා ගන්නව. බඹයක් පමණ ශරීරයේ ලෝකයම පනවමි කියලා බුදුන් වහන්සේ කියන කතාව එහෙම අර්ථවත් කරගන්න පුලුවන්.  


එතකොට "මම" කියන්නේ නිකන්ම පුද්ගල චරිතයක් පමණක් නෙවෙයි. මගේ ජීවිතේ මම ලැබුව සමස්ත අත්දැකීම් වල එකතුව මං ඇතුළේ මේ මොහොතෙත් පවතිනවා. එකිනෙකට ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ මං ඇතුළේ එකට පවතිනවා. හරියට දේදුන්නක පාට හත වගේ එකිනෙකට වෙනස් ගතිගුණාංග සහිත නමුත් එක තනි පැවැත්මක් මම. ඇමරිකානු ජාතියේ කවියා විදිහට සලකන Walt Whitman ගේ Song of Myself කවියේ තැනක මේ ගැන කියැවෙනවා.


Very well then I contradict myself, 

I am large, I contain multitudes.


පොඩ්ඩක් හිතන්න "ගණකාධිකාරීවරයෙක්" කිව්වම හිතේ මැවෙන්නෙ කොයි විදිහේ රෑපයක් ද? එතකොට "නැට්ටුක්කාර ගණකාධිකාරීවරයෙක්" කිව්වොත්? හරියට කිරිහොදි සහ බෝල්ට් ඇණ වගේ නොගැළපෙන ඒ වුණත් හරි අපූරු පුද්ගල චරිතයක් එතනදි මැවෙනවා. මිනිස්සු සහ මේ මනුස්ස ජීවිතේ සරලවම ඒ වගේ පරස්පරතාවන් ගෙන් පිරිලයි පවතින්නේ. අපිට මිනිස්සුන්ව තේරුම් ගන්න බැරි ජීවිතේ තේරුම් ගන්නත් බැරි ඒක ඇතුළේ තියෙන මේ පරස්පර ස්වභාවයන් හින්දා. ඊළඟ මාසේ, හෙට දවසේ, නැත්නම් ඊළඟ තප්පරයේ ජීවිතේ අපිට අරගෙන එන්නෙ මොනවද කියන්න අපි දන්නෙ නෑ. නමුත් මේ තේරුම්ගන්න බැරි පටලැවිලි සහගත බව, ඉක්මණින්ම වියැකෙන සුළු බව සමහර වෙලාවකට ජීවිතේට වෙනස්ම ලස්සනක් අරගෙන එනවා. පොඩ්ඩක් හිතන්න හැම දෙයක්ම කෙළින් ඉරක් ගැහුවා වගේ නිශ්චිතයි නම්, අපේ ජීවිතේ අසීමිත කාලයක් පුරා පවතිනව නම් ජීවිතේ මෙච්චර වටිනා කමක් අපිට නොදැනෙන්න තිබ්බා. මේ වෙනස් කම් එක හිතින් බාර ගෙන එක මොහොතක් නෑර විඳගන්න එක තමා අපිට කරන්න පුළුවන් වැඩේ.


චිත්‍රපටියක පින්තූරයක් දාලා මෙච්චර ගොඩක් දේවල් කියන්නෙ ඇයි කියල හිතෙනව නම් මෙන්න මේ Life of Chuck කියන චිත්‍රපටියයි ඔය කාරණා ටිකයි අතරේ සම්බන්ධයක් තියනව. (විශේෂයෙන් මේ පින්තූරයම තෝරාගත්තේ චිත්‍රපටියේ මේ scene එකට මට පුදුම තරම් ආසා හිතුණ හින්දා. Pulp Fiction, La La Land වගේ චිත්‍රපටි වලට පස්සේ සිනමාව ඇතුළෙන් දැක්ක ලස්සනම Dancing scene එකක් මේක. කතාවට බලෙන් එල්ලපු කෘත්‍රිම දර්ශනයක් නොවී ස්වභාවික විදිහට කතාව ඇතුළෙන්ම මතුවන සහ කතාවට අදාළම scene එකක් හින්දා මේකේ ලස්සන තවත් වැඩිවෙනවා) කියල තියන දේවල් එක්ක Life of Chuck කියන්නෙ බරසාර, මහා දාර්ශනික, ඔලුව ඇතුළෙ සමනල් ගැට වැටෙන චිත්‍රපටියක් කියල හිතෙනව නම් ඒක වැරදියි. මේක එහෙම මහප්‍රාණ කතාවක් නෙමේ. මුලින්ම වෙන්නෙ මොනවද කියලා තේරුම් ගන්න බැරි වුණත් පස්සෙ හැම දෙයක්ම තේරුම් යන්න පටන් ගන්නවා. වෙලාවකට මියුසික් එකත් එක්ක අඩිය තියලා නටන්න හිතෙනව. තවත් වෙලාවක විශ්වයේ පැවැත්ම, පරිසර දූෂණය සහ මානව සංහතියේ ඉදිරි ගමන වගේ කාරණා ගැන අහස පොළොව ගැටලන්න කල්පනා කරන්න හිතෙනව. සරලව විඳින්න වගේම ගැඹුරට හිතන්න වුණත් කාරණා මේකෙ තියනවා. 


මේක මම දැකල තියන අමුතුම සහ වෙනස්ම වැඩක්. එහෙම වෙන්න එක හේතුවක් තියනව. ඒ තමා Stephen King. මේ චිත්‍රපටිය හැදිලා තියෙන්නෙ එයාගෙ කෙටි නව කතාවකින්. Stephen King මහත්මයගෙ පරිකල්පනය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. Green Mile, Shawshank Redemption, The Shining වගේ සිනමාව ඇතුළෙ සම්භාවනීය චිත්‍රපටි වල ඉඳලා Secret Window, It, The Mist, 1408, In the tall grass, The Monkey, Doctor Sleep වගේ චිත්‍රපටි ලයිස්තුවක්ම Stephen King ලියපු කතා මුල් කරගෙන නිර්මාණය වෙලා තියනව. අනෙක් හේතුව Mike Flanagan. මේ චිත්‍රපටියෙ තිර රචනාව සහ අධ්‍යක්ෂණය කරන්නෙ Mike. මෑත කාලෙදි කතා බහට ලක්වුණු horror/ thriller ගණෙයෙ රූපවාහිනී නාටක වුණු The Haunting of Hill House, Midnight Mass, The Fall of the House of Ushser කියන්නෙ Mike Flanagan ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු ඒව. මේ දෙන්නම මින් පෙර කරල තියෙන නිර්මාණ දැක්කම මේකත් අමුතුම වැඩක් නොවුණොත් තමා පුදුම. අවසාන වශයෙන් The Life of Chuck කියන්නෙ මම බලපු වෙනස්ම සහ අමතක නොවෙනම සිනමා අත්දැකීමක් දුන්න චිත්‍රපටියක් බව කියන්නම්.




Wednesday, August 27, 2025

Sorry, Baby (2025)

 හැම හොඳ ප්‍රබන්ධයකින්ම කරන්නෙ අපිට අමතක නොවෙන චරිතයක් මුණගස්වන එක. නවකතාවකින් හරි කෙටි කතාවකින් හරි චිත්‍රපටියකින් හරි වෙන්නේ මෙහෙම එක චරිතයක් මතු කරලා අරගෙන එයාගේ විශේෂතා වගේම දුර්වලකම් එක්ක එයා ගේ සපත්තුවට බැහැලා ඇවිදන් යන්න ඉඩ සලස්වන එක. එයාගේ ඇස් දෙකෙන් ලෝකය දැකලා ඒ සිතුවිලි වලට එබීබලන්න දොරක් විවර කරලා දෙන එක. පොඩ්ඩක් හිතන්න ඇල්බෙයා කැමූ පිටස්තරයා නොලීවා නම් මාර්සෝ කෙනෙක්ව අපි දන්නෙ නෑ. මාර්කේස් කොළරා කාලේ ආලේ නොලීවා නම් ෆ්ලොරෙන්තිනෝ සහ ෆර්මිනා කෙනෙක්ව අපි දන්නෙ නෑ. කොනත් ඩොයිල් මහත්මයා රහස් පරීක්ෂක කතා නොලීවා නම් ෂර්ලොක් හෝම්ස් කෙනෙක් ගැන අපි අහලවත් නෑ. ඔය කාරණාව සිනමාවටත් පොදුයි. අපි බලන චිත්‍රපටි ඇතුලේ නොයෙක් චරිත අපිට මුණගැහෙනවා. සමහර චරිතවල තියන ගතිගුණාංගයන් එක්ක අපි ටිකක් වැඩිපුර අනන්‍ය වෙනවා. සමහර අයගෙ පෙනුම, හිතන පතන විදිහ වගේ දේවල් එක්ක අපි ටිකක් වැඩිපුර ඒ අය එක්ක බැඳෙනවා. 2025 අවුරුද්දට අදාළව එහෙම කෙනෙක් මට මුණගස්වපු චිත්‍රපටියක් ගැනයි මේ කියන්නෙ.

එයාගෙ නම ඇග්නස්. ඇග්නස් මට හමුවෙන්නෙ මේ අවුරුද්දෙ ආව Sorry, baby චිත්‍රපටියෙන්. ඇග්නස් ගේ චරිතය රචනා වෙන්නෙ, රඟදක්වන්නෙ, අධ්‍යක්ෂණය වෙන්නෙ එකම ගැහැනියක අතින්. Eva Victor ඇගේ නම. ඇමරිකානු රංගන පාසලක අධ්‍යාපනය ලබලා සිනමාවට පිවිසෙන Eva ගේ කුළුඳුල් සිනමා රචනය සහ අධ්‍යක්ෂණය තමා Sorry, baby. මේ කතාව ලියන්න ඇයට මුල් වෙන්නෙ එයාම මුහුණදීපු එක් අත්දැකීමක් බවයි කියවෙන්නෙ. එහෙම බැලුවාම ඇග්නස් කියන්නෙ මුළුමණින් Eva ගේ ප්‍රතිනිර්මාණයක්. ඇගේම ආත්ම ප්‍රකාශනයක්.


ඇග්නස් කියන්නෙ කවුද? එයා මොනවද කරන්නෙ? ඇග්නස් ගේ ජීවිතේ වෙනස් අවධීන් තුනකුයි මේ චිත්‍රපටියෙන් අපිට දැකගන්න ලැබෙන්නෙ. ඈ ඉංග්‍රීසි සාහිත්‍ය විෂයය ඉගෙන ගන්නා ශිෂ්‍යාවක් ව ගෙවුණ අවධිය, එම විශ්ව විද්‍යාලයේම සාහිත්‍යය පිළිබඳ ආචාර්‍යවරියක් බවට පත්ව සිටින අවධිය සහ ඒ අතර සංක්‍රාන්ති සමයක්ව ගෙවුණ යුගය. වතාවක් ඇය ජීවිතේ එක්තරා අප්‍රසන්න අත්දැකීමකට මුහුණ දෙනවා. මේ අප්‍රසන්න දෙය සිදුවෙන්නෙ ඈ ප්‍රිය කරන කෙනෙක් අතින්. මේ සිදුවීම ඇයට ජීවිතේ පුරා දිගුකාලීනව බලපෑම් කරන ක්ෂිතිමය අත්දැකීමක් (Trauma) බවට පත්වෙනවා. ක්ෂිතිමය ඇත්දැකීමක් නැත්නම් Trauma එකක් කියන්නෙ යම් පීඩාකාරී සහ අප්‍රසන්න සිදුවීමකට ප්‍රතිචාර විදිහට ඇතිවෙන හැඟීම් සමූහයක්, මනෝභාවයක්. සමහර විට මේක ශාරීරිකව සිද්දවෙන්නත් පුලුවන්. Trauma එක්කට මුල්වෙන්නෙ කෙනෙක් මුහුණ දෙන ප්‍රචණ්ඩකාරී සිදුවීමක්, අපයෝජනයක්, නොසලකා හැරීමක් වැනි තනි සිදුවීමක් නැති නම් සිදුවීම් මාලාවක්. මේ සිදුවීම නිසා ඇති වෙන බිය, අනාරක්ෂිත බව, අපහසුතාව දිගුකාලීනව මනස ඇතුලේ පවතිනවා. ඇග්නස් එවැනි තත්වයකටයි පත්වෙන්නෙ. නමුත් වැදගත් කාරණේ මෙන්න මේක. ඇග්නස් තමන්ගෙ පීඩනය තමන් ඇතුළෙම විඳ දරාගෙන තමන් සුවපත් වෙන්න උත්සාහ කරනවා මිස නැවත ලෝකයට පීඩාවක් වෙන්නෙ නැහැ. ඇතුළෙන්ම බිඳවැටුණු මිනිස්සු එක්ක වැඩකරන්න ගොඩක් වෙලාවට අපහසුයි. මොකද ඇතුළාන්තය අඳුරින් පිරුණු අය වටේ නිතරම පවතිනව යම් අඳුරක්. නමුත් ඇග්නස් ඒ තැනට වැටෙන්නෙ නෑ. ඇය මේ අඳුර ආලෝකයක් බවට පෙරළා ගන්නව. මම දකින ඇගේ විශේෂත්වය තමයි ඒක. ඒ වගේ ම මං හිතනව යහපත් මිතුරු ඇසුරත් ඇයට මෙතනදි බලපෑමක් කරනව කියලා. මූණට හිනා වෙලා නැති තැන දොස් කියන, වැරදිම හොයන මිතුරු වෙසින් එන සතුරන් වගේම ඉඳහිටක ඇවිත් උණුහුමක් දීලා යන කෙනෙක්, ඕනෑම දෙයක් බෙදාහදා ගත හැකි එකම විදිහට හිතන පතන මිතුරියක්, උදව් ඕනැ මොහොතක ලඟට ඇවිත් සහනයක් සැනසීමක් දීලා යන අහඹු මනුස්සයෙක්, ඇග්නස් ගේ ජීවිතේ මේ අය ඉන්නවා. ඇතුළාන්ත සුවපත් වීමකට මෙවැනි අය ගොඩක් වැදගත්.


Sorry, Baby චිත්‍රපටිය එක්ක සිනමාවට තවත් අලුත් වීරවරියක් ඇවිත් ඉන්නා බව නිවේදනය කරනවා. ඇය තමා Eva Victor. තිර රචනාව ලියලා ඒක අධ්‍යක්ෂණය කරන ගමන් තමන්ම ප්‍රධාන චරිතයත් රඟපාන එක ලේසි වැඩක් නෙමේ ඇත්තට. නමුත් මෙතනදි ඈ ඒ අභියෝගය සාර්ථකව ජය ගන්නවා. අධ්‍යක්ෂණය ගැන අත්දැකීමක් ලබාගන්න ඈ I saw the TV glow චිත්‍රපටියෙ දර්ශන තලයෙ හිටිය බව කියනවා. කොහොමින් හරි Eva ගෙ පළවෙනි වැඩෙ එයාගෙ ඊළඟ වැඩක් එන තුරු බලා ඉන්න සලස්වනවා. 2020 දි Nomadland හැදුව Cloe Zaho, 2017 දි Lady Bird හැදුව Greta Gerwig, 2023 Past Live හැදුව Celine Song වගේ මතක හිටින නිර්මාණ හරහා එළිදකින අධ්‍යක්ෂ වරියන්, නැතිනම් මෑත කාලීනව සිනමාවට ඇවිත් ඉන්නා කැපීපෙන තරුණ ගැහැනුන් අතරට Eva ගේ නමත් ඇතුළත් කරන්න දෙවරක් හිතන්න ඕන නැහැ.




Friday, August 1, 2025

Materialist (2025)

විවාහය කියන්නෙ කොයි අතින් බැලුවත් හරි අපූරු දෙයක්. ඔයා තමන්ගෙ සහකාරයට විශ්වාසවන්ත වෙනවා, දුකේදිත් සැපේදිත් එයා ළඟින්ම ඉන්නවා කියලා ප්‍රසිද්ධියේම කියලා කොලේකත් අත්සන් කරලා පටන් ගන්න එකම සම්බන්ධකම ඒක විතරයි. වෙන කිසිම බැඳීමක් ඇතුළේ අනෙකා සම්බන්දයෙන් මේ වගේ දෙයක් ලිඛිතව සිද්ද වෙන්නෙ නැහැ. ඔයා මගේ යාළුවෙක් වෙන්නේ ඔයාට උදව් ඕන වෙලාවට මම ඔයාගෙ ළග ඉන්නවා, මිනිස්සු ඔයාට හිනා වෙද්දී ඔයත් මාත් එක්ක එකතුවෙලා මාත් උන්ට හිනාවෙනවාය කියලා කොලේක අත්සන් කරලා නෙමේ. නැත්නම් ඔයාව මම යාළුවෙක් විදිහට තෝරගන්නෙ ඔයාගෙ රස්සාව මොකක්ද, මාසෙ පඩිය කීයද, පදින වාහනේ සෙකන් හෑන්ඩ් ද, ගෙදර කාමරේ ඇටෑච් බාත්රූම් තියනවද කියලා හොයලා නෙමේ. නමුත් ප්‍රේම සම්බන්ධ කම්, යාළු මිත්‍රකම්, නොයෙක් හිතවත් කම් මේවා ඇතුළේ යම් අප්‍රකාශිත ගිවිසුම්ගත වීමක්, එකඟතාවක් තියනවා. ඒවා කොහේවත් ලියලා නැහැ. අපි ඒ බැඳීම්වලට අවංකයි නම් වචනෙන් ප්‍රකාශ නොවෙන මේ එකඟතාවන් කොන්දේසි විරහිතව අපි පවත්වාගෙන යනවා. ඒ වගේ මිත්‍ර සම්බන්ධකමක් ජීවිතේ ඇතුලේ ඇති වෙන්නේ නිරායාසයෙන්මයි. කෙනෙකුගේ අදහස් සිතුම් පැතුම් අපිට සමීපව දැනෙනවා නම්, ඒ පුද්ගලයා එක්ක අදහස් හුවමාරු කරගන්න එක පහසුවක් නම් ස්වභාවයෙන්ම ඒ වගේ දෙන්නෙක් අතරේ කිට්ටු හිතවත්කමක් ඇතිවෙනවා. මේ සම්බන්ධකම් ජීවිතේ ඇතුළේ කොයිතරම් දුරක් යනවද කියන දේ තීරණය වෙන්නේ අර අප්‍රකාශිත ගිවිසුම කොයිතරම් දුරට මේ අය සපුරාලනවද කියන දේ උඩ තමා. නමුත් විවාහය කියන තැනට ආවම, ඉතිහාසය ඇතුළේ විවාහය කියන එක සමාජ චාරිත්‍රයක් බවට පත්වෙනකොට එතෙක් වචනෙන් ප්‍රකාශ නොවුණු එකඟතාවක් විදිහට පැවතිච්ච මේ විවාහය ඇතුළට ලිඛිත ගිවිසුම් ගත වීම අනිවාර්ය අංගයක් විදිහට එකතු වෙන්න ඇති. 2025 ආව Materialist චිත්‍රපටිය පටන්ගන්නේ විවාහයේ මේ ඉතිහාසගත පසුබිම ගැන පොඩි ඉඟියක් ලබා දීලා. මේ Film එක නූතන සමාජේ මිනිස්සු භෞතික ජීවිතේ ගොඩනගාගන්න තරගෙට දුවන අතරේ විවාහ වෙන්න කෙනෙක් හොයාගැනීම කියන ප්‍රශ්නේ විසඳාගන්නෙ කොහොමද කියන කාරණේ මුල් කරගෙන හැදුන එකක් බව මං හිතනවා.

කසාද බඳින්නෙ ඇයි කියන ප්‍රශ්නෙට අවධානෙ යොමුකළොත් මේකට නොයෙක් අය ගාව නොයෙක් විදිහෙ උත්තර දෙන්න පුලුවන්. වයසට ගියාම වතුර ටිකක් හරි දෙන්න කෙනෙක් ඉන්න ඕන හින්ද, ලස්සනට ඇඳල ලොකු වෙඩින් එකක් ගන්න ආස හින්ද, අම්ම තාත්ත කියන හින්ද වගේ තැනක ඉඳන් කවුරු හරි කෙනෙකුට ආදරේ හින්ද සහ ඒ ආදරේ මනුස්සයා එක්ක හැමදාම ළඟින් ඉන්න ලැබෙන හින්ද කියන තැන දක්වා පරාසයක උත්තර ඒ අතර තියේවි. සමහර විට කෙනෙකු ගාව ඔය ප්‍රශ්නෙට හරි උත්තරයක් නැති වෙන්නත් පුලුවන්. නමුත් තමන් කසාද බඳින්න හොයන්නෙ කොයිවගේ කෙනෙක්ද, නැත්නම් තමන් කවද හරි බඳින කෙනා ගාව තියෙන්න ඕන කොයි වගේ දේවල්ද කියල හොයල බැලුවොත් මම හිතන්නෙ වැඩි දෙනෙකුට මේ ගැන අදහසක් තියනවා. අඩි හයක් උස, හම සුදු පාට, බඩ තිබීම හෝ නැති වීම, කෙට්ටුවීම, අධ්‍යාපන සුදුසුකම්, රස්සාව.. ඔය වගේ දේවල් ඒ අතර තියනව. ඉතින් ගොඩක් අය බලාපොරොත්තු වෙන්නෙ ඔය හැමදේකින්ම සියල් සපිරි කෙනෙක්ව හොයාගන්න එක තමා. සමහර වෙලාවට එහෙම හොයලා හොයලා ජීවිතේ තරුණ කාලෙ එහෙම හොයමින්ම ගෙවලා දාපු අයත් ඉන්නවා. ඕක ජීවිතේටම එකපාරක් ගන්න බලාපොරොත්තු වෙන තීරණයක් නෙ ඉතින් හොයන්නෙ නැතිව බැහැ තමා. ඔය ප්‍රශ්නෙ දිහා වෙනත් මානයකින් බැලුවොත් මම හිතන්නෙ ඔය කෙනා හොයාගන්න ඒක පහසුවක් වේවි කියලා. හිතන්න හෙට දවසෙ ඉඳන් ආයෙ මැරෙනකම්ම ජීවත්වෙන්න ඕන එක මනුස්සයෙක් එක්ක. ඉතින් එහෙම ජීවිතේ ගෙනියන්න නම් ඒ මනුස්සය කොයි වගේ කෙනෙක් වෙනව නම් ද වඩාත් හොඳ?


කසාද බඳින්න කෙනෙක් හොයනවා කියන්නෙ ජීවිතේටම බලපාන ලොකු තෝරාගැනීමක් හින්දා එතනදි කෙනෙකුට ගැළපෙන කෙනෙක් හොයාගන්න උදව්වෙන එක වෘත්තීයක් විදිහට කරන කට්ටියක් ඉන්නවා. ලංකාවෙ අපි මේකට කියන්නෙ මගුල් කපුකම කියල, ඇමරිකාවෙ නම් ඕකට කියන්නෙ matchmaking කියලා. මේ matchmakers ලා ගාව එයාලගෙ සේවා දායකයින්ගෙ විස්තර ඇතුළත් තොරතුරු ගොනුවක් තියනවා. ඉතින් මට ජීවිත සහකාරයෙක් හොයාගන්න ඕන නම් කරන්න තියෙන්නෙ ඊට අදාළ මුදලක් ගෙවලා මගෙ විස්තර ටික matchmaker කෙනෙකුට දෙන එක. එයාලා එතකොට මම බලාපොරොත්තු වෙන විදිහෙ ගතිගුණාංග තියන කෙනෙක් මගෙ කැමැත්ත අකමැත්ත අනුව තෝරගෙන අපි අතරේ date එකක් සංවිධානය කරනවා. එතනදි මාත් මට එයාල තෝරාදෙන සහකාරයත් එකිනෙකා ගැන දක්වන්නෙ කොයිවගේ ආකල්පයක්ද, ඒ කියන්නෙ පළමු හමුවීමෙන්ම සරලවම එයා ගැන මගේ මොකක් හැරි කැමැත්තක් ඇති වෙලා තියනවද කියන දේ ගැන හොයා බලනවා. එතින් එහෙම දෙයක් තියනව නම් මේ දැන හැඳුනුම්කම ඉදිරියට පවත්වගෙන යන්න මට පුලුවන්. Matchmaker ලා එතනදි අපි ලබන සාර්ථකත්වය ගැන අවධානයෙන් ඉන්නවා. කොහොම හරි මේ හමුවීම අවසානයෙදි විවාහයෙන් කෙළවර වෙන බවට සහතික වීමයි Matchmaker ගෙ රාජකාරිය. 


Lucy කියන්නෙ මේ වගේ Matchmaker කෙනෙක් විදිහට වැඩකරන ගෑනු ලමයෙක්. අනික් අයට කසාද බඳින්න උදව් කළාට Lucy තාමත් තනිකඩයි. පොඩ්ඩක් ඉන්න... ලුසී වගේ ලස්සන හැඩ ගෑනු ළමයෙක් (ලුසී ගෙ චරිතෙ කරන Dakota Johnson මාරම ලස්සනයි මට නම් මේ ෆිල්ම් එක ඇතුළෙ) ඔච්චර කාලයක් තනිකඩව ඉඳීවි කියල හිතන්න පුලුවන් ද.. ඇත්තටම එහෙම බැහැනෙ..  මේ පෝස්ටර් එකෙන් පෙන්නුම් කරන ආකාරයට Lucy ගේ ලෝකේ පෙම්වතුන් දෙන්නෙක් අතරේ දෝලනය වෙන එකක්.


පළමු වැන්නා, John හෙවත් දුප්පත් අසරණ තරුණයා. John තමා Lucy ගෙ පළමු ප්‍රේමවන්තයා. Lucy මැච්මේකිං පටන් ගන්න කලින් නිළියෙක් විදිහට වැඩ කරලා අසාර්ථක වුණු කෙනෙක්. John ඉන්නෙත් ඒ බෝට්ටුවෙ මයි. මම කියන්නෙ රඟපෑම කියන එක ජීවිතේ ලොකුම හීනයක් කරගෙන අන්තිමේ හරිහමන් වැඩකුත් නැතුව අතේ සතේ නැති ගාණට වැටිලා නමුත් රඟපෑමේ හීනය අත නොහැර සිටින්නන් ගේ බෝට්ටුවෙ... John ගෙ මේ ආකල්ප හින්දා Lucy රඟපෑමත් John වත් මේ දෙකම එකපාර අතහැර දමලා යනවා. නමුත් ජීවිතේ වෙනස්ම කාල රේඛාවක දි John සහ Lucy ආයෙමත් එකිනෙකා මුණගැහෙනවා. 


ඊළඟට දෙවැන්නා, සියල් සපිරි Harry. හැරී ට Lucy ව මුණ ගැහෙන්නෙ Lucy ගේ වෘත්තීය ජීවිතේ වැදගත් තැනකදි, ඒ කියන්නෙ wedding එකකදි. Harry ට අවශ්‍ය විවාහ වෙන්න කෙනෙක් හොයා ගන්න. Harry ඒකට උදව් පතන්නෙ Lucy ගෙන්. ඒක වෘත්තීමය උදව්වක් වුණත් Lucy තේරුම් ගන්නවා Harry කියන්නෙ කෙනෙකුට කලාතුරකින් මුණගැහෙන ජාතියේ දුර්ලභ පිරිමියෙකු බව. ඒකට හේතුව Harry කියන්නෙ කිසිම දේකින් අඩුවක් පාඩුවක් නැති පුද්ගලයෙක්. Harry එන්නෙම සල්ලිකාර පවුලකින්. සල්ලි පැත්තෙන් එයා ඉන්නෙ ඉහළම උඩම තැනක. එතකොට අනික් පැත්ත. මනුස්ස පැත්ත? උතුරන්න සල්ලි තියන පසුබිමකින් එන ගොඩක් මිනිස්සුන්ගෙ මනුස්ස ගති ගුණාංග අඩුයි, ලොකුකම වැඩියි, මෝඩයි... ඒත් පුදුමෙකට Harry ට නම් ඔය දුර්ගුණාංග එකක්වත් පිහිටලා නෑ. Harry බොහොම කාරුණිකයි, විනයගරුකයි, කඩවසම්, බුද්ධිමත්, උගත්.. පිරිමියෙකුට තියෙන්න ඕන හොඳ ගුණාංග ඔක්කොම කියන්න.. Harry ගාව ඒ හැම දේම තියන බව සහතිකයි. ඉතින් එහෙම පිරිමියෙක් බඳින්න කෙනෙක් හොයන්න තමන් ගාවට එද්දි ඒ මනුස්සයව තෝරා නොගෙන ඉන්න Lucy ට හේතුවක් තියෙන්න විදිහක් නෑ. 


Lucy, Harry සහ John කියන තුන්දෙනා අපිට මුණගැහෙන්න 2025 අවුරුද්දෙ ආව Materialists චිත්‍රපටිය ඇතුළෙ. මේකෙ අධ්‍යක්ෂණය සහ තිර රචනාව 2023 අවුරුද්දෙ ආව Past Lives නිර්මාණය කළ Celine Song ගෙ. Past Lives කියන්නෙ ඒ අවුරුද්දෙ විතරක් නෙවෙයි, බලන්න ලැබෙන හොඳම වර්ගයෙ Romantic චිත්‍රපටියක්. Materialists කියන්නෙ Celine Song ගේ දෙවනි වැඩේ. පළවෙනි චිත්‍රපටියෙන් ගොඩනගාගත්ත සාර්ථකත්වය දෙවනි චිත්‍රපටියටත් ඈ අරගෙන්න එන්න සමත්වෙලා තියනව මට අනුව නම්. Romantic Drama එකක් විදිහට මේක කිසිම කම්මැලි කමක් නැතුව බලා ඉන්න පුළුවන් ලස්සන, සුන්දර Feel Good වර්ගයේ චිත්‍රපටියක්. අනිත් දේ මේක ප්‍රේමය සහ විවාහය මූලික කරගත්ත මනුස්ස සම්බන්ධ කම් ගැන හිතට දැනෙන්න කතා කරනවා. මිනිස්සු කොයිතරම් සර්ව සම්පූර්ණ වෙන්න උත්සාහ කළත්, කසාද බඳින්න කොයිතරම් සම්පූර්ණ කෙනෙක්ව හෙව්වත් අවසානෙ කවුරුවත් මේ පරිපූර්ණත්ව ලබා ගන්නෙ නෑ. එහෙම පරිපූර්ණ සහකාරයෙක්ව කවදාවත් කාටවත් ලැබෙන්නෙත් නෑ. මොකද මිනිස්සු ගාව අනිවාර්යයෙන්ම අඩුපාඩු තියනව. එහෙම නැති කෙනෙක් ඉන්න විදිහක් නෑ. ඉතින් එහෙම අඩුපාඩු තියන කෙනෙකුට මුලිනුත් කිව්වා වගේ සැපේදිත් දුකේදිත් වෙනසක් නැතිව එකට ඉන්නවා කියලා ලිඛිතවම පොරොන්දු වෙලා ජීවිතේම බාරදෙන්නෙ කොහොමද?? අඩුපාඩුකම් මනුස්ස දුර්වලකම් තියන දෙන්නෙක් දුක සැප බෙදාගෙන එකට ජීවිතේ ගෙනියන්නෙ කොහොමද?? නූතන විවාහය කියන කාරණේට ආවම, Materialist චිත්‍රපටිය එක අතකට මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාග්නන දරලා තියන උත්සාහයක්. 


මුලින්ම කිව්වා වගේ Dakota Johnson ගේ ආකර්ශණීය බව චිත්‍රපයටියෙන් ඇස් එළියට ගන්න නොහිතෙන්න බලපෑව ප්‍රධාන සාධකයක්. ඊළගට Chris Evans කැප්ටන් ඇමරිකා චරිතෙන් මිදිලා මේ වගේ චිත්‍රපටිවලිනුත් දැකගන්න ලැබීම සතුටක්. අනික Pedro Pascal මේ දවස්වල ටිකක් දකින්න ලැබෙනවා වැඩි දෝ කියල හිතෙන තරමට නිතර පේන මුණක් බවට පත්වෙලා තියනව වුණත් මේකේ Harry ගේ චරිතයට බොහොම හොදින් Pedro ව ගැළපෙනවා කියලා හිතෙනවා. අවසානෙට, මේ අවුරුද්දට අදාළව දැනට ආව හොදම වැඩක් තමා Materialists කියන්නේ.




Saturday, June 21, 2025

ඇමරිකානු විරාගය - Detachment (2011)

 මාටින් වික්‍රමසිංහ මහත්මයා විරාගය නවකතාව රචනා කරන්නේ අරවින්ද ජයසේන නම් චරිතය මූලික කරගෙන. අරවින්ද බාහිර ලෝකයට සම්බන්ධ දේවල් වලට ඒ තරම් උනන්දු නැති කෙනෙක්. තමන්ගේ ඇතුළු ආත්මයටම බර වුණු හිතක් තියෙන නිහඬ හුදෙකලා දිවිපෙවෙතක් ඇති අමුතු චරිතයක්. අරවින්ද කියන නමම ඔහුගේ පැවැත්ම ගැන ප්‍රබලව සංකේතවත් කරනවා. අරවින්ද කියන්නේ නෙළුමට, නෙළුම මඩෙන් ඉපදුණත් මඩෙන් සාරය උරාගෙන මඩේ නොගෑවී සුවඳම පතුරුවනවා මිස තමන් දූෂිත බවට පත් වෙන්නෙ නෑ. සමානකම් වගේම අසමාන වෙන තැන් තිබුණත්, අරවින්ද වැනි විරාගික තරුණයෙක් වෙන Henry Barthes නම් චරිතය මුල් කරගෙනයි 2011 අවුරුද්දේ Detachment චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. අරවින්ද ටත් හෙන්රි බාත් ටත් පොදු සාධකයක් තිබුණා, ඒ තමා Detachment. 


Detachment කියන්නේ වචනාර්ථයෙන් ගත්තම Attachment වල විරුද්ධ පැත්ත. එනම් වෙන්වීම්, ඈත් වීම, නොබැඳී සිටීම. දාර්ශනික වශයෙන් Detachment යනුවෙන් හැඳින්වෙන්නේ ලෞකික වස්තු, මිනිස්සු, ගැහැනු නැත්නම් ලෝකයට විෂය වෙන කාරණා වලට තදින් නොඇලී පැවතීමට. බටහිර ප්‍රධාන වශයෙන් stoic දර්ශනයේදි සරල අල්පේච්ඡ දිවි පැවැත්ම ගැන කතා කරනවා. සරල නමුත් විනයානුකූල සහ අර්ථවත් ජීවිතය සතුට සැනසුම ළඟා කරදෙන බවට stoic දර්ශනයේ ඉගැන්වෙනවා. පසුව බටහිර බිහිවී ලෝකයේ ප්‍රචලිත වුණු කිතුණු දහමේත් මේ අදහස් අන්තර්ගත වෙනවා. පෙරදිග ප්‍රධාන දාර්ශනික ප්‍රවාහයන් වෙන හින්දු දහම, තාවෝවාදය සහ බුදු දහමේත් මේ නොඇලුණු ජීවිතයක වටිනා කම කියා දෙනවා. විශේෂයෙන් බුද්ධ දර්ශනයෙදී තවත් ගැඹුරට මේ කාරණා විග්‍රහ කරමින්, සියළු දුකට හේතු වන භවය සකස් වීමට මුල් හේතුව විදිහට උපාදානය (Attachment) හෙවත් ලෞකිකත්වයට ඇති තෘෂ්ණාව බව බුදුන් වහන්සේ කියා දෙනවා. බුදු දහමට අනුව පරම විමුක්තිය එනම් නිර්වාණය ලබා ගැනීමේ මාර්ගය වැටිලා තියෙන්නෙ තෘෂ්ණාවෙන් මිදීම හරහා බවයි බුදුන් දේශනා කරන්නෙ.


Detachment චිත්‍රපටියේ එන Henry Barthes අතිරේක ගුරුවරයෙක් විදිහට රැකියාවක් කරන කෙනෙක්. එතනදිත් නිරූපිත වෙන්නේ ඔහුගේ අනිස්ථිර ජීවිත පැවැත්මයි. ඔහු කලින් කලට විවිධ පාසල් වල ගුරුවරුන් පුරප්පාඩු වන විට කෙටි කාල සීමාවකට ඉගැන්වීමේ කටයුතු කරනවා. චිත්‍රපටියේ දැකගන්න ලැබෙන ආකාරයට ඔහුට ස්ථිර වාසස්ථානයක් නැහැ. ඔහු උගන්වන්නේ ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍ය. Detachment චිත්‍රපටියෙන් දැකගන්න ලැබෙන්නේ මේ විදිහට එක පාසලක මාසයක වගේ කාලයක ගුරුවරයෙකු විදිහට වැඩ කරද්දී Henry Barthes මුහුණ දෙන්න සිද්දවෙන අත්දැකීම්. මුල පටන් අග දක්වාම චිත්‍රපටිය නිමැවිලා තියෙන්නේ මහා සංවේගදායක සිදුවීම් මාලාවකින්. Henry Barthes ඒ සියළු දේ මැද පවතිනවා. සමහර විට ජීවිතේ අතහරින්න දහසක් හේතු තිබුණත් ඔහු නොවැටී ඉන්නවා. බාහිර ලෝකයේ තියෙන පීඩාව විසකුරු විදිහට නැවත ලෝකයට මුදාහරින්නෙක් වෙනවා වෙනුවට ඔහු ඒ සියලු දේ විඳ දරා ගෙන ජීවත් වෙනවා. 


චිත්‍රපටිය ඇතුළෙදී එක අතකින් ධනවාදය සහ තරඟකාරී බව මුල්කරගත්ත ඇමරිකානු සංස්කෘතියේ තියෙන හිස්කම සහ වල්මත් වුණු තාරුණ්‍ය අපි දකිනවා. Henry ට උගන්වන්න ලැබෙන පන්තියේ ශිෂ්‍යයින් සාහිත්‍ය ඉගෙන ගන්නා පිරිසක් වුණත් ඒ අය දිහා බැලුවාම පෙනෙන්නේ අදාළ විෂයට තියා කිසිම විදිහක දැනුමක් ලබාගන්න උනන්දුවක් නැති කාණ්ඩයක් විදිහට. ඔවුන්ට අනෙකා ගැන කිසිම සහකම්පනයක් ඇති බවක් පෙනෙන්නේත් නැහැ. ගුරුවරයෙකු ගැන ගරුත්වක් ඔවුන් ළඟ නැහැ. ශිෂ්‍යයන්ට තියෙන අසීමිත නිදහස සහ අයිතිවාසිකම් නිසා ඔවුන්ගේ වරදකටවත් එරෙහි වෙන්නෙ ගුරුවරුන්ට හැකියාවක් නැහැ. විශේෂයෙන් ඇමරිකානු 'තුවක්කු සංස්කෘතිය" මේ පාසල් දරුදැරියන්ට කරලා තියෙන්නෙ ලොකු විනාසයක්. මේ ශිෂ්‍යයන් අතින් Henry සෑහෙන පීඩාවකට පත්වෙනවා. මෙහෙම තැනකදී ඔහු කියන එක දෙබසක් ඇස් දෙකට කඳුළු ගේන තරම් ප්‍රබලයි.


"I dont' have any feelings you can hurt, ok?"


මේ ළමයින් අතරන් මෙරිඩිත් කියන ගැහැනු ළමයා විශේෂ කෙනෙක්. ඇය අනෙක් ළමයි වගේ හොහික්මුණු චරිතයක් නොවෙයි. ඇය ඉතාම සංවේදී කෙනෙක්. මෙරිඩිත්ගේ ආශාව තියෙන්නේ සිතුවම් සහ ඡායාරූපවලට. නමුත් ඇගේ දෙමාපියන් ඇගේ මේ කුසලතාවන් තේරුම් ගන්නේ නෑ. ඇය කරන්නේ තේරුමක් නැති චිත්‍ර ඇඳිල්ලක් සහ ෆොටෝගැහිල්ලක් බව කියමින් ඇගේ පියා ඈට බැණවදිනවා. මෙය මෙරිඩිත්ව සෑහෙන වේදනාවට පත් කරනවා. සමහර ගතනුගතික දෙමව්පියන් වගේ ඇගේ අම්මටත් තාත්තාටත් වැඩක් ඇති දේවල් විදිහට පෙනෙන්නේ සමහර විට හොද මුදලක් ලැබෙන සමාජේ ලොකු තැනක වැජඹෙන්න පුළුවන් සුදු කරපටි රස්සාවල් පමණක් වෙන්න ඇති. උපත්තියෙන් හොඳ කලා කුසලතාවක් ලැබිලා නමුත් ඔහොම හිතන දෙමාපිය යුවළකගේ දරුවෙක් වෙනවා කියන්නේ ලොකු වේදනාවක් තමයි.


අනෙක් අතින් Henry Barthes තමන්ගේ පන්ති කාමරේ ඉන්නා බහුතර ශිෂ්‍යයන්ට සාපේක්ෂව කොයිතරම් වෙනස්ද කියන කාරණේ පිළිබිඹු වෙනවා. කලිනුත් සඳහන් කළා වගේ මුළු සමාජයක්ම මුදල් පස්සේ තරඟෙට වගේ හතිදාගෙන දිව්වත් Henry ඒ කිසි දෙයක නොඇලී නොගැටී ජීවිතය පවත්වාගෙන යනවා. ගුරුවරයෙක් විදිහට ඔහු කරන්නෙ දරුවන්ට අදාළ විෂය කියා දීලා ජීවිතය සම්බන්ධයෙනුත් නිසි මගපෙන්වන්නෙකු වීම මිස ගුරුකම ඔහුට හුදෙක් තමන්ගේ පුද්ගලික ලාභය දියුණු කර ගැනීමේ මාර්ගයක් නොවෙයි. චිත්‍රපටියෙ තැනින් තැන නිරාවරණය වෙන Henry ගේ ආත්ම කථනයන් ඇතුළෙ ඔහු කියනවා මේ තරුණ ළමයි ගැන වැඩිහිටියන් වශයෙන් ඔවුන්ට තියන වගකීම ගැන. ඒ අතින් Henry කියන්නේ පරමාදර්ශී ගුරු චරිතයක් විදිහට නම් කළ හැකි කෙනෙක්. මේක Henry Barthes අරවින්දගෙන් වෙනස් වෙන එක තැනක්. අරවින්ද තමන් ඇතුළටම හැරුණු චරිතයක් වුණත් Henry ගුරුවරයෙක් විදිහට යම් සමාජ වගකීමක් අරන් වැඩ කරන කෙනෙක්.


Henry විවාහ වුණු කෙනෙකුත් නොවෙයි. ලස්සන සුදු (ලංකාවට අනුව) ගෑනු ළමයෙක්ව කසාද බැඳගෙන, දරුවෙක් දෙන්නෙක් හදලා, වාහනයක් අරන් ගෙයකුත් හදලා ලොකු රස්සාවක් කරගෙන ඉන්න පුළුවන්නම් ඒක තමා මනුස්සයෙකුට ලබන්න පුළුවන් දියුණුව කියලා සමාජෙන් මිනිස්සුන්ගේ ඔළුවලට දාන අච්චුවෙන්, විශේෂයෙන්ම දියුණු වීමේ "ඇමරිකානු සිහිනයෙන්", ගැලවිලා තමන් විශ්වාස කරන යම් අරුතක් වෙනුවෙන් ජීවත්වන කෙනෙක් මේ Henry. ඔහුගේ ජීවිතය ඇතුළේ තියන ආදරය කියන්නේ විවාහය කියන රාමුව ඉක්මවා පවතින පැවැත්මක්. Henry මහමග හමුවෙන ළාබාල වීදි ගණිකාවක් තමන්ගේ ගෙදර ගෙනත් නවත්වාගෙන ඇයව රැකබලා ගන්නවා. නමුත් දවසක ඇයට ඔහුව හැරයන්න වෙන බව ඔහු දන්නවා. මේ ආදරය සතුටු දායක අවසානයකින් කෙළවර නොවෙන බව දැන දැන ම ඇගෙන් කිසිමාකාරයේ අයුතු ප්‍රයෝජනයක් නොගෙන ඔහු ඇයට ආදරය කරනවා. 


Henry Barthes නොබැඳි චරිතයක් වුණත් දෙමව්පියන් සහ පවුල කියන තැනදී ඔහු අසරණ වෙනවා. Henry ගේ පියා කුඩා කාලෙම Henry වත් Henry ගේ අම්මාවත් හැර යනවා. Henry ගේ අම්මාත් ඒ ඉක්මණින්ම දිවිනසා ගන්නවා. Henry ට අවසානෙ ඉතිරි වෙන්නේ සීයා පමණයි. වයසට ගිහින් අබල දුබල වුණු සීයාව සත්කාරක මධ්‍යස්ථානයක නවත්වන්න Henry ට සිද්ධවෙලා තියනවා. නමුත් එතනදිත් සීයාට හරි හමන් සාත්තුවක් ලැබෙන්නෙ නෑ. Henryට සීයා සම්බන්ධව ඒ හැර වෙන කරන්න දෙයකුත් නැහැ. දෙමව්පියන් දෙන්නාම නැතිව ලෝකයේ තනිවුණු මුල් ගැලවුණු ළමා වියක් ගත කරන්න සිද්ධ වීම සමහර විට ඔහුව මේ වගේ ලෞකිකත්වයට තදින් නොඇලුණු චරිතයක් බවට පත් කරන්න ඇති. 


නිතරම දුක් මුසු බව තැවරිච්ච ඇස්දෙකකින් ලෝකය දිහා බලා ඉන්න හෙන්රි බාත් නම් කෙට්ටු කෙසඟ තරුණ ගුරුවරයා ගෙ චරිතය රඟපාන්නේ ගිය අවුරුද්දෙ Brutalist චිත්‍රපටිය වෙනුවෙන් හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත්ත Adrien Brody. Henry සහ Adrean කියන්නෙ දෙන්නෙක් නොවෙයි එක්කෙනෙක් කියා හිතෙන තරමට ඔහු මේ චරිතය ඇතුළේ ජීවමානයි. අවසානෙදි, එකවරක් හරි මේ මනුස්සයා වැළඳගන්න ඔබට හිතුණොත් මම පුදුම වෙන්නේ නෑ. සිනමා ලෝකය ඇතුළෙ මට මුණගැහුණ සදානුස්මරණීය චරිත අතරේ Henry Barthes ට තැනක් වෙන් වී ඇති බව නම් සහතික වශයෙන් කිවහැකියි.




Wednesday, June 18, 2025

කිසලොව්ස්කිගේ දසපණත හෙවත් Dekalog

 1980 දශකයේ දවසක පෝලන්තයේ එක්තරා නගරයක වීදියක් දිගේ ගමන්ගනිමින් උන්නේ එරටේ කීර්මත් සිනමාකරු ක්‍රිසිස්ටොෆ් කිසලොව්ස්කි (Krzysztof Kieślowski). ටික දුරක් යද්දී ඔහුට අහම්බෙන් වගේ මුණගැහෙන්නේ දන්නා හඳුනන කෙනෙකුව. ඒ තමන්ගේ සහායක තිර පිටපත් රචකයා විදිහට වැඩ කළ නීතීඥ ක්‍රිසිස්ටොෆ් පියෙසිවිච් (Krzysztof Piesiewicz). කිසලොව්ස්කිට පියෙසිවිච් මුලින්ම මුණගැහෙන්නේ ඔහුගේ මිත්‍රයෙකුගේ මාර්ගයෙන්, ඔහුගේ පෙර චිත්‍රපටියකට පෝලන්තයේ පවතින නීති පද්ධතිය ගැන තොරතුරු ලබාගැනීමේ උවමනාවකට. පසුව කිසලොව්ස්කිගේ චිත්‍රපටි ගණනාවකම සහායක පිටපත් රචකයා පියෙසිවිච් බවට පත්වීම දක්වා මේ දැන හැඳුනුම්කම දුරදිග යනවා. ඔහු ගැන සඳහන් කරද්දී, පියෙසිවිච් කියන්නේ ලේඛනයට වඩා කතාවේ දක්ෂයෙක් බවයි කිසලොව්ස්කි කියන්නෙ. පියෙසිවිච් ගේ අදහස් බොහෝවෙලාවට කිසලොව්ස්කිගේ සිනමා නිර්මාණ පෝෂණය කළා. ඇමරිකානු ජාතික මහා සිනමාකරු ස්ටැන්ලි කුබ්රික් මේ දෙදෙනාගෙ සිනමාත්මක සුසංයෝගය ගැන සඳහන් කරමින් කියන්නෙ මේ දෙදෙනාට "සරලවම යමක් ප්‍රකාශ කරනවට වඩා තමන්ගේ අදහසක් නාටකීය ස්වභාවයෙන් ප්‍රතිනිර්මාණය කිරීමෙ දුලබ කුසලතාව" ඇති බව.


පෝලන්තයේ පැවතුණු කොමියුනිස්ට් පාලනය 1980 දශකයේ ආරම්භයේ රටේ පනවා තිබුණ යුධ නීතිය ඉවත් කළ සමයි මේ වෙනකොට ගතවෙමින් තිබුණේ. රට පුරාම විශේෂයෙන් දේශපාලනිකව විරුද්ධ අදහස් දැරූ කණ්ඩායම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක වුණු අතර එදිනෙදා ජන ජීවිතය ඇද වැටෙමින් තිබුණේ පීඩාකාරී ස්වභාවයකට. යුධ නීතිය පැවතුණු යුගය නීතිවේදීන්ට වඩාත් වැඩ අධික කාල සීමාවක් බවට පත්වී තිබුණත් යුධ නීතිය ඉවත් කළ පසුව ඔවුන්ට වෘත්තිය වශයන් සෑහෙන ලිහිලක් ලැබුණ කාලසීමාවක් වුණා. සිනමාකරු කිසලොව්ස්කිට පියෙසිවිච් මුණ ගැහෙන්නෙ ඔන්න ඔය නීතිමය රාජකාරි අවම නිදහස් කාලසීමාවේ දි. පියෙසිවිච් සෑහෙන කල්පනාවක ගිලී උන්නු බව තමන්ට පෙනුණා යැයි පසුව ඒ ගැන සඳහන් කරද්දී කිසලොව්ස්කි කියනවා. මේ දෙදෙනාගෙ කතාබහ ඇදී යන අතරේ පියෙසිවිච්  එකවරම කිසලොව්ස්කිට මෙහෙම කතාවක් කියනවා. "කවුරු හරි දසපණත ගැන චිත්‍රපටියක් හදන්නම ඕන, මං හිතන්නෙ ඔයා තමා ඒකට සුදුසුම කෙනා." දසපණත නමින් හැඳින්වෙන්නේ බයිබලයේ පුරාණ ගිවිසුමට අනුව දෙවියන්වහන්සේ තමන් තෝරාගත්තු ජනතාව වුණු ඊශ්‍රායෙල් සෙනගට ලබා දුන්නු විනය නීති මාලාවකට.  


(බයිබලයේ සඳහන් ඊශ්‍රායලය සහ අද ඒ නමින් හැඳින්වෙන රට අතරේ වෙනසක් තියනව. බයිබලයේ ඊශ්‍රායෙල් කියන නම මුලින් භාවිත වෙන්නෙ ආබ්‍රහම් ගේ මුනුබුරෙකු වන ජාකොබ් වෙනුවෙන්. බයිබලයේ පැරණි ගිවිසුමට අනුව දෙවියන් ගැන දැඩි විශ්වාසයකින් ජීවත් ආබ්‍රහම් නම් පුද්ගලයාගේ පරම්පරාවෙන් තමන්ගේ පුත්‍රයා ලෝකයට ගැලවුම් කාරයෙකු විදිහට එවන බවට දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා. ආබ්‍රහම්ගේ මුණුබුරු ජාකොබ් දවසක් දේවදූතයන් සමග සටන් කර ජය ලැබූ නිසා "දෙවියන් සමග පොරබදා දිනූ තැනැත්තා" කියන අර්ථය ඇති ඊශ්‍රායල් යන නාමය ඔහු ලබනවා. ජාකොබ්ට පුත්‍රයන් 12 ක් ඉන්නවා. මේ අය ගෙන් හට ගන්න ගෝත්‍ර 12  ක සෙනග ඒ අනුව ඊශ්‍රයෙල් සෙනග විදිහට නම් ලබනවා. මිසරයේ පාරාවෝ රජුගෙ වහලුන් බවට පත් වෙන්නෙ මේ අය. පසුව මිසරයෙන් නිදහස ලබලා එන මේ සෙනග මැදපෙරදිග කලාපයේ කානාන් නම් දේශයෙදි සාවුල් නම් රජ කෙනෙක් යටතේ ඊශ්‍රායල් දේශය පිහිටුවනවා. පසුව පර්සියන්, රෝම, තුර්කි ආක්‍රමණ එක්ක මේ දේශයේ සීමාමායිම් බොඳවෙලා යනව. නූතන ඊශ්‍රායලය කියන්නෙ ලෝක යුද්ධ තත්ත්වයන් එක්ක අවතැන් වුණු ලොව පුරා සිටිනා යුදෙව් ජාතිකයන් ඒක රාශි කරමින් 1948 දි එක්සත් ජාතින් ගේ සංවිධානය පිහිටුවපු රාජ්‍යය.)


දෙවියන් ඊශ්‍රායල් සෙනගට දුන් නීති මාලාව කාරණා 10 කින් සමන්විත වෙනවා. දසපණත කියන යෙදුම එන්නේ ඒ අනුව. පියෙසිවිච්ගේ අදහස අපූරු එකක් බව කිසලොව්ස්කි ට දැනුණා. නමුත් දසපණත කිව්වාම බොහෝ දෙනා දන්න සහ ඒ වනවිටත් සිනමාවට නැගී තිබුණ ආගමික, ඓතිහාසික කතා පුවතක් ප්‍රතිනිර්මාණය කරනවා වෙනුවට ඔහුගේ මනස යොමු වුණේ වෙනත් මානයකට. 


80 දශකය කියන්නේ කලිනුත් සඳහන් කළා වගේ පෝලන්ත රාජ්‍යට සෑහෙන පීඩාකාරී කාල පරිච්ඡේදයක් බවට පත් වී තිබුණා. එරටේ පැවතුණු ඒකාධිපති වාමාංශික කොමියුනිස්ට් පාලනය සහ ආර්ථික අස්ථාවරභාවය නිසා පොලන්ත ජන ජීවිතය පත්වී තිබුණේ ව්‍යාකූල තත්ත්වයකට. බොහෝ දෙනා මේ රට අතහැර යමින් හිටියා, ආතතිය සහ බලාපොරොත්තු සුන්වුණු භාවය එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය අත්දැකීම බවට පත්වී තිබුණා. මෙන්න මෙවැනි පසුබිමක දී, දසපණතේ එක් එක් පණත ගැන වෙන වෙනම කෙටි චිත්‍රපටි 10ක් නිර්මාණය කළ යුතු බව කිසලොව්ස්කි කල්පනා කරනවා. (ජීවිතය සම්බන්ධයෙන් තමන්ට තිබෙන්නේ එය දුක්මුසු වේදනාකාරී යමක් ය කියන අසුබවාදී දැක්මක් බව කිසලොව්ස්කි කියා තිබෙනවා. තිත්ත කටුක ජීවිත යථාර්ථයන් බොහෝ විට ඔහුගේ සිනමා නිර්මාණවලින් පිළිබිඹු වෙන ආකාරයක් දැකගන්න ලැබෙනවා) නමුත් මුල පටන් ඔහු අදහස් කළේ කාලීන දේශපාලන හෙවණැල්ලෙන් මිදිලා ජීවිතය සම්බන්ධ ආත්මික පසුබිමක මේ චිත්‍රපටි 10 නිමවිය යුතු බව. එය පෝලන්තයට පමණක් නොවෙයි. සර්ව ලෝකවාසීන්ට තම ජීවිත අත්දැකීම සමග ඒකාත්මික විය හැකි ආකාරයෙන් නිර්මාණයවෙන විශ්වීය නිමැවුමක් බවට පත් විය යුතු වුණා. පසුව කිසලොව්ස්කි සහ පියෙසිවිච් අතර ඇතිවුණු දීර්ඝ සංවාද මාලාවක ප්‍රතිඵලයක් විදිහට දසපණතේ එක් එක් පණතට අදාළව පැයක ධාවන කාලයක් සහිත කෙටි චිත්‍රපටි දහයක පිටපත් ලියැවෙනවා. 1988 සහ 89 අවුරුදුවල පෝලන්ත රූපවාහිනියේ විකාශය වුණ, කොටස් 10 කින් සමන්විත Dekalog නම් කෙටි චිත්‍රපට මාලාව නිර්මාණය වෙන්නේ ඒ අනුව. Dekalog සිනමා ඉතිහාසයේ සම්භාවනීයම කලා කෘතියක් විදිහට අදටත් සැලකුම් ලබනවා.


දෙවියන්වහන්සේ ඊශ්‍රායෙල් ජනතාවට දසපණත දෙන සිද්ධිය අරගත්තාම මෙන්න මේ සිද්ධිය වෙන්නේ ඊශ්‍රායෙල් ජනතාවට අතිශය තීරණාත්මක වුණු කාලසීමාවක. කාලායන්තරයක් තිස්සේ මේ ඊශ්‍රායෙල්වරු ජීවත් වුණේ මිසරයේ, පාරාවෝ රජවරුන්ගේ වහලුන් විදිහට. දෙවියන් මෝසෙස් නම් පුද්ගලයා තෝරාගෙන ඔහුගේ නායකත්වය යටතේ ඊශ්‍රායෙල් වරුන්ව වහල් බවින් මුදාගෙන රතු මුහුදෙන් එතෙර කරවලා මිසර දේශයෙන් පිටමං වෙන්න අවස්ථාවක් හදලා දීලා ඔවුන්ට නිදහස ලබා දෙනවා. නිදහස ලබන ඊශ්‍රායෙල් සෙනග ඉන්පස්සෙදි පත්වෙන්නේ අයාලේ යන තත්ත්වෙකට. වහල් ජීවිතයක් ගතකිරීම එක්තරා ආකාරයකට පහසුයි. උදේ අවදි වුණ වෙලාවේ පටන් රෑ නින්දට යනකම්ම නියමිතව තිබෙන්නේ වහල් හිමියා නියම කරන වැඩ කොටස ඉටුකිරීම පමණයි. ඉන් එහාට අලුතෙන් හිතන්න යමක් නෑ. නමුත් නිදහස් මනුෂ්‍යයෙකුගේ ජීවිතය එහෙම නැහැ. තමන් ගැන වගේම අනුන් ගැනත් වගකීමක් ඔහුට තියනවා. තමන් ගේ ජීවිතය ස්වෝත්සාහයෙන්ම ඔහු ගොඩ නගා ගත යුතු වෙනවා. "මිනිසා නිදහස් අයෙකු වීමේ දණ්ඩනය ලබා ඇත" කියලා දාර්ශනික ෂෝන් පෝල් සාත්‍රේ කියන්නේ ඒ නිසා. වහල් බවින් නිදහස ලැබූ ඊශ්‍රායෙල් සෙනග සාදාචාරයෙන් පිරිහුණු පාපිෂ්ඨ ජන කොට්ඨාශයක් බවට පත්වෙනවා. මේ බව දකින දෙවියන්වහන්සේ ඔවුන් යම් විනය නීති මාලායක් යටතේ නැවත ගොඩනංවන අදහසිනුයි තම අතැඟල්ලෙන්ම ලියන පණත් දහයක් සීනයි කන්ද මුදුනේදි මෝසෙස්ට ලබා දෙන්නේ. වහල් බවින් නිදහස ලැබූ මේ ඊශ්‍රායෙල් සෙනග කියන්නේ වර්තමානයේදි ලෝක යුද්ධ දෙකක් පසු කරලා, රජුන් සහ රදළ සමාජ පංතියක් මුල්කරගත් වැඩවසම් සමාජ ආකෘතිය ඉක්මවලා, නූතනවාදය සහ පශ්චාත් නූතනවාදයෙනු ඉදිරියට ඇවිත් ඉපැරණි සම්ප්‍රදායන් බිද දමලා සෑම කෙනෙකුටම සම අයිතිය සහ නිදහස සහතික වන ප්‍රජාතාන්ත්‍රික සමාජයක ජීවත් වන ඔබ සහ මම විදිහට උපකල්පනය කරන්න පුළුවන්. එහෙනම් මේ නිදහස් නූතනත්වයත් එක්ක වඩාත් විපරීත වගේම සංකීර්ණ සමාජ පැවැත්මක් ඇතුළෙ අපි විසින් ගොඩනගාගත යුතු අර්ථාන්විත සහ සාරවත් ජීවිත පැවැත්ම තියෙන්නේ යම් ශික්ෂාවක් සහ විනයකට අනුගත ජීවන ක්‍රමයක් ඇතුළේ ද කියන පැනයට පිළිතුරු අපි වෙනම සොයා ගත යුතු යමක් වෙනවා. 


Dekalog කතා මාලාවේ හැම කතාවක්ම නිර්මාණය වෙන්නේ එකම මහල් නිවාස සංකීර්ණයක් මුල් කරගෙන. එක් එක් කතාවල අපි දකින්නේ වෙනස් චරිත. සමහර එකම චරිත කොටස් කිහිපයක නැවතත් අපි දකිනවා. (පොඩි කාලේ ආසාවෙන් "මායාබන්ධන" බැලුවානම් ඔබට මතක ඇති, ඒ කතාවේ "කොරියන්" ගේ චරිතය රගපෑ Krzysztof Kumor මේ Dekalog වල සුළු චරිතයකට පෙනී සිටිනවා.) තවත් එක චරිතයක් මේ කතා මාලාවේ කතා අටක පමණ ඔබට දැකගන්න ලැබෙනවා. ඔහු කිසිදෙයක් කියන්නේ නැහැ. ඔහු කරන එකම දේ බලාසිටීම පමණයි. නමුත් ඔහු බලා සිටින්නේ තරමක් දුක්මුසුව. ඔහු කවුදැයි කිසලොව්ස්කි ගෙන් කිහිප වතාවකම බොහෝ අය විමසා තිබෙනවා. නමුත් ඒ හැම විටම කිසලොව්ස්කි පිලිතුරු දෙන්නේ ඔහු කව්දැයි තමන් නොදන්නා බව. ඔහු මිනිස් සමාජය දිහා කලකිරීමෙන් බලා ඉන්නා එක්තරා ආකාරයක දේව දූතයෙක් වන්නට පුළුවන්. ඔහු සාතන්ගේ සහායකයෙක් වෙන්නත් පුළුවන්, නැතිනම් මිනිස් සමාජය දිහා හිස් බැල්මකින් බලා ඉන්නා තවත් එක මනුෂ්‍යයෙක් වන්නටත් පුළුවන්. සමහර විචාරකයින් පවසන්නේ ඔහුගෙන් නිරූපිත වෙන්නේ හුදු බැල්මක් පමණක් බව. එනම් අපේ ක්‍රියාවන් බොහෝ වෙලාවට තවත් කෙනෙකුගේ ඇසට අසුවෙනවා, නැත්නම් අපේම හෘද සාක්ෂිය අපි දිහා බලා ඉන්නවා. තමන් කරන කියන දේ ගැන අවසානේදි කාටත් ගැලවීමක් ලබන්න බෑ. මේ නමක් නැති චරිතයෙන් පිළිබිඹු වෙන්නේ එවැනි දෙයක් වෙන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. Dekalog කතාමාලාවේ 5 සහ 6 වන කතාංගයන් චිත්‍රපට විදිහට නැවත සංස්කරණය කරලා සිනමා ශාලාවල තිරගත කරන්න කිසලොව්ස්කි කටයුතු කළා. ඒ පිළිවෙලින් A Short Film About Killing සහ A Short Film About Love නම්වලින්. අලුතෙන් ක්ෂේත්‍රයට පිවිසුණු නවක අධ්‍යක්ෂකවරුන් දහ දෙනෙකු යොදවලා Dekalog කතා දහය නිර්මාණය කරන්න මුලින් සැලසුම් කෙරුණත් පිටපත් දහය දුටුවාම ඒවා දහයම තමන්ට අධ්‍යක්ෂණය කරන්න ඇතිවුණු ආශාව වළක්වාගන්න බැරිවුණු බව කිසලොව්ස්කි කියා තිබෙනවා. නමුත් කැමරා ශිල්පීන් දහ දෙනෙක් කොටස් දහය වෙනුවෙන් යොදාගෙන ඔවුන්ට අභිමත ආකාරයට මේ රෑප මාලාව ගොඩනගන්න තමා නිදහස දුන් බව ඔහු කියනවා. 


(Mild spoilers ahead... මින් ඉදිරියට තියෙන්නේ එකින් එක Dekalog කෙටි චිත්‍රපට දහය ගැන සාරාංශයක්. නොබැලූ කෙනෙකුට හැකි තරම් spoil නොවෙන ආකාරයට කෙටියෙන් සහ සංක්ශිප්තව එක් එක් කතාව සටහන් කර තැබීම පමණයි අරමුණ.)

.

.

.

.


බයිබලයේ සඳහන් දස පණතට අනුව කිසලොව්ස්කිගේ Dekalog කෙටි චිත්‍රපට මාලාවේ සංයුතිය සකස් වෙන්නේ මේ ආකාරයට. 


1. කොටස

බයිබලයට අනුව පණත - සැබෑවූ එකම දෙවියන්ට පමණක් වන්දනා කරව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - විද්‍යාව සහ ආගම අතර නොනිමි අරගලය.


කතා සාරාංශය - විද්‍යාඥයෙක් සහ ඉතාම ඉහළ බුද්ධියක් හිමි ඔහුගේ කුඩා පුත්‍රයා වටායි මේ පළමු කතාව නිර්මාණය වෙන්නේ. පියා තම පුත්‍රයාට පරිගණකයක් ලබා දෙනවා. පුතා තම හැකියාව මෙහෙයවලා කෘත්‍රීම බුද්ධියකින් ඕනෑම ගැටළුවකට විසඳුම් ලබා දෙන පරිඝණක වැඩසටහනක් නිර්මාණය කරනවා. නමුත් ජීවිතය සම්බන්ධයෙන් තීරණාත්මක ගැටළුවකට පරිගණක බුද්ධිය ආශ්‍රයෙන් විසඳුම් සොයන්නට යාමෙන් විශාල ඛේදවාචකයක් සිද්ධවෙනවා. ආගමක් විශ්වාස නොකළ විද්‍යාඥවර පියා අවසානේ පල්ලියේ අල්තාරය පාමුළ වැටිලා සිදුවුණු දේ ගැන දෙවියන්ට දොස් පවරනවා. දෙව් මැදුරේ තිබෙන මරියතුමියගේ පින්තූරය මතට ඉටිපන්දම් දියර වැටිලා ඈ හඬා වැළපෙන ආකාරයක් දිස්වෙනවා. මෙය ඉතාම විශිෂ්ඨ ආකාරයෙන් රූපගත කළ දර්ශනයක්. 


2. කොටස

බයිබලයට අනුව පණත - දෙවියන්ගේ ශ්‍රී නාමය ගැන බොරුවටවත් නිරන්තරයටවත් නොදිව්රව


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - යමෙකුගේ වචනයට සිදුකළ හැකි බලපෑම


Dekalog කතාමාලාවට පසුබිම් වෙන නිවාස සංකීර්ණයේ ඉන්නා එක කන්තාවක් මේ දෙවනි කතාවට මුල්වෙන්නේ. ඇගේ සැමියා බරපතළ විදිහට රෝගාතුර වෙලා රෝහල්ගතවයි ඉන්නේ. ඇය තවත් පෙම්වතෙක් ඇසුරු කරනවා. ඔහුගෙන් ඇයට දරුවෙක් ලැබෙන්න යනවා. රෝහලේදි ඇගේ සැමියාට ප්‍රතිකාර කරනා වෛද්‍යවරයා ඉන්නෙත් මේ නිවාස සංකීර්ණයේ ඇගේ නිවාසය කිට්ටුව. වෛද්‍යවරයා මුණගැහෙන්න යන කාන්තාව රෝගාතුරව ඉන්නා තමන්ගේ සැමියා එයින් මරණයට පත්වෙයිද නැත්නම් සහතිකවම ඔහුට ජීවත් වෙන්න හැකියාවක් තිබෙනවද කියන දේ වෛද්‍යවරයාගෙන් විමසනවා. සැමියා මියයනවා නම් දරුවාව හදාවඩා ගන්නත් ඔහු ජීවත් වෙනවා නම් දරුගැබ විනාශ කරදමන්නත් ඇයට අවශ්‍යයි. නමුත් අවංකවම වෛද්‍යවරයාට මේ ප්‍රශ්නයට ස්ථිර පිළිතුරක් දෙන්න බැහැ. කාන්තාවගේ සැමියා මියයන්න වගේම ජීවත් වෙන්නත් එක වගේම හැකියාව තිබෙනවා. වෛද්‍ය වරයාගෙන් ඉක්මණ් පිළිතුරක් ඇය බලාපොරොත්තු වෙනවා. මේ සංකීර්ණ තත්වය ඔහු විසඳාගන්න ආකාරය මේ කතාවෙන් පෙන්නුම් කෙරෙනවා.


3. කොටස

බයිබලයට අනුව පණත - ඉරුදිනත් ණය මංගල්‍ය දිනත් නිවාඩු වලංගු කරව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - සමහර විශේෂ කාලසීමාවන් (උදාහරණ - නත්තල..) විශ්ෂාකාරයෙන් අරුත්ගැන්වීම.


නත්තල්දා රාත්‍රිය කියන්නේ කොයි කවුරුත් තමන්ගේ පවුල එක්ක ගත කරන වෙලාවකට. පවුලේ හැම කෙනෙකුම එකතුවෙලා ප්‍රීතිමත්ව සමරන උත්සවාකාර මොහොතකට. නමුත් එක්තරා ටැක්සි රියදුරෙක්ට නම් එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඔහුගේ පැරණි පෙම්වතිය නත්තල් දා රෑ ඔහුව අමතන්නේ හදිස්සි කාරණාවකට ඔහුගෙන් උදව් ලබා ගන්න. ඉක්මණින් එන්න හිතලා ගෙදරට බොරුවක් කියලා එළියට එන ටැක්සි රියදුරාට මුහුණ දෙන්න සිද්ද වෙන්නේ අමුතු අත්දැකීමකට. නත්තල පසුබිමේ තියන් මිනිස් බැඳීම්වල වටිනාකම ගැන සහ අපි එකිනෙකාට එකිනෙකා කොයි තරම් අවශ්‍යද කියන කාරණේ ගැන මේ කොටසින් විස්තර කෙරෙනවා.


4. කොටස

බයිබලයට අනුව පණත - මව්පියන්ට සංග්‍ර්‍රහ කරව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - පවුල තුළ මානව සම්බන්ධතා


තමන්ගේ පියා එක්ක ජීවත් වන එක් තරුණ ගැහැනු ළමයෙක් මුල් කරගෙන මේ කොටස නිර්මාණය වෙන්නේ. ගැහැණු ළමයාගේ අම්මා එයා කුඩා කාලෙම මිය ගිහින්. රාජකාරි කටයුත්තකට තාත්තා දින කිහිපයකට රටින් බැහැරව යනවා. ඒ අතරේ තාත්තාගේ කාමරයේ තිබිලා මේ දියණියට හමුවෙනවා තමන්ගේ අම්මා මිය යන්න කලින් තමන්ට ලියූ ලියුමක්. නමුත් මේ ලියුම විවෘත කරන්න ඉල්ලා තිබෙන්නේ දවසක තාත්තාගේ මරණය සිදු වුණායින් පසුවයි. ගැහැණු ළමයා ලියුම විවෘත කරලා කියවා බලනවා. මේ ලියුම ඔවුන්ගේ ජීවිතවලට ලොකු බලපෑමක් කරන්න සමත්වෙනවා. 


5. කොටස - A Short Film About Killing

බයිබලයට අනුව පණත - ජීවිත විනාශ නොකරව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - අපරාධය සහ ඊට ලැබෙන දඩුවම.


අහේතුක ආකාරයෙන් දුෂ්ඨකම් කරන්න පෙළඹුණු තරුණයෙක්වයි මේ කතාවෙදි දැකගන්න ලැබෙන්නේ. එක් තැනකදී ඔහු අතින් තවත් මනුෂ්‍යයෙක් මිය යනවා. නීතිය ඉදිරියේ වරදකරු බවට පත්වන ඔහුට මරණීය දණ්ඩනය නියම වෙනවා. මේ නඩුවේදි ඔහු වෙනුවෙන් පෙනී ඉන්නේ ආධුනික නීතීඥවරයෙක්. මේ ඔහුගේත් පළමුවෙනි නඩුව. පළමු නඩුව පරාජය වීම සහ මනුශ්‍යයෙක්ට මරණ දණ්ඩනය දෙන ආකාරය බලාසිටින්න සිදුවීම ඔහුව දැඩිව පීඩාවට ලක්කරනවා. මේ කොටසේ මරණ දඬුවම දෙන අවස්ථාව රූපගත කරද්දී අදාළ නළුවන් සහ කාර්මික ශිල්පීන් පවා සෑහෙන අපහසුතාවට පත්වුණු බව කිසලොව්ස්කි කියනවා. මේ කොටස ඔහු නිර්මාණය කරන්නේ එක්තරා ආකාරයට එවකට පෝලන්තයේ ක්‍රියාත්මක වුණු මරණ දඬුවමට විරුද්ධව. දෛවෝපගත විදිහට මේ කොටස රූපවාහිනියෙන් විකාශය වෙන්නේ මරණ දඬුවම ලබා දීම කොයි තරම් සාධාරණද කියන කාරණය ගැන ප්‍රබල සංවාදයක් සමාජය තුළ ඇතිව තිබුණු මොහොතක. ඒ වසරේම පත්වන පෝලන්ත නව රජය මරණ දඬුවම ලබා දීම වසර 5 කට අත්හිටුවන්න තීරණය කරනවා. 


6. කොටස - A Short Film About Love

බයිබලයට අනුව පණත - කාමමිත්‍යාචාරය නොකරව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - ආදරය සහ ආශාව.


Dekalog මහල් නිවාස සංකීර්ණයේ ජීවත්වන තරුණයෙක් සහ මේ නිවාස පෙළට යාබදව ජීවත් වෙන තනිකඩ ගැහැනියක් මේ කතාවට මුල් වෙන්නේ. තරුණයා වැඩ කරන්නේ තැපැල් කන්තෝරුවක. දවසක් අහම්බෙන් දැකගන්න ලැබෙන මේ ගැහැනිය පිළිබද ආශාවක් තරුණයා ඇති කරගන්නවා. ඇයගේ නිවාසය තියෙන තැන දැනගන්න ඔහු දිනපතාම තමන්ගේ කාමරයේ ඉඳන් දුරදක්නයකින් ඇය දිහා බලා ඉන්න පටන් ගන්නවා. ඇයව දැකගැනීමේ ආශාවෙන්ම උපක්‍රමිකව ඇයව තැපැල් කන්තෝරුවට ගෙන්වා ගන්නවා. නමුත් දවසක් මේ තරුණයා තමන්ව ලුහුබඳින බව ගැහැනිය දැනගන්නවා. ඉන්පස්සේ ඔවුන්ගේ ජීවිතවලට මොකක් වේවිද... තරුණයා තුළ තිබුණේ ආශාවද? නැත්නම් ආදරය ද? ආදරය කියන්නේ ආශාවේම ස්වරූපයක් ද? හයවන Dekalog කතාපුවතින් මතුකරන්නේ මෙන්න මේ ප්‍රශ්න.


7. කොටස - 

බයිබලයට අනුව පණත - සොරකම් නොකරව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - තමන් ආශා කරන යමක් අයිති කරගන්න ඇති මිනිස් පෙළඹවීම.


පාසල් වයසෙදිම දුරදිග නොබලා කරගන්නා වරදක් නිසා මහල් නිවාසයේ ගැහැනු ලමයෙකුට දරුවෙක් ලබනවා. ගැහැනු ලමයා ගේ අම්මා විදුහල්පති කෙනෙක්. මේ සිද්ධියෙන් වෙන අවමානය වළක්වා ගන්න අම්මා මේ දරුවා තමන්ගේ බවට මවාපෑමක් කරලා තමන්ගේ දරුවෙක් විදිහට ලියාපදිංචි කරනවා. කාලයත් එක්ක දරුවා ලොකුමහත් වෙන්නේ තමන්ගේ ඇත්ත අම්මා තමන්ගේ සහෝදරිය බව සිතමිනුයි. නමුත් එක තැනකදී දරුවාගේ ඇත්ත අම්මාට දරුවාගේ අයිතිය මුළුමණින්ම තමන්ට ලබාගන්න උවමනා වෙනවා. ඇය දරුවා පැහැරගෙන යනවා. ඇත්තටම දරුවාගේ අම්මා වෙන්නේ කවුද?


8 කොටස -

බයිබලයට අනුව පණත - බොරු සාක්ෂි නොකියව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - සමහර වාතාවරණයන් වලදී ඇත්ත ප්‍රකාශ කරන්න ඇති දුෂ්කර බව.


දෙවන ලෝක යුද්ධය පෝලන්තයටත් දැඩිව බලපෑම් කළ බව අපි දන්නවා. නාසිවාදීන් පෝලන්තයේ යුදෙව්වන් හොය හොයා මරා දැමුව යුගයක් තිබුණා. ඒ කාලයේදී අම්මා තාත්තා අහිමි වුණ යුදෙව් දැරියකට පිහිට වෙන්නෙ එක්තරා කතෝලික යුවළකට අවස්ථාව ලැබෙනවා. ඔවුන්ට කරන්න තිබෙන්නේ මේ දරුවා යුදෙව් නොවෙයි කතෝලික බව ප්‍රකාශ කරන්න පමණයි. මුලින් ඔවුන් ඊට කැමති වුණත් අවසාන මොහොතේදි ආගමට බොරු කරන්න බැරි බව කියමින් මේ යුවළ මේ දැරිය ප්‍රතික්ෂේප කරනවා. නමුත් වෙනත් කෙනෙක් ඇගේ ජීවිතය ගලවා ගන්නවා. මේ සිද්ධියෙන් අවුරුදු පණහක් පමණ ගතවෙලා මේ දැරිය දැන් වැඩිමහල් ගැහැනියක් විදිහට තමන් ප්‍රතික්ෂේප කළ යුවළගෙන් දැනට ජීවතුන් අතර ඉන්නා ගැහැනිය මුණගැහෙනවා. 


9 කොටස -

බයිබලයට අනුව පණත - පරදාර ආලය නොකරව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - ලිංගික ඊර්ෂ්‍යාව සහ විශ්වාසවන්ත බව.


විවාහ වෙලා වසර ගණනක් ගතවුණු යුවළක් ගැනයි මේ කතාව නිර්මාණය වෙන්නේ. මේ ස්වාමි පුරුෂයා ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන්නෙක්. ඔහු මේ බව කියමින් තමන්ට අහිමි සතුට වෙනත් පුරුෂයෙකුගෙන් හෝ සොයාගන්නැයි තම බිරිඳට ප්‍රකාශ කරනවා. ඇය කියන්නේ තමන්ට එවැනි දෙයක් අනවශ්‍ය බවත් ඔහුගේ ආදරය පමණක් සෑහෙන බවත්. නමුත් ඔහු දැඩිව ඇය ගැන සැකයකින් පෙළෙනවා. ඇය ගැන රහසින් හොයාබලනවා. ඇය යම් තරුණයෙක් සමග මොකක් හෝ සම්බන්ධයක් රහසින් පවත්වන බව ඔහු සොයාගන්නවා. 


10 කොටස -

බයිබලයට අනුව පණත - අන්වස්තු ආශා නොකරව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - අධික තෘෂ්ණාව නිසා ඇතිවන විපත.


එක් මනුශ්‍යයෙක් තමන්ගේ වටිනාම වස්තුව තම පුතුන් දෙදෙනාට පවරලා මරණයට පත්වෙනවා. මේ වස්තුව මොකක්දැයි හොයාබලන පුත්‍ර දෙපළට දැනගන්න ලැබෙන්නේ මේ වස්තුව මුද්දර එකතුවක් බව. මුද්දර ගැන කිසි දැනුමක් නැතත් මේ ගැන වැඩි දුර විමසන පුත්‍ර දෙපළ දැනගන්නේ මේ මුද්දර ඉතාම දුර්ලභ ඒවා බවත් මේ මුද්දර එකතුවේ වටිනාකම හිතාගන්න බැරි තරම් විශාල මුදලක් වෙන බවත්. එතන පටන් මේ දෙන්නාගේ ජීවිත වල තියන සාමකාමී කම නැතිවෙලා යනවා. දෙන්නාගේ ලොකුම වැඩේ එතැන් පටන් මුද්දර ආරක්ෂා කරන එක. නමුත් අනවශ්‍ය තරම් තණ්හාව හැම තිස්සේම අරගෙන එන්නේ විනාසයක්ම තමයි.

.

.

.


ක්‍රිරිසිස්ටොෆ් කිසලොව්ස්කි කියන්නෙ බොහෝ කාලයක් ජීවත් විය යුතුව තිබුණු නිර්මාණකරුවෙක් වුණත් 1996 දී වයස 54 ක් වෙද්දී දිගුකලක් තිස්සෙ පෙළෙමින් සිටිය ස්වසන රෝගී තත්වය නිසා අකාලයේ ජීවිතයෙන් සමුගන්න ඔහුට සිද්ද වෙනවා. කිසලොව්ස්කි කියන්නෙ හරියට කොහේ හෝ දුර ඈත තරුවක ඉඳන් මේ පොළව දිහා බලා ඉඳලා ආව කෙනෙක් වගේ. පොළොවේ ජීවිතේ හැබෑම සත්‍යතාවන් කාව්‍යමය රූප මාලාවක සිතුවම් කරලා නැවතත් ඉක්මණින්ම ඒ තරු ලෝකය බලා නික්මී ගිය මුනිවරයෙක් වගෙයි ඔහු. Dekalog මේ මුනිවර සිනමාවේ අග්‍රතම ඵලයක් බව කිව්වොත් වරදක් නෑ.

.

.

මූලාශ්‍ර - Danusia Stok විසින් සංස්කරණය කළ Kieslowski on Kieslowski නම් කිසලොව්ස්කි චරිතාපදානයේ සිංහල පරිවර්තනය, "විශිෂ්ටය ක්‍රිෂිෂ්‍ටොෆ්" - පරිවර්තනය, දිලීප ජයකොඩි.