Monday, May 30, 2022

Frances Ha (2012)

 සමහරු ඉන්නව කොච්චර කිව්වත් හැදෙන්නෙ නෑ. හැමදාම ඔහොම ඉඳල පුලුවන්ද ඉතින් දැන්වත් හොඳ රස්සාවක් හොයාගෙන කසාදයක් බැඳල පිළිවලක් වුණොත් නේද හොඳ කියල තමන්ගෙ නෑදෑ හිතමිත්‍රයින් කොයිතරම් කිව්වට ඒ අයට නම් මේ දේවල් වගක් නෑ. ඇත්ත ඉතින්, ජීවත් වෙන්න නම් මොකක් හරි රස්සාවක් කරන්න ඕන තමයි. ආදරයක් ජීවිතේ ඇතුළෙ ලබන්න ඕන තමයි. ඒත් කවුරුත් කිව්ව පලියට ඒව ලැබෙනව ද. අපිට හීන නැද්ද.. හදවතින්ම සතුටින් කරන්න පුලුවන් දෙයක් නෙමේ ද ජීවිතේ ඇතුළෙ අපි තෝරගන්න ඕන. එහෙම නැතුව මොන දේ ලබා ගත්තත් වැඩක් තියනවද තමන්ගෙ ආත්මය පාවා දීල. හිතට එකඟව ඉන්න බැරි තැන් වල නතර වෙනවට වඩා මේ අපිළිවෙළ පිස්සු විකාර ජීවිතේ හොඳ නැද්ද....

ඔය විදිහට හිතන්න සහ ඒ අනුව ජීවිත්වෙන්න පුරුදු කරගත් අය වෙනම කාණ්ඩයක මනුස්ස කොට්ටාසයක් විදිහට තමා සාමාන්‍යයෙන් සමාජෙ සලකන්නෙ. නමුත් ටිකක් ආශ්‍රය කරබැලුවොත් ඔය ජීවිත ඇතුළෙ මතුපිට පේන්න තියන්න අවුල්සහගත බවට යටින් තියන සැබෑ මනුස්ස හදවත දැකගන්න ලැබේවි. Frances Ha චිත්‍රපටයත් ඒ වගේ ජීවිත විවරණයක් කිව්වොත් නිවැරැදියි. සාමාන්‍යයෙන් ඇමරිකානු සමාජෙ තරුණ තරුණියන් තමන්ට කියල දෙයක් කරගන්න පුලුවන් කමක් ලැබෙන්න පටන් ගන්නකොට දෙමව්පියන් අතහැරදාල තමන්ගෙම ජීවිතේ හොයාගෙන යනව. ෆ්‍රාන්සස් එහෙම නිදහස්කාමී ජීවිතයක් ගෙවන අවුරුදු විසි හතක තරුණියක්. ෆ්‍රාන්සස් එයාගෙ පොඩිකාලෙ ඉඳන් හොඳම යාලුව වුණු සොෆී එක්ක එක නවාතැන බෙදාහදාගෙන ජීවත් වෙන්නෙ. නිදහස්කාමී ජීවිතයක් වුණාට ඒ ජීවිතේ පහසු නෑ. ෆ්‍රාන්සස් ගෙ හීනය නාටිකාංගනාවක් වෙන්න. හරි හැටි වෘත්තීය තත්ත්වයක් ගොඩනගා ගන්න බැරි වුණොත් තියන ආර්ථික අමාරුකම් එක්ක ජීවිතේ පවත්වගෙන යන්න අපහසුයි. ෆ්‍රාන්සස් තවම තනිකඩයි. එයාගෙ යාලු මිත්‍රයින් හැමෝටම වගේ පෙම්වතුන් පෙම්වතියන් හිටිය වුණත් ෆ්‍රාන්සස්ට තමන්ගෙ මිතුරිය ඇරෙන්න වෙන ආදරයක් නැහැ. නිදහස් විනෝදකාමී චරිතයක් වුණත් ආදරය වගේ මාතෘකාවකදි ෆ්‍රාන්සස් සෑහෙන සංවේදී කෙනෙක්. ඇගේ මේ අපිළිවෙල ජීවිත රටාව Frances Ha චිත්‍රපටයට මුල් වෙන්නෙ.

Frances Ha කලු සුදු මාධ්‍යයෙන් නිර්මාණය කල සිනමාපටයක්. අධ්‍යක්ෂණය සහ තිරරචනාව Noah Baumbach ගෙ. 2019 ඔස්කාර් නිර්දේශ ලබපු සුප්‍රසිද්ධ Marriage Story චිත්‍රපටයත් ඔහුගේ නිර්මාණයක්. චිත්‍රපටය ඇතුළෙ වැඩියෙන්ම කැපිල පෙනෙම දේ තමා ෆ්‍රාන්සස් ගේ චරිතය. ෆ්‍රාන්සස් ගේ චරිතය රඟපාන්නෙ පහුකාලීනව Lady bird, Little women වගේ චිත්‍රපට නිර්මාණය කළ Greta Gerwig. Greta ඒ තරුණ සුන්දර රූපකාය තුළින් ෆ්‍රාන්සස්ව මතුකරගෙන තිබුණු ආකාරය නැරඹූ කෙනෙකුට නම් ලේසියෙන් අමතක නොවෙන යමක් වේවි. Frances Ha තිරපිටපත රචනා කරන්නෙ Noah සහ Greta එක්ව. ඒ වෙනකොටත් මේ දෙන්න විවාහයෙන් එකිනෙකා සමඟ බැඳී අවසන්. 

චිත්‍රපටයෙ තැනක ෆ්‍රාන්සස් ගෙන් කෙනෙක් අහනව ප්‍රේමසම්බන්ධකම් ගැන ඇගෙ අදහස. ඈ දෙන පිළිතුර ඇතුළෙ ඈ හදවතින්ම ආදරය කියල විශ්වාස කරන දේ මොකක්ද කියල නිරාවරණය වෙන බව මම හිතනව. මේ ඒ වචන පේළියෙ සරල පරිවර්තනය.

 "ඒක මෙන්න මෙහෙම දෙයක්. ඔයාට ඉන්නව කෙනෙක්. ඔයා එයාට ආදරෙයි සහ එයා ඒ බව දන්නව. එයත් ඔයාට ආදරෙයි සහ ඔයත් ඒ බව දන්නව. ඒත් හිතන්න. අපි ඉන්නෙ ලොකු සාදයක් මැද. ඔයාල දෙන්නම වෙන වෙන මිනිස්සුත් එක්ක කතා කරමින්, හිනාවෙමින් හරිම සතුටින් ඉන්නව. ඔයා කාමරේ අනෙක් පැත්ත බලපු ගමන් ඔයාගෙ ඇස් දෙකට අහුවෙනව ඒ ඇස් දෙක. ඒත් වෙන හේතුවක් නිසා නෙමේ ඔයා එහෙම බලන්නෙ. ඒ තමා ජීවිතේ ඔයාට නියමිත කෙනා. ඒක හරි විකාරයි ඒ වගේම දුකයි. අපේ කාලය ඉක්මනටම ඉවර වෙනව. ඒත් අපි විතරක් දන්න පුංචි ලෝකෙ පවතිනව කවුරුත් නොදැනම. ඒක හරියට අපි එක්ක වෙනත් සමාන්තර විශ්වයක් පවතිනව වගේ දෙයක්. බැඳීමක් ඇතුළෙ මට ඕන එහෙම දෙයක්. එහෙම මොකවත් නොවුණොත් මට, මේ ජීවිතේ නිකම්ම ඔහේ ගතවෙලා යාවි මම හිතන්නෙ"



Thursday, May 19, 2022

The Past (2013)

ජීවිතේ කියන්නෙම නොනවතින ප්‍රශ්න විසඳීමකට කිව්වොත් ඒක වරදක් නැතිවෙයි. යමක් තේරෙන්න පටන්ගන්නා වයසේ ඉඳන් මේ ලෝකය කියන්නෙ  වටහාගන්න බැරි ප්‍රෙහේලිකාවක් අපිට. මම හිතන්නෙ වයස ගියත් කවදාවත් සමහර දේවල් අපිට මුලුමනින්ම තේරුම්ගන්න බැහැ. සමහර වෙලාවට අපි කවදාකවත් ජීවිතේ ඇතුළෙ නිශ්චිත විසඳුමකට ලඟා වෙන්නෙ නෑ. මිනිස්සු ජීවිතය නම් පීඩාකාරී උගුලෙන් සදාකාලිකව ගැලවීම ලබන්න පුලුවන් මාර්ගයක් හොයාගෙන ගියේ ඒ හින්ද වෙන්න ඇති. කාලෙන් කාලෙට නොයෙක් ශස්තෲවරුන් ලෝකෙට බිහිවෙලා ලෝකෙට නොයෙක් ආකාරයෙ විමුක්ති මාර්ග දේශනා කලා. ඒ ආශ්‍රයෙන් ආගම් නිර්මාණය වුණා. දාර්ශනිකයන් නොයෙක් දර්ශන, මතවාද ලෝකෙට බිහි කලා. ජීවිතය නම් මේ අගක් මුලක් තැති පටලැවිල්ල ලෙහා ගන්න දරන උත්සාහයක ප්‍රතිඵල ඒ හැම දෙයක් ම. නමුත් මේ හැමදෙයක්ම අතර "ආදරය" ජීවිතේ ලොකුම අස්වැසුම, පීඩාවෙන් අත්මිදීමේ මාර්ගය විදිහට සලකන්න අපි පුරුදු වෙලා තියනව. බොහෝම වෙලාවට ආදරය එන්නෙ පුද්ගලයින් දෙදෙනෙක් අතරෙ ඇතිවෙන "බැඳීමක" ස්වරූපයෙන්. ඒ බැඳීම ඇතුළට පුද්ගලයන්ගෙ සිතුම් පැතුම් සමාජ ආර්ථික පසුබිම ඔය වැනි දේවල් නිරන්තරයෙන් බලපෑම් කරන එක සහ ඒ අතර මතභේදාත්මක ගැටුම් ඇතිවීම 
නිරායාසයෙන්ම සිදුවෙන දෙයක්. එවැනි මොහොතක "ආදරය" කියන මනුස්ස බැඳීම ඇතුළෙ වුණත් සහනදායි බව පලාගිහින් ජීවිතේ සුපුරුදු විෂමචක්‍රයට ආයෙම ඇදවැටුණු බවක් දැනෙන්න පටන් ගන්නව. ඇත්තටම මේක මෙන්න මෙහෙමයි කියල පහදල දෙන්න අපහසු සංකීර්ණ තත්ත්වයක්. Asgar Farhadi නම් සුප්‍රකට ඉරාන සිනමාකරුවගෙ The Past චිත්‍රපටයෙත්, කෙටියෙන්ම කිව්වොත්, දැකගන්න ලැබෙන්නෙ එවැනි තත්ත්වයක්.

ලෝක සිනමාව ගැන උනන්දු කෙනෙකුට ලේසියෙන් මග හැරෙන්නෙ නැති නමක් තමයි ෆර්හාඩි. අබ්බාස් කියරොස්තාමි වගේ මහා සිනමාකරුවෙකු ගෙන් පස්සෙ ඉරාන සිනමාවෙ "ජාත්‍යන්තර සළකුණ" වගේ හැඳින්වීමක් ලබන්න සුදුසු කෙනෙක් ඉන්නව  නම් ෆර්හාඩිම බව කිව්වොත් වරදක් නැති වේවි. මෑත කාලීනව ඉරානය ලෝක සිනමා ප්‍රේක්ෂකාගාරයට විවෘත කරන්න සමත් වුණු පුරෝගාමි චරිතයක් ඔහු. The Past කියන්නෙ එක් අතකින් ඉරානය අතික්‍රමණය කරන ජාත්‍යන්තර වැඩක්. එහෙම වෙන්නෙ ඔහු මේ චිත්‍රපටය නිර්මාණය කරන්නෙ ඉරානයෙන් බැහැරව ප්‍රංශය පසුබිම් කරගෙන වීම. චිත්‍රපටයෙත් බහුලව යොදාගන්නෙ ප්‍රංශ භාෂාව. ෆර්හාඩි මේ සිනමාපටය වෙනුවෙන්ම ප්‍රංශ භාෂාව ඉගෙනගෙන ඇති බව තමා සඳහන් වෙන්නෙ. ප්‍රංශයෙ පැරිස් අගනගරයෙ එදිනෙදා කාර්‍යබහුල දිනචර්‍යාවේ දුවන මිනිස් සමූහයක් මැද ඉරාන සම්භවයක් තියන කීපදෙනෙක් මේ කතාවට මුල් වෙන්නෙ.

ප්‍රංශයෙ පැරිස් නගරෙ ජීවත්වෙන මේරි දෙවතාවක් විවාහවුණු ගැහැනියක්. දෙවනි සැමියා අහමද් ඇගෙන් වෙන්වයි ජීවත් වෙන්නෙ. මේරිට අවශ්‍යවෙනව අහමද් සමග තියන විවාහ බැඳීම අවසන් කරන්න. ඊට එකඟ වෙන අහමද් දික්කසාදයට අවශ්‍ය ලියකියවිලි සකස්කරගන්න මේරි ගෙ නිවසට එනව. එතනදි අහමද් දැනගන්නව තුන්වෙනි පිරිමියෙකුත් මේරිගෙ ජීවිතේට ඇතුළුවෙලා කියල. ඒ නිසා මේරිගෙ නිවසෙ නතර වෙන්න ඔහු එතරම් කැමැත්තක් දක්වන්නෙ නෑ. මේරි ට ඉක්මණින්ම අහමද් ගෙන් දික්කසාද වෙන්න අවශ්‍ය වෙලා තියෙන්නෙ මේ තුන්වැන්නා වුණු සමීර් සමග විවාහ වෙන්න උවමනා නිසා. මේරි ගේත් සමීර්ගේත් කලින් විවාහ වල දරුවන් මේ අතරට මැදි වෙන්නෙ කතාව තවත් සංකීර්ණ කරමින්.

සෑහෙන ඉවසීමකින් නරඹන්න ඕන සියුම් චිත්‍රපටයක් වුණු The Past සිනමා නිර්මාණයෙ සංකේතාත්මක සිනමා භාෂාව හොඳ අවධානෙකින් නැරඹුවොත් ඔබට තේරුම් ගන්න පුලුවන් වේවි. ආරම්භයෙදි  ගුවන්තොටුපළේ ඉඳන් මේරි සහ අහමද් වාහනෙ එන තැන මේරි වාහනය reverse කරද්දි එය පිටුපස වාහනේක හැප්පෙන්න යනව. නැවත වාහනෙ ඉදිරියට ගමන් කරද්දි අර වාහනය පිටුපසින් එන බව පේනව. The Past, එහෙම නැත්නම් අතීතය කියන්නෙ ජීවිතේ කොයිතරම් ඉදිරියට යන්න හැදුවත් නිතර අපිව අතනොහැර අපත් සමඟම එන දෙයක් බවද මේ කියවෙන්නෙ? ඒ කාරණය විසඳාගැනීම චිත්‍රපටය නරඹන ඔබටම බාරයි.

******************************************

The Past (2013)

Directed by
Asghar Farhadi

Written by
Asghar Farhadi

Produced by
Alexandre Mallet-Guy

Starring
Bérénice Bejo
Tahar Rahim
Ali Mosaffa

Cinematography
Mahmoud Kalari

Countries
France
Italy
Iran



Wednesday, May 18, 2022

Mandela (2021)

අපේ රටේ දැනටත් ඉන්න එක දේශපාලකයෙක්ව කාලයක් හැඳිනුවෙ "ඡන්ද මැෂිම" කියන අනවර්ථ නාමයෙන්. "ඡන්ද" කියන්නෙ මේ දේශපාලන ක්‍රමය ඇතුලෙ මොනදේ වුණ්ත් අවසානෙ වැදගත් වෙන එකම දේ. Game of thrones නෙමේ මේක Game of Votes. දේශපාලකයෙක් කතා කළත්, එෆ්බී පෝස්ට් එකක් දැම්මත්, පාරක් විවෘත කළත්, ගොඩනැගිල්ලක් හැදුවත්, යුද්දයක් කළත්, පන්සල් ගියත් ඒ හැම දෙයකම අවසාන අර්ථය තමන්ගේ ඡන්ද පදනම නොනැසී පවත්වාගැනීම සහ පුලුවන් තරම් වැඩි දියුණු කර ගැනීම. මිනිස් ජීවිතයක් කියන්නෙ ඡන්දයකට ඌනනය වීම මේ ක්‍රමයෙ තියන ඛේදවාචකය තේරුම් ගන්න හොඳටම ප්‍රමාණවත්. දේශපාලනය කියන්නෙ අවසානෙදි බලය පිළිබඳ ක්‍රීඩාවක් බව සඳහන් කළොත් ඒක බොරුවක් නොවෙයි. පාලකයෙක් මොන අරමුණෙන් ක්‍රියා කළත් යමක් කරන්න නම් බලයක් ඕන තමා. නමුත් මිනිස්සු විදිහට අපේ ජීවිත පැවැත්ම මේ බල ව්‍යාපෘති ඇතුළෙ දරාගත නොහැකි තරමෙන් අවභාවිත වීමේ ප්‍රතිඵල තමයි අපේ රට අද මුහුණපල තියන ආර්ථික ආර්ථික අර්බුදයෙන් පිළිබිඹු වෙන්නෙ. ප්‍රජාතන්ත්‍රික ක්‍රමය ඇතුළෙ, රටක පාලනයට සුදුස්සන් තෝරාපත්කර ගැනීමේ පරමාධිපත්‍ය ඒ රට මහජනතාවට ලැබෙනකොට තමන් තෝරා පත් කරගත් පාලකයන් "පිස්සු නටන" මොහොතක ඔවුන් නිවැරදි කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ බලය සහ වගකීමත් අනෙක් අතෙන් මහජනතාවට නිසඟයෙන්ම උරුමවෙනව. අද ගෝල්ෆේස් එකේ සිද්දවෙන්නෙ අන්න ඒ දෙය. ගෝල්ෆේස් එක පමණක් නොවේ මේ මූලික අරමුණ එක්ක බැඳිල රටේ අනෙක් කලාප වලත් දියත් කරන අරගලවලින් සිද්දවෙන්නෙ ඒ දෙය. මේ පුරවැසියා සතු බලය ඔහු අනිවාර්යයෙන් වටහාගතයුතුයි. එක් අරමුණක් වෙනුවෙන් එකාවගේ එක්‍ රැස්වන පුරවැසි සමූහයකට අභියෝග කරන්න ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඇතුළෙ කිසිම ජගතෙකුට පුලුවන්කමක් නෑ. අද රටේ මුල් පුටු හොබවන්නන්ට එළියට එන්න බැරුව තැන් තැන් වල මුළුගැන්විලා ඉන්න සිද්දවෙලා තියෙන්නෙ අන්න ඒ පුරවැසි බලයට ඔවුන් බය හින්ද. ඇත්තටම රටේ බහුතරයක් පුරවැසියන් තවමත් තමන්ගෙ බලය තේරුම් අරගෙන නැත්නම් කණට දෙකක් දීල "මේ බලපන් උඹලට කරන්න පුලුවන් දේ" කියල පෙන්නල දෙන අපූරු චිත්‍රපටයක් Mandela කියන්නෙ. 

ඉන්දියාවත්, ලංකාවත් අපූරුවට සමාන වෙන තැනක් චිත්‍රපටය ඇතුළෙ ඔබට මුණගැහේවි. ග්‍රාමීයත්වය, නිසි අධ්‍යාපනයක් නොමැතිකම, තමන් ජිවත්වෙන්නෙ කොයිවගේ සමාජ දේශපාලන ක්‍රමයක් ඇතුළෙද කියල නොදන්නාකම වගේ කාරණා නිසා සමහර මිනිස් කණ්ඩායම් බොහෝම පහසුවෙන්ම දේශපාලන බල ව්‍යාපෘති ඇතුළෙ පාවිච්චියට ගන්න පුලුවන්. අපේ රටෙත් එහෙමයි. ගෝල්ෆේස් අරගල භූමියට පහරදෙන්න කොළඹට බස් වලින් අරන් ඇවිත් තිබුණෙ බහුතරය එහෙම කණ්ඩායමක්. තමන්ට ලැබෙන සහනාධාර කැපෙයි, කරදරවිඳින්න වෙයි කියන බයට සමහරු ඇවිත් තිබුණෙ. නැත්නම් තමන්ට මොකක් හෝ ආකාරයකට වාසි ලබාගන්න පුලුවන් වෙන කවුරුහෝ දේශපාලකයෙක් වෙනුවෙන් ගැතිකම් කිරීම දේශපාලනය බව ඔවුන් හිතන්නෙ. බත් පැකට් එකට රුපියල් පන්දහට ගේන්න පුලුවන් එහෙම සෙනගක්. වහල් දේශපාලනය සහ පුරවැසි දේශපාලනය වෙන් වෙන සීමා ඉර වැටෙන්නෙ එතනින්. පුරවැසියා පක්ෂයක් වෙනුවෙන් ගැතිකම් කරන්නෙක් නොවෙයි. පක්ෂ පාට කුමක් වුණත් දූෂිත දේශපාලනයට විරුද්ධව හිටගැනීම පුරවැසි දේශපාලනය. අයුක්තිය අසාධාරණය වෙනුවෙන් හඬ නැගීම පුරවැසි දේශපාලනය. ව්‍යවස්ථනුකූලවම ජනතාව වෙත පැවරී ඇති පරමාධිපත්‍ය ක්‍රියාත්මක වෙන්න ඕන අන්න එහෙම. ජනතාව ඒ වෙනුවෙන් පෙළගස්වන්න නම් සිදුවෙන්නෙ මොකක්ද සහ කළ යුත්තෙ මොකක්ද කියන දේ ගැන කතිකාවක් ඇතිවීම අත්‍යවශ්‍යයි. Mandela ඒ වෙනුවෙන් යොදාගන්න පුලුවන් හොඳ තෝරාගැනීමක්. චිත්‍රපටය ගැන වැඩි යමක් කියන්නෙ නෑ. දෙමළ චිත්‍රපට නරඹා තියන කෙනෙක් නම් ඒ රිද්මය ඔබ දන්නව. ඇත්තටම හිනා යන උපහාසයක් එක්ක කිසිම කම්මැලි කමකින් තොරව බලා ඉන්න පුලුවන් පැය දෙකක් බව සහතික වෙන්න පුලුවන්.

ගෝල්ෆේස් පිටියෙ ගෝටාගෝගම  චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න පුලුවන් ආකාරයෙ "Teargas cinema" නමින් ස්ථානයක් වෙන් කර ඇති බව දැනගන්න ලැබුණ. කවුරුහරි පුලුවන් කමක් තියනව නම් මේ චිත්‍රපටය එතැන ප්‍රදර්ශනය කරන්න. මේ චිත්‍රපටයෙ ඇතුළත් දේශපාලන කියවීම මේ මොහොතේ ඉතාම වැදගත්. පුලුවන් හැම කෙනෙක්ම මේ චිත්‍රපටය බලන්න. 

********************************************

Written & Directed by
Madonne Ashwin

Starring
Yogi Babu
Sheela Rajkumar

Cinematography
Vidhu Ayyanna

Music by
Bharath Sankar

Country of origin
India

Original language
Tamil

Distributor
Netflix





Tuesday, May 17, 2022

ආලෝකය වන්න ඔබ - The Buddha's Last Instruction

"ආලෝකය වන්න ඔබ"
පැවසූහ එතුමන්
පිරිනිවීමට මත්තෙන්...

සිතමි ඒ ගැන මම
හැම උදෑසනකම...
සිඳ බිඳ දමා මිහිදුම් පටල
ලා රත  සහ දම් පැහැති 
ඇතැම් විට හරිත වර්ණයෙන්
සිහින් එළි රේඛා විහිදුවන කල
පෙරඹර අහස...

වියපත්ව බොහෝසේ..
වැතිරී සල් වෘක්ෂ අතරෙහි
පවසන්න ඇත යමක් එතුමාණෝ
එළඹි බව දැන අවසන් මොහොත...

එළිය නික්මිණි පෙරදිගින්
රන් පැහැති කෙත් වතු මතින්...
එකල්හි දන්ව් වැසියෝ
බලා උන්නෝ රැස්වෙමින්
එතුමන් වදාරණ යමක්..
අසා සිටිනා රිසියෙන්..

බලා සිටිනෙමි මම..
වශීකෘත වූවකු ලෙස...
රන්වන් කිරණ සයුරේ
හිරු ගිලී මතු වී එන දෙස
ඝන නිල් පැහැති අහසේ
රැඳවෙනු පෙර...

ගෙවා නිම වීමට සපැමිණි
තමන් දුෂ්කර දිගු දිවි ගමන දෙස
යළි හැරී බලනට ඇත
නිසැකවම එතුමන් ද..

එකෙණෙහිම විඳිමි මම
සූර්‍යයෙකු මෙනැයි නැගෙනා
ඈත කඳු වළලු මත්තෙන්..
පහන් දහසක් දැල්වූ කලෙක මෙන්
නික්මුණි එළිය මා කෙරෙන්..
විඳිමි මම, යමක් සිදුවන බව මා තුළ...

සෙමෙන් ඒ තුරු සෙවණ යට
හිස ඔසවා හැරුණු එතුමෝ
බලා උන්නෝය සෙනඟ අතරේ
බියෙන් තැවෙනා මුහුණු දෙස...

- Mary Oliver




Friday, May 13, 2022

Sillu Karupatti (2019)

මිනිස්සු තමන් නිර්මාණය කරගත්ත භාෂාව ගැන කොයිතරම් ආඩම්බර වුණත් සමහර මිනිස් ගති ස්වභාවයන් නිර්වචනය කරගන්න තරම් ඒ භාෂාව පොහොසත් නෑ."ආදරය" කියන්නෙ එහෙම අපිට කවදාවත් කිසිම න්‍යාය ධර්මයකට යටත් කරගන්න බැරි මෙන්න මෙහෙමයි කියල නිශ්චිතව පැහැදිලි කරගන්න බැරි යමකට. හරියට හමායන හුළඟක් අතින් අල්ලල නතර කරන්න අපිට බැහැ වගේ අදරය කියන්නෙ මොකක්ද කියල ගැටලුවට නිශ්චිතව දෙන්න පුලුවන් පිළිතුරක් අපි ලඟ නැහැ. ඒ වෙනුවට නිදහසේ පාවී යන්න පටන් ගත්තම ඒ හුළඟට නතුවෙන්න ඉඩහැරියම සුළඟක සුවදායී බව ඇඟට දැනෙන්න පටන් ගන්නව. ආදරයත් ඒවගෙයි. මලක් වුණත් එහෙමනෙ. මලේ පෙති එකින් එක කඩල වෙන් කරල ඒව විෂ්ලේෂණය කරල ඒ මලේ සුවඳ විඳගන්න බැහැ. ඒ ආදරය නිර්වචනය කරගන්න අමාරු අපි ඒක අත්දකින ස්වභාවය අපේ ජීවිත අත්දැකීම ලෝකය ගැන අපේ දැක්ම වගේ කරුණු කාරණා ගොඩක් එක්ක බැඳිල තියන නිසා. මේ නිසා කෙනෙක් ආදරය අත්විඳින්නෙ තමන්ටම අනන්‍ය වුණු ක්‍රමයකට. අන්න එහෙම එකිනෙකට වෙනස් ජීවිත කතන්දර හතරක් ඇතුළෙ ආදරය පවතින්නෙ කොහොමද කියන දෙය පෙන්වාදෙන චිත්‍රපටයක් Sillu Karupatti.

දකුණු ඉන්දියානු සිනමාව ගත්තොත් දෙමළ, තෙළිඟු, කන්නඩ කියන්නෙ ක්‍රියාදාම පිරුණු රළු කඨෝර බවින් වැඩි චිත්‍රපට සහ මලයාලම් කියන්නෙ බොහෝම සෞන්දර්යාත්මක, ඇහැට කණට සනීප, යථාර්ථයට වඩා කිට්ටු චිත්‍රපට බවයි අපි පිළිගන්නෙ. නමුත් Sillu Karupatti දෙමළ සිනමාවෙ අපි හිතන මේ සීමාව ඉක්මවපු සොඳුරු බවින් පිරුණු සහ යථාර්ථවත් ගුණයෙන් යුතු සිනමා නිර්මාණයක්. Sillu Karupatti චිත්‍රපටයෙ ඇතුළත් වෙන්නෙ එකිනෙකට අසම්බන්ධිත කතා හතරක එකතුවක්. මේ ආකෘතිය හඳුන්වන්නෙ Anthology Cinema නමින්. සරලව කිව්වොත් කෙටි කතා පොතක වගේ කෙටි චිත්‍රපට හතරක් එකකට පසු එකක් සම්බන්ධ කිරීමෙන් මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. Sillu Karupatti නමේ අර්ථය "පැණි හකුරු". නමේ විදිහටම මේ පැණි හකුරු රසම රසයි.

චිත්‍රපටයෙ කතා හතර නම් වෙන්නෙ මේ විදිහට 

- Pink bag (රෝස පැහැති බෑගය)

- Kakka Kadi (කපුටු කෑම)

- Turtles (කැස්බෑවෝ)

- Hey Ammu (හේයි අම්මු)

එකිනෙකට වෙනස් කතා හතරක් වුණත් හැම කතාවක්ම නිර්මාණය කරල තියෙන්නෙ එක පොදු මානව ගුණාංගයක් මතු කෙරෙන විදිහට. ඒ තමා "ආදරය". නොයෙක් වයස් කාණ්ඩයන් ඇතුළෙ නොයෙක් සමාජ පරිසරයන් ඇතුළෙ ජීවිතේ ප්‍රශ්න ගැටලු එක්ක ආදරය කොහොමද පවතින්නෙ කියන දේ බොහෝම සිත්ගන්නාසුලු විදිහට මේ චිත්‍රපටයෙන් පෙන්වා දෙනව.

Sillu Karupatti අධ්‍යක්ෂණය සහ තිර රචනාව දමිළ සිනමාවෙ නවක සිනමාකාරියක් වෙන Halitha Shameem ගෙන්. අපූරුම කැමරාකරණයකින් වගේම හදවතට දැනෙන කණට ඉතාම ප්‍රිය සංගීතයකින් මේ චිත්‍රපටය හැඩවෙලා තියනව. රඟපෑමුත් ඒ වගේමයි. සමහර කෙටි දෙබස්, කුඩා සිදුවීම් ඇතුළෙ ජීවිතේ මහ ගැඹුරකට හිතන්න යමක් ඉතිරිකරන දෙනව. මුල පටන් අග දක්වාම හදවතට දැනෙන සනීපදායක බව චිත්‍රපටයෙ විශේෂම කාරණාවක්. හදවතටත්  බුද්ධියටත් එකවර අමතන මේ සිනමා නිර්මාණය ජීවිතේ ඇතුළෙ ඔබ මගහැර නොගතයුතු වර්ගයෙ එකක් බව කියමිනුයි මේ කෙටි සටහන නිමා කරන්නෙ.




Monday, May 9, 2022

Gangubhai Kathiawadi (2022)

ස්වභාවධර්මය සුවඳ කරන්නේ මල්. මේ මල් සුවඳට හැමෝම කැමතියි. අවමඟුලක් වුණත් අපායක් වුණත් ගණිකා මඩමක් වුණත් මලකට පුලුවන් එතන සුවඳ කරන්න. "ගණිකා මඩම" ඒ වචනෙත් එක්ක කියවන කෙනෙකුගෙ හිතට දැනෙන්නෙ අපුල දනවන හැඟීමක් වෙන්න ඉඩ තියනව. ඒක පුදුමයක් නැහැ. මොකද එහෙම තැනකට වැටුණු කෙනෙකුට ඉන්පස්සෙ නම් වෙන කොතනක වත් දොරක් ඇරෙන්නේ නැති බවයි මීට දශක කීපයකට කලින් වුණත් සමාජෙ තිබුණු පිලිගැනීම. කවුරු කොහොම හිතුවත් "ගණිකාව" කියන වචනෙ පිටිපස්සෙ ඉන්නෙ බොහොම වෙලාවට තමන්ගෙ කැමැත්ත නැතුව බලහත්කාරයෙන් ඒ තැනට ඇද දැමුව ගැහැනියක්. "ගණිකා වෘත්තීයෙ" නියැලෙන්න සිද්දවුණු පලියට ගණිකාවක් කියන්නෙ කිසිම අයිතිවාසිකමකට උරුකම් කියන්න බැරි සමාජයෙ හැම තැනකින්ම නින්දා අපහාස විඳින කෙනෙක් විය යුතු නැහැ. ගංගුබායි, ජීවිතේ එක් වැරැදීමක් නිසා ගණිකා මඩමකටම ඇද වැටුණු මේ ගැහැනිය තමන්ගෙ හඬ අවදිකරන්නෙ එදා ඉන්දියානු සමාජෙ මේ වෘත්තීය නිසා පීඩාවට පත් වුණු ගැහැනුන් හැමෝම වෙනුවෙන්. "ගණිකා මඩමකට කවදද මඟුල් පෙරහැරක් එන්නෙ" ඇත්තටම ඇයි ඔවුන් වෙනස්ම ජීවීන් කොටසක් විදිහට සැලකුම් ලබන්නෙ. ඇයි ගණිකාවකගෙ දරුවන් පාසල් වලින් බාරනොගන්නෙ, අධ්‍යාපනය ඔවුන්ට අකැප දෙයක් ද, අනෙක් අතට බලහත්කාරයෙන් එතනට ඇද දැමුවන් වෙනුවෙන් ඇයි යුක්තිය ඉෂ්ට නොවෙන්නෙ. ගංගුබායි අහන්නෙ ඒ ප්‍රශ්න.

ආලියා භාත් !! ඒ රඟපෑම කොයිතරම් විශිෂ්ඨද.. !! ඇගෙ හැම සියුම් ඉරියව්වකම ගංගුබායිම බවට ඈ රූපාන්තරණය වී තිබුණු ආකාරය කොයිතරම් අපූරුද!! මේ මොහොතේ බොලිවුඩයෙ නවක නිළි රැජින ඒ ආලියා මිස වෙන කවුද.. බන්සාලි ගේ සුපුරුදු classic සිනමාකරණයත් එක්ක ඉන්දියානු සමාජෙ එක් අඳුරු පැතිකඩක් නිරාවරණය කරන චිත්‍රපටයක් වගේම චරිතාපදානයක් විදිහටත් සෑහෙන හොද මට්ටමක තියන්න පුලුවන් සිනමා කෘතියක් මට නම් Gangubhai Kathiawadi.



Thursday, May 5, 2022

Untitled

රැළි නැඟෙන වැව් දිය මත්තෙන් හඳ එළිය වැටිල කැබලි කැබලි බිඳී යමින් යළිත් හැදෙමින් තිබුණ. වැව් දිය රත්තරන් පාට හඳ හෙවණැල්ලත් එක්ක සෙල්ලම් කරමින් ඉන්නවද? නැත්නම් හඳ එක ස්වරූපයකට අහසෙම ඉන්න කියල තවත් ස්වරූපයකින් ඇවිත් වැව් දියට පැන්නද? එහෙනම් අමාවක දවසට හඳ නෑවිත් හිටියම වැවට කොහොම දැනෙනව ද ඒක..ඒව අහසත් හඳත් දියරැළිත් පමණක් දන්න කතන්දර. හාත්පස ගිලිලා තිබ්බෙ මහාම නිස්සද්දතාවෙක. ගස් වැල් පවා බිඳකින් නොහෙල්ලුණු පුදුම නිස්සද්දකමක් ඒක. ඒත් ඒ නිහඬතාවය ඔහු හදිස්සියෙම බිඳ දැම්ම..


"මට සමාවෙන්න"

ඔහු කතා කළේ බිඳුණු ස්වරයකින් බව ඇයට වටහාගන්න අමාරු වුණේ නෑ.

"ඒ මොකද?"

"දන්නෙ නෑ... මට මහ අමුත්තක් දැනෙනව"

"ඒක වචනෙන් කියන්න අමාරු එකක් ද?"

"ඔව්....  මනුස්සයෙකුට දරාගෙන ඉන්න අමාරුම දේ තමා වරදකාරී බව කියන්නෙ.. කොච්චර කිව්වත් කියල ඉවර කරන්න පුලුවන් දෙයක් නොවෙයි ඒක"

ඇය තමන්ගෙ හිස ඔහුගෙ දිහාවට බරකරගත්ත. ඒ ඇසකින් ගලාගිය කඳුලක් ඔහුගෙ සීතල උරහිසේ තෙත පැල්ලමක් හැදුව.

"කඳුළු ?"

"ඔව්... කඳුළු"

"ඒ මොකද.. ?"

"හ්ම්ම්... කඳුළක් කියන්නෙ මහ විසාල හැඟීමකට. එක කඳුළු බින්දුවක් සාගරක තරම් ගැඹුරක් තියෙන්න පුලුවන්. සාගරෙත් ඒවගේ. නොයෙක් ගංගාවන් වලින් ගලාගෙන ආව මහ වතුර කඳකින් සාගරේ හැදෙන්නෙ. ඒත් සාගරේට වැටුණට පස්සෙ මේ තියෙන්නෙ අර ගඟේ වතුර.. මේ තියෙන්නෙ අනිත් ගඟේ වතුර කියල වෙන් කරන්න බෑ. කඳුළකුත් ඒ වගෙයි. ඒක වැටුණට පස්සෙ ඒක මතුවෙන්නෙ මෙන්න මෙතනින්.. ඒකෙ ඇතුළෙ හැංගිලා තියන හැඟීම් මෙන්න මේවයි කියල තෝරල බේරල ගන්න බෑ. .. සමහර වෙලාවට කාටවත් තේරුම් කරල දෙන්නත් බෑ"

"දිග දේශනාවක් නෙ"

"ඔව්.. ඒත් එකම එක දෙයක් විතරයි මට ඕන"

"මොකක් ද?"

"ඒ ඇයි කියල කවදාවත් අහන්න එපා... එච්චරයි."