Friday, February 26, 2021

Pieces of a woman (2020)

1990 වර්ෂයේ, මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් ඝාතනය කර තිබියදී සොයාගත් මොහොතේ ඔහුගේ මව මනෝරානි සරවනමුත්තු මහත්මිය කියා තිබුණා "දරුවෙක් අහිමිවීම නම් තමාට තමාවම අහිමිවීමක්" බව. මේ කාරණාව ඇයට පමණක් නොවෙයි, ලෝකවාසී අතිශ්‍ය බහුතරයක් වුණු මව්වරුනුත් පියවරුනුත් සම්බන්ධයෙන් සත්‍යයක් බවට පත්විය හැකි යමක්. විශේෂයෙන්ම මවකට, මොකද ඇය දරුවා මාස නමයක කාලයක් තමන්ගේ කුස තුළ දරා ඉන්න නිසා, දරුවා ඇගේම කොටසක් විදිහට ඇගේ සිරුර තුළ වර්ධනය වන නිසා, මවක් සහ දරුවෙක් අතර ඇතිවෙන සම්බන්ධතාව ලෝකයෙ අනෙක් සම්බන්ධතාවන්ට වඩා ප්‍රබලයි. මොකද කිසිම කෙනෙක් තවත් කෙනෙකුව තමන්ගෙ සිරුර තුල දරාගෙන නොඉන්න නිසා. එ වැනි බැඳීමක් ඇතිවෙනව නම් ඒ මව සහ දරුවා අතරෙම පමණයි. දරුවෙක් කොයිතරම් වයසින් වැඩිවියට පත්වුණත් මව සමග තිබෙන මේ අත්‍යන්ත සම්බන්ධය බිඳෙන්නෙ නෑ. දරුවෙක් නිතරම මවගේ ජීවිතයේ වැදගත් කොටසක් දරා ඉන්නව. දරුවා අහිමිවීම ඇයට තමාම අහිමි වීමක් වෙන්නෙ ඒ නිසා. විශේෂයෙන් උපන් මොහොතේම දරුවෙක් අහිමිවීම කියන්නෙ මවකට වගේම පියෙකුටත් තමන්ගේ මුලු ජීවිතයම අඳුරට ඇද දැමිය හැකි අතිශ්‍ය වේදනාකාරී අත්දැකීමක්. 

ජීවිතේ මේ දුක්බර අත්දැකීම ලැබූ එක් ගැහැනියක් තමන්ට මේ වේදනාවෙන් ගැලවිය හැකි මඟක් සොයා යනව. ඇය සොයාගන්න ගැලවීම නම් තමන්ගේ අත්දැකීම්, තමන්ගේ සිතිවිලි  ඒ ආකාරයෙන් ලියා තැබීම. ඇය නම් හංගේරියානු ජාතික පිටපත් රචිකාවක් වුණු Kata Wéber ඇගේ සැමියා නාට්‍යවේදියෙක් වගේම සිනමාකරුවෙක් වුණු Kornél Mundruczó. 

"මට දැනුණ මගෙ සිරුර තවදුරටත් මට අයිති නැති බව. මම ඇසුරු කරන හැම කෙනෙක්ම දරුවා අහිමිවීම ගැන ඒ අයගෙ උපදෙස් මට දෙන්න පටන්ගත්ත. මම තව දුරටත් මට අයිති වුණේ නැහැ. ලිවීම හරහා මම උත්සාහ කලා සිදුවුණු දෙය නිවැරදිව පැහැදිලි කරන්න. ලිවීම මට විශාල සහනයක් වුණා"

Kata Wéber තමන් ලිවීමට පෙළඹුනු ආකාරය විස්තර කරන්නෙ එහෙම. ඇයත් ඇගේ ස්වාමියාත් එක්වෙලා ඇගේ ලිවීම මුල් කරගෙන 2018 වසරේදි හංගේරියානු බසින් වේදිකා නාට්‍යයක් නිර්මාණය කරනව. නාට්‍ය වෙනුවෙන් හොඳ ප්‍රතිචාර මේ දෙදෙනා ලබනව. නාට්‍යට ලැබෙන යහපත් ප්‍රතිචාර නිසා මේ දෙදෙනා තීරණය කරනව එය මුල් කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කරන්න. නමුත් ඒ සඳහා ඔවුන් පැමිණෙන්නේ හංගේරියාවෙන් බැහැරව හොලිවුඩ් පුරවරයට. ඉංග්‍රීසි භාෂාවෙන් මේ කතාපුවත ප්‍රතිනිර්මාණය කිරීමෙන් ලොව පුරා වැඩි ප්‍රේක්ෂක පිරිසක් අතරට එය රැගෙනයාහැකි බව ඔවුන් සිතුවා විය හැකියි. 2020 වසරේදි, Kata Wéber ගේ පිටපත් රචනයෙන් සහ  Kornél Mundruczó ගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වෙන Pieces of woman චිත්‍රපටයට පදනම් වෙන්නෙ මේ ඔවුන් ලබපු සැබෑම ජීවිත අත්දැකීමයි.

Pieces of a woman චිත්‍රපටයෙ මුළු ධාවන කාලය මිනිත්තු 128 ක්. එයින් මිනිත්තු 30 කට ආසන්න කාලයක් වෙන්වෙන්නෙ ආරම්භයෙදි දකින්න ලැබෙන දරු ප්‍රසූතියෙ දර්ශනයට. මේ දර්ශනය අඛණ්ඩ තනි දර්ශනයක් (One take) විදිහට රූපගත කර තිබෙන්නෙ. මේ දර්ශනය දවස් දෙකක් පුරා හය වතාවක් නැවත නැවත රූගත කර තිබෙනව. අවසානෙ චිත්‍රපටය වෙනුවෙන් භාවිත කර තිබෙන්නෙ ‍ඒ අතරින් හතරවෙනි දර්ශනය බවයි කියවෙන්නෙ. මේ දර්ශනය මේ ආකාරයට රූගත කිරීමට හේතුව දරු ප්‍රසූතියක තිබෙන සැබෑම තත්ත්වය ඒ ආකාරයෙන්ම ප්‍රේක්ෂකයන්ට දැනවීමට අවශ්‍ය වුණ නිසා බවයි අධ්‍යක්ෂවරයා කියා තිබෙන්නෙ. කොහොම නමුත් චිත්‍රපටය නැරඹූ කෙනෙකුට නම් එය ලේසියෙන් අමතක කල නොහැකි තරම් ප්‍රබල දර්ශනයක් බව ඇත්ත. ඒවගේම පවුලේ හමුවකදී චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය මාර්තාත් ඇගේ මවත් අතර ආවේගයෙන් වචන හුවමාරු වන සිදුවීමත් රූගත කර තිබෙන්නෙ තනි දර්ශනයක් විදිහට. මෙතැනත් චිත්‍රපටය ඇතුළේ කැපී පෙනෙන එක් ප්‍රබල සිදුවීමක්.

Pieces of woman චිත්‍රපටයෙ ප්‍රධාන චරිත දෙක, නැතිනම් මේ අත්දැකීමට මුහුණ දෙන විවාහක යුවළ නම් වෙන්නෙ මාර්තා සහ ෂෝන් නමින්. ෂෝන් ගේ චරිතය නිරූපණය කරන්නෙ සුප්‍රකට නළු Shia LaBeouf විසින්. Transformers චිත්‍රපට පෙළ හරහා ඉතාම තරුණ වයසේදිම ලොව පුරා ජනප්‍රියත්වයක් දිනාගත් Shia LaBeouf දැන් වඩාත් සංකීර්ණ චරිත නිරූපණය කරමින් හොලිවුඩය තුල තමාගේ ස්ථාවරය ගොඩනගාගන්නා ආකාරය නිරීක්ෂණය කල හැකියි. චිත්‍රපටයෙ වැඩිවශයෙන් මතු කරන බිරිඳ ගේ චරිතය රඟ දක්වන්නෙ Vanessa Kirby විසින්. ඇයත් බොහෝම විට ක්‍රියාදාම චිත්‍රපටවලට සීමාවුණු ස්වභාවයක් දක්නට ලැබුණත් මේ චිත්‍රපටය විසින් ඉල්ලා සිටින ඒ සියුම් සහ වඩා සංකීර්ණ රංග වින්‍යාසය ඇය තුළින් මතුවන ආකාරය විස්මයජනකයි. කිසිදාක දරුවෙක් බිහිකර නොමැති නිසා  ඇය විශේෂ අවසරයක් ලබාගෙන සජීවීව දරුවෙක් බිහිවන අවස්ථාවන් නිරීක්ෂණය කර තිබෙනව. ඇගේ මේ හැදෑරීම් වල නියම ප්‍රතිඵල ඇය ලබාගෙන ඇති බව චිත්‍රපටය නරඹනවිට වටහාගන්න පුලුවන්. ඇගේ රඟපෑම 2020 වසරට අදාලව හොඳම රංගනයක් බව කිවහැකියි. 2020 වැනිස් ජාත්‍යන්තර සිනමා සම්මාන උළලේදි ඇය මේ රඟපෑම වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලබනව. ඒවගේම මේ මොහොතේ, ඉදිරියේදි පැවැත්වීමට නියමිත සම්මාන උළෙල ගණනාවක් සඳහාම ඇගේ නම නිර්දේශ වී තිබෙනව.

කලිනුත් සඳහන් කල ආකාරයට චිත්‍රපටය තුලින් නිරූපිත වෙන්නෙ උපන් මොහොතේම දරුවෙක් අහිමි වීම නිසා මවකට මුහුණදීමට සිදුවන පීඩාකාරී තත්ත්වයන්. ඒ නිසා මේ චිත්‍රපටය මූලික වශයෙන් ගැහැණිය පදනම් කරගත් එකක් බව හඳුන්වන්න පුලුවන්. මේ අවාසනාවන්ත සිදුවීම එක්ක තමන්ගේ ස්වාමියාගෙන්, නෑදෑ හිතමිත්‍රයන් ගෙන්, සමාජයෙන් සිදුවෙන බලපෑම එක්ක ඇතිවන මානසික අරගලය මැද ඇය ජීවිතයට මුහුණ දෙන ආකාරය චිත්‍රපටයෙන් ප්‍රතිනිර්මාණය කරන්න උත්සාහ කරන්නෙ. "මගෙ සිරුර තවදුරටත් මට අයිති නොවෙන බව දැනුණා" මේ සිදුවීම සැබවින්ම අත්වින්ද Kata Wéber කියන්නෙ එහෙම. බොහෝ වෙලාවට අපේ ප්‍රශ්න තවදුරටත් අපේ ප්‍රශ්න නොවෙයි. ඒවා අපේ සමීපතමයන්ගෙත් ප්‍රශ්න බවට පත් වෙනව. එතනදි ප්‍රශ්නයට මුහුණදුන් කෙනාට සිදුවෙනව ඒ දුකත් වගෙම පිටස්තරයෙනුත් එල්ලවෙන සියලු බලපෑම් විඳදරාගනිමින් ජිවිතය ගෙනයන්න. පිටපත් රචිකාවක් විදිහට ලිවීම ජීවිතයෙ පුරුදු පුහුණු කරගෙන සිටි නිසා Kata Wéber ට ලිවීම තුළින් යම් සහනයක් ලබාගන්න හැකියාවක් ලැබෙන්න ඇති. Pieces of a woman චිත්‍රපටය බිහිවෙන්නෙ එහි ප්‍රතිඵලයක් විදිහට. ජීවිතේ විඳි දුක්වේදනාවන් ඇයට එක්තරා ආකාරයක වෙස්වලාගත් ආශිර්වාදයක් වුණා. දුක්වේදනාවත් ඇතුලේ ගිලී නොගොසින් ඒ දේවල් යහපත් ආකාරයට හැඩගැස්වා ගැනීමට අවශ්‍ය ශක්තිය අප තුළම පවතිනව. එවැනි කඩාවැටීම් හමුවේ ජීවිතයෙන් පලායනවා වෙනුවට අපි යතාර්ථය ඒ අයුරින් බාරගන්නට හුරු විය යුතුයි. ඇද වැටුණු තැනින් නැගී සිටින්නට අවශ්‍ය ආත්ම විශ්වාසය අපි තුළම ගොඩනගා ගත යුතුයි. මම හිතනව චිත්‍රපටය නිර්මාණය වුණු ආකාරය ගැන කතාපුවත තුළම ඒ පණිවුඩය සැඟවි තිබෙන බව.



Thursday, February 25, 2021

Im thinking of ending things (2020)

ග්‍රීක පුරාවෘත වලට අනුව අතීත ලෝකයේ ජීවත් වුණු ටයිටන් නම් යෝධ මිනිස් කොට්ටාශයත් ඔලිම්පියානු දෙවිවරුනුත් අතර නිතරම යුධ ගැටුම් ඇති වුණා. ප්‍රධාන දෙවි සියුස් ඇතුළු දෙවිවරු දොළොස් දෙනෙකුගෙ දේව පරම්පරාව මේ නමින් හඳුන්වන්නෙ ඔවුන් ඔලිම්පස් කන්ද ආශ්‍රිතව බිහිවුණු බව කියවෙන නිසා. කොහොම වුණත් මිනිසා ලඟ නොතිබුණු වටිනා වස්තූන් දෙවිවරු ළඟ තිබුණ. ඒවා මිනිස් වර්ගයාගෙ ප්‍රයෝජනය වෙනුවෙන් දෙවියන් විසින් මිනිසුන්ට ලබාදිය යුතුයි කියන මතයේ මිනිසුන් හිටිය. ටයිටන් මිනිසුන් අතරේ කාය ශක්තියෙන් වගේම බුද්ධි මහිමයෙනුත් ඉහළ තැනක වැජඹුණු කෙනෙක් හිටියා ප්‍රොමිතියස් නමින්. මේ ප්‍රොමිතියස්, දෙවියන්ට පමණක් උරුමව තිබුණු වටිනා සම්පතක් වුණු ගින්දර දෙවියන්ගෙන් සොරකම් කරගෙන මිනිසුන්ට ලබාදෙන්න කටයුතු කලා. මේ බව දැනගත් ප්‍රධාන දෙවි සියුස් ඉතාම තදින් කෝපයට පත් වුණා. මේ කළ ක්‍රියාව වෙනුවෙන් මිනිසාගෙන් පලිගන්න ඔහු උපායක් යෙදුවා. 

පෘථිවියේ පසෙන් සහ ජලයෙන් මිනිස් ගැහැනියක් නිර්මාණය කරන්න ඔහු කර්මාන්තවලට අධිපති දෙවි හෙෆස්ටස් ට අණ කලා. මේ ආකාරයට නිමැවූ මිනිස් ගැහැනිය දේව සභාව හමුවේ තබල සියලු දෙවියන්ට අයිතිවෙලා තිබුණු කුසලතාවන් ඇයට ලබා දෙන්න සියුස් කටයුතු කලා. ඒ අනුව සුන්දරත්වයට අධිපති දෙවඟන "ඇෆ්‍රොඩයිටි" ගෙන් සුන්දර බවත්, කලාවට අධිපති දෙවි "ඇපලෝ" ගෙන් කලාකාමී බවත්, වෙළඳාමට සහ ධනයට අධිපති "හර්මිස්" ගෙන් ඕනෑම කෙනෙක් තම මතයට නම්මවා ගැනීමට හැකි උපායශීලී බවත්, භාෂා කුසලතාවත් ඇයට ලැබුණ. සියලු දෙවියන් එක්වෙලා ඇය තුළ නිමානොවෙන කුතුහලය නම් ගුණාංගය ඇති කලා. නිර්මාණශීලීත්වය පිලිබඳ දෙවඟන "ඇතීනා" ඇයට රිදී පැහැ වටිනා ගවොමක් මවා දීල රිදී ඔටුන්නක් ඇගෙ හිසේ පැලැන්දුව. අවසානයෙ සියුස් ඇය අතට කුඩා පෙට්ටගමක් සහ යතුරක් ලබා දුන්න. "මිනිස් ලෝකයට යන්න, ඔබ කැමති කෙනෙක් සමග විවාහ වෙලා සතුටින් ජීවිතය ගතකරන්න. ඒත් කවදාකවත් කොයි මොහොතක වත් මේ පෙට්ටගම විවර කරන්න එපා" දෙවියන්ගේ ඒ අවවාදයත් එක්ක ඇය මිනිස් ලෝකයට පැමිණියා. සියුස් ඇයට නමක් දී තිබුනා, ඒ තමා "පැන්ඩෝරා" එහි තේරුම "සියලුම ත්‍යාගයන් ලබාගෙන එන්නිය" යනුවෙනුයි. පැන්ඩෝරා ලොව පහළවුණු මුල්ම මිනිස් ගැහැනිය යි.

පොළවට පැමිණි පැන්ඩෝරාට අගනා තරුණයෙක් මුණගැහුන. ඔහුගේ නම එපිමෙතියස්. ඔවුන් විවාහ වෙලා බොහෝම සතුටින් කාලය ගත කලා. මේ එපිමෙතියස් කියන්නෙ දෙවියන්ගෙන් ගින්දර සොරාගත් ප්‍රොමිතියස් ගේ සහෝදරයා. ස්වාමියා නිවසින් බැහැරව ගියාම පැන්ඩෝරා නිවසේ කාලය ගතකලේ තනිවම. ඇයට කරන්න දෙයක් තිබුණෙ නෑ. යම් එකාකාරි බවක් ඇයට දැනෙමින් තිබුණ. දවසක් තමන්ගේ කාමරයෙන් යම් හඬක් නික්මෙන බව ඇයට අහන්න ලැබුන. ඒ හඬ ඇහෙන්නෙ දෙවියන් තමන්ට දුන්නු පෙට්ටගමෙන් බව ඇය සොයාගත්ත. ඇය පෙට්ටගමට කණතියල බැලුව. තමන්ව පිටතට ගන්න කියමින් ඇහෙන අසරණ බැගෑපත් ඉල්ලීමක හඬ ඇයට ඇහුණ. යතුර අරගෙන පහසුවෙන්ම මෙය විවර කරල ඇතුලත හිරවී උන් කාට වුණ යන්න දෙන්න පැන්ඩෝරාට පුලුවන්කම තිබුණ නමුත් ඇයට මතක් වුණේ දෙවියන් ගෙ අවවාදය. තමන් තුළ වැඩෙන කුතුහලය ඉවසා දරාගන්න බැරිම තැන ඇය වෙන ඕනම දේකට මුහුණදීමේ සූදානමෙන් පෙට්ටගම විවර කලා.

සිදුවුණේ ඇය නොහිතූ දෙයක්. පෙට්ටගමෙන් මතුවුණේ භයානක පෙනුමක් තිබුණු කෘමී සතුන් රෑනක්. ඔවුන් ඇය වසා ගෙන ඇයට දෂ්ට කලා. ඉන්පස්සෙ කාමරයෙ කවුළුවෙන් පියාඹල ඈතට නොපෙනී ගියා. ඇයට සෑහෙන වේදනාවක් දැනෙමින් තිබුණ. කෘමින් දෂ්ට කල තැන් වලින් රිදුම්සහගත බවක් මතු වුණා. වේදනාව සමග ඇයට වෛරයත්, කලකිරීමත්, පසුතැවීමත් දැනෙන්නට පටන්ගෙන තිබුණ. ඊළඟ මොහොතේ නැවතත් පෙට්ටගම ඇතුළෙන් හඬක් මතු වුනා. ඇය ආයෙමත් පෙට්ටගමට කණතබල බැලුව. තමන්ව පිටතට ගන්නයි කරන ඉල්ලීමක හඬ ඇයට නැවතත් ඇසුණා. නමුත් එකවතාවක් කුතුහලයට යටවෙලා කල දේ නිසා ඇති වුණු වේදනාවන් අලුත් කරගන්න ඇයට උවමනා වුණේ නෑ. නමුත් පෙට්ටගමෙන් හඬ නැවත නැවතත් ඇහෙමින් තිබුණා. දැනටමත් දුක් සහිත බවේ ගිලෙමින් සිටි ඇය තමන්ට අහිමිවෙන්න තව දෙයක් නැතැයි සිතමින් දෙවනිවරටත් පෙට්ටගම විවර කලා.

මෙවර සිදු වුණේ හාත්පසින්ම වෙනස් යමක්. ඒ වනවිටත් අඳුරින් පිරිල තිබුණ ඇගේ කුටියට එකවරම ආලෝකයක් ලැබුණා. පෙට්ටගමෙන් මතුවුණේ ආලෝකය විහිදුවන පුංචි සුරංගනාවක්.

"හැම ආකාරයකම දුක, වේදනාව, වෛරය, ඊර්ෂ්‍යා, පළිගැනීම වගේ අඳුරු හැඟීම් පිරුණ මේ පෙට්ටිය කාලෙක පටන් තිබුණේ දෙවියන් ලඟ"  සුරංගනාව කිව්ව.

"නමුත් ප්‍රොමිතියස් දෙවියන්ගෙන් ගින්දර සොරාගත්ත නිසා ඒ වරදට මිනිසාට දඬුවම් කරන්න දෙවියන්ට ඕන වුණා. ඒ හින්දා දෙවියන් ඔයාව නිර්මාණය කරල මේ පෙට්ටගමත් එක්ක ඔයාව මිනිස් ලෝකයට එව්ව. ඔයා කවදාහරි පෙට්ටගම විවෘත කරන බව දෙවියන් දැනගෙන හිටිය"

"එතකොට ඔයා කවුද?" පැන්ඩෝරා සුරංගනාවගෙන් ඇහුව

"මම තමයි බලාපොරොත්තුව. දුකින් වේදනාවෙන් පීඩා විඳින කෙනෙකුට සහනයක් වෙන්නෙ බලාපොරොත්තුව පමණයි. දෙවියන් ඒ බවත් දැනගෙන හිටිය. ඒ නිසා එයා පෙට්ටගම ඇතුලෙම මාවත් මේ ලෝකයට එව්ව. අද පටන් අඳුරු හැඟීම් වලින් පීඩිත සියලු මිනිසුන් මගේ ආලෝකය ලබාවි. ඔවුන්ට තියන එකම සැනසීම මම පමණයි"

සුරංගනාවිය කිව්ව.

වඩා යහපත් යම් දෙයක් වෙනුවෙන් බලාපොරොත්තු තබාගැනීමට තියන හැකියාව මිනිසාට පමණක් උරුම වුණ ලොව වෙනත් කිසිම සත්ත්වයෙකුට නොමැති සුවිශේෂ හැකියාවක්. මොහොතක් කල්පනා කරල බැලුවොත් කිසිදාක ජීවිතේ අත්නොවිඳි යමක්, කිසිදාක නොඑළඹුණු දෙයක්, අපිට ඉතා දැඩිව අවශ්‍යව තිබෙන නමුත් තවමත් සිදු නොවුණු යමක් ගැන මනසේ මවාගැනීම, පරිකල්පනය කිරීමට අපිට තියෙන හැකියාවත් මේ අපි තුළ තිබෙන බලාපොරොත්තු සහගතබවට හේතුවන බව උපකල්පනය කරන්න පුලුවන්.

චාර්ල්ස් කුෆ්මන් ගේ Im thinking of ending things චිත්‍රපටය පැහැදිලිකර ගන්න නම් මේ වගේ පදනමක් අවශ්‍යයි. පැන්ඩෝරාගෙ පෙට්ටගම වගේ යම් ප්‍රබන්ධයක් මීට සෑහෙන උදව් කරගන්න පුලුවන්. කුෆ්මන් ගේ චිත්‍රපට කියන්නෙ මිනිසාගේම ඇතුළු මනස සොයා යන ගවේෂණයක්. ඔහු එක්තරා ආකාරයකට කරන්නෙ හැඟීම් වලට වර්ණ, හැඩතල, පුද්ගල චරිත, නම් ගම් දීල, අපි දන්නා කාල අවකාශ නියමයන් උඩු යටිකුරු කරල තිරය මතුපිටට ගේන එක. ඔහුගෙ සිනමාව ගැන ඒ පෙර අවබෝධය නැතිව බැලුවොත් මේ චිත්‍රපටය ඇතුලෙ වෙන්නෙ මොකක්ද කියන දෙය කෙනෙකුට වටහාගන්න අපහසුවේවි. මොකද නැතිනම් මේ සිනමාපටය කෙනෙකුට කිසි සම්බන්ධතාවක් නැති, කිසිම ආකාරයේ කේන්ද්‍රීය අරුතක් ජනනය නොකරන, චරිත වල නම් ගම්, බාහිර ස්වභාවයන් විටින් විට වෙනස් වෙන විකාර රූපී දර්ශන මාලාවක් හැර වෙනත් යමක් නොවන්නට ඉඩ වැඩියි.

චිත්‍රපටය පුරා දැකගන්නට ලැබෙන්නෙ තරුණයෙක් තමන්ගෙ පෙම්වතියව දෙමව්පියන් මුණගැහෙන්න කැඳවාගෙන යාම. සීත ඍතුවේ හිමෙන් වැසුණු මාවතක අපි දකින්නෙ මෝටර් රථයේ සිටින මේ දෙදෙනා පමණයි. ඒ අතරවාරයේ සිදුවෙන ඔවුන්ගෙ දෙබස් වගේම ඇතුලාන්ත සිතුවිලි, කවි, පොත්පත් චිත්‍රපට වල උපුටන වගේ දේවල් මේ ගමන පුරා අහන්න ලැබෙනව. ක්‍රමයෙන් දෙදෙනා තරුණයාගෙ නිවසට එනව, ඔහුගෙ දෙමව්පියන් හමුවෙනව. ටිකෙන් ටික සිදුවීම් අමුතු ආකාරයෙ ස්වභාවයක් ගන්නව. යථාර්ථවාදි ස්වභාවයෙන් ආරම්භ වුණු කතාව මායාමය ස්වරූපයකින් දිගහැරෙන්න පටන් ගන්නව.
චිත්‍රපටයෙ සිදුවන දේ වටහගන්න නම් අවසාන භාගය ආසන්නයෙ වඩා නාටකීය ස්වරූපයක් ගන්න මේ මායාවන් ඔස්සේ සිතුවිලි මෙහෙයවන්න ප්‍රේක්ෂකයන්ට සිදුවෙනව. 

බොහෝ වෙලාවට අපි අපේ කල්පනා ලෝකය ඔස්සේ ෆැන්ටසිකරනය කරන්න පෙළඹෙන්නෙ ජීවිතයේ අපිට අහිමි යම් දෙයක්. පැන්ඩෝරාගෙ කතාවෙදි වගේ වේදනාවෙන්, පසුතැවීමෙන් පෙළෙනකොට ඒ හැම දෙයකින්ම මිදුණු වඩා යහපත් ජීවිතයක් ගැන බලාපොරොත්තුවක්. අපි හැම කෙනෙකුම ඇතුළු මනසින් මේ වඩා යහපත් ජීවිතය ෆැන්ටසිකරණය කරගන්නව. චාල්ස් කුෆ්මන් පොළව ගැඹුර කැණබලන භූවිද්‍යාඥයෙකුට සමානව මිනිස් මනසේ මේ ඇතුළාන්ත ස්වභාවය තමන්ගේ සිනමාපටය හරහා විවරණය කරනව. ඒ ඇතුළු ගැඹුර ගැන සංවේදීතාවකින් නැරඹූ කෙනෙකුට නැවත නැවතත් ප්‍රශ්න කරමින්, සිහිකරමින්, අවස්ථා සිද්ධි ගලපමින් කාලයක් යනතුරු අත්විඳිය හැකි අපූර්ව සිනමා අත්දැකීමක්  විදිහට Im thinking of ending things හඳුන්වා දෙන්න පුලුවන්.




Monday, February 1, 2021

Our little sister (2015)

Kore-eda ගේ our little sister බලල අවසන් කලේ විශාල සැහැල්ලුවකින් වගේම විස්මයකින්. අඩුවශයෙන් ප්‍රබල ගැටීමක්, මුල මැද ගැලපුන යම් නිශ්චිත කතාවක්, ඊලඟට මොකක් වෙයිද කියන කුතුහලයක් මේ කිසිදෙයකින් තොරව, හදවත පිරෙන්න විඳගන්න පුලුවන් සිනමා අත්දැකීමක් kore-eda මැව්වෙ කොහොමද කියන විස්මය එක්ක. මේ සෞන්දර්ය "සිනමාව" කියන කලා මාධ්‍යයෙන් හැර වෙන ආකාරයකින් විඳගන්න බැරි විදිහෙ එකක්. පසුතල, කැමරා කෝණ, පසුබිම් සංගීතය, දෙබස්, රඟපෑම් මේ හැම දෙයක්ම සෞන්දර්යයෙ උපරිම සීමාවන්ට ලඟා වෙන්නෙ සිනමාවෙ මෙතක් බිහිවුණ අගනාම සිනමා කාව්‍යක් බිහි කරමින්. ඇත්තටම මේක වචනයෙ අර්ථයෙන්ම කවියක්!

චිත්‍රපටය ගොඩනැගෙන්නෙ ජපානයෙ මුහුද ආසන්න නගරයක වාසය කරන එක් පවුලක් වටා. මේ පවුලේ ඉන්නව සහෝදරියන් තුන් දෙනෙක්. වැඩිමල් සහෝදරිය Sachi හෙදියක් විදිහට සේවය කරනව. ඇය තමන්ගෙම රෝහලේ වෛද්‍යවරයෙක් සමග අනියම් පෙමක පැටලී ඉන්නව. ඇය වගකීමකින් කටයුතු කරන, ජීවිතය ගැන ගැඹුරින් හිතන, අපි සාමාන්‍යයෙන් කියන විදිහට "සීරියස්" චරිතයක්. දෙවැන්නිය Yoshino, තුන්දෙනාගෙන් වඩාත් සුරූපිනිය, නගරයේ බැංකුවක රැකියාව කරනව. ඇයට කාලෙන් කාලෙට නොයෙක් පෙම්වතුන් ඉන්නව. ඇය තරමක් විනෝද බර, කෙළවරක් නැතිව බීර පානයට යොමුවුණු තැනැත්තියක් විදිහට අපි දකිනව. තෙවැන්නිය නිතරම සැහැල්ලුවෙන් සතුටෙන් ජීවිතය ගෙවා දමන Chika. ඇය ක්‍රීඩා භාණ්ඩ අලෙවි සැලක සේවය කරනවා. මේ අයගේ පියා ඔවුන් කුඩා වයසේම ඔවුන්ව හැර ගිහින් දුර ඈත පලාතක වෙනත් ගැහැණියක් සමග විවාහ වෙලා. ඒ නිසා පියා එක්ක ඔවුන්ට ලොකු බැඳීමක් නෑ. දෙවැනි විවාහයේ බිරිඳ මියගියායින් පස්සෙ පියා තුන්වෙනි විවාහයකුත් කරගෙන. මේ සහෝදරියන් ගේ මවත් ඔවුන් තරමක් වැඩුණ පසුව ඔවුන්ව අතහැර ගිහින්. වැඩිමහල් සහෝදරිය තමයි මවක් විදිහට අනෙක් සහෝදරියන් හදාවඩාගෙන තිබෙන්නෙ. ක්‍රමයෙන් මේ තුන් දෙනා තමන්ට අවශ්‍ය විදිහට ස්වාධීනව ජීවිතයට මුහුණ දෙන්න පුරුදු වෙනව. පොඩි පොඩි හිත් රිදවීම්, අමනාපකම් ඒ මොහොතට ඇති වුණත් මේ තුන්දෙනා ගේ ජීවිත සතුටින් ගතවෙනව. මුහුදු වෙරළේ, වන උයන් වල ඇවිදිමින්, අවන්හල්වල රස උතුරන අහාර, බීර බඳුන් අතරේ ඔවුන් ජීවිතය විඳිනව.

දුර ඈත ගම්මානයක වාසය කරන පියා මිය ගිය පුවත ඔවුන්ට අහන්න ලැබෙන්නෙ නොසිතූ මොහොතක. ඉතින් පියාගෙ අවමංගල්‍යයට සහභාගි වෙන්න මේ තුන්දෙනා ගම්මානයට යනව. එතනදි ඔවුන්ට මුණ ගැහෙනව පියාගෙ දෙවනි විවාහයේ එකම දියණිය Suzu. ඇය නව යොවුන් වයසේ පසුවෙන යුවතියක්. පියාගෙ අවසන් මොහොත වෙනතෙක් ඔහු බලාකියා ගෙන ඔහුගේ සියලු කටයුතු කලේ ඇය බවත්, ඇය තමන්ගෙ කුඩම්මා, එනම් පියාගෙ තුන්වෙනි විවාහයෙ බිරිඳ සමග ජීවිත් වන්නේ ඒ තරම් සතුටකින් නොවන බවත් සහෝදරියන් තුන් දෙනා දැන ගන්නව. ඉතින් Suzu ට තමන් සමග වාසය කරන්න එන්න තිදෙනාම ආරාධනා කරනව. Suzu එය පිළිගන්නව. නගරයට එන Suzuට අලුත් පාසලක අලුත් මිතුරු මිතුරියන් මුණගැහෙනව. අලුත් පවුලක, බාල සොහොයුරිය විදිහට ඇය ජීවිතය අලුතෙන් පටන් ගන්නව. ඇය වටා අනෙක් සහෝදරියන් තිදෙනාගෙත් ජීවිත ගලා යනව. 

Our little sister, එදිනෙදා ජීවිතේ කුඩා කුඩා අවස්ථාවන් එකට එකතු කරල නිමවපු විශාල සිතුවමක් වගේ. මේ කුඩා සතුටු මොහොතවල් වලින් ජීවිතය කියන විශාල චිත්‍රය සම්පූර්ණ වෙන්නෙ. Kore-eda නම් මේ ජපන් සිනමාකරුවාගෙ නිර්මාණ බොහෝමයක් මේ වගේ බව තමා කියවෙන්නෙ. පවුල, මනුෂ්‍ය සම්බන්ධතා මුල් කරගත් සරල සිදුවීම් තමන්ට අනන්‍ය වුණු සෞන්දර්යයකින් සිනමාවට ගෙන ඒමයි ඔහු කරන්නෙ. ඒත් අපි අත්දකින එදිනෙදා ජීවිතය එහෙම සුන්දර එකක් නොවෙයි නේද කියල ඔබට හිතෙන්න පුලුවන්. නමුත් කලා කරුවෙකුගෙ කාර්‍ය අපේම ජීවිත දිහා මින් පෙර නොදුටු ආකාරයේ අලුත් ඇහැකින් නැවත හැරී බලන්න මග පෙන්වා දීම. එදිනෙදා ඛේදවාචකයන් මැද්දෙ  මතුවන ජීවිතේ සරල සුන්දරත්වය විඳගන්න ඉඩ සැලසීම. අපි හිතනව හැම දුකක්ම විඳින්නෙ අපිමයි කියල. නමුත් හැම මනුෂ්‍යයෙක්ම තමන්ට උරුම අරගලයක යෙදිලා ඉන්න බව අපි හිතන්නෙ නෑ. ජීවිතයේ විඳින දුක, සතුට රඳා පවතින්නෙ අපේම තෝරාගැනීම් මත මිස වෙනත් යමක නොවෙයි. ඉතින් මේ දුක් පීඩාවන් හමුවේ කඩා වැටෙනවාද, ඒවාට නොසැලී මුහුණදෙනවාද කියන තීරණය අපි සතුයි.

"දිවිය කොයිතරම් සුන්දර දෝ, දුකම කොයිතරම් සතුටක් දෝ" 

මේ චිත්‍රපටයේ ජීවන දහම වචන කීපයකට අරගත්තොත් කියවෙන්නෙ එහෙමයි කියල මම හිතන්නෙ.