Friday, January 31, 2020

රිදී තිරයේ අරුම පුදුම වෙස් පෙරළන්නා හෙවත් Christian Bale

Jack Dawson එහෙමත් නැත්නම් ජේම්ස් කැමරන් ගෙ Titanic චිත්‍රපටයෙ ඒ රොමාන්තික ප්‍රේමවන්තයා ගෙ චරිතය නිරූපණය කරන්න තරුණ නළුවන් කීපදෙනෙක් තෝරාගෙන තිබුණා. ඒ අතරෙ ඒ වෙනකොට ජනප්‍රියත්වයෙ හිණිපෙත්තට නැග සිටි ටොම් කෲස් පවා හිටියා. ඒ අය අතරෙ බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙක් වුණු Christian Charles Phillip Bale කෙටියෙන් කිව්වොත් Christian Bale ට කැමරන් වඩාත් කැමති බවක් තමයි පෙනුනේ. නමුත් කොහොමහරි ඔහුට ඒ අවස්තාව ලැබුණේ නැ. Leonardo Dicaprio නම් තරුණයා Bale වෙනුවට Jack ගේ චරිතය සඳහා තෝරගත්ත. Bale මීට කලිනුත් Whats eating Gilbert Grape සහ Romeo Juliet චිත්‍රපට දෙකේදි Dicaprio නිසා තමන්ගෙ අවස්ථාව අහිමි කරගෙන තිබුණා. තමන්ට ලැබීමට තිබුණු වටිනා අවස්ථා කීපයක්ම හිමි කරගත්ත Leo ගැන Bale තුළ ඇති වී තිබුණෙ යම් නොරිස්සුමක්.

නමුත් Bale අතහැරියෙ නෑ .Titanic චිත්‍රපටයෙන් අවුරුදු දෙකකට පස්සෙ ඔහු ට වාසනාවෙ දොර ඇරෙනව. May Harron ගෙ American Psycho චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය වෙනුවෙන් Bale ව තෝරාගෙන තිබුණ. American psycho චිත්‍රපටයෙ කල රඟපෑම Bale කියන නම නැවත බොහෝ දෙනා අතරෙ කතාබහට ලක්වෙන නමක් බවට පත් කලා. මීට කලින්, අවුරුදු දහතුනේදි Bale, Steven Spielberg ගෙ Emperor of the Sun චිත්‍රපටයෙ කල රඟපෑම නිසා ළමා නලුවෙක් විදිහට ඔහු යම් ජනප්‍රියත්වයක් ලබා තිබුණා. 

Christian Bale හොළිවුඩයේ අරුම පුදුම වෙස් පෙරළන්නා යන හැඳින්වීම ඔහුට උරුම කර දෙන්න මුල් වෙන The Machinist චිත්‍රපටයට ඔහු එක් වෙන්නෙ ඉන් පස්සෙ. චිත්‍රපටයට අවශ්‍ය ශරීර ස්වරූපය ලබාගන්න Bale දවසට එක ඇපල් ගෙඩියක් බැගින් ආහාරයට ගනිමින් මාස කිහිපයක් ඇතුලත කිලෝ 30 කින් තමන්ගෙ ශරීරයෙ බර අඩු කරගන්නව. මෙය තවමත් චිත්‍රපටයක් වෙනුවෙන් නලුවෙක් විසින් කල ලොකුම ශාරීරික විපර්‍යාසය විදිහට වාර්තගතයි. අවසානෙ ඔහු ඇවිදින ඇටසැකිල්ලක් බවටම පත් වුණා. තව ටික දවස ඒ ආකාරයෙන් ගත කලා නම් ඔහු මියයන්න පවා ඉඩ තිබුණ. නමුත් Bale තමන් කරන කාර්‍ය උපරිමයෙන්ම ඉටු කළේ ජීවිතය පවා කැප කරමින්.

Christian Bale ගේ රංගන ජීවිතේ ස්වර්ණමය යුගය එළඹෙන්නෙ Christopher Nolan ගෙ Bat man චිත්‍රපට ත්‍රිත්වයෙ Bat man චරිතය නිරූපණය කරන්න ඔහුව තෝරා ගැනීමෙන්. Christian Bale මෙතෙක් සිනමාවෙ Bat man චරිතය රඟපෑව ඇමරිකානු නොවන එකම නලුවා බව සඳහන් වෙනව. Bat man වෙනුවෙන් මාසයක් වගේ කාල‍යකදි කිලෝ 20 ක ප්‍රමාණයකින් ඔහු නැවත තමන්ගෙ ශරීරය ගොඩනගා ගත්ත. Nolan ගේ තෝරාගැනීම කොයිතරම් සාර්ථකද කියන කාරණය ඉතිහාසය විසින් පෙන්වා දී අවසානයි. 

2005 Bat man Begins චිත්‍රපටයෙන් පස්සෙ 2006 අවුරුද්දෙ ඔහු නැවත Rescue Dawn චිත්‍රපටය වෙනුවෙන් කිලෝ 20 කින් බර අඩු කරගන්නව. ඉන්පස්සෙ 2008 දි Dark Knight වෙනුවෙන් නැවත කිලෝ 20 කින් ශරීරය ගොඩනගා ගන්න Bale නැවත 2010 Fighter චිත්‍රපටය වෙනුවෙන් තවත් කිලෝ 20 කින් බර අඩු කරගන්නව. 2014 දි Exodus චිත්‍රපටය වෙනුවෙන් Bale බයිබලත්, කුරාණයත් සම්පූර්ණයෙන් කියවා හදාරා තිබෙනව. මේ ආකාරයට ඔහු රඟපාන හැම චරිතයකම භෞතික ශරීර සැකැස්මෙ ඉඳන් හැමදෙයක්ම උපරිමයෙන් නැවත ගොඩනඟන්න ඔහු කරන කැපවීම පුදුමාකාරයි.

Christian Bale හොඳම නලුවා විදිහට කීපවතාවක්ම ඔස්කා සම්මානය සඳහා නිර්දේශ වුණත් තවම ඔහුට සම්මානය දිනාගන්න හැකියාව ලැබී නෑ. 2011 අවුරුද්දෙ Bale , Fighter චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහය නලුවාට හිමි ඔස්කා සම්මානයෙන් පිදුම් ලබනව. හොඳම නළුවාට හිමි සම්මානය දිනාගන්න බැරි වුණත් හැම අවස්ථාවකදිම කරට කර හොඳ තරඟයක් දෙන්න Bale සමත් වුණා.

2020 ජනවාරි 30 දා මේ අපූරු වෙස් පෙරළන්නා, වචනයෙ අර්ථයෙන්ම නලුවා තමන්ගෙ 46 උපන්දිනය සමරනවා. තමන් කරන්නෙ මොන කටයුත්තක් වුණත් ඒ දෙය වෙනුවෙන් මනුෂ්‍යයෙකුට කැපකරන්න බැරි දෙයක් නැහැ කියල Christian Bale තමන්ගෙ ජීවිත පැවැත්මෙන්ම පෙන්වා දී තිබෙනව. මුල්කාලීනව Leo එක්ක තිබුණ තරඟකාරීත්වය ඔහු ජයගන්න කල්පනා කරන්නෙ තමනුත් කිසිවෙකුට දෙවනි නොවෙන තරඟකරුවෙක් බවට පත් වීමෙන් මිස වෙන මඟකින් නොවෙයි. ඔහුට මෙතරම් දුරක් එන්න හැකියාව ලැබෙන්නෙ ඒ ආත්ම ශක්තිය නිසා ම යි. Bale ගේ ජීවිතයෙන් අපට ගතහැකි පාඩම එයයි. චරිතයක් වෙනුවෙන් ඔහු ගන්න වෙහෙස ඔහු කරන හැදෑරීම වෙන කෙනෙකු නොකරන තරම්. ඒ සියලුම පරිශ්‍රමයන් අද ඔහුව හොළිවුඩයේ ඉහළම තැනට ඔසවා තබා තියනව. අදටත් Bruce Wayne කියු සැණින් මගෙ මතකයෙ නම් ඇඳෙන්නෙ Bale ගේ රුව මිස වෙන කෙනෙක් නොවෙයි. මම වැඩියෙන්ම ප්‍රිය කරන Bat man අදටත් ඔහු යි..

Happy Birthday Christian Bale !



Empire of the sun 1987


Little Women 1994


American Psycho 2000


The Dark Knight 2005


The Prestige 2006



Wednesday, January 29, 2020

මෑත කාලීන සිනමාවෙ තාක්ෂණික විස්මයක් වුණු 1917

2020/01/28 මව්බිම Young අතිරේකයේ පළ විය.

දිනය 1917 අප්‍රේල් 6 වෙනිදා; තැන උතුරු දිග ප්‍රංශය. ඈතට බොඳ වෙච්ච කඳු පන්ති දර්ශනය වෙන, කහ පාට කැලෑ මල් පිපිච්ච යුරෝපියානු තැනිතලා බිමක කෙළවර ගහක් යට විවේක සුවයෙන් වැතිරිලා ඉන්න බ්‍රිතාන්‍ය සොල්දාදුවන් දෙන්නෙක්. හමා එන හුළඟේ සුවදායක බවට ඔවුන්ගේ ඇසුත් පියවිලා ගිහින්. නමුත් එකවර ම මේ නිහඬතාවය බිඳ වැටෙන්නේ එතැනට එන හමුදා නිලධාරියෙකුගේ කටහඬිනුයි.

"බ්ලේක්...........බ්ලේක්"

ලාන්ස් කෝප්‍රල් බ්ලේක් අවදි වෙනවා.

"සමාවෙන්න සාජන්"

"තව මිනිහෙක්ව අරගෙන මාත් එක්ක එනවා"

"හොඳමයි සාජන්"

පළමු වන ලෝක යුද්ධයේ බ්‍රිතාන්‍ය පාබල හමුදාවේ, අට වෙනි භට ඛණ්ඩයේ ලාන්ස් කෝප්‍රල්වරු දෙදෙනෙක් වුණ Blake සහ Schofield නිදිගැට කඩමින් නැගිටලා යන්න පටන් ගත්ත ඒ ගමන විනාඩි 119 කින් තවත් ගහක් යට අවසන් වන තුරු ම ත්‍රාසය, කුතුහලය පිරුණු, යුද්ධයේ බියකරු බව හොඳට ම ඇඟට දැනෙන trip එකක් බවට පෙරළෙනවා.

මේ සෙබළුන් දෙදෙනාගේ අන්දෝලනාත්මක ගමන ඇසුරින් Sam mendes නිර්මාණය කළ "1917" චිත්‍රපටය ගැනයි අද Lumier's Art තුළින් අද අපි කතා කරන්නේ.

Blake සහ Shofield තමන්ට ලැබුණ අණ පරිදි ජෙනරල් Erinmore මුණගැහෙනවා. එතැනදී ඔවුන් දෙදෙනාට සුවිශේෂි රාජකාරියක් භාර වෙනවා. හමුදාවේ දෙවන භටකණ්ඩයේ ප්‍රධානී කර්නල් Mackenzie හඳුනාගත් ජර්මන් මර්මස්ථානයට පහරදීමේ අරමුණෙන් සෙබළුන් 1600ක පිරිසක් අරගෙන පිටව ගොස් තිබෙනවා. නමුත් මේ ජර්මානුවන්ගේ උගුලක් බවත්, ජර්මානුවන්ඒ අරමුණ හමුදා කණ්ඩායමක් තමන් වෙත ගෙන්වා ගෙන ඔවුන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීම බවත් බ්‍රිතාන්‍ය හමුදාවට දැනගන්න ලැබෙන්නේ පසුවටයි. බ්‍රිතාන්‍ය හමුදාවට කර්නල් Mackenzie ඇතුළු පිරිස මේ මර  උගුලෙන් ගලවාගත යුතුමයි. නමුත් සංඥා පද්ධති බිඳවැටී ඇති නිසා පණිවිඩය දෙන්න ඔවුන්ට පුළුවන් කමක් නෑ. Blake සහ Shofieldට භාර වෙන්නේ මෙන්න මේ කාර්යයයි. දෙවනි භට කණ්ඩය සොයාගෙන ගිහින් ප්‍රහාරය නැවැත්විය යුතු බව ඔවුන්ට දැනුම් දීම; 1600ක පමණ සෙබල පිරිසක් මරණයෙන් ගලවා ගැනීම. ඉතින්  ඔවුන් දෙදෙනා කොහොමද මේ වැඩේ කරන්නේ ?

චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකට Dean Charles Chapmen (Game of thrones කතාවෙ ටෝර්මන්) සහ George McKay විසින් පණපොවනු ලබනවා. Benadict Cumberbatch, Collin Firth, Andrew Scott, Richard Madden චිත්‍රපටයේ අනෙකුත් සෙසු චරිතලට රංගනයෙන් දායක වෙනවා

1917 චිත්‍රපටයේ දක්නට ලැබෙන  සුවිශේෂී ම ලක්ෂණය තමයි මුළු චිත්‍රපටය ම එක camera shot එකක් ලෙස පෙනෙන ආකාරයෙන් නිර්මාණය කර තිබීම. චිත්‍රපටය Cut වෙන්නේ එක ම තැනකදී පමණයි. අවස්ථා කිහිපයකදී චිත්‍රපටය Cutවී ඇති බව අපට අනුමාන කළ හැකි. ඒක ඇත්තට ම දිගු කැමරා දර්ශන (Long Shot) ගණනාවක එකතුවක්. නමුත් වෙනසක් නොපෙනෙන්නත්, සියල්ල ම තනි Shot එකක් විදිහට පෙනෙන්නත් මෙහි සංස්කාරක Lee Smith ඉතා විශිෂ්ට ආකාරයට ඒ දර්ශන එකිනෙකට පුරුද්දා චිත්‍රපටය Edit කර තිබෙනවා. නමුත් හැබෑවට ම එක ම කැමරා Shot එකකින් රූගත කළ චිත්‍රපට සිනමා ඉතිහාසය තුළදී අපට හමුවෙනවා. Russian Arc (2002), Timecode (2000), Victoria (2015) කියන්නේ  එවැනි චිත්‍රපට කිහිපයක්.

අනෙක් විශේෂත්වය මේ චිත්‍රපටයේ කැමරාව වැඩ කරන ආකාරයයි. කලින් සඳහන් කළා වගේ මේ චිත්‍රපටයේ මුල සිට අග දක්වා ම ඇතුළත් වෙන්නේ  සොල්දාදුවන් දෙදෙනා ඔවුන්ගේ ගමන යන ආකාරයයි. මෙතැනදී කැමරාව පිටස්තර යම් තැනක ඉඳන් ඔවුන් දෙදෙනා දිහා බලන් ඉන්න කෙනෙක් වෙනවාට වඩා මේ ගමන යන ගමන් සගයෙක් බවට පත්වී තිබෙනවා. මඩ කඩිති උඩින් පනිමින්, බිම පෙරළෙමින්, යුධ අගල් ඇතුළට රිංගා ගනිමින් කැමරාවත් මේ සෙබළුන් දෙදෙනා එක්ක ගමන යනවා. මේ අපූරු කැමරාකරණය ගැන ගෞරවය හිමිවෙන්න ඕන  1917 චිත්‍රපටයේ Cinematography අංශය භාරව කටයුතු කළ Rodger Deakinsටයි. ඔහු හොලිවුඩයේ Cinematography ගැන Master කෙනෙක්. Assassination of the Jess James, The Reader, Beautiful Mind, Showshank Redemption වගේ ප්‍රේක්ෂකයකු නැරඹිය යුතු ම  ලැබෙන ලස්සනම Cinematography ඔහු නිර්මාණය කර තිබෙනවා.

Thomas Newmanගේ සංගීතය ගැන යමක් නොකිව්වොත් එය ලොකු අඩුවක්. ඒ ගැන කතා කිරීමේදී මේ චිත්‍රපටයේ ඇතුළන්තයත් එක්ක පසුබිම් සංගීතය බැඳිලා තියෙන බව අපට දැකගන්න ලැබෙනවා. එක අවස්ථාවක Schofieldට වෙනත් සොල්දාදුවන් පිරිසක් එක්ක වාහනයක ගමන් කරන්න සිද්ධ වෙන තැනකදී අනෙක් සොල්දාදුවන් සිනාමුසු මුහුණින් කතාබහ කරමින් හිටියත් Schofieldට මෙතෙක් ලැබූ අත්දැකීම් අනුව එහෙම ඉන්න බෑ. ඔහුගේ මුහුණෙන් පළවෙන්නෙ ශෝකයක්. මෙතනදී  පියානෝවත්, වයලීනයත් හැඬවෙන්නේ ඒ මුහුණෙන් මතුවන  ශෝකී භාවයන් තව තවත් තීව්‍ර කරමින්. .

ඒ වගේ ම 1917 කියන්නේ වචනයේ පරිසමාප්ත  අර්ථයෙන් ම දැවැන්ත නිර්මාණයක්. අඩි 5200ක් පමණ යුධ අගල් චිත්‍රපටය වෙනුවෙන් ම නිර්මාණය කර තිබෙනවා. නිසැකව ම 1917 මෑතකාලීන සිනමාවේ සිදු වුණ තාක්ෂණික පෙරළියක් ! මේ පෙරළියේ මහමොළකරුවා වෙන්නේ 1999 වර්ෂයේ American Beauty චිත්‍රපටයෙන් සිනමා ලෝකයේ තම අනන්‍යතාවය සළකුණු කරලා  ගමන ආරම්භ කළ Sam Mendes. Golden Globe සම්මාන උළෙලේ හොඳ ම චිත්‍රපටයට සහ හොඳ ම අධ්‍යක්ෂවරයාට හිමි සම්මාන දිනා ගනිමින් සහ ඔස්කාර් සම්මාන 10කට නිර්දේශ ලබමින් Sam සහ ඔහුගේ1917 සිනමාපටය 2019 අවුරුද්දෙ හොලිවුඩ් සිනමාවේ පෙරළියක් කරන්න සමත් වුණා.

ස්පීල්බර්ග් Saving Private Rayan චිත්‍රපටයෙන් දෙවෙනි ලෝක යුද්ධය ප්‍රතිනිර්මාණය කළා වගේ, ඔලිවර් ස්ටෝන් Platoon චිත්‍රපටයෙන් වියට්නාම යුද්ධය ප්‍රතිනිර්මාණය කළා වගේ 1917 චිත්‍රපටය පළමු වන ලෝක යුද්ධය ප්‍රතිනිර්මාණය කරනවා. පිකාසෝ ස්පාඤ්ඤ සිවිල් යුද්ධය කැන්වසය මතට ගෙනෙමින් "ගුවර්නිකා" සිතුවම නිමැවූ ආකාරයට Sam Mendis සිනමා තිරය මත මිනිත්තු 119ක් පුරා යුද්ධයේ බිහිසුණු වේදනාකාරී ස්වරූපය ගැන සිතුවමක් අඳිනවා. කවර අරමුණෙන් කළත් අවසානයේ මොන ප්‍රතිඵලය ලැබුණත්, යුද්ධය කියන්නේ ඊට සහභාගි වන අයට ඉතා ම පීඩාකාරි අත්දැකීමක්. කලාකරුවෙකු කළ යුත්තේ මේ යථාර්ථයන් ලෝකය හමුවට ගෙන ඒමයි. Leave no trace, You were nere really here වගේ චිත්‍රපට  යුද්ධයට ගොදුරුවෙන්නන්ගේ ජීවිතවල පසු ඛේදවාචකයන් පෙන්වා දුන්නා. 1917 නරඹන්නාව යුද්ධයේ ම කොටසක් කරගනිමින් ඒ වේදනාව, බලාපොරොත්තු විරහිත බව ඇඟට දැනෙන්න සලස්වනවා. මඩ ගොහොරුවල මීයන්ට ආහාර වෙන මළ කඳන්, තැන තැන දිරාපත් වෙන මිනිස් අතුණුබහන්, දෑසට පෙනී පෙනි අවසන් ගමන් යන ළඟ ම මිතුරන්, සොහොයුරන්, නොසිතු මොහොතක කඩා වදින වෙඩි උණ්ඩ, බෝම්බ ප්‍රහාර..මේ හැම දෙයක් ම යුද්ධයක අනිවාර්‍ය උරුමයන් වෙනවා. 1917 මේ හැම දෙයක් ම ඉතා ම යථාර්ථවාදීව පෙන්වා දෙනව. මේක මෙතෙක් ලෝකයේ නිපදවී ඇති  හොඳ ම යුධ චිත්‍රපට අතරට එක්වන බව සැකයක් නෑ. ඉතින් 1917 තවමන් නැරඹුවේ නැති නම් නොපමාව Blake සහ Shofield එක්ක මේ ගමන යන්න ; යුද්ධයේ සැබෑ  අත්දැකීම ඔබ ම විඳගන්න.









Monday, January 27, 2020

.chhichorre (2019)

"The most important thing in life is life it self"

දුෂ්කරයි කියා ජීවිතය අතහැර දමා යන කෙනෙකුට මග හැරෙන දේවල් බොහෝමයි. එකක් ජීවිතය කියන්නෙම කඩා වැටීම් පරාජයවීම් නැවත නැගීසිටීම් මේ හැම දෙයක්ම බව. කෙනෙක් ජීවිතේ අතහැර යන්නෙ ඒක පවත්වාගෙන යාම අර්ථයක් නැති නිසා. ඇත්ත.. ජීවිතයට එහෙම නෛසර්ගික වටිනාකමක් නැහැ. ඒකට තියෙන්නෙ පැවරුණු වටිනාකමක් පමණයි. අපි මොනවගේ වටිනාකමක් ද අපේ ජීවිතයට ලබාදීල තියෙන්නෙ.. නිකම් අතහැර දමා යනවට වඩා දෙයක් අපිට කරන්න බැරි ද..දිනුම වගේන පරාජයත් අනිවාර්ය නම් ඒ දේවල් බාරගන්න තරම් මානසිකත්වයක් නැති නිසා ද... "සෝර්බා නම් ග්‍රීකයා" කතාවෙ සෝර්බා කියනව එළියෙ කොයිතරම් කුණාටු තිබුණත් මම බය නෑ.. මොකද මගෙ ගෙදර වහල ශක්තිමත් බව මම දන්නව කියල... මේ ඇතුලාන්ත හයිය අපි හැමෝටම ඕන..chhichorre පරාජයන් හමුවේ නැවත නැගී සිටීමේ වටිනාකම කියාදෙන බොහෝම සංවේදී සිනමාපටයක්.. සමස්තයක් විදිහට කතාවෙන් සංනිවේදනය කරන කාරණය ඉතාම සාර්ථක මතු කරල තියනව..අවසානය අනපේක්ෂිතයි වගේම ප්‍රබලයි .. කම්මැලි නැතිව බලා ඉන්න පුලුවන් හොඳ සිනමා අත්දැකීමක් බව කියන්න කැමතියි.....විශේෂයෙන් වයස එක්ක චරිත වල ස්වරූපය වෙනස් වීම බොහොම අපූරුවට පෙන්වනව. ඉන්දියානු සිනමාපට රසවිඳින කෙනෙක් නම් මේක මගහැරගන්න එපා..

ප.ලි - මේක විශිෂ්ට මට්ටමේ චිත්‍රපටයක් බව කියන්නෙ නෑ. කෙනෙකුට මේක ගතානුගතික බොලිවුඩ් මසාලාවක් වෙන්න පුලුවන්. මේ මසාලා ලක්ෂණ අඩු නැතුව මේ චිත්‍රපටයෙ ඇතුලත් වෙලා තියනව. අපි බලන හැම දෙයම අති විශිෂ්ට විය යුතු නෑ නෙ...







Friday, January 24, 2020

Only me


යාන්තම් සුළඟටත් ඇරෙන
අර පුංචි කවුලුව අසල නවතිමි
තවත් පර මලක් හීන් හඬකින් සැලෙයි
උඳුපියලි පොලවේ කෙනෙක් පියවර තබයි
අවු රැස් වැදී තුරු සෙවණ සිහිලස බිඳෙයි..
ඔබ කොතැන කෙලෙස දැයි සිතුවිලි පිරෙයි..

දිගැර වත් පොත
පෙරලා බලමි පිටු එකිනෙක
කලබලෙන් කුරුටුගෑ 
Only me වදනතර
පරිස්සම් කර තැබූ ඔබ දෙස..

යලිත් පැමිණ 
ඔබෙ පිටුවට
විමසා බලමි 
යමක් ඇත්දැයි 
කිසිවක් නැත එහි
කිසිවක්ම නැත...
බොහෝ කලකින්
ආගිය සලකුණකුදු නැත..

විමසන්නෙද ඔබත්
එලෙසම...
සිනාසෙන්නෙද නැතිනම්
සෙල්ෆි පින්තුරයකට
සිරගත කර මා
කිසිවෙකුට 
නොපෙනෙන
කිසිවෙකුත් 
නොදකින
Only me 
පෙදෙසක..




Thursday, January 23, 2020

Ford vs Ferrari (2019)

2018 අවුරුද්දෙදි තට්ටෙ පෑදුන ඇඟේ මස් ගොබ එල්ලා හැලෙන බඩ තඩි දේශපාලකයෙක් වෙලා හිටපු Christian Bale 2019 දී කෙට්ටු කැහැටු හකු බැහැපු මෝටර් රථ කාර්මිකයෙක් බවට පරිවර්තනය වී ඇති ආකාරය අදහාගන්න බැරි තරම්. Vice චිත්‍රපටය වෙනුවෙන් ගොඩනගා ගත්ත තරබාරු ශරීරය ධාවන ශුර Ken Miles ට ගැලපෙන ආකාරයෙන් අඩු කරගන්න ඔහුට ලැබිල තියෙන්නෙ මාස හයක වගේ කාලයක්. මේ කාලය ඇතුලත ආයෙම ශරීරය හදා ගන්නෙ කොහොමද කියල අධ්‍යක්ෂවරයා ඇහුව පැනයට පිලිතුරු දෙන Bale කියා තිබෙන්නෙ සරලවම කෑම නොගෙන සිටීමෙන් තමාට එය කල හැකි බව. Bale ගේ විස්මය ජනක රෑපාන්තරණයන් ප්‍රේකෂකයාට දැකගන්න ලැබෙන පළමු වතාව මෙය නොවෙයි. තමන් රඟපානය චරිතය උපරිම කැපවීමකින් ඉහළින්ම නිරෑපණය කරන්න වෙහෙසෙන්නෙක් විදිහටයි Christian Bale ප්‍රසිද්ධ වෙන්නෙ. ඒ ඒ චරිතයට ගැලපෙන්න ශරීර ස්වරූපයන් වෙනස්කර ගැනීමට සුවිශේෂ සමත්කමක් පෙන්වන්නෙක් ඔහු. 2019 අවුරුද්දෙ විශිෂ්ටයන්ගෙ ලයිස්තුවට ඔහුත් අනිවාර්යයෙන් ඇතුලත් විය යුතු යි.

Ford vs Ferrari කතාව ගොඩනැගෙන්නෙ 60 දශකය මුල්කරගෙන. ඇමරිකානු මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වෙච්ච Ford සහ ඉතාලියානු මෝටරථ නිෂ්පාදන සමාගමක් වෙච්ච Ferrari අතර පැවති තරඟය ගැන කතාවක් මේ චිත්‍රපටයට ඇතුලත් වෙන්නෙ. ඇමරිකානු මෝටර් රථ ධාවකයෙක් හා නිශ්පාදකයෙක් වෙච්ච Carroll Hall Shelby  සහ කාර්මිකයෙක් වගේම ධාවන ශුරයෙකුත් වුන Kenneth Henry Miles යොදාගෙන Ford සමාගම 1966 දී Ford GT40 අධිවේගී මෝටර් රථය නිපදවීමත්, එය යොදාගෙන ප්‍රංසයෙ 24 Hours of Le Mans ධාවන තරඟය එහි නිත්‍ය ජයග්‍රාහකයන් වුණ Ferrari පරදවා ජයගන්න උත්සහ කිරීමත් චිත්‍රපටයෙ දැක්වෙන්නෙ. Ford vs Ferrari ඇත්තම සිදුවීම් මාලාවක් මුල්කරගෙනයි නිර්මාණය කර තිබෙන්නෙ.

චිත්‍රපටය මම බලාපොරොත්තු වුණාට වඩා සෑහෙන හොඳ මට්ටමක තිබුණා. චරිත ගොඩනැංවීම ඔවුන්ගේ මනුෂ්‍ය බැදීම් හොඳින්ම පෙන්වා තිබුණා. පැයට කිලෝමීටර් 200 ක වේගයෙන් මෝටර් රථ පැදවෙන අධිවේග ධාවන පථයේ උද්වේග කාරී බව, ජවය ඇඟට දැනෙන්නම නිර්මාණය කරල තිබුණෙ ප්‍රේක්ෂකයට කුතුහලය පිරුණු Edge of seat සිනමා අත්දැකීමක් ලබා දෙමින්.

කොහොම වුණත් Ford vs Ferrari ඇමරිකානු ස්වෝත්තම වාදය නිරූපණය කරන්න චිත්‍රපටයක් බව හැඟීයාම වලක්වන්න බෑ. ඇමරිකානු සිහිනය (American Dream) පිළිබද දෘෂ්ටිවාදය මේ චිත්‍රපටයෙන් තහවුරු කිරීමට උත්සහ ගන්න බව පෙනී යන කරුණක්. එයින් පුද්ගල අධිෂ්ඨානයේ ජයග්‍රහණය වගේම වෙළඳ වාණිජ ලෝකය ඇතුලෙ ඇමරිකානු ජයග්‍රණයත් පිළිඹිබු වෙනව (Ford vs Ferrari?) ලෝකයේ අනෙක් ජාතීන්ට වඩා ඔවුන් විශිෂ්ට බව.. ඔවුන් සමග තරග කල හැකි කිසිවෙක් නොමැති බව ද මේ සිනමාපටයෙන් නොකියා කියන්න උත්සහ කරන්නෙ,?? ඒ ගැටලුව එහෙම ඉතිරි කරන්නෙ චිත්‍රපටය නරඹන්නෙකුට තමන්ට වැටෙහෙන ආකාරයට එය කියවා ගැනීමට ඉඩක් තබමින්..




Christian Bale 2018 (Vice)


Christian Bale 2019 (Ford vs Ferrari)









Wednesday, January 22, 2020

Marriage Story (2019)


කේන්ද්‍රීය වශයෙන් විවාහය ගැන කතාකරන චිත්‍රපට දෙකක් 2019 අවුරුද්දේ අපිට දකින්න ලැබුණ. එකක් අපේ රටේ "දැකල පුරුදු කෙනෙක්". අනෙක හොලිවුඩයේ "Marriage Story". ලාංකීය සමාජ සංස්කෘතික පරිසරය ඇතුළේ අතිශය ගතානුගතික සහ අධිපතිවාදී අදහස් දරන මිනිසෙක් සහ එයින් ගැහැණියක් ගැන කතාවක් "දැකල පුරුදු කෙනෙක් " චිත්‍රපටයෙන් අපි දැක්කා. "Marriage Story" චිත්‍රපටයට ඇතුළත් වෙන්නේ අට අවුරුදු විවාහ ජීවිතයකින් පස්සේ දික්කසාදයේ එළිපත්ත උඩ ඉන්න යුවළක් ගැන කතාවකුයි. මේ චිත්‍රපටයේ විශේෂත්වය වෙන්නේ අපිට "අමුතු කතාවක්" දකින්න නොලැබීමමයි. Marriage story හී ජීවිතේ යථාර්ථයන් තිරය මත දිග ඇරෙන්නේ අපි "දැකලා පුරුදු" ස්වරූපයෙන් ම ඒ ආකාරයටම යි. විවාහය කියන කේක් ගෙඩියේ අයිසින් ඉවත් කරලා ඇතුලාන්තයේ පවතින ඇත්ත ස්වරූපය මොකක්ද කියලා මේ චිත්‍රපටයෙන් අපට පෙන්වා දෙනවා. අපි කලින් කතා කරපු ලාංකිය චිත්‍රපටයටත්, Marriage Story එකටත් පොදු ලක්ෂණය වන්නේ එයයි. 

විවාහක යුවලක් දිහා පිටින් බලන කෙනෙකුට ඔවුන් බොහෝ ම ආදරෙන් ජීවිතය ගෙවන දෙදෙනෙක් කියා හිතුණත් ඔවුන්ගේ ජීවිතවල තියෙන යථාර්තය ගැන දන්නේ  ඒ දෙදෙනා පමණයි. මේ කාරණය Charlie සහ Nicoleටත් පොදුයි. Charlie සහ Nilcole දෙන්නා දකින කොට අපිට හිතෙන්නේ මුන් දෙන්නා ඇත්තට ම මෙච්චර මරා ගන්න ඕනේ ද කියලයි. යම් කෙනෙක් දිහා පිටින් බලලා අපි දෙන තීරණවලට වඩා ඇත්තට ම ඒ පුද්ගලයන්ගේ අත්දැකීමට සමපාත වෙලා බැලුවාම තත්ත්වය වෙනස් කියලා අපිට තේරෙනවා. Charlie සහ Nilcole දෙදෙනා ම එකිනෙකා ගැන දැඩි වෛරයකින් පසුවෙන අය නොවෙයි. නමුත් දෙදෙනාට ම තවදුරටත් එකට පවතින්න හැකියාවක් නැහැ. 

විවාහයක් පවතින්නනේ නිතරම "අපි" කියන වචනේ එක්ක වුණත් "මම" සහ "මගේ පැවැත්ම" ළඟ දෙදරා යන්නේ "අපි". ආදරයෙන් බැඳුණු, ප්‍රේමයෙන් මුසපත් වුණ රසායනිකයන් ක්‍රමයෙන් වියැකිලා යෑම අතිශය ස්වභාවිකයි. විවාහපත් වෙන හැම යුවළක් ම මුහුණ දෙන ගැටලුව මේකයි. "එයා දැන් ඉස්සර වගේ නෑ" , "මම ආදරේ කළ කෙනා නෙමෙයි මේ" ඔය වගේ කතා අහන්න ලැබෙන්නේ එතකොට. නින්දකින් ඇහැරුණා වගේ හැබෑ ජීවිතේ එක්ක හැප්පෙන කොට, අර රොමැන්ටික් ආදරේ ටිකෙන් ටික පෑල දොරෙන් පලා යන කොට කළකිරීම, පසුතැවීම ටිකෙන් ටික ජීවිතේට කාන්දු වෙන්න පටන් ගන්නවා. "ඇයි මම විවාහ වුණේ ?", "මොන දුකක් ද මම මේ විඳින්නේ ? " කියලා කම්මුල්ලේ අත ගහන් කල්පනා කරනවා. බොහෝ අයගේ ඇත්තම Marriage Story එක ඕක තමයි. අපි වගේ සම්ප්‍රදාය සංස්කෘතිය ඉහ උඩ තියාගත්ත ආසියාතික රටක නම් ජීවිතේ තියන තුරා මේ බර උහුලාගෙන යන්න වෙනවා. අපිට දකින්න ලැබෙන අතිශය බහුතරයක් විවාහ ජීවිත එහෙමයි. ඇමරිකාව වගේ රටක නම් දෙදෙනාට කතාබහ කරලා දික්කසාද වෙන්න පුළුවන්. නමුත් එය එතරම් සරල නෑ. ඒ වගේ ම පහසුත් නෑ. නීතිය ඉදිරියේ ඔවුන්ගේ ජීවිතය දිග ඇරෙන්න පටන් ගන්නවා. කලක් මේ ලෝකේ කාටත් වඩා මං ආදරෙයි කිව්ව කෙනා ම අද ලෝකයක් ඉදිරියේ මට මේ පුද්ගලයා එක්ක තවත් ජීවත් වෙන්න බැහැ කියලා හඬගානවා;  වෙන් වෙන්න කරුණු හොයනවා. නමුත් වැදගත් ම කාරණය වෙන්නේ දරුවන්. දෙමව්පියන් මේ විදිහට බැන ගනිද්දී, එකිනෙකාගේ ලෝකවලට වෙන්වෙන්ව යද්දී ඔවුන්ගේ දරුවන්ට වෙන්නෙ මොකක්ද ? මව්පියන්ගේ ආරවුල්වලට මැදිවෙන දරුවන්ට ඇතිවෙන මානසික බලපෑම කොයි තරම් අයහපත් ද ? වැඩිවියට පත් වුණාට පස්සේ ඔවුන් නැවත සමාජයට එක්වෙන්නේ මේ පීඩාකාරී මානසිකත්වයෙන් පෙලෙන මිනිස් ජීවිත හැටියට නොවෙයි ද ? පවුල කියන්නේ සමාජේ කුඩා ම ආයතනය වුණත් පවුල ඇතුළෙන් සමාජයට ඇතිකරන්න පුලුවන් බලපෑම කොයි තරම් විශාලද ? වගේ ජීවිතයට වැදගත් කරුණු කාරණා Marriage Story එක ඇතුළෙදී  මතු කරගන්න පුළුවන්.

Marriage Story තිර රචනාව සහ අධ්‍යක්ෂණය  එන ඇමරිකානු සිනමාකරුවෙක් වුණ Noah Baumbach ගෙ. ඔහුගේ මීට පෙර අධ්‍යක්ෂණය කළ "The squad and the whale" චිත්‍රපටය ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වුණා. ඒ චිත්‍රපටයත් විවාහය සහ දික්කසාදය තේමා කරගත්ත එකක්. 2013දී Noah Baumbach එතෙක් ඔහුගේ බිරිඳ වුණ Jennifer Jason Leigh සමඟ තිබුණ විවාහය අවසන් කරනවා. ප්‍රධාන චරිත රඟ දක්වන බොහෝ දෙනා දික්කසාදය සම්බන්ධ අත්දැකීම් ලබපු අයයි. සැකයක් නැතුවබ්ම 2020 ඔස්කාර් සම්මාන උළෙලදී ඔහු ගැන අපට නැවත අහන්න ලැබේවි. 

ප්‍රධාන චරිත දෙක නිරූපණය කරන Scarlett Johansson සහ Adam Driver අපට මතක හිටින රංගනයක නියැළෙනවා. විශේෂයෙන් Entertaining ගණයේ සිනමාපටවලටවල බහුලව රංගනයේ යෙදෙන Scarlett Johansson තමන්ට ඕනෑ ම ආකාරයේ චරිතයක් නිරූපණය කළ හැකි බව මෙයින් ඔප්පු කර පෙන්වනවා.  නිතර ම සිනාමුසු මුහුණෙන් පසුවෙන ප්‍රීතිමත් ගෘහණිය, දරුවා තමන්ගේ ජීවිතය කරගත් ආදරණීය මාතාව, කෝප වී ආවේගයෙන් බැණ වදින ගැහැනිය, දුක්ගෙන හඬාවැටෙන ප්‍රේමවන්තිය.... මේ හැම චරිතයක ම ඇය ජීවමානව හිඳින බව මට දැනෙනවා. එතන ඉන්නේ Avengers චිත්‍රපටවල හිටපු සුපිරි වීරවරිය නොවේ ; ඈ Scarlett නොවේ. ඈ Nicoleමයි. ඒ රංගනයේ විශිෂ්ටත්වය මතුවෙන්නේ එතනිනුයි. ඒ වගේ ම චිත්‍රපටයේ සංගීතය ගැනත් කිව යුතුමයි. ඒ ඒ මොහොතේ අවශ්‍ය භාවයන් වයලීනයේ නාදයත් එක්ක කණ හරහා ඇවිත් හදවත පිරිමදින කොට අපිත් චිත්‍රපටය එක්ක එකාත්මික වෙන්න පටන් ගන්නේ භාවනාවකට සමවැදුණා හා සමානවයි.

Marriage Story චිත්‍රපටය නිකුත් වෙන්නේ Netflix ආයතනය හරහා රූපවාහිනී මාධ්‍යයෙන්. සම්මානවලට ඉදිරිපත් කරන්න අවශ්‍ය නිසා ඔවුන් සිනමා ශාලාවල සීමිත දර්ශන වාර ගණනක් පවත්වනවා. මේ Netflix ආයතනට එරෙහිව යම් විරෝධයක් හොලිවුඩයෙන් එල්ල වෙමින් තිබෙනව. ඒ ඔවුන් රූපවාහිනී මාදධ්‍යයෙන් චිත්‍රපට නිකුත් කිරීම සිනමාශාලාවලට දැඩි තර්ජනයක් බව කියමිනුයි. මේ චෝදනාවලට පිළිතුරු බඳින Netflix ආයතනය කියන්නේ ඔවුන් සිනමාශාලාවකට ගිහින් චිත්‍රපටයක් බලන්න හැකියාවක් නැති කෙනෙකුට වුණත් ගෙදර ඉඳන් ම චිත්‍රපට රසවිඳීමේ අවස්තාව ලබා දෙන බවයි. මේ කාරණා කොහොම වුණත් Marriage Story කියන්නේ නම් කොයි මාධ්‍යයකින් හරි බලන්න වටිනා සිනමා නිර්මාණයක් බව නම් ඉතාමත් පැහැදිලි.









Monday, January 20, 2020

වමෙන් රිය පදවන්නේ ඇයි?

පාරක වාහනයක් පදවාගෙන යනව නම් එක්කො වම් පැත්තෙන් නැත්නම් දකුණු පැත්තෙන් පදවාගෙන යා යුතුයි. ලෝකෙ අතිශය බහුතරයක් රටවල (ලෝක ජනගහනයෙන් 65%ක් පමණ) භාවිතා වෙන්නෙ දකුණු පැත්තේ නීතිය. ඒ කියන්නෙ පාරෙ වාහන පැදවිය යුත්තෙ දකුණෙන්. නමුත් අපේ රටේ භාවිතවෙන්නෙ වම් පැත්තෙන් රිය පදවන නීතිය. මේ වම් පැත්තෙ නීතිය භාවිතයට එන්නෙ කොහොමද ?. 

17 වෙනි ශතවර්ෂය පමණ කාලයෙ බ්‍රිතාන්‍යයෙ නයිට් වරුන් තමයි මේ ක්‍රමය පටන්ගත්තෙ. නයිට් වරු නිතරම අසුපිටින් ගමන් කරද්දි අසිපත දකුණු අතේ දරාගෙන යාමට අවශ්‍ය වුණා. (ඔවුන් බහුතරය දකුණත හුරු වූවන් නිසා) මේ නිසා අශ්වයෙකු පිට නැගිල පාරක යනවිට දකුණු පැත්තෙන් ඉඩ තබාගෙන පාරේ වම් පැත්තට අයින් වී ගමන් කරන්න ඔවුන් පුරුදු වී හිටිය. වමෙන් ගමන් කරද්දි ඉදිරියට සතුරෙක් මුණගැහුනොත් ප්‍රතිප්‍රහාරයකට වඩා හොඳින් මුහුණ දෙන්න හැකියාව ලැබුණ. ඒ වගේ ම දකුණු අතේ අසිපත දරාගෙන වම් පැත්තෙන් අසු පිටින් බැසීම වඩා පහසු වුණා. ඉතින් මේ සිරිත අනුව කාලයාගෙ ඇවෑමෙන් මෝටර් රථ භාවිතයට පැමිණීමත් එක්ක වම් පැත්තෙන් රිය පැදවීම බ්‍රිතාන්‍යයේ සම්මත ක්‍රමය වුණා. බ්‍රිතාන්‍යයෙ යටත් විජිත බවට පත්ව තිබූ රටවල් මේ ක්‍රමය අනුගමනය කරන්න ගත්ත. ඉතින් අද උතුරු සහ දකුණු ඇමරිකානු රටවල්, අප්‍රිකානු මහද්වීපයෙන් අඩකටත් වැඩි කොටසක් සහ එංගලන්තය හැර මුලු යුරෝපයම වගේ රටවල ජනයා දකුණෙන් රිය පදවගෙන යද්දි ඉන්දියාව, ගිණිකොණ දිග ආසියාව, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ ලංකාවේ අපි අසිපතක් අතේ නැතත් වම් පැත්තෙන්ම රිය පදවගෙන යනව.





එංගලන්ත නයිට් වරයෙකුගේ අනුරුවක්.




වමෙන් රිය පදවන රටවල් සහ දකුණෙන් රිය පදවන රටවල්
තැඹිලි පාට - වමෙන්
කොළ පාට - දකුණෙන්


Thursday, January 16, 2020

යුද්ධය ගැන අමරණීය ගීයක් ගැයූ Rock සංගීතයේ සුරදූතිකාව


20 වෙනි සියවසේ මුල් භාගයේ (1916) අයර්ලන්තයේ IRA (Irish Republican Army) ආයුධ සන්නද්ධ සංවිධානය බිහිවෙන්නෙ උතුරු අයර්ලන්තය බ්‍රින්‍යය අධිපතිත්වයෙන් මුදවා ගැනීමේ අරමුණෙන්. ඒ යුගයේ පටන් බ්‍රිතාන්‍ය රජයත් IRA සංවිධානයත් අතරෙ නොයෙක් ආකාරයේ අවි ගැටුම් සිදුවුණා. 1972 අවුරුද්දෙ ජනවාරි 30 ඉරිදා දවසෙ බ්‍රිතාන්‍යට එරෙහි විරෝධතාවක යෙදෙමින් සිටි නිරායුධ උතුරු අයර්ලන්ත සිවිල් වැසියන් පිරිසක් බ්‍රිතාන්‍ය හමුදාව අතින් සමූලඝාතනයට ලක්වෙනව. ඒ අඳුරු සිදුවීම ලෝක ඉතිහාසයේ සටහන් වෙන්නෙ Bloody Sunday නමින්. ජනප්‍රිය Rock සංගීත කණ්ඩායමක් වුණ U2, මේ සිදුවීම මුල් කරගෙන Sunday, Bloody Sunday නමින් ගීයකුත් නිර්මාණය කරනව.

1993 මාර්තු 30 වෙනිදා IRA සංවිධානය එංගලන්තයේ වොරින්ටන් නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනව. මේ ප්‍රහාරයෙන් කුඩා දරුවන් දෙදෙනෙක් (Jonathan Ball, Tim Parry) අකාලයේ මියැදෙනව. මේ සිදුවීම බොහෝ දෙනාගේ හදවත් කම්පාවට පත් කල සිදුවීමක් වුණා. ඒ වෙනකොට අයර්ලන්තයේ නවක ගායිකාවක වුණු Dolores O'Riordan සැකයක් නැතුවම එයින් දැඩිව සසල වෙන්න ඇති. 

Another head hangs lowly
Child is slowly taken
And the violence, caused such silence
Who are we mistaken?

මේ වචන පේළිය ඈ අතින් ලියවෙන්නෙ ඒ අනුව. Dolores ඒ වෙනකොට ලන්ඩනයේ සංචාරක යෙදෙමින් සිටි නිසා බෝම්බ ප්‍රහාරයේ උණුසුම ඇයට තවත් තදින් දැනෙන්න ඇති. මේ ගීය නම් වෙන්නෙ Zombie නමින්

"මුල් පද ටික මගෙ ඔලුවට ආවෙ එක පාරටම වගේ එදා රෑම බොක්ස් ගිටාරත් එක්ක මම ඉතිරි පද ටිකත් තනුවත් නිර්මාණය කලා.. ඒක ඉක්මණින්ම මතක හිටින අපූරු ගීතයක් වේවි කියල මට හිතුණ."

Zombie නිර්මාණය වුණු හැටි ගැන Dolores කියන්නෙ එහෙම. 

"පහුවදා උදේම පුහුණුවීම් කරනකොට මම විදුලි ගිටාරය යොදාත්ත, ඔයාට ඕක තව ටිකක් හයියෙන් ගහන්න වෙයි කියල ඩ්‍රම්ස් වාදකයට මම කිව්ව. බොක්ස් ගිටාරය ආශ්‍රයෙන් නිර්මාණය කලත් ඒක අවසානෙ Rock ගීයක් වුණා"

1990 දී පළමු ගීත ඇල්බමය Everybody Else Is Doing It, So Why Can't We? නිකුත් කළ ඇගෙ සංගීත කණ්ඩායම The Cranberries ඒ වෙනකොට ලබා තිබූ සාර්ථකත්වය අනුව දෙවැනි ඇල්බමයට සූදානම් වෙමින් සිටියා. ඔවුන්ගේ පළමු ඇල්බමයේ Dreams, Linger ගීත දෙක ඉතා ඉහළින් ජනප්‍රියත්වයක් ලබාගෙන තිබුණා. Dolores ට අවශ්‍ය වුනේ තමන් නිර්මාණය කල Zombie ගීය එක් තනි ගීයක් single විදිහට එළිදක්වන්නයි. නමුත් පටිගත කිරීමේ සමාගම මෙයට කැමැත්තක් දැක්වුයේ නැහැ. දේශපාලන අරුත් සහිත ගීයක් මුලින් නිකුත් නොකරන්න ඔවුන් ඇයට බල කලා. අලුතෙන් වෙනත් ගීතයක් නිමවා පටිගත කරන්න ඔවුන් ඇයට ඩොලර් මිලියනයක චෙක්පතක් පවා ලබා දෙන්න සූදානම් වුණා. නමුත් ඇය නොවෙයි තමන්ගේ අදහස වෙනස් කලේ. Cranberries කළමනාකරු Alan Kovac ඈ ගැන මතකය අවදිකරන්නෙ මෙහෙමයි 

"ඈ ශරීරයෙන් බොහොම පොඩියි... පෙනුමත් මලානිකයි.. නමුත් වැඩ කරද්දි ඈ හරි මුරන්ඩුයි.. කාටවත් නොනැමෙන සුලුයි".

1994 සැප්තැම්බරයේ ඇගේ ඉතා සුවිශේෂ හඬින් ගැයුණු Zombie ගීය ලොවට එළි දැක්වුණා. යුද්ධයෙන් පීඩිත ලොවක ආවේගය.. ඈ තම හඬින් සිත්තමක් වගේ නිමැවූවා. Zombie ගීය අහල බැලුවොත් ඔබට එය හොඳින් වැටහේවි. ඇය තමන්ගෙ කටහඬේ සුන්දරත්වයට වඩා වේදනාත්මක බව මතුවෙන්න ඉඩ දෙනවා. ගීතයෙ සංගීතමය වියමන ඇතුලෙ ලීඩ් ගිටාරය (Lead Guitar) වාදනය වෙන්නෙ යම් සීමිත ස්වර පරාසයකයි. රිදම් ගිටාරයේ ආවේගශීලි කර්කශ (Distroted) ස්වභාවය සහ ඩ්‍රම්ස් නාදය ගීතයේ වඩා මතුවී ඇහෙනවා. 1993 කියන්නෙ Rock සංගීතයෙ Grung රැල්ල ආරම්භ වෙලා යම් ස්ථාවර තැනකට පැමිණි යුගය. 90 දශකය පටන්ගැනීමත් එක්ක Nirvan, Pearl Jam, Alice in Chains, Sound Garden වගේ සංගීත කණ්ඩායම් වඩා කර්කශ විදුලි ගිටාර් නාදයන් (Heavy Distrotion) එක්ක Grunge රැල්ල අරඹා තිබුණා. Cranberries කණ්ඩායමේ Zombie ගීතයත් මේ Grunge වලට සෑහෙන කිට්ටු ස්වභාවයක් ගන්නව. Zombie රටවල් ගණනාවක ගීත දර්ශක වල ඉහළම ස්ථාන වලට පැමිණුනා. මේ ගීතය වෙනත් අය ගායනා කල Cover version ගණනාවක්ම එළිදැක්වුණා. Zombie ගීතය Cranberries කණ්ඩායමේ No need to argue ඇල්බමයට ඇතුලත් වුණා.

"මේ ගිතය යම් තරමකට ජනප්‍රිය වේවි කියා මම හිතුව" Dolores පසුව කියාසිටියා "නමුත් මේ තරම් විශාල ජනප්‍රියත්වයක් එයට ලැබේවි කියල මම කවදාවත් හිතුවෙ නෑ" 

කොහොම නමුත් Zombie යුද්ධය ගැන කියවෙන එක් අමරණීය ගීයක් බව ඉතිහාසයට එක්වී අවසානයි. මේ ගතවෙන්නේ ලැව් ගින්න, කාබන් විමෝචනයෙන් ඉහළ යන ගෝලීය උෂ්ණත්වයට අමතරව යුධ ගින්නෙනුත් මුලු ලොව උණුසුම් වෙමින් පවතින මොහොතක්. වනාත්තර ගිනිතබා විනාශ කිරීමෙන් හරි සංවර්ධනය ආර්ථික දියුණුව මවා පෙන්වීමෙන් තම බලපැවැත්ම තහවුරු කරගන්න දතකන්නේ ඔබත් නොවෙයි මමත් නොවෙයි ..බැලස්ටික් මිසයිල, න්‍යෂ්ටික අවි, මරාගෙන මැරෙන ප්‍රහාර මේ මොන ක්‍රමයෙන් හරි ලෝක තුල තම ආධිපත්‍යය තහවුරු කරගන්න පොරකන්නේ ඔබත් නොවෙයි මමත් නොවෙයි.. ඒත් විනාශ වෙමින් තිබෙන්නෙ අපි සියලුදෙනාම ජීවත් වෙන පොළව.. යුද්ධයෙන් මිය යන්නෙ කිසිදාක යුද්ධය ඉල්ලා නොහිටි ඔබ අපි... ඔය බලවත් රාජ්‍යයක් යුද්ධය වෙනුවෙන් වෙන් කරන මුදලෙන් කොටසක් ලෝකයේ දුප්පත්කම නැති කරන්න..විනාශ වී යන පරිසර පද්ධති නැවත ගොඩ ගන්න පහසුවෙන්ම යොදවන්න තිබුණා.. නමුත් නැහැ.. එය කවදාවත් වෙන දෙයක් නොවේ.. ලෝකය කැරකෙන්නෙ එහෙම නොවෙයි.. 

2018 ජනවාරි 15 දා ලන්ඩනයෙ ඈ නැවතී හිටි Hilton හෝටලයෙන් Dolores O'Riordan ගේ මළසිරුර සොයාගන්නව. මරණයට හේතුව ඇල්කොහොල් ශරීරගත ව නාන බේසම තුල ගිලී යාම බවයි කියන්නෙ. ඇගෙ අතින් නිමවුණු මේ ගීය 1993 අවුරුද්දට පමණක් නොවේ අදටත් ඇත්තක් ..

Another head hangs lowly
Child is slowly taken
And the violence, caused such silence
Who are we mistaken?

But you see, it's not me
It's not my family
In your head, in your head, they are fighting
With their tanks, and their bombs
And their bombs, and their guns
In your head, in your head they are crying

In your head, in your head
Zombie, zombie, zombie-ie-ie
What's in your head, in your head
Zombie, zombie, zombie-ie-ie, oh

Another mother's breaking
Heart is taking over
When the violence causes silence
We must be mistaken

It's the same old theme
Since nineteen-sixteen
In your head, in your head, they're still fighting
With their tanks, and their bombs
And their bombs, and their guns
In your head, in your head, they are dying

In your head, in your head
Zombie, zombie, zombie-ie-ie
What's in your head, in your head
Zombie, zombie, zombie-ie-ie, o









The Cranberries 


Zombie by Cranberries 




Tuesday, January 14, 2020

Portrait of a Lady on Fire (2019)

2019 අවුරුද්දෙ හොඳම විදෙස් භාෂා චිත්‍රපටයට (Parasite) හිමි Golden Globe සම්මානය දිනාගත්ත කොරොයානු ජාතික සිනමාකරු Bong Joon Ho හරි අපූරු කතාවක් කියනව. ඔහු කියනව 

"උපසිරැසි වලට අයිති අඟලක පමණ ඉඩ ජයගත්තට පස්සෙ ඔබට විස්මයජනක සිනමාපට බොහෝගණනක් දැකගන්න ලැබේවි" කියල

"Once you overcome the one-inch tall barrier of subtitles, you will be introduced to so many more amazing films"

ලෝකයේ ප්‍රධානම (විශාලම කිව්වොත් වඩා නිවැරදි) සිනමා දේශයන් වුණ ඇමරිකාව සහ ඉන්දියාවට අමතරව ඉතාම දියුණු සිනමාවක් පවතින රටවල් ගණනාවක් තිබෙනව. කොරියාව, ජපානය, ස්වීඩනය, ප්‍රංශය, ඉරානය, ජර්මනිය වගේ රටවල් ඒ අතින් විශේෂයි. අපේ වගේ රටවල ඉන්දියානු සහ ඇමරිකානු රටවල සිනමාපට වලට ලැබෙන අවධානය අනෙක් භාෂා වලින් නිමැවුණු සිනමා නිර්මාණ වලට නොලැබෙන තරම්. අපහසුවෙන් හරි මේ භාෂා බාධකය ජයගත්තොත් ඔබට Bong Joon කිව්ව වගේ අපූරුම සිනමාපට බොහෝමයක් දැකගන්න ලැබේවි.

ප්‍රංශ බසින් නිමැවුණු Portrait of a Lady on Fire 2019 අවුරුද්දෙ Golden Globe උළලේ හොඳම විදෙස් භාෂා සිනමාපට අතර ඇතුලත් වුණු එක් චිත්‍රපටයක්. 18 වෙනි සියවසේ යුරෝපයේ චිත්‍ර ශිල්පිනියක් සහ ඇගෙ පින්සල් තුඩින් සිතුවමට නැගෙන කුල කාන්තාවක් අතරෙ ඇතිවෙන මනුස්ස බැඳීමක් ගැන මේ සිනමාපටයෙ කියැවෙන්නෙ. චිත්‍ර ශිල්පිනියට නියමිත කුලකාන්තාව සිතුවමට නැගීම පමණක් වුණත් ඇය සිතුවම් කිරීමට නියමිත තවත් එක් වස්තුවක් විදිහට නොසලකා ඇය ආශාවන් සිතුම් පැතුම් බලාපොරොත්තු පිරුණු මනුස්සයෙක් විදිහට බාරගන්නව. ඒ බැඳීමට වටිනාකමක් ඇය දෙනව. ලෝක සම්මතයන් සියල්ල පසෙකදමා ඔවුන්ගේ ආත්මයනුත් ශරීරයනුත් ප්‍රේමයෙන් බැඳෙනව. එය හුදු ආශාවන් සංසිඳුවාගැනීමට එහා ගිය යමක් වෙන්නෙ එය විශ්වාසවන්ත බව, එකිනෙකාට ගරුකිරීම, මිත්‍රත්වය වගේ වටිනාකම් මත ගොඩනැගෙන දෙයක් වන නිසා. 

Portrait of a Lady on Fire ඇත්තටම තෙල් සායම් සිතුවමක් වගේ ඇහිපිය නොහෙලා බලන් ඉන්න හිතෙන වර්ණ හැඩතල එකතුවක්. 2019 අවුරුද්දට මං දැක්ක ලස්සනම Cinematography එකක්. ප්‍රංශය කියන්නෙ යුග ගණනාවක ඉඳන් සියලු කලාවන් පොෂණය කරන සරු බිමක් බව කලිනුත් සටහනක මම කිව්ව. මේ සිනමාපටයත් ඒවගේ කලාත්මක ගුණයෙන් පොහොසත් හැබෑම කලාකෘතියක්.

චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙත් සහ ප්‍රධාන චරිත හැම එකක්ම රඟපාන්නෙත් කාන්තාවන්. ඒ නිසා මේක ගැහැණිය මුල් කරගත්ත සිනමාපටයක් විදිහට හඳුනාගත්තත් වරදක් නෑ. නමුත් මෙතනදි එය ස්ත්‍රීවාදයකට තල්ලු නොවී ගැහැණිය සහ ගැහැණිය අතරම ඇති සොබාවික බැඳීම ඉතාම ප්‍රේමණීය තලයකට අරගෙන ඇවිත් බාහිර සමාජයක් මොන විදිහට දැක්කත් ඒ තුළ ඇති මනුස්ස ස්වභාවය පෙන්වා දෙනව. (The Handmaiden, Mullholand Drive, Margerita on a strew වගේ චිත්‍රපට මෙතනදි මතකයට නැගෙනව) 2019 අවුරුද්දට මම වින්ද සුන්දරම කලාත්මකම සිනමා අත්දැකීම Portrait of Lady on Fire බව කිවහැකියි.







Monday, January 13, 2020

Ready Or Not (2019)

"අපි යමු පහළට දැන් වෙලාව ළඟයි"

"ඔයාගෙ තාත්ත නම් ඉන්නෙ මළගෙදරක ඇවිත් වගේ. එයා මට කැමති නෑ නෙ"

"නැහැ.. එයා ඔයාට අකැමැති නෑ ග්‍රේස්.."

"එයා හිතන්නෙ මම සල්ලි හින්ද ඔයාගෙ පස්සෙන් ආව කියල"

"ඉතින් ඒක ඇත්ත නෙ"

"ඔයා නං හරි නපුරුයි"

"ඇයි ඒක ඇත්ත නෙමේ ද.. මොනා වුණත් එයාල හිතන ඒව අපිට වැඩක් නෑ නෙ"

"මට නං වැඩක් තියනව. මොකද ඒ අය මම බඳින්න යන මනුස්සයගෙ පවුලෙ අය නිසා.. මට තවමත් අදහගන්න බෑ මම තව පැය බාගෙකින් Le Domas පවුලෙ සාමාජිකයෙක් වෙන්න යන බව"

" ඔව්.. ඒත්... ඔයාට පුලුවන් මේ දැන්ම පිටවෙලා යන්න"

"ආ .. ඔව්.. මේ ඇවිත් ඉන්න මිනිස්සුන්ට ගෙනාපු තෑගිත් අරන් ආපහු යන්න කියල අපි පැනල යනව එහෙම ද"

"මේක විහිලුවක් නෙමේ ග්‍රේස්.. මම ඔයා ට අවස්ථාවක් දෙනව... මේ දැන් ම ... ඔයාට යන්න ඕන නම් යන්න පුලුවන්"

"නැහැ... මම යන්නෙ නෑ"

"ඔයා මේකට ලෑස්තියි ද? Are you ready for this?

ඩැනියෙල් සහ ග්‍රේස් අවසානෙ විවාහ වෙනව. විවාහ උත්සවය පැවැත්වෙන්නෙ ඩැනියෙල් ගේ පවුලෙ අති සුඛෝපභෝගී මන්දිරේ. උත්සවය බොහොම සරල නමුත් සුන්දර එකක්. විවාහ වුණ දවසෙ මද්‍යම රාත්‍රිය එළඹෙනව. අලුතෙන් විවාහ වුණ යුවලකට මේක බොහොම කාර්‍යබහුල වෙලාවක් බව කියන්න ඕන නෑ නෙ. නමුත් ඩැනියෙල් සහ ග්‍රේස්ට සිද්ද වෙන්නෙ මේ වෙලාවෙ වෙනස්ම අත්දැකීමකට මුහුණ දෙන්න. ඩැනියෙල් අයිති වෙන La Domas පවුල ක්‍රීඩා උපකරණ නිපදවීමේ දැවැන්ත ව්‍යාපාරයකට වගේම උතුරා යන ධනය වස්තු සම්පත් සම්භාරයකට උරුමකම් කියන පවුලක්. ඉතින් මේ පවුලට ඇතුලත් වීම ලේසි පහසු දෙයක් නෙමේ. අලුතෙන් පවුලට එකතුවෙන කෙනෙක් ක්‍රීඩාවක නියැලෙන්න ඕන. එයින් ජය ලැබුවොත් පමණයි පවුලේ සාමාජිකත්වය ලැබෙන්නෙ. මේක පුරාණ චාරිත්‍රයක්. La Domas ල පැරණි සිරිත් විරිත් ඉහ මුදුනෙන් පිළිගන්න අය. විවාහ උත්සවය දවස මධ්‍යම රාත්‍රියේ පවුලේ සාමාජිකයන් හැම කෙනෙක්ම එක් රහස් කුටියකට එක් වෙනව. අලුත් සාමාජිකයා එතනදි තමන්ට ලැබෙන කාඩ්පත් අතරින් එකක් තෝරාගත යුතු යි. කරන්න සිදුවෙන ක්‍රීඩාව තීරණය වෙන්නෙ තෝරගන්න කාඩ්පත අනුව. ඉතින් ග්‍රේස් කාඩ් පතක් තෝරාගන්නව. ග්‍රේස් තෝරාගන්න කාඩ්පත දකින ඩැනියෙල් තුෂ්නිම්භූත වෙනව. ඒක අවුරුදු ගණනාවකින් කවුරුවත් තෝරාගත්ත කාඩ්පතක් නොවෙයි. එහි ප්‍රතිඵලය අන්තිම භයානකයි. ලොමු දැහැගන්වන සිදුවීම් මාලාවක් ආරම්භ වෙන්නෙ ඉන් පස්සෙයි. තමන් වැටුණ අමාරුවෙ තරම ග්‍රේස් වටහ ගන්නව. සියල්ල ජීවිතයත් මරණයත් අතර සටනක් බවට සැණෙන් පෙරළෙනව.

2019 අවුරුද්ද සිනමා රසිකයන්ට ලේසියෙන් අමතක නොවෙන අවුරුද්දක් බවට පත් වුණා. හොළිවුඩයේ වගේම ලෝකයේ බොහෝම රටවල ඉතාම හොඳ මට්ටමේ සිනමා නිර්මාණ 2019 අවුරුද්දෙ එලියට ආව. Ready Or Not ඒ අතරෙ තියන්න පුලුවන් නිර්මාණයක්. Horror රසය අඩු නැතුව විඳගන්න පුලුවන්, ඊළඟ මොහොතෙ මොකක් ද වෙන්නෙ කියන කුතුහලය තදින්ම දැනෙන අපූරුම චිත්‍රපටයක්. Stephen King පවා මේ සිනමා නිර්මාණය ගැන ප්‍රශංසාත්මකව අදහස් පළකර තිබුණා. Horror/ Thriller රසිකයෙක් නම් මගහැර නොගත යුතු සිනමා අත්දැකීමක් Ready Or Not.