Friday, February 23, 2018

සැඳෑ කළුවර



උනුන් හා තරඟයට මෙන්
වෙන් වෙන්ව නැඟි කඳු මුදුන්
එක්ව ගෙන සඟවාගනී
සැඳෑ කළුවර සෙමෙන්.





සයිබර් අවකාශයේ කැටපත්පවුර

        http://www.ketapathpawra.com/?p=1452


#

Tuesday, February 20, 2018

සියොතුනේ



කාලයේ සංවහන සුළඟට
නේක හැඩ රටා මවන අහසට
සියොතුනේ තවත් දොස් නොපවරන්න....

වරින් වර රළ නගන සයුරට 
"මොහොතක් නතර වෙන්නැ යි"
කිවහැකිද 
ලිහිණියනේ නුඹලට...

තවත් රස පල වැල
හට ගන්න බොහෝ බිම් කඩ
තිබේ මේ මායිමෙන් මතුවට...

අතහැරී යන පිහාටුවට
අතහැරී යන්න ඉඩ දෙන්න
සීමා ළකුණු නැති
අහස්කුස නුඹගෙයි
සියොතුනේ
ඉගිලෙන්න.



Monday, February 19, 2018

සිත්තරෙක් මි .


සිත්තරෙක් මි 
තෙල් සායම 
ගණකමට
කැන්වස් ඕන නැති...

වෑන්ගෝට
ඩාවින්සිට
මොනාලිසාට
ඊරිසියා නොකරමි..

තනිවුණු
වෙලාවක
පැන්සලෙන් 
කටුගාන
මේ කුරුටු සිත්තම
මට ඇති.




Friday, February 16, 2018

සැගවිය නොහැකි යමක්....



වැරෙන් තොල් සායම් ඉලූ
රක්ත තොල් පෙති යුගට ඉහළින්
මළානික දෑසක්...

සෑන්දෑග හිරු මෙන්
ඇහි පියන් අතරේ ගිලෙන
සෝ බර බැල්මක්....

සුදු වර්ණ ඇඳුමෙහි
යන්තමින් හැකිලී පොඩිවුණ
තැනක් දෙකක්...

අපිළිවෙල කෙස් කළඹ
නොපෑහෙන බව ඔය මුහුණට
කියාදී නැත්ද මෙනවිය
තවම කවුරුත් ඔබට??




Thursday, February 15, 2018

පොඩි මැණිකේ....


නවත්වන්න 
පොඩි මැණිකේ
හූ හඬ..

ළඟ ළඟය දැන්
අවසාන නැවතුම්පළ.





Tuesday, February 13, 2018

සුළඟ


ඔබ නිසා පමණක්
හමා එන බවට
පිපෙන හැම මලකටම
කියා ඇත සුළඟ.



Monday, February 12, 2018

තටු ඉරුණු සමණල්ලු


අපිය තටු ඉරුණු සමණල්ලු
වාරේ අවාරේ වන්දනාවේ යන...
විඩාබර දිගු ගමන් කෙළවර
රෝස මල් පහසම පතන....

පැතලි දිග මේස වල වටවී
මධු බිඳෙන් බිඳ තොලගාන....
අතරමඟ පියාසැරි සගයෙකුට
වචනයක් දෙකක් විසිකරන...

උස් අතු මුදුන් වල ලගින
හයිකාර කුරුල්ලන්ගේ
ඉච්ඡා බස් වලට රැවටෙන...
පහත් බිම් වල සිට ඉහළ අහසට
කප්පරක් හීන කඳුගහන....

අපිය තටු ඉරුණු සමණල්ලු 
දවස දියවී දියවී වැගිරෙන
වෙහෙසකර සැන්දෑවරුවල
රිදෙන තැන් පිරිමදින..
කෙළවරක් නැති රෑ මැද
"හෙට" යැයි කියන දවසක් ගැන
හීනෙනුත් දකින...





Friday, February 9, 2018

ඔබේ ඇස මැද


මඟ හැරිය නොහැකි
පුංචි කළු තිතකි
ඔබේ ඇස මැද.



Thursday, February 8, 2018

??????


ඉහළ මුදුනට වී
කොයිතරම් කෙරුවත්
පාත පොළවට සද්ද...

වැහි වළාකුළු සෙනඟ 
අහස අතහරිනවා
දකිනකොට වියළුණ 
ගහකොළ බැද්ද ...

අඳුරින්ම පිරුණත්
ලෝකෙට එළිය දෙන
පහනක හරි මැද්ද....

අහුවුණොත් පහන් දැල්ලට
දැවී අළු වී යන බව
මේ පුංචි පළඟැටියනුත්
දන්නෙම නැද්ද??




Wednesday, February 7, 2018

Tuesday, February 6, 2018

කවුළුව


තදින් වසා
අගුළුලූ පසු
ඉදිරි දොර

සඳ එළිය
එනු පිණිස
හැර තබමි
අර පුංචි කවුළුව.




Monday, February 5, 2018

උදෑසන



අලුත් බඳුනක
දමා හිරු රැස
සෙමෙන් පිරිමැද
කඳු මුදුන් හිස
බෙදයි හිරු තෙම
උදෑසන සිට...

කපුටු සරයෙන්
සියොව ඇහැරී
කඩා ඇඟ මැලි
යහනතෙන් පිබිදී 
දුවයි කඩිසර
කුහුඹුවන් රැළ
නැවුම් අහරක් 
සොයන රිසියෙන...

පෙර දිනක විඳි
මලක සුවඳක් 
රොනක් මිහිරක්
ඇතත් තුඩු අග
වෙනත් කුසුමක
පුසුඹ ඉව කර
තවත් ගමනක
බඹර පිරිවර...

රැය පුරා
තුරු බඳක ළය මත
වෙළී පැටලුන
සිහින් මීදුම
උදා හිරු රැස්
නැගෙණු පළමුව
සියුම් සිපුමක්
තබා තුරු මත
"ගිහින් එන්නම්"
කියා නික්මිණ.