Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Wednesday, August 7, 2024

පරව ගිය කුසුමක්

 (1962 අගෝස්තු 4 මැරලින් මොන්‍රෝ මියගිය පුවත අසන්නට ලැබුණු සැණෙකින් චාල්ස් බුකොව්ස්කි මෙලෙස ලිවීය. එය බුකොව්ස්කි ගේ Burning in Water Drowning in Flame නම් කවි එකතුවේ ඇතුළත්ව තිබේ)

දැල්වුවා පහන් ඔබෙ සිරුර
බොහෝ මිනිසුන්ට අඳුරු රැයවලදි,
දැන් ඔබේ රැය තවත් අඳුරුයි,
පහන් දැල්වෙන රැයකටත් වැඩියෙන්.
අමතක වී යනු ඇත අපට ඔබ,
යම් තරමකට,
කාරුණික නොවෙතත් එලෙසින් කීම,
පොදි ගැසෙනු ඇති ඉහඳ පණුවෝ
ඔබේ ඇට මිදුළු සොයමින්,
කාහටත් සිදුවේය මේ ලෙස,
නපුරන්ට මෙන්ම විරුවන්ට,
කුහුඹුවාගේ සිට අලි ඇතුන් තෙක්,
වනේ වන මෘගයන්ට ද,
එහෙත් ඔබ රැගෙන ආවා
අප වෙනුවෙන් යමක්,
එක්තරා ආකාරයක කුඩා ප්‍රහර්ශයක්,
යහපතක් යැයි කියමි එය අපට,
එබැවින් ඉඩ නොදෙන්න තව
දුක්වන්න අප හට,
වියැළී ඉවත විසිවුණු මලක් සේ,
අමතකවේ අපට, සිහිපත් වේ අපට,
බලා හිඳිනු ඇත අපි,
මගේ මධු බඳුන ඔසවා
විනාඩියක් පුරා සිටියා මම.
සිනාවක් විය මා මුව.

~ Charles Bukowski

(සිංහල පරිවර්තනය මගෙනි)



Sunday, August 4, 2024

අන්තිමට, නිහඬබවම කතාකරන්න ගත්තම

ප්‍රභාත් ජයසිංහ ගේ "අන්තිමට, නිහඬබවම කතාකරන්න ගත්තම" කවි පොත කියවලා මේවට කවි කියලා කියන්න පුලුවන් ද කියල කවුරු හරි කෙනෙක් අහන්න පුලුවන්. එහෙම අහන කෙනෙකුගෙන් ආපහු අහන්න තියෙන්නෙ මේව කවි නොවන්නේ කොහොමද කියන ප්‍රශ්නය තමයි. වාග්මය සෞන්දර්ය, කාව්‍ය අලංකරණ වගේ භාෂාමය සැරසිලි හැකිතාක් ඉවත් කරලා ලියවෙන කවි ගැන හොයාබලනකොට මං හිතන්නෙ සිංහල භාෂාවෙන් ලියවෙන කවි සම්බන්ධයෙන් තරමක් ඉතිහාසයකට අපිට ආපහු ගමන් කරන්න සිද්දවෙනවා. කොළඹ යුගයේදි කවිය අතිශ්‍ය සෞන්දර්යවාදීව රොමාන්තිකකරණයට ලක්වෙලා, සිව්පද විදිහට ආකෘතිගත වෙලා තිබුණ කාලයක ජී. බී. සේනානායක, සිරි ගුණසිංහ වගෙ අය බටහිර කවියේ ආභාසය අරගෙන, එවකට තිබුණ විරිතකට අනුව පද්‍ය ගොනු කිරීමේ සම්ප්‍රදාය බැහැර කරලා, යම් ආකාරයක නිදහස් ආරකින් කවි රචනා කරන්න පටන් ගත්තා. සඳැසින් මිදුණු ඒවා නිසඳැස් විදිහට හැඳින්වුණා. අර භාෂාවෙ රසකාරකයන්ගෙන් මිදිලා හැකිතාක් කාව්‍යමය අත්දැකීමට මූලිකත්වය දෙමින් සංරචනය වුණ සාහිත්‍ය ප්‍රවර්ගයක් විදිහට මේ කවි අපිට හඳුනාගන්න ලැබෙන්නෙ. ඉන්පස්සෙ ආරියවංශ රණවීර වගේ කවියෙක් මේ ආකාරයෙ කවි ඉතාම ජනප්‍රිය තලයකට අරගෙන ආව. මේ ක්ෂුද්‍ර ගුණයෙන් (කාව්‍ය තේමාව අනුව) යුක්ත රණවීරමය කවිය සිංහල කවිය ඇතුලේ අතුපතර ලා වැඩුණා.

නමුත් මේ කවිය කෙනෙකුට පහසුවෙන් අනුකරණය කරන්න පුලුවන් ආකෘතියක් නෙවෙයි. බැලුබැල්මට ඉතාම සරල වචන පෙළක් පහලට ලියා ඇති බවක් පෙනුනට කවිය බවට පත්වෙන්නෙ කාව්‍ය නිමිත්ත, අනුභූතිය වෙන්නෙ ඉතා සියුම් ජීවිත අත්දැකීමක්. හොඳ රසවින්දන ශක්තියක් සහ කාව්‍යමය පුහුණුවක් නොලැබූ කෙනෙකුට මෙන්න මේ දෙය ග්‍රහනය කරගන්න හැකියාවක් නෑ. කවිය කියන්නෙ කවියාගෙ ප්‍රකාශයක් නෙමෙයි. කවිය කියන්නෙ කවියාගෙ චිත්‍ත සන්තානයෙ පහළවන සිතිවිල්ලමයි. කවිය යනු එක්තරා ආකාරයක සිතීමේ ක්‍රමයක්. කවිය සහ කවියා මෙතනදි දෙකක් නොවෙයි එකක්. මේ ආකෘතිය වෙනත් කෙනෙකුට අනුකරණ කරන්න බැරි ඒ නිසා. ඔහු එය තම ජීවිතයෙන්ම උපයාගත යුතුයි, තම සිතීම හරහාම කවිය උපදවා ගත යුතුයි. එහෙම සිතීමේ ක්‍රමයක් වැඩි දියුණු කර නොගත් කෙනෙකුට ඒ කවි මාර්ගයෙ පවතින්න බෑ. ප්‍රභාත් ජයසිංහගෙ මේ කවි පොතේ අපිට මුණ ගැහෙන්නේ ජීවිතේ මැදිවයස ඉක්මවා යමින් සිටින සහ ගෙවී ගිය අතීත ජීවිතයක් සහ සැඳැ සමයක් අබිමුවේ ජීවිතේ දිහා "කාව්‍යමය කල්පනාවකින්" බලන කල්පනාකාරී මිනිසෙක්.

උදාහරණ විදිහට පොතේ තියන 14 වෙනි කවිය අරගමු. කවියෙ ඉන්නෙ ස්විමිං පූල් එකක නාන්න ගිය තරුණ පුතෙක් සහ තාත්තා කෙනෙක්. තාත්තාට පීනන්න දන්නෙ නෑ, වතුරට බැහැල ඔහේ දියබුං ගගහ ඉන්නව. පුතාට හොඳට පීනන්න පුළුවන්. පුතාට ඒ හැකියාව ලැබිල තියෙන්නෙ තාත්තා පොඩි කාලෙම පුතාව ප්‍රයිවට් පූල් එකකට යවලා පීනන්න හුරු කළ නිසා. පීනන්න බැරිව ස්විමිං පූල් එකට වෙලා තාවර වෙවී ඉන්න තාත්තව දැකල වෙන්න ඕන පුතා ඇවිත් තාත්තට කියනව "තාත්තෙ මං පීනන්න උගන්නම්" කියලා. ඒක අහලා තාත්තා ගෙ සතුට උපරිම තැනට එනවා. කාව්‍ය නිමිත්ත වෙන්නෙ මේ අත්දැකීම. එක්කො මේ තාත්තට තමන්ට තරුණ වයසේ නොලැබුණ නිදහස් විනෝදකාමී ජීවිතයක් ගැන සාංකාවක් තියනව. ඔහු පුතාව හදන්නෙ ඒ අඩුපාඩුව පුතාට නොදැනෙන්න. "පිහිනීම" කියන කාරණෙන් සංකේතවත් වෙන්නෙ තාත්තට ලබා ගන්න බැරිවුණු ඒ ජීවිතය. නැත්නම් ඔහුට තියෙන්නෙ ඇරියස් එකක්. තමන්ට කරගන්න බැරි වුණු දේ පුතා ලවා කරවා ගැනීමේ උවමනාවක්. නැත්නම් මේ තාත්තා ඉන්නෙ මේ දෙකම අතර මැද වෙනත් අවස්ථාවක වෙන්නත් පුලුවන්. කියවන්නාට තමන්ගෙ දෘෂ්ටි කෝණයෙන් කවියට පිවිසෙන්න ඉඩක් කවිය ඇතුලෙ හැදිලා තියනව. මේ ආකාරයට නොයෙක් නොයෙක් දිශාවන්ට වරනගන්නට හැකිවීම (සංදිග්දතාව) හොඳ කවියක ලක්ෂණයක්.

ඊළඟට පොතේ 31 කවිය. මං වඩාත් ඊරිසියාසහගතම කවිය. මේ වගේ එකක් ඇයි මට නොහිතුණෙ කියල හිතුණු කවිය. කවියෙ ඉන්නෙ දිය ඇලි බලන්න යන මනුස්යෙක්. හැතැප්ම සිය ගණන් ගෙවාගෙන දියළුම, දුන්හිඳ වගේ දිය ඇලි බලන්න වාහනේ නැගලා ඔහු යනවා. එතකොට ඔහුත් එක්කම එන යාලුවෙක් අහනව "ඔච්චර දුර යන්නෙ මොනව බලන්නද" වගේ කතාවක්. ඒ ප්‍රශ්නෙට ඔහුට තියන උත්තරේ කාව්‍යාත්මක එකක්. ඔහු තමාවත් දියඇල්ලත් එක ළඟ තියලා සංසංදනය කරමින් හිතනවා. ඒ සිතීම තමා කවිය වෙන්නෙ. මේ පහළින් තියෙන්නෙ ඒ කවිය. ඔහු දිය ඇල්ල අමතන්නෙ "ඇය" කියලා. සොබාදහමත් එක්ක ඔහුගේ බැඳීම නිසාද එහෙම ඔහුට හිතෙන්නෙ? නැත්නම් ඔහු තමන් දන්නා හඳුනන වෙනත් ගැහැනියක් ද දිය ඇල්ලට අනුරූප කරන්නෙ?? ඒකට උත්තරේ දන්නෙ ඔහු පමණක් වුණත් මේ කවිය පැහැදිලිවම අපිට අපේ කරගන්න පුලුවන්. අපේම ජීවිත ඇත්දැකීම එක්ක ඒකාත්මික කරගන්න පුලුවන්. ඒ තමා හැබෑම කවිය.
.
.
.
දියළුම දුන්හිඳ රාවණා
කොලපතන
ලවර්'ස් ලීප්

සැතපුම් සිය ගණන් මග ගෙවා
පාමුලට ගොස්
බලා ඉමි

'මෙච්චර දුර ගෙවාගෙන ඇවිත්
මොනවද උඹ හොයන්නෙ'
අසයි මිතුරෙක්
මා සමග පැමිණි

'දිය ඇල්ලට දිය ඇල්ලක්
සම්මුඛ වීම'
මම කියමි

ගලාගෙන ඇවිත් වෙහෙසව
ගලන එක මොහොතකට නවතා
එක්තරා තැනකදි
ඉහිල්ව
නිදහසේ
කඩා හැලී
කුඩා බිඳිතිව බිඳී
පාමුලදි එකතුවී
යළි ගලා යන්නෙය ඇය

ගලාගෙන ඇවිත් වෙහෙසව
ගලන එක මොහොතකට නවතා
ඇය'භියස
නිදහසේ
කඩා හැලී ඈ එක්කම
කුඩා බිඳිතිව බිඳී
පාමුල දි එකතු වී
යළි කාරයෙ නැගී
ගලා එන්නෙම ගෙදර මම


~ "අන්තිමට, නිහඬබවම කතාකරන්න ගත්තම"
~ප්‍රභාත් ජයසිංහ



Thursday, February 8, 2024

ලොව සිනිඳුතම වළාකුළු

ලොව ඇති සිනිඳුතම වළාකුළු
පාව එනුයේ රෝහලට ඉහල අහසෙනි...
තටු කැඩුණු සුරදූතයන්,
මෙ ලෝ එළිය දකිනට මත්තෙන්
ඇස් පියාගත් සුරදූතිකාවන්,
සනීපෙට නිදයි එහි...

ලොවේ කොතැනක හෝ
මවකගෙ මුවින් ගිලිහෙන ගී
මුහුවී අවුත් සුළඟේ
පෙරී විත් වළාකුළු ඉමට
ගැයෙයි ඒ තුළ ලොව ඇති 
මිහිරිතම නැළවිලි...

ආකාශ ගංගාවේ
සඳේ සඳසාවුන් නිදන
සඳවළල්ලෙන් බේරී
ගලා එයි ඒ වළාකුළු තුළට
සඳෙහි සියුමැලිම සඳ කෙඳිති...

ඒ සියළු මිහිරයි
වැහි මන්දාරමේ අඳුරින්
ආකහේ බොඳ වෙද්දී
පායා එන්නෙ දේදුන්නක් වී...



Monday, August 21, 2023

නොගත් මග

කහවන් වන ගොමුව තුළ දී,
දෙදිසාවකට යොමුවුණි මාවත,
එහෙත් යා නොහැකි විය මට
දෙමං පෙතෙහිම එකවර,
නොහැකි විය මට බොහෝ වේලා
නැවතී බලා සිටිනට එතැනම,
ඈත ඝන බිම් ගොමුවේ 
සැඟව යන යුරු මංපෙත...

එක වතාවක් බැලූ පමණින්
සම සමව විහිඳුණා සේ පෙනුණ ද
එයින් මා ගතිමි මඟ
තෘණ පඳුරු මදක් වැඩී තිබුණ...
වැඩි දෙනා නොගිය ඒ මාවත
අඬ ගසන්නා සේ පෙනුණි මට...
එනමුදු මඳ දුරක් ගිය විටකදි
සිතුණි වෙනසක් නොමැති බව එහිද...

අතැර දැමුවෙමි මම
එක මාවතක් ඒ උදෑසන,
එකදු පියවරකිනුත් නොබිඳී
සමව වැතිරී තිබුණා සේ පෙනුණ...
එහෙත් ආයෙම දවසක
පැමිනුණොත් මේ මාවතේ මම
එවිට මට හැරී යන්න පුළුවන්
මා නොගත් මාවතෙන් එදිනට
සිතුවෙමි මම තනිවම...

කිව යුතුයි අද සුසුමක් සමඟ
ඉන් වසර ගණනාවකට පසුව,
කහවන් වන ගොමුව තුළ දී
දෙදිසාවකට යොමුවුණි මාවත...
එයින් මා ගතිමි මඟ
වැඩි දෙනා ඇවිද නොගිය,
එබැවිනි සියලු දෙය
වෙනස් වූයේ ඉන් මතුව...

~

From the poem "The Road Not Taken" written by Robert Frost



Monday, July 10, 2023

මට වෙලාවකට හිතෙනවා...

මට වෙලාවකට හිතෙනවා...
බොහොමයක් ඉර බහින හැන්දෑවල
අහසත් මූදත් මුණගැහෙන සිතිජ රේඛාවේ
දියවෙවී බොඳවෙලා යන්නෙ අර
අපි අතින් ඉහිරෙන්න තිබුණ බීර අහුරක් බව..

සෙනඟ තදබද වුණ බස් එකක 
රේඩියෝ කබලකින් චිරි චිරි ගගා සද්දෙට
ඔය ඇහෙන්නෙ අපි කියන්න හිතාගෙන උන්න 
සින්දුවක් එහෙම දවසක...

වහින්න කලින් අඳුරු ආකාසෙ
දේදුන්නක් වගේ හැඩට
ඇඳිලා ආයෙමත් බොඳවෙලා යන්නෙ
අපේ ඒ හීනවල තිබුණු පාට...

ඇත්තටම
මට වෙලාවකට හිතෙනවා
වලාකුළු වගේ සුදු මුදුවට
පාවෙලා යන්නෙ ඈතට
හිනාවෙවී හිනාවෙවී ඔහේ
ගෙවාදමන්න තිබුණ දවස් අපිට...




Wednesday, April 12, 2023

ඒ කුඩා ළදැරිය...

ලැබුණොත් කාල යන්ත්‍රයක් 
ආපසු යමි
වසර ගණනක් ඈතට 
පොඩි බෑගයක් පිටේ එල්ලා
පාසැල් බසයෙ නැගී ගිය
පොඩි එකෙකු තුළට...

අම්මෙකුගෙ අතේ එල්ලී
පාසල් යන 
ඒ කුඩා ළදැරිය දෙස 
තව වතාවක් බලමි හොඳට...
දුර ඈතක දිදුළන
මළානික තරුවක එළිය දෙන
ඒ සෝබර දෑස ද,
මෘදු මල් පියල්ලක් බඳු
සුසිනිඳු ඒ මුහුණද,
සඳ එළියවන් ඒ
බිඳුණු සිනහවද,
තබාගමි මතකය තුළම..



Tuesday, April 4, 2023

එන්න මේ දූපතට..

ඔබත් එන්න මහත්මයා..
මේ දූපතට..

ඍතුවෙන් ඍතුවට හිම මිදෙන
ගස් කොළ පවා හීතලෙන් ගල් ගැහෙන,
ඔබේ රටවල් වගෙ නොවෙයි..
තුන්සිය හැටපස් දවසේම 
අඩු නැතිව උණුහුම්ව
හිරු එළිය ලැබෙනවා අපිට..

මාරු වෙන්න දැන් මේ පාරෙන්
ඔබ කැමති තැන්වලින්
කහ ඉරක් ඇඳ තිබුණත් ඔය
පාරෙ පාලුවට..
ගණනකට ගන්නෙපා බිඳුවකට...

අතේ තබාගෙන ඇයි ඔය
හිස් බෝතල් තුණ්ඩු කැබලි ඔය තරමට?
විසි කර දමා කොහෙහෝ තැනකට..
නිදහස් වෙන්න එයින් ඔබ...
කැමති නම් තව
හොඳට හුස්මක් අරගෙන
කෙළ ගහන්න කාරලා පාරට..

කොයියම්ම හෝ මොහොතක 
ඉන්නට සිදුවුණොත් පෝළිමක
ඉන්නට එපා පසුබා..
ගන්න දහිරිය හිතට
ඉදිරියෙන් ඉන්නා මහ සෙනඟ
පෙරළගෙන වුණත් යන්න ඉදිරියට...

ඉහින් කණින් සෙනඟ උතුරන
බස් රියක හෝ දුම්රියක
එල්ලිලා පා පුවරුවේ යන විට
ඇඟ දැවටෙනා සුළඟ සනීපද කොයිතරමට...

අන්න ඒකයි මහත්මයා
ඔබට කිසිදාක නොතේරෙන
අප පමණක්ම හඳුනන
තුන්වන ලෝකයේ සැපත...



Tuesday, March 14, 2023

සිහින දේශය

ඈ නිදනවා ඇති ඉමිහිරිම නින්දක..
ගැඹුරු පත්ලෙහි නංවාන දිය රැළි,
අඳුරු ගංගා වැළපෙන තැනකදි,
අවදි නොකරන්න ඈ ඒ නින්දෙන්....
තනි තරුවකින් මඟ අසාගෙන,
ගව්ගණන් දුර මඟ ගෙවාගෙන,
පැමිණියේ ඈ සෙවණැලි ගැවසෙන,
මේ සොඳුරු බිම්කඩ සොයාගෙන...

රෝස පැහැ මෘදු අහස් පසුර,
පැසුණු කෙත්වතු මතින් පියමැන,
සොයාගෙන පැමිණියා ඇය දුර...
උදා ළා හිරු ගෙනෙන සිහිලස,
නිමල දිය සදනා දිය උල්පත...
මීදුමක් සේ බොඳවී ස්වප්නයේ,
දුටුවේ ඇය මළානික අහසයි...
ඇසුණේ ඈ ට දුක් ගීත ගයනා,
නියිටිංගේල් කුරුළු සරයයි...

සැතපුණා ඈ එහි සුවැතිව,
හොවා මෘදු ළය මඬල මිහිමත,
අවරගිර දෙස යොමා ඈ නෙත,
දම්පැහැති දූපත් පෙදෙස වෙත..
සහල් පැසෙනා කෙත්වතු ද තැනි බිම්,
තවත් නොමවී ය ඇගේ දසුණේ..
කොතෙක් වර්ෂා ඇද හැළුණත්,
තවත් නෑ කිසිවක් ඇයට දැනුණේ...

නිදනු මැන.. නිදනු මැන සදහට
සුමුදු සුසිනිඳු වෙරළ මතුපිට...
නිදනු මැන බිම හොවා ළය මඬල
පැමිණෙනා තුරු කාලයේ කෙළවර...
නිදනු මන යළි කිසිදු රිදුමක්
ඔබ අවදි නොකරන නින්දක...
නිදනු මැන ඔබ රැයේ සිහිනෙක
කිසිදාක උදෑසන නොම වන...
නිදනු මැන කිසිවකින් නොබිඳෙන
සදාකල් සාමයේ නින්දක...

From the poem "Dream Land" written by Christina Rosetti



Tuesday, January 24, 2023

සමහර එළි

ළඟ ළඟ එන බව දැනුම් දී
දැල්වෙන බැවින් මැතිවරණ කොළ එළි
සමහර උස කුළුණු මත
දැල්වෙන්න පටන් ගනියි නෙක එළි
පැයකින් දෙකකින් ආයෙ එන්නම් කියා
බැස ගිය නිසා පහනෙන් හිත මිතුරු විදුලි
ඇතැම් පැල්පත් වහලවලට ඉහළින්
දිදුළන බව පෙනෙයි තරු එළි...



Friday, December 30, 2022

සැබෑ මෘදු බව

නිහඬයි සැබෑ මෘදු බව
වරදවා ගත නොහැකියි කිසි දින
එවැනිම වෙනත් යමකට...
පලක් නැහැ සැලකිල්ලෙන් ඔබ
වසාලන කළ සළුවෙන් මා දෙඋර...
උමතුවෙන් පළමු ප්‍රේමයේ
සිත්කළු වදන් තෙපළන විට....
පලක් නැහැ ඒ කිසිවක් පෙම්වත,
දැනසිටින කළ හොඳහැටි මම,
ඒ සියල්ලෙහි සැඟවුණු අරුත...

From the poem "True Tenderness" written by Anna Akhmatova



Tuesday, November 29, 2022

කැඩපතේ මිනිසා...

යහමින් සරුව අතමිට,
සිහසුනේ නුඹව හිඳවූ පසු ලෝකය,
සොයාගොස් කැඩපතක් හනිකට
බලන්න ඉන් පෙනෙන මිනිසා දෙස...
අසන්න ඔහුට කීමට ඇති ‌දෙය....

පියාත් නොවෙයි ඔබේ මවත් බිරිඳත් නොව,
ගනු ලැබුවෙ ඔබ නමින් තීරණ,
ඔහුයි තෝරාගත්තෙ බොහෝ දෙය,
මිනිසා කැඩපතේ සිටින....

සතුටු කළ යුත්තෙ නුඹ ඔහුවයි,
නිතර ඔබ අසලින්ම වෙසෙන..
පසු කරන්නට රුදුරු මාවත්,
මිතුරෙක්ම විය යුතුයි ඔහු ඔබට....

"හරි අපූරුම කෙනෙක් මම නම්"
ඔබ ගැනම ඔබ හිතන්නට පුලුවන් 
ළමා කවි ගීතයක ඉන්නා
ළදබොළඳ ළදරුවෙක් විලසින්..

ඔහුට කැඩපත තුළින් පෙනෙනා
පලක් නෑ ඔය කිසිම කිසිවක්,
ඔබ නිකම් නිකමෙක් ය ඔහු හට
ඔහු දෑස දෙස බලනු බැරි නම්...

ගෙවා සිව්සිය වසර ගණනක්
ඔබට රවටනු හැකියි මුලු ලොව...
බොහෝ මිනිසුන් මුවින් නි‍රතුරු
ගායනා වෙනු ඇති ඔබේ ගුණ..
එහෙත් සුසුමන් කඳුළැලි ද හා
හදවතේ රිදුමක් ම පමණයි,
ඉතිරිවන්නේ ඔබට අවසන,
රැවටුවොත් කැඩපතේ මිනිසා ඔබ...
.
.
From a poem written by Peter Wimbrow



Friday, November 25, 2022

සාදයකි මෙතැන...

මධ්‍යධරණී පොළවේ
දූවිලි වළාවන්ට ඉහළින්
උදා වෙයි චෙරි පුසුඹැති මඳ හිරු.. 

කඳුකරයට යන පාරේ
වේගයෙන් දුවයි පුංචි ළමයා
කෝ කොහෙද අසමින්
මගේ මිතුරාගේ නිවහන...

තෝකියෝ නගර පෙදෙසේ
ෆූජි කන්ද පාමුලින් පටන් ගෙන
හමා යයි සිහිල් සුළඟක්
රෂොමොන් දොරකඩ සිඹිමින්..

ඒ සුළඟින්
මෑත් වෙයි යුවතියක මුහුණේ
වැසුණු වේල් පොට මොහොතකට...
ඇගේ රූ සිරියෙන්
මත් නොවී සිටින්නු හැකිවෙයිද කාට...

එහෙත් අර 
සිඟිති උයනේ ඔංචිල්ලාවේ
මියයමින් සිටින මිනිසාට නම්
වගක් නැති ගාණයි මේ කිසිවක්..

දුර ඈත තරුවකින් ගිලිහුණු
එළියකි ඔහුගේ දෑසේ..
පුරා සඳ මෙන් පිරුණු
සිනහවකි ඒ මුහුණේ...

ඒ මොහොතේම නතර වෙයි
සේද මාවත දිගේ පැමිණි
ටෙහෙරාන් වාහනයක් එතැන..
මරණය සොයායන
එක් පර්සියන් මිනිසෙක්
බසියි සිනාමුසු මුහුණින් 
වාහනෙන් පිටතට...

මල්බෙරි පඳුරු අතරින්
බටහිරින් පැමිණි පවනකට
මුහුවෙයි සකුරා මලක සුවඳ
ඔලිව් පත් සර සර ගා හැලෙන
සාදයකි දැන් මෙතැන..

Image - Abbas Kiarostami/ Akira Kurosawa



Wednesday, November 23, 2022

විමසනා කළ ඔබෙන්, විස්තර කරන්නැයි මා..

විමසනා කළ ඔබෙන්, 
විස්තර කරන්නැයි මා..
මට අවැසි ඔබට, සිහිවන්න වැසි දවස්
ගිගුම් දෙන අකුණු මාරුත..
කළු වළාකුළු සහ අළු පැහැති අහස..
දුර ඈත වන පෙතක
හුදෙකලාවේ වෙසෙනා සිංහ දෙනක
මට අවැසි ඔබට
සිහිවේ නම් බියකරු දේ සියලුම..

සිතන විට මා ගැන ඔබ
මට අවැසි ඔබට දැනෙන්නයි
වසන්තයෙ විල්තෙරක නිසල බව..
මල් පිපෙනයුරු එහි ඉවුරුබඩ..
අවැසි මා හට
සිහිවෙන්නටයි ඔබට
ලොවැති මිහිරි ම මෘදු ම දේ සියලුම
සිතන විට ඔබ මා ගැන...
‍.
.
.
From a poem written by Neha Radharapu



Monday, November 14, 2022

ස්වල්පව, ගෙවා දමනට සිතුවෙමි මා දිවිය..

ස්වල්පව, එහෙත් නුවණැතිව,
ගෙවා දමනට සිතුවෙමි මා දිවිය..
යදින්නට දෙවිඳුන්, බලා අහස...
දුර ඇවිදයන්නට සැඳෑවනු පෙර,
තුනී වන තුරු මා හද, පිටාරව යන දුක..
කැලෑ බාර්ඩොක් පඳුරු සැලෙනා කළ,
සර සර හඬින් කඳු මුහුණු මත,
රෝන්බෙරි ගෙඩි ඉදෙන සමයට
පොකුරුවල රතු කහ පැහැතිව
සතුටු කවි පබැඳිය හැකියි මට,
දිනෙන් දින වැහැරෙන දිවියක 
සොඳුරු බව ගැන....

ආපසු පැමිණි විට මා,
ලොම් පිරුණු අර කුඩා බළලා
සිඹිනු ඇත මගෙ අත්ල,
පුරු පුරු හඬ දිදී ඉමිහිරිව...
වැව දෙසින් ඇති කම්හලේ කොත මත,
උණුහුම්ව ඇවිලෙයි ගිනි දැල්ල...
වහලයේ කොකුන් නඟනා හඬ
බිඳ දමයි හාත්පස නිහඬ බව..
ඔබ ඇවිත් දොරට තට්ටු කරනා කළ
සමහරවිට නෑසෙනු ඇත මට....


~ Translation of a poem written by Anna Akhmatova