Wednesday, January 24, 2018

අප අතර දුර


අඩියකින් දෙකකින්
අප අතර
ඉතිරි වන
ඉඩ

තරණය කරනට
ඒ තමා
අමාරුම
දුර.






Monday, January 22, 2018

උස් ගසක් සහ කුඩා ගසක්....


මහ ගසක
පාමුල සිට
ඉහළට වැඩෙන
කුඩා ගසක් 
මහ ගසෙහි
උස් වියන දෙස
බලාගත්වනම
මුමුණන්නේ මෙලෙස....

" මනරම් ද 
කොයිතරම්
ඉහළ..

නේක වර්ණැති
සියොතුන්
ලෙහෙනුන් ද
අන් සතුන්
රොන් සොයා යන
වන බිඟුන්
සොයොව 
සපැමිණ 
නතර වන්නේ
එතැන....

අනෙක් තුරු
අතරෙන් උස්ව
පෙනේ ය
බොහො ඈතට
මේ ගසෙයි
තෙද මහිම....

අනේ මමද
මතුයම් දිනෙක
වන්නෙමැයි
මේ වන් ගසක්"

මේ දකින
මහා ගස
සිතන්නේ...

"නොදුටුවා වැනිය ඔහු
කාලයේ සුළිසුළඟ 
මා බඳෙහි ඉතිරි කල
ඉරි තැළුම්...

දකින්නෙද කෙළෙස
සැඟව ඇති බැවින් 
පොතු යට.. 

නික්මයත්
මේ සැවොම
සැඳෑකල...
සතුන් ද
සියොතුන් ද
සියලු දෙන...

ඉන් පසුව
මා හදෙහි
ඉතිරි වන
හිස් හැඟුම
පවසන්න
වචන නැත
මා සතුව...

බාල විය ලද
සිහිල් සෙවණද
ළතෙත් පවන ද
නොමැත මෙහි....

පාත වියනේ සිට
උස් සිහින දකින
කුඩා තුර....
පහළදී
ඔබ පෙළන
ඔබ දවන
සියලු දෑ
තිබේ මෙහිද..
වඩාත් උස් ව...




Tuesday, January 16, 2018

මුල් දවස....



ජීවිතය නම් මේ යැයි
මුල් වරට හඳුනගත් දවස..
අම්මාගෙ දෑස යට
සිහින් හැකිළුමක සළකුණක් 
දුටු දවස...

කිව නොහැකි මහ බරකින්
සිත පිරීගිය දවස
තාත්තාගෙ කටහඬේ
මින් පෙර නොඇසුණ 
සියුම් වෙව්ළුමක් ඇති බව
මුල් වරට ඇසුණු දවස...





Monday, January 15, 2018

ගඟ ගමන


සුවඳ දී උන්නත් කොයිතරම්
පෙණ සිනා බින්දුවක් විසි කරන්
ගඟ ගලා යා යුතුයි සයුරට
පොඩි මල් පඳුරු පහුකරන්





Friday, January 12, 2018

වළාකුළු හිත.


සුළං කෙවිටෙන් පහර ලැබ
රිදුම් දී අදුරු වුණ පසු වත
තැනින් තැන ඔහේ සැරිසැරීමෙනුයි
වළාකුළු හදාගන්නෙ හිත.




Tuesday, January 9, 2018

කුඩා


කුරු කුහුඹුවෙකුටත්
විසල් වෙරළත
පුංචි පා සළකුණක්
ඉතිරි කර යා හැකිය.. 

කුඩා පිනි බිඳුවටත්
උදා හිරු රැස් අතර
දෑත විහිදා පෙමින්
අහස දෝතට ගත හැකිය... 

සුළඟ මුමුණනව ඇති
එකම එක සමණළයෙක්
අඹ මල් රේණුවක් උඩ
තබා ගිය කවිය...




Monday, January 8, 2018

වැස්සට පෙර..


තවම උණුහුම්
තේ බඳුන
ගෙනැවිත් තබයි
පසෙකින්
ඔබ...

"මහන්සිද"
අසයි
අතැඟිලි තුඩගින්
සෙමෙන් 
පිරිමැද 
හිස...

ළතෙත් බර
අඩැසි බැල්මක
කඩා හැලෙයි
තාරකා එළි
දහසක් එකවර....

නැගිට ගොස් 
සියුම් සරයෙන්
වසයි ඔබ
විවර වූ
ජනෙල් කවුළුව...

වැහි බීරමක්
නැතත්
ලඟපාතක 
වැහි වහින්න
පටං අරගෙන
පිටත..





Friday, January 5, 2018

ගං පතුළ


දෙකෙළවර හැපි හැපී ගලාගෙන පහළට දිවෙන සැඩවතුර...
කතාවක් නැතිවම දරා උන්නට තබාගෙන හදවත ඇතුළ...
ගඟ දියේ හබල්ගා තොටියෙකු පැද යන අතරෙදි දුටුව...
ඔරුවකට තනිව පෙම්බඳිනවා ඇති අර අඳුරු ගං පතුළ...




Wednesday, January 3, 2018

කවියාගෙ බිරිඳ...


තිත්ත කළුවර
ගෙට ගලන
මැදියමක
අතගගා
පිනිකැට
කවි කතා
ගොත ගොතා
සඳ තරු වලට
ඔබ මොකක් කරනවද
එළිමහනටවී
ඔතන...

ගෙවී යන්නට 
ළඟ ය
රැයේ 
මිහිරිම පැය..

අඳුරු ය...
හීතලය
තවම 
මගෙ කුටිය..





Tuesday, January 2, 2018

කහ ඉරක් පාවහන් යුගලක්


මදක් පැහැදිලි වන තුරු මග
පාවහන් යුගළක්
කහ ඉරක් හා පෙමක....