අඳුරු සළු වියා දස අත වට කෙරුව
පඳුරු දම දමා තනිකම පලදැරුව
පුරුදු ගීයකින් අහුලාගෙන තනුව...
මිතුරු කුරුල්ලන් කොහෙදෝ ගී ගැයුව
එළියට ඇස පියා අහසේ රන් තරුව
අඳුරම ගොඩ ගැසෙයි හිත තුල කළු කළුව
වෙණ තත මුදා ගීපද තෝරනු බැරුව
රැහැයියනේ උඹලත් ඇයි අද ගොළුව
නින්ද පවා අතහැර ගිහින් අත මානේ
කන්දක් ළයේ තෙරපෙයි සුසුමක් ගානේ
අන්දාතබා විසිතුරු සළුපිලි හීනේ
මන්ද නුඹත් තනිකර මා තනියානේ
දහවල් පිපුණ නෙළුමක රොන් සුවඳ මැකී
විල්දිය වැලඳ සඳ කඳුලැල් හෙලන හැටී
සුළඟ සෙමෙන් තරුවක පා ළකුණු සිඹියි
මැදියම් රැයට දහවල් හිරු කිරණ නැතී
බෙදාගත් කඳුළු බිඳුවක සිසිල දරන්
මුලාවක් නැතිව තුන් යම අඳුර මකන්
හිනාවෙන සිහින් එළියක ළකුණු අරන්
කණාමැදිරියෝ උඹ ඔතනම ඉඳපන්..