Saturday, April 13, 2019

Winter is here!!

රටටම අවුරුදු උදාවෙන මේ දවස් ටිකේ Game of Thrones රසිකයන්ගෙ ජීවිත වලටත් වසන්ත කාලෙ උදා වෙනව (හරියටම කිව්වොත් සීත කාලය). ඒ තමා මුලු කතාවෙම අවසාන සීසන් එක විදිහට හඳුන්වන Got season 8 අප්‍රියෙල් 14 ඉඳන් විකාශනය ආරම්භ කිරීම. ඉතින් මේ ගතවෙන්නෙ කතාවෙ අවසානය කොහොම වේවිද කියන නොයෙක් ආකාරයේ fan theories , වාද විවාද, උපකල්පන, මතවාද ඔලුවෙ හැප්පෙමින් යන කාලයක්. මම හිතන්නෙ මෑත ඉතිහාසෙ වැඩියෙන්ම ජනප්‍රිය වුණ රූපවාහිනි වැඩසටහන තමා Got. ලෝකෙ පුරාම මේ වෙනකොට got රසිකයන් විසිරිලා ඉන්නව. මේක හුදු ෆැන්‍ටාස්මිතික සුරංගනා කතාවක් කියල බැහැර කරන අයත් නැතුවාම නොවෙයි. ඒත් මම හිතනව ඒක හරියට මාකේස් ගෙ කතාවක වගේ මායාමය ඉන්ද්‍රජාලික යතාර්ථයක් ඇතුලෙ මේ ලෝකෙ දේවල් සිද්දවෙන ආකාරය හොඳටම පෙන්වා දෙනව කියල.

Got අවසානය කොහොම වෙයිද කියන ප්‍රවාදය ඇතුලෙ මට හිතෙන්නෙ මෙහෙම දෙයක්. කතාව මුල ඉඳන් ගලාගෙන ආව එක්තරා රිද්මයක් තියනව. මුලදි මන්දගාමීවත් පස්සෙ ක්‍රමයෙන් වැඩිවන වේගයෙනුත් පැවතුන ප්‍රචණ්ඩත්වය, කෲරත්වය, දුෂ්ට කම කතාව පුරා අපි දැක්ක. වස විස පෙවීමෙන්, කඩුවෙන් පහර දීමෙන්, හිස ගසා දැමීමෙන්, දුන්නෙන් විදීමෙන් මේ නොයක් ආකාරයට සිදුකල මරණ, සමූලඝාතන, දෙමාපියන් ඉස්සරහම දරුවන් මැරීම, එකිනෙකා පාවාදීම, බොරුවෙන් රැවටීම, මතුපිටින් මිත්‍රත්වය පෙන්වා යටින් උගුල් ඇදීම මේ දේවල් ඕනෑතරම් got කතාමාලාව ඇතුලෙ අපි දැක්ක.මේ හැම දේකටම මුල තමා බලය. බලය ලබා ගැනීමට ආශාව, සමාජයේ ඉහළ මුදුනට ලං වීමේ ආශාව, තමන්ට අවශ්‍ය ආකාරයට අනෙක් මිනිසුන් පාලනය කිරීමේ දැඩි කැමැත්ත. මේ බලයට මිනිස්සු ආකර්ශණය වෙන්නෙ පුදුම මැජික් බලයකින්. ජෝර්ජ් ඕවල් 1984 නවකතාවෙ කියන විදිහට මිනිස්සු බලය වෙනුවෙන් සටන් කරනව, ඒ සමාජය තවත් යහපත් තැනක් කල යුතු බව කියමින්, රට ජාතිය ආරක්ෂා කල යුතු බව කියමින්.. නමුත් ඒ හැමතැනම තියෙන්නෙ තමන් බලවත් වීමේ දැඩි ආශාවයි. බලය කියන්නෙ අවසානයක් නොවෙයි ඒක එක්තරා මාර්ගයක් බව ජෝජ් ඕවල් කියනව. Got වල පදනම මේ අරුම පුදුම "බලය" කියන දේශපාලන සාධකය. ඒ එක්ක බැඳුන කෲරත්වයට මිනිස්සු නොදැනීම වුණත් ආදරේ කරන්න පටන් ගන්නව. අපේ එදිනෙදා ජීවිතේ ඇතුලෙ විදුලි එලියක් වගේ පෙනී නොපෙනී යන යම් යම් ම්ලේච්ඡත්වයක් තියනව. ශිෂ්ටත්වයේ යකඩ සන්නාහයෙන් හිර කරල තියෙන මේ ප්‍රචණ්ඩත්ව, දුෂ්ට බව තමාගෙ ආශාව සන්සිදුවා ගැනීම වෙනුවෙන් තවෙකෙක් විනාශ කර දැමීමේ ලාලසාව තමා got වලින් එලියට එන්නෙ. ඉතින් මේ අවසාන කතාමාලාවත් ඊට වඩා වෙනස් දෙයක් වෙන්න බෑ. 

ඒත් මේ බල පොරය ඇතුලෙ තරමක් වෙනස් කීපදෙනෙක් අපි දකිනව. හොඳම උදාහරණය තමා ටෝමන්. ටෝමන් රජෙක් වුණත් අවංකවම, හිතට එකඟව ජීවත් වෙන්න උත්සහ කරන කෙනෙක් විදිහට අපි දකින්නෙ. ඒ ඔහුගෙ ළාබාල කම නිසා කියන්න පුලුවන් ඒත් ඒ වයසෙදිම ජොෆ්‍රි, නැත්නම් ආර්‍යා වගේ කෙනෙක් ගෙ ක්‍රියාකලාපය බැලුවම ඒක වයසට ලඝු කරන්න අමාරුයි. ටෝමන් ගැහැණියක් සමග විවාහ වෙනව නම් ඒ ඇත්තටම ඇයට තියන ආදරය නිසා මිස ඇගේ පවුලේ තත්ත්වය ඒ විවාහයෙන් ලැබෙන දේශපාලන වාසි වගේ දේවල් නෙමේ ඔහු හිතන්නෙ. එත් දේශපාලන පොරපිටිය කොයිතරම් පීඩාකාරීද කියනවනම් ටෝමන් සියදිවිනසා ගන්න පෙළඹෙනව. හිතට එකඟව ජීවත් වෙන්න උත්සහ කලත් ටෝමන් ළාමක චරිතයක් මෙතනදි. ඒ වගේම ජෝන් ස්නෝ සහ ඩැනේරිස් ටාගේරියන් මේ සටන් බිමේ වෙනස් චරිත දෙකක් විදිහට හඳුනාගන්න පුලුවන්. දෙදෙනාගේම අරමුණ බොහෝවිට එකයි. ඒ දෙදෙනාම මිනිසුන් ගෙ ආදරය දිනාගත්ත, වඩා සාධාරණ සහ යුක්ති සහගත දෙදෙනෙක් විදිහට තමා හඳුනගන්න පුලුවන්. කිසිවක් නැති තැනකින් පටන් අරගෙන සෑහෙන සාර්ථක ගමනක් මේ වෙනකොට දෙදෙනාම ඇවිත් තියනව. උතුරේ ප්‍රාකාරයත් බිඳවැටිල තියන නිසා පහළට එන මළවුන්ගේ හමුදාවත් එක්ක කරන යුද්ධයෙන් බොහෝදේ විසඳේවි. ඒත් ඩැනී, නැත්නම් ජොන් සිංහාසනේ ඉඳ ගැනීමෙන් කතාව අවසන් කරන්න පුලුවන් ද? මම හිතන්නෙ මුල ඉඳන් ගලා ආ රිද්මයට අනුව ඒක එහෙම විය නොහැකි බව. එහෙම වුණොත් got කියන්නෙ බොලිවුඩ් චිත්‍රපටයකට වඩා වෙනස් වෙන්නෙ නෑ. ඉක්බිති සියල්ලෝ සතුටින් විසිරගියහ තැනකින් got වගේ කතාවක් අවසන් කරන්න බෑ. නමුත් යම් තැනකින් කතාව ඉවරවේවි. ඒක ඩැනී කියනව වගේ අසාධාරණයේ සහ අයුක්තියේ විෂම චක්‍රය බිඳ දැමුණු අලුත් ලෝකයක් ගොඩනැගීමෙන් ද? ලැනිස්ටර් වරුන් ඔවුන්ගෙ සුපුරුදු රාජධානිය තහවුරු කරගැනීමෙන් පවතින ක්‍රමය දිගටම පවත්වාගැනීමෙන් ද? නැත්නම් වෙනත් තැනකින්? සිහසුන හිමිවෙන්නෙ සන්සාට බව බොහෝ අය උපකල්පනය කරතිබුණ. සීසන් 7 ජොන් ස්නෝ සන්සාට උතුර බාරදී ගියාට පස්සෙ උතුරේ ආර්‍යාව විදිහට ඈ ගොඩනැගෙන හැටි අපි දැක්ක. මේ ඈට සත්‍ රාජධානියම හිමි වීමේ පෙර ලකුණු ද? 

මේ අතරෙ කලින් සීසන් එකක් ටිරියන් ලැනිස්ටර් කියන කතාවක් අපිට විශේෂයෙන් වෙන් කරල හඳුනගන්න පුලුවන්. ටිරියන් මේ කතාව කියන්නෙ හිරගෙදර දි තමන්ගෙ සහෝදරයා ජේමි ට. එතනදි ටිරියන් පොඩි කාලෙ හඳුනාගෙන හිටපු ඥාති සහෝදරයෙක් ගැන. මෙයාගෙ විනෝදාංශය තමා මාළිගාව වත්තෙ ඉන්න කුරුමිණින් අල්ලල ගලක් උඩ තියල උන්ව චප්ප කර දාන එක. දවසක් මේ පොඩි එකාව කරත්තෙකට යට වෙලා මැරෙනව. අර කුරුමිණි චප්ප කල විදිහටම චප්ප වෙලා. ටිරියන් මේ කතාව කියන්නෙ ඇයි සහ මේ කතාවෙන් අපිට ගන්න පුලුවන් මොකක් ද? සරලවම මේ කියන්නෙ අපි අනිත් අයට කරන දේවල් වල විපාක අපිට විඳින්න සිද්දවෙනව කියල. අපේ බාසාවෙන් කිව්වොත් ඒ කර්මය. ඒ කියන්නෙ දුෂ්ටකම් කරමින් මොන තරම් බලයක් ගොඩනගාගත් අවසානෙ කල කම් පල දෙනව වගේ කතාවක්.. ඒ දේ ලෝඩ් බේලිෂ්ට වෙන හැටි අපි දැක්ක, ජොෆ්‍රි, රැම්සි.. මේ හැමෝම තමන්ගෙ ක්‍රියාවන්ට ජීවිතෙන් වන්දි ගෙව්ව. එහෙනම් සර්සි වගේ කෙනෙක් තවම ඉන්නෙ කොහොම ද? සාධාරණ මනුස්සයෙක් විදිහට පෙන්නපු නෙඩ් ස්ටාක් නිස්කාරණේ මැරිල ගියේ ඇයි, රෙඩ් වෙඩිං එකේ දි මුලු ස්ටාක් පවුලම මැරුණෙ ඇයි? විපතින් ගැලවෙන්න නම් චරිතෙ යහපත් කම වගේම උපාය බුද්ධියත් අවශ්‍ය නිසා ද? ඒ න්‍යාය අනුව සිහසුන ලැබිය යුත්තෙ කාටද? ඒ සන්සාද? ආර්‍යා ද? ජේමි ලැනිස්ටර් ද? නැත්නම් වෙන කෙනෙක්? ඒ ඔක්කොම හරි අවසානෙ කාටත් හිමිනොවී සිහසුන විනාශවුණෝතින්?

ජෝජ් ඕවල් තමන්ගෙ 1988 කතාව අවසන් කරන්නෙ සියලුදේම, පවතින බලාඅධිකාරයේ අයෝමය හස්තයට යට කරමින්. ඒ කියන්නෙ මේ විෂමාකාරී ක්‍රමය ඇතුලෙම පවතිනවා මිස ඉන් මිදීමක් නැති බව කියමින්. ජෝජ් මාටින් ගේ ඔලුව වැඩ කරල තියෙන්නෙ කොහොමද කියල දැනගන්න නම් කතාවෙ අවසාන කොටස් ටික බලන්නම වෙනව...





Tuesday, April 9, 2019

එච්. එම්


පිළිම නෙළා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
තවමත් පස් කඳු වැළලී ඇති බව ද

පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන ලෝකයම 
ඔබට එරෙහි වී යලි නැගිටින බවද අපි ඇසුවෙ ඔබතින් නිමැවුණු සත්සරයෙනි..

ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා 
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා 
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා කිවුවද

ප්‍රේමයේ විල්තෙරේ යෞවනේ මල් වනේ
ඇසුණු ඒ ගී මියුරු රාවය කිසිදාක අඩුවුයේ නැත..

ජීවිතේ දිගු වන්දනා ගමනේ නවාතැන් ගත් මොහොතක 
එය රම්‍ය සඳ කිරණක් බඳු වූවා කීම වරදක් නොවේ

මේ පුංචි රටේ රත්තරං නෙත් දෙකක් ඇති අය සොයා යන කල 
ලඟින් හිඳ ජීවිතේ ලසෝ තැවුල් නිවා දැමුයේ මේ මිහිරි තනු මාලාවන් ය.

සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ යන දහම පසක් කර 
ඒ සීත දිය ගඟුල අද සාගරයටම මුසුවී ඇත..

එච් එම්

කිසි කලක මතකයෙන් බැහැරට නොයන එවන් මියුරු ගී රැසක් 
අප ළඟ තබා ඔබ යන්න ගිහින් මැකිලා....






Sunday, April 7, 2019

මගේ පුංචි රෝසමලේ

ජවහර්ලාල් නේරු කියන්නෙ නිදහස් ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍යවරයා. ඉන්දියාවේ අවසාන එංගලන්ත ප්‍රතිරාජයා වුණ ලුවිස් මවුන්ට්බැටන් සාමිවරයාගේ බිරිඳ එඩ්විනා මවුන්ට්බැටන් ආර්යාවත් නේරුත් අතරෙ තිබුණේ ඉතාම ලෙංගතු ප්‍රේමයක්. මේ දෙදෙනා දකිනකොට මගේ මතකෙට එන්නෙ අමරසිරි පීරිස් මහත්මයා ගයන අර සුප්‍රසිද්ධ ගීයේ පද මාලාව. 

මගේ පුංචි රෝසමලේ
මමයි නුඹේ වියපත් බඹරා
ඔබ හීනෙන්වත් නොදකින කුමරා.

ඇත්තටම නේරු සහ එඩ්විනා අතරෙ තිබුණෙ 'සිහිනෙන්වත් නොදකින' තත්වයක් නෙමෙයි. ඇයට වඩා වයසෙන් බොහෝම වැඩිමහලු, ඒවගේ හොඳ ජීවිතාවබෝධයක් ඇති පරිණත පුද්ගලයෙක් වුණ නේරු සහ ඇය අතරෙ ඇතිවී තිබුණ බැඳීම ශාරීරික සම්බන්ධකම් වලට එහා ගිය ගැඹුරු ආධ්‍යාත්මික බැදීමක්. මේ වෙනකොට නේරු ගේ බිරිඳ මියගිහින් ඔහු හිටියේ හුදකලාවේ, ඒ වගේම නේරුගෙත් එඩ්විනාත්ගෙත් අදහස් සිතුම් පැතුම් බොහොම හොඳින් ගැළපුණා. මේ බව එඩිවිනා ආර්යාවගේ දියණිය රචනා කළ ලද ඇගේ චරිතාපදානයේ සදහන්වෙලා තියනව. එඩ්විනා විසින් නේරුට යැවුව ලිපි වලට අනුව මේ බැදීමට හේතු කාරක වෙලා තියෙන්නෙ ආත්මිය වශයෙන් හා බුද්ධි මට්ටම් අතින් ඔවුන් අතර තිබූ සමානකම්. එඩ්විනා තමන්ගෙ සැමියාගේත් නේරුගේත් ආදරය නොමදව ලැබුවා. ඔවුන් තිදෙනාගේ නම් අපූරුම පෙම් ත්‍රිකෝණයක් විදිහට ලෝක ඉතිහාසයේ සටහන් වෙලා තියෙනව. ඇත්තටම එක සමාන පරිණතකම් ඇති මිනිස්සු අතරෙ ඇතිවෙන බැඳීම් කොයි තරම් සුන්දර ද...

කලුවර රෑ සඳක් වගේ
අහසේ ඔබ ඉන්නවනම්
ආසයි මං නොකී කවිය
ඔබට කියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න..






Friday, April 5, 2019

Green book (2018)

කලාකාරයෙක් සහ කලහකාරයෙක් අතර තියන වෙනස මොකක්ද? නැත්නම් මේ විදිහට හිතුවොතින්, එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් තියන ආගම් දෙකක, ජාතීන් දෙකක, වෙනස් භාෂාවන් කතාකරන වෙනස් සංස්කෘතීන් දෙකක දෙන්නෙකුට එකතුවෙලා එකට වැඩ කරන්න වුණොතින් ඒක කොහොම තියෙයි ද? සමාජයක් කියන්නෙ මේ වගේ වෙනස්කම් තියන මිනිස්සු සමූහයක එකතුවක්. ඉතින් මතවාදී තලයේ මොනවිදිහේ ප්‍රතිවිරුද්ධතාවයන් තිබුණත් මිනිස්සු විදිහට අපිට එකට වැඩ කරන්න, අනිකාත් මනුස්සයෙක් විදිහට දකින්න අපිට තියන බාධකය මොකක්ද? මේ වෙලාවෙ මගෙ මතකයට එන්නෙ මාටින් ලූතර් කිං ගේ සුප්‍රසිද්ධ කියමන. එක්කො අපි සහෝදරයන් විදිහට ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන. එහෙම නැත්තම් මෝඩයන් වගේ එකිනෙකා කා කොටාගෙන මැරෙන්න ඕන. Green book කියන්නෙ මෙන්න මේ කාරණාව මහ පොළව මත හෑබෑවක් කල මිනිස්සු දෙන්නෙක් ගැන ඇත්තම කතාවක්.  

Tony කියන්නෙ ඉතාලි සම්භවයක් ඇති ඇමරිකානුවෙක්. ඒවගේම යකෙකුටවත් බය නැති, ඕනෑම කෙනෙකුට කියන්න තියන  දෙයක් මූණටම කියන ටිකක් දඩබ්බර චරිතයක්. ටෝනිගෙ මේ කටකාර කම නිසාමයි පොඩි කාලෙම Tony Lip කියන නම වැටෙන්නෙ. ජීවත් වෙන්න සුලු සුලු රැකියාවන් කරමින් ඉන්න ටෝනිට අවසන් වරට අවන්හලක කරමින් ඉන්න රැකියාව අහිමි වෙනව. මේ ටෝනි කියන්න කලු ජාතිකයන් පේනන බැරි මනුස්සයෙක්. තමන්ගෙ නිවෙස් අලුත්වැඩියාවකට ආව කලු ජාතිකයින් දෙන්නා වතුර බීපු වීදුරු දෙක කුණු බක්කියට දාන්න තරම් ටෝනි ගේ කලු විරෝධය දරුණුයි. රැකියාවක් නැතිව බිරිද දරුවන් එක්ක අසරණ තැනට වැටෙන ටෝනිට අවසානෙ රැකියාවක් ලැබෙනව. ඒත් ඒ Shirley නම් කලු ජාතික පියානෝ වාදකයෙක් ලඟ. මාස දෙකක් එක දිගට සංදර්ශන පවත්වමින් ෂර්ලි රට පුරා සංචාරය කරනව. ඔහුගෙ රියදුරා විදිහට තමා ටෝනිට රැකියාව ලැබෙන්නෙ. වෙන කරන්න දෙයක් නැති තැන ටෝනි ඒ කටයුත්තට කැමති වෙනව. ඉතින් මේ සංචාරය කරන කාලය ඇතුලෙ හරි අපූරු අත්දැකීම් වලට මේ දෙන්න මුහුණදෙනව. ෂර්ලි කියන්නෙ ටෝනි ගේ ම අනිත් පැත්ත කිව්වොත් හරි. ඔහු නිහඩ වගේම බොහෝම පිළිවෙලට වැඩ කරන්න කැමති කලාකාමී පුද්ගලයෙක්. සමහර අවස්ථාව වලදි ටෝනි ගේ කලහකාරී ගති නිසා ඔවුන් අමාරුවේ වැටෙන්න ගියත් ඒ තැන් වලදි ටෝනි නිතරම ෂර්ලිව ආරක්ෂා කරගන්නව. මේ විදිහට ඔවුන් දෙන්නාත් එක්ක චිත්‍රපටිය බලන අපිත් අපූරු ගමනක් යනව. 

මේ චිත්‍රපටයට පසුබිම් වෙන යුගය ඒ කියන්නෙ 60 දශකය ඇමරිකාවෙ වර්ණභේද වාදය තදින්ම පැවතුණ කාලසීමාවක්. සමහර අවන්හල්වල කලු ජාතිකයන්ට ආහාර ගන්න අවසර නෑ. මේ විදිහට කලු ජාතිකයන්ට ඇතුල් වෙන් ආහාරගන්න පුලුවන් විදිහේ අවහල් ගැන විස්තර ඇතුලක් පොතකට තමා Green book කියන්නෙ. මේ වගේ තැනකදි කොයිතරම් අමාරුවෙන් වුණත් කලු ජාතිකයෙක් නම් එළියේ ඉඳගෙන ආහාර ගන්න ඕන. සමේ වර්ණය අනුව මිනිස්සු වර්ග කරල වෙනස් ආකාරයට සැලකීම කොයිතරම් පිළිකුල් සහගතද කියන එක එයින්ම පැහැදිලි කරගන්න පුලුවන්. කලු ජාතිකයෙන් ගෙ ජන සංගීතය මුල් කරගෙන ලෝකෙට බිහිවෙන ජෑස්, බ්ලූස්, රෝක් ඇන්ඩ් රෝල් වගේ සංගීත රටාවන් ජාති බේදයකින් තොරව මිනිස්සු රස වින්දත් කලු මිනිස්සුන්ට සිදුවුණ කෙණෙහිලි කම් නම් ඒ සමාජෙ අඩුවක් තිබුණෙ නෑ. ටෝනි සහ ෂර්ලි කරන්නෙ එක අතකින් මේ අසාධාරණයට විරුද්ධව ලොකු පෙරළියක්. 

 Green book  චිත්‍රපටයෙ සාර්ථකත්වය තියෙන්නෙ තැනක හාස්‍ය සහ උපයාසය වුණත් යොදාගෙන නමුත් සිත්ගන්නා සුලු ආකාරයට කතා පුවතක් ඉදිරිපත් කරන ආකාරය මත. එකිනෙකට වෙනස් ගති පැවතුම් ඇති දෙන්නෙක් වුණ ටෝනි සහ ෂර්ලි අතරෙ ගොඩනැගෙන මනුස්ස සම්බන්ධතාවයත් ඔවුන් අතර එකිනෙකා කෙරෙහි ඇතිවන සහකම්පනයත් ඉතාම අපුරුවට  මේ චිත්‍රපටයෙ පෙන්වා දෙනව. උදාහරණ විදිහට ටෝනි තමන්ගෙ බිරිදට ලිපියක් ලියන මොහොත ගන්න පුලුවන් එතනදි  ටෝනිට තවත් ලස්සනට හදවතට දැනෙන විදිහට ඒ ලිපිය ලියන්න උදව් වෙන්නෙ කලාකාමියෙක් වුන ෂර්ලි. ඒ වගේම ෂර්ලි නාදුනන මිනිස්සු පිරිසක් මැද කරදරේ වැටෙන්න යන මොහොතක කටකාරකමෙන් සහ උපාය බුද්ධියෙන්  ඔහුව ගලවා ගන්නෙ ටෝනි. මේ විදිහට Green book එකිනෙකට වෙනස් ස්වභාවයන් ඇති මිනිසුන් දෙන්නෙක් එකට තියල ඔවුන් අතරෙ ඇතිවන හැබෑ මනුස්ස සම්බන්ධතාවක අපූර්වත්වය අපට පෙන්වාදෙනව.

සුප්‍රසිද්ධ ලෝඩ් ඔෆ් ද රින්ගස් කතාමාලාවෙ ඇරගොන් ගේ චරිතයෙන් බොහෝ දෙනා හඳුනාගත්ත විගෝ මෝටන්සන් ගෙන් ඉතාම සිත්ගන්නා සුලු රංගනයක් මේ චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන්. ෂර්ලි විදිහට මාෂා අලි ගේ රගපෑමත් ඊට දෙවනි නෑ. ඔහු  ගේ මේ රංගනය වසරේ හොදම සහය නලුවා විදිහට ඔස්කා සම්මානය ඔහුට හිමි කර දෙනවා. දීප්තිමත් සහ කහ පැහැයට තරමක් හුරු වර්ණ භාවිතා කර තිබීමත් 60 දශකය ඒ පැරණිබව වගේම ඇහැට බොහොම ප්‍රිය රූපයක් නරඹන්නාට ලබා දෙනව. ඉතින් මේ කරුණු කාරණා එක්ක Green book , 2018 වසරේ හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය දිනා ගැනීම පුදුමයක් නෙමෙයි..





Wednesday, April 3, 2019

වීණාවක හද


ඈතින් ඇසෙන ගීයකට
කම්පනය වුණත් සම ස්වර
නිහඬවම හිඳ පුරුදු ය
වීණාවක හදට.