Friday, May 29, 2020

The Hours (2002)

ගැහැණිය, හැම කාලයකදීම මිනිස් සිත විස්මයට පත් කළ සොබාදහමෙ අපූර්ව නිමැවුමක්. ඇයව මුල් කරගෙන කොයිතරම් කවි, ගීත, කලා නිර්මාණ බිහිවෙලා තියෙනවා ද. ඒත් ඇය නිතරම ඇගේ ප්‍රතිපාර්ශ්වය වුණ පිරිමියා වික්ෂිප්ත කරවනවා. හරියට පද ගලපාගත නොහැකි ප්‍රෙහේලිකාවක් වගෙ පිරිමියාගෙ තාර්කික චින්තනයට බොහෝ විට ඇයව වැටහෙන්නෙ නෑ. එක මොහොතක මුලු ලෝකයම එපා වුණා වගේ හඬා වැටෙන ඇය ඊලඟ මොහොතෙ නැවත සිනහවෙන්නෙ කිසිවක්ම නොවුණු ගාණට. ඇය ඔබේ හිතවතියක් නම් එක දවසකදි ඔබත් එක්ක බොහොම හොඳින් කතා බහ කරන ඇය තවත් දවසක ඔබව මගහරින්න පුලුවන්. ඇය ළඳ බොලඳ සිතුම් පැතුම් ඇති, සියුමැලි කෙනෙක් විදිහට බාහිරයට පෙනුනත් ජීවිතයේ මහ විශාල කඩා වැටීම් ලඟ ඈ නොසැලී ඉන් හැටි පුදුමාකාරයි. ඒත් ඇයට පුලුවත් අවශ්‍ය වූ විට කඩා වැටෙන්න. යලි නැගීසිටින්න. ඇයට පුලුවන් පිරිමියෙකු සමඟ වගේම ගැහැණියක සමගත් ආදරයෙන බැදෙන්න. ඇයගේ ආදරය වඩා විචිත්‍රයි. විශාල පරාසයක පවතිනව. ඇය ආදරයෙදි ආත්මාර්ථකාමි, තමන් ගැන පමණක් සිතන කෙනෙක් වගේ පෙනුණත් ආදරය වනුවෙන් ජීවිතේ බොහෝ දේවල් කැප කරන්න ඇය සූදානම්. ඇය කැමතියි දේවල් තමන් තුළම තබා ගන්න. බාහිරයට වඩා (මම විශ්වාස කරන විදිහට) ඇයට තිබෙනව කරුණු කාරණා තමන් තුළම, තමන් එක්කම විසඳා ගන්න. එය කිසි දාක ඒව පිටස්තරයට මුදාහරින්නෙ නෑ. ඒවගේම ඇය කවදාවත් පහර දෙන්නේ නෑ. ඇයගෙ ප්‍රතිවිරෝධය පිටවෙන්නෙ තමන්ටම අනන්‍ය වුණු ආකාරයකට. ඇය බොහෝවිට රිදවා ගන්නෙ තමන්ටමයි. මෙයයි ඇගේ ස්වභාවය.

Virginia Woolf (1923), Clarissa Vaughan (2002), Laura Brown (1951) යුග තුනක සමාජ වටපිටාවන් තුනක් නියෝජනය කරන ගැහැණුන් තිදෙනෙක්. මින් දෙදෙනෙක් ඍජුවම එකිනෙකා සම්බන්ධයි. තුන්දෙනාටම පොදු කාරණා තියනව. නමුත් තුන්දෙනා ම එකිනෙකාට අනන්‍යයි. මේ තුන්දෙනා එක් ආකාරයකට එකිනෙකා සම්බන්ධයි. ඒ වර්ජිනියා වුල්ෆ් නම් ඒ ලේඛිකාවගේ Mrs. Dalloway නවකතාව හරහා. ඇය ඒ නවකතාවෙන් සිදුකරන්නෙ ගැහැණිය ජීවිතේ පැය විසිහතරක් ආශ්‍රයෙන් ඇයගේ ජීවිතය විවරණය කිරීම. The Hours චිත්‍රපටයෙනුත් කරන්නෙ මේ තුන්දෙනාගේ ජීවිත වල පැය විසිහතරක් ආශ්‍රයෙන් ගැහැණිය ගේ ජීවිතයට එබී බැලීම. 

චිත්‍රපටයට මූලික වෙන කාන්තා චරිත තුනම තමන්ගෙ ජීවිත වල නිශ්චිත බිඳ වැටීමක ආසන්නයෙ ඉන්න අය. තුන්දෙනාගේ ම ජීවත වලින් අරගන්න මේ පැය විසිහතරෙ කාලය ඔවුන්ට ජීවිතේ තීරණාත්මක විදිහට බලපෑම් කරනව. නිරන්තරයෙන් මානසික අවපීඩනයෙන් පීඩා විඳින වර්ජීනියා, පැරණි ප්‍රේමයක මතකයන්ගෙන් නැවත නැවත දුක් විඳිනා ක්ලැරිසා, අතෘප්තිකර විවාහයක සිරකාරියක වුණු ලෝරා, ඔවුන් තිදෙනාගේම ජීවිත වල අඳුරත් ආලෝකයත් එකෙනෙක සැසඳෙන විදිහට චිත්‍රපටයට මුහුකරගෙන තියනව. 

චිත්‍රපටයෙ විශෙෂම කාරණය මේ එකිනෙක වෙනස් කාල සීමාවන් තුනක ගොඩනැගෙන කතා තුනක් එක තනි කාල රේඛාවක පිහිටුවා ගැනීම. එක එක සිදුවීම් වල එකිනෙකා සමපාත වෙන තැන් සම්බන්ධ කරමින් කතාව නිමවා ඇති ආකාරය සුවිශේෂයි. ඒ වගේම තවත් විශේෂත්වයක් තමා Virginia Woolf ගේ චරිතය නිරූපණය කරන Nicole Kidman ගේ රංගනය. ඇය වර්ජීනියා වුල්ෆ් ගේ චරිතය සමග කොයිතරම් ඒකාත්මික වෙනවද කියනවනම් මේ නිකොල් කිඩ්මන් බව හඳුනාගත නොහැකි තරම්. ඈ මේ චරිතය නිරූපණය වෙනුවෙන් ඒ අවුරුද්දෙ ඔස්කාර් සම්මාන උළලේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගැනීම පුදුමයක් නැහැ. ඒ වගේම තවත් සම්මාන නවයකට මේ චිත්‍රපටය නිර්දේශය ලබනව. අනෙක් ප්‍රධාන චරිත දෙක නිරූපණය කරන Meryl Streep සහJulianne Moore ඉතාම හොඳ රංගනයක යෙදෙනව. 

චිත්‍රපටයෙ ප්‍රධාන කාල රේඛාවන් තුනටම එකිනෙකට හාත්පසින් වෙනස් අවසානයන් තුනක දි අවසාන වෙනව. එය ජීවිත කතා තුනක්. ඒ නිසා ඒ අවසානයන් ඔවුන්ගේ ජීවන අත්දැකීමට සාපේක්ෂයි. සතුට සැනසීම ජීවිතේ අපි අර්ථදක්වන ආකාරයන් එකිනෙකට වෙනස්. කෙනෙක් තමා ආදරය කරන අනෙකාත් තමාත් වෙනුවෙන් ජීවිතය අතහරිනව. තවකෙනෙක් අතීතය අමතක කරල මේ මොහොතෙ ජීවිතය ගත කිරීමෙන් සතුට ලඟා කරගන්නව, තව කෙනෙක් දුක් පීඩාවන් විඳ දරා ගනිමින් ජීවිතේ එක්ක හැප්පෙන්න තීරණය කරනව. මේවයෙ වැරදි නිවැරදි බව තීරණය කිරීමට වඩා ඔවුන්ගෙ ජීවන අත්දැකීම මත පිහිටල ඇයි එහෙම වුණේ කියන කාරණයයි විමසා බැලිය යුතු වෙන්නෙ. The Hours චිත්‍රපටය classic රසයෙන් පිරුණ, Drama ගුණය ඉහළින්ම රැඳුන ඉතාම ඉහළ මට්ටමේ සිනමා කෘතියක් විදිහට හැඳින්වූවොත් වරදක් නෑ.



Thursday, May 28, 2020

කූඩු කල කුරුල්ලාගේ ගීතය

I know why the caged bird sings

සැරිසරයි නිදහස් කුරුල්ලා
ආකාශ ගංගාවේ
හමා එන සුළං රළ මත හිඳ
නවතිමින් සුළඟ නවතින තැන් වල..
ගිලෙයි ඌ විදා අත්තටු 
රක්ත වර්ණ හිරු රැස් දහරේ
හිමිකම් කියයි ඒ කුරුල්ලා නොබියව
අනන්තය තෙක් විසිරි අහසට...

එනමුත් කූඩුවක සිරගත කළ
කුරුල්ලෙකු නොදකියි කිසිවක්
ඌ වෙසෙන පටු කූඩුවේ
රුදුරු යකඩ දඬු මිස..
විදාහල නොහැක උගෙ අත්තටු
යා නොහැක තබා පියවර..
එබැවින් ඒ කුරුල්ලා
විවර කරයි තම මුව 
ගයන්නට..

ගයයි ඌ බියමුසු හඬින්
පතනා යම් දෙයක් පිළිබඳ 
දෝංකාරය කරමින්
දුර අෑත කඳුකරය ද
ගයන්නේ කූඩු කළ කුරුල්ලා
නිදහසේ ගීතයයි..

සිතිවිලි සරයි නිදහස් කුරුල්ලෙකුගේ
සුසුම්ලන තුරු වියන පිස එන
නැවුම් මදනල දහර අතරේ..
හරිත පැහැ තණ බිමෙහි සැඟවුණ
මහත් කුරුමිණි සතුන් අතරේ.
තමන් සන්තක බවට කිව හැකි
නිමක් නාෙපෙනෙන අහස් ගැඹුරේ..

නමුත් කූඩු කල කුරුල්ලා 
නැගී සිටිනුයේ නිතරම
සිහින වළ දැමූ සොහොන්කොත් මතය
සෙවණැලි පවා උගේ
වියරු වී කෑගසන්නේ
බියකරු ස්වප්නයක හඬය..
විදාහල නොහැක උගෙ අත්තටු
යා නොහැක තබා පියවර..
එබැවින් ඒ කුරුල්ලා
විවර කරයි තම මුව 
ගයන්නට..

ගයයි ඌ බියමුසු හඬින්
පතනා යම් දෙයක් පිළිබඳ 
දෝංකාරය කරමින්
දුර අෑත කඳුකරය ද
ගයන්නේ කූඩු කළ කුරුල්ලා
නිදහසේ ගීතයයි..
.
.
Translated by Hashan Randika Dias



Wednesday, May 27, 2020

The Peanut Butter Falcon (2019)

මාර්ක් ට්වේන් ගෙ හකල්බරි ෆින් කතාව මම හිතන්නෙ බොහෝ අය කියවා ඇති. ටොම් සෝයර් කතාවෙ දෙවනි කොටස විදිහට මේක ලියවෙන්නෙ. හකල්බරි ෆින් කාත් කවුරුත් නැති අනාථයෙක්. ටොම් සෝයර් ගෙ සිද්ධියෙන් පස්සෙ වයසක විඩෝ ඩග්ලස් මහත්මිය හක් ෆින් ව හදා වඩා ගන්න බාර ගන්නව. ඒත් විඩෝ ඩග්ලස් මහත්මිය ගේ විනය නීති සහ ඉහවහා ගිය වික්ටෝරියානු සදාචාරය එපා වෙන හක් ෆින් එතනින් පැනල යනව. ජිම් නමැති කලු ජාතික වහලෙකුත් හක් ට මුණගැහෙනව. දෙදෙනාම එකතුවෙලා පහුරක් හදාගෙන මිසිසිපි ගඟ දිගේ යාත්‍රා කරනව. අතරමගදි මේ දෙන්නට මුහුණ දෙන්න සිදුවෙන්නෙ ඉල ඇදෙන තරම් හිනා යන, ඇස් වලට කඳුලු පිරෙන තරම් සංවේදී හරි අපූරු අත්දැකීම් වලට. චන්ද්‍ර අනගිරත්න මහත්මය මේ පොත බොහෝම රහට සිංහලට පරිවර්තනය කර තිබෙනව "හකල්බරි ගේ හපන්කම්" නමින්. "හකල්බරි ගේ හපන්කම්" කියන්නෙ ඇත්තටම කියවද්දි අතින් බිම තියන්න හිතෙන්නෙ නැති තරම් රස සාගරයක්!

2019 අවුරුද්දෙ තිරගත වුණ Peanut butter falcon චිත්‍රපටයෙත් කියවෙන්නෙ මේ වගේ බෝට්ටුවක නැගිල පලා යන දෙදෙනෙක් ගැන. Zack කියන්නෙ Down Syndrome රෝගයෙන් පෙළෙන තරුණයෙක්. මේ රෝගී තත්ත්වය ඇති අය වයස ගියත් ශරීරයත් මනසත් වැඩෙන්නෙ හෙමින්. Zack තරුණයෙක් වුණත් ඔහුගෙ සිතුවිලි, ක්‍රියාකාරකම් පුංචි ළමයෙකුට සමානයි. Zack ට කාත් කවුරුවත් නැහැ. ඔහු අනාථයෙක්. Zack ජීවිත් වෙන්නෙ අනාථ නිවාසයක. මුලු දවසෙම Zack කරන්නෙ wrestling වීඩියෝ පට නැරඹීම. Zack ගේ වීරයා ප්‍රසිද්ධ Wrestling ක්‍රීඩකයෙක් වුණ Salt Water Redneck. Salt water මුණුගැහිල ඔහුගෙන් Wrestling ඉගෙන ගැනීමයි Zack ගේ ජීවිතේ හීනය. ඉතින් හැම දේටම කලින් Zack මෙතනින් පලායන්න ඕන. Elenor (Dakota Johnson) මේ අනාථ නිවාසයෙ ස්වේච්ඡාවෙන්ම වැඩ කරන තරුණියක්. ඇය නිතරම Zack ගැන හොයා බලනව. ඇයට අවශ්‍ය ඔහුට ඇත්තටම යහපතක් කරන්න. දවසක් තමන්ගෙ සැලසුම සාර්ථක කරගන්න Zack කාටත් හොරෙන් අනාථ නිවාසයෙන් පැනයන්න සමත්වෙනව.

Tyler (Shia LaBeouf) කැරොලිනා ප්‍රාන්තයේ මසුන් මරන්නෙක්. තමන්ගෙ සොහොයුරා සමගයි ඔහු වැඩ කලේ. නමුත් සොහොයුරා ගේ අකල් මරණින් පස්සෙ Tyler හැම දෙයක්ම අවුල් කර ගන්නව. අනෙක් මසුන් මරන්නන් එක්ක ඔහු ගැටුම් ඇති කරගන්නව. දවසක් තත්ත්වය උග්‍ර අතට හැරෙනව. ධීවරයන් දෙදෙන් Tyler පස්සෙන් පන්නන්නෙ ඔහුව මරා දමන බවට සාප කරමින්. බෝට්ටුවක නගින Tyler ගඟ දිගේ පලා යනව. අතරමගදි ඔහුට මුණගැහෙනව Zack ව. 

වචනයෙ අර්ථයෙන්ම දෙදෙනාම එකම බෝට්ටුවෙ අය. දෙදෙනාගෙම පිටුපස්සෙන් ලුහුබැඳගෙන එනව කවුරුන් හෝ කෙනෙක්. ඉතින් එකට මේ ගමන යෑම හැරෙන්න දැන් කල හැකි දෙයක් නෑ. දෙදෙනාම අතරමග දි හොඳ මිතුරන් බවට පත්වෙනව. Zack තමන්ගෙ Wrestling හීනය ගැන Tyler ට කියනව. Salt water redneck කොහොම හරි Zack ට මුණගස්වන බවට Tyler පොරොන්දු වෙනව. 

දෙදෙනාට හරි අපූරු අත්දැකීම් වලට මුහුණදෙන්න සිදුවෙනව. Tyler හොඳ මිත්‍රයෙක් විදිහට Zack ට බොහො දේවල් කියා දෙනව. අනතුරු වලින් ඔහුව ගලවා ගන්නව. අවසානෙ මේ දෙදෙනා යන ගමන කොතනින් කෙළවර වේවි ද.? Zack පිටුපස්සෙ ඔහුව සොයමින් එන Elenor ට අවසානෙ ඔහුව සොයාගන්න ලැබේවි ද?

Zack ගේ මානසික තත්ත්වය නිසා ඔහු වැනි කෙනෙක් එක්ක වැඩ කිරීම ලේසි නෑ. රජයට අවශ්‍යයි මෙවැනි අය දැඩි විනයකට යටත් කරල හිරකර තබන්න. මොකද මේ තරඟකාරී සමාජ ක්‍රමය ඇතුලෙ Zack වැනි අයට ඉඩ නෑ. ඔහු වැනි අයව සලකන්නෙම මනුෂ්‍යත්වයේ විකෘතියක් විදිහට. නමුත් Tyler බොහොම ඉවසීමකින් වගේ ම හොඳ මිත්‍රයෙක් විදිහට Zack ට තමන්ගෙ ජීවිතේ හීනවලට ලංවෙන්න පාර පෙන්වාදෙනව. කෙනෙකුට ජීවිතේ අවශ්‍යම දේ ඒකමයි නේ. තමන් ගෙ සිතුම් පැතුම් හඳුනගත හැකි කෙනෙක්. සැපතෙදී වගේම විපතකදිත් ළඟ ඉන්න කෙනෙක්. දේවල් ආපිට බලාපොරොත්තු නොවී දීමෙන් පමණක් සැනසෙන කෙනෙක්. Zack සහ Tyler අපිට කියා දෙන්නෙ මිත්‍රත්වයේ ඒ පාඩම.

Peanut butter falcon තිර රචනා කරමින් අධ්‍යක්ෂනය කරන්නෙ Tyler Nilson සහ Michael Schwartz. චිත්‍රපටය විචාරක ප්‍රේක්ෂක දෙපාර්ශවයෙන්ම හොඳ ප්‍රතිචාර ලබමින් වගේම ආදායම් වාර්තා තබමින් තිරගත වුණා. Peanut butter falcon හදවත උණුහුමින් පුරවාලන සහ වරක් නැරඹූ කෙනෙකුට මතක හිටින ආකාරයෙ සිනමා අත්දැකීමක්!



Tuesday, May 26, 2020

Is Love Enough Sir?

ආදරය ගැන කියවෙන හැම චිත්‍රපටයක්ම, ලියවෙන හැම කවික්ම, ගැයෙන හැම ගීයක්ම ආදරය ගැන අලුත්ම අත්දැකීමකට අපිව අරගෙන යනව කියල මම හිතනව. මේ හැම නිර්මාණයක් ඇතුලෙම ආදරය නැවත නැවත් වර නගනව. Photograph චිත්‍රපටයෙ Rafi සහ Miloni, Lunchbox වල Fernandas සහ Illa, Masaan වල Deepak සහ Shaalu. මේ හැම නිර්මාණයකම අපි දකින්නෙ අලුත් ආදර කතාවක්. මිනිස්සු ප්‍රේමය අත්විඳින්නෙ තමන්ට සාපේක්ෂව. වයස, ජීවිත අත්දැකීම්, ලෝක දැක්ම වගේ කාරණා එක්ක මිනිස්සු ප්‍රේමය නිර්වචනය කරගන්න හැටි එකිනෙකට වෙනස්. ප්‍රේමය මොකක්ද කියන්න අපිට අර්ථකථන නෑ. ඒ හින්ද හැම මොහොතකම අලුත් ස්වරූපයකින් අපිට ප්‍රේමය අත්විඳින්න පුලුවන්. ප්‍රේමය විෂය කරගෙන කවි කතන්දර අසීමිතව අපිට ලියන්න පුලුවන්. ඒ හැම එකක්ම අලුත් සහ හැම එකක්ම ඊටම සුවිශේෂයි.

2018 අවුරුද්දෙ තිරගත වෙන Sir ( Is Love Enough Sir? විදිහටත් මේක කියවෙනව) චිත්‍රපටයෙත් තියනව ඊටම අනන්‍ය වුණ ආදර කතාවක්. Sir චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ හින්දි භාෂාවෙන්. හින්දි චිත්‍රපටයක් කිව්වම ඒකට ඇතුලත්වෙන අනුපානයන් ටිකක් තියනව නෙ. ඉටි රූප වගේ ලස්සන පෙම්වතුන්, පෙම්වතියන්, නැටුම් ගැයුම් මේ දේවල් එක්ක සකල කලාවේම රස ඒව ඇතුලෙ තියනව. මේ සැරසිලි වලින් මිදිල ජීවිතේ ඇත්ත සොබාවයෙන්ම පෙන්වා දෙන හින්දි චිත්‍රපටයක් දෙකක් මුණගැහෙනව ඉඳහිට හරි. Sir අන්න එහෙම චිත්‍රපටයක්.

Rathna පිටිසරබද ගමක වාසය කරන ගැහැණියක්. ඇගේ සැමියා මියගිහින්. Rathna මුම්බායි නගරෙ නිවසක සේවයට එන්නෙ ඇගේ වැන්දඹු කම නිසා ගම්මුන්ගෙන් අහන්නට සිද්දවෙන කතන්දර වලින් මිදෙන්නත්, ඇගෙ බාල සහෝදරියගෙ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් හොයාගන්නත්. ඒ අතරෙ තමන්ගෙම කියල ව්‍යාපාරයක් ආරම්භකරන සිහිනයකුත් ඈ දකිනව. Ashwin හොඳ කඩවසම් තරුණයෙක්. මුම්බායි නගරෙ සුඛෝපභෝගී තට්ටු නිවාසයක පිහිටා තියන නිවසක ඔහු තනිවම වාසය කරන්නෙ. Ashwinනුත් ඔහු ගෙ දෙමාපියනුත් උසස් සමාජ පැලැන්තිය නියෝජනය කරන අය. තමන් විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් හිටි තරුණිය තමන්ව රවටා ඇති බව Ashwin දැනගන්න ලැබීම හින්ද මොන තරම් සැප පහසුකම් මැද වුණත් ඔහු ජීවිත් වෙන්නෙ කලකිරීමකින්. Rathna ගෘහ සේවිකාවක් විදිහට වැඩ කරන්නෙ Ashwin ගෙ නිවාසයෙ.

Ashwin බොහොම ආචාරශීලී යහපත් ගති ගුණ ඇති තරුණයෙක් බවයි පෙනෙන්නෙ. Rathna ට ත් මේ ගුණාංගය පිහිටා තිබෙනව. ඇය තමන්ගෙ රාජකාරිය අවංකව වගේම හැකි උපරිමයෙන් කරන්නයි වෙහෙසෙන්නෙ. ඉතින් මෙහෙම පරිසරයක මේ දෙන්නා අතරෙ සිද්දවෙන්න පුලුවන් දෙය කොයි වගේ එකක් ද..

Sir චිත්‍රපටය තිර රචනා කරමින් අද්‍යක්ෂණය කරන්නෙ නවක ඉන්දියානු සිනමාවේදිනියක් වුණ Rohena Gera. ආදරයට සමගාමීව දුප්පත් පොහොසත් විදිහට වෙන් වෙලා තියන සමාජ විෂමතාවන් වගේම ගතානුගතික මතවාදයන් නිසා මිනිස්සු පීඩා විඳින හැටිත් මේ චිත්‍රපටයෙන් පෙන්වා දෙනව. 

අපිට නිතරම අනෙකා ගැන තියෙන්නෙ සැකමුසු බවක්. දුප්පත් කෙනෙක් හිතනව පොහොසත් අය හරි සතුටින් ඉන්නව කියල. පොහොසත් කෙනෙක් හිතනව දුප්පත් අය හරි සරලව සුන්දරව ජීවත් වෙනව කියල. හරිම නාගරික නූතන විදිහට පේන කෙනෙක් දුප්පත් සේවිකාවට බැන වදිනව. මේ වෙලාවෙ ඇයව ආරක්ෂා කරගන්නෙ ඇගෙ අර උසස් සමාජෙම ස්වාමියා. තවත් ගෙදරක ස්වාමියෙක් තමන්ගෙ සේවිකාවට අතවර කරන්න පෙළඹෙනව. මිනිස්සු අතරෙ මේ විෂමතාවන් නිතරම පවතිනව. Sir චිත්‍රපටය ගොඩනැගෙන්නෙ මෙන්න මේ වගේ සමාජ පසුබිමක. 

ආදරය ගැන අඳුරු අත්දැකීම් තියන ආදරය නිසා දුක් පීඩා විඳින හදවත් දෙකක් සුවපත් කරන්න පුලුවන් නම් ඒ ආදරයටම පමණයි. ඒක දෙදෙනාගෙම ජිවිත වල තියන දුක්පීඩාවන් ගැන එකිනෙකාට ඇතිවෙන සහකම්පනයක ස්වරූපයෙන් ඇතිවෙන්නෙ. ඔහුත් ඇයත් එකිනෙකාගෙ සතුට වෙනුවෙන් බෙදාහදාගන්න දේවල් ඇතුලෙ ඒ ආදරය උපදින්නෙ. චිත්‍රපටය අවසාන වෙන්නෙ ආදරය වෙනත් ස්වරූපයකින් නැවත පටන් ගැනීමෙන් කියල මම හිතනව.

Is Love Enough Sir ?

ඇත්තටම ඉතාම තෘප්තිමත් වගේම හෘදයාංගමව දැනෙන ආදරයක් ඇති තැන ජීවිතේ තව මොනාද අඩු?



Friday, May 22, 2020

Always - පැබ්ලෝ නෙරුදා

ඊර්ෂ්‍යා නොකරමි මම 
මටත් පෙර ඔබ හට
හිමිකම් කියූ කිසිවෙකු ගැන..

පැමිණෙන්න ඔබ
තවෙකෙකු සුරත ගෙන..
පැමිණෙන්න ඔබ
සියක් මිනිසුන්
සඟවා කෙහෙ කැරළි වල..
පැමිණෙන්න තවත් දහසක්
හොවා ඔබ ළයෙහි ද
උකුළ තුළ..
ගලා එනු මැන ගඟක් සේ
ගිලී යන මිනිසුන් පිරුණ
කාලයේ රැළ සරැළි නැගෙනා
සදාතනිකවු සයුර වෙත ගලන..

ගෙන එන්න උන් සියළු දෙනා
ඔබ වෙනුවෙන් ම ඔබ සඳහා ම මා
මඟ බලා ඉන්නා තැනට

එහෙත් කිසිවක් නොවෙනස්ව 
පවතිනු ඇත අප අතර..
නිරුතුරුම මා ඔබ ද ඔබ මා ද
අපි අපිද වන බැවින්
අරඹනු පිණිස අප දිවිය 

Translated by - Hashan Randika Dias

.............................................

I am not jealous
of what came before me. 

Come with a man
on your shoulders,
come with a hundred men in your hair,
come with a thousand men between your breasts and your feet,
come like a river
full of drowned men
which flows down to the wild sea,
to the eternal surf, to Time! 

Bring them all
to where I am waiting for you;
we shall always be alone,
we shall always be you and I
alone on earth,
to start our life.

- Pablo Neruda -



Thursday, May 21, 2020

සිතියමක මතක..

සීරුවෙන් 
වළාකුළු අතරින් පෙරී
වෑස්සෙයි තාරකා එළි..

මඟ නොමඟ කියයි නම් තරු ළකුණු
ඒ කොයිබට විය හැකි ද?

මේ කඳුවලල්ලෙන් එපිට
ඒ කුඩා බිම් පෙදෙස
මෙන්න මෙතැනයි පෙන්විය හැකි
එකම තරුවක් වෙති ද මෙහි?

මම
මළානික ඩිජිටල් තිරයේ
විවර කර ගූගල් සිතියම
ලං වී බලමි
නිල් පැහැ සාගරෙන් වට
පුංචි දූපත.

පිළිතුරු නොමැති බව දැන දැන
අසමි සිතියමෙන් දහසක් පැන..

සුදු පැහැ තනි බංකුවක් ඇති
ඒ උයන කොතැන ද?
මල් හැලුණු පටු පාර
තවමත් එහෙමද?
දහස් ගණනක් සෙනඟ යන එන
පදික වේදිකාවේ
කොට්ටම්බා හෙවණ යට තව
විලවුන් සුවඳ ද?
හන්දියේ පොඩි කඩයක
අබලන් පුංචි රේඩියෝව
මර්වින් ගේ "මේ නගරය" සින්දුව
ආයෙත් වරක් ගැයුවද?

සැරසරමි ඔහේ
අතරමං වූවෙකු සේ
මං මාවත් වීදි දිගේ..

කොයිතරම් පිළිවෙල ද
මේ සිතියම
නමක් ඇත එහි 
හැම කුඩා අතු මගකටම
ඉරිගසා වෙන්කර ඇත
දිස්ත්‍රික් ගම් නගර මායිම්
මනාකොට..

කොයිතරම් කමකට නැති ද
මේ සිතියම
නොපෙන්විය හැකි නම් ඉන්
වෙසෙන තැන ඔබ..



Wednesday, May 20, 2020

සිතන මිනිසා

සිටින්නේ මිනිසෙක්
පැරිසියේ.. ඒ මහා නගරයේ
කෞතුකාගාරයක් ඉදිරිපස
වාඩිවී ශෛලමය අසුනක...
නමාගත් පිටි අත්ල මත
තමාගෙන නිකට..
කල්පනාවේ යෙදෙන...

ගල් යුගයේ බිහිව
යකඩ යුගයත් පසුකර
එඬේරික යුගයේ ජලයෙන් පෙඟුණ
පාෂාණයෙන් නිර්මිතව 
සිතයි ඔහු තවම
කාර්මික යුගයේ සිට..

නොයෙක් සියතුන්ද
සමනලුන්
පියාඹායත් ඔහුගෙ හිස මතින්..
යති ඉහළටම
මිනිසුන්
සිව්දිසාවෙන් පැමිණ
තුරු හිස්වලිනුත් ඉහළට
පඩිපේළි නැග 
පඩිපේළි නැග
ඔහු ඉදිරිපිට...

මොහු කවර නම් මිනිසෙක් ද?
හද පිරුණු හැඟුමින්
ලොව දකින කවියෙක් ද?
පුබුදවා නුවණ
කළඹවා තාර්කික මනස
සිතන දාර්ශනිකයෙක් ද?
නොමැති නම්
අග හිඟ කමෙන්
ණය බරින් පීඩිතව
ගෙවා ගනු කෙළෙසදයි හෙට දවස
සිතමින් සිටින
නගර වැසියෙක් ද?

වළාකුළු කැබලි කැබලිව
හැඩිව ගිය අහසේ
බැස ‍යයි සැඳෑකල රතු හිරු
අවරගිර.. 

සැඟව යයි සෙමෙන්
ඒ සිතන මිනිසා
නගරයේ
ගොඩනැගිලි වල
විසල් සෙවණැලි තුළ..



The Thinker


Monday, May 18, 2020

වෙරළ වාගෙයි ඇය

"වෙරළ වාගෙයි ඇය
නොගැඹුරුයි
තොරතෝංචියක් නැති සද්දෙ
උඩ පනින නටන දැඟලිල්ල විතරයි"

ඔහු ලියා තිබුණා
වෙරළත
බොහෝ දිග සවස් වරු ගත කළ කාලයෙදි

"ඇය බොහෝ ගැඹුරුයි
ඉමක් නොපෙනෙන සුළුයි
දරාගත නොහැකි තරම්
නිහඬයි..."

ලියා තිබුණා ඔහු 
මුහුදු නැවියෙකුව
මුහුදු මං ඔස්සෙ බොහො දුර
පැදයන්න පටන්ගත් කලෙක..

"උස් මුදුන් මතුයේ පැන නැඟ
බෝ දුර ඇවිද දුක් විඳ
උල්පතයි ඇය
මහ සයුරකට දියවර දෙන"

කඳුකර දුර්ග පෙදෙසක
නිවහන් තනාගත් පසු ව
ලියා තිබුණා ඔහු...

කලකට පසුව
හිරු මියෙන සැඳෑවෙක
තනිවී නිහඬ වෙරළක
බලා සිට බොහෝ වේලා
ඔහු දිය තලය දෙස.
ලිවීය 
මෙ කව වැලි මත..

"දුටිවෙමි මම ඇය
දුටිමි මම අද
මේ නිසල දිය මත
පැහැදිලිව පෙනෙන
මගෙම පිළිබිඹුව තුළ"



Friday, May 15, 2020

හොඳම මතකය

"මං ගැන තියන හොඳම මතකය මොකක්ද?"
ඇය මුහුණුපොතෙහි පින්තූරයක් පළකර අසා ඇත..
.
.
.

දැන් රාත්‍රිය මැදියම් හෝරාවට කිට්ටුය. හාත්පස වෙලී ඇත්තේ වචනයට ගත නොහැකි තරම් නිහැඬියාවකිනි. මම පැමිණ ජනෙල් කවුළුව විවර කරමි.
.
.

කණමැදිරි එළි අතර අඳුරේ දිලෙන
යළි මැකෙන
රැහැයි ගී රැව් නැගෙයි හාත්පස බොඳවී ඇසෙන
සඳ එළිය අතු අගිස්සෙන් පෙරි පෙරී වැටෙන
වැලි පොළව මත රටා සහසක් අඳින..

මම සඳ දෙස බලමි

කාලෙකට ඉස්සර
හඳ පෑයු අද වගෙම එක රැයක
අපි මුණගැහුණු අවසාන මොහොත
හද සිතුවම් පටය තුළ යළි මැවෙයි..

ඇගෙ දෙකම්මුල් දිගේ හඳ එළිය ගලා ගිය හැටි
නිල්වන් තරු කැට දෙකක් වාගේ 
ඒ දෑස් දිස්නෙ දුන් හැටි
මා උරහිස්ස මත ඇගේ
කෙහෙරැළි ඔහේ වැතිරී තිබුණ හැටි..

ඈ හෙමින් සිපගත්‍තා මගෙ ඇහිපිය
මං බලා උන්නා ඈ දිහා කිසිවක් නොකියාම..

වෙන්ව යා යුතු මොහොත
දැනටම පමා වී තිබුණා..
ඉන් පසුව කිසි දවසක
මෙලෙස මුණනොගැසෙන්න
අපි නියමකරගෙන තිබුණා..

ඇගෙ හද ද මගෙ හද ද ළංළංව හමුවුණි
අප දෑත්‍ යුග තව වරක් පැටළුණි
පුරුදු මල් සුවඳක් මා අසල තබමිණි
ඝන අඳුර සෙමෙන් ඈ වටා පැතිරුණි..

සඳ නුඹට මතක නම් ..
ඒ මොහොත මට වගෙම මතක නම්..

මේ ලොව කොතැන හෝ යම්කිසි දුරක
ඈ නිවසනා කුටියක කවුළුව අසල
ලංවී සඳේ කිවමැන ඈ හට මෙලෙස
කිසිවක් තවම මට අමතක නැති බවට..
.
.
.
ඔරලෝසුවේ නාද වන්නේ කීවෙනි හෝරාව දැයි නොදනිමි. එහෙත් බොහෝ වේලා මා එතැන එලෙසම සිටින්නය ඇත. සට සට හඬින් වහලය මත වැටෙන්නේ පිනි බිඳු විය යුතුය. අහස පවා රහසේ කඳුළැලි වගුරන මොහොතක් තිබේ. ඉක්මණින්ම අරුණාලෝකය පෙරදිග අහසින් මතුව එනු ඇත.

මම කවුළුව වසමි.



Thursday, May 14, 2020

වෑන්ගෝ ගේ Irises සිතුවම ගැන කරුණු 10 ක්.

1. 1987 අවුරුද්දෙ "Irises" ඇමරිකානු ඩොලර් මිලියන 53.9 ක මුදලකට අලෙවි වෙන්නෙ එතෙක් ලොව වැඩිම මිලකට විකිණුන සිතුවම බවට පත්වෙමින්. මේ අගය වර්තමානයෙ ඇමරිකානු ඩොලර් මිලියන 100 කට සමාන වෙනව.

2. මේ සිතුවම වෑන් ගෝ මිය යන්න අවුරුද්දකට කලින්, මානසික රෝගීන් සඳහා වෙන් වුණ Saint-Remy ආරෝග්‍යශාලාවෙ නතර වී ඉන්නා කාලයේ ඔහු නිම කළ සිතුවම්, ආසන්න වශයෙන් 130 ගණනක් අතරින් එකක්.

3. රෝහල්ගත වුණු පසු වෑන් ගෝ නිමකළ මුල්ම සිතුවම Irises බව හඳුනාගෙන තිබෙනව. සිතුවමේ දැක්වෙන මල් පිපී තිබුණේ නේවාසික රෝගීන්ට ඇවිදයන්න අවසර තිබුණ කුඩා එළිමහන් බිම් පෙදෙසක.

4. Irises සිතුවමට පෙර වෑන් ගෝ Iris මලෙහි වර්ණ හැඩතල හැදෑරීමට සිතුවම් හතරක් නිමවා තිබෙනව. පළමුවැන්නෙන් දම් පාට Iris මල් යායක් සහ ඒ අතරෙ තනි සුදු මලකුත් දෙවැන්නෙන් කුඩා මල් පොකුරට පිරුණු Irises තනි ගසකුත් දැක්වී තිබුණා. මේ සිතුවම් දෙකම ඔහු රෝහල්ගත වුණ විගසම නිමවා තිබුණා. ඉන් පසුව නිම කළ සිතුවම් දෙකේ මල් බඳුනක දමා ඇති Iris පොකුරු සිතුවම්ව තිබුණා.

5. වෑන් ගෝ Irises සිතුවමේ හැම මල් පෙත්තක්ම නිමවා තිබුණේ ඊට අනන්‍ය සුවිශේෂ හැඩයකින් සහ ප්‍රමාණයකින්. එක මලක් පමණක් දම් පැහැය වෙනුවට සුදු පැහැයෙන් වර්ණ ගන්වා තිබුණා.

6. Irises ලොව පුරා චිත්‍ර ප්‍රදර්ශන වල ප්‍රදර්ශනය වී තිබුණත්, වෑන් ගෝ ජීවතුන් අතර ඉන්නා විට එය චිත්‍ර ප්‍රදර්ශනයක නිරූපණය වුණේ එක් වරක් පමණයි. 1889 අවුරුද්දෙ පැරිසියේ පැවැත්වුණ මේ ප්‍රදර්ශනයට Irises සිතුවම ඉදිරිපත් කර තිබුණේ වෑන් ගෝ ගේ සොයුරු තියෝ විසින්.

7. මේ සිතුවම කිහිප වතාවකදිම, නොයෙක් අය විසින් මිලදී ගෙන නැවත විකුණා තිබුණා. ඇමරිකාවේ Malibu නුවර Paul Getty කෞතුකාගාරය 1990 වසරේ දි Irises මිලදීගන්නව. අදටත් Irises සිතුවම දැකගන්න හැකි වෙන්නෙ එතැන යි.

8. සිතුවම වෙනුවෙන් ගෙවූ මිල හෙළිදරව් කිරීම කෞතුකාගාරය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනව. මේ නිසා අවසන් අවරට Irises කොයිතරම් මිලකට විකිණි ගියාද කියා නිවැරදිව දන්නේ කෞතුකාගාර බලධාරීන් පමණයි.

9. 19 සියවසේ සමහර සිත්තරුන් මෙන් වෑන්ගෝ ජපානයේ සාම්ප්‍රදායික සිතුවම් කලාවෙන් ආභාසය ලබා තිබුණා. Iris සිතුවම සඳහා භාවිත කර තිබෙන වර්ණ සහ හැඩතල මෙහෙවා ඇති ආකාරය මගින් මෙය වටහා ගත හැකියි.

10. දහවෙනි කරුණ වෑන් ගෝ ගේ සොයුරු තියෝ විසින් වෑන් ගෝ ට ලියූ ලිපියක කොටසක්. Stary Night සහ Irises චිත්‍ර ප්‍රදර්ශනයේ තබා තිබුණු ආකාරය ඔහු වෑන් ගෝ ට විස්තර කරනවා.

"දැන් මට ඔබට කියන්න ඇත්තේ Independents සිතුවම් දැක්ම විවෘත වී ඇති බවත්, එහි ඔබේ "Irises" සහ "Starry Night" සිතුවම් දෙක ප්‍රදර්ශනයට තබා ඇති බවත් ය. දෙවැන්න එල්ලා තිබෙන්නෙ ඉතාම නරක විදිහකට. නරඹන්නන් ගෙන් ඈතට. නමුත් පළමුවැන්න ඉතාම හොඳින් ප්‍රදර්ශනය කර තිබෙනවා. ඈතට පවා හොඳින් පෙනෙන ආකාරයට ඔවුන් එය කාමරයේ පටු බිත්තියක රඳවා තිබෙනවා. එය සුන්දරත්වයෙන් සහ ජීවයෙන් පිරීගිය අනර්ඝ නිමැවුමක් බව කිවහැකියි."



Tuesday, May 12, 2020

Photograph (2019)

චිත්‍රපටි වල තියන කතන්දර නම් සෑහෙන ඒකාකාරියි. දෙතැනකට වෙලා දුක් විඳින කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්නව. අවසානෙ සියලු බාධක ජය අරගෙන දෙන්න එකතුවෙනව. ඕකනෙ ගොඩක් වෙලාවට වෙන්නෙ..

ඒකට අපි.. 

බලන්න මං දිහා. දවසම අව්වෙ වේලි වේලි ෆොටෝ ගහල, මූණත් එක්ක අඟුරු වගේ කලු වෙලා. යාන්තම් එදාවේල හොයාගන්නව විතරයි. ජීවිතේ ඔහේ පාවෙවී ඉන්නව මිස හෙට දවසක් ගැන බලාපොරොත්තුවක් නෑ. 

ඔයා.. මූණෙ ලේ බිඳක් නෑ.. නිතරම ඉන්නෙ හීනෙන් බයවෙලා වගේ. හිනාවක් වත් නෑ. දෙමව්පියො කොයිතරම් සල්ලිකාර වුණත් ඔයාට ඒ දේවල් වල කිසි වගක් නෑ.

ඉතිං කොහොමහරි අපි හමුවුණා. ඒක තනිකරම අහම්බයක් කියල මම කියන්නම්. අපි දෙන්න වගේ ලෝක දෙකක ජීවත් වෙන දෙන්නෙක් මේ විදිහට හමුවීම ගැන දෙන්න පුලුවන් වෙන නිර්වචනයක් තියනව ද.. ?

ඒත් ඔයා මට මේ තරම් ලං වුණ එක නම් අහම්බයක් කියල මම හිතන්නෑ. 

සල්ලි, සමාජ තත්ත්වය, බලපුළුවන්කාරකම එක්ක අමුතු පිරිමි කමක් ඇඟට අරගෙන ඔයාට ලං වෙන්න හදන ඒ මිනිස්සුන්ව තඹේකට මායිම් නොකර ඔයා මට ලං වුණා. ඒත් ඇයි..? සමහර විට ඔය කිසිදෙයක් මං ගාව නොතිබ්බ නිසා වෙන්න ඇති. 

මොකක් හරි කරුණාවන්ත කමක් ඔයාට මං ගැන ඇතිවෙන්න ඇති. මේ අසරණයට උදව්වක් කරන්න ඕන කියල හිතෙන්න ඇති.. සමහර විට එහෙම නැතුවත් ඇති.. සමහරවිට දැකපු මුල්ම වතාවෙදිම විදුලියක් කෙටුව වගේ දැනෙන ඒ හැඟීම ඔයාටත් දැනෙන්න ඇති. හමුවුණු මුල්ම වතාවෙදි ඔයා කතා නොකරම යන්න ගියේ ඒ නිසා වෙන්න ඇති. ආයෙ දවසක මුණගැහෙනකම් ඔයා මග බලාගෙන ඉන්නත් ඇති. ඒක හරියටම දන්නෙ නම් ඔයාම විතරයි.

පින්තුර වලට පෙනී ඉන්න මිනිස්සු හිනාවෙනව. මම ඒක ඕන තරම් දැකල තියනව. පින්තුර වලට පේන්න හිනාවෙනව මිසක් හැබෑ සතුටක් ඒ අය ලඟ නැහැ. ඒත් මං ලඟ දි ඔයාගෙ මූණෙ ඇඳෙන හිනාව..අර පින්තුර වලට පෙන්වන එකක් නෙමේ ඒක හදවතින්ම මතුවෙන එකක් බව මම විශ්වාස කරන්නම්. මොකද ඔයා කොහොමත් වැඩියෙ හිනාවෙන කෙනෙක් නෙමෙයි නෙ. කලාතුරකින් මතු වෙන ඒ හිනාවෙ වචනෙන් කියන්න බැරි අමුතුම ලස්සනක් හැංගිලා තියනව.

මම කල්පනා කරනව නිතරම ඔයා ගැන, ඔයාගෙ සතුට ගැන, ඔයාගෙ ආරක්ෂාව ගැන මම නිතරම හිතනව. මම ඔයාගෙ අතින් අල්ලන්නවත් උත්සහ කරල නෑ. ඒත් දවසක් එකපාරටම වගේ, කවුරුවත් දකින්නෙ නැති මොහොතක ඔයා මගෙ අතින් අල්ලගත්ත. ඒක හරියට හීනයක් වගේ කවදාවත් නොහිතු දෙයක්. හරියට කාලය ඒ මොහොතෙ එතැනම නතර වුණා වගේ. මුළු ලෝකෙටම හිටියෙ ඔයයි මමයි විතරයි. වෙන කිසිම කෙනෙක් නෑ. ගිනි අව්වට පිච්චිලා කලු ගැහිලා ගිය මගෙ අත උඩින් හරි සිනිඳුවට ඔයාගෙ අත තියල මා දිහා බැලූ හැටි..!

ඒ මොහොත අපේමයි, අපේම විතරයි. වෙන කාගෙවත් නොවෙයි. ඒ මොහොත කවදාවත් මට නම් අමතක වෙන්නෙ නැති වෙයි..

ඇත්තටම අපි අතර තියන මේ දෙය මොකක් ද? 

ඒක ඔයා දන්නෙත් නෑ, මම දන්නෙත් නෑ..වෙන කෙනෙක් දන්නෙත් නෑ..

ඒක මෙන්න මෙහෙම දෙයක් කියල ලේබල් කරගෙන ඒ ඇතුලෙ සීමා වෙන්න මං කැමති නෑ. 

අද ඔයා මං ගාවින් ඉන්නව.. හෙට අපිට මොකක් වේවි ද? ඒක මම දන්නෙ නෑ..

අපි නීති රීති වලින් බැඳිල නෑ. ඔය යි මායි අතරෙ තියෙන්න ඕන මෙහෙම දෙයක් කියල කොහෙවත් ලියවිල නෑ. ඔයා මං ගාවට එන්නෙ ඔයාගෙ මුළු හදවතින් ම යි, ඔයාගෙ කැමැත්තෙන් ම යි.

ඒ හින්ද ඔයා මං ළඟින් වාඩිවෙලා ඉන්න පින්තූරය කවදාවත් බොඳ වෙන්නෙ නෑ..

ඔයයි මමයි හැමදාටම ඔයයි මමයි පමණයි.

ඒක අදටත් හෙටටත් හැමදාටමත් එහෙමයි..

එපණයි..

(Photograph චිත්‍රපටය ඇසුරෙන්)



Monday, May 11, 2020

Gully Boy (2019)

Art කියන්නෙ ජීවිතයෙන් වෙන් කරල අරගෙන කතාකරන්න පුලුවන් දෙයක් නෙමේ. Art කියන්නෙ ජිවිතය ඇතුලෙන්ම මතුවෙන ප්‍රකාශනයක්.

අප්‍රිකානු මහද්වීපයෙන් අති අමානුෂික විදිහට ඇමරිකාවට ගෙන ආව වහල් ජනතාව අතරින් HipHop/ Rap සංගීතයෙ මුල් බිහිවෙන්නෙ අන්න ඒ විදිහට. තමන්ගෙ දුක් වේදනාවන් පිටකරහරින්නයි ඔවුන් මේ සංගීතය භාවිතා කලේ. තමන් පැමිණි මව් රටවල ජන සංගීත නාද මාලාවන් මේවට බලපාන්න ඇති. Jazz, Blues සංගීත රටාවන් බිහිවෙන්නෙත් මේ කලු ජාතිකයන් අතින්. ඒවත් ඔවුන්ගේ වහල් භාවයේ වේදනාව කියවෙන ප්‍රකාශන විදිහට මතුවෙන්නෙ.

ඉන්දියානු සිනමාවේදිනී Zoya Akthar ගේ අධ්‍යක්ෂණයෙන් 2019 තිරගත වෙන Gully Boy චිත්‍රපටයෙන් කියවෙන්නෙ මුම්බායි නගරෙ සුප්‍රසිද්ධ ධාරාවි මුඩුක්කුවෙ ජීවත් වෙන Street Rappers කණ්ඩායමක් ගැන. වර්ග කිලෝමීටර් 277,136 ක් පුරා පැතිරුණු සහ 7 ලක්ෂයකට ආසන්න ජනතාවක් ජීවත් වෙන අති අප්‍රසන්න දුගඳ හමන ධාරාවී මුඩුක්කු පෙළ, චිත්‍රපටයෙ පසුබිමෙන් නිකම් හිටගෙන ඉන්නවට වඩා කතාවේ ආත්මයම බවට පත් වෙමින් චිත්‍රපටය පුරා විහිදෙන බව කිව්වොත් වඩා නිවැරදියි.

Gully Boy නමින් හඳුන්වන Rap ගායක චරිතය බවට පත්වෙන ඒ තරුණයා Murad රියැදුරෙක් විදිහට රැකියාවක් කරමින් ඉන්න අතරෙ දවසක් තමන්ගෙ ස්වාමි දියණියව උත්සවයකට රැගෙන යන්න සිදුවෙනව. Murad ට තමන් ප්‍රිය කරන සංගීතයක් උත්සව බිමෙන් ඇහෙන්න පටන්ගන්නව. ඔහු එතැනට ලං වෙන්න උත්සහ කළත් ඔහුට ඇතුළට යන්න අවසර නෑ. ඔහු නිකම් රියැදුරෙක් පමණයි. පසුව Murad රැකියාව කරන තැන ප්‍රධානියා ඔහුට බැණවදින්නෙ 

"තාත්ත කරපු දේ කරගෙන හිටපන්, උඹලට වෙන ගොඩයෑමක් නෑ" කියල. 

ධාරාවි ජීවිතයෙ අගහිඟකම් පිරුණු මේ පීඩනයයි ඔහු Rap සංගීතයට මුදාහරින්නෙ. තමන්ට දැනෙන දේ හරියට වචනවලට පෙරළාගැනීමේ හැකියාව, සහජ කවීත්වය Murad අනෙක් Rap සිහිනය පසුපස යන තරුණයන් අතරෙ සුවිශේෂී කෙනෙක් බවට පත් කරනව. උසස් අධ්‍යාපනය කොහොම හරි හොඳ මට්ටමකින් සම්පූර්ණ කරගැනීමයි Murad ගේ අරමුණ. ඒ තමා ඔහුගේ ප්‍රධාන මාවත. Rap සංගීතය ඔහුට මුණගැහෙන එක අතුරු පාරක්. නමුත් ඒ අතුරු පාරෙන් හැරෙන්න ඔහු නිර්භීත වෙනව.

රැයැදුරු රැකියාව කරන අතරෙ තවත් දවසක Murad ගෙ ස්වාමිය අහනව එයා කොච්චර දුරට ඉගෙනගෙන තියනවද කියල. තමන් උපාධිය සම්පූර්ණ කරන්න අවසන් වසරේ අධ්‍යාපනය ලබන බව Murad කියනව. 

"අන්න දැක්කද උපාධිධාරියො හැමතැනම ඉන්නව. මට ඕන ඔයා යමක් කරනව දකින්නයි" 

මේ ස්වාමියා තමන්ගෙ දියණියට දෙන අවවාදය. අධ්‍යාපනය වැඩක් නැහැ කියනව නොවෙයි. නමුත් Murad වටහ ගන්නව තමුන් තුළ වැඩිදෙනෙක් ළඟ නැති යමක් තිබෙන බව. බස් කෝච්චි වල හිරවෙලා තෙරපිලා වැඩට යන මිනිස්සු අතරෙ තමන් ලඟ තියෙන මේ විශේෂත්වය ඔහු වටහගන්නව. මේ ඔහුටම විශේෂ වුණ passion එක හින්දියෙන් කිව්වොත් Junoon.. පසුපස සෑම ඔහු තමන්ගෙ ජීවිතය කරගන්නෙ ඒ නිසා. 

Gully Boy චිත්‍රපටය සාර්ථක වෙන්න හේතුවක් තමා මනෝරාජික ෆ්ලැට් චරිත වෙනුවට මහ පොළවෙ ජීවත්වෙන හැබෑම ජීවිත ඒ ඇතුලෙ නිරූපණය වීම.

හොඳම උදාහරණයක් Murad ගෙ පෙම්වතී Safeena..

ආදරේ ඇතුලෙදි ඉවසන, සමාවදෙන "අනේ එයා කවුරු එක්ක කතා කලත් මට කමක් නෑ" කියන හරි පරමාදර්ශී පෙම්වතියක් නොවෙ safeena. ඈ ඉක්මණින්ම කේන්ති ගන්න, රණ්ඩුවලට පැටලෙන, අතට අහුවෙන දෙයකින් කෙනෙකුට දමල ගහන්න තරම් පෙළඹෙන කෙනෙක්.

නමුත් ඇය එහෙම කෙනෙකු බවට පත්වෙලා තියෙන්නෙ ඉබේම නොවෙයි. ආගමික, සංස්කෘතික නීතිරීති වලින් බොහොමයක් ආසියාතික ගැහැණු ළමයින් වගේ ඇයත් සිරගත කල චරිතයක්. ඇය තමන්ගෙ අම්මට කියනව වගෙ ඈ කැමතියි ජීවිතේ නිදහස විඳින්න, පිරිමි ළමයින් එක්ක කතාබහ කරන්න, විලාසිතා කරන්න නමුත් ඇයට ඒ කිසිදේකට ඉඩක් නෑ. ඒ නිසා ඇතිවන පීඩනයයි ඈ කේන්ති ගිය සැණින් එකවර පුපුරා යන්න හේතුවෙන්නෙ. 

කලිනුත් සඳහන් කළා Street Rappers ල සංගීතය හරහා මුදා හරින්නෙ තමන්ගෙම කර්කශ ජීවන අත්දැකීම බව. ඒක Art එකක් වෙන්නෙ ඒ නිසා. 

"මේ මගේ කෙල්ල, මේ මගෙ සල්ලි.. මගේ වාහනෙ.."

ඔහොම දේවල් ටිකක් වේගෙන් කියාගෙන ගිය පමණින් ම ඒක Rap එකක් වෙන්නෙ නෑ. මම Gully Boy චිත්‍රපටයට කැමති ඒ නිසා. ඇත්ත ජීවිතේ ප්‍රශ්න ඒ ඇතුලෙ කතා කරන නිසා. අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්න Hiphop විලාසිතාවට ඇඳපැළඳගෙන අර්ථයක් නැති නිකම් හිස් වචන කියමින් තමන් Rappers ල විදිහට හඳුන්වාගන්න අය. ඒක Art එකක් නොව Pretend එකක් වෙන්නෙ ඒක ජීවිතය ඇතුලෙන් මතු වෙන එකක් නොවෙන හින්ද.

Ranveer සහ Alia වගේම Kalki ඇතුළු සුලු චරිත රඟපාන අය පවා තමන්ගෙ කොටස බොහොම හොඳින් නිරූපණය කර තිබෙනව. නූතන පරපුරේ දක්ෂතම නිළිය විදිහට Alia ව හඳුන්වන්න මම කැමතියි. රඟපාන බවක් නොපෙනෙන්න අදාල චරිතය තමන්ගෙම කර ගන්න ඇය බොහොම දක්ෂයි. Raveer ගැනත් කියන්න තියෙන්නෙ එහෙම දෙයක්. මේ දෙදෙනාම පිට ඔපයෙන් බබලන තරු දෙකක් නොවී තමන්ගෙ රංගන ප්‍රතිභාවන් කැපී පෙනෙන හොඳ ගුණාත්මක භාවයක් තියන නිර්මාණ තෝරාබේරාගෙන තමන්ගෙ ඉදිරි ගමන යනව නම් මම බොහොම කැමතියි.

පල් ගඳ හමන ජරාජීර්න කම අතින් ලෝකෙන් ම පළමු තැන ගත්ත මුඩුක්කුවක ඉපදිල තමන් විඳින, වේදනාකාරි ජීවිතයෙන් ගැලවීමේ මග හොයාගිය තරුණයෙකුගෙ කතාව Gully Boy. ඇතුළාන්තයෙ දැවෙන Junoon එහෙම නැත්නම් passion එක, තමන්‍ වැඩියෙන්ම ආශා කරන තමන්ට හොඳින්ම කල හැකි දෙය වටහා ගෙන ඒ ආලෝකය දිගේ අතනොහැර යෑමයි අවශ්‍ය. ලෝකයෙ යම් වෙනසක් කරනව නම් කරන්නෙ සිහින දකින්නන්. ජිවිතයෙ බොහෝ දේවල් පරදුවට තබල සිහින පසුපස යන්නන්. ඔවුන්ගෙ ඒ බලාපොරොත්තුවයි චිත්‍රපටයෙ Tag line එකෙන් කියවෙන්නෙ.

"අපිටත් හොඳ කලක් ලබාවි"

"Apna time aayega"



Saturday, May 9, 2020

හුදෙකලාව

මතක තියාගන්න "තනිකම" සහ "හුදෙකලාව" කියන්නෙ එකෙනෙකට වෙනස් දේවල් දෙකක්..

ඔයට අවශ්‍යයි කවුරුහරි කෙනෙක් ඔයා ළඟින් ඉන්න. ඔයාව අගය කරන්න. ඔයාට වටිනා කමක් දෙන්න. එහෙම කවුරුත් ලඟ නැති වුණාම දැනන පීඩාව තමයි තනිකම කියන්නෙ. ඒක වේදනාවක්. දුකක්. හිස් බවක්. ඇයි එහෙම වෙන්නෙ? ඔයා බලාපොරොත්තු වෙනව කවුරු හරි කෙනෙක් හෝ පිරිසක් ඔයා ලඟින් ඉඳීවි කියල. ඒ බලාපොරොත්තු වීමයි වේදනාව ගේන්නෙ. ඒත් මිනිස්සු වශයෙන් තනිකම් දැනීම වරදක් කියන්න බෑ. සේකර පවා කියනවනෙ "දෙනෝදහසක් අතරමැද වුව මහා තනියක් මට දැනේ කියල". මිනිස් පැවැත්ම ඇතුලෙ කිසිකෙනෙකුට බෑ සියලු දෙයින් වෙන්වෙලා පවතින්න. එකිනෙකා සමඟ බැඳුනු සහ ඒ බැඳීම් මතින් පවතින පැවැත්මක් වෙනුවෙන් සහජයෙන්ම අපි නිමවෙලා තියෙන්නෙ. ඉතින් ඒ හින්ද තනිකම කියන්නෙ ඔයාට ජීවිතේ ඇතුළෙ මඟනොහැර අත්විඳින්න සිදුවෙන සංවේදනාවක් බව වටහ ගන්න.

ඒත් ඔයා තනි විය යුතු නැහැ. ඔයා ලඟ ඉන්න ඕන ඔයාගෙ හදවත හඳුනගත්ත කෙනෙක්. බයක්, සැකක් නැතුව ජීවිතය බෙදාගන්න පුලුවන් කෙනෙක්. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ජීවිතයට අවශ්‍ය බව බුදුහාමුදුරුවො පවා දේශනා කළා නෙ. උන්වහන්සේත් තමන්ගෙ දහම ඇතුළෙ එහෙම දේශනා කළේ ඒක ඒ තරම් ජීවිත පැවැත්මට අවශ්‍ය නිසා. ඇත්තටම ඔයාට අවශ්‍ය ඔයා වටා මහ පිරිසක් නොවේ. ඔයාව හරියට වටහ ගත්ත ටික දෙනෙක් හොඳටම ඇති. එහෙම කවුරුත් නැහැ කියල හිතෙනව නම් ආයෙත් බලන්න ඔයාගෙම ඇතුළාන්තය දිහා. සමීප සබඳතාවක් ඇතුලෙ ඔයා කොයිතරම් අවංකද, විවෘත ද කියන කාරණාව ඇතුලෙ පිළිතුරක් හොයාගන්න පුලුවන් වෙයි. ඒත් බොහොම වෙලාවට අපිව පීඩා කරගන්නෙ අපි විසින්ම යි. කෙනෙකුගෙ ඇතුළාන්තය හරියට 100% ක් නිවැරදිව තව කෙනෙකුට කවදාවත් දැනගන්න පුලුවන් කමක් නෑ නෙ. ඉතින් අර මග හැරන දේවල් ඇතුලෙ අපි අපිවම තනි කරගෙන පීඩා විඳිනව. ඒ නිසා ජීවිතය ඇතුලෙ තනිකමින් මුළුමනින්ම මිදෙන්න අපිට බෑ. ඒ වගේ තනිකම ඇතුලෙම, ඒ මත්තෙම අපිට පවතින්නත් බෑ. අඩුවශයෙන් අපිව වටහත් ටික දෙනෙක් හරි ඉන්න බව යි එකම සහනය වෙන්නෙ.

හුදෙකලාව කියන්නෙ සහමුලින්ම වෙනස් දෙයක්. තමන්ට කිසිදාක නොගැළපෙන ඒ නිසාම ඇතුලාන්ත සහනය නැතිකර දමන කෙනෙකුගෙන් කණ්ඩායමකින්, එහෙම නැත්නම් සමාජ වටපිටාවකින් ස්වකැමැත්තෙන්ම ඈත් වීම හුදෙකලාව වෙන්නෙ. හුදෙකලාව තනිකම නොවෙන්නෙ ඒක අවබෝධයක් ඇතුලෙ සිදුකරන දෙයක් නිසා. තමන්ට නොගැළපෙන තමන්ගෙ ලෝක දැක්මට පටහැනි පිරිසක් මැද්දෙ හරි හුදෙකලා වීම සහනයක්. මේ හුදෙකලාව කියන්නෙ භෞතික වශයෙන් ඈත් වීම නොවෙයි. භෞතිකව පවතිමින් මානසික සම්බන්ධතාවක් ඇතිකර නොගැනීම. ඒ නිසා හුදෙකලාව ඇතුලෙ අර පීඩාකාරී හිස් කම නැහැ. 

අපි පොතක් කියවනකොට, සිනමාපටයක් බලනකොට සිදුවෙන්නෙ මේ හුදෙකලා වීම තමා. මේ හුදෙකලාව අපේ ඇතුළාන්තය අවදි කරනව. පීඩාව වෙනුවට පරිකල්පනය විකසිත වෙනව. අපි තුළම අපි නොදන්න කලාපයන් විවර කර දෙනව. සිතීම කියන දෙය තවත් තියුණු වෙනව. ඒක ඉතා මිහිරි අත්දැකීමක් වෙන්නෙ ඒක අවබෝධයක් ඇතුළෙ සිද්ද වෙන නිසා. 

"කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා" මෙහෙම ලියන්නෙ රන්බණ්ඩා සෙනවිරත්න මහත්මය. ගීතය ලියවෙන්න බලපාන පසුබිම් කතාවෙන් වෙන් කරල අරගත්තම මේ හිස්කම, තනිකමෙන් පීඩාවිඳීම කොයිතරම් මිනිස් ජීවිතයට සමීප අත්දැකීමක් ද කියන කාරණය වටහාගත හැකියි. බොහෝ වෙලාවට අපිට බැහැ බාහිරයෙන් අපිට ලැබෙන බලපෑම කොයිවගේද කියල තීරණය කරන්න. ඒත් අපිට පුලුවන් අපි ඒක බාරගන්නෙ කොහොමද කියල තීරණය කරන්න. අපේ සිතුවිලි, ඇතුළ් මනස මෙහෙයවා ගන්න. ඒ නිසා තනිවීම වේදනාකාරී හිස් කමක් කර නොගෙන හුදෙකලාව අත්විඳින්න.

ඒ නිසා හුදෙකලා විය යුතු තැන තනි නොවී හුදෙකලා වෙන්න...



Wednesday, May 6, 2020

අවුෂ්විට්ස් හි පච්චකොටන්නා

මූලිකම දේවල් කීපයක් ඇරුණහම ඕනෑම කෙනෙක් මේ ලෝකෙට බිහිවෙන්නෙ කිසිවක් නැතිව. හිස් කඩදාසියකට සමානව. ඉන් පස්සෙ ඒ බිහිවුණු දරුවගෙ දෙමව්පියන්, වැඩිහිටියන් එකතුවෙලා මේ හිස් කඩදාසියෙ ලියනව ඔහුගෙ නම, ආගම, ජාතිය.. වගේ දේවල් ටිකක්. ඉන්පස්සෙ ඔහු මුලු ජීවිත කාලයටම මේ දේවල් රැගෙන යා යුතුයි. උපන්දින සියලු දෙනා ලෝකෙට බිහිවෙන්නෙ එක සමානව නම් එක් ජාතියකට අයිති වුණ පමණින් කෙනෙක් උසස් හෝ පහත් වෙන්නෙ කොහොමද ? 

බැලූ බැල්මට ඇත්ත වගේ පෙනුණත් ලෝකය වැඩකරන්නෙ එහෙම නොවෙයි. තමන්ටත් කවුරුන් හෝ පවරා දුන්නු ආගම හෝ ජාතිය නිතරම අනෙකාට වඩා උසස් බවයි හැමකෙනෙකුම සිතන්නෙ. ඒ මත ගොඩනැගෙන නොයෙක් දෘෂ්ටිවාදයන් , දේශපාලනයටත් බලයට ඇති තෘෂ්ණාවත් එක්ක මුහු වුණාම දකින්නට ලැබෙන්නෙ ඉතාම දරුණු තත්ත්වයක්. හරියට දෙවනි ලෝක යුද්ධ සමයේ යුරෝපයේ යුදෙව්වන් ඇතුළු සුලු ජාතිකයන් හිට්ලර් ගේ නාසි හමුදාව අතින් ඉතාම කෲර විදිහට මර්ධනයට ලක්වුණා වගේ. සුලු ජාතියක ඉපදීමේ පවට ඔවුන්ට ජීවිතයෙන් ගෙවන්න සිදුවුණ වන්දිය නම් අති විශාලයි.

Ludwig Zokolov, එහෙම නැත්නම් "ලලී" දෙවනි ලෝක යුද්ධයෙදි නාසි සිරකඳවුරු වල කල්ගත කරමින් බොහොම කටුක අත්දැකීම් වලට මුහුණදුන්නු ස්ලෝවේනියානු ජාතික යුදෙව්වෙක්. ඔහු 2003 අවුරුද්දෙ ජීවිතේ සැන්දෑ සමයෙදි තමන්ගෙ කතා පුවත Heather Morris නම් ලේඛිකාවට අනාවරණය කරනව. ඔහුගෙ කතාව ඇය The tatooist of Auschwitz නමින් ග්‍රන්ථයක් විදිහට රචනා කරනව. මේ නවකතාව පාථකයින් වැළඳගන්නෙ පිටපත් මිලියන 4 ක පමණ අලෙවි වාර්තාවකට හිමිකම් කියමින්. චන්දන ගුණසේකර මහත්මයා අතින් "අවුෂ්විට්ස් හි පච්චකොටන්නා" නමින් සිංහලට පරිවර්තනය වෙන්නෙ මේ නවකතාව. 

බොහෝමයක් යුදෙව්වන්ට වගේ ලලීටත් සිද්දවෙන්න යන්නෙ මොකක්ද කියන්න හරි වැටහීමක් තිබුණේ නෑ. ජර්මානු රජයෙ ඉල්ලීමකට අනුව ස්ලෝවේනියාවේ යුදෙව්වන් රැගෙන යන දුම්රි‍යට ඔහුත් ඇතුල් වෙන්නෙ අනාගතය ගැන අවිනිශ්චිත තාවකින්. නමුත් මහ විශාල විපත්තිදායක ඉරණමක් ඔවුන් ක්‍රමයෙන් වෙළාගනිමින් ඉන්නා බව ලලී වටහගන්නෙ දුම්රිය ඇතුළලත දී ම යි. මිනිස්සු නොවෙයි සත්තුන්වත් ප්‍රවාහනයට නුසුදුසු ආකාරයෙන් සිරගත කල මැදිරි වල ගාල් කරමිනුයි ඔවුන් රැගෙන එන්නෙ. 

ගමනාන්තයට පැමිණියායින් පසුව ඇඳුම් පැලඳුම් ඇතුලු ඔවුන් ලඟ ඇති සියලු දේවල් ජර්මන් හමුදාව විසින් උදුරා ගන්නව. කිසිම පෞද්ගලික වස්තුවකට හිමිකම් කියන්න මේ යුදෙව්වන්ට අයිතියක් නැහැ. ඔවුන් එතැන් පටන් ඇඳපැළඳගත යුතු වෙන්නෙ හමුදාවෙන් ඔවුන්ට ලබා දෙන නිල ඇඳුමක්. ඔවුන් හැම කෙනෙකුගෙම අතේ අංකයක් පච්ච කොටනව. එතැන් පටන් ඔවුන් තවත් එක අංකයක් පමණයි. අවුෂ්විට්ස්, මිහිමත අපායක්, ලෝකයේ පැවති දරුණුම දේශ්පාලන සිර කඳවුරක්. දැන හෝ නොදැන ඔවුන් පැමිණිලා තියෙන්නෙ එතැනට.

මේ අලුතෙන් පැමිනෙන සිරකරුවන් ගේ අත් වල අංකයක් පච්ච කොටන බව කිව්වනෙ. පච්ච කොටන රාජකාරියත් පැවරෙන්නෙ සිරකරුවන් අතරෙන්ම කෙනෙකුට. ලලී එතැනට පැමිණෙන අවස්ථාවෙ පච්ච කෙටීමේ කාර්‍ය කරමින් උන්නේ එක් මහළු මනුෂ්‍යයෙක්. ලලී සමඟ හිතවත් වෙන ඔහු, ලලී ව තමන්ගෙ සහායකයා විදිහට බඳවාගන්නව. ටික දිනකින් ඔහුට සිදුවෙනව තමන්ගෙ කාර්‍ය තනියම ඉටු කරන්න. එතැන් පටන් අවුෂ්විට්ස් වල පච්චකොටන්නා බවට පත් වෙන්නෙ ලලී සොකොලොව්. පච්චකොටන්නාට අනෙක් සිරකරුවන් ට වඩා තරමක් වැඩි වරප්‍රසාද හිමිවෙනව. මහලු මනුෂ්‍යයා තමන්ට කර ඇත්තෙ වටිනා උපකාරයක් බවත් හැකි සෑම විටම අනෙක් සිරකරුවන්ට උදව් වීම තමන්ගේ යුතුකමක් බවත් ලලී වටහගන්නව. 

ගීටාව හමුවීම ලලී ගේ ජීවිතය වෙනස්ම මාර්ගයකට යොමුවෙන්න හේතුවුණ බව කිව්වොත් නිවැරදියි. කාන්තා සිරකරුවන්ට කොණ්ඩය වැවීමට වත් ඉඩක් නෑ. ඔවුන් ඇඳිය යුත්තෙ තමන්ට නොගැළපෙන අප්‍රසන්න නිල ඇඳුම්. ඔවුන් අතරෙ යමක් ඇතිවෙන්නෙ ඒ කිසිදෙයක බලපෑමක් වුණේ නෑ. ඔහු ඇයගෙ සිනහවට ආශා කරන්න පටන් ගත්ත. තමන්ට දැනෙන දේ ඇයට ලියා යවන්න ඔහු පෙළඹුනා. ඔවුන් විටින් විට මුණගැසී කතාබහ කරන්න පටන්ගත්ත. ටිකෙන් ටික එය ආදරයක් දක්වා ලියලුවා. මේ අපායෙන් පැන ගිහින් තමන්ගේම ජීවිතයක් අලුතෙන් අරඹන්න ඔවුන් හීන දැක්කා.

නමුත් එය ලේසි පහසු වැඩක් නොවන බව දෙදෙනාම දැන හිටියා. මොකද අවුෂ්විට්ස් වලදි අහන්න දකින්න ලැබෙන දේවල් කෙනෙකුව නැවත ගොඩගන්න බැරි තරම් මානසිකව බිඳ වට්ටවන්න සමත්. ජාතිවාදයෙන් අන්ධ වුණු මිනිස්සු මේ තරම් තිරිසන් තත්ත්වයකට ඇදවැටෙන්න පුලුවන්ද කියල පුදුම හිතන තරම්. එතැන ජීවතයක් කියන්නෙ තවත් එක අංකයක් පමණයි. ජර්මන් හමුදා භටයෙකුය පුලුවන් තමන්ට හිතුණ මොහොතක තුවක්කුව ඇදල අරන් යුදෙව්වෙක් මරා දමන්ම. ඔවුන්ට ඒක තවත් අංකයක් මකා දැමීම පමණයි. මනුෂ්‍යත්වය මළගම් ගිය මෙවැනි තැනක වුණත් ආදරෙන් බැඳුන දෙදෙනෙක් හෙට දවසක් ගැන තමන් දකින හීන අතහරින්න සූදානම් ද? නැහැ කොහෙත්ම නැහැ.

සාමුහික පැවැත්මක් ඇතුලෙ අපි ආරක්ෂා වෙන්නෙ අපි විසින් අනෙකා ආරක්ෂා කරන තරමටයි. අපි තවත් කෙනෙකුට කල යහපත් ක්‍රියාවක් නිතරම අපවටා සිටිමින් යහපත් ප්‍රතිවිපාක ලබාදෙනව. අවසානෙ, ජිවිතේ එල්ලී ඉන්න අවසන් පිදුරුගහත් ගිලිහී යන මොහොතක කෙනෙකුට පිහිටට තියෙන්නෙ මේ තමන් කරපු කියපු හොඳ දේවල් පමණයි. හොඳම උදාහරණය ලලී සහ ජේකබ් අතර සිදුවීම. ලලී ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක අවස්ථාවකට පත් වුණ මොහොතෙ ඔහුගෙ උදව්වෙන් ජීවිතය බේරාගත්ත ජේකබ් නම් තව සිරකරුවෙක් ලලී ව ඒ අනතුරෙන් මුදවා ගන්නව. අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා ජීවිතයට කියා දෙන සෑහෙන වටින පාඩමක් ඒ. 

"අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා" මොහොතක්වත් අතහරින්නෙ නැතිව කියවාගෙන යා හැකි ඉතාම රසවත් කතාවක්. යුදෙව් සිරකරුවන් විඳි අනන්ත දුක් ගැහැට ගැන කියවද්දි අපිත් ඔවුන් වෙනුවෙන් කම්පාවෙනවා. කිසිම පහසුකමක් නැති මේ සිර කඳවුරු වල ඔවුන් කොහොම ජීවිතේ ගෙව්වාද කියල පුදුම වෙනව. ලලී සහ ගීටා ආදරයෙන් බැඳෙද්දි ඒ ප්‍රේමනීය බව අපිත් අත්විඳිනව. මුල් ලේඛිකාව ඉතා අපූරුවට ඒ වියමන ගොඩනඟා තියෙනව. සිංහලට පරිවර්තනය කල චන්දන ගුණසේකර මහත්මයා භාවිතා කර ඇති භාෂාවත් කියවීමේ ආශාව දල්වන, ජීව ගුණයෙන් පිරුණු එකක්. කතාවෙ රසවත් බව නොනසා ඔහු ඒ පරිවර්තනය සිදුකර තිබෙනව. මේ ලෝක ප්‍රසිද්ධියට පත්වුණු ග්‍රන්ථය සිංහලයට පරිවර්තනය කරල සිංහලෙන් කියවන පාථකයාට කල සේවය වෙනුවෙන් ස්තූතියි කියන ගමන් ඉදිරි ලේඛක වැඩකටයුතු සාර්ථක වෙන්න ඔහුට සුබ පතනව.



Monday, May 4, 2020

The God of small things

පොතක් කියන්නෙ වෙලාවකට මහ පුදුමාකාර දෙයක්. සිනමාපටයක් හරි ගීතයක් හරි අන්තර්ජාලය හරහා අරගෙන ඇහුවත් බැලුවත් ඒකත් එක්ක භෞතික වශයෙන් බැඳෙන්න අපිට ඉඩක් නෑ. නමුත් පොත ඊට වෙනස්. කවරයෙ ඉඳන් ඇතුලෙ අකුරු වල ෆොන්ට් එක, මුද්‍රිත පිටු වල සුවඳ මේ හැම දෙයක්ම අපිට පොත එක්ක සමීප මිත්‍ර සම්බන්ධතාවක් ඇති කරගන්න උදව් වෙනව. වැදගත්ම දේ පොතක අන්තර්ගතය. යම් සාහිත්‍යයමය ලියවිල්ලක නම් කියවන අතරවාරෙ අපිට චරිත මුණ ගැහෙන විවිධාකාර චරිත, ඒ අයගෙ හැඩහුරුකම්, නගර, ගම් බිම්, නිවාස පවා අපි අපේ මනසේ ඇඳගන්නව. අවස්ථා සිදුවීම් හැම එකක් ම ඒ රූප රාමු වලින් අපේම මනස් ලෝක වල අපි ගොඩනගා ගන්නව. දේශසීමා මායිම් අතික්‍රමණය කරල කිසිදාක අපි පය නොතබපු ඉසව් වල දිවිගෙවන මිනිස්සු, සමාජ ක්‍රමයන්, කොතනක වාසය කළත් සියලු මනුෂ්‍යයන්ට පොදු වෙච්ච සංවේදනාවන් අපි ඉස්සරහ නිරාවරණය වෙනව. ඒ ඔස්සේ හිතන්න අපේ මනස අවුළුවනව. හොඳ ලීවීමක් කියන්නෙ ඒකට. රහ පිළිබඳ නිර්ණායකයන් පෞද්ගලික වුණත් හොඳ ලිවීමක් නම් කියවීම අවසානෙ පොත පෙරළා පැත්තකින් තබන්නෙ කියවීම ආරම්භ කල කෙනා නොවිය යුතුයි. කෙනෙකුගේ ජීවිත දැක්ම හැඩගස්වන යමක් අලුතෙන් එකතු නොවෙයි නම් මොනතරම් රහ වුණත් ඒක හොඳ ලිවීමක් කියල හඳුන්වන්නෙ කොහොමද ?

ඉතින් පොතක් එක්ක මේ විදිහට බැඳෙන එක අතිශය පෞද්ගලික වුණත් මිහිරි අත්දැකීමක්. සමහර පොතක් කියවා අවසාන කළාට පස්සෙ දැනෙන සාංකාව වචනෙන් කියන්න බෑ. ඒ අපිට පොත එක්ක ඇති වෙන බැඳීම වඩාත් වඩාත් සමීප එකක් වෙනකොට. හොඳම මිතුරෙක් වෙන්වී ගියා වගේ හැඟීමක් ඇති වෙන්නෙ එතකොට.

මේ තරම් දෙයක් කියන්න හේතු වෙන්නෙ අරුන්දතී රෝයි ගේ The God of small things නවකතාව අවසාන කලායින් පස්සෙ මට දැනුණ දේ කියන්න ඕන වුණ හින්ද. මේ ඇගේ පළමු නවකතාව බව දැකල මම පුදුමවණා. ඕනැම කෙනෙකුගේ පළමු ලිවීම මේ තරම් ප්‍රබල එකක් වීම පහදා දෙන්න පුලුවන් කොහොම ද? ඇය අවුරුදු පහක් මේ කතාව වෙනුවෙන් වෙහෙසුණ බව කියනව. 1992 ලිවීම ආරම්භ කල ඇයට පොත ප්‍රකාශයට පත්කරගන්න ලැබෙන්නෙ 1997 අවුරුද්දෙ. පොත රටවල් 21 ක පුරා ඉතාම ඉහළින් අලෙවි වෙනව. ඇය 1997 දී වසරේ හොඳම නවකතාවට පිදෙන Booker ත්‍යාගය දිනා ගන්නව. ඇය ඒ ත්‍යාගය දිනාගත් මුල්ම ඉන්දියානු ලේඛිකාව. අරුන්දතී රෝයි ගේ ජීවින චරිතය විමසා බැලුවොත් අපිට පෙනෙන්නෙ ඇය පෙරළිකාර, රැඩිකල් ගැහැණියක් බව. හීන් හඬින් කතාකරන මේ පුංචි ගැහැණිය ඇතුලෙ තියන එඩිතර බව, දෙයක් හරි පැහැදිලිව, කරුණු සහිතව කතා කිරීමේ හැකියාව විස්මයජනකයි. මේ පෙරළිකාර බව ඇයගේ නවකතාව ඇතුළෙත් වඩා මටසිළුටු බසකින්, ගැහැණියක සතු මෘදු බවින් ඈ අරගෙන එනව. හාස්‍ය උතුරායන, සරදම මුසු වුණ ඇගෙ භාෂා භාවිතාව භාෂාව එක්ක කරන සෙල්ලමකට සම කලාට වරදක් වෙන්නෙ නෑ.

කේරළය... බැලූ බැලූ අත ගහ කොළ වැවුණ කොළපාට, වලව් තාලෙ පරණ ගෙවල්, දියට නැමිච්ච පොල් ගස් තියන ගංගාවල්.. මලයාලි සිනමාපට වලින් මැවෙන සෞන්දර්ය උතුරන අරුමැසි පොළව.. අරුන්දතී රෝයි තමන්ගෙ නවකතාවෙ ආරම්භක වාක්‍ය කීපයෙන් කේරළයේ පරිසරය මවන හැටි බලන්න.

//May in Ayemenem is a hot, brooding month. The days are long and humid. The river shrinks and black crows gorge on bright mangoes in still, dust green trees. Red bananas ripen. Jack fruits burst. Dissolute bluebottles hum vacuously in the fruity air. Then they stun themselves against clear windowpanes and die, fatly baffled in the sun.//

පරිසර සුන්දරත්වයට යටින් මේ මිනිස්සුන්ගේ සැබෑ ජීවිත අරගලය පෙන්වා දීමටයි ඇය මේ නවකතාවෙන් උත්සහ දරන්නෙ. ආදරය, අනුරාගය, දේශපාලනය, පවුලක මානව සම්බන්ධතාවයන්, ඉන්දියාවේ බහුලව දකින්න ලැබෙන කුල භේදය. මේ දේවල් ඇගෙ God of small things නවකතාවෙ ඇතුළත් වෙනව.

කේරළයේ Siriyan Christians නමින් හඳුන්වන්නෙ ලෝකයේ පැරණිම කතෝලිකයන් පිරිසක්. කිතුණු දහම දේශනා කල, ජේසුස් වහන්සේගේ මුල්ම ධර්මදූතයෙක් වුණ තෝමස් අපෝස්තුළුවරයා ඉන්දියාවට පැමිණීමෙන් බිහිකළ මුල්ම කිතුණුවන් Siriyan Christians නමින් හඳුන්වනව. ඒ අය අදත් කේරළයේ වාසය කරනව. මේ Siriyan Christian පවුලක් වටා යි God of small things කතාව ගොඩනැගෙන්නෙ.

කතාව පරම්පරා තුනක් පුරා විහිදෙනව. විනාඩි ගණනක පරතරයකින් එකටම උපදින නිවුන් ගැහැණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් වුණ Rahel සහ Estha ගැන කතාවෙ වැඩි වශයෙන් සඳහන් වෙන්නෙ. මේ දෙදෙනාගෙ මව Ammu, ඇගෙ සහෝදරයා Chako, Ammu ගෙත් Chako ගෙත් මව් පියන් Mamachchi සහ Pappachchi, Pappachchi ගේ සහෝදරිය Baby Kochamma. Chako ගේ යුරෝපියානු ජාතික බිරිඳ Margaret Kochamma සහ ඒ දෙදෙනාගෙ දියණිය, Estha ගෙත් Rahel ගෙත් ඥාති සහෝදරිය Sophie Mol. මේ අයගෙ පවුලෙ ව්‍යාපාරයේ වැඩ කරන පහත් විදිහට සම්මත කුලයට අයිති Velutha. මේ තමයි නවකතාවෙ හමුවෙන ප්‍රධාන චරිත.

මුල මැද අග ගැලපෙන සිදුවීම් මාලාවක් විදිහට ගත්තොත් නවකතාව ආරම්භ වෙන්නෙ කතාවෙ අවසානය කිට්ටුවෙන්. අවසන් වෙන්නෙ මැදින්. ඒ අතර කාල රේඛාවන් හුවමාරු වෙන්නෙ තරමක වේගයෙන්. හරියටම සිදුවුණේ මොකක්ද කියල පාථකයා දැනගන්නෙ අවසන් පිටුවත් කියවල අවසන් කළායින් පස්සෙ. 

God of small things කියවන්නෙකුට ඇති කරන්න පුලුවන් කම්පනය ඉතාම ප්‍රභලයි. දෙමව්පියන් ගෙ නොසැලකිලිමත් කම නිසා දරුවෙක් අපයෝජනයට ලක්වෙන හැටි විස්තර කෙරෙන්නෙ ඉතාම සංවේගදායක විදිහට. ඒ වගේම පහත් කුලයෙ විදිහට සම්මත මිනිස්සුන්ට අත්විඳින්න ලැබෙන සමාජ පීඩනයත් පොතට ඇතුලත් වෙනව. අඩු කුලයෙ කෙනෙක් පාරක යනකොට ඉදලක් වැනි දෙයක් අරගෙන පා සටහන් මකන්න ඕන. අඩු කුලයේ කෙනෙකුගෙ අඩි සළකුණක් පෑගීමත් පවක් විදිහට ඒ අය සලකන නිසා. මේක මොන සමාජයක්ද කියල හිතෙන්න පුලුවන්. නමුත් ඉන්දියාවේ දකින්න ලැබෙන බොහොම දුක්බර තත්ත්වයක් මේ.

අපි ආදරය කරන්න ඕන කාටද අපි ගරු කරන්න ඕන කාටද පහත් කර සලකන්න ඕන කාටද කියල සමාජ සම්මුතියක් හැදිල තියනව. ඉතින් අපි ආදරය කරන්න ඕන ඒ අනුව. පවුල, නෑදෑ හිතමිතුරන් අතරෙ පවත්වාගෙන යන්න ඕන සම්මුතික බැඳීම. විවාහය කියන්නෙත් මෙහෙම සමාජ සම්මුතීන්ට අනුව පිහිටුවාගත් දෙයක්. විවාහය කියන්නෙම සමාජ අවශ්‍යතා සපුරාලීමක්. ඉතින් මේ සමාජ අවශ්‍යතාව ඇතුලෙ ආදරය, රැකවරණය වගේ පුද්ගල අවශ්‍යතා ඉටුවෙන්නෙ නැත්නම් සිදුවෙන අනිවාර්ය ප්‍රතිඵලය ඒ විවාහය බිඳවැටීම.

සමාජ සම්මතයට පිටින් කෙනෙකුට ආදරය කිරීම ඉන්දියාව වගේ ගතානුගතික අදහස් කරපින්නා ගත් සමාජයක නම් සුවිසාල පවක්. ඒ පාපයේ බර පරම්පරා ගණනක්ම කර තියාගෙන යන්න සිදුවන තරම් බරක්. The God of small things නවකතාවට මුල් වෙන ඒ ඛේදජනක සිදුවීම පිටුපස්සෙ තියෙන්නෙ ඔය කාරණාව. 

දරුවන් දෙදෙනෙක් සමග සැමියාගෙන් වෙන්වුණු හුදෙකලා ගැහැණියකගෙ ආදරය සොයා යෑම දුක්බර ප්‍රතිවිපාකය මුළු නවකතාවට වස්තු විෂය සපයන කේන්ද්‍රීය සිදුවීම වෙන්නෙ. නමේම සඳහන් ආකාරයට ඉතා කුඩා දේවල් කොයිතරම් විශාලව ජීවිතයට බලපෑම් කරනවද කියන කාරණය මේ කතාවෙන් බොහොම අපූරුවට පෙන්වා දෙන්නෙ.

එක දවසක පැය කීපයක සිදුවීමක ප්‍රතිවිපාක මුළු ජීවිතය පුරාම අත්විඳින්න වුණ Estha සහ Rahel ගැන අඳුරු ශෝඛ බරිත හැඟීම ලේසියෙන් අමතක කරන්න පුලුවන් එකක් නෙමේ. 

මේ පොතට ලැබිය යුතු වටිනාකම ලැබිල තියනව. පොත ඒ හැම දෙයක් සඳහාම සුදුසුයි. මං හිතන්නෙ අරුන්දතී රෝයි ටත් මේ පරිමාව නැවත අතික්‍රමණය කරන්න බැරි වේවි. එහෙම අවශ්‍යත් නෑ. මේ එක පොතක් නිසා ලෝකයක් ම මේ අපූරු ගැහැණිය ගැන දැනගත්තා. අද මේ මොහොත වෙනකොටත් ඇය ඉන්දියාවේ කාලීන සමාජ දේශපාලන ගැටලු වෙනුවෙන් හඬ නගමින් ඉන්නව. පොත කියවා අවසානෙ ඇය ගැන ඇතිවෙන්නෙ විශාල ආදරයක්. 

The God of Small Things මම දන්න විදිහට පරිවර්තකයින් දෙදෙනෙකු අතින් දෙවතාවක්ම සිංහලට පරිවර්තනය වෙලා තියනව. සිංහල පරිවර්තනය කියවා නැති නිසා තත්ත්වය කොහොමද කියන්න දන්නෙ නැහැ. නමුත් මුල් පොතම හොයාගෙන කියවන්න. භාෂාව ඒ තරම් අපහසු නෑ. මුල් පොතේ දි ඇය භාෂාවෙන් කරන සෙල්ලම මම දන්නෙ නෑ රහ නොමැරෙන්න කොහොමද සිංහලට අරගන්නෙ කියල. පොතේ නියම රහ විඳගන්න කියවන්න කැමති කෙනෙක් මුල් පොතම හොයාගෙන කියවන්න.



Arundathi Roy