Tuesday, September 26, 2023

Snowpiercer (2013)

දැන් මේ පොළවේ මහා පරිමාණයෙන් කරගෙන යන පරිසර විනාශයත් එක්ක මිනිස් වර්ගයාගෙ අනාගතය ලොකු ඛේදවාචකයක තියන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැති, සක්සුදක් සේ බොහෝම පැහැදිලි කාරණාවක්. මේ පුපුරන්න නියමිත ගිනි කන්ද උඩට වෙලා අපිට බාබෙකිව් පාටි දාන්න ඉතුරු වෙලා තියන්නෙ කොයිතරම් කාලයක් ද කියන ප්‍රශ්නය පමණයි දැන් ඉතුරු වෙලා තියෙන්නෙ. දැනට වයස අනූගණනක් වෙන (අනූ හතක් හරියටම කිව්වොත්) සහ තවමත් මිහිතලයේ යහපැවැත්ම වෙනුවෙන් සක්‍රීයව තමන්ගෙ දායකත්වය දෙන ශ්‍රේෂ්ඨ ගණයේ පරිසර විද්‍යාඥයෙක් වන David Attenboroug මහත්මයා ඉදිරිපත් කරන Life on our planet වාර්තා චිත්‍රපටය බලන්න කියල මම ඔබට යෝජනා කරනව. එතනදි මේ පොළවට අතීතයේ පටන් මිනිස් වර්ගයා විසින් කරමින් ආ විනාසය කොයි වගේද සහ ඉදිරියට වෙන්න නියමිත මොකක්ද කියන කාරණේ ඔහු හරි ලස්සනට පැහැදිලි කරනව. ( පෘථිවියේ නොයෙක් පරිසර පද්ධතීන් ගැන Attenboroug මහත්මයා ඉදිරිපත් කළ Planet earth වැඩසටහන් මාලාවේ නවතම කතාංගයන් මේ දිනවල රූගත කෙරෙමින් තිබෙන බවට ආරංචියකුත් ලැබී තියනව)

නමුත් ප්‍රඥාවන්ත මිනිස්සුන්ගෙ වචන කොයිතරම් අර්ථවත් වුණත් ඒවා හුළඟේ ගසාගෙන යන්න නියමිත බවයි පෙනෙන්නට තිබෙන්නෙ. ආර්ථිකමය වශයෙන් වඩා ලාභදායී මොකක්ද කියන කාරණේ උඩයි හැම දෙයක්ම අවසානෙදි තීරණේ වෙන්නෙ. ගහක් ගහක් විදිහට තියනවට වඩා, තල්මහෙක් තල්මහෙක් විදිහට ජීවත්වෙනවට වඩා ගහ කපාදැමීම, තල්මසා මරා දැමීම ආර්ථිකමය වශයෙන් වාසි සහගතයි. ඒ නිසා මිනිස්සු පරිසරය විනාශ වෙන බව දැන දැනම දැවැන්ත පරිමාණවලින් ගස් කපනවා, තල්මස්සු මරනවා. හරියට මත්ද්‍රව්‍ය ගන්න ඇබ්බැහි වුණ කෙනෙක් මේකෙන් තමන්ට වෙන්නෙ ලොකු විනාසයක් බව දැන දැන වුණත් මත්ද්‍රව්‍ය ශරීරගත කරගන්නවා වගේ, තමන් කරන දේවලින් පරිසරය විනාශවෙලා යන බව දැන දැනම මිනිස්සු ඉක්මණ් ආර්ථික සමෘද්ධිය සහ වෙනත් දේශපාලන වාසි තකා ඉවක් බවක් නැතිව වනාන්තර ගංගා ඇළ දොළ, සාගරය ඇතුළු පරිසර පද්ධතීන් දූෂණය කරමින් ඉන්නවා. දවසින් දවස ජනගණය ඉහළ යමින් තියෙද්දි, මිනිස්සු දැන් හැඩගැහිල තියන අධි පරිභෝජනවාදී ජීවිත රටාවත් එක්ක, පරිසරය සම්බන්ධ ප්‍රශ්නය තවත් උග්‍ර අතට හැරෙමින් තියනව. ඉතින් මේ වගේ වාතාවරණයක මිනිස් වර්ගයාගෙ පැවැත්ම ලොකු අර්බුදයක තියෙන බව හොඳටම පැහැදිලියි.

Snowpiercer කියන්නෙ මෙන්න මේ වගේ අනාගතයක් පසුබිම් කරගෙන ලියවුණු Graphic නවකතාවක් ආශ්‍රයෙන් නිමැවවුණ චිත්‍රපටයක්.  Snowpiercer අධ්‍යක්ෂණය කරන්නෙ Memories of Murder, Parasite, The Host වගේ සුපිරි ගණයෙ කොරියානු චිත්‍රපට නිර්මාණය කළ කොරියානු ජාතික අධ්‍යක්ෂ Bong Jon Ho. Snowpiercer කියන්නෙ Bong Jon Ho හොලිවුඩය වෙනුවෙන් කළ වැඩක්. චිත්‍රපටයෙ කියවෙන විදිහට ගෝලීය උෂ්ණත්වය පාලනය කරන්න විද්‍යාඥයින් ගත්ත උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට උෂණත්වය අසාමාන්‍ය විදිහට අඩුවෙලා මුළු පෘථවියම හිමෙන් වැහිලා ගිහින් සියළුම ජීවීන් පොළවෙන් වඳ වෙලා අයිස් යුගයක් උදාවෙනවා. මේ විනාශය කලින් දකින නව නිපැයුම්කාර ධනවතෙකු වෙන විල්ෆ්‍රඩ් නමැති පුද්ගලයා, සියලු පහසුකම් සහිත අතිවිශාල දුම්රියක් නිර්මාණය කරනව. මුළු පෘථවියම සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයක් නිර්මාණය කරන විල්ෆ්‍රඩ්, දුම්රිය හිමෙන් මිදීම වලක්වාගන්න ඒ මාර්ගයේ නොනවත්වා දුම්රිය ධාවනය කරමින් තියනව. පණ බේරාගන්න සමත්වුණු මිනිස්සු යම් පිරිසක් විතරක් මේ විල්ෆ්‍රඩ්ගේ දුම්රියේ ඉතිරි වෙනවා. 

දුම්රිය ඇතුළේ වැඩ කටයුතු සිද්ධවෙන්නෙ එක්තරා ක්‍රමයකට. මෙතනදි දුම්රිය කාණ්ඩ 5කට බෙදන්න පුළුවන්.

මුලින්ම දුම්රියේ අතිශ්‍ය වැදගත් සහ දිව්‍යමය වටිනාකමක් ඇති බව සැලකෙන ඉදිරිපස කොටස. "ඩිවයින් එන්ජින්" විදිහට මේක හඳුන්වනවා. දුම්රියේ නිර්මාතෘ සහ අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන විල්ෆ්‍රඩ් ඇතුළු ඔහුගේ පිරිස වාසය කරන්නේ මෙතැන. මේ කොටසට පිටස්තර කිසි කෙනෙකුට ඇතුළු වෙන්න බැහැ. සහ විල්ෆ්‍රඩ් ගේ පණිවුඩ අනෙක් මැදිරිවලට සන්නිවේදනය වෙන්නෙ මෙතැන ඉඳන්.

ඉන්පස්සෙ ඉන්නව විනෝදකාමී කණ්ඩායම. ලෝකෙට මොන දේ වුණත් ඒ අයට ගාණක් නෑ. ඒ අයට ඕන කාල බීල සැපේ ඉන්න පමණයි. 

ඉන්පස්සෙ ඉන්නව අතරමැදි කණ්ඩායම. මෙයාල දුම්රිය ඇතුළේ සාපේක්ෂව සැපවත් ජීවිතයක් ගතකරනව. මෙයාලාගෙ ළමයින් දුම්රිය පාසලේ ඉගෙන ගන්නව. ශ්‍රේෂ්ඨ විල්ෆ්‍රඩ් උතුමන් ගැන සහ අපි එයාට කොයිතරම් ණය ගැතිද කියන කාරණේ දුම්රිය ඇතුළේ ළමයින්ට උගන්වනවා. (දුම්රිය ධාවනය වෙන්න පටන් අරන් අවුරුදු 17ක් ගතවෙලා තියෙන නිසා මේ ළමයි දුම්රියෙ ම ඉපදිලා හැදුණු වැඩුණු අය)

ඊටත් පස්සෙ ඉන්නව ආරක්ෂකයින්. අවි ආයුධ දරන්නන්. නමුත් මෙයාලගෙ අවි එසවෙන්නෙ ඊටත් පහළින් ඉන්න කාණ්ඩයට එරෙහිව පමණයි. මෙයාල කරන්නෙ විල්ෆ්‍රඩ් ඇතුළු ඉහළ පාන්තිකයින්ව ආරක්ෂා කරීම.

ඉන්පස්සෙ ඉන්නව දුම්රිය ඇතුළෙ වඩාත්ම ඛේදජනක ඉරණමට ලක් වුණ කාණ්ඩය. ඒ තමා පීඩිතයින්. තමන්ට කියල කිසිදෙයක් නැති දුගී දුප්පතුන්. මෙයාලා ඉන්නෙ දුම්රියේ අවසාන මැදිරිවල. මෙතැන හැමෝටම කන්න ලැබෙන්නෙ ආරක්ෂකයින් විසින් දවස ගාණේ බෙදාදෙන කළුපාට ප්‍රෝටීන් කුට්ටියක් බැගින් පමණයි. හැම දවසකම එකම රස, එකම කෑම. ඒත් දුම්රියේ නීතිවලට එරෙහිව එක වචනයක්වත් කතා කරන්න මේ අයට තහනම්. මේ ක්‍රමයට විරුද්ධවන්නන්ට දෙන දඬුවම ප්‍රසිද්ධියේ අතපය කපා දැමීම. පීඩිතයින්ගෙ ජීවිතය ඒ තරම් පීඩාකාරියි.

නමුත් ඒ සමගම ඔබට තේරුම්ගන්න පුළුවන් වෙයි මේ අපි ජීවත් වන සමාජයේම හරස්කඩක් බව. දුම්රිය නිරෑපණය කරන්නෙ අපි ජීවත්වන මේ ආර්ථික දේශපාලන පසුබිම මයි. 

අපේ කතාවේ වීරයා, අසාධාරණයට, අයුක්තියට එරෙහිව සටන්වදින ඒ පුද්ගලයා ඔබට හමුවෙන්නෙ චිත්‍රපටය ආරම්භයෙ පටන්මයි. ඔහුගෙ නම කර්ටිස්, (Chris Evens) ඔහු සිදුවෙන හැම දෙයක්ම ඉතා සියුම්ව නිරීක්ෂණය කරන, තියුණු බුද්ධියකින් හෙබි කෙනෙක් බවයි අපි දකින්නෙ. ඔහුට තියනව සැලැස්මක්, දුගී දුප්පතුන් පෙළන මේ දුෂ්ට දුර්ජන සමාජ ක්‍රමය පෙරළා දමා සියලු දෙනාට සමාන අයිතිවාසිකම් දිනාගත හැකි මගක්, ඔහුට අවශ්‍ය එය ක්‍රියාත්මක කරන්න. නමුත් ඔය විදිහට හිතු එකම පුද්ගලයා කර්ට් පමණක් නොවෙයි. මීට කලිනුත් නොයෙක් අය දුම්රියේ මේ විෂමාචාරි ක්‍රමය වෙනස් කරන්න උත්සාහ දරා තිබෙනවා. නමුත් ඒ කිසි කෙනෙකුට මේ අරමුණ ජයගන්න හැකි වුණේ නෑ. අපේ විප්ලවකාරී වීරයාටත් අවසානෙ ඒ ඉරණමම අත්වේවිද? නැතිනම් යුක්තිය සාධාරණය රජකරන ලෝකය (දුම්රිය) ගොඩනගන්න ඔහුට පුළුවන් වේවි ද? Snowpiercer බැලුවොත් ඔබට ඒ ගැන දැනගන්න ලැබේවි.

Snowpiercer කියන්නෙ වැදගත් සමාජ දේශපාලන කාරණාවක් ඉතාම නිර්මාණාත්මකව විවරණය කරන චිත්‍රපටයක් වගේම  Science Fiction/ Thriller සහ Action චිත්‍රපටයක් විදිහටත් ඉහළ මට්ටමක තියන්න පුලුවන් සිනමාපටයක්. මං හිතන්නෙ පහුගිය දශකයෙන් බිහිවුණු හොඳම සිනමාපට අතරට Snowpiercer නම් කළ හැකියි. හේතුව දැන් ගෝලීය වශයෙන් ව්‍යාප්ත ධනේශ්වර ආර්ථික ක්‍රමය ඇතුළෙ අධ්‍යාපනය, නීතිය හා සාමය, ශ්‍රමය වැනි දේවල් අවභාවිත වෙන ආකාරය, ඇති නැති සමාජ පන්ති අතර ඇති නොවතින ගැටුම සහ බලය පවත්වාගැනීම කියන කාරණයෙදි මිනිස්සු කොයිතරම් සූක්ෂමව ක්‍රියාත්මක වෙනවද කියන කරණා මේ චිත්‍රපටයෙන් මැනවින් පෙන්වාදී තිබීම. හොලිවුඩ් නළු Chris Evans ගේ හොඳම රඟපෑම මම දුටුවේ මේ චිත්‍රපටයෙන්. ඒ වගේම Bong Joon Ho ගෙ චිත්‍රපට වල නැතුවම බැරි රංගවේදියා, කොරියානු නළු Song Kang Ho ගේ රඟ නොපා රඟපාන සුපුරුදු විලාසයෙන්ම දැකගන්න පුලුවන්. 

මේ මොහොත වෙනකොට අපේ රටේ පවතින විෂමාචාරි දේශපාලන ක්‍රමය සහ සැලැස්මක් නැති ආර්ථිකය එක්ක රටම අවුල් සහගත තත්ත්වයකට පත්වෙලා ඉන්න වෙලාවෙ (රටේ බහුතරය කෝච්චියේ අන්තිම පෙට්ටියෙ ජනතාව තමයි) මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියල හතර අතින්ම උදේ හවස මේ සමාජෙ ඇතුළෙ දෝංකාර දිදී ඇහෙනව. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බටහිර රටවලින් අපිට ලැබුණට තාම අපේ ඔලුගෙඩි වැඩවසම් සීමාවෙන් ගැලවිල නෑ. අපේ දේශපාලකයින් මිනිස් ජීවිත බිල්ලට දීල හරි තමන්ගෙ බල පැවැත්ම ආරක්ෂා කරගන්න වෙහෙසෙන අතරේ අපේ මිනිස්සු පුරුද්දට වගේ දේශපාලකයින්ට බැන බැන තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නව මිස අපි ඉන්නෙ සාමුහික ක්‍රමයක් ඇතුළෙ බව තේරුම් අරගෙන නෑ. ක්‍රමය වෙනස් වෙන්න නම් මිනිස්සුන්ගෙ ආකල්පවලින් සහ හිතන පතන විදිහෙන්මයි ඒක එන්න ඕන. මේ වගේ චිත්‍රපට එතැනදි වැදගත් කාර්‍යයක් ඉෂ්ට කරනව කියලා මම හිතනව.



Thursday, September 21, 2023

Past Lives (2023)

පෙරදිගින් බිහිවුණු බොහොමයක් ආගම් සහ දර්ශනවාදවල මරණින් පසුව නැවත ඉපදීමක් ගැන කියැවෙනව. ජෛන ආගම, බුදුදහම, වේද දර්ශනය මුල්කරගත්ත හින්දු දහම, චීනයේ තාඕ ධර්මය වගේ ආසියානු කලාපෙන් බිහිවුණු ආගම්වල එකිනෙකට වෙනස් ආකාරවලින්, නමුත් මරණෙන් පසු නැවත ඉපදෙමින් යන සංසාරික පැවැත්මක් ගැන කතා කෙරෙනවා. මේ අදහස් ආසියාතික අපේ සිතුම් පැතුම්වලට ලොකු බලපෑමක් කරලා තියෙනව ඇත්තටම. අපි අතරින් වැඩි දෙනා පිළිගන්නවා අපි එක වතාවක් මේ පොළොවේ ජීවත් වෙලා යන්න ආව අය නෙවෙයි, අපි ඉපදෙමින් මිය යමින් ආයෙත් ඉපදෙමින් යන චක්‍රයකයි මේ ගමන් ගනිමින් ඉන්නෙ කියලා. ඉතින් ඒ නිසා මේ චක්‍රය ඇතුළෙදි වෙනස් වටයකින් එකම අය අපිට ආයෙ ආයෙම මුණගැහෙනවා, පුරුදු හැඳුනුම්කම් ආයෙ අලුත්වෙනවා. අපේ වගේ රටක නම් දෙන්නෙක් ආදරය කරන්න පටන් ගන්නෙම සංසාරෙ පුරාම අපි මේ විදිහට හමුවෙන්න ඇති කියාගෙන, නැත්නම් සංසාරෙන් සමුගන්නා දවස වෙනකම් මේ ගමන එකට යමු කියමින්. ඒත් මං හිතනවා මිනිස්සු සංසාරය ගැන විශ්වාස කරන්න පටන් ගන්න ඇත්තෙ ආදරය නිසාමයි කියලා. මොකද, නැත්නම් එක වතාවක් දුටු පමණින් ආදරෙන් බැඳෙන අය, ප්‍රේමවන්තයින්ට වඩා ආදරයක් බෙදාගන්න යාළු මිත්‍රයන්, කෙටි කලත් ආශ්‍රයකළත් ගොඩක් කල් ළඟ උන්නා වගේ දැනෙන බැඳීම් අපි පැහැදිලි කරගන්නෙ කොහොමද? 

නමුත් දෛවය කියන්නෙ සමහර වෙලාවට ඉතාම සැලසුම් සහගතව වැඩකරන කෙනෙක් නොවෙයි. දෛවය කියන උමතු පිටපත් රචකයා ජීවිතේ ඇතුළෙ සමහර අය මුණගස්වන්නෙ, සමහරුන්ව අපෙන් ඈත් කරන්නෙ අපි කැමති ආකාරයට නෙවෙයි. අනෙක් අතට අපිව මේ සංසාරික ගමනේ අතරමං කරල දාන්න තරම් අකාරුණික කෙනෙකුත් නෙවෙයි දෛවය කියන්නෙ. සමහර වෙලාවට අපිට සිද්ධ වෙන්නෙ ජීවිතේ ඇතුළේ ලැබෙන දෙයක් බාරගෙන නිහඬවම ඉදිරියට යන්න, අපිට වෙන්න තියන හොඳම දෙයත් ඒකම තමයි සමහර වෙලාවට. අපහු හැරිලා බැලුවොත්, අපිට මුණගැහිලා තියන නානාප්‍රකාර ගැහැනු මිනිස්සු අතරේ, තවමත් ආදරයෙන් මතක් කරන අය කීයෙන් කීදෙනෙක් ඉන්නවද? හදවතේ අඩි සළකුණක් තබාගිය, අර සමර විජේසිංහ මහත්මයාගෙ කවියේ වගේ "දිළිසෙන පියවර" කිහිපයක් එකට ඇවිදගෙන ගිහින් නික්ම ගිය අය කොච්චර නම් ඉන්නවද?

මේක සමහරවිට තේරුමක් නැති හෑල්ලක් වෙන්න පුලුවන්, ඒත් මේක මෙහෙම ටයිප් කරලා දාන්න හිතුණෙ 2023 ආව Past lives කොරියානු චිත්‍රපටිය බැලුවට පස්සෙ. Film එක ගැන යමක් අනිවාර්යෙන් කියන්න ඕන වුණත් ඒක හරියටම කියවෙයිද කියල සැකයි. මොකද වචන බවට හැරෙවෙද්දි එතනින් ඒ හැඟීම විනාස වෙලා යන බව හොඳාකාරවම දන්න හින්දා. ඒත් මේක මං මේ අවුරුද්දට දැක්ක ලස්සනම, සිනමාත්මකම සහ කවියක් වගේ ආසාවෙන් මතකයේ තියාගන්න හිතෙන චිත්‍රපටිය මේක බව කියන්නම්. 

නිව්යෝර්ක් නගරෙ අවන්හලක එක මේසෙක කෑම ගනිමින් ඉන්නවා තුන් දෙනෙක්, කොරියානු ජාතික ගැහැනියක්, කොරියානු පිරිමියෙක් සහ ඇමරිකානු ජාතික පිරිමි කෙනෙක්. බැලූ බැල්මට ටිකක් අමුතුයි. ඒත් දුර ඉඳන් මේ තුන්දෙනා දිහා බලන් ඉඳලා අපිට පුලුවන් මේ අය කවුද කියලා අපේ උපකල්පන ඉදිරිපත් කරන්න..

'අර කොරියන් මනුස්සයි ගෑනුකෙනයි බැදපු ජෝඩුවක්, ඇමරිකන් එක්කෙනා ගෑනු කෙනාගෙ හොදම යාළුවා... නෑ... නෑ... කොරියන් දෙන්නා අයියයි නංගියි, ඇමරිකන් කාරයා නංගිගෙ ප්‍රේමවන්තයා....'

ඇත්තටම මේ තුන්දෙනා කවුද, මේ තුන්දෙනා එකිනෙකාට සම්බන්ධ වෙන්නෙ කොහොමද? අපිට පැය එකහමාරක වගේ කාලයක් තියනව ඒ ගැන හරියටම දැනගන්න සහ මෙන්න මෙහෙමයි කියල පෙන්නල දෙන්න බැරි 'මනුස්ස බැඳීම්' වල අරුමය හදවතින්ම විඳගන්න...




Tuesday, September 19, 2023

Talk to me (2022)

The Monkey's Paw කියන්නේ 1902 අවුරුද්දේ W.W. Jacobs නම් ලේඛකයා විසින් රචනාකළ, ලෝකයෙ භාෂා ගණනකට පරිවර්තනය වුණු සහ බොහොමයක් නාට්‍ය නිර්මාණ වලටත් පාදක කරගත්තු horror/ thriller ගණයේ සුප්‍රකට කෙටි කතාවක්. මේ කතාවෙ කියවෙන්නෙ හිතන පතන ඕනම දෙයක් ලබා දෙන වඳුරු අතක් ගැන. කතාවෙ හැටියට මේ අතින් අල්ලලා දෙයක් ඉල්ලුවාම ඒ දෙය කොහොම හරි ලැබෙනව. නමුත් එක දෙයක් තියනව, ඉල්ලන දේ ලැබෙන්නෙ නොහිතූම විදිහට, ඊට සමානවම වටිනාකමක් තියන තවත් දෙයක් නැති වෙලා, නැත්නම් බලාපොරොත්තු නොවන විදිහේ ඛේදජනක ආකාරයකට. උදාහරණයක් විදිහට කතාවෙ ඉන්න වයිට් මහත්මයා වඳුරු අතින් අල්ලලා යම් මුදලක් ඉල්ලුවාම, ඒ මුදල ලැබෙන්නේ ඒ මහත්මයාගෙ පුතා වැඩපළේ අනතුරක් වෙලා මියගිහින් ලැබෙන වන්දියක් විදිහට. ඉතින් සිතූ පැතූ දේවල් ලබා දුන්නත් වදුරු අත කියන්නේ බොහොම භයානක වස්තුවක්. මම හිතන්නෙ මේ කතාවෙන් නිරූපණය කරන්නෙ තෘෂ්ණාව නිසා ඉක්මණ් කෙටි ක්‍රම වලින් ධනය, බලය ලබා ගන්න යන මිනිස්සුන්ට වෙන විනාසය ගැන.

2022 Australian supernatural horror film එකක් වුණු Talk to Me බලද්දී හිතුණේ මේකටත් Monkey's Paw කතාවෙ මොකක් හරි බලපෑමක් තියනවද කියල. Talk to Me වලත් තියෙන්නෙ එක්තරා අරුම පුදුම අතක් ගැන තමයි. හැබැයි මේක සෙරමික් වලින් හැදූ මිනිස් අතක අනුරුවක්, තියෙන්නෙ එක්තරා තරුණයෙක් ගාව, එයාට මේක ලැබෙන්නෙ එයාගෙ තවත් යාළුවෙක්ගෙන්. සෙරමික් අත ඇතුළෙ තියෙන්නෙ හැබෑම මිනිස් අතක් බව තමයි කියවෙන්නෙ. හැබැයි කිසි කෙනෙක් ඒ ගැන හරියටම දන්නෙ නෑ. නමුත් මේ අතට තියනව එක්තරා අමුතු බලයක්. මේ තරුණයා කරන්නෙ එයාගෙ තවත් යාළුවො කණ්ඩායමක් එකතු කරගෙන මේ අතෙන් අපූරු සෙල්ලමක් කරන එක. සෙල්ලම මේකයි. ඉදිරිපත් වෙන කෙනාව මුලින්ම පුටුවකට තියලා ගැටගහනවා. ඉන්පස්සෙ අර අතින් අල්ලලා Talk to Me කියන්න ඕන. ඉන්පස්සෙ අතින් අල්ලාගෙන ඉන්න කෙනාට පේනන පටන් ගන්නවා මළගිය ආත්මයක් තමන් ඉස්සරහට ඇවිත් ඉන්න හැටි. ඉන්පස්සෙ අතින් අල්ලන් ඉන්න කෙනා I let you in කිව්වම අර භූතාත්මය එයාගෙ ඇඟට වැහිලා අමුතු විදිහට හැසිරෙන්න පටන් ගන්නව. තප්පර ගාණක් මෙහෙම භුතාත්මයක් ඇඟ ඇතුළෙ තියන් ඉඳලා අර අත අතහරින්න ඕන. එතකොට ඒ ආත්මය ඇඟෙන් අයින් වෙලා යනව. බලන් ඉන්න අයට මේක ලොකු විනෝදයක් තමයි, හැබැයි මළවුන් එක්ක සෙල්ලම් ලෙල්ලම් වෙන්න යන්නෙ බොහෝම පොඩි වෙලාවයි.

මෑතක ඉඳන් horror චිත්‍රපටවල ලොකු පසුබෑමක් තිබෙන බව ඇත්ත. ඒ කියන්නෙ හොද මට්ටමේ horror චිත්‍රපට මෑතක ආවෙ බොහොම ටිකයි. Talk to Me ඒ අතරට සැකයක් නැතුවම එකතු කරන්න පුළුවන් වැඩක්. විශේෂයෙන් jump scare, අමුතු සත්තු, ලේ වැගිරීම් වලට සීමා නොවී හොද storyline එකක් එක්ක ශක්තිමත් චරිත ගොඩනැංවීමක් අන්තර්ගත වීම මේ චිත්‍රපටය සාර්ථක වෙන්න හේතුවෙලා තියෙනව. කවදත් මඟහැර නොගතයුතු හොඳ දේවල්ම අරගෙන එන A24 ෆිල්ම්ස් වලින් තමයි මේක බෙදාහරින්නෙ. (Evening everywhere all at once, Hereditary, Midsummer, X, Beau is afraid, The Whale, After sun) ඩොලර් මිලියන 4ක වගේ අවම පිරිවැයකින් ඩොලර් මිලියන 67ක ආදායමක් ලබන්න Talk to Me සමත් වෙලා තියෙනව. දැනට A24 වල පස්වෙනියට වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටය. ඒ වගේම මේකට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් සෑහෙන හොඳයි. විශේෂයෙන් ප්‍රධාන චරිතය Mia ට රඟපාන Sophie Wild ගේ රඟපෑම ඉස්තරම්. මේ ඇයගෙ වගේම චිත්‍රපටයෙ අධ්‍යක්ෂ දෙපළ Danny Phillippou, Micheal Phillippou ගෙත් මුල්ම චිත්‍රපටය වීම විශේෂයක්. 

තරුණ වයසේ අවදානම් දේවල් කරලා අත්දැකීම් ගන්න යෞවන යෞවනියන් ගොඩක් කැමතියි. නමුත් ජීවිතය අනතුරේ දාගෙන කරන සමහර වැඩ හින්දා සහ එයින් ඇඟට දැනෙන අමුතු කික් එකට ඇබ්බැහිවෙලා ලොකු ඛේදවාචකයකට ගමන් කරන තරුණ ජීවිත මේ චිත්‍රපටයෙ මූලික තේමාව විදිහට ගන්න පුලුවන් කිව්වොත් මං හිතන්නෙ වරදක් නැති වෙයි. ඒ වගේම දෙමාපිය දූදරු සම්බන්ධතාව ගැනත් මේ චිත්‍රපටයෙ කතා කරනව. කලිනුත් කිව්ව වගේ ප්‍රේක්ෂකයාව බය කරන්න  අනවශ්‍ය දේවල් නොකර හොඳ story එකක් සහ චරිත ගොඩ නැංවීමක් එක්ක ඇඟ හිරි වැටිලා යන භයානක ගතියක් හරි ගාණට mix කරලා අරගෙන එන හොඳ horror චිත්‍රපටයක් විදිහට Talk to me හඳුන්වා දෙන්න පුලුවන්.




Rocky Aur Rani Ki Prem Kahani (2023)

දකුණු ඉන්දියාව සිනමාවෙන් මුලු ලෝකෙම අල්ලගෙන යද්දි හරිහමන් අලුත් කතන්දර නැතුව දැන් ලොකු අර්බුදයකට මූණදීල ඉන්න සහ කතා කරන්න තරමේ හරි හමන් මට්ටමෙන් ලොකු වැඩක් නොවෙන ගාණට පත්වෙලා ඉන්න බොලිවුඩ් සිනමාවේ මරු කතරට දියපොදක් ඉසින්න කරන් ජොහොර් මේ අවුරුද්දේ අරගෙන ආව අලුත්ම වැඩේ තමා Rocky Aur Rani Ki Prem Kahani කියන්නෙ. බොලිවුඩ් වල අයිඩෙන්ටිය වුණ Romantic Comedy, plus සින්දු සහ නැටුම්, ඇස් කඩාගෙන යන Colourful backgrounds and ලොකු ගෙවල්  ඇදුම් අයිත්තම් වගේ දේවල සුපුරුදු අඩු වැඩි mix එකම තමා මේකෙත් තියෙන්නෙ. හැබැයි වැඩේ තප්පරයක් වත් screen එකෙන් ඇස්දෙක අහකට ගන්න නොහිතෙන තරමට eye catching සහ ඇත්තටම හිනා යන විහිළු එක්ක මාරම entertaining. ඒවගේම සමහර තැන්වල play වෙන පරණ හින්දි සින්දු ටිකත් කතාවේ මේ රහ උපරිමේට ගේනන තවත් දායක වෙන බව කියන්න ඕන. රන්වීර් + ආලියා කෙමිස්ට්‍රි එකත් බොලිවුඩ්වල හොදම සොයාගැනීමක් ඇත්තටම, හරියට ශාරුක් කාජල් වගේ තවත් මේ දෙන්නගෙන් ෆිල්ම්ස් හැදෙනවනම් මරු. රන්වීර්ට මේකෙ රගපාන්න දෙයක් තිබුණද කියල හිතෙනව මොකද මීඩියාවලින් දකින විස්කුරුත්තන් ඇදුම් ඇදගත්ත විනෝදකාමී තරුණයාගේ චරිතයම තමා ෆිල්ම් එකෙත් දකින්න ලැබෙන්නෙ. ආලියා ගේ රගපෑම් ගැන කියන්න ඕන නෑ නේ (ඇත්තටම මේක බලන්නත් ලොකුම හේතුවක් වුණේ ආලියා තමා මටනම්). කිව්වත් වගේ ටිපිකල් බොලිවුඩ් මසාලාවක් එක්ක ඉන්දියානු සමාජෙ මුල් බැහැල තියන ගතානුගතිකත්වය, gender discrimination වගේ ඒවටත් සියුම් පහරක් එල්ල කරල තියනව. මං ආසම දෙයක් වුණේ දිල්ලි වල සහ බටහිර බෙංගාලයෙ සංස්කෘතික විවිධත්වය නැටුම් ගැයුම් වලින් මතු කරල තිබුණ ආකාරය. සමස්තයක් විදිහට බැලුවට පාඩු නැති හොද එන්ටර්ටේනින් මසාලා ෆිල්ම් එකක් මේක මටනම්.