ජෙරුසෙලම තරම් යුද්ධවලට හේතු වුණ නගරයක් ලෝකයෙ තවත් නැතුව ඇති. මේ නගර ඉතිහාසය ඇතුළෙ අඩුවශයෙන් දෙවතාවක් පොළවටම සමතලා කර දමල තියනව, විසි තුන් වතාවක් හමුදා විසින් වටළල තියනව, පනස් දෙවතාවක් ප්‍රහාරයන්ට ලක්වෙලා තියනව. ජෙරුසෙලමේ මේ තරම් යුධ ගැටුම් ඇවිලී යන්න හේතුව ජුදා, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් කියන ප්‍රධාන ඒබ්‍රහමික ආගම් තුනම තමන්ගේ ශුද්ධ නගරයක් විදිහට ජෙරුසෙලම සැලකීම. (ඉස්ලාම් දහමේ අතිශ්‍ය බහුතරය අදහන සුන්නි ඉස්ලාමයට අනුව, මක්කම සහ මදීනාවට පසුව ඔවුන්ට තිබෙන ශුද්ධ නගරය තමා ජෙරුසෙලම. මොහම්මද් නබි තුමා ජෙරුසෙලමේ ධර්ම දේශනා කරමින් සැරිසැරූ බව විශ්වාස කරනව ඔවුන්)
("ෂාලොම්" කියන්නෙ හීබෲ භාෂාවෙන් "සාමය". ආරාබි භාෂාවෙන් කියන්නෙ "සලාම්". යුදෙව් ආගමිකයන් එකිනෙකා මුණගැහුනාම "ෂාලොම්" කියල එකිනෙකා සුබපතාගන්නව, ඉස්ලාම් භක්තිකයිනුත් එහෙම "අස් සලාම් අලෙයික්කුම්" කියනව. මේකෙ තේරුම "සාමය වේවා" කියන දෙය. "ජෙරුසලෙම්" කියන නමේ අර්ථයත් "සාමයේ නගරය"!)
මධ්‍යධරණී මුහුදත් මළ මුහුදත් අතර, ජුදා කඳුකරයේ ඉහළ ස්ථානයක පිහිටා තිබෙන මේ නගරය වර්තමානයෙදි අයිති වෙන්නෙ ඊශ්‍රායලයට. ඊශ්‍රායලයේ බටහිර ඉවුරේ බෙත්ලෙහෙම්, හේබ්‍රොන් වගේ නගර පිහිටා තිබෙන්නෙත් මේ කිට්ටුව. බටහිර ඉවුරේ පලස්තීන රාජ්‍යයේ වැඩි කොටසක් පවතින්නෙ ජෙරුසෙලම සමීපව. ඒ නිසාත්, ඓතිහාසික වැදගත්කම නිසාත් වර්තමානයෙදි පලස්තීනය සහ ඊශ්‍රායලය කියන රාජ්‍යයන් දෙකම තමන්ගෙ ප්‍රධාන නගරය විදිහට ජෙරුසෙලම් නගරය නම් කරනව. මේ නිසා අද ඊශ්‍රායෙල් පලස්තීන ගැටුමෙදි තීරණාත්මක සාධකයක් බවට ජෙරුසෙලම පත්වෙලා තියනව. ප්‍රධාන ආගම් කිහිපයකම තිඹිරිගෙය වෙලා ශාස්තෘවරුන් දිවැසිවරුන් වාසය කළ භූමියක් වෙලා, දාවිත්, සලමොන් වගේ මහ රජවරුන් අතින් පාලනය වෙලා නමුත් මේ නගරයේ කිසිම සාමකාමී බවක් නොපැවතීම එක්තරා ආකාරයක උත්ප්‍රාසයක් ඇති කරවන කාරණයක්.
ක්‍රිස්තුවර්ෂ හය වෙනි සියවසේ මැදපෙරදිගින් ආරම්භ වුණු ඉස්ලාම් ධර්මය ක්‍රමයෙන් ඒ කලාපය පුරා ව්‍යාප්ත වී ගියා. ඒත් එක්කම ජෙරුසෙලම් ශුද්ධ නගරය මුස්ලිම්වරුන්ගේ පාලනයට යටත් වුණා. කොහොම වුණත්, තමන්ගේ ශුද්ධවු දේශය වන්දනාමාන කරන්න පැමිණෙන කිතුණු ආගමිකයින්ට, ජෙරුසෙලම කලාපයට ඇතුළුවෙන්න මුස්ලිම්වරු ඉඩකඩ ලබාදීල තිබුණේ ඔවුන්ට ලබාගත හැකි ආර්ථික වාසි සලකල. නමුත් පසුකාලීනව ඔවුන් සහ මේ වන්දනාකරුවන් අතර ගැටුම් ඇතිවෙන්න පටන්ගත්ත. මේ නිසා ඒ යුගයේ කිතුණු සභාවේ නායක දෙවන අර්බන් පාප්තුමා, බයිසැන්තියානු අධිරාජ්‍යයා (මධ්‍යතන යුගයේ රෝම අධිරාජ්‍යයේ බටහිර කොටස තුර්කි ඔටෝමාන්වරුන්ගේ පහර දීම් එක්ක බිඳවැටීගිය නිසා නැගෙනහිර රෝමය, තුර්කියේ බයිසැන්තියන් නගරය (වර්තමානයෙ ස්තාන්බූල්) මුල්කරගෙන ගොඩනැගුණා. ඒ වෙද්දි රෝම අධිරාජ්‍යයේ නිල ආගම කිතු දහම බවට පත්වී තිබුණා) සහ යුරෝපීය රටවල් කීපයක නායකයින් එකතුවෙලා ජෙරුසෙලම ආශ්‍රිත කලාපයේ කිතුණු ආධිපත්‍යය තහවුරු කරගැනීමේ යුධ මෙහෙයුමක් ආරම්භ කලා. මේ තමා පළමු කුරුස යුද්ධය (ක්‍රි.ව 1096) ඉන්පස්සෙ ඉස්ලාම් සහ ක්‍රිස්තියානි දෙපාර්ශව අතර ඇති වුණ කුරුස යුද්ධ (Crusades), සියවස් ගණනාවක් නොනැවතී ඉදිරියට යන යුධගැටුම් මාලාවකට මඟපෑදුවා.
මෙන්න මේ කුරුස යුද්ධ මාලාවේ තුන්වන යුද්ධය ආශ්‍රය කරගෙනයි සුප්‍රකට හොලිවුඩ් සිනමාකරු රිඩ්ලි ස්කොට් වර්ෂ 2005 දි Kingdom of Heaven නම් දැවැන්ත පරිමාණයේ ඓතිහාසික චිත්‍රපටය නිර්මාණය කරන්නෙ. චිත්‍රපටයට සැබෑ ඓතිහාසික සිදුවීම් මුල් කරගත්තත් සමහර කරුණු කාරණා සෑහෙන වෙනස් කර ඇති බව වැඩිදුර සොයාබැලුවොත් ඔබට දැකගන්න පුලුවන්.
පළමු කුරුස යුද්ධය අවසාන වෙන්නෙ ප්‍රංශ ජාතික වංශාධිපතියෙක් වුණු ගොඩ්ෆ්‍රි ඩි බූලියන් ගේ නායකත්වය යටතේ කිතුණු පාර්ශවය ජෙරුසෙලම යටත් කර ගැනීමෙන්. ඉන්පස්සෙ යුධයට සහභාගි වුණු බොහෝමයක් දෙනා ආපසු යුරෝපය බලා ගියත් සමහර යුරෝපීය වංශාධිපතින් ජෙරුසලම ආශ්‍රිතව තමන්ගේ ප්‍රාන්ත අලුතෙන් පිහිටුවාගන්නව. ගොඩ්ෆ්‍රි ජෙරුසලමේ පාලකයා බවට පත්වෙනව. ගොඩ්ෆ්‍රිගෙන් පසුව ජෙරුසෙලමේ රජ වෙන්නෙ ඔහුගේ සොයුරු බෝල්ඩ්වින්.
චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ හතරවන බෝල්ඩ්වින් ගේ පාලන සමය. සමස්තයක් විදිහට සාමකාමී බවක් පැවතුණත් තැනින් තැන කුඩා සටන් ඇවිලී යමින් තිබුණා. හැමදෙයක්ම මැද කිතුණුවන් සහ මුස්ලිම්වරු එක්ව වැඩකටයුතු කරගෙන යන්න හුරු වී සිටියා. නමුත් මේ තත්ත්වය නොඉවසූ කාණ්ඩයක් උන්නා. ඔවුන් තමා කිතුණු සභාව විසින් විශේෂයෙන් පත්කල ටෙම්ප්ලර් නයිට්වරු. රතු පාට කුරුසයක් සහිත සුදු පාට නිල ඇඳුමෙන් ටෙම්ප්ලර් නයිට්වරුන්ව හඳුනාගන්න පුලුවන්. ඔවුන් මේ ශුද්ධවු දේශයෙ කිතුණු වන්දනා කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පත් කළ විශේෂ රණකාමී හමුදා කාණ්ඩයක්. ඔවුන් මේ මුස්ලිම්වරු සමග සහජීවනයෙන් පැවැත්ම ඉවසුවේ නෑ. ඒ නිසා ඔවුන් මුස්ලිම්වරුන්ට නිතර නිතර පහර දුන්නා. මේ නිසා ඊජිප්තු අධිරාජ්‍යා වගේම අති දක්ෂ පාලකයෙක් වුණු සලාදීන්, මහා සේනාවක් සමග පැමිණිලා කිතුණු හමුදාව සමූලඝාතනය කරල ජෙරුසෙලම අල්ලාගත්තා. ඒ තමා තුන්වන කුරුස යුද්ධය. (ඊළඟ කුරුස යුද්ධය ආරම්භ කරන්නෙ එංගලන්තයේ "සිංහ හදැති" රිචඩ් රජු. රොබින්හුඩ් කතාවෙ අපි දකින්නෙ ඔහුව.)
චිත්‍රපටයෙ කතාව මූලිකවම මෙහෙම නමුත් මේ සිදුවීම් හැම එකක්ම අපිට දැකගන්න ලැබෙන්නෙ එක් ප්‍රධාන චරිතයක් කේන්ද්‍රකොට ගෙන. ඔහු තමයි බේලියන් නම් ප්‍රංස ජාතික තරුණ නයිට්වරයා. (බේලියන් නමින් හැබෑම නයිට්වරයෙක් උන්නත් ඔහුගෙ සම්භවය ගැන චිත්‍රපටයෙ දැක්වෙන කතාව ප්‍රබන්ධයක් පමණයි) බේලියන් මේ කතාවට සම්බන්ධවෙන්නෙ කොහොමද කියන කාරණාව චිත්‍රපටය නරඹලම ඔබ වටහගන්න.
චිත්‍රපටයෙ දාර්ශනික හරය මූලිකව අපි දකින්නෙ බේලියන් නම් මේ අපූරු තරුණයා ගේ චරිතය තුළින්. හැඩහුරුකමෙනුත්, ක්‍රියාවෙනුත් සමහර වෙලාවට සංකේතාත්මකව ඔහු තුළින් නිරූපණය වෙන්නෙ ජේසුස්වහන්සෙද කියල කෙනෙකුට හිතුණොත් පුදුමයක් නැහැ. ආගමේ නාමයෙන් තැනූ ගොඩනැගිලි වෙනුවෙන් මිනිස්සු එකිනෙකා මරාගත්තත් ආගමේ එන එක ගුණ දහමක් ජීවිතේ ඇතුළේ පැලකරගන්න කිසිකෙනෙකු උනන්දු නොවෙන බව ඔහු දකිනව. දෙවියන්වහන්සේගේ සැබෑම රාජ්‍ය පවතින්නේ ගඩොල් ගොඩක නොව පිරිසිදු හදවත සහ නිවැරැදි බුද්ධිය තුළ බව ඔහු දකිනව. දෙවියන්ගේ ශුද්ධ නගරයෙ අදටත් කිසිම සාමයක් නැත්තේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුර මේ කරුණු කාරණා ඇතුළෙ තියනව.
Kingdom of Heaven චිත්‍රපටයෙ බේලියන් ගෙ චරිතය නිරූපණය කරන්නෙ, ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපට මාලාවෙ ලෙගෝලස් ගෙ චරිතයෙන් ජනප්‍රියත්වයට පත් ඕලැන්ඩෝ බ්ලූම්. ඒ වගේම ලියම් නීසන්, ජෙරමි අයන්, එඩ්වර්ඩ් නෝර්ටන්, මයිකල් ෂීන්, එවා ග්‍රීන්, ඩේවිඩ් තියුලිස් වැනි ඉහළම ගණයේ රංගවේදීන් පිරිසක් මේ චිත්‍රපටයට දායක වී තිබෙනව. කලිනුත් සඳහන් කළ ආකාරයට Kingdom of Heaven කියන්නෙ දැවැන්ත පරිමාණයේ සිනමා නිර්මාණයක්. පුරාණ නගර බලකොටුවල පසුතල වගේම මහා යුද්ධ ප්‍රතිනිර්මාණය කර ඇති ආකාරය අති විශිෂ්ඨයි. බටහිර සහ මැදපෙරදිග කලාපයන්ට ආවේණික නාද රටා භාවිතයෙන් නිමැවුණු චිත්‍රපටයෙ පසුබිම් සංගීතයත් අමතක කරන්න බැරි එකක්. Kingdom of Heaven කියන්නෙ යුධ චිත්‍රපටයකට එහා ගිහින්, ආදරය, දේශපාලනය , ආගමේ සැබෑ හරය වැනි කාරණා ගැඹුරක් ඇතිව මතු කර පෙන්වන සිනමා නිර්මාණයක් බව කිවහැකියි.
ලෝකයෙ ප්‍රධාන ආගම් දෙකක් එකිනෙකට ගැටෙන ආකාරය මේ විදිහට සුවිසල් තිරයකට අරගෙන ඒම කොයිතරම් අවදානම් කටයුත්තක්ද කියන දෙය අමුතුවෙන් කිවයුතු නෑ. නමුත් ඒ අභියෝගය රිඩ්ලි ස්කොට් ජය ගන්නෙ බොහෝම සාර්ථකව. එක ආගමකට පක්ෂග්‍රාහී නොවී දෙපාර්ශවයෙම දුබලකම් වගේම ප්‍රබලකම් ඔහු චිත්‍රපටයෙන් නිරූපණය කරනව. විශේෂයෙන්ම තමන්ගෙ ආගම ගැන සෑහෙන සැලකිලිමත් වෙන මුස්ලිම් ජාතිකයන් මේ චිත්‍රපටය ගැන බොහෝම ප්‍රසංසාත්මකව කතා කර තිබෙනව.
අධ්‍යක්ෂ රිඩ්ලි ස්කොට්, චිත්‍රපටය බෙදාහැරීමේ සමාගම වුණ 20th Century Fox සමාගමට අවසානෙ බාර දෙන්නෙ පැය තුනකට මඳක් වැඩි ධාවන කාලයක් සහිත පිටපතක්. පැය තුනක තරම් දීර්ඝ චිත්‍රපටයක් නරඹන්න මිනිස්සු සිනමා ශාලාවට නොඑන බව තීරණය කරන සමාගම එය පැය දෙකකට අඩු කරන්නැයි අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලනව. ඒ තීරණයට එකඟ වෙන්න අවසානෙ රිඩ්ලි ස්කොට් ට සිදුවෙනව. 20th Century Fox සමාගම චිත්‍රපටය ප්‍රචාරය කරන්නෙ Gladiator අධ්‍යක්ෂවරයාගෙ නිර්මාණයක් විදිහට. සිනමාහලදි ප්‍රේක්ෂකයාට දැකගන්න ලැබුණේ දාර්ශනික හරය සෑහෙන්න සිඳ දැමූ action මාදිලියේ කතාවක්. ආදායම් අතින් එතරම් ලොකු සාර්ථකත්වයක් ලබන්න මේ නිසා චිත්‍රපටයට නොහැකි වෙනව. පසුව චිත්‍රපටයෙ පැය තුනක කාලයක් තිබූ Directors cut පිටපත එළිදැක්වුණා. Kingdom of Heaven චිත්‍රපටයෙ සැබෑම අත්දැකීම විඳගන්න නම් ඔබ මේ Directors cut පිටපත ම නැරඹිය යුතුයි.