Tuesday, September 26, 2023

Snowpiercer (2013)

දැන් මේ පොළවේ මහා පරිමාණයෙන් කරගෙන යන පරිසර විනාශයත් එක්ක මිනිස් වර්ගයාගෙ අනාගතය ලොකු ඛේදවාචකයක තියන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැති, සක්සුදක් සේ බොහෝම පැහැදිලි කාරණාවක්. මේ පුපුරන්න නියමිත ගිනි කන්ද උඩට වෙලා අපිට බාබෙකිව් පාටි දාන්න ඉතුරු වෙලා තියන්නෙ කොයිතරම් කාලයක් ද කියන ප්‍රශ්නය පමණයි දැන් ඉතුරු වෙලා තියෙන්නෙ. දැනට වයස අනූගණනක් වෙන (අනූ හතක් හරියටම කිව්වොත්) සහ තවමත් මිහිතලයේ යහපැවැත්ම වෙනුවෙන් සක්‍රීයව තමන්ගෙ දායකත්වය දෙන ශ්‍රේෂ්ඨ ගණයේ පරිසර විද්‍යාඥයෙක් වන David Attenboroug මහත්මයා ඉදිරිපත් කරන Life on our planet වාර්තා චිත්‍රපටය බලන්න කියල මම ඔබට යෝජනා කරනව. එතනදි මේ පොළවට අතීතයේ පටන් මිනිස් වර්ගයා විසින් කරමින් ආ විනාසය කොයි වගේද සහ ඉදිරියට වෙන්න නියමිත මොකක්ද කියන කාරණේ ඔහු හරි ලස්සනට පැහැදිලි කරනව. ( පෘථිවියේ නොයෙක් පරිසර පද්ධතීන් ගැන Attenboroug මහත්මයා ඉදිරිපත් කළ Planet earth වැඩසටහන් මාලාවේ නවතම කතාංගයන් මේ දිනවල රූගත කෙරෙමින් තිබෙන බවට ආරංචියකුත් ලැබී තියනව)

නමුත් ප්‍රඥාවන්ත මිනිස්සුන්ගෙ වචන කොයිතරම් අර්ථවත් වුණත් ඒවා හුළඟේ ගසාගෙන යන්න නියමිත බවයි පෙනෙන්නට තිබෙන්නෙ. ආර්ථිකමය වශයෙන් වඩා ලාභදායී මොකක්ද කියන කාරණේ උඩයි හැම දෙයක්ම අවසානෙදි තීරණේ වෙන්නෙ. ගහක් ගහක් විදිහට තියනවට වඩා, තල්මහෙක් තල්මහෙක් විදිහට ජීවත්වෙනවට වඩා ගහ කපාදැමීම, තල්මසා මරා දැමීම ආර්ථිකමය වශයෙන් වාසි සහගතයි. ඒ නිසා මිනිස්සු පරිසරය විනාශ වෙන බව දැන දැනම දැවැන්ත පරිමාණවලින් ගස් කපනවා, තල්මස්සු මරනවා. හරියට මත්ද්‍රව්‍ය ගන්න ඇබ්බැහි වුණ කෙනෙක් මේකෙන් තමන්ට වෙන්නෙ ලොකු විනාසයක් බව දැන දැන වුණත් මත්ද්‍රව්‍ය ශරීරගත කරගන්නවා වගේ, තමන් කරන දේවලින් පරිසරය විනාශවෙලා යන බව දැන දැනම මිනිස්සු ඉක්මණ් ආර්ථික සමෘද්ධිය සහ වෙනත් දේශපාලන වාසි තකා ඉවක් බවක් නැතිව වනාන්තර ගංගා ඇළ දොළ, සාගරය ඇතුළු පරිසර පද්ධතීන් දූෂණය කරමින් ඉන්නවා. දවසින් දවස ජනගණය ඉහළ යමින් තියෙද්දි, මිනිස්සු දැන් හැඩගැහිල තියන අධි පරිභෝජනවාදී ජීවිත රටාවත් එක්ක, පරිසරය සම්බන්ධ ප්‍රශ්නය තවත් උග්‍ර අතට හැරෙමින් තියනව. ඉතින් මේ වගේ වාතාවරණයක මිනිස් වර්ගයාගෙ පැවැත්ම ලොකු අර්බුදයක තියෙන බව හොඳටම පැහැදිලියි.

Snowpiercer කියන්නෙ මෙන්න මේ වගේ අනාගතයක් පසුබිම් කරගෙන ලියවුණු Graphic නවකතාවක් ආශ්‍රයෙන් නිමැවවුණ චිත්‍රපටයක්.  Snowpiercer අධ්‍යක්ෂණය කරන්නෙ Memories of Murder, Parasite, The Host වගේ සුපිරි ගණයෙ කොරියානු චිත්‍රපට නිර්මාණය කළ කොරියානු ජාතික අධ්‍යක්ෂ Bong Jon Ho. Snowpiercer කියන්නෙ Bong Jon Ho හොලිවුඩය වෙනුවෙන් කළ වැඩක්. චිත්‍රපටයෙ කියවෙන විදිහට ගෝලීය උෂ්ණත්වය පාලනය කරන්න විද්‍යාඥයින් ගත්ත උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට උෂණත්වය අසාමාන්‍ය විදිහට අඩුවෙලා මුළු පෘථවියම හිමෙන් වැහිලා ගිහින් සියළුම ජීවීන් පොළවෙන් වඳ වෙලා අයිස් යුගයක් උදාවෙනවා. මේ විනාශය කලින් දකින නව නිපැයුම්කාර ධනවතෙකු වෙන විල්ෆ්‍රඩ් නමැති පුද්ගලයා, සියලු පහසුකම් සහිත අතිවිශාල දුම්රියක් නිර්මාණය කරනව. මුළු පෘථවියම සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයක් නිර්මාණය කරන විල්ෆ්‍රඩ්, දුම්රිය හිමෙන් මිදීම වලක්වාගන්න ඒ මාර්ගයේ නොනවත්වා දුම්රිය ධාවනය කරමින් තියනව. පණ බේරාගන්න සමත්වුණු මිනිස්සු යම් පිරිසක් විතරක් මේ විල්ෆ්‍රඩ්ගේ දුම්රියේ ඉතිරි වෙනවා. 

දුම්රිය ඇතුළේ වැඩ කටයුතු සිද්ධවෙන්නෙ එක්තරා ක්‍රමයකට. මෙතනදි දුම්රිය කාණ්ඩ 5කට බෙදන්න පුළුවන්.

මුලින්ම දුම්රියේ අතිශ්‍ය වැදගත් සහ දිව්‍යමය වටිනාකමක් ඇති බව සැලකෙන ඉදිරිපස කොටස. "ඩිවයින් එන්ජින්" විදිහට මේක හඳුන්වනවා. දුම්රියේ නිර්මාතෘ සහ අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන විල්ෆ්‍රඩ් ඇතුළු ඔහුගේ පිරිස වාසය කරන්නේ මෙතැන. මේ කොටසට පිටස්තර කිසි කෙනෙකුට ඇතුළු වෙන්න බැහැ. සහ විල්ෆ්‍රඩ් ගේ පණිවුඩ අනෙක් මැදිරිවලට සන්නිවේදනය වෙන්නෙ මෙතැන ඉඳන්.

ඉන්පස්සෙ ඉන්නව විනෝදකාමී කණ්ඩායම. ලෝකෙට මොන දේ වුණත් ඒ අයට ගාණක් නෑ. ඒ අයට ඕන කාල බීල සැපේ ඉන්න පමණයි. 

ඉන්පස්සෙ ඉන්නව අතරමැදි කණ්ඩායම. මෙයාල දුම්රිය ඇතුළේ සාපේක්ෂව සැපවත් ජීවිතයක් ගතකරනව. මෙයාලාගෙ ළමයින් දුම්රිය පාසලේ ඉගෙන ගන්නව. ශ්‍රේෂ්ඨ විල්ෆ්‍රඩ් උතුමන් ගැන සහ අපි එයාට කොයිතරම් ණය ගැතිද කියන කාරණේ දුම්රිය ඇතුළේ ළමයින්ට උගන්වනවා. (දුම්රිය ධාවනය වෙන්න පටන් අරන් අවුරුදු 17ක් ගතවෙලා තියෙන නිසා මේ ළමයි දුම්රියෙ ම ඉපදිලා හැදුණු වැඩුණු අය)

ඊටත් පස්සෙ ඉන්නව ආරක්ෂකයින්. අවි ආයුධ දරන්නන්. නමුත් මෙයාලගෙ අවි එසවෙන්නෙ ඊටත් පහළින් ඉන්න කාණ්ඩයට එරෙහිව පමණයි. මෙයාල කරන්නෙ විල්ෆ්‍රඩ් ඇතුළු ඉහළ පාන්තිකයින්ව ආරක්ෂා කරීම.

ඉන්පස්සෙ ඉන්නව දුම්රිය ඇතුළෙ වඩාත්ම ඛේදජනක ඉරණමට ලක් වුණ කාණ්ඩය. ඒ තමා පීඩිතයින්. තමන්ට කියල කිසිදෙයක් නැති දුගී දුප්පතුන්. මෙයාලා ඉන්නෙ දුම්රියේ අවසාන මැදිරිවල. මෙතැන හැමෝටම කන්න ලැබෙන්නෙ ආරක්ෂකයින් විසින් දවස ගාණේ බෙදාදෙන කළුපාට ප්‍රෝටීන් කුට්ටියක් බැගින් පමණයි. හැම දවසකම එකම රස, එකම කෑම. ඒත් දුම්රියේ නීතිවලට එරෙහිව එක වචනයක්වත් කතා කරන්න මේ අයට තහනම්. මේ ක්‍රමයට විරුද්ධවන්නන්ට දෙන දඬුවම ප්‍රසිද්ධියේ අතපය කපා දැමීම. පීඩිතයින්ගෙ ජීවිතය ඒ තරම් පීඩාකාරියි.

නමුත් ඒ සමගම ඔබට තේරුම්ගන්න පුළුවන් වෙයි මේ අපි ජීවත් වන සමාජයේම හරස්කඩක් බව. දුම්රිය නිරෑපණය කරන්නෙ අපි ජීවත්වන මේ ආර්ථික දේශපාලන පසුබිම මයි. 

අපේ කතාවේ වීරයා, අසාධාරණයට, අයුක්තියට එරෙහිව සටන්වදින ඒ පුද්ගලයා ඔබට හමුවෙන්නෙ චිත්‍රපටය ආරම්භයෙ පටන්මයි. ඔහුගෙ නම කර්ටිස්, (Chris Evens) ඔහු සිදුවෙන හැම දෙයක්ම ඉතා සියුම්ව නිරීක්ෂණය කරන, තියුණු බුද්ධියකින් හෙබි කෙනෙක් බවයි අපි දකින්නෙ. ඔහුට තියනව සැලැස්මක්, දුගී දුප්පතුන් පෙළන මේ දුෂ්ට දුර්ජන සමාජ ක්‍රමය පෙරළා දමා සියලු දෙනාට සමාන අයිතිවාසිකම් දිනාගත හැකි මගක්, ඔහුට අවශ්‍ය එය ක්‍රියාත්මක කරන්න. නමුත් ඔය විදිහට හිතු එකම පුද්ගලයා කර්ට් පමණක් නොවෙයි. මීට කලිනුත් නොයෙක් අය දුම්රියේ මේ විෂමාචාරි ක්‍රමය වෙනස් කරන්න උත්සාහ දරා තිබෙනවා. නමුත් ඒ කිසි කෙනෙකුට මේ අරමුණ ජයගන්න හැකි වුණේ නෑ. අපේ විප්ලවකාරී වීරයාටත් අවසානෙ ඒ ඉරණමම අත්වේවිද? නැතිනම් යුක්තිය සාධාරණය රජකරන ලෝකය (දුම්රිය) ගොඩනගන්න ඔහුට පුළුවන් වේවි ද? Snowpiercer බැලුවොත් ඔබට ඒ ගැන දැනගන්න ලැබේවි.

Snowpiercer කියන්නෙ වැදගත් සමාජ දේශපාලන කාරණාවක් ඉතාම නිර්මාණාත්මකව විවරණය කරන චිත්‍රපටයක් වගේම  Science Fiction/ Thriller සහ Action චිත්‍රපටයක් විදිහටත් ඉහළ මට්ටමක තියන්න පුලුවන් සිනමාපටයක්. මං හිතන්නෙ පහුගිය දශකයෙන් බිහිවුණු හොඳම සිනමාපට අතරට Snowpiercer නම් කළ හැකියි. හේතුව දැන් ගෝලීය වශයෙන් ව්‍යාප්ත ධනේශ්වර ආර්ථික ක්‍රමය ඇතුළෙ අධ්‍යාපනය, නීතිය හා සාමය, ශ්‍රමය වැනි දේවල් අවභාවිත වෙන ආකාරය, ඇති නැති සමාජ පන්ති අතර ඇති නොවතින ගැටුම සහ බලය පවත්වාගැනීම කියන කාරණයෙදි මිනිස්සු කොයිතරම් සූක්ෂමව ක්‍රියාත්මක වෙනවද කියන කරණා මේ චිත්‍රපටයෙන් මැනවින් පෙන්වාදී තිබීම. හොලිවුඩ් නළු Chris Evans ගේ හොඳම රඟපෑම මම දුටුවේ මේ චිත්‍රපටයෙන්. ඒ වගේම Bong Joon Ho ගෙ චිත්‍රපට වල නැතුවම බැරි රංගවේදියා, කොරියානු නළු Song Kang Ho ගේ රඟ නොපා රඟපාන සුපුරුදු විලාසයෙන්ම දැකගන්න පුලුවන්. 

මේ මොහොත වෙනකොට අපේ රටේ පවතින විෂමාචාරි දේශපාලන ක්‍රමය සහ සැලැස්මක් නැති ආර්ථිකය එක්ක රටම අවුල් සහගත තත්ත්වයකට පත්වෙලා ඉන්න වෙලාවෙ (රටේ බහුතරය කෝච්චියේ අන්තිම පෙට්ටියෙ ජනතාව තමයි) මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියල හතර අතින්ම උදේ හවස මේ සමාජෙ ඇතුළෙ දෝංකාර දිදී ඇහෙනව. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බටහිර රටවලින් අපිට ලැබුණට තාම අපේ ඔලුගෙඩි වැඩවසම් සීමාවෙන් ගැලවිල නෑ. අපේ දේශපාලකයින් මිනිස් ජීවිත බිල්ලට දීල හරි තමන්ගෙ බල පැවැත්ම ආරක්ෂා කරගන්න වෙහෙසෙන අතරේ අපේ මිනිස්සු පුරුද්දට වගේ දේශපාලකයින්ට බැන බැන තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නව මිස අපි ඉන්නෙ සාමුහික ක්‍රමයක් ඇතුළෙ බව තේරුම් අරගෙන නෑ. ක්‍රමය වෙනස් වෙන්න නම් මිනිස්සුන්ගෙ ආකල්පවලින් සහ හිතන පතන විදිහෙන්මයි ඒක එන්න ඕන. මේ වගේ චිත්‍රපට එතැනදි වැදගත් කාර්‍යයක් ඉෂ්ට කරනව කියලා මම හිතනව.



Thursday, September 21, 2023

Past Lives (2023)

පෙරදිගින් බිහිවුණු බොහොමයක් ආගම් සහ දර්ශනවාදවල මරණින් පසුව නැවත ඉපදීමක් ගැන කියැවෙනව. ජෛන ආගම, බුදුදහම, වේද දර්ශනය මුල්කරගත්ත හින්දු දහම, චීනයේ තාඕ ධර්මය වගේ ආසියානු කලාපෙන් බිහිවුණු ආගම්වල එකිනෙකට වෙනස් ආකාරවලින්, නමුත් මරණෙන් පසු නැවත ඉපදෙමින් යන සංසාරික පැවැත්මක් ගැන කතා කෙරෙනවා. මේ අදහස් ආසියාතික අපේ සිතුම් පැතුම්වලට ලොකු බලපෑමක් කරලා තියෙනව ඇත්තටම. අපි අතරින් වැඩි දෙනා පිළිගන්නවා අපි එක වතාවක් මේ පොළොවේ ජීවත් වෙලා යන්න ආව අය නෙවෙයි, අපි ඉපදෙමින් මිය යමින් ආයෙත් ඉපදෙමින් යන චක්‍රයකයි මේ ගමන් ගනිමින් ඉන්නෙ කියලා. ඉතින් ඒ නිසා මේ චක්‍රය ඇතුළෙදි වෙනස් වටයකින් එකම අය අපිට ආයෙ ආයෙම මුණගැහෙනවා, පුරුදු හැඳුනුම්කම් ආයෙ අලුත්වෙනවා. අපේ වගේ රටක නම් දෙන්නෙක් ආදරය කරන්න පටන් ගන්නෙම සංසාරෙ පුරාම අපි මේ විදිහට හමුවෙන්න ඇති කියාගෙන, නැත්නම් සංසාරෙන් සමුගන්නා දවස වෙනකම් මේ ගමන එකට යමු කියමින්. ඒත් මං හිතනවා මිනිස්සු සංසාරය ගැන විශ්වාස කරන්න පටන් ගන්න ඇත්තෙ ආදරය නිසාමයි කියලා. මොකද, නැත්නම් එක වතාවක් දුටු පමණින් ආදරෙන් බැඳෙන අය, ප්‍රේමවන්තයින්ට වඩා ආදරයක් බෙදාගන්න යාළු මිත්‍රයන්, කෙටි කලත් ආශ්‍රයකළත් ගොඩක් කල් ළඟ උන්නා වගේ දැනෙන බැඳීම් අපි පැහැදිලි කරගන්නෙ කොහොමද? 

නමුත් දෛවය කියන්නෙ සමහර වෙලාවට ඉතාම සැලසුම් සහගතව වැඩකරන කෙනෙක් නොවෙයි. දෛවය කියන උමතු පිටපත් රචකයා ජීවිතේ ඇතුළෙ සමහර අය මුණගස්වන්නෙ, සමහරුන්ව අපෙන් ඈත් කරන්නෙ අපි කැමති ආකාරයට නෙවෙයි. අනෙක් අතට අපිව මේ සංසාරික ගමනේ අතරමං කරල දාන්න තරම් අකාරුණික කෙනෙකුත් නෙවෙයි දෛවය කියන්නෙ. සමහර වෙලාවට අපිට සිද්ධ වෙන්නෙ ජීවිතේ ඇතුළේ ලැබෙන දෙයක් බාරගෙන නිහඬවම ඉදිරියට යන්න, අපිට වෙන්න තියන හොඳම දෙයත් ඒකම තමයි සමහර වෙලාවට. අපහු හැරිලා බැලුවොත්, අපිට මුණගැහිලා තියන නානාප්‍රකාර ගැහැනු මිනිස්සු අතරේ, තවමත් ආදරයෙන් මතක් කරන අය කීයෙන් කීදෙනෙක් ඉන්නවද? හදවතේ අඩි සළකුණක් තබාගිය, අර සමර විජේසිංහ මහත්මයාගෙ කවියේ වගේ "දිළිසෙන පියවර" කිහිපයක් එකට ඇවිදගෙන ගිහින් නික්ම ගිය අය කොච්චර නම් ඉන්නවද?

මේක සමහරවිට තේරුමක් නැති හෑල්ලක් වෙන්න පුලුවන්, ඒත් මේක මෙහෙම ටයිප් කරලා දාන්න හිතුණෙ 2023 ආව Past lives කොරියානු චිත්‍රපටිය බැලුවට පස්සෙ. Film එක ගැන යමක් අනිවාර්යෙන් කියන්න ඕන වුණත් ඒක හරියටම කියවෙයිද කියල සැකයි. මොකද වචන බවට හැරෙවෙද්දි එතනින් ඒ හැඟීම විනාස වෙලා යන බව හොඳාකාරවම දන්න හින්දා. ඒත් මේක මං මේ අවුරුද්දට දැක්ක ලස්සනම, සිනමාත්මකම සහ කවියක් වගේ ආසාවෙන් මතකයේ තියාගන්න හිතෙන චිත්‍රපටිය මේක බව කියන්නම්. 

නිව්යෝර්ක් නගරෙ අවන්හලක එක මේසෙක කෑම ගනිමින් ඉන්නවා තුන් දෙනෙක්, කොරියානු ජාතික ගැහැනියක්, කොරියානු පිරිමියෙක් සහ ඇමරිකානු ජාතික පිරිමි කෙනෙක්. බැලූ බැල්මට ටිකක් අමුතුයි. ඒත් දුර ඉඳන් මේ තුන්දෙනා දිහා බලන් ඉඳලා අපිට පුලුවන් මේ අය කවුද කියලා අපේ උපකල්පන ඉදිරිපත් කරන්න..

'අර කොරියන් මනුස්සයි ගෑනුකෙනයි බැදපු ජෝඩුවක්, ඇමරිකන් එක්කෙනා ගෑනු කෙනාගෙ හොදම යාළුවා... නෑ... නෑ... කොරියන් දෙන්නා අයියයි නංගියි, ඇමරිකන් කාරයා නංගිගෙ ප්‍රේමවන්තයා....'

ඇත්තටම මේ තුන්දෙනා කවුද, මේ තුන්දෙනා එකිනෙකාට සම්බන්ධ වෙන්නෙ කොහොමද? අපිට පැය එකහමාරක වගේ කාලයක් තියනව ඒ ගැන හරියටම දැනගන්න සහ මෙන්න මෙහෙමයි කියල පෙන්නල දෙන්න බැරි 'මනුස්ස බැඳීම්' වල අරුමය හදවතින්ම විඳගන්න...




Tuesday, September 19, 2023

Talk to me (2022)

The Monkey's Paw කියන්නේ 1902 අවුරුද්දේ W.W. Jacobs නම් ලේඛකයා විසින් රචනාකළ, ලෝකයෙ භාෂා ගණනකට පරිවර්තනය වුණු සහ බොහොමයක් නාට්‍ය නිර්මාණ වලටත් පාදක කරගත්තු horror/ thriller ගණයේ සුප්‍රකට කෙටි කතාවක්. මේ කතාවෙ කියවෙන්නෙ හිතන පතන ඕනම දෙයක් ලබා දෙන වඳුරු අතක් ගැන. කතාවෙ හැටියට මේ අතින් අල්ලලා දෙයක් ඉල්ලුවාම ඒ දෙය කොහොම හරි ලැබෙනව. නමුත් එක දෙයක් තියනව, ඉල්ලන දේ ලැබෙන්නෙ නොහිතූම විදිහට, ඊට සමානවම වටිනාකමක් තියන තවත් දෙයක් නැති වෙලා, නැත්නම් බලාපොරොත්තු නොවන විදිහේ ඛේදජනක ආකාරයකට. උදාහරණයක් විදිහට කතාවෙ ඉන්න වයිට් මහත්මයා වඳුරු අතින් අල්ලලා යම් මුදලක් ඉල්ලුවාම, ඒ මුදල ලැබෙන්නේ ඒ මහත්මයාගෙ පුතා වැඩපළේ අනතුරක් වෙලා මියගිහින් ලැබෙන වන්දියක් විදිහට. ඉතින් සිතූ පැතූ දේවල් ලබා දුන්නත් වදුරු අත කියන්නේ බොහොම භයානක වස්තුවක්. මම හිතන්නෙ මේ කතාවෙන් නිරූපණය කරන්නෙ තෘෂ්ණාව නිසා ඉක්මණ් කෙටි ක්‍රම වලින් ධනය, බලය ලබා ගන්න යන මිනිස්සුන්ට වෙන විනාසය ගැන.

2022 Australian supernatural horror film එකක් වුණු Talk to Me බලද්දී හිතුණේ මේකටත් Monkey's Paw කතාවෙ මොකක් හරි බලපෑමක් තියනවද කියල. Talk to Me වලත් තියෙන්නෙ එක්තරා අරුම පුදුම අතක් ගැන තමයි. හැබැයි මේක සෙරමික් වලින් හැදූ මිනිස් අතක අනුරුවක්, තියෙන්නෙ එක්තරා තරුණයෙක් ගාව, එයාට මේක ලැබෙන්නෙ එයාගෙ තවත් යාළුවෙක්ගෙන්. සෙරමික් අත ඇතුළෙ තියෙන්නෙ හැබෑම මිනිස් අතක් බව තමයි කියවෙන්නෙ. හැබැයි කිසි කෙනෙක් ඒ ගැන හරියටම දන්නෙ නෑ. නමුත් මේ අතට තියනව එක්තරා අමුතු බලයක්. මේ තරුණයා කරන්නෙ එයාගෙ තවත් යාළුවො කණ්ඩායමක් එකතු කරගෙන මේ අතෙන් අපූරු සෙල්ලමක් කරන එක. සෙල්ලම මේකයි. ඉදිරිපත් වෙන කෙනාව මුලින්ම පුටුවකට තියලා ගැටගහනවා. ඉන්පස්සෙ අර අතින් අල්ලලා Talk to Me කියන්න ඕන. ඉන්පස්සෙ අතින් අල්ලාගෙන ඉන්න කෙනාට පේනන පටන් ගන්නවා මළගිය ආත්මයක් තමන් ඉස්සරහට ඇවිත් ඉන්න හැටි. ඉන්පස්සෙ අතින් අල්ලන් ඉන්න කෙනා I let you in කිව්වම අර භූතාත්මය එයාගෙ ඇඟට වැහිලා අමුතු විදිහට හැසිරෙන්න පටන් ගන්නව. තප්පර ගාණක් මෙහෙම භුතාත්මයක් ඇඟ ඇතුළෙ තියන් ඉඳලා අර අත අතහරින්න ඕන. එතකොට ඒ ආත්මය ඇඟෙන් අයින් වෙලා යනව. බලන් ඉන්න අයට මේක ලොකු විනෝදයක් තමයි, හැබැයි මළවුන් එක්ක සෙල්ලම් ලෙල්ලම් වෙන්න යන්නෙ බොහෝම පොඩි වෙලාවයි.

මෑතක ඉඳන් horror චිත්‍රපටවල ලොකු පසුබෑමක් තිබෙන බව ඇත්ත. ඒ කියන්නෙ හොද මට්ටමේ horror චිත්‍රපට මෑතක ආවෙ බොහොම ටිකයි. Talk to Me ඒ අතරට සැකයක් නැතුවම එකතු කරන්න පුළුවන් වැඩක්. විශේෂයෙන් jump scare, අමුතු සත්තු, ලේ වැගිරීම් වලට සීමා නොවී හොද storyline එකක් එක්ක ශක්තිමත් චරිත ගොඩනැංවීමක් අන්තර්ගත වීම මේ චිත්‍රපටය සාර්ථක වෙන්න හේතුවෙලා තියෙනව. කවදත් මඟහැර නොගතයුතු හොඳ දේවල්ම අරගෙන එන A24 ෆිල්ම්ස් වලින් තමයි මේක බෙදාහරින්නෙ. (Evening everywhere all at once, Hereditary, Midsummer, X, Beau is afraid, The Whale, After sun) ඩොලර් මිලියන 4ක වගේ අවම පිරිවැයකින් ඩොලර් මිලියන 67ක ආදායමක් ලබන්න Talk to Me සමත් වෙලා තියෙනව. දැනට A24 වල පස්වෙනියට වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටය. ඒ වගේම මේකට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් සෑහෙන හොඳයි. විශේෂයෙන් ප්‍රධාන චරිතය Mia ට රඟපාන Sophie Wild ගේ රඟපෑම ඉස්තරම්. මේ ඇයගෙ වගේම චිත්‍රපටයෙ අධ්‍යක්ෂ දෙපළ Danny Phillippou, Micheal Phillippou ගෙත් මුල්ම චිත්‍රපටය වීම විශේෂයක්. 

තරුණ වයසේ අවදානම් දේවල් කරලා අත්දැකීම් ගන්න යෞවන යෞවනියන් ගොඩක් කැමතියි. නමුත් ජීවිතය අනතුරේ දාගෙන කරන සමහර වැඩ හින්දා සහ එයින් ඇඟට දැනෙන අමුතු කික් එකට ඇබ්බැහිවෙලා ලොකු ඛේදවාචකයකට ගමන් කරන තරුණ ජීවිත මේ චිත්‍රපටයෙ මූලික තේමාව විදිහට ගන්න පුලුවන් කිව්වොත් මං හිතන්නෙ වරදක් නැති වෙයි. ඒ වගේම දෙමාපිය දූදරු සම්බන්ධතාව ගැනත් මේ චිත්‍රපටයෙ කතා කරනව. කලිනුත් කිව්ව වගේ ප්‍රේක්ෂකයාව බය කරන්න  අනවශ්‍ය දේවල් නොකර හොඳ story එකක් සහ චරිත ගොඩ නැංවීමක් එක්ක ඇඟ හිරි වැටිලා යන භයානක ගතියක් හරි ගාණට mix කරලා අරගෙන එන හොඳ horror චිත්‍රපටයක් විදිහට Talk to me හඳුන්වා දෙන්න පුලුවන්.




Rocky Aur Rani Ki Prem Kahani (2023)

දකුණු ඉන්දියාව සිනමාවෙන් මුලු ලෝකෙම අල්ලගෙන යද්දි හරිහමන් අලුත් කතන්දර නැතුව දැන් ලොකු අර්බුදයකට මූණදීල ඉන්න සහ කතා කරන්න තරමේ හරි හමන් මට්ටමෙන් ලොකු වැඩක් නොවෙන ගාණට පත්වෙලා ඉන්න බොලිවුඩ් සිනමාවේ මරු කතරට දියපොදක් ඉසින්න කරන් ජොහොර් මේ අවුරුද්දේ අරගෙන ආව අලුත්ම වැඩේ තමා Rocky Aur Rani Ki Prem Kahani කියන්නෙ. බොලිවුඩ් වල අයිඩෙන්ටිය වුණ Romantic Comedy, plus සින්දු සහ නැටුම්, ඇස් කඩාගෙන යන Colourful backgrounds and ලොකු ගෙවල්  ඇදුම් අයිත්තම් වගේ දේවල සුපුරුදු අඩු වැඩි mix එකම තමා මේකෙත් තියෙන්නෙ. හැබැයි වැඩේ තප්පරයක් වත් screen එකෙන් ඇස්දෙක අහකට ගන්න නොහිතෙන තරමට eye catching සහ ඇත්තටම හිනා යන විහිළු එක්ක මාරම entertaining. ඒවගේම සමහර තැන්වල play වෙන පරණ හින්දි සින්දු ටිකත් කතාවේ මේ රහ උපරිමේට ගේනන තවත් දායක වෙන බව කියන්න ඕන. රන්වීර් + ආලියා කෙමිස්ට්‍රි එකත් බොලිවුඩ්වල හොදම සොයාගැනීමක් ඇත්තටම, හරියට ශාරුක් කාජල් වගේ තවත් මේ දෙන්නගෙන් ෆිල්ම්ස් හැදෙනවනම් මරු. රන්වීර්ට මේකෙ රගපාන්න දෙයක් තිබුණද කියල හිතෙනව මොකද මීඩියාවලින් දකින විස්කුරුත්තන් ඇදුම් ඇදගත්ත විනෝදකාමී තරුණයාගේ චරිතයම තමා ෆිල්ම් එකෙත් දකින්න ලැබෙන්නෙ. ආලියා ගේ රගපෑම් ගැන කියන්න ඕන නෑ නේ (ඇත්තටම මේක බලන්නත් ලොකුම හේතුවක් වුණේ ආලියා තමා මටනම්). කිව්වත් වගේ ටිපිකල් බොලිවුඩ් මසාලාවක් එක්ක ඉන්දියානු සමාජෙ මුල් බැහැල තියන ගතානුගතිකත්වය, gender discrimination වගේ ඒවටත් සියුම් පහරක් එල්ල කරල තියනව. මං ආසම දෙයක් වුණේ දිල්ලි වල සහ බටහිර බෙංගාලයෙ සංස්කෘතික විවිධත්වය නැටුම් ගැයුම් වලින් මතු කරල තිබුණ ආකාරය. සමස්තයක් විදිහට බැලුවට පාඩු නැති හොද එන්ටර්ටේනින් මසාලා ෆිල්ම් එකක් මේක මටනම්.



Thursday, August 24, 2023

සිරකරුවන්ගේ ව්‍යායාමය

"සිරකරුවන්ගේ ව්‍යායාමය" 1890 දී වින්සන්ට් වෑන් ගෝ විසින් නිමවන ලද සිතුවමකි. 1888 දී දැඩි විෂාදමය තත්ත්වයකට මුහුණදෙමින් සිටි වින්සන්ට් එයින් පීඩිතව ඔහුගේම කනක් කපා ගත්තේය. පසුව ඔහු එම කපා දැමූ කන් කැබැල්ල තම සිත් ගත් ගණිකාවක වූ රේචල් නමැත්තියට ඇති ආදරයේ ප්‍රකාශනයක් ලෙස ඇයට තෑගි කර යැව්වේ ය. සමහරුන් පවසන්නේ ඒ දිනවල වෑන් ගෝ සමග නවාතැන් ගෙන සිටි චිත්‍ර ශිල්පී පෝල් ගොගෑන්, වෑන් ගෝ සමග ඇතිවූ ආරවුලකදී ඔහුගේ කන කපා දැමු බවයි. මේ සිදුවීමෙන් පසුව වෑන් ගෝ, සෙනට් රෙමී නම් උන්මන්තකාගාරයට ඇතුළු වී එහි වාසය කළේ ය. එය පසුව ඔහුට බොහෝ දුක් වේදනාවන් සහ ජීවිතය පිළිබඳ නව පර්වායලෝකයන් ගෙන දුන් තැනකි.

උන්මත්තකාගාරයේ සිටින අතරතුර වෑන් ගෝ ට බාහිර ලෝකය සමග සම්බන්ධතා පැවැත්වීමට තිබූ ඉඩ කඩ සීමා සහිත විය. එම නිසා ඒ කාලය තුළ වෙනත් චිත්‍ර ශිල්පීන්ගේ සිතුවම් ප්‍රතිනිර්මාණය කරන්න ඔහු පෙළඹුණි. ගුස්ටාව් ඩෝර් ගේ ලන්ඩන් නිව්ගේට් සිරකදවුරේ දර්ශනය සහිත සිතුවම ඉන් එකකි. මේ සිතුවම තුළ, ගඩොලින් තැනූ සිර මැදිරියක් තුළ, මුරකරුවන්ගේ හඳුනාගැනීම සඳහා, කවාකාරව ගමන් කරමින් ඉන්නා සිරකරුවන් කණ්ඩායමක් දක්නට ලැබෙයි. වෑන් ගෝ විසින් ප්‍රතිනිර්මාණය කරන ලද සිතුවමේ, සිරකරුවන් සියලු දෙනා කවය ඇතුළතට හිස හරවා ගෙන සිටිද්දී මැද සිටින තැනැත්තා පමණක් ඉවත බලා ගෙන සිටින ආකාරය දක්නට ලැබෙයි. ඔහු තුළින් නිරූපිත වන්නේ වෑන් ගෝ බව බොහෝ දෙනා විශ්වාස කරති.

~ History Captain



Monday, August 21, 2023

නොගත් මග

කහවන් වන ගොමුව තුළ දී,
දෙදිසාවකට යොමුවුණි මාවත,
එහෙත් යා නොහැකි විය මට
දෙමං පෙතෙහිම එකවර,
නොහැකි විය මට බොහෝ වේලා
නැවතී බලා සිටිනට එතැනම,
ඈත ඝන බිම් ගොමුවේ 
සැඟව යන යුරු මංපෙත...

එක වතාවක් බැලූ පමණින්
සම සමව විහිඳුණා සේ පෙනුණ ද
එයින් මා ගතිමි මඟ
තෘණ පඳුරු මදක් වැඩී තිබුණ...
වැඩි දෙනා නොගිය ඒ මාවත
අඬ ගසන්නා සේ පෙනුණි මට...
එනමුදු මඳ දුරක් ගිය විටකදි
සිතුණි වෙනසක් නොමැති බව එහිද...

අතැර දැමුවෙමි මම
එක මාවතක් ඒ උදෑසන,
එකදු පියවරකිනුත් නොබිඳී
සමව වැතිරී තිබුණා සේ පෙනුණ...
එහෙත් ආයෙම දවසක
පැමිනුණොත් මේ මාවතේ මම
එවිට මට හැරී යන්න පුළුවන්
මා නොගත් මාවතෙන් එදිනට
සිතුවෙමි මම තනිවම...

කිව යුතුයි අද සුසුමක් සමඟ
ඉන් වසර ගණනාවකට පසුව,
කහවන් වන ගොමුව තුළ දී
දෙදිසාවකට යොමුවුණි මාවත...
එයින් මා ගතිමි මඟ
වැඩි දෙනා ඇවිද නොගිය,
එබැවිනි සියලු දෙය
වෙනස් වූයේ ඉන් මතුව...

~

From the poem "The Road Not Taken" written by Robert Frost



Monday, August 14, 2023

සතුට සොයා යාම

ගොඩක් දෙනා හිතනවා තමන්ට උවමනා දේ  ලබාගැනීමෙන් ඒ අයට සතුටු වෙන්න පුළුවන් කියලා. ඒත් ස්ලොවේනියානු ජාතික දාර්ශනිකයෙක් වෙන Slavoj Žižek තර්ක කරන්නෙ, සමහර වෙලාවට අපිට ඇත්තටම ඕන වෙන්නෙ කුමක් හෝ දෙයක් උවමනාවෙන් සිටීමම පමණක් බව. කිසිම අවබෝධයක් නැතිව, උවමනායි කියල හිතන දේ හඹා යෑම සතුටින් පිරුණු ජීවිතයක් අත්පත් කර ගන්න ඒ තරම් හොඳ ක්‍රමයක්  නෙවෙන බවයි ඔහු කියන්නෙ.

සතුටින් ඉන්න අවශ්‍යද කියල අහල බැලුවොත් වැඩි දෙනෙක් ඔව් එහෙමයි කියා උත්තර දෙයි. ඒත් ටික දෙනෙක් විතරක්  තව ටිකක්  වැඩිදුර හිතන්න ඕන බව කියාවි. ඒත් ඇයි ඒ අය එහෙම කරන්න ඕන?

Slavoj Žižek ට අනුව සතුට කියන්නෙ අපිට මතුපිටින් පේන දේ නොවෙයි. අපි කැමති දේ, ඒහෙම නැත්නම් අපේ ආශාව ලුහුබැඳ යන එක සතුට ලබාගන්න තියන ඒ් තරම් හොඳ විදිහකුත් නොවෙයි..

සතුට කියන්නෙ අපිට අයිති කරගෙන අපේම කියලා වෙනසක් නැතිව දිගටම පවත්වගෙන යන්න පුළුවන් දෙයක් බවයි වැඩි දෙනෙක් හිතන්නෙ. ඔයා කොයිතරම් නම් ඔයාටම කියාගෙන තියෙනවද "මෙන්න මේ දේ ලබාගෙන මම සතුටු වෙනව" කියලා. නැත්නම් "හැම දේම හරියන්න මට අඩු තව බොහොම පොඩි දෙයයි" කියලා.

මේ අදහස මෙහෙමම ඔයාට නොහිතුණත්, මේක අමුතු දෙයක් නොවෙයි. නමුත් Žižekට අනුව අපිට ඇත්තටම උවමනාවෙන්නෙ අපි ආශා කරනව කියල අපි හිතන දෙය නොවෙයි.

තමන්ගේ අනෙක් දාර්ශනික මැදහත්වීම් අතර, Žižek සහාය දක්වන්නෙ ලැකානියානු මනෝවිශ්ලේෂණයට. ඒවගේම Žižek තමන්ගේ දෙවන ආචාර්ය උපාධිය ලබාගන්නෙ මනෝවිශ්ලේෂණය විෂයට. ඒ සම්බන්ධයෙන් Žižek ගේ උපකල්පන සහ "ආශාව" ගැන සංවාදයෙදි ඔහු පෙන්වාදෙන කරුණු කාරණා බොහොමයක් මතුවෙන්නේ මේ ලැකානියානු මනෝවිශ්ලේෂණය පදනම් කරගෙන. (ලැකානියානුවාදය හෝ ලැකානියානු මනෝවිශ්ලේෂණය යනු ප්‍රංශ ජාතික මනෝවිශ්ලේෂකයෙකුවන ජාක් ලැකාන්ගේ මූලිකත්වයෙන්, පශ්චාත් ව්‍යුහාත්මක එළඹුමක් හරහා, මනස, හැසිරීම සහ සංස්කෘතිය පැහැදිලිකරගැනීම සඳහා හදුන්වාදෙන ලද න්‍යායික පද්ධතියකි.)

ලැකාන් තවදුරටත් පැහැදිලි කරන Žižek තර්ක කරන්නෙ ආශාවට තමන් බලාපොරොත්තු වෙන දේ ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැති බවයි. එයට අවශ්‍ය දිගින් දිගටම ආශා කරමින් පැවතීම පමණයි. අවශ්‍ය දේ ලබාගැනීමෙන් ආශාව කිසිදාක සන්තෘප්ත නොවෙන්නේ හරියට කොයිතරම් ආහාර ගත්තත් කුසගින්න නැතිවෙන්නෙ නෑ වගෙයි. සතුට ගැන අපේ අදහස් මේ ආශාව මත පදනම් කරගත්තොත් කිසිදාකවත් අපිට තෘප්තියක් ලබන්න බෑ.

සතුට යනු කිසිදාක අවසානයක් දැකිය නොහැකි ගමනක් බව බොහෝමයක් දාර්ශනික ගුරුකුල තර්ක කරනව. සතුට කියන්නෙ ආයාසයෙන් ලගාකරගත යුතු මානසික තත්ත්වයක් බවත්, එය ලබාගන්නටත් පවත්වාගෙන යන්නටත් නිතර උත්සාහ දැරිය යුතු බව සමහරු කරුණු ඉදිරිපත් කරනව.

Žižek ට අනුව, මේ අවශ්‍යතා සපුරාගනිමින් සතුට සොයාගෙන යාම කළ නොහැකි, වගේම සදාචාරාත්මක නොවෙන ක්‍රියාවක්.

සතුට ගැන බොහොම දෙනාට තියන, සැප සොයා යාමම ආත්මය කරගත්ත සුඛපරමවාදයට සමාන (hedonistic) ගතානුගතික අදහස් එතරම් ඵලදායි නොවෙන බව Žižek පෙන්වා දෙනවා. උදාහරණයක් විදිහට, නිර්මාණශීලී කෙනෙකුට යම් වැඩකට උත්තේජනයක් ලැබුණාම, තමන් කරන කලාව වෙනුවෙන් ඕනෑම දුකක් විදින්න ඒ අය සූදානම්. වැඩ කරන අතර තමන්ගේ සුවපහසු බව ගැන ඒ අයට නොදැනෙන තරම්.

අපි සොයායන යම් අර්ථයක් හෝ වෙනත් ඕනෑම දෙයක් වෙනුවෙන් සැප පහසුව අතහැරීම කියන මේ අදහස බොහොම පරණ එකක්. "ජීවත් වීමට හේතුවක් ඇති නම් කෙනෙකුට ඕනෑම දෙයක් දරාගත හැකියි" යනුවෙන් නීචේ තර්ක කළා. ඔස්ට්‍රියානු මනෝචිකිත්සක වික්ටර් ෆ්‍රෑන්ක්ල්ගේ සංකේතීය චිකිත්සාව ප්‍රතිකාරයේ කේන්ද්‍රය වෙන්නෙත් අර්ථය සෙවීම ජීවිතයේ ප්‍රධාන ගාමක බලයයි කියන කාරණාව.

Žižek එක්තරා ආකාරයකට මේ අදහස් එක්ක එකඟ වෙනවා. ඔහු සුඛපරමවාදය බැහැර කරනවා. අපේ තෘප්තිය වෙනුවෙන්, ආශාවට වඩා, අර්ථය වැදගත් බලපෑමක් කරන බව ඔහු පිළිගන්නවා.

ඒත් පැරණි ඇරිස්ටෝටලියානු සුබසාධනවාදය, යහපත් ජීවිතයක් ගැන කිසිසේත් නොසලකා හැරිය නොහැකි බලපෑමක් කර තිබෙනවා. මෙතනදි සමහර අවස්ථාවල සතුට නමින් හැදින්වුණත් එයින් වඩාත්ම කියවෙන්නෙ සමෘද්ධිමත් බව සහ යහපත් ආකාරයෙන් ජීවත් වීම ගැන. ඇරිස්ටෝටලියානු සුබසාධනවාදයට අනුව ජීවත්වෙන්න කැමති කෙනෙක් සතුට ලබන්න කැමති වුණත් ඔහුට හෝ ඇයට ඒක අවශ්‍යම දෙයක් නොවෙයි. සතුට ගැන හැඟීම හොඳ ජීවිතයක එක් කුඩා කොටසක් පමණයි.

නූතන අර්ථ දැක්වීම් අනුව සතුට හැදින්වෙන්නෙ සුව පහසු බවෙන් එහා යන බහු අර්ථ ඇති යමක් විදිහට. සතුට කරා ළඟා වෙන්න නම් අර්ථය පිළිබද අදහසක් තිබිය යුතුයි සහ සැප පහසුව නොතකා යම් දේවල් කරන්න සිදුවෙනවා නම් ඒ දේවල් කළ යුතුයි. 

ඉතින් සතුට සොයා යාම අපි අතහැරදැමිය යුතුයිද? සමහරවිට නෑ. ඒත් අවබෝධයකින් තොරව ආශාව පසුපස යෑම නම් හොඳ දෙයක් විදිහට නම්කරන්න බෑ. ඒ වෙනුවට, සැප විඳීමට වඩා දෙයක් ඇති බව හිතන්න. අපිට සමහර විට අවශ්‍ය වෙන්නෙ යමකට ආශාවෙන් සිටීම පමණක් වෙන්න පුළුවන් සහ බොහෝම වෙලාවට, යම් ප්‍රමෝදජනක අත්දැකීමකට වඩා  අර්ථය වැදගත් කමක් ගන්නව වගේම එය ඵල දායක බවින් ඉහළයි.


~ Extracted from "Big Think"

Translated by hAsH



Monday, August 7, 2023

introversion ගැන කෙටි පිළිසඳරක්

Interviewer : මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ඒත් ඔයා introvert කෙනෙක්ව නිර්වචනය කරන්නෙ කොහොමද? කෙනෙක් ඇත්තටම introvert (ආත්මයට නැඹුරු වුණු) ද extrovert (බාහිර සමාජයට නැඹුරු වුණු) කියල කියන්නෙ කොහොමද?

Susan Cain : ඒක කොහෙත්ම මෝඩ ප්‍රශ්නයක් නෙවෙයි. Introverts අය කැමති ගොඩක් නිශ්ශබ්ද, බාහිර බලපෑම් අඩු පරිසරයක ඉන්න. extrovert අයට නම් මේ බාහිර බලපෑම ගොඩක් ඕන ඒ ගොල්ලන්ගෙ ඉහළම මට්ටමට ඇවිත් බව දැනෙන්න. මේ බලපෑම් නොයෙක් ආකාරවලින් එන්න පුළුවන්. සමාජීය වශයෙන්, නැත්නම් ශබ්දය, ආලෝකය මේ ඕනෑම විදිහකට. ඉතින් Introvert කෙනෙක් වැඩිපුර කැමතියි මිනිස්සු ගොඩක් එක්ක සද්දබද්ද මැද්දෙ පාටි දානවට වඩා ළගම යාළුවෙක් එක්ක නිහඬ තැනකට වෙලා වයින් වීදුරුවක් බොන්න.

ඒ වගේම Introvert ස්වභාවය ලැජ්ජාශීලී කමට වඩා වෙනස් දෙයක් බව තේරුම් ගැනීම සෑහෙන වැදගත්. ලැජ්ජාව කියන්නෙ ඍණාත්මක ප්‍රතිචාර ලබන්න බය වීමට. ඒත් introversion කියන්නෙ ඊට වඩා සෑහෙන වෙනස් දෙයක්. Introversion කියන්නේ බාහිර බලපෑම් පුළුවන් තරම් අඩුවෙන් ලබන්න කැමතිවීමට. ලැජ්ජාශීලි කම කියන්නෙ කොහොමත් අපහසුතාවට පත්වීම ම උරුම කරගත්ත ගති ස්වාභාවයක්, introversion එහෙම නෑ.

Interviewer : ඔයා තර්ක කරනවා අපේ සංස්කෘතිය extroversion නැඹුරුතාවක් තියන එකක් බව. ඔයාට ඒක තවදුරටත් පැහැදිලි කරන්න පුළුවන් ද?

Susan Cain : අපේ සමාජයෙදි, පරමාදර්ශී පුද්ගලයෙකුගෙ ගතිගුණාංග විදිහට සැලකෙන්නෙ, ස්ථීරසාර ස්වභාවයක් තියන, සාමුහිකව පවතින, අවධානය ලබන්න කැමති කෙනෙක් විදිහට. අපි කේවල පැවැත්ම අගය කරන්නත් කැමතියි. ඒත් ගොඩක් වෙලාවට අපි අගය කරන්නෙ සමූහයක් එක්ක සුවපහසුව ඉන්න කැමති වර්ගයෙ අයව. අපේ පාසල්, වැඩකරන කාර්යාල, ආගමික ආයතන මේ හැම එකම හැදිලා තියෙන්නෙ බාහිරයට නැඹුරුවුණු අය (extroverts) වෙනුවෙන්. මට මුණගැහුණ එක පාස්ටර්වරයෙක් මට කිව්වා තනියම ඉන්න කැමති එයාගේ ස්වභාවය 'දෙවියන්වහන්සේ ප්‍රිය නොකරන" ගතියක් බවත්, තමන් ඒ ගැන ලැජ්ජාවෙන බවත්. ඒක ඇත්තටම කණගාටුදායක කාරණාවක්.

Interviewer : මේ සංස්කෘතික නැඹුරුතාව introverts ලට බලපාන්නේ කොහොමද?

Susan Cain : ගොඩක් introverts අය හිතනවා එයාලගෙ මොකක් හරි අවුලක් තියනව කියලා. එයාලා extrovert ලා වගේ පෙන්වන්න උත්සාහ කරනවා. ඒත් ඔයා ඔයා නොවෙන කෙනෙක් බව  මවා පෙන්වද්දි ඔයාට අහිමි වෙන්නෙ ඔයාවමයි.  විශේෂයෙන්ම ඔයාගෙ කාලය කොහොමද ගත කරන්න ඕන කියන සංවේදීතාව ඔයාට නැති වෙනවා. ඒ අයට ගෙදරට වෙලා පොතක් පතක් කියවන්න, මොකක් හරි ඉගෙනගන්න, භාවනා කරන්න, අළුතෙන් දෙයක් හදන්න, හිතන්න, උයන්න වගේ දේවල් නිහඬවම කරන්න පුලුවන්, ඒත් ඒ අය කැමති දේවල් පැත්තකට දාලා මිනිස්සු ගැවසෙන තැන්වලට යනවා.

Interviewer :  introversion ගතිය සහ නිර්මාණශීලිත්වය අතරේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද?

Susan Cain : ඔව්. එහෙම වෙන්නෙ මොකද තනිවම ඉන්න එක එයාලට පහසුවක් හින්දා. නිර්මාණයක් කරන්න තනියම ඉඳීම ගොඩක් වැදගත්.

Interviewer : ඔයා introvert කෙනෙක් ද?

Susan Cain :  ඔව්. මං මෙහෙම කිව්වම ගොඩක් අය පුදුම වෙනවා. මොකද මම ගොඩක් මිත්‍රශීලී කෙනෙක් නිසා. මේක introversion ගැන තියන වැරදි වැටහීමක්. අපි සමාජ විරෝධී අය නෙමෙයි. අපි වෙනස් විදිහට සමාජශීළී අය. මට මගේ පවුලයි ළගම යාලුවොයි නැතුව ජීවත් වෙන්න බෑ. ඒවගේම දෙයක් කතා කරන්න කලින් ගොඩක් හිතන එක, ගැටුම් ඇති කරගන්න අකමැති වීම, ඉක්මණින් අවධානය දීම වගේ  introvert ගතිගුණ ගොඩක් මං ගාව තියනව. ඒත් මං හිතනව introversion තමා මගෙ ලොකුම ශක්තිය කියලා. කවදාවත් එපා නොවෙන ශක්තිමත් ඇතුළාන්ත ජීවිතයක් මට තියනවා. මං ගොඩක් වෙලාවක් තනිවම ගතකරනවා. අවට ලෝකයෙ මොන පෙරළි සිද්ධවුණත් ඉක්මණටම ඇතුළට හැරෙන්න මං දන්නවා.

~ Extracted from Goodreads
.
.
(Susan Cain is an American writer. She has become well known with her 2012 non-fiction book "Quiet: The Power of Introverts in a World That Can't Stop Talking" which argues that modern Western culture misunderstands and undervalues the traits and capabilities of introverted people.)



Thursday, July 27, 2023

විනාඩි තුනෙන් එහා

විනාඩි තුනේ සින්දුවෙන් එහාට Music කියල දෙයක් අද අපි අහන්නෙ සහ අපිට අහන්න ලැබෙන්නෙ නැති තරම්. මේක මම හිතන්නෙ වෙළඳපළ මුල් කරගත්ත ධනවාදී ක්‍රමය එක්ක music කියන එක ව්‍යාපායක් බවට පත්වෙද්දි හැදුණ ආකෘතියක් කියල. පරිභෝජනයේ පහසුව, ඉක්මණින් අවසාන වීම නිසා නැවත නැවත ඉල්ලුම ඇති වීම, නිශ්පාදනය සහ බෙදා හැරීම වගේ වෙළඳපල අවශ්‍යතා අනුව මේ අද අපි අහන සින්දුව හැඩගැන්විලා තියන බව හිතන්න පුලුවන්. කලාව එතනදි ආධ්‍යාත්මිකත්වය සහ වෙළඳාම කියන පාරවල් දෙකකට බෙදිලා ගමන් කරන්න ගත්තා. නමුත් මේ නූතන සමාජ ආර්ථික විපරිණාමයන්ට කලින් පැවතුණු සංගීතමය ආකෘතීන් දිහා බැලුවම මියුසික් වල තියන, අද ගොඩක් වෙලාවට අහිමි වෙලා ගිහින් කියල දැනෙන, ආධ්‍යාත්මික ගුණය මේවයෙ අපිට හඳුනා ගන්න පුළුවන්. මධ්‍යකාලීන යුරෝපයේ කිතුණු දහම මුල් කරගෙන ඇතිවුණ ග්‍රෙගෝරියානු සංගීතය (Gregorian Chants) වගේ ආගම මුල් කරගෙන හැදුණ සංගීත සම්ප්‍රදායන්වල මේ  ගුණාංගය තියනව. ආගම් නිසා ලෝකෙට ලැබුණ වටිනාම දෙයක් තමා මේ spiritual music කියන්නෙ. ආගම් නොඅදහන කෙනෙකුට වුණත් අවසානෙදි පිළිගන්න සිද්දවෙන කාරණාවක් ඒක. සංස්කෘතික විවිධත්වය සහ විචිත්‍රවත් භාවය අතින් ලෝකයේම මුදුන් මල්කඩ වෙන සහ සංස්කෘතියේ උපත විදිහට සලකන ඉන්දියානු කලාපයෙන් මේ මුල්කාලීන Spiritual music වලට හොඳම උදාහරණ හමුවෙනව. හින්දු ආගමික පුරාණ වේද ස්තෝත්‍ර ගායනා, භජන් ගීත, උත්තර ඉන්දියානු රාගධාරී සංගීතය වගේම පර්සියානු අරාබි ආක්‍රමණවලින් පස්සෙ සුල්තාන් වරුන්ගේ පාලනයට යටතේ ඇති වුණු ඉස්ලාමික බලපෑමෙන් උරුමයක් විදිහට ආව කවාලි, ගසල් කවි ගායනා වගේ සංගීත මෙතනදි ගන්න පුළුවන්. 

ඉස්ලාම් දහම ලෝකෙට බිහිවෙන්නෙ ක්‍රි.ව. 6 වෙනි සියවසේ.  ඒ සමකාලීනව අරාබියානු කලාපයෙ පර්සියාව (ඉරානය) මුල් කරගෙන ඉස්ලාම් ආගමික තේමාවන්ට අනුව ගසල් කවි රචනා වීම ආරම්භ වුණු බවයි කියවෙන්නෙ. 12 වෙනි සියවසේදි මේ කාව්‍ය රචනාවන්ගෙ කැපී පෙනෙන ඉදිරි පියවරක් තබන්නෙ සුෆී ඉස්ලාමිකයෙක් වුණු, පර්සියානු ජාතික රූමි කවියා. රූමි, හෆීස්, සාදි වගේ අය අදටත් ජනප්‍රිය සුෆී ඉස්ලාමික කවියන්. ඉන්දියානු කලාපයට මේ කාව්‍ය හඳුන්වා දෙන්නෙ පෙරදිග සම්භාව්‍ය සංගීතයේ ආරම්භකයෙක්, ගායකයෙක්, කවියෙක් සහ ඉස්ලාම් ආධ්‍යාත්මික ගුරුවරයෙක් වුණු අමීර් කුෂෲ. එතකොට උතුරු ඉන්දියාවේ පැවතුණේ දිල්ලි සහ ලක්නව් නගර මුල්කරගෙන පැවති දිල්ලි සුල්තාන් වරුන්ගේ පාලනය. කුෂෲ විසින් ඉන්දියාවේ උර්දු භාෂාවෙන් හඳුන්වා දුන් ගසල් කවි රචනා සහ ගායනා පර්සියන් කවිය ඉක්මවා දියුණු තත්ත්වයකට යනව. 

මුලින්ම ඉස්ලාම් ආගමික කරුණු මුල් කරගෙන ලියවුණත් පසු කාලීනව ප්‍රේමය, සොබාදහම වගේ දේවලුත් මේ කවිවලට තේමා වෙනව. මේ සංගීත සම්ප්‍රදායන් ගේ නොයෙක් ගුරුකුළ තියනව. පසුකාලීනව බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ ඉන්දියානු පකිස්ථාන විභේදනය, පංජාබය වගේ මහා ප්‍රාන්ත දෙකඩ වීම එක්ක බොහෝම ඉස්ලාම් ආගමික ඉන්දියානුවන්ට ගම් බිම් හැරදමල අලුතෙන් බිහිකළ පකිස්ථානයට යන්න සිද්ද වෙනව. අදටත් විශිෂ්ටතම ගසල්/ කවාලි ගායකයින් කියල හඳුන්වන අය බොහොමයක් පකිස්ථාන ජාතිකයින්. නුසරත් ෆටේ අලි ඛාන්, රාහත් ෆටේ අලිඛාන් වගේ අය අපේ රටේ ගොඩක් අය අඳුනන්නෙන්නෙ බොලිවුඩ් සිනමාව නිසා. නමුත් 2019 අවුරුද්දේ පටන් පකිස්ථාන ජාතිකයන්ට බොලිවුඩය තහනම් වීම නම් ඛේදජනකයි. ඉන්දියාවේ දැන් හින්දු අන්තවාදී බලපෑම් ටිකක් වැඩි නිසා බොහෝ වෙලාවට මුස්ලිම් හෝ පකිස්ථාන් ජාතික කලා කරුවන්ට ඉන්දියා භුමියේ දි වැඩ කරන්න සෑහෙන අමාරු  තත්ත්වයක් වර්තමානයෙ තියෙන්නෙ. මේ වීඩියෝවෙ ඉන්නා දැනට සිටින අංක එකේ ගසල් ගායකයෙක් වුණු ගුලාම් අලි ගේ මෑතක පවත්වන්න තිබුණු සංදර්ශනත් ශිව සේනා සංවිධානයේ බලපෑම් නිසා ඉන්දියාවේ පවත්වන්න බැරි වෙලා තියෙනව. ඒ කාරණා කොහොම වුණත් මේ තියෙන්නෙ ගුලාම් අලි ගේ තව එක් සුමිහිරි ගසල් ගීයක් (Dil mein ek lehar si uthi hai abhi). බොහොම වෙලාවට එකම වචන පේලී ඒ මොහොතේ විවිධාකාර තනුවලට නැවත නැවත ගයමින් ඔහු මේ ගායනාව ඉදිරිපත් කරන හැටි ඔබට පෙනේවි. ගසල් කියන්නෙ ඒ මොහොත අනුව සමහර අංග වෙනස් කරමින් ඉදිරිපත් කරන සජීවී කලාවක්. මේ වීඩියොවෙන් ඔබට දැකගන්න පුලුවන් සමහර තැන් වලදි තමන් ගයන ගීයෙ වචන අරුත් පහදමින් ඉදිරිපත් කරන හැටි. මේව අර විනාඩි තුනේ සින්දු ආකෘතියෙන් සෑහෙන වෙනස්, බොහොම ඉවසීමකින් අහන්න ඕන ගායනා. ඇත්තටම spiritual music කොයි වගේද කියල දැනගන්න නම් ඒකෙන් මනසට තියන සනීපදායක ගතිය තමන්ටම අත්දකින්න නම් විනාඩි තුනේ සින්දුවෙන් එහා යන මේ music අහල බලන්න.



Thursday, July 13, 2023

පියාපතක් වන් ජීවිතයක නික්මයෑම

 "නවකතාව යනු වීරයෙක් හසු කරගැනීම සඳහා  වූ  උගුලක් නොවේ නම් වෙන කුමක් ද?"

ප්‍රංශයේ ජීවත් වුණු Czech ජාතික ලේඛක මිලාන් කුන්දේරා අද (11/07/2023) වයස 94 දී ජීවිතෙන් සමුගෙන ඇති බව දැක්කා. මිලාන් කුන්දේරා නමින් ලේඛකයක් මේ මිහිමත වාසය කරනබව මුලින්ම මට දැනගන්න ලැබෙන්නේ මංජුල වෙඩිවර්ධන ගේ බත්තලංගුණ්ඩුව නවකතාවෙන්. එතනදි කල්පිටි කලපුවේ ඉඳන් බත්තලංගුණ්ඩුව දූපතේ ඉන්නා තමන්ගෙ පියාව හොයාගෙන යන ඇන්තනී (නම මතක විදිහට) නම් තරුණයගෙ අතේ තියෙන්නෙ කුන්දේරා ගෙ "ජීවිතය අන් තැනක" (Life is Elsewhere) පොත. ප්‍රධාන භූමියේ අධිපති සංස්කෘතික ජීවිතයෙන් බත්තලංගුණ්ඩුව කොයිතරම් ඈත ද කියල කියන්න ඒක හොඳ හැඟවුම් කාරකයක්.

"නවකතාව යනු වීරයෙක් හසු කරගැනීම සඳහා  වූ  උගුලක් නොවේ නම් වෙන කුමක් ද?"

කුන්දේරා අපෙන් අහන ප්‍රශ්නය තමා ඒ. Life is Elsewhere කතාවේ ප්‍රධාන චරිතය ජෙරාමියෙල් එක්තරා ආකරයකට කුන්දේරා ගේ ම තරුණ වයසේ පිළිබිඹුවක්. නවයොවුන් වයසෙ ජෙරාමියෙල් කියන්නෙ කවියෙක්. තමන් ගේ රට සමාජවාදී රාජ්‍යයක් බවට පත්කරන්න හීන දැක්ක තරුණයෙක්. කාව්‍යමය අවධිය ඉක්මවන්න කලින් ජෙරාමියෙල් ගෙ ජීවිතය නිමා වුණත් එහි අමිහිරි ඵල භුක්ති විඳින්න වෙනව කුන්දේරා ට.

කුන්දේරා අතින් Life is Elsewhere ලියවෙන්නෙ 1973 දි. 1975 දී කුන්දේරා ප්‍රංසයට එන්නෙ Renes සරසවියේ ආචාර්යවරයෙකු විදිහට සේවය කරන්න. කුන්දේරා මුලින් චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක් වුණත් පසුව ඔහු ඒ පක්ෂයෙ නමින් ක්‍රියාත්මක වුණු මර්ධනය තමන්ගේ ලේඛන ඇතුළේ සියුම්ව විවේචනය කළා. මේ නිසා 1979 චෙක් රජය ඔහුගේ රචනා "ප්‍රති-සමාජවාදී" යැයි නම් කරමින් ඔහුව සමාජවාදයට එරෙහි ප්‍රතිවාදියෙක් විදිහට හංවඩු ගහලා ඔහුගේ පුරවැසි භාවය අහිමි කළා. ප්‍රංස භූමිය ඉන්පස්සෙ ඔහුගේ විප්‍රවාසගත වාසස්ථානය වෙන්නෙ දෛවෝපගත ආකාරයකට. දේශපාලනය පුද්ගලික ජීවිතය අතර තියන ගැටීම, උපන් බිමෙන් විප්‍රවාසගත සාංකාව ඉන්පස්සෙ ඔහුගේ ලේඛනවලට බලපෑ බව කියනව. 

"ලෝකය තුළ මිනිසාගේ පැවැත්ම ගවේෂණය කිරීම" කුන්දේරාට අනුව නවකතාවකින් සිදුකළ යුතු මූලික කාර්‍යයක් වුණා. Life is Elsewhere සිංහලයට පරිවර්තනය කරන අරුණ ප්‍රේමරත්න කෘතියෙ ප්‍රස්ථාවනාවෙ සඳහන් කරන ආකාරයට ඒ කාර්‍ය මේ වගෙයි.

"මිනිසා සහ ලෝකය අතර තිබෙන්නේ ඇසක් චිත්‍රයට දක්වන සබඳතාව නොවේ. නළුවෙකු වේදිකා පසුතලය කෙරෙහි දක්වන සබඳතාව ද නොවේ. ගොළුබෙල්ලෙකු උගේ කටුවට බද්ධවී සිටින අයුරින් මිනිසා ලෝකය සමඟ බද්ධවී සිටියි. එය ඔහුගේම කොටසකි. ලෝකය වෙනස් වෙද්දී මිනිසාගේ පැවැත්ම ද වෙනස් වෙයි"

යුරෝපය මුල්කරගෙන ඇති වුණු ලෝකය යුද්ධ, ඒ අනුව පැන නැගුණු නූතනත්වය, සමාජවාදයේ නැගීම, කුන්දේරා මිනිස් පැවැත්ම හඳුනාගන්න උත්සාහකරන්නෙ මේ සංසිද්ධි හරහා. කොහොම වුණත් කුන්දේරා ගේ නාමය ලෝකය පුරා ප්‍රකට වෙන්නෙ 1984 පළවුණ The Unbeatable Lightness of Being නවකතාව එක්ක.1988 ඒ කෘතිය සිනමාවට නැඟෙන්නෙ Daniel Day-Lewis, Juliette Binoche වගේ ඉහළම ගණයෙ නළු නිළියන්ගේ  රංගන දායකත්වයෙන්. නවකතාවක් වඩාත් පරිපූර්ණව සිනමාවට නැඟුන අවස්ථාවක් විදිහට  Unbearable Lightness සලකනව. 

Life is Elsewhere  (ජීවිතය අන්තැනක), The Unbearable Lightness of Being (පියාපතක් වන් ජීවිතයක්) The Farewell Waltz (සමුගැනීමේ සාදය) කුන්දේරා ගේ නවකතාවල සිංහල පරිවර්තන කිහිපයක්.

කුන්දේරා නොබෙල් ත්‍යාගය වෙනුවෙන් නිර්දේශ වුණත් එය ඔහුට ලැබෙන්නෙ නෑ. පෑනෙන් සිදුකළ මෙහෙවර වෙනුවෙන් මිලාන් කුන්දේරා නම් ලේඛකයාට ආචාරය පුද කරන ගමන් පහත උපුටනය ගන්නෙ ඔහුගේ "ජීවිතය අන් තැනක" කෘතියෙන්. 

"එයා චිත්‍ර අඳින්නෙ කිසිම අසුබවාදී හැඟීමක් හිතේ තියාගෙන නෙමෙයි" සිත්තරා පිළිතුරු දුන්නේ ය. "කලාව කියල කියන්නෙ බුද්ධියෙන් පහළ වෙච්ච දෙයක් නෙමෙයි කියන එක තේරුම් ගන්න. බලු ඔළු එක්ක මිනිස්සු අඳින්න හරි, ඔළු නැති ගෑණු අඳින්න හරි ජෙරොමියෙල්ගෙ තියෙන පෙළඹවීම එයාට ඉබේ ලැබුණ දෙයක්.  මේ දේවල් එයාගෙ හිතට ආවෙ කොහොමද කියල එයාට කිසිම දැනීමක් නෑ. මට ඒ ගැන හොඳටෝම විශ්වාසයි. මේ හැඩතල ගැන එයාට කොඳුරල කියන්නෙ එයාගෙම  උපවිඥානය. ඒත් මේ අමුතුම විදිහෙ බලි රූප වල තේරුමක් නැහැ කියල නම් කියන්න බෑ. ජෙරොමියෙල් ගෙ රූපයි, යුද්ධයයි අතරෙ ගුප්ත සම්බන්ධයක් තියනව කියල ඔයාට හිතෙන්නෙ නැද්ද? යුද්දෙ රෑ දවල් නැතුව අපිව කම්පනයට පත් කෙරුව. අපිව බය ගැන්නුව. ඒ යුද්දෙ මනුස්සයගෙන් එයාගෙ ඔළුව, එයාගෙ මූණ පැහැරගත්තෙ නැද්ද? අපි මේ ජීවත් වෙන්නෙ ඔළු නැති ගෑණුන් ගෙ කඳ කෑලි ආශාවෙන් ප්‍රාර්ථනා කරන ඔළු නැති මිනිස්සුන්ගෙ ලෝකෙක නෙමෙයි ද? මං ඔයාගෙන් අහන්නෙ මෙච්චරයි, ඔයාගෙ පුතාගෙ චිත්‍ර වල තියෙනවට වඩා ඇත්තක්, යථාර්ථයක් තවත් තියනවද ? නෑ නේද?"

-මිලාන් කුන්දේරා
- ජීවිතය අන් තැනක




Monday, July 10, 2023

මට වෙලාවකට හිතෙනවා...

මට වෙලාවකට හිතෙනවා...
බොහොමයක් ඉර බහින හැන්දෑවල
අහසත් මූදත් මුණගැහෙන සිතිජ රේඛාවේ
දියවෙවී බොඳවෙලා යන්නෙ අර
අපි අතින් ඉහිරෙන්න තිබුණ බීර අහුරක් බව..

සෙනඟ තදබද වුණ බස් එකක 
රේඩියෝ කබලකින් චිරි චිරි ගගා සද්දෙට
ඔය ඇහෙන්නෙ අපි කියන්න හිතාගෙන උන්න 
සින්දුවක් එහෙම දවසක...

වහින්න කලින් අඳුරු ආකාසෙ
දේදුන්නක් වගේ හැඩට
ඇඳිලා ආයෙමත් බොඳවෙලා යන්නෙ
අපේ ඒ හීනවල තිබුණු පාට...

ඇත්තටම
මට වෙලාවකට හිතෙනවා
වලාකුළු වගේ සුදු මුදුවට
පාවෙලා යන්නෙ ඈතට
හිනාවෙවී හිනාවෙවී ඔහේ
ගෙවාදමන්න තිබුණ දවස් අපිට...




Wednesday, May 3, 2023

The Thin Red Line (1998)

ටෙරන්ස් මලික් ගේ The Thin Red Line කියන යුධ චිත්‍රපටයෙ එක තැනක ඇමරිකානු හමුදාවේ ලුතිනන් කර්නල් වරයෙක් තමන් ගෙ යටතෙ ඉන්න කපිතාන් කෙනෙකුට මෙහෙම කියනව.

"බලන්න කැලෑව දිහා. බලන්න මේ ගස් බදාගෙන, ඒව යටපත් කරගෙන කැලෑ වැල් වැවෙන හැටි දිහා. සොබාදහම හරි කෲරයි කපිතාන් ස්ටැරෝස්"

මේ චිත්‍රපටයෙම තවත් තැනක ට්‍රේන් නම් සොල්දාදුවාගෙ ආත්මකථනයෙදි ඔහු කියනව ආලෝකයත් අඳුරත්, ආදරයත් වෛරයත් එකම මිනිස් මනසින් උපදින බවත්, එකම මුහුණෙන් ප්‍රකාශමාන වෙන බවත්. (මේ වචන විලියම් වර්ඩ්ස්වර්ත් ගෙ පොතකින් උපුටාගත් එකක්). මිනිසා කියන්නෙ සොබාදහමෙම නිමැවුමක් විදිහට ගත්තොත්, සොබාදහමෙ තියන සෞන්දර්යත්, කෲරත්වයත් මිනිසා තුළ එකවිට පවතින්නෙ එහෙමයි කියල අපිට වටහගත්තකි. එතකොට ශිෂ්ටාචාරය කියන්නෙ මිනිසාගෙම තියන නපුරත් ඔහුගෙම උතුම් මනුෂ්‍යත්වයත් එකිනෙක ගැටෙමින් යන ගමනකට.

"ඉතිහාසයම තිබුණේ දඩයම් බිමක"

කියල අපේ කවියෙක් වුණු චන්ද්‍රකුමාර වික්‍රමරත්න ලියන්නෙ ඒ නිසා.

The Thin Red Line චිත්‍රපටයෙ, කාගෙවත් යුද්ධයකය මැදිවෙන ඒ සොල්දාදුවන් ගේ මුහුණු තුළින් නිරූපිත වෙන්නෙ, මානුෂික බවත්, නපුරත් අතර ගැටුමෙන් ඔවුන් ලබන ආධ්‍යාත්මික විඩාපත් භාවය. කළකිරීම, වඩා යහපත් හෙට දවසක් ගැන ඔවුන්ට තිබෙන බලාපොරොත්තුව. නමුත් මේ අන්ත දෙක වෙන් වෙන්නේ ඕනෑම මොහොතක බිඳවැටිය හැකි සියුම් රේඛාවකින්. (Thin Red Line) යුධ බිමක් කියන්නෙ කෙනෙකුට එහෙම සදාචාර ගැටුමකදී, හිත හිත කල්මරන්න ඉඩක් ලැබෙන තැනක් නොවෙයි.

The Thin Red Line නමින්ම ලියවී ඇති (written by James Jones) නවකතාව මුල් කරගෙන මේ චිත්‍රපටයෙ පිටපත ලියා අද්‍යක්ෂනය කරන්නෙ, "සිනමාවේ ඇමරිකානු කවියා" විදිහට නිසැකවම හඳුන්වාදිය හැකි ටෙරන්ස් මලික්. ටෙරන්ස් මලික්ගේ චිත්‍රපට මන්දගාමීව ගලායන, රූපමය සෞන්දර්ය, පසුබිම් සංගීතය  අතින් ඉතාම ඉහළ තැනක තිබෙන කලාත්මක බවින් උසස් නිර්මාණ විදිහට සාමාන්‍යයෙන් පිළිගැනෙන්නෙ. (Days of Heaven, New World, Tree of Life, A Hidden Life) යුධ භූමියට මේ සෞන්දර්ය ඔහු අරගෙන එන්නෙ කොහොමද කියන දේ නම් බලන්න වටින කාරණාවක්.

ටෙරන්ස් මලික් දර්ශනවාදය ගැන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙ උපාධිධාරියෙක්. ඔහුගෙ චිත්‍රපටවල දාර්ශනික ස්වභාවයට ඔහුගේ මේ අධ්‍යාපනික පසුබිම හේතුවෙන බව වටහගන්න පුලුවන්. ඔහු තමන්ටම අනන්‍ය ආකාරයකට වැඩ කරන පුද්ගලයෙක් විදිහටයි ප්‍රසිද්ධ. උදාහරණ විදිහට අඳුර සහ ආලෝකයේ හැසිරීම අතිශ්‍ය වැදගත් සමහර දර්ශනවලදි, ඔහු ඒ දර්ශන එකිනෙකට වෙනස් ආලෝක තත්ත්වයන් තුනක් යටතේ සම්පූර්ණයෙන්ම තුන් වතාවක් රූගත කරනවාලු. චිත්‍රපටයෙ අවසාන සංස්කරණයෙදි අදාළ තැනට හොඳින්ම ගැලපෙන ආලෝක තත්ත්වයෙන් රූගත කළ දර්ශනය එතැනට යොදාගන්නවාලු. කොහොම වුණත් ඔහු නළුනිලියන් වුණත් බොහොම ප්‍රියකරන අද්‍යක්ෂවරයෙක් විදිහට සැලකෙනව. Thin Red Line චිත්‍රපටය තමන්ට නියමිත කුඩා චරිතයෙ රූගත කිරීම අවසාන වුණත්, ටෙරන්ස් මලික් වැඩ කරන ආකාරය බලා ඉන්න ඇති කැමැත්ත නිසාම ප්‍රකට නළු වූඩි හැරල්සන් මාස ගණනාවක් එක දිගට දර්ශන තලයේම රැඳී සිටියාලු.

සාමාන්‍ය සෙබළ විට්, මේ චිත්‍රපටයෙ එක් වැදගත් චරිතයක්. විශෙෂයෙන්ම, බොහෝම අවස්ථාවල, චිත්‍රපටය අර්ථගැන්වෙන්නෙ ඔහුගේ ආත්මකථනයන්ගෙන්. රඟපෑමෙදි, ඔහුගෙ මුහුණෙන් මතුවෙන භාවයෙන්ගෙන් නිරූපිත වෙන්න මෙලොවට එහා යන නිවුනු සැනහුණු සාන්තුවර පෙනුමක්. ඔහු තමයි පසුකාලීනව මෙල් ගිබ්සන්ගේ Passion of the Christ චිත්‍රපටයෙ ක්‍රිස්තුස්වහන්සේ ගෙ චරිතය රඟපාන ජේම්ස් කැවීසෙල්. නවකතාවෙදි ප්‍රධාන චරිතය වෙන්නෙ, ඒඩ්‍රියන් බ්‍රෝඩි රඟපාන කෝප්‍රල් ෆයිෆ් ගේ චරිතය වුණත් චිත්‍රපටයෙදි වැඩිපුර මතුවෙන්නෙ සාමාන්‍ය සෙබළ විට් ගෙ චරිතය. මේ බව නොදැන චිත්‍රපටය නරඹන්න ගිය ඒඩ්‍රියන් බ්‍රෝඩි, තමන්ට චිත්‍රපටයෙ අවසාන සංස්කරණයෙ වෙන්වෙලා තියෙන්නෙ බොහෝම අඩු ඉඩක් බව දැකල බලාපොරොත්තු කඩවීමට ලක්වුණාලු. විට් ගේ චරිතය හරහා ටෙරන්ස් මලික් චිත්‍රපටය ඇතුළෙ මූලික හරය ගොඩනඟන්නෙ එහෙම. 

චිත්‍රපටයට පාදක වෙන්නෙ දෙවනි ලෝක යුද්ධයේදි ජපන් අධිරාජ්‍යයට යටත් වුණු පැසිෆික් සාගරයේ ග්වාඩල්කැනල් දූපත මුදවාගන්න ඇමරිකානු හමුදා කළ මෙහෙයුම. යුධ බිමක බිහිසුණු වටපිටාව චිත්‍රපටය ඇතුළෙ  ඇඟට දැනෙන්නම ගොඩනගල තිබුණත් සාමාන්‍ය යුධ චිත්‍රපටයක් බලන මානසිකත්වයකින් මේ චිත්‍රපටය බැලුවොත් ඔබට සිද්දවෙන්නෙ බලාපොරොත්තු කඩකර ගන්න. මෙය යුදධයේ ක්‍රියාදාම (action) ස්වභාවය උත්කර්ශයට නංවන චිත්‍රපටයක් නොවෙයි. පැය තුනකට ආසන්න ධාවන කාලයක් සහිතව, යුද්ධය පසුබිම් කරගෙන ජීවිත විවරණයක යෙදෙන දාර්ශනික සිනමා කෘතියක්. ඒ හින්ද, විශේෂයෙන් ටෙරන්ස් මලික් ගෙ චිත්‍රපට නරඹන්න  නම් මේ ආකාරයෙ චිත්‍රපට නරඹල හොඳ ඉවසීමක් ඔබට තියෙන්න අවශ්‍යයි.

ප.ලි : 1999 තිබුණ 71 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය විදිහට තිබුණ නිර්දේශ නාම අතරට The Thin Red Line, Saving Private Rayan, Life is Beautiful කියන යුධ විරෝධී තේමාව ඇතුළත් සහ සිනමා ඉතිහාසයෙ බිහිවුණු විශිෂ්ටතම චිත්‍රපට යටතට සැලකෙන කෘතින් නිර්දේශ වෙලා තිබුණා. නමුත් සම්මානය හිමිවුණේ Shakespeare in Love නම් Romantic Darama එකට. Shakespeare in Love කිසිසේත්ම නරක චිත්‍රපටයක් නොවෙයි. ඒත් අර කියපු චිත්‍රපට අතරින් මේකට සම්මානය දුන්නෙ ඇයි කියල දන්නෙ ඉතින් ඔස්කාර් ජජ් බෝඩ් එකම තමයි.



Tuesday, April 25, 2023

Kingdom of Heaven (2005)

ජෙරුසෙලම තරම් යුද්ධවලට හේතු වුණ නගරයක් ලෝකයෙ තවත් නැතුව ඇති. මේ නගර ඉතිහාසය ඇතුළෙ අඩුවශයෙන් දෙවතාවක් පොළවටම සමතලා කර දමල තියනව, විසි තුන් වතාවක් හමුදා විසින් වටළල තියනව, පනස් දෙවතාවක් ප්‍රහාරයන්ට ලක්වෙලා තියනව. ජෙරුසෙලමේ මේ තරම් යුධ ගැටුම් ඇවිලී යන්න හේතුව ජුදා, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් කියන ප්‍රධාන ඒබ්‍රහමික ආගම් තුනම තමන්ගේ ශුද්ධ නගරයක් විදිහට ජෙරුසෙලම සැලකීම. (ඉස්ලාම් දහමේ අතිශ්‍ය බහුතරය අදහන සුන්නි ඉස්ලාමයට අනුව, මක්කම සහ මදීනාවට පසුව ඔවුන්ට තිබෙන ශුද්ධ නගරය තමා ජෙරුසෙලම. මොහම්මද් නබි තුමා ජෙරුසෙලමේ ධර්ම දේශනා කරමින් සැරිසැරූ බව විශ්වාස කරනව ඔවුන්)

("ෂාලොම්" කියන්නෙ හීබෲ භාෂාවෙන් "සාමය". ආරාබි භාෂාවෙන් කියන්නෙ "සලාම්". යුදෙව් ආගමිකයන් එකිනෙකා මුණගැහුනාම "ෂාලොම්" කියල එකිනෙකා සුබපතාගන්නව, ඉස්ලාම් භක්තිකයිනුත් එහෙම "අස් සලාම් අලෙයික්කුම්" කියනව. මේකෙ තේරුම "සාමය වේවා" කියන දෙය.  "ජෙරුසලෙම්" කියන නමේ අර්ථයත් "සාමයේ නගරය"!)

 මධ්‍යධරණී මුහුදත් මළ මුහුදත් අතර, ජුදා කඳුකරයේ ඉහළ ස්ථානයක පිහිටා තිබෙන මේ නගරය වර්තමානයෙදි අයිති වෙන්නෙ ඊශ්‍රායලයට. ඊශ්‍රායලයේ බටහිර ඉවුරේ බෙත්ලෙහෙම්, හේබ්‍රොන් වගේ නගර පිහිටා තිබෙන්නෙත් මේ කිට්ටුව. බටහිර ඉවුරේ පලස්තීන රාජ්‍යයේ වැඩි කොටසක් පවතින්නෙ ජෙරුසෙලම සමීපව. ඒ නිසාත්, ඓතිහාසික වැදගත්කම නිසාත් වර්තමානයෙදි පලස්තීනය සහ ඊශ්‍රායලය කියන රාජ්‍යයන් දෙකම තමන්ගෙ ප්‍රධාන නගරය විදිහට ජෙරුසෙලම් නගරය නම් කරනව. මේ නිසා අද ඊශ්‍රායෙල් පලස්තීන ගැටුමෙදි තීරණාත්මක සාධකයක් බවට ජෙරුසෙලම පත්වෙලා තියනව. ප්‍රධාන ආගම් කිහිපයකම තිඹිරිගෙය වෙලා ශාස්තෘවරුන් දිවැසිවරුන් වාසය කළ භූමියක් වෙලා, දාවිත්, සලමොන් වගේ මහ රජවරුන් අතින් පාලනය වෙලා නමුත් මේ නගරයේ කිසිම සාමකාමී බවක් නොපැවතීම එක්තරා ආකාරයක උත්ප්‍රාසයක් ඇති කරවන කාරණයක්.

ක්‍රිස්තුවර්ෂ හය වෙනි සියවසේ මැදපෙරදිගින් ආරම්භ වුණු ඉස්ලාම් ධර්මය ක්‍රමයෙන් ඒ කලාපය පුරා ව්‍යාප්ත වී ගියා. ඒත් එක්කම ජෙරුසෙලම් ශුද්ධ නගරය මුස්ලිම්වරුන්ගේ පාලනයට යටත් වුණා. කොහොම වුණත්, තමන්ගේ ශුද්ධවු දේශය වන්දනාමාන කරන්න පැමිණෙන කිතුණු ආගමිකයින්ට, ජෙරුසෙලම කලාපයට ඇතුළුවෙන්න මුස්ලිම්වරු ඉඩකඩ ලබාදීල තිබුණේ ඔවුන්ට ලබාගත හැකි ආර්ථික වාසි සලකල. නමුත් පසුකාලීනව ඔවුන් සහ මේ වන්දනාකරුවන් අතර ගැටුම් ඇතිවෙන්න පටන්ගත්ත. මේ නිසා ඒ යුගයේ කිතුණු සභාවේ නායක දෙවන අර්බන් පාප්තුමා, බයිසැන්තියානු අධිරාජ්‍යයා (මධ්‍යතන යුගයේ රෝම අධිරාජ්‍යයේ බටහිර කොටස තුර්කි ඔටෝමාන්වරුන්ගේ පහර දීම් එක්ක බිඳවැටීගිය නිසා නැගෙනහිර රෝමය, තුර්කියේ බයිසැන්තියන් නගරය (වර්තමානයෙ ස්තාන්බූල්) මුල්කරගෙන ගොඩනැගුණා. ඒ වෙද්දි රෝම අධිරාජ්‍යයේ නිල ආගම කිතු දහම බවට පත්වී තිබුණා) සහ යුරෝපීය රටවල් කීපයක නායකයින් එකතුවෙලා ජෙරුසෙලම ආශ්‍රිත කලාපයේ කිතුණු ආධිපත්‍යය තහවුරු කරගැනීමේ යුධ මෙහෙයුමක් ආරම්භ කලා. මේ තමා පළමු කුරුස යුද්ධය (ක්‍රි.ව 1096) ඉන්පස්සෙ ඉස්ලාම් සහ ක්‍රිස්තියානි දෙපාර්ශව අතර ඇති වුණ කුරුස යුද්ධ (Crusades), සියවස් ගණනාවක් නොනැවතී ඉදිරියට යන යුධගැටුම් මාලාවකට මඟපෑදුවා.

මෙන්න මේ කුරුස යුද්ධ මාලාවේ තුන්වන යුද්ධය ආශ්‍රය කරගෙනයි සුප්‍රකට හොලිවුඩ් සිනමාකරු රිඩ්ලි ස්කොට් වර්ෂ 2005 දි Kingdom of Heaven නම් දැවැන්ත පරිමාණයේ ඓතිහාසික චිත්‍රපටය නිර්මාණය කරන්නෙ. චිත්‍රපටයට සැබෑ ඓතිහාසික සිදුවීම් මුල් කරගත්තත් සමහර කරුණු කාරණා සෑහෙන වෙනස් කර ඇති බව වැඩිදුර සොයාබැලුවොත් ඔබට දැකගන්න පුලුවන්.

පළමු කුරුස යුද්ධය අවසාන වෙන්නෙ ප්‍රංශ ජාතික වංශාධිපතියෙක් වුණු ගොඩ්ෆ්‍රි ඩි බූලියන් ගේ නායකත්වය යටතේ කිතුණු පාර්ශවය ජෙරුසෙලම යටත් කර ගැනීමෙන්. ඉන්පස්සෙ යුධයට  සහභාගි වුණු  බොහෝමයක් දෙනා ආපසු යුරෝපය බලා ගියත් සමහර යුරෝපීය වංශාධිපතින් ජෙරුසලම ආශ්‍රිතව තමන්ගේ ප්‍රාන්ත අලුතෙන් පිහිටුවාගන්නව. ගොඩ්ෆ්‍රි ජෙරුසලමේ පාලකයා බවට පත්වෙනව. ගොඩ්ෆ්‍රිගෙන් පසුව ජෙරුසෙලමේ රජ වෙන්නෙ ඔහුගේ සොයුරු බෝල්ඩ්වින්. 

චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ හතරවන බෝල්ඩ්වින් ගේ පාලන සමය. සමස්තයක් විදිහට සාමකාමී බවක් පැවතුණත් තැනින් තැන කුඩා සටන් ඇවිලී යමින් තිබුණා. හැමදෙයක්ම මැද කිතුණුවන් සහ මුස්ලිම්වරු එක්ව වැඩකටයුතු කරගෙන යන්න හුරු වී සිටියා. නමුත් මේ තත්ත්වය නොඉවසූ කාණ්ඩයක් උන්නා. ඔවුන් තමා කිතුණු සභාව විසින් විශේෂයෙන් පත්කල ටෙම්ප්ලර් නයිට්වරු. රතු පාට කුරුසයක් සහිත සුදු පාට නිල ඇඳුමෙන් ටෙම්ප්ලර් නයිට්වරුන්ව හඳුනාගන්න පුලුවන්. ඔවුන් මේ ශුද්ධවු දේශයෙ කිතුණු වන්දනා කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පත් කළ විශේෂ රණකාමී හමුදා කාණ්ඩයක්. ඔවුන් මේ මුස්ලිම්වරු සමග සහජීවනයෙන් පැවැත්ම ඉවසුවේ නෑ. ඒ නිසා ඔවුන් මුස්ලිම්වරුන්ට නිතර නිතර පහර දුන්නා. මේ නිසා ඊජිප්තු අධිරාජ්‍යා වගේම අති දක්ෂ පාලකයෙක් වුණු සලාදීන්, මහා සේනාවක් සමග පැමිණිලා කිතුණු හමුදාව සමූලඝාතනය කරල ජෙරුසෙලම අල්ලාගත්තා. ඒ තමා තුන්වන කුරුස යුද්ධය. (ඊළඟ කුරුස යුද්ධය ආරම්භ කරන්නෙ එංගලන්තයේ "සිංහ හදැති" රිචඩ් රජු. රොබින්හුඩ් කතාවෙ අපි දකින්නෙ ඔහුව.)

චිත්‍රපටයෙ කතාව මූලිකවම මෙහෙම නමුත් මේ සිදුවීම් හැම එකක්ම අපිට දැකගන්න ලැබෙන්නෙ එක් ප්‍රධාන චරිතයක් කේන්ද්‍රකොට ගෙන. ඔහු තමයි බේලියන් නම් ප්‍රංස ජාතික තරුණ නයිට්වරයා. (බේලියන් නමින් හැබෑම නයිට්වරයෙක් උන්නත් ඔහුගෙ සම්භවය ගැන චිත්‍රපටයෙ දැක්වෙන කතාව ප්‍රබන්ධයක් පමණයි) බේලියන් මේ කතාවට සම්බන්ධවෙන්නෙ කොහොමද කියන කාරණාව චිත්‍රපටය නරඹලම ඔබ වටහගන්න. 

චිත්‍රපටයෙ දාර්ශනික හරය මූලිකව අපි දකින්නෙ බේලියන් නම් මේ අපූරු තරුණයා ගේ චරිතය තුළින්. හැඩහුරුකමෙනුත්, ක්‍රියාවෙනුත්  සමහර වෙලාවට සංකේතාත්මකව ඔහු තුළින් නිරූපණය වෙන්නෙ ජේසුස්වහන්සෙද කියල කෙනෙකුට හිතුණොත් පුදුමයක් නැහැ. ආගමේ නාමයෙන් තැනූ ගොඩනැගිලි වෙනුවෙන් මිනිස්සු එකිනෙකා මරාගත්තත් ආගමේ එන එක ගුණ දහමක් ජීවිතේ ඇතුළේ පැලකරගන්න කිසිකෙනෙකු උනන්දු නොවෙන බව ඔහු දකිනව. දෙවියන්වහන්සේගේ සැබෑම රාජ්‍ය පවතින්නේ ගඩොල් ගොඩක නොව පිරිසිදු හදවත සහ නිවැරැදි බුද්ධිය තුළ බව ඔහු දකිනව. දෙවියන්ගේ ශුද්ධ නගරයෙ අදටත් කිසිම සාමයක් නැත්තේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුර මේ කරුණු කාරණා ඇතුළෙ තියනව.

Kingdom of Heaven චිත්‍රපටයෙ බේලියන් ගෙ චරිතය නිරූපණය කරන්නෙ, ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපට මාලාවෙ ලෙගෝලස් ගෙ චරිතයෙන් ජනප්‍රියත්වයට පත් ඕලැන්ඩෝ බ්ලූම්. ඒ වගේම ලියම් නීසන්, ජෙරමි අයන්, එඩ්වර්ඩ් නෝර්ටන්, මයිකල් ෂීන්, එවා ග්‍රීන්, ඩේවිඩ් තියුලිස් වැනි ඉහළම ගණයේ රංගවේදීන් පිරිසක් මේ චිත්‍රපටයට දායක වී තිබෙනව. කලිනුත් සඳහන් කළ ආකාරයට Kingdom of Heaven කියන්නෙ දැවැන්ත පරිමාණයේ සිනමා නිර්මාණයක්. පුරාණ නගර බලකොටුවල පසුතල වගේම මහා යුද්ධ ප්‍රතිනිර්මාණය කර ඇති ආකාරය අති විශිෂ්ඨයි. බටහිර සහ මැදපෙරදිග කලාපයන්ට ආවේණික නාද රටා භාවිතයෙන් නිමැවුණු චිත්‍රපටයෙ පසුබිම් සංගීතයත් අමතක කරන්න බැරි එකක්. Kingdom of Heaven කියන්නෙ යුධ චිත්‍රපටයකට එහා ගිහින්, ආදරය, දේශපාලනය , ආගමේ සැබෑ හරය වැනි කාරණා ගැඹුරක් ඇතිව මතු කර පෙන්වන සිනමා නිර්මාණයක් බව කිවහැකියි.

ලෝකයෙ ප්‍රධාන ආගම් දෙකක් එකිනෙකට ගැටෙන ආකාරය මේ විදිහට සුවිසල් තිරයකට අරගෙන ඒම කොයිතරම් අවදානම් කටයුත්තක්ද කියන දෙය අමුතුවෙන් කිවයුතු නෑ. නමුත් ඒ අභියෝගය රිඩ්ලි ස්කොට් ජය ගන්නෙ බොහෝම සාර්ථකව. එක ආගමකට පක්ෂග්‍රාහී නොවී දෙපාර්ශවයෙම දුබලකම් වගේම ප්‍රබලකම් ඔහු චිත්‍රපටයෙන් නිරූපණය කරනව. විශේෂයෙන්ම තමන්ගෙ ආගම ගැන සෑහෙන සැලකිලිමත් වෙන මුස්ලිම් ජාතිකයන් මේ චිත්‍රපටය ගැන බොහෝම ප්‍රසංසාත්මකව කතා කර තිබෙනව.

අධ්‍යක්ෂ රිඩ්ලි ස්කොට්, චිත්‍රපටය බෙදාහැරීමේ සමාගම වුණ 20th Century Fox සමාගමට අවසානෙ බාර දෙන්නෙ පැය තුනකට මඳක් වැඩි ධාවන කාලයක් සහිත පිටපතක්. පැය තුනක තරම් දීර්ඝ චිත්‍රපටයක් නරඹන්න මිනිස්සු සිනමා ශාලාවට නොඑන බව තීරණය කරන සමාගම එය පැය දෙකකට අඩු කරන්නැයි අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලනව. ඒ තීරණයට එකඟ වෙන්න අවසානෙ රිඩ්ලි ස්කොට් ට සිදුවෙනව. 20th Century Fox සමාගම චිත්‍රපටය ප්‍රචාරය කරන්නෙ Gladiator අධ්‍යක්ෂවරයාගෙ නිර්මාණයක් විදිහට. සිනමාහලදි ප්‍රේක්ෂකයාට දැකගන්න ලැබුණේ දාර්ශනික හරය සෑහෙන්න සිඳ දැමූ action මාදිලියේ කතාවක්. ආදායම් අතින් එතරම් ලොකු සාර්ථකත්වයක් ලබන්න මේ නිසා චිත්‍රපටයට නොහැකි වෙනව. පසුව චිත්‍රපටයෙ පැය තුනක කාලයක් තිබූ Directors cut පිටපත එළිදැක්වුණා. Kingdom of Heaven චිත්‍රපටයෙ සැබෑම අත්දැකීම විඳගන්න නම් ඔබ මේ Directors cut පිටපත ම නැරඹිය යුතුයි.



Wednesday, April 12, 2023

ඒ කුඩා ළදැරිය...

ලැබුණොත් කාල යන්ත්‍රයක් 
ආපසු යමි
වසර ගණනක් ඈතට 
පොඩි බෑගයක් පිටේ එල්ලා
පාසැල් බසයෙ නැගී ගිය
පොඩි එකෙකු තුළට...

අම්මෙකුගෙ අතේ එල්ලී
පාසල් යන 
ඒ කුඩා ළදැරිය දෙස 
තව වතාවක් බලමි හොඳට...
දුර ඈතක දිදුළන
මළානික තරුවක එළිය දෙන
ඒ සෝබර දෑස ද,
මෘදු මල් පියල්ලක් බඳු
සුසිනිඳු ඒ මුහුණද,
සඳ එළියවන් ඒ
බිඳුණු සිනහවද,
තබාගමි මතකය තුළම..



Thursday, April 6, 2023

හිරු නැඟෙන රටේ පෙම් පුවතක්

1987 අවුරුද්දේ Haruki Murakami ජපන් භාෂාවෙන් 'Noruwei no Mori' no Mori' නමින් ලියා පළකල  Romance/ Erotic නවකතාව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වෙන්නෙ Norwegian Wood නමින්. මුරකාමි තමන්ගේ රටේත් පසුව ලෝකය පුරාත් අතිශ්‍යයින් ජනප්‍රියත්වයට පත්වෙන්න, ඔහුව ලේඛනයේ සුපිරි තරුවක තත්ත්වයට ඔසවා තබන්න විශාලම බලපෑමක් කරන්නෙ මේ කතාව.  Norwegian Wood නම එන්නෙ The Beatles බෑන්ඩ් එකේ Norwegian Wood (This bird has flown) සින්දුවෙන්. කතාව ආරම්භ වෙන්නෙත් මේ සින්දුවෙන්මයි. සින්දුවෙ තියන අමුතුම පාලු ගතිය කතාව පුරාම දැනෙන්න පටන් ගන්නව ඉන්පස්සෙ. තැනින් තැන වනරොදවල් පිරිච්ච තෘණ භූමියක ඇවිද යන දෙන්නෙක්ව මුරකාමි අපි ඉස්සරහට අරගෙන එනව මුලදිම. එකම අඳුරු මනෝභාවයකින් එකිනෙකාගෙන් වෙන්වෙන, නමුත් එයින්ම එකිනෙකාට බැඳිලා ඉන්න දෙදෙනෙක්. කතාව පටන් ගන්නෙ මේ වගේ කතාවකට හරියටම ගැලපෙන mood එකකින්. කොහොමත් මුරකාමි ගෙ කතා කීමේ කලාව ඇතුළෙ බටහිර සංගීතය, බටහිර සාහිත්‍ය වැදගත් තැනක් ගන්නව. එයාගෙ කතාවල තියන සින්දුවලින්ම හදපු ප්ලේ ලිස්ට් පවා යූටියුබ් එකේ තියනව. 

Norwegian Wood නවකතාව ගලායන්නෙ ටෝරු වතනබේ නම් ජපන් ජාතිකයෙක් ගුවන් යානාවකින් ජර්මනිය බලා යද්දි ඇහෙන නෝවේජියන් වුඩ්  සින්දුව එක්ක සිහිපත්වෙන අතීත මතක ආවර්ජනයක් විදිහ. අවුරුදු දහ අට දහනවය කාලෙ, ඒ කියන්නෙ 1960 දශකයේ, තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට ඔහු ඇසුරු කරන අය, මිත්‍ර සම්බන්ධකම් ඇති කරගන්න අය, ප්‍රේමයෙන් බැඳෙන චරිත කිහිපයක් එක්කයි කතාව ගොඩනැගෙන්නෙ. කිසුකි කියන්නෙ වතනබේ ගෙ මිත්‍රයෙක්. කිසුකිගේ ප්‍රේමවන්තිය නයෝකෝ. මේ තුන් දෙනා හොඳම මිත්‍රයින් බවට පත් වෙනව. තුන්දෙනාව දකින්න ලැබෙන්නෙ බොහෝම වෙලාවට එකටමයි. කිසුකි හදිස්සි සියදිවිනසා ගැනීමෙන් පස්සෙ නයෝකෝටත් වතනබේටත් ඉතිරි වෙන්නෙ තුන් දෙනා එකට ගත කළ මතකයන් පමණයි. ඒ කම්පනයත් එක්ක වතනබේ සහ නයෝකෝ නතරවෙන්නෙ එකිනෙකා අතර ප්‍රේමයක් ඇතිවෙන නමුත් ඇති වෙන්න ඉඩක් නැති තැනක.

මිදෝරි, වතනබේගෙ පන්තියෙම ඉගෙනගන්න ශිෂ්‍යාවක්. හදිස්සියෙම ඇතිවෙන මේ දෙදෙනාගෙ මිත්‍රත්වය දෙදෙනාටම එකිනෙකාව නැතිව බැරි තැනකට එනව. රේකෝ, නගසාවා, හත්සුමී මේ කතාවෙ තවත් අපිට මුණගැහෙන චරිත. තාර්කිකව මුල මැද අග ගැලපෙන සිද්ධි දාමයක් විදිහට හිතුවොත් අපිට කවදාවත් මේ කතාව තේරුම් ගන්න ලැබෙන්නෙ නෑ. නිශ්චිතව තැනකින් ආරම්භ වෙලා තව තැනකින් අවසන් වෙන සිදුවීම් මාලාවක් විදිහට මේකෙ ඇතුළෙ ලොකු දෙයක් නැහැ. නමුත් ඒ අවස්ථා අනුව චරිත වල හැසිරීම් ඔවුන් හිතන පතන දේවල් සහ ඔවුන් ගේ මනෝභාවයන් එක්කයි මේ කතාව අපිට තේරුම් ගන්න වෙන්නෙ. 

කතාව තේමාත්මක වශයෙන් මූලිකවම මතුකරන්න උත්සාහ කරන්නෙ මොකක්ද කියන දේ අපිට එකවර වටහගන්න බෑ.  බොහෝ විට මුරකාමි  කියන්න උත්සාහ කරන්නෙ ජීවිතය සහ මරණය අතර තියන අවියෝජනීය බැඳීම ගැන වෙන්න පුලුවන්. නැත්නම් අපි ලබන යම් අඳුරු අත්දැකීමක් එක්ක ඇතිවෙන අයහපත් මනෝභාවයන් ක්‍රමයෙන් වැඩිවර්ධනය වෙලා වඩාත් සංකීර්ණ තත්ත්වයක් දක්වා වැඩි වර්ධනය වෙන ආකාරය ගැන වෙන්න පුලුවන්. ඒත් බිඳුණු මතකයන් එක්ක ජීවිතය දරාසිටීම කියන කාරණාව කේන්ද්‍රීයවශයෙන් මේ කතාව ඇතුළෙ මතුකෙරෙනව කියල මම හිතනව. මොකක් හරි ලොකු ඛේදවාචකයක් එක්ක සමහර වෙලාවට ජීවිතේ අපි යන මාර්ගය දෙකට බෙදෙනව. එක පාරක් හැරෙන්නෙ ජීවිතය අතහැර දැමීම, ඒ කියන්නෙ මරණය දිහාට. ඒ පාර මීදුමකින් වැහිච්ච, නොපැහැදිලි එකක්. ඒ පාරෙන් එහා තියෙන්නෙ මොනවද කියන්න අපි දන්නෙ නෑ. අනිත් පාර ආපහු හැරෙන්නෙ ජීවිතය දිහාටම යි. නමුත් ඒ ජීවිතය ඛේදවාචකයට කලින් අපිට තිබුණ ජීවිතය එක්ක සමාන වෙන්නෙ නෑ. ඉන්පසුව අපිට උරුම වෙන්නෙ සුන්බුන් වෙච්ච මතකයන් ගොඩක් උසුලාගත්ත ජීවිතයකට. මතක කියන්නෙ අපිට කොහොම විදිහකින් වත් පලායන්න බැරි, ජීවිතේ වැදගත්ම අංගයක් බව මුරකාමිම වතාවක් කියා තිබෙනව. ජීවිතේ ගෙවා දැමීම වෙනුවෙන් වැය වෙන ඉන්ධනය තමා මතක කියන්නෙ. හරියට මුරකාමිගෙ කතා වල එන පරණ ලට්ට ලොට්ට පිරිච්ච ස්ටෝරු කාමර තියන නිවාස වගේ. මතක සටහන් උසුලාගෙන යන ජීවිතයක් කියන්නෙත් සංකේතීය වශයෙන් මෙහෙම ලොකු ස්ටෝරු කාමරයක් සහිත නිවාසයකට සමානයි. පොත ඇතුළෙ මුණගැහෙන ටෝරු, නයෝකෝ, මිදෝරි, රේකෝ.. හැම කෙනෙක්ම එහෙම චරිත. ඒ වගේම මේ කතාවේ හැමදෙයක්ම සිදුවෙන්නෙ හැට හැත්තෑව දශකවල ලෝකෙ පුරා උන්මාදයක් වගේ පැතිරගිය විප්ලවකාරී දේශපාලන වටපිටාවක පසුබිම්ව. කතාව ඇතුළෙ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ විප්ලවකාරී දේශපාලන ක්‍රියාකරකම් ඉදිරිපත් වෙන්නෙ විවේචනාත්මක දෘෂ්ටිකෝණයකින්.

බහුතර සමාජයෙන් ඈතට පලායන්න උත්සාහ කිරීම මුරකාමි ගෙ කතාවල ස්වභාවයක්. ඔහු ගෙ කතාවල මුණගැහෙන චරිත බොහොමයක් පොදු සමාජය ඇතුළෙ ම ගැවසෙන නමුත් එයට සම්බන්ධයක් නැති, ඇතුළත ආත්මයට හැරුණු දුරස්ථ චරිත. ඒ නිසාම වෙන්න ඕන අදහස්වලින් පොහොසත් ජීවමාන සංවාද මේ කතාවෙ බහුලව දකින්න ලැබෙන්නෙ. බටහිර ගීත, නවකතා තමන්ගෙ කෘතින් ඇතුළෙ යොදා ගැනීම නිසා මුරකාමි ගෙ සාහිත්‍ය එක්තරා ආකරයට ජපානයෙන් පිටස්තර, ආගන්තුක ස්වාභාවයක් ගන්නව. ඒ සාහිත්‍ය දැඩිව ජපානයෙ පොළවට මුල් ඇදගත්ත එකක් නොවෙයි. මම හිතන්නෙ මේ ආගන්තුක ගතිය, එක්තරා ආකාරයකට මුරකමිගේ තරුණ කාලයේ පටන් ඔහු අත්දුටුව, ක්‍රමයෙන් බටහිරකරණය පැවති ලෝකයේ නිරායාස නිරූපිතයක් බව. ඒවගේම ලෝකය පුරා ඔහුගෙ නවකතා ජනප්‍රියත්වයක් ලබන්නත් හේතුවක් වෙන්න  ඇති ඔහුගේ කතාවල තියන මේ බටහිර නැඹුරුව.

කොහොම වුණත්, මුරකාමි මේ නවකතාවෙන් කැඩපතක් අල්ලනව අපේම අතුළාන්තයට. අපේම අවිඥානික ආශාවට. සම්මත ලෝකය ඇතුළෙ බැහැර කරන, නමුත් අපි තුළම සැඟවිලා තියන ඇතුල් සිත ක්‍රියාකාරන ආකාරය ඔහු පෙන්වාදෙනව අපිට. වැදගත්ම කාරණය, මට දැනෙන විදිහට, ජීවිතේ තියන මේ පීඩාකාරී ස්වභාවය ඇතුළෙ අපිට ගැළවීම තියන්නෙ අපි එකිනෙකාට දක්වන ආදරය ඇතුළෙ පමණක් බව මේ කතාවෙන් මුරකාමි අපිට කියනව. බැඳීම් එක්ක අපි අවංක වෙන තරමට, අපි හැම වෙලාවෙම අනෙකාට ඉහළින් සිටිය යුතුයි කියන මානය පැත්තකින් දාලා එකිනෙකාට උදව් කරගන්න තරමට ඒ බැඳීම් ඇතුළෙ සුවපහසු කම ආරක්ෂා වෙනබව ඔහු පෙන්වා දෙනව. වතනබේ ගෙ චරිතය ආශ්‍රයෙන් මෙය හොඳින්ම පැහැදිලි වෙනව. වතනබේ කියන්නෙ ලෝකෙට පේන්න Dont care වර්ගයේ High profile චරිතයක් නඩත්තු කරන්නෙක් නොවෙයි. ඔහු ජීවිතේ දුකත් සතුටත් ඒ ආකාරයෙන් බාරගන්න, අවංකව තමන්ගෙ හැඟීම් බෙදාගන්න, බොරු මවාපෑම් නැති මනුස්සයෙක්. ඔහුට ආකර්ශණය වෙන බොහෝ අය ඔහුට ආදරය කරන්න පටන් ගන්නෙ මේ ගති ස්වාභාවය නිසා ම තමා.

නෝවේජියන් වුඩ් කියන්නෙ කියවූ කෙනෙකුට ලේසියෙන් අමතක කර දමන්න බැරි කතාවක්. යථාර්ථවාදී රීතියකින් ලියා තිබෙන නිසා වැඩිවෙහෙසකින් තොරව කියවාගත හැකි කතාවක්. ප්‍රේමයත් ශෘගාරයත් මුහුවෙලා ගොඩ නැගුණු අපූරුම ජීවිත වියමනක්. මේ කතාවෙ මුණගැහෙන්නෙ ජීවයෙන් පිරි හැබෑම චරිත. ඔබටත් ඔවුන් එක්ක හැටේ දශකයට යන්න පුලුවන් වේවි. අවන්හල්වට, රෙකෝඩ් බාර්වල, දුම්රිය පොළවල්වල, නගරබද පටු මාවත්වල ඔබත් ඔවුන් එක්ක ඇවිද යාවි. තෘණ භූමිවල, අඳුරු වනපෙත්වල ඔබත් ඔවුන් එක්ක තනිවේවි. ඔවුන් අත්විඳින ආදරය, ශෘගාරය, විරහ වේදනාව ඔබටත් දැනේවි. නයෝකෝත්, මිදෝරිත්, වතනබේත් කතාව කියවන කාගෙ වුණත් හැමදාම මතකයේ හිඳීවි. 

ප.ලි. - මේ සිංහල පරිවර්තනයෙ භාෂාව සමහර තැන්වල ගැලපෙන්නෙ නැති බවක් දැනුණා. ඒ තැන්වල ඔරිජිනල් english text එකත් එක්ක කියවා බලන්න වුණා. රෙකමන්ඩ් කරන්නෙ පුලුවන් නම් ඔරිජිනල් English එකම කියවන්න.  ඒත් පරිවර්තනයත් overall ගැටලුවක් නෑ.



Tuesday, April 4, 2023

එන්න මේ දූපතට..

ඔබත් එන්න මහත්මයා..
මේ දූපතට..

ඍතුවෙන් ඍතුවට හිම මිදෙන
ගස් කොළ පවා හීතලෙන් ගල් ගැහෙන,
ඔබේ රටවල් වගෙ නොවෙයි..
තුන්සිය හැටපස් දවසේම 
අඩු නැතිව උණුහුම්ව
හිරු එළිය ලැබෙනවා අපිට..

මාරු වෙන්න දැන් මේ පාරෙන්
ඔබ කැමති තැන්වලින්
කහ ඉරක් ඇඳ තිබුණත් ඔය
පාරෙ පාලුවට..
ගණනකට ගන්නෙපා බිඳුවකට...

අතේ තබාගෙන ඇයි ඔය
හිස් බෝතල් තුණ්ඩු කැබලි ඔය තරමට?
විසි කර දමා කොහෙහෝ තැනකට..
නිදහස් වෙන්න එයින් ඔබ...
කැමති නම් තව
හොඳට හුස්මක් අරගෙන
කෙළ ගහන්න කාරලා පාරට..

කොයියම්ම හෝ මොහොතක 
ඉන්නට සිදුවුණොත් පෝළිමක
ඉන්නට එපා පසුබා..
ගන්න දහිරිය හිතට
ඉදිරියෙන් ඉන්නා මහ සෙනඟ
පෙරළගෙන වුණත් යන්න ඉදිරියට...

ඉහින් කණින් සෙනඟ උතුරන
බස් රියක හෝ දුම්රියක
එල්ලිලා පා පුවරුවේ යන විට
ඇඟ දැවටෙනා සුළඟ සනීපද කොයිතරමට...

අන්න ඒකයි මහත්මයා
ඔබට කිසිදාක නොතේරෙන
අප පමණක්ම හඳුනන
තුන්වන ලෝකයේ සැපත...



Sunday, March 19, 2023

Missing (2023)

ජූන් ඇලන් එයාගෙ තාත්තා ඉන්න අවසාන වීඩියෝව නැවත නැවත් බලන්න පුරුදු වෙලා හිටියා. මේ සිද්දිය කැමරාවක සටහන් වෙනකොට ජූන් ගොඩක් පොඩියි. අම්මාත් තාත්තාත් එයත් පවුලක් විදිහට එකතුවෙලා උන්න අන්තිම තැන තමා ඒ. මොකද ඒ වීඩියෝවෙන් පස්සෙ මොළයෙ රුධිර නාලයක් පුපුරල ජූන් ගේ තාත්තා මියගිහින්. තාත්තාගෙ වියෝවෙන් පස්සෙ ජූන් හැදී වැඩෙන්නෙ එයාගෙ අම්මා ලඟ. දැන් ජූන් අවුරුදු දහ අට කිට්ටුව ඉන්න තරුණ ගෑනු ලමයෙක්. හැබැයි දැන් නම් එයාට එයාගෙ අම්මව පොඩ්ඩක් වත් පේන්න බෑ. .මොකද අම්මගෙ වැඩේම ජූන් ගැන හොයල බලන එක. එයා යන්නෙ කොහෙද, ඉන්නෙ කාත් එක්කද ඔය හැම එකම අම්මට දැන ගන්න ඕන. තරුණ ගෑනු ලමයෙක් විදිහට තමන් ගේ නිදහස් ජීවිතේට මෙහෙම බාදා කරනවට ජූන් නම් කොහෙත්ම කැමැත්තක් දැක්වුවේ නෑ. 

ජූන්ගෙ අම්මගෙ අලුත් පෙම්වතා ඉන්දුනීසියානු ජාතික කෙවින්. දෙන්නම නිවාඩුවට කොලොම්බියාව බලා පිටත් වුණේ ජූන් ව බලාගන්න අම්මගෙ යාලුවෙක් සහ නීතීඥවරියක් වුණ හෙදර් ට බාරදීල. මේ ලැබුණ අවස්ථාවෙන් එයා උපරිම ප්‍රයෝජන ගන්නව. හෙදර්ට නොදැනෙන්න, යාලුවො එක්ක පාටි දාල, කාල බීල විනෝද වෙන ජූන් සතියකින් නිවාඩුව ඉවර වෙලා එන අම්මව එක්කන් එන්න airport එකට යනව. මුලු දවසම බලන් හිටියත් ජූන්ගෙ අම්ම එන්නෙ නෑ. කෙවින් ගේ ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එකේ අම්ම එක්ක ඇවිදපු තැන් ගැන පින්තූර ශෙයා වෙලා තියන හැටි ජූන් දකිනව. අම්මට කොයිතරම් කතා කරන්න හැදුවත් අම්මගෙ දුරකථනෙ වැඩ කරන්නෙ නෑ. කොලොම්බියාවෙ ඔවුන් නැවතිලා හිටිය හෝටලයට කතා කරාම ජූන් දැනගන්නව කෙවිනුත් අම්මාත් ගෙනා දේවල් එහෙමම තියෙද්දි දෙදෙනාම ආගිය අතක් හොයාගන්න බැරුව අතුරුදහන් වෙලා ඇති බව. ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්වල ඉඳන් හැතැප්ම ගාණක් ඈත, වැඩිපුර ඉංග්‍රීසි නොදන්නා මිනිස්සු ඉන්න රටක ජූන් එයාගෙ අම්මව කොහෙන් කියල හොයන්න ද. ඒත් ඈ තීරණය කරනව දන්න හැම ක්‍රමයම පාවිච්චි කරල අම්මව හොයාගන්න. ඇත්තටම ජූන් ගේ අම්මට වුණේ මොකක්ද? ඉතිරි කතාව දැනගන්න නම් බලන්න missing චිත්‍රපටය.

Missing කියන්නෙ සම්පූර්ණයෙන්ම ඩිජිටල් තිර මත සටහන් වෙන තොරතුරු මඟින්ම (video recording, video call, messages, social media) නිර්මාණය වුණු චිත්‍රපටයක්. ඒ කියන්නෙ චිත්‍රපටයෙ වෙන හැම සිදුවීමක් ම අපි දැනගන්නෙ ඩිජිටල් තිරයක සිද්දවෙන ක්‍රියාකාරකමක් හරහා. Screen life film විදිහට මේ වර්ගයෙ චිත්‍රපට හඳුන්වනව. මේ වර්ගයෙ චිත්‍රපටයකට හොඳම සහ සෑහෙන ජනප්‍රිය උදාහරණයක් 2018 ආව searching කියන්නෙ. මේකත් ඒ නිර්මාණකරුවන්ගේම වැඩක්. සංකීර්ණ සිදුවීම් මාලාවක් digital devices විතරක් යොදාගෙන ආපහු ගොඩ නගන්න නම් සෑහෙන නිර්මාණාත්මකව කතාව ඉදිරිපත් කරන්න සිද්දවෙනව. Missing චිත්‍රපටය මේ අභියෝගය ජයගෙන තියෙන්නෙ ඉතාම ඉහළින් බව කියන්න ඕන. 

ඊළඟට මොකද වෙන්නෙ කියන කුතුහලය උපරිමයෙන් රඳවාගෙන කතාව ගලායන්නෙ නරඹන්නන් කිසිසේත් නොසිතන අවසානයකට. ඒ වගේම ඒ කතාව ඇතුළෙ මතුකරන්න හදන අන්තර්ගතයත් සෑහෙන වැදගත්. වෙනස්ම ආකාරයෙ සින්මාත්මක ගොඩනැංවීමක් එක්ක හොඳම thriller අත්දැකීමක් ලබාගන්න පුලුවන් චිත්‍රපටයක් විදිහට ඉහළින්ම නිර්දේශ කළ හැකියි 2023 අවුරුද්දේ නිකුත් වුණ Missing චිත්‍රපටය.