ප්‍රේමයක පරමානන්දය පවතින්නේ ඒ ප්‍රේමය අයිති කරගන්න මොහොතක නොවෙයි. හිමිවීම වගේම අහිමි වීම ඇතුළෙත්, ප්‍රේමය වෙනුවෙන් හෙළන හැම සුසුමකම, කඳුළකමත් ප්‍රේමය පවතිනවා. විඳදරාගන්නා හැම රිදුමකම පවතිනවා. ඒ වෙනුවෙන් කරන හැම මග බලා හිදීමකම... මේ විදිහට තව බොහෝ දේවල් කියන්න පුළුවන්. ප්‍රේමයේ උපරිම උත්කර්ශය වෙන්නේ ඒ වෙනුවෙන් පැවතීමයි. ඒක ජීවිතය වැය කරලා දුක් වේදනා මැදින් උපයාගත යුතු යමක්. හිමිවෙන ප්‍රේමය පවා සැකසංකාවන්ගේ, අවිශ්වාසයේ, ඊර්ෂ්‍යාවේ සහ අහිමිවීමේ උවදුරින් මිදෙන්නෙ නැහැ. සැබෑ ප්‍රේමණීය පැවැත්ම මේ හැමදෙයක්ම මැද වුණත් නොමැරී හුස්ම ගන්නවා.
දැන්, මේ ප්‍රේම කතා නවතා මොහොතක් අපි එමු දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ යුරෝපයට. අපේ කතාවට පසුබිම හැදෙන්නෙ එතන. මේ යුගයේ ලෝක බලවතුන් අතර පැවතුණේ සීතල යුද්ධයක් (Cold War). අවි ආයුධ වලින් නොවුණත් උපාය මාර්ගිකව රටවල් එකිනෙක ගැටුණා. මේ කතාවට විෂය වෙන්න නියමිත පෝලන්ත රාජ්‍යයේ පැවතුණේ රුසියානු සෝවියට් සමූහය විසින් පවත්වාගෙන ගිය අධිපතිවාදී කොමියුනිස්ට් පාලනයක්. මේ වෙද්දී බර්ලින් තාප්පය ඉදිවෙලා ජර්මනිය දෙකඩව ගිහින් තිබුණ අවධිය. නැගෙනහිර කොටස කොමියුනිස්ට් රුසියාවත්, බටහිර කොටස නිදහස් ධනවාදී ඇමරිකාවත් පාලනයේ පැවතුණු යුගය. පෝලන්ත ජාතික වෛද්‍ය වික්ටර් නිදහස් බටහිරට පලායාමේ සිහිනය දුටුකෙනෙක්. ඔහු දෙවියන් නොඅදහාපු, වයසින් වැඩිමහල්, හැඩිදැඩි අයෙක්. ඔය රටේම ජීවත් වුණා සූලා නම් ළාබාල නාටිකාංගනාවක්. ඇය තදින් දෙවියන් අදහපු කෙනෙක්. මොකක් හෝ දෛවයෝගයකින් සූලා සහ වික්ටර් එකිනෙකා මුණගැහුණා. අහසයි පොළවයි වගේ වෙනස් මේ දෙන්නා හිතාගන්න බැරි විදිහට ආදරෙන් බැඳිලා විවාහත් වුණා. (විවාහ වෙද්දී සූලාට වයස දාහතයි.) ඒ දෙන්නට ලැබුණ දරුවා පාවෙල්. පාවෙල් ගේ අම්මයි තාත්තයි ගෙව්වේ රණ්ඩුසරුවල් වලින් පිරිච්ච විවාහයක්. මේ ගැටීම් කොච්චර දුර ගියාද කිව්වොත් දෙන්නා දික්කසාද වෙනවා. නමුත් කිව්වට විශ්වාස කරන්න මෙහෙම වෙන්වෙලා ගිය වික්ටර් සහ සූලා පස්සෙ කාලෙක ආයෙ මුණගැහිලා ආයෙත් විවාහ වෙනවා. ආයෙත් සුපුරුදු විදිහට දෙන්නා දෙමහල්ලෝ තරහ වෙලා වෙන් වෙලා යනවා. ආයෙත් ළං වෙනවා. මෙහෙම කිහිප වතාවක්ම මේ දෙන්නා වෙන් වෙලා ළං වෙන එක සිද්ද වෙනවා. තමන්ගේ අම්මාගෙත් තාත්තාගේත විවාහ ජීවිතය කියන්නේ "කෙළවරක් නැති ඛේදවාචකයක්" කියලා පාවෙල් පස්සෙ කාලෙක කියනවා. මෙන්න මේ පාවෙල් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලෙ දර්ශනවාදය සහ සාහිත්‍ය විෂයයන් හදාරන්න ගිහින් පස්සේ චිත්‍රපටි හදන්න පටන් අරගෙන අවසානෙ ලෝකෙ පුරා අවදානය දිනාගත්තු ප්‍රකට සිනමාකරුවෙක් බවට පත්වෙනවා. ඔහු තමයි පෝලන්ත සිනමාකරු පාවෙල් පව්ලිකොව්ස්කි. (පාවෙල් ගේ 2013 අවුරුද්දෙ ආව Ida චිත්‍රපටිය ඒ අවුරුද්දෙ හොඳම විදෙස් භාෂා චිත්‍රපටිය විදිහට ඔස්කා සම්මානය දිනාගත්තා. Ida බලලා නැති කෙනෙක් ඉන්නව නම් වහාම ඒක බලන්න. කතෝලික කන්‍යා සොහොයුරියක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න Ida නම් අනාථ ගැහැනු ළමයෙක් ගැන කතාවක් ඒකෙ තියෙන්නෙ. Ida ගැන මම ලිව්වද කියන්න මතක නැහැ. බොහෝ විට නැතුව ඇති. මට ඉතාම තදින් දැනුණු චිත්‍රපටියක්). පාවෙල් තමන්ගේ අම්මගෙත් තාත්තාගෙත් ප්‍රේමවෘත්න්තය පදනම් කරගෙන නමුත් ප්‍රධාන වෙනස්කම් කිහිපයක් එක්ක චිත්‍රපටියක් හදනවා. චිත්‍රපටියෙ ප්‍රධාන චරිත දෙක ඔහු නම් කරන්නේ තමන්ගේ දෙමව්පියන් ගෙ නම් වලින් ම යි. ඒ චිත්‍රපටිය තමා 2018 අවුරුද්දේ තිරගත වෙලා ඔස්කා වල විදෙස් භාෂා අංශයෙන් නිර්දේශයක් පවා ලබන Cold War චිත්‍රපටිය. Cold war ඔස්කා වලදී හොඳම අධ්‍යක්ෂණයට නාම නිර්දේශයකුත් ලබනවා. (Ida සහ Cold War දෙකම කළු සුදු මාධ්‍යයෙන් නිර්මාණය කළ චිත්‍රපටි දෙකක්. මේ දෙකෙම තිරයෙ ප්‍රමාණයන් (screen ratio) අපි බොහොම වෙලාවට දැකලා පුරුදු පරිමාණයන්ට වෙනස් හරිහතරැස් හැඩයකට කිට්ටු 4:3 අනුපාතයක්). Cold War කියන්නේ පසුබිමේ භූමි දර්ශන සහ පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පය වගේ අනුපානයන්ගෙන් සමන්විත වුණු යුරෝපියානු කලාත්මක සිනමාවටම අනන්‍ය සෞන්දර්ය උතුරන රූපරාමු වලින් නිර්මිත සිනමා කවියක්.
Cold War චිත්‍රපටිය ආරම්භවෙන්නේ 1940 දශකයේ පෝලන්ත රාජ්‍ය මැදිහත්වීමෙන් මසූර්කා නැටුම් කණ්ඩායමක් නිර්මාණය කරන්න ගමින් ගමට යන නිලධරියෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් සහ නැටුම් ගුරුවරියකගෙ දර්ශන මාලාවකින්. (ඔව් ඉවාන් පවුලූෂා සින්දුවෙ කියන්නෙ මේ මසූර්කා නැටුම ගැන තමා. මේක පෝලන්ත සංස්කෘතියෙ එන එක්තරා ගැමි නැටුම් විලාසයක්). මේ මැදිවයසේ ඉන්නා කඩවසම් සංගීතඥයා වික්ටර්. ඔහුට තමන්ට වඩා ළාබාල නමුත් කෙළිලෝල ගැමි තරුණිය සූලාව මුණගැහෙන්නෙ ඔය අතර. සූලා ඕනෑම ගල්ගැහුණු හදවතක් පවා උණු කළ හැකි තරම් උණුහුම් කඬහඬක් ඇති ගිනි පුපුරු විසිවෙන තරම් තියුණු ඇස් යුගලක් ඇති යුවතියක්. ඈ ඉස්සරහා ඔහුගේ හදවත දියවී යාම අරුමයක් නෙවෙයි. නමුත් එකිනෙකට නොපෑහෙන මේ හමුවීම කොහොම සිද්ධවුණු එකක් ද.. ඒක හරියට මේ ගඟ මේ දුරු කතර ගෙවා ඇයි මෙතැනින් සයුරේ වැටුණේ වගේ උත්තර නැති ප්‍රශ්නයක්.
සූලා සමග තමන්ගේ මුළු ඉදිරි ජීවිතේ ගෙවාදමන්න වික්ටර් සූදානම්. නමුත් ඒකට හරස් වෙන්නෙ ඇගේ රූසපුවත් නැටුම් ගැයුම් වලට ඈ පෙන්වන අසමාන දක්ෂකමත්. නාට්‍ය කණ්ඩායමේ රජයේ නිලධාරීයා ඇයට වහවැටිලායි ඉන්නෙ. කොහොමත් නිලධරිවාදයේ දඬු අඬුවට හිර වෙච්ච මේ රටේ ඔවුන්ට පැවැත්මක් නෑ. ඉතින් ඒ නිසා ජර්මනියේදි පැවැත්වෙන නාට්‍ය දර්ශනයක් අවසානයේ වඩා නිදහස්කාමී ප්‍රංශයට පලායන්න ඔහු යෝජනා කරනවා. ඇයත් ඒකට කැමති වෙනවා. කතා කරගත්ත විදිහට එක්තරා පාලු වීදියක හිම වැටෙන සීතලේ ඇය එනතුරු ඔහු මග බලා ඉන්නවා. ඔහු මුළු දවසක්ම බලා ඉන්නවා. ඒත් ඈ එන්නෙ නෑ. ඔහුත් සමග එන්න ඇය කැමති වුණත් යම් හේතුවකට ඒ ගමන වැළකෙනවා. අනික හොරෙන් පැනලා යන්න ගිහින් මේ නිලධාරීන් ට අහුවුණොත් ලැබෙන දඬුවම සුළුපටු එකක් වෙන්නෙ නෑ. වැදගත්ම දෙය දැන් ඇයට ගායිකාවක්, නිළියක් විදිහට තමන්ගේම ගමනක් තියනවා. ඉතින් තීරණාත්මක තැනදි ඇය ඔහුව අතහැරලා තමන්වම තෝරගන්නවා.
තනිවම ප්‍රංශයට පැමිණෙන සංගීතඥ වික්ටර් ජෑස් කල්බ් එකක පියානෝ වාදකයෙක් විදිහට වැඩ කරනවා. ඔහු හුදෙකලා වෙන්නෙ නැහැ, තවත් ගැහැනියක් සමග ඔහු විවාහවෙනවා. නමුත් කවදාක හරි කොයි මොහොතක හරි සූලා තමන්ව හොයාගෙන ඒවි කියන බලාපොරොත්තුව ඔහුගෙ හදවතේ තියනවා. දවසක, නොහිතූ විදිහට ඇය ඔහු හොයාගෙන එනවා. ඇයත් වෙන කෙනෙකු සමගින් විවාහකයි, ඇය එන්නෙ පැරිසියට ආව වෙලාවක ඔහුව බලලා යන්නයි. නමුත් දෙන්නාගෙම හදවත් ඇතුළේ පැරණි ප්‍රේමයේ ගිනි පුපුර නොනිවී තවමත් දැල්වෙමින් තිබෙන බව දෙන්නාම තේරුම් ගන්නවා. කතාව මේ විදිහට ගලා යද්දී කිහිප වතාවක්ම ඔවුන් මුණගැහෙනවා ආයෙ වෙන්වෙනවා. නමුත් හැම වෙන්වීමේ කාලයක් අතරම ආදරය පමණක් අවසානෙ ඉතිරිවෙනවා.
ෆිල්ම් එක ඇතුළෙ අපි දකින ප්‍රේම වෘතාන්තය ප්‍රේමය ගැන තියන සම්මත නිර්වචනයන් සියල්ල පුපුරුවා හරිනවා. මෙහෙම ආදරය කරන්න පුලුවන් ද දෙන්නෙකුට කියන විස්මය දනවනවා. වික්ටර්ගේත් සූලාගේත් ප්‍රේමය වැඩෙන්නෙ එහෙම නැත්නම් ඔවුන්ට ප්‍රේම කරන්න සිද්ද වෙන්නෙ දහසක් බාධක මැද්දේ. එක පැත්තකින් ඔවුන්ව වටකරගෙන ඉන්න දේශපාලන හස්තය. ඇය පසුපස්සෙ එන රජයෙ නිලධාරින්. තවත් පැත්තකින් ඔවුන් දෙන්නාම එකිනෙකා ගැන තියන සැක සංකාවන්, ඊර්ෂ්‍යාවන්, වෛරකරගැනීම්, දෙදෙනාම ඇතිකරගන්න තාවකාලික වෙනත් සම්බන්ධකම්. පිටස්තර සතුරුකම් වගේම ඇතුලාන්ත එදිරිවාදිකම් මැද වුණත් ඔවුන් දෙන්නාගේ බැඳීම තවදුරටත් පැවතීම අරුමයක්. ඔවුන්ගෙ ආදරය එක මොහොතක දී මල් පිපෙන තැනිතලා බිමක් වුණත් අනෙක් මොහොතේ ඒක අරගල භූමියක්. වෙඩි උණ්ඩ සහ තුවක්කු වෙනුවට ඇස් යට ඇවිලෙන ගින්දරෙන් සහ සීතල දෙතොල් පෙති වලින් කරන අරගලයක්. ප්‍රේමයේ සැනසීමත් වියරුවත් එකට මුණගැහුණ උන්මාදයක්. එක්තරා ආකාරයක සීතල යුද්ධයක්.
.
.
ප.ලි : දෙවනි ලෝක යුද්ධයෙන් පස්සෙ පෝලන්තය ගැන වැඩිදුර විස්තර කෙනෙකුට දැනගන්න අවශ්‍ය නම් පෝලන්තයෙ මහා සිනමාකාරයෙක් වුණ ක්‍රිෂිෂ්‍ටොෆ් කිසලොව්ස්කි එයාගෙ චරිතාපදානයෙ ඒ ගැන වැඩිදුරටත් කියා තියනව. ඒ පොත දිලීප ජයකොඩි මහත්මයා සිංහලට පරිවර්තනය කරලා පළකරලා තියෙන්නෙ "විශිෂ්ටය ක්‍රිෂිෂ්ටොෆ්" නමින්. කිසලොව්ස්කි සිනමාකාරයෙක් වෙන්නෙ රජය තමන්ට අවශ්‍ය රූපවාහිනී වැඩසටහන්, චිත්‍රපටි නිර්මාණය කරන්න ඒ ගැන උනන්දුවක් ඇති තරුණයන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළ යටතෙ. පස්සෙ මේ දේශපාලනය හින්දා කිසලොව්ස්කිට එයාගෙ රටින් යන්න වුණා. රුසියාවේ තර්කොව්ස්කි වගෙ කෙනෙකුටත් අයිති වෙන්නෙ ඒ ඉරණම. පසුකාලීනව තර්කොව්ස්කිට Nostalgia සිනමාපටය නිර්මාණය කරන්න උත්තේජනයක් ඇති කරන්නෙ පිටුවහල් ජීවිතයේ අමිහිරි අත්දැකීම.
