Tuesday, March 27, 2018

ඔබ කියන්නේ කොහොමද....


ඔබ කියන්නේ කොහොමද.

සීරුවට පිරිමදින කොට කැන්වසය
වර්ණවත් නොවේවිද
පින්සලය. 

තමන් තනි නොතනියට
පත්තුකරගත් පහනක් ද
ප්‍රදීපාගාරයෙ එළිය.

නැත්නම්
ගසද රස බලා
ඉතිරිවන මධු බිඳු ද
ලොවට බෙදනා එහි ඵලය.

ඒ වුණත්
කුණාටුව අවසන
ඔරුව එක්කම ගිලෙන එක
තමයි රුවලකට ඇති එකම සුවය. 

2017/03/27





Monday, March 26, 2018

සිසිරය


කල් බලා පත් වැරීමය
ගල් වුණා සේ හිඳීමය
අතු අගිස්සෙ නලියන
මල් කිණිති සඟවා ගැනීමය..

උස් ව ඉහළට වැඩීමය
හිස් වූ බැල්මෙන් බැලීම ය
සියොළඟ වෙලෙන මීදුමට
ඇස් පියාගෙන හිඳීම ය..

හිම පියලි කැටුව එන
මඳ පවන සිප ගැනීමය
කුරුල්ලෙක් වත් නොඑන
ඉපල් අතු පිරිමැදීමය... 

අලුත් දළුලන 
වසන්තය ගැන
මෙතෙක් දුටු හීන
හිස දරා සිටීමය..

හිම මිදුණ අත පය
හද උණුහුමෙන් රැකීමය
මේ සුවිසාල සිසිරය
ගස් උහුලාගන්නෙ එහෙම ය.






Friday, March 23, 2018

පිනි බිඳිති


මල් තලා සැනහෙනු නොරිසි
සිත් පුරා සුවඳකින් සැනසි
පෙති මතුයේ බැඳී නොබැඳි
හිඳිති කුඩා කුඩා පිනි බිඳිති.




Monday, March 19, 2018

දුම්රිය ඔබ මා නැවතුමට පැමිණි ..



දුම්රිය ඔබ
මා නැවතුමට පැමිණි ..

අතරමඟ ගිණියම් අව් රැසින්
ගම් දනව් අස දුහුවිලි දුමෙන්
මොහොතක් විඩාලනු පිණිස 
මා සෙවණේ රැඳුන..

එනමුදු
නතරවනු හැකි ද 
මේ කුඩා නැවතුම්පළ අසල
දුම්රියයි ඔබ
බොහෝ දුර යාමට 
නියමිතව තිබෙන..

නොතබා කිසිවක්
අඩි සළකුණකින් වත් යමක් 
මෙතැන 
යා යුතුයි ඔබ 
ඔබේ ගමන.




Friday, March 16, 2018

තණකොළපෙත්තාණනි මා මිතුර..



උදා හිරුරැස් සමග අළුයම්ව ඇහැර
සීත පිනි කැට විසුල තණ පියලි අතර
සිනිඳු පා පොඩි තබා ඇවිදිමන් නිතර
තණකොළ පෙත්තාණනි මා ගී ගයන මිතුර

වස්සාන වළාකුළු ගොඩ ගැසෙයි අහස් කොණ
තවත් අහරක් සොයා දුවයි කළු කුහුඹු රැළ 
ගිටාරේ තනු මැවෙයි මුදු සරින් සුසර කළ
අලුත් ගී පද ගොතා ගයයි නුඹ මියුරු ලෙස

නැති බැවින් ගොඩගසා අහර පොදි අහුරු
සිත තුටින් මේ ලෙසට ගයනවද මිතුරු
එහෙත් යම් දසුනකින් සසල වේ හද මැදුරු
කියාපන් මගෙ මිතුර ඇයි මේ ගිටාරේ කඳුළු ?





Wednesday, March 14, 2018

ජලය නම් ගලා යා යුතු..


ජලය නම්
උස් මුදුන් වල සිට
පහත් බිම් වෙත ගලා යා යුතු.. 

වියළි මුඩු බිම් සොයාගොස්
සිහිල් වතුරෙන් තෙමාහළ යුතු... 

පවසින් දැවෙන තුරු පතකට
අහසින් පැමිණ ඉසිය යුතු... 

ඉරි තැලී යන වැවක පතුලක්
පිරිමදිමින් පිරිය යුතු... 

නියංසායෙන් පෙළෙන පොළවක
සුසුම් සෝදා හැරිය යුතු... 

අවසන
අහස් කුස
වළාකුළු අතර මුසුවිය යුතු... 

ජලය නම් නිතරම
උස් මුදුන් වල සිට
පහත් බිම් වෙත ගලා යා යුතු...

2017/03/14




Monday, March 12, 2018

රොමාන්තික ඔපෙරාවකි ඔබ


රොමාන්තික ඔපෙරාවකි ඔබ
ආදරයේ සංධ්වනි වැයෙන
විඩාබර වයලීන හඬකින්
ඉඳහිට
දුක් ගීත ගැයෙන..

අසන්නෙක් මි මම
ඉදිරිපෙල..

2017/03/12




Tuesday, March 6, 2018

මතක සළුපිලි එකින් එක ලිහා දැමෙන සංකාබර වූ හැන්දෑ වරුවක දී ය.



හැන්දෑවේ හිරු මියැදෙන අඳුරු නිමේශෙක 
ගංගාවේ රළ ඉවුරක ගිමන් හරිනකොට
සංසාරේ හීන අහුරු ලිහී ගොසින් හිත
සංකාවේ රතු දළු පොඩි එතේවි බඳවට

උයනක සමුදුරු වෙරළක ළවැලි තලාවක
අවන්හලක බස්රථයක පිටුපස අසුනක
බොඳවුණු රූ සිතුවම් පට පෙළින් පෙළට ඇඳ
මතක කිමද තවමත් දැවටෙනුයේ හදවත

මීවිත මධු මායාවෙන් පැමිණ බොහෝදුර
සීතල බිඳුවක් එබේවි ජනේලයෙන් ගෙට
අතීතයේ කටු පඳුරේ සුසුම් කැකුළු සිඳ
ජීවිතයේ රෝස කුසුම පිපී එයිද හෙට

දවස පුරා ඇවිදිනකොට මග මරුවැල් මැද
පවස නිවන සුව ගෙනේද මිරිඟු වතුර පොද
පහන් තරුව හැන්දෑ අහසට එන මොහොතට
නිල් දෑසක එළි දිලේවි ඝන කළුවර බිඳ

වන්දනාව තවත් දුරයි යා යුතු හෙමිහිට
දෙපා රිදුම් දෙයි දිවියේ මහ ගිරිදඹ නැග
විඩා දැනෙන ළය මොහොතක් නිවා දමන්නට
ඔබේ එකම සිනා පොදක් අරගෙන එනවද..




Friday, March 2, 2018

රසකැවිලි පොඩිඋන්



අහම්බෙන් මෙන් වරක්
නගරයට පැමිණි දිනකදී
පොඩිවුන් පිරිසක් දිටිමි
පාසල ඇරුණු මොහොතක 

යම් අලුත් රස කැවිල්ලක් 
මිලට ගනු පිණිස 
එක්තරා වෙළඳසැලක 
පොරකමින් එක රෑනට...

එ දැක
ඉබේටම මෙන්
දිවගියා මතකය
අතීතෙට..

අපි ද
ඒ දිනවල
පොරකෑ අයුරු මතකය
වෙළඳසල් වල
යම් වෛවර්ණ රසකැවිල්ලක්
පැමිණි වග සැල වූ විගස..

මාපියන්
පරිස්සම් කර ගනු පිණිස දුන්
රුපියල දෙක වීසි කර
කට පුරා කඩචෝරු කෑ හැටි
මතකය එ දවස...

ඉන් පසුව
බොහෝ කල් ගතවී
දිවියේ සැතපුම් කණු පසු කර
පැමිණියද මෙතුවක් දුර
ඒ දඟකාර පොඩි එකා
වෙසෙනා බව දැනේ
තවමත් සිත තුළ
නොවිඳි මිහිරක් පතා
අලුත් රසකැවිලි සොයා
ලුහුබඳින ලෙස 
බලකරන..