Monday, June 29, 2020

දැනුණ තැන් තිබුණා ආදරය

රහසින් හෙමින්
මිමිණෙන කෙඳිරිල්ලක..
කොපුල් තලයේ 
විසිරෙන උණුහුම්ම හාද්දක..
අතැඟිලි පැටලිල්ලක..
මේ හැමට වැඩියෙන්
ආදරය දැඩිව
බොහෝ බරව
දැනුණ තැන් තිබුණා
පුංචි පුංචි විහිලුවලට
බඩ අල්ලන් මහ හයියෙන්
හිනා වුණ තැනක..
"ඔහොම කාල තව
මහත් වෙන්න හොඳටම"
කියූ සරදම් බසක..
කිසිදාක නොපැමිණෙන
කිසිදාක පැමිණෙතැයි නොසිතන
ඇමතුමක..
"ඔව් එයා තමා ඔයාට
ගැළපෙන්නෙ හොඳටම"
කියා යැව් පණිවුඩයක.



Friday, June 26, 2020

ඉරිදා හැන්දෑව

බැලු බැලූ අත ආකාසෙ
පේන තද නිල් පාට
බොඳ වෙන්න පටන් අරගෙන 
බිඳෙන් බිඳ සීරුවට..

ඈත වෙල් යාය මෙපිටින්
හිටගෙන ඉන්න පොල් ගස්
හිස සලයි හෙමින් සුළඟට 
රාස්සිගෙ අව්ව සිඹිමින්..

කොස් කොළ අතර හමනා
සුළඟෙ හඬ පමණයි
ඉඳ හිට ගිරවෙක් දෙන්නෙක්
කෑ ගසාගෙන පියඹයි..

කම්මැලි කමට නිදනා
සුනඛයෙකි මිදුලෙ හෙවණක
කලබලෙන් මෙන් කපුටෙක්
පියඹන්නෙ කුසගිනි දැනිල ද..

දැන් දැන් ඉර තවත්
කිට්ටුවෙයි පොල් රුප්පාවට
ගතේ උණුහුම මැඩගෙන
සිහිලසක් දැනේ සියොළඟ..

එහෙත් 
වචනෙන් කිව නොහැකි
සිතුවිල්ලක් අරක් ගෙන සිත පුරා
ගෙනෙනුයේ සාංකාවකි..

පිනි බිංදුවක් සේ උදෑසන
දියව යන්නේ දෑතට
ඉරිදා හැන්දෑවකි..

නවත්වාගත හැකි නම්
අතින් අල්ලා මොහොතකට
පමා විය හැකිනම් මඳක්
බැස යන්න පෙර හිරුට..

ඇයි මේ තරම් සංකා බර
ඉරිදා හැන්දෑව.



Thursday, June 25, 2020

කඳුළු සලන මාළුවෝ

වෙරළෙ ඉඳන් ටිකක් ඈතින් මුහුද මැද මතුවී තිබුණ ගල් තලාවකයි මං වාඩිවෙලා හිටියෙ. ඉර බස්නාහිර පැත්තෙන් අහස මුණගැහෙන සිතිජ රේඛාවෙදි සාගරය වැළඳගන්න සූදානම් වෙමින් තිබුණ මොහොතක් ඒක. මුහුදෙත් තිබුනෙ මහ මළපාලු නිස්සද්ද ගතියක්. මුහුදෙ රළ වැඩිපුර නැගුනේ නෑ. මහ කුණාටුවක් ඇතිවෙච්ච දවසකට එළියට ගන්න රැළි ටික මූද කොහෙ හරි හංගගෙන ඉන්නවාවත්ද?

හිටි ගමන් සද්දයක් ඇහුණ. මං වාඩිවෙලා හිටපු තැනට පොඩ්ඩක් එහාට වෙන්න මුහුද යටින් දිය බුබුලු වගයක් මතු වෙන්න පටන් ගත්ත. මං බලා උන්නෙ මේ මොකක්ද මේ වෙන්න යන්නෙ කියල හිතා ගන්න බැරිව. එක පාරටම එතනින් මතු වුණා කෙනෙක්. ඔව් ඒ දිය කිඳුරියක්. එයා පීනාගෙන වතුරෙන් ගොඩට ඇවිත් මං හිටපු ගල් තලාවෙ මට ටිකක් ඈතින් වැතිරුණා. එයා අපි පොත්වල දැකල තියනව වගේමයි කියල මට හිතුන. රාස්සිගෙ අව්ව පොල් රුප්පාවකට ඉහළින් වැටෙනකොට තියන පාටට කොණ්ඩෙ, රත්තරං හම, නිල් පාට ලොකු ඇස්, දේදුනු වගේ ඇහිබැමි, රතු පාටට හීන් තොල් පෙති, මත්ස්‍යයෙකුට සමාන ශරීරයෙ අනෙක් අර්ධය, ඒව එහෙමම තිබුණ. 

"මොකද ඔහොම කන්න වගේ බලං ඉන්නෙ" ... එයා ඇහුවෙ නං ටිකක් සැරෙන් වගේ.

"නෑ නිකං.." මම උත්තර දුන්නෙ ඒ පෙනුමත් එක්ක කතා කරපු ස්වරය නං ගැළපෙන්නෙ නෑ වගේ කියල හිතමින්.

"ඔයා නිකං බලාගෙන හිටියට මම ආවෙ හේතුවක් ඇතුව.. මම දැක්ක දැන් සෑහෙන වෙලාවක් ඔයා ඔතනට වෙලා දහඅතේ කල්පනා කරමින් ඉන්නව" ඒ පාර හඬේ සැර පොඩ්ඩක් බාල වෙලා.

"ඉතින්.."

"ඔව් ... මිනිස්සුන්ට නොදැනුණාට අපි එයාල ගැන සෑහෙන විමසිල්ලෙන් ඉන්නෙ"

"හරි ඉතින් ඇයි මට මේව කියන්නෙ?"

"මට පුලුවන් ඔයාට උදව්වක් කරන්න. මූද ගැන ඔයා අහන ඕනැම ප්‍රශ්නෙකට උත්තර දෙන්න. හැබැයි ඔයාට අහන්න පුලුවන් එක ප්‍රශ්නයයි. ඔව්, එකක් පමණයි"

"එහෙමද.. ම්ම්ම්... ඔව් මට තියනව අහන්න ප්‍රශ්නයක්.." 

මං කිව්වෙ කට කොණකින් පොඩි හිනාවක් දානගමන්..

"මේක මම කාලෙක ඉදන් හිතමින් ඉන්න දෙයක්. ඒක හැබැයි හරි හිනා යන ප්‍රශ්නයක්..."

"කමක් නෑ අහන්න"

"මේකයි... මූදෙ ඉන්න මාලු එක්ක නිතරම ඉන්න කෙනෙක් විදිහට ඔයා මාලුන්ව හොඳට අඳුරනව ඇති කියල මම හිතනව.. මට අහන්න ඕන මේක...මම දැකල නෑ කවදාවත් මාලුවෙක් අඬන හැටි..ඇත්තටම උන් අඬනවද?...ඒක තමා මගෙ ප්‍රශ්නෙ.."

"ඔයා මොන පදනමක ඉදන් ද ඔය ප්‍රශ්නෙ අහන්නෙ‍"

"ගලක් උඩ ඉදන්.."

එයා මහ හයියෙන් හිනා වුණා.. "හරි ප්‍රශ්නෙ ඇහුවෙ.."

"ඉතින් උත්තරයක් දෙන්නකො ඒකට..."

"ඔයා කොහොමද හිතුවෙ මාලු කවදාවත් අඬන්නෙ නෑ කියල ?"

"මම කවදාවත් දැකල නැති නිසා"

"දැකල නැති දේවල් කවදාවත් පවතින්නෙ නෑ කියල හිතන්නෙ එපා..."

"ඉතින් කියන්න මාලු කවදාවත් අඬනවද ඇත්තටම..."

"ඔව්..උන් අඬනව..සතුට දැනුනම හිනා වෙනව. වෙලාවකට මූද පතුලෙ ගල් පර අස්සෙනේ වේගෙන් පීනා යනව. තව වෙලාවකට කිසිම හැල හොල්මනක් නැතිව ගැඹුරේ අදුරු තැන්වලට වෙලා තනියම ඉන්නව. වෙලාවකට රංචුගැහෙනව. හැබැයි උන්ටත් දුක දැනෙනව. එතකොට උන් වැලිගොඩවල පෙරලි පෙරලි අඬනව. කතාවක් බහක් හැලහොල්මනක් නැතුව ඉඳන් අඬනව. හැබැයි උන් ඉන්නෙ වතුරෙ නිසා උන්ගෙ කඳුලු කාටවත් පේන්නෙ නෑ. උන් අඬන බව කිසි කෙනෙක් දකින්නෙත් නෑ. ලෝකෙට නොපෙනුණත් ඔයා විඳින බොහෝ දේවල් උනුත් ඒ විදිහටම විඳිනව. තමන් කිසිදාක හරියට නොදැකපු ජීවින් කොටසක් ගැන ඔහොම පටු විදිහට හිතන්න පුරුදු වෙන්න එපා.."

"හොදයි ඒක මම උත්තරය විදිහට බාරගන්නම්...බොහොම ස්තූතියි මම නොදන්න දෙයක් මට කියා දුන්නට." එයාගෙ "දිය කිඳුරු" දේශනාව අවසානෙ මම කිව්ව.

"අපිත් කැමති කෙනෙකුට උදව් කරන්න පුලුවන් නම්. ඒත් අපි වැඩිපුර කාටවත් පේන්න එන්නෙ නෑ . මොකද ඉන් පස්සෙ මිනිස්සු අපිවත් ඊතල වලින් විදල මරන්න පටන් ගනීවි. අපේ මාංස හූරගෙන රහ කරකර කන්න ගනීවි. අපිව අරං ගිහින් ඒගොල්ලන්ගෙ වතුර ටැංකි වල හිරකරල තියාගනීවි. කවුද කැමති එහෙම එකතැන හිර වෙච්ච ජීවිතයක් ගත කරන්න. අපි මිනිස්සු ලඟට එන්නෙ නෑ වැඩියෙ ඒ හින්ද."

 එයා එයා ගෙ මත්ස්‍ය වරල සලමින් කියාදැම්ම.

"ඒකත් ඇත්ත තමයි."

"ඔයාල හිතන් ඉන්නවට වඩා මූදු ජීවිතේ ගොඩක් වෙනස් බව ඔයාට දැන් තේරෙනව ඇති"

"ම්ම්  ඔව්..ඇත්තටම "

"එහෙනනම් ඒ ඇති. මම යනව‍"

එක්වරම දියට පැන්න එයා ඇස් පිල්ලම් ගහන පරක්කුවෙන් නොපෙනී ගියා.

මගේ හිතට විශාල සැහැල්ලු බවක් දැනෙමින් තිබුණෙ.. මට ලෝකෙටම ඇහෙන්න මහ හයියෙන් කෑගහන්න ඕන වුණා ඒ වෙලාවෙ .. ඒත් මම ගල් තලාව උඩම වාඩි වෙලා හිටිය..

මම ගල් තලාවෙ ඉන්කොට මම ඇතුලෙ හිටපු අනෙක් මම මගෙන් එලියට ඇවිත් මූදට පැන්න. මම ගල් තලාවෙ ඉඳන් බලා හිටිය. අනෙක් මම බැහැගෙන යන හිරුරැස් වැටිල රන් පාටට බබලන මූදු වතුර අස්සෙ ගිලිල මාලුවෙක් වගේ පීනාගෙන ඈතට නොපෙනී ගියා...



Wednesday, June 24, 2020

Bul Bul Can Sing (2018)

ඉන්දියානු සිනමාව කිව්ව සැණින්ම අපි හඳුනාගන්නෙ "හින්දි" භාෂාවෙන් චිත්‍රපට නිෂ්පාදනය කරන "බොලිවුඩ්" සිනමාව වුණත් ඉන්දියාවේ ඒ ඒ ප්‍රාන්තයට ඒ ඒ භාෂාවන්‍ට අදාළව වෙන වෙනම සිනමා කර්මාන්ත පවතින බව සිනමා රසිකයෙක් නොවුණත් ඕනෑම කෙනෙක් නොදැන ඉන්න විදිහක් නෑ. 

"බොලිවුඩ්" (හින්දි / අතීතයේ "බොම්බාය" නමින් හැඳින්වුණ මුම්බායි නගරය මුල් කරගෙන)

කොලිවුඩ් (දමිළ/ තමිල්නාඩුවෙ "කොඩම්බක්කම්" ප්‍රදේශය ආශ්‍රිතව)

මොලිවුඩ් (මලයාලම්/ කේරළය)

ටොලිවුඩ් (බෙංගාලි/ බටහිර බෙංගාලයෙ "ටොලිගන්ජ්" ප්‍රදේශය ආශ්‍රිතව/ තෙළිගු සිනමාවටත් මේ ටොලිවුඩ් නම යෙදෙනව)

(අගට "වුඩ්" කෑල්ලක් එන්නෙ "හොලිවුඩ්" ආභාෂයෙන් කියල හිතන්න පුලුවන්)

ශ්‍රීලාංකිකයින් විදිහට අපි අතරෙ වඩාත්ම ප්‍රචලිත ඉන්දියානු සිනමා කර්මාන්ත විදිහට හඳුනගන්න පුලුවන්.

ඈසෑම් භෂාවෙන් චිත්‍රපට නිශ්පාදනය කරන "ජොලිවුඩ්" සිනමාව මෑතක ඉඳන් යම් ප්‍රේක්ෂක ආකර්ශණයක් දිනාගනිමින් ඉන්න බව පේන්න තියන කාරණයක්. ඈසෑමියානු සිනමාව ඇතුලෙ ප්‍රවණතාවක් විදිහට හොඳ ගුණාත්මක භාවයකින් නිපදවුණ සිනමා නිර්මාණ කීපයක් ගැන අහන්න දකින්න ලැබුණ. ("ජොලිවුඩ්" යෙදුම එන්නෙ ඈසෑම් සිනමාවෙ පුරෝගාමියෙක් වුණ Jyoti Prasad Agarwala ආශ්‍රයෙන්) 

ඉන්දියාවෙ සිතියමක් අරගෙන බැලුවොත් දැක ගන්න පුලුවන් ඉන්දියාවේ නැගෙනහිර, ප්‍රධාන භූමියෙන් වෙන්ව, බංග්ලාදේශයෙන් එහාට පිහිටා තියෙන කුඩා භූමි කොටසෙයි ඈසෑමය පිහිටා තියෙන්නෙ. භූතානය, ඉන්දියාවේම ප්‍රාන්තයන් වුණු මෙඝාලය, අරුණාචල් ප්‍රදේශ් අතර පිහිටි භූමියක් ඈසෑමය. නමෙන් අදහස් වෙන්නෙ අසමතුලිත දේශය, කඳුකරය වගේ අර්ථයක්. තේ වගා කළ නිමක් නැති කඳු (ඈසෑමය තේ වගාවට ප්‍රසිද්ධයි), කොළපාට වනාන්තර, යායට පැතිරුණ වෙල් එළි.. ඈසෑමයෙ බහුලව දකින්න ලැබෙන දේවල් මේ. 

Bul bul can sing ඈසෑමියානු චිත්‍රපටය තිරගත වෙන්නෙ 2018 අවුරුද්දෙ. පිටිසරබද ගම්මානයක ජීවිතේගෙවන ඉතාම සුන්දර ගැහැණු ළමයෙක් වුණ Bul, ඇගෙ යෙහෙළියක් වුණු Bony සහ Sumu නම් තවත් යහළුවෙක් කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ. Bul සහ Bony ඉගෙනුම ලබන පාසලේම පිරිමි ළමුන් දෙදෙනෙක් සමග රහස් ප්‍රේමයක් පවත්වාගෙන යනව. Sumu වෙනස් තරුණයෙක්. ඔහු ගැහැණු ළමයින්ට ආකර්ශණය වෙන්නෙ නෑ. සාමාන්‍ය පිරිමියෙකුට වඩා ලාලිත්‍යවත් ස්වරූපයක් ඔහුගෙන් දකින්න ලැබෙන්නෙ. ඒ හින්ද පාසලෙනුත් සමාජයෙනුත් ඔහුට විඳින්න සිදුවෙන හිරිහැර අපමණයි. සදාචාර සහ විනය නීති වලින් දෙමව්පියනුත් සමාජයත් ඔවුන්ව හිර කර තබන්න හැදුවන් යෞවනයේ උතුරායන හැඟුම් ඒ සීමාවල් හඳුනන්නෙ නෑ. 

චිත්‍රපටය පුරා මම වින්ද දේ ඒ යෞවනත්වය ඇතුලෙ තියන නැවුම් කම. ජීවිතේ ලොකු බරක්පතලක් තේරෙන්නෙ නෑ. වෙලාවකට මහ බොළඳයි ඒත් ඒව ජීවිතේ තියන සුන්දරම අත්දැකීම්. ඒ සුන්දරත්වය මේ චිත්‍රපටයෙන් මම ඉහළින්ම වින්දා. චිත්‍රපටය වානිජ සිනමාවෙ ජනප්‍රිය ආකෘති වලින් බැහැරව, වඩා යථාර්ථවාදී සහ සිනමාත්මක ගුණය රැකගෙන කල නිර්මාණයක්. රඟපෑම් වල තියන ස්වභාවිකත්වය, ඇස් ගිනිකන වට්ටවන තරමේ සෞන්දර්ය පිරිච්ච කැමරාකෝණ, පසුතල.. මේ හැම දෙයක්ම චිත්‍රපටයෙ සාර්ථකත්වයට බලපාල තියනව. (Bul ගේ චරිතය රඟදක්වන ඒ නිළියගේ දඟකාරකම මුහුවුණ සුන්දරත්වය ලේසියෙන් අමතක නොවෙන එකක්. චිත්‍රපටය බලපු අය මේකට සාක්ෂි දරාවි). Bul bul can sing තිර රචනා කරමින් අද්‍යක්ෂණය කරන්නෙ ඉන්දියානු සිනමාවේදිනියක් වුණු Rima Das. "ජොලිවුඩ්" ඇත්තටම "ජොලිවුඩයක්" බව වටහගන්න එක උදාහරණයක් Bul bul can sing. ප්‍රධාන ධාරාවෙ සිනමාවෙන් වෙන්ව සහ වැඩි ජනප්‍රියත්වයකින් තොරව පැවතුණත් මේ "මැණික් කැට" වල වටිනාකම නම් අඩුවක් නෑ.



Monday, June 22, 2020

ප්ලෙටෝනික ආදරය

මොකක්ද මේ ප්ලෙටෝනික ආදරය ?

ප්ලෙටෝනික ආදරය නමින් හදුන්වන්නෙ බොහෝවිට ගැහැණියක් සහ පිරිමියෙක් අතරෙ ( සමාන ලිංගිකයන් අතරත් මෙය සිදුවිය හැකියි) මිත්‍රත්වය පදනම් කරගෙන අනුරාගයෙන් සහ රොමාන්තික බවෙන් තොරව ඇති වෙන දැඩි බැඳීම. විශ්වාසවන්තභාවය, එකිනෙකා ගැන අවබෝධය වගේම කැමති අකමැති දේවල්, ලෝකය, සමාජය සහ නොයෙක් කාරණා ගැන තියන අදහස් වල සමානත්වය තමා මේ ප්ලෙටෝනික බැදීම් වලට මුල් වෙන්නෙ. 

එතකොට කොහෙන්ද මේකට ප්ලෙටෝනික යෙදුම එන්නෙ? මම අනුමාන කරන විදිහට ඒක මෙහෙම වෙන්න ඇති. ප්ලේටෝ කියන්නෙ බොහෝම සුප්‍රසිද්ධ ග්‍රීක දාර්ශනිකයෙක්. හැම වස්තුවකම පරමාදර්ශී එක් වස්තුවක් පවතින බව ප්ලේටෝ කියා තිබුණ. උදාහරණ විදිහට ගස් අරගත්තොත් සියලුම ගස් අතර කිසි අඩුපාඩුවක් නැති පරිපූර්ණ ගසක් කොහේ හරි පවතිනව. අනෙක් හැම ගහක්ම මේ පරිපූර්ණ ගහේ අනුපිටපත් බව ප්ලේටෝ කියනව. ඉතින් පරමාදර්ශි සහ පරිපූර්ණ යම් දෙයක් ගැන කියනකොට මේ "ප්ලෙටෝනික" යෙදුම බොහෝ වෙලවට භාවිතා වෙනව. අපි කතා කල මේ බැදීම් වලට ප්ලෙටෝනික නම යෙදෙන්නෙ වඩා පරිපූර්ණ සහ පරමාදර්ශී යන අර්ථයෙන්. සාහිත්‍ය ඇතුලෙදි ෂර්ලොක් හෝම්ස් සහ අයරින් ඇඩ්ලර්, ඉතිහාසයේ නම් ජවහර්ලාල් නේරු සහ එඩ්විනා මවුන්ට්බැටන් ආර්යාව, ඇල්බට් අයින්ස්ටයින් සහ මාරි කියුරි මේ ආකාරයේ බැඳීම් වලට උදාහරණ විදිහට අරගන්න පුලුවන්.

ප්ලෙටෝනික බැඳීම් වලදි අයිති කරගැනීමක් සහ හිමි වීමක් ගැන කියවෙන්නෙ නෑ. එය පදනම් වෙන්නෙ මිත්‍රත්වය මත නිසා. මිතුරන් අමුතුවෙන් ජීවිතයට අයිති කරගන්න අවශ්‍ය නෑ නෙ. ඒ බැඳීම් කොහොමත් මොන තත්ත්වයක් යටතෙදි වුණත් පවතිනව. 

ජීවිතය කොහොමත් අපහසුයි. පීඩාකාරීයි. එපා වෙන සුලුයි. ඉතින් එවැනි වෙලාවට ඒ අපහසුතාවන්වට මුහුණදෙන්න වචනෙන් කියන්න බැරි තරම් මේ බැඳීම් උදව් වෙනව.  කෙනෙක් ජීවතය ඇතුලෙ අනිවාර්යයනේ විඳගත යුතු ඉතාම සුන්දර අත්දැකීමක් විදිහට ප්ලෙටෝනික ආදරය හඳුන්වන්න පුලුවන්.



Friday, June 19, 2020

ඔයා කේට් වෙන්න..මම ලියෝ වෙන්නම්..

ඔයා කේට් වෙන්න
මම ලියෝ වෙන්නම්..

මහ සාගරේ මැද
දෙකඩකට කැඩී ගිලෙනකොට
ටයිටැනික් නැව
ඇස් වලින් කඳුළු හල හල
රඟනා ඒ රැඟුම් නරඹන 
මිනිස්සුන්ට
හිනා වෙමු අපි
තිරය පිටුපස්සෙ ඉඳගෙන....

දවසක
කිසිකෙනෙක් නොදකින
කිසිම කෙනෙකුට නොපෙනෙන
තැනකදි හමුවෙමු..

මූණට මූණ වාඩිවී ඉඳ
"ඉතින් මචන්" කියාගෙන
බීර අහුරක් බෙදාගෙන බොමු..

චිත්‍රපට ලෝකේ
ආගිය කතා අතරේ
හදවතේ ගැඹුරුම තැන්වල
මුලු ලොවට නොපෙනෙන්න
මුලු ලොවට නොදකින්න
වළ දැමුව සංවේදන
එකින් එක දිය කර හරිමු..

රඟපාන රඟුමකට
‍රතුපලස් මත්තේ
මෑනෙන කැමරා ඇස් වලට
පෙනෙන්නට තැවරූ හිනාවක
පිටුපස්සෙ හැංගුණු කඳුළු කැට
ඉවර වෙන තුරු අපි අඬමු..
අවසාන කඳුළත්
ගිලිහි පසු
ආයෙමත් හිනා වෙමු..

අවසානෙ
එකම එක වැළඳගැනුමකින්
වැළඳගෙන
ආපහු පැමිණි තැන්වලටම හැරී යමු..

පුළුවන් නම්..
පුළුවන් නම් විතරක්
ආයෙමත් දවසක
මෙන්න මේ විදිහට හමුවෙමු..

ඒ වෙනකන්
දෙනෝදාහක්
ඇස්වලට පේන්න රඟපාමු..

ඔයා කේට් වෙන්න
මම ලියෝ වෙන්නම්..



Thursday, June 18, 2020

වැළඳගන්න සිහින තදින්

Hold fast to dreams 
Poem by Langston Hughes 

වැළඳගන්න සිහින තදින්
වියැකේවි දවසක ඒවා..
තටු සිඳුණු කුරුල්ලෙකි ජීවිතය
පියාසැරිය නොහැකිය සිතු ලෙස..

වැළඳගන්න සිහින තදින්  
මියැදුණු පසුව ඒවා
නිස්සාර තැනිබිමකි ජීවිතය
සිසිරයේ රුදු සිහිලසින් හිම මිදුණ...

- Translated by hAsH-



Wednesday, June 17, 2020

Blue is the warmest color (2013)

ගහක් ලඟට ගිහිල්ල දැන් මට දැන් මලක් දෙන්න කිව්ව පමණින් ගහකට බෑ එහෙම මල් හටගන්වන්න. ඊට කලින් ගහ සාධක කීපයක් සපුරාගන්න අවශ්‍යයි. හිරු එළිය, ජලය, පොහොර, මේ දේවල් අවශ්‍ය පමණට ලැබෙනකොට ස්වභාවයෙන්ම ගහක් මල් ඵල දරන්න පටන් ගන්නව. ඒ මල රතුපාට ද, කහ පාට ද, නිල් පාට ද කියල තීරණය කරන්නෙ ගහ විසින්මයි. මේක සොබාදහමේ හරි අපූරු සංසිද්ධියක්. මිනිස්සු තුල ආදරය හටගන්නෙ මේ වගේ. ඊට අවශ්‍ය සාධක ලැබෙනකොට. ස්වභාවිකවම. ඉතින් යම් ළතෙත් බවක්, හෘදයාංගම බවක් නැති පොළවක කොහොමද ආදරය හටගන්නෙ? "ඔයාට මං ආදරෙයි" කියල කිව්වත් ඒක හදවතටම දැනෙන්නෙ නැත්නම් එතැන කොහොමද ආදරයක් පවතින්නෙ..

"ඇඩෙල්" උසස් පාසල් ශිෂ්‍යාවක්. ඇය හදාරන්නෙ සාහිත්‍ය. ඇය පොතට පතට කියවීමට කැමති, සම්භාව්‍ය සංගීතය ප්‍රිය කරන චරිතයක්. නමුත් ඇගේ පෙම්වතා මීට හාත්පසින් වෙනස්. ඔවුන් දෙදෙනා ඉන්නෙ සම්පූර්ණයෙන් වෙනස් ලෝක දෙකක. ඒ දෙදෙනාට බෙදාගන්න දේවල් තියනව නම් ඒ හරි අවමයෙන්. ඔහු ළඟ දි ඇයට ආදරය හෝ ඒ වැනි විශේෂයමක් දැනෙන්නෙ නෑ. ඇය ඔහුට ආදරය කරන බවත් ඔහු සමග සතුටින් ඉන්නා බවත් මවා පෙන්වන්න ඇඩෙල් උත්සහ කරනව. නමුත් ඉක්මණින්ම ඈ එයින් වෙහෙසට පත් වෙනව. ඒ අපූරු නිල්පාට කෙස් කළඹ ඈ දකින්නෙ ඔය අතරේ. ඒ නිල් පාට කෙස් කළඹේ හිමි කාරිය "එමා". එමා දුටු මොහොතේ පටන් ඇය ගැන ඇඩෙල් තුල ඇතිවෙනව ෆැන්ටසිමය බැඳීමක්. ඇඩෙල් එමා ගැන සිහින දකින්න පටන්ගන්නව. දවසක් මේ දෙදෙනා අහම්බෙන් මුණගැහෙනව. ඇඩෙල් ට වඩා වසර කීපයක් වැඩිමල් එමා චිත්‍ර කලාව හදාරන්නියක්. ඇඩෙල් වගේම පොතපත කියවන චරිතයක්. මේ දෙදෙනාට කතාබහ කරන්න සෑහෙන දේවල් තියන බව දෙදෙනාම සොයාගන්නව. දෙදෙනා එකිනෙකාට අදරය කරන්න පටන් ගන්නව. මනසිනුත්, සිරුරෙනුත් ඔවුන් එකිනෙකා බැඳෙනව. ඇත්තටම ඔවුන් දෙදෙනා ආදරයෙන් බැඳුනා ද. එහෙම වුණා නම් ඒ බැඳීම සදාතනික ද. 

Blue is the warmest color සාමාන්‍යයෙන් සිතුවම් කලාව ඇතුලෙ "නිල් පාට" සැලකෙන්නෙ ශීත වර්ණයක් විදිහට. නිල් වර්ණයෙන් සිසිලස නිරූපනය වෙන බවයි පොදු පිළි ගැනීම. ඒත් මේ සම්මතයන්ට එපිටින් කෙනෙක් නිල් පාට ඇතුලෙ සිසිලස වෙනුවට උණුසුම්ව දැනෙනව නම් ඒක ඒ අයගෙ වරදක් විදිහට හඳුන්වන එක කොයිතරම් සාධාරණ ද..?



Tuesday, June 16, 2020

Peppermint Candy (1999)

මරණය කියන්නෙ මේ ලෝකෙට කොහෙත්ම අලුත් මාතෘකාවක් නොවෙයි. ජීවිතය තියෙන්නෙ කොතැනද එතැන මරණයත් අනිවාර්යයෙන් පවතිනව. හැම කෙනෙකුටම තියනව නිශ්චිත මොහොතක් ජීවිතය අතහැර යන්න සිදුවෙන. එය බොහෝවිට සිදුවෙන්න ස්වභාවිකව තමන්ගේ කැමති, අකැමැති තෝරාගැනීමේ සීමාවන් පිටත. නමුත් සමහරු ජීවිතයෙන් සමුගෙන යායුතු බව තෝරාගන්නව. ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්වුණ කෙනෙක් එහෙම ජීවිතේ අතහැර ගියාම බොහෝ අය ඒ ගැන කතාබහ කරන්න පටන්ගන්නව. අර දිස්නෙ දෙමින් බැබලෙන ජීවිත ඇතුළේ තියන අඳුරු, වේදනාබර කතන්දර එළියට එන්නෙ ඒ වගේ මොහොතක. සියදිවි නසාගන්න හැම කෙනෙකුගේම කතාව මීට ලොකු වෙනසක් නෑ. හැමකෙනෙකුම ඇතුලතින් යම් දුකක් පීඩාවක් විඳිමින් ජීවත්වෙන්නෙ. මේ දෙවල් දරාගැනීමේ සීමාව ඉක්මවා යන තැනයි නොහිතූ විදිහට පුපුරායෑම සිද්දවෙන්නෙ.

Lee Chang-dong කියන කොරියානු සිනමාකරුවාගෙ Peppermint Candy චිත්‍රපටය නරඹල අවසන් වීමත්, නැගී එන බොලිවුඩ් තරුවක් වුණ සුෂාන්ත් සිං ජීවිතය හැරයාමත් මම අත්විඳින්නෙ බොහොම ලඟ ලඟ. අහඹු සිදුවීම් වුණත් මට මේ සිද්ධි දෙක සෑහෙන එකිනෙක සම්බන්ධයි. සුෂාන්ත් සිං ජීවිතයෙන් සමුගන්නෙ තමන්ගේම තීරණයකට අනුව සියදිවි නසාගෙන. Peppermint Candy චිත්‍රපටය ආරම්භවෙන්නෙ කතාවෙ ප්‍රධාන චරිතය වුණ Yangho වේගයෙන් ධාවනය වෙන දුම්රියක් ඉස්සරහ මුහුණට මුහුණ හිටගෙන ජීවිතය අවසන් කර දැමීමෙන්. සිදුවීම් දෙකම සියදිවි නසාගැනීම්. සුෂාන්ත් ඇයි ජීවිතයෙන් පලාගියේ කියන්න නිශ්චිත හේතුවක් අපි දන්නෙ නැහැ. නමුත් Yangho ගේ කතාව Peppermint Candy චිත්‍රපටයෙ පැය දෙකක කාලයක් පුරා දිගහැරෙනව. ඔහු සියදිවි නසාගන්න තැනට ආවෙ කොහොමද කියන්න චිත්‍රපටය පුරා අපිට ඉඟි ලැබෙනව. මනුස්සයෙක් හිතන පතන සිතුවිලි අනුව ක්‍රියාත්මක වෙන රටාව ගොඩනැගෙන්නෙ දිගුකාලීනව ජීවිතයේ ලබන අත්දැකීම් ආශ්‍රයෙන්. Peppermint Candy චිත්‍රපටයෙ වැදගත්කම මේ විදිහට ජීවිතය හැරයන මිනිස්සු ඒ දේට පෙළඹෙන්නෙ කොහොමද කියන්න අවබෝධයක් ලබාගතහැකි වීම. 

චිත්‍රපටය ආරම්භ වෙන්නෙම ප්‍රධාන චරිතය මිය යාමෙන්. එතැන ඉඳන් ක්‍රමයෙන් අතීතයට යන ආකාරයටයි චිත්‍රපටය ගලා යන්නෙ. ඒ කියන්නෙ චිත්‍රපටය ගලායන්නෙ අග සිට මුලට. චිත්‍රපටය අවසන් වෙන්නෙ ආරම්භයකින්. 
මිනිස් ජීවිතය ඉතාම සංකීර්ණයි. කෙනෙක් ජීවිතය ඇතුලෙ ගන්න තීරණ, කරන තෝරාගැනීම් ඇයි එහෙම කරන්නෙ කියල ඇහුවොත් බොහෝවිට ඒ දේවල් වලට දෙන්න එක් තනි සරල පිළිතුරක් නෑ. එකිනෙක බැඳුණු අත්දැකීම් සහ මානසිකත්වයන් අනුවයි බොහෝවිට මිනිස්සු දේවල් කරන්න පෙළඹෙන්නෙ. ඉතින් එක් මිනිසෙකුගෙ ජීවිතේ සංකීර්ණත්වයන් හද කම්පා කරවන ආකාරයෙන් නිරාවරණය කර පෙන්වීමයි Peppermint Candy චිත්‍රපටයෙන් සිදුවෙන්නෙ. ඒ වගේම මේ කතාවෙ මූලය 70 දශකයෙ කොරියාවේ පැවතුණු ඒකාධිපති මිලිටරි පාලන සමය වෙනතුරුම විහිදෙනව. කතාව ගොඩනැගෙන්නෙ යම් දේශ්පාලනික පසුබිමක් මතින්.

Yongho ජීවිතය නැති කරගන්න කම් ඔහුගෙ හිතමිතුරන්, ඔහු ආදරය කල අය කොහෙද හිටියෙ? ඇත්තටම එහෙම අය ඔහුට හිටියද? ජීවිතේ ඔහේ පුරුද්දට වගේ තරඟෙට දිව්වා මිස යමෙකුට සමීපව ආදරය කරන්න, අවංකව සහ හදවතට සමීපව මිත්‍ර බැඳීම් පවත්වාගෙන යන්න ඔහු අසමත් වුණා ද? 

නමුත් එක් කාරණයක් පැහැදිලියි. Yangho ජීවිතයෙන් සමුගන්න මොහොතෙ ඔහුගෙ මිතුරන් කීපදෙනෙක් ඔහුගෙ වටේ හිටිය. ජීවිතේ අඳුරු අගාධ පතුලට ඔහු ඇදවැටෙන කොට ඔහුගේ මිතුරන් අගාධය මතුපිට ඉඳන් කාබී ප්‍රීති වෙමින් හිටිය. කඩා වැටෙමින් තිබුණ ජීවිතයක් ඔවුන් අතර ඉන්න බව කිසි කෙනෙක් දුටුවේ නෑ. අකාලයේ මරු වැළඳ ගත්තෙ ගොඩගැනීමට හොඳටම ඉඩකඩ තිබුණ ජීවිතයක්.

මේ දවස්වල දිවිනසාගැනීම් ගැනම වැඩිපුර කියවන්න ලැබෙන නිසාමත් නොවෙයි ඒත් කෙනෙක් ජීවිතය ඇතුලෙ එක වතාවක් හරි නරඹන්න ඕන චිත්‍රපටයක් විදිහට මම Peppermint Candy හඳුන්වාදෙන්නම්.



Monday, June 15, 2020

Sense and Sensibility (1995)

1775 දෙසැම්බර් 16 වෙනිදා Jane Austin උපතලබන්නෙ එංගලන්තයේ හැම්ප්ෂයර් ප්‍රාන්තයෙ. පිරිමි ළමුන් හය දෙනෙක් සහ ගැහැණු ළමුන් දෙදෙනෙකුගෙන් සමන්විත වුණ පවුලේ දෙවැනියා වුණේ ඇය. Jane Austin ගේ වැඩිමහල් සහෝදරිය වුණ Cassendra පසුකාලීනව ඇයගේ ජීවිතයේ වඩාත් සමීපතම චරිතය බවට පත්වෙනව. මේ දෙදෙනාම කිසිදාක කවුරුන්හෝ සමග විවාහ නොවී තනිකඩව ජීවිතය ගෙවා දැම්මා. Jane ගේ දෙමව්පියන් ඉහළ අද්‍යාපනයක් ලැබූ අය. ඔවුන් තමන්ගෙ දරුවන්යත් හොඳ අධ්‍යාපනයක් ලබා දුන්න. Jane බොහොම තදින්ම පොත පත කියැවීමට යොමුවී හිටිය. ලිවීම ගැන Jane ගේ ආශාව දැල්වෙන්නෙත් ඇය කුඩා වයසෙදිම යි. 1787 - 1793 අතර කාලයෙ, ඇයට වයස අවුරුදු 12 පටන්, ලියවුණු කවි, කෙටි කතා පිරුණු සටහන් පොත් කිහිපයක් ඇගෙ මුල්ම ලිවීම් විදිහට හඳුනා ගැනෙන්නෙ. වචන 90,000 ටත් අධික ප්‍රමාණයක් මේ පොත් වල ලියැවී තියන බව කියවෙනව. ඇගෙ මුල්ම කෙටි නවකතාව වුණු Lady Susan ලියවෙන්නෙත් මේ කාලයෙදි, ඇයට වයස අවුරුදු 14 පමණ කාලෙදි. නමුත් 1871 වර්ෂය වනතුරු ඇය එය ප්‍රකාශයට පත් කරන්නෙ නැහැ. ලිවීම ඇගේ ජිවිතය සමග කොයිතරම් දැඩිව බැඳී තිබුණාද කියන කාරණය ඉන් පැහැදිලි කරගන්න පුලුවන්.

Jane Austen ඇගේ මුල්ම දිගු නවකතාව ලිවීම ආරම්භ කරන්නෙ 1796 දී. Elenor and Marianne නමින් ලියූ මේ නවකතාව ඇය 1811 දී Sense and Sensibility නමින් නිර්නාමිකව ප්‍රකාශයට පත් කරනව. ඇය තමන්ගෙ දෙවන නවකතාව Pride and Prejudice ලියන්නේත් ඔය අතරමයි. එය ප්‍රකාශනයට පත්වෙන්නෙ 1813 අවුරුද්දෙ. ඇගේ මේ මුල්ම නවකතා දෙකම සෑහෙන ජනප්‍රියත්වයක් ලබාගන්නව. ලේඛිකාවක් විදිහට ඇය පාථක, විචාරක මේ දෙඅංශයේම අවධානය දිනාගන්න සමත්වෙනව. ඇය ලිවීම වෙනුවෙන් ජීවිතයම කැප කළ තැනැත්තියක්. අධික වශයෙන් වෙහෙසීම නිසා ඇය නිතරම ලෙඩ රෝග වලින් පීඩා වින්දා. වයස අවුරුදු 41 දි ඇය Addison's disease, නම් දුර්ලභ ගණයේ රෝගී තත්ත්වය නිසා ජීවිතයෙන් සමුගත්ත. කෙටි ජීවිත කාලයක් ඇතුලෙ වුණත් Jane Austin බිහිකල කෘතීන් පාථකයන්ගේ ආදරය දිනාගන්නේ සියවස් ගණනකට පස්සෙ අදත් ඒ වගේම හෙටත් එකවගේ නොඅඩුවමයි. 

Jane Austin හේ කතා කලට බොහෝ විට පදනම් වෙන්නෙ පවුල ඇතුලෙ මානව සම්බන්ධතා, විවාහය, එංගලන්තයේ පිටිසර ගම්බද ජීවිතය වැනි කාරණා. ඇය රචනා කල කෘතීන් ලොව පුරා භාෂාවන් ගණනාවකට පරිවර්තනයවී තිබෙනව. ඒවා චිත්‍රපට, ටෙලි නාටක ගණනාවකටම පාදක වී තිබෙනව. ඇගේ මුල්ම දිගු නවකතාව Sense and Sensibility, ආශ්‍රයෙන් සහ ඒ නමින්ම නිමවුණු චිත්‍රපටය තිරගත වෙන්නෙ 1995 දී. 

Sense and Sensibility කතාවෙ කියැවෙන්නෙ ස්වාමියා අහිමි වුණු මවක් සහ ඇගෙ දියණියන් තිදෙනෙක් ගැන. වැඩිමහල් දියණියන් දෙදෙනා වුණ Elenor Dashwood සහ Marianne Dashwood වටා තමයි කතාව මූලිකවම ගොඩනැගෙන්නෙ. පියා අහිමිවෙන නිසා මේ පවුල ආර්ථිකමය වශයෙන් සහ සමාජය ඇතුලෙ පීඩාවට පත් වෙනව. ඉන් මිදෙන්න තියන මග මේ දියණියන් දෙදෙනා ඉක්මණින්ම විවාහ කරදීම බව මව කල්පනා කරනව. මුදල් අගහිඟකම් ඇරෙන්න ඔවුන්ට වෙන කිසිම අඩුපාඩුවක් නෑ. ඒත් ගැළපෙන, විශ්වාසවන්ත සහකරුවන් සොයාගන්නෙ කොහොමද. වඩා තැන්පත්, දයාබර Edward, ප්‍රේමණීය සහ විනෝදබර John, නිහඬ ගුප්ත චරිතයක් වුණ Brandon .. Dashwood පවුලේ ඉරණම විසඳෙන්නෙ මේ කවුරු අතින් ද. සිත් බිඳීම්, බැඳීම් අතර ගලායන ඔවුන්ගේ කතාව අපි චිත්‍රපටය පුරා දකින්නෙ.

Sense and Sensibility අධ්‍යක්ෂනය කරන්නෙ සුප්‍රසිද්ධ සිනමාකරුවෙක් වුණ තායිවාන ජාතික Ang Lee විසින්. Crouching Tiger Hidden Dragon, Life of Pi, Brockback Mountains, Gemini Man, Eat Drink Man Women ඔහු අතින් නිර්මාණය වුණ සිනමාපට. ඉතින් ඔහු කවුද කියල අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නෑ. චිත්‍රපටයෙ තිර පිටපත රචනා කරන්නෙ, Elenor ගේ චරිතය රඟදක්වන Ema Thompson විසින්මයි. ඇය මේ වෙනුවෙන් අවුරුදු පහකට ආසන්න කාලයක් වැය කර තිබෙනව. ඒ අවසාන පිටපත අත් අකුරින් ලියූ පිටු තුන්සිය පනහකින් සමන්විත බවයි කියන්නෙ. මේ වෙහෙස වෙනුවෙන් Ema Thompson ට නිසි ඇගයුම ලැබෙන්න 1996 වසරේ Oscar සම්මාන උළලේ හොඳම අනුවර්තිත තිරපිටපතට නියමිත සම්මානය ඇයට හිමි කර දෙමින්. ඒ අනුව ඇය හොඳම නිළිය (Howards End) සහ හොඳම තිර රචනය යන අංශ දෙකෙන්ම ඔස්කාර් සම්මාන දිනූ මුල්ම තැනැත්තිය බවට පත්වෙනව.

මේ තරම් වෙහෙසක් දරල කල නිර්මාණයෙ අවසාන ප්‍රතිඵලය ගැන කෙටියෙන්ම යමක් කියනව නම් කියන්න තියෙන්නෙ ඒක "එක මොහොතක් වත් ඇස් ඉවතට ගන්න නොහිතන" මට්ටමේ එකක් බව. එංගලන්තයේ පිටිසරබද දර්ශන තල වල සුන්දරත්වය, කතාවේ තිබෙන Classic ස්වභාවය, Kate Winslet, Emma Thompson, Alan Rickman, Hugh Grant මේ අයගෙ රඟපෑම්.. (විශේෂයෙන් අතිසුන්දර කේට්) මේ දෙවල් එකතු වුණාම දකින්න ලැබෙන දෙය ඒ තරම් ආකර්ශණය යි. Pride and Prejudice, Atonement, Jane Eyre, Little Women, Far From Madding Crowd වගේ Historical Drama වර්ගයේ චිත්‍රපට රස විඳින්න කැමති කෙනෙක් මේක මගහැර නොගත යුතු එකක්. මට ඒක ඉතාම සුන්දර අත්දැකීමක් බවට පත්වෙන්නෙ Sense and Sensibility මෑතකදි මම ආසාවෙන්ම රසවිඳිපු චිත්‍රපට අතරට එක් වෙමින්.



Friday, June 12, 2020

කැරළිකාරී නුඹ

කැරළිකාරී නුඹ
කැරළි කෙහෙරැළි නැතුවට

යාන්තම් හිනාවකටත්
නොපිට හැරවෙන
කෝළ රතු තොල් පෙති අගිස්සෙන්
පිනි හාදු වෙඩි උණ්ඩ වස්වන
කැරළිකාරී නුඹ
කැරළි කෙහෙරැළි නැතුවට
හදවතේ නගරේ
ස්නේහයේ මං මාවත් දිගේ
වීදි සටන් අවුලන..

ජීවිතේ ඔහේ
කාලයේ දිගු මාවතේ
ඇවිදිමින් සිතුලෙස
මග දෙපස
කෙටි තාප්ප පටු බිත්ති මත
ප්‍රේමේ විප්ලව කවි ගීත පබඳින..

ඉඟි බැළුම් මදහස් කැළුම් යට
සැඟවමින් රහස් පණිවුඩ
ඉඳ හිටක
මතකයේ සිතුවම් පටයක 
ඇඳෙමින් රූ රටාවක
ඉසියුම් කඳුළු වායුවෙන්
මගෙ ඇස් කෙවෙණි බොඳ කරන.

තප්පරෙන් පංගුවක ඉඩ ගෙන
දේදුන්නේ හත් පාට මුහු කර
හීන ලෝකේ සිතිවිලි විමානේ
පුරා බිතුසිතුවම් අඳින...

කැරළිකාරී නුඹ
කැරළි කෙහෙරැළි නැතුවට
හදවතේ ඇතුළු නගර මැද
ආලයේ රොමාන්තිකම අරගල 
සිදුකරන..



Thursday, June 11, 2020

ප්‍රදීපාගාරයෙ ඇස

මඟ ලකුණු හොයාගෙන
ආවත් ගොඩබිමට නැව
එළිය අඩුවක් නැත
ප්‍රදීපාගාරයෙ ඇස.



Wednesday, June 10, 2020

නොහඬනු මැනවි මා සොහොන අබියස

Do not stand at my grave and weep 

මා මළ පසු
නොහඬන්න මා සොහොන අබියස 
නොවෙසෙමි එතැන මම, නොනිදමි..
හිඳිමි මම
හමා එන සුළං රැල්ලක
සුසිනිඳු හිම පියල්ලක
අහසින් වැටෙන වැසි පොදක
සහල් පැසෙනා කෙතක
හිමිදිරියක නිහඬතාවේ
සියොතුන් අතර පියාසැරියේ..
මම වෙමි දීප්තිමත්ම තරුව අහසේ
කැකුළ, පෙති දිගහරින රහසේ
හාත්පස පැතිරි නිහඬතාවේ වෙසෙමි මම
සියොතුන් ගයන ගීතයෙහි ගැයෙමි
ඔබට හමුවන
හැම ආදරණීය දෙයක් තුළම
මම වෙසෙමි 
මා මළ පසු
නොහඬන්න මා සොහොන අබියස 
නොවෙසෙමි එතැන මම
නොමියෙමි.

Translated by Hashan Randika Dias



Monday, June 8, 2020

නාඳුනන කිරිල්ලී

ඇමතුම අංක 1.

- ගුඩ් මෝනිං සර්, සර්ගෙ නමට පාර්සලයක් තියනව ඩිලිවර් කරන්න. අපි තව පැයකින් වගේ අපි අවොත් සර්ට මේක ගන්න පුලුවන් නේ ද?

- ආහ් ඔව් පුලුවන්..
මම ගෙදරට එන විදිහ කියන්නම්. මම නම් දැන් ගෙදර නෙමේ ඉන්නෙ. මම කෙනෙක්ව එවන්නම්.

- හරි සර්...
...................................................

ඇමතුම අංක 2. 

- මේ අර එනවැයි කියපු එක ඇවිත්. ඔයාට පුලුවන්ද පොඩ්ඩක් ඉස්සරහට ගිහින් ඒක අරගන්න?

- හරි ප්‍රභාත් මම ඒක ගන්නම්..
...................................................

ප්‍රභාත් දුනුසිංහ සහ ශෙහාන් ප්‍රනාන්දු යන අය අතර ඇතිවූ මැසෙන්ජර් සංවාදයකින් කොටසක්...

- ඔව් මචං විශ්වය මටත් පොතක් එවල තිබ්බ ගෙදරටම.

- ඉතිං උඹ කියවන්න ගත්තද පොත? 

- අපොයි නෑ බං මට කොහෙන්ද ඕවට වෙලාවක්.. ගිය පාර බුක්ෆෙයා ගිහින් පොත් ගොඩක් උසස්ං අාවෙ චාපා හින්ද. එයා ඕව කියවනවනෙ බං මැරීගෙන. මට නං ආසාවක් නෑ ලොකුවට.

- මම නං කියවන්න ගත්ත පොත දැන් මැද හරිය යන්නෙ

- මොකක් ගැනද බං ඕකෙ තියෙන්නෙ?

- මේක මචන් සයන්ස් ෆික්ෂන් එකක් පොඩි ෆැන්ටසි ටයිප් එකකුත් තියනව. රොමෑන්ටික් සීන් එකකුත් යනව ඒ අතරෙ. දැනටනම් අවුලක් නෑ කතාව. කියවන්න පුලුවන් එකදිගට..

- ඇත්තට කවුද බං හිතුවෙ මේකා පොතක් ලියයි කියල. එෆ බී එකේ අකුරු කොට කොට හිටිය මිස.

- හැබැයි මූ නමක් හදාගත්තෙ ඔය එෆ් බී එකෙන් තමා..

- ඔව් ඒක ඇත්ත..

...................................................

චාපා ඉන්දීවරී සහ වාසනා ලක්මාලි නැමැති අය අතර සිදු වූ මැසෙන්ජර් සංවාදයකින් කොටසක්..

- මම ඔන්ලයින් ඕඩර් කරල ගෙන්නගත්තෙ ඔයත් අරගන්න..

- නෑ ඕක ලියපු විශ්ව මගේ හස්බන්ඩ් ගෙ හොඳ යාලුවෙක්. එයා ගෙදරටම කොපියක් එවල තිබ්බ.

- එහෙමද ෂෝක් නේ එහෙනම් ඔයා කියවන්න ගත්තෙ නැද්ද?

- පොඩ්ඩක් කියෙව්ව මං..

- කොහොමද කතාව.. අ.පො.ස වෙන එකක් නෑ නෙ ?

- නෑ නෑ ඒක හොදයි. ඔයා කියවලම බලන්නකො..

...................................................

විශ්ව වර්ණකුළසූරිය නමැති අය ඉරිදා "රිවිකිරණ" පුවත් පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකින්..

- ඔබ ෆේස්බුක් සමාජ ජාලය නිසා ලේඛකයෙක් වුණ අයෙක්. මම එහෙම කිව්වොත් ඒක නිවැරදියි නේද?

- නැහැ, ඇත්තටම ඒක වැරදියි. ෆෙස්බුක් අවකාශය අපිට ලියන්න ඉඩක් හදල දෙන බව ඇත්ත. ඒත් ලියන්න නම් ෆෙස්බුක් එකවුන්ට් එකක් විතරක් තිබිල මදි.. වැදගත් ම දේ තමා ලියන්න දෙයක් තියෙන්න ඕන. මුලු ලෝකෙට ඇහෙන්න කෑගහල කියන්න බැරි නමුත් ලිවීමක් ඇතුලෙ පමණක් මුදාහැරිය හැකි යමක් තියෙන්නම ඕන. ලිවීම පටන් ගන්නෙ එහෙම. මම ලියන්න පටන් ගත්තෙ මට එහෙම කාටහරි කියල ඉවර කරගන්න බැරිවුණ රිදුමක් ජීවිතේ තිබුණ හින්ද. ඒ දේවල් ලියන්න මම පෙළඹුනා. මට කියල පොඩි ඩයරියක් තිබ්බ ඉස්සර. මං ලිව්ව ඒකෙ. ඊට පස්සෙ ඒව නැවත නැවත කියවද්දි තව ඔපමට්ටම් කරල ගත්තම තව කෙනෙකුට කියවන්න යමක් තියන ලියවිල්ලක් බවට පත්කරගන්න පුලුවන් නේද කියල මට හිතුණ. ඒව මගේ ෆසබුක් එකවුන්ට් එක හරහා මුදාහරින්න මම පෙළඹුනේ එහෙම.

ඔබ කියනව ඔබව ලියන්න පෙළඹවුවෙ ඔබම වින්ද වේදනාවන් කියල. අපි හැම කෙනෙක්ම ජීවිතේ කටුක අත්දැකීම් විඳිනව නෙ. ඉතින් ඇයි හැම කෙනෙක්ම ලියන්න පෙළඹෙන්නෙ නැත්තෙ.?

මම හිතන්නෙ අපි ලිවීමට පෙළඹන්නෙ ඒ හේතුව නිසාම විතරක් නෙමේ. පොතපත කියවන්න අපිට තියන ඇබ්බැහි කම තමා ලිවීමේ ආසාව වැඩි දියුණු කරන්නෙ. රිදුමක් තිබුණ පමණින් ලියන්න බෑ. හැබැයි හැබෑම යමක් ජීවිතේ අත්විඳින්න ඕන. ඒක තමා අවශ්‍ය. මනස අවුලුවාලන තරම් දුක් ගින්නක්., හදවතේ අන්තිම පතුලම ස්පර්ශ කරන්න තරම් දැනෙන ප්‍රේමයක් නැත්නම් ඒ වැනි යම් දෙයක්.

- විශ්ව ගේ නවකතාව විද්‍යා ප්‍රබන්ධයක් විදිහට හැඳින්වූවට ඒක ඇතුලෙ ප්‍රේම කතාවකුත් අපි දකිනව. ඇත්තටම විශ්ව මේක විද්‍ය ප්‍රබන්ධයක්ද එහෙම නැත්නම් ප්‍රේම කතාවක් ද?

විද්‍යාව විසින් කරන්නෙ මොකක්ද කියල අපි වටහගන්න ඕන මුලින්. විද්‍යාව පැවැත්ම අරගන්නෙ වාස්තවිකව. අතට අරගෙන මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් විමසල ප්‍රත්‍යක්ෂ කරගන්න පුලුවන් දෙයක් විදිහට විද්‍යව ලෝකය දිහා බලන්නෙ. ඒ මේ කතාවෙ මතුපිට තලය. පැවැත්ම බවට පත්වීම තමා ප්‍රේමය කියන්නෙ. ඒක තමා ජීවිතේ ඇතුළු හරය. මගෙ කතාවෙ යටිපෙළත් ප්‍රේමය.

එ් කියන්නෙ විශ්ව පෙම්වතෙක් ද?

ඒ ප්‍රශ්නෙට මම උත්තරයක් නොදී ඉන්නම්..
...................................................

"නාඳුනන කිරිල්ලී" නම් ෆේස්බුක් ගිණුමක පළ කර තිබූ සටහනකි...  

ඔබව මුණගැසීම ජීවිතයේ කවර නම් වූ අසිරිමත් සිදුවීමක් දැයි මම තවමත් සිතමි. කිරිල්ලියක වූ මා හට අහස නම් නුහුරු නුපුරුදු තැනක් වූයේ නැත. නිදහසේ අත්තටු විදහා මම රිසිසේ පියා සැලීමි. මගේ ජීවිත තුල තිබූ ඒ සැනසීම සහනය මම නොඅඩුව අත්වින්දෙමි. ඒ අතර වසන්තය උදාවී ඒ අහස යට තුරුවැල් මලින් බර විය. හමා ආ මඳ පවන ගත දැවටී ගෙන ආවේ සිහිලසකි. එහෙත් ඒ මඳ පවනම නැවත කුණාටුවක් බවට හැරුණි. වසන්තයේ පිපි මල් වියැකී ගියේ නොසිතු පරිදේදෙනි. ඉන්පසු උදාවූයේ හිම මිදෙන බොහෝ කටුක වූ සීත සමයකි. මා ශීතලෙන් ගල් ව මියැදෙමින් සිටියෙමි. ඔබ ආවේ එවිටය. ඔබ ඒ රුදුරු හිම පියලි එකින් එක පිසදා හැරියේ ය. දරා ගත නොහැකි සිසිරයක ඔබ මට උණුහුම ගෙන ආවේ ය. ඔබ මුල් වරට දුටු දින මට අද මෙන් මතකය. ඒ උදෑසනම අවදිව වැඩට දිවීම මා හට එපා වී තිබූ සමයකි. මුණගැසෙන හිත්පිත් නැති අසහනකාරි මිනිසුන්ද, ඊර්ෂ්‍යාකාර ගැහැණුන්ද මා හට රාජකාරිය නොව ජීවිතයම එපා කර තිබුණි. ඒ අතර ඔබ ආවේ ය. මුල් වතාවේ ඔබ දුටු කළ මා හට දැණුන ඒ විදුලියක් වන් හැඟීම මම විස්මයට පත් කරලීය. ඔබ සිනාසෙන විට එහි රැවිටිකාර සැඟවුණු අරුත් ඇති බවක් මට දැණුනේ නැත. ඔබ සිනාසුනේ හදතිනි. එහි තිබුනේ අව්‍යාජ බව මිස අන් යමක් නොවේ. මා ඔබට ප්‍රිය වූයේ එතැනිනි. යමෙකු ගැන මට එලසින් දැනුන බවක් මතකයේ නැත. ඔහු ගැන පවා නැත. ඔහු ඉතාම තාර්කිකවද, බුද්ධිමත්වද කරැණු කාරණා වටහා ගැනීමට සමත් බව ඇත්තකි. එහෙත් ඔබ තුල ඔහුටත්, මට හමු වූ අන් යමෙකුටත් නොතිබු යමක් තිබුණි. ඔබටත් මටත් එකිනෙකා හා කතා බහ කරන්නට බොහෝ නිදහස ලැබුණි. ඔබ බොහෝ සේ පොත පත කියැවූ, සමාජයද මිනිසුන්ද වෙනස් විය යුතු යැයි සිතූ. සොබාදහමට ආදරය කළ කෙනෙකි. ඔබේ සිතිවිලි මට වටහාගත හැකි විය. මම ඒවාට ආදරය කලෙමි. අයිති විම, හිමි කරගැනීම අපහට උරැම නැති බව දැන සිටියෙමි. ඔබට කිසිදාක මගේ වන්නනට ඉඩක් තිබුණේ නැත. මගෙත් ඔහුගෙත් විවාහයට සියලු කටයුතු සූදානම් වී හමාරය. දැන් ආපසු හැරීමක් නැත. එහෙත් ඔබට ආදරය කිරීමෙන් මා වළක්වාලීමට ඒ කිසිත් සමත් වුයේ නැත. අප මුණගැසුණු සීමිත වාර ගණන මම මතකයට නොකැඳවමි. දැන් ඒවා වේදනාවක් මිස අන් යමක් මට නොගෙනෙන නිසා ය. අවසාන වතාවේදී ඔබ ඉතා මෘදු ලෙස මගේ නළලත සිපගත්තේය. ඉන් පසු මගේ කම්මුලද යළිත් දෙවරක්. ඒ මොහොත තවත් දිගු වූනානම් යැයි මම තවම සිතමි. නැවතත් ජීවිතයේ රිසිසේ පියඹා ගොස් තටු අහිමි වූ එකියක සේ කිසිදා නිමා නොවෙනා ඒ රිදුම හදවතේ දරා සිටිමි. එය කිසිදා සුව නොවන එකකි. ඔබ ඔහුව ද හඳුනන බව දැන මා පුදුම වූයේ නැත. ඒ වෙනුවට මම දුක් වුණෙමි. නැවත ඔබව මට දකින්න ලැබේවි. පැරණි කැලැල් නැවතත් පැරේවි. මා හිත හදාගත්තේ ආයෙත් ඔබ නොදකින්න ය. ඒත් තව වරක් හෝ ඒ සිනහව දකින්න ලැබේ යැයි මේ හදවත ආසාවෙන් පසුවන්නේය. දැන් ඔබ ඔබේ වේදනා පිට කර හරින්නට නවකතාවක් ලියා ඇත. මම එය කියැවීමි. ඔබ අපේ කතාව සියුම් ව එහි ලියා ඇත. මම හඬන්නද... සිනාසෙන්නද... මා දන්නේ නැත. එහෙත් වේදනා විදින්නේ ඔබ පමණක් නොව. මම මගේ වේදනාව පිට කර හැරීමට නවකතා කීයක් ලියන්න ඕනෑ ද... ඔබට තරම් ලස්සනට ලියන්න මට නොහැක..අනේ මම ඔබ වුණානම්..
...................................................

ඊට වසර දෙකකට පෙර ප්‍රභාත් දුනුසිංහ සහ චාපා ඉන්දීවරී යන අයගේ විවාහ උත්සවය දා..

- මේ ඉන්නෙ යාලුවෙ ටික චාපා. එකට ඉස්කෝලෙ ගිය එක පන්තියෙ හිටපු සෙට් එක. ඉන්න මං ඔයාට අඳුන්වල දෙන්නම්. මේ ඉන්නෙ සංඛ, මලිත්, අනුරාධ, ශෙහාන්, සමීර, රසික, විශ්ව..

- ආහ් එයාව මම දන්නව නෙ මම කිව්වෙ ඔයාට.

- එහෙමද මට මතකයක් නෑ නෙ. එන්න කට්ටියම ෆොටෝ එකකට ඉන්න.

- විශ්ව පොඩ්ඩක් චාපා ඉන්න පැත්තට ලං වෙන්න.

- පොඩ්ඩක් ලං වෙනව මනුස්සයො, ඇඟේ ගෑවුණා කියල මැරෙන්නෑ..

- මූගෙ ලැජ්ජාව බලපංකො.

- හරි ඔහොම්ම ඉන්න කට්ටියම

"ක්ලික්"
.



Wednesday, June 3, 2020

About Elly (2009)

ඉරාන සිනමාව ලෝකයෙ අවධානයට පත්වෙන්නෙ 80 දශකයෙ අග සහ 90 දශකයෙ මුල ඉඳන්. 1932 අවුරුද්දෙ පළමුවෙනි කතා නාද චිත්‍රපටය නිර්මාණය වීමත් එක්ක සිනමාපට බිහිවීම දිගින් දිගටම සිදුවුණත් කැපීපෙනෙන දියුණුවක් ඉරාන සිනමාව තුළ ඇතිවෙන්නෙ 80 අග පටන්. යුරෝපියානු කලාත්මක සිනමාවෙන් පන්නරය ලබල තමන්ගෙම අනන්‍යතාවක් සහිත සිනමාවක් බිහිකරගන්න ඉරාන සිනමාකරුවන් සමත්වුණා. මැදපෙරදිග මේ කලාපය නිතරම යුද ගැටුම්, දේශපාලන අවුල් වියවුල් වලින් පිරීගිය තැනක්. ඔවුන් ගෙ කලාව වැඩිදියුණු වෙන්නෙ එවැනි පසුබිමක. විශේෂයෙන් ඉරානය තුල තිබෙන දැඩි සංස්කෘතික නීති රීති හමුවේ මේ සිනමාකරුවන්ට තමන්ගෙ නිර්මාණ ඇතුලෙ යම් සීමාවන් පනවාගන්න බොහෝ අවස්ථාවලදි සිදුවුණත් ඔවුන් ඒ අභියෝගය ජයගන්නෙ ඉතාම නිර්මාණශීලීව.

අබ්බාස් කිරොස්තාමි, අස්ගර් ෆර්හාඩි, මජීඩ් මජීඩි වැනි අය ඉරාන සිනමාව ඉහළට මට්ටමකට අරගෙන එන්න දායක වුන සිනමාකරුවන් විදිහට හඳුනා ගන්න පුලුවන්. ලෝකයෙ තිබෙන ප්‍රධාන පෙළේ හැම සිනමා උළෙලකම මේ චිත්‍රපට ඇගයීමට ලක්වී තිබෙනව. 1998 අවුරුද්දෙ කිරොස්තාමිගේ Taste of Cherry සිනමාපටයට ප්‍රංශයෙ කාන්ස් සිනමා සම්මාන උළලේ පිදෙන ඉහළම සම්මානයක් වුණ palme d'or සම්මානය හිමිවෙනව. ෆර්හාඩි ගෙ The Separation, The Salesman චිත්‍රපට ඔස්කාර් සම්මාන උළලේ හොඳම විදෙස් භාෂා චිත්‍රපටවලට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම ඒ ජයග්‍රහණයන් උපරිම මට්ටමකට ගේනව. ජීවිතේ කටුක ස්වරූපය ඒ අයුරුන්ම සිනමාවට නගන යාතාර්ථවාදී සිනමාවක් විදිහට අපිට ඉරාන චිත්‍රපට හඳුනාගන්න පුලුවන්. විශේෂයෙන් ෆර්හාඩි වගේ සිනමාකරුවෙක් ඉරාන සමාජයෙ දැඩි සංස්කෘතික පීඩනය, පවුල ඇතුලෙ එකිනෙකා මත පැටවෙන අධිපතීන්වය, ඒ නිසා ඇතිවෙන මත ගැටීම් සහ මානසික බිඳවැටීම් තමන්ගෙ චිත්‍රපට වලට වස්තු විෂය කරගන්නව. ඔහුගේ About Elly චිත්‍රපටය තිරගත වෙන්නෙ 2009 අවුරුද්දෙ. ලොව පුරා ඩොලර් මිලියන හතක ආදායම් වාර්තාවක් එක්ක About Elly ඉතිහාසයෙ දෙවන වැඩිම ආදායමක් ඉපැයූ ඉරාන චිත්‍රපටය බවට පත්වෙනව. ප්‍රථම ස්ථානය හිමිවෙන්නෙ ෆර්හාඩි ගේ ම A Separation චිත්‍රපටයට. කලාත්මක අතින් වගේම ආදායම් අතිනුත් සාර්ථක සිනමා නිර්මාණන් බිහිකරගැනීමට හැකිවීම ඉරානය ලැබුව සුවිශේෂ ජයග්‍රහණයක්. 

නීති විද්‍යාලයේ එකට ඉගෙනුම ලබපු කීපදෙනෙක් තමන්ගෙ පවුල්වල අය එක්ක දවස් තුනක විනෝද චාරිකාවක් යමින් ඉන්නව. ටෙහෙරාන් නගරෙ ඉඳන් මුහුදුබඩ පළාතකටයි ඔවුන් ගමන් කරමින් ඉන්නෙ. ඔවුන් අතරෙ ඉන්න Sepideh (මේ පෝස්ටරයෙ ඉන්නෙ ඇය) තමන්ගෙ දියණියගේ පෙරපාසල් ගුරුවරිය වුණ Elly වත් මේ ගමනට අරගෙන එනව. Ahmed එන්නෙ ජර්මනියෙ ඉඳන්. ඔහු බිරිඳගෙන් දික්කසාද වෙලා ඉන්නෙ. Sepideh ගෙ අරමුණ Ahmed සහ Elly එකතුකරවීම. මුහුද ආසන්නයෙ නිවාසයක ඔවුන් නවතින්නෙ. දෙවනි දවසෙ කණ්ඩායමේ ගැහැණු පාර්ශ්වය අවශ්‍ය දේවල් තියෙන්නෙ කීපයක් රැගෙන එන්න නගරයට යනව. පිරිමි වොලිබෝල් ක්‍රීඩාකරමින් ඉන්නව. Elly දරුවන් තිදෙනා එක්ක වෙරළේ සෙල්ලම් කරමින් සරුංගල් යවමින් බොහොම කෙළෙදෙලෙන් පසුවෙන බව පේනව. එක දරුවෙක් මුහුදේ ගිලෙන්න යන බව පිරිමි කණ්ඩායම දැනගන්නෙ ඔය අතර. ඔවුන් ඒ දරුවා බේරාගෙන ගොඩට ගේන්න සමත්වෙනව. දරුවන් බලාගන්න ඔවුන් එක්ක නතර කර ගිය Elly පේන්න නැහැ. හැම දෙනෙක්ම ඇයව හොයනව. කිමිදුම් කරුවන් මුහුදේ කිමිදිලා ඇයව හොයනව. ඒත් Elly ගැන සලකුණක් වත් නෑ. Elly කවුද කියල යමක් දන්නෙත් ඇයව යන්තමින් හරි හඳුනන්නෙත් Sepideh පමණයි. විනෝද ගමන ගිය කණ්ඩායම Elly ගැන තොරතුරු හොයන්න පටන් ගන්නව. ක්‍රමයෙන් ප්‍රශ්නය තවත් සංකීර්ණ අතට හැරෙන බවක් පෙනෙන්නෙ. දවස් තුනක් විනෝදයෙන් ගත කරන්න පැමිණි කණ්ඩායමකට අවසානෙ මුහුණදෙන්න සිද්දවෙන්නෙ සිහිනෙන් වත් නොපැතූ අත්දැකීමකට.

ආරම්භයේ දි සිනාවන්ගෙන් පිරුණු නැටුම් ගැයුම් වලින් ප්‍රීතියෙන් උතුරායන ස්වභාවයක් ගත්තත් කතාව ක්‍රමයෙන් අඳුරු ස්වභාවයක් ගන්න හැටි නිරීක්ෂණය කරගන්න පුලුවන්. කතාව අවසන් වෙන්නෙ ඒ ඛේදජනක බව උපරිම තැනට ගෙනෙමින්. ෆර්හාඩි ගේ අනෙක් චිත්‍රපට වලත් ඔහු පවුලක් ඇතුලෙ, මිනිස් සම්බන්ධතාවන් වල ඇතිවන ගැටුම්කාරී තත්ත්වයන් ඉතා සූක්ෂමව සිනමාවට ගන්නව. ඒ තුලින් ඔහු නරඹන්නන් ඇතුලෙ ඇති කරන කම්පනය ඉතාම ප්‍රබලයි. ෆර්හාඩි ගේ හැම චිත්‍රපටයකම වගේ මේ ලක්ෂණය දැකගන්න පුලුවන්. මම හිතනව මේ චිත්‍රපටයෙ යටි පෙළ තුළ ඔහු මතුකරන්න උත්සහ කරන්න බැඳීම් වල තියන ආදරණීයබව, එකිනෙකාට දක්වන ගෞරවය, ආරක්ෂාකාරිබව වැනි දේවල් ගිලිහුණාම ඇතිවන කණගාටුදායක තත්ත්වය. ඒ කිසි දෙයක් ඔහු මතුපිට තලයෙදි නිරාවණය කරන්නෙ නෑ. මතුපිටින් අපි දකින්නෙ අභිරහස් විදිහට අතුරුදහන් වුණ තරුණියක් සොයාම ගැන කතාවක්. නමුත් "ඇය කවුද" කියල අපි වටහාගන්න තරමට "ඇයට වුණේ මොකක්ද" කියන කාරණාව ගැන අපි අවබෝධයක් ලබනව. හොඳ කලාකෘතියකින් කරන්නෙ නිතරම එය කියවන, නරඹන කෙනෙක් සිතන්න යොමුකිරීම. තමන්ගෙ අත්දැකීම් නැවත විමසමින් ජීවිතය ගැන අලුතෙන් සිතන්න පෙළඹවීම. ඒ තමා කලාකෘතියක කාර්‍ය. ඒ අනුව අස්ගර් ෆර්හාඩි ගේ About Elly චිත්‍රපටය ඉහළ ගණයේ කලාකෘතියක් බව නිසැකවම හඳුන්වාදිය හැකියි.



Tuesday, June 2, 2020

The Platform (2019)

මේක The Platform චිත්‍රපටය බැලුවට පස්සෙ මට හිතුණ දෙයක්. හිතන්න එකිනෙකා නාඳුනන මිනිස්සු දහ දෙනෙක් ඉන්නව. කවුරුහරි කෙනෙක් මේ අය ඉන්න තැනකට සල්ලි ගොඩක් ගෙනත් තියල මෙහෙම කියනව. "මේ මුදල් ඔක්කොම අයිති ඔබට. ඒනිසා තමන් කැමති ප්‍රමාණයක් මෙතනින් අරගන්න". ඉන්පස්සෙ මොකක් වේවිද. එතන තියන මුදල් ප්‍රමාණය හරියට ගැණල දහදෙනාම සමානව බෙදාගනී ද. නැත්නම් එකිනෙකා පොරකාගෙන තමන්ට අතට අහුවෙන අහුවෙන තරම් සාක්කුවලට පුරවාගනී ද. බොහෝ වෙලාවට මිනිස්සු හැසිරෙන විදිහ අනුව දෙවනි එක වෙන්න ඉඩ තියන බව හිතන්න පුලුවන්. මොකද අපි දැකල තියනව මිනිස්සු පෝලිම් වල පුලුවන් තරම් තමන් ඉස්සරහට යන්න හදන හැටි. බස් වල, කෝච්චි වල සීට් එකක් අල්ලගන්න පොරකන හැටි. අඩු වැඩි වශයෙන් අපි හැමකෙනෙකුම එහෙම තමා ගොඩක් වෙලාවට. හොඳ උදාහරණයක් පහුගිය දවස් ටිකේ කොරෝනා අවදානම මතුවෙන්න පටන් ගත්තු දවස් වල මිනිස්සු කඩ සාප්පු සුද්ද වෙන්නම බඩු ගොඩගහගත්ත හැටි. කෙනෙක් තමන්ට පුලුවන් මට්ටමෙන් දේවල් මිලදී ගන්න එක ගැටලුවක් නෙමේ. ඒත් එහෙම කරන්නෙ තව කෙනෙකුට අවශ්‍ය ප්‍රමාණය අහිමි කරමින්, සීමාව ඉක්මවා යමින් නම් ඒක ගැටලුවක්. අවස්ථාව අනුව ඒක සාධාරණ බව කෙනෙක් තර්ක කරන්න පුලුවන් ඒත් ඒක හොද ද, නරකද, ස්වභාවිකද කියන දෙයට වඩා මිනිස්සු එහෙම ක්‍රියා කිරීමෙන් වෙන ප්‍රතිඵලය දිහා බලන්න ඕන. මේ පරිභෝජනය කියන තැනදි, අනෙක් හැම තැනදිම වගේ මිනිස්සු ක්‍රියාත්මක වෙන්නෙ තමා පමණක් මුල් කරගෙන. මේක ගෝලීය වශයෙන් ආර්ථිකමය වශයෙන් බැලුවත් මේ අසීමිත උන්නතිකාමය, පරිභෝජනය නිසා පෘථිවියෙත්, පරිසර පද්ධතිවලත් පැවැත්ම අර්බුදයකට ගිහින් තියන බව නම් ඇත්ත. The Platform මේ කාරණය ඉතාම නිර්මාණාත්මකව සිනමාවට අරගත්ත චිත්‍රපටයක්.

මැදින් කුහරයක් තියන විදිහට, එකක් යට එකක් ගොඩනැගුව හිරගෙවල් සමූහයක් තියනව. හැම හිරකුටියකටම තියනව අංකයක්. පහළට කොයිතරම් හිරගෙවල් තියනවද කියන්න කවුරුවත් දන්නෙ නෑ, හැමදාම එකම වෙලාවට හිරගෙවල් වල උඩ ඉඳන් පහලට ගමන් කරනව කෑම මේසයක්. තමන්ගෙ කුටියට කෑම මේසය ආවම පුලුවන් තරම් කෑම මේසයෙන් අරගෙන කාගෙන කාගන යෑම හැම කෙනෙක් ම කරන්නෙ. ඒ හින්ද ඉහළ මට්ටම් වල ඉන්න අය කෑම මේසෙ උපරිම රස බුක්ති වින්දට ක්‍රමයෙන් පහළට යන්න යන්න ආහාර ප්‍රමාණය අඩු වෙනව. පහළම ඉන්න අයට ඉතුරු වෙන දෙයක් නැති තරම්. මාසයකට වරක් මේ හිරකරුවන් ඉන්න හිරකුටි මාරු කරනව. පහළ ඉන්න අය උඩ එනව උඩ අය පහළ යනව. කෑම මේසය එන වෙලාවට පහළ ඉඳන් ආව අය කෑම නොලැබුනු ඇරියස් අල්ලනව. ආයෙත් පහළට යන්කොට මොනවත් නෑ. මේ හිරකරුවන්ට තමන් කැමති ඕනෑම එක වාස්තුවක් පමණක් මෙතැනට අරගෙන එන්න පුලුවන්. පිහියක්, ලණුවක්, පුටුවක් වැනි දෙයක්. කිසි කෙනෙක් අරගෙන එන්න නොහිතපු දෙයක්, ඒ කියන්නෙ පොතක් අරගෙන එක්තරා හිරකාරයෙක් මෙතනට එන්නෙ ඔය අතරෙ. ඔහු අන් අයට සාපේක්ෂව වෙනස් චරිතයක්. ඔහුට ඕනැ කරනව කෑදර කම මුල්කරගත්ත මේ ක්‍රමය වෙනස් කරන්න. හැමෝටම සාධාරණව ආහාර ලබා දෙන්න. ඉතින් ඔහුගෙ මේ උත්සහය කොතනින්ද කෙළවර වෙන්නෙ?

The Platform චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ ස්පාඤ්ඤ භාෂාවෙන්. Sci Fi/ Thriller ගුණය මේ චිත්‍රපටයෙ ඉහළින්ම විඳගන්න පුලුවන්. සමහර දර්ශන බලා ඉන්නත් අපහසුයි. ස්පාඤ්ඤ බසින් නිපදවෙන Thriller චිත්‍රපට ගැන අමුතුවෙන් කිවයුතු නෑ නෙ. ඒ ශොනරයේ ඉතාම සිනමා නිර්මාණ ගණනාවක්ම නිර්මාණය වෙලා තියනව. සමූහයක් විදිහට මිනිස් වර්ගයා මේ මොහොතෙ මුහුණ දෙමින් ඉන්න ගැටලුවක් චිත්‍රපටයට වස්තු විෂය වෙලා ඇති බව පැහැදිලියි. වෙළඳ පොළ මුල් කරගත්ත ධනවාදී ආර්ථික ක්‍රමයක් ඇතුලෙ ඇතිවෙන සමාජ පංති විෂමතාවද මේ චිත්‍රපටයෙන් අපි දකින්නෙ ? ලිබරල්වාදි නිදහස් සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඇත්තටම පවතින යමක් ද? හැම කෙනෙකුටම සමානව සම්පත් බෙදීයන ක්‍රමයක් හදන්න පුලුවන් ද? පුලුවන් වුණත් ඒක කියන තරම් මානුෂික ද? චිත්‍රපටය නරඹන ඔබට හොයාගන්න ලැබේවි මේ ප්‍රශ්න වලට පිළිතුරක් නැත්නම් අලුතෙන් වෙනත් ප්‍රශ්නයක්.



Monday, June 1, 2020

Aamis (2019)

ආදරය කරනකොට කෙනෙක් නිතරම විශාල අවදානමක් අරගන්නව. ඒ තවත් කෙනෙකුට තමන්ගේ ජීවිතයට ඇතුළ් වෙන්න ඉඩහැරීමෙන්. තමන්ගේ සිතුවිලි අතර ඉඩක් වෙන් කිරීමෙන්. තමන් මුළු හදවතින්ම අනෙකා ලඟදි නිරාවරණය වීමෙන්. තමන්ගෙ ප්‍රබල කම් වගේම දුබල කම් මොනවද කියල දැනගන්න ඉඩදීමෙන්. ඒක අවදානමක් වෙන්නෙ තමන්ව විනාශ කර දමන්න වුණත් අනෙකාට ඉඩ ලැබෙන නිසා. ප්‍රේම සම්බන්ධතාවක් ඇතුලෙ කෙනෙක් තමන්ගෙම කොටසක් අනෙකා වෙනුවෙන් වැය කරගන්නව නම්  ඒ කැප කිරීම් අතුලෙ තමන් ජීවිතේ අහිමි වෙන කොටස නැවත ගොඩනගා ගන්න පුලුවන් එකිනෙකාගෙ උදව්වෙන් මයි. 

Aamis 2019 අවුරුද්දෙ ඉන්දියාවේ ඈසෑම් භාෂාවෙන් නිමවුණු චිත්‍රපටයෙ යටිපෙළ මම දකින්නෙ ඒ විදිහට. මතුපිට තලයෙ අපි දකින්නෙ මාංශ වලින් හැදු ආහාර අනුභව කරන්න පුරුදු වෙලා ඉන්න මැදිවයසේ විවාහක වෛද්‍ය වරියක් සහ වෛද්‍ය ශිෂ්‍යයෙක් අතර කතාවක්. මේක ටිකක් අමුතු කතාවක්. අමුතු කියන්නෙ බොහෝ දේවල් ඉතාම සංකේතරෑපීව නිරෑපණය කරල තිබෙන නිසා. වෛද්‍යවරිය මේ තරුණයා ඈ ට ගෙනත් දෙන මාංශ වර්ගයක් අනුභව කිරීමෙන් සෑහෙන තෘප්තියක් ලබන බව පෙන්වනව. එතනදි වෙන්නෙ ඔවුන් දෙදෙනා අතරෙ සිදුවන කායික බැඳීමක් සංකේත අනුසාරයෙන් පෙන්වීමක් ද, නැත්නම් ඔහු ඇසුරේ ඇය ලබන අසීමිත සහනයද එයින් පෙන්වන්නෙ. සාමාන්‍යයෙන් ඉන්දියානු චිත්‍රපටයක දකින්න නොලැබෙන තරම් සියුම් කලාත්මක බවකින් පිරුණු වගේම බොහෝ ඉතාම සිනමාරෑපීව කවියක් වගේ රහ කරමින් විඳගත හැකි සහ මඟ හැර ගත නොගත යුතු සිනමාපටයක් Aamis.