Showing posts with label කවුළුවෙන් එපිට ලෝකය. Show all posts
Showing posts with label කවුළුවෙන් එපිට ලෝකය. Show all posts

Saturday, February 21, 2026

"ඔහුව මරණ දණ්ඩයට පිරිහෙළනු ලැබීය, නමුත් ඒ මොහොතේ ඔහු ජීවිතය උගත්තේ ය."

මෙලොව ජීවත් වූ බොහෝම දාර්ශනිකයන්ට වැඩියෙන් ෆියෝදර් දොස්තොව්ස්කි මිනිස් සංවේදනාවන් අවබෝධ කරගත්තේය, ඒ ඔහුට ඒවා තුළින් ජීවත් වන්නට සිදුවූ බැවිනි.

වර්ෂ 1849 දී වයස 27 ක් වුණු දොස්තොව්ස්කිව අත්අඩංගුවට ගනු ලැබුවේ එවකට තහනම් කර තිබූ දේශපාලන අදහස් ගැන කතා කළ සාහිත්‍ය කණ්ඩායමකට ඔහු අයත් වී සිටි නිසාය. ඔහු ශාන්ත පීටර්ස්බර්ග් නුවර හිම මිදුණු සිරකුටියක සිරගත කෙරුණු අතර එහි සිටියදී වෙඩි තබා මරන්නට නියම කෙරුණි.


මරණ දණ්ඩනය ලැබෙන දා උදෑසන ඔහුගේ දෑස් බැඳ අවි අමෝරා ගත් සොල්දාදුවන් පෙළක් හමුවේ අවසාන තීන්දුව ලැබෙන තුරු සිටුවා තබා තිබුණි. අවසන් මොහොත කිට්ටු වෙද්දීම වාගේ පණිවුඩ කරුවෙක් පැමිණ ඔහුගේ මරණ දඬුවම සාර් රජතුමා විසින් අත්හිටවූ බව දැනුම් දුන්නේ ය. නමුත් රජතුමා මේ සමාව පිරිනමා තිබුණේ වඩාත් දුෂ්ඨ අරමුණෙන් යුතුව ඔහුගේ ආත්මය තවදුරටත් බිඳදමනු පිණිස ය. 


ඔහුට අවුරුදු හතරක් බරපතළ වැඩ සහිතව සයිබීරියාවේ සිර කඳවුරක ගෙවා දමන්නට සිදුවිය. ඔහුගේ දෙපා විලංගු වලින් බැඳ දමා තිබුණි. ඔහුට නිදන්නට සිදු වුණේ සොරුන් සහ මිනීමරුවන් සමග පිදුරු ගොඩකය. මෙහිදී ඔහුට නිදහසද, යහපත් සෞඛ්‍ය තත්වයද, සමාජ පිළිගැනීමද යන සියල්ල අහිමි විය. නමුත් වෙනත් යමක් ඔහු සොයාගත්තේ ය. එනම් දයාන්විත බවයි.


වඩාත්ම බිඳවැටුණු ආත්ම තුළ පවා දිව්‍යමය ආලෝක බිඳක් පවතින බව ඔහු දුටුවේ ය. සෑම මිනිස් හදවතකම යහපත සහ නපුර එක හා සමව වාසය කරන ආකාරය ඔහු දුටුවේ ය. අවසානයේ නිදහස ලැබුණු පසුව ඔහු ලියන්නට පටන්ගත්තේ හුදෙක් වේදනාවන් ගැන කරුණ කාරණා රැස් කරගත් මිනිසෙකු ලෙසින් නොව, එය මුහුණට මුහුණලා දුටුව මිනිසෙකු විලසින් ය.


මේ අත්දැකීම් ඔහු ලියූ සෑම වචනයක්ම හැඩගස්වනු ලැබීය. Crime and Punishment, The Idiot, Demons, The Brothers Karamazov — මේ සියල්ල බිහිවූයේ ඒ සත්‍යතාවයෙනි: එනම් නිදහස ලබාගත හැකි මාර්ගය වැටී ඇත්තේ වේදනාව හරහා පමණක් බවත් අඳුරුම හදවතකට වුවත් ආලෝකවත් වීමේ හැකියාව ඇති බවත් ය.


"මනා වූ බුද්ධියකට ද ගැඹුරු වූ හදවතකට ද වේදනාව සහ විඳවීම නිතරම අනිවාර්ය වෙයි" යනුවෙන් දොස්තොව්ස්කි වරක් ලිවීය. ඔහු දුර්භාග්‍ය සම්පන්න බව උත්කර්ෂයට නැංවූවා නොව, ඔහු පැවසුවේ වඩාත් ගැඹුරින් හැඟීම් අත්විඳීමට ද, සැබෑ ලෙසම ජීවත් වීමට ද නම් අවංක ලෙස දුක් වේදනාවන් බාරගත යුතු බවත් කුමක් වුවත් තවමත් ආදරයම තෝරාගත යුතු බවත් ය.


ඔහු කිසිදාක ධනවතෙකු වූයේ නැත. ඔහු ණය බරින් ද රෝගී තත්වයන්ගෙන් ද පීඩා වින්දේ ය. නමුත් ඔහුගේ වචන ඔහු ඉක්මවා තවමත් ජීවමාන ව පවතින්නේ ය. ඔහුගේ පොත් යනු හුදු නවකතා පමණක් නොව. ඒවා මිනිස් ආත්මයෙන් නැග එන පශ්චත්තාපයන් ය.


සමහර විට දොස්තොව්ස්කිගේ වටිනාකම තවමත් අඩු නොවී පවතින්නේ ඒ නිසා විය යුතු ය. මන්දයත් අන්ධකාරම කුටි තුළ ද, මරණයේ මොහොතවලදී ද, මනුෂ්‍ය ආත්මයට තවමත් නැගී සිටිය හැකි බවත්, තවමත් සමාව දිය හැකි බවත්, තවමත් ආදරය කළ හැකි බවත් ඔහු අපට සිහිපත් කර දෙන බැවිනි.


"ඔහුව මරණ දණ්ඩයට පිරිහෙළනු ලැබීය, නමුත් ඒ මොහොතේ ඔහු ජීවිතය උගත්තේ ය."


ඔබ තවමත් ඔහුව කියවා නැතිනම් කරමසෝ සහෝදරයෝ කෘතියෙන් ආරම්භ කරන්න.

එය ගැඹුරු, මානුෂික සහ අමතක නොවන සුළුය.

තවමත් ඔහුට මිනිස් හදවත පිළිබඳ අධිපතිත්වය දරන්නා යැයි හඳුන්වනු ලබන්නේ ඇයි දැයි ඔබ වටහා ගනු ඇත.


Translated from the page "Classic Literature"




Monday, January 26, 2026

අරුත්සුන් වී ගිය පෙන්ගුයින්

 තම රැළෙන් වෙන්වී ඈතින් ඇති කඳුකරය බලා තනිවම ඇවිද යන හුදෙකලා පෙන්ගුයින් පක්ෂියෙකුගේ කෙටි වීඩියෝවක් 2026 අන්තර්ජාලය කැළඹවීය. සමාජ මාධ්‍යයේ දී "අරුත්සුන් වී ගිය පෙන්ගුයිනයා" නමින් හැඳින්වුණු මේ දර්ශනය හැඟීම් වලින් වෙහෙසට පත්වීමේ ද, තනිවම කැරළිගැසීමේ ද, ගැඹුරු චින්තනයේද සංකේතයක් වශයෙන් සැලකෙන්නට පටන් ගැනුනි. 

නමුත් මෙතැන සැබෑවටම සිදුවන්නේ කුමක්ද? මේ පෙන්ගුයිනයා පැවැත්ම ගැන අර්බුදයකින් පෙළෙන්නේ ද? විද්‍යාවෙන් මෙයට ලැබෙන පිළිතුර කුමක් ද?

ඒ ගැන විමසා බලමු

මේ විඩියෝව 2007 වසරේ ජර්මානු සිනමාකරුවෙකු වන Werner Herzog විසින් නිර්මාණය කළ Encounters at the End of the World නමැති වාර්තා චිත්‍රපටයෙන් උපුටාගන්නා ලද්දකි. මේ දර්ශනයේදී ඇන්ටාක්ටිකාවේ වාසය කරන Adélie penguin නම් විශේෂයට අයත් පෙන්ගුයින් පක්ෂියෙක් තමන්ගේ කොලනියෙන් වෙන්වී ඈතින් ඇති කඳුකර භූමිය වෙත ඇවිද යන ආකාරය දැක්වෙයි. එය ආසන්න වශයෙන් ප්‍රධාන භූමිය ඇතුළතට කිලෝමීටර 70 ක පමණ දුරකි.

ආහාර සහ ආරක්ෂාව සඳහා සාගරාසන්නව වෙසෙන අනෙක් පෙන්ගුයිනයන් මෙන් නොවී මේ තනි සත්වයා හුදෙකලා ගමනක යෙදෙයි. සාගරයේ ඇති ආරක්ෂිත බව හෝ යැපීමට ආහාර කිසිසේත් හමුනොවෙනා හුදෙකලා චාරිකාවක මේ පෙන්ගුයිනයා ගමන් කරයි. කඳු පර්වත, හිම සහ අයිස් මිස ඌට ඉදිරියෙන් වෙනත් යමක් හමුවන්නේ නැත.

ඒ වීඩියෝව බලා සිටින්නට අපහසු සහ වෙනත් අකාරයකින් අපට වඩාත් සමීපව දැනෙන්නේ ඒ නිසා ය.

අන්තර්ජාලයේ සැරිසරන්නන් සංකේතරූපී දේ වලට ඇළුම් කරති. මේ "අරුත්සුන් පෙන්ගුයින්" ගේ වීඩියෝව බොහෝ සේ ඔවුන් අතර සංසරණය වී ගියේ ඒ නිසා ය. එය මිනිසුන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නට හිස් කඩදාසියක් දුන්නා සේ විය.

මිනිසුන් එය බෙදා හදාගත්තේ මෙවැනි caption සහිතවයි.


"හැමදෙයක්ම එපා වුණාට පස්සෙ වෙන්නෙ මෙහෙයි"

"අපි නොදන්න දෙයක් එයා දැනටමත් දන්නවා"

"මං මගේ ප්‍රශ්න වලින් ඈතට ඇවිදගෙන යන හැටි"


පෙන්ගුන් පක්ෂියා ඇවිද යන ආකාරයෙන් ඌ අරමුණක් සහිතව ඇවිද යන බවද, උගෙන් සංසුන් සහ අමුතු ආකාරයක දාර්ශනික බවක්ද පෙනෙන නිසා මෙන්ම පැවැත්මේ වෙනත් අර්ථයක් වෙනුවෙන් සියල්ල අතහැරදා යන බවක් ද පෙනෙන නිසා "අරුත්සුන් වී ගිය පෙන්ගුයින්" නම ඌට ලැබුණි.

පීඩාවෙන් ද, කාර්යබහුලකමින් ද, පමණට වඩා දේවල් ගැන වදවීමෙන් ද පිරී ගිය ලෝකයක වෙසෙන බොහෝ දෙනා මේ පෙන්ගුයින් ගේ හුදෙකලා නික්මයාම තුළ දුටුවේ තමන්වම යි.

පෙන්ගුයින් ගේ මේ හැසිරීම ගැන විද්‍යාවෙන් පවසන්නේ කුමක් ද?

විද්‍යාඥයින් පවසන්නේ memes වලින් කුමක් කීවත් මෙය දාර්ශනික අරුතකින් සිදුවුන යමක් නොවන බවයි.

වනජීවි විශේෂඥයන් සහ පර්යේෂකයන් ට අනුව මෙය කලාතුරකින් සිදුවන යමක් වුවද පෙන්ගුයින් පක්ෂීන් අතර මෙය සිදුවෙයි. එයට හේතු විය හැක්කේ මෙවැනි දේවල් ය, එනම්

මංමුළාවීම : පෙන්ගුයින් පක්ෂීන් අවට පාරිසරික සංඥාවන් මත දැඩි සේ රඳා පවතින සත්ව කොට්ටාශයකි. මේ සළකුණු වල සිදුවන යම් වෙනසක් නිසා ඔවුන්ට යායුතු දිශාව ගැන අවබෝධය අහිමිවී යාමට ඉඩ ඇත.

ස්නායු ආබාධයක් හෝ වෙනත් රෝගී තත්වයක් : අයහපත් සෞඛ්‍ය තත්වයන් සමහර පෙන්ගුයින් කුරුල්ලන් හිස හැරුණු අත ඔහේ ඇවිද යාමට හේතු කාරක විය හැකි ය.

ප්‍රජනන සමය තුළදී ඇති විය හැකි පීඩනයක් හෝ ව්‍යාකුල බවක්.

ස්වාභාවික සංවේදනයන් ගේ වරදක් : සත්වයන් හැම විටම පැවැත්මට හිතකර දේ ම තෝරා ගන්නේ නැත.

Werner Herzog මේ හැසිරීම විස්තර කරන්නේ මරණයේ පාගමනක් ලෙස යි. ගොඩබිම බලා යන ගමනේ දී පෙන්ගුයින්ට තම ජීවිතය බේරා ගැනීමට ඇති ඉඩ ඉතාම අල්ප බව ඔහු පවසයි.

Meme සහ යථාර්ථය. සැබෑම අර්ථය කුමක් ද?

එය සිදුවන්නේ කෙසේදැයි විද්‍යාවෙන් විස්තර කරයි. ඒ අතර අන්තර්ජාලයෙන් විස්තර කෙරෙන්නේ එසේ වන්නේ ඇයි කියා ය, අඩුවශයෙන් හැඟීම්වලට දැනෙන ආකාරයට.

එයට අනුව බොහෝ දේ මේ පෙන්ගුයින් පක්ෂියා ගෙන් නිරූපිත වෙයි.


- ජීවතයේ මංමුළාවී යාම

- බලාපොරොත්තු වලින් ඈත් වීම

- නිහඬව කැරළි ගැසීම

- පැවැත්මේ වෙහෙසකාරී බව


ඒවායේ ඇත්තේ ජීවවිද්‍යාත්මක කාරණා වලට වඩා මිනිස් ජීවිතය පිළිබඳවම නිරූපිතයන් ය. අපි එහි අර්ථයක් දකින්නේ අපට අර්ථයක් අවැසි බැවින් ය.

අරුත් සුන් පෙන්ගුයින් පක්ෂියා ගැන meme බොහෝසේ සාර්ථක වී ඇත්තේ එබැවිනි.

මේ පෙන්ගුයිනයා එක්තරා ආකාරයකට නූතන දිවිපැවැත්ම සංකේතවත් කරයි. හැමදෙනාම කාර්යබහුල දිනචර්යාවල හැල්මේ දුවති. කෙනෙක් මෙය දැක එයින් ඈතට පා නගන්නට තීරණය කරයි.

ඒ ඔහුගේ එඩිතර බව නිසා නොවයි.

ඒ ඔහුගේ ප්‍රඥාවන්ත බව නිසා නොවයි.

ඒ සමහර වෙලාවට ජීවිතයේ කිසිදු අර්ථයක් ඇති බව නොදැනෙන නිසයි.

මේ පෙන්ගුයින් පක්ෂියා සදානුස්මරණීය සංකේතයක් බවට පත්වී ඇත්තේ ඒ නිසා ය.

අරුත් සුන් වී ගිය පෙන්ගුයිනයා දාර්ශනිකයෙක් හෝ කැරළිකරුවෙක් නොවෙයි. ඌ අවුල් වී ගිය සහජ ඉව අනුව ගමන් කරනා සත්වයෙකි. නමුත් අන්තර්ජාලය ඌව නූතන හැඟීම් වල සංකේතයක් බවට පත් කරගත් අතර එයින් බොහෝ විට කියවෙන්නේ පෙන්ගුයින්ට වඩා අපි ගැනයි.


කඳුකරය බලා ඇවිද යන පෙන්ගුයිනයෙකු යනු සමහරවිටෙක හුදු පෙන්ගුයිනයෙකු පමණි.


තවත් සමහර විටෙක එය මනෝභාවයකි.

.

- Translated from the website "The Economic Times"




Thursday, January 22, 2026

ජීවිතේ දුක්බරම කවිය ලියා නික්ම ගිය ඇය

ඇය තම පළමු කවිය පළ කරනු ලැබුවේ වයස අවුරුදු අටේ දී ය. වයස තිහේ දී ඇය තම "The Bell Jar" නවකතාව පළ කළේ ව්‍යාජ නාමයක් යටතේ ය. එය තමාගේම ජීවිතයේ බිඳ වැටීම මුල් කරගනිමින් මානසික ව්‍යාකූලතාවන් ගැන ලියවුණු ප්‍රබල නවකතාවකි. ඉන් මාසයකට පසුව ඇය ජීවිතයෙන් සමුගෙන ගියේ වයස අවුරුදු තුනක දරුවන් දෙදෙනෙකු මෙලොව ඉතිරි කර තබා ය. සිල්වියා ප්ලැත් ඇගේ නම යි. ඇගේ ජීවිතයත් ඇගේ කවියත් අතර බැඳීම එකිනෙකින් වෙන් කළ නොහැකියි.

1932 ඔක්තෝබර් 27 දින මැසචුසෙට්ස් ප්‍රාන්තයේ බොස්ටන් නුවර උපත ලද සිල්වියා කුඩා කළ සිටම හැකියාවන් ගෙන් පිරුණු දැරියක වූවා ය. ඇගේ පළමු කවිය ඇයට වයස 8 ක් වෙද්දී 1941 බොස්ටන් හෙරල්ඩ් පුවත්පතේ පළවිය. ඒ වසරේ දී ම ඇගේ පියා වූ ඔටෝ ප්ලැත් මියගියේ දියවැඩියා රෝගයෙනි. පියා ගේ මරණය සිල්වියාව ඇතුළාන්තයෙන් බිඳ දැමූ අතර එය ඈ තුළ ඉතිරි කළේ කිසිදා සුව නොවෙන වේදනාත්මක තුවාල කැළල කි. පසුකාලීනව ඇගේ කවි තුළින් ද, ලිවීම් සහ ප්‍රබන්ධමය රචනා තුළින්ද මේ රිදුම වරින් වර මතු විය. "මං ආයෙ කවදාකවත් දෙවියන් එක්ක කතා කරන්නෙ නෑ" පියා ගෙ මරණින් පසුව සිල්වියා එසේ කියා ඇත.


ඇගේ ළමා වයසේදී සහ යෞවනයේ දී සිල්වියා යනු දීප්තිමත් දැරියක වූවාය. ඇය නැගී එන ලේඛිකාවක්, දක්ෂ ශිෂ්‍යාවක් සහ ප්‍රසිද්ධ ගැහැනු ලමයෙකු විය. නමුත් මේ සියලු ජයග්‍රහණ පිටුපසින් වූයේ මානසික පීඩාවකි, භාවමය ව්‍යාකූලත්වයකි. 1953 අගෝස්තුවේ ඇයට වයස 20 දී නිව්යෝක් නුවර Mademoiselle සඟරාවේ ආරාධිත කතෘ ධූරය දරමින් සිටිද්දී සිල්වියා තදබල මානසික කඩාවැටීමකට මුහුණ දුන්නාය. නිදිපෙති අධිමාත්‍රාවක් ගෙන නිවසේ බිම් මහලේ සැඟවී සිට ජීවිතය නැති කර ගැනීමට ඇය උත්සාහ කළා ය. දවස් තුනකට පසුව ඇයව සොයා ගනු ලැබූ අතර electroconvulsive therapy (ECT) නම් ප්‍රතිකාර වලින් ද මනෝචිකිත්සක ප්‍රතිකාර වලින් ද පසුව නැවතත් ඈ උගනිමින් සිටි ස්මිත් විද්‍යාලයට යෑමට ඇයට හැකියාව ලැබුණ අතර එහිදී ඇය විශේෂ ගෞරව සහිතව උපාධියක් හිමි කර ගත්තා ය. මේ බිඳ වැටීමත්, දිවි නසා ගැනීමේ උත්සාහයත්, රෝහල්ගත කිරීමත් පසුකාලීනව ඇගේ "The Bell Jar" නවකතාවට පසුබිම් විය. 


1956 දී, ඇයට ලැබුණ ශිෂ්‍යත්වයකට අනුව ඉගෙනුම ලබමින් සිටි කේම්බ්‍රිජ් සරසවියේ දී ඇයට මුණගැසුණු ටෙඩ් හියුස් නම් බ්‍රිතාන්‍ය ජාතික කවියෙකු සමග සිල්වියා විවාහපත් වූවාය. දෙදෙනාම මහත් අපේක්ෂා සහගත කවියන් වූ අතර ඔවුන්ගේ සම්බන්ධතාව උණුහුම් ආශාවන්ගෙන් පිරුණු, ස්ථිර බවකින් තොර එකක් විය. ඔවුන් ෆ්‍රීඩා සහ නිකලස් නමින් දරුවන් දෙදෙනෙකු ලැබූහ. 1961 ඇයගේ උපදින්නට සිටි දරුවෙකු ගබ්සාවට ලක් වූයේ ය. මේ විවාහය ප්‍රශ්නකාරී එකක් විය. ටෙඩ් තවත් කාන්තාවක් හා සම්බන්ධතාවක් පවත්වන බව සොයාගත් සිල්වියා 1962 දී ඔහුගෙන් දික්කසාද වූවාය. මේ සිද්ධි ඇයව තවදුරටත් බිඳ දැමීය.


ටෙඩ් ගෙන් වෙන් වී, දරු දෙදෙනෙකුත් තනිවම බලා කියා ගනිමින් සිල්වියා ඇතුළත් වූයේ ඇගේ නිර්මාණ ජීවිතයේ උච්චතම අවධියකටයි. ඇගේ නම ලොව පුරා ප්‍රකට කරවන්නට හේතු කාරක වුණු කවි බොහෝමයක් ඈ රචනා කළේ ඉන්පසුවය එළඹුණු ඔක්තෝබර්, ජනවාරි කාල සීමාව අතරයි.


මේ කවි ස්වයං පාපොච්චාරණාත්මක, ආවේගශීළී, නොදැමුණු ප්‍රකාශණ වුණු අතර සමකාලීන කවිය තුළ තිබුණු අන් කිසිවෙකුට වඩා දීප්තිමත් විය. 1963 දී ඇගේ "The Bell Jar" නවකතාව ලන්ඩනයේ දී Victoria Lucas නම් ව්‍යාජ නාමය යටතේ ප්‍රකාශයට පත් විය. සිල්වියා ව්‍යාජ නාමයක් භාවිත කළේ මේ නවකතාව 1953 බිඳ වැටීම, සියදිවි නසා ගැනීමේ උත්සාහයන් සහ මනෝ චිකිත්සක ප්‍රතිකාරයන් මුල්කරගෙන ලියවුණු එක්තරා ආකාරයක ඇගේම චරිතාපදානයකට සම වුණු බැවිනි.


නවකතාවට මුල් වන්නේ Esther Greenwood නම් තරුණියකි. ඇය බොහෝ දක්ෂතාවලින් පිරුණු, බොහෝ සාර්ථකත්වයන් අත්පත් කරගත්ත දැරියක වුවද 1950 ගණන් වල ගැහැනුන් කෙරෙහි පැනවී තිබූ සුවසක් ජීවන අරමුණු අතරේ විෂාදය සහ උමතුබව කරා ඇද වැටෙන චරිතයකි. එය මානසික රෝගී තත්වයන් ද, අනන්‍යතා අර්බුදයද සහ සමාජයෙන් නියමවී තිබූ ස්ත්‍රීපුරුෂ භූමිකාවන්ගේ පීඩනයක නිරූපණය කරයි. 


1963 පෙබරවාරි 11 වනදා, "The Bell Jar" කෘතිය පළ කර මාසයකට පසුව, සිල්වියා ඇගේ ලන්ඩන් තට්ටු නිවසේ දී සියදිවි නසාගත්තා ය. ඇය කුස්සියේ දොර වසා, ගෑස් උදුන ඇර එය තුළට තම හිස ඇතුළුකර ගත්තා ය. ඇගේ දරුවන් දෙදෙනා වුණු ෆ්‍රීඩා සහ නිකලස් යාබද කාමරයේ නිදමින් වුන් අතර එම කාමරයට ගෑස් ඇතුළු නොවන පරිදි හොඳින් වසා ආවරණය කර තිබුණි. ඇය සමුගන්නට පෙර ඔවුන්ගේ ඇඳ අසලින්ම පාන් සහ කිරි සූදානම් කර තබා තිබුණා ය. ඒ ඔවුන් අවදි වුණු පසු කුසගිනි නිවාගන්නට ය.


මියයන විට සිල්වියා ප්ලැත් 30 හැවිරිදි ව සිටියා ය. "The Bell Jar" ඇගේ සැබෑ නමින් 1971 ඇමරිකාවේදී නැවත පළ විය. ටෙඩ් හියුස් විසින් සංස්කරණය කරන ලද  "Ariel" නම් ඇගේ කාව්‍ය සංග්‍රහය 1965 දී ප්‍රකාශ වුණි. 1982 දී සිල්වියා මරණින් පසුව පුලිට්සර් ත්‍යාගය දිනා ගත් ප්‍රථම තැනැත්තිය බවට පත්වූවා ය.


සිල්වියා ප්ලැත් ගේ උරුමය සංකීර්ණ එකකි. ඇගේ කවි, විශේශයෙන් පසුකාලීනව ලියවුණු කාව්‍ය, ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණු විශිෂ්ටතම කවි අතර සැලකෙයි. ඒවා පුද්ගලික සංවේදනාවන් සෘජුවම කලාව බවට පත්කළ "පාපොච්චාරණාත්මක" ආකාරයෙන් ලියවුණු මුල්ම නිර්මාණ වෙයි. "The Bell Jar" ස්ත්‍රිවාදී සාහිත්‍යයේ සම්භාව්‍ය කෘතිය කි. එය විෂාදය ද මානසික රෝගීබවද ගැන ලියවුණු අවංකම ප්‍රතිනිර්මාණය කි. නමුත් ඇගේ ජීවිතයත් මරණයත් උත්කර්ෂයට නැංවෙනුයේ එහි සත්‍ය යටපත් කරවමිනි. ඇය මානසික රෝග වලින් පීඩා වින්දේ ඒවා සඳහා ප්‍රතිකාර ප්‍රමාණවත් තරම් නොතිබුණු යුගයක ය. ඇගේ සැමියා ඇයට ද්‍රෝහි විය. ඇයට දරු දෙදෙනෙකු සමග තනිවන්නට සිදුවිය. බොහෝවිට ඇගේ මරණය කලාත්මක ප්‍රාණ පරිත්‍යාගයක් ලෙස වර්ණනා කෙරෙන නමුත්  සත්‍ය එය නොවෙයි. එය විශිෂ්ට ලේඛිකාවක් සහ මවක් ලෙස මානසික රෝගී බව සමග කළ නිරන්තර සටනින් පරාජය වීමකි. එය ඇත්තටම ඛේදවාචකයකි. 


Translated from - English Literature: A Community's Post




Tuesday, January 6, 2026

දාර්ශනිකයෙකුගේ ඇදවැටීම

වර්ෂ 1899 දී ගන්නා ලද මේ ඡායාරූපයේ සටහන් වන්නේ උන්මන්තකාගාරයක සිටිනා ෆ්‍රෙඩ්‍රික් නීශේ ගේ රුවයි. ඒ ඔහුගේ අසීමිත වූ බුද්ධිප්‍රභාව නිහඬ වී වසර දහයක් ගත වූ පසුවයි.

වතාවක් ඔහු දර්ශනවාදයේ පවුරු පදනම් සොලවාලූවේ ය. 

ඔහු දෙවියන්ට ද, ආචාරධර්ම වලටද, බලයට සහ දුබල බවට ද එකසේ අභියෝග කළේ ය.


ඔහු ලියුවේ ගින්නක තරම් තියුණු බවකින් සහ අනනුකම්පිත වූ පැහැදිලිබවකින් යුතු ව ය.


නමුත් මෙහි ඔහු සිටිනුයේ පසුබා ගිය, දුර්වල, දුරස්ථ තැනැත්තෙකු ලෙසින් ය.


එහි ඇත්තේ ජයග්‍රහණයක් නොව,

නිහඬ විනාශයකි.


නීශේ ඔහුගේ ජීවිතයේ අවසන් වසර කිහිපය ගෙවා දැමුවේ කිසිවක් ලියාගත නොහැකිවයි. වතාවත් ඔහු කළ අයුරින් සිතන්නට නොහැකිවයි. ඔහු සිරුරින් ජීවත් ව සිටියද නූතන යුගය හැඩගැස්වූ ඔහුගේ ඒ හඬ නිහඬ වී ගොස් තිබුණි. මිනිසත් බවේ ප්‍රබලතාවන් ගැන ලියූ මිනිසා ඒ මනුශ්‍යත්වයේම දුර්වලකම හමුවේ ඇද වැටී තිබුණි.


සියල්ල ආරම්භ වූයේ 1889 ජනවාරි 03 වනදා ඉතාලියේ ටියුරින් නුවරින් ය.


ඇසින් දුටු සාක්ෂි අනුව ඔහු නගරයේ ඇවිද යමින් සිටිය අතර ඔහු දුටුවේ අශ්ව රථ රියැදුරෙකු තම අශ්වයාට දරුණු ලෙස කසයෙන් තලනා අන්දමයි. කසපහර කමින් සිටි අසරණ සතා එය දරාගත නොහැකිව බිමට ඇදගෙන වැටුණේ ය. මෙය දුටු නීශේ වහා දිවගොසින් අශ්වයාගේ ගෙල බදාගෙන කදුළු සලන්නට පටන්ගත්තේ ය. හැඬීම පාලනය කරගත නොහැකි වුණු ඔහු සෙමින් අශ්වයාගේ ගෙල සිපගත්තේ ය.


එයින් පසු ඔහුගේ ඇදවැටීම ආරම්භ විය.


මේ සිදුවීමෙන් පසු කිසිදාකවත් ඔහුට ඉන් පෙර සිටි මිනිසා බවට පත් වීමට නොහැකි විය. 


මේ සිදුවීමේ මේ ආකාරයෙන්ම සිදුවුණාද යන කරුණ ගැන ඉතිහාසඥයන් අතර ඇත්තේ විවාදයකි. නමුත් ඉන් එහි බලපෑම් සහගත බව අඩු නොවෙයි. එයින් නිරූපිත වන දේ නිසා ඒ කතාව අද වන තුරු පවතියි, එනම් දයානුකම්පාවේ බලවත් කම නිසා අධිෂ්ඨානය, ඉවසීම සහ ශක්තිය වෙනුවෙන්ම කැපවුණු මනසක් සම්පූර්ණයෙන් බිඳ වැටී ගිය ආකාරය එයින් කියවෙයි.


ජීවිතයට දුෂ්කරතාවන් අවැසි බව කියූ දාර්ශනිකයාව කරුණාව විසින් යටපත් කරනු ලැබී ය.


ටියුරින් සිද්ධියෙන් පසු නීශේ නිහඬතාව වෙත පසුබැස ගියේ ය. ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහී යන්නට පටන් ගත් විට ඔහුගේ මව ද සහෝදරියද ඔහු රැකබලා ගත් හ. ඔහුගේ ජීවිතයේ අවසාන දශකය, වතාවක් ලෝකයකට අභියෝග කළ තියුණු බුද්ධියෙන් බොහෝ දුරස් ව රෝගී බවෙන් ද, හුදෙකලාවෙන් ද, ව්‍යාකූලත්වයෙන් ද ගෙවී ගියේ ය.


මේ ඡායාරූපය වචන වලින් තොරව ඒ සත්‍යය කියාපාන්නකි.


අපගේ විශ්ෂ්ඨතාවයන් අපව පරාජය කළ නොහැකි අනභිභවනීය අය බවට පත් කරන්නේ නැත.

අපේ ශක්තිමත් බව අපව මෘදු බවින් ආරක්ෂා කරන්නේ නැත.

තියුණුම මනසක් පවා මනුෂ්‍ය ස්වභාවයෙන් වෙන් කළ නොහැකිය.


නීශේ ගේ ඇදවැටීම අපට කියාපානුයේ දයාන්විත වීම දුර්වලකමක් නොවන බවයි. එය තමන්ව විනාශ කළ නොහැකි යැයි විශ්වාස කරන අයව පවා බිඳ දැමීමට තරම් බලවත් ය.


සමහර විට සියළු දේට වඩා වඩාත් මානුෂික වූ දර්ශනවාදය එය විය හැකියි. 


~ Translated from the Page "Reece Ryan"


ප.ලි. - නීශේ සහ ටියුරින් අශ්වයා සම්බන්ධ සිදුවීම තහවුරු කරන්නට ඉතිහාසමය සාධක නොමැති අතර එවැන්නක් සිදුවූ බවට ඇති සාධක ඒ සම්බන්ධව ඇති කටකතා සහ ඉන් වසර ගණනකට පසුව පළ වූ පුවත්පත් වාර්තාවක් පමණි. නමුත් 1889 වසරේ ටියුරින් නගරයේ දී නීශේ මානසික වශයෙන් වශයෙන් දරුණු ලෙස ඇද වැටුණු බවත්, එයි පසු ඔහුගේ ජීවිතය අවසන් වන තුරුම සියළු ලිවීම් අතහැර දමා නිහඬව හුදෙකලාවේ ගෙවා දැමූ බවත් සත්‍ය කි. මේ සිදුවීම මුල් කරගෙන The Turin Horse නමින් සිනමාපටයක් 2011 වසරේ නිර්මාණය වී ඇත.




Wednesday, November 12, 2025

"ජීවත්වීම සඳහා හේතුවක් ඇති නම් කෙනෙකුට ඕනෑම දෙයක් දරාගත හැකියි."

ඔවුන් ඔහු සතු සියළු දේ පැහැරගත්හ. ඔහුගේ නිවස, ඔහුගේ පොත් පත්, ඔහුගේ රෝගීන්, ඔහුගේ නම පවා..


සිරකරුවන්ගේ නාමාවලිය තුළ ඔහු වියානා නුවරින් පැමිණි මනෝචිකිත්සක වික්ටර් ෆ්‍රැන්කල් නොවීය. එහි ඔහු තවත් එක අංකයක් පමණක් විය, අංක 119104. 


නමුත් අඳුරු සිර කඳවුරු තුළ, කටු කම්බි වලින් වටවුණු දූවිලි බිම් මැද ඔහු සිදු කරමින් සිටියේ කිසිදු පවුරකින් වළක්වාලිය නොහැකි යමකි. ඔහු මිනිස් ආත්මයන් සුවපත් කරමින් සිටියේ ය.


ප්‍රථමයෙන් ඔහුව ගෙන යනු ලැබුවේ තෙරෙසින්ෂාටත් සිරකඳවුර වෙතටයි, එතැනින් අවුෂ්විට්ස් සහ අවසානයේ ඩැකෝ වෙතට මාරු කර යැවීය.

දිනපතා ඔහු දුටුවේ කුසගින්න සහ ලෙඩ දුක් නිසා සිදුවන මරණ පමණක් නොවේ. අරුත් සුන් බවින් සිදුවන මරණද ඔහු දුටුවේ ය. 


මේ මිහිපිට අපායන් මැද දී ඔහු සොයාගත් සත්‍යතාවන් නූතන මනෝවිද්‍යාව සදහටම වෙනස් කළේය. 

අපෙන් සියළු දේම උදුරාගනු ලැබූ පසුවත් අපට ඉතිරිවන එක දෙයක් තිබේ - එනම් අපේ දෛවය කෙරෙහි අපට ඇති ආකල්පය කුමක්දැයි තෝරාගැනීමට අපට ඇති නිදහසයි.


ෆ්‍රැන්කල් අනෙක් සිරකරුවන් සමග කතා කරන්නට පටන්ගත්තේ ය. නමුත් වෛද්‍යවරයෙකු ලෙස නොව, ඔවුන් සමගින් දුක් විඳිනා තවත් එක සිරකරුවෙකු ලෙස ය. ජීවත්ව සිටීම සඳහා හේතු ඇති බව ඔවුන් හට ඔහු

සිහිපත් කර දුන්නේ ය.


පියා එන තුරු මග බලා සිටිනා පුතෙක්,

හිමි කරගනු පිනිස ඇති වූ ආදරයක්,

තවම ඉටු නොවුණු සිහිනයක්,

තවමත් ඉවසා සිටීමට තරම් වටිනා අරමුණක්.


ඔහු විසින් දල්වන ලද මේ කුඩා ජීවිතාලෝකයත් සමග සමහරු දිවි ගලවාගන්නා ලදී,

සමහරු මියගියහ, නමුත් ඒ කිසිදු මුර භටයෙකුට පැහැරගත නොහැකි වූ ඇතුළාන්ත සාමයක් සිත්හි දරාගෙන ය.


යුද්ධය අවසාන වන විට වික්ටර් ෆ්‍රැන්කල් බොහෝ සේ වැහැරී ගොස් සිටියේ ය.

ඔහුට තම දෙමාපියන් ද, තම බිරිඳ ද, තම සියළු දේපළ ද අහිමි ව ගොස් තිබුණි,

නමුත් එක දෙයක් හැර,

දැනටමත් ඔහුගේ මනසේ ලියැවී තිබූ එක් ලියවිල්ලක් හැර.


එය ලොගෝතෙරපි, එනම් "අර්ථය තුලින් සුවපත් කිරීම" යන මනෝ චිකිත්සක ක්‍රමයේ පදනම බවට පත් විය.

බෙහෙත් වලට වේදනාව යටපත් කළ හැකි නමුත් අපව සුවපත් කළ හැක්කේ අරමුණකට පමණක් බව ඔහු ඉගැන්වීය.


1946 දී වික්ටර් ෆ්‍රන්කල්  Man’s Search for Meaning නම් කෘතිය පළ කලේ ය. දැන් එය භාෂා 50 කට වඩා වැඩි ගණනකට පරිවර්තනය වී ඇත.


එයින් දෙන පණිවුඩය සරලය, එමෙන්ම සදාතනිකය.


"ජීවත්වීම සඳහා හේතුවක් ඇති නම් කෙනෙකුට ඕනෑම දෙයක් දරාගත හැකියි."


නීෂේ උපුටා දක්වමින් ඔහු පවසයි.


සිරකඳවුරකින් උපත ලැබූ වචන අදත් බොහෝ දෙනා සුවපත් කරයි. 


මක්නිසාද මිනිසෙකුගේ ජීවිතයට අර්ථයක් ඇත්නම්, අන්ධකාරයට පවා ඔහුව පරාජය කළ නොහැකියි.

.

.


~ Translated from the Facebook page "English Literature: A Community's Post"




Friday, October 31, 2025

සිත් වේදනාවෙන්ම සුන්දරත්වය පාදාගත් කවියා

 රොබට් ෆ්‍රොස්ට් යනු ඇමරිකාව සිතා සිටි වයස්ගත කාරුණික කවියා නොවීය - ඔහු සිත් වේදනාවෙන්ම සුන්දරත්වය පාදා ගත් මිනිසෙක් විය.

ඔහුගේ කවි සන්සුන් ය, නමුත් ඔහුගේ ජීවිතය ගත වූයේ කිසිසේත්ම ඒ අයුරින් නොවේ. ඔහු දුගී දුප්පත්කම සහ කණස්සල්ලෙන් පිරි වටාපිටාවක හැදී වැඩුණු දරුවෙක් වූ නමුත් ඉටිපන්දම් එළියෙන් පොත් කියවූ මහත් බුද්ධි ප්‍රභාවක් පෙන්වූ දරුවෙක් විය. ඔහු ජීවිතයේ ස්ථිරසාර බවක් සොයාගැනීමට පෙර ඒ ගැන ඇති විශ්වාසය බිඳගත්තේ ය. රොබට් ගේ පියා දැඩි සේ මත්පැනට ලොල් වූ පුද්ගලයෙක් වූ අතර බීමතින්ම ඔහු මිය යන විට රොබට් ට වයස එකොළහක් විය. ඉන්පසු ඔහුගේ මව තදින්ම ආගමට දහමට නැඹුරු වූ කාන්තාවක් බවට පත් වූවා ය. වයස විස්සක් වන විට රොබට් ෆ්‍රොස්ට් ට තමන්ගේ පළමු දරුවාගේ මිනීවළ සාරන්නට සිදුවිය. ඉන්පසු ඔහුගේ මුළු ජීවිතය ම නිර්මාණය සහ බිඳවැටීම අතර අරගලයක් වීමට නියමිතව තිබුණි.


ඔහු මුලින්ම කවිය හැර අනෙක් සියළු දේ උත්සාහ කර බැලීය - ගොවිපළ සේවකයෙක්, පාසල් ගුරුවරයෙක්, පුවත්පත් කතුවරයෙක් ආදී වශයෙන් - නමුත් ඒ සෑම දෙයක්ම අවසන් වූයේ අසාර්ථක වීමෙනි. වයස 38 වන විට බංකොලොත් බව සහ අපේක්ෂාභංගත්වය නිසා ඔහු තම පවුලේ ගොවිපළ විකුණා දමා බිරිඳ සහ දරුවන්ද සමග එංගලන්තයට පැමිණියේ ය. මේ තීරණය බොහෝ දේ වෙනස් කළේ ය. බීකන්ස්ෆීල්ඩ් නගරය අසල කුලියට ගත් කුඩා නිවසේ සිට ඔහු ලියූ කවි ඔහුගේ නාමය අමරණීය බවට පත් කළේ ය, The Road Not Taken, Mending Wall, After Apple-Picking ඒ අතර වෙයි. ඔහුගේ කවි වල මතුපිට වූයේ පිටිසරබද ගැමි වටාපිටාවක් වූවත් ඒවායේ ඇතුළාන්තයේ හුදෙකලාව, චිත්තාපර බව, ප්‍රචණ්ඩත්වය වැනි දේ සියුම් ලෙස සැඟවී තිබුණි. "කවිය නම් ආනන්දයෙන් පටන් ගෙන ප්‍රඥාවෙන් කෙළවර විය යුතුය" යැයි ඔහු වරක් පැවසීය. ඔහු ආරම්භ කළේ වේදනාවෙනි, අවසාන කළේ ඒ සියළු දේ මැද පැවතීමෙනි.


ඛේදවාචකයන් ඔහු පසුපස පැමිණියේ සෙවණැල්ලක් විලසිනි. ඔහුගේ තවත් දරුවන් දෙදෙනෙක් බාල වයසේදීම මියගිය අතර තවත් පුතෙකු සියදිවි නසාගත්තේ ය. ඔහු මහත් සේ අගය කළ ඔහුගේ බිරිඳ එලිනෝර් මානසික අවපීඩනයට ගොදුරුවී දුර්වලව ගියා ය. ෆ්‍රොස්ට් මේ වේදනාවන් ඔහුගේ සෑම කවියක් තුළටම රැගෙන ආවේ ය. ඔහුගේ කවි තුළ නිරූපිත වනපෙත් හුදු භූමි දර්ශන නොවී සැබෑම අභය භූමි ලෙස දැනෙනුයේ මේ නිසා ය. ඔහු සොබාදහම ගැන කවි ලියූවේ මිනිසුන්ගෙන් පළායාමට නොව, ඔවුන්ටත් තමාටත් සමාව දීමට ය.


1961 වසරේ, වයස 86 වන විට, ඔහු ජනපති ජෝන් එෆ් කෙනඩි ගේ පදවි ප්‍රාප්ති උත්සවයේ එළිමහන් වේදිකාවට ගොඩ විය. ඔහු සූදානම් වූයේ ඒ මොහොත වෙනුවෙන් ඔහු ලියූ නවතම කවි පන්තිය කියවනු පිනිස ය. හාත්පස තිබුණේ තද හිරු රැසකි. ඉන් ඔහුගේ දෑස බොඳවී ගියේ ය. ඔහුගේ අත වෙව්ලන්නට විය. කවිය කියවන්නට පටන් ගත් නමුත් කඩදාසියේ ලියා තිබූ අකුරු ඔහුට පැහැදිලිව පෙනුණේ නැත. ඔහු කතාව පටන් ගත්තේ මහත් අපහසුවෙනි. නමුත් ඉක්මණින්ම කඩදාසිය පසෙක දැමූ රොබට් ෆ්‍රොස්ට් හිස ඔසවා ඔහුගේ “The Gift Outright” කවි පන්තිය මතකයෙන් කියන්නට පටන් ගත්තේ ය. ඔහුව මුළුමනින්ම අවමානයට ලක්වීමට ගිය මොහොතක් ඇමරිකානු ඉතිහාසය තුළ වඩාත් උත්කර්ශවත්ම සජීවී ඉදිරිපත් කිරීමක් බවට ඔහු හරවා ගත්තේ ඒ ආකාරයටයි.


රොබට් ෆ්‍රොස්ට් යනු හිම මිදෙන වන පෙත් අතර ගැවසී සුමුදු කවියෙකු නොවීය. ඔහු ජීවිතයටම බද්ධ වූ මහා ශෝකයන් මැද දිවි ගලවා ගත් කෙනෙකු විය. 


ඔහු ලියූවේ සොබාදහමේ සාමය ගැන නොවේ - ඔහු ලියූවේ සාමය අතුරුදහන් වී, අවසානයේ රුදුරු සීත මැද ඇසෙන එකම හඬ ඔබේ හද ගැස්ම පමණක් වන මොහොතේ පවා ඇදනොවැටී ඇවිද යාම ගැනය.


~ Translated from the facebook page "English Literature: A Community's Post"




Tuesday, October 28, 2025

උමතුබවේ රළපහරේ ගසා ගෙන ගිය ඇය

 වර්ෂ 1941, මාර්තු 28 වන දින වර්ජිනියා වුල්ෆ් තම කබා සාක්කු බරැති ගල් වලින් පුරවා ගෙන ඌස් ගංගාව වෙත පා තැබුවා ය. එහි ජලය සීතල ය, එමෙන්ම නිශ්ශබ්ද ය. ඇය විසින් කිහිප වතාවක්ම සිය රචනා තුළ සඳහන් කර තිබූ මේ ගඟම දැන් ඈ බාරගැනීමට බලා සිටියේ ය. එවිට ඇගේ වයස 59 ක් විය. ඇය සිය සැමියා වූ ලෙනාඩ් වුල්ෆ් හට සටහනක් තබා ගොස් තිබුණි. එහි වූයේ දැනටමත් එතෙර වූ කෙනෙකු ගේ ඇති සුපැහැදිලි ස්වරයකි.


"මම ආයෙමත් උමතු වෙන බව ස්ථීරයි කියලා මට දැනෙනවා... මේ වතාවෙ නම් මම ගොඩ එන්නෙ නැහැ..."


නමුත් වර්ජිනියා වුල්ෆ් ගේ කතාව ඇගේ මරණය පිළිබඳ කතාව පමණක් නොවේ. සාමාන්‍ය එදිනෙදා ජීවිතයට දරාගත නොහැකි තරම් තීව්‍ර ලෙස ලෝකය වටහා ගැනීම සහ සෑම දෙයක්ම අත්විඳීම වෙනුවෙන් වැය කරන්නට සිදුවන දේ පිළිබඳ කතාවයි. අනෙක් අය මේ ලෝකය තුළ ජීවත් වන ආකාරයට ඇය ජීවත් වූයේ තම මනස තුළ යි: සුවිසල්ව, අනපේක්ෂිතව සහ අපරිමිත අයුරින්. ඇගේ සිතුවිලි තාරකා මෙන් විසිරී ගොස් තිබුණි, ඇගේ හැඟුම් උදම් රළ සේ නැගුණි.


ඇය ලියූවේ හුදු රසවින්දනය සඳහා පමණක් නොවේ, තේරුම්ගැනීම සඳහා ය. නිශ්චිත හැඩයක් ස්වරූපයක් නොමැති, වේගයෙන් ගලා යන මතක දහරාවන් ද, පැවැත්මේ රුදු වේදනාවන් ද සංකේතනය කරනු පිනිස ය. වහා දැල්වී යළි නිවී යන සිතුවිල්ලක ආලෝකය අල්ලා ගනු පිනිස ය.  Mrs Dalloway නවකතාවෙන් ඇය එදිනෙදා එක් සම්පූර්ණ දවසක් සදාකල් පවත්නා අයුරින් නිරූපිත කළාය. To the Lighthouse හි ඇය කාලය ගෙවී යාම නොදැනෙනා තරම් සියුම් බවට හැරවූවා ය. The Waves හි ඇය දෘෂ්ටිකෝණ හයක් එකට මුසු කරමින්, සයුරක් සේ බිඳෙමින් එහි ආත්මය බවටම පත්වූවා ය.


එනමුදු සුන්දරත්වය අප වෙනුවෙන් නිමැවූ ඒ මනසම දරාගත නොහැකි වේදනාවේ උල්පත බවට පත් විය. ඇයව මුළුමනින්ම වසා ගත් ඒ උමතු බවේ ප්‍රවාහය ඇය නම් කළේ "දිය රළ" නමිනි. සංවේදී බව ඇගේ මහඟු දායාදය මෙන්ම ඇගේ විනාශයට ද හේතු වූ, ඇය ජීවත්වන සියවස ඉක්මවා යන බුද්ධිමය ධාරිතාවක් තිබූ ගැහැනියකට සහාය වන්නේ කෙසේදැයි ඈ අවට ලෝකය දැන සිටියේ නැත.


නමුත්, ලෙඩ දුක් සහ ලෝක යුද්ධ අතර මැද පවා ඇය නොනවත්වා ලිවීමේ යෙදුනා ය. පුරුෂෝත්තම වාදයට ද, සම්ප්‍රදායන්ට ද, නිහඬවීමටද එරෙහිව විරෝධය පළ කිරීමට ඇය තම පෑන මෙහෙයවූවා ය. ගැහැනුන්ට ද තමන්ගේම ඉඩක්, එනම් භෟතික අවකාශයක් නොව, සිතන්නට ද, නිර්මාණය කරන්නට ද, නිදහසේ පවතින්නට ද හැකි වූ ලෝකයක් අවැසි බව ඇය කීවා ය.


වර්ජිනියා වුල්ෆ් මියගියේ තමන් පරාජය වූවා යැයි විශ්වාසකරමිනි. නමුත් ඉතිහාසය ඈව මතක තබාගෙන සිටින්නේ වෙනස් ආකාරයකටයි.


අපට ඇය මතක නවකතාවේ නිම්වළලු පුළුල් කළ ගැහැනියක ලෙසය. මනස නම් සරල රේඛිය නොවන බවද, කාලය ගලා යන ප්‍රවාහයක් බව ද, විඥානය නම් වෙරළක් නොමැති විසල් සාගරයක් බවද අපට කියාදුන් ගැහැනිය ලෙසය. ගැහැනුන්ගේ ඇතුළාන්ත ජීවිතයට, ඔවුන්ගේ සැක සංකාවන්ට, ඔවුන්ගේ සිහිනවලට සහ ප්‍රකාශ කළ නොහැකි සත්‍යතාවන්ට හඬක් දුන් ගැහැනිය ලෙසය. අපට ඇය මතක උමතුභාවය අර්ථය බවට ද, නිහඬතාවය භාෂාව බවට ද, වේදනාව කලාව බවට ද පරිවර්තනය කළ ගැහැනියක ලෙසය. ගංගාව ඇගේ සිරුර රැගෙන ගලා ගියේ ය. තමුන් ඇගේ වචන, ඈ මැවූ දිය රැළිති තවමත් අප තුළ රාව නංවයි. ඇතුළාන්ත ලෝකය ගැන ලියන්නට තරම් නිර්භය වන කවර ලේඛකයෙකු වුවද ලියනුයේ ඇගේ සුරතිනි.

.

.

.


~ Translated from the facebook page "English Literature: A Community's Post"




Friday, October 3, 2025

කාංසාව යටපත් කරගන්නේ කොහොමද?

 "How to cope with anxiety"  නමින් Olivia Remes විසින් සිදුකරන ලද TedTalk කතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය.

හිතන්න ඔයා පාටියකට යන්න ලෑස්ති වෙනව කියලා. ඔයාට පොඩි අපහසු ගතියක් දැනෙන්න පටන් ගන්නවා, ආමාශය හිරිවැටිලා යනවා වගේ තේරෙනවා, එතනදි මොකක් හරි නරක දෙයක් වේවි කියලා හිතෙනවා. ඔයා හිතනවා මෙහෙම, "මම එතනට ගිහින් කාටද කතා කරන්න ඕන. කවුරුවත් මාව ගණන්ගත්තෙ නැත්නම් මොකද වෙන්නෙ?", ඔයා පාටියට යනවා. ගිහින් මුණගැහෙන කෙනෙක් එක්ක කතා කරනවා. ඒ වෙලාවෙ ඔයාගෙ මනස හරියට කලබල වෙලා තියෙන්නෙ. හදවත ගැහෙන්න පටන් ගන්නවා වේගයෙන්. "පොඩ්ඩක් ඉවසීමෙන් වැඩකරන්න". ඔයා ඔයාටම කියාගන්නවා. ඒත් ඔයාට ඒක කරන්න බෑ. ටික වෙලාවකින් ඔයා එක්ක කතා කළ මනුස්සයා යන්න යනවා. ඔයාට දැනෙන්නෙ මහ පරාජිත හැඟීමක්. සමාජය ඇසුරෙදී ඔයාට මේක නිතර දැනෙනවා වෙන්න පුළුවන්. සෙනග ඉන්න තැනකට ගියාම ඔයාට හරි අපහසු ගතියක් දැනෙන්න පටන්ගන්නවා. මහ පිරිසක් මැද්දෙ වුණත් ඔයාට තනිකමක් පාළුවක් දැනෙනවා. ඔයාට තියෙන්නේ "කාංසාමය සංකූලතාවක්" (anxiety disorder). 


මම කියන්නේ මිනිස්සු හිතනවට වඩා කාංසාව හරි සාමාන්‍ය තත්වයක්. දැන් මේ මොහොතෙදි ලෝකයේ ඉන්න හැම 14 දෙනෙකුගෙන්ම එක්කෙනෙක් කාංසාමය සංකූලතාවයෙන් පෙළෙනවා. මේ නිසා ඇතිවෙන මානසික රෝගී තත්ව වලට ප්‍රතිකාර කරන්න අවුරුද්දකට ඩොලර් බිලියන 42 ට වඩා වැය වෙනවා. කාංසාව, විෂාදය (depression) ඇතිවෙන්න, වගේම සියදිවි නසාගැනීම්වලටත් හේතු වෙනවා. කාංසාවෙන් පෙළෙන කෙනෙකුට අවධානය දීලා වැඩක් කරන්න අපහසුයි. සම්බන්ධතා ඇතුළේ ඉන්න අපහසුයි. ඒත් මිනිස්සු ගොඩක් වෙලාවට මේ ගැන දන්නෙ නෑ. මේක නිකන්ම යටපත් කරලා දැමිය යුතු දුර්වල කමක් කියලා මිනිස්සු හිතන්නෙ ඒ හින්දා. කාංසාව ඊට වඩා ප්‍රබලයි. සාමාන්‍ය කාංසාව සහ කාංසාමය සංකූලතාවක් වෙන්කරලා හඳුනාගැනීම අවශ්‍යයි. පීඩාකාරී තත්වයක් ඇතුළේ අපිට දැනෙන අපහසු කම සාමාන්‍ය කාංසාව. එදිනෙදා ජීවිතේ වැඩ එක්ක, රස්සාවේ Deadlines ඇතුළේ වැඩකරනකොට ඔයාට දැනෙනවා අපහසු ගතියක්. මේක යහපත් එකක්. ඒකෙන් ඔයාට වෙන්නෙ හොඳක්. ඒත් සමහර වෙලාවට මේ කාංසාව සීමාව ඉක්මවා යනවා. ඇත්තටම තර්ජනයක් නැති වෙලාවටත් ඒක ඇතිවෙනවා. කාංසාමය සංකූලතාව කියන්නේ මෙන්න මේකට. මේ තත්වයෙන් පෙළෙන අය දේවල් සම්බන්ධයෙන් අනවශ්‍ය තරම් කරදර වෙනවා. මේ නිතර පසුතැවීම පාලනය කරගන්න එයාලට අමාරුයි. කලබලකාරී බව, බය වීම, නින්ද නොයාම, අවධානයෙන් වැඩ කරන්න බැරි වීම වගේ තත්ව වලින් ඒ අය පෙළෙනවා. ඔයාට දැනෙන කාංසාව මොකක් වුණත් ඒක අඩු කරගන්න ඔයාට පුළුවන්. 


ප්‍රතිකාර එක්ක මානසික රෝග සමනය කරගන්න පුළුවන් වුණාට කාලයක් ගතවෙද්දී ඒවා ආයෙම මතුවීමේ ඉඩකඩක් තියනවා. නමුත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙ අපි කරල තියන සමීක්ෂණවලට අනුව අපිට හොයාගන්න ලැබුණු දේ තමා ප්‍රතිකාරවලට අමතරව තමන්ගේ උත්සාහයෙන් කාංසාව යටපත් කරගැනීමේ ක්‍රමයක් සොයාගන්න වෙරදැරූ අයට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වුණු බව. අද මම කතා කරන්නේ ඒවගේ ක්‍රම තුනක් ගැන. 


පළවෙනි එක, ඔයාගේ ජීවිතේ පාලනය කරන්නේ වෙන කවුරුත් නෙවෙයි ඔයාමයි කියලා හිතන්න. තමාවම දමනය කරගන්න පුළුවන් පුද්ගලයාගෙ මානසික සෞඛ්‍ය බොහොම ඉහළ මට්ටමකයි තියෙන්නේ. සමීක්ෂණ වලින් අපි හොයාගත්තු විදිහට, තමාව පාලනය කර ගැනීමේ හැකියාව ඔයාට අඩුයි නම් ඒ හැකියාව ඔයාට ලබාදෙන අත්දැකීම් ඔයා වැඩිපුර ලබාගන්න ඕන. ඒ මොකක්ද කියලා මම ඔයාට පැහැදිලි කරලා දෙන්නම්. 


සමහර වෙලාවට ඔයා ගොඩක් දේවල් මගහරිනවා, මොකද ඒ දේට ඔයා සූදානම් නැහැ කියල ඔයා හිතනව. සමහර වෙලාවට ඔයාට කරන්නෙ මොනවද කියල තීරණේ කරගන්න බැහැ. කන්නෙ මොනවද, අඳින්නෙ මොනවද කියන තැන පටන් තෝරගන්නෙ මොන රස්සාවද කියන තැන දක්වා පරාසයක මේක විහිදෙනවා. කිසිම දෙයක් තීරණය කරගන්න බැරුව ඔයා සෑහෙන කාලයක් නාස්තිකරනවා. එහෙම වෙන්නෙ ඔයාට ඔයාගෙ ජීවිතේ පාලනය කරගන්න බැරි වුණාම. GK Chesterton  කියන ලේඛකයා මෙහෙම කතාවක් කියල තියනවා. "මොකක් හරි දෙයක් කරන්න තරම් වටිනව නම්, පළවෙනි පාර වැරදුණත් කමක් නෑ, ඒක කරන එක වටිනවා". මේ විදිහට හිතලා වැඩ කිරීම ඔයා දෙයක් පටන් ගන්න බැරුව කල්පනා කරමින් කාලය ගෙවා දැමීම වලක්වනවා. හැම තිස්සේම අපිට අවශ්‍ය සර්ව සම්පූර්ණ අය වෙන්න. අපි බලාපොරොත්තු වෙනවා පමණට වඩා දේවල්. නමුත් අන්තිමට අපි කිසි දෙයක් කරලා නැහැ. අපි නිතරම සර්ව සම්පූර්ණ වෙන්න උත්සාහ කළොත් ඉතුරු වෙන්නෙ පීඩනයක් විතරයි. වැරදුණත් කමක් නැහැ කියලා යමක් කරන්න පටන් ගන්න එක ඔයාට නිදහස් හැඟීමක් අරගෙන එනවා. අන්තිමට ඔයා හිතන තරම් ඒක නරක නැහැ. මේ විදිහට හිතලා වැඩ කරන්න පටන් ගත්තු කාංසාවෙන් පෙළුණු මගේ යාළුවෙක් මට මෙහෙම කිව්වා. "මේ කතාව හින්දා මගේ ජීවිතේම වෙනස් වුණා. මට හිතුවට වඩා ඉක්මණින් සමහර වැඩ ඉවර කරන්න පුළුවන් කියලා මම හොයාගත්තා. වෙනස් දෙයක් කරන්න, අවදානමක් ගන්න මට හැකියාව ලැබුණා. ඒකෙන් මගේ කාංසාවන් දියවෙලා ගිහින් මාව සතුටින් පිරුණා." ඒ නිසා වැරදියට හරි කමක් නෑ, යමක් කරන්න බය වෙන්න එපා. ඔයාට පුළුවන් ඒ දේ වැඩි දියුණු කරගන්න. 


දෙවනි ක්‍රමය, ඔයාටම සමාව දෙන්න. මේක ඔයා හරි විදිහට පාවිච්චි කරනව නම් සෑහෙන ප්‍රයෝජනවත් කාරණාවක්. කාංසාවෙන් පෙළෙන අය ගොඩක් කරදර වෙනවා එයාලට වරදින්නේ මොනවද කියලා. එයාලා අනවශ්‍ය තරම් දේවල් ගැන කණගාටු වෙනවා. හිතන්න ඔයාගෙ වැරදිම කියන යාළුවෙක් ඔයාට ඉන්නව කියලා. ඔයා පුළුවන් ඉක්මණට ඒ යාළුවගෙන් ඈත් වෙනවා, එහෙම නේද? කාංසාවෙන් පෙළෙන අය තමන්ටම කරගන්නෙත් ඕක තමයි. ඒ අය තමන්ට කාරුණිකව සලකන්නෙ නැහැ. ඉතින් අපි අපිටම කාරුණික වෙන්න, අපිටම සහය වෙන්න ඕන වෙලාව මේක තමයි. මීට ටික වෙලාවකට කලින් ඔයා අතින් වෙච්ච අත්වැරැද්දට වගේම දුර අතීතයක ඔයා කළ දේට ඔයාටම සමාව දීමෙන් තමයි මේක කරන්න පුළුවන් වෙන්නෙ. කෙනෙකුට යම් දෙයක් කියන්න ඔයාට තදබල උවමනාවක් තිබුණා, නමුත් ඔයාට ඒක කියන්න බැරි වුණා, දැන් ඒ ගැන දුක්වෙන්න එපා. ඒක අමතක කරලා දාන්න. ඔයාට ඔයා දිහාම කාරුණිකව බලන්න පුළුවන් වෙන්නෙ එතකොටයි. ඔයා මේක කරන්න පටන් ගන්න තුරු ඔයාට සුවපත් වෙන්න බැහැ. 


අන්තිම කාරණාව. ජීවිතයට අරමුණක් සහ අර්ථයක් ඇතිකර ගැනීම සුවපත් වීමේ වැදගත් ක්‍රමවේදයක්. ජීවිතේ ඇතුළේ අපි මොනවා කළත්, මොන වැඩේ අපි කෙරුවත්, කොයිතරම් මුදලක් අපි හම්බකරගත්තත් තව කෙනෙකුට අපිව ඕනැ කියලා දැනෙන තුරු, අපේ ඇසුර තවත් කෙනෙක් බලාපොරොත්තු වෙනව කියලා අපිට දැනෙන තුරු අපිට සම්පූර්ණයෙන් සතුටු වෙන්න බැහැ. ජීවත් වෙන බව දැනෙන්න නම් අපිට අවශ්‍ය අනික් අයගේ හොඳ වචන විතරක් නෙවෙයි. තවත් කෙනෙක් වෙනුවෙන් දෙයක් අපි නොකරන තුරු අපේ මානසික තත්වය දුර්වල අඩියකට වැටෙන්න ලොකු ඉඩකඩක් තියනවා. සුප්‍රසිද්ධ ස්නායු විශේෂඥ Viktor Frankl මෙහෙම කියල තියනවා. "ප්‍රශ්නෙ තමා ජීවිතේට අරමුණක් නැහැ ජීවිතයෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ කියන මිනිස්සුන්ට ජීවිතය ඒ අයගෙන් යමක් බලාපොරොත්තු වෙන බව තේරුම් කර දීම."


තවත් කෙනෙක් වෙනුවෙන් යමක් කරන එක අමාරු කාලවලදී ඔයාට ගොඩක් උදව් කරනවා. ඔයාගේ පැවැත්මට හේතුව ඔයා දැනගන්නවා, ඕනෑම දෙයක් විඳදරාගන්න ඔයාට හැකියාව ලැබෙනවා. 


ඉතින් ප්‍රශ්නෙ තමා ඔයා තවකෙනෙක් වෙනුවෙන් මොනවද කරලා තියෙන්නෙ? ඒක ස්වෙච්ඡාවෙන් කරන උදව්වක් වෙන්න පුළුවන්, නැත්නම් අද ඔයා ලබන මේ දැනුම තවත් කෙනෙක් එක්ක බෙදාහදා ගැනීම වෙන්න පුළුවන්, විශේෂයෙන්ම ඒක අවශ්‍යම කෙනෙකු එක්ක. ප්‍රතිකාර ගන්න හැකියාවක් නැති නමුත් කාංසාමය සංකූලතාවයෙන් පෙළෙන ගොඩක් අය ඉන්නවා. මේ දැනුම එයාලට දෙන්න. ඒක ඔයාගෙත් මානසික සෞඛ්‍ය ඉහළ නංවනවා. 


ඉතින් මං කැමතියි මේ කතාව මෙහෙම අවසාන කරන්න: ඔයා තවත් කෙනෙක් වෙනුවෙන් කරන්න පටන් ගන්න දෙයක් සමහර විට තව පරම්පරා ගණනාවකට ප්‍රයෝජනවත් යමක් වෙන්න පුළුවන්. සමහර විට ඔයා මිනිස්සු වෙනුවෙන් කළ දේවල් ඒ අය තේරුම් ගන්නෙ නැති වේවි. ඒකට කමක් නැහැ. මොකද ඔයාගෙ ජීවිතේ අර්ථාන්විත එකක් සහ සුවිශේෂ එකක් බව අවසානෙදි ඔයා වටහා ගනීවි.


ස්තුතියි.

.

.


.

~Translated by hAsH~




Tuesday, September 23, 2025

කවදාවත් මගහැර නොගතයුතු කාරණා කීපයක්.

ඔයාගෙ ශරීරය ඔයාට නිතරම කතා කරනවා. ප්‍රශ්නෙ තමා මේ කටහඬ මහ මොරගැසීමක් වෙනතුරුම ඔයා ඒකට ඇහුම්කන් නොදීම. ඒවගේ ඔයා අනිවාර්යයෙන් අවධානය දෙන්න ඕන කාරණා කීපයක් සහ ඒ සම්බන්ධයෙන් ඔයා කළ යුතු දේවල් කිහිපයක් තමයි මේ තියෙන්නෙ.

- අවුරුද්දක් ඇතුළත කිහිප වතාවක්ම රෝගී වීම.   

- මෙහෙම වෙන්නෙ බොහෝ දුරට ඔයාගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වුණාම.


මේ තත්ත්වය නැති කරගෙන්න නම් හොඳ පෝෂණදායි, එළවලු, පලතුරු සහ පුලුවන් තරම් ස්වභාවික ආහාර වැඩිපුර ඇතුළත් ආහාර පුරුද්දක් ඇති කර ගැනීම, දවසම ඒකාකාරී ඉරියව්වලින් නොඉඳ පුලුවන් තරම් ව්‍යායාමයක් ශරීරයට ලබා දීම, ප්‍රමාණවත් නින්ද සහ ආතතිය අවම කර ගැනීම ඔයා කරන්න අවශ්‍යයි.


- අකලට හිසකෙස් හැලී යාම.

- බොහෝ දුරට ආතතිය, හෝමෝන අසමබරතාව, පෝෂණ ඌණතාවන් නිසා සිදුවෙන දෙයක්.


හොඳ මානසික සමබරතාවක් පවත්වගන්න, පීඩනය අවම කරගන්න. තයිරොයිඩ් පරීක්ෂාවක් කරගන්න. ශරීරයේ යකඩ සහ විටමින් ඩී ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න.


- බර අඩු කරගන්න තියන අපහසුව.

- ඔයාගෙ උත්සාහයේ ප්‍රමාණවත් මදි කමක් නෙවෙයි. සමහරවිට ශරීරයෙ පරිවෘතීය ක්‍රියාවලියෙ (ඒ කියන්නෙ අපි ගන්න ආහාර ශක්තිය බවට පරිවර්තනය කරන ශාරීරික ක්‍රියාවලියෙ) නැත්නම් හෝමෝනවල අසමතුලිත කමක් නිසා මෙහෙම වෙන්න පුලුවන්.


ස්වභාවික ආහාර වලට මූලිකත්වය දෙන්න වගේම සාමකාමීව ආහාර ගන්න. තයිරොයිඩ් සහ රුධිරයේ සීනි මට්ටම පරික්ෂා කරගන්න.


- අධික තරබාරුව, විශේශයෙන් ආමාශය ආශ්‍රිතව. 

- ආමාශගත තරබාරුවට හේතුව cortisol කියන ආතති හෝමෝනය වැඩියෙන් ශ්‍රාවය වීම සහ වැරදි ජීවිත රටාවන්.


ක්ෂණික ආහාර බැහැර කරන්න. සමබර ආහාරවේලක් ගන්න. ශාරීරික ක්‍රියාකාරකම් වැඩිපුර කරන්න. භාවනාව වගේ ක්‍රමයකින් මානසික ආතතිය සමනය කරගන්න.


- රාත්‍රියේදි කිහිප වතාවක්ම නින්දෙන් අවදිවීම.

- නින්ද අඩු වීම ශරීරයෙත් මනසෙත් යහපැවැත්මට හානි කරනව.


රාත්‍රිය බොහොම සන්සුන්ව ගතකරන්න. ඩිජිටල් තිර වලින් ඈත්වෙන්න. කෝපි වගේ කැෆේන් අඩංගු ආහාර අඩු කරන්න. නින්දට කලින් හුස්ම ගැනීමේ ව්‍යායාම නැත්නම් භාවනාව වගේ මනස සැහැල්ලු කරවන ක්‍රියාකාරකමක නිරතවෙන්න. 


- දවස පුරාම තදබල වෙහෙසක් දැනීම.

- කල්පවතින තෙහෙට්ටු ගතිය කොහෙත්ම සාමාන්‍ය දෙයක් නෙවෙයි.


හොඳ නින්දක් ලබාගන්න. අවශ්‍ය තරමට වතුර බොන්න. ශරීරික ක්‍රියාකාරකම් කරන්න. පෝෂණදායක ආහාර ගන්න. කල්පවතිනව නම් විටමින් ඌනතාවක් ගැන නැත්නම් තයිරොයිඩ් සම්බන්ධව පරික්ෂාවක් කරගන්න.


- කාංසාව

- ඔයාගේ ස්නායු පද්ධතිය දුර්වල මට්ටමක තියෙන්නෙ.


හොඳ සිහිය පවත්වාගැනීම පුරුදු කරගන්න. සීනි අඩංගු බීම වර්ග, කෝපි වගේ උත්තේජක අවම කරන්න. ඔයාට දැනෙන අදහස් සිතුවිලි ලියන්න. හුස්ම ගැනීමේ ව්‍යායාම පුරුදු කරන්න. කල්පවතින තත්ත්වයක් නම් ප්‍රතිකාර ගන්න. 


- හැම දෙයක්ම සම්බන්ධව කලකිරෙන ස්වභාවයක් ඇති වීම.

- අතෘප්තිය කියන දේ ඇත්තටම ජීවිතේ අත්විඳින්න ලැබෙන යමක්.


ජීවිත තරඟේ දුවන එක පොඩ්ඩක් නතර කරලා ඔයා වෙනුවෙන් ඉඩක් ලබා දෙන්න. ඔයා ආස දේවල් කරන්න, ඔයාගෙ විනෝදාංශ වලට කාලයක් දෙන්න. සොබාදහම එක්ක ගැවසෙන්න. අවශ්‍ය දේවල් සම්බන්ධයෙන් නිවැරදි සීමාවක් පවත්වාගෙන යන්න. 


- නිතරම පීඩිත ස්වභාවයක් දැනීම.

- ඔයාගෙ මනස නොයෙක් දේවල් වලින් පමණට වඩා පිරිලා තියෙන්නෙ.


ඔයාගෙ වැඩ කටයුතු පුලුවන් තරම් සරල කරගන්න. ඇත්තටම ඔයාට අවශ්‍ය දේවල් මොනවද කියල තෝරබේරා ගන්න. භාවනාව පුරුදු කරන්න. හොඳ සිහිය පවත්වාගන්න. වරදකාරී හැඟීමක් නැතුව අනවශ්‍ය දේවල් අතහරින්න පුරුදු වෙන්න.


මතක තියාගන්න, මහ හඬින් කරන මොරගැසීම් වලට කලින් සියුම් කෙඳිරුම් විදිහටයි මේවා ඔයාගේ ශරීරයෙන් මතු වෙන්නේ. ඒ සියුම් දේවල් මගහරින්න එපා, ඒවට ඇහුම්කන් දෙන්න, සුවපත් වෙන්න.

.

.

.


~ Extracted and translated from the page "Buddhism"