Showing posts with label පොතක් ගැන යමක්. Show all posts
Showing posts with label පොතක් ගැන යමක්. Show all posts

Sunday, January 19, 2025

The Murder of Roger Ackroyd

 1925 සැප්තැම්බර් 18 වෙනි සෙනසුරාදාව කියන්නෙ පැහැබර කාළගුණයක් තිබුණ බොහොම සාමාන්‍ය දවසක් වුණත් කිංග්ස් ඇබට් ගම්මානයට ඒක එහෙම වුණේ නෑ. හේතුව තමා ගමේ තිබුණු ප්‍රභූ නිවාස දෙකකින් එකක් වුණු, ව්‍යාපාරික රොජර් ඇක්‍රොයිඩ් මහත්මයගේ නිවසේ අධ්‍යන කාමරය ඇතුළේදි ඔහුව මරා දමා සිටියදී සොයාගෙන තිබීම. බෙල්ල පිටුපසින් එල්ල කළ තියුණු පිහි පහරකිනුයි මේ ඝාතනය සිද්ද කර තිබුණේ. කලින් දා රෑ, ඒ කියන්නෙ 17 සිකුරාදා රාත්‍රි ආහාරය වෙලාවෙදියි බොහො දෙනා ඔහු ජීවතුන් අතර ඉන්නා බවට අවසාන වශයෙන් දැක තිබුණේ. නමුත් එදා රාත්‍රියේ ඔහු තමන්ගේ අධ්‍යන කාමරය ඇතුළේ කවුරුන් හෝ කෙනෙකු එක්ක ලොකු සංවාදෙක යෙදී උන්නු බව ඒ ගෙදර අයට ඇහිලා තිබුණා. රාත්‍රී ආහාරය වෙලාවෙදි ගෙදර අය සහ රොජර් මහත්මයාගෙ ලඟම හිතවතෙක් වුණ වෛද්‍ය ෂෙපර්ඩ් හැර පිටස්තර කිසි කෙනෙකු ඒ ගෙදර උන්නේ නැහැ. රාත්‍රී ආහාරය නිමා වෙලා වැඩි කාලයක් යන්න මත්තෙන් ෂෙපර්ඩ් ආපහු තමන්ගේ නිවසට එනවා. රොජර් මරා දමා ඇති බවට මුල්ම ඇමතුම ලැබෙන්නේ සිකුරාදා රාත්‍රියේ වෛද්‍ය ෂෙපර්ඩ් ගේ නිවසටමයි. ඒ සැනින් ආපහු රොජර් ගේ නිවසට යන ෂෙපර්ඩ් දැනගන්නව ඒ ගෙදර කිසි කෙනෙක් තමන්ට දුරකථන ඇමතුමක් දීලා නැති බව. නමුත් ඇමතුමෙන් කිව්ව දේ සත්‍යක්! රොජර් මහත්මයාව තමන්ගේ අධ්‍යන කාමරයේදී පිහියකින් ඇනලා මරා දමලා! ඝාතකයෙකු ගැන කිසිම සලකුණක් පොලීසියටවත් සොයාගන්න බැහැ. ඔවුන් සැක කරන්නේ නිවසේ ප්‍රධාන ගෘහ සේවක පාකර් ව. ගමේම නවාතැනක නැවතුම්ගෙන හිටිය රැල්ෆ් නම් රොජර් ගේ ඥාති පුත්‍රයාත් ආගිය අතක් සොයාගන්න බැරි විදිහට නවාතැන හැර ගිහිල්ලා. ඔය අතර සුප්‍රසිද්ධ බෙල්ජියානු ජාතික රහස් පරීක්ෂක හර්කියුලිස් පොයිරොට් නිවාඩුවක් ගත කරන්න මේ කිංග්ස් ඇබට් ගම්මානයට ඇවිත් ඇති බව දැනගන්න රොජර් ගේ ඥාති දියණියක් වුණු ෆ්ලෝරා ඇක්‍රොයිඩ් වෛද්‍ය ෂෙපර්ඩ් ගේ උදව්වෙන් මේ අභිරහස විසදීම ඔහුට බාර කරනවා. අපරාධවල සුල මුල සොයා යෑමේ සියුම් බුද්ධියක් ඇති බවට ප්‍රකට හර්කියුලීස් පොයිරොට් ට රොජර් ඇක්‍රොයිඩ් ගේ ඝාතකයාව කොටුකරගන්න ලැබේවි ද?

2013 අවුරුද්දෙදී බ්‍රිතාන්‍යයේ පිහිටා තිබෙන 'අපරාධමය කතා රචකයන්ගේ සංගමය' ට 60 වසරක් පිරීම නිමිත්තෙන් එදා මෙදා තුර ලියැවුණු හොඳම අපරාධමය නවකතාව විමසන ඡන්දයක් පැවැත්වෙනවා. ලේකඛයින් 600 ක් පමණ දෙනාගේ දායකත්වයෙන් ෂර්ලොක් හෝම්ස් නිර්මාණය කළ කොනන් ඩොයිල්, Silence of the Lambs ලියූ තෝමස් හැරිස් වැනි අය අභිබවා යමින් ඇගතා ක්‍රිස්ටි 1926 අවුරුද්දේ පළ කළ The Murder of Roger Ackroyd හොඳම අපරාධමය කෘතිය විදිහට තෝරාගැනෙනවා. මේ ජයග්‍රහණය ගැන එවකට ඒ සංගමයේ සභාපතිනිය වුණු ඇලිසන් ජෝසප් කියන්නෙ මෙහෙම, "අපරාධ කතා බොහොම ජනප්‍රියයි වගේම ඒවට හොඳ ඉතිහාසයක් තියනවා, අපේ ජයග්‍රාහිකාවම ඒකට හොඳ උදාහරණයක්". ඇගතා ක්‍රිස්ටි නම් බ්‍රිතාන්‍ය ලේඛිකාව විරුදාවලි ලබා තිබෙන්නේම 'අපරාධ කතා කලාවේ අග රැජිණ' විදිහට, ඇය රහස් පරීක්ෂක නවකතා 66ක් සහ, කෙටි කතා 14 ක් රචනා කර තිබෙනවා, ඇය ලියූ The Mousetrap නම් රහස් පරීක්ෂක වේදිකා නාට්‍ය London's West End රංගශාලාවේ 1952 පටන් අද දක්වාම දර්ශනය කෙරෙනවා, දර්ශන වාර 29,500 ක් සමග ලොව වැඩිම වතාවක් රඟ දැක්වුණු නාට්‍යයක් විදිහට ක්‍රිස්ටී ගේ The Mousetrap වාර්තාගත ව තිබෙනවා. මේ රහස් පරික්ෂක කතා කලාවේ ඇය ඉන්නේ කොතැනද කියන්න මීට වඩා උදාහරණ අවශ්‍ය වෙන්නෙ නැති වේවි.

The Murder of Roger Ackroyd ඇත්තටම ඒ තරම් සාර්ථක කෘතියක් විදිහට පිළිගැනෙන්නේ ඇයි? මේ කෘතියෙදී ඇගතා තමන්ගේ සුපුරුදු රචනා ශෛලියෙන් තරමක් බැහැර වෙලා වෙනස් කර තිබෙනවා. ඒ තමා අපරාධ පරීක්ෂක සහයකයෙකුගේ ඇසින්, එනම් ෂර්ලොක්ට හිටිය වොට්සන් වගේ පොයිරොට්ගේ සහායකයා විදිහට වෛද්‍ය ෂෙපර්ඩ්ට ව පත් කරමින් ඔහුගේ ඇසින් මේ රහස් පරීක්ෂණය දකින ආකාරයට රචනා කර තිබීම. මේ නිසා පොයිරොට්ගේ පරීක්ෂණ සහ නිරීක්ෂණ ෂෙපර්ඩ් හරහා කියවන්නාට සමීප කරමින් කුතුහලය උපරිම වන ආකාරයෙන් කතාව රචනා කරන්න ඇයි සමත්ව තිබෙනවා.

ඒ වගේම තවත් වැදගත් කාරණයක් තමා කෘතියේ අවසානය ගැන, එනම් අපරාධකරුවා සහ ඔහු එය කළේ ඇයි කියන දේ ගැන පාඨකයාට අනුමාන කිරීම ඉතාම දුෂ්කර වීම. ඇත්තටම කිසිසේත්ම නොසිතන අවසානක් තමයි මේ පොතට තියෙන්නේ. පොතේ හමුවන හැම චරිතයක් ගැනම සැකයක් ඇතිවන ආකාරයෙන් කතාව රචනා කරන ඇගතා ක්‍රිස්ටි අවසානේ අපරාධකරුවා නිරාවරණය කරන්නේ පුදුමාකාර විදිහට. පොතට ප්‍රස්ථාවනාවක් රචනා කරන සහ ඇගතා ගේ චරිතාපදානය ලියූ කතුවරිය වන ලෝරා තොම්සන් කියන්නේ ඇගතා මේ කෘතිය රචනා කරන්නේ හරියට සිතුවමක් නිර්මාණය කරන ආකාරයට බව. කෘතිය පුරාම බිඳෙන් බිඳ අපරාධකරුවාගේ සැබෑ ප්‍රතිරූපය සිත්තම් කරන ඈ අවසාන පරිච්ඡේදය ආසන්නයේ එක වචනයකින් සිතුවම සම්පූරණ කරනවා. ඇගතාගේ රචනා කලාවේ විශිෂ්ඨත්වය මතුවෙන්නේ එතැනදී. ඒ වගේම කතාවේ මුණගැහෙන හැම ප්‍රධාන චරිතයක්ම ඉතාම ජීවමානව ඈ ගොඩනගනවා. කෘතියටය මුල්වෙන අපරාධය සම්බන්ධයෙන් වන කතාවට මේ හැම චරිතයක්ම අඩුවැඩි වශයෙන් ඈ මනාව දායක කරගන්නවා. තවත් වෙලාවක ප්‍රධාන කතාව ඇතුළේ තව අතුරු කතා නිර්මාණය කරමින් පාඨකයාව සංකීර්ණ සිද්ධිදාමයක අතරමං කරනවා. ඒ වගේම චරිත අතරේ ඇතිවෙන සංවාද ඉතාම ප්‍රබල විදිහට ඈ නිර්මාණය කරනවා. එක් අතකින් ඇය ගැහැනියක් වීම මේ කතාව මේ වැනි සංකීර්ණභාවයකින් ගොඩනැගෙන්න බලපෑමක් කළා කියලා මම හිතනවා. මොකද ගැහැනියක් කතාවක් කියද්දී ඒක ඇතුළේ තියන කුඩා තොරතුරු වලට පවා අවධානය දෙන්න සැලකිලමත් වෙනවා. මේ නිසා ගැහැනියක් කතාවක් කියද්දී "කතාව" ඇතුළේ තියන "තොරතුරු" ප්‍රමාණය වැඩියි. රචකයෙකුගේ ලිංගික අනන්‍යතාව ඔහු හෝ ඇය අතින් ලියැවෙන කෘතියකට බලපාන්නේ කොහොමද කියන දේ විවාදාපන්න කාරණාවක් වුණත් එය ඉතාම බලපෑම් සහගත වැදගත් කරුණක් කියලා මම හිතනවා.

“Women observe subconsciously a thousand little details, without knowing that they are doing so. Their subconscious mind adds these little things together—and they call the result intuition.”

පොතෙන්ම උපුටාගත්ත කොටසක්, මේ පොතම මේ කතාව සනාථ කරවනවා.



Tuesday, September 3, 2024

අම්මා මට කියාදුන් ගී

 ඇමරිකා එක්සත් ජනපදයේ නෙබ්‍රස්කා ප්‍රාන්තයේ ඕමාහා නගරයේ ගොවිපළක් සහිත කුඩා නිවසක, ඉතා සාමාන්‍ය මාපිය යුවළකට දාව, සහෝදරියන් දෙදෙනෙකුට පසුව උපන් එක් කොලුගැටයෙකු සිටියා. කුඩාකාලෙ පටන් තිබුණු හිතුවක්කාරී ගති ගුණ නිසා මේ කුඩා කොලුවා දැඩි විනයක් සහිත හමුදා පාසලකට ඇතුළත් කරන්න ඔහුගේ මාපියන් තීරණය කරනවා. නමුත් එතැන කොහෙත්ම ඔහුට ගැළපෙන තැනක් වුණේ නෑ. ඒ නිසා එතනිනුත් ඔහුව පිටමං කෙරෙනවා. ජීවිතේ යෞවනත්වයට පත්වීම එක්ක ඔහු නිව්යෝක් රංගන පාසලට ඇතුළත් වෙන්නෙ ලොකු බලාපොරොත්තුවක් නැති ව. නමුත් ඔහු අවසානෙ නතරවෙන්නෙ ලොව මෙතෙක් බිහිවුණු අග්‍රගන්‍යම නළුවෙකු බවට පත්වෙමින්. ඔහු තමා මාලන් බ්‍රැන්ඩෝ. Songs my mother taught me කියන්නෙ බ්‍රැන්ඩෝ ගේ ජීවිත පුවත ඇතුළත් ඔහුගෙ චරිතාපදානය. එය සිංහලට පරිවර්තනය වෙන්නෙ "අම්මා මට කියාදුන් ගී" නමින්. පරිවර්තනය සිදුකරන්නෙ ලංකාවේ සිටින විශිෂ්ටතම කැමරා ශිල්පියෙකු විදිහට සැලකෙන එම්. ඩී. මහින්දපාල මහත්මයා විසින්. පොත කියවා බලද්දී වැටහෙන දෙය තමා මාලන් බ්‍රැන්ඩෝ කියන්නෙ හුදෙක්ම නළුවෙකුට එහා යන වටිනාකමක් ඇති සුවිශේෂ මිනිසෙක් බව.

රඟපෑම කියන්නෙ කොයිතරම් දුෂ්කර වෙහෙසකාරී කටයුත්තක් ද කියන දේ ගැන ඊට සම්බන්ධ නොවුණු, අඩුවශයෙන් පිරිසක් ඉස්සරයක් යම් ඉදිරිපත් කිරීමක් නොකළ කෙනෙකුට වටහාගන්න හැකියාවක් නැහැ. මාලන් බ්‍රැන්ඩෝ තම චරිතාපදානයෙදි ඒ ගැන සඳහන් කරමින් කියන්නෙ A Streetcar Named Desire නාට්‍යයෙදි දවසට කීපවතාවක්ම එකම වේදිකාවේ නැවත නැවතත් පිඟන් කෝප්ප පොළවේ ගසමින් ආවේගශීලීව රඟපෑමට සිදුවීමෙන් හට ගත්ත භාවමය වෙහෙස නිසා මානසිකව පීඩාවට පත් ව වෛද්‍ය ප්‍රතිකාර ගන්න පවා තමන්ට සිදුවුණු බව. බ්‍රැන්ඩෝ අනුගමනය කළ Method Acting නැති නම් චරිතාංග රංගන ක්‍රමය මෙවැනි ආකාරයෙ බොහොම මානසික ශ්‍රමයක් කැප කළ යුතු දුෂ්කර ව්‍යායාමයක් බවයි ප්‍රකට. බ්‍රැන්ඩෝ රංගනයට පිවිසෙන 1940 යුගයේදි මේ රංග ක්‍රමය ඒ තරම් සාර්ථක යමක් විදිහට සැලකුණේ නෑ. ඒ යුගයේදි රඟපෑම විදිහට සැලකුණේ නළුවෙක් හෝ නිළියක් තම පෞරුෂත්වය භාවිත කරමින් කරන ඉදිරිපත් කිරීමට මිස ඔහු හෝ ඇය මුළුමනින්ම අදාළ චරිතයට අනුගතවීම නොවෙයි. ඒ සමයේ දි නිව්යෝක් රංගන පාසලට ඇතුළත් වුණු මාලන් බ්‍රැන්ඩෝ නම් යෞවනයාට චරිතාංග රංගනය හදාරන්නට ලැබෙන්නෙ ස්ටෙලා ඇඩ්ලර් නම් ගුරුවරිය හරහායි. ස්ටෙලා යුරෝපයේ ස්ටැනිස්ලොව්ස්කි වැනි නාට්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් යටතේ පුහුණුව ලැබූ තැනැත්තියක්. ඇය ඇමරිකාවට පැමිණ තමන් උගත් ශිල්පය එහි නාට්‍ය කලාව හදාරන තරණ තරුණියන්ට කියාදුන්නා. පසුව ඇමරිකානු සිනමාවේ විශාල වෙනසක් සිදුවෙන්න ඇගේ මැදිහත් වීම බලපෑමක් කළ බව බ්‍රැන්ඩෝ කියනවා. බ්‍රැන්ඩෝ නිව්යෝර්ක් රංගන පාසැල විසින් බිහිකළ දීප්තිමත්ම ශිෂ්‍යයෙක් වුණා. ඔහුගෙ මුල් යුගයේ On the Waterfront වැනි චිත්‍රපටියක කළ රඟපෑම කොයිතරම් විශිෂ්ට එකක් ද කියනවා නම් චරිතාංග රංගනය හඳුන්වාදෙන්න එය උදාහරණයක් ලෙස භාවිතයට ගැනෙනවා. (පොතේ කවරයේ තිබෙන පින්තූරය). මේ අනුව මාලන් බ්‍රැන්ඩෝ එක්තරා ආකාරයට කලාවේ යුග පුරුෂයෙක් සහ අද ඇමරිකානු සිනමාවෙ ඉහලින්ම ඉන්නා ලියනාඩො ඩිකැප්‍රියෝ, වකීන් ෆීනික්ස්, ක්‍රිස්ටියන් බේල් වැනි අයගෙ ආදි පීතෘවරයෙක් විදිහටත් සැලකිය හැකියි.

නමුත් මාලන් බ්‍රැන්ඩෝ ගෙ කාර්‍යභාරය රංග භූමියට පමණක් සීමාවුණු එකක් වුණේ නෑ. සමාජ ක්‍රියාකාරිකයෙක්, සමාජයෙ පීඩාවට ලක්වූ ජනකොටස් වල මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදුණු පුද්ගලයෙක් විදිහට ඔහු වැඩිපුර හැදෑරීමට ලක්විය යුතු චරිතයක්. විශේෂයෙන්ම ඇමරිකාව තුළ රතු ඉන්දියානුවන්ට, කළු ජාතිකයන්ට සිදුවන අසාධාරණ කම් වලදී ඔහු එම ජනකොටස් වෙනුවෙන් පෙනී සිටියා. මාටින් ලූතර් කිං ඔහුගෙ සුප්‍රකට I have a dream නම් කතාව සිදුකරන විට ලූතර් කිං ට පසෙකින් සිටියේ මාලන් බ්‍රැන්ඩෝ. නමුත් පසුව ලූතර් කිං ට වෙඩි තබා මරා දැමුණා. ඇමරිකාව ජර්මනියෙ නාසි වාදීන්ගේ යුදෙව් සංහාරයන්‍ට එරෙහිව, වියට්නාමයෙ කොමියුනිස්ට් පාලනයට එරෙහිව යුධ වැදුනත් ඔවුන් තමන්ගෙ භූමියෙ සැබෑ උරුමක්කාරයන් වුණු රතු ඉන්දියානුවන් ආගම නොඅදහන ම්ලේච්ඡයන් යයි සලකා ඔවුන් විනාශ කර දමා ඔවුන්ගෙ ඉඩම් අත්පත් කර ගත්තා. ඒ අනුව නාසිවාදය කරපින්නා ගත් ජර්මන් ජාතිකයන් සහ දේව ධර්මය පෙරට දමාගෙන ඉඩම් කොල්ලකාගත් ඇමරිකානුවන් යනු එකම කාසියක දෙපැත්තක් මිස වෙනත් යමක් නොවන බව හොඳාකාරවම පැහැදිලි වෙනවා. බ්‍රැන්ඩෝ ඇමරිකානුවන්ගෙ මේ කෲර කම් විවේචනය කළා. ඉන්දියානුවන් ආයුධ අතට ගෙන ඇමරිකානු රජය හා ගැටෙද්දි බ්‍රැන්ඩෝ ඉන්දියානුවන්ගෙ පැත්තෙන් හිටගත්තා. බ්‍රැන්ඩෝ සම්බන්ධ වඩාත් ම ප්‍රකට සිදුවීම වුණේ Godfather චිත්‍රපටිය වෙනුවෙන් හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ලැබුණු විට ඔහු එය ප්‍රතික්ෂේප කරීම. මේ සිද්ධිය වෙනම ලිවිය යුතු යමක් නිසා ඒ ගැන පසුවට කියන්නම්. කොහොමත් ඔහු මේ සම්මාන සැනකෙළි වලින් බැහැරව සිටි කෙනෙක් වුණා. ජනප්‍රිය හොලිවුඩ් සිනමාව ඔහු තදින්ම විවේචනය කළා. ජීවිතේ සැඳෑ සමය ළංවෙදී ඔහු වඩාත් ප්‍රිය කළේ පැසිෆික් සාගරයේ තහිටි නම් දූපත් සමූහය අතරින් ඔහු මිලදී ගත් එක දූපතකට ව සොබාදහමට කිට්ටුව නිහඬ නිසංසල ජීවිතයක් ගතකරන්න. බ්‍රැන්ඩෝ මධ්‍යවේදි රොබට් ලින්ඩ්සේ ගෙ සහය ඇති ව රචනා කළ ඔහුගෙ චරිතාපදානය ලියවෙන්නෙ බ්‍රැන්ඩො ගෙ ජීවිතේ අවසන් දශකය කිට්ටුවෙදි. නෙබ්‍රස්කා හි කුඩා දරුවෙකු විදිහට ඇති දැඩි වූ යුගයේ පටන් නිව්‍ යෝක් නගරයට පැමිණ රංගශිල්පියෙකු වීම, ඉන්පසු ජනප්‍රියත්වයට පත්වීම, කාන්තාවන් සමග තිබූ සමහර සම්බන්ධකම්, වැදගත් සමාජ මැදහත්වීම් වැනි දේ ගැන මේ කෘතියෙ හරහා මාලන් බ්‍රැන්ඩෝ ලෝකයට ප්‍රකාශ කරනවා. තමන් නියැලුණු කලාවේ අග්‍රස්ථානයට පැමිණි පුද්ගලයෙක් විදිහටත් සමාජයෙ ලෝකයෙ යහපත වෙනුවෙන් තමන්ට හැකි පමණින් යමක් කරන්න දිවිය පුරා වෙර දැරූ මනුෂ්‍යයෙකු විදිහටත් ඔහුගෙ සිතුවිලි අප හැම කෙනෙකුම කියවා බලන්න වටින බව මම හිතනවා. විශේශයෙන් මේ පහතින් උපුටා දක්වන, පොත අවසානය වෙද්දී ඔහු පළ කරන අදහස් අප හැමෝටම අප ගෙවනා ජීවිත ගැන හිතාබලන්න යමක් ඉතිරි කරනවා.
.
.
.

"ජීවන දැක්ම අතින් මම වඩාත් සමීපතාවක් දැක්වූයේ ඇමරිකානු රතු ඉන්දියානුවන්ටයි. මම ඔවුන්ට අනුකම්පා කළෙමි. මම ඔවුන්ගේ සංස්කෘතිය අගය කළ අතර ඔවුන්ගෙන් බොහෝ දේ උගත්තෙමි. යුදෙව්වන් නිසා මනස විවෘත කර ගැනීමටත්, දැනුම සහ ඉගෙනීමේ අගය අවබෝධ කර ගැනීමටත් මට හැකිවිය. එසේම කළු ජාතිකයින්ගෙන් මම බොහෝ දේ ඉගෙනගත්තෙමි. ඒ සියල්ලන්ටම වඩා පොලිනීසියානුවෝ මගේ ජීවිතයට බොහෝදේ එක් කළෝය. ඒ ඔවුන් ජීවත් වූ සරල ක්‍රමවේදය නිසයි...

මුල්වරට ෂැටූක් පුස්තකාලයේ දී National Geographic සඟරාවේ පිටු පෙරළද්දී තහිටි දූපත් පිළිබඳව මගේ අවධානය යොමු වූයේ එහි ජීවත්වූ වැසියන්ගේ මුහුණුවල තිබූ අපූරු පිළිබිඹුව නිසයි. ඒ සියල්ල සතුටු මුහුණු ය. එහි ජීවත්වීම හරහා මා අවබෝධකොට ගත්තේ ඔවුන් මේ මිහිපිට ජීවත්වන ප්‍රීතිමත්ම ජනකොට්ඨාසය බවයි..

අපට සුවිසල් ගෙවල්, යානවාහන, හොඳ වෛද්‍ය පහසුකම්, ජෙට් යානා, දුම්රිය හා මොන්රෝල් යානා ද ඇත. එසේම පරිඝණක, යන්ත්‍ර සූත්‍ර, සන්නිවේදන පහසුකම් වැනි කොතෙක් සුඛෝභෝගී පහසුකම් ද ඇත. එහෙත් සාර්ථක සමාජයක් නම් ප්‍රීතිමත් මිනිසුන් බිහිකළ යුතු වේ. මගේ අදහසේ හැටියට අපේ රටේ ජීවත්වන්නේ මහ පොළොව මත සිටින අවාසනාවන්තම ජන කොට්ඨාසයයි. මම ලෝකයේ බොහෝ රටවලට ගොස් ඇත්තෙමි. එහෙත් ඇමරිකා එක්සත් ජනපදයේ තරම් අසතුටින් ජීවත්වන ජනකායක් මම වෙනත් කිසිදු රටක දැක නැත්තෙමි. අපට බොහෝ දේ ඇත. එහෙත් අප තුළ කිසිවක් ඉතිරිව නැත. එබැවින් නිතරම අපට තවත් දේ අවශ්‍යවේ. ප්‍රීතිමත් මිනිසුන් බිහිකිරීමට අපි අසමත් වී සිටිමු. අපේ ජීවත්වීමේ පරමාදර්ශය බවට පත්ව ඇත්තේ භෞතික සම්පත් එක්‍ රැස් කිරීම මිසක ජීවත්වීමේ ආස්වාදය නොවේ....

ඇතැම් උදවිය මා පිළිබඳව කියන කතාවක් නම්, "ඇයි මාලන් ඇමරිකාව මේ තරම් පහත්කොට කතා කරන්නේ? ඔයාට මේ රටේ දි නරකක් වෙලා නැහැ නේද?" යන්නයි.

ඔව් ඇමරිකාව මට හොඳක් කර තිබෙන බව ඇත්ත. එහෙත් එය මට බන්දේසියක තබා ලබා දුන් දෙයක් නොවේ. ඒ සියල්ල මා ලැබුවේ දහදුක් විඳිමින්, මගේ දහඩිය මහන්සිය හා ශ්‍රමය කැපකිරීමෙනි.... නිවැරදි අවස්ථාවන් මට හමු නොවිනි නම්, මට වාසනාවක් නොතිබුණි නම් මා කවරෙකු වීමට ඉඩ තිබුණේදැයි මම නොදැනිමි.... එසේ නොවූවා නම් කර්මාන්ත ශාලාවක කම්කරුවෙකු සේ ඒකාකාරී ජීවිතයක් ගෙවීමට මට සිදුවනු ඇත. එසේ වී නම් දරු තිදෙනෙකුගේ පියෙකු වීමෙන් පසු අවුරුදු 50 හෝ 55 පමණ වන විට පෙරදින එකතු කළ කුණු මල්ලක් සේ මා ඉවතට විසිකර දමනු නියත ය. මෑත යුගයේදි බොහො ඇමරිකානුවන්ට සිදුවූයේ එයයි. එවැන්නක් තහිටිවල සිදුවන්නේ නැත. එයට හේතුව එය පන්ති විරහිත සමාජයක් වීම නිසයි."

- Songs my Mother Taught Me
- Marlon Brando
- අම්මා මට කියාදුන් ගී
- පරිවර්තනය : එම්. ඩී. මහින්දපාල
- ප්‍රකාශනය : සේරි ප්‍රකාශන



Sunday, August 4, 2024

අන්තිමට, නිහඬබවම කතාකරන්න ගත්තම

ප්‍රභාත් ජයසිංහ ගේ "අන්තිමට, නිහඬබවම කතාකරන්න ගත්තම" කවි පොත කියවලා මේවට කවි කියලා කියන්න පුලුවන් ද කියල කවුරු හරි කෙනෙක් අහන්න පුලුවන්. එහෙම අහන කෙනෙකුගෙන් ආපහු අහන්න තියෙන්නෙ මේව කවි නොවන්නේ කොහොමද කියන ප්‍රශ්නය තමයි. වාග්මය සෞන්දර්ය, කාව්‍ය අලංකරණ වගේ භාෂාමය සැරසිලි හැකිතාක් ඉවත් කරලා ලියවෙන කවි ගැන හොයාබලනකොට මං හිතන්නෙ සිංහල භාෂාවෙන් ලියවෙන කවි සම්බන්ධයෙන් තරමක් ඉතිහාසයකට අපිට ආපහු ගමන් කරන්න සිද්දවෙනවා. කොළඹ යුගයේදි කවිය අතිශ්‍ය සෞන්දර්යවාදීව රොමාන්තිකකරණයට ලක්වෙලා, සිව්පද විදිහට ආකෘතිගත වෙලා තිබුණ කාලයක ජී. බී. සේනානායක, සිරි ගුණසිංහ වගෙ අය බටහිර කවියේ ආභාසය අරගෙන, එවකට තිබුණ විරිතකට අනුව පද්‍ය ගොනු කිරීමේ සම්ප්‍රදාය බැහැර කරලා, යම් ආකාරයක නිදහස් ආරකින් කවි රචනා කරන්න පටන් ගත්තා. සඳැසින් මිදුණු ඒවා නිසඳැස් විදිහට හැඳින්වුණා. අර භාෂාවෙ රසකාරකයන්ගෙන් මිදිලා හැකිතාක් කාව්‍යමය අත්දැකීමට මූලිකත්වය දෙමින් සංරචනය වුණ සාහිත්‍ය ප්‍රවර්ගයක් විදිහට මේ කවි අපිට හඳුනාගන්න ලැබෙන්නෙ. ඉන්පස්සෙ ආරියවංශ රණවීර වගේ කවියෙක් මේ ආකාරයෙ කවි ඉතාම ජනප්‍රිය තලයකට අරගෙන ආව. මේ ක්ෂුද්‍ර ගුණයෙන් (කාව්‍ය තේමාව අනුව) යුක්ත රණවීරමය කවිය සිංහල කවිය ඇතුලේ අතුපතර ලා වැඩුණා.

නමුත් මේ කවිය කෙනෙකුට පහසුවෙන් අනුකරණය කරන්න පුලුවන් ආකෘතියක් නෙවෙයි. බැලුබැල්මට ඉතාම සරල වචන පෙළක් පහලට ලියා ඇති බවක් පෙනුනට කවිය බවට පත්වෙන්නෙ කාව්‍ය නිමිත්ත, අනුභූතිය වෙන්නෙ ඉතා සියුම් ජීවිත අත්දැකීමක්. හොඳ රසවින්දන ශක්තියක් සහ කාව්‍යමය පුහුණුවක් නොලැබූ කෙනෙකුට මෙන්න මේ දෙය ග්‍රහනය කරගන්න හැකියාවක් නෑ. කවිය කියන්නෙ කවියාගෙ ප්‍රකාශයක් නෙමෙයි. කවිය කියන්නෙ කවියාගෙ චිත්‍ත සන්තානයෙ පහළවන සිතිවිල්ලමයි. කවිය යනු එක්තරා ආකාරයක සිතීමේ ක්‍රමයක්. කවිය සහ කවියා මෙතනදි දෙකක් නොවෙයි එකක්. මේ ආකෘතිය වෙනත් කෙනෙකුට අනුකරණ කරන්න බැරි ඒ නිසා. ඔහු එය තම ජීවිතයෙන්ම උපයාගත යුතුයි, තම සිතීම හරහාම කවිය උපදවා ගත යුතුයි. එහෙම සිතීමේ ක්‍රමයක් වැඩි දියුණු කර නොගත් කෙනෙකුට ඒ කවි මාර්ගයෙ පවතින්න බෑ. ප්‍රභාත් ජයසිංහගෙ මේ කවි පොතේ අපිට මුණ ගැහෙන්නේ ජීවිතේ මැදිවයස ඉක්මවා යමින් සිටින සහ ගෙවී ගිය අතීත ජීවිතයක් සහ සැඳැ සමයක් අබිමුවේ ජීවිතේ දිහා "කාව්‍යමය කල්පනාවකින්" බලන කල්පනාකාරී මිනිසෙක්.

උදාහරණ විදිහට පොතේ තියන 14 වෙනි කවිය අරගමු. කවියෙ ඉන්නෙ ස්විමිං පූල් එකක නාන්න ගිය තරුණ පුතෙක් සහ තාත්තා කෙනෙක්. තාත්තාට පීනන්න දන්නෙ නෑ, වතුරට බැහැල ඔහේ දියබුං ගගහ ඉන්නව. පුතාට හොඳට පීනන්න පුළුවන්. පුතාට ඒ හැකියාව ලැබිල තියෙන්නෙ තාත්තා පොඩි කාලෙම පුතාව ප්‍රයිවට් පූල් එකකට යවලා පීනන්න හුරු කළ නිසා. පීනන්න බැරිව ස්විමිං පූල් එකට වෙලා තාවර වෙවී ඉන්න තාත්තව දැකල වෙන්න ඕන පුතා ඇවිත් තාත්තට කියනව "තාත්තෙ මං පීනන්න උගන්නම්" කියලා. ඒක අහලා තාත්තා ගෙ සතුට උපරිම තැනට එනවා. කාව්‍ය නිමිත්ත වෙන්නෙ මේ අත්දැකීම. එක්කො මේ තාත්තට තමන්ට තරුණ වයසේ නොලැබුණ නිදහස් විනෝදකාමී ජීවිතයක් ගැන සාංකාවක් තියනව. ඔහු පුතාව හදන්නෙ ඒ අඩුපාඩුව පුතාට නොදැනෙන්න. "පිහිනීම" කියන කාරණෙන් සංකේතවත් වෙන්නෙ තාත්තට ලබා ගන්න බැරිවුණු ඒ ජීවිතය. නැත්නම් ඔහුට තියෙන්නෙ ඇරියස් එකක්. තමන්ට කරගන්න බැරි වුණු දේ පුතා ලවා කරවා ගැනීමේ උවමනාවක්. නැත්නම් මේ තාත්තා ඉන්නෙ මේ දෙකම අතර මැද වෙනත් අවස්ථාවක වෙන්නත් පුලුවන්. කියවන්නාට තමන්ගෙ දෘෂ්ටි කෝණයෙන් කවියට පිවිසෙන්න ඉඩක් කවිය ඇතුලෙ හැදිලා තියනව. මේ ආකාරයට නොයෙක් නොයෙක් දිශාවන්ට වරනගන්නට හැකිවීම (සංදිග්දතාව) හොඳ කවියක ලක්ෂණයක්.

ඊළඟට පොතේ 31 කවිය. මං වඩාත් ඊරිසියාසහගතම කවිය. මේ වගේ එකක් ඇයි මට නොහිතුණෙ කියල හිතුණු කවිය. කවියෙ ඉන්නෙ දිය ඇලි බලන්න යන මනුස්යෙක්. හැතැප්ම සිය ගණන් ගෙවාගෙන දියළුම, දුන්හිඳ වගේ දිය ඇලි බලන්න වාහනේ නැගලා ඔහු යනවා. එතකොට ඔහුත් එක්කම එන යාලුවෙක් අහනව "ඔච්චර දුර යන්නෙ මොනව බලන්නද" වගේ කතාවක්. ඒ ප්‍රශ්නෙට ඔහුට තියන උත්තරේ කාව්‍යාත්මක එකක්. ඔහු තමාවත් දියඇල්ලත් එක ළඟ තියලා සංසංදනය කරමින් හිතනවා. ඒ සිතීම තමා කවිය වෙන්නෙ. මේ පහළින් තියෙන්නෙ ඒ කවිය. ඔහු දිය ඇල්ල අමතන්නෙ "ඇය" කියලා. සොබාදහමත් එක්ක ඔහුගේ බැඳීම නිසාද එහෙම ඔහුට හිතෙන්නෙ? නැත්නම් ඔහු තමන් දන්නා හඳුනන වෙනත් ගැහැනියක් ද දිය ඇල්ලට අනුරූප කරන්නෙ?? ඒකට උත්තරේ දන්නෙ ඔහු පමණක් වුණත් මේ කවිය පැහැදිලිවම අපිට අපේ කරගන්න පුලුවන්. අපේම ජීවිත ඇත්දැකීම එක්ක ඒකාත්මික කරගන්න පුලුවන්. ඒ තමා හැබෑම කවිය.
.
.
.
දියළුම දුන්හිඳ රාවණා
කොලපතන
ලවර්'ස් ලීප්

සැතපුම් සිය ගණන් මග ගෙවා
පාමුලට ගොස්
බලා ඉමි

'මෙච්චර දුර ගෙවාගෙන ඇවිත්
මොනවද උඹ හොයන්නෙ'
අසයි මිතුරෙක්
මා සමග පැමිණි

'දිය ඇල්ලට දිය ඇල්ලක්
සම්මුඛ වීම'
මම කියමි

ගලාගෙන ඇවිත් වෙහෙසව
ගලන එක මොහොතකට නවතා
එක්තරා තැනකදි
ඉහිල්ව
නිදහසේ
කඩා හැලී
කුඩා බිඳිතිව බිඳී
පාමුලදි එකතුවී
යළි ගලා යන්නෙය ඇය

ගලාගෙන ඇවිත් වෙහෙසව
ගලන එක මොහොතකට නවතා
ඇය'භියස
නිදහසේ
කඩා හැලී ඈ එක්කම
කුඩා බිඳිතිව බිඳී
පාමුල දි එකතු වී
යළි කාරයෙ නැගී
ගලා එන්නෙම ගෙදර මම


~ "අන්තිමට, නිහඬබවම කතාකරන්න ගත්තම"
~ප්‍රභාත් ජයසිංහ



Saturday, July 6, 2024

ගෝදානය

 දඩයම් යුගයේදී වනපල නෙලා ගෙන සොබාදහමේම කොටසක්ව දිවි ගෙවීමට හුරුව සිටි මිනිසා කෘෂිකාර්මික ජීවන රටාවකට මාරුවිමත් සමග තම ජීවිත පැවැත්ම වඩා සංකීර්ණ බවට පත් කරගත්තේ ය. ඔහු බිම්කොටා සකසා තමන්ට අවැසි බෝගවර්ග වගා කරගන්නට පටන් ගත් අතර මිනිසාට එලෙස මහපොළොවත්, අව්වැසි සුළි සුළං ආදී ස්වභාවික බලවේග සමග නිරන්තර අරගලයක නිරතවීමට සිදුවිය. මෙය මනුශ්‍යයින්ට දරාගත හැකි ශක්ති ප්‍රමාණය ඉක්මවායන අතිශ්‍ය වෙහෙසකාරී කාර්යභාරයක් වූ නිසා ගොවි කටයුතුවල නිරත වන මිනිසා ඉන් හෙම්බත් වී විඩාවට පත් විය. නමුත් ශිෂ්ටාචාරයේ ගමන්මග ගොඩනැගුණේ ඒ මාවත ඔස්සේ ය. පොළොව බෙදා වෙන් කරගෙන එයට අයිතිවාසිකම් කියන්නට පටන් ගත් දා සිට මිනිසා ගේ ආත්මාර්ථය දියුණු විය. භූමියට ඇති හිමිකම් මත සමාජ බලය සහ අධිපතීත්වය තීන්දු විය. පාලන බලය හිමි සුළු පිරිසකට භෞතික වස්තු සම්භාරයක අයිතිවාසිකම් හිමිවූ අතර අති බහුතරයක් දෙනා ශ්‍රමය වගුරා ඒ වෙනුවෙන් ද තම දිවි පැවැත්ම වෙනුවෙන්ද ඔවුන්ට සේවය කළ යුතු විය. වහල් යුගයේ සිට වැඩවසම් යුගය පසුකරගෙන වෙලඳාම මුල්කරගත් ධනේශ්වර සමාජ ක්‍රමය දක්වා අප පැමිණ සිටිමු. පීඩනයේ ස්වරූපය වෙනස් වුවත් තවමත් මිනිසාගේ පැවැත්ම අසාධාරණය සහ අයුක්තියේ විෂම චක්‍රයක නොපවතින බව කිව හැකි ද.

භාරතීය ලේඛක ප්‍රේම්චාන්ද්ගේ Godaan නවකතාවට පාදක වන්නේ 1900 මුල් භාගයේ කෘෂිකර්මාන්තය මුල් කරගත් ඉන්දියානු ගැමි සමාජයේ පැවති මේ විෂමාචාරී ස්වභාවයයි. මෙය ප්‍රේම්චාන්ද්ගේ අවසාන නවකතාව සේම ඔහුගේ අග්‍රම කෘතිය ලෙස සැලකෙයි. ගෝදාන් ලියා අවසානයේ අත්පිටපත තුරුලු කරගෙන ඔහු අවසන් හුස්ම හෙළුවේලු. Godaan ඉන්දියානු නවකතා අතර ප්‍රමුඛ ස්ථානයේ ලා සැලකෙන කෘතියකි. එය "ගෝදානය" නමින් සිංහලට පරිවර්තනය කරන්නේ භාරත සාහිත්‍යයේ අගනාම නිර්මාණයන් සිංහල පාථකයා හමුවට ගෙන ආ චින්තා ලක්ෂ්මි සිංහාආරච්චි මහත්මියයි. මේ කෘතිය පරිවර්තනයෙන් අවසානයේ එතුමියද ජීවිතයෙන් සමුගන්නේ දෛවෝපගත ආකාරයටයි. ප්‍රේම්චාන්ද් යනු මේ ලේඛකයා ආරූඪ කරගත් නාමයක් වන අතර ඔහුගේ සැබෑ නාමය නම් ධන්පත් රායි ය. එවකට භාරතයේ පැවති බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය දැඩි සේ විවේචනය කරමින් තම පළමු කෙටි කතා සංග්‍රහය පළ කිරීම නිසා ඇති වුණු ජීවිත තර්ජන මෙලෙස ඉන්පසු ආරූඪ නාමයකින් පෙනී සිටීමට හේතු කාරණ විය. 1963 වසරේ දී Godaan එම නමින්ම චිත්‍රපටියක් ලෙස ප්‍රතිනිර්මාණය වූ අතර එහි ප්‍රධාන චරිතය ප්‍රකට නළු රාජ් කුමාර් විසින් රඟදක්වනු ලැබීය. 2004 දී ඉන්දියානු "දූර්දර්ශන්" රූපවාහිනී නාලිකාව විසින් නිෂ්පාදනය කරන ලද කොටස් 27 ක රූපවාහිනී නාට්‍යයක් ලෙස Godaan යළිත් ප්‍රතිනිර්මණය වී ඉන්දියාව පුරා මහත් ජන්ප්‍රියත්වයක් හිමි කරගත්තේ ය. මේ රූපවාහිනී නාට්‍ය දූර්දර්ශන් youtube නාලිකාවේ ඇත.

ගෝදානය කේන්ද්‍රගත වන්නේ භාරතයේ ලක්නව් නගරය ආසන්න ගමක වෙසෙන හෝරි නම් ගොවියෙකු වටා ය. හෝරි ගේ බිරිඳ ධනියා වන අතර ඔහුට දරුවන් තිදෙනෙකු වෙයි. හෝරී යනු ගතානුගතික අදහස් කරපින්නා ගත් සාමාන්‍ය ගැමියෙකි. මුදල් පරිහරණය ඒ තරම්
හුරුනැති මේ ගැමියන්ට නිතර ගමේ බලවත් මිනිසුන්ගෙන් මුදල් ණයට ගැනීමට සිදුවෙයි. මේ ගම් ප්‍රධානීන් ණයට දී අධික පොළියක් අය කර එය ගෙවීමට නොහැකි වූ කළ ගොවියන්ගේ අස්වනු, ඉඩකඩම්, හරකබාන ආදියද කොල්ලකා ගනිති. හෝරි බොහෝ වෙහෙසවී කුඹුරු වැඩ කර අස්වනු නෙළා සෞභාග්‍යමත් ජීවිතයක් ගතකිරීමට සිහින දකින නමුත් සැමදා ඔහුගේ සිහින බොඳවී ඔවුන් දුගී බවේ පත්ලටම ඇදවැටෙයි. හෝරි ඇතුළු ගැමි ජනතාවගේ ජීවන යථාර්ථය මෙයයි.

හෝරී මෙන්ම ඒ ගමේ අනෙක් ගොවියන් ජීවත්වන සහ වගා කටයුතු කරන ඉඩම් හිමි වන්නේ රායි නම් සමින්දාර් වරයෙකුට ය. ඔහුගේ ඉඩම් වල ජීවත්වන සියළු ගොවියන් රායි මහතාට බදු ගෙවිය යුතු ය. රායි මහතාට ඔහුගේ සමාජ මට්ටමේ මිතුරන් කීපදෙනෙක් වෙයි. ඛන්නා, මෙහෙතා, මාලතී, ගෝවින්දි ඒ අතරින් කීපදෙනෙකි. ඔවුන් ධනවත් සුඛෝපභෝගී පැලැන්තියේ ජීවිත ගෙවූවත් ඔවුන්ටද තවත් ආකාරයකින් ජීවන සටනක නිරත වී සිටීමට සිදුව ඇත. ධනය ගොඩගසා ගැනීම සේම එම ජීවන රටාව පවත්වාගෙන යාමට ද බොහෝ දුෂ්කරතාවන්ට මුහුණදිය යුතු ය. ජීවිතය නම් ස්වභාවයෙන්ම විෂමාචාරී බව උරුම කර ගත්තකි. දුප්පත් ගොවියෙක් වූවද ඉඩම් හිමි මහරාජා කෙනෙකු වුවද සැමට පොදු වන්නේ එකම ජීවන ධර්මතාවකි. ජීවිතයේ සැබෑ සැනසුම ඇත්තේ ජීවිතේ ඇති මේ අස්ථිර ස්වභාවන් අවබෝධ කරගෙන ධන සම්පත්වලට අනවශ්‍ය ලෙස නොඇලී සැබෑ මනුෂ්‍යත්වය අනුසාර කරමින් දිවි ගෙවීමෙන් බව කතුවරයා මාලතී, මෙහෙතා වැනි චරිත හරහා අපට පෙන්වා දෙයි.

සමාජයෙහි මෙන්ම ලෝකයෙහි ද ස්ත්‍රී පුරුෂයින්ගේ ජීවිත තුළ ද ඇති තතු ඒ ආකාරයෙන් නිරූපිත කරන යථාර්ථවාදී ශෛලියකින් ලියවී ඇති ගෝදානය සම්භාව්‍ය සාහිත්‍ය ප්‍රිය පාථකයා කිසිසේත් මඟහැරගත නොයුතු නිර්මාණයකි. එමෙන්ම දහසක් දුක්ගැහැට විඳ දරාගෙන ස්වශක්තියෙන්ම වංග, හින්දි, උර්දු ආදී භාරත භාෂා උගෙන සාහිත්‍යයේ මෙවැනි වටිනා මිණිකැට සිංහල බසින් කියවන පාථකයා හමුවට ගෙන ඒමට සිය දිවි කැපකළ චින්තා ලක්ෂ්මි සිංහාආරච්චි පරිවර්තිකාවට මෙරට පාථකයා සදා ණයගැති බව මෙහි සඳහන් කිරීමට වටින්නේ ය.



Tuesday, April 2, 2024

මනුසත්වග

1964 මාර්තු 13 වන දින අලුයම තුන පසුවී විනාඩි තුනක් ගත වූ තැන නිව් යෝර්ක් නගරයේ ක්වීන්ස් කිව් උද්‍යානය සමීපව රතු පැහැති ෆියට් මෝටර් රථයක් නැවැත්වීය. එයින් පිටතට පැමිණියේ මොටෝරිය පදවාගෙන ආ විසි අට හැවිරිදි කැතරින් සුසාන් ජෙනොවේස් ය. කිටී නමින් බොහෝ දෙනා දැන සිටි ඈ නිව් යෝර්ක් නගරයට ඉතා ප්‍රිය කළ නිදහස්කාමී තරුණියක වූවාය. 

ඒ රාත්‍රියේ අවට පැවතියේ තදබල සීතලකි. කිටී මෙහි ආවේ අසල මහල් නිවසක වෙසෙන ඇගේ මිතුරියක මුණගැසෙනු සඳහා ය. මෝටර් රථයේ දොරවල් වසා දැමූ ඇයට ඉදිරියට ගමන් කළ හැකිවූයේ පියවර කිහිපයක් පමණි. හදිස්සියේම ඈ වෙත එල්ල වූයේ පිහි ප්‍රහාරයකි.

"අයියෝ දෙවියනේ! මෙන්න මට පිහියෙන් ඇන්නා. මට උදව් කරන්න!!"

කිටී මරහඬ නැගුවාය. නුවරුන් සුවපහසුව නිදිගෙන සිටිනා ඒ අලුයම් යාමයේ උදව් ඉල්ලන කිටී ගෙ කටහඬ හමා ආ සුළඟේ පාවී බොඳවී ගියාද? කිසිසේත්ම නැත. අසල තිබූ මහල් නිවාසයේ වැසියන්ට ඇගේ හඬ හොඳින් ඇසී තිබුණි. ඉතින් ඔවුන් කළේ කුමක් ද? New York Times පුවත්පත වාර්තා කරන ආකාරයට මහල් නිවැසියන් 38 දෙනෙකු කිටී ගේ හඬ ඇසී අවදි වුණු අතර ඔවුන් පහන් දල්වා ජනෙල් අසලට පැමිණ යම් නාඳුනන අමුත්තෙක් යුවතියකට පිහියෙන් ඇන මරා දමනා ආකාරය චිත්‍රපටයක් නරඹන්නාසේ බලා සිට ඇත!

මෙවැන්නක් සැබවින්ම සිදුවිය හැකි ද? මිනිසුන් නිතරම විපතේ දී එකිනෙකාට උදව් කරගන්නා බව අප අත්දැකීමෙන් දනිමු. එසේ නම් ක්වීන්ස් කිව් උද්‍යානයේ සිදුවීම අප පැහැදිලි කරගන්නේ කෙසේ ද? 

මිනිස් ගති ස්වභාවයන් ගැන දාර්ශනික සංවාදය සියවස් ගණනක සිට පැවත එන්නකි. මෙහිදි වඩාත් බලපෑම් සහගත දාර්ශනිකයින් අතර 17 වන සියවසේ ජීවත් වූ තෝමස් හොබ්ස් කැපී පෙනෙයි. ඔහුගේ 'Leviathan' කෘතිය මේතාක් ලියවී ඇති විශිෂ්ටතම දේශපාලන දාර්ශනික කෘතිය ලෙස හඳුන්වනු ලබයි. මිනිස් ස්වභාවය ගැන හොබ්ස් පළකර ඇත්තේ මෙවැනි අදහසකි. මිනිසා සහජයෙන්ම බියසුළු බව, කෲරත්වය උරුම කරගත් ජීවී කොටසකි. නමුත් ශිෂ්ටාචාරය නම් තුනී පටලයකින් ඔහු තමන්ගේ අවගුණ වසාගැනීමට සමත්වී සිටින්නේය. ඉඳහිට වන යම් සිදුවීමකින් ඔහුගේ මේ ශිෂ්ටත්වයේ පටලය සිදුරුවෙයි. එවිට ඇතුළත සිටින සැබෑ සත්ත්වයා පිටතට නිරාවරණය වන්නට පටන් ගනියි. මිනිසා පිළිබඳ වඩාත් යථාර්ථවාදීම නිර්වචනය මෙය බව අද දක්වාම අතිශ්‍ය බහුතරයක් දෙනා විසින් පිළිගනු ලබයි. Game of Thrones, House of Cards වැනි රූපවාහිනී මාලා නාටක සේම බොහෝම චිත්‍රපට, සාහිත්‍ය කෘතිවලට බලපා ඇත්තේ මිනිසා පිළිබඳ මේ හොබේසියානු අදහසයි.

නමුත් සෑම කෙනෙකුම ඒකමතිකව හෝබ්ස් හා එකඟ වූයේ නැත. තෝමස් හොබ්ස් සමග දාර්ශනික ප්‍රතිවාදී සටන් බිමට පැමිණෙන්නේ ඔහුට වසර ගණනාවකට පසු බිහිවන ප්‍රංශ දාර්ශනික ජීන් ජැක් රූසෝ ය. රූසෝ පවසන්නේ කුමක් ද? මිනිසා සම්බන්ධව ඔහු කියා සිටින්නේ හෝබ්ස්ට සපුරා ප්‍රතිවිරුද්ධ අදහසයි. එනම් රූසෝ පවසන්නේ මිනිසා ස්වාභාවයෙන්ම යහපත් බව උරුම කරගෙන සිටින බවයි. නමුත් ශිෂ්ටාචාරයේ දියුණුවත් සමග ඔහු තම පැවැත්ම වෙනුවෙන් පිහිටුවාගත් ආයතනවල බල අධිකාරය විසින් මිනිසා නපුරට ඇද දමා තිබේ. ඉතිහසයේ වඩාත් නිදහස් සහ සාමකාමී දිවිපෙවතක් ගත කර ඇත්තේ මානව පරිණාමයේ මුල් යුගයේ ඵල වැල නෙලාගෙන දඩයමින් යැපුණු මිනිසුන් වන අතර ඔහු ක්‍රමයෙන් කෘෂිකාර්මික ජීවන ක්‍රමයකට යොමු වී තමන්ටම කියා බිම් කොටස් වෙන් කරගෙන වගා කරන්නට පටන් ගත්තේය. එයින් මිනිසා තුළ වූ තෘෂ්ණාව වැඩි කරන්නට හේතු විය. ශිෂ්ටාචාරයේ දියුණුව සමග වුණේ මෙය තවත් නරක අතට හැරීමයි. රූසෝ නිවැරදි බව කියන්නට ද අපට බොහෝ සාධක ඇත. ශ්‍රී ලංකාවේ වැද්දන් ලෙස අතීත මිනිසා ජීවත් වූ ආකාරයට දිවිගෙවන ප්‍රාථමික මිනිස් කණ්ඩායම් තවමත් අපට දක්නට ලැබෙයි. නමුත් ඔවුන් තමන්ගේම වර්ගයා සමූල ඝාතනය කරන්නේ නැත. තම වර්ගයාගේ හිස් මතට පරමාණු බෝම්බ අතහරින්නේ නැත. තම සහෝදර ජන කණ්ඩායම් ගෑස් කාමරවල දමා පණපිටින් පුළුස්සා මරන්නේ නැත. ඒවා කරන්නේ දියුණු අප ය. පුවත්පත්වල  පිටු පිරී තිබෙන්නේ මිනිස් කෲරකම්වලිනි. මිනිසුන් අතර තවමත් නපුර මෙලෙසින් පවතින්නේ රූසෝ කියන අයුරින් ශිෂ්ටාචාරය විසින් අපව ඒ තත්ත්වයට ඇද දැමූ නිසා ද? නැත්නම් හොබ්ස් කියන අයුරින් අප යහපත් කමේ වෙස් මුහුණු යට සැඟව තිබෙන සැබෑ ස්වභාවය එළිදරව්වීම නිසා ද යන්න විසඳා ගත යුතු ගැටළුවකි.

තවමත් තුරුණු වියේ පසුවන, ඕලන්ද ජාතික ඉතිහාසඥ රූගර් බ්‍රෙග්මාන් තම Humankind කෘතියෙන් සිදු කරනු ලබන්නේ ඉහත ගැටළුවට සැබෑම පිළිතුර කුමක්ද යන්න සොයා යාමයි. එනම් හොබ්ස් කියන ලෙස මිනිසුන් සැබවින්ම කුරිරු ද නැත්නම් රූසෝ පවසන ලෙස ඔවුන් යහපත් අය ද යන්න පිළිබඳ සියුම්ව විමර්ශණය කර බැලීමයි. මෙහෙදී, මෙම කරුණ ගැන ලොව මෙතෙක් සිදුකර ඇති වඩාත් ප්‍රකටම පරීක්ෂණ කිහිපයක් ගැන බ්‍රෙග්මාන් අවධානය යොමු කරයි. මනෝවිද්‍යාඥ පිලිප් සිම්බාර්ඩෝ ගේ "ස්ටැන්ෆෝර්ඩ් බන්ධනාගාර පරීක්ෂණය", මහාචාර්ය ස්ටැන්ලි මිලිග්‍රෑම්ගේ "කම්පන පරික්ෂාව" ඒ අතරින් කිහිපයකි. පරීක්ෂණ සියල්ලගේම පාහේ ලැබෙන ප්‍රතිඵලය එකම එකකි. එනම් මිනිස් ස්වභාවය සම්බන්ධයෙන් වඩා නිවැරැදි තෝමස් හොබ්ස් යන්නයි. නමුත් මේ පරීක්ෂණ සිදුකළ ආකාරය, සිදුකළ අය සහ ඔවුන්ගේ අරමුණු නැවත විමසා බලන බ්‍රෙග්මාන් සත්‍ය ඇත්තේ අපට මතුපිටින් පෙනෙන දෙයට වඩා බොහෝ ඈතින් බව පෙන්වා දෙයි.

මිනිසුන් සම්බන්ධයෙන් වඩාත් කළකිරෙනම සිදුවීමක් නම් දෙවන ලෝක යුද්ධයයි. මිනිසා ගැන වඩාත් කෲරතම වඩා බිහිසුණුම සිදුවීම් එහිදී සිදුවූ බව අසන්නට ලැබෙයි. හිට්ලර් විසින් තම රටේ තමන් සමගම විසූ මිලියන ගණනක් යුදෙව් ජනයා සමූලඝාතනය කරනු ලැබීම ජර්මානු ජනතාව අනුමත කළහ. එය වුණේ කෙසේ ද?? ජර්මානුවන් මෙ තරම් දුෂ්ට ජාතියක් ද?? ඔවුන්ට මානුෂික හැඟීම් නැද්ද?? යුදෙව්වන් ගැන අපට දැනෙන තරම් ජර්මානුවන්ට තම සහෝදර ජාතිය ගැන කම්පාවක් නැද්ද?? දෙවන ලෝක යුද්ධයෙන් පසුව, යුදෙව්වන් මරා දැමීමට දායක වූ නාසි හමුදාවේ ඉතිරිවී සිටි ඉහළ නිළධාරීන් නොයෙක් ආකාරයේ පරීක්ෂණවලට ලක් කෙරුණි. එයින් හෙළි වුණේ එකම එක කරුණකි. එනම් ඔවුන් ඉතා සාමාන්‍ය මිනිසුන් ය. "ඔබේ සතුරා ඔබ වැනිම කෙනෙකි" යන කියමන සැබෑවක් කරමින් ඔවුන්ගෙන් වෙනත් කිසිදු විශේෂත්වයක් දක්නට නොලැබුණි. නමුත් සාමාන්‍ය මිනිසාට පොදු වූ එක කරුණක් මෙහිදී පසක් කරගනු ලැබීය. ඒ ඔවුන් ඉතා පක්ෂපාතී අය යන්නයි. ජර්මානුවන්ගේ මානව දයාව තම ජාතියට සීමා වී තිබූ එකකි. ඔවුන් සටන් කර තිබුණේ තමන්ගේ ජාතිය වෙනුවෙනි. යුද්ධය වෙනුවෙන් ඔවුන් පොළඹවා තිබූ කාරණාව තමන්ගේ ජාතියට ඇති ආදරයයි. මෙහිදී තවත් කරුණක් හෙළිවේ. එනම් ඕනෑම නපුරු ක්‍රියාවක අවසන් ප්‍රතිඵලය යහපත් එකක් බව ඒත්තු ගැන්වූ කළ ඒවා අනුමත කිරීමට මිනිසුන් පෙලඹේ. යුදෙව්වන් සමූලඝාතනය වෙනුවෙන් හිට්ලර් ජර්මානු ජාතිකයින් සහ යුරෝපයෙ තවත් ජාතීන් නම්මවාගෙන තිබුණේ එලෙසිනි. නමුත් එක රටක් හැර. එනම් ඩෙන්මාර්කය. ඩෙන්මාර්කයෙහි ජීවත් වූ යුදෙව්වන්ට අත තබන්නට කොයිතරම් දතකෑවත් නාසිවාදීන්ට එයට ඉඩ ලැබුණේ නැත. යුදෙව් ජනතාව තමන්ගේම රටේ ව්‍යස්ථාවට අනුකූල තම සහෝදර පුරවැසියන් ය යන හැඟීම ඩෙන්මාර්ක වැසියන් තුළ සියල්ලටම අභිබවා ඉහළ නැගුණි. ඩෙන්මාර්ක ජාති‍යන්ගේ මේ අදහස නිසා ඩෙන්මාර්ක් යුදෙව්වන්ගේ ජීවිත සුරැකුණි. බ්‍රෙග්මාන් තම කෘතියේ මේ ගැන ඉතා අලංකාරව පැහැදිලි කරයි.

දේශපාලන දර්ශනයන්හි සහ ආර්ථික විද්‍යාවන්හි මූලිකවශයෙන් උගන්වනු ලබන එක් කරණක් වෙයි. එනම් මිනිසා නෛසර්ගිකවම ආත්මාර්ථකාමී සහ තම අරමුණු ඉෂ්ඨ කර ගැනීමට ඕනෑම දුෂ්ථ ක්‍රියාවක නියැලිය හැකි සත්ත්වයෙකු බවයි. වෙළඳපොළ ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේයේ ආධිපත්‍යය යන මේ සියල්ලම පදනම් ව ඇත්තේ මිනිසා ස්වාභාවයෙන්ම ආත්මාර්ථකාමී ය යන අදහස මතය. නමුත් අන් අයගෙ දුක් වේදනාවන්ට සංවේදි වීම, සාමුහිකත්වය, යහපත් ක්‍රියාවන් වෙනුවෙන් පෙළඹවීම වැනි ගුණාංග ද අප තුළ පවතින බව කිසිවෙකුට බැහැර කර නොහැකිය. එසේ නම් දේශපාලකයින්, ව්‍යාපාරිකයින් විසින් ඔවුන්ගේ බලපැවැත්ම වෙනුවෙන් මේවා දුෂ්ථ ක්‍රීඩාවන් බව අපට ඒත්තු ගන්වා තිබේද?? ගතානුගතිකත්වයට එරෙහිව, අප තුළ ඇති සාමුහිකත්වය, සාධාරණත්වට ඇති කැමැත්ත වැනි යහපත් ගුණාංග මත පිහිටා දේශපාලන, ව්‍යාපාරික ආයතන පිහිටුවා ගැනීමට තරම් සබුද්ධිකත්වයක් අත්පත් කරගැනීමට මිනිසාට හැකියාවක් ලැබී නැද්ද? මේ කෘතිය හරහා සැබවින්ම එසේ උඩුගං බලා පිහිනා ගිය කිහිප දෙනෙකු උදාහරණ වශයෙන් ගෙන මිනිසා තුළ ඇති යහපත් ගති ස්වභාවයන් කෙරෙහි විශ්වාසය තැබිය හැකි ලෙස අප ආයතන පද්ධතීන් ගොඩනගා ගත හැකි බව සාධනය කරවීම වෙනුවෙන් බ්‍රෙග්මාන් සිය පෑන මෙහෙයවයි.

මෙහිදී අප මතක තබාගත යුතු කාරණයක් වෙයි. එනම් හොඳ ට වඩා නරක අපට විශාල බලපෑමක් කරයි. කෙනෙක් අප ගැන පවසන හොඳ ට වඩා අප ගැන කියන නරක අපේ මතකයේ රැඳෙයි. නරක ආරංචි වල ප්‍රවෘත්තිමය වටිනාකම ඉහළය. ඒනිසා ලෝකය තුළ කොයිතරම් හොඳ දේවල් සිදුවුණත් මාධ්‍ය ලෝකය පිරී ඇත්තේ නරක පිළිබඳ පුවත්වලිනි. ඒ නිසා ලෝකය අයහපතින් පිරී ඇති බව කෙනෙකුට බැලූ බැල්මට පෙනීයාම වැළැක්වීමට අපහසු ය.

 Humankind මානව ඉතිහාසය යොදාගනිමින් වඩා දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් මිනිස් වර්ගයාට මග එළි පෙහෙළි කරගත හැකි වන්නෙ කෙලෙසින්ද යන්න විවරණය කරයි. එය මිනිසුන් සහ ඔවුන්ගේ චර්‍යාවන් පිලිබඳ ඇති බොහෝ දුර්මතයන් නිදසුන් සමග ප්‍රතික්ෂේප කරමින් සැබෑව වෙත කියන්නා සමීප කරවයි. එබැවින් මෙය ලොව පුරා බොහෝ දෙනා විසින් සම්භාවනාවට පත් කරනු ලැබූ කෘතියකි. ලොව ඇති මෙවන් උසස් කෘතීන් පාඨකයන්ට සමීප කරවන සුභාවි ප්‍රකාශකයින්ටත්, මේ පොත ඉංග්‍රීසි බසින් සිංහලට පරිවර්තනය කළ මංජුල කල්දේරා මහත්මාටත් "මනුසත්වග" වෙනුවෙන් පාඨකයෙකු ලෙස මගේ හද පිරි තුතිය පළ කරමි.



Thursday, November 23, 2023

The Subtle Art of Not Giving a F*ck

The opening sentence on Charles Bukowski got me into this, and the second paragraph on Buddhism kept me going. At the end, what I found was priceless! I think what Mark Manson brings us from his book "The Subtle Art of Not Giving a F*ck" is way different and unique from many self-help stuff out there. Instead of being positive, he focuses on dealing with negativities, which are inevitable in our lives. Along with recommending this to everyone who interested in, here are some facts that caught my attention, 


From the first place, as it is in the title, "attention" is one of the key facts of life. Most of the time, what we are concerned about, what we mostly care about (as he put it, giving a F*uck), is the root cause of our problems. What social media, which totally depends on attention, is doing to us nowadays is distracting us from the realities of life. Our lives sucks because we give too much unnecessary "F***" s. We think we are entitled and should be happy and comforted all the time. You are going to be bothered all the time if you think like that. Carefully choose what to give a "F***" and what to cut off.

We should be aware of our values, because they difies the quality of our lives and our problems. Simply, values underlie everything we do. There are good values, and there are also bad values. For example, we can take pleasure as a bad value. If you want to be pleased and feel good all the time, you are in big trouble. You are not much different than a drug addict. There are things that are necessary in our lives that are not so pleasurable to do. Happiness should be a byproduct of what we do, not a main value. Money and material success can also be taken as bad values. We sometimes prioritize them over internal values such as honesty, integrity, and compassion. The thing is, we have very little control over the materialistic world. Money, status symbols, and popularity are external facts and very volatile. We can lose them at any time. Good values are more related to our inner qualities, such as courage, creativity, and humility. They are immediate and controllable. So the good values that F*** worthy are always reality-based, socially constructive, immediate, and controllable.

Life is mortal and can be taken from us at any time. It is very important to confront this morality of existence. While we chase a bit more fame and attention and a few bucks more, the ground realities of life get trampled under our feet. Accept the death of yours, accept the responsibility of your own problems, accept your failures, and embrace rejections. See what is going to be your legacy—what you are going to leave to this world.

Before you leave, live a good life.





Monday, October 23, 2023

සෝබනකාරයා

දොස්තොව්ස්කි, ඇල්බෙයා කැමූ සහ සයිමා ඔඑසිස් තැබෑරුමේ එකම මේසයේ වාඩි වෙලා හිටියා. 

පළවෙනි කාරණේ, ඔඑසිස් තැබෑරුම කියන්නේ සයිමා අතිශ්‍ය ප්‍රිය කළ තැනක්. ඔඑසිස් කියන්නෙ ක්ෂේම භූමියට නේ. ඒක හරියට දවස පුරාම තරඟෙට දුවන මිනිස් කාන්තාරෙ මැද්දේ ඉදිකරපු ක්ෂේම භූමියක් වගේ සයිමාට දැනුණේ. අනිත් එක, සයිමා කියන්නෙ මෙයාගෙ ඇත්ත නම නෙමේ. සමහර විට සයිමා ඒ නම අරගත්තේ සයිමන් නවගත්තේගම ගෙන් වෙන්න පුළුවන්. 

"මේක ධවල රාත්‍රීන් කිට්ටුවෙන් යන එකක්" සයිමා කිව්වේ දොස්තොව්ස්කිට, තමන් දොස්තොව්ස්කිගේ "ධවල රාත්‍රීන්" කෙටි කතාවට කොච්චර කැමතියිද කියලා සයිමා කලින්ම කියලා තිබුණා. දොස්තොව්ස්කි කිසිවක් නෑහුණ ගාණට හිස් කෝප්පයට වොඩ්කා බෝතලය ඇල කළා. 

"මට ඒ කතාවම ආපහු ලියන්න බෑ නෙ තරුණයා, අනිත් එක මොකක්ද එහෙම ලියන එකේ තේරුම?" දොස්තොව්ස්කි කිව්වා.

"නෑ නෑ ඒකම නෙමෙයි, බැලූ බැල්මට ඒ වගේ පෙනුණට මේක ඒ කතාව නෙවෙයි."

දොස්තොව්ස්කි මධු බඳුනෙන් බිඳක් තොලගාලා ඔඑසිස් තැබෑරුමේ ජනේලෙන් එහා බලාගෙන උන්නා. 

ඒ අතර ඇල්බෙයා කැමූගේ සිගරට්ටුවෙන් නික්මුණ දුම් වළලු කීපයක් ඔවුන් අතර තිබුණු අවකාශයේ පිරිලා ක්‍රමයෙන්  බොඳවී ගියා.

"මට පිටස්තරයාව මේකට ගේන්න ඕන ලේඛකයෙක් විදිහට" සයිමා කිව්වා.

"ඉතින් තමුසෙට පුළුවන්නේ තමුසෙ ගැනම ලියන්න" කැමූගේ සුපුරුදු සෝපහාසී බැල්ම යොමුවුණා සයිමා දිහාට.

"එහෙම නෙවෙයි, ලේඛකයා මම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්, ඒත් පිටස්තරයාව ඇතුළෙ තමාවම දකින, පිටස්තරයාව ආදරෙන් වැළදගන්න ඕනැම කෙනෙකුට අනන්‍ය වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන මේ ලේඛකයා. "

කැමූ තව දුමක් ඉහළට ඇද්දා.
" තමුසෙට හරි අමුතු ඒව නේ හිතෙන්නෙ"

සයිමා දිගටම කතා කරගෙන ගියා.

"මේක ඇතුළේ මේන් නැරටිව් එකත් එක්කම තව පොඩි පොඩි ආඛ්‍යාන තැනින් තැන පිහිටුවලා තියෙනව. හරියට ලොකු අඳුරු වැහි වළාවක තැනින් තැන මතුවෙන අකුණු එළි වගේ සැරින් සැරේ ඒවා ක්ෂුද්‍ර ජීවිතාලෝක දල්වනවා. උදාහරණයක් විදිහට අපේ ගෙදර පිටිපස්සේ තියන අඹගහේ ඉන්න ලේනාව මේ පසුබිමට අරගෙන එන්න පුළුවන්. මේකෙ මූලික තේමාව ම තව ආකාරයකින් අරුත් ගැන්වෙන ආකාරයට ලේනාගෙ හැසීරීම් ටික මේකට ගන්න පුළුවන්.  හැබැයි ඒක ප්‍රධාන කතාවෙම එක අවශේෂ දෙයක්. ඕන නම් කෙනෙකුට මේක තනි ආඛ්‍යානයක් විදිහට නැතිව කුඩා කුඩා ආඛ්‍යාන සමූහයක් විදිහට බාරගන්නත් පුළුවන්"

සයිමා තවදුරටත් කිව්වෙ මේ දෙදෙනා හා එක්ව තමන් ලියන්නට අදහස් කරගෙන ඉන්නා නොවෙල්ලාව ගැන පැහැදිලි කරමින්.

ඔය අතරේ ඔඑසිස් තැබෑරුමේ පසුබිම් ගීත ලයිස්තුවේ ඇහෙමින් තිබුණ සේනක බටගොඩ ගේ "හීනවලට පණක් තියෙනවා" සින්දුව ඉවර වුණා. "හොඳම දේ තියෙන්නෙ හැංගිලා"  ඊළඟට වාදනය වෙන්න පටන් ගත්ත සින්දුව.

"තමුසෙට දොස්තරලා එක්ක මොකක් හරි තරහක් තියෙනවද?" කැමූ ඇහුවා. 

ඒකට නම් සයිමාට හිනා ගියා. 

"නෑ නෑ එහෙම එකක් නෑ. මට ඕන පිටස්තරයාවත් ධවල රාත්‍රියේ ඉන්න බලාපොරොත්තු විරහිත ප්‍රේමවන්තයාවත් එකට මුණගස්සන්න. ඒකට මං අඳින සැලැස්ම ඇතුළෙ තමයි ඔය ඔක්කොම චරිත මුණගැහෙන්නෙ. අනිත් එක  මම මේ අතුරු කතා ටික පෙළගස්වන්න හිතාගෙන ඉන්නෙ එක්තරා පිළිවෙළකට. ඒක ඇතුළෙ තියනව ට්‍රික් එකක්. හැබැයි මේක අලුත් වැඩක්. කවුරුත් මීට කලින් වැඩිපුර කරලා නැති විදිහේ දෙයක්."

"අලුත් වැඩක් කිව්වෙ රැසියන් කතාවක් සිංහලෙන් ලියන එකද?" දොස්තොව්ස්කි ඇහුවා.

"ඔව් ඒකත් එකක් තමා, අනිත් එක මෙහෙම වෙනස් ආඛ්‍යාන කිහිපයක් ඛණ්ඩනය කරලා සමාන්තරව පෙළගස්වන එක, හරියට කිරිහොදි සහ බෝල්ට් ඇණ වගේ වෙනස් කම් එක්ක, ඒත් එකිනෙක සම්බන්ධ කරමින්." තමන්ගෙ කටින් කියවුණ උපමාව ගැන පොඩි අපහසු ගතියක් සයිමාට ඇතිවුණා, මෑතක කියවපු "ජීවිතේ ඔයිල් පැල්ලම්" නවකතාව එක්ක සාමාන්‍ය කතාබහේදී සයිමාගෙ කටින් මේ වගේ උපමා එළියට පනින්න පටන් ගෙන තිබුණා.

"ඔහේ හරියට චිත්‍රපටි බලනව වගේ."

කැමූ ඇහුවා.

"ඔව් වෙලාවක් තියන වෙලාවට.."

"මොකක්ද කැමතිම චිත්‍රපටියය?"

"එකක් කියන්න අමාරුයි, කීපයක් තියනව, ෆයිට් ක්ලබ්, මෙමෙන්ටෝ, යූෂුවල් සස්පෙක්ට්ස්,  මිඩ් නයිට් ඉන් පැරිස්.. ඒවගේ"

ඔය අතරේ වටපිටාවේ උන්නු කීපදෙනෙක්ම තමන් දිහා අමුතු විදිහට බලන බව සයිමාට තේරුණා. ඒකෙන් සයිමා ඇතුළෙ වැඩෙමින් තිබුණ අපහසු ගතිය තව ටිකක් වැඩි වුණා වගේ දැනුණා. 

පසුබිම් ගීතය බටගොඩගෙන් සුනිල් පෙරේරාට මාරු වුණා. "..  අනේ උඹෙ ඩාලිං සයිමා කට්වෙලා...."

"මම චුට්ටක් එලියට ගිහිං එන්නං" සයිමා ඉක්මණින්ම එතනින් නැගිටල ගියා. සුදු පාට පෙණ කැටි උතුරා ගිහින් රත්තරන් පාටින් දිස්නෙ දුන්න බීර වීදුරුව මේසෙ උඩ තනිවුණා.

දොස්තොව්ස්කි එතන තිබ්බ බීර වීදුරුව දිහාත් තමන් අතේ ඇති වොඩ්කා බෝතලේ දිහාත් මාරුවෙන් මාරුවට බැල්මක් හෙලළා කැමූ දිහා බැලුවා. කැමූ ඇහැක් ඉඟිමරලා කට කොණෙන් හිනාවක් දැම්මා..
.
.
.
.

ප.ලි - ප්‍රභාත් විතානගේ ගෙ "සෝබනකාරයා" කියන්නෙ මරු වැඩක්. කෙටි නවකතාවක කුඩා පිටු ප්‍රමාණයක් ඇතුළෙ සංක්ෂිප්තව අදාළ සිදුවීම් මාලාව ගොනු කරලා තිබීමත් එක්ක, ඉක්මණින් කියවා අවසාන කරලා සෑහෙන වෙලා හිතන්න දේවල් ඉතුරු කරන පොතක්. කතාව ඉදිරිපත් කරන ආකෘතියෙ අලුත්බව එක්ක වෙනස්ම කියවීමේ අත්දැකීමක් අරගෙන එන පොතක්. ධනය සහ බලය මත බොහෝ දේ තීරණය වෙන තරඟකාරී සමාජයක ජීවිත පැවැත්මේ ඇති නිස්සාරත්වය ගැන සාංදෘශ්ටික හැඟීමක් කියවන්න තුළ ඇති කරන්න මේ ලිවීම සමත් වෙලා තියනව. පොතේ තියන "පැවැත්මක් නැති" ප්‍රේම වෘතාන්ත කිහිපය ගොඩනැගෙන්නෙ ඒ පසුබිම මත කියල හිතනව. ප්‍රභාත් මේ කතාව අරගෙන එන්නෙ ලේඛකයෙක් හරහා. ඒ නිසා ලිවීමේ යෙදෙන කෙනෙකුට, සාහිත්‍ය ප්‍රේමියෙකුට මේක ටිකක් දැනෙනව වැඩි වෙන්න පුළුවන්. කොහොම වුණත් ප්‍රභාත්ට සුබ පතනව ඉදිරි ලේඛක වැඩකටයුතු වෙනුවෙන්.

ප.ප.ලි - මුලින් ඇති හෑල්ල පොතෙන් උපුටාගත්තක් නොව, පොත කියවූවෙකුගේ මනසේ ඇඳුණු මනෝ විකාරයක් පමණක් බව සලකන්න.




Thursday, July 13, 2023

පියාපතක් වන් ජීවිතයක නික්මයෑම

 "නවකතාව යනු වීරයෙක් හසු කරගැනීම සඳහා  වූ  උගුලක් නොවේ නම් වෙන කුමක් ද?"

ප්‍රංශයේ ජීවත් වුණු Czech ජාතික ලේඛක මිලාන් කුන්දේරා අද (11/07/2023) වයස 94 දී ජීවිතෙන් සමුගෙන ඇති බව දැක්කා. මිලාන් කුන්දේරා නමින් ලේඛකයක් මේ මිහිමත වාසය කරනබව මුලින්ම මට දැනගන්න ලැබෙන්නේ මංජුල වෙඩිවර්ධන ගේ බත්තලංගුණ්ඩුව නවකතාවෙන්. එතනදි කල්පිටි කලපුවේ ඉඳන් බත්තලංගුණ්ඩුව දූපතේ ඉන්නා තමන්ගෙ පියාව හොයාගෙන යන ඇන්තනී (නම මතක විදිහට) නම් තරුණයගෙ අතේ තියෙන්නෙ කුන්දේරා ගෙ "ජීවිතය අන් තැනක" (Life is Elsewhere) පොත. ප්‍රධාන භූමියේ අධිපති සංස්කෘතික ජීවිතයෙන් බත්තලංගුණ්ඩුව කොයිතරම් ඈත ද කියල කියන්න ඒක හොඳ හැඟවුම් කාරකයක්.

"නවකතාව යනු වීරයෙක් හසු කරගැනීම සඳහා  වූ  උගුලක් නොවේ නම් වෙන කුමක් ද?"

කුන්දේරා අපෙන් අහන ප්‍රශ්නය තමා ඒ. Life is Elsewhere කතාවේ ප්‍රධාන චරිතය ජෙරාමියෙල් එක්තරා ආකරයකට කුන්දේරා ගේ ම තරුණ වයසේ පිළිබිඹුවක්. නවයොවුන් වයසෙ ජෙරාමියෙල් කියන්නෙ කවියෙක්. තමන් ගේ රට සමාජවාදී රාජ්‍යයක් බවට පත්කරන්න හීන දැක්ක තරුණයෙක්. කාව්‍යමය අවධිය ඉක්මවන්න කලින් ජෙරාමියෙල් ගෙ ජීවිතය නිමා වුණත් එහි අමිහිරි ඵල භුක්ති විඳින්න වෙනව කුන්දේරා ට.

කුන්දේරා අතින් Life is Elsewhere ලියවෙන්නෙ 1973 දි. 1975 දී කුන්දේරා ප්‍රංසයට එන්නෙ Renes සරසවියේ ආචාර්යවරයෙකු විදිහට සේවය කරන්න. කුන්දේරා මුලින් චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක් වුණත් පසුව ඔහු ඒ පක්ෂයෙ නමින් ක්‍රියාත්මක වුණු මර්ධනය තමන්ගේ ලේඛන ඇතුළේ සියුම්ව විවේචනය කළා. මේ නිසා 1979 චෙක් රජය ඔහුගේ රචනා "ප්‍රති-සමාජවාදී" යැයි නම් කරමින් ඔහුව සමාජවාදයට එරෙහි ප්‍රතිවාදියෙක් විදිහට හංවඩු ගහලා ඔහුගේ පුරවැසි භාවය අහිමි කළා. ප්‍රංස භූමිය ඉන්පස්සෙ ඔහුගේ විප්‍රවාසගත වාසස්ථානය වෙන්නෙ දෛවෝපගත ආකාරයකට. දේශපාලනය පුද්ගලික ජීවිතය අතර තියන ගැටීම, උපන් බිමෙන් විප්‍රවාසගත සාංකාව ඉන්පස්සෙ ඔහුගේ ලේඛනවලට බලපෑ බව කියනව. 

"ලෝකය තුළ මිනිසාගේ පැවැත්ම ගවේෂණය කිරීම" කුන්දේරාට අනුව නවකතාවකින් සිදුකළ යුතු මූලික කාර්‍යයක් වුණා. Life is Elsewhere සිංහලයට පරිවර්තනය කරන අරුණ ප්‍රේමරත්න කෘතියෙ ප්‍රස්ථාවනාවෙ සඳහන් කරන ආකාරයට ඒ කාර්‍ය මේ වගෙයි.

"මිනිසා සහ ලෝකය අතර තිබෙන්නේ ඇසක් චිත්‍රයට දක්වන සබඳතාව නොවේ. නළුවෙකු වේදිකා පසුතලය කෙරෙහි දක්වන සබඳතාව ද නොවේ. ගොළුබෙල්ලෙකු උගේ කටුවට බද්ධවී සිටින අයුරින් මිනිසා ලෝකය සමඟ බද්ධවී සිටියි. එය ඔහුගේම කොටසකි. ලෝකය වෙනස් වෙද්දී මිනිසාගේ පැවැත්ම ද වෙනස් වෙයි"

යුරෝපය මුල්කරගෙන ඇති වුණු ලෝකය යුද්ධ, ඒ අනුව පැන නැගුණු නූතනත්වය, සමාජවාදයේ නැගීම, කුන්දේරා මිනිස් පැවැත්ම හඳුනාගන්න උත්සාහකරන්නෙ මේ සංසිද්ධි හරහා. කොහොම වුණත් කුන්දේරා ගේ නාමය ලෝකය පුරා ප්‍රකට වෙන්නෙ 1984 පළවුණ The Unbeatable Lightness of Being නවකතාව එක්ක.1988 ඒ කෘතිය සිනමාවට නැඟෙන්නෙ Daniel Day-Lewis, Juliette Binoche වගේ ඉහළම ගණයෙ නළු නිළියන්ගේ  රංගන දායකත්වයෙන්. නවකතාවක් වඩාත් පරිපූර්ණව සිනමාවට නැඟුන අවස්ථාවක් විදිහට  Unbearable Lightness සලකනව. 

Life is Elsewhere  (ජීවිතය අන්තැනක), The Unbearable Lightness of Being (පියාපතක් වන් ජීවිතයක්) The Farewell Waltz (සමුගැනීමේ සාදය) කුන්දේරා ගේ නවකතාවල සිංහල පරිවර්තන කිහිපයක්.

කුන්දේරා නොබෙල් ත්‍යාගය වෙනුවෙන් නිර්දේශ වුණත් එය ඔහුට ලැබෙන්නෙ නෑ. පෑනෙන් සිදුකළ මෙහෙවර වෙනුවෙන් මිලාන් කුන්දේරා නම් ලේඛකයාට ආචාරය පුද කරන ගමන් පහත උපුටනය ගන්නෙ ඔහුගේ "ජීවිතය අන් තැනක" කෘතියෙන්. 

"එයා චිත්‍ර අඳින්නෙ කිසිම අසුබවාදී හැඟීමක් හිතේ තියාගෙන නෙමෙයි" සිත්තරා පිළිතුරු දුන්නේ ය. "කලාව කියල කියන්නෙ බුද්ධියෙන් පහළ වෙච්ච දෙයක් නෙමෙයි කියන එක තේරුම් ගන්න. බලු ඔළු එක්ක මිනිස්සු අඳින්න හරි, ඔළු නැති ගෑණු අඳින්න හරි ජෙරොමියෙල්ගෙ තියෙන පෙළඹවීම එයාට ඉබේ ලැබුණ දෙයක්.  මේ දේවල් එයාගෙ හිතට ආවෙ කොහොමද කියල එයාට කිසිම දැනීමක් නෑ. මට ඒ ගැන හොඳටෝම විශ්වාසයි. මේ හැඩතල ගැන එයාට කොඳුරල කියන්නෙ එයාගෙම  උපවිඥානය. ඒත් මේ අමුතුම විදිහෙ බලි රූප වල තේරුමක් නැහැ කියල නම් කියන්න බෑ. ජෙරොමියෙල් ගෙ රූපයි, යුද්ධයයි අතරෙ ගුප්ත සම්බන්ධයක් තියනව කියල ඔයාට හිතෙන්නෙ නැද්ද? යුද්දෙ රෑ දවල් නැතුව අපිව කම්පනයට පත් කෙරුව. අපිව බය ගැන්නුව. ඒ යුද්දෙ මනුස්සයගෙන් එයාගෙ ඔළුව, එයාගෙ මූණ පැහැරගත්තෙ නැද්ද? අපි මේ ජීවත් වෙන්නෙ ඔළු නැති ගෑණුන් ගෙ කඳ කෑලි ආශාවෙන් ප්‍රාර්ථනා කරන ඔළු නැති මිනිස්සුන්ගෙ ලෝකෙක නෙමෙයි ද? මං ඔයාගෙන් අහන්නෙ මෙච්චරයි, ඔයාගෙ පුතාගෙ චිත්‍ර වල තියෙනවට වඩා ඇත්තක්, යථාර්ථයක් තවත් තියනවද ? නෑ නේද?"

-මිලාන් කුන්දේරා
- ජීවිතය අන් තැනක




Thursday, April 6, 2023

හිරු නැඟෙන රටේ පෙම් පුවතක්

1987 අවුරුද්දේ Haruki Murakami ජපන් භාෂාවෙන් 'Noruwei no Mori' no Mori' නමින් ලියා පළකල  Romance/ Erotic නවකතාව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වෙන්නෙ Norwegian Wood නමින්. මුරකාමි තමන්ගේ රටේත් පසුව ලෝකය පුරාත් අතිශ්‍යයින් ජනප්‍රියත්වයට පත්වෙන්න, ඔහුව ලේඛනයේ සුපිරි තරුවක තත්ත්වයට ඔසවා තබන්න විශාලම බලපෑමක් කරන්නෙ මේ කතාව.  Norwegian Wood නම එන්නෙ The Beatles බෑන්ඩ් එකේ Norwegian Wood (This bird has flown) සින්දුවෙන්. කතාව ආරම්භ වෙන්නෙත් මේ සින්දුවෙන්මයි. සින්දුවෙ තියන අමුතුම පාලු ගතිය කතාව පුරාම දැනෙන්න පටන් ගන්නව ඉන්පස්සෙ. තැනින් තැන වනරොදවල් පිරිච්ච තෘණ භූමියක ඇවිද යන දෙන්නෙක්ව මුරකාමි අපි ඉස්සරහට අරගෙන එනව මුලදිම. එකම අඳුරු මනෝභාවයකින් එකිනෙකාගෙන් වෙන්වෙන, නමුත් එයින්ම එකිනෙකාට බැඳිලා ඉන්න දෙදෙනෙක්. කතාව පටන් ගන්නෙ මේ වගේ කතාවකට හරියටම ගැලපෙන mood එකකින්. කොහොමත් මුරකාමි ගෙ කතා කීමේ කලාව ඇතුළෙ බටහිර සංගීතය, බටහිර සාහිත්‍ය වැදගත් තැනක් ගන්නව. එයාගෙ කතාවල තියන සින්දුවලින්ම හදපු ප්ලේ ලිස්ට් පවා යූටියුබ් එකේ තියනව. 

Norwegian Wood නවකතාව ගලායන්නෙ ටෝරු වතනබේ නම් ජපන් ජාතිකයෙක් ගුවන් යානාවකින් ජර්මනිය බලා යද්දි ඇහෙන නෝවේජියන් වුඩ්  සින්දුව එක්ක සිහිපත්වෙන අතීත මතක ආවර්ජනයක් විදිහ. අවුරුදු දහ අට දහනවය කාලෙ, ඒ කියන්නෙ 1960 දශකයේ, තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට ඔහු ඇසුරු කරන අය, මිත්‍ර සම්බන්ධකම් ඇති කරගන්න අය, ප්‍රේමයෙන් බැඳෙන චරිත කිහිපයක් එක්කයි කතාව ගොඩනැගෙන්නෙ. කිසුකි කියන්නෙ වතනබේ ගෙ මිත්‍රයෙක්. කිසුකිගේ ප්‍රේමවන්තිය නයෝකෝ. මේ තුන් දෙනා හොඳම මිත්‍රයින් බවට පත් වෙනව. තුන්දෙනාව දකින්න ලැබෙන්නෙ බොහෝම වෙලාවට එකටමයි. කිසුකි හදිස්සි සියදිවිනසා ගැනීමෙන් පස්සෙ නයෝකෝටත් වතනබේටත් ඉතිරි වෙන්නෙ තුන් දෙනා එකට ගත කළ මතකයන් පමණයි. ඒ කම්පනයත් එක්ක වතනබේ සහ නයෝකෝ නතරවෙන්නෙ එකිනෙකා අතර ප්‍රේමයක් ඇතිවෙන නමුත් ඇති වෙන්න ඉඩක් නැති තැනක.

මිදෝරි, වතනබේගෙ පන්තියෙම ඉගෙනගන්න ශිෂ්‍යාවක්. හදිස්සියෙම ඇතිවෙන මේ දෙදෙනාගෙ මිත්‍රත්වය දෙදෙනාටම එකිනෙකාව නැතිව බැරි තැනකට එනව. රේකෝ, නගසාවා, හත්සුමී මේ කතාවෙ තවත් අපිට මුණගැහෙන චරිත. තාර්කිකව මුල මැද අග ගැලපෙන සිද්ධි දාමයක් විදිහට හිතුවොත් අපිට කවදාවත් මේ කතාව තේරුම් ගන්න ලැබෙන්නෙ නෑ. නිශ්චිතව තැනකින් ආරම්භ වෙලා තව තැනකින් අවසන් වෙන සිදුවීම් මාලාවක් විදිහට මේකෙ ඇතුළෙ ලොකු දෙයක් නැහැ. නමුත් ඒ අවස්ථා අනුව චරිත වල හැසිරීම් ඔවුන් හිතන පතන දේවල් සහ ඔවුන් ගේ මනෝභාවයන් එක්කයි මේ කතාව අපිට තේරුම් ගන්න වෙන්නෙ. 

කතාව තේමාත්මක වශයෙන් මූලිකවම මතුකරන්න උත්සාහ කරන්නෙ මොකක්ද කියන දේ අපිට එකවර වටහගන්න බෑ.  බොහෝ විට මුරකාමි  කියන්න උත්සාහ කරන්නෙ ජීවිතය සහ මරණය අතර තියන අවියෝජනීය බැඳීම ගැන වෙන්න පුලුවන්. නැත්නම් අපි ලබන යම් අඳුරු අත්දැකීමක් එක්ක ඇතිවෙන අයහපත් මනෝභාවයන් ක්‍රමයෙන් වැඩිවර්ධනය වෙලා වඩාත් සංකීර්ණ තත්ත්වයක් දක්වා වැඩි වර්ධනය වෙන ආකාරය ගැන වෙන්න පුලුවන්. ඒත් බිඳුණු මතකයන් එක්ක ජීවිතය දරාසිටීම කියන කාරණාව කේන්ද්‍රීයවශයෙන් මේ කතාව ඇතුළෙ මතුකෙරෙනව කියල මම හිතනව. මොකක් හරි ලොකු ඛේදවාචකයක් එක්ක සමහර වෙලාවට ජීවිතේ අපි යන මාර්ගය දෙකට බෙදෙනව. එක පාරක් හැරෙන්නෙ ජීවිතය අතහැර දැමීම, ඒ කියන්නෙ මරණය දිහාට. ඒ පාර මීදුමකින් වැහිච්ච, නොපැහැදිලි එකක්. ඒ පාරෙන් එහා තියෙන්නෙ මොනවද කියන්න අපි දන්නෙ නෑ. අනිත් පාර ආපහු හැරෙන්නෙ ජීවිතය දිහාටම යි. නමුත් ඒ ජීවිතය ඛේදවාචකයට කලින් අපිට තිබුණ ජීවිතය එක්ක සමාන වෙන්නෙ නෑ. ඉන්පසුව අපිට උරුම වෙන්නෙ සුන්බුන් වෙච්ච මතකයන් ගොඩක් උසුලාගත්ත ජීවිතයකට. මතක කියන්නෙ අපිට කොහොම විදිහකින් වත් පලායන්න බැරි, ජීවිතේ වැදගත්ම අංගයක් බව මුරකාමිම වතාවක් කියා තිබෙනව. ජීවිතේ ගෙවා දැමීම වෙනුවෙන් වැය වෙන ඉන්ධනය තමා මතක කියන්නෙ. හරියට මුරකාමිගෙ කතා වල එන පරණ ලට්ට ලොට්ට පිරිච්ච ස්ටෝරු කාමර තියන නිවාස වගේ. මතක සටහන් උසුලාගෙන යන ජීවිතයක් කියන්නෙත් සංකේතීය වශයෙන් මෙහෙම ලොකු ස්ටෝරු කාමරයක් සහිත නිවාසයකට සමානයි. පොත ඇතුළෙ මුණගැහෙන ටෝරු, නයෝකෝ, මිදෝරි, රේකෝ.. හැම කෙනෙක්ම එහෙම චරිත. ඒ වගේම මේ කතාවේ හැමදෙයක්ම සිදුවෙන්නෙ හැට හැත්තෑව දශකවල ලෝකෙ පුරා උන්මාදයක් වගේ පැතිරගිය විප්ලවකාරී දේශපාලන වටපිටාවක පසුබිම්ව. කතාව ඇතුළෙ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ විප්ලවකාරී දේශපාලන ක්‍රියාකරකම් ඉදිරිපත් වෙන්නෙ විවේචනාත්මක දෘෂ්ටිකෝණයකින්.

බහුතර සමාජයෙන් ඈතට පලායන්න උත්සාහ කිරීම මුරකාමි ගෙ කතාවල ස්වභාවයක්. ඔහු ගෙ කතාවල මුණගැහෙන චරිත බොහොමයක් පොදු සමාජය ඇතුළෙ ම ගැවසෙන නමුත් එයට සම්බන්ධයක් නැති, ඇතුළත ආත්මයට හැරුණු දුරස්ථ චරිත. ඒ නිසාම වෙන්න ඕන අදහස්වලින් පොහොසත් ජීවමාන සංවාද මේ කතාවෙ බහුලව දකින්න ලැබෙන්නෙ. බටහිර ගීත, නවකතා තමන්ගෙ කෘතින් ඇතුළෙ යොදා ගැනීම නිසා මුරකාමි ගෙ සාහිත්‍ය එක්තරා ආකරයට ජපානයෙන් පිටස්තර, ආගන්තුක ස්වාභාවයක් ගන්නව. ඒ සාහිත්‍ය දැඩිව ජපානයෙ පොළවට මුල් ඇදගත්ත එකක් නොවෙයි. මම හිතන්නෙ මේ ආගන්තුක ගතිය, එක්තරා ආකාරයකට මුරකමිගේ තරුණ කාලයේ පටන් ඔහු අත්දුටුව, ක්‍රමයෙන් බටහිරකරණය පැවති ලෝකයේ නිරායාස නිරූපිතයක් බව. ඒවගේම ලෝකය පුරා ඔහුගෙ නවකතා ජනප්‍රියත්වයක් ලබන්නත් හේතුවක් වෙන්න  ඇති ඔහුගේ කතාවල තියන මේ බටහිර නැඹුරුව.

කොහොම වුණත්, මුරකාමි මේ නවකතාවෙන් කැඩපතක් අල්ලනව අපේම අතුළාන්තයට. අපේම අවිඥානික ආශාවට. සම්මත ලෝකය ඇතුළෙ බැහැර කරන, නමුත් අපි තුළම සැඟවිලා තියන ඇතුල් සිත ක්‍රියාකාරන ආකාරය ඔහු පෙන්වාදෙනව අපිට. වැදගත්ම කාරණය, මට දැනෙන විදිහට, ජීවිතේ තියන මේ පීඩාකාරී ස්වභාවය ඇතුළෙ අපිට ගැළවීම තියන්නෙ අපි එකිනෙකාට දක්වන ආදරය ඇතුළෙ පමණක් බව මේ කතාවෙන් මුරකාමි අපිට කියනව. බැඳීම් එක්ක අපි අවංක වෙන තරමට, අපි හැම වෙලාවෙම අනෙකාට ඉහළින් සිටිය යුතුයි කියන මානය පැත්තකින් දාලා එකිනෙකාට උදව් කරගන්න තරමට ඒ බැඳීම් ඇතුළෙ සුවපහසු කම ආරක්ෂා වෙනබව ඔහු පෙන්වා දෙනව. වතනබේ ගෙ චරිතය ආශ්‍රයෙන් මෙය හොඳින්ම පැහැදිලි වෙනව. වතනබේ කියන්නෙ ලෝකෙට පේන්න Dont care වර්ගයේ High profile චරිතයක් නඩත්තු කරන්නෙක් නොවෙයි. ඔහු ජීවිතේ දුකත් සතුටත් ඒ ආකාරයෙන් බාරගන්න, අවංකව තමන්ගෙ හැඟීම් බෙදාගන්න, බොරු මවාපෑම් නැති මනුස්සයෙක්. ඔහුට ආකර්ශණය වෙන බොහෝ අය ඔහුට ආදරය කරන්න පටන් ගන්නෙ මේ ගති ස්වාභාවය නිසා ම තමා.

නෝවේජියන් වුඩ් කියන්නෙ කියවූ කෙනෙකුට ලේසියෙන් අමතක කර දමන්න බැරි කතාවක්. යථාර්ථවාදී රීතියකින් ලියා තිබෙන නිසා වැඩිවෙහෙසකින් තොරව කියවාගත හැකි කතාවක්. ප්‍රේමයත් ශෘගාරයත් මුහුවෙලා ගොඩ නැගුණු අපූරුම ජීවිත වියමනක්. මේ කතාවෙ මුණගැහෙන්නෙ ජීවයෙන් පිරි හැබෑම චරිත. ඔබටත් ඔවුන් එක්ක හැටේ දශකයට යන්න පුලුවන් වේවි. අවන්හල්වට, රෙකෝඩ් බාර්වල, දුම්රිය පොළවල්වල, නගරබද පටු මාවත්වල ඔබත් ඔවුන් එක්ක ඇවිද යාවි. තෘණ භූමිවල, අඳුරු වනපෙත්වල ඔබත් ඔවුන් එක්ක තනිවේවි. ඔවුන් අත්විඳින ආදරය, ශෘගාරය, විරහ වේදනාව ඔබටත් දැනේවි. නයෝකෝත්, මිදෝරිත්, වතනබේත් කතාව කියවන කාගෙ වුණත් හැමදාම මතකයේ හිඳීවි. 

ප.ලි. - මේ සිංහල පරිවර්තනයෙ භාෂාව සමහර තැන්වල ගැලපෙන්නෙ නැති බවක් දැනුණා. ඒ තැන්වල ඔරිජිනල් english text එකත් එක්ක කියවා බලන්න වුණා. රෙකමන්ඩ් කරන්නෙ පුලුවන් නම් ඔරිජිනල් English එකම කියවන්න.  ඒත් පරිවර්තනයත් overall ගැටලුවක් නෑ.