Monday, July 25, 2022

කරුණාව - Mercy

ඇය කිව්වා මට
මරා දමන්න අර මකුළුවා!

ඒත් ඒ වෙනුවට
අරගත්තා මම
මට සොයාගතහැකි සාමකාමීම ආයුධ..
කෝප්පයක් සහ ලේන්සුවක්!

ලේන්සුවට අරන් මකූළුවා
දමාගෙන කෝප්පයට
තිබ්බා එළිමහනෙන්
ඇවිද යන්නට ඌට ඉවතට...

නොවී කරදරයක් 
කිසිම ‌‌කෙනෙකුට,
හමුවුණොත් මා
නොගැළපෙන තැනක
නොගැළපෙන මොහොතක,

හිතනවා මම,
සැළකුම් ලැබේවි කරුණාවකින්
මටත් ඒවාගෙම...

― Rudy Francisco



Sunday, July 24, 2022

Broker (2022)

"Blood is thicker than water", සාමාන්‍යයෙන් අපි කතාවට නම් කියන්නෙ එහෙම තමා. එයින් අදහස් වෙන්නෙ ලේ බැඳීම් තරම් වෙන කිසිම සම්බන්ධකමක් ශක්තිමත් නැහැ කියන දෙය. ඒත් ඔබ ජපන් සිනමාකරු Kore-eda ගෙ චිත්‍රපට නරඹල තියන කෙනෙක් නම් මේ කියමනේ සත්‍යාසත්‍ය භාවය ගැන දෙපාරක් හිතනව නොඅනුමානයි. මොකද Kore-eda ගෙ චිත්‍රපටවලට නිතරම වගේ වස්තු විශය වෙන්නෙ නොයෙක් සමාජ ආර්ථික ගැටලු නිසා ජීවිතේ ඔහේ වල්මත් වෙලා ගිහින් අහම්බෙන් මුණගැහෙන මිනිස්සු ගැහැනු සහ පොඩි දරුවන් අතරේ ඇති වෙන පවුල් බැඳීමක් තරමේ ශක්තිමත් මනුස්ස සම්බන්ධකම් ගැන. Kore-eda ගැන ඔබ තවම දන්නෙ නැත්නම් නිර්දේශ කරනව නරඹන්න Our little sister, Nobody Knows, Still Walking, Shoplifters වගේ කිහිපයක්. 2022 අවුරුද්දේ ආව, ඔහුගේ නවතම චිත්‍රපටයෙත් ඇතුළත් වෙන්නෙ මෙන්න මේ ඔහුට සුපුරුදු මාතෘකාවම තේමාකරගත්ත අනුවේදනීය කතා පුවතක්. මේ අවුරුද්දේ  නම් ජපාන සංස්කෘතිය වෙනුවට ඔහු තෝරාගන්නෙ අසල්වැසි රාජ්‍යක් වුණු කොරියාව.

Kore-eda ගේ සිනමාවේ රිද්මය කොයිවගේ එකක් ද කියල ඒ චිත්‍රපට නරඹපු කෙනෙක් දන්නව. Kore-eda බොහෝ වෙලාවට තමන් කියන කතාපුවත සවිස්තරාත්මකව නරඹන්නා ඉදිරියේ අනාවරණය කරන්නේ නෑ. ඒ නිසා නරඹන කෙනෙක් සෑහෙන අවධානයක් ඒ වෙනුවෙන් වැය කරන්න සූදානම් විය යුතු යි. අනෙක් කරණය ඒ චිත්‍රපට වැඩි උද්වේගකාරී බවක් නැතිව මන්දගාමී ස්වභාවයකින් ගලායන ඒව. ඒ හින්ද සෑහෙන සංයමයක් සහ ඉවසිලිවන්ත බවක් මේ චිත්‍රපට නරඹන්න අවශ්‍යයි. නමුත් නරඹන කෙනෙක් වැය කරන මේ දේවල් වෙනුවෙන් ආපසු ලැබෙන දෙය වචනෙන් කියන්න බැරි තරම් හදවතටම දැනෙන හැඟීමක්. සිනමාව කියන්නෙ එවැනි දෙයකට තමයි.

Broker චිත්‍රපටයට පදනම් වෙන්නෙ අපේ රටට නම් තරමක් නුහුරු Baby box නම් සංකල්පය. Baby box නමින් හැඳින්වෙන කුඩා පෙට්ටියක් යම් තැනක තියනව. අලුත උපන්න දරුවෙන් හදාවඩා ගන්න ඒ මවට හැකියාවක් නැති නම් ඇයට නිර්නාමිකව ඇවිත් Baby box එක ඇතුළෙ දරුවව තියල යන්න පුලුවන්. ඉන්පස්සෙ Baby box එක පවත්වගෙන යන අය ඒ දරුවව හදාගන්න කැමති වෙනත් යුවළකට නීත්‍යානුකූලවම බාරදෙනව. කොරියාවෙ එක්තරා දේවස්ථානයක් පවත්වගෙන යන Baby box එකක ස්වෙච්ඡාවෙන් වැඩ කරන මිත්‍රයන් දෙන්නෙක් වටා මේ චිත්‍රපටයෙ කතාව ගලායන්නෙ. මේ දෙන්න කරන්නෙ Baby box එකට ලැබෙන සමහර දරුවන්ව හොර පාරෙන් ගෙදර අරගෙන ගිහින් විකුණල මුදල් ගන්න එක. දවසක් මේ විදිහට අරගෙන එන දරුවෙක් ලඟ යමක් ලියපු සටහනක් තියන බව මේ දෙන්න දකිනව. "මම ආපහු එනව" එහෙම තමයි ලියල තියෙන්නෙ. සැකයක් නැහැ දරුවගෙ අම්මා ආපහු දරුවව ගන්න එන බව තමයි මේ කියන්නෙ. නමුත් ඒක ගණනකට නොගන්න යාලුවො දෙන්න දරුවාව ගෙදර ගෙනියනව. දරුවව මිලදීගන්න කෙනෙක් හොයාගෙන  යන්න ලෑස්ති වෙන මොහොතේ ම ඇත්තටම අම්ම ඒ දරුවව හොයාගෙන එනව. ඇය වැඩියෙ යමක් කමක් නොතේරෙන බොහෝම ළාබාල තරුණියක්. කොහොම හරි දරුව විකුණන්න ඒ අම්මත් කැමති වෙනව. ආර්ථික පීඩාව අග හිඟකම් නිසා අනීතික ව්‍යාපාරයකට යොමුවුණු යාලුවො දෙන්නෙක්, ජීවිතේ හසරක් නොදැන වල්මත් වුණු ගැහැනු ලමයෙක්, මේ කිසිදෙයක් නොදන්න අහිංසක බිළිඳු දරුවෙක් මේ එකිනෙකා හරියට නාඳුනන සහ අහම්බෙන් හමුවුණු හතර දෙනා ගෙ ජීවිතවල ඉරණම කොහොම ද ලියවී තියෙන්නෙ..

2022 අවුරුද්දේ පැවැත්වුණු කාන්ස් සිනමා උළලේ දි හොඳ ම නළුවාට හිමි සම්මානය දිනාගන්නෙ මේ චිත්‍රපටයෙ එක මිත්‍රයෙකුගෙ  චරිතය නිරූපණය කරන Song Kang-ho. කොරියානු සිනමාව හුරුපුරුදු ඔබ නම් ඔහුව නොදැන ඉන්න විදිහක් නෑ. මෑතකාලීනව නිර්මාණය වුණු හොඳම කොරියානු චිත්‍රපට බොහෝමයක් ම ඔහු රංගනයෙන් දායක වුනු ඒව (Parasite, A Taxi Driver, The Host, Memories of Murder, Sympathy for Mr. Vengeance, Sympathy for Lady Vengeance). 2022 මැයි 26 වෙනිද කාන්ස් චිත්‍රපට උළලේ මුලින්ම Broker තිරගත වුණු මොහොතේ චිත්‍රපටය අවසානයෙ විනාඩි 12ක කාලයක් පුරාම  ප්‍රේක්ෂක අත්පොලසන් නාදයකින් (standing ovation) ගෞරවය පලකල බවයි කියවෙන්නෙ. මොකද මේ කතාවෙ අවසානය ඒ තරම් ප්‍රබලව දැනෙන එකක්. Kore-eda ගේ ඒ බොහෝම මන්දගාමි නිවුනු හදවතට දැනෙන සිනමාව ඔබ මෙතෙක් අත්දැකල නැත්නම් Broker වුණත් ආරම්භයක් විදිහට හොඳ තැනක් බව කියන්නම්.




Monday, July 18, 2022

The Outfit (2022)

 "ඕනෑම ෆුල් සූට් ඇඳුමක ප්‍රධාන කොටස් දෙකක් තියනව. අනිවාර්යයෙන් කෝට් එක සහ කලිසම. මේව බැලු බැල්මට නම් තනි ඒකක විදිහටයි පේන්නෙ. නමුත් මේව හදන්නෙ රෙදි වර්ග හතරකින්. කොට්න්, සිල්ක්  ලොම් සහ වූල්. මේ රෙදි වර්ග හතරම වෙන වෙනම කොටස් තිස් අටකට කැපෙනව. ප්‍රමාණ මැනගෙන සැලසුම් ඇඳල කොටස්වලට කපල මූට්ටු කරන්න වැයවෙනව අවම වශයෙන් පියවර දෙසිය විසි අටක්. ඉතින් පළමුවෙනි පියවර තමයි මිනුම ගන්න එක. මිනුම කියන්නෙ ටේප් එක අරන් එහෙට මෙහෙට තියල අඟල් ගාන මැනගන්න එක නෙමෙයි. අතනින් අඟල් මෙච්චරයි, මෙතනින් අඟල් මෙච්චරයි .. නෑ නෑ ඒක නෙමෙයි. ඔයාට නියම විදිහට ඇඳුමක් හදාගන්න බෑ ඔයා ඒක හදන්නෙ කාටද කියල තේරුම් ගත්තෙ නැත්නම්. හැම ඇඳුමකින්ම කියවෙනව යමක්. වතාවක් මහත්මයෙක් මගෙ කඩේ ඇතුළටම ඇවිල්ල පාරම්බෑව "මම නම් අඳින ඇඳුම ගැන ඒතරම් වදවෙන්නෑ" කියල. එයා දිහා බැලුවම මට පෙනෙනව ඒක ඇත්තක් කියල. ඒකෙන් ඒ පුද්ගලය ගැන යමක් කියවෙනව. එහෙම නේද? මනුස්සයෙක් එනව ඔයාගෙ කඩේ ඇතුළට. ඔයාට මොනවද එයා ගැන කියන්න පුලුවන්? මුලින්ම එයා කවුද කියල තේරුම් ගන්න. ඒ ගමන් ඔයා මිනුම ගන්න."

.
.
.

1940, 50 දශකවල ඇමරිකාවේ චිකාගෝ නගරය හැඳින්වුණේ "අපරාධ නගරය" විදිහට. ඉතාලි මාෆියා සංවිධාන, අයිරිෂ් මැර කණ්ඩායම් චිකාගෝ නගරය මුල් කරගෙන බොහෝම ප්‍රබලව ක්‍රියාත්මක වුණා. නීතියට පවා සමහර වෙලාවට මොවුන්ව යටපත් කරන්න හැකියාව තිබුණෙ නෑ. ඔබ Godfather චිත්‍රපටය නරඹල තියනවනම් මේ මාෆියා සංවිධාන ගැන හොඳහැටි තේරුම්ගන්න පුලුවන්. මෙන්න මේ වගේ පසුබිමක එංගලන්තයේ ලන්ඩන්වල ඉඳන් එන එක ටේලර් කෙනෙක් චිකාගෝ නගරය මැද අලුතෙන් ඇඳුම් සාප්පුවක් පටන් ගන්නව. මේ පුද්ගලය එසේ මෙසේ කෙනෙක් නොවෙයි අවුරුදු පනහක් පමණ ක්ෂේත්‍රයේ අත්දැකීම් තියන පළපුරුදු ටේලර් මහත්මයෙක්. ඉතින් කොයිවගේ මිනිස්සු ද මේ ටේලර් සාප්පුවට එන්නෙ. ඔව් අනිවාර්යයෙන්ම මොකක් හරි මැර කණ්ඩායමක් එක්ක පැටලෙන්නෙ නැතුව නගරෙ මැද්දෙ ව්‍යාපාරයක් පවත්වගෙන යනව කියන්නෙ චිකාගෝ වල නම් ටිකක් අමාරු වැඩක්. එක අයිරිෂ් ජතික කණ්ඩායමක් මේ මහත්මයගෙ ටේලර් සාප්පුවෙ පොඩි කොටසක් අරගන්නව ඒ අයගෙ වැඩට. ටේලර් මහත්මයත් ඒ අයට ඕන දෙයක් කරගන්න දීල තමන්ගෙ වැඩේ කරගෙන ඉන්නව. නමුත් දවසක් නොහිතූ විදිහට සිද්දවෙන යමක් නිසා ටේලර් මහත්මය වැටෙනව ලොකු අමාරුවක. ඇඳුමක් කපන්න, සැලසුම් අඳින්න පාවිච්චි කරන සූක්ෂම බුද්ධිය යොදවල  මැරයන් අතින් වෙඩි පාරත් නොකා, තමන්ගෙ ජීවිතෙත් බේරගෙන මේ ආරවුල විසඳගන්න අපේ ටේලර් මහත්මයට පුලුවන් වේවි ද? 

40/ 50 දශකවල classic ගතිය ප්‍රිය කරන ඕනැම කෙනෙකුට මේක recommend කරන්න පුලුවන් සහ විශේෂයෙන් Thriller රසිකයන්ට නම් මේක මගහැර නොගත යුතු film එකක් බව කියන්න ඕන.The Outfit නොහිතන අවසානයක් එක්ක, හොඳ crime/ thriller සිනමා අත්දැකීමක් ලබාදෙන චිත්‍රපටයක් විදිහට ඕනෑම කෙනෙකුට නිර්දේශ කරන්න කැමතියි. 

The Outfit

- Directed by

Graham Moore

- Written by

Graham Moore

Johnathan McClain

- Produced by

Scoop Wasserstein

Amy Jackson

Ben Browning

- Starring

Mark Rylance

Zoey Deutch

Johnny Flynn

Dylan O'Brien

Nikki Amuka-Bird

Simon Russell Beale



Monday, July 11, 2022

මම හිතන්නේ ඔබ හොඳින් ඇති....

මම හිතන්නේ ඔබ හොඳින් ඇති....
කහ සූරියකාන්ත මල් ඇහැරෙන
අයිවි වැල් වැඩුණු ඉම් පෙදෙසක..
තෙතමනය පිරුණු පොළවක සීතලට
නපුරු මිනිසුන්ගෙන් ඈත යම් තැනක
ඔබ නිවී සැනහී ඇති...

සමහර විට ඔබ ඔතන නැතුවත් ඇති..
රෑ මැදියමේ තරු විසුළ ආකහේ
කොහේ හරි දුර ඈත අහුමුල්ලක
නිවි නිවී දිළිහෙන තරු බින්දුවක
නිල් පාට එළිය ඒ ඔබ වෙන්න ඇති...

ගංගා ඉවුරු ඉහත්තාවේ
තුනී තෘණ යායක වගුරු වදුලේ
උස ඔලිව් තුරු ගොමුවක
ලා කොළ පාට ඔබ වෙන්න ඇති...

ග්‍රීෂ්මේ මඳ සුළඟ අතරේ 
මද්දහනක හිරු එළියේ උණුහුමේ 
සරුසාර තිරිඟු පැහෙනා කෙතක
බැබලෙන රන්පාටට ඔබ ඇති...

නැතිනම් ගොවියෙකුගේ
වැඩබිමක වෙහෙසෙන කම්කරුවෙකුගේ
කළුගැහුණු විඩාබර මුහුණක 
දාඩිය බිංදුවක අවර්ණව ඔබ ඇති...

මම හිතන්නේ වින්සන්ට්
ඉර බහින ආකාසෙ වළාකුළු අතර
රැළි නැගෙන සයුරක තුරු ගොමුවක
මේ මිහිතලේ ලස්සනම වර්ණ අතර
කොතන හරි ඔබ හොඳින් ඇති...




Tuesday, July 5, 2022

Jana Gana Mana (2022)

මලයාලම් චිත්‍රපට කාරයො ලංකාව දිහා බලාගෙන චිත්‍රපටියක් හදලද එහෙමත් නැත්නම් මේ දූෂිත දේශපාලන ක්‍රමය ලෝකෙ කෙසේවෙතත් දකුණු ආසියාතික කලාපය ඇතුළෙ වැඩ කරන්නෙ එකම විදිහටද. ඒක කොහොම වුණත් Jana Gana Mana කියන්නෙ ලංකාවෙ මේ පවතින දේශපාලනික මොහොත තේරුම් ගන්න උදව්  වෙන චිත්‍රපටයක් බව නම් සහසුද්දෙන්ම කියන්න පුලුවන්. කොතනක හරි, විශේෂයෙන් සමාජෙ ඉහළින් වැජඹෙන මේ දේශපාලන තල්මස්සු අපි වගේ පොඩි හාල්මැස්සන්ට කරන අසාධාරණ දැක්කම ඇත්තටම ඒ ගැන ලේ කෝප කරගෙන තැන් තැන් වල කතා කරන, සෝෂල් මීඩියා වල ලියන කවුරු වුණත් සමහර වෙලාවට දුරදිග නොබලා කරගන්න වැරදි ගැන මේ චිත්‍රපටයෙන් පෙන්වා දෙනව. උදාහරණ විදිහට දරුණු අපරාධයක් වෙනුවෙන් චෝදනා ලබල සමහර විට මරණ දණ්ඩනයට නියම වුණු අපරාධ කාරයෙක් හදිස්සියෙම ආයුධ පෙන්නන්න අරගෙන යද්දි පලා යන්න උත්සහ කරල පොලිස් වෙඩි පහරින් අවසන් ගමන් යන සිද්දි අපි දැකල තියනව. ඒ වගේ සිදුවීමකදි සාමාන්‍යයෙන් කවුරුත් කියන්නෙ "හොඳ වැඩේ ඕකුන්ට නීතියට පිටින් හරි නියම දඬුවම ලැබෙන්න ඕන" වගේ දේවල්. නමුත් එහෙම අනීතිකව සිද්දවෙන පුද්ගල ඝාතන ඇතුලෙ වැළලිලා යන්න ඉඩ තියන සත්‍ය කොයි වගේ එකක් ද කියන දේ ගැන මිනිස්සු හිතන්නෙ නෑ. අනෙක් අතට පොලීසියට ඕන විදිහට මිනිස්සු පරලෝ යවන්න පුලුවන් නම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්?? මේ සියලු දේ ඔබට හිතාගන්න වත් බැරි අති සූක්ෂම අමානුෂික දේෂපාලන ක්‍රීඩාවක කොටස් බව ඔබට කොහොමද දැනගන්න ලැබෙන්නෙ?? තමන්ගෙ හිතට එකඟව එක මනුස්සයෙකුට හරි ක්‍රියාත්මක වෙන්න පුලුවන් නම් ඔබ නොදැනීම මේ මහ පොළවේ වැලලී ගිය සහ ඉස්සරහට වැළලී යාමට නියමිත වෙලා තියන රහස් ගොන්නක් ඔබ ඉදිරියේ නිරාවරණය වේවි. 

Jana Gana Mana අනිවාර්යයෙන් ඔබ බලන්න ඕන ඔබත් මමත් කාල ඇඳල හුස්ම අරගෙන ජීවත් වෙන්නෙ කොයිතරම් පිරිහුණු දේශපාලන ක්‍රමයක් ඇතුලෙද කියන දේ ඔබ විසින්ම දැකබලා ගත යුතු හින්ද. මේව මේ මහ පොළවෙ හැබෑවට සිදුවුණු සහ ඉදිරියටත් විය හැකි දේවල්. ඔබ යම් දේශපාලකයෙකුට පක්ෂයකට හිතවත් නම් ඒ ගැන සිය දහස්වතාවක් නැවත හිතන්න! චිත්‍රපටයෙ සිනමාත්මක බව ගැන විශේෂයෙන් කියන්නෙ නෑ. මලයාලම් සිනමාවෙ නැගී එන සුපිරි රංගවේදීන් දෙපළක් වුණු Prithviraj Sukumaran (නීතීඥ) ගේ සහ Suraj Venjaramoodu (පොලිස් නිලධාරි) දෙදෙනාගේ ඉතාම ඉහළ රඟපෑමක් දැකගන්න පුලුවන් (සුරාජ් ගැන විශේෂයෙන් කිව යුතු මයි. The Great Indian Kitchen වගේ උසස්ම තත්ත්වයෙ මලයාලම් චිත්‍රපට ගණනාවකම ඔහුගේ රඟපෑම දැකගන්න පුලුවන්. රංගවේදියෙකු විදිහට ඔහුව Navazuddin, Irfan, Fahad Fazil වැනි අය සමග එක පෙළට තැබිය හැකි බවයි මගේ අදහස). Jana Gana Mana චිත්‍රපටයෙ ඇතුළත් වෙන්නෙ සම්පූර්ණ කතාවෙන් එක් කොටසක් පමණයි. අනෙක් කතාව දෙවන කොටසක් විදිහට ලඟදීම තිරගත වෙන බවයි කියවෙන්නෙ. චිත්‍රපටය තවමත් බලල නැත්නම් අනිවාර්යයෙන් බලන්න. එතකම් චිත්‍රපටයෙ තිබුණ මෙන්න මේ දෙබස මතකයෙ තියාගන්න...

"දේශපාලකයෙකුගෙ වටිනාම ආයුධය තමයි.. ඒක මොකක්ද දන්නවද තමුන්? ඒ තමයි හැඟීම්.. ජනතාවගේ හැඟීම්... ඒක ලොකුම මත් බවක්... එයාලගෙ සිතුවිලි..  බුද්ධිය.. තීරණ.. වෙනස් කරද්දි දැනෙන පිස්සුව තියනව නේද.. ඒ පිස්සුව ඔලුවට ආව කියන්නෙ ඉතින්.. උන් පක්ෂෙට වැඩ කරන උන් නෙමෙයි.. බැතිමත්තු... මම ඒ හැඟීම් ටිකක් වැඩි කරන්න යන්නෙ.. වටේ වෙන අනික් හැම දෙයක්ම උන් අමතක කරයි... ඒ හැඟීම පාවිච්චි කරල අපේ පක්ෂෙ දිනනවා..අපි පාලන බලය ගන්නවා.."