Friday, June 29, 2018

ඔබ නික්ම ගිය පසුව


වීසි කර දැමුවෙමි
මිලින වුණු ගොක් කොළ
ගලවා දැමුවෙමි සුදු කොඩි
සමගින් ශෝක පණිවිඩ
නැත කිසිම සළකුණක් 
නැත කිසිවක් ඉතිරිව
පෙර මෙන් ය දැන් නිවස...

ඉදිරිපස ආලින්දෙ
ඔබේ පියවර හඬ ද
රතඹලා වැට ගාව
පොළව ගැටෙනා හඬ ද
කුස්සියෙ හැලි වළං
ඉඳහිට පෙරලෙනා හඬ ද
යහනතේ දාඩිය සුවඳ මුසු
ඔබේ උණුසුම් සුසුමද හැර..







Thursday, June 28, 2018

මදුවැල්


අතු ඉති වසාගෙන හැම කල්
පිපුණ මල් හැලුනු පසු මනකල්
ඉතිරි වුණ තනි ගස් බදා ගෙන සුවිසල්
වැඩෙනා පිළිලයක් ද මේ මදුවැල්?





පැරණි නුග අත්ත


පැරණි නුග අත්ත
කපා දැමු පසුව
වරින් වර මතුවේ
සරුංගල් සැකිලි..





Monday, June 25, 2018

සිහිලසද උණුහුම.....




සරතයේ සුළඟ නොව
වස්සාන වැස්සටය
නැවුම් දළු දමන්නේ 
මේ සියලු ගහකොළ ...

අකුණු පිපුරුමට නොව
සිහිල් වැහි බිඳුවට ය
හෙමි හෙමින් දිය වුණේ 
දේදුන්නෙ පාට හත...

පුරුද්දටමත් නොව
පතුලෙ මුතු තිබුණට
වෙරළ කොණ හැපි හැපී 
වැළපෙන්නෙ සයුරු රළ...

හිරුගෙ උණුහුමට නොව
සඳුගෙ සිසිලසට මයි
පරවුණේ විල් දියේ 
පිපුණ අර නෙළුම් මල...






වැස්ස සහ මඩ කඩිති..



වැසි වසියි
මඩ කඩිති වල
කුඩා හිරු කැබලි කර...





පැරණි පෙම



කහට කෝප්පයක්ව
වෙස් වලාගෙන
පැරණි පෙම..





Friday, June 22, 2018

රන් මුදුව


පෙන්වයි ඔබ මට
මනරම් දසුන් මග දෙපස
සිළිටි අත දිගු කර
අතැඟිල්ලේ 
රන් මුදුව පෙනෙන ලෙස...

අප අසල
එකලාව නැගී සිටි
තුගු විසල් තුරක
එතී ඇත ලියවැලක්
කටුක තුරු බඳ වැළඳ ...

ඔබේ සියුමැලි 
අතැඟිල්ල සිර කළ
ඒ රන් මුදුව නොබලාම
විඳගනිමි මම
ලියවැල පුරා පිපුණ 
මිහිරි මල් සුවඳ..





හැම තරුවම....


හැම තරුවම
මග කියන්නේ
ඔබ වෙතට





Thursday, June 21, 2018

බොළඳ කවක්


පුරුදු විදිහට අදත්
ඉරිදා පත්තරේ අරන්
"කවි පිටුව" පෙරළලා බලනවා..

ඔබේ නම කොහේ හරි
ලියැවිලා තියේදැයි
ඒ පිටුව පුරා මම හොයනවා...

ලියන්නට හිතුණද යමක්
නැතිවද කවියක් අලුත් 
මගේ හිත මගෙන් අහනවා....

කිසිම හැඩයක් නැතත්
පද පේළි මහ ගොඩක්
මං ඔහේ ලියනවා ආයෙත් මකනවා...

එදා ඔබ ලිව් කවක
ඇත්තටම උන්නේ මම ද?
මං තවම තනිවම හිතනවා....





Wednesday, June 20, 2018

මැයි ගසක පැතුමක්.



වසන්තය 
එපා රතු මල් පුබුදන්න
ඔහේ සුළඟට වැනෙන
මා හිස මත...

ගං ඉවුරෙ
තොටුපළ ළඟ
තොටියෙකි
අව්වැසි සුළං මැද
මහ සෙනඟ එතෙර කරවන.

හබල ගෙන
පොරබදා
සැඩ පහරත් සමග 
වෙහෙස ඇති
ඔහුට

කරගැට මතුව
රිදුම් දෙනවා ඇති
ඒ අත් යුග.

වසන්තය..
එතැන
ඒ ඉවුරබඩ
මල් පුබුදුවනු මැන
නිතරම..
සුවඳ දෙනු මැන
සවසට
ඔහු ගෙදර එන වෙලාවට..





Tuesday, June 19, 2018

නිහඬ විණ ඒ රන් ස්වර ...


දකුණ නැගෙනහිර සහ බටහිර උතුර
එක ලෙස රස කෙරූ ගී පද අම වතුර
රන් දෙවොලෙන් දෙවිවරු බැස යන අතර
නික්මී ගිහින් රහසෙම හද රන් ස්වර...

බොඳවී ඇත පෙරඹර පෑයු ගුරු තරුව
උදුම්බරා ඇයි අද වෙරළේ ගොළුව
දහස් ගණන් කෙත් වතු බිම් සරු කෙරුව
අංගාරා ගඟ ගලයි දුක වාවනු බැරුව...

අඳුරු කුටිය තුළ නොවසන දෙවිවරූ
ගිණියම් අව්වේ වැඩවසන දෙවිවරූ
වළාකුළෙන් පොළවට වඩින දෙවිවරු
ඉතින් අපට පෙන්නා දෙන්නෙ කව්රූ...

රාසි වෙවී ජන කව් පද ගායනයේ
දේව පුතු ද නැළැවූ රස සාගරයේ
මාස්ටර් සමග මැව් ගී ආකරයේ
බේස් හඬ අඩුය සිරිලක හාමොනියේ...

ඉරවට යන ඉරවට යන ගිරව් ගිහින්
මලවටකර රැඟුම් රඟන බඹරු ගිහින්
රකුසන් නාද කරනා බැවින් ගොරබිරම්
ස්වර්ණමාලියේ උඹ ගහ උඩම ඉඳින්..

ඉඳිකටු තුඩක් මෙන් හද පත්ලෙහි ඇණුන
කරුණක් වේය ඇස කඳුළැල් බොඳ කරන
පියඹා ගිය පසුව ඒ කොවුලන් පරණ 
සොහොනක් නොවෙද මේ කපුටන්ටම ඇරුණ..

-----------------------------------------------------------------


 අයිවෝ ඩෙනිස් මහත්මයා අපේ රටේ බිහිවුණ සුවිශේෂී සංගීතවේදියෙක්
පහත් ස්වර පරාසය ඒකියන්නෙ බේස් ස්වර හොඳින් ගායනා කරන්න පුලුවන් දුර්ලභ 
කටහඬක් එතුමාට පිහිටලා තිබුණෙ. ලංකාවෙ ප්‍රධාන සංගීතඥයින් දෙදෙනා 
 සුනිල් සාන්ත සහ ප්‍රේමසිරි කේමදාස තමන්ගෙ ප්‍රධාන ගායකය විදිහට 
යොදාගත්තෙ එතුමාව. විශේෂයෙන් කේමදාස මාස්ටර් එතුමාගෙ ඒ හඬෙන් හොඳට 
වැඩගත්ත. අයිවො ඩෙනිස් මහත්මයා ලංකාවෙ සංගීතයට කල සේවය මේ තරම් කියන්න බැහැ. 
සංගීත ගුරුවරයෙක් විදිහට විශේෂයෙන් ලංකාවෙ ජන සංගීතය හදාරමින් ඒ දැනුම තවත් ශිෂ්‍ය 
පරම්පරාවන් ගණ්නාවකට ලබා දෙමින් එතුමා කල සේවය විශාලයි. ඒ වගේම ලංකාවෙ 
කිතුණු සංගීතයේ එතුමා නිර්මාණය කල තනු බොහොමයක් තවම දේවස්ථාන වල අපි ගායනා 
කරනව.ඉතින් මේ සංගීතය අපි හෙටත් රසවිඳීවි. ඉන් මතුවටත් මේව පවතීවි. අවසාන වශයෙන්  
මේ හැම දෙයක් වෙනුවෙන්ම ඔබට ස්තූතියි.






Monday, June 18, 2018

ගුත්තිල ගෙ මාපියන්


අඳ මව්පිය දෙදෙන
ගොඩවී බස් රියට
මඳ දුරක් යන කලට
සූ සූ කියා අතගැසූ සැණෙකින..

නැත නැත මාපියනි
නොකතියි වෙණ මීයන
ඇසෙන්නේ ඒ ඔබට
මුරගානා යුරු නිවේදක තැන
සජීවී ප්‍රසංගේ
තත් බිඳෙනයුර විදුලි වෙණ..

ඇසූ කළ එවදන
හිස මදක් පහත් කර
අඳ පියා තම සුරතින්
පිසදැමී වම් ඇස..





Friday, June 15, 2018

කන්කොටා

යාල වනෝද්‍යානයේ "කන්කොටා" නම් සුප්‍රසිද්ධ කොටියා මරා මස් කර තිබියදී සොයා ගැණින. 

රන් බඳේ වැටුණ රන් ගෝමර දිලුනයි
පින් කඳේ රුවට යාලම එළි වැටුණයි
ලෙන් දොරේ සිහිල් හෙවණක කල් ඇරුණයි
කන් කොටේ නමට මුළු වනපෙත නැමුණයි

වනේ ගහකොළක පාටින් හැර නොයන
සෙනේ බැඳන් ගස් ගොමු අතරේ රැඳුන
කුසේ දැවෙන ගින්දරකට දැන පමණ
ගතේ සවිය නොයෙදුණි ගොදුරක් නසන

පානම් පත්තුවේ අහසින් කිරණ හලා
ඉර මිය ඇදුන කලුවරවූ රැයක ඉතා
හෙවණැලි අතර බඩගා ලේ සුවඳ බලා
නොදුටුවෙ ඇයිද උඹ දෙපයින් ආපු සතා

වනමල් පිපී සුවඳින් බරවුණු ලන්දේ
අවකල් කුයිලයකි ඒ රැය වහගත්තේ
සිහිලැල් සුවය විඳිමින් සිටියදි බැද්දේ
සිහිනෙන්වත් නොමැත උඹ ඒ වග දැක්කේ

අඩි තිය තියා ගණ අඳුරේ මස් වැද්දා
යකඩ දුනු බටේ දුනුදිය ගෙන ඇද්දා
රන්වන් පපුවටම එල්ලය ගෙන විද්දා
ගැලු ලේ කඳට මහ පොලවත් ඉකි බින්දා

අරුණලු කැරලි පැතිරෙන විට හතර වටින්
ඇඟ මස පැටවුණිය මන්දිර වහල යටින්
සිල් පද රකින ඒ උතුමන් මේස උඩින්
මස් රස බැලුනි ලෝකෙට බණ දෙසන කටින්

කලුවර අදත් ගුලිවෙනවා වන අරණේ
පිහිටට කතරගම දෙවියොත් නැහැ සරණේ 
හඬගා කියනු බැරි හින්දය උඹ මැරුණේ
ඉතින් කොහොම සැතපෙනු ගිනිගත් දෙරණේ... 

2016/06/15




Thursday, June 14, 2018

පටලැවිල්ල - Coherence - (2013)


1887 අවුරුද්දෙ ඔස්ට්‍රියවේ උපදින අර්වින් ස්ක්‍රෝඩින්ගර් කියන්නෙ ලෝක පිළිගත්ත භෞතික  විද්‍යාඥයෙක්. ඔහු 1933 අවුරුද්දෙ නොබෙල් ත්‍යාගයෙන් පවා පිදුම් ලබනව. විශේෂයෙන් ක්වන්ටම් භෞතික විද්‍යා ක්ශේත්‍රයේ ඔහු ඉදිපත් කළ මතවාද ඒ විෂයෙ දියුණුවට සෑහෙන බලපෑමක් ඇති කර තියනව.  ස්ක්‍රෝඩින්ගර් බළලා ගේ කල්පිත පරික්ෂණය ඔහු ඉදිරිපත් කරන්නෙ වර්ෂ 1935 දි. එතනදි පණ තියන බළලෙක්, විකිරණතාව මනින ගයිගර් ගණකයක්, වස බඳුනක්, මිටියක් සහ විකිරණ ද්‍රව්‍යක් යකඩ පෙට්ටියක් ඇතුළට දමල මුද්‍රා තබනව. දැන් පෙට්ටිය ඇතුලෙ වෙන්නෙ මොනවද කියල පිටත කාටවත් දැනගන්න පුලුවන් කමක් නෑ. විකරණ ද්‍රව්‍ය ක්ෂයවෙලා ඒ බලපෑමෙන් මිටිය චලනය වෙලා එයින් වස බදුන විවෘත වෙලා බළලා මිය යන්න පුලුවන්. ඒත් විකිරණ ද්‍රව්‍යයෙ ක්‍රියාකාරිත්වය අවිනිශ්චිත නිසා ඒ ක්‍රියාවලිය සිද්ද වෙන්න තියෙන්නෙ 50 ට 50 සම්භාවිතාවක්. පෙට්ටිය විවර කරලා ඇත්තටම වුනේ මොකක්ද කියල දැනගන්න තුරු බළලා ජීවත් වන සහ මිය ගිය යන අවස්ථාදෙකේම එකවර පවතින බව ඔහු කියනව. මොකද පරමාණුක තත්ත්වයෙන් බැලුවම එකම පරමාණුවක් විවිධ ස්වරූපයන්ගෙන් එකවර පවතින බව ඒ වෙනකොට හොයාගෙන තිබුණ හින්ද. Coherent චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ මේ අදහස පසුබිම් කරගෙන. අපි එකවර නමුත් එකිනෙකට වෙනස් ආකාරයේ යථාර්ථයන් කීපයක එකවර පවතිනව නම්  යම් විශේෂ තත්ත්වයක් යටතේ මේ යථාර්ථයන් එකිනෙක හුවමාරු වී ගියොත් මොනවගේ ව්‍යාකූල තත්ත්වයක් ඇතිවෙයිද. පොඩ්ඩක් හිතන්න ගෙදර දොරෙන් ඔයා එළියට බහින්නෙ වෙනම යථාර්ථයකට මීටර් විස්සක් විතර ඇවිද ගියාම ඔයා ආයෙම දකිනව ආයෙත් ඔයාගෙම ගෙදර. පරිසරයත් අනිත් හැම  දෙයක්මත් එක සමානයි. ආපහු හැරිල ඔයාගෙ ගෙදර තිබුණ තැනට ආවම ඔයා දකින්නෙ තවත් යථාර්ථයක් වෙනස්ම තලයක. එතකොට ඔයා එලියට බැස්ස ගෙදර කොහෙද? ඇත්තටම දැන් ඔයා කවුද? කියවද්දිත් නිකම් ඔලුවට මොකකින් හරි ගැහුව වගේ දැනෙනව නම් චිත්‍රපටය  බලද්දි ඒ හැගීම ඊටත් වඩා තදින්ම දැනේවි.

කතාව ගලාගෙන යන්නෙ රාත්‍රී ආහාරවේලකට එකට එකතුවෙන පවුලේ හිතමිත්‍රයන් අට දෙනෙක් වටා. ඒ රාත්‍රිය වැඩිදෙනෙකුගෙ අවධානයට ලක් නොවුනත් සුවිශේෂ එකක්. මොකද ඒ රාත්‍රියෙ කාලාන්තරයකට පස්සෙ ධූමකේතුවක් පෘථිවියට දර්ශනය වෙන නිසා. ඉතින් මේ එකතුවීම මැද්දෙ නොයෙක් සාද කතා අතරෙ ධූමකේතුව ගැනත් කතාබහක් ඇතිවෙනව. චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය විදිහට අපි දකින Emily, ධූමකේතුවක් දර්ශනය වුණ හැම අවුරුද්දකම සිද්දවෙච්ච අපූරු සිදුවීම් විස්තර කරනව. මේ අතරෙ හැමෝගෙම ජංගම දුරකතන සම්බන්ධතා අක්‍රිය වෙලා තිරය මතුපිට ඉරිතැලිලා යනව. අන්තර්ජාල සම්බන්ධතා පවා අක්‍රීයයි.  මේ අතර විදුලිය විසන්ධි වෙනව. මුළු පළාතම විදුලිය නැතිව අඳුරේ ගිලිල තිබ්බත් ගෙවල් දෙකකට එහායින් එක ගෙදරකට විතරක් විදුලිය ඇතිබව ඒ අය දකිනව. දෙන්නෙක් මේ ගැන හොයාබලන්න ඒ ගෙදරට පිටත්වෙලා යනව.  අමුතු දේවල් සිද්දවෙන්න පටන්ගන්නෙ ඉන්පස්සෙ.

මේ තිරපිටපත ලියන්න අවුරුද්දක විතර කාලයක් වැයවෙලා තිබුණත් මුළු චිත්‍රපටයම රූගත කරන්න ගතවෙලා තියෙන්න රාත්‍රීන් පහයි. එකම පසුබිමක මුලු චිත්‍රපටයම ගලායන නිසා චිත්‍රපටය රූගත කරල තියෙන්නෙ අද්‍යක්ශවරයාගෙ ගෙදර. මේ චිත්‍රපටයෙ නලු නිලියන් රංගනයෙ යෙදෙන්නෙ කතාව ගැන අදහසක් නැතුව බව තමා සඳහන් වෙන්නෙ. ඒ වෙනුවට ඔවුන්ට දවසකට නිශ්චිත දෙබස් ඛන්ඩ ගණනාවත් ඒ අතරට ඔවුන් අතින් එකතුවෙන දේත් අරගෙන තමා චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ. ඒ අවස්තාවන් පුලුවන් තරම් ස්වභාවිකව නිර්මාණය කර ගැනීමේ අරමුණෙන් තමා අද්‍යක්ශවරයා ඒ ආකාරයකට රූපගතකිරීම සැලසුම් කර තියෙන්නෙ. ඉතා අඩු වියදමකින් නැවුම් කතා සංකල්පයකින් කොයිතරම් හොඳ නිර්මාණයක් කරන්න පුලුවන්ද කියන කාරණය ඔප්පු කර පෙන්වන නිර්මාණයක් තමා Coherence කියන්නෙ.

මේ අවකාශය ඇතුලෙ යථාර්ථයන් හුවමාරු වෙන සිද්ධි ගැන මට කියවන්න ලැබී තියනව ඒත් ඒවයෙ නිවැරදිතාව ගැන 100% ක් තහවුරු කරන්න බැහැ. වතාවක් එක මනුස්සයෙක් හුරු පුරුදු වෙළඳසැලකට ගොඩවැදුණාම ඔහුට දකින්න ලැබිල තියෙන්නෙ 19 වෙනි සියවසේ පරිසරයක්. ආයෙමත් එළියට ඇවිත් බලනකොට සුපුරුදු වෙළඳසැලම එතන තිබිල තියනව. බැරිවෙලාවත් ඔයාට එහෙම දෙයක් වුණොත්. ගමනක් ගිහින් ගෙදර එනකොට ගෙදර එතැන නැත්තම් තියෙන්නෙ වෙනත් සියවසකට අයිති වෙනත් ගෙයක් නම්.  ?





Wednesday, June 13, 2018

ප්‍රේමයේ නගරය...



මේ ඉසව්වේ
සෘතුවෙන් සෘතුවට මල් හලන 
රොබරෝසි යායෙන් එපිට
නම නොදන්නා මාවතක් ඇත
කිසිකලෙක පෙම්වතුන් පය නොතැබුව...

නොබලාම කිසිවිට
අවට නිතරම යනඑනවුන් දෙස
දළු දමයි නුග ගස් පෙළ
පළමු වසන්තයෙ සිට...

ප්‍රේමිය
ඉතා දිගු වැව් ඉවුරක
බිඳෙමින් ඇත තවම දිය රළ
කිසිවෙකුත් මුණනොගැසුන
එබැවින් කිසිවෙකුත් වෙන් නොකෙරුණ
එක්තරා ප්‍රේමයේ නගරයක..





නෙත්සර


අමා බඳුනෙන් බිඳක් මුහුකර
කියා ගනු බැරි වදන් දියකර
තබා හද මන්දිර සිදුරු කර
මුදා හල හීයක් ය නෙත්සර..





Tuesday, June 12, 2018

Ottal - 2014 (භාෂාව මලයාලම්)


සමහර වෙලාවට චිත්‍රපටියක එහෙම නැත්තම් නවකතාවක ප්‍රධාන කතාවට 
ඒතරම් සම්බන්ධ නොවෙන අවශේෂ සිදුවීම්, චරිත අපිට බොහොම තදින් දැනෙන්න 
පටන්ගන්නව. ඒව අපිට වෙනම හිතන්න දොරවල් විවර කර දෙනව. කෘතියක ප්‍රධාන 
තේමාවට අමතරව හමුවෙන තවත් අතුරු පාරවල් වලින් හැරි හැරී අපි දිගටම ඒ කෘතිය 
දිගේ ගමන් කරනව. මෑතකදි නිර්මාණකල මලයාලම් චිත්‍රපටයක් වුණ Ottal බලද්දි 
මට එහෙම දෙයක් මුණගැහුණ.

චිත්‍රපටය ඇතුලෙ මේක ප්‍රධාන කතාවට ඒ තරම් බලපෑමක් ඇතිකරන සිද්ධියක් විදිහට 
අපි දකින්නෙ නෑ. ඒත් එක අතකින් අපිව යම් කම්පනයකට මේ සිද්ධිය සමත්වෙනව කියල 
මම හිතනව. කතාව මේකයි. චිත්‍රපටයෙ කතාව ගලායන්නෙ එක ගඟක් පසුබිම් කරගෙන. 
මේ ගඟේ මාලු අල්ලන ඔරු පාරු, නොයෙක් විදිහෙ බෝට්ටු විශාල ප්‍රමාණයක් එහා මෙහා 
යනව. මේ ගඟේ එක තොටුපළක තියනව උස කණුවක්. එක මනුස්සයෙක් මේ කණුව 
උඩ හැමදාම හවසට ලාම්පුවක් පත්තු කර තියනව. ඔහු මේක කාලාන්තරයක් තිස්සෙ කරගෙන 
එන දෙයක්. ඒක මුදල් වත් වෙන කිසිම දෙයක් වත් බලාපොරොත්තුවෙන් කරන දෙයක් 
නොවෙයි. ඒ ක්‍රියාවෙ අරමුණ තමා රෑට ගඟේ යන බෝට්ටු වලට පාර හොයාගන්න උදව් වීම. 
අද කාලෙ නම් ලාම්පුවක අවශ්‍යතාව ඒ තරම් තදින්ම දැනෙන්නෙ නෑ මොකද විදුලි ආලෝකය 
තියන නිසා. ඒත් අර මනුස්සයා වැඩේ නවත්තන්නෙ නෑ. කාට හරි මේ පහන් එළිය උදව්වක් 
වේවි කියල ඔහු මේක දිගටම කරගෙන යනව.

මේ සිද්ධිය, අපිව වෙනත් මානයකට අරගෙන යනව කියල මම හිතනව. අපේ 
ජීවිත දිහාම හැරිල බැලුවොතින්, අපි අඳුරේ ඉන්නකොට ආලෝකයක් වෙන පහන් එළි 
කොයිතරම් අපිට අපේ ජීවිත ඇතුලෙ මුණගැහෙනවද ..සමහට අපේ දෙමව්පියො වෙන්න 
පුලුවන්, නැත්තම් යාලු මිත්‍රයො වෙන්න පුලුවන්, කියවපු පොත පත වෙන්න පුලුවන්. කොයි 
අතට යන්නද, දැන් මොනව කරන්නද කියල හිතාගන්න බැරුව ඉද්දි ඒ පහන් එළි අපිට පාර 
පෙන්නා දෙනව. නැත්තම් මෙහෙම හිතුවොත්, අපි ඇත්තට මොනවද මේ ලෝකෙට දීල 
තියෙන්නෙ... අපිට පුලුවන් වෙලා තියනවද අන්ධකාරයෙදි ඒ පහන් ආලෝකය දල්වාතබන්න...
අපේ ජීවිත වලින් සමාජයට ලෝකෙට ඒ ආලෝකය විහිදෙනවද.. මේක අපිව වෙනම 
හිතන්න යොමුකර කාරණාවක්.

චිත්‍රපටය ගැන කියනව නම් මේක ඇන්ටන් චෙකොෆ් ගෙ "වන්කා" කියන කෙටි 
කතාවෙ ඉන්දියානු අනුවර්තනයක් විදිහට තමා හඳුන්වා දෙන්නෙ. ගඟක් ආශ්‍රිතව ජීවත් 
වෙන බොහොම දුප්පත් මහළු මනුස්සයෙක් සහ ඔහුගේ මුණුබුරා කුට්ටප්පායි වටා තමා කතාව 
ගෙතෙන්නෙ. කුට්ටප්පායි ට දෙමාපියන් නැහැ,  ඉන්න එකම ඥතියා තමන්ගෙ සීයා 
පමණයි. ඒ ලඟම ඉන්නව පෝසත් පවුලක්, ඒ පොසත් පවුලේ ඉන්න පොඩි දරුවා 
කුට්ටප්පායි ගේ හොඳම යාලුවෙක් වෙනව. දෙන්නාම එකම වයසේ වුණත් කුට්ටප්පායිට 
අනෙක් ළමයා වගේ ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්න හැකියාවක් නෑ. ඒත් ඒ ළමයාගෙ 
ඉස්කෝලෙ පැවරුම් ඔක්කොම හදා දෙන්නෙ කුට්ටප්පායි, මොකද අලුත් දේවල් හදන්න 
අපූරු නිර්මාණශීලී හැකියාවක් එයාට තියන නිසා. එක දවසක් හිටිගමන් කුට්ටප්පායි ගෙ 
සීය අසනීප වෙනව. ඉන් එහාට කුට්ටප්පායි ගෙ ජීවිතේ කොහොම ගතවෙයි ද??

Ottal කියන්නෙ බොහොම සුන්දර පරිසරයක් පසුබිම් කරගත්ත චිත්‍රපටයක් ඒ සුන්දරත්වය 
මේ චිත්‍රපටයෙ අඩු නැතුව විඳින්න පුලුවන්. ඒත් ඒ පරිසරය ආශ්‍රය කරගත්ත මිනිස්සුන්ගෙ 
ජීවිත ඒ තරම්ම සුන්දර ද කියන ප්‍රශ්නය මතුවෙනව. Ottal  චිත්‍රපටය මට නම් හදවතට 
දැනෙන බොහොම සංවේදී සිනමා අත්දැකීමක් වුණා.





Monday, June 11, 2018

නිදහසේ පියාසර කරන කුරුල්ලනි මේ ඔබටය...


මද සුලඟ මෙන් කුණාටුද
අත්තටු දෙකට උරුමය..
පය තියු තියු තැන් වල
පිහාටු වල සුවඳ ය..
හීන් හොට අග විවරව
නැගෙන ගී හඬ මියුරුය...
අහස යට ඕනැ දුක සැපක්
කුරුල්ලන්ට පුරුදුය..

අතු ඉති අතර නිවහන
මල් රොන් වලින් නොඅඩුය..
තටු දිගඅරින නිදහස
අහසත් බිමත් එකමය..
ඈත ගුවනේ ඉඳන්
පෙනෙන ලොව මහරුය..
ඉතින් උන් කවියන්
නොවුණොත් ඒක පුදුමය...





Friday, June 8, 2018

සතර පෙර නිමිති


එදා ඔබ දුටු පරිදි
මහල්ලෙක් ද ගිලනෙක්
මළ මිනිසෙක් ද
පැවිදෙක්
නොවෙය අද පෙර නිමිති
සිදුහත් කුමරුනි.

ඉලක්කය බලා ළය මැදට
මුදාහැරි වෙඩි උණ්ඩෙකට
මියගිය මිනිසෙක්.

ජීවිතේ තරුණ විය
උරා හප කල වැනි
අත පය අහිමි සොයුරෙක්...

දුක් විඳින දනන් කර පිටින්
සැප බෙන්ස් රථයක නැගී
මහ මග වඩින "උතුමෙක්".....

ඔද වැඩී දෑ බැති පෙමින්
කඩු ගා දමනු පිණිස
රට දැය අහිත සතුරන්
කඩු ගලගාන හිමිනමක්

වේය අද දවස
මේ බිමට 
පෙර නිමිති.

2017/06/07





Thursday, June 7, 2018

දොළහක් - 12 Angry men (1957)



ඇක්ෂන් නැහැ, පණදීගෙන ආදරේ කරන පෙම්වත්තු නැහැ, සින්දු නැහැ, ගලේ ගැහුවත් 
නසරානි ගතිය යවන්න බැරි පෙරාපු දුෂ්ටයො නැහැ, දෙබස් පමණයි! ආරම්භක දර්ශනයෙ 
විනාඩි 3 ත් අවසාන දර්ශනයත් ඇර කතාවෙ පැය 1 යි විනාඩි 36 න් අනෙක් මුලු කාලයෙම ද
කින්න ලැබෙන්නෙ එක කාමරයක් ඇතුලෙ එකම දර්ශන තලයක වෙන සිදුවීම් කීපයක් විතරයි. 
ඉතින් මේ වගේ චිත්‍රපටයක් බලන එක මහ කම්මැලි හිතෙන වැඩක් නෙමෙයි ද? ඇත්තටම 
ඒක එහෙම නොවෙයි.12 Angry men ආදායම් අතින් සාර්ථක වෙනව විතරක් නොවෙයි. 
මෙතෙක් ලෝකයෙ හැදුණ විශිෂ්ටතම චිත්‍රපට කීපය අතරටත් එකතු වෙලා තියෙනව.

කුඩා දරුවෙක්ට තමන්ගෙ පියාව ඝාතනය කළ බවට චෝදනා එල්ලවෙලා. ඒ දරුවා අපරාධය 
කළ බවට බොහොම පැහැදිලි සාක්ශි උසාවියට ඉදිරිපත්වෙනව. මේක බොහොම බරපතළ 
කාරණාවක් නිසා උසාවියේ ජූරි සභිකයින් 12 ට පැවරෙනව අවසාන තීරණය ගන්න. බැරිවෙලාවත් 
වැරදිකරු විදිහට තීරණය වුණොත් දරුවාට සිද්දවෙනව විදුලි පුටුවෙ ඉඳගෙන අවසන් ගමන් 
යන්න. ජූරි සභිකයින්ට වෙන්කළ කාමරයට එන 12 දෙනා ඡන්ද විමසීමකින් අවසාන තීරණය 
ගන්න එකඟතාවයකට එනව. 12 න් 11ක් ම දරුවා වැරදිකරු බව තීරණය කරනව. ඒත් 
එක්කෙනෙක් ඇරෙන්න. ජූරි සභාව යම් තීරණයකට එන්න නම් ඊට පක්ශව ඡන්ද 12න් 12 ක්ම 
ලැබිය යුතුයි. Davis කියන මේ පුද්ගලයා සත්‍යබවට බැලූ බැල්මට පේන සාක්ශි බොහොම 
ගැඹුරින් ප්‍රශ්න කරල දරුවා වැරදිකරු නොවෙන බව පෙන්වා දෙන්න උත්සහ කරනව. නමුත් 
11 දෙනෙක්ම Davis ට විරුද්ධව පෙළගැහෙනව. අනික් හැමෝම තමන් හරි කියා හිතන 
පැත්තක් අරගෙන ඒ මතය ඔප්පු කරන්න තර්ක කරද්දී Davis විතරක් පෙනෙන කරුණු වල 
ගැඹුරට ගිහින් සත්‍ය සොයාගන්න උත්සහ කරනව. තර්ක ගොඩ නැගෙන හැටි, තර්ක බිඳවැටෙන 
හැටි, සත්‍ය කියල පිලිගන්න ඕනැම මතයක සාධාරණ සැකයකට ඉඩ ඉතුරුවන හැටි අතරේ 
උද්වේගකාරී අවසානයකට චිත්‍රපටය ගමන් කරනව.

එකම දර්ශනතලයක රූගත කර තියන නිසා විවිධ මට්ටමෙන් කැමරා කෝණ එකතුකර 
ගැනීමෙන් චිත්‍රපටයෙ ඒකාකාරී බව නැති කර ගන්න අධ්‍යක්ෂ වරයා උත්සහ කර තියනවා. 
ඒ වගේම දෙබස් වල ප්‍රබලත්වය චිත්‍රපටයෙ ජීව ගුණය රැකගන්න ලොකු දායකත්වයක් දෙනව. 
12 Angry men චිත්‍රපටයට මුල් කරගන්නෙ ඒ නමින්ම නිර්මාණය වුණ ටෙලිනාට්‍යක්. මේ 
දෙකම රචනා කරන්නෙ Reginald Rose. මිනිස්සු එදිනෙදා ජීවිතේ කටයුතු කරන්නෙ කොයි 
තරම් අන්ධ විදිහටද. මිනිස්සු තමන්ගෙ අදහස්ම ක්‍රියාත්මක කරන්න කොයිතරම් ආත්මාර්ථකාමී, 
අවස්ථාවාදී ව හැසිරෙනවද කියා පෙන්වාදෙන චිත්‍රපටයක්. උවමනාවෙන් බැලුවොතින් කවදාවත් 
අමතක නොවෙන සිනමා අත්දැකීමක් වෙන එක සහතිකයි.

("12 දොළහක්" නමින් මෑතකදි අපේ රටේ නිශ්පාදනය වෙන්නෙ මේ කතාවේ සිංහල අනුවර්තනය තමයි)





Tuesday, June 5, 2018

???????


එක මිටට අතට කර
වරාමල් අරගෙන යනකොට
අතරමඟ අතහැරෙන මල් දිහා
අපසු හැරී බලන්නට
මොහොතක්  නතර වෙනවද
කිසිම දවසක සුළඟ.....

ඔය තරම් දෙස් දෙවොල් තිබ්බත්
රාත්‍රී ඝන කළුවරට 
හඳ ගෙනත් දෙන්න පුලුවන්ද අහසට
පුංචි උලලේනෙකුගෙ තනියට
අමාවක ලැබුව දවසට....

එතෙර වෙන මගියෙකුව
ගෙනවිත් ඇරලුවත් තොටුපළට 
ගඟක් හැමදා උහුලගෙන ඉන්නවද නිහඬව
හබල් පාරක අනදර.....

ඒත් මගෙ මිතුර
කෑ ගගහ ඇඬුවත් දුම්රියක එංජිම
බිඳක් වත් උණු නොවෙන බව ඇත්තයි
රේල් පීල්ලක යකඩ හදවත...