Thursday, December 30, 2021

C'mon C'mon (2021)

"දැකගන්න නම් හොඳින්  මේ ලොව
සිදුවෙනවා ඔබට උපදින්න
මිනිස් දරුවෙක් ලෙසට...

දැනගත යුතුයි ඔබ
හැමදේටම කලින්
හසුරුවාගන්න ඔබෙ සිරුර..

ඔබ උගනිවි ඇවිදින්න..
ඉන්පසුව ක්‍රමයෙන්
දුවන්නට වඩා වේගයෙන්..
මතුකර ඔබේ හඬ
නගන්නට ශබ්ද
කතා කරන්න වචන...
සෙමෙන් ඔබ උගනීවි
සැලකිලිමත් වන්න ඔබ ගැනම...

සාමකාමී තැනකි මෙය
එහෙත් නෙක වර්ණ, ශබ්ද
නොයෙක් සංවේදන 
ගලායනු ඇත ඔබ වටා..
නිතරම මේ ලෙසයි 
පවතින්නේ ලෝකය.  
නමුත් වේගයෙන්
චලනය වෙමින් තිබේ සැමදේම..
වෙනස් වේ නිතරම
නොපවතී එක ලෙස..
ගිලී යනු ඇත ඔබ
කාලයේ ගංගාව තුළ...

බොහෝ දේ ඇත ඔබට
උගනින්න නම් මෙහි...
බොහෝ හැඟුමන් ඇත
විඳගන්නට..
සතුට, ප්‍රීතිය
බිය, කළකිරීම
දුක සහ විස්මය...
ඔබේ කැළඹීම සහ
මහා සතුට තුළ
අමතකව යනු ඇත
කොහෙන් පැමිණියෙද ඔබ..

ඔබ හැදී වැඩෙනු ඇත..
ඇවිද යනු ඇත.. වැඩ කරනු ඇත...
දරුවන්ද ලැබෙනු ඇත ඔබට
මුණුපුරන් සමහර විට...
ගතව යන විට කාලය
ඔබ සොයා යයි යමක්..
සතුට හෝ දුක අතර
ජීවිතයෙ යම් අරුතක්..

නමුත් ඔබහට
අපහසු වේවි බොහෝම
හැර දමා යන්නට
මේ අමුතු, ලස්සන ලෝකය..
කාලය පැමිණි පසුව
ආපසු යන්නට 
ඔබ පැමිණි ඒ 
තරුව වෙතට..."

Star Child - Claire A. Nivola
.
.
Johnny කියන්නෙ වෘත්තියෙන් ගුවන්විදුලි මාධ්‍යවේදියෙක්. Johnny තමන් ගේ මාධ්‍ය සගයන් දෙදෙනෙකුත් එක්ක ඇමරිකාවේ නගරයෙන් නගරයට යමින් පොඩි දරුවන් ගෙන් ප්‍රශ්න විමසනව. රටේ පවතින තත්ත්වය ගැන හිතෙන්නෙ මොනවද? අනාගතයේ මොකක් වේවිද? වැඩිහිටියන් ගැන හිතන්නෙ මොනවද? ඔබට සුපිරි බලයක් ලැබුණොත් කරන්නෙ මොකක්ද? ඔන්න ඔවැනි ප්‍රශ්න තමයි Johnny අහන්නෙ. මේවට සමහර දරුවො දෙන උත්තර ඇහුවම ඇස් උඩයන විදිහෙ ඒව. Johnny මේ හැම දෙයක්ම පටිගත කරනව. මේ අතරෙ Johnny ගෙ සහෝදරී විවියන් කාලෙකින් එයාට කතා කරනව. විවියන් Johnny ගෙන් බලාපොරොත්තු වෙනව එක් උදව්වක්. Bipolar disorder නම් රෝගී තත්ත්වයෙන් පීඩාවිඳින ඇගේ සැමියා ඉන්නෙ ඇමරිකාවේ ම වෙනත් ප්‍රාන්තයක ප්‍රතිකාර ලබමින්. ඈ ඔහු හමුවෙන්න යා යුතුයි. නමුත් ඒ අතරේ ඇගෙ පුංචි පුතා ජෙසීව බලාකියා ගැනීමයි ඈ Johnny ගෙන් බලාපොරොත්තු වෙන්නෙ. පොඩි දරුවන් එක්ක වැඩකරන තනිකඩයෙක් වුණු Johnny ට මේ අත්දැකීම කොහොම එකක් වේවිද.. අහිංසක පෙනුම තිබ්බට හිතුවක්කාර ගති පැවතුම් තියන ජෙසී තමන්ගේ මාමාව කොහොම බාර ගනීවිද..? Cmon Cmon චිත්‍රපටයෙන් කියවෙන්නෙ මේ දෙදෙනාගෙ අපූරු කතාව. Johnny ගේ චරිතය නිරූපණය කරන Joaquin Phoenix ගේ රඟපෑම් ගැන මම අමුතුවෙන් ඔබට කියන්න අවශ්‍ය නෑ. ඔබට දරුවන් ඉන්නව නම්, නැත්නම් පොඩි දරුවන් එක්ක වැඩකටයුතු කරන කෙනෙක් නම් මේ චිත්‍රපටය ඔබට ටිකක් වැඩිපුර දැනේවි. කොහොම වුණත් Cmon Cmon මේ අවුරුද්දේ නිකුත්වුණු චිත්‍රපට අතරේ සෑහෙන හදවතට දැනෙන ආදරණීය ම සිනමා අත්දැකීමක් බව කියන්නම්. 

Cmon Cmon

- Directed by

Mike Mills

- Written by

Mike Mills

- Starring

Joaquin Phoenix

Gaby Hoffmann

Scoot McNairy

Molly Webster

Jaboukie Young-White

Woody Norman



Tuesday, December 28, 2021

Belfast (2021)

ඕනෑම ගමක වෙන සිද්ධියකින් මුළු මිනිස් සමාජයම නියෝජනය කරන්න පුලුවන්. මේ කතාව මට මතක විදිහට කියා තිබෙන්නෙ ලියෝ ටෝල්ස්ටෝයි. මෙයින් අදහස් වෙන්නෙ බොහෝවිට  ලෝකයෙ කොතැනක වුණත් ජීවිතය සම්බන්ධයෙන් ඇති මූලික කොන්දේසි ටික කාටත් පොදු බව. උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නගරයත් ඒ නිසා මීට වැඩි වෙනසක් වෙන්නෙ නැහැ. බෙල්ෆාස්ට් නගරෙ 1969 දශකය පසුබිම් කරගෙන වුණු සිදුවීම් කිහිපයක් මුල් කරගෙනයි Belfast චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. 2022 Golden globe සම්මාන උළලේ වසරේ හොඳම චිත්‍රපට 5 අතරට එන්න Belfast සමත්වෙලා තියනව වගේම බොහෝම දෙනෙක් මේ වසරේ හොඳම චිත්‍රපට ලයිස්තුවට Belfast ඉහළින්ම ඇතුළත් කරනව.

Belfast අධ්‍යක්ෂ Kenneth Branagh ගේ කුඩා කාලයේ අත්දැකීම් කිහිපයක් මුල්කරගෙනයි ඔහු මෙය නිර්මාණය කර තිබෙන්නෙ. Kenneth වෙනුවට මෙතනදි අපිට කතාව කියන්න ඉදිරිපත් වෙන්නෙ Buddy. Buddy තවම අවුරුදු නමයක කුඩා කොලුගැටයෙක්. Buddy තමන්ගේ ඇස් දෙකෙන් දකින ලෝකයයි Belfast ඇතුළෙ මැවෙන්නෙ. Buddy ප්‍රොතෙස්තන්ත ආගමික පවුලකට අයිති දරුවෙක්. උතුරු අයර්ලන්තය මේ වෙද්දි බ්‍රිතාන්‍යයේ කොටසක්වයි පැවතුනේ. අයර්ලන්තයේ  ප්‍රොතෙස්තන්ත ආගමිකයන් මේ කොටස දිගටම බ්‍රිතාන්‍යයට අයත්ව පැවතිය යුතු බව විශ්වාස කල අතරේ කතෝලිකයන් තර්ක කලේ එය බ්‍රිතාන්‍යයෙන් වෙන්වී අයර්ලන්තය නම් තනි රාජ්‍යයට එක්විය යුතු වග.  1969 කියන්නෙ මේ දෙපාර්ශවය අතරේ යුධගිනි ඇවිලී ගිය කාල වකවානුවක්. Buddy ජීවත් වුණේ උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නගරෙ කම්කරුවන් ජීවත්වුණු නිවාස සංකීර්ණයක මැද්දේ. ඔවුන් හැම කෙනෙක්ම හැකි තරමට හොඳට කාල බීල බොහොම සතුටින් නිදහසේ ජීවත් වුණු පිරිසක්. නමුත් එකවරම මේ සාමකාමී වටපිටාවට කඩාවදින කැරළිකාරී ප්‍රොතෙස්තන්ත ආගමිකයන් කණ්ඩායමක් කතෝලිකයන්ට පහරදෙමින් ඔවුන්ගේ නිවාස ගිනිබත් කරන්න පටන් ගන්නව. කිසිදෙයක් නොදන්න Buddy මේ සටනට මැදි වුණත් එයාගෙ අම්මා එයාව එතනින් ගලවාගන්නව. ඉක්මණින්ම නගරෙ මැද ආරක්ෂක පවුරක් බැඳිලා කතෝලිකයන් එක පැත්තකටත් ප්‍රොතෙස්තන්ත ආගමිකයන් තව පැත්තකටත් වෙන් වෙනව. 

Belfast නිර්මාණය කරල තියෙන්නෙ කලු සුදු මාධ්‍යයෙන්. ඒ නිසා චිත්‍රපටය ඇතුළෙ වඩා භාවපූර්ණ රූපරාමු අපිට හමුවෙනව. Buddy ගේ තාත්තාට වුණු Paට ප්‍රොතෙස්තන්ත පාක්ශිකයන්ගෙන් ලොකු බලපෑමක් එනව. මොකද එයා කතෝලිකයන්ට විරෝධය දක්වන කණ්ඩායමට කිසිම සහයෝගයක් නොදෙන නිසා. නමුත් එතනදි Pa මේ ආගම්වාදී අදහස් වලින් තමන්ගේ පුතාගේ මනස දූෂණය නොවෙන්න වැඩකරන හැටි අති විශිෂ්ටයි. මුලු සමාජයම එරෙහි වුණත් නිවැරදි අදහස් මතම රැඳී ඉන්න උත්සාහ කරන Buddy ගේ පියා, සුප්‍රසිද්ධ To kill the moking bird නවකතාවේ "ඇටිකස් ෆින්ච්" ගේ චරිතය සිහිගන්වනව. පියා පමණක් නොවෙයි Buddy ගෙ අම්මත් එයාට වඩා නිවැරදි දේ මොකක්ද යන දේ කියාදෙන්න උත්සාහ කරන ආකාරය අපූරුයි. ඒ විතරක් නෙමෙයි Buddy ගෙ ආච්චියි සීයයිත් එයාට ගොඩක් ආදරෙයි. ඒ හින්ද මොන ප්‍රශ්න ඇති වුණත් බෙල්ෆාස්ට් නගරෙ දාල යනව කියන එක නම් Buddy ට හිතාගන්න වත් බැරි දෙයක්. පවුල ඇතුලෙ ආදරය, බැඳීම වගේම ආගම ඇතුළෙ තියන සැබෑම වටිනාකම මොකක්ද, මනුෂ්‍යත්වය අපි හඳුනාගන්නෙ කොහොමද, දරුවෙක්ට හොඳ දෙමව්පියන් වෙනව කියන එකේ තේරුම මොකක්.... Belfast මේ හැමදෙයක්ම බොහෝම අපූරුවට පෙන්වා දෙන චිත්‍රපටයක් විදිහට හඳුන්වාදිය හැකියි.

Belfast

Directed by - Kenneth Branagh

Written by -  Kenneth Branagh

Produced by

- Laura Berwick

- Kenneth Branagh

- Becca Kovacik

- Tamar Thomas

Starring

- Caitríona Balfe

- Judi Dench

- Jamie Dornan

- Ciarán Hinds

- Colin Morgan

- Jude Hill



Monday, December 27, 2021

Dont look up (2021)

 රටට හරි ලෝකෙට හරි බලපාන මොකක් හරි ඇත්ත ප්‍රශ්නයක් වුණාම එය විසඳාගැනීම වෙනුවෙන් කවුරුන් හරි කණ්ඩායමක් එකතුවෙලා වැඩ කරනකොට බොහෝ වෙලාවට දැකගන්න ලැබෙන දෙයක් තමා දේශපාලකයින් එතනට මැදිහත් වෙලා වැඩේ මුළුමණින්ම දේශපාලනීකරණය කරගෙන අර කටයුත්තේ අරමුණ එහෙමපිටින් දිය කරල දාන එක. අපේ රටවල වුණත් මේ දේ සෑහෙන දැකගන්න ලැබෙනව. රටේ යහපත වෙනුවෙන් කරන්න පුලුවන් දේවල් මොනතරම් තිබුණත් මේ දේශපාලකයන්ගේ මූලිකම ව්‍යාපෘතිය වෙන්නෙ තමන්ගෙ බලපැවැත්ම ආරක්ෂා කරගැනීම පමණයි. ඒ වෙනුවෙන් රටේ මතුවෙන ඕනෑම තත්ත්වයක් තමන්ගේ වාසියට හරවාගන්න ඒ අය දන්නව. ප්‍රශ්නයක් නැත්නම් ප්‍රශ්න නිර්මාණය කරන්න හරි සැබෑ හතුරෙකුට සුදුහුණු ගාල පෙන්නල  දෙන්න හරි ඒ අය දක්ෂයි. කාලෙන් කාලෙට මෙහෙම වීරයෝ දුෂ්ටයෝ මාරුවෙන හැටි අපිට ඕනැ තරම් දැකගන්න පුලුවන් මැතිවරණයක් ලංවෙනකොට. 2021 අවුරුද්දේ බොහෝ දෙනෙක් මග බලාගෙන හිටපු Dont look up චිත්‍රපටයෙත් එක්තරා ආකාරයකට දකින්න ලැබෙන්නෙ එහෙම කතාවක්. 

ඇමරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ විද්‍යා අංශයේ  උපාධි අපේක්ෂක Kate Dibiasky නම් ශිෂ්‍යාවට නිරීක්ෂණය කරගන්න ලැබෙනව මෙතෙක් හඳුනා නොගත් සුවිශාල ග්‍රහකයක් වේගයෙන් පෘථිවිය දිශාවට ගමන් කරමින් ඉන්නා බව. මාස හයකින් මේ ග්‍රහකය පෘථිවියේ ගැටී සමස්ත ජීවයම විනාශ වී යන්න නියමිතයි. ඇය වහාම තමන්ගේ ඇදුරුතුමා, මහාචාර්ය Randall Mindy ට මේ ගැන දැනුම් දෙනව. ඔවුන් දෙදෙනා එකතුවෙලා ඇමරිකානු රජයට මේ ගැන දැනුම් දීලා සිද්දවෙන්න නියමිත විනාශයෙන් පෘථිවිය බේරාගන්න දරන උත්සාහයක් චිත්‍රපටයට ඇතුළත් වෙන්නෙ. 

Dont look up මේ තරම් ප්‍රේක්ෂක අවධානයක් දිනාගන්න බලපාන වැදගත්ම කාරණය එයට රංගනයෙන් දායකවෙන සුපිරි නළුනිලි පිරිස. මූලිකවම Leonardo DiCaprio ප්‍රධාන චරිතය නිරූපණය කිරීමම ප්‍රමාණවත් මේතරම් ලොකු කතාබහක් චිත්‍රපටය ගැන ඇතිවෙන්න. Jennifer Lawrence, Meryl Streep, Cate Blanchett, Timothée Chalamet වගේ නම් දරාපු කිහිපදෙනෙක් එක චිත්‍රපටයක දැකගන්න  ලැබීම Dont look up වසරේ මගහැරගත නොහැකි සිනමා අත්දැකීමක් බවට පත්කරනව. මේ හැමකෙනෙකුම තමන්ගෙ කොටස ඉතාම හොඳින් කරනව. Dont look up අධ්‍යක්ෂ Adam McKay ඇමරිකානු දේශපාලනය තේමා කරගෙන චිත්‍රපට නිර්මාණය කරන්නෙක් බවයි ප්‍රකට වෙලා තියෙන්නෙ. මේ කරුණ ඉතාම හොඳින් දැකගන්න පුලුවන් Dont look up චිත්‍රපටයෙත්. Dont look up වසරේ වඩාත් වින්දනාත්මක සිනමා අත්දැකීමක් වුණා මට නම්. නමුත් වඩා වැදගත්ම කොටස චිත්‍රපටයෙ අවසාන දර්ශන කිහිපය බවයි මගෙ අදහස. එකිනෙකා අතරේ සැබෑම ආදරය පවතින තැන ලෝක විනාශයක් කියන්නෙ කොයිතරම් පුංචි සිදුවීමක් ද. මම හිතන්නෙ මේ නත්තලේ සමාජයට දෙන්න පුලුවන් වටිනාම පණිවුඩයක් ඒ අවසානය ඇතුළේ තිබෙන බව.



Thursday, December 23, 2021

The Worst person in the World (2021)

 "මම දන්නව ඔයා අදහස් කරන්නෙ මොකක්ද කියල...ඒත් තව කාලයක් අපි මෙහෙම හිටියොත් මට ඔයා ගැන ආදරේ හිතේවි.. එතකොට හැමදේකටම ප්‍රමාද වැඩි වෙලා තියේවි. මම හිතන්නෙ අපිට ආයෙත් හමුනොවී ඉන්න පුලුවන් නම් හොඳයි. ඇත්තටම කිව්වොත් මෙතන තියන ප්‍රශ්නෙ තමා අපි දෙන්න අතර තියන වයස පරතරය.. ඒක අවුරුදු පහළවක්!. ඔයා මට වඩා සෑහෙන තරුණයි. මට දැන් හතළිහත් පැනල. මෙතනින් පස්සෙ ජීවිතේ සෑහෙන වෙනස්. ඒත් ඔයාට එහෙම නෑ. ඔයාට තව කාලය අවශ්‍යයි හැමදෙයක්ම තේරුම් ගන්න. ඔයාගෙ නිදහස නැති කරන්න මට බෑ. මට බයයි අන්තිමට අපි දෙන්න එකිනෙකාට රිද්දාගනීවිද කියල."

ඔහු ඇයට එහෙම කිව්ව. ඇය ඔහුගෙ නවාතැනේ දොර වසා දමල එන්න පිටත් වුණා. නිවසෙ පඩිපේළිය බැහැල එනවෙලාවෙ ඇගෙ මනසේ යමක් ඇඳිල ගියා විදුලියක් වගේ.. ඇත්තට ඇයට හිතුණෙ මොකක්ද? 

නිදහස්කාමී, සුරූපී යෞවනියක් වුණු Julie ට ජීවිතේ මැදිවයසේ පසුවෙන චිත්‍ර කතා රචකයෙක් වුණු Aksel ව  මුණගැහෙන්නේ ඇගේ  අරමුණක් නැති ජීවිත චාරිකාවේ අතරමැද්දක අහම්බයක් විදිහට. ඒ හමුවීම ආගන්තුක බවේ සීමාවන් අතික්‍රමණය කරන්නෙ බොහොම ඉක්මණින්. එදා ඒ හමුවීමෙන් පස්සෙ ඈ ඔහුගෙ නිවසින් නික්ම එනකොට තමන්ට මුණගැහුණු අපූරු මනුශ්‍යයා ගැන ඈ හිතමින් එන්න ඇති. සමවයස් තරුණයන් අතරේ නොදකින විශේෂ යමක් ඈ ඔහුගෙන් දකින්න ඇති. කොහොම වුණත් ඔහුගෙ නවාතැනින් නික්මිලා එන ඒ ගමන ක්ෂණිකව නවත්වන්න තරම් ඒ හැඟීම බලවත් වුණා. ඇය ආපසු හැරුණා. "ඔහු තමයි නිවැරදිම කෙනා. මම ඔහුට ආදරෙයි. මට ඔහු නැතුව බෑ" ඇයට එහෙම හිතුණ. ආපසු හැරුණු ඇය නැවතුණේ ඔහුගේ නවාතැනේ දොර ළඟ..

මේ තමා ජූලි ගේ කතාව... හරියටම කිව්වොත් පරිච්ඡේද දොළහකින් සමන්විත දිගු කතාවක එක් පරිච්ඡේදයක එන එක් සිදුවීමක් පමණයි මේ මුණගැහීම. සම්පූර්ණ කතාවම දැනගන්න නම් ඔබට සිද්දවෙනව 2021 වසරෙ දි නෝර්වේජියානු භාෂාවෙන් නිර්මාණය වුණු  The Worst person in the World චිත්‍රපටය නරඹන්න. 

The Worst person in the World .  2022 අවුරුද්දේ පැවැත්වීමට නියමිත 94 වන ඔස්කාර් සම්මාන උළලේ හොඳම විදෙස් භාෂා චිත්‍රපට අංශයේ නෝර්වේ රටේ නියෝජනය. නොර්වේජියානු සිනමාකරු Joachim Trier ගේ "Oslo Trilogy". නම් චිත්‍රපට ත්‍රිත්වයේ තුන්වැන්න. (Reprise,  Oslo, 31 August අනෙක් චිත්‍රපට දෙක). Julie ගේ චරිතය නිරූපණය කරන Renate Reinsve, 2021 Cannes චිත්‍රපට උළලේදි වසරේ හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලබනව.  ඇගේ රඟපෑම ඇත්තටම පැසසිය යුතුමයි. මම හිතන්නෙ මේ අවුරුද්දේ දකින්න ලැබෙන ආකර්ෂණීයම රඟපෑමක් ඒ. චිත්‍රපටය බැලුවොත් සැකයක් නැතුව ඔබත් ජුලී ට ආදරය කරන්න පටන් ගනීවි. 

The Worst person in the World කියන්නේ Romantic comedy වර්ගයේ චිත්‍රපටයක්. අධ්‍යක්ෂ Joachim Trier කියන්නෙ ඔහුට ගතානුගතික රොමාන්තික සිනමාවෙන් එහා ගිහින් ප්‍රේමය ගැන වඩා යථාර්ථවාදී චිත්‍රපටයක් නිර්මාණය කරන්න අවශ්‍ය වුණු බව. ඔහුගේම වචනයෙන් කියනව නම් ඔහු කියන්නේ මෙවැනි අදහසක්..

"මට ප්‍රේමය ගැන චිත්‍රපටයක් නිර්මාණය කරන්න අවශ්‍යවී තිබුණේ බොහොම කාලෙක පටන්. අපිට නිතර දකින්න ලැබෙන අති සරල සහ පහසුවෙන්ම තේරුම්ගන්න පුලුවන් සාමාන්‍ය  ප්‍රේම කතාවකට වඩා ගැඹුරට යන යමක් මට නිර්මාණය කරන්න වුවමනා වුණේ. යමෙකුට, තමන්ගේම ජීවිතය ගැනත් ස්ථීරභාවයක්, යා යුතු මාවතක්, නිශ්චිත ඉලක්කයක් අරමුණක් සොයාගන්න අරගල කරන මොහොතක තවත් කෙනෙකු සමඟ බැඳීමක් පවත්වාගැනීමේ දුෂ්කර බව ගැන මේ චිත්‍රපටයෙන් කතා කරනව. කොයිතරම් ආත්මවිශ්වාසයක් තිබුණත්, කොයිතරම් තාර්කිකව කටයුතු කළත්, ආදරය හමුවේ මිනිසුන් කොයිතරම් සුවකළ නොහැකි සහ අවිනිශ්චිත භාවයට පත්වනවාද කියන් කාරණය මේ චිත්‍රපටයෙන් පෙන්වා දෙනව. ප්‍රේමය ඇතුළෙ තමන්ගෙ සිහින ඉටුවුණත් ප්‍රේමවන්තයින් කොයිතරම් අසීරුතාවන්ට මුහුණදෙනවාද කියන දෙයත් මට පෙන්වාදෙන්න අවශ්‍ය වුණා"

ඒ අතරෙ අන්ගාමී ස්ත්‍රීවාදයට හීනියට කනේපාරක් දෙන හැටිත් මේ චිත්‍රපටයෙ දැක ගතහැකියි. මේ කරුණු කාරණා නිසා The Worst person .. එක් ආකාරයකට විනෝදාත්මක සහ කලාත්මක අංශ දෙකම සමබර කරගත්ත චිත්‍රපටයක් විදිහට හඳුන්වාදෙන්න පුලුවන්. අපේ කතා නායිකාව, ජූලිගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන කිහිපයක් එකිනෙකට සම්බන්ධ වෙන පරිච්ඡේදය දොළහකට වෙන්කරල, වෙන වෙනම මාතෘකාවලින් ඒ පරිච්ඡේදය නම් කරල චිත්‍රපටය ඇතුළෙ පෙළගස්වල තිබුණු විදිහ ඉතාම නිර්මාණාත්මකයි. යෞවනයේ පසුවුණත් නැතත් අපි හැමකෙනෙකුටම ජූලි වගේම මේ ජීවිත අභියෝගයන්ට මුහුණදෙන්න සිද්දවෙනව. වෘත්තියභාවය ඇතුළෙ වගේම ප්‍රේමයේදිත් අපි කොහොමද නිවැරදි ම තෝරාගැනීම් කරන්නෙ, වයස භේදයකින් තොරව මේ අපි කවුරුත් මුහුණදෙන ගැටලු. ජූලිගෙ කතාව ඒ නිසා අපි කාටත් අපේම කරගන්න සෑහෙන පහසු බවයි මම හිතන්නෙ. මේ හැමදෙයක්ම එක්ක The Worst person in the World  වසරේ මඟහැර නොගත යුතුම චිත්‍රපටයක් විදිහට හැඳින්වූවොත් වඩා නිවැරැදියි. 



Wednesday, December 22, 2021

අහස්කූර

පොළවට බොහෝ දුර බව
හිතෙන්නැති සමහරවිට
තරුවක් ලඟටම ගොසින්
නිවුණු පසු අහස්කූරට...




Tuesday, December 21, 2021

Drive my car (2021)

තවත් කෙනෙකුව හරියට තේරුම් ගන්න නම් අපි කියන්නෙ "එයාගෙ සපත්තුවට බැහැල බලන්න" කියල. ඒකෙන් අදහස් වෙන්නෙ අපිට තව කෙනෙකුව යම් මට්ටමකින් හරි තේරුම් ගන්න අවශ්‍ය නම් අපිට අපිවම අතහැරල ඒ අනෙක් මනුෂ්‍යයාගේ ඇස් දෙකෙන් ලෝකය දකින්න, ඒ ජීවිත අත්දැකීම අපේ කරගෙන, අපේම දෘෂ්ටිකෝණයෙන් මිදිලා අපිත් ඒ අනෙකාගෙ තැන හිටගෙන අවශ්‍ය බව. ඒවගේම තමා සමහර විටෙක මනුස්සයෙක් තේරුම්ගන්න නම් ඒ මනුස්සයගෙ වාහනේට ගොඩවෙන්න ඕන. ඒ විතරක් මදි ඒ වාහනේ ටික දුරක් ඔහු හෝ ඇය එක්ක යන්න ඕන. එක දවසක් ගිහින් බෑ දිනපතාම යන්නත් ඕන. ඒත් මදි විවෘත හදවතකින් කෙරෙන සංවාද⁣යකුත් අවශ්‍යයි.

දැන් මෙතන මතුවෙනව තව ප්‍රශ්නයක්. මනුස්සයෙක්ව තේරුම්ගන්ව කියන්නෙ ඇත්තටම මොකක්ද? තේරුම්ගන්නව කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න අපිට සිද්දවෙනව ජීවිතේ දිහා වඩා සමීප ටිකක් සියුම් ඇහැකින් බලන්න. ජීවිතේ කියන දේ හැදිල තියෙන්නෙ මොනවයින් ද? ජීවිතේ හැදිල තියෙන්නෙ එකිනෙකට පරස්පර කාරණා ගණනාවක් එකට එක්වීමෙන්. සිහින, බලාපොරොත්තු, මතකයන්, අරමුණු, ලිංගිකත්වය, ආදරය, දුක, වේදනාව මේ හැම දේකින්ම. නමුත් මේ තැනුම් ඒකක මගින් ජීවිතේ ගොඩනැගෙන යම් රටාවක් තියනව. ඒ රටාව හැදෙන්නෙ ප්‍රබල විදිහට අපේ ඇතුළාන්තයට කාවදින අත්දැකීම්, අත්විඳීම් වලින්, අපි ආශා කරන දේවල් වලින්. කිසිම මනුස්සයෙකුගේ මේ ඇතුලාන්ත රටාව තවත් කෙනෙකුට හරියටම සමාන වෙන්නෙ නෑ. නමුත් අපිට අපේ රටාවට සමාන කෙනෙක් මුණගැහුණම ඒ අයව වෙනත් සාමාන්‍යයෙන් මුණගැහෙන කෙනෙකුට වඩා ටිකක් වැඩිපුර දැනෙනව. අපිට එහෙම අයව වටහගන්න ටිකක් පහසුයි. සරලවම කිව්වොත්, එකම විදිහේ දේවල්වලට ආශාකරන අයට, එකම ආකාරයේ දුක්වේදනාවන් ගෙන් ඇතුළාන්තයෙන්ම පීඩා විඳින අයට එකිනෙකා තේරුම් ගන්න ලේසියි. එහෙම මිනිස්සු එක්ක ඇතිවෙන බැඳීම්වල අපිට මේතරම් වටිනාකමක් ඇතිබව හිතෙන්නෙ, අපේම ජීවිතේ කොටසක් වගේ අපිට දැනෙන්නෙ අන්න ඒ නිසා. 

බැඳීම් ගැන හරි එකිනෙකා තේරුම් ගැනීම ගැන හරි මේ තරම් කියන්න ඕන වුණේ 2021 අවුරුද්දේ තිරගත වුණු Drive my car චිත්‍රපටය නැරඹුවට පස්සෙ ඇතිවුණ කම්පනය හරි පෙළඹවීම හරි මොකක්දෝ හැඟීම නිසා. මට මේක තව කාලයක් යන තුරුම හිත හිතා ඉන්න පුලුවන් විදිහෙ දර්ශන බොහෝමයක් ඇතුළත් වෙලා තිබුණ චිත්‍රපටයක්. චිත්‍රපටය නරඹන ඔබටත් එහෙම දැනේවි. Drive my car මම දකින්නෙ ලෝක සාහිත්‍යයෙ මෑතකාලීන සහ පෙර යුගයේ පතාක චරිත දෙකක් එක් කල සිනමා කෘතියක් විදිහට. මෑත කාලීන චරිතය නම් ජපන් ජාතික ලේඛක "හරුකි මුරකමි". මෙ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ මුරකමි 2014 අවුරුද්දේ පළකල "Men Without Women" නම් කෙටි කතා සංග්‍රහයේ එන එක් කතාවක් පදනම් කරගෙන. ඈත කාලීන චරිතය රුසියානු සාහිත්‍යධර "ඇන්ටන් චෙකොෆ්". චෙකොෆ් මේ කතාවට සම්බන්ධ වෙන්නේ ඔහුගේ සුප්‍රසිද්ධ "වන්‍යා මාමා" (Uncle Vanya) නාට්‍ය හරහා. චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය Yūsuke Kafuku, "වන්‍යා මාමා" නාටකයේ ජපන් අනුවර්තනයේ "වන්‍යා" ගෙ චරිතය රඟදක්වනව. පහුකාලීනව වන්‍යා නාට්‍යයේ අලුත් නිශ්පාදනයක අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරනව. චෙකොෆ් ගේ වන්‍යාත් මුරකමිගේ කතාවෙ සෑහෙන ප්‍රබල භූමිකාවක් නිරූපණය කරනව. එක් සාහිත්‍ය කෘතියක් තවත් සාහිත්‍ය නිර්මාණකට අනුප්‍රාණය සපයමින් එහි කොටසක් බවට පත්වෙමින් ජීවිත විවරණයක යෙදෙන ආකාරය බලා ඉන්න අපූරු කාරණාවක්.

Drive my car , 2021 ජූලි 17 වනදා පැවැත්වුණු Cannes සම්මාන උළලේ හොඳම පිටපතට හිමි සම්මානය ඇතුළු තවත් සම්මාන දෙකකින් පිදුම් ලබනව වගේම 2022 දී පැවැත්වීමට නියමිත ඔස්කාර් සම්මාන උළෙළේ හොඳම විදෙස් භාෂා චිත්‍රපටය වෙනුවෙන් ඉදිරිපත් කරන්නත් ජපානය විසින් තෝරාගනු ලබනව. ඔස්කාර් උළලේ අවසාන නිර්දේශිත නාමයන් පහ අතරට එක්වෙන්න මේ චිත්‍රපටයට හැකි බව බොහෝම විචාරකයින් දැනටමත් කියා තිබෙනව. ඒ හැම දේටම වඩා දැනට 2021 අවුරුද්ද වෙනුවෙන් නැරඹූ චිත්‍රපට අතර මට වැඩිපුරම දැනුනේ Drive my car බව කියන්නම්. ඒවගේම මේ ප්‍රධාන චරිතය හෙවත් Yūsuke Kafuku ගේ චරිතය නිරූපණය කරන Hidetoshi Nishijima ගේ රංගනම මේ අවුරුදට මම දුටු මගේ සිත්ගත්ම රංගනයක්. ජීවිතය දිහා වඩා ගැඹුරින් දකින්න උත්සහ කරන Kafuku නම් මේ මිනිසාගෙ වාහනයේ නැගී යන ගමන ඔබට අමතක නොවෙන අත්දැකීමක් වේවි. 

Drive my car (2021)

Directed by 
Ryusuke Hamaguchi

Screenplay by
Ryusuke Hamaguchi
Takamasa Oe

Based on
"Drive My Car" by Haruki Murakami

Starring
Hidetoshi Nishijima as Yūsuke Kafuku
Tōko Miura as Misaki Watari
Masaki Okada as Kōji Takatsuki
Reika Kirishima as Kafuku's Wife, Oto
Park Yoo-rim
Jin Daeyeon
Sonia Yuan 

Cinematography
Hidetoshi Shinomiya

Music by
Eiko Ishibashi

Country
Japan

Language
Japanese



Wednesday, December 15, 2021

දෙවියන් සෙවීම....

සෙක්ස්ටන් මහත්මිය දෙවියන් සොයා නිවසින් පිටව ගියා ය..
අහස දෙස බලමින් ඈ ගමන ආරම්භ කළා ය.
විශාල සුදු දේව දූතයෙකු අත්තටු සලමින්
අහසින් මෑත්වනු ඇතැයි ඈ බලා සිටියා ය.

කිසිවෙක් හමුවුණේ නැත...

සියලු පතපොත ඈ පෙරළා කියවා බැලුවා ය.
පොත් පිටු ඈට සෝපහාසයෙන් සිනාසුණි..

කිසිවෙක් හමුවුණේ නැත...

මෙලොව වසනා ශ්‍රේෂ්ඨතම කවියා සොයා
සැදැහැ සිතින් ඈ නික්මී ගියාය.
ඔහු මහ හඬින් ඈනුමක් ඇරියා මිස 
කිසිවක් නොකීවේය..

කිසිවෙක් හමුවුණේ නැත...

ඈ නොයෙකුත් සංස්කෘතීන් ගැන උගත්තාය..
සියලු දෙව්මැදුරු කරා ගොස් යැද්දා ය...

කිසිවෙක් හමුවුණේ නැත...

ඇය අත්ලාන්තික්, පැසිෆික් සාගර පසු කලාය..
නිසැකවම දෙවියන් හමුවෙතැයි සෙව්වාය..

කිසිවෙක් හමුවුණේ නැත...

ඇය බුද්ධ ද බ්‍රහ්ම ද සොයා ගියා ය..
පිරමීඩ පීරා සැරිසැරුවා ය...

කිසිවෙක් හමුවුණේ නැත...

ගමන නිමකර ඇය නිවස කරා පැමිණියාය...
සියලු දෙවිවරුන් ඇගේ නානකාමරය තුළ සිරවී ඉන්නා බව දුටුවා ය..

"ඇති යන්තම්!"
ඇය හඬ නැගුවාය..
ඉන්පසුව නිවසෙහි දොර වසා ගත්තාය..
.
.
.
- Anne Sexton කිවිඳිය ගේ Gods පැදිය ඇසුරෙන්



Wednesday, December 8, 2021

The Poet Of Ignorance

සමහරවිට...
පෘථිවිය අවකාශයෙ ඔහේ පාවෙවී තියනව වෙන්න පුලුවන්,
ඒක මම දන්නෙ නැහැ...
සමහරවිට...
තරු කියන්නෙ සුවිසාල කතුරකින් කවුරු හරි අහස සිදුරු කළ තැන් වෙන්න පුලුවන්,
ඒක මම දන්නෙ නැහැ...
සමහරවිට...
හඳ කියන්නෙ මිදුණු ලොකු කඳුළු බින්දුවක් වෙන්න පුලුවන්,
ඒක මම දන්නෙ නැහැ...
සමහරවිට,
දෙවියන් කියන්නෙ බිහිරෙකුට ඇහුණ එක ගැඹුරු හඬක් විතරක් වෙන්න පුලුවන්,
ඒක මම දන්නෙ නැහැ...

සමහරවිට,
මම කවුරුවත් නොවෙන්න පුලුවන්..
ඇත්ත, ඒත් මට තියනව සිරුරක්.
ඒකෙන් පලායන්න බැහැ මට..
මම වඩාත් කැමතියි 
මගෙන් මිදිලා කොහේ හරි ඈතකට පියාඹල යන්න..
ඒ වුණත් ඒක නොවෙයි හැබෑම ගැටලුව..
ලියවිලා තියනව ඉරණම අනුව,
මම මේ මිනිස් සිරුරේ හිරවී සිටිය යුතු බව...
ඒ තමයි හැබෑම ගැටලුව..
මම කැමතියි මගෙ ගැටලුවට අවධානය යොමු කරන්න...

අමුතුම සතෙක් ඉන්නව මං ඇතුළෙ..
මගේ හදවත අඬුපඬුවලින් හිර කරන්
සුවිසාල කකුළුවෙක්....
සැත්කටු ඉඳිකටු තුඩු,
නොයෙක් විස වායුන් ගෙන් පහරදීල
දොස්තරවරුත් බොස්ටන් නගරයේ
අතැර දැම්මා අන්තිමේදී..
කකුලුවා ඉතුරුවුණා එතැනම..
ඌ මහ බරයි ඒ මදිවට..
මං උත්සාහ කලා ඌ අමතක කරලා
මගේ වැඩක් බලාගන්න..
කෑම උයන්න, පොත් දිග අරින්න වහන්න..
දත් මදින්න, සපත්තු ගැටගහන්න..
මම උත්සාහ කලා යාච්ඥා කරන්න..
ඒත් මම යාච්ඥා කරනකොට
තව තවත් දැඩි කරනවා කකුලුවා තමන්ගෙ ග්‍රහනය..
වේදනාව තවත් වැඩිවෙනවා එතකොට...

මේ කකුලුවා කියන්නේ
දෙවියන් ගැන මගේ තියන නොසැලකීම..
මම වතාවක් හීනෙන් දැක්කා එහෙම..
සමහරවිට...
හීනයක් වෙන්න පුලුවන් ඒක..
ඒත් හීන විශ්වාස කරන්න මම කවුද?
.
.
.

- ඇමරිකානු කිවිඳියක වන Anne Sexton ගේ The Poet Of Ignorance පැදිය ඇසුරෙන්



Monday, December 6, 2021

Spencer (2021)

 වර්ෂ 1991 දෙසැම්බර් මාසයේ දි බ්‍රිතාන්‍ය රජ පවුල, එංගලන්තයේ නෝෆෝක් ප්‍රාන්තයෙ, මහ රැජිණට හිමි වතුයායක පිහිටි Sandringham නිවාසයේ තම නත්තල් නිවාඩුව ගතකිරීමට පැමිණෙනව. වෙල්ස් හි කුමරිය ඩයනා, ඇගෙ සැමියා වුණු චාල්ස් කුමරා සහ ඔවුන්ගේ එවකට කුඩා දරුවන් වුණු විළියම්, හැරී දෙපුතුන් ද මේ පිරිස අතර ඇතුළත්. මේ ගෙවෙමින් තිබුනෙ ඩයනා කුමරිය ලොව පුරා මාධ්‍යවල පුවත් මවමින් සිටි යුගයක්. විශේෂයෙන් ඇගෙත් චාල්ස් ගෙත් විවාහයෙ ඉරිතලායාම්, රාජකීයයෙකුට කිසිසේත් නොගැලපුණු ඇගේ නිදහස්කාමී හැසිරීම් රටාව මේවායින් සහ ඩයනාගේ ඡායාරූප වලින් පුවත්පත් සඟරා පිරී ඉතිරී යමින් තිබුණා. 1991 නත්තල් නිවාඩුව රජ පවුලේත් ඇගේ ජීවිතයේත් සුවිශේෂ කඩඉමක් සනිටුහන් කල සිදුවීමක්. ඒ ඇය තමන්ගේ විවාහය සහ ඒත් සමඟ රජ පවුල සමග ඇති උරුමය අතහැරීමට තීරණය කරන්නෙ මේ කාලපරාසයෙදි වීම. Spencer චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ මෙන්න මේ ඓතිහාසික සිදුවීම මුල් කරගෙන. 

Spencer චිත්‍රපටය, ඉතිහාසය සිදුවුණු ආකරයෙන්ම යළි යළිත් ප්‍රතිනිර්මාණය කරනවාට වඩා එක්තරා ආකාරයක භාවමය සංචාරයක් ඔබව ගෙනයන බව කියන්නම්. මේ හුදු චරිත කතාවක සීමාවෙන් එහාට යන සිනමාත්මක වෑයමක්. මූලිකවම එහි සිදුවෙන්නේ රාජකීයත්වය නමැති රන් කූඩුවක සිරගත වුණු අතිශ්‍ය සාමාන්‍ය මිනිස් ගැහැනියකගේ පීඩිත හැඟීම් ප්‍රකාශනය කිරීමක්. එක් අතකින් චාල්ස් සහ කැමිලා පාකර් අතර තිබුණු අනියම් සබඳතාව බිරිඳක් විදිහට ඩයනාව රිදවා තිබුණා. අනික් අතින් රජ පවුලේ අටෝරාසියක් නීති රීති සම්ප්‍රදායන් වලට යටත්ව සිටීමට ඇයට සිදුවුණා. අනික් අතින් දරු දෙදෙනාට ආදරණීය මවක් වෙන්න ඇයට උවමනා වුණා. මේ මානසික අරගලය ඈව උමතු බවේ සීමාව දක්වා රැගෙන ආව. ඈ සැනසීමක් ලබන්න උත්සාහ කරන්නෙ මේ රාජකීය ගතානුගතිකත්වය බිඳදැමීමෙන්. හැකි තරම් ඒ උරුමයෙන් ඈත් වීමෙන්.  ඇය මේ හැඟීම් සමග කර අරගලය වඩා කාව්‍යමය ආකාරයකින් පැය දෙකකට ආසන්න කාලයක් Spencer චිත්‍රපට‍යෙ මැවෙන්නෙ. 

Spencer නිර්මාණය වෙනුවෙන් එක්වෙන්නෙ සිනමාවෙ මෑත කාලිනව විශිෂ්ටතා පලකල නිර්මාණ කරුවන් පිරිසක්. මෙහි අධ්‍යක්ෂ Pablo Larraín Matte. 2016 දී ජැකී කෙනඩිගේ චරිතය ඇසුරෙන් Jakie චිත්‍රපටය නිර්මාණය කලේ ඔහු. තිරරචනය Peaky Blinders නිර්මාණය කල Steven Knight ගේ. Cinematography අංශයෙන් Portrait of a Lady on Fire චිත්‍රපටය වෙනුවෙන් ලොව පුරා සම්මානනීය වුණු Claire Mathon. සංගීතය සුප්‍රකට බ්‍රිතාන්‍ය රොක් සංගීත කණ්ඩායමක් වෙන Radiohead සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදක Jonny Greenwood ගෙ. Spencer චිත්‍රපටයක් විදිහට කොයිතරම් පරිපූර්ණ නිර්මාණයක් ද කියන කාරණය පෙන්වා දෙන්න මේ හඳුන්වාදීම් කිහිපයම ප්‍රමාණවත්. 

නමුත් චිත්‍රපටය නැරඹූ කෙනෙකුට සදානුස්මරණීයම කාරණය වෙන්නෙ ඩයනා කුමරියගේ චරිතය නැවත ජීවමාන කරවන, Kristen Stewart ගේ රංගනය බව කිවයුතුමයි. මම හිතන්නෙ බොහො වෙලාවට ඒකකාරී ස්වරූපයේ චරිතවලට සීමාවී සිටි ඇයගේ රංගන ජීවිතේ සුවිශේෂ සංධිස්ථානයක් මේ චිත්‍රපටය සමග ඇය සනිටුහන් කරන බව. ඩයනා, ඔබේත් මගේත් මතකයේ රැඳෙන්නෙ අසම සම රූප සෞන්දර්යයකින් පිරුණු අසීමිත ගැහැනියක් විදිහට. Kristen Stewart ඉදිරිපත් කල අති සියුම් සහ ප්‍රබල රංග විලාසය මතකයේ රැඳුණු ඒ ගැහැණියට කොයි ආකාරයෙන් වත් අසාධාරණ‍යක් නොකල බවයි මගේ හැඟීම. සොයා බැලුවොත් ඩයනා කුමරිය නම් චරිතය තවත් බොහො රංගන ශිල්පිනින් විසින් මීට පෙර රඟ දක්වා ඇතිබව ඔබට දැකගන්න ලැබේවි. Kristen Stewart ඒ අතර ඉදිරියෙන්ම තැබිය හැකි බවට නම් සැකයක් නැහැ. ඩයනා කුමරියගේ ආරක්ශකයෙකු වශයෙන් ක්‍රියාකල Ken Wharfe නමැත්තෙකු චිත්‍රපටය නැරඹීමෙන් පසුව කියා තිබුණේ මෙවැනි අදහසක්.

"පහුගිය අවුරුදු දහයක පමණ කාලයක පටන්, ඩයනාගේ චරිතය නිරූපණය කල සියලුම දෙනා අතරින්, වඩාත්ම ඩයනාට සමීප වුණේ ඇයයි. ඩයනාගේ සුවිශේෂ හැසිරීම් රටාව ඇය අති විශිෂ්ට ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කර තිබුණා"

Kristen ලැබූ මේ සාර්ථකත්වය පිටුපස ඉතාම දැඩි වෙහෙසක් ඇති බව නොඅනුමානයි. ඇමරිකානු ජාතික රංගන ශිල්පිනියක් වුණු ඇය මේ වෙනුවෙන්ම පුරා මාස හයක්ම බ්‍රිතාන්‍ය ඌරුවට ඉංග්‍රීසි උච්චාරණය පුහුණු වුණු බවයි සඳහන් වෙන්නෙ. මෙතෙක් සිදුකල සියලුම රංගනයන් අතරින් තමන් වඩාත්ම ප්‍රිය කරන රඟපෑම මෙය බව ඇයත් පසුව කියා තිබුණා.

කොහොම නමුත් මීලඟට පැවැත්වීමට නියමිත ඔස්කාර් සම්මාන උළෙලක Kristen වෙනුවෙන් අඩුවශයෙන් නාම යෝජනාවක් හෝ වෙන්වී තිබෙන්නට ඉඩ ඇති බව හොලිවුඩය පිලිබඳ උනන්දු බොහෝ දැන් පටන්ම ඉඟි පළකරමින් ඉන්නා බවක් දැකගන්න ලැබෙනව. ඒ අනාවැකි ඇත්තක් බවට පත්වෙන්න සෑහෙන ඉඩකඩක් තියන බව කිවයුතුමයි.



Saturday, December 4, 2021

When I am among the tree

ගස් අතර සිටින කල මම
වෙසෙසින්ම විලෝ සහ කිහිරි ගස්
එලෙසම බීච්, ඕක් සහ පයිනස්,
‍රැගෙන එති ඔවුන්
නොයෙක් ආකාර සතුටු ඉඟි මට.
ගලවාගනිති ඔවුන් මා
දිනපතා ඒ ලෙස...

බොහෝ ඈතය මම
බලාපොරොත්තුවලින් මාගේ...
යහපත්කම මෙන්ම 
නුවණැතිබව ගැනත්..
නොවී ඉක්මණ් කිසි දින
සැනසිල්ලේ සෙමින්
ඇවිද යන්නට මේ ලොව..
ඉඳහිටක පහළට 
බරකරන් මා හිස...

ගස් අතර සිටින කල
ඒවා මා වටකර
හිරු රැස් ගලා හැලෙනා
ඉති අතු සලා හෙමිහිට
කියයි මට,
"නවතින්න මඳකට"
ඉන්පසුව ඔවුන් 
කියයි මට මේ ලෙස..
"බොහොම සරලයි එය,
පැමිණියේ ඔබ මෙලොවට
පවතින්නටයි අප ලෙසින් 
සරලව සුන්දරව
පිරෙන්නයි ආලෝකයෙන්
බබළන්නටයි එයින්"
.

Mary Oliver ගේ When I am among the trees පැදිය ඇසුරෙන්