Wednesday, September 30, 2020

කවිකම - Pablo Neruda

 (පැබ්ලෝ නෙරුදා ගේ poetry කවියේ පරිවර්තනය)

නොසිතූ ලෙස
ජීවිතයෙ එක් යුගයක
පැමිණියා කවිය මා සොයාගෙන..
නමුත් කොතැනක සිටද ?
ශීත ඍතුවේ පවන සමඟ ද?
ගංගාවේ සරැළි අතර ද?
නොදනිමි කෙලෙස කවදාක දැයි
පැමිණියේ එය මා වෙත...
වදනකුදු නොමැතිව
නොනඟාම කිසි හඬක් 
නොමැතිව නිහඬතාවය ද ...

එහෙත් කැඳවනු ලැබීමි
දහස් ගණනක් මිනිසුන් අතරින්..
නගරයේ මහ මඟ
දුක් ගිනි අතර දැවෙන
එකෙකු පමණක් වූයෙමි මම
නමුදු එය පැමිණියා මා වෙත...

නොදැනේ
කුමක් පවසන්න ද..
ගොළු වී ඇත මා මුව...
නොපෙනේ කිසිවක්
අන්ධ වී ඇත මා දෑස ද...
එනමුත් සිදුවිය යමක්
ආත්මය තුළ මාගේ
උණ විකාරෙන් ද නැතිනම්
අතරමං සිතුවිලිද මේ..

සොයාගත්තෙමි මඟ
සොයාගත්තෙමි මම එය !!
ඇවිලෙන ගින්න හද තුළ
පෙරළමින් වදන් වලට...
ලීවෙමි බියෙන් සැකයෙන්
පළමු පද පේළිය..
අරුතක් නොමැති යමෙකුගේ
අරුතක් නැති මනස්ගාත !!

එකෙනෙහිම ස්වර්ගය
විවර විණ මා වෙත
මුදා හැරුනි ඉන්
අඳුරු සෙවනැළි සිදුරු කර
හී සර ද, ගින්නද,
නොයෙක් මල් සහ
රාත්‍රිය ද විශ්වය ද 
එක වර..

ඉන්පසුව
දූවිලි අංශුවක් තරමේ මම
උරා බී මත් වී 
තරුපිරි අවකාශය
පාවී ගියා
ඈතට බාෙහා් ඈතට
ගිනි දැවන නරකාදියන් මිදී
තරුකා අතරට 
සුළඟටම පවරා
මා හදවත.



Monday, September 28, 2020

උඳුපියලි

පය තබන පොළවේ
පෑගෙන.
ළංව බැලුවොත් මිස
නොපෙනෙන..
ආසා නැතිද
මේ උඳුපියලි පතකට
වැඩෙන්න ඉහළට
මෘදු හාදු අතුරන්නට
සුළං නළලත..
උදෑසන 
පිනි බිංදු වැළඳ ගෙන
ලබන්නෙද 
සැනසුම.



Sunday, September 20, 2020

තවමත්....

ඔබ නික්මගොස් දහ වෙනි ශතවර්ෂය ද ගෙවී අවසන් විය..

සමහර ගීයක
පද පේළි අතර මැද
හුස්ම නවතින තැන් එළෙසම ය..

යන එන බොහෝ තැන් වල
ඔබ වැනිම තවත් අය
නිතර හමුවීම දැන් පුරුදු ය..

නාඳුනන පෙදෙසක
යම් නොදන්නා ලිපිනයක් ඇති තැන
නිතර නැතිවත් සොයමි ඉඳ හිට..

මාර්ග සළකුණු
නොතකා නගර මායිම් ගැන
වද දෙමි සිතියම් වලට..

ඒ තරම් හැඩ නැතත්
එක දිගට
කවි නම් ලියවෙයි අඩු නැතුව..

ඇත්තෙන්ම
කොයිතරම් කෙටි ද 
හමුවීම
කොයිතරම් දිගු ද
වෙන්වීම...



Thursday, September 17, 2020

මීදුම් ඉසව්ව

ලස්සන යැයි ඔබ පෙන්නුව
මීදුම් ඉසව්වට
හිරු එළිය වැටී ඇත
හමන සුළඟට
මීදුම පහවගොස් ඇත
දැන් පෙනේ හොඳහැටි
පතුල නැති ප්‍රපාතය.



Tuesday, September 15, 2020

සුශාන්ත්..

සුශාන්ත්..
මට උඹව පේනවා..

සාද කතා මැද
මහ හඬින්
හිනාවෙන මිනිස් මුහුණු මැද
උඹේ ඇසිපිය සැලෙනවා..

උස ගොඩනැගිලි වල
සීත කාමර ඇතුළේ
පරිඝනක යන්ත්‍ර මැද
බස් වල කෝච්චිවල
උස්සගෙන බර ගමන් මලු
දුවන මිනිසුන් අතරේ
උඹ හුස්ම ගන්නවා දැනෙනවා..

උස කන්දක් ද ජීවිතේ
පරිස්සම් වී
පියවරෙන් පියවර තබමින්
මහගිරිදඹ නගින්නා සේ
තරණය කලයුතු..

පටු උමගක් ද ජීවිතේ
ඈතින් පේන එළි තිතකට
ආසාවෙන් රිංගා ඇදෙන
අතරමග හුස්ම හිරකෙරෙන
කිසිදාක ඒ එළිය හමුනොවෙන..

උගුලක් ද ජීවිතේ
ගැලවුමක් නැති බව දැන දැනම
යළි බැඳෙන..

තරුවක් නොවෙයි 
අහසින් කඩාගෙන වැටුන
සිතුවිල්ලක් උඹ
හිතම හිර කරන..
වාර නම් අනන්තයි
යන්නට හිතුන
ඒ වුණත් නොගිහින්
අපි තව ඉන්නවා මෙහෙම..

සුශාන්ත් ඒ වගෙ තැනක
මට මැවී පේනව උඹෙ මූණ
"මම" යනු "උඹ" ද
"උඹ" යනු "මම" ද
වෙනසක් නැතුව
මට දැනෙනවා උඹව.



Friday, September 11, 2020

ශෝකයේ තැනි බිම

නිබඳ සියොතුන් යන එන
වෛරයේ උස ගස් උගුළුවාලූ පසුව
ඉතිරි වන්නේ පඬු පැහැති
ශෝකයේ තැනිතලා බිම පමණි..

අව් වැසි සැඩ මාරුත එක ලෙස 
හුරු වූ පසුව විඳගැනුමට
වැළඳ ගත හැක සම සිතින්
හිම පියලි කැටුව එන මඳ පවන..

අනන්තය තෙක් විහිදෙන
පාලු පටු මාවත් වල
ඇවිද අතරමං වනු හැක
නාඳුනන ලෙස..

ශෝකය සේම බොඳ පැහැ ගෙන
තැනිබිම පුරා පිපී එන
මල් ලඟ වැතිර බලා හිස් අහස දෙස
කවි කුරුටුගෑ හැක..

දිනක් වේ නම් සමු ගත යුතු
පවරා සියලුදේ සුළඟට
තෙරක් නොපෙනෙන ඝන මීදුමේ
සැඟවී අතුරුදන් වනු හැක..

නිබඳ සියොතුන් යන එන
වෛරයේ ගස් උගුළුවාලූ පසුව
ඉතිරි වන අන් යමක් වෙද
ශෝකයේ තැනිතලා බිම හැර.



Thursday, September 3, 2020

NoCall

මුතුකැට අකුරෙන් ලියා
ඈ දුන්න ලයිස්තුව
රැගෙන සාක්කුව පතුලෙන්
නැමුම් දිග හැර
තුනට හතරට නැමුව
ඇවිද යමි පොළ පුරා
හෙට්ටු කර වෙළඳුන් සමඟ
සොයමින් ලාබ එළවලු කඩ..

ඒ අතර පැමිණෙයි ඔබ
එක් අතකින් ගෙන පුතුගෙ අත
අනෙක් අත මල්ල.
මීන ඇස් යුග වැසූ
ඝන රාමු උපැස් යුවළ
හදමින් වරින් වර
ඔබ යයි මා පසු කර...

"මොනාද අම්මෙ ගන්නෙ"
පුංචි පුතු අසයි
"අපි ගම්මු පුතේ.. නෝකෝල්"
එවිට ඔබ කියයි
අතේ ඇති එළවලු මල්ල
විසී කර අහසට
සෙනඟ මැද
මහා හයියෙන්
මහා හයියෙන්
කෑ ගසා හිනා වෙන්නට 
එවිට මට හිතෙයි..