Friday, April 27, 2018

මිරිඟුව


පිපාසෙට දිය බිඳක් නැතුවම
මඟියෙක් මරණාසන්න වෙනකොට
යන්තමින් ඇහැ සනසවන්නයි
මිරිඟුවක් දී ඇත්තෙ කතරට





Wednesday, April 25, 2018

කුණාටුවක පසුවදන


මහ කුණාටුවෙන් පස්සේ
ඇදවැටී පණ අදින ගහකොල අස්සේ
ඊට පසුවදන් සපයන්න
බොහෝ දෙන එක් වුණි....

විපතින් වැනසුන වනයක
දුක් කඳුළු රස කර කර
රැහැයි මුව අගින් ගැයුණි..

ලිං මැඩි සහෝදර පිරිස ද
සිය පුරුදු නාදයෙන්
අත්වැල් ගායනෙන් එක් වුණි..

කුරුලු ගොදුරකින් මී කුණකින්
කුස පුරවා ගන්න
රාජාලි සෙනගද
හෘද සංවේගයෙන් බිමට බැස
ශෝක පණිවුඩ තබා ගොස් තිබුණි..

මහ තුරු කඳකට යටව
මියැදෙන පොඩි පැලයක දෙකක 
අවසාන හුස්ම හෙලන තෙක් ලඟ ඉන්න

කැදලි කැඩී 
බිජුවට විසිරී ගිය
කුරුලු මව් පිය යුවලක් සනසන්න

ල දළු මල් කැකුලු එක්කම
අතු ඉති අහිමි වුණ ගසක් මත
සෙනෙහස බිඳක් තවරන්න
කවුරුවත් කොතැනකවත් නොවුණි...





Sunday, April 22, 2018

සඳ ඉතින්


චන්ද්‍රයා ක්‍රමයෙන් පෘථිවියෙන් ඈතට  ගමන් කරමින් සිටියි..
-පුවතක්

සඳ ඉතින්
ගිනි ඇවිලුණා තමයි පොළවට
දහස් ගණනක් වන උයන්
සද්දන්ත වනස්පති ගස්
කැපී කැපී ගියා නිරපරාදේ 
දැති කියත් දත් වලින්..

ගංගා ඇළ දොළ දිගේ
මල් පෙති වෙනුවට
පාවී ගියා හිස් කබල්..
නාඳුනන මළසිරුරු..
අතුරුදන් වුණා මිනිසුන් ..

පූදින්න කලියෙන් කැකුළු මල්
තැලුණා පොඩිවුණා
පෑගී ගියා පයට..
සඳ ඉතින් උඹත්
බලා හිටියා මේ හැම දේ ම...

ගුණ දහම් සාගතේ
ඉරිතැලී ගිය පොළවක
දිවා රෑ ඇවිද 
වෙහෙස වෙනකොට
කවි පදයක් දෙකක් බෙදාගන්නට
සිටියා උඹ ලඟින්
පැරණි මිතුරෙකු සේ නිතරම...

සඳ ඉතින් 
වෙන්වී ගියත් අද හෙට
මේ විශ්වයේ යම් තැනක් වේ නම්
එක්වී සිනාසෙනු හැකි ඔබට මට
තරු ලකුණු ඔස්සේ
ඒ සොඳුරු පෙදෙසට
මඟ කියාදෙනු මැනව 
අපහට...





Monday, April 16, 2018

නිල් පුරුක්


නිතර යන එන අඩිපාරේ වැට මායිමේ
නිල් පුරුක් මල් දරාගෙන එක පෝලිමේ
වන්දනාවේ යන සමනලයිනේ මී මැස්සනේ
මන්ද මේ ඉසව්වෙන් නුඹ නොයන කාරණේ?

සෑදී කුඩාවට ලාදළු අතු අගට
පීදී සුනිල් මල් නගමින් සොඳ රුවට
පෑගී පයට යනෙනා ගොන් කුර වලට
පේවී හිඳිනු පමණද උරුමය නුඹ ට?

තැනි පොළව වසාගත් සමතලා කොළ පාට
ඔපවේය නුඹ අතින් තැවරිලා නිල් පාට
රොන් සුවඳ විඳින්නට කෙනෙකු ලඟ නැතුවාට
අඩු නොවේ කිසි දිනක නුඹේ මල් පෙති පාට

මහ උසට වැඩුණු තුරු සෙනඟතර මේ බිමේ
දුහුවිල්ල වැසුණු මිහිතලේ සුවඳ උරමිනේ
පියාසලනා ඈත සමණලුන් දෙස බලමිනේ
සිය දහස් ගණන් තව නිල් පුරුක් මල් පිපේ.





Thursday, April 12, 2018

අාදරය ද මේ?



ඉඩෝරය ඇවිදින් 
උල්පත් උදුරාගන්නකොට

පිපාසා නැතුවා සේ ඉන්නා එකද....

ඈත උඩු හුළගේ
පාවෙනා වළාකුළකින්
වැහිදිය බිදක් නොයදිනා එකද....

මැදියමේ අහස
පිනි කදුලු වගුරද්දි
වෙව්ලනා  දෑතින් පිසලන එකද...

වසන්තේ පිබිදූ
නැවුම් රතු මල් පොකුරු
පෙති හැලී පරවී යන අයුරු
බලා ඉන්නා එකද....

ෆර්මිනා...
කියන්න මට
ආදරේ කියන්නෙ ඒකද,?





Wednesday, April 11, 2018

අයින්ස්ටයින් සහ මාරි කියුරි



වර්ෂ 1921. අැල්බට් අයින්ස්ටයින් සහ මාරි කියුරි මහත්මිය හමුවූ අවස්ථාවක්.

මාරි කියුරි මහත්මිය එවකට සමාජයේ බෙහෙවින් කැපී පෙනෙන 
චරිතයක් ව සිටියාය. අැය, විද්‍යා විෂය ක්ෂේත්‍රයෙන්  අාචාර්ය උපාධියක් 
දිනා ගත් යුරෝපයේ පළමු කාන්තාව වූ අතර  භෞතික විද්‍යාව  සදහා 
නොබෙල් ත්‍යාගය දිනා ගත් පළමු කාන්තාවයි. (වර්ෂ 1903 විකිරණශීලීතාව 
සොයාගැනීම වෙනුවෙන් අෑ නොබෙල් ත්‍යාගය ලැබූ අතර නැවතත් 
වර්ෂ 1911 රේඩියම් කිරණ සොයාගැනීම වෙනුවෙන් අෑ නොබෙල් ත්‍යාගය 
ලැබුවා ය. ඉතිහාසය තුළ, ඒකම පුද්ගලයෙකු විසින් දෙවරක් නොබෙල් ත්‍යාගය 
දිනා ගත් පළමු අවස්ථාව මෙයයි)  . කවර අාකාරයේ ගෞරව සම්මාන ලැබුවද 
ජනප්‍රියත්වයෙන් හිස උදුම්මවා නොගත් තැනැත්තියක් ලෙස අෑ ප්‍රකටය. 

"ජනප්‍රියත්වය හින්ද, විනාස නොවිච්ච කෙනෙක් මේ ලෝකෙ ඉන්නව නම්, 
ඒ් මාරි කියුරි ම තමයි" යි අැල්බට් අයින්ස්ටයින් වරක් පවසා අැත.

“Marie Curie is, of all celebrated beings, the one whom fame has not corrupted”
 -Albert Einstein






Monday, April 9, 2018

කොවුලෙකුගෙ ජීවිතය


ඔබ දකින තරමට
ලේසි නැහැ මිතුර
කොවුලෙකුගෙ ජීවිතය ....

වසන්තය එන දවස්
මෙන්න මේ යැයි කියා
කල් තියා දැන ගත යුතු...

ශ්‍රුති තාල පිහිටුවා
නිවැරදි ස්වර ගයන්නට
දිවා රෑ හඬ පුහුණු කල යුතු.

එකම ගීතය වුවද
මුලු දවස
උගුර ලේ රහ වන තෙක්ම ගැයිය  යුතු.

කැදැල්ලක් තනන්නට
කෙවිලිය රකින්නට
පැටවුන් උස් මහත් කරන්නට
ඉස්පාසුවක් නැති බැවින්
අනුන් ලඟ බිජුවට තැන්පත් කල යුතු.

වැඩුණු කල පැටවුන්
උන්ට එලව එලවා පහර දෙද්දි කපුටන්
ඇස කඳුලු පියාපතකින් පිසදාගත යුතු.

එබැවින් මිතුර 
ඔබ දකින තරමටම
ලේසි නෑ 
කොවුලෙකුගෙ ජීවිතය. 

2017/04/09





Friday, April 6, 2018

මේ දැන්


කැමැත්තෙන් එතුන කරවිල වැල
මිහිරිතම හාදු තවරද්දි කොපුල මත
කිසිම දවසක ඇහුවද කොහොඹ ගස
"ඔබ ඇත්තටම ආදරෙද මට? "

උදෑසන සීත පහසට
තණපියල්ලට තුරුළුවී හිඳ
ඉර ඇවිත් කකුලෙන් අදින කොට
"තව ටිකක් ඉන්න තිබුණ නම්"
හිතුනේ නැද්ද පිනි බිඳකට

ළපැත්තට හිස තියා විල උඩ
වැතිරී ඉන්න නෙළුම් පත යට
විල්දියට මුහුවුණ කඳුලක් 
දුටු කෙනෙක් ඉන්නෙ කොතැනද? 

ගිරි මුදුන උරහිස් අග
වැහි වළාකුළ ගිමන් අරින කොට
"මේ දැන්" මිස තව නමක්
තියනවද ප්‍රේමයට වුව.

2017/ 04 /06





Wednesday, April 4, 2018

ඈ වෙසෙනා නිවහන


බොහෝ උස් පවුරකින් වට වී
තිබෙයි ඈ වෙසෙනා නිවහන 
වා කවුළු ඉදිකර තිබුණද පළින් පළ
විවර නොවේ කිසිවක් සුළඟකට.

වැසි වසිත් මෙහි කලට නොකලට
නොයයි බිඳුවක් රළු බිත්ති පසුකර
කිසියම් තෙතක් හෝ මෙතක් නොරැඳෙනා ලෙස
පායා ඒ ය සැඩ හිරු මේ පොළව මතුවට.

වියළි තණපලසට ඈ කුටිය අබියස
අමතකය ලද බවක් කිසි දිනක ඈ පා පහස
ගෙ උයනේ කොණක පටු උද්‍යාන බංකුව මත
ඈ උන් බවක් දැක නැත සියොතුන් ද.

එහෙත් හිතවතුනි රෑ මැදියමට
සඳ තරු පවා නිදිගත්ත මොහොතක
යම් කුඩා කණමැදිරි එළිබිඳක් 
ඈ නිදන කුටියෙන් මතුව එන බව 
දැක තිබේ නොනිදා ගී ගයන රැහැයියන් කැල.





Tuesday, April 3, 2018

හිතවතිය


හිතවතිය
නටු අග තියුණු කටු
නියතුඩින් පිරිමදින..
ගිම් කල දිවා හිරු රැසට
මල් පෙත්තකට මුවාවන.

පෙති දෙපෙති විහිදා
පීදෙන නැවුම් කුසුමක
සුවඳට තනිව පෙම් බඳින...

වත්සුණු බිඳක් නොරැඳෙනා
විඩාබර වතමඬලේ
දෙතොල් පෙති අතරේ උතුරා
රැළි නඟයි නුඹෙ හසරැල් ජලාසය..

ළතෙත් බර මෝසම් සුළඟේ
ලිහී විසිරෙන කෙහෙරැලි 
අවනත නැතිද ඔය තරමට?

අවරදිග අහසේ
බොහෝ ඈතින් බොඳව
පාව යයි නොදැනී
කලු වලාකුළ...

රුදුරුයි නම් තවත්
ගිම්හාන ගිමන
හිඳිනු මැන 
මා ලඟ ම
ඉසියුම් මඳ පවනක් සේ
මුදු ව.