Friday, July 19, 2024

Anam Cara

 කෙල්ටික් සම්ප්‍රදාය තුළ මිත්‍රත්වය සහ ආදරය සම්බන්ධව ඉතා සුන්දර වටහා ගැනීමක් වෙයි. (කෙල්ටික් යනු පුරාතන යුගවල භාෂාමය සහ සංස්කෘතික සමානකම් මත වර්ගීකරණය කෙරුණු යුරෝපයේ අයර්ලන්තය, වේල්සය, ස්කොට්ලන්තය සහ බ්‍රිතාන්‍ය යන බටහිර යුරෝපීය භුමිය තුළ සිටි ජන සමූහයකි. උදාහරණ Robin of Sherwood රූපවාහිනි කතා මාලාව නිර්මාණය වී ඇත්‍තෙ මේ celtic සංස්කෘතිය තුළ ය). මෙහි ඇති එක් සිත්ගන්නාසුළු කරුණක් නම් ආත්මික-ආදරය පිළිබඳ අදහසයි. එය Anam Cara නම් ඉපැරණි ගැලික් යෙදුමකින් හඳුන්වනු ලබයි. (ගැලික් යනු කෙල්ටික් සංස්කෘතිය පැවති ස්කොට්ලන්තයේ භාෂාවකි). සැම කෙනෙකුටම ජීවිතය තුළ Anam Cara, එනම් ආත්මික මිතුරෙකු ලැබීය යුතු ය. මෙහිදී ඔබේ සියළු මවාපෑම් ඉවත්වී, ඔබව ඔබ ලෙස වටහා ගැනීම සිදුවෙයි. මෙහිදී ඔබ පිටස්තර සමාජයට පෙන්වන වෙස්මුහුණු ද සියළු ව්‍යාජයන්ද පහවගොස් ඔබට ඔබම ලෙස පවතිනු හැකිය. ආදරය අවබෝධය උදාවීමට ඉඩ සලසයි, අවබෝධය බොහෝසේ වටින්නේ ය. ඔබව වටහා ගනු ලැබූ තැන ඔබේ නිවස වෙයි. Anam Cara අත්දැකීම, වෙන්වීම හෝ දුරස්ථබවින් හානි නොවන මිතුදමක් නිර්මාණය කරයි. මිතුරන් එකිනෙකාගෙන් දුරස්ව සිටින වන විට පවා එවැනි මිත්‍රත්වයක් ජීවමානව පවතියි. මක්නිසාද ඔවුන් පුද්ගලභාවය සහ මමත්වයේ බාධක බිඳ ආත්මිකත්වයට සමීපව සිටින නිසා, ඔවුන්ගේ එකමුතුකම පහසුවෙන් කැඩී යන්නේ නැත. ආත්මය අවදි වූ විට භෞතික අවකාශ වියැකී යයි. දුරින් වුවද, මිතුරන් දෙදෙනෙකුට එකිනෙකා සමඟ සුහදව සිටිය හැකි අතර එකිනෙකාගේ ජීවිත ගලායාම දිගටම අත්විදීමට හැකිවෙයි. Anam Cara සමඟ ඔබ සදාතනිකත්වය අවදි කරගනියි. 

~John O'Donohue



Saturday, July 13, 2024

Maharaja (2024)

එයාගෙ නම මහරාජා. හැබැයි එයා නම් රාජ කුමාරයෙක් නෙමෙයි ගමේ (කිව්වට හරියට ගත්තොත් නගරෙ) කොල්ලෙක්. තවත් විස්තරාත්මකව කිව්වොත් බොහොම සාමාන්‍ය බාබර් කෙනෙක්. මහරාජා ලේසියෙන් හිනාවෙන්නෙ නෑ. මනුස්සයට තිබ්බෙ හිනාපොදක් නැති මහ වියළිකලාපමය පෙනුමක්. සමහරු කිව්වෙ මෙයාට දාන්න තිබ්බෙ මහරාජා නෙමේ බකමූණු රාජා වගෙ නමක් කියල. මහරාජා ජීවත් වුණේ එයාගෙ එකම දුවත් එක්ක. දරුවගෙ අම්ම නම් ජීවතුන් අතර නෑ. එයා හදිස්සි අනතුරකින් මියගිහින්. ඔය හදිස්සි අනතුර සිද්ද වෙන්නෙ මහරාජා ගෙ ඇස් ඉස්සරහමයි. ඒකත් මහ ඛේදජනක සිද්ධියක්. හැබැයි ඔය අනතුරෙන් දෙයියො බලලා වගේ දුවගේ ජීවිතේ බේරෙන්නෙ නිකම්ම හිස් කුණුබාල්දියක් එයාගෙ ඇඟට වැටිලා එයාව ආවරණය කරගත්තු නිසා. ඉන් පස්සෙ මහරාජාත් එයාගෙ දුවත් දෙන්නාම කුණුබාල්දියට ඇත්තටම දෙයියන්ට වගේ සලකන්න පටන් ගත්තා.  හොඳට සුද්ද පවිත්‍ර කරලා අරගෙන, ගෙදර දේවතා රූප එක්කම කුණු බාල්දියත් තියලා ඒකටත් දෙවියන්ට වගේ වඳින්න පුදන්න පටන් ගත්තා. එයාල කුණු බාල්දියට නමකුත් දැම්මා, "ලක්ෂ්මී" කියලා.

මේ කියන සිද්ධිය වෙන්නෙ ඔයින් ටිකක් නෙමේ සෑහෙන කාලයක් ගත වුණාට පස්සේ. (අපි එයාට මහරාජා වෙනුවට M කියල කියමු ලේසියට) M එයාගෙ සැලුන් එක වහලා දවසක් දා රෑ ගෙදර එනවා. ගෙදර ඇවිත් බෑග් එක තියලා ඇඳුම් මාරු කරගන්න හදනකොට පිටිපස්සෙන් සද්දයක් ඇහෙනව. පිටිපස්ස හැරිලා බලන M දකින්නෙ වෙස් මූණු දාගත්ත මිනිස්සු තුන්දෙනෙක් එයාගෙ ගෙදරට හොරෙන්ම කඩාපැනලයි

කියලා. අවේලාවෙ මෙහෙම ගෙදරට පැනල තියෙන්නෙ M ට කියල කොණ්ඩෙ කපාගන්න වෙන්න බෑ නෙ. ඒ නිසා M ඒ මිනිස්සුට පහර දෙන්න උත්සාහ කරද්දී තුන්දෙනාම එකතුවෙලා M ට හොඳටම ගහලා ගෙදර තිබ්බ වටිනාම දේ, ඒ කියන්නෙ "ලක්ෂ්මි" (ඔව් කුණු බාල්දිය) අරන් යනව. M පොලීසියට ගිහින් එයාගෙ නැති වෙච්ච කුණුබාල්දිය හොයල දෙන්න කියල ඉල්ලනව. 

දැන් කියවන කෙනෙකුට ප්‍රශ්න තුනක් ඇති වෙන්න පුලුවන්.

  1. ඒ ආව තුන්දෙනා කවුද?
  2. ගෙදරට පැනලා කුණුබාල්දියක් අරගෙන යන්න මුන්ට පිස්සුද?
  3. ඕක පැමිණිලි කරන්න ගිය M ට පොලීසිය ගහලා පැන්නුවෙ නැත්තෙ ඇයි?

ඉන්පස්සෙ ඉතින් තනිකර crime/ thriller drama එකක් තමා. හැබැයි ඒ සිද්දි දාමය චිත්‍රපටිය ඇතුළෙ පෙළ ගැස්විලා තියෙන්නෙ අග මුල පටලවලා නරඹන්නන්ව පොඩ්ඩක් හොල්මන් කරවන විදිහකට. හැබැයි කතාවෙ අගමුල තේරෙන්න ගන්නකොට "වාව්" මය ෆීලිං එකක් දැනෙන්න පටන් ගන්නවා. කෙලින්ම මුල මැද අග ගලපලා කියනවට වඩා කතාවෙ වයර් මාරු කරලා ඒකෙ තියන thrilling ස්වභාවය ඉහළ නංවන්න නිර්මාණකරුවන් සමත් වෙලා තියනවා.

මහරාජා ගෙ චරිත කරන්නෙ විජේ සේතුපති. මේ සේතුපති ගෙ 50 වෙනි චිත්‍රපටිය ලු. විශේෂ "නළු පෙනුමකුත්" නැතුව, රඟපාන්න ඇවිල්ලා හැකියාවෙන්ම කෙටිකාලයකින් ලොකු ජනප්‍රියත්වයක් දිනාගත්තු කෙනෙක් විදිහට නොසෑහෙන්න අගය කළ යුතු කෙනෙක් මං නම් කියන්නෙ. මං සේතුපතිට කැමති වෙන්න හේතුවක් තමා එයා කවදාවත් මාව dissapoint නොකළ නළුවෙක් වීම. නූතන දමිළ සිනමාවේ මාස්ටර්වර්ක් වැඩ විදිහට මං සලකන Super Delux සහ Soodhu Kavvum කියන චිත්‍රපටි දෙකම සේතුපති ගේ සුපිරි ගණයේ රඟපෑමෙන් හැඩවුණු ඒවා. සේතුගෙ ෆිල්ම් එකක් නම් අහන්න දෙයක් නෑ "බඩු ෂුවර්" වෙන මට්ටමට නමක් එයා හදා ගෙන තියනවා. 

 මහරාජා මාව අමන්දානන්දයට පත් කළ තව හේතුවක් වුණේ නූතන ඉන්දියානු සිනමාවේ මාස්ටර්මයින්ඩ් එකක් වෙන අධ්‍යක්ෂවරයෙක් වුණු අනුරාග් කාශ්‍යප් මේකේ ප්‍රධාන චරිතයක් රඟපෑම. සේතුපති සහ අනුරාග් චිත්‍රපටිය ඇතුළේ ඉන්නෙ අන්ත දෙකක. මේ අන්ත දෙක එකිනෙක සම්මුඛ වීම හෙවත් දැවැන්තයින් දෙදෙනෙකුගේ සුසංයෝගය තවත් ප්‍රබලව මතු වුණා නම් කියලා හිතුණා.

අන්තිම සිදුවීමෙන් පස්සෙ තිරයෙ මැවෙන අන්තිම දර්ශනය නම් picture perfect. මුළු චිත්‍රපටියම තනි frame එකකට අහුකරගෙන චිත්‍රපටිය ඉවරකරනවා. එහෙම බැලුවාම Maharaja කියන්නෙ ආරම්භයේ පටන් අවසානය දක්වාම හොඳ balance එකකට නිමැවිලා තියන, වචනෙ අර්ථයෙන්ම "මරු වැඩක්". හැබැයි ඉතින් "ගොනා ඔය හැරෙන්නෙ පොල් පැලේට නේද" කියල හිතෙන තැනක් දෙකක් නොතිබුණාම නොවේ. "ඔන්න ඔහෙ පොල් පැලේ දිහාට හැරුණට කන්නෙ නැති වේවි" කියලා හිතාගෙන බලලා එකපාරටම හැරිලා කෑවම බලන අපි සප්‍රයිස් වෙනවා. ෆිල්ම් එක ott මාධ්‍යට ආවේ ඊයෙ. අද වෙනකොටම සෑහෙන දෙනා මේක බලා ඒ ගැන කතා කරනවා පේනවා. මේක දැනට "වසරේ වැඩිම ආදායමක් ලැබූ දෙමළ චිත්‍රපටිය". මෙහෙ හයිප් වෙන එක පුදුමෙකුත් නෑ එක අතකට. ෆිල්ම් එක ගැන මෙච්චර දේවල් කියලා මේක නොකියා හිටියොත් හරි නෑ නෙ. Maharaja ලියලා අධ්‍යක්ෂණය කරන්නේ Nithilan Swaminathan කියල කෙනෙක්. මේ එයාගෙ දෙවනි චිත්‍රපටිය. තුන් වෙනියටත් මේ වගේ හෝ මීට එහා යන සුපිරි මට්ටමේ වැඩකින් එයා අපි අතරට ඒවි කියල හිතනව.

ප.ලි - මේකෙ එකතැනක "නාදෙන්" සින්දුවෙ කෑල්ලක් ඇහෙනව නේ. ඒක දෘෂ්ටි මායාවක් (නෑ නෙ ශ්‍රවණ මායාවක් වෙන්න ඕන) ද කියලා හිතලා ආයෙ ඇහුවා. ඔව් නේ ඒක නාදෙන් සින්දුවෙ ඉන්ට්‍රො එක තමා!

ප.ප.ලි - Maharaja film කියල ගූග්ල් සර්ච් කරද්දී "මහරජ ගැමුණු" එකේ පෝස්ටරේකුත් සර්ච් රිසල්ට්වලට ආව. වෙන මොකුත් නෑ නිකම් ඒක කිව්වෙ. 



Friday, July 12, 2024

In a Violent Nature (2024)

 මොකක් හරි දරුණු ගණයේ බිහිසුණු අත්දැකීමකට මුහුණදීලා ජීවිතය ගළවාගත්ත කෙනෙකුට ඉන්පස්සෙ සෑහෙන කාලයක් යනතුරු, සමහර විට ජීවිත කාලය පුරාම අර සිද්දිය නිසා ඇති වුණු කම්පනයෙන් ගැලවෙන්න බැහැ. උදාහරණයක් විදිහට මේ කෙනාට අදාළ සිද්ධිය වුණේ වනාන්තරයක් මැද නම් කවදාවත් කලින් වගේ හැඟීමකින් වනාන්තරයක තියන නිහඬ නිසංසල ගස්පෙළක් දිහා ආයෙත් බලන්න බැහැ. In A Violent Nature චිත්‍රපටයේ අන්තිම විනාඩි 10 දි වගේ වෙන සිදුවීම් මාලාවෙන් මෙන්න මේ කටුක යථාර්ථය හොද හැටි පෙන්නුම් කෙරෙනවා. කිසිම භයංකාර දර්ශනයක් නැතිව කුතුහලය පිරුණු edge of seat අත්දැකීමක් නරඹන්නාට ලබා දෙනවා. මේක හොද Horror චිත්‍රපටයක වැදගත් ලක්ෂණයක් කියලා මම හිතනවා. 

2024 ආව In A Violent Nature කියන්නේ කපන කොටන ලේ වැගිරෙන Slasher චිත්‍රපටිවල බහුලව දකින්න ලැබෙන අතිශ්‍යයින්ම සාමාන්‍ය කතාවක් තියන චිත්‍රපටියක්ම තමයි. නමුත් මෙතන විශේෂත්වයක් තියනව. ඒ තමා මේ කතාව කියන්න භාවිත කරන දෘෂ්ටි කෝණය වෙනස් එකක් වීම. වෙනස් ඇහැකින් දැකගන්න සැලැස්වීම. සරලවම කිව්වොත් ඝාතකයාගේ දෘෂ්ටිකෝණයෙන් තමා මෙතනදි වෙන බහුතරයක් සිද්ධිදාමයන් අපි දැකගන්නේ. එතකොට ඝාතකයාගෙ ගමන් මාර්ගය, ඔහු ඊළගට කරන්නෙ මොකක්ද, ඔහු අතින් මිය යන්නෙ කවුද කියන මේ දේවල් අපිට කලින්ම දැනගන්න ලැබෙනවා. එහෙනම් මෙතන කිසි කුතුහලයක් ඉතිරිවෙන්නෙ නැහැනෙ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් චිත්‍රපටියෙ තියන බිහිසුණු කම මේ කිසි කාරණාවක් නිසා අඩුවක් වෙලා නම් නැහැ. එතනදි වැදගත්ම වැඩකොසක් කරලා තියෙන්නෙ අපේ දෘෂ්ටියට අහුවෙන සිනමා රෑපය. ඉතාම සාමාන්‍ය කතාවක් වුණත් රෑපය මුල් කරගත්ත සිනමා මාධ්‍යට එනකොට, සිනමා නිර්මාණයක් විදිහට Horror/ Slashe චිත්‍රපට අංශයෙන් In A Violent Nature ඉදිරියෙන් තියන්න පුළුවන් වෙන්නෙ ඒ නිසයි. 

චිත්‍රපටය අපි දකින්නේ ඝාතකයාගේ පැත්තෙන් නිසා ඝාතකයා (Johnny) ප්‍රේක්ෂකයාට සමීප චරිතයක් බවට පත්වෙනවා. මෙතනදි ඔහුගේ චරිතයේ තියෙන භයානක කම කොයිතරම්ද කියනව නම්, සිනමා ඉතිහාසයෙ නිර්මාණයවී ඇති භයානකම අපරාධකාරයා විදිහට සැලකෙන No country for old men චිත්‍රපටයේ Anton Chigurh ගේ සම මට්ටමට තියන්න පුළුවන් ආකාරයට Johnny ගේ බිහිසුණු කම මතු කරලා තියනව. නිහඩතාවයේ ගිළුණු කැනේඩියානු වනපෙතක තියන අමුතු හුදෙකලා බව චිත්‍රපටියේ භයංකාර බව තවත් වැඩි කරනවා. හැබැයි ඉතින් ඔය වගේ වනාන්තරයක මැද්දෙ ඇවිදන් යනකොට වෙන කෙනෙකුට අයිති දෙයක් බිම වැටිලා තියෙනව දැක්කොත් අහුල ගන්න යන්න එහෙම එපා. ඒ ඇයි කියල තේරුම් ගන්න වෙන්නෙ ඉතින් ශරීරයෙ කිසිම කොටසක් අඩු නොවී ආව වගේම ආපහු කැලෙන් එලියට එන්න ඉඩ ලැබුණොත් තමා.



Saturday, July 6, 2024

ගෝදානය

 දඩයම් යුගයේදී වනපල නෙලා ගෙන සොබාදහමේම කොටසක්ව දිවි ගෙවීමට හුරුව සිටි මිනිසා කෘෂිකාර්මික ජීවන රටාවකට මාරුවිමත් සමග තම ජීවිත පැවැත්ම වඩා සංකීර්ණ බවට පත් කරගත්තේ ය. ඔහු බිම්කොටා සකසා තමන්ට අවැසි බෝගවර්ග වගා කරගන්නට පටන් ගත් අතර මිනිසාට එලෙස මහපොළොවත්, අව්වැසි සුළි සුළං ආදී ස්වභාවික බලවේග සමග නිරන්තර අරගලයක නිරතවීමට සිදුවිය. මෙය මනුශ්‍යයින්ට දරාගත හැකි ශක්ති ප්‍රමාණය ඉක්මවායන අතිශ්‍ය වෙහෙසකාරී කාර්යභාරයක් වූ නිසා ගොවි කටයුතුවල නිරත වන මිනිසා ඉන් හෙම්බත් වී විඩාවට පත් විය. නමුත් ශිෂ්ටාචාරයේ ගමන්මග ගොඩනැගුණේ ඒ මාවත ඔස්සේ ය. පොළොව බෙදා වෙන් කරගෙන එයට අයිතිවාසිකම් කියන්නට පටන් ගත් දා සිට මිනිසා ගේ ආත්මාර්ථය දියුණු විය. භූමියට ඇති හිමිකම් මත සමාජ බලය සහ අධිපතීත්වය තීන්දු විය. පාලන බලය හිමි සුළු පිරිසකට භෞතික වස්තු සම්භාරයක අයිතිවාසිකම් හිමිවූ අතර අති බහුතරයක් දෙනා ශ්‍රමය වගුරා ඒ වෙනුවෙන් ද තම දිවි පැවැත්ම වෙනුවෙන්ද ඔවුන්ට සේවය කළ යුතු විය. වහල් යුගයේ සිට වැඩවසම් යුගය පසුකරගෙන වෙලඳාම මුල්කරගත් ධනේශ්වර සමාජ ක්‍රමය දක්වා අප පැමිණ සිටිමු. පීඩනයේ ස්වරූපය වෙනස් වුවත් තවමත් මිනිසාගේ පැවැත්ම අසාධාරණය සහ අයුක්තියේ විෂම චක්‍රයක නොපවතින බව කිව හැකි ද.

භාරතීය ලේඛක ප්‍රේම්චාන්ද්ගේ Godaan නවකතාවට පාදක වන්නේ 1900 මුල් භාගයේ කෘෂිකර්මාන්තය මුල් කරගත් ඉන්දියානු ගැමි සමාජයේ පැවති මේ විෂමාචාරී ස්වභාවයයි. මෙය ප්‍රේම්චාන්ද්ගේ අවසාන නවකතාව සේම ඔහුගේ අග්‍රම කෘතිය ලෙස සැලකෙයි. ගෝදාන් ලියා අවසානයේ අත්පිටපත තුරුලු කරගෙන ඔහු අවසන් හුස්ම හෙළුවේලු. Godaan ඉන්දියානු නවකතා අතර ප්‍රමුඛ ස්ථානයේ ලා සැලකෙන කෘතියකි. එය "ගෝදානය" නමින් සිංහලට පරිවර්තනය කරන්නේ භාරත සාහිත්‍යයේ අගනාම නිර්මාණයන් සිංහල පාථකයා හමුවට ගෙන ආ චින්තා ලක්ෂ්මි සිංහාආරච්චි මහත්මියයි. මේ කෘතිය පරිවර්තනයෙන් අවසානයේ එතුමියද ජීවිතයෙන් සමුගන්නේ දෛවෝපගත ආකාරයටයි. ප්‍රේම්චාන්ද් යනු මේ ලේඛකයා ආරූඪ කරගත් නාමයක් වන අතර ඔහුගේ සැබෑ නාමය නම් ධන්පත් රායි ය. එවකට භාරතයේ පැවති බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය දැඩි සේ විවේචනය කරමින් තම පළමු කෙටි කතා සංග්‍රහය පළ කිරීම නිසා ඇති වුණු ජීවිත තර්ජන මෙලෙස ඉන්පසු ආරූඪ නාමයකින් පෙනී සිටීමට හේතු කාරණ විය. 1963 වසරේ දී Godaan එම නමින්ම චිත්‍රපටියක් ලෙස ප්‍රතිනිර්මාණය වූ අතර එහි ප්‍රධාන චරිතය ප්‍රකට නළු රාජ් කුමාර් විසින් රඟදක්වනු ලැබීය. 2004 දී ඉන්දියානු "දූර්දර්ශන්" රූපවාහිනී නාලිකාව විසින් නිෂ්පාදනය කරන ලද කොටස් 27 ක රූපවාහිනී නාට්‍යයක් ලෙස Godaan යළිත් ප්‍රතිනිර්මණය වී ඉන්දියාව පුරා මහත් ජන්ප්‍රියත්වයක් හිමි කරගත්තේ ය. මේ රූපවාහිනී නාට්‍ය දූර්දර්ශන් youtube නාලිකාවේ ඇත.

ගෝදානය කේන්ද්‍රගත වන්නේ භාරතයේ ලක්නව් නගරය ආසන්න ගමක වෙසෙන හෝරි නම් ගොවියෙකු වටා ය. හෝරි ගේ බිරිඳ ධනියා වන අතර ඔහුට දරුවන් තිදෙනෙකු වෙයි. හෝරී යනු ගතානුගතික අදහස් කරපින්නා ගත් සාමාන්‍ය ගැමියෙකි. මුදල් පරිහරණය ඒ තරම්
හුරුනැති මේ ගැමියන්ට නිතර ගමේ බලවත් මිනිසුන්ගෙන් මුදල් ණයට ගැනීමට සිදුවෙයි. මේ ගම් ප්‍රධානීන් ණයට දී අධික පොළියක් අය කර එය ගෙවීමට නොහැකි වූ කළ ගොවියන්ගේ අස්වනු, ඉඩකඩම්, හරකබාන ආදියද කොල්ලකා ගනිති. හෝරි බොහෝ වෙහෙසවී කුඹුරු වැඩ කර අස්වනු නෙළා සෞභාග්‍යමත් ජීවිතයක් ගතකිරීමට සිහින දකින නමුත් සැමදා ඔහුගේ සිහින බොඳවී ඔවුන් දුගී බවේ පත්ලටම ඇදවැටෙයි. හෝරි ඇතුළු ගැමි ජනතාවගේ ජීවන යථාර්ථය මෙයයි.

හෝරී මෙන්ම ඒ ගමේ අනෙක් ගොවියන් ජීවත්වන සහ වගා කටයුතු කරන ඉඩම් හිමි වන්නේ රායි නම් සමින්දාර් වරයෙකුට ය. ඔහුගේ ඉඩම් වල ජීවත්වන සියළු ගොවියන් රායි මහතාට බදු ගෙවිය යුතු ය. රායි මහතාට ඔහුගේ සමාජ මට්ටමේ මිතුරන් කීපදෙනෙක් වෙයි. ඛන්නා, මෙහෙතා, මාලතී, ගෝවින්දි ඒ අතරින් කීපදෙනෙකි. ඔවුන් ධනවත් සුඛෝපභෝගී පැලැන්තියේ ජීවිත ගෙවූවත් ඔවුන්ටද තවත් ආකාරයකින් ජීවන සටනක නිරත වී සිටීමට සිදුව ඇත. ධනය ගොඩගසා ගැනීම සේම එම ජීවන රටාව පවත්වාගෙන යාමට ද බොහෝ දුෂ්කරතාවන්ට මුහුණදිය යුතු ය. ජීවිතය නම් ස්වභාවයෙන්ම විෂමාචාරී බව උරුම කර ගත්තකි. දුප්පත් ගොවියෙක් වූවද ඉඩම් හිමි මහරාජා කෙනෙකු වුවද සැමට පොදු වන්නේ එකම ජීවන ධර්මතාවකි. ජීවිතයේ සැබෑ සැනසුම ඇත්තේ ජීවිතේ ඇති මේ අස්ථිර ස්වභාවන් අවබෝධ කරගෙන ධන සම්පත්වලට අනවශ්‍ය ලෙස නොඇලී සැබෑ මනුෂ්‍යත්වය අනුසාර කරමින් දිවි ගෙවීමෙන් බව කතුවරයා මාලතී, මෙහෙතා වැනි චරිත හරහා අපට පෙන්වා දෙයි.

සමාජයෙහි මෙන්ම ලෝකයෙහි ද ස්ත්‍රී පුරුෂයින්ගේ ජීවිත තුළ ද ඇති තතු ඒ ආකාරයෙන් නිරූපිත කරන යථාර්ථවාදී ශෛලියකින් ලියවී ඇති ගෝදානය සම්භාව්‍ය සාහිත්‍ය ප්‍රිය පාථකයා කිසිසේත් මඟහැරගත නොයුතු නිර්මාණයකි. එමෙන්ම දහසක් දුක්ගැහැට විඳ දරාගෙන ස්වශක්තියෙන්ම වංග, හින්දි, උර්දු ආදී භාරත භාෂා උගෙන සාහිත්‍යයේ මෙවැනි වටිනා මිණිකැට සිංහල බසින් කියවන පාථකයා හමුවට ගෙන ඒමට සිය දිවි කැපකළ චින්තා ලක්ෂ්මි සිංහාආරච්චි පරිවර්තිකාවට මෙරට පාථකයා සදා ණයගැති බව මෙහි සඳහන් කිරීමට වටින්නේ ය.



Friday, May 24, 2024

Aavesham (2024)

Fahadh Fasil ගේ Aavesham චිත්‍රපටිය එළියට ඒමත් එක්ක පහුගිය දවස් කීපයක කාලයේ මුළු fb news feed එකටම FaFa ව "ආවේෂ" වෙලා තිබුණ හැටි දැක්කා. ඒ Acting capacity එක ගැන දන්න නිසා ඒක බලාපොරොත්තු වෙන්න ඕන තත්ත්වයක් සහ ඒක FaFa වගේ කෙනෙකුටම විතරක් කරන්න පුලුවන් මැජික් එකක් තමයි. ඇත්තටම Aavesham කියන්නෙ සාමාන්‍ය FaFa රසිකයෙක් "FaFa බැතිමතෙක්" බවට පත්කරවන සුළු වැඩක්.

මලයාලම් සිනමාව කිව්වම අපිට මැවෙන්න කොළපාට පරිසරයක
පසුබිම් කරගත්ත බොහොම සනීපදායක බවක් දනවන සිනමාවක් වුණාට මේක ඊට සෑහෙන වෙනස් Tamil චිත්‍රපටිවල තියන Gangster/ Action/ Entertainment වයිබ් එකක් දෙන චිත්‍රපටියක්. හැබැයි ඒ අතින් මේක උපරිමයෙන් enjoy කරන්න පුලුවන් වැඩක් බව අනිවාර්යයෙන් කියන්න ඕන. Aavesham කියන්නේ මීට කලින් බොහොම ජනප්‍රිය වුණු Comedy/ Horry වැඩක් වෙච්ච Romanchan චිත්‍රපටිය හදමින් අධ්‍යක්ෂකවරයෙක් විදිහට කළඑළි බැස්ස ජීතු මාධවන්ගේ දෙවනි චිත්‍රපටිය. මට නම් ජීතු ගේ පළවෙනි එකටත් වඩා සෑහෙන හොඳ මට්ටමක තියනව මේක. ඉන්දියන් රුපියල් කෝටි 30 ක වියදමකින් කෝටි 150 ක ආදායමක් ගන්න Aavesham චිත්‍රපටිය සමත්වෙලා තියනව. ඇත්‍තටම එහෙම නොවුණානම් තමා පුදුම. Big screen එකක මේක කොයි විදිහට තියෙන්න ඇති ද කියල හිතෙද්දි ඒ අත්දැකීම මිස් වීමේ අඩුව දෑනෙනවා.

කොහොම වුණත් FaFa රඟපාන චිත්‍රපටියක නම් ඒ ගැන කතා කරන්න තියන ලොකුම දේ වෙන්නෙ FaFa ම තමා. චිත්‍රපටිය ගැන කතා කළ හැමෝම ඉහළින්ම වර්ණනා කරලා තිබ්බේ ඒ රඟපෑම. ඒක FaFa ව screen එකේ දකින්න ලැබෙන පළවෙනි රූප රාමුවේ ඉඳළා අවසාන දර්ශනය දක්වා එක ගැම්මට දුන්නු ගින්දර විසික් වෙන සුපිරි මට්ටමේ රඟපෑමක් කියලා මමත් මේකෙ කියලා දැම්මොත් වැඩි වෙන්නෙ නැති වේවි. කෙට්ටු කෙසඟ සරීර කූඩුවක් එක්ක "ඇවිදින රංගන පාසලක්" බවට පත්වෙලා ඉන්න මේ මනුස්සයා මෙහෙම ගිහිල්ලා කොහෙන් නතර වේවිද කියලයි හිතා ගන්න බැරි. ඉන්දියානු සිනමාවට මෑත කාලීනව එකතු වෙන මූණු අතරේ අංක එකේ ඉන්න FaFa බවට නම් කතා දෙකක් නෑ. චිත්‍රපටියේ කතාව පැත්තට හැරුණොත් මේකෙ තියෙන්නෙ කේරළේ ඉඳන් බැංගලෝර් වලට උසස් අධ්‍යාපනය ලබන්න ඇවිල්ලා නවක වදයෙන් බේරෙන්න බැංගලෝර් චණ්ඩියෙකුගේ පිහිට පතන විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් තුන් දෙනෙක් ගැන කතාවක්. නවක වදෙන් බේරෙන්න ගිහින් තවත් වදයක් ඇඟේ දාගත්තද කියල මේ තුන්දෙනාට හිතෙන්න පටන් ගන්නව. මොකද ඉංජිනේරු විද්‍යාව ගැන උපාධි නාමයක් ගන්න බලාපොරොත්තුවෙන් බැංගලෝර් ආවට අන්තිමට "පාතාල මැර" නාමයක් අරගෙන ගමට යන්න වෙන තත්ත්වයක් උදාවෙන්න ගත්තු හින්දා. ජීතු මාධවන් තමන්ගෙ ශිෂ්‍ය ජීවිතේ ඇත්තම අත්දැකීම් මේ චිත්‍රපටිය හදන්න පාදක කරගත්ත බව කියා තියෙනව දැක්කා. කෙනෙකුට ජීවිතේ ඒ වගේ රංචු ගැහෙන නිදහස් විනෝදකාමී කාලසීමාවක් තිබුණා නම් ඒක මතක් කරවනසුලු වැඩක් මේක.

Aavesham කියන්නෙ කලින් කිව්වත් වගේ entertainment උපරිමෙන් තියන චිත්‍රපටියක් බව ආයෙම කියන්නම්. සරලව සැහැල්ලුවෙන් බලලා හොඳට enjoy කරලා, අවසානෙ ඇඟටම දැනෙන අමුතු ගැම්මකුත් එක්ක සීට් එකෙන් නැගිටලා යන්න පුලුවන් විදිහෙ සිනමා අත්දැකීමක් ලබන්න කැමති අය මේක මිස් කරගන්න එපා.



Monday, April 22, 2024

Lawrence of Arabia (1962)

50 දශකයේ මැද කාලයෙදි වගේ ලංකාවෙ කැළණි ගඟ අසබඩ The Bridge on the River Kwai චිත්‍රපටය හදලා අවසන් කළ කීර්තිමත් බ්‍රිතාන්‍ය සිනමාකරු Sir David Lean මීළඟ ගමන් කරන්නේ ගිනියම් අව් කාස්ටකේ වේලෙන මැද පෙරදිග මරු කාන්තාරයකට. ඒ Lawrence of Arabia චිත්‍රපටය නිර්මාණය කිරීම වෙනුවෙන්. Lawrence of Arabia කියන්නෙ කොයි වගේ චිත්‍රපටයක් ද කියල පොඩි අදහසක් අරගන්න ඒකෙ උප ප්‍රධාන චරිතයක් රඟපෑ Omar Sharif කියන මේ කතාව ප්‍රමාණවත් වේවි. 

 "හිතන්න ඔයා ලොකු සල්ලියක් තියන කෙනෙක් කියල. කවුරුහරි කෙනෙක් ඔයාව හම්බවෙන්න ඇවිත් මෙහෙම කියනව. මට චිත්‍රපටයක් හදන්න ඕන, හැබැයි ඒක පැය හතරක් විතර දිගයි. නම් දරාපු සුපිරි නළුවො කවුරුත් ඒකෙ රඟපාන්නෙ නෑ. ඒකෙ එක ගෑනු චරිතයක් වත් නෑ. ප්‍රේමාන්විත දර්ශන නෑ. ත්‍රාසජනක දර්ශනත් නැති ගාණයි. ඒවගේම ඒක රූගත කරන්නෙ මහ කාන්තාරයක් මැද්දෙ. ඔයාගෙ මුදල් මේ චිත්‍රපටය වෙනුවෙන් යොදවන්න ඔයා කැමති ද?" 

මෙහෙම චිත්‍රපටයක් වෙනුවෙන් මුදල් යොදවන එක බැලූ බැල්මට ලොකු අවදානමක් වගේ පෙනුණත් David Lean ගේ The Bridge on the River Kwai නිෂ්පාදනය කළ Sam Spiegel ම ඒ අවදානම ගන්නව.

Lawrence of Arabia ගැන කතාකරද්දි, සුප්‍රකට සිනමා විචාරක Roger Ebert කියනව මේක පුළුල් තිරේක නරඹන්න ලැබෙන එක සිනමාවට ආදරය කරන කෙනෙකුට ජීවිතේ ඇතුළෙ ලබන්න පුලුවන් ලොකු ජයග්‍රහණයක් කියලා. ඒකට හේතුවක් තියනව. උදාහරණයකින් කිව්වොත් සිනමාපටයෙ එක තැනක් තියනව කාන්තාරයෙ අතරමං වුණු තමන්ගෙ මිත්‍රයා එනතුරු බලා ඉන්න තරුණයෙකුගේ දර්ශනයක්. ඔහු කාන්තාරයේ ඈත බලා ඉන්නව බොහොම බලාපොරොත්තු සහගතව. ඔහුගෙ දර්ශන පථයට අහුවෙන්නෙ හාත්පසින්ම අනන්තය දක්වා විහිදුණු සුවිසල් වැලිතලාව. මේ වැලිකතරේ ඈතින් යන්තම් තිතක් වගේ මතුවෙලා ක්‍රමයෙන් ළංවන තම මිත්‍රයාගෙ රුව ඔහුට දැකගන්න ලැබෙනවා. රූපවාහිනි පුංචි තිරේක මේ දර්ශනය හරියට දැකගන්න බෑ. ඒ රූප රාමුවෙ දැවැන්ත බව නියමාකාරයෙන් අත්විඳගන්න පුලුවන් වෙන්නෙ පුළුල් තිරේ පමණයි. Ebert මහත්මයාගෙ කතාවෙ අර්ථය තියෙන්නෙ එතනයි.

චිත්‍රපටයට පාදක වන "ආරාබියේ ලෝරන්ස්" නමින් ප්‍රකට චරිතය හැබෑවටම ජීවත් වුණු කෙනෙක්. ඔහු උපදින්නෙ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් ප්‍රාන්තයේ 1888 වසරේ අගෝස්තු 16 වෙනිදා. තෝමස් එඩ්වර්ඩ් ලෝරන්ස් නැත්නම් ටී. ඊ. ලෝරන්ස් ඔහුගෙ නම. ලෝරන්ස් ගේ පියා එංගලන්තයේ වංශවත් පුද්ගලයෙක් වුණත් ඔහුගෙ මව සාමාන්‍ය මධ්‍යම පාන්තික ගැහැනියක්. මේ දෙදෙනා කවදාවත් විවාහ වී සිටියේ නෑ. ඒ කියන්නෙ ලෝරන්ස් සහ ඔහුගෙ සහෝදරයන් හතරදෙනා මේ ලෝකයට උපදින්නේ අනියම් ඇසුරක ප්‍රතිථලයක් විදිහට. මේ කරුණ ලෝරන්ස්ව සෑහෙන පීඩාවට පත්කළා. නීතියට අනුව විවාහ නොවුණු තම මව්පියන් දරුවන් නොහදා හිටියා නම් හොඳ බව ලෝරන්ස් කියා තිබුණා. නමුත් කොහොම වුණත් ඔහුගෙ මව තම දරුවන්ව හොඳින් හදාවඩා ගත්තා. කුඩා කාලයෙ පටන් ලෝරන්ස් අමුතු ගති ගුණ තිබූ දරුවෙක් බවයි කියවෙන්නෙ. ඔහුගෙ වයසෙ අනෙක් දරුවන් ක්‍රීඩාවේ යෙදෙමින් විනෝද වෙද්දී ලෝරන්ස් සතුට ලැබුවේ පොත පත කියවීමෙන්. නිල් පැහැති තියුණු දෑසක් සහ කුඩා කෙසඟ සිරුරක් තිබුණත් ලෝරන්ස්ට දැනුම සොයා යන්න තිබුණ පිපාසාව නම් විශාලයි. පොතට හිත තිබුණු මේ දරුවා පසුව ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළත් වෙන්න වරම් ලබනවා. ඔහුගෙ මූලික උනන්දුව තිබුණේ ඉතිහාස විෂයට. ඉතිහාසයෙත් මධ්‍යකාලීන යුගයට. එංගලන්තයෙ තිබුණු මධ්‍යකාලීන ගොඩනැගිලි අතර සැරිසැරීම ඔහු සෑහෙන ප්‍රිය කළා. උපාධි නිබන්ධනයට, මධ්‍යතන යුගයේ කුරුස යුද්ධ වෙනුවෙන් මැදපෙරදිගට ගමන්කළ යුරෝපීය සොල්දාදුවන් ඉදිකළ බලකොටු ගැන හදාරන්න ඔහු තෝරාගන්නව. ලෝරන්ස් සහ අරාබිය අතර මුල්ම සම්බන්ධය ඇති වෙන්නෙ එතනින්.

නොයෙකුත් දුක් ගැහැට විඳගෙන, සොර සතුරු කරදරවලට ලක්වෙමින් සැතපුම් දහස් ගණනක් අරාබිකරයේ සැරසරලා තම නිබන්ධනය රචනා කරන ලෝරන්ස්ට ඒ වෙනුවෙන් ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ප්‍රථම පන්තියේ උපාධියක් හිමි වෙනවා. පළමු ලෝක යුද්ධය පටන් ගන්නෙ ඔය අතර. තම දෙමව්පියන් ගැන හිත කරදරයෙන් සිටි ලෝරනස්, ඔහුගේ සහෝදරයන් සහ බොහොමයක් බ්‍රිතාන්‍ය තරුණයන් ඒ යුගයෙ දි කළා වගේ හමුදාවට බැඳෙනව. ලෝරන්ස් ගෙ අරාබි භාෂා දැනුම සහ මැදපෙරදිග කලාපය ගැන තියන අවබෝධය වගේම ඔහුගේ ඉහළ අධ්‍යාපනික සුදුසුකම් මත ඔහුව ඊජිප්තුවේ කයිරෝවල පිහිටි බ්‍රිතාන්‍යය අරාබි කාර්‍යංශයට යැවෙනවා. එතනදි තම දැනුම භාවිත කරලා ඔහු බ්‍රිතාන්‍ය වෙනුවෙන් සේවය කරනවා. පළමු ලෝක යුද්ධයෙදි බ්‍රිතාන්‍ය සතුරෙක් වුණු ජර්මනියේ සහය ඇතිව තුර්කියේ ඔටෝමාන් අධිරාජ්‍ය මැදපෙරදිග සිරියාව සහ හෙජාස් ප්‍රදේශවලට ආක්‍රමණයක් එල්ල කරනව. මේ කලාපයේ පිහිටි වැදගත් නගර දෙකක් වුණු අකබා සහ දමස්කස් නගර ඔවුන් අල්ලාගන්නව. මේ වෙද්දී අරාබිය ගෝත්‍ර ගණනාවකට වෙන්වී ගිය විසිරුණු ජාතියක් ව තිබුණා. ඔවුන් අතර නායකත්වය ගත් වඩා බලවත්ම චරිතය වුණේ ෆයිසාල් කුමාරයා. ඔටෝමාන් වරුන්ට එරෙහිව සටන් වදින්න ෆයිසාල් බ්‍රිතාන්‍ය සහය ඉල්ලනව. මේ අනුව ලෝරන්ස්ව කාන්තාරය හරහා ෆයිසාල් වෙතට යැවෙනවා. ලෝරන්ස්ව ඓතිහාසික චරිතයක් බවට පත් කරන, ඔහුගේ ජීවිතේ වඩාත් වැදගත් සිදුවීම් මාලාව වෙන්නේ එයින් පස්සෙ. චිත්‍රපටයට ඇතුළත් වෙන්නෙත් ලෝරන්ස් සම්බන්ධ මේ සිද්ධි දාමය.

සොබාදහමේ කටුක කාෂ්ටක බව පිරුණු රඟඬලක් වුණු වැලි කාන්තාර භූමියේ තියෙන නොයෙක් දුෂ්කරතාවන්ට අරාබියෙකු සේම ඔරොත්තු දෙන්න හුරුවෙමින්, විසිරුණු කාන්තාර ගෝත්‍ර එක්සේසත් කරන්න ලෝරන්ස් නායකත්වය ගත්‍තා. ඉංග්‍රීසි කලිසම වෙනුවට අරාබි ලෝගුවට බැස්ස ලෝරන්ස් මේ කාලයෙදි අරාබි ජාතිකයෙක් බවටම පත්වී සිටියා. අරාබි ජාතිකයින් ඔහුගේ සමීපතම මිත්‍රයින් බවට පත්වුණා. ඔවුන් සමග සිටිමින් යුධ පුවත් වාර්තා කළ මාධ්‍යවේදී Jackson Bentley ලෝරන්ස්ව යුධ වීරයෙකු බවට වාර්තා කර ලොව ප්‍රකට චරිතයක් බවට පත් කර තිබුණා. නමුත් මෙතන තිබුණා ලෝරන්ස්වත් ෆයිසාල් වත් නොදැන සිටි කරුණක්. එනම් බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය යන දෙරට මේ වෙද්දි රහස් ගිවිසුමකට එළඹී සිටීම. ගිවිසුමට අනුව තුර්කි ඔටෝමාන්වරු අරාබියෙන් පලවාහැරිය පසුව මේ දේශය බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය අතර සමසේ බෙදාගැනීමට ඔවුන් සූදානම් වී සිටියා. ලෝරන්ස් මේ බව දැනගන්නෙ පසුව. බ්‍රිතාන්‍ය පාලකයින් සහ හමුදා නිලධාරීන් තම අරාබි ප්‍රේමයත්, කාන්තාර භූමියට අනුවර්තනය වෙන්න තිබු හැකියාවත් ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් උපායශීලී ලෙස පාවිච්චි කර ඇති බව ලෝරන්ස් දුටුවා. ආපසු හැරෙන්න ඔහු තීරණය කරද්දී ඒ මාවතේ ඔහු බොහෝ දුරක් ගිහින් අවසානයි. ලෝරන්ස් මේ සපුරා ආගන්තුක අරාබි දේශයක් වෙනුවෙන් තම ජීවිතේ කැප කරන්න තීරණය කළේ ඇයි? චිත්‍රපටයෙ එක තැනකදි ආරාබි ජාතිකයෙක් ලෝරන්ස්ගෙන් අහනව ඇ‍යි ඔබ කාන්තාරයට මෙතරම් කැමති කියල. ලෝරන්ස් කියනව මම කාන්තාරයට කැමති ඒක පිරිසිදු නිසා කියල. ඒ කියමනෙන් ඔහු අදහස් කළේ බ්‍රිතාන්‍ය සමාජය ගැන ඔහුට තිබුණ යම් නොරිස්සුමක් ගැනද, නැත්නම් බැඳීම්වලින් තොර නිදහස්කාමී ජීවිතයකට ඔහුට තිබුණු යම් පෙළඹවීමක් ගැනද කියන කාරණේ හිතා බලන්න වටිනව.

අරාබිය අතහැර බ්‍රිතාන්‍යයට නැවත පැමිණි ලෝරන්ස් ඔහුගෙ අත්දැකීම් අළලා Seven Pillars of Wisdom නමැති ග්‍රන්ථය රචනා කළා. තමාව යුධ වීරයෙකු විදිහට සලකා නිතර තමා සොයා එන මාධ්‍යවේදීන්ගෙන් සහ මහජනයාගෙන් සැඟවී අප්‍රකට ජීවිතයක් ගෙවාදමන්න ඔහු තීරණය කර තිබුණා. ලෝරන්ස් ගේ විනෝදාංශයක් වුණේ අධික වේගයෙන් මෝටර් බයිසිකල් පැදීම. ලෝරන්ස් සමග බයිසිකලයේ යාම ඔහුගෙ මිත්‍රයන් සැලකුවෙ යක්ෂයා සමග යාමක් විදිහට. 1935 මැයි 13 වෙනිදා තමන්ගේ Brough Superior SS100 මෝටර් බයිසිකලයේ නැගුණු ලෝරන්ස් තම නිවස ඉදිරිපිට මාවතේ අධිවේගයෙන් ධාවනය කරමින් සිටියා. බයිසිකල් දෙකක නැගුණු කොලුගැටවුන් දෙදෙනෙක් මාර්ගයේ වැරදි පැත්තෙන් තමන් දෙසට එනු ඔහු දැක්කා. ඔවුන්ව බේරාගන්න බයිසිකලයෙ හැඬලය පසෙකට කැපුව ලෝරන්ස් විසිවී ගොසින් බිම වැටුණා. හිසට බරපතළ හානියක් සිදුවී තිබුණු ලෝරන්ස් දින හයක් සිහිසුන් ව රෝහල්ගතව සිට 1935 මැයි 19 වන දා 46 වියේ පසුවෙද්දී සිහි නොලබාම අවසන් හුස්ම හෙළුවා. ඔහුගේ රිය අනතුර සිදුවුණු තැන කුඩා ස්මාරකයක් අදටත් තබා තිබෙනවා. ලෝරන්ස් තම ජීවිතේ අවසන් භාගය ගත කරමින් සිටි මෝටන් ප්‍රාන්තයේ ශාන්ත නිකලස් දේවස්ථාන සුසාන භූමියේ ඔහුගේ සිරුර මිහිදන් කරනු ලැබුවා. "ලෝරන්ස් කියන්නෙ සාමාන්‍ය කෙනෙකුට වඩා අධි වේගවත් සහ උද්වේගකාරී ජීවිතයක් ගත කළ කෙනෙක්" ඔහුගේ මළගම මොහොතේ වින්ස්ටන් චර්චිල් කියා සිටියා.

Lawrence of Arabia එදාමෙදා තුර නිර්මාණය කෙරුණු අති විශිෂ්ටතම සිනමාපට අතර සැලකුම් ලබනවා. ඒ 1960 වගේ යුගයක අති දැවැන්ත පසුතල යොදා ගෙන රූප රාමු, සංගීතය, රඟපෑම් ඇතුළු චිත්‍රපටයක මූලිකාංග උපරිම ගුණාත්මක බවකින් භාවිත කර තිබීම පමණක් නොවෙයි. ලෝරනස් නම් චරිතය ඔහුගේ අසාමාන්‍ය ගති ස්වභාවයන්, ඊට පසුබිම් වුනු යුධමය සහ දේශපාලනික පසුබිම ප්‍රතිනිර්මාණය කිරීම වගේ සාධකත් එක්කයි මේක අතිවිශිෂ්ථ ගණයේ සිනමාපටයක් වෙන්නෙ. විචාරක Roger Ebert මහත්මය කියන විදිහට සිනමාපටක දැවැන්ත බව තීරණය වෙන්නෙ ඒ වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණය මත නොවෙයි, එහි අන්තර්ගත වෙන අදහස සහ දෘෂ්ටිය අනුවයි. ඒ අනුව මෑත යුගයේ දැවැන්ත යන ලේබලය ගහගත්ත බොහෝම චිත්‍රපට අධික පිරිවැක් දරන B ශ්‍රේණියේ චිත්‍රපට පවයි එතුමගෙ අදහස. නමුත් මේ කොයි ආකාරයෙන් ගත්තත් Lawrence of Arabia කියන්නෙ සිනමාව නම් කලා මාධ්‍ය ඇතුළෙ බිහි වුණ උසස් නිෂ්පාදිතයක් බව අපිට පිළිගන්න සිද්දවෙනව. Ebert මහත්මයා තමන්ගෙ Great Films ලයිස්තුවට Lawrence of Arabia ඇතුළත් කරන්නෙ ඒ නිසා. Lawrence of Arabia ඔස්කාර් සම්මාන 10 කට නිර්දේශ ලබලා ඉන් 7 ක් දිනාගන්නව. චිත්‍රපටයේ ලෝරන්ස් ගෙ චරිතය නිරූපණය කරන්නෙ Peter O'Toole නම් එවකට ආධුනික මට්ටමේ පසුවුණු නළුවා. පීටර් රඟපෑම වෙනුවෙන් කිසිදාක ඔස්කාර් සම්මානයක් දිනාගන්නේ නැතිව නිර්දේශ 7ක් ලබමින්, සම්මාන නොලබා වැඩිම නිර්දේශ ගණනක් ලැබීමේ වාර්තාවට හිමිකම් කියනව. 2002 අවුරුද්දේ ඔහු ගෞරව සම්මානයකින් පිදුම් ලැබුවා. ලෝරන්ස්ගෙම Seven Pillars of Wisdom ඇසුරෙන් චිත්‍රපට පිටපත රචනා කරන්නෙ Robert Bolt සහ Michael Wilson.

Lawrence of Arabia නරඹන්නන් අතර පමණක් නොවෙයි බොහෝම සිනමාකරුවන්ගේ පවා ප්‍රියතම චිත්‍රපටයක් විදිහට සැලකෙනව. Spielberg කියන්නෙ මෙය තමන් දැක ඇති හොඳම චිත්‍රපටයක් බව. ජපානයේ Akira Kurosawa ත් මේ චිත්‍රපටයට ප්‍රිය කළ කෙනෙක් වුණා. පසුකාලීනව Star Wars, Dune, Mad Max වැනි චිත්‍රපට ගණනාවකටම Lawrence of Arabia චිත්‍රපටයේ අනුප්‍රාණය ලැබී තිබුණා. මේ වගේ කරුණු කාරණා නිසා සිනමාව කියන කලා මාධ්‍ය හැඩගන්වන්න තීරණාත්මක බලපෑමක් කල පුරෝගාමී කෘතියක් විදිහට Lawrence of Arabia හැඳින්වීම වරදක් නැහැ. 



Thursday, April 11, 2024

The Wind That Shakes the Barley (2006)

අයර්ලන්තයේ දකුණු දිගින් පිහිටි Coark නම් ප්‍රාන්තයේ ගම්බද පරිසරයක හොකී ක්‍රීඩා කරමින් ඉන්නව එක්තරා තරුණ පිරිසක්. අයර්ලන්තය කිව්වම මතක් වෙන කොළපාට සුවිශාල තැනිතලා බිම්, මල් විසිරුණු මිටියාවත්, ඈත සිතිජ සීමාවේ පැතිරී ගිය නිල් පාට කඳුවැටි ඔබට මේ දර්ශනයට පසුබිමෙන් ඇතුළත් කරගන්න පුලුවන්. තරුණයන් කණ්ඩායම ක්‍රීඩාවෙ යෙදෙන්නෙ ලෝකෙ වෙනත් ඕනැම තැනක තරුණ පිරිසක් කල්ලි ගැහුණු තැනක තියෙන්නා වගේ කෙළිදෙලෙන් විනෝදෙන්. මේ 1920 දශකය බවත් මතකයේ තබාගන්න. ක්‍රීඩාව අවසන් කරලා ගෙවල් බලා යන මේ අය අතරින් තරුණයින් කිහිප දෙනෙකුට ඉන්පස්සෙ මුහුණ දෙන්න සිද්දවෙන්නෙ අර ලස්සන නිදහස් සුන්දරකම සම්පූර්ණයෙන්ම කණපිට හරවන බිහිසුණු අත්දැකීමකට. ඔවුන් සොයා එන්නෙ බ්‍රිතාන්‍ය සෙබළු කාණ්ඩයක්. මේ වෙද්දී බ්‍රිතාන්‍යයන් අයර්ලන්තය ආක්‍රමණය කර තම බලය ඒ රට තුළත් පතුරුවාහරිමිනුයි උන්නේ. ඉන්දියාව, අප්‍රිකාව වගේ තමන්ගෙ රටටත් වඩා පනස් ගුණයකින් පමණ විශාල භූමි යටත් කරගෙන ලෝකෙ පුරා ඉර නොබසින අධිරාජ්‍යයක් ගොඩනගාපු බ්‍රිතාන්‍යයන්ට තමන්ගෙ අල්ලපු වැටේ තිබුණ අයර්ලන්තය අමතක වෙන්න විදිහක් තිබුණේ නෑ. මේ වෙද්දි බ්‍රිතාන්‍යයන් අයර්ලන්ත ජාතිකයින්ට පොදු ස්ථානවල කණ්ඩායම් ගැසීම තහනම් කරලායි තිබුණේ. අර තරුණ පිරිසත් බ්‍රිතාන්‍ය සොල්දාදුවනුත් අතර ඇති වෙන කතාබහ දුර දිග යන්නෙ ඔවුන් අතරෙන් එක තරුණයෙකුට ජීවිතයෙන් වන්දිගෙවන්න පවා සිද්දකරමින්. මේ සිද්ධිය ඒ වෙනකොට අයර්ලන්තය බ්‍රිතාන්‍යයන් ගෙන් නිදහස් කරගැනීමේ නිදහස් සටනේ සටන්වදිමින් සිටි අයර්ලන්ත විමුක්ති හමුදාව (IRA) ට අර තරුණ කණ්ඩායම සම්බන්ධවෙන්න හේතුවක් වෙනව. තමන් උපන් රටේන හිරකාරයන් බවට පත්කරමින් තම නිදහස උදුරාගන්න බ්‍රිතාන්‍යයන්ව මොන ක්‍රමයකින් හරි අයර්ලන්ත භූමියෙන් එලවා දැමිය යුතු බව ඔවුන් දැඩිව හිතට ගන්නව. The Wind That Shakes the Barley චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ නිදහස් සටනේ සටන් වැදුණු මේ අරගලකාර තරුණ කණ්ඩායම වටා.

මේ තරුණ පිරිසට නායකත්වය දෙන්නෙ ටෙඩී සහ ඩේමියන් කියන සහෝදරයන් දෙදෙනා. එකම අරමුණක් වෙනුවෙන් සටන් කළත් පසුව දෙදෙනා කඳවුරු දෙකකට තල්ලුවී ගිහින් දෛවෝපගත විදිහට එකිනෙකාට ප්‍රතිවිරුද්ධව මුහුණට මුණගැහෙන හැටි අපි දකිනව. චිත්‍රපටයෙ කේන්ද්‍රීය චරිතය වෙන්නෙ ඩේමියන්. ඩේමියන් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගනිමින් සිටිද්දී, තම රට වැසියන්ට බ්‍රිතාන්‍යයන් ගෙන් එල්ලවන පීඩනය දැක ඔවුන්ව මේ විපතින් මුදාගෙන තම දේශයට නිදහස ළඟා කර දීමේ අරමුණෙන්, තම අධ්‍යාපනයත් වෘත්තීයත් අතහැර විමුක්ති සටනට සම්බන්ධ වුණු අයෙක්. චිත්‍රපටය ඇතුළේ නිරූපිත ඩේමියන් තමාගේ සුබ සිද්ධියට වඩා පොදු අරමුණක් වෙනුවෙන් ජීවිතය කැපකළ පරමාදර්ශී අරගලකරුවෙක්. ඉන්දියාවේ භගත් සිං, ස්කොට්ලන්තයේ විලියම් වොලස්, දකුණු අප්‍රිකාවෙ මැන්ඩෙලා, ලතින් ඇමරිකානු චේ ගුවෙරා වැනි අයට සම කළ හැකි කෙනෙක් (ඔහු චිත්‍රපටය තුළ පමණක් නිරූපිත ප්‍රබන්ධගත චරිතයක්. නමුත් ඔබ අයර්ලන්ත විමුක්ති සටන් ගැන වැඩිදුර සොයා බැලුවොත් මෙවැනි චරිත සැබවින්ම ඒ යුගයේ අයර්ලන්තයේ සිට ඇති බව සොයාගත හැකි වේවි. අයර්ලන්ත ගරිල්ලා සටන් වල නායකත්වය දැරූ මයිකල් කොලින්ස් එවැනි කෙනෙක්. ඔහු ගැන ඔහුගෙ නමින්ම 1996 වසරේ තිරගත වුණු, ලියම් නීසන් ප්‍රධාන චරිතය නිරූපණය කරන චිත්‍රපටයක් නිර්මාණය වී තිබෙනව)

The Wind That Shakes the Barley නම එන්නෙ 18 වෙනි සියවසේ අයර්ලන්ත විප්ලව සමයේ Robert Dwyer Joyce විසින් ලියූ කවියක පද පෙළකින්. මේ කවිය චිත්‍රපටය මුල්භාගයෙ එක තැනකදි ගායනා වෙනව. අයර්ලන්තය කොහොමත් කලා සම්ප්‍රදායන්ගෙන් පොහොසත් රටක්. මේ අයර්ලන්ත කලාවන් හරි අපූරුවට චිත්‍රපටයට මුහු කරගෙන තියනව. චිත්‍රපටය අධ්‍යක්ෂණය  කරන්නෙ Sorry we missed you, The Old Oak වගේ චිත්‍රපට නිර්මාණය කළ Ken Loach. මේක Loach ගෙ ආදායම් අතින් වඩාත්ම සාර්ථක වුණු චිත්‍රපටය විදිහට සැලකෙනව. 2006 කාන්ස් සිනමා උළලේ Palme D'or සම්මානයෙන් පිදුම් ලබන්නත් මේ චිත්‍රපටයට හැකි වුණා.

මේ චිත්‍රපටයේදි ඩේමියන් ගේ චරිතය නිරූපණය කරන්නෙ Oppenheimer චිත්‍රපටය වෙනුවෙන් ඔස්කාර් සම්මානය දිනාගැනීම නිසා මෑතක ලෝ ප්‍රකට වුණු කිලියන් මර්ෆි විසින්. කිලියන්ගේ හොඳම රඟපෑම oppenheimer නම්  The Wind That Shakes the Barley කියන්නෙ ඔහුගෙ දෙවනියට හොඳම රඟපෑම විය යුතුමයි. ඩේමියන් නම් කැරළකරුවාව ඔහු තිරය මත ප්‍රතිනිර්මාණය කරන ආකාරය ඒ තරම් විශිෂ්ටයි. නමුත් මේ ඉස්තරම් රඟපෑම ඔහු කරන්නෙ 2006 තරම් ඈතක. ඔස්කාර් ඇගයීමකට ලක්වෙන්න ඔහුට 2024 තරම් කාලයක් ගත වුණා. කල්ගත වෙලා හරි රංගවේදියෙකුට ලැබෙන උපරිම අගය කිරීමකට ඔහු සුදුසුකම් ලැබීම සතුටට කාරණාවක්.

ඩේමියන් වගේ අරගලකරුවෙක් වෙන එක කොහොමත් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. අයර්ලන්තයේ පැවතුණේ යුරෝපයේ අනිත් රටවල වගේ කිතු දහම මුල් කරගත්ත සංස්කෘතියක්. ඔවුන් අදහන ක්‍රිස්තුස් වහන්සේ කියන්නෙ නිතරම සමාජයේ ආසාධාරණයට දුක් පීඩාවන්ට ලක්වෙන ජනතාව වෙනුවෙන් පෙරට පැමිණි කෙනෙක්. නමුත් උන්වහන්සේව පෙරටු කරගත් කතෝලික සභාවම පීඩකයින්ගේ පැත්ත ගනිද්දි එයට එරෙහි වෙන්න තරම් හයියක් ඩේමියන්ට තිබුණා. සමහර අවස්ථාවල තම සංවිධානයෙ ආරක්ෂාව වෙනුවෙන් ඉතාම අපහසු තීරණ ගන්න ඔහුට සිදුවුණා. තම සටන් සහයන් සොහොයුරන් තමන් ඉදිරියෙදිම මරා දැමෙන හැටි බලා ඉන්න ඔහුට සිදුවුනා ඔහුගෙ ප්‍රේමවන්තිය පවා නොයෙක් හිරිහැරයන්ට ලක්වුණා. ඩේමියන්ගෙන් නිරූපිත වෙන්නෙ අරගලකරුවෙකුගෙ මේ අති දුෂ්කර ජීවිත පැවැත්ම. The Wind That Shakes the Barley ඔබේ ඇසට කඳුළක් නංවන තරම් සංවේදී කතා පුවතක්. වරක් නැරඹුව කෙනෙකුට පහසුවෙන් අමතක නොවෙන සිනමා අත්දැකීමක්. කිසිසේත් මගහැර නොගත යුතු ආකාරයෙ චිත්‍රපටයක්.



Tuesday, April 9, 2024

අයිවන් මැග්වයර්ගේ මාරක පැරෂුට් පිම්ම

අයිවන් ලෙස්ටර් මැග්වයර් ඇමරිකානු ජාතික පළපුරුදු පැරෂුට් පිනුම් කරුවෙකි. 1988 වසර වන විට 35 වන වියේ පසුවූ ඔහුගේ නමට ඉදිරියෙන් පැරෂුට් පිනුම් වාර 800 කට වඩා සටහන්ව තිබුණි. 1988 අප්‍රියෙල් 2 වන දා පැරෂුට් පැනීම ඉගෙන ගන්නා ශිෂ්‍යයෙකු සහ පුහුණුකරුවෙක් සමග අයිවන් උතුරු කැරොලිනාවේ ෆ්‍රෑන්ක්ලින් පැරෂුට් ක්‍රීඩා මධ්‍යස්ථානයේ සිට ගුවනට නැගී දෙවතාවක්ම පහළට පැන තිබුණේ ක්‍රීඩා මධ්‍යස්ථානය වෙනුවෙන් පැරෂුට් පැනීමේ දර්ශන කිහිපයක් පටිගත කිරීම සඳහාය. ඒවා පටිගත කිරීමේ කටයුත්ත සිදුකළේ අයිවන්ය. අධුනිකයන්ගේ සහ පැරෂුට් පැනීම ඉගෙන ගන්නා ශිෂ්‍යයන් ගේ ප්‍රයෝජනය පිනිස මේ දර්ශන වීඩියෝ ගත කරීම සිදුකරන ලදී.

තුන්වන පිනුම් වාරය සඳහා ගුවන් යානාවකින් ඔහු ඇතුළු කණ්ඩායම නැවතත් අඩි 10 000 ක් ඉහළ ගුවනට නැග සිටියේය. ගුවන්‍ යානයෙන් පහළට පැන්න අයිවන් තම සගයින්ද ඔහු සමග ඔහු අනුවම ගුවනට පනිනා දර්ශන කැමරාවට හසුකරගත්තේය. ගත වුණේ නිමේශයකි. යමක් වැරදී ඇති බව අයිවන්ට වැටහුණි. ඔහු ගුවන්යානයෙන් පහළට පැන තිබුණේ පැරෂුටයක් නොමැතිව ය. 

"ඔහ් මගෙ දෙවියනේ, නෑ!" (Oh my God! No!)

අයිවන් එසේ පවසනු කැමරාවේ සටහන් විය. නමුත් ඒ ඔහුගේ අවසන් වචන විය. අඩි 10 000 ක සිට පහළට ඇද වැටුණු ඔහුගේ ප්‍රාණය සුන් වූ සිරුර පැරෂුට් මධ්‍යස්ථානය අසළ වනරොදක තිබූ හමු විය. නමුත් ඔහු අත තිබූ කැමරාවේ දර්ශන සුරක්ෂිත තත්ත්වයේ පැවතුණි. ඒ දර්ශනවලින් කොටසක් තවමත් යූටියුබ් හි දක්නට ඇත. 

අයිවන් මැග්වයර් ට වැරදුණේ කොතැනද? ඔහු වැනි පළපුරුදු පිනුම් කරුවෙක් පැරෂුටය අමතක කර ගුවනින් පනිතැයි සිතිය හැකිද? නීතිය අනුව යමෙකු පැරෂුටයක් සමග ගුවනින් පනින්නට පළමුවෙන් ගුවන් නියමුවාගේ අධීක්ෂණයට අනිවාර්යෙන්ම ලක් විය යුතු ය. අයිවන් පැරෂුටයක් නැතිව පනින බව ඔහුව පරික්ෂා කළ ගුවන් නියමුවා දැක්කේ නැද්ද? නැතිනම් මේ අයිවන් හිතාමතාම පැන්න පිනුමක් ද? අයිවන්ගේ මළ සිරුර මෙන්ම ඔහු සමග එදා ගුවන්‍ යානයේ ගමන් ගත් සියළු දෙනාව ඇමරිකානු ෆෙඩරල් බියුරෝව විසින් පුළුල් ලෙස විමර්ශණය කරන ලදී. අවසානයේ ඔවුන් පැමිණි නිගමනය කුමක් ද?

අද මෙන් තාක්ෂණය දියුණු නොමැති 80 දශකයේ මෙම දර්ශන රූගත කිරීම සඳහා භාවිත කළ කැමරාව තරමක් බරැති කරේ එල්ලාගෙන යා යුතු එකක් විය. අයිවන්ගේ පිටේ විශාල මල්ලක් තිබූ නිසා ඔහු පැරෂුටයක් නොමැතිව පනින බව පැහැදිලිව පෙනුනේ නැත. ගුවන් නියමුවාද එය දුටුවේ නැත. ඔහු වැනි පළපුරුදු පැනුම්කරුවෙකුට එවැනි අතපසුවීමක් සිදුවේ යැය කිසිවෙකුත් සිතා නොතිබුණි. වැදගත්ම කරුණ නම් අයිවන් ගේ මතකයම ඔහුව රවටා තිබීමය. පිටේ බර මල්ලක් එල්ලාගෙන සිටින සිටින නිසා පැරෂුටය තිබේ යන වැරදි සංඥාව ඔහුගේ මතකය විසින් ග්‍රහණය කරගෙන ඇත. 800 වතාවකටත් වඩා සාර්ථකව මේ කටයුත්ත කර ඇති ඔහු ඒ නිසා සුපුරුදු විලාසයෙන්ම සැකයක් නැතිව අඩි 10 000 ක් ඉහළ සිට බිමට පැන්නේ ය. අපේ මතකය මේ ආකාරයට වැරදී යාම අප එදිනෙදා නිතරම අත්දකිමු. කුඩයක්, මුදල් පසුම්බියක් වැනි කුඩා දේවල් බොහෝ සේ අපට අතපසු වෙයි. නමුත් අයිවන් මැග්වයර් ගේ සිද්ධිය එවැනි කුඩා අතපසුවීමක් බියකරු සිහිනයක අයුරින් මාරාන්තික බවට පත්වන ආකාරයට නිදසුනක් වෙයි. මෙය ලොව පුරා පැරෂුට් පැනීමේ යෙදෙන්නන් අදටත් සිහිපත් කරන සිදුවීමක් වන අතර එයින් පසුව පැරෂුට් ක්‍රීඩා වේ ආරක්ෂක විධිවිධාන තවත් දැඩි කරවන්නට කටයුතු යෙදුණි.

- පින්තූරය - අයිවන් මැග්වයර් ගේ කැමරාවේ අවසන් වරට සටහන්ව තිබූ දර්ශනයක්.



Saturday, April 6, 2024

තරුණයන් දෙදෙනා

 නිව් යෝර්ක් නගරයේ අඳුරු වැසීගිය පෙදෙසක හැදීවැඩුණු, එක ළඟ වසරවල උපත ලැබූ සහ යාබද නිවෙස්වල දිවි ගෙවූ කොලු ගැටවුන් දෙදෙනෙකු සිටියේය. ඔවුන් දිළිඳුම පවුල්වලට අයත් නොවුණු නමුත් ධනවත් ද නොවූහ.


එකෙකුගේ දෙමාපියන් ඉතාලි ජාතිකයින් වූ අතර අනෙකාගේ පියා ඉතාලියානු සහ මව අයර්ලන්ත ජාතික කාන්තාවක විය. වයසින් වැඩෙන කළ, ඔවුන් මාෆියා කල්ලි සාමාජිකයෝ ද, වීදිවල වුන් මැරවරයෝද සියැසින් දුටුවෝ ය. ඒවාට සම්බන්ධ වූ මිතුරෝ ද ඔවුන්ට සිටියහ. ඔවුන් ගේ ළමාවිය ගෙවී ගියේ මේ කල්ලි කණ්ඩායම් සමගිනි.

මේ කොලු ගැටවුන් දෙදෙනාගෙන් එකෙක් මුලින් නිළියකව සිට පසුව ජීවිකාව පිනිස ඇඳුම් මැසීමේ නිරත වුණු තැනැත්තියක ගේ පුත්‍රයෙකු විය. අනෙකා, තමන් සමලිංගිකයෙකු වූ නිසා තම බිරිඳව හැර ගිය චිත්‍ර ශිල්පියෙකුගේ පුත්‍රයෙකු වූ අතර ඔහුගේ මව ද චිත්‍ර ශිල්පිනියක වූවා ය. මොවුන් දෙදෙනාම තම දෙමව්පියන්ගේ 'කලාකාමී ජාන' සහ තම පියවරුන්ගේ සංක්‍රමණික අක්මුල් වෙතින් පැමිණි ගතිගුණාංගයන් උරුම කරගැනීම පුදුමයක් නොවීය. 

කොලුගැටවුන් දෙදෙනා වයසින් වැඩී තම තමන්ගේ මාවත් ඔස්සේ වෙන වෙනම පියනැගූහ. නමුත් වයස විසි ගණන්වලදී ඔවුන් දෙදෙනා නැවත මුණගැසුණි. වඩා උස, කඩවසම් අර්ධ අයර්ලන්ත ජතික තරුණයා රංගන පාසලකට ඇතුළත් වී තිබුණු අතර ඔහු දැන් නළුවෙක් වූයේ ය. ඔහුගේ නම රොබට් ඩී නීරෝ විය.

ප්‍රධාන නළුවෙකු වීමට තරම් උස මදි වුණු ඔහුගේ මිත්‍රයා ගේ නම මාටින් ස්කෝසෙසේ විය. තමන් හැදී වැඩුණු ලෝකය ප්‍රතිනිර්මාණය කර එවන් සමාජ පසුබිමකට ආගන්තුක වූ තරුණ ප්‍රේක්ෂක ප්‍රජාවක් හමුවට එය රැගෙන යාමට ස්කෝසෙසෙ ට උවමනා විය. එහි ප්‍රතිඵලය වූයේ Mean Streets. Taxi Driver. Raging Bull. The King of Comedy. Goodfellas වැනි චිත්‍රපට පෙළකි.

ස්කෝසෙසේ චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය. ඩී නීරෝ ඒවායේ රඟපෑවේය. එය අවසන් වූයේ ස්කෝසෙසේ අතිවිශිෂ්ථ ගණයේ අධ්‍යක්ෂවරයෙක්, තිර රචකයෙක් සහ ඩී නීරෝ විශිෂ්ට ගණයේ රංගවේදියෙකු බවට පත්වීමෙනි. ඔවුන් බොහෝ ආකාර වලින් සිනමාව නම් කලා මාධ්‍යය අලුතෙන් අරුත් ගන්වනු ලැබීය. ඔවුන් හැර වෙනත් කිසි කෙනෙකු නොකළ ආකාරයෙන්, මාෆියා සහ අපරාධමය චිත්‍රපට අංශයෙන් තම අනන්‍යතාවය සිනමාව තුළ පිහිටුවීමට සමත් වූහ.

~ Extracted and translated from Peter Brouwer



Tuesday, April 2, 2024

මනුසත්වග

1964 මාර්තු 13 වන දින අලුයම තුන පසුවී විනාඩි තුනක් ගත වූ තැන නිව් යෝර්ක් නගරයේ ක්වීන්ස් කිව් උද්‍යානය සමීපව රතු පැහැති ෆියට් මෝටර් රථයක් නැවැත්වීය. එයින් පිටතට පැමිණියේ මොටෝරිය පදවාගෙන ආ විසි අට හැවිරිදි කැතරින් සුසාන් ජෙනොවේස් ය. කිටී නමින් බොහෝ දෙනා දැන සිටි ඈ නිව් යෝර්ක් නගරයට ඉතා ප්‍රිය කළ නිදහස්කාමී තරුණියක වූවාය. 

ඒ රාත්‍රියේ අවට පැවතියේ තදබල සීතලකි. කිටී මෙහි ආවේ අසල මහල් නිවසක වෙසෙන ඇගේ මිතුරියක මුණගැසෙනු සඳහා ය. මෝටර් රථයේ දොරවල් වසා දැමූ ඇයට ඉදිරියට ගමන් කළ හැකිවූයේ පියවර කිහිපයක් පමණි. හදිස්සියේම ඈ වෙත එල්ල වූයේ පිහි ප්‍රහාරයකි.

"අයියෝ දෙවියනේ! මෙන්න මට පිහියෙන් ඇන්නා. මට උදව් කරන්න!!"

කිටී මරහඬ නැගුවාය. නුවරුන් සුවපහසුව නිදිගෙන සිටිනා ඒ අලුයම් යාමයේ උදව් ඉල්ලන කිටී ගෙ කටහඬ හමා ආ සුළඟේ පාවී බොඳවී ගියාද? කිසිසේත්ම නැත. අසල තිබූ මහල් නිවාසයේ වැසියන්ට ඇගේ හඬ හොඳින් ඇසී තිබුණි. ඉතින් ඔවුන් කළේ කුමක් ද? New York Times පුවත්පත වාර්තා කරන ආකාරයට මහල් නිවැසියන් 38 දෙනෙකු කිටී ගේ හඬ ඇසී අවදි වුණු අතර ඔවුන් පහන් දල්වා ජනෙල් අසලට පැමිණ යම් නාඳුනන අමුත්තෙක් යුවතියකට පිහියෙන් ඇන මරා දමනා ආකාරය චිත්‍රපටයක් නරඹන්නාසේ බලා සිට ඇත!

මෙවැන්නක් සැබවින්ම සිදුවිය හැකි ද? මිනිසුන් නිතරම විපතේ දී එකිනෙකාට උදව් කරගන්නා බව අප අත්දැකීමෙන් දනිමු. එසේ නම් ක්වීන්ස් කිව් උද්‍යානයේ සිදුවීම අප පැහැදිලි කරගන්නේ කෙසේ ද? 

මිනිස් ගති ස්වභාවයන් ගැන දාර්ශනික සංවාදය සියවස් ගණනක සිට පැවත එන්නකි. මෙහිදි වඩාත් බලපෑම් සහගත දාර්ශනිකයින් අතර 17 වන සියවසේ ජීවත් වූ තෝමස් හොබ්ස් කැපී පෙනෙයි. ඔහුගේ 'Leviathan' කෘතිය මේතාක් ලියවී ඇති විශිෂ්ටතම දේශපාලන දාර්ශනික කෘතිය ලෙස හඳුන්වනු ලබයි. මිනිස් ස්වභාවය ගැන හොබ්ස් පළකර ඇත්තේ මෙවැනි අදහසකි. මිනිසා සහජයෙන්ම බියසුළු බව, කෲරත්වය උරුම කරගත් ජීවී කොටසකි. නමුත් ශිෂ්ටාචාරය නම් තුනී පටලයකින් ඔහු තමන්ගේ අවගුණ වසාගැනීමට සමත්වී සිටින්නේය. ඉඳහිට වන යම් සිදුවීමකින් ඔහුගේ මේ ශිෂ්ටත්වයේ පටලය සිදුරුවෙයි. එවිට ඇතුළත සිටින සැබෑ සත්ත්වයා පිටතට නිරාවරණය වන්නට පටන් ගනියි. මිනිසා පිළිබඳ වඩාත් යථාර්ථවාදීම නිර්වචනය මෙය බව අද දක්වාම අතිශ්‍ය බහුතරයක් දෙනා විසින් පිළිගනු ලබයි. Game of Thrones, House of Cards වැනි රූපවාහිනී මාලා නාටක සේම බොහෝම චිත්‍රපට, සාහිත්‍ය කෘතිවලට බලපා ඇත්තේ මිනිසා පිළිබඳ මේ හොබේසියානු අදහසයි.

නමුත් සෑම කෙනෙකුම ඒකමතිකව හෝබ්ස් හා එකඟ වූයේ නැත. තෝමස් හොබ්ස් සමග දාර්ශනික ප්‍රතිවාදී සටන් බිමට පැමිණෙන්නේ ඔහුට වසර ගණනාවකට පසු බිහිවන ප්‍රංශ දාර්ශනික ජීන් ජැක් රූසෝ ය. රූසෝ පවසන්නේ කුමක් ද? මිනිසා සම්බන්ධව ඔහු කියා සිටින්නේ හෝබ්ස්ට සපුරා ප්‍රතිවිරුද්ධ අදහසයි. එනම් රූසෝ පවසන්නේ මිනිසා ස්වාභාවයෙන්ම යහපත් බව උරුම කරගෙන සිටින බවයි. නමුත් ශිෂ්ටාචාරයේ දියුණුවත් සමග ඔහු තම පැවැත්ම වෙනුවෙන් පිහිටුවාගත් ආයතනවල බල අධිකාරය විසින් මිනිසා නපුරට ඇද දමා තිබේ. ඉතිහසයේ වඩාත් නිදහස් සහ සාමකාමී දිවිපෙවතක් ගත කර ඇත්තේ මානව පරිණාමයේ මුල් යුගයේ ඵල වැල නෙලාගෙන දඩයමින් යැපුණු මිනිසුන් වන අතර ඔහු ක්‍රමයෙන් කෘෂිකාර්මික ජීවන ක්‍රමයකට යොමු වී තමන්ටම කියා බිම් කොටස් වෙන් කරගෙන වගා කරන්නට පටන් ගත්තේය. එයින් මිනිසා තුළ වූ තෘෂ්ණාව වැඩි කරන්නට හේතු විය. ශිෂ්ටාචාරයේ දියුණුව සමග වුණේ මෙය තවත් නරක අතට හැරීමයි. රූසෝ නිවැරදි බව කියන්නට ද අපට බොහෝ සාධක ඇත. ශ්‍රී ලංකාවේ වැද්දන් ලෙස අතීත මිනිසා ජීවත් වූ ආකාරයට දිවිගෙවන ප්‍රාථමික මිනිස් කණ්ඩායම් තවමත් අපට දක්නට ලැබෙයි. නමුත් ඔවුන් තමන්ගේම වර්ගයා සමූල ඝාතනය කරන්නේ නැත. තම වර්ගයාගේ හිස් මතට පරමාණු බෝම්බ අතහරින්නේ නැත. තම සහෝදර ජන කණ්ඩායම් ගෑස් කාමරවල දමා පණපිටින් පුළුස්සා මරන්නේ නැත. ඒවා කරන්නේ දියුණු අප ය. පුවත්පත්වල  පිටු පිරී තිබෙන්නේ මිනිස් කෲරකම්වලිනි. මිනිසුන් අතර තවමත් නපුර මෙලෙසින් පවතින්නේ රූසෝ කියන අයුරින් ශිෂ්ටාචාරය විසින් අපව ඒ තත්ත්වයට ඇද දැමූ නිසා ද? නැත්නම් හොබ්ස් කියන අයුරින් අප යහපත් කමේ වෙස් මුහුණු යට සැඟව තිබෙන සැබෑ ස්වභාවය එළිදරව්වීම නිසා ද යන්න විසඳා ගත යුතු ගැටළුවකි.

තවමත් තුරුණු වියේ පසුවන, ඕලන්ද ජාතික ඉතිහාසඥ රූගර් බ්‍රෙග්මාන් තම Humankind කෘතියෙන් සිදු කරනු ලබන්නේ ඉහත ගැටළුවට සැබෑම පිළිතුර කුමක්ද යන්න සොයා යාමයි. එනම් හොබ්ස් කියන ලෙස මිනිසුන් සැබවින්ම කුරිරු ද නැත්නම් රූසෝ පවසන ලෙස ඔවුන් යහපත් අය ද යන්න පිළිබඳ සියුම්ව විමර්ශණය කර බැලීමයි. මෙහෙදී, මෙම කරුණ ගැන ලොව මෙතෙක් සිදුකර ඇති වඩාත් ප්‍රකටම පරීක්ෂණ කිහිපයක් ගැන බ්‍රෙග්මාන් අවධානය යොමු කරයි. මනෝවිද්‍යාඥ පිලිප් සිම්බාර්ඩෝ ගේ "ස්ටැන්ෆෝර්ඩ් බන්ධනාගාර පරීක්ෂණය", මහාචාර්ය ස්ටැන්ලි මිලිග්‍රෑම්ගේ "කම්පන පරික්ෂාව" ඒ අතරින් කිහිපයකි. පරීක්ෂණ සියල්ලගේම පාහේ ලැබෙන ප්‍රතිඵලය එකම එකකි. එනම් මිනිස් ස්වභාවය සම්බන්ධයෙන් වඩා නිවැරැදි තෝමස් හොබ්ස් යන්නයි. නමුත් මේ පරීක්ෂණ සිදුකළ ආකාරය, සිදුකළ අය සහ ඔවුන්ගේ අරමුණු නැවත විමසා බලන බ්‍රෙග්මාන් සත්‍ය ඇත්තේ අපට මතුපිටින් පෙනෙන දෙයට වඩා බොහෝ ඈතින් බව පෙන්වා දෙයි.

මිනිසුන් සම්බන්ධයෙන් වඩාත් කළකිරෙනම සිදුවීමක් නම් දෙවන ලෝක යුද්ධයයි. මිනිසා ගැන වඩාත් කෲරතම වඩා බිහිසුණුම සිදුවීම් එහිදී සිදුවූ බව අසන්නට ලැබෙයි. හිට්ලර් විසින් තම රටේ තමන් සමගම විසූ මිලියන ගණනක් යුදෙව් ජනයා සමූලඝාතනය කරනු ලැබීම ජර්මානු ජනතාව අනුමත කළහ. එය වුණේ කෙසේ ද?? ජර්මානුවන් මෙ තරම් දුෂ්ට ජාතියක් ද?? ඔවුන්ට මානුෂික හැඟීම් නැද්ද?? යුදෙව්වන් ගැන අපට දැනෙන තරම් ජර්මානුවන්ට තම සහෝදර ජාතිය ගැන කම්පාවක් නැද්ද?? දෙවන ලෝක යුද්ධයෙන් පසුව, යුදෙව්වන් මරා දැමීමට දායක වූ නාසි හමුදාවේ ඉතිරිවී සිටි ඉහළ නිළධාරීන් නොයෙක් ආකාරයේ පරීක්ෂණවලට ලක් කෙරුණි. එයින් හෙළි වුණේ එකම එක කරුණකි. එනම් ඔවුන් ඉතා සාමාන්‍ය මිනිසුන් ය. "ඔබේ සතුරා ඔබ වැනිම කෙනෙකි" යන කියමන සැබෑවක් කරමින් ඔවුන්ගෙන් වෙනත් කිසිදු විශේෂත්වයක් දක්නට නොලැබුණි. නමුත් සාමාන්‍ය මිනිසාට පොදු වූ එක කරුණක් මෙහිදී පසක් කරගනු ලැබීය. ඒ ඔවුන් ඉතා පක්ෂපාතී අය යන්නයි. ජර්මානුවන්ගේ මානව දයාව තම ජාතියට සීමා වී තිබූ එකකි. ඔවුන් සටන් කර තිබුණේ තමන්ගේ ජාතිය වෙනුවෙනි. යුද්ධය වෙනුවෙන් ඔවුන් පොළඹවා තිබූ කාරණාව තමන්ගේ ජාතියට ඇති ආදරයයි. මෙහිදී තවත් කරුණක් හෙළිවේ. එනම් ඕනෑම නපුරු ක්‍රියාවක අවසන් ප්‍රතිඵලය යහපත් එකක් බව ඒත්තු ගැන්වූ කළ ඒවා අනුමත කිරීමට මිනිසුන් පෙලඹේ. යුදෙව්වන් සමූලඝාතනය වෙනුවෙන් හිට්ලර් ජර්මානු ජාතිකයින් සහ යුරෝපයෙ තවත් ජාතීන් නම්මවාගෙන තිබුණේ එලෙසිනි. නමුත් එක රටක් හැර. එනම් ඩෙන්මාර්කය. ඩෙන්මාර්කයෙහි ජීවත් වූ යුදෙව්වන්ට අත තබන්නට කොයිතරම් දතකෑවත් නාසිවාදීන්ට එයට ඉඩ ලැබුණේ නැත. යුදෙව් ජනතාව තමන්ගේම රටේ ව්‍යස්ථාවට අනුකූල තම සහෝදර පුරවැසියන් ය යන හැඟීම ඩෙන්මාර්ක වැසියන් තුළ සියල්ලටම අභිබවා ඉහළ නැගුණි. ඩෙන්මාර්ක ජාති‍යන්ගේ මේ අදහස නිසා ඩෙන්මාර්ක් යුදෙව්වන්ගේ ජීවිත සුරැකුණි. බ්‍රෙග්මාන් තම කෘතියේ මේ ගැන ඉතා අලංකාරව පැහැදිලි කරයි.

දේශපාලන දර්ශනයන්හි සහ ආර්ථික විද්‍යාවන්හි මූලිකවශයෙන් උගන්වනු ලබන එක් කරණක් වෙයි. එනම් මිනිසා නෛසර්ගිකවම ආත්මාර්ථකාමී සහ තම අරමුණු ඉෂ්ඨ කර ගැනීමට ඕනෑම දුෂ්ථ ක්‍රියාවක නියැලිය හැකි සත්ත්වයෙකු බවයි. වෙළඳපොළ ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේයේ ආධිපත්‍යය යන මේ සියල්ලම පදනම් ව ඇත්තේ මිනිසා ස්වාභාවයෙන්ම ආත්මාර්ථකාමී ය යන අදහස මතය. නමුත් අන් අයගෙ දුක් වේදනාවන්ට සංවේදි වීම, සාමුහිකත්වය, යහපත් ක්‍රියාවන් වෙනුවෙන් පෙළඹවීම වැනි ගුණාංග ද අප තුළ පවතින බව කිසිවෙකුට බැහැර කර නොහැකිය. එසේ නම් දේශපාලකයින්, ව්‍යාපාරිකයින් විසින් ඔවුන්ගේ බලපැවැත්ම වෙනුවෙන් මේවා දුෂ්ථ ක්‍රීඩාවන් බව අපට ඒත්තු ගන්වා තිබේද?? ගතානුගතිකත්වයට එරෙහිව, අප තුළ ඇති සාමුහිකත්වය, සාධාරණත්වට ඇති කැමැත්ත වැනි යහපත් ගුණාංග මත පිහිටා දේශපාලන, ව්‍යාපාරික ආයතන පිහිටුවා ගැනීමට තරම් සබුද්ධිකත්වයක් අත්පත් කරගැනීමට මිනිසාට හැකියාවක් ලැබී නැද්ද? මේ කෘතිය හරහා සැබවින්ම එසේ උඩුගං බලා පිහිනා ගිය කිහිප දෙනෙකු උදාහරණ වශයෙන් ගෙන මිනිසා තුළ ඇති යහපත් ගති ස්වභාවයන් කෙරෙහි විශ්වාසය තැබිය හැකි ලෙස අප ආයතන පද්ධතීන් ගොඩනගා ගත හැකි බව සාධනය කරවීම වෙනුවෙන් බ්‍රෙග්මාන් සිය පෑන මෙහෙයවයි.

මෙහිදී අප මතක තබාගත යුතු කාරණයක් වෙයි. එනම් හොඳ ට වඩා නරක අපට විශාල බලපෑමක් කරයි. කෙනෙක් අප ගැන පවසන හොඳ ට වඩා අප ගැන කියන නරක අපේ මතකයේ රැඳෙයි. නරක ආරංචි වල ප්‍රවෘත්තිමය වටිනාකම ඉහළය. ඒනිසා ලෝකය තුළ කොයිතරම් හොඳ දේවල් සිදුවුණත් මාධ්‍ය ලෝකය පිරී ඇත්තේ නරක පිළිබඳ පුවත්වලිනි. ඒ නිසා ලෝකය අයහපතින් පිරී ඇති බව කෙනෙකුට බැලූ බැල්මට පෙනීයාම වැළැක්වීමට අපහසු ය.

 Humankind මානව ඉතිහාසය යොදාගනිමින් වඩා දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් මිනිස් වර්ගයාට මග එළි පෙහෙළි කරගත හැකි වන්නෙ කෙලෙසින්ද යන්න විවරණය කරයි. එය මිනිසුන් සහ ඔවුන්ගේ චර්‍යාවන් පිලිබඳ ඇති බොහෝ දුර්මතයන් නිදසුන් සමග ප්‍රතික්ෂේප කරමින් සැබෑව වෙත කියන්නා සමීප කරවයි. එබැවින් මෙය ලොව පුරා බොහෝ දෙනා විසින් සම්භාවනාවට පත් කරනු ලැබූ කෘතියකි. ලොව ඇති මෙවන් උසස් කෘතීන් පාඨකයන්ට සමීප කරවන සුභාවි ප්‍රකාශකයින්ටත්, මේ පොත ඉංග්‍රීසි බසින් සිංහලට පරිවර්තනය කළ මංජුල කල්දේරා මහත්මාටත් "මනුසත්වග" වෙනුවෙන් පාඨකයෙකු ලෙස මගේ හද පිරි තුතිය පළ කරමි.



Thursday, March 14, 2024

වෘකයන් දෙදෙනා

සීයාකෙනක් තම මුනුබුරා එක්ක කතා කරමින් හිටියා.

සීයා මෙහෙම කිව්වා, “ජීවිතයේදී, අපි ඇතුළේ නිතරම සටන් කරන වෘකයෝ දෙන්නෙක් ඉන්නවා, එකෙක් කරුණාව, නිර්භීතකම සහ ආදරය වගේ දේවල් නියෝජනය කරන හොඳ වෘකයෙක්, අනෙකා තණ්හාව, වෛරය, බිය වගේ දේවල් නියෝජනය කරන නරක වෘකයෙක්."

මුණුපුරා නැවතිලා තත්පරයක් ඒ ගැන කල්පනා කරලා, සීයාගෙන් මෙහෙම ඇහුවා, "එතකොට උන් දෙන්නගෙන් අන්තිමට දිනන්නේ කවුද?"

"ඔයා නිතරම පෝෂණය කරන වෘකයා" සීයා උත්තර දුන්නා.
.
.

~ රතු ඉන්දියානු උපදේශ කතාවකි.




Tuesday, March 12, 2024

2023 වසරේ සිනමාව

කැලැන්ඩරේට අනුව 2023 අවුුරුද්ද ඉවර වෙලා මාස තුනකුත් දවස් කිහිපයක් ගෙවී ගිහින් තිබුණත් මගේ සිනමාලෝලී කැලැන්ඩරේට අනුව නම් 2023 ඉවර වෙන්න පටන් ගන්නෙ දැනුයි. මොකද 2023 අවුරුද්දේ ආව චිත්‍රපටි ලයිස්තුව ඇතුළෙ බලන්න ඕනම අතිශ්‍ය බහුතරයක් ඒවා බලලා ඉවර කරන්නෙ දැන් නිසා. ඉතිරි ටිකත් බලා ඉවර වෙනකම් මගෙ අවුරුද්ද අවසාන වෙන්නෙ නෑ. 2023 අවුරුද්ද සිනමාත්මකව ලොකු වැදගත්කමක් ගන්න අවුරුද්දක් කියල හිතනව. මොකද බොහෝමයක් සිනමා රසිකයන්ගේ ප්‍රියතම සහ කලා ලෝකයේ නම් දරාපු Martin Scorsese, Christopher Nolan, Yorgos Lanthimos, Ridley Scott, David Fincher වගේ නිර්මාණකරුවන්ගේ වගේම Leonardo DiCaprio, Robert De Niro, Robert Downey Jr, Ryan Gosling, Cillian Murphy, Joaquin Phoenix, Bradley Cooper, Emma Stone, Carey Mulligan, Tom Cruise, Natalie Portman, Margot Robbie වගේ අය ප්‍රධාන චරිත කරන චිත්‍රපටි මේ අවුරුද්දේ එක පෙළට මුදාහැරුණු නිසා. පහුගිය කාලවල තිබ්බ කොවිඩ් වසංගත තත්ත්වය දැන් සමනයකට පත්වීම මෙහෙම එක දිගට සිනමාපට එළියට එන්න හේතු කාරණා වෙන්න ඇති කියල මං අනුමාන කරනව. 2023 සිනමා ඉතිහාසයේ මතක හිටින වසරක් වේවි. ඉතිහාසය කොහොම වුණත් මටත් ඉතාම හොඳ සහ මං බොහෝම ප්‍රියකරන නිර්මාණ බවට පත්වුණු චිත්‍රපටි ගණනාවක් දැකගන්න ලැබුණා මේ අවුරුද්දේ. ඉතින් මෙතෙක් දුරට 2023 අවුරුද්ද වෙනුවෙන් බලපු චිත්‍රපටි කැමතිම අනුපිළිවෙළට වර්ගීකරණය කරන්න හිතුණා. මේක තනිකරම මගේ කැමැති අකමැතැතිකම් අනුව හදපු එකක් සහ මේ නම් ලයිස්තු වෙනසක් වෙන්න ඉඩ තියෙන්නෙ තවම බලන්න නොලැබුණු Godzilla Minus One,  20 Days in Mariupol, One Life සහ ඉදිරියට නිකුත්වේවි කියල හිතන Napoleon පැය 4 ක Director's cut එකෙන් පමණයි කියල අනුමාන කරනව.

***********************************************
Favorite films of the year (Top 20 - English Language)

  • - The Holdovers 
  • -  Poor Things
  • - Oppenheimer
  • - Killers of the Flower Moon
  • - The Iron Claw
  • - The Killer
  • - The Color Purple 
  • - American Fiction 
  • - All of us Strangers
  • - Saltburn
  • - Maestro 
  • - Rye Lane
  • - Flora and Son
  • - Are you there God, Its me Margaret
  • - Dream Scenario 
  • - Blackberry 
  • - May December 
  • - Air
  • - Infinity Pool
  • - Barbie 

Favorite films of the year (Top 20 - Other Languages)

  • - Anatomy of a Fall (French)
  • - Past Lives (Korean)
  • - Perfect Days (Japanese)
  • - Monster (Japanese)
  • - The Zone of Interest (German/ UK)
  • - The Promised Land (Denmark)
  • - Three of Us (Hindi)
  • - Society of the Snow (Spanish)
  • - The Taste of Things (French)
  • - The Breaking Ice (Chinese)
  • - Swathi Mutthina Male Haniye (Kannada)
  • - Fallen Leaves (Finland)
  • - Concrete Utopia (Korean)
  • - The Teachers Lounge (German)
  • - About Dry Grasses (Turkey)
  • - Four Daughters (Tunisia)
  • - 12 th Fail (Hindi)
  • - Totem (Mexico)
  • - Afire (German)
  • - Jigarthanda Double X (Tamil)

Favorite performance by an Actor in a leading
 role (Top 15)

  • - Cillian Murphy (Oppenheimer)
  • - Joaquin Pheonix (Beau is Afraid)
  • - Paul Giamatti (The Holdovers)
  • - Bradley Cooper (Maestro)
  • - Barry Keoghan (Saltburn)
  • - Andrew Scott (All of us Stangers)
  • - Zack Efron (The Iron Claw)
  • - Jerrry Wright (American Fiction)
  • - Vikrant Massey (12th Fail)
  • - Mads Mikkelsen (The Promised Land)
  • - Lee Byung-hun (Concrete Utopia)
  • - Koji Yakusho (Perfect Days)
  • - Leonardo DiCaprio (Killers of the Flower Moon)
  • - Michael Fassbender (The Killer)
  • - Nicolas Cage (Dream Scenario)

Favorite performance by an Actress in a leading role (Top 15)

  • - Emma Stone (Poor Things)
  • - Sandra Huller (Anatomy of a Fall)
  • - Carey Mulligan (Maestro)
  • - Lily Gladstone (Killers of the Flower Moon)
  • - Fantasia Barrino (The Color Purple)
  • - Leonie Benesch (The Teacher's Lounge)
  • - Ewa Hewson (Flora and Son)
  • - Julianne Moore (May December)
  • - Natalie Portman (May December)
  • - Shefali Shah (Three of Us)
  • - Penélope Cruz (Ferrari)
  • - Merve Dizdar (About Dry Grasses)
  • - Emily Blunt (Oppenheimer)
  • - Juliette Binoche (The Taste of Things)
  • - Greta Lee (Past Lives)

Favorite performance by an Actor in a supporting role (Top 5)

  • - Robert Downey Jr (Oppenheimer)
  • - Robert De Niro (Killers of the Flower Moon)
  • - Dominic Sessa (The Holdovers)
  • - Mark Ruffalo (Poor Things)
  • - Rayan Gosling (Barbie)

Favorite performance by an Actress in a supporting role (Top 5)

  • - DaVine Joy Randolph (The Holdovers)
  • - Danielle Brooks (The Color Purple)
  • - Taraji P. Henson (The Color Purple)
  • - Florence Pugh (Oppenheimer)
  • - Tilda Swinton (The Killer)

Favorite Films of the year (Top 10 - Regardless of the language)

  1. - The Holdovers 
  2. - Poor Things
  3. - Anatomy of a Fall
  4. - Past Lives 
  5. - Oppenheimer
  6. - Perfect Days
  7. - Monster
  8. - The Zone of Interest 
  9. - Killers of the Flower Moon
  10. - The Promised Land 

Image : Favorite character of the year,
Bella Baxtor (Emma Stone) on "Poor Things"



Sunday, March 10, 2024

The Taste of Things (2023)

බලන්න නෙමේ කන්න හිතෙන චිත්‍රපටි මෙව්වා.  මෙහෙම කෑම ඉවිල්ලක් නම් දැකල නැති තරම්. සම්පූර්ණයෙන්ම කෑම ඉවීම, පිළිගැන්වීම සහ රස බැලීම මත තමයි මේ කතාව ගොඩනැගෙන්නෙ. ගිය අවුරුද්දේ හොඳම විදෙස් භාෂා අංශයෙන් ඔස්කාර් සම්මානය වෙනුවෙන් තෝරාගත්‍ත කෙටි ලයිස්තුවට ප්‍රංශය නියෝජනය කරමින් මේ චිත්‍රපටය ඇතුළත් වුණා. 1800 ගණන්වල ප්‍රංශයේ විවිධාකාර කෑම වර්ග රස බැලීම ප්‍රිය කරන තරුණ වංශාධිපතියෙක් සහ ඔහුගේ ප්‍රධාන සූපවේදිනිය මේ කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ. කෑම ඉවිල්ල අතරට ප්‍රේමයත් මනුස්ස සම්බන්ධකමුත් හරි ලස්සනට රහට මුහු කරල තිබ්බා. ඒවගේම කෑම ඉවිල්ල පිටිපස්සෙ කොච්චර ලොකු ශ්‍රමයක් තියනවද කොයිතරම් ලොකු ආදරයකින් මේ වැඩේ කරන්න ඕන ද කියල පෙන්වා දෙනව. රහට ගුණට සහ දැක්කම කන්න හිතෙන ආකාරයෙන් ඉවීම විතරක් නෙමේ කෑම රස බැලීමත් එක්තරා කලාවක් බව හිතෙනවා මේක බලද්දි. 

සූපවේදිනිය ඉයුජීන් ගෙ චරිතය කරන යුරෝපයේ අග්‍රගණ්‍ය නිළි ජුලියට් බිනෝශේ මේ චිත්‍රපටයට ලොකු අවදානයක් ලැබෙන්න හේතුවුණා කියල හිතනව. ඇයත් ඇගෙ ස්වාමියා විදිහට රඟපාන ඔහුත් කාලයක් ඇත්‍තටම විවාහ වෙලා සිටි අය වීම විශේෂත්වයක්. මේකෙ පසුතල එහෙම යුරෝපයටම අනන්‍ය සෞන්දර්යෙන් පිරුණු ඒව. ෆ්‍රේම් එකක් ෆ්‍රේම් එකක් ගානෙ ඇහිපිය නොහෙලා බලා ඉන්න පුලුවන් තරම් පුදුමාකාර ලස්සනයි. යුරෝපීය කෑම වර්ග මූලිකවම  එළවලු සහ මස් මාලු වර්ග තම්බලා ඉන්පස්සෙ නොයෙක් ඒව කරල ගන්න ඒවද කියල හිතෙනව. හැබැයි මේකෙ කේක් එකක් තියනව  උඩින් වයින් වක්කරලා පස්සෙ ගිනි පත්තුකරලා කන්න ගන්න. ඒක දැක්කම කොයි ලෝකෙන් හරි හොයන් කන්න හිතෙනවා.  විශේෂයෙන්ම බඩගිනි ඇතිකරන සුළු ෆිල්ම් එකක් විදිහට මේක හඳුන්වා දෙන්න සිද්දවෙනව. 




Monday, March 4, 2024

ආයෙමත් අඩු ලකුණු

 "ආයෙමත් අඩු ලකුණු"

මෙය ලෝකයේ ඇති අනර්ඝතම සිතුවම් අතරින් එකක් ලෙස සැලෙකේ... ඒත් ඒ ඇයි?

රුසියානු චිත්‍ර ශිල්පී ෆෙඩෝර් රෙෂෙට්නිකොව් විසින් 1952 දී ඔහු විසින් නිමවන ලද මෙම සිතුවම, "ආයෙමත් අඩු ලකුණු" ලෙස නම් කළේ ය.

එහි සිටින්නේ විභාගය අසමත්වී පාසලේ සිට ආපසු එන පිරිමි ළමයෙකි. පවුලේ අය ඔහු දෙස බලන්නේ අපහාසාත්මක ආකාරයෙනි. ඔහුගේ සහෝදරයා ඔහු දෙස බලා සිටින්නේ සරදම් සිනහවක්ද සමගය. නමුත්, විභාගයට ගත් ලකුණක් ගැන නොවිමසා සුපුරුදු ළෙංගතු කමෙන් ඔහුව නිවසට පිළිගන්නේ සුනඛයා පමණි. 

මේ සිතුවම නිමැවූ කලාකරුවා ඒ ගැන කියන්නේ මෙසේ ය: “බල්ලෙක් ඔහුට සලකනවා වගේ ඔහුට සලකන්න, ඔහු සමත් වුවත්, අසමත් වුවත් ඔහු ළමයෙකු ලෙස පමණක් දැක බල්ලා ඔහුට ආදරය දක්වයි."

~ extracted and translated from "Petslover"



Friday, March 1, 2024

Poor Things (2023)

මිනිස්සු අවට ලෝකය ගැනත්, තමන් ගැනත් නිවැරැදිව තේරුම්ගන්නෙ කොහොමද කියන ගැටලුව කාලයක පටන් බටහිර දර්ශනවාදය ඇතුළේ විවාදයට ලක්වෙමින් තිබෙන කරුණක්. මේක අයිති වෙන්නෙ දැනුමේ ස්වභාවයන් සහ එහි ප්‍රභවයන් ගැන සොයාබලන, දර්ශනවාදයේ තියන ඥනවිභාගය (Epistemology) නම් ක්ෂේත්‍රයට. මෙතනදි, බටහිර දාර්ශනික සම්ප්‍රදායන් ඇතුළේ ප්‍රධාන වශයෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් දැරූ ප්‍රවාදයන් දෙකක් හඳුනාගන්න ලැබෙනව. බුද්ධිවාදී (Rational) දාර්ශනික ප්‍රවාහය මින් එකක්. මීට පක්ෂව දාර්ශනිකයන් ගෙන එන මූලික අදහස තමා මිනිස්සු දැනුම ලබාගන්නෙ තර්ක බුද්ධියෙන් කල්පනා කිරීම හරහා බව. මිනිස් චින්තාව තාර්කික පදනමකට ගොනුකර විග්‍රහ කිරීමටයි මොවුන් වෑයම් දැරුවේ. ග්‍රීක සම්භාව්‍ය දාර්ශනිකයන් වුණු සොක්‍රටීස්, ඇරිස්ටෝටල්, ප්ලේටෝ සහ ඉන් පස්සේ යුරෝපයේ ඩෙකාට් වැනි අය මේ පක්ෂයේ ප්‍රමුඛතම චරිත විදිහට හඳුනාගැනෙනවා. අනෙක් කණ්ඩායම නම් ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන සංවේදන සහ ඒවායින් ලබන් අත්දැකීම් මුල් කරගෙන මිනිසා දැනුම ලබාගන්නා බවට ප්‍රකාශ කළ අනුභූතිවාදී (Empirical) දාර්ශනිකයින්. ඔවුන් කිව්වා මනුස්සයෙක් ලෝකෙට බිහිවෙන්නෙ හරියට හිස් කඩදාසියක් වගේ කියලා. පසුකාලීනව ඔහු හෝ ඇය ලබන අත්දැකීම් අනුව, ඒ කියන්නෙ මේ ළදරුවා නම් හිස් කඩදාසියේ ලියැවෙන දේ අනුව, ඔහු හෝ ඇය කවුරුන් බවට පත්වෙනවාද යන්න තීරණය වෙන බව ඔවුන් කිව්වා. තර්ක බුද්ධිය මිනිස් දැනුමේ ප්‍රධාන මූලාශ්‍රය විදිහට නම් කළ නොහැකි බවට ඔවුන් වාද කළා. ජෝන් ලොක්, ඩේවිඩ් හියුම්, ජෝර්ජ් බාක්ලේ වැනි දාර්ශනිකයින් මේ පක්ෂයේ පුරෝගාමී චරිත විදිහට නම් කළ හැකියි. මේ දාර්ශනික සම්ප්‍රදායන් අතරට පසුව ජර්මන් ජාතික දාර්ශනික  එම්මෑනුවෙල් කාන්ට් වෙනස් අදහසක් අරගෙන ආවා. ඔහු මේ "හිස් කඩදාසියක් ආකාරයට ලෝකයට උපදින" කතාව ප්‍රශ්න කළා. ඔහු කිව්වා අත්දැකීම් ආශ්‍රයෙන් දැනුම ලබන්න නම්, අත්දැකීම් ග්‍රහණය කරගත හැකි සහ ඒවා ගැන විනිශ්චය කර බැලිය හැකි යම් පූර්ව දැනුමක් (A priori) උරුම කරගෙන මිනිසුන් මෙලොවට ඉපදිය යුතු බව. ඔහු මෙය අත්දැකීම් සීමාවෙන් එහා සිට පැවත එන කුසලතාවක් විදිහටයි නම් කරන්නෙ. කාන්ට් එක්තරා ආකාරයකට බුද්ධිවාදය සහ අනුභූතිවාදය එක් කර ඒ අතර මැද නව මාවතක් විවර කළා කියන්න පුළුවන්. දැනුම ගැන තියන මේ දාර්ශනික සංවාද පැත්තකින් තියෙද්දී, අවට ලෝකය තේරුම් ගන්න අපි ලබන අත්දැකීම් සහ අපේම බුද්ධිය කොයිතරම් වැදගත් වෙනවද කියන කරුණ ගැන ජීවිතේ ඇතුළෙන් අපිටම වටහගත හැකියි. දැන් සමාජ මාධ්‍ය අපේ ජීවිතේම කොටසක් වෙලා තියෙන හින්දා, මේවයින් අපිට ලැබෙන තොරතුරු, නොයෙක් අදහස් මතවාදවලට අපි නිරාවරණය වීම එක්ක, මේ දේවල් අපි හිතන පතන ස්වභාවය හැඩගස්වන්න සෑහෙන බලපෑමක් කරනව. අදින් අවුරුදු දහයකට කලින් හිටිය අපි සහ දැන් ඉන්න අපි අතර වෙනස හිතා බැලුවොත්, ලෝකය පිළිබඳව සහ ජීවිතේ ගැන, දේශපාලනික සහ සමාජීය කරුණු කාරණා ගැන අපි හිතන පතන දේවල් කොයිතරම් වෙනස් වෙලාද කියල අපිටම කල්පනා කරල බලන්න පුළුවන්. ජීවිතේ ඇතුළෙ සහ අපේ මනුස්ස සම්බන්ධකම් ඇතුළේ අපිට අත්විඳගන්න සිදුවන දේවල්, අපේ චරිත ස්වභාවයන් සහ අපේ සිතුවිලි හැඩගස්වන්න කොයිතරම් බලපෑමක් කරනවද කියල හරි අපූරුවට පෙන්වා දෙන සිනමාපටයක් පහුගිය 2023 අවුරුද්දේ තිරගත වුණා. ඒ තමා යෝගෝස් ලැන්තිමෝස් කියන ග්‍රීක් ජාතික සිනමාකරුවාගේ ඇමරිකානු හොලිවුඩය නිර්මාණයක් වුණු Poor Things චිත්‍රපටය. 

ලන්ඩනයේ ජීවත්වෙන එක්තරා ආකාරයක අසම්මත ජීවිත පැවැත්මක් ඇති ශල්‍ය වෛද්‍ය Godwin Baxter ට දවසක් මියයමින් ඉන්නා තරුණ ගැහැනියකගේ සිරුරක් මුණගැහෙනවා. ඇයට ජීවය දෙන්න ඔහු උත්සාහ කළත් එය සාර්ථක වෙන්නෙ නෑ. අවසානෙ ශල්‍ය වෛද්‍යවරයා එක උපක්‍රමයක් යොදවලා ඇයව නැවත පණගන්වනවා. නමුන් ඒ සිරුරේ ඉන්නෙ ඇය නොවෙයි. 
යළි පණ ලබන්නේ ජීවිතේ කිසිම අත්දැකීමක් නොලැබූ ළදරු මනසක් හිමි තැනැත්තියක්. Godwin ඇයට Bella Baxter යන නම තබනව. Bella ගේ ළදරු ක්‍රියාවන් සමීපව නිරීක්ෂණය කරන Godwin ඇය ක්‍රමයෙන්, ඇය ලබන අත්දැකීම් ආශ්‍රයෙන් යම් යම් දේ ඉගෙන ගන්නා බව දකිනවා. Godwin කොහොම වුණත් Bella ව ආදරයෙන් බලාගන්නව. Bella ත් ඔහුට ආදරෙයි. ඇය ඔහුට කියන්නේ God කියල. නමුත් Godwin, Bella ට පිටස්තර ලෝකය තහනම් තැනක් බවට පත් කරලා යි තිබෙන්නෙ. නිවසින් පිටට යන්න ඇයට ඔහුගේ අවසර හිමි වෙන්නෙ නෑ. ඇයට  යහපතක් වෙන්න තමන් ගාව ඉන්නා යහපත්ම ගති පැවතුම් ඇති වෛද්‍ය ශිෂ්‍යයෙකුට ඈව විවාහ කරදෙන්න Godwin කල්පනා කරනවා. නීතිඥ Duncan දවසක් ඔවුන්ගේ ගේ ගෙදරට එන්නෙ ඔය අතරෙයි. Bella ව Duncan ගෙ ඇස ගැටෙන්නෙ එතකොටයි. Duncan ටිකෙන් ටික Bella ට කිට්ටුවෙනවා. තමුන් මේ රට අතහැරලා පෘතුගාලයේ ලිස්බන් නුවරට යන බව කියන Duncan තමන් එක්ක එන්න Bella ට ආරාධනා කරනවා. ඒ අනුව Godwin ගෙන් මිදිලා Bella, Duncan එක්ක ලිස්බන් බලා යනව. නොවැඩුණු ළමා මනසක් තියන Bella ඇය කිසිදාක නොදැන උන්නු ලෝකයට කොහොම මුහුණදේවිද? Duncan ඇයට ඇත්තටම ආදරෙයි ද? මේ Bella Baxter කියන්නෙ ඇත්තටම කවුද?

යෝගෝස් ලැන්තිමෝස් ගේ චිත්‍රපටි බලලා තියෙන කෙනෙකුට නම් ඔහුගේ සිනමා භාවිතාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. කලින් ඔහුගේ Dogtooth චිත්‍රපටිය ගැන ලියද්දීත් ඒ ගැන සඳහන් කළා. ඔහු බොහෝමයක් වෙලාවට තමන් විසින්ම පිටපත ලියලා අධ්‍යක්ෂණය කරන නිර්මාණ කරුවෙක් වුණත් Poor Things නිර්මාණය කරන්නේ මෙනමින්ම පළ වී ඇති නවකතාවක් පාදක කරගෙන. ඔහු මේ වර්තමාන යුගයේ වඩාත් හිතුවක්කාරීම සිනමාකරුවෙක්. ඔහුගේ චිත්‍රපටි අසම්මත දර්ශන බොහෝම ඇතුළත් ඒවා. ඔහුගේ චිත්‍රපටිවල පසුතල නිර්මාණයන් සහ රෑප රාමු ගොඩ නැංවීම් සෞන්දර්යාත්මක අතින් ඉහළම තැනක තියනවා වගේම ඒවායේ පසුබිම් සංගීතය මේ චිත්‍රපටිවල අමුතු විකාර රෑපී බව ඉස්මතු කරවන ආකාරයෙන් යොදාගන්නවා. හැබැයි මතුපිට තලය ඒ ආකාරයෙන් වුණත්, ඒවායේ නිරෑපිත වෙන තේමාවන් සහ යටිපෙළ අරුත් වශයෙන් මතුකෙරෙන කාරණා ජීවිතය සම්බන්ධයෙන් ඉතා අනුවේදනීය ඒවා. ලැන්තිමෝස් ගේ සිනමාපට උපරිමෙන් විඳින්න නම් එක්තරා ආකාරයකට මේ අභූතරූපී මතුපිට ගොඩනැංවීම සහ ඒ පසුබිමේ ඇති පරස්පර අරුත තේරුම්ගැනීම අවශ්‍යයි. Poor Things පවා අපිට කියවාගන්න පුළුවන් වෙන්නේ ඒ ආකාරයටමයි. Poor Things ගැන පළවී තිබුණ ප්‍රේක්ෂක විචාරක අදහස් විමසා බැලුවම පෙනෙන්නෙ ඔවුන් එක්කො චිත්‍රපටයට දැඩිව ආදරේ කරන, නැතිනම් දැඩිව එය විවේචනය කරන ආකාරයට ධ්‍රැවීකරණය වී තිබෙන බවක්. නමුත්, අතිශ්‍ය බහුතරයක් දෙනා මේ චිත්‍රපටය සාමාන්‍ය මට්ටමෙන් සලකන්නෙ නැති බව ඒ අනුව අපිට තීරණය කරන්න සිද්දවෙනවා. ඇත්තටම Poor Things එහෙම විවේකයට විනෝදයට ඔහේ බලලා ඉවර කරන්න පුලුවන් විදිහේ කතාවක් නොවෙයි කොහොමත්. එකක් මෙහි අන්තර්ගතය තේමාවන් ගණනාවකින් අපිට කියවා ගන්න පුළුවන් බොහොම සාරවත් එකක්. අනෙක් කාරණය මෙහි රෑපමය ගොඩ නැංවීම. චිත්‍රපටයට බහුලවම යොදාගෙන තියෙන්නේ නිර්මිත පසුතලයන්. ඒවා කොයිතරම් විචිත්‍රවත්ව අවස්ථාවන්ට ගැළපෙන ආකාරයට නිර්මාණය කරලා තිබුණාද කියලා චිත්‍රපටිය බැලූ කෙනෙක් දන්නවා. 

ආදරය සහ මිනිස් සම්බන්ධ කම් ගැන කරලා තියෙන අර්ථ නිරූපණයන් එක්ක චිත්‍රපටිය කියවාගන්න අපිට තවත් මාවතක් විවර කරගන්න පුළුවන්. ආදරය මූලික වශයෙන් මිනිස් ජීවිතයේ අවස්ථාවන් තුනක් මුල්කරගෙන පවතිනවා. භෞතිකත්වය, හැඟීම් ඇතුළු සිතුවිලි කලාපය සහ ආධ්‍යාත්මය ආදි වශයෙන්. භෞතිකත්වය මුල්කරගත් ආදරය යනු ආශාවන් සංතෘප්ත කරගැනීමේ ආදරයයි. ආශාවන් ඉතා ප්‍රාථමිකයි සහ වහා ඇතිවී නැතිවී යන සුළුයි. ඒවා මත පදනම් වෙලා ජීවිතේ ගැන වැදගත් තීරණ ගැනීම ඉතාම අනතුරුදායක විදිහට අවදානම් සහගතයි. ආශාව මුල් කරගත් ආදරයත් ඒ වගෙයි. ඉන් එහා සීමාවේ තියෙන, අපි බොහෝවිට කතා කරන රොමාන්තික ආදරය පවතින්නේ හැඟීම් සහ සිතුවිලි කලාපය අතරෙයි. මෙය කෙනෙකුගේ ගති ස්වභාවය, රුචි අරුචි කම් වගේ දේවල් නිසා හදවතේ ඇතිවෙන ප්‍රසන්න හැඟීම් එක්ක හටගන්න සහ දිගුකාලීනව ජීවිතය පුරා පවතින ආදරයක්. ප්‍රේම සම්බන්ධතා බවට පත්වෙන්නෙ මෙහෙම බැඳීම්. නමුත් අයිති කරගැනීමේ ආශාව, අනෙකාට වඩා මම ඉස්මතු වීම වගේ කාරණාවන් එක්ක මේ ආදරයත් බොහෝවිට රිදවීමට ලක්වීම වළක්වන්න ඉතා අපහසුයි. තුන්වෙනි තැන තියෙන්නෙ කිසිවක් පෙරළා අපේක්ෂා නොකරන, අනෙකා වෙනුවෙන් හැකි සියල්ල ලබා දෙන ආදරයක්. මෙතැනදී අයිතිය ගැන ගැටළුවක් නැහැ, මෙතන තමාගේ පරම සතුට අනෙකාගෙ සතුටම නිසා තමන්ගේ හදවතේ ඇතිවෙන දුක්වේදනා තමා විසින්ම අවබෝධ කරගෙන ඒවා විඳදරාගන්න නිසා එයින් හානියක් වෙන්නෙ නෑ. Bella Baxter ගේ ජීවිතේදීත් ඇය මේ තුන් ආකාරයේම ආදරයන් අත්දකිනවා. මේ තුන් ආකාරයේම ආදරවන්තයින් ඇයට මුණ ගැහෙනවා. ඇය ජීවිතේ ගැන අත්දැකීම් ලබන්නේ මේ ආකාර ආදරයන් එක්ක. අර සමර විජේසිංහ මහත්මයගෙ "උගත් තරුණියගේ කවිය" මෙතනදි මතකෙට එනව.

නොසිතන් 
සබන් කැට මෙන්
ගැහැනු ගෙවෙතැයි 
පෙම්වතුන්ගෙන්

සත්‍යය පටහැනිය
පෙම්වතුන්ගෙන් ගැහැනු
වැඩෙනු මිස
ගෙවෙනු නැත

Godwin Baxter ගේ චරිතය කරන Willem Dafoe කියල තිබ්බා චිත්‍රපටයේ වේෂ නිරූපණයන් වෙනුවෙන් දවසට පැය හයක් පමණ එකම ඉරියව්වෙන් ඉන්න සිද්ධ වුණා කියල. ප්‍රධාන චරිතයක් කරන Mark Ruffalo තමන්ගේ රංනය ගැන ලොකු අතෘප්තියකින් පසුවුණු බවත් සඳහන් වෙනවා. නමුත් ඔහු නතර වෙලා ඉන්නෙ හොඳම සහය නළුවා වෙනුවෙන් ඔස්කාර් නිර්දේශයකුත් ලබලායි. Bella Baxter චරිතය කරන එමා ස්ටෝන් ගෝල්ඩන් ග්ලෝබ්වල දි වෙන්න ඕන, කියල තිබ්බ ඇය යෝගොස් ලැන්තිමෝස් යටතේ තව දුරටත් වැඩ කරන්න ඉතාම කැමැත්තෙන් ඉන්නව කියලා. ස්ටෝන් සහ ලැන්තිමෝස් සුසංයෝගයෙන් දැනට චිත්‍රපටි තුනක් හැදිල තියනව. The Favourite (2018), Poor Things (2023) සහ ඉදිරියේ තිරගත වෙන්න නියමිත Kinds of Kindness. මේ දෙන්නා අතර දැනට ඉතාම හොඳ මිත්‍රත්වයක් ගොඩනැගී තියෙන බව තමා කියවෙන්නෙ. මේ දෙන්නා දිගටම එකට වැඩ කරනවා නම් ඒක හරි අපූරු දෙයක් වේවි. මොකද හොඳ නිර්මාණකරුවෙකුට අති දක්ෂ රංගවේනියක් මුණ ගැහෙනව කියන්නෙ ප්‍රෙක්ෂකාගාරයෙ ඉන්න අපිට නම් යහපතක් වෙන වැඩක් නිසා. Poor Things වලදී ඒක හොඳින්ම දැකගන්න පුළුවන්. මෙතනදි එමා කරන රඟපෑම ඕනෑම කාලෙක දැක ගත හැකි අතිවිශිෂ්ඨතම චරිත නිරෑපණයන් අතරෙ තැබිය හැකි රංගනයක් බවයි මට දැනුණේ. ඇවිදින විදිහ කතා බහේ පටන් විකාර රූපී ළදරු මට්ටමේ සිට ක්‍රමයෙන් වැඩෙන ගැහැනියක් ඇය ඉතාම සිත්ගන්නා සුළු ආකාරයට ප්‍රතිනිර්මාණය කර තිබුණා. විශේෂයෙන් ඇය මෙහි නිරුවත් සහ ලිංගික දර්ශන නොබියව ඉදිරිපත් කිරීමට කැමති වු බව ලැන්තිමෝස් කියා තිබෙන්නෙ ඇය ගැන විශාල ගෞරවයකින්. ඉතින් 2023 වසරේ හොඳම නිළිය අංශයෙන් ඔස්කාර් නිර්දේශයක් එමා ට නොලැබුණා නම් තමා පුදුම. හොඳම නිළිය, හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළුව ඔස්කාර් නිර්දේශ 11ක් වෙනුවෙන් නාම යෝජනා ලබන්න Poor Things සමත්වෙලා තියෙනව. ඒ වගේම චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වුණු කාන්ස් සිනමා උළලේදී එහි ලබාදෙන උපරිම ත්‍යාගය Golden Lion දිනාගන්නත් Poor Things චිත්‍රපටයට හැකියාව ලැබුණා. යෝගොස් ලැන්තිමෝස් සිනමාවලියේ ඔහුගේ මෙතෙක් වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය විදිහටත් Poor Things නම් කරනු ලැබුවා. තිරගත කරලා අවුරුද්දක වගේ කාල සීමාවක Poor Things චිත්‍රපටිය ලොව පුරා විවිධාකාර සම්මාන 408 කට නිර්දේශ වෙලා ඉන් 93 ක් මේ වෙනකොට දිනාගෙන තියෙනව. මේ මාර්තු 11 වෙනිදා පැවැත්වෙන ඔස්කාර්වලින් පස්සෙ මේ ඉලක්කම් ගණන් වෙනස් වේවි. එය එහෙමම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!