Monday, June 27, 2022

මා නික්ම ගිය කළ...

යම් දිනෙක මා නික්ම ගිය කළ
ගීයක රැඳෙනු ඇත මගෙ ජීවය,
රළක් විසුරුණු විගස සයුරේ
ඉතිරිවන පෙණ පිඬු පරිද්දෙන්...

සියුම් සරයෙන් එවන් පෙණ පිඬු
මැකී යනු ඇත වහා එසැණින්,
නැහැවෙමින් හිරු කෙඳිති අතරේ
වෙරළ මත නොතබාම කිසිවක්...
.
.
.
Sara Teasdale විසින් රචනා කරනලද පැදියක් ඇසුරෙන්



Saturday, June 4, 2022

Swiss Army Man (2016)

 මිනිස්සු ෆැන්ටසිය නිර්මාණය කරගන්නෙ යථාර්ථය කියන දෙය දරාගන්න බැරි වෙනකොට. ඇත්ත ජීවිතේ තිත්ත කටුක රස පොඩ්ඩකට අමතක කරල හිතේ හැටියට ජීවිතේ ප්‍රබන්ධගත කරගන්න පුලුවන් තැනකයි මේ ෆැන්ටසි ලෝකය නිර්මාණය වෙන්නෙ. සමහර වෙලාවට අපි මේ ජීවිතේ "ඇත්ත" කාරණා ඒ විදිහටම බාර ගන්න සූදානම් නෑ. අපි ඇත්තට බය යි.  මේ විදිහට යථාර්ථයෙන් පලායන්න මිනිස්සු නොයෙක් දේවල් පාවිච්චි කරනව. නොයෙක් ජාති බීල මත් වෙලා, ඇදහිලි විශ්වාස මතවාද ඇතුළෙ ගිලිල හොයන්නෙ ඒ සැනසීම අපි. මේව එක්තරා ආකාරයක සමාජය අනුමත කරන ෆැන්ටසි කාරක විදිහට හැඳින්වුවත් වරදක් නෑ මම හිතන්නෙ. හැබැයි මේවයෙ සීමාව ඉක්මවා ගියොත් කෙනෙකුගෙ ජීවිත රටාව සම්පූර්ණයෙන්ම අවුල්වෙලා යන්න පුලුවන්. කොයිතරම් අවුල් වෙනවද කිව්වොත් මළ මිනියක් එක්ක වුණත් හිනාවෙවී කතා කරන්න පටන් ගන්නව නම්, තමන්ගෙ හිතේ පතුලේ හැංගිච්ච අදහස් මළ මිනියක් නැගිටල ඇවිත් තමන්ටම කියනව වගේ පේනව නම් ඒක සෑහෙන දරුණු විදිහට අන්තගාමී තත්ත්වයක් කිව්වකි. හෑන්ක් තොම්ප්සන් කියන තරුණයට වෙන්නෙ එහෙම වැඩක්. ඒත් හෑන්ක් මේ තරම් මනසින් අවුල් යන්න තරම් එයාට වෙන්නෙ මොකක් ද?


හෑන්ක් ගෑණුලමයෙක්ට බොහෝම තදබල විදිහට කැමැත්තක් ඇතිකරගෙන ඉන්නව. නමුත් මේ හිතේ තියන දේ එයාට කියන්න හෑන්ක් බයයි. මේ බය නිසා ආදරේ හිතේ තියාගෙන දුක් විඳල ඒකෙ ප්‍රතිඵලයක් විදිහට හෑන්ක් සාමාන්‍ය ජීවිතෙන් පලාගිහින් වනගත වෙනව. එතනදි හෑන්ක්ට යථාර්ථය සහ මනසින් මවාගන්න ෆැන්ටසිය වෙන් කරල හඳුනාගැනීමේ හැකියාව නැති වෙනව. අන්තිමට හැමදේම හොඳටම එපා වෙලා ජීවිතේ නැති කරගන්න හදන වෙලාවක එයා  දකිනව කාගෙදෝ මළ සිරුරක්. ඒ එක්කම සියදිවි නසාගන්න අදහස වෙනස් කරල හෑන්ක් මළ සිරුර එක්ක කතා කරන්න පටන් ගන්නව. ටිකකින් එයා හොයා ගන්නව මළසිරුරට  පණ තියන බව. පණ ආවත් මළ මනුස්සයෙක් හින්ද ලෝකෙ ගැන කිසිම දැනුමක් මේ මියගිය මනුස්සයට නෑ. ඒ හින්ද හෑන්ක් හැම දෙයක්ම මුල ඉඳන් එයාට කියල දෙනව. දවසක් මළ මනුස්සය හෑන්ක් ලඟ තිබ්බ සඟරාවක් පෙරළල ඒකෙ තිබ්බ පින්තූර වගයක් පෙන්නල අහනව ගෑනුලමයි කියන්නෙ කවුද කියල. එතන ඉඳන් තමා කතාවෙ සෑහෙන වෙනසක් වෙන්න පටන් ගන්නෙ. 

හෑන්ක් තොම්ප්සන් කියන නම, මේ වගේම පාලු දූපතක අතරමං වෙන මනුස්සයෙක් ගැන නිර්මාණය වුණු Cast Away චිත්‍රපටයෙ ටොම් හෑන්ක්ස් ගෙ චරිතය නිසා යොදාගෙන තියන බව තමා කියවෙන්නෙ. ඒවගේම තවත් චිත්‍රපට ගණනාවක reference මේ Swiss army man චිත්‍රපටය ඇතුළෙ දැක ගන්න පුලුවන්. Swiss Army Man මේ අවුරුද්දේ සෑහෙන ජනප්‍රියත්වයක් ලබපු Everything, Everywhere all at once චිත්‍රපටය නිර්මාණය කළ Daniel Kwan, Daniel Scheinert අධ්‍යක්ෂවරු දෙපළගේ වැඩක්. හැරී පෝටර් චිත්‍රපට මාලාවෙන් පස්සෙ Daniel Radcliffe කැපී පෙනෙන රඟපෑමක් ඉදිරිපත් කරන චිත්‍රපටයක් Swiss Army Man. මළ මිනියකට රඟපාන්න ලැබෙන එකත් Daniel Radcliffe ගෙ රංගන ජීවිතේ වැදගත් අවස්ථාවක් වෙන්න ඇති  ඒවගේම හොලිවුඩයේ නව පරම්පරාවේ නැගී එන රංගවේදියෙක් වෙන Paul Dano ගේ තවත් අපූර්ව රඟපෑමක් දැකබලා ගන්න පුලුවන්. Paul Dano මේ අවුරුද්දේ තිරගත වුණු Batman චිත්‍රපටයෙ Riddler ගේ චරිතය නිරූපණය කළා ඔබට මතක ඇති. නිසැකවම හොලිවුඩයේ හොඳම තැනකට එන්න විභවයක් තියන කෙනෙක් Paul Dano කියන්නෙ. 

Swiss Army Man ගැන කතා කරනකොට මේ චිත්‍රපටයෙ සංගීතය ගැන මොකවත් නොකියාම බෑ. මිනිස් කටහඬ බහුලව යොදාගෙන acapella ආකාරයේ සංගීත රටාවක් චිත්‍රපටයෙ යොදාගෙන තියෙන්නෙ. චිත්‍රපටය ගලාගෙන යන සැහැල්ලු විනෝදාත්මක ස්වභාවයට හොඳටම ගැලපෙන්න ඒ සංගීතය නිර්මාණය කරල තියනව. Andy Hull, ඔහු තමා චිත්‍රපටයෙ සංගීත අධ්‍යක්ෂ විදිහට වැඩකරන්නෙ. චිත්‍රපටය අවසානය කිට්ටුවෙන්න කැමරාකරුවෙකුගෙ චරිතය ඔහු රඟදක්වනව.

හෑන්ක් තොම්ප්සන් සහ මළමනුස්සය අතර ඇතිවෙන දෙබස් එක්ක ජීවිතේ සෑහෙන ගැඹුරක් නිරාවරණය වෙනව. මතුපිට හාස්‍යෝත්පාදක comedy ගතිය එක්ක ජීවිතේ ගැන දාර්ශනික කියවීමකට වුණත් යන්න පුලුවන්. ඒ තමා මේ චිත්‍රපටයෙ විශේෂත්වය. මේ දෙබස මම හිතන්නෙ ඒකට හොඳ උදාහරණයක්. 

...................................

- මොකද මම හොඳටම බය වෙච්ච, කැත , කිසිම වැදගැම්මකට නැති මනුස්සයෙක්.

- කැත නම් හැමෝම ලඟ තියනව. සමහර විට අපි මරණය කරා යමින් ඉන්න කැත ජරා ගොඩවල් විතරක් වෙන්න පුලුවන්. අපිට ඕන කරන්නෙ ඒ බව පිළිගන්න තව කෙනෙක් විතරයි. ඊට පස්සෙ මුලු ලෝකෙම නටන්න සින්දු කියන්න අධෝවාත පිට කරන්න පටන් ගන්නව. අපි හැමෝගෙම තනිකම ඒවයින් පොඩ්ඩ පොඩ්ඩ හරි නැති වෙලා යනව. 

- මැනී. ඔයා දන්නෙ නෑ ඒක කොයිතරම් ලස්සන දෙයක් ද කියල..