Tuesday, April 27, 2021

ඕනෑම සමීපබවක් තුළ යම් දුරක් පවතිනු ඇත..

 "ඕනෑම සමීපබවක් තුළ යම් දුරක් පවතිනු ඇත. එහෙත් ඒ පරතරය යහපත් එකකි. එය පවත්වාගන්න. ස්වර්ගයේ සිට හමා එන සුළංදහරක සුවදායි බව එතුළ ඇත. ඔබ යමෙකුට ආදරය කරයි නම් ඒ ආදරය සිරගෙයක් කර නොගන්නට වගබලාගන්න. ආදරය නම්, ආත්මය වෙරළ විටින් විට පිරිමදින සයුරක් බඳු විය ‍යුතුය"

- ඛලීල් ජිබ්‍රාන්



Friday, April 23, 2021

ජීවිතයෙන් විනාඩි විස්සක් හෙවත් Run Lola run (1998)

ඉපදුණු මොහොතේ පටන් මරණයකින්  කෙළවරවීම දක්වා නොනවත්වාම කරන දිවීමක් විදිහට මේ ජීවිතය අපිට හඳුන්වාදෙන්න පුලුවන්. නමුත්, අපි කොයි ආකාරයෙන් හැඳින්වුවත්, ජීවිතය කියන්නෙ නොනවතින  ප්‍රවාහයක් බව ඇත්ත. උපමාවකින් කිව්වොත් හරියට ගඟක් ගලායන්නා වගේ. නමුත් මේ ගඟේ හැඩය, ජල ප්‍රමාණය, දිය රළ නැගෙන වේගය තීරණය වෙන්නෙ ඒ ගංගාවට අතර මඟින් මුණ ගැහෙන අතු ගංගා වගේම භූමියෙහි බෑවුම, මඟ හරස් කරමින් නැගෙන ගල්පර වැනි දේවල බලපෑමෙන්. පොඩ්ඩක් හිතන්න ගංගාව ආරම්භක අවස්ථාවෙ පිහිටා තිබුණු ගල්වැටියක් එතන නොතිබුණා නම් ඒ ගංගාව වෙනත් ස්ථානයකින් මුහුදට වැටෙන්න තිබුණේ නැද්ද? ජලය නිතරම ගලායන්නෙ භූමියෙ පහත් තැනින් නම් ගංගාව කියන්නෙ ජල දහරාවක් ගලා යන්න හැකියාවක් ඇති භූමියේ පිහිටි එකම සැකැස්ම ද? භූමියෙ වෙනත් අවම තැන් පිහිටා තිබෙන්න හැකියාවක් නැද්ද? දැන් මේ කරුණ ජීවිතයට සම්බන්ධ කරල හිතුවොත් ජීවිත ගමන මේ ආකාරයට හැඩගැන්වෙන්න බලපාන හේතු සාධක වෙන්නෙ මොනවද? සමහර අවස්ථාවල අපි ගන්න තීන්දු තීරණ මේ මොහොත දක්වා අපිව රැගෙන එන්න බලපෑම් කර ඇති බව ඇත්ත. නමුත් ඒව වෙනත් කිසිම බලපෑමකට යටත් නොවී අපි විසින් ගත්ත තීරණ ද? අපිට ලැබෙන අවස්ථා, නොසිතූ විදිහට මුහුණදෙන්න සිදුවෙන සමහර සිදුවීම්. මේව සිදුවෙන්නෙ එක්තරා ආකාරයක අහඹුවකින් ද? නැත්නම් මේ අපේ දෛවය ලියවී තිබෙන ආකාරයද ?

අනාදිමත් කාලයක පටන් පෙරදිග වගේම බටහිරත් නොයෙක් චින්තකයින්, දාර්ශනිකයින් මිනිස් ජීවිතයත් විශ්වයෙ ක්‍රියාකාරිත්වයත් සම්බන්ධ කරල මේ තුල යම් යම් දේ සිදුවෙන්නෙ කොහොමද කියන කරුණ ගැන නොයෙක් ආකාරයෙ අදහස් ප්‍රකාශ කලා. දාර්ශනික සම්ප්‍රදාය මේ ප්‍රශ්නයෙදි මූලික වශයෙන් කොටස් දෙකකට බෙදෙනව. 

සියලු දේ යම් පූර්ව නිශ්චිත හේතුවකට අනුව සිදුවන බව කියන අදහස නියතිවාදය (determinism) නමින් හඳුන්වනව. යමක් සිදුවෙන්න බලපාන මුල් හේතුව නොවැලැක්විය හැකි, අනිවාර්යයෙන් සිදුවන  එනම් නියතයක් වෙන නිසා මේ තර්කනය නියතිවාදය නමින් නම් වෙන්නෙ. විද්‍යාවේ දියුණුවත් එක්ක, අයිසැක් නිව්ටන් වැනි විද්‍යාඥයන් විශ්වයෙ ක්‍රියාකාරිත්වය ගණිතමය වශයෙන් පැහැදිලි කර පුරෝකථනය දැරූ උත්සහන් නිසා මේ නියතිවාදය තව ශක්තිමත්ව වැඩුණ.

"වර්තමානය යනු අතීතයේ ඵලයයි. අනාගතය යනු වර්තමානයේ ඵලයයි. යම් බුද්ධිමතකු විශ්වයේ සියලු අංශු අතර බලයන් හා ඒවායේ පිහිටීම් දන්නේ නම් සහ ඔහුට ඒ සියලු දත්ත විශ්ලේෂණය කළ හැකි නම් ඔහුට සියල්ල කියන එක සමීකරණයක්‌ ලිවිය හැකි ය. දැන් ඔහුට විශ්වයේ ඉතා විශාල වස්‌තුවල සිට කුඩා පරමාණුව දක්‌වා හැසිරීම කොහෙත් ම අවිනිශ්චිත නො වන අතර, අනාගතය අතීතය මෙන් ම ඔහු ගේ ඇස ඉදිරිපිට දිගහැරේ."

ප්‍රංශ ජාතික විද්‍යාඥ පියරේ සිම්සන් ඩි ලැප්ලාස් ගේ මෙ ප්‍රකාශය නියතිවාදී අදහස්  තහවුරු වෙන්න සෑහෙන බලපෑව.

මිනිසුන් විසින් කරන තෝරාගැනීම් පූර්ව හේතුවකින් තොරව නිදහස් කැමැත්ත මත පදනම් ව සිදුකරන බව කියවෙන අදහස නිදහස් කැමැත්ත/ ස්වච්ඡන්දතාව  (free will)  නමින් හඳුන්වනව. මේ තර්කනයට අනුව අපි විසින් යම් ක්‍රියාවක් කරනව නම් එය කරන්නෙ කිසිම බාහිර බලපෑමකින් තොරව අපි විසින් අපේ තෝරාගැනීමෙන්මයි.

පැවැත්ම ගැන නියතිවාදී අදහස තවත් කොටස් දෙකකට වෙන් වෙනව. අභ්‍යන්තර නියතිවාදය සහ බාහිර නියතිවාදය යනුවෙන්. අභ්‍යන්‍තර නියතිවාදය නැත්නම් ජීවවිද්‍යාත්මක නියතිවාදය අනුව මිනිසාගෙ ජීව විද්‍යාත්මක සැකැස්ම ඔහුගෙ චර්‍යාවන් කෙරෙහි බලපාන ප්‍රධාන සාධකය වෙනව. කෙනෙකුගෙ ජීව විද්‍යාත්මක සැකැස්ම හැඩගැහෙන්නෙ ඔහුගෙ දෙමව්පියන් ගෙන් උරුම වන ජානමය බලපෑම මත. ඒ වගේම කෙනෙකුගෙ සිතුවිලි රටාව සකස් වෙන්නෙත් ජානමය බලපෑම මත බව තර්ක කරන ජීවවිද්‍යාත්මක නියතිවාදීන්, ඒ නිසා අභ්‍යන්තර නියතිවාදය අනුව අපි කවුරුන් විය යුතු ද කියන කාරණය උපදින මොහොතේ ම තීරණය වී ඇති, වෙනස් කල නොහැකි යමක් වෙන බව කියනව. 

බාහිර නියතිවාදය / පරිසර නියතවාදය අනුව අවට සමාජය, පවුල, සංස්කෘතිය හා සම්ප්‍රදායන් වගේ බාහිර සාධක මතයි කෙනෙකුගේ ගති පැවතුම් තීරණය වෙන්නෙ. උදාහරණ විදිහට කලහකාරී පරිසරයක හැදී වැඩෙන දරුවෙක් අවේගශීලී ගති පැවතුම්  අයෙක් බවට පත්වීම සිදුවෙනව නම් එතනදි දරුවා ආවේගශීලී පුද්ගලයෙක් වීම ඔහු කැමැත්තෙන් තෝරාගත් යමක් නොවෙයි. පරිසර බලපෑම මත ඔහුට ලැබුන දෙයක්. එය ඔහුට වෙනස් කරගත නොහැකි යමක් එනම් එය නියතයක්.

මීට අමතරව ප්‍රබේද ගණනාවක නියතිවාදී තර්කනයන් ඉතිහසය පුරා මතුවී මේ දක්වා ගොඩනැගී තිබෙනව. දේවධාර්මික නියතිවාදය නැත්නම් ඊෂ්වර නියතිවාදයේදි (Theological determinism) සියලු දේ හටගන්නා මූල හේතුව විශ්වය මවා එය පාලනය කරන සර්වබලධාරි දෙවිකෙනෙකු බව තර්ක කරනවා. සියල්ල සිදුවෙන්නෙ දෙවියන්ගේ කැමැත්ත අනුව.  පුරාතන ඉන්දියානු දර්ශනයේ මේ ඊශ්වර නියතිවාදය දැකගන්න ලැබුන. ඒ වගේම මුස්ලිම්, කතෝලික වගේ දේව වාදී ආගම්වලත් පදනම් ගොඩනැගෙන්නෙ සියලු දේ මවා සැලසුම් කරන දෙවි කෙනෙකු ගැන විශ්වාසය මත. නමුත් බැලූ බැල්මට මෙතන විශාල පරස්පරයක් තියනව. සියල්ල දෙවියන්ගෙ කැමැත්තට අනුව සිදුවෙනවනම් ලෝකයෙ මේ තරම් අයහපත් දේවල් තියෙන්නෙ කොහොමද? දෙවියන් යහපත නැත්නම් හොඳ නියෝජනය කරනව නම් නරක කියා යමක් පවතින්නෙ කොහොමද? සදාචාරය නැත්නම් යමක හොඳ නරක තීරණය කරද්දී මිනිසාට යම් තීරණ ගැනීමේ බලයක් සතුයි යන කාරණය නියතිවාදයට එරෙහිව ගොඩනැගෙන ප්‍රබල තර්කයක්. එනම් සමාජ ව්‍යවහාරය අනුව කොතන හෝ වරදක් සිදුවී ඇත්නම් (උදාහරණ සොරකම, ඝාතන) වරද කල කෙනෙක් සිටිය යුතුයි. නීතිය හමුවෙ එම ක්‍රියාවල වගකීම බාරදිය හැකි කෙනෙක් සිටිය යුතුයි. පරිසරයට හෝ ජානවලට වරද පවරා දඬුවම් කරන්න බෑ. එතනදි මේ දේවධාර්මිකයින්, දෙවියන් මිනිසා මැව්වත් උන්වහන්සේ තමන්ගේ සර්වබලධාරිත්වය පවත්වා ගනිමින් මිනිසාට තීරණගැනීමේ යම් නිදහසක් දුන් බව ප්‍රතිතර්කයක් වශයෙන් ඉදිරිපත් කරනව. 

කර්ම නියතිවාදයත් පුරාණ ඉන්දියානු ජෛන/ හින්දු ආගමික චින්තනය මත පදනම්ව ගොඩනැගුණක්. මීට අනුව සියලු දේ සිදුවෙන්නෙ කර්මය නැත්නම් පෙර කළ ක්‍රියාවක ප්‍රතිවිපාක විදිහට. හොඳ හෝ නරක කර්මයත් එහි ප්‍රතිවිපාකයත් දැනටම තීරණය වී ඇති නිසා මේ තර්ක ක්‍රමයට අනුව සිදුවන දේ බාරගන්නවා හැර කිසිවක් අපිට වෙනස් කරන්න බෑ.

හේතුඵල වාදය (Cause and effect) අනුව දැනට සිදුවෙන ඕනැම සිදුවීමක් හෝ යම් වස්තුවක් යම් හේතුවක ඵලයක් විදිහට අපට දිස්වන, සිදුවන යමක් නැත්නම් ස්වභාවික නියමයන්ගෙ අනිවාර්ය ප්‍රතිඵලයක්. මේ මුල් හේතුවත් ඊට පෙර යම් හේතුවක ඵලයක් විදිහට හටගත් යමක්. එනම් විශ්වයේ ආරම්භයෙ පටන් සිදුවෙන සියලු දේ එකකට පසු එකක් වශයෙන් නොකඩවා ගලායන සිදුවීම් දාමයක ප්‍රවාහයක්. හේතුව තුළ එහි ඵලයත් නිශ්චිතව සඳහන් වෙන නිසා එය කිසිවෙකුට වෙනස් කල නොහැක්කක්. ස්කොට්ලන්ත ජාතික දාර්ශනික ඩේවිඩ් හියුම් මේ හේතුඵලවාදයට ප්‍රතිවිරුද්ධ තර්කයක් ඉදිරිපත් කරනව. එක් සිදුවීමක බලපෑම තවත් සිදුවීමකට හේතුකාරක වෙන බව මිනිසුන් තීරණය කරන්නෙ එකකට පසු එකක් සිදුවීම් වන ආකාරය දැක පුරුද්දට මිස තර්කානුකූලව නොවන බවයි ඔහු කියන්නෙ.

පෙරදිග බිහිවුණු විශිෂ්ටතම දර්ශනයක් වගේම ලාංකික අපිට හුරු පුරුදු බෞද්ධ දර්ශනයේ මිනිස් ජීවිත පැවැත්ම වගේම විශ්ව ක්‍රියාකාරීත්වය මෙහෙයවන නියාම ධර්මයන් පහක් ගැන සඳහන් වෙනව.  බුදු දහම දේශනා කල බුදුන් වහන්සේ ජීවත්වුණු යුගයේ ඉන්දියානු ජනසමාජය  ලෝකයෙ පැවැත්ම ගැන නොයෙක් මතිමතාන්තරවලින් පිරීගිය එකක් වුණා. ඊෂ්වර නියතිවාදය, කර්මවාදය වගේ මේ සමාජයෙ පැවති අදහස් සියල්ල ප්‍රතික්ෂේප කල බුදුන්වහන්සෙ ඒ වෙනුවට ලෝකය මෙහෙයවන නියාම ධර්ම පහක් ගැන දේශනා කරනව. එනම් ඍතු නියාම - කාලගුණ විපර්‍යාසයන්, බීජ නියාම - සත්ත්ව හා ශාකවල ජීවවිද්‍යාත්මක සැකැස්ම, ධම්ම නියාම - වෙනස්කල නොහැකි ලෝක ධර්මතා (උදා - වයස්ගතවීම) චිත්ත නියාම -  ඇතිවෙන යළි බිඳී විසිරෙන සිතුවිලි, කර්ම නියාම - මනසින් අරමුණු කරගත් ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාක, මේ ආදි වශයෙන් නියාම ධර්ම පහක් බුදුදහමෙ ඇතුලත්. මේවා එකිනෙක අඩුවැඩි වශයෙන් විශ්වයෙ පැවැත්ම කෙරෙහි බලපෑම් කරනව. බුදුදහමේ අවසාන විමුක්තිය වෙන්නෙ පටිච්චසමුප්පාදය එනම් භවය ජාති ජරා මරණ ආදි දුක් හටගන්නා හේතු ඵල සම්බන්ධතාව අවබෝධ කරගැනීමත් ඒ දුක් ඇතිවීමට හේතු ක්ෂය කිරීම මගින් සසර හෙවත් මරණයෙන් කෙළවර නොවී භවයෙන් භවය යන ජීවිත පැවැත්ම කෙළවර කර නිර්වාණය පසක් කරගැනීමත් වෙනව

නියතිවාදී තර්කනයන්ගේ සමස්ත අර්ථය සාරාංශ කරගත්තොත් ඉන් කියවෙන්නෙ අපිට තෝරාගැනීමක් නැති බවත් අපේ අභිමතය අනුව කරන කියන සියලු දේ යම් පූර්ව නිශ්චිත බලපෑමක් මත සිදුවීමට නියමිත දේ මිස නිදහස් තෝරාගැනීම් නොවෙන බවත් කියන දෙය. මෙතනදි ගැටලු රාශියක් මතු වෙනව. මේ අනුව කලිනුත් සඳහන් කළා වගේ, සමාජ ව්‍යවහාරයෙදි සහ නීතිය ඉදිරිපිටදි කෙනෙක් වරදකරුවෙක් බවට පත්වෙන්නෙ නෑ. ඒ යම් කෙනෙක් නීතියට අනුව වරදක් කරනවනම් ඒ දෙය සිදුවෙලා තියෙන්නෙ ඒ පුද්ගලයාට ලැබුන සමාජ බලපෑමෙන් නැත්නම් ජානමය සැකැස්මෙන්. නැත්නම් යම් හේතුවක ඵලයක් විදිහට ඔහු ඒ තත්ත්වට පත්වෙන්නෙ. ඒ නිසා කිසිම පුද්ගලයෙකුට කිසිම දෙයක් ගැන වගකීමක් බාර දෙන්න බැහැ. නිදහස් කැමැත්ත (free will) ගැන තර්කය ගොඩනැගෙන්නෙ මේ නියතිවාදයට ප්‍රතිවිරුද්ධව. මිනිසුන් විසින් තෝරාගැනීම් කරන්නෙ නිදහස් කැමැත්ත මත පදනම්ව නිසා මිනිසුන්ට තමන් කරන ක්‍රියාවන්ගේ වගකීම බාර ගැනීමට සිදුවෙන බවයි නිදහස් කැමැත්ත පිලිබඳ තර්කයෙන් කියවෙන්නෙ. 

අපි ගෙවාදමන්නෙ සැලසුම්ගත ඉරණමක් ද නැත්නම් සියල්ල අපිවිසින් ගන්න තීන්දු තීරණ මත වෙනස් මගකට හරවා ගැනීමේ හැකියාවක් තිබුණාද කියනදෙය නිවැරදිව දැනගන්න හැබෑ ජීවිතය ඇතුලෙ නම් ලේසි නැහැ. ඒ අපි යමක් කලා නම් එය නැවත වෙනස් කල නොහැකි නිසා. කාලය ආපස්සට අරන් ක්‍රියාව වෙනස් කරන්න අපිට හැකියාවක් නෑ. නමුත් සිනමාව වගේ කලා මාධ්‍යකට හැකියාව තියනව මේ ඇත්ත ජීවිත යථාර්ථයේ සීමා මායිම් ඉක්මවල පැවැත්ම දිහා වෙනස් දෘෂ්ටිකෝණයකින් දකින්න. ජර්මානු චිත්‍රපටයක් වුණු Run lola run (1998) ජීවිතේ මුහුණදෙන සිදුවීම්වලට අපි දක්වන ප්‍රතිචාර වගේම ගන්නා තීන්දු තීරණ අපේ ජීවිත රටාව හැඩගන්වන ආකාරය ඉතාම නිර්මාණාත්මකව පෙන්වාදෙන සුවිශේෂ සිනමා කෘතියක්. 

Run lola run චිත්‍රපටයට පදනම් වෙන්නෙ එකම සිදුවීමයි. Lola නම් තරුණිය ගේ පෙම්වතාට ඩොයිෂ්මාර්ක් ලක්ෂයක මුදලක් අවශ්‍ය වෙනව. නමුත් විනාඩි විස්සක් ඇතුළත ඔහු ඒ මුදල සොයා නොගත්තොත් ජීවිතය පවා අහිමි වන අවදානමකයි ඔහු ඉන්නෙ. ලෝලාට දුරකතනෙන් අමතන ඔහු තමන්ට වුණු අකරතැබ්බය ගැන කියල ඇගෙන් උදව් ඉල්ලනව. විනාඩි විස්සක් ඇතුළත ඇය මාර්ක් ලක්ෂයක මුදලක් සොයාගෙන ඔහුට බාරදිය යුතුයි. ඇයට අපතේ හරින්න එක තප්පරයක් වත් ඉතිරි වී නෑ. ලෝලාගෙ දිවීමේ ආරම්භ වෙන්නෙ එතනින්. 

ලෝලාගෙ දිවීම ලේසි පහසු දිවීමක් නොවෙන බව ඔබට දැන් වැටහෙනව ඇති. දෙවරක් නොසිතාම ඇය කලයුතු දේ තීරණය කල යුතුයි. චිත්‍රපටයෙදි විනාඩි විස්සක කෙළවර ඇගේ දිවීම යම් තැනක අවසාන වෙනව. නමුත් චිත්‍රපටයෙ විශේෂත්වය මතු වෙන්නෙ එතැනින්. යථාර්ථ නීති අභිබවල ඇය නැවත ගමන් කරනව සිදුවීමේ ආරම්භක ස්ථානයට. පෙම්වතාගෙ ඇමතුම ලැබෙන තැනට. නැවතත් ඇය දිවීම මුල පටන් ආරම්භ කරනව. නමුත් මෙතන යම් වෙනසක් තිබෙනව. අතරමග ඇය ගන්න තීරණවල, මුණගැහෙන අය වෙත ඇය දක්වන ප්‍රතිචාර මෙවර වෙනස් වෙනව. මේ වෙනස නිසා දෙවන කාල රේඛාවෙදි ඇගෙ දිවීම අවසාන වෙන්නෙ පළමුවැන්නට වඩා හාත්පසින්ම වෙනස් තැනක. තුන් වෙනි වතාවටත් කාල රේඛාවේ මුලටම ගමන් කරන ලෝලා නැවතත් විනාඩි විස්සේ දිවීම ආරම්භ කරනව. තුන් වෙනි වතාවෙ ලෝලාගෙ ප්‍රතිචාර මුල් දෙවාරයටත් වඩා වෙනස්. ඒ නිසා තුන් වෙනි වතාවෙදි ඇය දිවීම නිමා කරන්නෙ මුල් අවස්තා දෙකටත් වඩා වෙනස් තැනක. සාරාංශයක් විදිහට Run lola run චිත්‍රපටයෙ කතාව එන්නෙ ඔය ආකාරයකට.

Run lola run එක මොහොතකටවත් දෑස් ඉවතට ගන්න නොහිතෙන ආකාරයෙ චිත්‍රපටයක්. වේගවත් බව, ඊටම ගැලපෙන සංගීතය, යථාර්ථයත් ෆැන්ටසිකත්වටත් අතර දෝලනය වෙන රූප පෙළ ගැස්ම, අවසාන මොහොත වෙන තුරු ප්‍රේක්ෂකයන් රඳවා තබාගන්නා කුතුහලය මේ අනුපානයන් සියල්ලම run lola run ඉතාම ආකර්ෂණීය සිනමා අත්දැකීමක් බවට පත්කරනව

ලෝලාගේ දිවීමේ ගමන අවසානෙ ඇය ලබන අත්දැකීම් සහ ඇය ලබන අවසන් ප්‍රතිඵලය යම් වෙනස් කල නොහැකි සාධක වගේම ඇගේම තෝරාගැනීම මත වෙනස් වෙන සාධක මත රඳාපවතින බව නිරීක්ෂණය කලහැකියි. මෙතනදි ඇය කරන තෝරාගැනීම් ඇත්තටම ඇගේ නිදහස් කැමැත්ත මත සිදුකරන ඒවාද නැත්නම් ඇය යම් බලපෑමකට යටත්ව කරන ඒවා ද කියන ගැටලුව අර ඓතිහාසික දාර්ශනික ප්‍රශ්නයම නැවත මතුකිරීමක් වෙනව. කලින් සඳහන් කලා වගේ ලෝලාගේ ජානමය ගති ලක්ෂන, ඇය ලබා තිබෙන සමාජ බලපෑම් ඇගේ තෝරාගැනීම මෙහෙයවනු ලබනව නම් මේ තෝරා ගැනීම් ඇය විසින්ම කරන ඒව බව කියන්න හැකියාවක් නැහැ. නියතවාදි සහ නිදහස් කැමැත්ත ගැන මතවාද දෙකම එක්තැනකට ගන්න Compatiblism නැත්නම් අනුකූලතාවාදී තර්කනයට අනුව මෙය හඳුන්වන්නෙ නියත බලපෑමක් යටතෙ සිදුවෙන තෝරාගැනීමක් විදිහට. උදාහරණයක් ගත්තොත් ඉතාම හදිස්සියෙ කලබලේ ලෝලා දුවන අතරෙ කෙනෙක් ඇගෙ ඇඟේ හැප්පෙනව. මෙවැනි තැනකදි ආවේගශීලී ප්‍රතිචාර දැක්වන්න ඇය ජානමය සහ පරිසර බලපෑමෙන් සකස්වී තිබෙනව කියල හිතන්න. එතකොට ඇයට ආවේගශීලී නොවීම තෝරගන්න බැහැ. එය නියතයක්. නමුත් ගමන නවත්වා අදාල පුද්ගලයා සමග කලහ කර ගැනීම හෝ ආවේග යටපත් කරගෙන නැවත දිවීම මේ තර්කනයට අනුව ඇයට තෝරාගත හැකි සීමාවකයි පවතින්නෙ. අනුකූලතා වාදයේ සාරය යම් නියත බලපෑමකට යටත්ව නිදහස් කැමැත්ත පවතින බව. ආතර් ෂෝපෙන්හවර් නම් දාර්ශනිකයා තමන්ගේ සුප්‍රසිද්ධ ප්‍රකාශයෙන්, එනම් "මිනිසෙකුට තමන් අභිමත දේ කල හැකි නමුත් ඔහුට තම අභිමත වෙනස් කරගත නොහැකියි" යන්නෙන් අදහස් වෙන්නෙ මේ කාරණය. විද්‍යාවන්ගෙ දියුණුවත් එක්ක, දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වෙන පිළිගතහැකි වගේම නිෂේධනය කල හැකි කරුණු ඔස්සේ නියතිවාදය සහ නිදහස් කැමැත්ත අතර සංවාද⁣ය තවමත් ඉදිරියට ගලා යනව. 

චිත්‍රපටය දිහාවට හැරුණොත් මේක අධ්‍යක්ෂණය කරන්නෙ Perfume, Cloud atlas වගේ ජනප්‍රියත්වයට පත්වුණු චිත්‍රපට ගණනාවක් නිර්මාණය කල Tom Tykwer නම් සිනමාකරුව. දවසක් තද රතු හිසකෙස් සහිත යුවතියක් මහමග වේගයෙන් දුවගෙන යන දර්ශනයක් දැකීම මේ චිත්‍රපටය නිර්මාණය කරන්න ඔහුට වස්තු බීජය සැපයූ බවයි කියවෙන්නෙ. ඔබ Rock සංගීතය ප්‍රිය කරන්නෙක් නම් Bon Jovi ගේ Its my life ගීතය සහ එහි රූපරචනාව හොඳින් මතක ඇති. තරුණයෙක් නිවසේ සිට බාධක මැදින් Bon Jovi ප්‍රසංගයකට දිවයන ආකාරයයි එහි දැක්වෙන්නෙ. ඒ ලෝක ප්‍රසිද්ධ ගීත රූපරචනාවට පදනම් වෙන්නෙ Run lola run චිත්‍රපටය බව ඔබ නොදැනසිටි කාරණයක් වෙන්න ඇති. කෙසේ වෙතත් අඩු වියදමකින් සහ නැවුම් සංකල්පවලින් නිර්මාණය වෙන මෙවැනි චිත්‍රපට පර්‍යේෂණාත්මක සිනමා නිර්මාණ විදිහට හඳුන්වනව. සිනමාව ගැන වැඩි දුර හදාරන කෙනෙකුට නැත්නම් සිනමාව කියන්නෙ මෙන්න මෙ වැනි කලා මාධ්‍යක් යනුවෙන් ඕනැම කෙනෙකුට හඳුන්වාදිය හැකි ආකාරයෙ චිත්‍රපටයක් Run lola run

දාර්ශනික සම්ප්‍රදායෙ එන අනිවාර්යතාව සහ අහඹු බව ගැන තර්කනය වගේම  අනෙක් අතින් අපි ජීවිතේ ගන්න සමහර තීන්දු තීරණ වල ආචාරධාර්මික බව එනම් සමාජයටත් අපිටත් ඒවා කොයිතරම් යහපත් බලපෑමක් කරනවාද යන වග ඒ තීරණ හේතු කරගෙන ලැබෙන ප්‍රතිවිපාකවලට බලපාන ආකාරයත් මේ  චිත්‍රපටයෙන් මතුකරගත හැකියි. ආචාරධාර්මිකත්වය වෙනම කතා කල යුතු විෂයක්. නමුත් සරලවම, අපිට යම් අදහසක් තියනව හොඳ හෝ නරක ගැන. සංස්කෘතිකමය වශයෙන් ලෝකයෙ හැම ජනසමාජයකම පිලිගන්න වටිනකම් ගැන අදහස් යම් පොදු තැනකට ගන්න පුලුවන්. එනම් තමන්ටත් සමාජයටත් හානියක් නොවෙන ජීවිත පැවැත්මක් යහපත් බව ඕනෑම සමාජයක පිලිගනියි කියන් කරුණ අපිට උපකල්පනය කරන්න පුලුවන්. මේ ආචාර ධර්ම බිඳවැටෙන තැන ඇතිවෙන ගැටුම්කාරී තත්ත්වන් පැවැත්මට ඇති කරන ඍණාත්මක බලපෑම සහ මේ වටිනාකම් සුරැකුණු තැන පැවැත්මට කොයි ආකාරයෙ යහපත් බලපෑමක් ඇතිවෙනවාද කියන දෙය මේ චිත්‍රපටයෙන් පෙන්වා දෙනව.

ජීවිතය නම් මේ අසීමිත පැටලුම් ගොඩ මේ චිත්‍රපටයෙදි විනාඩි විස්සකට සාරාංශ කරල කැමරාවට අල්ලගෙන තිරය මත අපේ දැස් ඉදිරිපිට මවා පෙන්වනව . දිවීම තේරුම් ගන්න නම් දිවීම මොහොතක් නවතින්න වෙනව. එතකොට දිවීම ඇතුලෙ මගහැරෙන දේවල් නැවත හොඳින් පේන්න පටන් ගන්නව. හැබැයි සියල්ලටම කලින් දිවීම මොහොතක් නතර කරන්න වෙනව. "සිනමාව" කියන්නෙ ඇත්තට එවැනි දේකට තමා.



Thursday, April 22, 2021

රාත්‍රිය සහ ශෝක බඳුන...

ක්‍රමයෙන් හිස් වන කල ශෝක බඳුන
රාත්‍රියෙහි හැඩය ගනී..
අතරින් පතර තැන තැන
මතුවෙන සතුට පෙණකැටිවල
සඳ එළිය කැබලි කැබලිව
කුඩා ආලෝක බිඳු සහසක් මැවෙයි...

කවුළුව විවර කර මම
බිත්තියෙන් එපිට ලෝකය දෙස බලමි...

අහස උරා බී ගන්නට ද මේ
තරඟයට මෙන් වැඩෙන්නෙ ගහකොල? 
නැතිනම් පොලෝ පස උරාගෙන
තුරු අග දැරූ මල් විසිතුරු ද මේ තරු?

අයාලේ යන වළාවකට 
මඟ කියයි නම් කණාමැදිරියෙක් පොඩි
මඟ කියන්නෙ කවුද ඌ හට?
කඩා වැටෙනා තරුවක් ද?

"නාසන්න මිතුරේ ඔය තරමට පැන
දරාගත නොහැකියි රාත්‍රියකට වුව
සළුපිලි ලෙහා අඳුර හා මුහුවනු මිස
කළ හැකි යන් යමක් වෙද"
කියයි මට දැන් රෑසියා අර..

කවුළුව වසා මම
හැරෙමි නැවතත් මගේ කුටියට...
කොයිතරම් දිගුවිය හැකිද රැයකට..
ශෝක බඳුනක පතුලක
කැලැත්තෙන ශේෂ කවි අතර....



Wednesday, April 21, 2021

Joji (2021)

Dark knight චිත්‍රපටයේ  හීත් ලෙජර් රඟදක්වපු සදානුස්මරණීය ජෝකර් චරිතය කියන අපූර්ව දෙබස් ඛණ්ඩයක් තියනව. "පිස්සුව කියන්නෙ හරියට ගුරුත්වාකර්ෂණය වගේ දෙයක්. ඒකට ඕන කරන්නෙ පොඩි තල්ලුවක් විතරයි" කියල. මිනිස් මනස කියන්නෙ සියලු ආකාරයෙ යහපත් වගේම අයහපත් විදිහට අපි නම් කරන සිතුවිලි සිරගතවුණු තැනක්. ඒත් මේ අයහපත් කියල හඳුන්වන සිතුවිලි සමාජය විසින් පිළිනොගන්න නිසාත් ඒව මිනිස් පැවැත්මට හානිකරයි නැත්නම් සදාචාර විරෝධී කියල හඳුන්වල තියන නිසාත් මනස ඇතුලෙ මේ සිතුවිලි යටපත්වෙලයි තියෙන්නෙ. යම් බාහිර බලපෑමක් නිසා මේ සිතුවිලි ඉතාම සියුම්ව අපි තුළින් ක්‍රියාකාරි වෙන්න හැකියාව තියනව. ජෝකර් ගෙ අර කියමන අපිට අර්ථගන්වාගන්න පුලුවන් එහෙම.

තව කෙනෙක් හෝ පිරිසක් තමන්ට උවමනා ආකාරයට පාලනය කරගන්න, නැත්නම් තමන් පිරිසක් අතරෙ තමන් බලගතු කෙනෙක් බව හිතන්න මනසට තියෙන්නෙ ඒ ආකාරයෙ පිස්සුවක්. ශේක්ස්පියර් ගේ මැක්බත් ඉඳන් ගේම් ඔෆ් ත්‍රෝන්ස් වෙනකම් කලා නිර්මාණවල, දේශපාලනිකව වගේම ජීවිතේ සම්බන්ධකම් ඇතුළෙ බලය ලබා ගැනීමේ අසීමිත ආශාව නිසා ඇතිවෙන ව්‍යාකූලත්වය පෙන්වාදී තිබුණ. මෙතනදි බලය යනුවෙන් හඳුන්වන්නෙ තව කෙනෙකුගෙ පැවැත්මට බලපෑම් කරන්න කෙනෙකුට ඇති හැකියාව. බලය ඉල්ලා සිටින්නෙ නිතරම තමන් යම් වටිනා කෙනෙක් නැත්නම් පිරිසක් අතර විශේෂ පුද්ගලයෙක් බව තහවුරු කරගන්න වෙර දරන මමත්වය. 

මැක්බත් කියවල,  නැත්නම් ඒ ආශ්‍රයෙන් නිර්මාණය වුණු චිත්‍රපට නරඹා ඇති කෙනෙක් දන්නව මැක්බත් ඔහුගෙ බිරිඳ ගෙ බලපෑමෙන් රජකම ලබා ගන්නත් පවත්වාගැනීමත් වෙනුවෙන් ඕනෑම දුෂ්ටකමක් කරන්න පෙළඹවෙන ආකාරය. ශේක්ස්පියර් ගේ අනෙකුත් නිර්මාණ වගේම මැක්බත් කියන්නෙත් ජීවිතය බොහොම ගැඹුරින් නිරූපණය කරන නාටකයක්. මැක්බත් කතාව අනුසාරයෙනුයි Joji මලයාලම් චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ.

 Kuttappan කේරළයෙ ගමක ජීවිත්වෙන ව්‍යාපාරිකයෙක්. හැඩිදැඩි පුද්ගලයෙක් වගේම ගමේ යම් බලයක් ගොඩනගාගත්ත මනුස්සයෙක්. Kuttappan ට ඉන්නෙ පුත්‍රයන් තුන්දෙනෙක් Jomon, Jason සහ Joji. දවසක් හදිස්සියෙ රෝගාතුරවෙන Kuttappan ගෙ ශරීරයෙන් අඩක් අඩපණ වෙනව. තමන්ගෙ ව්‍යාපාරික අධිරාජ්‍ය වෙනකෙකුට පවරා දෙන්න kuttappan සූදානම් නෑ. නමුත් kuttappan ගෙ පුත්‍රයන් තුන්දෙනා බලා ඉන්නෙ දේපළ බෙදෙන්නෙ කොහොමද, තමන්ට අයිති වෙන්නෙ මොනවද වගේ දේවල්. නොකිව්වත් පුතුන් තුන්දෙනාට ඕන කරන්නෙ පියාගෙ මරණය බව රහසක් නොවෙයි. මේ අතරෙ යමක් කලයුතුයි කියන මානසිකත්වයෙන් ක්‍රියාත්මක වෙන්නෙ බාල පුත්‍රයා Joji. ක්‍රමයෙන් සහ සූක්ෂමව පියාගෙ මරණය වෙන තැනට ඔහු වැඩ කරනව. දෙවනි සහෝදරයා Jason ගේ බිරිඳ Binsy මේ හැම දෙයක්ම දන්න නමුත් Joji ට තවත් අනුබල දෙනවා මිසක් ඇය ඔහුව වලක්වන්නෙ නෑ. තමන්ට කල නොහැකි දෙයක් Joji ලවා කරවාගැනීම ඇගෙ අරමුණ.  

Joji පවුලේ බාලයා. Joji ට කිසිදෙයක් හරියට කරගන්න බෑ කියන අදහස තමා පවුලේ හැමකෙනෙකුටම තියෙන්නෙ. Joji නමෙනුත් කියවෙන්නෙ පොඩි එකෙකුගෙ වගේ හැඟීමක්. තමන් නිකම්ම නිකමෙක් නොවෙන බවත් යමක් කමක් කරන්න හැකියාව තමන්ට තිබෙන බව ඔප්පු කරගැනීමේ තදබල උවමනාවක් Joji ට තිබෙන බවයි අපි මුල පටන්ම දකින්නෙ. උදාහරණ විදිහට  Joji ව තිරයෙ මුලින්ම දැකගන්න ලැබෙන, තුවක්කුව සම්බන්ධ සිද්දිය අරගන්න පුලුවන්. Jason ගෙ පුත්‍රයාට Joji බැනවැදිල තුවක්කුව තමන්ට අයිති කරගැනීමෙදි පෙනෙන්නෙ නැති බලවත්කමක් තමන්ට ආරෝපණය කරගන්න ගන්න උත්සාහය.

Joji සුපුරුදු කේරළ ගැමි ජීවිතය පසුබිම් කරගත්ත මලයාලම් චිත්‍රපටයක් වුණත් මලයාලම් සිනමාවෙ නිතර අපි අත්විඳින feel good ස්වභාවය වෙනුවට Joji චිත්‍රපටය පුරා තිබෙන්නෙ අඳුරු ගුප්තමය ස්වභාවයක්. චිත්‍රපටයෙ සංගීතයත් මේ අඳුරු බව හොඳින්ම මතුකරගන්න යොදාගෙන තිබෙන ආකාරය විශේෂයි. චිත්‍රපටයෙ තේමාව එක්ක ඒ අසුබවාදී, අඳුරු බව හොඳහැටි පෑහෙනව. 

Joji ගැන කතාකරද්දි කතා නොකරම බැරි දෙය Joji ගේ චරිතය නිරූපණය කරන Fahadh Faasil ගේ රඟපෑම. අධ්‍යක්ෂවරයෙකුට Fahadh Faasil කියන්නෙ මූර්ති ශිල්පියෙකුට මැටි පිඩක් වගේ අදාල චරිතය විසින් ඉල්ලන ඕනෑම හැඩයක් මතු කරගත හැකි නළුවෙක්. කේරළේ පමණක් නොවෙයි සමස්ත ඉන්දියාවේ ම මේ සමත්කම තියෙන නලුවන් ඉන්නෙ අල්පයයි. Faasil සැකයක් නැතිවම ඒ හැම කෙනෙකු අතරෙම ඉහළ තැනකින් තමන්ව තැබිය හැකි බව ඔප්පු කර පෙන්වා හමාරයි. Joji අධ්‍යක්ෂණය කරන්නෙ Fahadh ගේ ම රංගනයෙන් හැඩ වුණු Maheshanthi Prathikaram අද්‍යක්ෂණය කල Dileesh Pothan. තිරපිටපත ලියන්නෙ Maheshanthi Prathikaram, Kumbalangi Nights වගේ මලයාලම් සිනමාවෙ මැණික් කැට වගේ හඳුන්වන්න පුලුවන් චිත්‍රපට රචනා කල Syam Pushkaran. Fahad, Dileesh සහ Syam කියන මලයාලම් සිනමාවේ දැනට ඉන්න බලකණු තුනක මූලිකත්වයෙන් නිර්මාණය වුණු Joji ගැන බොලිවුඩ් නලුවෙක් වෙන Gajraj Rao සෑහෙන ප්‍රශංසාත්මක අදහස් කීපයක් instagram සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. මේ දකුණු ඉන්දියානු සිනමාවේ පවත්වාගන්න ගුණාත්මක බව සෑහෙන අගය කරන Rao බොක්ස් ඔෆිස් ආදායම් ඉලක්ක කරගෙන වගේම හර සුන් ප්‍රතිනිෂ්පාදන (Remake) නිසා දිනෙන් දින බොලිවුඩ් සිනමාව කඩා වැටෙමින් තිබෙන බවට චෝදනාවකුත් කර තිබුණා. Fahadh ලා ගෙන් Shyam ලා ගෙන් බොලිවුඩයට පමණක් නොවෙයි අපිටත් ඇත්තට කොයිතරම් දේවල් ඉගනගන්න පුලුවන් ද?




Tuesday, April 20, 2021

Do the right thing (1989)

බෲක්ලින් වල වීදියක අයිනෙ තිබුණ "සැල්" ගේ පීසා කඩෙන් එලියට බැස්ස කොල්ල, "හැමෝම එකතුවෙලා මේ පීසා කඩේ වර්ජනේ කරන්න ඕන, කිසි කෙනෙක් ඔය පැත්ත පළාතක යන්න එපා" කියල මග හම්බවෙන, එයා දන්න කියන හැමෝටම කිය කිය යන්න පටන්ගත්ත. "අපි පොඩි කාලෙ ඉඳංම කන්නෙ ඔය කඩෙන් නෙ බං. මොකටද ඕක වර්ජනේ කරන්නෙ. පිස්සු කතා නොකිය හිටපන්" කොල්ලගෙ යාලුවො කිව්ව. "අනේ පලයං යන්න, අපිට ඔය කඩ වර්ජනේ කර කර ඉන්නවට වඩා වැඩ තියනව" වැඩිහිටි මිනිස්සු කොල්ලට නෝන්ඩිය දැම්ම. ඒත් ඇයි මේ කොල්ලට එකපාරට "සැල්" ගේ පීස කඩේ වර්ජනේ කරන්න හිතුණෙ? මනුස්සයෙකුට හේතුවක් නැතුව නිකං එහෙම හිතෙන්නෙ නෑ නෙ. මේ පීසා කඩේ අයිතිකාර සැල්වදෝර්, කවුරුත් දන්න විදිහට කිව්වොත් "සැල්" ඉතාලි ඇමරිකානු ජාතිකයෙක්. එයාගෙ පීසා කඩේ බිත්තියක් පුරා අලවල තියනව ඇමරිකන් ඉතාලියානුවන් ගෙ පින්තූර. එසේ මෙසේ අය නෙමෙයි "රොබට් ඩී නීරෝ" "අල් පචිනෝ" "ෆ්‍රෑන්ක් සිනාට්‍රා" "සොෆියා ලොරේන්" වගේ ලෝකෙ පුරා නම තියපු ඇමරිකානු ඉතාලියානුවොයි සැල් ගෙ කඩේ බිත්තිය සැරසුවෙ. කඩේට කන්න ආව මේ කොල්ලට ඔය වැඩේ සෑහෙන ප්‍රශ්නයක් වුණා. කොල්ල කලු ඇමරිකානුවෙක්, කඩේ අවට වැඩි හරියක් හිටියෙ කලු ඇමරිකානුවො. කොල්ල සැල් ගෙ මූණට කියල දාපු වචනෙන් ම කිව්වොත් " ඉතාලි කාරයෙක් කවදාවත් මේ කඩෙන් කනව මං දැකල නෑ. මේකෙ කන තරමක් කන්නෙ කල්ලො. තමුන්ගෙ මේ බිස්නස් එක දුවන්නෙ කල්ලො නිසා. ඉතින් තමුසෙට වටින්නැද්ද එක කලු මිනිහෙකුගෙ පින්තූරයක් මේ බිත්තියෙ එල්ලගන්න" කොල්ල කියපු කතාව සැල් තදින්ම ප්‍රතික්ෂේප කෙරුව. ඒ තරහට කඩෙන් එලියට බැහැපු කොල්ල, සැල් ගෙ කඩෙන් ආයෙ කවදාවත් පීස කන්නෙපා කියල තමන් දන්න හැම කල්ලෙකුටම කිය කිය ගියා.

බැලු බැල්මට කොල්ල ජාතිවාදි අදහස් තියෙන කෙනෙක් වගේ නෙ පේන්නෙ. ඒක හැබැයි ඇත්ත. තමන් අයිති කලු ජාතිය ඇරෙන්න අනිත් හැමෝම තමන්ගෙ හතුරො වගෙයි එයාට පෙනුනෙ. අනිත් අතට සැල් ට තිබ්බ කලු ජාතිකයෙකුගෙ පින්තූරයක් බිත්තියෙ එල්ලන්න. එහෙම කලයි කියල එයාට පාඩුවක් වෙන්නෙ නෑ. හැබැයි පොඩි කොල්ලෙක් තමන්ගෙ ඉස්සරහට ඇවිත් මෙහෙම සද්දෙ දැම්මට අවුරුදු පණහක විතර ව්‍යාපාරික ලෝකෙ අත්දැකීම් තියන මනුස්සයෙක් ඒ වැඩේ කරයි කියල තාර්කිකව හිතන්නත් බෑ. ඉතින්, මොන ජාතියට මොන ආගමට අයිති වුණත් අනිත් මිනිහා එක්ක සමාදානෙන් ඉඳපල්ලා කියල  බාලාංශ පන්තියෙ පටන් ඉගෙන ගන්න, ජාති වාදයට විරුද්ධ වෙන්න ඕන කියල උදේ හවස මතුරන අපිට කොල්ලගෙ ජාතිවාදෙ සමාජෙට විහිලුවක් වෙද්දි දැනෙන සතුටු හැඟීම නම් කරන්න පුලුවන් මාර "ආතල්" එකක් විදිහට. හැබැයි ඒ "ආතල් එකට" අවසානෙ වෙන්න නියමිත මොකක්ද කියල දන්නව නම් ඔය වෙලාවෙ ඔය තරම් සතුටු නොවී ඉන්න තිබුණ. 

ඇත්තටම බැලුවොත් අපි මේ ලෝකෙ උපදින්නෙම, අපි කැමති වුණත් අකමැති වුණත්, මොකක් හරි ආගමකට ජාතියකට අයිති වෙලානෙ. තමන් උපන්න ජාතියට විශේෂ ඇල්මක් හැම කෙනෙකුටම දැන හෝ නොදැන තියනව. ඒක ලොකු ගැටලුවක් නෙමේ. අන්තිමට බැලුවම ජාතිවාදෙ කියන්නෙ කාගෙ කාගෙත් හිත් යට යන්තමට නිවි නිවී ඇවිලෙමින් තිබෙන ගිනිපුපුරකට සමාන දේකට. හොඳ හුළංපාරකට පුලුවන් ඔය ගින්න බට කැලේට ගිනි තිබ්බ ගාණට අවුලුවල ගන්න. දැන් මම මේ කතා කරන Do the right thing චිත්‍රපටයෙ අවසානෙට වෙන්නෙත් ඒක. උදේ ඇතිවුණු සතුටු හැඟීම රෑ වෙද්දි කුඩුපට්ටම් වෙලා කෑලි වත් හොයාගන්න බැරි තැනකයි නවතින්නෙ. හැබැයි ඒක නිකංම ආතල් කුඩුවීමක් නොවෙන්නෙ ඒක ඇතුලෙ අපිට ආයෙමත් අපිවම පේන්න පටන් ගන්න හින්ද.  මතක් කරනගන්න පුලුවන් නම් අප්‍රියෙල් විසි එක, දිගන තෙල්දෙණිය, දෙදාස් නමයට කලින් ලංකාව, යාපනය, අසූ තුන.. ඔය වගේ සෑහෙන දෙවල් ටිකක් මතක් කරගන්න පුලුවන් වෙයි. බෲක්ලින් වීදිය කියන්න ලංකාව විතරක් නෙමේ ලෝකෙ ඕනැම රටකට සමපාත වෙන්න පුලුවන් තැනකට.

මාටින් ලූතර් ගේ පින්තූර බෙල්ලෙ එල්ලගෙන හිටියත්, මැල්කම් එක්ස් බිත්තියෙ අලවන් දුම් ඇල්ලුවත් ඒ මිනිස්සු කියපු දේවල් වලින් අංශුමාත්‍රයක වටිනාකමක් වත් ජීවිත වල තිබ්බ නම් බෲක්ලින් වීදිය කවදාකවත් ගිනි නොගන්න තිබ්බ. හවසට බියර් බෝතලේ උගුරට හලාගෙන හීන් වෙරිය පිටම පාර අයිනෙ ඉඳගෙන උන්නු වයසක මේජර් උන්දෑ නිතරම කියන්න පුරුදු වෙලා හිටිය "කොල්ලනේ...නිතරම හරි දේ කරපල්ල" කියල. ඒත් පාරෙ හිටපු කොල්ලො ටික මේජර් උන්දෑව විහිලුවට ගත්ත මිස කවදාවත් ඒ වචන වල බරක්පතලක් ඇති බව හිතුවෙ නෑ. පාරෙ ඉන්න බීගත්ත වයසක මනුස්සයෙකුගෙ වචන කවුද ගණන් ගන්නෙ. හැබැයි එහෙම වුණා නම් පීසා කඩේ ඩිලිවරි රස්සාව කල "මූකි" දරුවෙකුට වගේ තමන්ට සලකන සැල් ට විරුද්ධව "පළමු ගල" ගහන්න කලින් තමන් මේ කරන්න යන්නෙ මොකක්ද කියල දෙතුන් පාරක් කල්පනා කරනව. (මූකි ගෙ චරිතය රඟපාන්නෙ Do the right thing ලියල අධ්‍යක්ෂණය කරන Spike Lee ම යි. එතකොට එයාගෙ වයස අවුරුදු 32 යි. මේ ලියන මගෙ දැන් වයස! පෝස්ටරේ පීසා එකක් අරන් ඉන්න කොල්ල තමා Spike Lee) 

මිනිස්සු ගොඩක් වෙලාවට වැඩ කරන්නෙ ඒ මොහොතේ දැනෙන පෙළඹවීම් මත මිස තමන් මේ කරන්නෙ මොකක්ද, මේ කරන දෙයින් ලැබෙන ප්‍රතිවිපාක කොයිවගේද කියල කිරල මැනල නෙමේ නෙ. අනික් අතට මිනිස්සුන්ට තියනව තමන් කලින් හදාගත්ත මොඩල් ටිකක්. වීරයා, ද්‍රෝහියා, තමන්ගෙ ජාතියෙ එකා, ආදරේ කරන්න ඕන දේවල්, වෛර කරන්න ඕන දේවල්.. ඒ වගේ මිනිස්සු හිතන්නෙ ඔය කලින් ලේබල් කරගත්තු ක්‍රමයකට. කවුරු නැතත් මිනිස්සුන්ගෙ මේ චින්තන රටාව දේශපාලකයින් හොඳට දන්නවා. එයාල නියම වෙලාවට නියම වචන යොදල මිනිස්සුන්ව පාවිච්චි කරනව. මිනිස්සුත් ඒ ඒ අවස්ථාව අනුව නොදැනීම දේශපාලකයන් වෙනුවෙන් පාවිච්චි වෙනව. රාජ්‍ය නමින් හඳුන්වන අධිපති යාත්‍රණය තමන්ගේ බලය පවත්වාගන්නෙ මිනිස්සු අතර තියන දෘෂ්ටිවාද හරහා. එතනදි මේ අධිපති දෘෂ්ටිය පවත්වාගන්න නම් ඊට ප්‍රතිවිරුද්ධ බලවේග අඩපණ කරලදාන්න ඕන "රාජ්‍ය මර්ධනය" කියන්නෙ මේ දෙයට තමා. මිනිස්සු අතරෙ තියන මේ ජාතික ආලය මතින් තමයි රාජ්‍ය තමන්ගෙ අධිපතිත්වය පවත්වගන්නෙ.  මිනිස්සු දේශපාලනය වෙනුවෙන් පාවිච්චි වෙනව කියන්නෙ ඒකට. ඉතින් අවසානෙ වීරයෙක් කියන්න කවුරුත් ඉතුරු වෙන්නෙ නෑ. තමන්ගෙ ජාතිය, තමන්ගෙ ආගම වෙනුවෙන් මිනිස්සු මරාගද්දි ඕක නවත්තපල්ලා ඔය වැඩේ වැරදියි කියන ටික දෙනාට ද්‍රෝහි ලේබලේ වැදිල සමාජෙන් කොන් වෙන්නයි සිද්දවෙන්නෙ. හැබැයි අන්තිමට නැව ගිලෙන්නෙ නම් හැමෝම එක්ක මිස කවුරුත් වෙන වෙනම නෙමෙයි. ග්‍රීස්ම ඍතුවේ උණුසුම්ම දවසක බෲක්ලින් වල පාරක එකිනෙකාට කිට්ටුවෙන් ජීවත් වෙන කලු ඇමරිකානු, සුදු ඇමරිකානු, ඉතාලියානු, ස්පාඤ්ඤ, කොරියන්... මෙකී නොකී ජාතින් අතරෙ ලෝකෙ හරස්කඩක් මවල කියන මේ කතාවෙන් කියන්නෙ අපි ටිකක් තර්කානුකූලව හිතල "හරි දේ" නොකර අපි ඇතුලෙ තියෙන අන්තගාමීත්වයට එලියට ඇවිත් අපිව මෙහෙයවන්න ඉඩ දුන්නොත් ඇතිවෙන අවුල කොයිතරම් දුර යන්න පුලුවන් ද කියන වටිනා පාඩම.



Monday, April 19, 2021

Pagglait (2021)

සමාජෙ කියල කියන්නෙ මිනිස්සුන්ට මේ මේ අවස්ථාවල මෙන්න මෙහෙම හැසිරෙන්න ඕන කියල රෙඩිමේඩ් නීති රීති ගොඩක් හදල දීල තියන තැනක්. හැබැයි මේව පොත්පත්වල කොහෙවත් ලියල නැහැ. පන්ත සම්මත කරල කවුරුත් අණකරල නෑ. මේව ව්‍යවහාරයෙන්ම මිනිස්සු අතරෙන් එන සංස්කෘතිකවම උරුමවෙන දේවල්. නමුත් කෙනෙක් මේවට අනුගත නොවෙනකොට සමාජෙම ඒ මනුස්සය දිහා අමුතු ඇහැකින් බලන එකයි සිද්දවෙන්නෙ. පොඩ්ඩක් හිතන්න, විවාහ  වුණු අළුත ගැහැනියකගෙ ස්වාමියා මිය යනව. නමුත් ඇය අඬන්නෙ නෑ. ඇයට ලොකුවට දුකක් දැනෙන බවක් පේන්න නෑ. ඉතින් සමාජයක් මේ වගෙ ගැහැනියක් දිහා බලන්නෙ කොහොමද. සංස්කෘතිය, සම්ප්‍රදාය, පවුල වගේ දේවල් වලට දැඩිව බැඳුනු ආසියාතික සමාජෙ අතුලෙ තත්ත්වය තවත් බරපතළයි. සම්ප්‍රදායට පිටින් හිතනව කියන්නෙ ඒ පුද්ග්ලය "පිස්සෙක්" බවට ලේබල් වෙන එක වළක්වන්න බෑ. හැබැයි මේ ගතානුගතිකත්වයෙ පීඩනයෙන් ගැලවෙන්න නම් මේ පිස්සුව අනිවාර්යයෙන් බාරගන්න වෙනව.  Pagglait එහෙම සම්ප්‍රදාය සීමාවන් ඉක්මවා යන ගැහැනියකගෙ කතාවක්. 

බලන්න නම් ලොකුම හේතුව සාන්‍යා රංගනයෙන් දායකවෙන චිත්‍රපටයක් වීම. මෙතුවක් ඇය ප්‍රේක්ෂකයන්ගෙ බලාපොරොත්තු කඩකර නැහැ. සාන්‍යා ඉන්නව නම් අනිවාර්යයෙන් හොඳ චිත්‍රපටයක් වෙන්න ඕන කියන මතය මෙතනදි ඇය සනාථ කරනව. මම හිතන්නෙ මේ අවුරුද්දට අදාළව හොඳම රංගනයක් වේවි. ඒ වගේම නූතන හින්ද සිනමාවේ රෝමාන්තික හඬ "අරිජිත් සිං" ගේ පළමු සිනමා සංගීත අධ්‍යක්ෂණය. පළමු චිත්‍රපටයෙන්ම සාර්ථකත්වට ලංවෙන්න ඔහුට හැකියාවක් ලැබුණ කියල හිතනව. බොලිවුඩ් සිනමාව කිව්වම අපිට මැවෙන්නෙ නැටුම් ගැයුම් පිරුණු විචිත්‍රවත් සිනමාවක්. ඒ අනවශ්‍ය සැරසිලි වලින් මිදිල සැබෑ ජීවිත යථාර්ථයන් ඒ ආකාරයෙන් පෙන්වාදීම Pagglait චිත්‍රපටය සුවිශේෂම සිනමා නිර්මාණයක් බවට පත්කරන ප්‍රධානම සාධකයක් වෙනව.



Wednesday, April 7, 2021

මල් පිපෙන හීන

කාට හෝ උණුසුම පිණිස
ගිනිගෙන දැවෙද්දිත් මුළු සිරුර
මේ ඉපල් අතු ඉති තවම
දකින හැටි මල් පිපෙන හීන.