Saturday, May 29, 2021

Nostalgia (1983)

17 වෙනි සියවසේ අග ස්විස් ජාතික වෛද්‍ය ශිෂ්‍යයෙක් වුණ Johannes Hofer යුරෝපයේ අනෙක් රටවලට කුලී හේවායන් විදිහට සේවයට යන ස්විස් සෙබළුන් තුල ඇතිවී තිබුණ අමුතුම රෝගයක් ගැන සොයාගන්නව. භෞතික වශයෙන් වෙනත් කිසිම දුර්වලතාවක් නොපෙන්වූ සෙබලුන් හිටි ගමන් දැඩි වෙහෙසට පත්වන බවක් පෙන්වූවා. ඒ වගේම නින්ද නොයෑම, හද ගැස්ම අසාමාන්‍ය ආකාරයට ඉහළයෑම, සාංකාව, අහේතුකව නිතර ශෝකයෙන් පසුවීම, උණ වැනි තත්ත්වයන් ඔවුන් තුළින් Johannes ට නිරීක්ෂණය කරන්න ලැබුණ. නමුත් මීට නිශ්චිත හේතුවක් ඔහුට සොයාගන්න ලැබුණේ නෑ. මේ රෝගී තත්ත්වය හටගත් සියලු දෙනාම වගේ ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකරයේ ඈත ගම්මානවල ගොවිතැන් වල යෙදෙමින් සිටි අය. දිගුකාලයක් තමන්ට හුරුපුරුදු පරිසරයෙන් ඈත්ව වාසය කරන්න සිදුවීමෙන් ඇති වුණු යම් මානසික බලපෑමක් නිසා ඔවුන් මේ ආකාරයෙන් රෝගී වෙන්නට ඇති බව අනුමාන කරන  Hoffer, මේ තත්ත්වය ගැන තමන්ගේ වෛද්‍ය නිබන්ධනයට ඇතුළත් කරනව. ග්‍රීක් භාෂාවෙන් "Nostos - නැවත ගෙදර ඒම" සහ "algia - රෝගය" යන පද දෙක එකතු කර "ගෙදර යෑමේ රෝගය" හෙවත් Nostalgia නමින් ඔහු මෙය නම් කලා. Nostalgia ව වැළඳුනු සොල්දාදුවන්ව හමුදාවෙන් බැහැර කිරීමට සිදුවුණා. නැවත ගම් බිම් බලා ගිය පසු ඔවුන්ගේ රෝග සුව වුණු බවයි වාර්තා වී තිබුණෙ. මේ නිසා හමුදාව තුළ ස්විස් ජාතික ගැමියන්ට තමන් උපන් ගම්බිම් සිහිගන්වන ඔවුන්ගේ ජන ගීත ගායනා කිරීමත් තහනම් වුණා. 17 - 18 සියවස්වල යුරෝපීයයන් බොහෝවිට දේශගවේෂණවල යෙදුණ. ඈත පෙරදිග රටවල් යටත් කරගනිමින් අධිරාජ්‍ය ගොඩනැගුවා. ඔවුන්ගේ ජනාවාස ව්‍යාප්ත කලා. මේ ආකාරයට තමන්ගේ උපන් බිම් වලින් බැහැරවීමට සිදුවූවන් බොහෝවිට නොස්ටැල්ජියාවෙන් පීඩාවිඳි බව ඔවුන් තබාඇති සටහන් ආශ්‍රයෙන් සොයාගෙන තිබෙනව.

 19 සියවස මුල් භාගයේදී Nostalgia ව පිළිබඳ නිර්වචන සහමුලින් වෙනස්වුණා. එය   මානසික අවපීඩනය (Depression) විෂාදය (melancholia) වැනි දිගු කාලීන අයහපත් ප්‍රතිවිපාක ඇතිකරන මානසික අසමතුලිතතාවක් බව පිළිගැනුනා. නමුත් ඒවන විටත් මෙය හඳුනාගෙන තිබුනේ දුරබැහැරව වාසය කිරීමෙන් නිවස අහිමිවීම නිසා ඇතිවන අඳුරු මනෝභාවයකට සමාන තත්ත්වයක් විදිහට (Homesickness). 1979 දි සමාජ විද්‍යාඥයෙක් වුණ Fred Davis මේ Nostalgia ව හුදු නිවසින් ඈත්වීමට වඩා අතීතයෙ යම් කාලයකට, අත්විඳින්නට ලැබුණ යම් ප්‍රසන්න අත්දැකීමකට, ළමා විය ගෙවු ආකාරයට තියෙන සුවිශේෂ බැඳියාවක් බව පෙන්වා දුන්නා. අද Nostalgia ව හඳුන්වන්නෙ මේ වැනි පුළුල් අර්ථයකින්. 

ලෝක සිනමාවේ රුසියන් කවියා විදිහට හඳුන්වන Andrei Tarkovsky තමා උපන් රුසියන් භූමියෙන් පිටත නිපදවන පළමු සිනමා නිර්මාණය නම් කරන්නේ Nostalgia නමින්. 1979 දි ඔහු 18 වන ශතවර්ෂයේ රුසියාව පසුබිම් කරගෙන The first day නම් චිත්‍රපටයක් නිර්මාණය කරන්න සූදානම් වුණා. චිත්‍රපටයක් නිර්මාණය කරන්න නම් රුසියන් සිනමා කමිටුවට (Goskino) එහි පිටපත ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතුව තිබුණා. මෙතැනදි Tarkovsky චිත්‍රපටයට අනුමැතිය නොලැබීයාම වළක්වාගන්න එහි තිබුණ ආගම් විරෝධී තේමාවක් ඇතුළත් දර්ශන කීපයක් ඉවත් කර පිටපත අනුමැතිය සඳහා යොමු කලා. ඒ පිටපතට සිනමා කමිටුවේ අවසර ලැබුණ නමුත් චිත්‍රපටයෙ රූගතකිරීම් අඩක් නිමවී තිබෙද්දී, මේ නිර්මාණය වෙන්නෙ තමන්ට ඉදිරිපත් කල පිටපතේ තිබුණු ආකාරයට වඩා වෙනස් චිත්‍රපටයක් බව දැනගත් සෝවියට් සිනමා කමිටුව, The first day චිත්‍රපටය රූගත කිරීම තහනම් කලා. එයින් කෝපයටපත් Tarkovsky මෙතෙක් චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කල සියලු දේ විනාශ කර දමා රුසියාවෙන් පිටවී ඉතාලිය බලා ගියා. ඉතාලියේදි Tarkovsky තමන්ගේ මිත්‍ර Tonino Guerra සමග එකතුවෙලා Nostalgia තිරපිටපත රචනා කරනව. ඉතාලියේදි  ගෙවූ විප්‍රවාසී ජීවිතය තුළ තමන් උපන් රුසියානු භූමිය පිළිබඳ ඇතිවුණු අතීතකාමී හැඟීම් මේ චිත්‍රපටයට Tarkovsky තේමා කරගන්නව. 1983 වසරෙදියි අවසානෙ Nostalgia චිත්‍රපටය තිරගතවෙන්නෙ.

චිත්‍රපටයෙ කේන්ද්‍රීය චරිතය නම් Andrei Gorchakov. ඔහු රුසියානුවෙක්, වගේම කවියෙක්. Andrei කලක් ඉතාලියේ ජීවත් වූ රුසියන් සංගීතඥයෙකු ගැන සොයමින් රුසියාවේ සිට ඉතාලියට පැමිණෙනව. ඔහුගේ ඉතාලි භාෂා දැනුම දුර්වල නිසා Eugenia නම් සුරූපී භාෂා පරිවර්තිකාව සමඟයි ඔහු පැමිණෙන්නෙ. Domenico මේ දෙදෙනාට මුණගැසෙන අමුතු ආකාරයෙ පුද්ගලයෙක්. සාමාන්‍යයෙන් සමාජ ව්‍යවහාරය අනුව නම් Domenico මානසික රෝගියෙක්. මොකද ඔහු සිතන පතන ආකාරය, ඔහු කරන දේ, සාමාන්‍ය මිනිසෙකුගේ ආකාරයෙන් බොහොම ඈතයි. මේ තුන් දෙනා වටායි චිත්‍රපටය ගොඩනැගෙන්නෙ. කලින් සඳහන්කලා වගේ, මාතෘ භූමියෙන් බැහැර වීමේ අතීතකාමී හැඟීම, පවුල සහ ආදරණීයයන් ගෙන් ඈත් වීමේ සාංකාභරිත මනෝභාවයන් චිත්‍රපටය ඇතුළෙ මතුවෙනව. මිනිසා තමන්ට කරදර විපත් පැමිණෙන මොහොතේ සරණ පතා යන්නෙ ආගම හමුවට. සැබෑවට ආගමෙන් මිනිසාට ඔහු පතන විමුක්තිය ලැබෙනවාද යන ප්‍රශ්නය චිත්‍රපටය තුළින් ඉතා සියුම්ව විමසා සිටිනව.

සාමාන්‍යයෙන් Tarkovsky ගේ චිත්‍රපට තේරුම් ගැනීමට අපහසු ඒවා බවයි පිළිගැනෙන්නෙ. ඊට හේතුවක් තිබෙනව. අපි යම් සිදුවීමක් තේරුම් ගැනීමට හුරුවී සිටින්නේ ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, එකිනෙක සම්බන්ධ සිද්ධිදාමයක් විදිහට. චිත්‍රපටයක් තුළින් යම් අරුතක් ජනනය කරගැනීමේ සමෝධානිත (Montage) සංස්කරණ රීතිය භාවිත වෙන්නෙ මේ ආකාරයට. එනම් එක් රූප රාමුවක් සහ ඊට අසම්බන්ධිත තව රූප රාමුවක් එක ලඟ, එකකට පසු එකක් වශයෙන් භාවිතාකිරීම මඟින් තුන් වන බලවේගය විදිහට යම් අරුතක් ජනනය කරගැනිමයි මෙතනදි සිද්දවෙන්නෙ. නමුත් Tarkovsky මේ සංස්කරණ රීතිය බැහැර කලා. ඔහු බොහෝ විට රූපරාමුව ජේදනය නොකර, එකම රාමුව තුල අසම්බන්ධිත වස්තුන් යම් ඉන්ද්‍රජාලමය ස්වරූපයකින් ස්ථානගත කිරීමෙන් වඩා භාවමය අරුතක් ජනනය වන ආකාරයට චිත්‍රපට නිර්මාණය කලා. උදාහරණයක් විදිහට Nostalgia චිත්‍රපටයෙ Andrei සහ Eugenia ඉතාලිය බලා ගමන් කරද්දි Eugenia අතරමග දේවස්ථානයක් දැක  වාහනය නවත්වා එය නැරඹීමට පිටවී යනවා. නමුත් Andrei ඇය සමග යන්නේ නැහැ. ඔහු වාහනය අසල නතර වෙනව. එතැනදි ඔහු හිස මතට කුරුලු පිහාටුවක් පාවී ඇවිත් කඩා වැටෙනව. Andrei බිම වැටුණු පිහාටුව අහුලාගන්නව.  ඒ සමගම පිටුපස බලන ඔහු දකින්නෙ ඔහුගේ බිරිඳ, දරුවන් සහ ගම්බද නිවාසය. මේ සියලු දේ දකින්න ලැබෙන්නෙ ඡේදනය නොවූ එකම රූප රාමුවක. Tarkovsky ගේ සිනමා භාෂාව එවැනි එකක්. ඔහු තමන්ගේ ස්වයං ලිඛිත චරිතාපදානය වන Sculpturing in time කෘතියේදී ඒ ගැන මෙහෙම සඳහන් කරනව.
.
.
මම එකින් එක බැඳුනු සිද්ධි දාමයක් ලෙස තිර පිටපත ගොඩනැංවීම ගැන උනන්දුවක් නොදක්වමි. ඒ වෙනුවට මම මිනිසෙකුගේ ඇදහිලි, විශ්වාසයන්, සංස්කෘතික බලපෑම් මත ගොඩනැගෙන ඔහුගේ ඇතුළාන්ත ලෝකය ප්‍රතිනිර්මාණය කිරීම ගැන වඩා උනන්දු වෙමි. තාර්කිකව සම්බන්ධ යම් පුවතක් නිර්මාණය කිරීම ආර්ථිකවශයෙන් වඩා වාසිදායක බව මම දනිමි. නමුත් මම කිරීමට උත්සාහ කරන දෙය එයින් වෙනස් වූවකි. මම මගේ සිනමාපට නිර්මාණය කිරීමේදී මිනිසුන්ගේ ඇතුළාන්තය නිරාවරණය කිරීමට වඩාත් උනන්දු වෙමි. මිනිසෙකු තුළ සමස්ත විශ්වයම සැඟව පවතී. ජීවිතයේ අරුත් සොයා අන් කිසිවක් සොයා යා යුතු නැත. එය මිනිසා තුළම පවතී. මේ මිනිස් ඇතුළාන්තය බොහෝ දෑ සිදුවන කැන්වස් තලයක් මෙනි.
.
.
තවදුරටත් ඔහු තම චරිතාපදානයේ තමන්ගේ සිනමාව ගැන මෙහෙම සඳහන් කරනව.
.
.
Nostalgia චිත්‍රපටයෙදි මා හට දුර්වල මිනිසෙක් නිරූපණය කිරීමට අවශ්‍ය වූයේය. නමුත් ඔහු දුර්වලයෙකු වශයෙන් හඳුන්වනු ලැබුවේ බාහිර සමාජය විසින් මිස ඔහු තමාගේම ජීවිතය තුළ දුර්වලයෙක් ලෙස මා දකින්නේ නැත. හුදු පිටස්තර සමාජය වෙනුවෙන් තමන්ගේ සැබෑ ස්වරූපය වෙනස් නොකරගන්නා මිනිසුන්ට මම කැමැත්තක් දක්වමි. මගේ චිත්‍රපට වල වීර චරිත දක්නට නොලැබේ. ඒවෙනුවට ඔවුන්ගේ ශක්තිය රඳා පවතින්නෙ ඔවුන්ගෙ ඇතුළාන්ත අවබෝධය තුළය. ඔවුන් තමන් ගෙන් අනෙක් අයට සිදුවිය යුතු වැඩකොටස ගැන වදවෙයි. ඔවුන් කුඩා දරුවන් වැනිය. බාහිරින් නිරීක්ෂණය කරන කල ඔවුන් දැකගන්නට ලැබෙන්නේ අතාර්කික, නිතරම සිහින දකින සහ මමත්වය අතහැරි අය ලෙසය. 
.
.
මේ සිනමාවේදියාගේ දැක්ම කොයි ආකාරයෙ එකක් ද යන කාරණය ගැන ඔබට යම් අදහසක් එයින් ලැබෙන්න ඇති. මේ ආකාරයෙන් සිද්ධිවාචක ස්වරූපයෙන් බැහැරව, හැඟීම් ම‍තුවන, සෞන්දර්ය පිරි රූපරාමු ගොඩනැංවීම මගින් යම් අරුතක් දැනවීමයි ඔහු තමන්ගේ මූලික කාර්‍ය විදිහට සැලකුවේ. ඒ නිසාම ඔහුගේ චිත්‍රපට රූපමය සෞන්දර්ය උතුරායන නිර්මාණ විදිහට හඳුනා ගන්න පුලුවන්. කවියේ ස්වභාවයත් මේ ආකාරයි. කවියක වචනයෙන් වචනය වෙන් කර තාර්කිකව ඒ අතර සම්බන්ධයක් සොයන්න උත්සාහකිරීමෙන් කිසිදාක කවියක් තේරුම් ගන්න බැහැ. මහ කවි ටී. එස්. එලියට් කියා තිබෙන ආකාරයට කවියක් රසවිඳිය යුත්තේ මලක සුවඳ විඳින ආකාරයට සියුම්ව සහ හැඟීමෙනුයි. Andrei Tarkovsky ගේ පියාත් ප්‍රමුඛ පෙළේ සෝවියට් කවියෙක්. සිනමාවටත් කවිමය ආභාසය ඔහුට ලැබුණේ කොහෙන්ද යන කාරණය පැහැදිලියි. නමුත් එයින් තමන්ට අනන්‍ය වුණු සිනමා භාෂාවක් ගොඩනඟා ගැනීමටත්. තමන්ගේ චිත්‍රපටවලට ආසක්ත, සෞන්දර්ය ලැදි සීමිත රසික සමාජයක් දිනාගැනීමටත් Tarkovsky සමත්වුණා. Nostalgia ඔහුගේ කෙටි නමුත් කාව්‍යමය සිනමා සැරියේ තවත් එක් වැදගත් සංධිස්ථානයක් විදිහට නම් කල හැකියි.



Friday, May 28, 2021

මහ වැසි අවසන

මහ වැසි අවසන
ඇද හැලී දිය බිඳු නැගූ ඝෝෂාව කෙළවර
හාත්පස පිරෙයි  මොහොතක්
නිහඬතාවය..

වැස්සට පෙර
නැවැතුණු නැවතුණු තැන්වලින්
ගසා දමා තෙත අත්තටු
යළි ගමන් අරඹයි සියොතුන් ද..

පාවී යයි වළාකුළු 
අකුණු ගිගුරුම් ද රැගෙන 
කොහේ හෝ ඈතක
වෙනත් බිම්කඩකට...

මහ මඟ
පිරෙන දිය කඩිති මත
ඉරි තැලුම් මතුවේ
යම් කිසිවෙකුගෙ දෙපට දෙපළු වුණ..

ඒ අතර
නිහඬතාවය තුළ 
බොඳවී මැකී යයි
අතු ඉති අගින් බේරෙන
කුඩා කුඩා අවශේෂ දියබිඳුවල
සිහින් සර....



Tuesday, May 25, 2021

Awe (2018)

රෝස මලකට "රෝස මලක්" වෙන්න නම් අවශ්‍ය කරන්නෙ මොනවද? මූලිකවම පැහැයෙන් එක සමාන නමුත් හැඩයෙන් එකිනෙකට වෙනස්, එකිනෙකට අනන්‍ය පෙති සමූහයක් බව ඔබ කියාවි. එහි වරදක් නැහැ. නමුත් මේ එකිනෙකට වෙනස් පෙති ගණනාවක් එක්ව පවතින මොහොතේ එය නම් ලබන්නේ තනි මලක් විදිහට මිස පෙති සමූහයක් විදිහට නොවෙයි. මේ විශ්වයේ බොහෝ දේ එහෙමයි. එනම් කොටස් වලට තවදුරටත් වෙන් කල හැකි සංඝටක සමූහයක් ඒකරාශි  වීමෙන් අපිට දකින්නට ලැබෙන සියලුම දේ වගේ නිර්මාණය වෙන්නෙ. මිනිස් ජීවිතය දිහා අපි හැරිල බැලුවොත් මිනිස් ශරීරයක්, පද්ධති, පටක, ඉන්ද්‍රිය, සෛල දක්වාම කොටස් වලට වෙන්ව නමුත් එක් ශරීරයක් විදිහට ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියන කාරණාව ගැන සාමාන්‍ය අවබෝධයක් අපි හැමකෙනෙකුටම තියනව. භෞතික ශරීරයෙන් එහා මිනිස් මනස දිහා අවධානය යොමු කලොත් අපි නිර්මිත වෙලා තියෙන්නෙ එකිනෙකට වෙනස් මානසිකත්ව සිය දහස්ගණනකින් බව වටහාගන්න පුලුවන්. මේ පුද්ගල ස්වභාවයන්, අපි කැමති අකැමැති දේවල්, ගැටලුකට අපි මුහුණදෙන ආකාරය, අපේ ලිංගික නම්‍යතාවන් මේ සියලු දේ තීරණය වෙන්න කුඩා වයසේ පටන් අපි ලබන ජීවිත අත්දැකීම් සහ පවුල, සමාජය වගේ බාහිර සාධත් සෑහෙන බලපෑමක් කරනව. හිතන්න කෙනෙක් කුඩා කාලයෙ පටන් ලබන අත්දැකීමක් ඒ තරම් ප්‍රියජනක ඒවා නොවෙයි නම්. ජීවිතේ කෙනෙකුට ලැබිය යුතු ආදරය අහිමි වුණු කෙනෙක් නම්, ඒ ලබන අමිහිරි අත්දැකීම් නිසා ඒ පුද්ගලය අවසානෙ නතර වෙන්න පුලුවන් කොයි වගේ තැනකද..?

කාලි, බැලු බැල්මට හරි අපූරු තරුණියක්. ඇයව අපිට මුණගැහෙන්නෙ Awe නම් තෙළිඟු භාෂිත චිත්‍රපටය හරහා. අවන්හලක අඩ අඳුරේ රන්පාට විදුලි එළි මැද හුදෙකලාව අසුන්ගෙන ඉන්නා ඇගේ අතේ තිබෙන්නෙ රෝස මලක්. ඈ ඒ මලේ පෙති එකින් එක දිගහරින්න පටන්ගන්නව. මීලඟට සිදුවීමට නියමිත සියලු දේ සම්බන්ධව ඒ දර්ශනයේ හරි අපූරු ගැලපීමක් තිබෙනව. එයින් පසු චිත්‍රපටයේ අපි හමුවට එන්නෙ එකිනෙකාට වෙනස් චරිත හතක්. 

-  ගතානුගතික අදහස් දරන දෙමාපිය යුවලකගේ දියණිය රාධා.

- වෛද්‍යවරියක් වගේම මෝටර් සයිකල පැදවීමේ උමතුවෙන් පෙළෙන ක්‍රිෂ්ණාවනී හෙවත් "ක්‍රිෂ්"

- විද්‍යාත්මක දේවලට උනන්දුව දක්වන වගේම අහිමි වුණු තමන්ගේ දෙමාපියන් සොයාගෙන අතීතයට යාමට හැකි යන්ත්‍රයක් නිපදවීමට සිහින දකින ශිවා

- ආහාර සැදිමට යූටියුබ් පිහිට පතන අසාර්ථක කෝකියෙක් වුණු නාලා

- යෝගි නම් අතිදක්ෂය මැජික් ශිල්පියා, අකාරුණික මිනිසා

- තමන්ගෙ මවගෙ අවන්හලේ වැඩවලට සහායවෙමින් එහි කාලය ගතකරන කුඩා දැරිය මෝක්ෂා.

- මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණු සුරූපිනිය මීරා

චිත්‍රපටය ඇතුලේ මේ සියලු දෙනාගේ ම චරිත ගොඩනැගෙන්නෙ එකම අවන්හලක් පසුබිම් කරගෙන බව ක්‍රමයෙන් චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයන්ට වැටහී යන්න පටන් ගන්නව . නමුත් ඒ අතර චිත්‍රපටයෙ කතා පුවත සම්බන්ධව ගැටලු ගනණාවකටම මෙය නරඹන ඕනෑම කෙනෙකුට මුහුණදෙන්න සිදුවීමට නියමිතයි. ආරම්භයෙ පටන් කාලි අපට මුණගැහෙන අවන්හලත් මේ චිත්‍රපටයට පසුබිම් වෙන සෙසු චරිත පසුබිම් කරගන්න අවන්හලත් එකක්මද? නැත්තම් ඒ ස්ථාන දෙකක් ද?එකම මොහොතේ එකම ස්ථානය වටපිටාවේ රැඳෙන ඔවුන් එකිනෙකා හා සම්බන්ධ වෙන්නෙ කොහොමද? මේ ගැටලුවට විසඳුම හොයාගන්න නම් ඔබට Awe චිත්‍රපටය නරඹන්න සිදුවෙනව.

Awe චිත්‍රපටය එක් අතකින් කාලීන සමාජ ගැටලු කිහිපයක් මතුකරන අතරේ අනෙක් අතින් ගැහැනියකට, ඇය කුඩා දැරියක වයසෙ පටන් සමාජයෙන් පවුලෙන් එල්ල වෙන් පීඩාව නිරූපණය කෙරෙනව. නමුත් මේ සියලු කරුණු කාරණා චිත්‍රපටය ඇතුලෙ සාකච්ඡාවට ගන්නෙ අතිශ්‍ය නිර්මාණශිලී සහ යථාර්ථයේ සීමා අතික්‍රමණය කරන පෙර නුදුටු විරු ආකාරයක සිනමා අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට විඳගන්න ඉඩ සලස්වන ගමන්. ඒ නිසාම Awe සමස්ත ඉන්දියානු සිනමා කර්මාන්තය ඇතුලෙම බිහිවුණු එක් සුවිශේෂ වගේම මගහැර නොගතයුතු චිත්‍රපටයක් විදිහට හඳුන්වාදෙන්න පුලුවන්. 

...............

Awe (2018) - Psychological drama

Directed and written by Prasanth Varma

Starring :

Kajal Aggarwal
Nithya Menen
Regina Cassandra
Eesha Rebba
Priyadarshi Pullikonda
Srinivas Avasarala
Murali Sharma

Release date:
16 February 2018

Running time:
110 minutes

Language:
Telugu




Monday, May 24, 2021

Nayattu (2021)

දේශපාලකයින් තමන්ගේ බලපැවැත්ම වෙනුවෙන් පොලීසිය පාවිච්චිකරන්නෙ කොහොමද කියන දෙය ගැන නියම උදාහරණ ටිකක් මේ දවස් වල බලාගන්න පුලුවන්. අත්අඩංගුවේ ඉන්න සමහර සැකකරුවන් සැඟවූ ආයුධ පෙන්වන්න පොලීසිය විසින්ම එක්ක යනව. ඒ අතරෙ පලායන්න උත්සාහ කරන නිරායුධ සැකකරු පොලිස් වෙඩි පහරින් ඒ මොහොතේ මියයනව. ඒ එක්කම අදාල සැකකරු ගැන ඉතිහාසය එතනින් අවසන් වෙනව. යම් අවනීතික අතීතයක් ගැන සාක්ෂිදරන ඕනෑම කෙනෙක් සදාතනිකව නිහඬ කරවන්න මීට වඩා සාර්ථක තව ක්‍රමයක් තියනවද? ඒ හැම දෙයකින්ම අවසානයෙ වාසි සැලසෙන්නෙ කාටද? මේ හැම කෙනෙකුම අවසානෙ යම් ලොකු දේශපාලන ගේම් එකක ඉත්තන් බවත් මේ සිදුවෙන්නෙ යම් බිහිවුණු අපරාධයක සුලමුල සඟවන "පිරිපහදු කිරීමේ ක්‍රියාවලියක්" බවත් වටහ ගන්න අමාරු නැහැ. නමුත් රටේ ඉන්න බහුතරය මේ ඝාතන දිහා බලන්නෙ ඒ කෝණයෙන් නොවෙයි. ඔවුන්ගේ තර්කනය එතනදි ක්‍රියාත්මක වෙන්නෙ මේ ඝාතන සාධාරණීකරනය කරමින්. ඒක වෙනම කතාවක්. කොහොම වුණත් සාමාන්‍ය පොලිස් නිලධාරියෙකුගෙ පැත්තෙන් බැලුවොත් ඔහුත් අර අදෘශ්‍යමාන දේශපාලන රූකඩ නැටවීමේ ක්‍රියාවලිය යටතෙයි ඉන්නෙ. දේශපාලන හස්තය විසින් නූල අදින අතටයි පොලිස් තුවක්කුවේ කොකාගැස්සෙන්නෙ. නමුත් දෛවෝපගත විදිහට මේ අන්ත දෙක එකිනෙක මාරුවුණොත් කොහොම වේවිද. එනම් තුවක්කුව දරා ඉන්න පොලිස් නිලධාරියාගෙ හිස මතටම තුවක්කු කට යොමුවුණොත්. සමාජව දඩයම් කරු බවට පත්වෙලා පොලීසිය ගොදුර වුණොත්. 2021 නවතම මලයාලම් චිත්‍රපටය Nayattu තුළින් දකින්න ලැබෙන්නෙ එවැනි කතාවක්. 

ප්‍රවීන් මයිකල්, කේරළයේ ගම්බද පොලිස් ස්ථානයකට අලුතින් පැමිණෙන පොලිස් නිලධාරියෙක්. ඔහුට වැඩකරන්න සිද්දවෙන්නෙ මනියන් නම් නිලධාරියා යටතේ. මනියන් මේ දූෂිත ක්‍රමය ඇතුලෙම පවතින සහ ඉහළින් ලැබෙන අණ ක්‍රියාත්මක කරනවා හැර තමාට ඒ ගැන කිසිවක් කල නොහැකි බව අත්දැකීමෙන් වටහාගෙන ඉන්නා කෙනෙක්. සුනීතා මේ පොලිස් ස්ථානයේම වැඩකරන තවත් නිලධාරිනියක්. චිත්‍රපටයෙ කතාව ගලා යන්නෙ මේ තුන්දෙනා මුල්කරගෙන. සුනීතා ගේ ඥාති සහෝදරයෙකුගෙන් ඇයට වෙන හිරිහැර නිසා ඇය ඔහු ගැන පොලීසියට පැමිණිලි කරනව. මේ ඥාති සහෝදරයාට ගමේ පොලීසියට පැමිණෙන්න සිද්දවෙනව. තමන්ගේ පිරිවර සමග පොලිසියට එන සහෝදරයා පොලීසියට තියා මොන යකෙකුටවත් බය නැති පුද්ගලයෙක් බවයි පෙනෙන්නෙ. ඔහුගෙ මේ අහංකාර ස්වභාවය නිසා මනියන් එක්ක ඔහු පොලීසියෙදි ගැටුමක් ඇති කරගන්නව. ප්‍රවීනුත් මේ ගැටුමට මැදිවෙනව. අවසානෙ සහෝදරයා ගෙ මිත්‍රයෙක් අත්වැරදීමකින් මිය යනව. මේ සහෝදරයා ඇතුලු පිරිස ඉන්දියාවේ පහත් යැයි සම්මත දාලිත් කුලයට අයිති අය. දාලිත් කුලයේ සියලුදෙනා පොලිසියට විරුද්ධව පාරට බහිනව. මාධ්‍යවලිනුත් සිද්ධියට ලොකු ප්‍රචාරයක් ලැබෙනව. විශේෂම දේ මේ හැමදෙයක්ම වෙන්නෙ ඡන්දයක් අත ලඟ තියාගෙන වීම. මේ සිදුවීම ලඟ එන ඡන්දයෙදී ආණ්ඩුවට අවාසි දායක බලපෑමක් ඇතිකරන්න හොඳටම හැකියාවක් තිබෙන බව වටහගන්න ආණ්ඩුවෙ ප්‍රබල ඇමතිවරයෙකුගෙන් නියෝගයක් ලැබෙනව ප්‍රවීන්, මනියන් සහ සුනීතා අත්අඩංගුවට ගන්න. තමන්ට සිද්දවෙන අකටයුතුකමකට එරෙහිව රැකවරණය පතාගෙන පොලීසියට එන පොලිස් නිලධාරීනයක්ම වුණු සුනීතාටත් ඇයට උදව්වට පැමිණි ඇගෙ හිතවතුන් වෙන ප්‍රවීන් සහ මනියන්ටත් සිද්දවෙන්නෙ තමන්ම අයිති වෙන දූෂිත දේශපාලන ක්‍රමය ඇතුලෙ ගොදුරු බවට පත්වෙන්නයි. එක්කෝ තමන් වරදක් කල බව පිළිගනිමින් පොලීසියට බාරවීම නැත්නම් නීතියේ රැහැනෙන් සියුම්ව සැඟවෙමින් පලායාම හැරෙන්න මේ තිදෙනාට වෙන විකල්පයක් ඉතිරිවෙන්නෙ නෑ. ඔවුන් තෝරාගන්නෙ දෙවනි විසඳුම. කේරළය පුරා ක්‍රියාත්මක සෝදිසි මෙහෙයුම් වල නිරතවෙන නිලධාරීන් ගේ ඇස්වලට වැලිගසමින්. තමන් ලුහුබඳින අඳුරු සෙවනැලි මගහරිමින් මේ තිදෙනාට කොයිතරම් දුරකට පලායන්න පුලුවන් වේවි ද?

බොහෝම වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙන්නෙ, චිත්‍රපට වලින් අපි නරඹන්නෙ පොලීසිය විසින් තමන්ගේ බලපුළුවන්කාරකම යොදාගෙන සාමාන්‍ය ජනතාව පීඩාවට පත්කරන ආකාරය. නමුත් මෙතැනදි අපි දකින්නෙ එහි අනෙක් අන්තය. සාමාන්‍ය ජනතාව විසින් පොලිස් නිලධාරීන් පීඩාවට පත්කරන ආකාරයයි මෙතනදි අපි දකින්නෙ. නමුත් මෙතනදි පොලීසියත් සමාන්‍ය ජනතාවත්, සියලුදේට ඉහලින් පවතින අදෘශ්‍යමාන දේශපාලන හස්තයේ මෙහෙවීමට යටත් වෙන ආකාරය අපූරුවට පෙන්වා දෙනව. මලයාලම් චිත්‍රපට කර්මාන්තය මේ මොහොතේ ජනප්‍රියත්වයක් ලබාගෙන තිබෙන්නෙ වඩා යතාර්ථවාදී සහ කුඩා සිදුවීමක් පදනම් කරගෙන හද සසල කරනව අනුවේදනීය කතා පුවතක් නිර්මාණය කිරීමෙ ශිල්පක්‍රමය Nayattu චිත්‍රපටයෙ ඉතාම උසස් අන්දමෙන් දැකගන්න ලැබෙනව.  Nayattu චිත්‍රපටය අද්‍යක්ෂණය කරන්නෙ, මලයාලම් සිනමාවේ අතිශ්‍ය ජනප්‍රියත්වයට පත්වුණු වගේම බොහෝම අයට මලයාලම් චිත්‍රපට නරඹන්න පෙළඹවීමක් ඇති කල Charlie චිත්‍රපටය නිර්මාණය කල Martin Parkkat විසින්. මනියන්, ප්‍රවීන් සහ සුනීතා විදිහට රංගනයේ යෙදෙන පිළිවෙලින් Joju George, K. Bobin සහ Nimisha Sajayan තමන්ගේ කොටස සෑහෙන හොඳින් නිරූපණය කර තිබෙනව. ඒ වගේම දර්ශන කාලය තරමක් අඩු වුණත් ඒ කෙටි කාලය තුල පොලිස් නිලධාරිනියකගේ චරිතය නිරූපණය කරන Yama Gilgamesh නරඹන්නන්ට මතක හිටින ආකාරයෙ රංගනයක් ඉදිරිපත් කරනව. කැමරාකෝණ සහ දර්ශන තල මලයාලම් සිනමාවට අනන්‍ය ආකාරයට කේරළයේ පරිසර සුන්දරත්වය මතුවෙන ආකාරයටයි චිත්‍රපටය ඇතුලෙ භාවිත වෙන්නෙ. නමුත් ඒ සුන්දර පරිසරයේ ජීවිත් වන මිනිස්සුන්ගෙ ජීවිත පුරා පැතිරි යන දේශපාලන අඳුර නම් එතරම් සුන්දර නෑ. Nayattu චිත්‍රපටයෙ අපි දකින්නෙ ඒ සුන්දර පරිසරයේ මැවෙන සැබෑම අසුන්දර කතාව. ඒ කතාව ඇතුලේ අපේ රටේ දේශපාලනයේ කතාවත් කොයිතරම් හොඳින් කියවෙනවද කියන දෙය චිත්‍රපටය නරඹන ඔබට වටහගන්න පුලුවන් වේවි.



Saturday, May 15, 2021

Malcolm and Marie (2021)

ආදරය ගැන මොනතරම් නිර්වචන දෙන්න අපි උත්සාහ කලත් ඒ හැම එකකම අවසානෙ ඉතිරි වෙනව අසම්පූර්ණකමක්, වචනයෙන් තවදුරටත් පැහැදිලි කරගන්න බැරි යමක්. එහෙම වෙන්න හේතුව මම හිතනව ආදරය කියන්නෙ ජීවිතයෙන් වෙන් කරල අරගෙන වෙනම කතාකරන්න පුලුවන් මාතෘකාවක් නොවෙන නිසා කියල. කෙනෙකුගෙ වයස, අත්දැකීම්, ජීවිත දැක්ම මේවගෙ කාරණා එක්ක ආදරය ගැන එක් එක් අයට තියන කියවා ගැනිම වෙනස් එකක් බවට පත්වෙනව. අනිත් කාරණාව  ඉවසීම, ආවේගය, කෘතවේදීත්වය, බලාපොරොත්තු සහගතවීම ආදී දහස් ගණනක් මිනිස් ගුණාංගයන් එක්ක ආදරය අවියෝජනීයව බැඳිල තියන නිසා අපිට මෙන්න මේ ස්වභාවයන් හරහායි ආදරය අත්දකින්නට ලැබෙන්නෙ.  නමුත් මේ ආදරය අභියෝගයට ලක්වෙන්නෙ එය සම්බන්ධයක් බවට පත්වෙන තැනදි. මොකද අපි අනික් මනුෂ්‍යයා සමග සම්බන්ධ වෙන්නෙ ඔවුන්ට පරිබාහිරව. කෙනෙකුගෙ අභ්‍යන්තරය මුළුමනින්ම කොයිවගේද කියන්න තවත් කෙනෙකුට කිසිදාක අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ඒ නිසා තවත් කෙනෙකු වෙනුවෙන් අපේ ජීවිතේ ඉඩක් වෙන් කරදීම ඇතුළෙ අපි සෑහෙන ලොකු අවදානමක් ගන්නව. මොකද අපි තුළට පිවිසෙන්න කෙනෙකුට ඉඩ ලබාදීම මගින් අපි ගැන ඔවුන්ට විශාල බලයක් ලබා දෙනව. අපිව විනාශ කර දමන්නට වුණත් හැකියාවක් තිබෙන බලයක්. මේ නිසා මිනිස්සු එකිනෙකා මුණගැහෙන වෙරළේදි ඔවුන් තුළ එකිනෙකා වෙනුවෙන් තිබෙන ආදරය නිතරම පරික්ෂාවට ලක්වෙනව. Malcolm and Marie චිත්‍රපටයෙන් අපි හමුවට එන මැල්කම් සහ මරී ගේ වගේම ආදරයෙන් බැඳෙන සෑම යුවළක් ම මේ පරික්ෂාව හරහා ගමන් කල යුතුමයි. 


මුළු චිත්‍රපටයෙම පැය දෙකකට ආසන්නව කාලය වෙන් වෙන්නෙ එක් රාත්‍රියකට. ඒ රාත්‍රිය මැල්කම් සහ මරීට වෙන කවදාකටත් වඩා සුවිශේෂ එකක් වුණා. විශේෂයෙන් සිනමාකරුවෙක් වුණු මැල්කම්ට. මොකද ඔහුගෙ අලුත්ම චිත්‍රපටයෙ මංගල දර්ශනය පැවැත්වුණේ ඒ රාත්‍රියේ නිසා. ප්‍රේක්ෂකයන්ගෙත් විචාරකයන්ගෙත් නොමඳ ප්‍රශංසාවට ලක්වෙන මැල්කම්, මරීත් එක්ක වාහනයෙන් ගෙදර එන්නෙ උතුරා යන ප්‍රීතියෙන්. ගෙදර ආ ගමන් මධු බඳුන් කීපයක් හිස් කරමින් මැල්කම් සතුට සැමරුවත් මරී තුළින් ඒ තරම් ප්‍රීතිදායක බවක් දකින්න ලැබෙන්නෙ නෑ. මේ බව ඔහුගේ ඇසට අසුවෙනව. ඔහු ඒ ගැන මරීගෙන් විමසනව. ඒත් ඇගෙන් ලැබෙන පිළිතුර නම් අතිශ්‍යයින්ම ප්‍රශ්නයෙන් පළායන සුළු එකක්. මැල්කම් කොයිතරම් ප්‍රශ්නකලත් ඔහුට ඇගෙන් හරිහමන් පිළිතුරක් ලැබෙන්නෙ නෑ. නමුත් ඒ අතරෙ මැල්කම් සහ මාරි අතර ඇතිවෙන සංවාද⁣ය දුර දිග ඇදී යන්නෙ ක්‍රමයෙන් දෙදෙනාගෙම ජීවිත ඇතුලෙ විවෘත නොවුණ කලාපයන් නැවත එකිනෙකා වෙත විවෘත කරගන්න ඉඩ සලස්වමින් . ප්‍රේමයෙන් පිරුණු උණුසුම් ආලිංගන, දරුණු වාදවිවාද මැද එදා ඒ  දෙදෙනාම ගතකරන්නේ අසම සම රාත්‍රියක්.

කලාකරුවෙක් සහ කලාකෘතියක් අතර තියන සම්බන්ධය කොයි වගේ එකක්ද කියන දෙය සෑහෙන විවාදාපන්නයි. එක අතකින් එය ඔහුගේ පුද්ගලික අත්දැකීමක් වෙන ගමන් අනික් අතින් එය පොදුවේ යම් පිරිසකට බෙදාහදාගෙන විඳිය හැකි යමක් බවට පත්විය යුතුයි. කවියක්, ගීතයක්, නවකතාවක්, චිත්‍රපටයක් මේ ඕනෑම කලා කෘතියකට අවශ්‍ය අමුද්‍රව්‍ය කලාකරුවෙක් තමන්ගෙම ජීවිතයෙන් වගෙම තමන් ඇසුරු කරන බාහිර සමාජයෙනුත් උකහා ගන්නව. නමුත් කලාකෘතිය ඇතුලෙ කලාකරුවා ගෙ ප්‍රතිරූපය පුලුවන් තරම් අවම වීමෙන් ඕනෑම කෙනෙකුට ඒ නිර්මාණය තමන්ගේ බවට පත්කරගන්න පුලුවන් ඉඩක් හැදෙනව. හොඳම උදාහරණයක් Malcolm and Marie චිත්‍රපටයෙන්ම අරගන්න පුලුවන්. මැල්කම් ගේ චිත්‍රපටය ඔහුගේ පෙම්වතිය කියවාගන්න ආකාරයට නොවෙයි සිනමා විචාරකයින් කියවාගන්නෙ. නමුත් මැල්කම්ට චිත්‍රපටය නිර්මාණය කරන්න බලපෑ හේතුව මේ නිර්වචන දෙකටම වඩා සම්පූර්ණයෙන් වෙනස් එකක්. චිත්‍රපටය ගැන අදහස මතවාදීමය එකක් වුණත් මැල්කම් සහ මරී ගේ ජීවිතවලට සම්බන්ධ වෙන නිසා එය මතභේදාත්මක තැනකට ඇදී යන ආකාරයයි චිත්‍රපටය ඇතුලෙ අපි දකින්නෙ.

Malcolm and Marie චිත්‍රපටය පුරාම දකින්නට ලැබෙන්නෙ මැල්කම් සහ මරී ගේ චරිත දෙක පමණයි. ඔවුන් ගේ ජීවිත පැවැත්ම, එකිනෙකාගේ චරිත ස්වභාවයන්, අරමුණු, සිහින, අදහස් මේ හැම දෙයක්ම දෙදෙනා අතර සිදුවන සංවාද හරහායි නිරූපිත වෙන්නෙ. Malcolm and Marie තිර රචනාව සහ අධ්‍යක්ෂණය තරුණ ඇමරිකානු සිනමාකරුවෙක් වෙන Sam Levinson ගෙ. ඔහු Rain main වැනි අතිසාර්ථක වුණු චිත්‍රපට අද්‍යක්ෂණය කල බැරී ලෙවින්සන් ගේ පුත්‍රයා. මැල්කම් ගේ චරිතය රඟදක්වන John David Washington සුප්‍රසිද්ධ නළු ඩෙන්සිල් වොෂින්ටන් ගේ පුත්‍රයා. Marie ගේ චරිතය නිරූපණය කරන්නෙ නවක නිළියක් විදිහට ජනප්‍රියත්වයක් ලබා ගනිමින් ඉන්නා Zendaya විසින්. මුහුණෙන් ඉතා සියුම් හැඟීම් ප්‍රකාශ කිරීම සහ දීර්ඝ දෙබස් මැනවින් ප්‍රකාශනය කිරීමේදි ඔවුන් ඉතාම හොඳින් තමන්ගේ කොටස ඉටුකර ඇති බව දැකගත හැකියි. චිත්‍රපටය සඳහා භාවිත කර තිබෙන්නෙ කලු සුදු මාධ්‍ය. Malcolm and Marie මූලිකවම චරිත දෙකක් අතර සිදුවන හැඟීම් හුවමාරුවක් පදනම් කරගත් චිත්‍රපටයක් නිසා බොහෝ විට වඩා හොඳින් භාවමය ප්‍රකාශනයන් මතුකරගත හැකි කලු සුදු මාධ්‍ය චිත්‍රපටයට යොදාගත්තා වෙන්න පුලුවන්. චිත්‍රපටය ගැන තියන අනෙක් සුවිශේෂම කාරණය මෙය කෝරෝනා වසංගත තත්ත්වය යටතේ ඇමරිකාව තුළ රූගත කර ප්‍රදර්ශනය වුණු මුල්ම චිත්‍රපටය වීම. රටේ පවතින නිරෝධායන නීති වලට යටත්ව චිත්‍රපටයෙ නිශ්පාදක කණ්ඩායම ඉතාම සීරුවෙන් රූගත කිරීමේ කටයුතු සිදුකර තිබෙනව. ඒ අතින් Malcolm and Marie චිත්‍රපටය සිනමාව ලැබූ එක්තරා ජයග්‍රහනයක්. චරිත දෙකක් සහ එක නිවසක් භාවිතයට අරගෙන, ප්‍රබල දෙබස් වලින් එකිනෙකාගෙ චරිත ස්වභාවයන් නිරූපණය කරමින්, ආදරය, සිනමාව, කලාව වගේ තේමාවන් ගනනාවක විහිදෙන ආකාරයට, වසංගත තත්ත්වය මැද්දේ වුණත් පර්‍යේෂණාත්මකව සිනමාත්මක ගුණය ඉහළින්ම පවත්වාගෙන නිමැවුණු සාර්ථක නිර්මාණයක් විදිහට Malcolm and Marie හඳුන්වාදෙන්න පුලුවන්.



Thursday, May 6, 2021

මෙරු

පොළවක ගැඹුර තනිකම
උහුලාගන්න බැරුවද
රෑන් පිට රෑන මතුවී ඇදෙන්නේ....

අත් තටු ලැබී සිතු ලෙස
හිත් පුරා පිරි උතුරන
නිදහසද හාත්පස පියාඹා විඳින්නේ...

අන්ධකාරයෙ බබළන
රන් පාට විදුළි එළි මැද
සතුටටද ළය ගසාගෙන මැරෙන්නේ...




Monday, May 3, 2021

මොකක්ද මේ Cognitive bias?

 මොකක්ද මේ Cognitive bias නැත්නම් චින්තනමය නැඹුරුවක් කියල කියන්නෙ?

හිතන්න මෙහෙම, ඔයාට අවශ්‍යයි යම් දෙයක්, පුද්ගලයෙක් නැත්නම් මොකක් හෝ ආකාරයෙ ගැටලුවක් ගැන යම් අවස්ථාවක නිවැරදි තීරණයක් ගන්න. ඔයා ඒ පුද්ගලයා හෝ ඒ දෙය ගැන හොඳින් හොයල,  ගන්න තීරණය නිසා ඇතිවෙන වාසි අවාසි ඔක්කොම ගණන් බලල අවසානෙ එන නිගමනය හැම වෙලාවකම තාර්කික සහ නිවැරැදි එකක් ද? එහෙම නොවෙන්න තියන ඉඩකඩ වැඩියි. ඔයා ලඟ තියන තොරතුරු විශ්ලේෂණය සඳහා භාවිත කරන්නෙ ඔයාගෙම මනස. මනස තමන් ලැබූ අත්දැකීම් වලට සීමා වුණු එකක්. ඒවගේම පුද්ගලයෙක් විදිහට ඔයාට තියනව ඔයා ප්‍රිය කරන සමහර දේවල් සහ ඔයා අප්‍රිය කරන දේවල්.  මනස වැඩි නැඹුරුතාවක් දක්වනව මේ ඔයා දැනටමත් කැමති දේවල් වලට අවධානය දෙන්න. අනෙත් කාරණය, තොරතුරු ගැඹුරින් විශ්ලේෂණය කියන්නෙ සෑහෙන මානසික ශ්‍රමයක් වැය වෙන කාර්‍යයක්. මේ නිසා ඉක්මනින් අවධානය යොමුවෙන දේවල් ගැන පමණක් සලකල, කෙටි ක්‍රම වලින් පහසුවෙන් තීරණවලට එන්න පුලුවන් ආකාරයකට ඕනෑම කෙනෙකුගෙ මනස සකස්වෙලා තියනව. ඒ ක්‍රමවේදය යමෙක් තමන්ගේ ජීවිතය පුරා පුරුදු පුහුණු කරගෙන්නා සිතුවිලි රටාවත් එක්ක එන දෙයක්. මේ නිසා යම් ගැටලුවක් ගැන කල්පනා කරනකොට අවධානයට ලක්නොවෙන නමුත් වැදගත් තොරතුරු මගහැරෙන්න සෑහෙන ඉඩකඩක් තියනව. මේ විදිහට දැනට මනසෙ ඇතිවෙලා තියන නැඹුරුතාවන්ට යටත් ව, වැරදි තොරතුරු, නැත්නම් එක් පාර්ශ්වයක පමණක් තොරතුරු ග්‍රහණය කරගෙන ඒ මගින් වැරදි තීරණවලට එළඹීම Cognitive bias නමින් හඳුන්වනව. 

Cognitive bias නිසා ඇතිවෙන්න පුලුවන් විශාලතම හානිය නම් එයින් කෙනෙකුගෙ විචාර බුද්ධියට බාධා පැමිණීමයි. යමක් ගැන තර්කානුකූලව, විචාරාත්මකව කල්පනා කරනවා වෙනුවට අපි කැමති සහ පහසුවෙන් පෙනෙන්නට තිබෙන තොරතුරු වලට අවධානය යොමුකිරීම නිසා විචාරාත්මකව සිතීම යටපත් වෙලා පක්ෂග්‍රාහී නිගමන වලට එන්න කෙනෙක් පෙළඹවෙනව.

 Cognitive bias ගැන මුලින්ම අදහස් ඉදිරිපත් කරන්නෙ Amos Tversky සහ Daniel Kahneman නම් සමාජ විද්‍යාඥයන් දෙදෙනා වර්ෂ 1970 දි. Kahneman, 2012 වර්ෂයෙ ලියා පළ කල Thinking fast and slow ග්‍රන්ථයෙ මේ ගැන වැඩිදුරටත් තොරතුරු සඳහන්.

....................................................................

චින්තන නැඹුරුතා ප්‍රභේද.

මේ වෙනකොට නොයෙක් ආකාරයෙ Cognitive bias ප්‍රභේද 180 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනව. මේ ඒවායින් බහුලව දැකගන්න ලැබෙන ප්‍රභේද 12 ක් ගැන කෙටි හැඳින්වීම් කිහිපයක්.

- Confirmation bias

යම් කරුණක් ගැන විමසද්දි, දැනටමත් තමන් දරා ඉන්නා විශ්වාසයන්ට ගැළපෙන අදහස්වලට පමණක් අවධානය යොමු කරමින් තමන්ගේ විශ්වාසයන්ට නොගැළපෙන අදහස් බැහැර කිරීම මේ නමින් හඳුන්වනව. Ostrich effect නැත්නම් "පැස්බර න්‍යාය" නමිනුත් මෙය හඳුන්වනව. අනතුරක් දුටුවම පැස්බරෙක් කරන්නෙ තමන්ගෙ ඔලුව පොළවේ වැලි යට සඟවා ගැනීම. නමුත් එයින් සිද්දවෙන්නෙ පැස්බරාට අනතුර නොපෙනී යාම මිසක් අනතුර පහවීයෑම නොවෙයි. ඒ වගේ මිනිස්සු තමා අකැමැති අදහස් බැහැර කල පමණින් ඒ අදහස් සත්‍ය නොවන්නේ නෑ. 

- The Dunning - Kruger effect 

සමහර සංකීර්ණ කරුණු, මතුපිට අර්ථයෙන් සහ ඉතා සරලමිතිකව තේරුම් ගැනීම මෙයින් අදහස් වෙනව. නමුත් මිනිස්සු මේ කරුණු තමන්ට සරලව වැටහෙන බව හිතන්නෙ ඔවුන්ට ඒවා ගැන දැනුමක් නැතිකම නිසා මිස ඇත්තටම ඒවා සරල කරුණු නිසා නොවෙයි. මේ නිසා සිද්දවෙන්නෙ මිනිස්සු තමන් ඉතා සංකිර්ණ කරුණු සරලව වටහාගතහැකි බුද්ධිමත් අයයි යන මායාවේ අතරමං වීම පමණයි. මේ මායාවට හසුවෙන මිනිස්සු, ගැඹුරින් දේවල් සොයාබැලීම අනවශ්‍ය බව කල්පනා කරනව. නමුත් සත්‍ය ඊට වඩා හාත්පසින්ම වෙනස් බව ඔවුන් වටහගන්නෙ නෑ.

- In group bias

තමන් අයිති සමාජ කණ්ඩායමක් දරන මතය එහි වැරදි නිවැරදි බව නොවිමසා සත්‍ය බව පිළිගැනීම මේ නමින් හඳුන්වනව. මේ නිසා තමන්ගේ කණ්ඩායමට සහයෝගය පළකිරීමේ අරමුණින්, පොදුවේ පිළිගන්නා අදහසට විරුද්ධ අදහස් ප්‍රතික්ෂේප කරන්න මිනිස්සු පෙළඹෙනව.

- Self - serving bias

මෙයින් අදහස් වෙන්නෙ, අපිට විඳින්න සිදුවෙන දුක් වේදනාවන්ටත් හැම ආකාරයකම අයහපත් සිදුවීම්වලටත් තමන් අවට සිටින අයට චෝදනා කිරීමයි. මෙතනදි මිනිස්සු තමන්ට අත්විඳින්න වෙන ඍණාත්මක සිදුවීම්වල වගකීම තමන් බාර නොගෙන නිතරම අනුන් පිට වරද පටවන්න පෙළඹෙනව.

- Availability bias

යම් ගැටලුවක් විසඳද්දී නැත්නම් යමක් වටහාගන්න උත්සාහ කරද්දී අපිට ලඟාවෙන්න පහසු විසඳුම්වලට යොමුවීම සහ පහසුවෙන් අවබෝධ වෙන කරුණු සත්‍ය හැටියට බාරගැනීම (mental shortcut) මේ නමින් හඳුන්වනව. ඒ හැර විකල්ප විසඳුම් සහ විකල්ප අදහස් මෙතැනදි නොසලකා හැරෙනව.

- Fundamental attribution error

හිතන්න, වැදගත් රැස්වීමකට කෙනෙක් පමාවී පැමිණියොත්, පමාවෙන්න කරුණු නොසලකල, පමාවීම ඔහුගේ හෝ ඇයගේ වරදක් විදිහට අරගෙන ඔයා ඒ පුද්ගලයට දොස් පවරනව. නමුත් දවසක් ඔයාටත් මහ මග අනතුරක් වීම නිසා රැස්වීමකට එන්න පමා වෙනව. නමුත් එතනදි ඔයා කිසිවක් බාර නොගෙන  මාර්ගයෙ අනෙක් රියදුරන්ට වරද පටවනව. අනුන්ගේ චර්‍යාවන් මත පදනම් වෙලා ඔවුන් විනිශ්චය කරන නමුත් ඔබේම ඒ වැනි හැසිරීමක වගකීම පිටස්තර සමාජයට පැවරීමත් Fundamental attribution error නමින් හඳුන්වනව.

- Hindsight bias

යමක් සිදුවුණායින් පසුව තමන්ට මේ දෙය මේ ආකාරයෙන් සිදුවෙන බව කලින් වැටහුණා යැයි සිතීමයි hindsight bias නමින් හඳුන්වන්නෙ. මේ විදිහට මිනිස්සු අනාගතයේ වෙන්න නියමිත දේ තමන්ට දැන්ම පැවසිය හැකි බවට ව්‍යාජ විශ්වාසයක් ඇති කරගන්නව. ක්‍රීඩා ක්ෂේත්‍රයේත් විදේශ සම්බන්ධතාවලදිත් මේ නැඹුරුතාව බහුලව දකින්න ලැබෙනව. 

- Anchoring bias

"අල්ලාසිටීමේ න්‍යාය" නමිනුත් මෙය හඳුන්වනව. යමක් පිළිබඳ ලැබෙන මුල්ම තොරතුර අතනොහැර එයම පමණක් සත්‍ය බව විශ්වාස කරගෙන සිටීමයි මේ නමින් හඳුන්වන්නෙ. 

- Optimism bias

තමන් කරන යම් ක්‍රියාවකින් යහපත් ප්‍රතිඵලයක් ඇතිවෙන බවට තියන අධිවිශ්වාසය Optimism bias නමින් හඳුන්වනව.

උදාහරණ: ජීවිතේ මුල් වතාවට කඳු තරණය කරන්නෙක් තමන් මෙයින් ඇද වැටී අනතුරක් නොවෙන බව කල්පනා කිරීම. දුම්පානය කරන්නෙක් තමන්ට කිසිදාක පෙනහළු පිළිකා නොවැළඳෙන බව කල්පනා කිරීම. 

- Pessimism bias

තමන් කරන යම් ක්‍රියාවකින් අයහපත් ප්‍රතිඵලයක් ඇතිවෙන බවට තියන අධිවිශ්වාසය Pessimism bias නමින් හඳුන්වනව.

උදාහරණ : වැදගත් විභාගයකට සූදානම් වෙන කෙනෙක්, තමන් මෙයින් අසමත් වෙන බව කල්පනා කිරීම.

- The halo effect 

එක වෙළඳ නාමයක් යටතේ එන මයික්‍රොවේව් උදුනක් මිලදී ගත් කෙනෙක්, ඒ උදුන තමන් බලාපොරොත්තු වුණ ආකාරයට නැත්නම් ඊට වඩා හොඳින් ක්‍රියාත්මක වෙනව නම් ඒ වෙළඳ නාමය යටතේ එන අනෙක් භාණ්ඩ මිලදී ගන්න පෙළඹුමක් ඇති කරගන්නව. මේ ආකාරයට පුද්ගලයෙකුගෙ නැත්නම් වෙනත් ඕනෑම දෙයක එක ගුණාංගයක් ගැන පැහැදීමක් ඇති කරගෙන ඒ මත පදනම් වෙලා සමස්ත පුද්ගලයාම හෝ අදාල දෙය අගය කිරීම the halo effect නමින් හඳුන්වනව.

- Status quo bias

යමක් පවතින තත්ත්වයෙන් වෙනස් වුණොත් එයින් යමක් අහිමි වෙයි යන සැකයෙන් ඒ දෙය වෙනස් නොකර ඒ ආකාරයෙන්ම තබා ගැනීම Status quo bias නමින් හඳුන්වනව.

....................................................................

Cognitive bias අපි හැමකෙනෙකු තුළම, අපේ සිතුවිලි අතර අපට නොදැනි ක්‍රියාත්මක වෙන ආකාරය පැහැදිලියි. නමුත්, චින්තන නැඹුරුතාවන් අපේ විචාර ශක්තිය අඩපණ කර දැම්මත් හැම වෙලාවකදිම මෙය අහිතකර ආකාරයෙන් ක්‍රියාත්මක වෙන බවට සලකන්න බැහැ. ජීවිතේ සමහර හදිස්සි තීරණ ගතයුතු මොහොතක ඊට උදව්  වෙන්නෙ මේ චින්තන නැඹුරුතාවන් තමයි.

උදාහරණ විදිහට රාත්‍රියෙ අඳුරු මාවතක ඇවිදගෙන එන මොහොතේ ඔයා පිටිපස්සෙන් යම් සෙවණැල්ලක් පැමිණෙන බව ඔයා දකිනව. අනතුරක් ගැන සැක ඇති කරගන්න ඔයා ඉක්මනින්ම එතැනින් ඉවත්වෙන්න පෙළඹෙනව. ඇත්තටම එතැන අනතුරක් නොතිබුණා වෙන්න පුලුවන් ඒත් මෙතනදි කරුණු කාරණා ගැඹුරෙන් නොවිමසා ඉක්මණ් තීරණයකට පැමිණීම ආරක්ෂාකාරී උපායක් විදිහට මනසින් ක්‍රියාත්මක වෙනව. 

....................................................................

Cognitive bias මගහරවාගත හැකි ක්‍රම.

- තමන් කැමති සහ අකමැති දේ ගැන තමා තුළම පවතින නැඹුරුතා ගැන අවධානයෙන් සිටීමෙන් සැහෙන දුරට වැරදි තීරණවලට පැමිණීමේ හැකියාව අවම කරගත හැකියි.

- යමක් ගැන තීන්දුවක් ගන්න කලින් ඊට සම්බන්ධ සියලු සාධක වලට අවධානය යොමුකිරීමෙන් අවසාන තීරණයට පූර්ව විනිශ්චයන්ගෙන් වෙන්න පුලුවන් බලපෑම අඩු කරගන්න හැකියාව තියනව.

- තමන්ගේ මනස වැඩි සංවේදීතාවක් දක්වන කාරණා ගැන වැඩි දුර හොයා බලල කරුණු වටහාගෙන ඒ දේවල් වල සැබෑ ස්වරූපය ගැන හරි අවබෝධයක් ලබා  ගැනීමෙන් පූර්ව නිශ්චිත නැඹුරුතා මඟහරවාගෙන විචාර බුද්ධිය වැඩි දියුණු කරගත හැකියි.

කිසි කෙනෙකුට මුළුමණින්ම චින්තනමය නැඹුරුතාවන් ගෙන් අත්මිදෙන්න හැකියාවක් ඇතිබවට හිතන්න බැහැ. ඒ මනස නිතරම ඉක්මනින් සහ කාර්‍යක්ෂමව ක්‍රියාත්මකවෙන ආකාරයකට හැඩගැහී තිබෙන නිසා. එදිනෙදා ජීවිතේ අපි ගන්නා බොහෝ තීරණ, මනසේ මේ ඉක්මන් ක්‍රියාකාරී ක්‍රමවේදය මතයි රඳාපවතින්නෙ. නමුත් අපිට පුලුවන් නම් අප තුළම පවතින මේ යම් කරුණුවලට පක්ෂපාතී වෙන, වහා යොමු වෙන ස්වභාවය හඳුනාගන්න. ඉන් අදහස් වෙන්නෙ වඩාත් තාර්කික සහ නිවැරදි තීන්දු තීරණ වලට එන්න අපතුළ තිබෙන හැකියාව ඉහළදමාගත හැකි බවයි. අප කුඩාකාලයෙ පටන් දෙමව්පියන්, අවට සමාජය, අධ්‍යාපන ක්‍රමය, සංස්කෘතිය වගේ නොයෙක් බාහිර සාධක වලින් සිදුවෙන බලපෑම් මත අපි යමක් ගැන දරන අදහස කොයි ආකාරයෙ එකක්ද කියන දෙය තීරණය වෙනව. කවදාවත් හිතුවද අපි ඇත්ත බවට විවාදයකින් තොරව පිළිගන්නා කරුණු ඇත්තවශයෙන්ම එහෙම එහෙම වෙන්න පුලුවන් බවට? රූපවාහිනිය, සමාජ මාධ්‍ය, අන්තර්ජාලය වැනි මාධ්‍ය හරහා මනසට දරා ගන්න බැරි තරම් තොරතුරු ගොඩක් අපි ලබනව. නමුත් ඒවායින් බැහැර කලයුතු දේ මොනවද පිලිගතහැකි දේ මොනවද කියන දෙය අපි තාර්කිකව කල්පනා කර තිබෙනව ද? ගතානුගතිකව අපි පිළිගන්නා අදහස් නිසා නොයෙක් දේශපාලනික කණ්ඩායම්වලට තමන්ගේ බලපැවැත්ම වෙනුවෙන් අපිව පාවිච්චි කරන්න නොදැනීම අපි ඉඩ දී තිබෙනව ද? අපේ කැමති අකැමැති භාවයෙන් එහා ගිහින් කරුණු ඇති සැටියෙන් දකින්න හැකි විචාර බුද්ධිය වැඩිදියුණු කරගැනීම ජීවිතයට ඉතාම අවශ්‍ය ගුණාංගයක් බවයි අවසානෙ කියන්න තියෙන්නෙ.



Saturday, May 1, 2021

The Father (2020)

ගහක පත්‍රයක් කියන්නෙ හරි අපූරුවට මනුස්ස ජීවිතය එක්ක සමපාත කරන්න පුලුවන් දෙයකට. හටගැන්ම, වැඩී වර්ධනය වීම සහ අවසානයෙ ගිලිහීයාම කියන පැවැත්මේ අනිවාර්ය ජීවන චක්‍රය මිනිස් ජීවිතයට වගේම ගසක පත්‍රයකටත් බලපාන්නේ එකහා සමානවමයි. ඒ වගේම පත්‍රයකට නියමාකාරයෙන් පවතින්න බාහිර සාධක කිහිපයක් අවශ්‍යයි. සූර්‍යාලෝකය, ජලය මේ වගේ දේවල්. මේ සාධක ප්‍රමාණවත්ව නොලැබෙන තැන පත්‍රයකට පැවැත්මක් නැහැ. ඒ වගේම තවත් කාරණයක් තියනව. මේ පත්‍ර නිතර පරිසරයෙ සිදුවෙන ඍතු විපර්‍යාසයන්ට තදින්ම සංවේදීතාවක් දක්වනව. හිරු රැස් තදින් වැටෙන ගිම්හානයෙ කටුක බව නැත්නම් හිම පියලි ඇද හැලෙන සිසිරයෙ දරාගත නොහැකි ශීත හමුවේ පත්‍රයකට පවතින්න අපහසු තත්ත්වයක් උදාවෙනව. සමබර සූර්‍යාලෝකයත් වැස්සත් අරගෙන එන වසන්තය ගසකට වගේම පත්‍රයකටත් ජීවය උතුරා යන කාලයක් වෙනව. නමුත් වසන්තය හැමදාම තියෙන්නෙත් නෑ. දුෂ්කර වගේම සුවබර කාල පරිච්ඡේද පසු කරද්දි පත්‍රයක් විකසිත වෙමින් නැත්නම් ගිලිහිය යුතු තැන ගිලිහෙමින් පැවැත්මේදි පසුකරයාමට සිදුවෙන මේ ධර්මතාවන්ට අනුකූලව හැඩගැසිය යුතු වෙනව. 

ගසක පත්‍රයකට ජලය, හිරුඑළිය ඕන වගේ මනුස්සයෙකුට පවතින්න ආදරය ඕන. ආදරයක් නොලබ ජීවිත් වෙන්න කෙනෙකුට පුලුවන් ද එහෙනම්? අපොයි පුලුවන්, නමුත් ඒ ජීවිතය සමාන කරන්න පුලුවන් වෙන්න මොකකට ද? පත්‍ර ගිලිහුණු ගසකට? The Father චිත්‍රපටයේ අපිට දකින්න ලැබෙන, වයස අසූවක් වුණ ඇන්තනී මහත්මයට (Anthony Hopkins) දැනෙනව තමන් පත්‍ර ගිලිහුණු ගසකට සමාන බව. ඒත් ඇයි? ආදරණීය දියණියකගෙ පියෙක් වුණු, ඉංජිනේරුවරයෙක් විදිහට ගෞරවනීය වෘත්තියක යෙදුණු ඇන්තනී මහත්මය වගේ කෙනෙකුට කොළ හැලිච්ච ගහකට සමානව ජීවිතේ සැන්දෑකාලේ ඔහේ ගෙවා දමන්න සිදුවීම වෙන්න පුලුවන් දෙයක් ද? 

ඇන්තනී මහත්මයා දියණියන් දෙදෙනෙකුගේ පියෙක් වුණත් ඒ දෙදෙනාගෙන් ඔහුගේ ප්‍රියතමයා වෙච්ච සදාදරණීය ලුසී හදිස්සි අනතුරකින් ජීවිතෙන් සමුගෙන යන්නෙ ඔහුට අනෙක් දියණිය ඈන් (Olivia Colman) පමණක් මේ ලෝකෙ ඉතිරි කරල. ඇන්තනි මහත්මය ඈන්ට, ලුසීට තරම් කැමත්තක් දක්වන්නෙ නෑ. ඔහු ඈන් ට ආදරෙයි, නමුත් ඈන්ට සිද්දවෙලා තියනව තමන්ගෙම ජීවිතේ ගැටලු ටිකක් විසඳාගන්න . සමහර හවස්වරුවල ඈන් ජනෙලෙන් එපිට යම් ගෙදරක විවාහ ජිවිතේ ප්‍රීතිය සමරන යුවළක් දිහා බලාගෙන කල්පනා කරනව තමන් ගැනම. පෝල් , ඈන්ගෙ ස්වාමියා. පෝල් ගේ කැමැත්තක් නෑ වයසක ඇන්තනී මහත්මය ව තමන්ගෙ නිවසේ නවත්වාගන්න. ඈන්ටත් තමන්ගෙ රැකියාව එක්ක පියාව රැකබලා ගන්න අපහසුයි. ඒ වගේම ඔහුව රැකබලාගන්න ඔහු ලඟින් ඇය තබා යන කිසිම කෙනෙක් ඔහු ළඟ වැඩි කාලයක් රැඳෙන්නෙ නෑ. එක් හේතුවක් තියනව එහෙම වෙන්න. ඒ ඇන්තනී මහත්මය ඩෙමෙන්ෂියා නම් තත්ත්වයෙන් පෙලෙන කෙනෙක් වීම.

මිනිස් මොළයක ක්‍රියාකාරීත්වය දුර්වල වීම නිසා ඇතිවෙන තත්ත්වයන් කිහිපයක් පොදුවේ ඩෙමෙන්ෂියා නමින් හඳුන්වන්නෙ. මෙතනදි මූලිකවම එදිනෙදා ජීවිතයට අවශ්‍ය මතකය හීන වී යාම සහ කල්පනා ශක්තිය අවම වී යාමයි සිද්දවෙන්නෙ. මේ නිසා කාලය ගැන අවබෝධයක් නොමැති වීම, නිතර සාංකාවෙන් පසු වීම, පුද්ගල නම් වගේ කුඩා තොරතුරු ගැන මතකය පැටලීයාම, ඉක්මනින්ම කෝපගැන්වීම සිදුවෙනව. ඇන්තනී මහත්මයටත් වෙලා තියෙන්නෙ ඒ දෙය. ඔහුගෙ තත්ත්වය ගැන සරලවම කියනව නම් හරියට ඉරි ඇඳුණු සීඩී තැටියක් වගෙයි. හිටපු ගමන් යන ට්‍රැක් එක මාරුවෙනව, එකම ට්‍රැක් එක ආයෙ ආයෙ වාදනය වෙනව. ඉතින් ඔහු වැනි කෙනෙක් එක්ක ගණුදෙනු කරන්න කොයිතරම් ලොකු ඉවසීමක් සංයමයක් අවශ්‍ය වෙනවද? ඔහුවත් රැකබලා ගෙන තමන්ගෙ වැඩකටයුතුත් කරගෙන පවුලෙ සමගිය සමාදානයත් ආරක්ෂා කරගන්න සිද්දවෙලා තියන ඈන්ට තමන් ගෙ පියා මියගියා නම් කොයිතරම් ලේසිද කියල හිතුණොත් අරුමයක් නෑ. ඒ සිතුවිලි හදවතේ කොහේ හෝ රැඳී තියෙන්න ඉඩ ඇරල ඈන් තමන්ගෙ පියාව ඔහුගේ කැමැත්ත අකැමැත්ත නොසලකා ඔහු වැනි අය රැකබලාගන්න රෝහලක නවතා තියන්න තීරණේ කරනව. ඒ ජීවිතය කොළ හැළුණු ගසකට තමන්වම සමාන කරන ඇන්තනී මහත්මයගෙ ජිවිතයට රුදුරු ගිම්හානයක් වේවිද වැස්ස ගේන වසන්තයක් වේවි ද?

මෑතකදි පැවැත්වුණු 93 වන ඔස්කාර් සම්මාන උලළේ හොඳම නළුවා වෙනුවෙන් පිරිනැමෙන සම්මානය හිමිවෙන්නෙ The Father චිත්‍රපටයෙ ඇන්තනී ගේ චරිතය නිරූපණය කරන sir ඇන්තනී හොප්කින්ස් මහත්මයාට (Father චිත්‍රපටයට පසුබිම් වෙන නවකතාව වගේම තිරපිටපත රචනා කරමින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ ප්‍රංශ ජාතික නවකතාකරුවෙක් වුණු Florian Zeller විසින්. මේ ඔහුගෙ පළමු චිත්‍රපටය. ඔහු මේ ඇන්තනී චරිතය රචනා කරන්නෙ මහා නළු ඇන්තනී හොප්කින්ස් වෙනුවෙන්මයි) සැබෑ ජීවිතේ අවුරුදු 83 ක වයසේ පසුවෙන ඇන්තනී හොප්කින්ස් සම්මාන උළෙලවලට සහභාගි වෙන කෙනෙක් නොවෙයි. නමුත් දෛවෝපගත ආකරයට සම්මානය නිවේදනය කරන මොහොතේ දි ඔහු සිටියේ වෙල්සයේ තමන් ගේ පියාගේ සොහොන අසලයි. ඒ මොහොතේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරන ඇන්තනී හොප්කින්ස් මහත්මයා වේල්ස් ජාතික කවියෙකු වුණු ඩිලන් තෝමස් ගේ Dont go gentle into that goodnight කවියේ පද කිහිපයක් කියනව. කවියෙන් කියවෙන්නේ පියාගේ මරණ මොහොත අබිමුව සිටින මිනිසෙක් ගැන. අවසන් මොහොත දක්වාම ජීවත්වීමට වටිනා ජීවිතයක් ගතකල යුතු බවත් මරණයට නැත්නම් මහලු වයසට ඒ ජීවිතය යටපත් කරන්න ඉඩ නොදිය යුතු බවත් කවියෙ තේමාව වෙන්නෙ. මට දැනුණු ආකාරයට ඒ කවි සිංහලට පරිවර්තනය කරන්න දැරූ උත්සාහයක් මේ.

.............................................................................................

පාවී නොයනු මැන මෘදුව
ඒ සුවබර රාත්‍රිය වෙතට...
දවාහල යුතුය අවසන,
අරගල කල යුතුය
වියපත් බවට එදිරිව..
කරන්න අරගල, නැගී සිටින්න එරෙහිව
නොමියෙනා ලෙස ජීවිතාලෝකය..

නුවණැති මිනිසුන්
දනියි ඒ බැව් හොඳින්
අවසන අඳුර එළඹෙන බව..
ගිනි අවුලුවන වදනින්
නොකීවත් ඔවුන් කිසිදින
නොයයි පාවී මෘදුව
ඒ සුබ රාත්‍රිය වෙතට...

අහිංසකයින්
අවසාන මොහොත වනවිට
හඬාවැටේ හද ශෝකයෙන්...
කොළ පැහැති තැනි බිම් දිගේ
සුළඟේ පාව යයි සිහින ඔවුන්ගේ....
කරන්න අරගල, නැගී සිටින්න එරෙහිව
නොමියෙනා ලෙස ජීවිතාලෝකය....

සිත දැඩි මිනිසුන්ද
ගී ගැයූ සූර්‍යාලෝකයේ
ශෝකයෙන් පුරවාගනියි සිත
සැඳෑවෙහි හිරු ගිලීයන යුරු දැක
ඇදී යනු ඇත ඔවුනද අඳුර වෙත..
කරන්න අරගල, නැගී සිටින්න එරෙහිව
නොමියෙනා ලෙස ජීවිතාලෝකය....

සැබෑ මිනිසුන්
දනියි ලංවන බව අවසානය
බොඳව යන විට දසුන...
කඩා වැටෙනා තරුවක එළියෙන්
එළිය වන කල නෙත් යුග,
කරති අරගල ඔවුන්, 
නැගී සිටිති එරෙහිව
නොමියෙනා ලෙස ජීවිතාලෝකය....

අඳුර, වසාගනු මැනැවි මා
නිමක් නැති ඔබේ කඳුළුද සමග...
වැතිරී සිටියි මා පියාණන්
මරණයේ හෝරාව පැමිණෙනතුරු..
යදිමි මම එවිට
පාවී නොයනු මැන මෘදුව
ඒ සුවබර රාත්‍රිය වෙතට...
කරන්න අරගල, නැගී සිටින්න එරෙහිව
නොමියෙනා ලෙස ජීවිතාලෝකය..