"සමිඳාණන් වහන්සේ ද කායින්ට කතාකොට, "නුඹ මෙතරම් කිපී, දුර්මුඛ වී සිටින්නේ මන්ද? නුඹ යහපත කරන්නෙහි නම් නුඹ පිළිගනු ලබන්නෙහි ය. නුඹ අයහපත කරන්නෙහි නම් පාපය රකුසෙකු සේ නුඹේ දොරකඩ ලැග සිටින්නේ ය. ඌ නුඹ මැඬලීමට බලාගෙන සිටියි; එහෙත්, නුඹට ඌ දමනය කළ හැකි ය." යි වදාළ සේක.
(උප්පත්ති 4 : 6)
.
.
1902 අවුරුද්දෙ කැලිෆෝනියාවේ කඳුවැටි, කෙත් වතු, ගොවි බිම් බහුල සැලිනාස් නිම්නයෙ ජර්මානු සම්භවයක් ඇති ඇමරිකානු ගැමි පවුලක උපත ලැබුව එක් දරුවෙක් කවදාහරි දවසක මේ නිම්නය ලෝකයෙම අවධානයට ලක්කරාවි කියලා කවුරුවත් හිතන්න නැතුව ඇති. දරුවා කුඩා කාලෙම ඉගෙනීමට දක්ෂකමක් පෙන්නුවා. පාසල් යන අතරම ඔහු ගොවිපළවල්වල, හරක්මඩුවල වැඩ කළා. පොත පත කියවන්නත් ලියන්නත් මේ දරුවාට තිබුණේ තදබල ආශාවක්. පස්සෙ කාලෙක උපාධිධාරියෙකු වෙලා නිව්යෝක් නගරයේ මාධ්යවේදියෙකු විදිහට රැකියාවක් සොයා ගත්තත් එයින් ලැබුව අසාර්ථක බව නිසා ආයෙම ගමට ඇවිත් නොයෙක් රස්සාවල් කරමින් අමාරුවෙන් ජීවිතේ ගැටගසා ගන්න ඔහුට සිද්දවුණා. නමුත් කොයි දෙයිනුත් ලිවීමට තිබුණ ආශාව ඔහුගෙ අඩු වුණේ නෑ. ගමේ තමන්ට හුරු පුරුදු ගොවියන්, කම්කරුවන් අතරේ වැඩ කරමින් ග්රාමීය ජීවිත අත්දැකීම් අනුසාරයෙන් ඔහු ලිව්වා. ලියුව පළමුවෙනි නවකතාව ආයෙමත් අරගෙන ආවෙ අසාර්ථක බව. නමුත් අධෛර්යමත් වුණේ ඔහු නෙවෙයි. නොනවත්වාම ඔහු ලිව්වා. ක්රමයෙන් සාර්ථක බව ඔහු උපයාගන්න සමත්වුණා. සාහිත්ය සඳහා වුණු නොබෙල් තෑග්ග, ඇමරිකානු නිදහස් ත්යාගය, පුලිට්සර් ත්යාගය දිනා ගත්තා. ඔහු වෙන කවුරුවත් නෙවෙයි ඇමරිකානු ලේඛක ජෝන් ස්ටයින්බෙක්. ස්ටයින්බෙක් 1900 සියවසේ මැද ඇමරිකානු සමාජය විනිවිද දැක ලියූ ලේඛකයෙක්. සමාන්ය පොදු ජනතාව අතරේ ගැවසිලා මිනිස් ජීවිතයට බලපෑම් කරන සමාජීය කාරණා තමන්ගේ ලේඛනවලට වස්තු විෂය කරගන්න ප්රියතාවක් දැක්වූ ලේඛකයෙකු විදිහට ඔහුව සැලකෙනවා. 1930 ගණන්වල ඇමරිකාවේ සිද්ද වුණු මහා ආර්ථික අවපාතය (The Great Depression) නිසා පීඩාවිඳි සාමාන්ය මිනිස්සු ගැන ඔහු ලිව්වා. නමුත් කම්කරුවන්, ගොවියන් වගේ පීඩාවිඳින, සූරාකෑමට ලක්වෙන ජනතාව ගැන වැඩි වශයෙන් ලියන්න පෙළඹුණු නිසා ධනවාදී ඇමරිකානු රජය ඔහුව කොමියුනිස්ට්වාදය ප්රචාරය කරන්නෙක් විදිහට නම්කළා. ඇමරිකානු රාජ්යයේ සතුරෙක් විදිහට හඳුනාගත්තා. FBI ආයතනය දශක ගණනාවක් ඔහු ගැන ඔත්තු බැලුවා. ඔහුගේ සමහර පොත් තහනම් කළා. පොත් ප්රසිද්ධියේ ගිනි තිබ්බා. මේ වෙලාවෙදි ස්ටයින්බෙක් කිව්වෙ එක දෙයයි. "ඒ අය මගෙ පොත් ගිනිතියලා දමාවි, ඒත් යථාර්ථය එහෙම ගිනි තියල දාන්න ඒගොල්ලන්ට බැහැ". East of Eden, Grapes of Wrath, Of mice and men ස්ටයින්බෙක් ගේ ජනප්රියම කෘති. (බෙනට් රත්නායක මහත්මයා ගෙ "අස්වැසුම" චිත්රපටිය ස්ටයින්බෙක් ගේ The Pearl නම් කෙටි නවකතාව ආශ්රයෙන් නිර්මාණය කළ එකක්.) අපේ කතාවට මාතෘකාව වෙන්නෙ 1952 අවුරුද්දෙ පළවුණු East of Eden.
On the waterfront, Streetcar named Desire වගේ අග්ර සිනමා කෘති නිර්මාණය කළ ඇමරිකානු සිනමාකරු Elia Kazan 1955 දී East of Eden පොත මුල් කරගෙන එනමින්ම චිත්රපටියක් නිර්මාණය කරනවා. 2026 අවුරුද්දෙ ඔක්තෝබර් මාසයේදි Netflix හරහා East of Eden නවකතාව පාදක කරගත්ත කොටස් හතක රූපවාහිනී මාලා නාටකය විකාශනය වෙනවා. නෙට්ෆ්ලික්ස් වෙනුවෙන් මේ කතාව තිර රචනා කරන්නෙ Elia Kazan ගේ මිනිබිරී Zoe Kazan විසින්.
ස්ටයින්බෙක් තමන්ගේ නවකතාව රචනා කරන්නේ බයිබලීය සන්දර්භයක් ඇතුළේ. ඔහු නවකතාවට පදනම් කරගන්නේ බයිබලයේ ආරම්භයේ උප්පත්ති පොතේ එන කායින් සහ ආබෙල් ගේ කතාව. බයිබලයට අනුව කායින් සහ ආබෙල් කියන්නෙ දෙවියන්වහන්සේ මැවූ පළමුවන මිනිසා ආදම් (Adam) ගේ දරුවන් දෙදෙනා. ආබෙල්ට දෙවියන්වහන්සෙ ටිකක් වැඩිපුර කැමැත්තක් දක්වනවා. කායින්ට මේ නිසා තමන්ගෙ සහෝදරයා ගැන ඇති වෙන්නේ ඊර්ෂ්යාව මුසු වෛරයක්. මේ වෛරය දුරදිග ගිහින් කායින් අතින් ආබෙල් මැරුම් කනවා. කායින් දේව උදහසට ලක්වෙනවා. ආදම් සහ ඔහුගේ දරු පරපුර ජීවත් වුණේ දෙවියන් ඔවුන් වෙනුවෙන් නිර්මාණය කළ ඒදන් (Eden) උයනේ සරුසාරවත්ම කොටසක. සහෝදරයාව මරාදමලා තමන් කරගත්ත පාපය නිසා කායින්ට ඒදන් උයනේ නැගෙනහිරට (East of Eden) පිටමං වෙලා යන්න සිද්ද වෙනවා.
East of Eden කතාව කැලිෆෝනියානු සැලිනාස් නිම්නය පසුබිමේ පරම්පරා තුනක් තිස්සේ ගලා යන පවුල් අන්දරයක් විදිහටයි ලියැවිලා තියෙන්නෙ. පවුලක තියන දෙමව්පියො, දූදරු, සහෝදර සම්බන්ධකම් ඇතුළේ ඇතිවෙන එදිරිවාදිකම් ගැනත් ඒ දේවල් ඔවුන්ගේ ජීවිතයම හැඩගස්වන හැටිත් මේ කතාවෙ අන්තර්ගතයි. ඇඩම් සහ චාල්ස් සහෝදරයෝ, ඔවුන්ට මුණගැහෙන නන්නාඳුනන තරුණිය කැතී කතාවෙ ප්රධාන චරිත. ඇඩම් ගේ දරුවන් දෙන්නා කේලබ් සහ ආරොන්. කායින් සහ ආබෙල්ට සමපාත වෙන්නෙ මේ දෙන්නා. ස්ටයින්බෙක් මේ නවකතාවේ පදනම විදිහට අරගන්නේ මේ සටහනේ මුලින්ම සඳහන් වෙන බයිබල් පාඨය. උප්පත්ති කතාවෙදි, කායින් තමන්ගෙ සහෝදරයා ආබෙල් සමග නොමනාපයෙන් පසුවෙනා බව දැනගත්තාම දෙවියන්වහන්සේ කායින්ට දෙන උපදෙස තමයි ඒ විදිහට බයිබලයේ කියැවෙන්නෙ.
අපි හැම කෙනෙකුටම අපිටම අනන්ය වුණු චරිත ස්වභාවයක් තියනව. කායින් ගේ විදිහ එකක්, ආබෙල් ගේ විදිහ තවත් එකක්. අපිට වෙනස් කරගන්න බැරි, නැත්නම් වෙනස් කරන්න සෑහෙන අමාරු ජන්මයෙන් එන පුද්ගල ස්වභාවයන් වගේම අපිට වෙනස් කරන්න පුලුවන්, අවශ්ය විදිහට හැඩගස්වා ගත හැකි පැතිකඩකුත් අපිට තියනව. ඒ බයිබල් පාඨයෙන් කියවෙන්නෙ අපිට තෝරා ගතහැකි ජීවිතය ගැන. කැතී සහ ඇඩම් චරිත දෙක සංසන්දනාත්මකව ගොඩනැගෙන්නේ මේ කාරණේ පදනම් කරගෙන. දෙදෙනාම දුෂ්කර ළමා වයසක පීඩාකාරී උරුමය ලැබූ අය. කැතී සහජයෙන්ම යම් නපුරු බවක් අරගෙන එන චරිතයක්. ඒ බලපෑමෙන් එයා තෝරාගන්නෙ මුළුමනින්ම දුෂ්ඨකම සහ දුෂ්ඨකමේ බලය අවියක් කරගෙන නැගීහිටීමේ මාර්ගයක්. අනෙක් අතින් ඇඩම් ආදරණීය බව සහජයෙන්ම උරුම කරගත්තු මුදු මොළොක් චරිතයක්. තමන්ගේම සහෝදරයා වුණු හිත්පිත් නැති චාල්ස් ට වඩා බොහොම වෙනස් කෙනෙක්. ඒ බලපෑමෙන් ඇඩම් තෝරාගන්න පෙළඹෙන්නෙ අසීමිතව ආදරය කරන දයාන්විත මනුෂ්යයෙකුගේ ජීවිතයක්. නමුත් මේ දෙදෙනාම තමන්ගේ තෝරාගැනීම් වල වින්දිතයන් බවට පත්වෙනවා. කිසිම ළතෙත් බවත් නැති අන්ත නපුරුකමත්, දුරදිග නොබලා පමණට වඩා අනුකම්පා කිරීමත් එකිනෙකට වෙනස්ව නමුත් විනාශය අරගෙන එනවා. හිතන්න කැතී සහ ඇඩම් එකතැනකදි මුණගැහුණොත් වෙන්න පුලුවන් කොහොම ඛේදවාචකයක් ද! (කතාමාලාවේ ආරම්භක දර්ශනය වෙන්නෙ කෙනෙකුගෙන් පහර ලබන කැතී පොළවේ බඩගාගෙන ඇඩම්ගේ නිවසට පැමිණෙන දර්ශනයෙන්. මම හිතනව කැතී ගෙන් සංකේතවත් වෙන්නේ සර්පයා කියලා. උප්පත්ති පොතේ ආරම්භයේදි දෙවියන්වහන්සේ මිනිස්සු අතරට පාපය ආරගෙන ආව සර්පයාට සාප කරනව "තෝ සාප ලද්දෙකු වේවා. පොළව පුරා බඩගා යමින් තා දූවිලි කන්නෙහිය" කියලා. මෙතනදි කැතී නම් සර්පයාත් ඇඩම් ඒ සර්පයා අරගෙන එන පාපයට ගොදුරු වෙන ආදම්වත් සංකේතවත් කරනවා) කැතී සහ ඇඩම් දෙදෙනා ගේ අන්ත දෙක අතරමැද තැනකයි සමබර ජීවිතයක අර්ථය පවතින්නේ. ඒ උරුමය අවසානෙ හිමිවෙන්නේ ඇඩම් ගේ දරුවන්ට. ඒ වෙනුවෙන් ඔවුන්ට ගෙවන්න සිද්දවෙන මිල ඉතාම ඉහළයි.
East of Eden වගේ ලෝකය පුරා සම්භාවනාවට පත් වුණු නිර්මාණයක් රූපවාහිනියට අරගෙන එද්දී ඒ තියන සාහිත්යමය බර ඒ විදිහට ආරක්ෂා කරගෙන මේ කතාව ප්රතිනිර්මාණය කරන එක ලොකු අභියෝගයක් බව අමුතුවෙන් කියන්න අවශ්ය නෑ. නෙට්ෆ්ලික්ස් මේ අභියෝගය බොහොම සාර්ථකව ජයගෙන තිබෙනවා. ස්ටයින්බෙක් දුටුව සැලිනාස් නිම්නයේ රූපමය සෞන්දර්ය ඇහැට සනීප විදිහට ප්රතිනිර්මාණය කර තිබුණා. Music වලිනුත් කතාවට අවශ්ය මූඩ් එක හදනවා. East of Eden කියන්නෙ මේ හැම අංශයකින්ම සියල් සපිරි වැඩක්.
පොතට සාපේක්ෂව East of Eden නෙට්ෆලික්ස් කතාවේ දි කැතී ආමේස් ගේ චරිතය වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් කර තිබුණාද කියන ප්රශ්නය ගොඩක් දෙනා මතු කර තිබුණා. මොකද 1955 චිත්රපටියෙදි කැතී ගෙ චරිතය නිරූපණය කරල තියෙන්නෙ සෑහෙන අවම ව. සීයාගෙ ක්රමයට වඩා වෙනස්ව මේක ප්රතිනිර්මාණය කරන්න මිනිබිරියට උවමනා වුණා වෙන්න පුලුවන්. මම හිතනවා පොත රූපවාහිනී තිරයට එද්දී ආකර්ෂණීයබවක් ලබා දෙන්නත්, ඇඩම් ගේ චරිතයට සාපේක්ෂව වඩාත් වැඩිපුර ඉස්මතු වෙන්නත්, අනෙක් ප්රධාන පිරිමි චරිත අතර ප්රධානව ගැහැනු චරිතය විදිහට ඇයව ගොඩනගන්නත් නිසා මේ නිර්මාණකරුවන් කැතී ගේ චරිතයට වැඩි බරක් දෙන්න ඇති කියලා. කොහොම නමුත් කැතී ආමේස් විදිහට Florence Pugh ගේ රඟපෑම බොහෝම ඉහළයි. Christopher Abbott, Mike Faist, Hoon Lee ප්රධන චරිත රගදක්වන හැම කෙනෙකුම මතක හිටින රංගනයන් ඉදිරිපත් කරනවා. ඇඩම්ගෙ පවුලේ චීන ජාතික ගෘහ සේවකයා ලී ගෙ චරිතයත් අමතක කරන්න බැහැ. කතාවේ සාදාචාරමය වටිනාකම ගැන සංවාදය මතුවෙන්නේ ලී හරහා. ලී බොහොම දක්ෂ ගෘහ සේවකයෙකු වගේම ඇසූ පිරූ තැන් ඇති, කරුණු කාරණා තේරුම් ගන්න දාර්ශනික ගැඹුරක් ඇති කෙනෙක් විදිහට කතාවේ ඉදිරිපත් වෙනවා. ඔහුගෙ ජීවිත අත්දැකීම ඔහුව එවැනි කෙනෙක් බවට පත් කරන්න ඇති. මුලින්ම සඳහන් කළ බයිබල් පාඨය කතාවේ එක තැනක කියවෙනවා. ඒ කතාව කියන්නේ ලී. ඒ මොහොතත්, පසුකාලීනව ඇඩම් ගේ දරුදෙන්නා ගෙන් එක්කෙනෙක් වුණු කැල් ගේ ජීවිතයට ඒ කතාව බලපාන හැටිත් අවධානයෙන් බලන්න කියලා කතා මාලාව නරඹන කෙනෙකුට යෝජනා කරන්න කැමතියි.





