Friday, September 11, 2026

හුදෙකලාවේ වෙරළ තීරයේ හිඳ කවි ලියූ කිවිඳිය

 ඈ කිසිදු අධ්‍යාපන සහතිකයක් හෝ ජීවන සැලසුමක් නොමැතිව විදුහලෙන් ඉවත් වී ගියා ය. ඉන්පසුව තමා උපන් ඔහායෝ ප්‍රාන්තයෙන්ද නික්මුණා ය. අබලන් වී ගිය සටහන් පොතක් ද, දිනපතාම එළිමහනේ ඇවිද යන පුරුද්දක්ද හැර ඈ සතුව වෙනත් කිසිවක් නොතිබුණි. නමුත් දශක ගණනාවකට පසුව, මේරි ඔලිවර් ඇමරිකානු ඉතිහාසයේ වැඩියෙන්ම කිවීමට ලක්වුණු කිවිඳියක බවට පත් කළේ ද මේවා ම ය.

මේරි ඔලිවර් 1935 වසරේ සැප්තැම්බර් 10 වන දා ඔහායෝ ප්‍රාන්තයේ මේපල් හයිට්ස් හි උපත ලැබුවා ය. ඇය තම ළමා කාලය ගැන හෙළිදරව් කර ඇත්තේ ස්වල්ප වශයෙනි. ඈ බොහෝ දුෂ්කර ළමාවියක් ගෙවූ බවත්, සොබාහදම ඇගේ එකම රක්ෂාස්ථානය වූ බවත් පැහැදිලිය. ඇයට වයස අවුරුදු 14 වන විට, කිසිවෙකු ඇයව කිවිඳියක යැයි හැඳින්වීමට බොහෝ කලකට පෙර, ඇය තම සටහන් පොත්වල ඇගේම කවි කුරුටුගාන්නට පටන් ගෙන තිබුණි.


1950 වන විට, තම නව යොවුන් වියේදී, ඇය මියගිය කිවිඳියක වන වන එඩ්නා සෙන්ට් වින්සන්ට් මිලේට අයත් වතුයායක් වන නිව් යෝර්ක්හි ස්ටීප්ලෙටොප් වතුයාය වෙත යන මාර්ගය සොයා ගත්තාය. එහිදී ඇය එඩ්නාගේ සහෝදරිය වන නෝර්මා මිලේ සමඟ කාලය ගත කළ අතර මියගිය කිවිඳියගේ ලිපි ලේඛන පිළිවෙළ කිරීමට උදව් කළාය. ඇමරිකාවේ වඩාත්ම කීර්තිමත් කිවිඳියකගේ පෞද්ගලික ලේඛනාගාරයේ වැඩ කිරීමට ලැබීම යෞවනියක ලෙස අවධිමත් අධ්‍යාපනයක් වුණු අතර එයින් උගත් දෑ ඇගේ ජීවිතය පුරා නොමැකී පැවතුණි.


වයස විසි ගණන් වන විට මේරි ඔලිවර් මැසචුසෙට්ස් ප්‍රාන්තයේ කේප් කෝඩ් කෙළවරේ පිහිටි ප්‍රොවින්ස්ටවුන් හි පදිංචියට පැමිණියා ය. නගරයේ කුඩා පොත් සාප්පුවක් පවත්වාගෙන ගිය ඡායාරූප ශිල්පිනියක වූ මොලී මැලෝන් කුක් සමගින් මේරි ඔලිවර් එහිදී ගොඩනඟා ගත් ජීවිතය 2005 දී කුක් මිය යන තෙක් දශක හතරකට වැඩි කාලයක් පැවතුණි. කුක් ඔලිවර්ගේ ඡායාරූප ගත්තාය, ඇගේ කාර්යයට සහාය දුන්නාය, වසර ගණනාවක් ඇගේ වෘත්තීය ජීවිතය ඵලදායී ලෙස කළමනාකරණය කළාය - එය ඔවුන් ජීවත් වූ භූමි දර්ශනය තරම්ම නිහඬ හා ස්ථාවර හවුල්කාරිත්වයක් විය.


ප්‍රොවින්ස්ටවුන් ගම් පළාත ඔලිවර්ට ඇගේ කවිය සඳහා අවශ්‍ය සියල්ල ලබා දුන්නේය: කලපු වගුරු බිමි, පයිනස් වනාන්තර, වැඩබිමක් වූ වරායක් සහ ඍතු මාරුවීම සමග රන් පැහැයෙන් රෝස පැහැයට වර්ණ වෙනස් වන සැතපුම් ගණන් දිග වෙරළ තීර ඒ අතර විය. ඇය දශක ගණනාවක් පුරා සෑම දිනකම පාහේ කබා සාක්කුවේ සටහන් පොතක් දමාගෙන, දකිනා දේ වියැකී යාමට පෙර සටහන් කර ගනිමින්, එම වනාන්තර සහ වැලි කඳු අතර ඇවිද ගියා ය.


ඇගේ පළමු කාව්‍ය සංග්‍රහය වන "No Voyage and Other Poems" 1963 දී නිකුත් විය. ඒ ගැන කුමක් කිව යුතු දැයි විචාරකයින්ට නිනව්වක් නොවීය. සාමාන්‍යයෙන් කවියට වස්තුවිෂය වීමට නියමිතව තිබූ දේවල් වලින් ඇගේ කවි පුදුම සහගත ලෙස වියුක්ත විය - ඒවායේ නගර නැත, තාක්ෂණික දෑ නැත, මෝටර් රථ නැත, තවත් මිනිසෙක් පෙනෙන්නටවත් නැත. සමහර මුල්කාලීන විචාරකයින් ඇගේ කවියේ මෙම ගති සොබාව එහි දුර්වලතාවක් ලෙස සැලකූහ. නමුත් එය එසේ නොවුණි.


බොහෝ දෙනෙකුට මග හැරෙන දෙය මෙයයි: මේරි ඔලිවර්ගේ කවිවල මිනිසුන් සහ යන්ත්‍රෝපකරණ නොමැතිකම අතපසුවීමක් හෝ අභිලාෂයක් නොමැතිකමක් නොවෙයි. ඇගේ කවියේ සමස්ත ප්‍රතිපදාවම එයයි. ඇය වරක් පැවසුවේ ඇගේ ක්‍රමය ඉතාම සරල බවයි - අවධානය යොමු කරන්න, පුදුම වන්න, ඒ ගැන කියන්න - ඒ සඳහා නිසග දක්ෂතාව පමණක් නොව, පුහුණු කරගත් රසිකත්වයක් ද අවශ්‍ය ය. නූතන ජීවිතයේ ඝෝෂාව බැහැර කිරීමෙන් ඇය පාඨකයා සාමාන්‍යයෙන් නොදැක්කා සේ මගහැර ගමන් ගමන්නා දෙයක් දෙස නැවත හැරී බැලීමට ඉඩ සැලසුවාය: කරවැල් කොකෙක්, කෙතක්, තමන්ගේම හුස්ම වැනි දේවල්. එය නිරුත්සාහිකවම රචනා කර ඇති බව පෙනුණත් එසේ නොවුණු විප්ලවීය එළඹුමක් විය.


ඒ කවිවලට දෙවන ස්ථරයක් ද ඇති නමුත් බොහෝ දෙනා එය සඳහන් කරන්නේ කලාතුරකිනි. මේරි ඔලිවර් හුදෙක් තම සතුට සඳහා හුදෙකලාව හඹා යන ආරණ්‍යවාසිනියක නොවූවා ය. පොත් සාප්පුව පවත්වාගෙන යමින්, ලේඛන වෘත්තීය කළමනාකරණය කරමින්, වසර හතළිහක් ඇය අසල මොලී කුක් සිටිය නිසා ඔලිවර්ට හැම උදෑසනකම අවදි වී වැලි කඳුවැටි දිගේ ඇවිදීමට හැකියාව ලැබුණි. සොබාදහම සමඟ වූ හුදෙකලා සහයෝගීතාවයක් ලෙස කියවෙන ඒ දිවිය ප්‍රායෝගිකව, බොහෝ පාඨකයින් කිසිදා අසා නැති දිගු ගෘහස්ථ හවුල්කාරිත්වයක් මගින් රඳවා තබා ගන්නා ලදී. කවි පැමිණියේ ඇවිද ගිය ගමන් වලිනි. ඇවිදීමට හැකි වූයේ වෙනත් කෙනෙකුගේ සහයෝගීත්වය මත පැවතුණු ජීවිතයක් මගිනි.


ඇගේ කවි පාඨකයා අතරට ගියේ සෙමින් නමුත් එකවරම ය. 1984 දී "American Primitive" නම් වූ ඇගේ පස්වන කාව්‍ය සංග්‍රහයට කවිය වෙනුවෙන් වූ පුලිට්සර් ත්‍යාගය හිමි විය. ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පතේ විචාරක හොලි ප්‍රාඩෝ ලිව්වේ ඔලිවර් යනු "ගොදුරු හඹායන්නන් සහ ගොදුරට ලක්වන්නන් ලෙසින් ලෝකය පිළිබඳ ප්‍රායෝගික දැනුවත්භාවය රඳවා ගනිමින්, ප්‍රහර්ෂය දැනවීමට හැකි" ඇමරිකානු කවියන් කිහිප දෙනා අතර සිටින කෙනෙකු බවයි. මේරි ඔලිවර්ගේ පන්හිඳෙන් සොබාදහම කිසිවිටෙක තනුක කරණයට ලක්වූයේ නැත. විටෙක එය සුන්දරය, නමුත් තවත් විටෙක එය රුදුරුය. ඈ ඒ බව වසන් නොකළා ය. 1992 දී ඇගේ "New and Selected Poems" කෘතියට ජාතික සම්මානය හිමි විය. එහි වූ "The Summer Day" කවියේ ඇගේ වැඩියෙන්ම උපුටා ගැනීමට ලක් වූ පද පේළිය ඇතුළත් විය.


"Tell me, what is it you plan to do 

with your one wild and precious life?"


හුරුබුහුටි අත් බෑග් සහ උපාධි සුබපැතුම්පත් වල අනේක වාරයක් මුද්‍රණය කර ඇති මෙම පැදි පේළිය ලියා ඇත්තේ සටහන් පොතක් අතැතිව, පළඟැටියෙකු සැබවින්ම ඇස ගැටෙන තුරු බලා සිටිමින්, ඇගේ "නොදැමුණු සහ මාහැඟි" දිවිය වගුරු බිම්වල හුදෙකලාවේ ඇවිද යමින් ගෙවා දැමූ කාන්තාවක් විසින් බව අමතක කිරීම උගහටය.


2007 වර්ෂයේ ඇය ලියූ "The Uses of Sorrow" කවිය අන්ධකාරය වෙත එම ආලෝක දහරාවම යොමු කරයි, 


"Someone I loved once gave me 

a box full of darkness. 


It took me years to understand 

that this, too, was a gift."


උපමා රූපක නැත, භාෂාමය සැරසිලි නැත, එය මුළු මතක සටහන් පොතකම සාරය හකුළුවා සුපැහැදිලි පැදි පෙළකට ගොනු කරවයි.


ඇගේ වෘත්තීමය ලේඛන දිවිය තුළ මේරි ඔලිවර් ගගන්හයිම් සමූහයේ සාමාජිකත්වය, කලාව සඳහා වූ ජාතික සමූහයේ සාමාජිකත්වය, ඇමරිකානු ලේඛන කලා ඇකඩමි සම්මානය, ඇමරිකානු කාව්‍ය සංගමයේ ෂෙලී අනුස්මරණ සම්මානය සහ ඇලිස් ෆේ ඩි කැස්ටැග්නෝලා සම්මානය දිනා ගත්තාය. ඇය දශක ගණනාවක් පුරා සෑම වසරකට හෝ දෙකකට වරක් නව කවි එකතුවක් බැගින් ප්‍රකාශයට පත් කළාය. එය කවිය සොයා දිනපතා එකම මුහුදු වෙරළ තීරය දිගේ සැතපුම් ගණන් ඇවිද යාම නොනැවැත්වූ කෙනෙකුට සාධනීය අගයක් වනු ඇත. 


ඇය අවසාන මොහොත දක්වාම ලිවීම නොනැවැත්වූවා ය. ලිම්ෆෝමා තත්වයෙන් රෝගාතුරව සිටි ඇය 2019 වසරේ ජනවාරි 17 වන දින වයස 83ක් ව සිටියදී තම දිවි සැරිය නිම කළා ය. ඇගේ වඩාත් ප්‍රකට කාව්‍යයක් වන "When Death Comes", මරණයේ සමස්ත කාර්යය සඳහා වූ නිබන්ධන ප්‍රකාශයක් මෙන් කියවේ:


When it's over, I want to say: all my life 

I was a bride married to amazement. 

I was the bridegroom, taking the world into my arms.


ඇය එය රචනා කළේ 1991 වසරේ ය, ඇගේ මරණයට දශක තුනකට කලින් ය. 


ඇය මිය යන විට, ඇය ඇමරිකා එක්සත් ජනපදයේ වැඩියෙන්ම කියවීමට ලක්වන කිවිඳිය වූවාය. වඩාත්ම පැසසුමට ලක්වූ කිවිඳිය නොව, ශාස්ත්‍රීය සඟරාවල සාකච්ඡා කරන ලද කිවිඳිය නොව - වැඩියෙන්ම අලෙවි වන, සැබෑ පාඨකයින් මිලදී ගෙන නැවත කියවා ඔවුන් ආදරය කළ අය සමග බෙදාහදාගත් කිවිඳිය විය. කවුරුන් බලාසිටියත් නැතත් සැමදාම සුපුරුදු දින චර්යාවක යෙදී වෙරළේ රළ නැගෙන බැසෙනා යුරු බලා සිටිමින්, සිලිබිල්ලන් ආදී කලපු කුරුල්ලන් ද, හොග්නෝස් සර්පයන් ද සොයමින්, මිනිස් ඇසුරෙන් මුළුමණින්ම ඈත් වී තම කාලය ගෙවා දැමූ කෙනෙකු ලෙසින් නම් එය අමුතුම ආකාරයේ ජනප්‍රියතාවකි.


අවධානය, කිසිවිටෙකත් සුළුකොට තැකිය යුතු යමක් නොවීය, ඇගේ කවියේ සමස්ත භාවිතයම එහි විය, සමහර විට කවිය මුළුමණින්ම රඳාපැවතුනේ ඒ මත ය.


~Translated from the fb page "Echos of the Past"




Sunday, September 6, 2026

වැසි දවස

නිරසයි මේ දවස, තෙත්බරයි, අඳුරුයි

ඇද හැලෙයි වරුසා, හමන සුළඟද රුදුරුයි,

ඇදී යයි මිදි වැළ, ඉපැරණි බිත්තිය දිගේ

හමා එන සුළං දහරේ, මැරුණු මිදි පත් ඇද හැලේ,

නිරසයි මේ දවස, අඳුරුයි.


නිරසයි මගෙ දිවිය, තෙත්බරයි, අඳුරුයි.

ඇද හැලෙයි වරුසා, හමන සුළඟද රුදුරුයි,

ඇදී යයි මගෙ සිතුම්, ඉපැරණි කාලය දිගේ,

තුරුණු විය මගෙ පැතුම්, හමන සුළඟේ ඇද හැලේ,

නිරසයි මේ දවස්, අඳුරුයි.


ඉවසනු මැනවි මා හද, නවත්වා ළතැවිලි,

වැහි වළාවලට ඔබ්බෙන්, සුදිලේය හිරු එළි,

නුඹට මෙන් කාහටත්, එකම ඉරණම එයයි,

ගෙවෙන හැම දිවියකටම, වැහි පොදක් ඇද හැලිය යුතුයි,

නිරස විය යුතුයි සමහර දවස්, අඳුරු විය යුතුයි.


"The Rainy Day" by Henry Wadsworth Longfellow ~






Monday, May 11, 2026

The Drama (2026)

 "කෙනෙකු සම්බන්ධයෙන් නරකම දෙයක් දැනගෙනත් කිසි වෙනසක් නැතුව එයාව බාරගන්න ඔයාට පුලුවන් ද?"


මේක අනිවාර්යයෙන්ම "ඔව්" හරි "නෑ" හරි කියලා කෙලින් ඉරක් ගැහුවා වගේ උත්තර දෙන්න සෑහෙන අමාරු ප්‍රශ්නයක් බව පැහැදිලියි. මෙතනදි ඒ පුද්ගලයා එක්ක අපිට තියන සමීපත්වය සහ හොඳ නරක සම්බන්ධයෙන් අපිට තියන මිනුම් දඬු අනුව අපි ගන්න තීරණය මොන වගේ එකක් ද කියලා රඳා පවතිනවා. මිනිස්සු කොහොමත් හොඳ සහ නරක දෙකම අඩු වැඩි වශයෙන් මිශ්‍රණය වෙලා තමයි හැදිලා තියෙන්නෙ. ඕනෑම කෙනෙකුගෙ "නරක" පැත්ත අපි දරාගන්න සීමාවක් තියනවා. ජීවිතේ අපිට වැඩියෙන් සමීප වෙන්නෙ මේ විදිහට දරාගත හැකි උපරිම නරක සීමාවක් තියන අය වෙන්න ඕන. 


හැබැයි සමාජයක් ඇතුළෙ දි ගොඩක් වෙලාවට මිනිස්සු අනෙකා ගෙ "යහපත්" සහ "ආලෝකමත්" පැත්තට වඩා "නරක" සහ "අඳුරු" පැත්ත වැඩියෙන් දකින ස්වභාවයක් තියනවා. කෙනෙකු ගාව කොයිතරම් අගය කළ හැකි හොඳ ගුණාංග තිබුණත් එයා ගෙ නරක ගතිගුණාංගයක් දිහා බලලා ඒ පුද්ගලයාව විනිශ්චය කරනවා. මේකෙ මනෝවිද්‍යාත්මක පසුබිමක් තියනව. ඒ කියන්නෙ අවුරුදු ලක්ෂ ගානක මානව පරිණාමය එක්ක කාලයක් කැලෑවෙ දඩයමක් කරගෙන ජීවිත ගත කරමු අපේ වර්ගයාගෙ මොළය හැඩ ගැහිලා තියෙන්නෙ ආරක්ෂාව සහ අනතුර හඳුනා ගැනීම මූලික කරගෙන. කෙනෙක්ව තේරුම් ගන්නව කියන්න මනස ටිකක් පුරුදු කරන්න ඕන අමාරු වැඩක්. ඒ නිසා මිනිස්සු තව කෙනෙකුගෙ වැරදි ඉක්මන්ටම දකින්නත් ඒව ප්‍රචාරය කරන්නත් ඉක්මණින්ම පෙළඹෙනවා. 


මේ අවුරුද්දෙ ආව The Drama කියන Black Comedy film එකෙත් තියෙන්නෙ මූලිකවම ඔය වගෙ සිද්ධියක්. Coffe shop එකකට වෙලා තනියම පොතක් කියව කියව ඉන්නා Emma ව දකින ගමන් Charlie ට මේ සුන්දර ගෑනු ළමයා ගැන හිතක් පහළ වෙනවා. ඒක ඉතින් සොබාවිකයි නෙ. ඒත් කොහොමද මේ ගෑනුළමයා එක්ක කතාවකට පොටක් පාද ගන්න ඕන හින්දා ඒ වෙලාවෙ හැටියට බොරු හේතුවක් හදාගෙන Charlie එයා එක්ක කතාවට වැටෙනවා. ඒ පටන් ගන්න කතාව දුර දිග ගිහිල්ලා අන්තිමට Charlie සහ Emma ප්‍රේමවන්තයින් බවට පත් වෙලා විවාහයට දවස් නියම කරගන්න තැනටම එනවා. නමුත් හැමදේම අනිත් පැත්ත හැරෙන්න පටන් ගන්නෙ විවාහයට දවස් කීපයකට කලින් Emma තමන් ගැන කරන එළිදරව්වකින් පස්සෙ. ඉන්පස්සෙ හරියට සමනල් තටුවක සෙලවීමක් කුණාටුවක් දක්වා වැඩිවර්ධනය වෙනවා වගේ ඒ එක සිදුවීම දුර දිග ගිහිල්ලා මහ විනාසයකුයි වෙන්නෙ. 


The Drama කියන්නෙ 2023 අවුරුද්දෙ නිකලස් කේජ් ව අරගෙන ටිකක් අමුතු ජාතියෙ චිත්‍රපටියක් වෙච්ච Dream Scenario හදපු ක්‍රිස්ටොෆර් බෝර්ග්ලි ගෙ වැඩක්. ඒ වගෙම මේ ජාතියෙ අමුතු වැඩවලටම නම් දරාපු A24 බෙදා හැරීමක්. ෆිල්ම් එක ගැන ගොඩක් අය උනන්දු වෙන්න බලපාපු ලොකුම හේතුව, ඇත්තටම කිව්වොත් හේතු දෙක, වෙන මොකක් වත් නෙමෙයි අර උඩ කියපු ප්‍රධාන චරිත දෙක රඟපාපු Robert Pattinson සහ Zendaya දෙපළ. Dramatic ප්‍රේමවන්තියගෙ චරිතෙ Zendaya ගෙන් අපි මීටකලිනුත් දැකලා තියනවා. එතනදි මුලින්ම මට මතක් වෙන්නෙ Challengers ෆිල්ම් එක. ඒවගේම මෙතනදිත් චරිතයට අවශ්‍ය act එක එයා දීල තියනව. අනෙක් අතට Robert Pattinson.. මුලින්ම එලියට ආව Twilight එකේ පෙම්වතා ගෙන් සෑහෙන එහාට ගිහින් මේ අවුරුද්දෙ ම නෝලන් ගෙ Odyssey සිට Batman දක්වා ලොකු පරාසයක වැඩ කරන ආකාරය දැකගන්න ලැබීම සතුටක්. මෙතනදි Robert බොහොම ඉක්මණට මානසිකව බිඳ වැටෙන අති සංවේදී, අස්ථාවර තරුණයෙකුගේ චරිතය හරි අපූරුවට රඟදක්වනවා.


චිත්‍රපටියෙ එක දර්ශනයක් තියනවා මට තදින් දැනිච්ච. එතනදි Charlie එයාගෙ මිතුරියකට පැහැදිලි කරනවා මොකක් හරි ලොකු විනාශකාරී දෙයක් කරන්න ඔන්න මෙන්න වෙන තැනටම ගිහිල්ලා ආපහු හැරිලා ආපු අය කොයිතරම් මේ සමාජෙ ඉන්නව ඇති ද කියලා. ඒ දේවල් ගැන කිසි කෙනෙක් දන්නෙ නෑ, මොකද ඒ ගොල්ලො කාටවත් ඒ ගැන කියලා නැති නිසා. ඒ මොහොතෙදි සෙනඟ පිරුණ වීදි වල ඇවිද යන කෙනෙක් දෙන්නෙක් තිරය මත දර්ශනය වෙනවා. එයාලා අපි පාරක තොටක දකින අතිශ්‍ය සාමාන්‍ය මිනිස්සු. ඒ අයගෙ ඇතුළාන්තයෙ මොනවගෙ විපරිණාමයක් වෙමින් පවතිනවද කියන්න අපි දන්නෙ නෑ. ඒ වගේ එහෙම ලොකු ඛේදවාචකයන්ට ඔන්න මෙන්න ඉඳලා හැරිලා ආව මිනිස්සු ගැහැනු අපේ ජීවිත වල එදිනෙදා මුණගැහෙන අය අතරේ කොච්චරක් නම් ඉන්න පුලුවන් ද? අපි ඒ අය ගැන අපේ විනිශ්චයන් දෙන්නේ ඒ මිනිස්සු ගැන හැමදෙයක්ම දැනගෙන ද?




Saturday, February 21, 2026

"ඔහුව මරණ දණ්ඩයට පිරිහෙළනු ලැබීය, නමුත් ඒ මොහොතේ ඔහු ජීවිතය උගත්තේ ය."

මෙලොව ජීවත් වූ බොහෝම දාර්ශනිකයන්ට වැඩියෙන් ෆියෝදර් දොස්තොව්ස්කි මිනිස් සංවේදනාවන් අවබෝධ කරගත්තේය, ඒ ඔහුට ඒවා තුළින් ජීවත් වන්නට සිදුවූ බැවිනි.

වර්ෂ 1849 දී වයස 27 ක් වුණු දොස්තොව්ස්කිව අත්අඩංගුවට ගනු ලැබුවේ එවකට තහනම් කර තිබූ දේශපාලන අදහස් ගැන කතා කළ සාහිත්‍ය කණ්ඩායමකට ඔහු අයත් වී සිටි නිසාය. ඔහු ශාන්ත පීටර්ස්බර්ග් නුවර හිම මිදුණු සිරකුටියක සිරගත කෙරුණු අතර එහි සිටියදී වෙඩි තබා මරන්නට නියම කෙරුණි.


මරණ දණ්ඩනය ලැබෙන දා උදෑසන ඔහුගේ දෑස් බැඳ අවි අමෝරා ගත් සොල්දාදුවන් පෙළක් හමුවේ අවසාන තීන්දුව ලැබෙන තුරු සිටුවා තබා තිබුණි. අවසන් මොහොත කිට්ටු වෙද්දීම වාගේ පණිවුඩ කරුවෙක් පැමිණ ඔහුගේ මරණ දඬුවම සාර් රජතුමා විසින් අත්හිටවූ බව දැනුම් දුන්නේ ය. නමුත් රජතුමා මේ සමාව පිරිනමා තිබුණේ වඩාත් දුෂ්ඨ අරමුණෙන් යුතුව ඔහුගේ ආත්මය තවදුරටත් බිඳදමනු පිණිස ය. 


ඔහුට අවුරුදු හතරක් බරපතළ වැඩ සහිතව සයිබීරියාවේ සිර කඳවුරක ගෙවා දමන්නට සිදුවිය. ඔහුගේ දෙපා විලංගු වලින් බැඳ දමා තිබුණි. ඔහුට නිදන්නට සිදු වුණේ සොරුන් සහ මිනීමරුවන් සමග පිදුරු ගොඩකය. මෙහිදී ඔහුට නිදහසද, යහපත් සෞඛ්‍ය තත්වයද, සමාජ පිළිගැනීමද යන සියල්ල අහිමි විය. නමුත් වෙනත් යමක් ඔහු සොයාගත්තේ ය. එනම් දයාන්විත බවයි.


වඩාත්ම බිඳවැටුණු ආත්ම තුළ පවා දිව්‍යමය ආලෝක බිඳක් පවතින බව ඔහු දුටුවේ ය. සෑම මිනිස් හදවතකම යහපත සහ නපුර එක හා සමව වාසය කරන ආකාරය ඔහු දුටුවේ ය. අවසානයේ නිදහස ලැබුණු පසුව ඔහු ලියන්නට පටන්ගත්තේ හුදෙක් වේදනාවන් ගැන කරුණ කාරණා රැස් කරගත් මිනිසෙකු ලෙසින් නොව, එය මුහුණට මුහුණලා දුටුව මිනිසෙකු විලසින් ය.


මේ අත්දැකීම් ඔහු ලියූ සෑම වචනයක්ම හැඩගස්වනු ලැබීය. Crime and Punishment, The Idiot, Demons, The Brothers Karamazov — මේ සියල්ල බිහිවූයේ ඒ සත්‍යතාවයෙනි: එනම් නිදහස ලබාගත හැකි මාර්ගය වැටී ඇත්තේ වේදනාව හරහා පමණක් බවත් අඳුරුම හදවතකට වුවත් ආලෝකවත් වීමේ හැකියාව ඇති බවත් ය.


"මනා වූ බුද්ධියකට ද ගැඹුරු වූ හදවතකට ද වේදනාව සහ විඳවීම නිතරම අනිවාර්ය වෙයි" යනුවෙන් දොස්තොව්ස්කි වරක් ලිවීය. ඔහු දුර්භාග්‍ය සම්පන්න බව උත්කර්ෂයට නැංවූවා නොව, ඔහු පැවසුවේ වඩාත් ගැඹුරින් හැඟීම් අත්විඳීමට ද, සැබෑ ලෙසම ජීවත් වීමට ද නම් අවංක ලෙස දුක් වේදනාවන් බාරගත යුතු බවත් කුමක් වුවත් තවමත් ආදරයම තෝරාගත යුතු බවත් ය.


ඔහු කිසිදාක ධනවතෙකු වූයේ නැත. ඔහු ණය බරින් ද රෝගී තත්වයන්ගෙන් ද පීඩා වින්දේ ය. නමුත් ඔහුගේ වචන ඔහු ඉක්මවා තවමත් ජීවමාන ව පවතින්නේ ය. ඔහුගේ පොත් යනු හුදු නවකතා පමණක් නොව. ඒවා මිනිස් ආත්මයෙන් නැග එන පශ්චත්තාපයන් ය.


සමහර විට දොස්තොව්ස්කිගේ වටිනාකම තවමත් අඩු නොවී පවතින්නේ ඒ නිසා විය යුතු ය. මන්දයත් අන්ධකාරම කුටි තුළ ද, මරණයේ මොහොතවලදී ද, මනුෂ්‍ය ආත්මයට තවමත් නැගී සිටිය හැකි බවත්, තවමත් සමාව දිය හැකි බවත්, තවමත් ආදරය කළ හැකි බවත් ඔහු අපට සිහිපත් කර දෙන බැවිනි.


"ඔහුව මරණ දණ්ඩයට පිරිහෙළනු ලැබීය, නමුත් ඒ මොහොතේ ඔහු ජීවිතය උගත්තේ ය."


ඔබ තවමත් ඔහුව කියවා නැතිනම් කරමසෝ සහෝදරයෝ කෘතියෙන් ආරම්භ කරන්න.

එය ගැඹුරු, මානුෂික සහ අමතක නොවන සුළුය.

තවමත් ඔහුට මිනිස් හදවත පිළිබඳ අධිපතිත්වය දරන්නා යැයි හඳුන්වනු ලබන්නේ ඇයි දැයි ඔබ වටහා ගනු ඇත.


Translated from the page "Classic Literature"




Wednesday, February 4, 2026

ගුරුතුමිය සහ කඩදාසි කැබැල්ල

පන්තිභාර ගුරුතුමිය ළමුන්ට පැවසුවේ කඩදාසි දෙකක් ගෙන පන්තියේ සෑම ළමයෙකුගේම නම් එහි ලියන ලෙසයි. සෑම නම් දෙකක් අතරම යම් පරතරයක් තබන්නැයි ඇය කීවා ය. ළමුන්ට කරන්නට නියමිත වූයේ එක දෙයකි.

"හැම කෙනෙක් ගැනම ලියන්න පුළුවන් හොඳම දේවල් ටික ලියන්න"


මුලින්ම, ළමයින් අතර පැතිර ගියේ දෙගිඩියාවකි. නමුත් ක්‍රමයෙන් පැන්සල් තුඩු චලනය වන්නට පටන් ගත්තේ ය. ඉතිරි කාලපරිච්ඡේදය පුරාම පන්තිය පුරා ඇසුණේ කඩදාසි මත අකුරු ලියවෙනා මෘදු හඬ පමණි. සිතුවිලි අකුරු බවට හැරවෙමින් තිබුණි. සීනුව නාද වුණු පසු සිසුන් තමන් ලියූ කඩදාසි ගුරුතුමිය වෙත බාර දී පිටවී ගිය හ. හුදෙක් පැවරුමකට වඩා දෙයක් තමන් නිර්මාණය කළ බව ඔවුහු සැක කළේ නැත. 


ඒ සති අන්තයේ ගුරුතුමිය තම ලියන මේසය අසල වාඩිවී සිටියේ වෙනදාක නැති තරම් ඉවසීමකිනි, සැලකිලිමත් බවකිනි, අරපරෙස්සමෙනි. ඇය හැම කඩදාසියක්ම කියවා බලා එක් එක් සිසුවාට වෙන වෙනම වූ ලයිස්තුව බැගින් සෑදුවා ය. තමන්ගේ පන්ති සගයින් ලියූ ලස්සන, සුන්දර දේවල් ඒවායේ ඇතුළත් විය.


සඳුදා උදෑසන ඈ ඒවා තම ශිෂ්‍යයින් අතර බෙදා දුන්නා ය. 


පන්තිකාමරය තුළ සිදුවූයේ වෙනසකි. දුක්බර මුහුණුවල සිනහවන් මතුවී ආවේ ය. සෙමෙන් කොඳුරන හඬවල් ඇසෙන්නට පටන්ගත්තේ ය. 


"කවුරුහරි මගෙ දිහා ඕනකමින් බලලා තියනවා කියලා මං දැනගෙන හිටියේ නෑ."


"ගොඩක් අය මට මෙච්චර කැමති ඇති කියලා මං හිතුවෙ නෑ."


නම් ලයිස්තුව ගැන කතා බහ ඉන්පසුව ක්‍රමයෙන් මැකී ගියේ ය. නමුත් හැම කෙනෙකුටම තමා සුවිශේෂ කෙනෙකු බව දැනී තිබුණි. තමන්ට අවධානය ලැබී ඇති බව ඔවුන් දැනගත්හ. තමන්ව අගය කර ඇති බව ඔවුන් දැනගත්හ. තමන්ගේ ඇති වැදගත්කම ඔවුන්ට දැනුණි.


 ජීවිතවල වෙනස්කම් බොහෝ සිදුකරමින් වසර ගණනක් ගෙවී ගියේ ය. නොසිතූ යමක් හදිස්සියේම සිදුවිය. ගුරුතුමියට දැනගන්නට ලැබුණේ ඈ සසල කළ පුවතකි. ඇගේ ශිෂ්‍යයෙකු වූ මාක් වියට්නාම් යුධ පෙරමුණට ගොස් තිබූ අතර එහිදී ඔහුට ජීවිතය අහිමි වී තිබුණි. 


ඇය දේවස්ථානයේ පැවති මාක් ගේ අවමගුලට පැමිණියා ය. නිල ඇඳුමෙන් සරසා තිබූ ඔහුගේ මෘත දේහය දුටු ඇගේ හදවත බිඳී ගියේ ය. පන්තියේ සිටි කුඩා සිසුවා වයසින්ද සවිමත් කම අතින් ද බොහෝසේ වැඩී සිටියේ ය. දේවස්ථාන භූමිය පිරී ගොස් තිබුණේ සොල්දාදුවන් ගෙන්, හිතමිත්‍රයන්ගෙන් සහ පවුලේ අයගෙනි. ඔවුන් අතර සිටි තරුණ සෙබළෙක් ගුරුතුමිය අසළට පැමිණ ඇගෙන් මෙසේ ඇසුවේ ය. 


"ඔයා මාක්ගේ ගේ පන්තිභාර ගුරුතුමී ද?"


ඇය හිස සැලුවා ය.


"එයා ඔයාගැන හරියට කතා කළා" සෙබළා කීවේ ඉතාම සංවේදී අයුරිනි.


දේවමෙහෙයෙන් පසුව මාක් ගේ දෙමාපියෝ ගුරුතුමිය හමුවට පැමිණියහ. 


"මාක් ගේ අන්තිම මොහොතේ දි එයා ගාව මේක තිබිලා තියනවා. ඔයාට මේක අඳුනාගන්න පුළුවන් වේවි කියලා අපි හිතුවා." මාක් ගේ පියා පැවසුවේ තම පසුම්බියෙන් යමක් පිටතට ගනිමිනි. ඔහු ඈ අත තැබුවේ පැරණි වී ඉරීගිය නමුත් තැනින් තැන අලවා තිබූ කඩදාසි කැබලි දෙකකි. ගුරුතුමිය එය හඳුනා ගත්තේ ය. එය අවුරුදු ගණනකට පෙර ලියූ නම් ලයිස්තුව විය. පන්ති සගයන් විසින් ලියූ කාරුණික වදන් එහි ලියැවී තිබුණි. 


"ඔයාට ගොඩක් ස්තූතියි. පේනව නේ, එයා ඒක සෑහෙන පරෙස්සම් කර ගත්තා." මාක් ගේ මව පැවසුවේ කඳුළු බිඳු නැගී බොඳව ගිය දෑසිනි. 


ක්‍රමයෙන් මාක්ගේ පන්ති සගයෝ ගුරුතුමිය වටා රැස්වූහ. ඔවුන් කතා කරන්නට පටන් ගත්හ.


"මගෙ කොළේ තාම තියනව, මගේ මේස ලාච්චුවේ." චාලි කීවේ ය.


"එයාගෙ එක තියෙන්නෙ අපේ වෙඩිං ඇල්බම් එකේ" සිනාසී කිවේ චක්ගේ බිරිඳයි.


"මගෙ නම් තියෙන්නෙ ඩයරි එක ඇතුළේ" පැවසුවේ මර්ලින් ය.


"මගෙ එක නම් හැම තිස්සෙම තියෙන්නෙ මං ගාව." විකී තම පසුම්බියේ නවා තිබූ කඩදාසිය පිටතට ගත්තේ ය.


ගුරුතුමිය වාඩි වූවාය. ඇගේ දෑසින් කඳුළු ගලා ගියේ ය.


ඇය හැඬුවේ මාක් වෙනුවෙනි. ඇය හැඬුවේ තවමත් නම් ලයිස්තුව පරිස්සම් කරගෙන යන යන තැන රැගෙන ගිය සිසුන් වෙනුවෙනි. ඇය හැඬුවේ සමුගෙන ගිය අය වෙනුවෙනි. ඇය හැඬුවේ වටිනා යමක් ඇය වටහා ගත් නිසාවෙනි. 


කිසි කෙනෙක්, කොයිතරම් කාලයක් අප සමග සිටින්නේ දැයි දැනගැනීමට අපට හැකියාවක් නැත. නමුත් ඔවුන් අපට කොයිතරම් වටිනවා දැයි පවසන්නට අපට නිතරම අවස්ථාව ඇත. එක කාරුණික වදනක්. එක වැකියක්. එක මිහිරි මොහොතක්. සමහර විට ජීවිත කාලයකටම එවැනි එක කුඩා දෙයක් ප්‍රමාණවත් ය. කාරුණික වන්නට ද, ආදරයම බෙදාගන්නට ද, යමෙකුගේ හොඳ දෙයක් ඇත්නම් එය පසුවට නොව ඒ මොහොතේම කියන්නට ද මතක තබා ගන්න. කෙනෙකු අවසන් මොහොත දක්වා ළඟ තබා ගන්නා කඩදාසි කැබැල්ලේ ලියවී තිබෙන්නේ මොනවාදැයි ඔබ කිසිදාක දැනගන්නේ නැත. 


- Translated From the Page Reece Ryan




Monday, January 26, 2026

අරුත්සුන් වී ගිය පෙන්ගුයින්

 තම රැළෙන් වෙන්වී ඈතින් ඇති කඳුකරය බලා තනිවම ඇවිද යන හුදෙකලා පෙන්ගුයින් පක්ෂියෙකුගේ කෙටි වීඩියෝවක් 2026 අන්තර්ජාලය කැළඹවීය. සමාජ මාධ්‍යයේ දී "අරුත්සුන් වී ගිය පෙන්ගුයිනයා" නමින් හැඳින්වුණු මේ දර්ශනය හැඟීම් වලින් වෙහෙසට පත්වීමේ ද, තනිවම කැරළිගැසීමේ ද, ගැඹුරු චින්තනයේද සංකේතයක් වශයෙන් සැලකෙන්නට පටන් ගැනුනි. 

නමුත් මෙතැන සැබෑවටම සිදුවන්නේ කුමක්ද? මේ පෙන්ගුයිනයා පැවැත්ම ගැන අර්බුදයකින් පෙළෙන්නේ ද? විද්‍යාවෙන් මෙයට ලැබෙන පිළිතුර කුමක් ද?

ඒ ගැන විමසා බලමු

මේ විඩියෝව 2007 වසරේ ජර්මානු සිනමාකරුවෙකු වන Werner Herzog විසින් නිර්මාණය කළ Encounters at the End of the World නමැති වාර්තා චිත්‍රපටයෙන් උපුටාගන්නා ලද්දකි. මේ දර්ශනයේදී ඇන්ටාක්ටිකාවේ වාසය කරන Adélie penguin නම් විශේෂයට අයත් පෙන්ගුයින් පක්ෂියෙක් තමන්ගේ කොලනියෙන් වෙන්වී ඈතින් ඇති කඳුකර භූමිය වෙත ඇවිද යන ආකාරය දැක්වෙයි. එය ආසන්න වශයෙන් ප්‍රධාන භූමිය ඇතුළතට කිලෝමීටර 70 ක පමණ දුරකි.

ආහාර සහ ආරක්ෂාව සඳහා සාගරාසන්නව වෙසෙන අනෙක් පෙන්ගුයිනයන් මෙන් නොවී මේ තනි සත්වයා හුදෙකලා ගමනක යෙදෙයි. සාගරයේ ඇති ආරක්ෂිත බව හෝ යැපීමට ආහාර කිසිසේත් හමුනොවෙනා හුදෙකලා චාරිකාවක මේ පෙන්ගුයිනයා ගමන් කරයි. කඳු පර්වත, හිම සහ අයිස් මිස ඌට ඉදිරියෙන් වෙනත් යමක් හමුවන්නේ නැත.

ඒ වීඩියෝව බලා සිටින්නට අපහසු සහ වෙනත් අකාරයකින් අපට වඩාත් සමීපව දැනෙන්නේ ඒ නිසා ය.

අන්තර්ජාලයේ සැරිසරන්නන් සංකේතරූපී දේ වලට ඇළුම් කරති. මේ "අරුත්සුන් පෙන්ගුයින්" ගේ වීඩියෝව බොහෝ සේ ඔවුන් අතර සංසරණය වී ගියේ ඒ නිසා ය. එය මිනිසුන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නට හිස් කඩදාසියක් දුන්නා සේ විය.

මිනිසුන් එය බෙදා හදාගත්තේ මෙවැනි caption සහිතවයි.


"හැමදෙයක්ම එපා වුණාට පස්සෙ වෙන්නෙ මෙහෙයි"

"අපි නොදන්න දෙයක් එයා දැනටමත් දන්නවා"

"මං මගේ ප්‍රශ්න වලින් ඈතට ඇවිදගෙන යන හැටි"


පෙන්ගුන් පක්ෂියා ඇවිද යන ආකාරයෙන් ඌ අරමුණක් සහිතව ඇවිද යන බවද, උගෙන් සංසුන් සහ අමුතු ආකාරයක දාර්ශනික බවක්ද පෙනෙන නිසා මෙන්ම පැවැත්මේ වෙනත් අර්ථයක් වෙනුවෙන් සියල්ල අතහැරදා යන බවක් ද පෙනෙන නිසා "අරුත්සුන් වී ගිය පෙන්ගුයින්" නම ඌට ලැබුණි.

පීඩාවෙන් ද, කාර්යබහුලකමින් ද, පමණට වඩා දේවල් ගැන වදවීමෙන් ද පිරී ගිය ලෝකයක වෙසෙන බොහෝ දෙනා මේ පෙන්ගුයින් ගේ හුදෙකලා නික්මයාම තුළ දුටුවේ තමන්වම යි.

පෙන්ගුයින් ගේ මේ හැසිරීම ගැන විද්‍යාවෙන් පවසන්නේ කුමක් ද?

විද්‍යාඥයින් පවසන්නේ memes වලින් කුමක් කීවත් මෙය දාර්ශනික අරුතකින් සිදුවුන යමක් නොවන බවයි.

වනජීවි විශේෂඥයන් සහ පර්යේෂකයන් ට අනුව මෙය කලාතුරකින් සිදුවන යමක් වුවද පෙන්ගුයින් පක්ෂීන් අතර මෙය සිදුවෙයි. එයට හේතු විය හැක්කේ මෙවැනි දේවල් ය, එනම්

මංමුළාවීම : පෙන්ගුයින් පක්ෂීන් අවට පාරිසරික සංඥාවන් මත දැඩි සේ රඳා පවතින සත්ව කොට්ටාශයකි. මේ සළකුණු වල සිදුවන යම් වෙනසක් නිසා ඔවුන්ට යායුතු දිශාව ගැන අවබෝධය අහිමිවී යාමට ඉඩ ඇත.

ස්නායු ආබාධයක් හෝ වෙනත් රෝගී තත්වයක් : අයහපත් සෞඛ්‍ය තත්වයන් සමහර පෙන්ගුයින් කුරුල්ලන් හිස හැරුණු අත ඔහේ ඇවිද යාමට හේතු කාරක විය හැකි ය.

ප්‍රජනන සමය තුළදී ඇති විය හැකි පීඩනයක් හෝ ව්‍යාකුල බවක්.

ස්වාභාවික සංවේදනයන් ගේ වරදක් : සත්වයන් හැම විටම පැවැත්මට හිතකර දේ ම තෝරා ගන්නේ නැත.

Werner Herzog මේ හැසිරීම විස්තර කරන්නේ මරණයේ පාගමනක් ලෙස යි. ගොඩබිම බලා යන ගමනේ දී පෙන්ගුයින්ට තම ජීවිතය බේරා ගැනීමට ඇති ඉඩ ඉතාම අල්ප බව ඔහු පවසයි.

Meme සහ යථාර්ථය. සැබෑම අර්ථය කුමක් ද?

එය සිදුවන්නේ කෙසේදැයි විද්‍යාවෙන් විස්තර කරයි. ඒ අතර අන්තර්ජාලයෙන් විස්තර කෙරෙන්නේ එසේ වන්නේ ඇයි කියා ය, අඩුවශයෙන් හැඟීම්වලට දැනෙන ආකාරයට.

එයට අනුව බොහෝ දේ මේ පෙන්ගුයින් පක්ෂියා ගෙන් නිරූපිත වෙයි.


- ජීවතයේ මංමුළාවී යාම

- බලාපොරොත්තු වලින් ඈත් වීම

- නිහඬව කැරළි ගැසීම

- පැවැත්මේ වෙහෙසකාරී බව


ඒවායේ ඇත්තේ ජීවවිද්‍යාත්මක කාරණා වලට වඩා මිනිස් ජීවිතය පිළිබඳවම නිරූපිතයන් ය. අපි එහි අර්ථයක් දකින්නේ අපට අර්ථයක් අවැසි බැවින් ය.

අරුත් සුන් පෙන්ගුයින් පක්ෂියා ගැන meme බොහෝසේ සාර්ථක වී ඇත්තේ එබැවිනි.

මේ පෙන්ගුයිනයා එක්තරා ආකාරයකට නූතන දිවිපැවැත්ම සංකේතවත් කරයි. හැමදෙනාම කාර්යබහුල දිනචර්යාවල හැල්මේ දුවති. කෙනෙක් මෙය දැක එයින් ඈතට පා නගන්නට තීරණය කරයි.

ඒ ඔහුගේ එඩිතර බව නිසා නොවයි.

ඒ ඔහුගේ ප්‍රඥාවන්ත බව නිසා නොවයි.

ඒ සමහර වෙලාවට ජීවිතයේ කිසිදු අර්ථයක් ඇති බව නොදැනෙන නිසයි.

මේ පෙන්ගුයින් පක්ෂියා සදානුස්මරණීය සංකේතයක් බවට පත්වී ඇත්තේ ඒ නිසා ය.

අරුත් සුන් වී ගිය පෙන්ගුයිනයා දාර්ශනිකයෙක් හෝ කැරළිකරුවෙක් නොවෙයි. ඌ අවුල් වී ගිය සහජ ඉව අනුව ගමන් කරනා සත්වයෙකි. නමුත් අන්තර්ජාලය ඌව නූතන හැඟීම් වල සංකේතයක් බවට පත් කරගත් අතර එයින් බොහෝ විට කියවෙන්නේ පෙන්ගුයින්ට වඩා අපි ගැනයි.


කඳුකරය බලා ඇවිද යන පෙන්ගුයිනයෙකු යනු සමහරවිටෙක හුදු පෙන්ගුයිනයෙකු පමණි.


තවත් සමහර විටෙක එය මනෝභාවයකි.

.

- Translated from the website "The Economic Times"




Friday, January 23, 2026

පුතෙක්ද නැතිනම් දුවෙක් ද?

දරුවෙකු අපේක්ෂාවෙන් සිටි බිරිඳ තම සැමියාගෙන් මෙසේ ඇසුවා ය. "ඔයා බලාපොරොත්තු වෙන්නෙ කාවද? පිරිමි ළමයෙක් ද නැත්නම් ගෑනු ළමයෙක් ව ද?"

සැමියා මෙසේ පිළිතුරු දුන්නේ ය. "පිරිමි ළමයෙක් නම්, මම එයාට ගණිතය උගන්වනවා, අපි එකතු වෙලා වැඩ කරයි, මං එයාට මාළු අල්ලන්න කියලා දෙයි, ඒ වගේ තමා."


බිරිඳ සිනාසී මෙසේ ඇසුවා ය. "හොඳයි ගෑනු ළමයෙක් නම් මොනවද කරන්නෙ?"


සැමියා මඳ සිනහවක් පා මෙසේ කීවේ ය. "එයා ගෑනු ළමයෙක් නම් මට එයාට මොකවත් උගන්වන්න ඕන නැති වෙයි. එයා මට හැම දෙයක්ම උගන්වයි, පිළිවෙළකට අඳින්නෙ පළඳින්නෙ කොහොමද, කන්නෙ බොන්නෙ කොහොමද, කියන්න ඕන මොනවද ඕන නැත්තෙ මොනවද, මේ දේවල්. ඉක්මණින්ම එයා මට දෙවනි අම්මා කෙනෙක් වේවි. මගේ මොකවත් විශේෂත්වයක් නැතිව වුණත් එයා හැමතිස්සෙම මාව වීරයෙක් විදිහට සලකාවි. මම එයාට දෙයක් එපා කිව්වම එයා ඒක තේරුම් ගනීවි. ඒ වගේම එයා තමන්ගේ අනාගත ස්වාමිපුරුෂයා ව මාත් එක්ක සංසංදනය කරාවි. එයා කොච්චර වයස ගියත් තවමත් එයාගේ තාත්තාගේ පුංචි කුමාරිකාවී වගේ සලකනවට එයා ආසා වේවි. එයා මං වෙනුවෙන් මුළු ලෝකයකටම වුණත් විරුද්ධව සටන් කරාවි. කවුරු හරි මට රිද්දුවොත් එයා ඒ කෙනාට කවදාකවත් සමාවක් දෙන්නෙ නැති වේවි."


"ඔයා කියන්නේ ඔයාගෙ දුව මේ හැම දෙයක්ම කළත් ඔයාගේ පුතා කිසිම දෙයක් නොකර ඉඳීවි කියල ද?", බිරිඳ කුතුහලයෙන් යුතුව ඇසුවා ය.


"නෑ නෑ, මේ දේවල් පුතාටත් කරන්න පුළුවන්. ඒත් එයාට සිද්ධ වෙනවා කාලයත් එක්ක දේවල් ඉගෙන ගන්න. අනික් අතට, ගෑනු ළමයින්ට උපතින්ම මේ ගති ගුණාංග පිහිටනවා. දුවෙකුට තාත්තා කෙනෙක් වෙන එක ඕනැම පිරිමියෙකුට ලොකු ආඩම්බරයක්." සැමියා පිළිතුරු දුන්නේ ය.


"ඒත් එයා හැමදාම අපිත් එක්ක ඉන්න එකක් නැති වේවි" බිරිඳ කීවා ය.


සැමියා එවිට ඉතාම මෘදු ලෙස මෙලෙස පැවසුවේ ය. "ඒක ඇත්ත, ඒත් අපි එයාගේ හදවතේ හැමදාම ඉඳීවි, එයා කෙහේ ගියත් මොනවා කළත් අපි එයා එක්කම ඉඳීවි. ගෑනු ළමයි කියන්නේ අසීමිත ආදරයකුත් රැකවරණයකුත් අරන් මේ ලෝකෙට එන දේවදූතිකාවන්ට. එයාලා උපතින්ම ඒ වගේ තමයි."

.

.


Translated from the page "Amazing"