Labels
සිනමාව
කවි
කෙටි කවි
පරිවර්තන
කවුළුවෙන් එපිට ලෝකය
පොතක් ගැන යමක්
සංගීතය
සිවුපද
කතන්දර?
සොබාදහම
Showing posts with label
කෙටි කවි
.
Show all posts
Showing posts with label
කෙටි කවි
.
Show all posts
Wednesday, December 22, 2021
අහස්කූර
පොළවට බොහෝ දුර බව
හිතෙන්නැති සමහරවිට
තරුවක් ලඟටම ගොසින්
නිවුණු පසු අහස්කූරට...
Wednesday, September 29, 2021
නිහඬ විල
ඉඳහිට පත්‍රයක් දෙකක් අතහැර
ඇඳෙන වියැකෙන රළ දෙස බලා හිඳ
තනිවම කල්පනා කරයි ගස
"ඇයි මේ තරම් නිහඬ මේ විල"
Sunday, September 26, 2021
පළඟැටියෙක්...
අඳුරින් වැසෙයි මඟ..
යන්තමින් දැල්වෙයි
මොටෝරථයක එළි හිස..
පළඟැටියෙක්
පියාඹයි ඒ දෙස
ඉටිපන්දමක් අතහැර...
Tuesday, September 7, 2021
කුඩා තෘණ පඳුරු
ඉතා උස තුරු මුදුන්
සිප ගත් පසුයි පළමුව
වැළඳගන්නේ වැහි බින්දු
නොමැතිව කිසිදු වෙනසක්
අඩු නොවී සෙනෙහෙ බිඳකුත්
මේ කුඩා කුඩා තෘණ පඳුරු..
Monday, August 9, 2021
සිනාසෙන විට ඔබ...
සිනාසෙන විට ඔබ
මඳක් වැඩෙයෙන් ඇසෙයි හඬ..
යම් කුඩා දිලිසුමක්
මතුව ඒ ඇස් අග..
මනා සේ හැඩකොට
පීරා තිබේ කෙස් කළඹද..
සුදු පැහැති මුදු මලක්
රැඳවී තිබේ
බැස යන සැඳෑ හිරුගේ
වර්ණයෙන් ඔපනැංවූ වරලස..
කුමක් හෝ යමක්
සිදුවී තිබේ අද...
Wednesday, April 7, 2021
මල් පිපෙන හීන
කාට හෝ උණුසුම පිණිස
ගිනිගෙන දැවෙද්දිත් මුළු සිරුර
මේ ඉපල් අතු ඉති තවම
දකින හැටි මල් පිපෙන හීන.
Wednesday, March 31, 2021
නුඹෙ කවි
මිතුර නුඹෙ කවි
ඔපදැමූ කැඩපත් මෙනි
පෙන්වාදෙන මට මා යලි..
දකිමි ඒ කවි තුළ මම ද
මා තුළ වෙසෙන තව බොහෝ අය ද..
Wednesday, March 24, 2021
ඔබ වෙත එවූ කවි
සිහිල් පවනක ඔතා
ඔබ වෙත එවූ කවි
ඔබද පසු කරන්
ඈත යන හැටි..
Friday, March 19, 2021
ඔබ - මම
ඔබ වියළි කතරක්
මම
බඳුන්ගත පතොක් පඳුරක්
Monday, March 15, 2021
පළඟැටි ගීතයත් රිදුමක්
සැඩ වැහි අකුණුවලින්
පහර ලැබු පසු පොළවකට
පළඟැටි ගීතයත් රිදුමක්
Thursday, March 11, 2021
හමු(නො)වීම
අවසන
අපි වෙන්ව ගිය බව
ඔබ කියන විටදි
කිසිදාක
අපිට අපි
හමුවුණේවත් නැති වග
මම තනිව සිතමි...
Friday, January 22, 2021
එකම හිස් අසුන
කොයිතරම් නපුරුද
බස් රථයෙහි
ඔබේ පසෙකින් ඉඩ තබන
එකම හිස් අසුන.
කොයිතරම් දරුණුද
විලවුන් සුවඳ ගෙන
දස අත හමන සුළඟ.
කොයිතරම් වැරදිකාරද
මේ වැනි මොහොතක
වික්ටර් ගෙ ප්‍රේමගීයක් ගයන
රේඩියෝව..
Wednesday, January 20, 2021
කුහුඹු පෙම
අතු පතර විහිද ගිය
දහසකුත් පත් දරන
ඔබ විසල් තුර..
එක කුඩා තුරු පතක
ලෝකයක් ගොඩ නගන
මගෙ කුහුඹු පෙම.
Monday, January 18, 2021
මම කුඩා නගරයක්..
මම
කුඩා නගරයක්
පටු වීදි කිහිපයකින් සැදි
සියලු දේ බෙදා නම්කොට තිබෙන..
ඔබ
මහද්වීපයක්
අනන්තය තෙක් විහිදෙන
අසීමිත භූවිෂමතා ලක්ෂණ දරන
පය තැබූ කල
අතරමං වීමට සිතෙන..
Monday, January 11, 2021
ගස් විඳ දරා ගත යුතු
වසාගෙන ඉති අතු
පුබුදුවා දහසකුත් මල් රතු
පැමිණ යළි නික්ම යාමයි
කාරිය වසන්තය සතු.
පැමිණී ගියත් කොයි තරම් ඍතු
පිස දමා බොඳවෙන නෙතු
ගස් සම සිතින් විඳ දරා ගත යුතු.
Monday, September 28, 2020
උඳුපියලි
පය තබන පොළවේ
පෑගෙන.
ළංව බැලුවොත් මිස
නොපෙනෙන..
ආසා නැතිද
මේ උඳුපියලි පතකට
වැඩෙන්න ඉහළට
මෘදු හාදු අතුරන්නට
සුළං නළලත..
උදෑසන
පිනි බිංදු වැළඳ ගෙන
ලබන්නෙද
සැනසුම.
Thursday, September 17, 2020
මීදුම් ඉසව්ව
ලස්සන යැයි ඔබ පෙන්නුව
මීදුම් ඉසව්වට
හිරු එළිය වැටී ඇත
හමන සුළඟට
මීදුම පහවගොස් ඇත
දැන් පෙනේ හොඳහැටි
පතුල නැති ප්‍රපාතය.
Friday, August 28, 2020
සයුර සහ රළ
අතින් අත අල්ලගෙන
කිසිම දවසක
නැවතුනේ නැතත් ළඟින්
එක මොහොතකට..
කිරි කවඩි මුතු පබළු අහුරක්
වෙරළ දෝතට
තබා යනවාමයි
සයුරු රළ...
Monday, August 10, 2020
තරු පොකුර
සිහින් එළි බිඳු බිඳු පෙරා දී වළාකුළු අතර
දුරින් උන්නද මුළු රැය පුරා අහසේම වැතිර
අතින් පිස දැමුව පසු මඟ කියු තරු පොකුර
ඉමක් නොපෙනෙන හිස් ඉඩකි වැලි කතර
Thursday, June 11, 2020
ප්‍රදීපාගාරයෙ ඇස
මඟ ලකුණු හොයාගෙන
ආවත් ගොඩබිමට නැව
එළිය අඩුවක් නැත
ප්‍රදීපාගාරයෙ ඇස.
Older Posts
Home
Subscribe to:
Posts (Atom)