Thursday, May 31, 2018

වාදකයෙකුගෙ ජීවිතය - Whiplash (2014)


ඕනෑම සංගීත භාණ්ඩයක් වාදනය කරන කෙනෙක් ඒකට යොමුවෙන්නෙ කවුරුහරි 
පරමාදර්ශී වාදකයෙකුගෙ බලපෑම නිසා (inspiration). සංගීතය විතරක් නෙමේ ඕනෑම 
විශය ක්ශේත්‍රයක අපිට මේ විදිහෙ බලපෑමක් ඇතිකරන්න පුලුවන් පුරෝගාමී චරිත 
(Role model) හඳුනාගන්න ලැබෙනව. ලංකාවෙ  නම් ගිටාර් වාදනයට යොමුවෙන්නෙ 
කෙනෙක් ක්ලැරන්ස් විජේවර්ධන වගේ කෙනෙකුගෙ නිර්මාණ අහල වෙන්න පුලුවන්, 
බටහිර සංගීතය අහන කෙනෙක් නම් Queen, Beatles Guns n Roses  වගේ සංගීත 
කණ්ඩායමක එහෙම නැත්තම්  Slash, Jimmy Hendrix, Eric Clapton, David Gilmore, 
Jimmy Page, Carlos Santana වගේ ගිටාර් වාදකයෙකුගෙ වාදනයන් අහල වෙන්න 
පුලුවන්. Whiplash කියන්නෙ අන්න ඒවගේ ඩ්‍රම්ස් වාදනයෙන් ඉහළටම යන්න හීන 
දකින තරුණයෙකුගෙ (Andrew) කතාවක්.

කතාවක් කිව්වට ඇත්තටම අපිට චිත්‍රපටය පුරාම දැකගන්න ලැබෙන්නෙ තමන්ගෙ හීනයට 
ලංවෙන්න Andrew දරන වෙහෙසයි. මොකද වාදකයෙකුගෙ වාදනයක තියන ලස්සන 
ජීවිතේ ඇතුලෙ නැහැ. කාලයත්, ශ්‍රමයත් සෑහෙන්න වැයකරන්න ඕන හොඳ වාදකයෙක් 
වෙන්න නම්. ඩෙරික් වික්‍රමනායක කියන්නෙ ලංකාවෙ ඉන්න අති විශිෂ්ට ගිටාර් වාදකයා 
වතාවක් එක රූපවාහිනී වැඩසටහනකදි කියනව ඉහළ මට්ටමේ ගිටාර් වාදකයෙක් වෙන්න 
නම් දවසට අඩුගානෙ පැය දහයක් වත් පුහුණුවීම් කරන්න ඕන කියල. ඉතිං whiplash 
චිත්‍රපටය පුරා අපි දකින්නෙ ඒ කාරණාව තමා. Andrew ගෙ ගුරුවරයා Flitcher අපි 
දකින්නෙ බොහොම දරදඬු, ඉක්මණින්ම කේන්තිගන්න, හිත්පිත් නැති මනුස්සයෙක් විදිහට. 
නමුත් තමන්ට අවශ්‍යදේ මොන ක්‍රමයෙන් හරි Flitcher තමන්ග ශිෂ්‍යයන්ගෙන් ලබාගන්නව. 
Flitcher යටතේ පුහුණු වෙනව කියන එක අපි කියන විදිහට කිව්වොත් සෑහෙන කට්ටක් 
කන්න වෙන වැඩක්. සමහර වෙලාවට පුහුණුවීම් මැද්දෙ Andrew ගේ අත් වලින් ලේ ගලා 
එනව. නමුත් තමන්ගෙ හීනයට යන්න නම් මේ ඔහු මේ අභියෝගයකට ම මුහුණදිය යුතුයි. 
අනිත් අතට සංගීතඥයෙක් වෙන්න හීන දකිනව කිව්වම දෙමව්පියන් ගෙන් නෑදෑයන් ගෙන් 
Andrew ට වෙන කෙණෙහිලි කම්. ඒත් තමන්ගෙ හීනයට යන්න නම් මේ  හැම දෙයක්ම 
විඳදරා ගත යුතුයි.

Whiplash 2015 අවුරුද්දෙ oscar සම්මාන උළලේ සම්මාන 3 ක් දිනාගන්නව. ඒ 
Flitcher ගේ චරිතය රඟපාන  J.K.Simmons හොඳම සහය නළුවා වෙනුවෙන් ලැබූ සම්මානය 
ඇතුළුව. ඒ අවුරුද්දෙ බොහොමයක් සම්මාන උළෙලවල J.K. Simmons සම්මානයට 
ලක්වෙනව. මේ චිත්‍රපටය ඇතුලෙ ඔහුගෙ රංගනය ඒ තරම් ප්‍රබලයි. IMBD වල 8.5 ක් වගේ 
ඉහළ අගයක් මේ චිත්‍රපටයට ලැබිල තියනව.සංගීතයට සම්බන්ධ චිත්‍රපට බලන්න කැමති 
අයට මේක ඉහළින්ම නිර්දේශ කරන්න කැමතියි.





Wednesday, May 30, 2018

දියබිඳට උරුම තැන


සබඳ 
මහ වැස්සකට පසුව
උරුම තැන කොතැනද
දියබිඳකට?

පෙති දෙපෙති මතුවන
කළල් මඩ මුහුවුණ
පැල ගොයම් යායේ
මූල මණ්ඩලය ද?

ඉවුරු දෑලේ නොරැඳී
දහසකුත් ගමන් සගයන් සමග
රැළි සරැළි නංවා
ගලාහැලෙනා දිය දහර ද?

නිහඬව නමුත් ගැඹුරක
මුතු ඇට කිරි කවඩි සුරකින සයුරක
ගොඩබිමක් නොපෙනෙන මානේ
දුර ඈත දියඹ ද?

වනමලින් සුවඳින් සැරසි
මිහිදුම් සේලයෙන් ගත දැවටි
සියොතුන් ගුමුගුමුව නඟනා
වනපෙතක ඉහළ වියන ද?

නැතිනම්..
දේදුන්නේ සත් පාට තැවරුණ
ඊසානදිග නිරිතදිග සුළං හමුවන
නිබඳ සිහිලස ම පවතින
වළාකුළු අතර ද?






Monday, May 28, 2018

ලොව ඇති හුදකලාම ගස - Tree of Life

ලොව ඇති හුදකලාම ගස ලෙස සැලකෙන ජීවයේ ගස පිහිටා ඇත්තේ 
බහරේනයේය. සැතපුම් ගණනාවකින් මෙහා කිසිදු ගහක් කොලක් නොමැති 
පාලු කාන්තාරයක පිහිටා ඇති එය වසර 400ක් පමණ පැරණිය. ම්ටර් 7.6 ක 
උසකින් යුතු එම ගසට එනම ලැබී ඇත්තේ කිසිදු ජීවයක් නොමැති කතරක පිහිටා ඇති 
එකම ජීවයේ සලකුණ මෙන් වන නිසා ය. එම ගස දැනට හදුනා ගෙන ඇති ගැඹුරුතම 
මුල පද්ධතියෙන්  සමන්විත බව කියවේ. සාමාන්‍යෙයන් එම පෙදෙසෙහි උෂණත්වය 
සෙල්සියස් අංශක 41 සිට 49 දක්වා අගයක් ගනී.  ජීවයකට පැවතීමට නොහැකි 
වියළී කතරක එකම එක ගසක් පමණක් මෙතරම් කාලයක් තිස්සේ පැවතීම 
පුදුමයක් නොවේද?









Friday, May 25, 2018

රෝහලේ දී


සැර බෙහෙත් ගඳ මුසුව 
හමන සුළඟ ද ලෙඩිනි
සුදු සීලිමේ විදුලි පංකාව
කෙඳිරිගා කැරකේය තනිවම...

පටු කොරිඩෝව කෙළවර
බොඳව යයි ගිලන් ඇඳක කිරිකිරිය
විදුලි පහනේ මළානික එළි බින්ද
දැවටේ අඳුර මත යන්තමින....

කොහේදෝ දුර ඈතක සිට
පාලුව කපාගෙන දස අත
කිරලෙකු හඬයි සෝබර හඬින් 
රාත්‍රී කළුවර බිඳ.

සේලයින් බට රුහිරු වැල් අතර
පෙනෙන සහසක් ගිලනුන් මුහුණු මත
ජීවිතයෙ විඩාබර ලකුණු එකිනෙක 
මතුවී පෙනේ වාට්ටුවේ තැන තැන.

මාත්‍රා මැන බලා නිසිලෙස
සම් මස ලේ ඇට නහර විනිවිද
රාත්‍රිය එන්නත් කටුවකින් ඇන
මුදා හරියි දොම්නස.

බිහිවු දා පටන් මෙලොවට
නිරන්තර ගමනේ ම යෙදෙන
දිග ඔරලෝසු කටු ලඟ
නිරතුරු නතර වේ ඇස.





Wednesday, May 23, 2018

පියාඹන මාලුවෝ


හීන වලට අත්තටු
කොහෙන් ලැබුනද සබඳ...

මේ දිය කඳට ඉහලින්
නිල් අහස
සවන මත මඳ සුළඟ
මුමුණන රහස
පෙර නොදුටු හැඩ මවන
වලාකුළු දහස
කොයිතරම් අපූරු ද 
මේ පහස...

කවුරුන් මැව්වාද මේ අරුම...

අතහැර
ඒකාකාර ලුණු රස 
නොහැකි ඇයි මෙහි
වෙසෙන්නට 
සිතු ලෙස...

එවන් විසිතුරු හීන
මතුවී මැවී
රූ  සටහන් මෙන්
ඇඳෙන කල සිතතුල

"ජබොස්".. 

ආයෙමත් 
මුහුද..

2017/05/23




Monday, May 21, 2018

ඉඩෝරය අවසන


ඉනික්බිති
දිගු ඉඩෝර සමය නිම කර
සිහිල් වැහි පොදක් සේ
ඔබ පැමිණ
යලිත් මා වසා ගනු ලැබිණ....

සියොළඟම පිරිමදින
ඔබෙ සියුමැලි ඇඟිලි තුඩ වැදී 
හදවතේ එක් වෙණ තතක්
ඉසියුම්ව හඬනැගිණ....

මා සිතේ
මියයමින් තිබු 
යම් දෙයකට
ඉන් යලිත් පණ ලැබින...

සියලු සංතාප වේදනා
ඔබෙ සුසුමක් සමග පැටලී
ඈතකට බොහෝ ඈතකට
ගෙන යනු ලැබිණ.






Saturday, May 19, 2018

සිතුවිලි ගිලන් ව..


බෙදා ගත නොහැකි සුසුමක
සදාතන වෙහෙස පමණද
ගිලානව ඇලව වැතිරුණ
මළානික මුහුණ සඳවත.

තබා මුදු දෙතොල සුළගට
බදා වැළඳ ගනු නොහැකිව
ඔහේ පාව යන්නෙද මේ
වළාකුළු පවා අඳුරු ව.

වෙලී ගෙන උනුන් බඳ වට
එතී ලිය මඬුලු පැටලුන
කතා වෙන රහස් හෙමිහිට
තරුවකට කොහොම ඇහුණද.

නොහිම් රැය වසා පැතිරුණ
අනන්ත වු අහස වගුරන
සිහිල් පිනි ලෙසින් එකිනෙක
හැලෙන්නේ රැයක කඳුලු ද.

2017/05/19




Friday, May 18, 2018

කුරුටු ගී


ඒ පොළව කැණ බලමි...

රළු කබොක්  ගල් පතුරු යට
සියුම් රතු මැටි පස් ඉවත් කර
ඇත්ද යම් කිසිවක් මෙහි
ඉතිරිව.. 

තැනින් තැන
ගල් කණුවක දෙකක ලියැවුණ
"කුරුටු ගී" හැර
ගත හැකි අන් යමක් වෙද
අතීතෙන් ලද..






Wednesday, May 16, 2018

මා මිතුර


මා මිතුර
සැබෑවකි එය
මා අතින් පැලඳූ සිනහවෙන්
ඇය සිනාසෙන බව දැන්
මුළු ලොවම ඉදිරිපිට
මුළු ලොවට පෙනෙන ලෙස...

මා මිතුර එනමුදු 
කඳුළු බිඳුවක් තවම
බිම වැටී නොවැටී
රැඳී ඇත ඇගේ ඇස අග
කිසිවෙකුට නොපෙනෙන
කිසිවෙකුත් නොදකින

මා මිතුර ඔබ දෑතින්ම
පිසදමා හරිනු පිණිස.






Tuesday, May 15, 2018

Vettah (දඩයම) -(2016)


තාත්තා මට කියල දුන්න එක දෙයක් තියනවා.
අපි කවදාවත් ජීවිතේ තෝරාගන්නේ නෑ. 
ජීවිතේ තමයි අපිව තෝරන්නේ.

පොලිස් නිලධාරිණියක් විදියට මගේ වෘත්තීය 
මම තෝරපු එකක් නෙමෙයි. 
මාණ්ඩලික පරීක්ෂක ශ්‍රී නිවාසන් උන මගේ තාත්තා හරහා 
ඒ වෘත්තිය මාව තෝරාගත්තා.

හැම පොලිස් නිලධාරියෙක්ටම ජීවිත කාලය පුරාවටම 
අමතක නොවන සිද්ධියක් තියනවා.
මගේ ජීවිතෙත් ඒ වගේ සිද්ධියක් තියනවා.
මෙල්වින් පිලිප්.. 

ඒ නම මට පලවෙනි වතාවට ඇහුනේ ඒ සිද්ධියෙදී. 
ඒ නම මගේ ජීවිතේ වෙනස් කරයි කියල මම කවදාවත් හිතුවේ නෑ.

හැමදේටම පස්සේ.. ජීවිතේ කියන්නේ දඩයමක්,
දඩයම් කරනවද , නැත්තං දඩයම් වෙනවද ,
කියන එක අපි තමයි තෝරාගන්න ඕන.
-------------------------------------------------------------------------

Vettah ආරම්භක වාක්‍ය කීපය තමා මේ. මෑත කාලෙ ඉන්දියානු සිනමාවෙ බොහොම 
හොඳ මට්ටමේ crime/ thriller වර්ගයේ සිනමාපට අපිට දැකගන්න ලැබුණා. මලයාලම් 
සිනමාපටයක් වුණ Vettah ඒ අතර අනිවාර්යයෙන්ම තියන්න පුලුවන් කියල මම හිතනව. 

එක රාත්‍රියක ප්‍රසිද්ධ නිළියක් අතුරුදහන් වෙනවා. සාක්ශි පසුපස්සෙ හඹාගෙන පොලීසිය, 
වැරදිකරු විදිහට මෙල්වින් පිලිප් කියන පුද්ගලයාව අල්ලාගන්න සමත්වෙනවා. තමන් ඇයව 
මරාදැම්ම බව මෙල්වින් පාපොච්චාරණය කරනවා. චිත්‍රපටයෙ මුල් විනාඩි 20 වගේ කාලයක් 
ඇතුලත මේ හැමදෙයක්ම වෙලා අවසන්. කතාව එතනින් ඉවරද? 

ජනප්‍රිය නිළිය මරා දැම්ම බව පිලිගත්තත් ඇගෙ මළසිරුර හැංගුවේ කොහෙද කියන්න 
මෙල්වින්ට මතකයක් නෑ. පොලීසියේ දීර්ඝ ප්‍රශ්නකිරීම් හමුවේ වුණත් මෙල්වින්ට කියන්න 
තියෙන්නෙ එකම කතාවක් විතරයි. පොලීසිය මෙල්වින්ව දකින්නෙ මානසික රෝගියෙක් 
විදිහට. මේ අතරෙ තමන්ගෙ  පුද්ගලික ජීවිතයේ සිදුවීම් කීප‍යකත් මෙල්වින් කියන 
කතාවෙත්, සමානකම් තියන බව මේ පරික්ෂණ මෙහෙවන ප්‍රධාන පොලිස් පරික්ෂකයෙක් 
වුණ සයිලෙක්ස් දකිනව. ඒ එක්කම මේ සිද්ධිය මෙහෙයවන ප්‍රධාන පොලිස් පරික්ෂිකාව 
වන ශ්‍රී බාලා, තමන්ගෙ තාත්තාව සාදාකාලික රෝගියෙක් කල හදිස්සි අනතුරත්, 
පොලිස් පරික්ෂක සයිලෙක්ස් අතරත් සම්බන්ධයක් ඇතිබව හොයාගන්නව.  සිද්ධිය 
හැරෙන්නෙ පොලිස් නිලධාරීන් ගේ ම ජීවිත දිහාට. ඇත්තටම මෙල්වින් කියන්න 
මානසික රෝගියෙක්ද ? නැත්තම් මෙල්වින් මේ හැමදෙයක්ම කරන්නෙ කලින් හදාගත්ත 
සැලසුමකට අනුව නම්, ඔහුගෙ අරමුණ මොකක්ද ? මෙල්වින් දඩයම් කරන්නෙ කාවද? 
මේ ප්‍රශ්න ටිකට උත්තර හොයාගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනව.

අවසානය මෙන්න මෙහෙමයි කියල හොයාගන්න පුලුවන් ඉඟියක් කතාවෙ 
අතරමැද නැති නිසා අවසානයෙ twist එක සාර්ථකයි කියන්න පුලුවන්. ඒ වගේම 
කතාවෙ ප්‍රධාන චරිතය ශ්‍රී බාලා ගෙ චරිතය රඟපාන නිළිය (Manju Warrier) ගේ 
රංගනය ඉතාම ආකර්ශනීයයි කියල කියන්න ඕන. Crime / thriller රසිකයෙක් නම් 
හොයාගෙන බැලුවට පාඩු නෑ කියන්න කැමතියි.





Monday, May 14, 2018

මෙතුසෙලා ගස

නැගෙනහිර කැලිෆෝනියාවේ වැඩෙන  Great Basin bristlecone pine වර්ගයට අයත් ගසක් මෙනමින් හැදින්වේ.  කලක් ලෝකයේ පැරණිම ගස ලෙස සැලකු එය වසර 4,847ක් පැරණිය. නමුත් වසර 2012 දී ඊට වඩා පැරණි (වසර 5065ක්) bristlecone pine ගසක්  සොයාගන්නා ලදී

- මෙතුසෙලා යනු බයිබලයේ එන චරිතයකි. මෙතුසෙලා,  මහා ජල ගැල්මට හසුවන නෝවා ගේ මුත්තණුවන් ය.  බයිබලයට අනුව ලොව වැඩිම කාලයක් ජීවික්වූ මිනිසා ලෙස සැලකෙන මෙතුසෙලා වසර 696ක් ජීවත් වූ බව සදහන් ය.






Sunday, May 13, 2018

අහස සහ මම..


මෙන්න මේ යැයි කිවහැකි 
කිසිවක්ම නොමැති ඉඩකට
"අහස" යැයි නම් තබමි....

ඔබ "තරුවක්" ව සලුපිලි පැළඳ
ක්ෂීරපථයේ යම් තැනක සිට
දුර අඩි තබා පැමිණෙතැයි
රාත්‍රිය වනතුරු මග බලාහිඳිමි





Saturday, May 12, 2018

සමාන කුරුල්ලෝ එකට පියාඹති



ඉමක් කොණක් නැති
මග සලකුණු නැති
යා යුතු මාවත
සොයා ගන්න නැති
අනන්ත ආකාසේ
සීතල දිය ඇලි
රම්‍ය වන උයන්
වෙත පියඹන්නට
ලඟම පාරවල්
සොයා ගනිති උන්.. 

උස් තුරු මුදුන් මත
හටගත් මියුරු පලවැල 
බෙදාහදා ගෙන
රස බලති... 

මිහිරි මකරන්ද තැවරුණ 
සුළඟ සීරුවෙන් ඉවකර
මන්මත්ව නද දෙති.... 

උනුන් තටු පිරිමැද
පිහාටු සුවඳ ඉවකර
යලිත් අහසටම එක්වෙති... 

සමාන කුරුල්ලෝ
නිතරම එක්ව පියාඹති... 




වැහි මතක


වියළි ගිම් කාලයේ
ඉඩෝරේ ගිනිලන මොහොතේ
එක බින්දුවක් නොසිඳෙන
ඇතුළු ගැඹුරේ
සිහිල් දිය උල්පත..

ඒ තමා පොළවක
වැහි මතක.




Wednesday, May 9, 2018

The Usual Suspects (1995)


කූඹියෝ ටෙලි නාට්‍ය විකාශනය වෙලා ඒ ගැන ඇති වෙච්ච කසුකුසුවත් මැකී ගිහින්
ඉවරයි. මොනව වුණත් ඒ සමගාමීව සමාජ ජාල අඩවි වල බ්ලොග් වල බොහෝ
තැන් කූඹි කාල තිබ්බ. විශේෂයෙන් ම කූඹියෝ අවසාන කොටස. මෙතනදි සිදුවෙච්ච
වැදගත් දෙයක් තමා අපේ සමාජෙට නුහුරු, criminal mastermind නැත්තම් con artist
වගේ යෙදුම් සහ එවැනි පුද්ගලයන් ගැන කතාබහක් ඇතිවෙච්ච එක. ඒ අතරෙ මතුවෙච්ච
තවත් කතාබහක් තමා කූඹියෝට සමාන (කඩියෝ, දිමියෝ...) කතා තේමාවන් ඇති
Criminal mastermind චරිත ගැන කියවෙන , අනපේක්ෂිත අවසානයක් ඇතිකරන
Plot twit වන නිර්මාණ මොනවද කියන එක. ඒ අතරෙ Fight Club , The Body,
American Hustle වගේ නම් කියවුණා . Usual Suspects කියන්නෙත් ඒ වගේ
crime/ thriller ගණයට වැටෙන, සමාන්‍යෙයන් එදා මෙදා තුර හොදම Plot twit
අතරින් එකක් විදිහට සලකන විශිෂ්ඨ සිනමා නිර්මාණයක්.

 කතාවෙ අවසාන භාගයට සම්බන්ධ වෙන දර්ශන කීපයක් එක්ක තමා මේ චිත්‍රපටය
ආරම්භවෙන්නෙ. ඉන්පස්සෙ එක පුද්ගලයෙකුගෙ මතක සටහනක් විදිහටයි කතාව
ගලාගෙන යන්නෙ. විවිධාකාර අක්‍රමිකතාවන් නිසා සේවයෙන් නෙරපපු පොලිස් නිළධාරීන්
පස් දෙනෙක් එකම චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගැනෙනවා. චිත්‍රපටය ඇතුල අපට
ඉගි ලැබෙන්නෙ මේ අය ඔය අපරාධය නොකළ බවයි. චෝදනාවෙන් නිදහස් වෙලා
එන්න මේ අයට අවස්ථාව ලැබෙනව. ඒත් එළියට ඇවිත් එකතුවෙලා වැඩ කීපයක් කරන්න
ඇතුළෙදිම මේ අය එකගතාවකට ඇවිත්. මෙහෙම සැලසුම් සහගත අපරාධ කීපයකට සහ
එක බිහිසුණු අණාවරණයකට පස්සෙ මේ අය දැනගන්නව මේ සිද්ධී හැම එකකම
පිටිපස්සෙන් අපරාධ ලෝකයේ Legend එකක් බඳු එක්තරා චරිතයක් ඉන්නා බව. ඒ තමා
Kayzer Soze.  Kayzer කියන්නෙ ඕනම දරුණු ගණයේ අපරාධකායෙක් වුණත් ඇහුව
සැණින් වෙව්ලායන නමක්. Kayzer වටා බොහොමයක් කතන්දර ගෙතිලා තිබුණට
මේ Kayzer කියන්නෙ කව්ද කියල දැකපු කෙනෙක් නෑ. දැකපු කෙනෙක් හිටියත්
Kayzer ගෙ මූණ කොයි වගේද කියල කිසි කෙනෙක් දන්නෙ නෑ මොකද Kayzer
කියන්නෙ මොන අපරාධය කළත් හැමවිටම තිරය පිටුපස්සෙ හැංගුණ චරිතයක්. මුළින්
කිව්ව නිළධාරීන් පස්දෙනා මේ Kayzer ගේ වැඩ කීපයකට අනි‍යමින් අකුල්හෙළා ඇතිබව
 එළිවෙනව. ඒ අයට ගැළවෙන්න ලැබෙන්න එක අවස්ථාවයි. එක්තරා රාත්‍රියක
Kayzer ගේ අපරාධ ආධිපත්‍යයට බාධා වෙන විදිහේ විශාල ගණුදෙනුවක් සිදුවෙන්න
නියමිතවෙලා තියනව. මොන ක්‍රමයෙන් හරි එය වැළැක්වියයුතුයි. පස්දෙනාට ලැබෙන
රාජකාරිය තමා මේ ගණුදෙනුව සිදුවීම වළක්වන එක. ඉතාම සැළසුම් සහගතව මේ
පස්දෙනා තමන්ට පැවරුණු වැඩේ අකුරටම ඉෂ්ට කරමින් ඉන්නව. නමුත් නොහිතූ විදිහට
හදිස්සියේ සිදුවන අනතුරකින් හැම දෙයක්ම විනාශ වෙලා යනව. සිද්දිය පිටිපස්සෙ
පන්නන පොලීසිය අවසානෙ Kayzer කවුද කියල හොයාගන්නව. අවසාන විනාඩි කීපයේ
චිත්‍රපටයේ climax එකට එන්නෙ මුළු කතාවම උඩු යටිකුරු කරමින්. මෙච්චර වෙලා තමන්
මොනාද බැලුවෙ කියන තිගැස්ම ප්‍රේක්ෂකයා ඇතුලෙ ඇතිකරමින්.

Usual Suspects චිත්‍රපටය ඇතුළෙ ඇත්තටම මොකක්ද වෙන්නෙ කියන එක
විවාදාත්මකයි. ඒ ගැන විවිධාකාර මත පළවෙලා තියනව. නමුත් ඒ ගැන මෙතන
නොකියන්නේ චිත්‍රපටය නොබලපු කෙනෙකුට අවසානය වනකල් ම ඒ කුතුහලය තබාගැනීම
අවශ්‍ය නිසා. චිත්‍රපටය බලන කෙනෙකුට තමන් දකින දේ අනුව කතාව ගොඩනගා ගන්න
පුලුවන් විදිහට ඉඩක් ඉතුරු කරලයි මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ. මුල මැද
අග කතාවක් කියනවට වඩා ඒක මෙහෙම වෙන්න බැරිද කියල තමන්ගෙ ඔලුව ඇතුලෙම
තර්ක කරන්න තමන් ඇතුලෙම නැවත නැවත හිතන්න ප්‍රේක්ෂකයාව සක්‍රීයව දායක කරගැනීම
අතින්ම මේක ඉතා විශිෂ්ට සිනමා නිර්මාණයක් බවට හඳුන්වා දෙන්න පුලුවන්. ඒ වගේම
දෙබස්, රූපරාමු, සංගීතය මේ හැම ඉහළ මට්ටමේ තියන බව කියන්න ඕන. Usual suspects
කියන්නෙ බොහොමයක් සිනමා රසිකයනට මගඇරෙන නිර්මාණයක් නෙමේ. Crime / Thriller
ප්‍රිය කරන, මේක තව නොබැලූ කෙනෙක් ඉන්නවනම් වහාම බලන එක සුදුසුයි කියල
කියන්න කැමතියි.





Tuesday, May 8, 2018

අවසානය - The Vanishing


වළාකුල් බඳෙන් ගිලිහී
මළානික වැසි වැටෙන දවසක
සැඳෑවක් දියවී බොඳවී යයි
පමා වූ ළිහිණියක තටු අතර.

තාමත් කඳුළු බිඳු වගුරන
හේමන්ත නිද්‍රාව කෙළවර
හෙමින් වාතලයට මුහුවිණ
සරත් තුරු පතක අන්තිම සුසුම.





අරුම පුදුම නැමුණු වනපෙත - Crooked Forest



පොලන්තයේ , බටහිර ප්‍රදේශයේ ජර්මන් දේශ සීමාව ආසන්නව
 පිහිටා ඇති , පයිනස් ගස් වලින් සැදුනු වනපෙතක් මෙනමින් හැදින්වේ.
එම වනාන්තරයේ ඇති පයිනස් ගස් අතරින් ආසන්න වශයෙන් ගස් 400 ක්
පමණ ඉංග්‍රීසි  U අකුරේ හැඩයට නැවී ඇති අතර එම සියලුම ගස් නැවී
ඇත්තේ උතුරු දිශාවට ය. එම අරුම පුදුම පිහිටීම නිසා මෙම කුඩා වනපෙතට
අභිරහස්මය පෙනුමක් ලැබී ඇත. මෙය කලකට පෙර මිනිසුන් විසින්
නිර්මාණය කරන ලද්දකැයි සැක කරන නමුත් ඒ සදහා යොදාගෙන ඇති
ක්‍රමවේදයක් මෙතෙක් සොයාගෙන නැත.










Friday, May 4, 2018

ශ්‍රී ලාංකේය සංගීතයේ මා වඩාත්ම ආදරය කරන සංගීතඥයන් 5 දෙනා....



සුනිල් සාන්ත

1946 රේඩියො සිලෝන් ආයතනය පිහිටුවීමෙන් අනතුරුව එහි පටිගත කල පළමු
ගීතය සුනිල් සාන්තයන් ගේ 'ඕලු පිපීලා' ගීයයි. එහි පබැඳුම ද සංගීතය ද ඔහුගේම විය. එවකට
ඉන්දියානු අනුකාරකත්වයට යටව තිබූ සිංහල ගීය ඉන් මුදා ගෙන බටහිර සංගීතයේ කෝඩ්ස්
ආශ්‍රය කරගෙන ශ්‍රීලාංකේය අනන්‍යතාවකින් යුත් සරල ගීයක් නිර්මාණය කිරීමට පුරෝගාමී  විය.
ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ 'රේඛාව' 'සංදේශය' යන චිත්‍රපට සදහා ගී තනු නිර්මාණය කලේ ය. 
1952 භාරතීය මහාචාර්ය වරයෙකු වූ රත්නජන්කර් ඉදිරියේ සම්මුඛ පරීක්ශනයකට පෙනී සිටීම
ප්‍රතික්ෂේප කිරීම නිසා ගුවන් විදුලියේ රැකියාව අහිමි විය. ඉන් පසු ජීවිකාව සදහා වඩු වැඩ,
මේසන් වැඩ, සිල්ලර වෙලද සැලක් පවත්වාගෙන යාම ආදී රැකියා වල නිරත විය. රැකියාව අහිමි වුව ද
තම ප්‍රතිපත්ති පාවා නොදීමට තරම් 'පිටකොන්දක්' තිබූ සැබෑ මිනිසෙකු ලෙස සුනිල් සාන්ත
නාමය ඉතිහාස ගතව ඇත.



------------------------------------------------------------------------------------------------------------

නෙවිල් ප්‍රනාන්දු

ශ්‍රී ලාංකේය කණ්ඩායම් සංගීතයේ පුරෝගාමී කණ්ඩායමක් වන 'ලොස් කැබලෙරොස්' හි
ආරම්භකයා මෙන් ම අති දක්ෂ ගිටාර් වාදකයෙකු ලෙසද ප්‍රසිද්ධියට පත්විය. එවකට තිබු
සංගීත කණ්ඩායම් ගීත ගායනා කලේ ඉන්ග්‍රීසි සහ ස්පාඥ භාෂා වලිනි. සිංහල ගීත ගායනය
අරඹමින් ලොස් කැබලෙරොස් කණ්ඩායම සී.ටී.ප්‍රනාන්දු ගේ ගීත ගායනා කලහ. සී.ටී.ප්‍රනාන්දු
මෙයට විරෝධය දක්වා සිටි හෙයින් තමන්ගේම ගීත නිර්මාණය කර ගැනීමට ඔවුහු යොමුවූහ.
මෙලෙස සී.ටී.ගේ 'පුන් සද හිනැහෙන්නේ' ගීයේ ආකෘතියටම අනුව නෙවිල් ප්‍රනාන්දු විසින්
'මල් බර හිමිදිරියේ' ගීතය නිර්මාණය කර රුක්මණී දේවි සමග ගායනා කලේ ය. එය ඉතා
ඉක්මණින් ජනප්‍රියත්වයට පත්විය. ශ්‍රී ලාංකේය කණ්ඩායම් සංගීත ඉතිහාසයේ මුල්ම සිංහල ගීය
ලෙස එය සැලකෙයි. ඉන් පසු නෙවිල් ප්‍රනාන්දු තම කණ්ඩායම සදහා ගීත රාශියක් නිර්මාණය
කලේ ය. 'මැණිකේ ඔබේ සිනාවේ'  'සදක් නැගී සදක් දිලේ'  'ගලන ගගක දොළපාරක' ඉන්
කීපයකි. ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ 'දෙලොවක් අතර' චිත්‍රපටයට මහගමසේකර පද
රචනා කල අමරදේවයන් සංගීතවත් කල 'ගයන ගැයුම්' ගීය ගයමින් ලොස් කැබලෙරොස්
කණ්ඩායම චිත්‍රපට ගීත ගායනයට  එක්විය. නෙවිල් ප්‍රනාන්දු ගේ ගායනය කෙරෙහි
අමරදේවයන් කොතරම් පැහැදුනාදයත් 'රන්සලු' චිත්‍රපටයට 'බදුන් පිරී උතුරන මී'
යන ගීය ගායනා කිරීමට ඔහුව තෝරාගත්තේ ය. 'කලු දිය දහර' චිත්‍රපටයට නෙවිල් ප්‍රනාන්දු
ගායනා කල 'මාස්ටර් සර්' ගීතය සිංහල ගීයේ සංධිස්ථානයක් ලකුණු කල ගීයකි. කෙසේ වුවද
නෙවිල් ප්‍රනාන්දු අකාලයේ ජීවිතයෙන් සමුගැනීම සිංහල සංගීතයට සිදුවූ බලවත් පාඩුවකි.




------------------------------------------------------------------------------------------------------------

ප්‍රේමසිරි කේමදාස

ශ්‍රී ලාංකේය සංගීතයේ නිම් වළළු පුළුල් කළ සංගීත රචකයෙකි. සිංහල ජන සංගීතය ද,
ඉන්දියානු රාගධාරි සංගීතය ද, බටහිර සම්භාව්ය  සංගීතය ද, ඇසුරු කරගෙන අනන්‍ය
සංගීත ශෛලියක් බිහිකලේය. කුඩා කල සිටම බටනලා වාදනයට දක්ෂතාවයක් දැක්වීය.
අද්‍යාපනයෙන්  ඉහළට යාමට එතටම් කැමැත්තක් නොදැක්වූ  කේමදාස සංගීතයම තම ජීවිතය
කරගැනීමට සිහින මැවීය. සිරිසේන විමලවීර ගේ රොඩී කෙල්ල චිත්‍රපටයට සංගීතය අද්‍යක්ෂණය
කරමින් කේමදාස චිත්‍රපට සංගීත අද්‍යක්ෂණයට පිවිසියේ ය බඹරු ඇවිත් චිත්‍රපටය තුළින් ඔහු වන
විට ශ්‍රී ලාංකේය චිත්‍රපට සංගීතයට ආගන්තුක වූ අද්විතීය සංගීත ශෛලියක් හඳුන්වා දුන්නේ ය.
අනතුරුව ඔහු සම්මානනීය චිත්‍රපට අද්‍යක්ෂකවරයෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
මහතාගේ ගොළු හදවත සහ නිධානය වැනි චිත්‍රපට වලට සංගීත අද්‍යක්ෂණයෙන් දායක වූවේ ය.
චිත්‍රපට සංගීත අද්‍යක්ෂකයකු වශයෙන් කේමදාස විචාරකයන්ගේ ප්‍රශංසාවට පාත්‍ර වූ අතර
එතැන් සිට ඔහු කේමදාස මාස්ටර් යන ගෞරව නාමයෙන් ආමන්ත්‍රණය කරන්නට විණ. චිත්‍රපටයේ
රූප රාමු වලින් හැඟවෙන භාවයන් උද්දීපනය කිරීම උදෙසා බටහිර සම්භාව්ය සංගීතයේ භාවිතය,
චිත්‍රපට සංගීතයේ කේමදාස සළකුණ සනිටුහන් කළේය.ශ්‍රී ලාංකේය සිනමා සංගීතයට ඉන්දියානු
ආභාසය ලැබ අනුකරණවලින් යැපෙමින් තිබූ යුගයක සිනමා සංගීතය ශ්‍රී ලාංකීකරණය කිරීම
උදෙසා කේමදාස මහත් වෙහෙසක් දැරීය. ගොළු හදවත චිත්‍රපටය සඳහා කේමදාස නිර්මාණය කළ
සංගීතය සිංහල සිනමා සංගීතයේ මහත් පෙරලියක් ඇති කිරීමට සමත් විය.
සිනමා සංගීතයද මතු නොව වෙද හාමිනේ, අකාල සන්ධ්යා, දඩුබස්නාමානය, අසල්වැසියෝ
වැනි ටෙලි නාට්‍ය සදහාද  ජයන්ත චන්ද්‍රසිරි ගේ මෝරා, අත් සහ ධර්මසිරි බණ්ඩාරනායක ගේ
මකරාක්ෂය, ධවල භීෂණ යන වේදිකා නාට්‍ය වලට ද සංගීත නිර්මාණය කලේය. ශ්‍රී ලාංකේය
සංගීතඥයන් අතර ඔපෙරා ශෛලිය ප්‍රගුන කළ සහ නිර්මාණය කළ එකම සංගීතඥයා ලෙස
කේමදාස හැඳින්විය හැක. ගම්බද ප්‍රදේශ වලින් පැමිණ කේමදාසයන්ගෙන් සංගීතය හදාරා
පුහුණුව ලැබ ඔහුගේ ඔපෙරාවන්හි රඟ දක්වන දක්ෂ ශිෂ්‍ය පරපුරක් ඔහු සතුව සිටියේ ය
2008 ඔක්තෝබර් 24 වන දා ඔහු ජීවිත්යෙන් සමුගත්තේ මෙවැනි මහාර්ඝ නිර්මාණ
රාශියක් ඉතිරි කර තබමිනි




------------------------------------------------------------------------------------------------------------

ක්ලැරන්ස් විජේවර්ධන

නෙවිල් ප්‍රනාන්දු ගෙන් පසු  සිංහල කණ්ඩායම් ගීතය වඩාත් රසවින්දනාත්මක තලයකට
ඔසවා තැබිමේ ඊලග පුරෝගාමියා ක්ලැරන්ස් ය. අද වන විට ගිටාර් වාදනය අරඹන
ආධුනිකයෙකු බොහොවිට තම වාදනය අරඹන්නේ ක්ලැර්න්ස් ගේ ගීයකිනි. ඔහු විසින් සිංහල ගීයට
ඇතිකල බලපෑම මෙයින් ම පැහැදිලිවේ. ඔහු නැති උත්සවයක්, ප්‍රියසාදයක්, මිතුරු හමුවක්
අපට නැතිතරම් ය.1965 'මූන්ස්ටෝන්' සංගීත කණ්ඩායම පිහිටුවාගෙන සංගීත ක්ෂේත්‍රයට පිවිසි
ක්ලැර්න්ස් තම කණ්ඩායම වෙනුවෙන් නිර්මාණයකළ 'මංගෝ කලු නැන්දේ' ගීතය ගුවන් විදුලියේ
ප්‍රචාරය වීමෙන් අනතුරුව ඉතාම ජනප්‍රියත්වයකට පත්විය. ඉන් පසුව ඔහු 'ගෝල්වන් චයිම්ස්'
'සුපර් ගෝල්ඩන් චයිම්ස්' 'මදාරා' යන සංගීත කණ්ඩායම් පිහිටුවා අදටත් රසිකයන් අතර මුවග
රැව්දෙන ගීත රාශියක් නිර්මාණය කලේ ය. තමන් ගයන ගීත තමන්ම රචනා කරගත් ඔහු
රචනය, තනු නිර්මාණය, වාදනය සහ ගායනය යන සියලු අංශ වලින් දක්ෂතා දැක්වූ දුර්ලභ
කලා කරුවෙකි. මිල්ටන් මල්ලවාරච්චි, ටී. එම්. ජයරත්න. සනත් නන්දසිරි, ජෝතිපාල
වැනි ඔහුගේ සමකාලීනයන් සදහා ක්ලැරන්ස් විසින් නිර්මාණය කල ගීත අදටත් ජනප්‍රිය ය. 
සිකුරුලියා, අපේක්ෂා, චතුමදුර, හලෝ ශ්‍යාමා යන චිත්‍රපට සඳහා මොහු සංගීත අද්‍යක්ෂවරයා
ලෙස කටයුතු කළ අතර සිහසුන, කොළඹ සන්නිය, ජනක සහ මංජු සහ සිව්රඟ සේනා නමැති
චිත්‍රපට සඳහා ද ඔහු ගීත ගයා ඇත. සුසීමා සහ නිදිකුම්බා මල් නමැති ටෙලිනාට්‍ය දෙකෙහි
සංගීත අද්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කර ඇත. ගිටාරය සිංහල ගීය තුල අවස්ථානෝචිත
ලෙස භාවිතයෙන් ද යුග යුග ගණන් පවතිල ඉතා මනරම් ගීතනු රැසක් රචනා කිරීමෙන්
ද සිංහල ගීයට ඔහු කළ සේවය අප්‍රමාණය.




------------------------------------------------------------------------------------------------------------

අයිවෝ ඩෙනිස්

අති දුර්ලභ 'බේස්' කටහඩක් ඇති සුවිශේෂී ගායනවේදියෙකි. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංගීතඥයන්
දෙදෙනෙකු වන සුනිල් සාන්තයන් ද ප්‍රේමසිරි කේමදාසයන් ද තම ප්‍රධාන ගායකයා ලෙස
යොදා ගත්තේ ඔහුව ය. දිනක් ගුවන් විදුලියෙන් තමගේ ගීයක් තමන්ටම සමාන වූ හඩක්
ඇති අයෙකු විසින් ගයනු සුනිල් සාන්තයන්ට අසන්නට ලබුනි. එ ගැන සොයාබැලූ සුනිලුන් ට
දැනගන්නට ලැබුනේ එ අයිවො ඩෙනිස් නම් ආධුනික ගායකයා බවය. සුනිලුන් සෙවණේ ශිල්ප
හදාරන්න ඔහුට ඉඩ ලැබුනේ එයිනි. සුනිල් සාන්තයන් ඔහු වෙනුවෙන් ගීත කීපයක් නිර්මාණය
කර දුනි. ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ගීපද පෙළකට තනුව සහ සංගීතය නිර්මාණය
කළේ ප්‍රේමසිරි කේමදාසයන්ය. ගීත ගයන්න පැවරුණේ ටී. එම්. ජයරත්නටය. එහෙත් ඒ ගීයට
තවත් ගැඹුරු හඬක අවැසිතාව මතුවිය. ටී. එම්. ජයරත්නයන් ඒ සඳහා කේමදාසයන්ට හඳුන්වා
දුන්නේ අයිවෝ ඩෙනිස්‌වය.

අඳුරු කුටිය තුළ දොරගුළු ලාගෙන
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන්හට නෑසේ......

පොළොව කොටන තැන - පාර තනන තැන
ගිනියම් අව්වේ මහවරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ
බලන් කඩතුරා හැර දෑසේ....

ටී. එම්. ජයරත්න සමග ඒ ගීය ගැයු අයිවෝ ඩෙනිස්‌ට තවත් චිත්‍රපට ගීයක ගැයීමට වරම්
ලැබිණි. උදුම්බරා..... හිනැහෙනවා...... ටී. එම්. ජයරත්න සුනිලා අබේසේකර සමග අයිවෝ
ඒ ගීය ගැයූ අතර "හිම කතරට" ගැයූ ගීය වෙනුවෙන් ඔහුට ජනාධිපති සම්මානද හිමි විය.
කේමදාසයන්ගේ "පිරිනිවන් මංගල්ලය" "මානසවිල" කැන්ටටාවේද ඔහුගේ හඬ ඇතුළත්ය. 
අයිවෝ ඩෙනිස්‌ට ගුරු පත්වීමක්‌ ලැබ රත්නපුර, මීගමුව ආදී ප්‍රදේශවල පාසල්වල ඉගැන්වීය.
පසුව රජයේ සංගීත විද්‍යාලයේ ජන සංගීත උපදේශකවරයා වන ඔහු එවක රජයේ ප්‍රධාන සංගීත
පරීක්ෂක ඩබ්ලිව්. බී. මකුලොලුව මහතාගේ සිත දිනාගනිමින් "හෙළ මිහිර" ගායන වෘන්දයේ
මූලිකයා බවටද පත්විය. වීරසේන ගුණතිලක, ලයනල් රන්වල, රෝහන බැද්දගේ වැන්නෝ
"හෙළ මිහිරේ" අයිවෝගේ සමකාලිනයන් වූහ.හෙළ කිතුණු ගීයට ද ඔහු විසින් තනු නිර්මණයන්
දායකවූ අතර ඔහු ගේ සුමධුර ගී තනු අදටත් දේවස්ථාන වල ගායන වේ. තම සංගීත දැනුම ශිෂ්‍ය
පරපුර අතර බෙදා දෙමින් ඔහු අදටත් අප අතර ජීවමානය.




------------------------------------------------------------------------------------------------------------

තොරතුරු - ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය - සුනිල් ආරියරත්න , අන්තර්ජාලය ඇසුරෙන්



නෙළුම් මල්


බොහො උස්ව වැඩුණාට පොළව මත මෙතෙක් කල්
කොහොම දළු දමන්නද සිඳුණු කල ගසක මුල්
හමුවුණත් කොයිතරම් පෑදි දිය පිරුණු විල්
මඩ දියේ පමණක්ය හටගත්තෙ නෙළුම් මල්






Thursday, May 3, 2018

දේදුණු වර්ණ යුකැලිප්ටස් ගස


Rainbow Eucalyptus (Eucalyptus deglupta)

දේදුණු වර්ණ යුකැලිප්ටස් ගස ඉන්දුනීසියාව, පිලිපීන දූපත්, පැපුවා නිව් ගිනියාව 
සහ ඒ ආශ්‍රිත දූපත් වල වර්ධනය වන්නකි...  ගසේ පොත්ත අලංකාර දේදුණු වර්ණ 
ගන්නා සුවිශේෂී ගස් වර්ගයකි. සොබාවික පරිසරයේදී එම ගස මීටර 80 ක් (අඩි 250 ක්) 
පමණ උසට වැඩෙන අතර මීටර් 2 ක් පමණ (අඩි 6ක්) පමණ වට ප්‍රමාණයකින් යුක්ත වෙයි. 
මෙම ගස  Mindanao gum tree යනුවෙන්ද හදුන්වනු ලබයි. එයට හේතුව පිලිපීනයේ 
Mindanao දූපතෙහි මෙම ගස බහුලව වර්ධනය වීමයි. ගසෙහි සුවිශේෂ ලක්ෂණය නම් 
විවිධ වර්ණයන් ගෙන් යුත් එහි පොත්තය. කුඩා අවධියේ එය තද කොළ පැහැයක් ගන්නා 
අතර ගස වැඩීමේදී එහි පොතු වරින් වර ගැලවී යන අතර එවිට ඇතුළතින් රතු, තැඹිලි. නිල්, 
කොළ වර්ණයන් මතුවීමට පටන්ගනියි.