Tuesday, July 30, 2019

පිනි බිඳු


පිනි බින්දුවක
හිරු මිස
දකින්නට නැත 
තවත් පිනි බිඳු...




Monday, July 29, 2019

හිම කඳු


ගිනි කඳු  ද  විටෙක හිම කඳු ය 
ස්වකැමැත්තෙන් සුදු අඳින.




Thursday, July 25, 2019

ඔබ..


නොදන්නා නමුදු 
නෙත් අග අඩැසි බැල්මක
මුව මදහාස කැල්මක
අතැගිලි තුඩින් පිරිමැදුමක
මුදු මිහිරි පියවදනක
දහසකුත් හද රිදුම්
සෝ ගිනි දැවුම්
නිවාලන
ඉන්ද්‍රජාලික අවියක්
ඇති කෙනෙක් ඔබ..





Friday, July 19, 2019

සුසුමන් හෙළනු නොහැකි


සුසුමන් හෙළනු නොහැකි
අර මහා සෙල් කුළු
විසුණු වී යා හැකි බැවිනි..

කඳුළැලි සලනු බැරි
කඳුළු ගංගාවක් සැදී
මා ගිලී යා හැකි..

කෑ ගසා කියනු අකමැති
අසනා සවන් බිහිරි වනු ඇති..

එබැවිනි
පවසනු නොහැකි
හමුවුණොත් දිනෙක යළි
හුරු පුරුදු ඉඟියක් 
දෑසින් හෙළනු මැන
එපමණි...





Tuesday, July 9, 2019

සංසාරේ දඩයක්කාරයා - 2019

"සංසාරේ දඩයක්කාරය ගැන යමක් කියන්න කලින් අවධාරණය කල යුතු කාරණා කිහිපයක් තියනව. මූලික වශයෙන් ගත්තොත් "සංසාරේ දඩයක්කාරයා" කියන්නෙ අපිට බහුලව දකින්න ලැබෙන චිත්‍රපටයකින් වෙනස් වුණ සුවිශේෂී නිර්මාණයක්. ඉතාම මෑතක තිරගත වුණ "දැකල පුරුදු කෙනෙක්" චිත්‍රපටයත් එක්ක මේ දැකල පුරුදු නැති සිනමාව ගැන යම් කතාබහක් ඇති වුණා. "සංසාරේ දඩයක්කාරයා" එතනින් තවත් ගැඹුරට ගිහින් කලාත්මක සිනමාවෙ නිම්වළලු තවත් පුළුල් කරන සිනමාපටයක් විදිහට හඳුන්වාදෙන්න පුලුවන්. අපිට මේ චිත්‍රපටය ඇතුලෙ යම් නිශ්චිත කතා පුවතක් දකින්න ලැබෙන්නෙ නෑ. ඒ වගේම දෙබස්, නළු නිළියන් ඉතා අවමයෙන් භාවිතා කරල තියෙන්නෙ. සංකේතාත්මක රූපරාමු භාවිතයෙන්, මුහුණේ සියුම් හැඟීම් ප්‍රකාශනයන්ගෙන්, අවශ්‍ය තැන් වල පමණක් සීමිත නමුත් ප්‍රබල දෙබස් භාවිතයෙන් වගේම ඒ අවස්ථානුකූලව භාවයන් මතුවන සංගීතයෙන් සහ ශබ්ද භාවිතයෙන් තමා මේ සිනමාපටයෙන් මතු කරන දේ ප්‍රේක්ෂකයට සන්නිවේදනය වෙන්නෙ. 

ඒ වගේම තිරගත වෙලා ඉතා සීමිත කාලයක් වුණත් මේ චිත්‍රපටයට නොයෙක් විවේචනයන් එල්ල වෙන හැටි දැක්ක. සහ ඉදිරියටත් ඒ දේවල් බලාපොරොත්තු වෙන්න පුලුවන්. මම විශ්වාස කරනව අපේ සිනමා වර්ණාවලිය තව දීප්තිමත් වෙන්නෙ විශාල පරාසයක නිර්මාණ බිහිවීමෙන් කියල. බහුතර රස වින්දනයට ගැලපෙන වාණිජමය චිත්‍රපට වගේම සුළුතර ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන් මේ වගේ කලාත්මක චිත්‍රපට නිර්මාණය විය යුතුයි. රසිකත්වය කියන්නෙ යම් නිර්මාණයක් පොදුවේ සහ තම රසවින්දන ශක්තිය අනුව කිරාබලල අගය කිරීම නැත්නම් විවේචනය මිස තමන්ට කැමති ආකාරයෙන් කලාකෘති නිර්මාණය කරන්න නිර්මාණකරුවන්ට බලපෑම් කිරීම නොවෙයි. නිර්මාණ කරුවෙක් කොහොමත් රසිකයන් ගෙ අත් අඩංගුවෙ සිටිය යුතු නෑ. තමන්ගෙ ප්‍රකාශනය තමන්ට කැමති ආකෘතියකින් ඉදිරිපත් කිරීමේ නිදහස නිර්මාණ කරුවෙකුට තිබිය යුතුයි ඒ වගේ ම රසිකයන් ගේ පැත්තෙන් සිදුවියයුත්තේ ඒ නිර්මාණයන්ගෙ ගුණ අගුණ කිරාබලා කලාත්මක වශයෙන් ඒවායෙ ප්‍රබල තැන් සහ දුබල තැන් විමසාබැලීම මිස නිර්මාණ කරුවන්ට මින්පස්සෙ මෙහෙම චිත්‍රපට හදන්න එපා මෙහෙම හදන්න කියමින් බලපෑම් කිරීම නොවෙයි..

"සංසාරේ දඩයක්කාරයා" නිර්මාණය වෙන්නෙ සයිමන් නවගත්තේගම මහත්මය ගෙ "දඩයක්කාරයා" නවකතාවෙ සිදුවීම් කීපයක් පමණක් මුල් කරගෙන. කැලෑබද පරිසරය පසුබිම් කරගෙනයි මුලු චිත්‍රපටයම ගලා යන්නෙ. බැලූ බැලූ අත රූස්ස ගහකොලින් වටවුණ සාගරේ වගේ සීමාවක් නැති වනාන්තරය! ඒ මැද පන්සලක වාසය කරන ස්වාමීන් වහන්සේ නමක්.. කැලෑවේ සැරිසරන දඩයක්කාරයෙක්, ගෝමරී කියන හැඩකාර යෞවනිය..කැලේ සැරිසරන මිනීමස් රස ඉව වැටුණ කොටියෙක්.. කලින් සඳහන් කලා වගේ අග මුල ගැලපුණ කතාපුවතක් මේ චිත්‍රපටය නෑ. දෙබස් නෑ.. ඒ වෙනුවට කතාකරන්නෙ ගහකොළ..කඳු.. මීදුම...මුහුණෙ සියුම් ඉරියව්... මෙතනදි බොහෝ වෙලාවට එක රූපරාමුවක් දිහා සෑහෙන වෙලා බලා ඉන්න ප්‍රේක්ෂකයාට සිද්ධ වෙනව.. රූපයකින් තව රූපයකට මාරු නොවී එකම රූපරාමුවේ ගිලිල පිහිනල ගැඹුරට ගැඹුරට කිමිදෙන්න අද්‍යක්ෂවරයා ඉඩ හදල දෙනව.. ඇත්තටම ඒක රූපමය කවියක් විදිහට හඳුන්වන්න පුලුවන්....ඒ නිසා මේ සිනමාපටය රසවිඳින්න සෑහෙන ඉවසීමක් අවශ්‍යයි...අපි ලස්සනයි සුන්දරයි කියල අල්ලගෙන ඉන්න දේවල් වල ඇත්ත ස්වභාවය පෙන්නා දෙන්නෙ සෑහෙන කම්පනයක් ඇති කරමින්.. සමහර දර්ශන දරාගන්න ටිකක් අමාරුයි.. ඒත් දරාගන්න අමාරු වෙන්නෙ ..බියකරු වෙන්නෙ ලෝකයේ යථාස්වභාවය මිස වෙනදෙයක් නොවෙයි...

ශාස්තෲවරුන් දේශනා කල ධර්මය ආයතනගත ආගම් බවට පත්වීමෙන් කාලයත් එක්ක ඒවායෙන් ආධ්‍යාත්මිකත්වය ගිලිහී ගිහින් වඳින පුදන අනුගාමිකයන් පිරිසක් බිහිකරගැනීම දක්වා පටු වී ඇති ආකාරය මේ සිනමාපටයෙන් පෙන්වා දෙනව. ස්වාමීන් වහන්සේ පවා දඩයක්කාරයාගේ තියන විනය, ඉවසිලිමත් කම, විරාගික ස්වභාවය කෙටියෙන්ම කිව්වොත් දඩයක්කාරයා ගෙ ආද්‍යාත්මය හඳුනා ගන්නෙ නෑ. උන්වහන්සේට අවශ්‍ය කොහොම හරි දඩයක්කාරයා පන්සල් ගෙන්නා ගැනීම පමණයි.. දඩයක්කාරයා සංසාරය අවබොධ කරගත්ත කෙනෙක්..ස්වාමින්වහන්සේ සහ දඩයක්කාරයා අතරෙ ඇතිවෙන දෙබස් වලින් ඒ බව පැහැදිලි වෙනව.. ස්වාමීන් වහන්සේට පවා ඒ තරම් අවබෝධයක් තිබුණා ද කියල සැකයි....

අවසානෙ නාමවලිය යනකොටයි චිත්‍රපටයෙ ප්‍රධාන පසුබිම් හඬ චිතෲ ගෙ බව දැක්කෙ. ඇයට විශාල පරාසයක හඬ හසුරුවන්න හොඳ හැකියාවක් ඇති බව පැහැදිලියි. සංගීත අධ්‍යක්ෂවරයාට ස්තූතියි කියන්න ඕන ඒ හඬෙන් වැඩක් ගැනීම ගැන... පසුබිම් සංගීතය ඒ ඒ අවස්ථාවන් වල හැඟීම් මතු වෙන විදිහට යොදාගෙන තිබුණ..විශේෂයෙන් බියකරු බව දනවන තැන්වල ඒ සංගීතය හොඳින්ම දැනුන..

ප්‍රසන්න ජයකොඩි ගෙ චිත්‍රපට නරඹල ඇති අය ඔහුගෙ රිද්මය දන්නව.. කලාත්මක සිනමාව ප්‍රිය කරන සුලුතර ප්‍රේක්ෂක පිරිසක් වෙනුවෙන් හරි ඔහු දරල තියන නිර්මාණාත්මක වෙහෙස අගය කරන්න ඕන... ගතානුගතික සිනමාවෙන් බැහැර වෙලා සිනමා කවියක් රසවිඳින්න කැමති ඕනෑම කෙනෙක්ට "සංසාරේ දඩයක්කාරයා" බලන්න ආරාධනා කරනව.







Monday, July 8, 2019

පණගැහෙන ඒ හදවත


කදෝකිමි එළි නිවී
රැහැයි ගී හඬ මැකී
සඳ තරු පවා නිදිගත්ත රෑ මැද
අතැඟිලි තුඩින් 
වම් පපුකුහරය පිරිමැද
පණගැහෙන ඒ හදවත
දෝතට ගනිමි..

ලා රෝස කටු ඇනුම්
සිහින් නෙත් හී සර රිදුම්
වදන් කඩු තුඩු කැපුම් 
අතරමැද්දෙන්
ඉරිතැලුනු එක් විසල් පෙදෙසක
බොඳවී නොවී දිදුලන
ඔබේ රුව දෙස බලමි....