Showing posts with label සංගීතය. Show all posts
Showing posts with label සංගීතය. Show all posts

Thursday, October 9, 2025

Both sides now

ජීවිතේ කියන්නෙ පරස්පරතාවන්ගෙන් පිරිච්ච තැනකට. ජීවිතේ ඇතුළෙ ඕනැම දෙයක් අරගත්තොත් ඊට ප්‍රතිවිරුද්ධ යමක් ඒත් එක්කම වෙන් කරන්න බැරි විදිහට බැඳිලා තියනව. හැම ආලෝකමත් යමක් පිටිපස්සෙම එයින් වෙන් කරන්න බැරි අඳුරකුත් තියනවම තමයි. හරියට හඳ වගෙයි. හඳ කිව්වම අපිට මතක් වෙන්නෙ අන්ධකාර රාත්‍රිය ඇතුළේ එළිය දෙන හරි සෞම්‍ය සුන්දර වස්තුවක් විදිහට නෙ. නමුත් ඇත්තටම ගත්තොත් හඳේ එක පැත්තක් එළිය වෙද්දි අනෙක් පැත්ත සම්පූර්ණ අඳුරෙන්ම වැහිලයි තියෙන්නෙ. හඳ එයාගෙ මේ අඳුරු මූණ පෙන්වනව කාලෙන් කාලෙට. ඒක එතකොට අර හඳ ගැන කවි සින්දුවලින් කියන සුන්දර වස්තුව නෙමේ. ජීවිතේ සම්බන්ධයෙනුත් දේවල් සිද්ධ වෙන්නෙ ඔය ආකාරයට. ආදරය ගත්තොත් උදාහරණයක් විදිහට, ආදරය හරි ලස්සන, සුන්දර, ජීවිතේට සැනසීම අරන් එන හැඟීමක් විදිහට ඒ ගැන කල්පනා කරද්දී අපි හිතනව. නමුත් ආදරයක් ජීවිතේ ඇතුළෙ පවත්වගෙන යද්දී ඒ වෙනුවෙන් ලොකු වැයවීමක්, කැපවීමක් අපිට දරන්න සිද්ද වෙනවා. අපි ආදරය කරන්නෙ යම් කෙනෙකුට නම් ඒ කෙනාගෙ අපි ආස ගති ගුණාංග වගේම අපි ඒ තරම් ආස නොකරන දේවලුත් තියනව. ඒ දේවල් එක්ක ගනුදෙණු කරන එක බොහොම වෙලාවට සුන්දර අත්දැකීමක් නෙමේ. නමුත් ඔය සුන්දර වගේම අසුන්දර දේවලුත් එකට බැඳිච්ච දෙයක් තමා ආදරය. මේ දෙක එකින් එක වෙන් කරලා අපි ආස දේ විතරක් බාරගෙන ආස නොකරන කොටස ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. එතනදි අනිවාර්යයෙන් ඔය දෙපාර්ශවයම සම සිතින් බාරගන්න අපිට සිද්ද වෙනවා. 

මේ ටික මෙහෙම ලියන්න හිතුණෙ Joni Mitchell ගෙ Both sides now සින්දුව කාලෙකට පස්සෙ අහපු හින්දා. Joni මේ සින්දුව ඇතුළෙ කියන්නෙ ජීවිතේ තියන මේ එකිනෙක ප්‍රතිවිරුද්ධ ස්වභාවයන් ගැන. එයා මුලින්ම පටන්ගන්නෙ වළාකුළු ගැන කියලා. එයා කියනවා එයා මුලින්ම වළාකුළු දැක්කෙ අහස පුරා පැතිරිච්ච මැජික්මය සෞන්දර්යක් තියන දෙයක් විදිහට කියලා. නමුත් ඒ වළාකුළුම තවත් වෙලාවක සූර්‍යාලෝකය වළක්වනවා. වැස්ස, හිම කුණාටු අරගෙන එනවා කියල එයා කියනව. එන්පස්සෙ එයා ජීවිතේ ගැනත් එහෙමම කියනවා. මුලින් ලස්සනයි සුන්දරයි කියලා පේන්න තියන දේවල් වල අඳුරු පැතිකඩ පහුකාලීනව අපිට පේන්න පටන් ගන්නවා. විශේෂයෙන් වයසත් එක්ක දේවල් වල සංකීර්ණ බව අත්දකින්න ලැබෙද්දී අපි දේවල් දිහා දකින විදිහ වෙනස් වෙනවා. Joni ගේ සින්දුව පුරාම තියෙන්නෙ ඒ අත්දැකීම් ආශ්‍රයෙන් එයා ලබන ජීවිතාවබෝධය, ජීවිතාවලෝකය. විශේෂයෙන් එයා සින්දුව කියන tone එක සහ සින්දුවෙ melody එකත් Music Arrangement එකත් එක්ක ජීවිතේ තිත්ත කටුක යථාර්ථයන් හමුවේ තමන්ගෙ හදවතේ ලස්සන නැති කර නොගත් සහ පැහැදුණු හිතකින් දේවල් දකින කෙනෙකුගේ නිවුණු මිහිරි ස්වරය සින්දුව පුරා ඇහෙනවා. ඒ බව අහන අපිටත් දනවන්න ඒ music එක සමත් වෙනවා. මේ සින්දුව මං අහන්නෙ ඔළුව ඇතුළෙ පැටලිච්ච මොකක්දෝ නමක් නොදන්නා අඳුරක් ලෙහාගන්න උත්සාහ දරමින් ඉන්න වෙලාවක. මේ අකුරු ඒ ලෙහා දැමීමේ වෑයමක කොටසක්. Music වල තියන සුවපත් කිරීමෙ ගුණය අමතක වෙමින් තියන කාලෙක Joni Mitchell ගෙ මේ සින්දුව ඒ වැහි බර අහසක් වගේ හිත පුරා පැතිරිලා තිබ්බ අඳුර මැද්දෙන් ආලෝක තිතක් ඇවිලුවා. කුඩා වුණත් ඒ ප්‍රහර්ශය බෙදාහදා ගැනීම වෙනුවෙන්මයි මේ කෙටි සටහන. සින්දුව අහල නැති කෙනෙක් ඉන්නව නම් අහල බලන්න. හිත අඳුරෙන් බර වෙලා තියන වෙලාවක, ඔලුව ඇතුළෙ පීඩාකාරී සිතුවිලි පැටලෙන මොහොතක, ජීවිතේ තේරුම් ගන්න බැරි හරස්පද ප්‍රෙහේලිකා විසඳලා හති වැටිලා ඉන්න වෙලාවක ඇහුම්කන් දීලා ඒ රිදුම් නිවාගන්න, සැහැල්ලු වෙන්න ඕනෑම කෙනෙකුට මම නිර්දේශ කරනවා මේ සින්දුව.




Wednesday, July 23, 2025

Mama, I’m coming home

 Rock Music කියන දේ අපේ පරම්පරාවේ කන්වලට හුරු කළේ Linkin Park, Green Day, Evanescence, Audioslave, වගේ බෑන්ඩ්වලින් කියල කිව්වොත් මං හිතන්නේ වරදක් නැති වේවි. Jimi Hendrix ලා, Ozzy Osbourne ලා, David Gilmore ලා, Robert Plant ලා වගේ උදවිය අපිට මුණගැහෙන්නෙ ඊටත් ටිකක් ගැඹුරෙදි. 70, 80 කාලේ Rock සින්දුවල තිබ්බ අතීතකාමී නොස්ටැලිජික් සද්දෙ, දීර්ඝ සහ පිස්සු හැදෙනසුළු ගිටාර් solos, ඒ සින්දුවල තිබ්බ මාර වචන වගේ දේවල් Rock සංගීතය එක්ක අපිට තිබ්බ බැඳීම තවත් වැඩි කළා. අද දවසේ ජීවිත රගමඩලෙන් සමුගත්ත Ozzy Osbourne වැදගත් චරිතයක් විදිහට මතුවෙන්නෙ එතනදි. එයා සහ එයාගේ බෑන්ඩ් එක Black Sabbath එතෙක් පැවතිච්ච Rock සංගීත සද්දේ වඩාත් බර හඬක් සහ වඩාත් අඳුරු ටෝන් එකක් ඇතුළේ වෙනස් හැඩයකින් එළියට අරන් ආවා. මේ වැඩේ මුළින්ම කළ එකම බෑන්ඩ් එක එයාලා නොවෙන්න පුළුවන්. නමුත් වැඩි පිරිසක් අතරට මේ අළුත් "බර" සද්දේ අරගෙන යන්න එයාලට පුළුවන් වුණා. Rock සංගීතය ඇතුළේ Heavy Metal කියල තවත් සංගීත ප්‍රවර්ගයක් මේ හරහා නිර්මාණය වුණා. Heavy Metal ඉන් ඉස්සරහට ගිහින් වෙනම සංස්කෘතියක් විදිහට වර්ධනය වුණා. (Blalak Sabbath කණ්ඩායමේ ගිටාර් වාදක Tony Iommi ගේ guitar riffs එක්ක මේ Heavy Metal පටන් ගන්න බවයි පොදු පිළිගැනීම, නමුත් මුල් කාලීනව බර Rock Sound එකක් දුන්න Deep Purple, Led Zeppelin වගේ බෑන්ඩ්ස් මේ Metal සංගීතේ වෙනුවෙන් ලොකු දායකත්වයක් දුන්න බවට තියන අදහස ඉවත දාන්න බෑ). Black Sabbath බෑන්ඩ් එකේ හඬ සහ ප්‍රධන ප්‍රාසාංගිකයා වුණු Ozzy Osbourne අද 76 වසරක් ආයු වළදලා ජීවිතෙන් සමුගන්නවා. ප්‍රසංග වේදිකාව උඩ විතරක් නෙමේ ජීවිතේම පෙරළිකාර චරිතයක් විදිට වචනේ අර්ථයෙන්ම පෙන්නන්න පුළුවන් උදාහරණයක් තමයි Ozzy කියන්නෙ. මිනිස් මනසේ තියන අඳුරු පැතිකඩ, සමාජ දේශපාලන ක්‍රමය ඇතුළේ තියන භීෂණය සහ විෂමාචාරීත්වය Ozzy තමන්ගේ සින්දුවලට බොහෝ වෙලාවට තේමා කරගත්තා. එයා ලෝකයේ පවතින අඳුර තමන් සහ තමන්ගේ කලාව ඇතුළේ ප්‍රතිනිර්මාණය කළ අන්ධකාරයේ කුමාරයෙක්ම වුණා. (Ozzy ව සාමාන්‍යයෙන් "Prince of Darkness"කියන විරුදාවලියෙන් හැදින්වෙනවා). ඒ ගැන බොහෝ දෙනා ලියා තිබෙන නිසා වැඩි දෙයක් ලියන්නෙ නෑ. 


Ozzy ගේ මං කැමතිම සින්දුවක් ඔහුගේ නික්මයාම වෙනුවෙන් අද දවසේ බෙදා ගන්නවා. සින්දුව mama i'm coming home. මේක ozzy අනන්‍යතාව වුණු බර rock සද්දෙන් මිදුණු සුමට සෞම්‍ය ගුණයක් අරගෙන එන සින්දුවක්. ඔසී Black Sabbath වලින් ඉවත් වෙලා තනි පුද්ගල නාමයෙන්ම සංගීත ගමන පටන් ගත්තායි පසුව ඔහුගේ දිගුකාලීන ගිටාර් වාදකයා සහ සහායක ගීත රචකයා වුණු Zakk Wylde කියන විදිහට Ozzy ගේ ජීවිතේ ඒ වැදගත් පරිච්ඡේදයක් මේ සින්දුව ලියන්න හේතු කාරක වෙනවා. ඒ තමා Ozzy දැඩි වශයෙන් පීඩා විඳිමින් වුන්න මත්ද්‍රව්‍ය ඇබ්බැහි කමින් ගොඩ එන්න ඔහු සමත් වෙමින් සිටි කාලය. 1982 අවුරුද්දේ පටන් මරණ මොහොත දක්වාම නොවෙනස්ව ඔහු ළග සිටිමින් ඔහුව රැකබලාගතතේ ඔහුගේ බිරිඳ Sharon. මේ අධික මත් ලෝලීත්වයෙන් ඔහුව මුදවාගෙන ඔහුට නැවතත් ජීවය දුන්න ගැහැනිය වුණේ ඇය. මේ ගීතය රචනා වෙන්නේ Ozzy ගේ ඒ අත්දැකීම ඇසුරෙන්. සින්දුව එළියට එන්නෙ 90 දශකයේ මුල. 


Mama, I’m coming home


මෙතනදි ඔහු Mama යනුවෙන් ඔහු අමතන්නේ ඔහුගේ බිරිඳට. home කියන්නේ ඇබ්බැහිකමේ පීඩාවෙන් මිදුණ තැන, ජීවිතයට සැනසීම ගෙනෙන තැන, නිවස, පවුල, මේ දේවල්. ඒ තමා ඔහුගේ නිදහසේ ගීතය. බොහෝ දුරට මරණයෙන් කෙළවර වෙන්න තිබුණ මාර්ගයක කෙළවර නැවතත් ජීවිතයට පැමිණීමේ උදාන ගීතය.


Times have changed and times are strange

Here I come, but I ain’t the same

Mama, I’m coming home

Time’s gone by, it seems to be

You could have been a better friend to me

Mama, I’m coming home


Zakk Wylde කියන කියන විදිහට මේ ගීතයේ තනුව බොහෝ කාලයක් Ozzy ‌ගේ මතකයේ තැන්පත්වෙලා තිබිලා තියනවා. දීර්ඝ සංගීත ප්‍රසංග මාලාවක් අවසාන වෙලා ආපහු ගෙදර එන හැම වතාවෙම Ozzy බිරිද Sharon ට දුරකථනෙන් අමතලා කියන්න පුරුදුවෙලා හිටි වචන පෙළක් තමයි Mama, I’m coming home නමින් අවසානේ ඒ තනුවට අනුව නිමවෙන්නේ.


Took me in and you drove me out

Yeah, you had me hypnotized

Lost and found and turned around

By the fire in your eyes


I've seen your face a hundred times

Everyday we've been apart

I don't care about the sunshine, yeah


'Cause mama, mama, I'm coming home

I'm coming home


තමන් දිගුකාලයක් ජීවත් වීම වෙනුවෙන් Ozzy බොහොම වෙලාවට ස්තූතිවන්ත වෙන්නේ Sharon ට. ඇය නොහිටින්න Ozzy ට උරුම වෙන්න තිබුණේ සෑහෙන කෙටි ජීවිත කාලයක්. ඔහුගෙ ඇත්තම නික්ම යාම වුණු දවසේ මේ සින්දුව බෙදාහදා ගන්නෙ ඔහුත් ඇයත් ඔවුන් දෙදෙනාගෙ ආදරයත් සිහිපත් කරමින්.


Thank you for everything and May your soul Rest In Peace Ozzy!




Monday, June 23, 2025

සින්දු දෙකක් ගැන යමක්

 මේ දවස්වල සෑහෙන දෙනා කතාබහ කරන මම කැමති සින්දු දෙකක් තියනව සනුකගේ "ඉතින් මම ඉන්නවා" සහ ගයාන්ගෙ " කවුරුත් ලොකු නෑ". මියුසික් පැත්තෙන් සනුකගෙ වැඩේ පොඩ්ඩක් ඉස්සරහින් තිබ්බත් මං personally මේ සින්දු දෙකටම බොහොම කැමතියි. මේ සින්දු දෙකම අරගෙන බැලුවොත් ප්‍රධානවශයෙන් ම චරිත දෙකක ආත්ම කථනයන් විදිහටයි ලියවිලා තියෙන්නෙ. ඒ කියන්නෙ මේ දෙන්නම කියන්නෙ එයාලගෙ ජිවිතේ ගැන තමන්ම ප්‍රකාශ කරන ආකාරයට.


ගයාන්ගෙ සින්දුවෙ නම් මේ චරිතයට ඉන්න සහ හිටපු යාලුවො, ප්‍රේම සම්බන්ධතා ගැන ලියවිලා තියනව. එයා කියනව එයා කාටවත් වදයක් වෙන්නෑ, කවුරුත් එයාට ලොකුත් නෑ, තමන්ගෙ පාඩුවෙ සින්දුවක් කියන් ආතල් එකෙ ඉන්නව කියල. ඒක වරදක් නෑ නෙ. එහෙම ඉන්න පුලුවන් නම් හොඳයි තමා.


සනුක ගෙ සින්දුවෙ තියෙන්නෙ ඊට හාත්පසින් වෙනස් වයිබ් එකක්. එයා වෙනත් කිසි දෙයක් කියන්නෙ නෑ. තමන්ට වුණු එක අත්දැකීමක් ගැනයි එයා කියන්නෙ. එතන ඉන්නවා "නුඹ" කියල හඳුන්වන එක් විශේෂ කෙනෙක්. එයාගෙ සින්දුව ලියවෙන්නෙ මේ "නුඹ" කියන චරිතය කේන්ද්‍ර කරගෙන. "කුණාටුව" "මාරුතේ" වගේ යෙදුම්වලින් මේ සින්දුවට අදාළ කතාවේ අවශේෂ චරිත ටිකක් සාහිත්‍යාත්මකව නිරූපණය වෙනවා.


වීඩියො එක පැත්තකින් තියලා lyrics විතරක් කියවද්දි සනුකගෙ සින්දුවේ ඉන්නව ආදරයක් අහිමි වීමේ විරහ දුක ජීවිතේ පුරා විඳින මනුස්සයෙක්. 


සදාතන පෙම් කතා අතරේ

අපේ පෙම මැකී යයි කතරේ

නුඹේ සුවඳින් පිරි හසරේ

හමා එමි හැම භවේ සසරේ


අනේ මං ආදරෙන් ඇදහූ

රුවින් රුදු වේදනා කැඳවූ...


සදාතන ප්‍රේමයක් කියලා යමක් ලෝකෙ තියනවද කියන දේ ප්‍රශ්නාර්ථයක් වුණත් මේ කියන්නෙ කිසිමාකාර කූටප්‍රාප්තියකට ලඟා නොවී අනපේක්ෂිතව නිමා කරන්න සිද්ද වෙච්ච ප්‍රේමයක් ගැන. ඒ නිසා ඔහු විඳින රිදුම් පරිමාණය ගැන.


නමුත් ගයාන් ගෙ කතාව මේකෙ සම්පූර්ණ අනික් පැත්ත. එයා කියන්නෙ එයා බඳින්නෙ නෑ ළමයි හදන්නෑ, එයාගෙ නමට ළමයි කොහෙ ඉන්නවද දන්නෑ, අද ඉන්න අය හෙට ළඟ නෑ වගෙ කතාවක්. බැලු බැල්මට එයා ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් බාරගන්න කෙනෙක්. එයා තමන්ගෙ ජීවිතේ ගැන මෙහෙම කියද්දි අපිවත් ඒ පැවැත්මට ආසක්ත වෙනවා. එත් එයාට ජීවිතේ මොකක්ම හරි දුකක් බරක් පතලක් නොදැනෙනව වෙන්න බෑ. මොකද එයා මනුස්සයෙක් නෙ. හැබැයි එයා දුමක් ඇදලා, යාලුවො එක්ක ෂොට් එකක් දාලා, සමාජෙට බැහැලා ඉන්න ජීවිත රටාව ඒ දුක තුනී කරන coping mechanism එකක් විදිහට වැඩ කරනවා කියල මම හිතනව. ගයාන් මේ සින්දුව හදල තියන regge පැත්තට බර style එකත් එයාගෙ පැවැත්මෙ තියන සැහැල්ලු බව දැනෙනව.


අනික් අතින් සනුකගේ සින්දුව ඇතුළේ ඉන්න මනුස්සයාගෙ කතාව ඇහුවාම හිතේ මැවෙන්නේ අර තරම් වැඩි සමාජ ඇසුරකට යන්නෙ නැති, නිහඬ සහ දේවල් ගැන ටිකක් වැඩිපුර සංවේදී වෙන, ටිකක් වැඩිපුර හිතන කෙනෙකුව. මොකද ආදරයක් අහිමිවීම කියන අත්දැකීම එයා බාර ගන්නෙ බොහොම බරසාර විදිහට. එයා ඒ ගැන කියන්න භාවිත කරල තියන භාෂාවත් ව්‍යංගාර්ථ ගොඩක් සැඟවුණු සාහිත්‍යමය එකක්. සනුක මේකට දාල තියන ඉන්දියානු රාගධාරී සංගීතයට බර මෙලඩි එකෙනුත් ඒ සංවේගදායක හැඟීම තව තීව්‍ර කරවනවා. එයා කෙනෙකුට මුළු හදවතින් ම, අවංකව ආදරේ කරන්න ඇති. මොකක් හරි හේතුවක් නිසා එයා වෙනත් කෙනෙකු එක්ක විවාහ වෙලා මේ තරුණයාව හැරදමා යන්න ඇති. ඒ අත්දැකීම නිසා මේ සින්දු ඉන්න මනුස්සයා සැපට දුක්විඳිනවා. දවසක සමහර විට මේ මනුස්සයා වෙන කෙනෙකුට ආදරේ කරලා විවාහ වේවි. ඒත් ජීවිතේ තියන තුරු අර මුල් පෙම ගැන මතකය හදේ දරා ගෙන සහ ඇයගෙන් ඈත්ව ඉන්න ඔහු තීරණේ කරනවා. "සඳේ මම ඉන්නවා, නුඹේ හඬ නෑසෙනා මානේ".


යම් කෙනෙක් හින්දා නැත්නම් යම් දෙයක් නිසා අපිට කවද හරි දුකක් දැනෙන්නේ ඒ පුද්ගලයා හෝ ඒ දේ ගැන මොකක් හරි වටිනා කමක් අපිට තිබිලා තියන හින්දා. මොකද අපිට වටින්නැති කෙනෙක් ගැන දුකක් දැනෙන්න හේතුවක් නෑ නෙ. ආදරයක් නිසා තදබල දුකක් දැනෙනව නම් කෙනෙකුට ඒ ආදරේ ජීවිතේ ඇතුලෙ ගැඹුරු තැනකට වැදිලා තියෙන්න ඕන. ආදරේ සහ දුක අතර තියෙන්නෙ එහෙම බැලුවම අනුලෝම සහසම්බන්ධතාවයක්.


මිනිස්සු මේ දුක බාරගන්න විදිහ වෙනස්. දුකත් එක්ක ආපහු recover වෙන විදිහ වෙනස්. මේ සින්දු දෙක දිහා සංසන්දනාත්මව බැලුවාම පේන්නෙ වෙනස් ජීවිත මාර්ග දෙකක ඉන්න පිරිමි දෙන්නෙක්. ජීවිතේ ප්‍රශ්න එක්ක, දුක එක්ක මේ දෙන්නා ගනුදෙනු කරන්නෙ සම්පූර්ණ වෙනස් විදි දෙකකට. ඒ මේ දෙන්නා ජීවිතේ ඇතුළේ පුරුදු වෙලා තියන හැටියට. සනුක ගෙ සින්දුවෙ ඉන්න අතිසංවේදී සීරියස් මනුස්සයා සහ ගයාන් ගෙ සින්දුවෙ වගේ චිල් එකේ ඉන්න ආතල් මනුස්සයා කියන මේ දෙන්න බැලුබැල්මට අන්ත දෙකක ඉන්න චරිත දෙකක් වුණත් අඩුවැඩි වශයෙන් අපි හැමෝම ඇතුළේ මේ දෙන්නම ඉන්නව. ජීවිතේට යම් ගැඹුරක් අර්ථයක් අවශ්‍ය වුණත් හැම තිස්සේම පමණට වඩා හිතන්න ගියොත් ඒ ජීවිතේ සෑහෙන පීඩාකාරි එකක් බවට පත්වෙනව, අර සැහැල්ලුව නිදහසත් අපිට ඕන වෙන්නෙ ඒ හින්ද. මොනාවුණත්, ගොඩක් වෙලාවට මෑත කාලීනව හැදෙන සින්දු වලට ඒ තරම් ලොකු කැමත්තක් ඇති නොවුණත් මේ සින්දු දෙක නම් ආයෙ ආයෙම වුණත් අහන්න හිතෙන මට්ටමක තියන බව කියන්න ඕන.




Sunday, February 9, 2025

සිනහවක් සමග මියැදෙනු හැකි නම්.......

 අලුතෙන් හැදෙන සින්දු කොයිතරම් කනේ හැප්පිලා ගියත් Bruno Mars ගෙ Die with a Smile කියන්නෙ ඒවා අතරෙ සෑහෙන ඔලුවෙ රැඳිලා තියන melody එකක්. Bruno මුල් කාලීනව කියපු සිංදු සෙට් එක ඒ කියන්නෙ Grenade, Just the way you are, Count on me, Marry you, Lazy song වගේ ඒවා මගේ නම් ජීවිතේ අතීතකාමී මතක ඇතුලෙ තවමත් නොමැකි තියෙනව. අවුරුදු දොළහක් දහතුනක් තිස්සෙ උදේ පාන්දර නැගිටගෙන ඉස්කෝලෙ දුවල ගතකරපු ජීවිතේ ඉවර කරලා රටතොට සමාජෙ හැටි ගැන මෙලෝ මලදානයක් නොදැන ආපහු රස්සා ජීවිතේකට මාරුවෙනකම් ගෙවා දැම්ම සංක්‍රාන්තික කාලයක් ඇතුළෙයි මේව මට ඇහෙන්න ගත්තෙ. ඒක ඇවිල්ලා තනිකරම මුදලක් හම්බකරගන්නවට හරි නැත්නම් වෙනත් මොනවටවත් වඩා හිතේ ආසාවට දේවල් කරමින් ගෙවුණු පුදුමාකාර නිදහස්කාමී කාලයක්. මං ටිකක් වැඩිපුර කලයක් ඔහොම ගතකලා. මං හිතන්නෙ ඉන්ටනෙට්, සෝෂල්මීඩියා සමාජෙ අස්සක් මුල්ලක් නෑර බෝවෙන්න පටන් ගනිමින් තිබුණෙ එතකොට. ඒ කාලෙ වැළඳිච්ච Rock music පිස්සුව එක්ක Green day, Simple plan, Metallica, Pink Floyd වගේ බෑන්ඩ් හොය හොයා අහන කාලෙ pop music වලින් තදින්ම හිතේ රැඳුණා Bruno Mars ගෙ සින්දු. මේ අලුතෙන් ඇවිත් තියන Die with a smile කියන්නෙ ඒ නොස්ටැලිජික මතක අවුස්සන්න තරම් බලගතු melody එකක් මට නම්. අවුරුදු 15 කට විතර පස්සෙ වුණත් මේ මනුස්සයගෙ කටහඬ එදා වගේම ඇහෙනවා තවම.

මේක කියන්නෙ Bruno සහ Lady Gaga දෙන්නම. Music වලින් නම් මට දැනුණේ මේක මාර දුක්බර සින්දුවක් වෙන්න ඇති කියල. සින්දුව minor scale එකක යන හින්දා එහෙම දැනෙන්න ඇති. ඒත් lyrics අරගෙන බලනකොට ඒක එහෙම නෑ. මේක Romance වෑහෙන ප්‍රේමයක් ගැන කියන සින්දුවක්. ලෝකයෙ හැම දෙයක්ම විනාස වෙමින් ගියත් ඔයා ගාවින් මම ඉන්නවා කියල කියන හැඟුම් ප්‍රකාශයක්.

If the world was ending,
I'd wanna be next to you
If the party was over and
our time on Earth was through
I'd wanna hold you just for a while
and die with a smile
If the world was ending,
I'd wanna be next to you

Die with a smile, හිනාවක් එක්ක මැරෙන්න කියලා Bruno එහෙම කියද්දී මට මතක් වෙනව ඩෙන්මාර්ක් ජාතික සිනමාකරුවෙක් වන Lars von Trier ගේ Melancholia චිත්‍රපටිය. මේ චිත්‍රපටියෙ කියන්නෙ අභ්‍යවකාශයෙන් එන ග්‍රහකයක් කඩා වැටිලා සිද්ද වෙන ලෝක විනාශයක් ගැන. ආදරය කරන අය එකිනෙකා වෙනුවෙන් ඉන්නව නම් ඕන ලෝක විනාසෙකට බය නැතිව මුහුණ දෙන්න පුලුවන් කියලා චිත්‍රපටියෙ අවසානෙ හරි ලස්සනට පෙන්නුම් කරනවා. මේ මෑතක තිබ්බ ග්‍රැමී සම්මාන උළලේ කණ්ඩායමක් හෝ යුගල ගායනයක් විදිහට 2024 වසරේ ආව හොඳම සින්දුව විදිහට සම්මානය දිනාගන්නෙ මේ Die with a smile සින්දුව. එතනදි Bruno කියනව එයාට ලොකු ගෞරවයක් කියලා Lady Gaga එක්ක මේ සින්දුව කියන්න ලැබීම. Gaga කියනව Bruno ගෙන් තොර සංගීතයක් ගැන එයාට හිතාගන්න බැහැ කියල. මේ වගෙ මතක හිටින සින්දුවක් හැදුවට ඒ දෙන්නටම මම ස්තූතියි කියනව!






Thursday, July 27, 2023

විනාඩි තුනෙන් එහා

විනාඩි තුනේ සින්දුවෙන් එහාට Music කියල දෙයක් අද අපි අහන්නෙ සහ අපිට අහන්න ලැබෙන්නෙ නැති තරම්. මේක මම හිතන්නෙ වෙළඳපළ මුල් කරගත්ත ධනවාදී ක්‍රමය එක්ක music කියන එක ව්‍යාපායක් බවට පත්වෙද්දි හැදුණ ආකෘතියක් කියල. පරිභෝජනයේ පහසුව, ඉක්මණින් අවසාන වීම නිසා නැවත නැවත ඉල්ලුම ඇති වීම, නිශ්පාදනය සහ බෙදා හැරීම වගේ වෙළඳපල අවශ්‍යතා අනුව මේ අද අපි අහන සින්දුව හැඩගැන්විලා තියන බව හිතන්න පුලුවන්. කලාව එතනදි ආධ්‍යාත්මිකත්වය සහ වෙළඳාම කියන පාරවල් දෙකකට බෙදිලා ගමන් කරන්න ගත්තා. නමුත් මේ නූතන සමාජ ආර්ථික විපරිණාමයන්ට කලින් පැවතුණු සංගීතමය ආකෘතීන් දිහා බැලුවම මියුසික් වල තියන, අද ගොඩක් වෙලාවට අහිමි වෙලා ගිහින් කියල දැනෙන, ආධ්‍යාත්මික ගුණය මේවයෙ අපිට හඳුනා ගන්න පුළුවන්. මධ්‍යකාලීන යුරෝපයේ කිතුණු දහම මුල් කරගෙන ඇතිවුණ ග්‍රෙගෝරියානු සංගීතය (Gregorian Chants) වගේ ආගම මුල් කරගෙන හැදුණ සංගීත සම්ප්‍රදායන්වල මේ  ගුණාංගය තියනව. ආගම් නිසා ලෝකෙට ලැබුණ වටිනාම දෙයක් තමා මේ spiritual music කියන්නෙ. ආගම් නොඅදහන කෙනෙකුට වුණත් අවසානෙදි පිළිගන්න සිද්දවෙන කාරණාවක් ඒක. සංස්කෘතික විවිධත්වය සහ විචිත්‍රවත් භාවය අතින් ලෝකයේම මුදුන් මල්කඩ වෙන සහ සංස්කෘතියේ උපත විදිහට සලකන ඉන්දියානු කලාපයෙන් මේ මුල්කාලීන Spiritual music වලට හොඳම උදාහරණ හමුවෙනව. හින්දු ආගමික පුරාණ වේද ස්තෝත්‍ර ගායනා, භජන් ගීත, උත්තර ඉන්දියානු රාගධාරී සංගීතය වගේම පර්සියානු අරාබි ආක්‍රමණවලින් පස්සෙ සුල්තාන් වරුන්ගේ පාලනයට යටතේ ඇති වුණු ඉස්ලාමික බලපෑමෙන් උරුමයක් විදිහට ආව කවාලි, ගසල් කවි ගායනා වගේ සංගීත මෙතනදි ගන්න පුළුවන්. 

ඉස්ලාම් දහම ලෝකෙට බිහිවෙන්නෙ ක්‍රි.ව. 6 වෙනි සියවසේ.  ඒ සමකාලීනව අරාබියානු කලාපයෙ පර්සියාව (ඉරානය) මුල් කරගෙන ඉස්ලාම් ආගමික තේමාවන්ට අනුව ගසල් කවි රචනා වීම ආරම්භ වුණු බවයි කියවෙන්නෙ. 12 වෙනි සියවසේදි මේ කාව්‍ය රචනාවන්ගෙ කැපී පෙනෙන ඉදිරි පියවරක් තබන්නෙ සුෆී ඉස්ලාමිකයෙක් වුණු, පර්සියානු ජාතික රූමි කවියා. රූමි, හෆීස්, සාදි වගේ අය අදටත් ජනප්‍රිය සුෆී ඉස්ලාමික කවියන්. ඉන්දියානු කලාපයට මේ කාව්‍ය හඳුන්වා දෙන්නෙ පෙරදිග සම්භාව්‍ය සංගීතයේ ආරම්භකයෙක්, ගායකයෙක්, කවියෙක් සහ ඉස්ලාම් ආධ්‍යාත්මික ගුරුවරයෙක් වුණු අමීර් කුෂෲ. එතකොට උතුරු ඉන්දියාවේ පැවතුණේ දිල්ලි සහ ලක්නව් නගර මුල්කරගෙන පැවති දිල්ලි සුල්තාන් වරුන්ගේ පාලනය. කුෂෲ විසින් ඉන්දියාවේ උර්දු භාෂාවෙන් හඳුන්වා දුන් ගසල් කවි රචනා සහ ගායනා පර්සියන් කවිය ඉක්මවා දියුණු තත්ත්වයකට යනව. 

මුලින්ම ඉස්ලාම් ආගමික කරුණු මුල් කරගෙන ලියවුණත් පසු කාලීනව ප්‍රේමය, සොබාදහම වගේ දේවලුත් මේ කවිවලට තේමා වෙනව. මේ සංගීත සම්ප්‍රදායන් ගේ නොයෙක් ගුරුකුළ තියනව. පසුකාලීනව බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ ඉන්දියානු පකිස්ථාන විභේදනය, පංජාබය වගේ මහා ප්‍රාන්ත දෙකඩ වීම එක්ක බොහෝම ඉස්ලාම් ආගමික ඉන්දියානුවන්ට ගම් බිම් හැරදමල අලුතෙන් බිහිකළ පකිස්ථානයට යන්න සිද්ද වෙනව. අදටත් විශිෂ්ටතම ගසල්/ කවාලි ගායකයින් කියල හඳුන්වන අය බොහොමයක් පකිස්ථාන ජාතිකයින්. නුසරත් ෆටේ අලි ඛාන්, රාහත් ෆටේ අලිඛාන් වගේ අය අපේ රටේ ගොඩක් අය අඳුනන්නෙන්නෙ බොලිවුඩ් සිනමාව නිසා. නමුත් 2019 අවුරුද්දේ පටන් පකිස්ථාන ජාතිකයන්ට බොලිවුඩය තහනම් වීම නම් ඛේදජනකයි. ඉන්දියාවේ දැන් හින්දු අන්තවාදී බලපෑම් ටිකක් වැඩි නිසා බොහෝ වෙලාවට මුස්ලිම් හෝ පකිස්ථාන් ජාතික කලා කරුවන්ට ඉන්දියා භුමියේ දි වැඩ කරන්න සෑහෙන අමාරු  තත්ත්වයක් වර්තමානයෙ තියෙන්නෙ. මේ වීඩියෝවෙ ඉන්නා දැනට සිටින අංක එකේ ගසල් ගායකයෙක් වුණු ගුලාම් අලි ගේ මෑතක පවත්වන්න තිබුණු සංදර්ශනත් ශිව සේනා සංවිධානයේ බලපෑම් නිසා ඉන්දියාවේ පවත්වන්න බැරි වෙලා තියෙනව. ඒ කාරණා කොහොම වුණත් මේ තියෙන්නෙ ගුලාම් අලි ගේ තව එක් සුමිහිරි ගසල් ගීයක් (Dil mein ek lehar si uthi hai abhi). බොහොම වෙලාවට එකම වචන පේලී ඒ මොහොතේ විවිධාකාර තනුවලට නැවත නැවත ගයමින් ඔහු මේ ගායනාව ඉදිරිපත් කරන හැටි ඔබට පෙනේවි. ගසල් කියන්නෙ ඒ මොහොත අනුව සමහර අංග වෙනස් කරමින් ඉදිරිපත් කරන සජීවී කලාවක්. මේ වීඩියොවෙන් ඔබට දැකගන්න පුලුවන් සමහර තැන් වලදි තමන් ගයන ගීයෙ වචන අරුත් පහදමින් ඉදිරිපත් කරන හැටි. මේව අර විනාඩි තුනේ සින්දු ආකෘතියෙන් සෑහෙන වෙනස්, බොහොම ඉවසීමකින් අහන්න ඕන ගායනා. ඇත්තටම spiritual music කොයි වගේද කියල දැනගන්න නම් ඒකෙන් මනසට තියන සනීපදායක ගතිය තමන්ටම අත්දකින්න නම් විනාඩි තුනේ සින්දුවෙන් එහා යන මේ music අහල බලන්න.



Friday, February 10, 2023

Metal Loards (2022)

Rock/ Metal music අහන කෙනෙක් කිව්වම ගොඩක් අය හිතන්නෙ සාතන් අදහන, drugs use කරන, ඔලුව පිස්සු විකාර වෙච්ච අමුතු ජීවීන් කොටසක් කියල. පේන විදිහට ලෝකෙ කොහෙ වුණත් බොහෝම වෙලාවට වැරදියට වටහාගන්න දෙයක් මේක. (දැන් ටික කාලෙකට කලින් කවුදෝ කෙනෙක්, කොහෙන් හරි හොයාගත්ත වැරදි අදහස් ටිකක් පටලවල 'දිවයින' පත්තරේට වෙන්න ඕන මතක විදිහට ලිපියක් ලියල තිබ්බ ඔය ගැන) Heavy Metal කියන්නෙ නිකම්ම හයියෙන් කෑගහගෙන කරන සද්ද ගෝසාවක් විදිහටයි බහුතර සමාජෙන් සලකන්නෙ. Metal කවදාවත් mainstream music එකක් වෙන්නෙ නෑ. ලංකාවෙ වගේ නම් ඒක underground level එකටත් පහලින් තියෙන්නෙ. නමුත් ඒකට මාරම passionate වුණු සහ දිගකාලයක පටන් ලෝකෙ පුරාම හැදෙන metal music අහන ඉතාම සීමිත පිරිසක් අපේ රටේ ඉන්නව ඉන්නව. සෑහෙන උනන්දුවකින් Metal අහන, Gigs වලට යන, මම දන්න කිහිපදෙනෙක් ඉන්නව. සහ මමත් කාලෙකෙ ඉඳන් Metal අහනව, නමුත් මටත් ඔය කාටවත් කාටවත් උඩ කියල තියන විදිහෙ කිසිම අගතියක් වෙලා නෑ. 

Metal Loards කියන්නෙ metal බෑන්ඩ් එකක් හදන්න හිතන, Heavy metal ඇඟටම කාවැදිච්ච ගැටවරයන් දෙන්නෙක් ගැන කියවෙන Teenage drama එකක්. School of Rock, The Rocker වගේ මට්ටමක තියන්න බැරි වුණත් Enjoyable film එකක්. Film එකෙත් පෙන්වා දෙන දෙයක් Metal වලට තියන අහේතුක සමාජ විරෝධය. ඒකට මූලික හේතුව මම හිතන්නෙ කලින් කියපු විදිහට මේකෙ තියන සද්දෙ වෙන්න ඕන. සහ metal musicians ල album art වලින් වගේ create කරන Image එක. Guitar, Drums වගේ instrument උපරිම level එකෙන්ම වගේ Metal music ඇතුලෙ භාවිතයට ගන්නව. ඒ කර්කෂ Distorted ගතිය music වල theme එකත් එක්ක එන දෙයක්. මොකද විශේෂයෙන් metal music වල ප්‍රකාශනය කරන්නෙ සමාජයෙ තියන ගතානුගතික, අධිපති මතවාදයන්ට එරෙහි වීම, යුධ විරෝධය, ජීවිතේ අඳුරු පැත්ත, බහුතරය අතරේ ජනප්‍රිය Entertaining media ඇතුලෙ යටපත් කරන්න හදන ජීවිතේ ඇත්ත තිත්ත කටුක යථාර්ථය. එතකොට ඒව ප්‍රකාශනය වෙන්න ඕන ඊට ගැලපෙන ටිකක් extreme level එකකින්. ඒ හින්ද metal වල තියන loud, heavy ගතිය ඒ music වල theme එකත් එක්ක අවියෝජනීයව බැඳිල තියනව.

Metal fan කෙනෙක් නැත්නම් musician කෙනෙක් heavy music ඇහුවට create කලාට ඒ අය ලොකු සමාජ වෛරයකින් ඉන්න පිරිසක් වියයුතු බව හිතන එක වැරදි අදහසක්. Metal අහන සමහරුත් එහෙම මතවාද වල ඉන්නව. Metal කියන්නෙ ප්‍රචණ්ඩත්වය නොවෙයි. සමාජය ගැන විරුද්ධවාදි අදහස් දරනව කියන්නෙ සම්මතයන් බිඳ දමල අපේ පහත් ආශාවන් සපුරගන්න ඉඩක් හදාගන්න එක නොවෙයි. උදාහරණයක් විදිහට යම් බැඳීමක් ඇතුළෙ අපිට විශ්වාසනීය බව රැකගන්න බැරි නම්, අපි  අවංක  නැත්නම් මොන music ඇහුවත් වැඩක් නැහැ. සරලවම music වලින් විප්ලව කරන්න හිතුවත් 'මනුස්සකම' නැත්නම් ඔය කිසිම දේකින් වැඩක් නෑ. ජීවිතේට අවශ්‍ය මූලිකම කොන්දේසිය ඒකයි. Film එකෙන් මං තේරුම් ගත්ත කාරණේ ඒකයි.

ඒක සිංහල සින්දුවක වචන heavy metal music අනුව වෙනස් කරල මෙහෙම කියන්න පුලුවන්.

රැවුලක් වැව්වට Rob Zombie වගේ
Scream කෙරුවට Dani Filth වගේ
හිත්වල කෝ බං ආදරේ



Friday, August 12, 2022

Elvis (2022)

"Before Elvis, there was nothing" බීට්ල්ස් බෑන්ඩ් එකේ John Lennon කියන විදිහට එල්විස් ප්‍රෙස්ලිට කලින් ලෝකයෙ ජනප්‍රිය සංගීතය ඇතුළෙ කිසිම දෙයක් තිබුණෙ නෑ. නමුත් ඇත්තටම ප්‍රෙස්ලිට කලින් වැදගත් චරිත ගණනාවක් ම ඇමරිකානු සංගීත ක්ෂේත්‍රයේ හිටිය. එහෙනම් ප්‍රෙස්ලි විතරක් විශේෂ වෙන්නෙ ඇයි? 

වහල් සේවාව වෙනුවෙන් අප්‍රිකාවේ ඉඳන් ඇමරිකාවට ගෙනා කලු ජාතිකයින්ව මේ වහල් සේවයෙ යොදවාගැනීම තහනම් කරල ඔවුන්ට නිදහස් මිනිස්සු විදිහට පිළිගැනීම ලැබිල සියවසක් පමණ ගතවුණත් ඇත්තටම ඇමරිකානු සමාජයෙ මේ කලු ජාතිකයින්ට හිමි වෙලා තිබුණෙ අඩු තැනක්. 1900 ගණන්වල මුල් භාගයෙදි මේ කලු ඇමරිකානුවන් තමන්ගෙ අප්‍රිකානු මුල් වලින් ලැබුණු ජන සංගීතයත් ඇමරිකාවේ සාම්ප්‍රදායික country සංගීතයත් එක්ක මුහු කරගෙන Jazz, Blues, Soul, Southern Gospel music වගේ සංගීත ක්‍රම ගණනාවක් නිර්මාණය කරගෙන තිබුණ. ඔවුන්ගෙ මේ Jazz/ Blues සංගීතයට සුදු ජාතිකයන් අතරෙ පිළිගැනීමක් ලැබුණෙ නෑ. සුදු මිනිස්සුන්ගේ සංගීතය වුණේ Country music වගේ දෙයක්. අසම්මත නාද රටාවන් එක්ක උච්ච ස්වර වලින් කෑගහන දඟලන "යක්ෂයාගෙ සංගීතයක්" විදිහටයි බහුතර සුදු මිනිස්සු මේ Jazz/ Blues සැලකුවෙ. Jazz/ Blues උපදින්නෙ කලු ජාතිකන් වැඩිවශයෙන් හිටපු ඇමරිකාවේ දකුණට වෙන්න මිසිසිපි, ලුසියානා වගේ ප්‍රාන්තවල. 1940/50 වගෙ වෙනකොට මේ blues තාලෙට තරමක් වැඩි වේගයෙන් ගායනා වෙන Rock n Roll සංගීත ක්‍රමය Chuck Berry වගේ කෙනෙක් ඉදිරියට අරගෙන ආව. ඔය අතරෙයි මේ blues හැදුණ මිසිසිපි පලාතෙන් එන එල්විස් ප්‍රෙස්ලි නම් අපූරු කඩවසම් තරුණය තමන්ගෙ උණුහුම් ගැඹුරු කටහඬින් Rock n Roll සින්දු කියන්න පටන් ගන්නෙ. වැදගත්ම දේ ඔහු සුදු හමක් ඇති කෙනෙක් වීම. "කලු හම ඇති උන්ගෙ විකාරසහගත පිස්සු සංගීතයක්" විදිහට අවමන් ලැබුණු සහ සුදු ජාතිකයන්ට නොගැලපෙන තරම් පහත් දෙයක් විදිහට කොන් කරල තිබුණු Jazz/blues රිද්මයට ජාති බේදයක් නැතුවම හැමෝම ආකර්ශණය වෙන්න පටන් ගත්තෙ ඉන් පස්සෙ. විශේෂයෙන් නව යෞවන තරුණයො වර්ණභේද වාදය පැත්තකට දාල Rock n Roll වටා එකතු වුණා. කලු සුදු කියල මිනිස්සු වෙන් කරල තිබ්බ සංස්කෘතික සීමාවක් එල්විස් ප්‍රෙස්ලි කඩා බිඳල දැම්ම. ඔහු ඇමරිකානු සමාජෙ සංස්කෘතික icon එකක් වුණා. ඒ සංගීතය විතරක් නෙමේ, ඇඳුම් පැලඳුම්, නිදහස් අදහස් සමාජයට ලොකු බලපෑමක් වුණා. ඇමරිකානු සංස්කෘතියට ඔහු කල මේ බලපෑම අදටත් ජීවමානව පවතින යමක්. එහෙම බලද්දි එල්විස් කියන්නෙ නිකම් ගායකයෙකුටත් වඩා ගතානුගතිකව ආපු සම්ප්‍රදායන් සුනුවිසුණු කරල දාපු සංස්කෘතික විප්ලවකාරයෙක් කිව්වොත් වරදක් නැති වෙයි. Jazz/ Blues/ Rock n Roll සංගීතයට මුලු ලෝකෙම අවධානය ලැබුණෙ එල්විස් ගෙන් පස්සෙයි. පසුකාලීනව Rock music වගේ සංගීත ක්‍රමයක් හැදෙන්නත් එල්විස් ඇති කල මේ බලපෑම සෑහෙන හේතු වුණා. තමන්ට කලින් බොහෝ අය හිටියත් එල්විස් ඉන්පස්සෙත් පරම්පරා ගාණකට අලුතෙන් හිතන්න පාරවල් විවර කරල දුන්න. ලෝකයෙ වැඩිම ගීත ප්‍රමාණයක් අලෙවි වුණු කලාකරුව විදිහට හඳුනාගැනෙන්නෙ එල්විස් ව (over 500 million records). බොහෝ අය ඔහුව එදාමෙදාතුර බිහිවුණු හොඳම ගායකය best performer විදිහට නම් කරනව. ලෝකය පුරා අදහන ආගමක් තරමට ප්‍රබල නමක් එල්විස් කියන්නෙ. "Before Elvis, there was nothing" කියල John Lennon කියන කතාව තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ මේ ඉතිහාසය දිහා බලනකොටයි.

2022 ඔස්ට්‍රේලියානු නිශ්පාදනයක් විදිහට තිරගත වෙන Elvis චිත්‍රපටය නැරඹුවොත් මේ එල්විස් ඇති කල සමාජ බලපෑම කොහොම එකක්ද කියන දෙය ඔබට වටහගන්න ලැබෙයි. චිත්‍රපටය ගොඩනැඟෙන්නේ එල්විස් ගේ පුද්ගලික කළමනාකාරවරයා වුණු Tom Parke ගේ දෘෂ්ටි කෝණයෙන්. ඔහුට මුලින්ම මේ තරුණයාව මුණගැහෙන්නෙ කොහොමද, ඉන්පස්සෙ දෙදෙනම එකතුවෙලා එල්විස් ගේ සංගීත ගමන මෙහෙයවගන්නෙ කොහොමද කියන දෙය මූලිකවම චිත්‍රපටයට ඇතුළත් වෙන්නෙ. චිත්‍රපටය පුරාම කැපිල පේන්නෙ එල්විස් ගෙ චරිතය රඟදක්වන Austin Butler ගේ රඟපෑම. 2018 දි Bohemian Rhapsody චිත්‍රපටයෙ රමී මලෙක් Freddy Mercury ගෙ චරිතය ප්‍රතිනිර්මාණය කල හැටි ඔබට මතක නම් Austin ගේ එල්විස් ප්‍රතිනිර්මාණයත් ඊට නොදෙවනි බවයි කියන්න තියෙන්නෙ. Austin තමන්ගෙ චරිතය හොඳින් කරන්න මුලින්ම රමීගෙන් උපදෙස් ගත්ත බව කියා තිබුණ. බොහෝ විට ඉදිරියෙදි පැවැත්වෙන ඔස්කාර් සම්මාන උළෙලකදි වගේ ඔහුගෙ නම අපිට ආපහු අහන්න ලැබේවි. Tom Parke ගෙ චරිතය කරන Tom Hanks සුපුරුදු විදිහට රඟපාන බව නොදැනෙන රඟපෑමක් කරනව. Elvis ආදායම් අතින් පවා සෑහෙන හොඳ සාර්ථකත්වයක් ලබාගන්න සමත්වෙනව. සංගීතයම ආත්මය කරගත්ත මනුස්සයෙකුගේ ජීවිත කතාවක් හින්ද සංගීතය කියන්නෙ මේ වගේ චිත්‍රපටයක බොහෝම වැදගත් කොටසක්. විශේෂයෙන් එල්විස් ගේ ගීත චිත්‍රපටයෙ රසවින්දනාත්මක බව උපරිම වෙන විදිහට යොදාගෙන තිබුණ කියලයි මට දැනුනෙ. තරුණ එල්විස්ගෙ ගයනාවන් වෙනුවෙන් ඒ චරිතය රඟපාන Austin Butler ගෙ හඬ යොදාගෙන තියනව. එල්විස් ගේ පසුකාලීන ගායනාවන් වෙනුවෙන් භාවිතා කරල තියෙන්නෙ එල්විස්ගේ ම හඬ බවයි චිත්‍රපටයෙ අධ්‍යක්ෂ Baz Luhrmann කියන්නෙ.

එල්විස් කියන්නෙ තරු දාහක් මැද එකම හඳක් වගේ බැබලුණු චරිතයක් වුණත් තමන්ගෙම ඇතුළාන්ත අඳුරකින් ඔහු පීඩාවින්ද. එක හේතුවක් තරුණ වයසේදිම ඔහු බොහෝම ආදරය කල ඔහුගේ මව මියයාම. අනෙක් පැත්තෙන් කාර්‍යබහුල බව නිසා බිරිඳ හා දරුවන් එක්ක නිදහසේ ගතකරන්න වෙලාවක් නැති වීම. මේ අවිවේකී පීඩාකාරී ජීවිත රටාව හින්ද එල්විස් බොහෝ තදබල විදිහට වෙහෙසට පත්වුණා. මේ වේදනාවන්ගෙන් මිදෙන්න ඔහු මත්ද්‍රව්‍ය වල පිහිට හොයාගෙන ගියා. සමහර වෙලාවට තමන් විඳින ඇත්ත වේදනාවන් සංගීත ප්‍රසංගයක සජීවී ඉදිරිපත් කිරීමක් ඇතුලෙ ඔහු මුදාහැරිය. ආදරය මොන තරම් හොඳ දෙයක් වුණත් තමන්ගේ කලාව වෙනුවෙනුත් තමන් වටා ගොඩ නැගෙන යෝධ මිනිස් පවුර වෙනුවෙනුත් තියන ආදරය එල්විස් ගේ ජීවිතය ඉක්මණින්ම ඔහුගෙන් උදුරා ගත්ත කියලයි මම හිතන්නෙ. ඒ ආදරයම ඔහුගෙ ශාරීරික සහ මානසික සෞඛ්‍ය බිඳ දැම්ම. හඳක්ම වගේ ලෝකය ඉදිරියෙ බැබලුණු ඔහු ඒ වගේ ඉක්මණින්ම අඳුරු වළාවක සැඟවිලා ගියා. නමුත් ඔහු කල කී දේවල් ඉතිහාසය තිබෙන තුරුම මිනිස්සු අතර පවතීවි. Music වලින්ම ඔහු කල සමාජ සංස්කෘතිය විප්ලවය කොයිවගේ එකක්ද කියල දැකගන්න නම් මේ චිත්‍රපටය බලන්න. මේව නම් big screen ම බලන්න ඕන චිත්‍රපට වුණත් ඒ අවස්ථාව අපිට ලැබුණේ නෑ. කොහොම වුණත් Elvis කියන්නෙ අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ ලබාගන්න පුලුවන් රසවින්දනාත්මකම සිනමා අත්දැකීමක් බවට සැකයක් නෑ.



Tuesday, March 2, 2021

Ma Rainey's black bottom (2020)

සමහර නික්මයෑම් තියනව ඒව සිද්දවෙන්නෙ අපි කිසිසේත්ම අපේක්ෂා නොකරන මොහොතවල. සමහරු තමන්ගේ හැකියාවන්ගෙන් තමන්ගේ ජීවිතය ඇතුලේ සමාජයට, ලෝකයට ලබාදිය හැකි උපරිමය ලබා දී ඇති බව අපි වටහාගන්නෙ ඔවුන් මේ විදිහට නික්ම ගියාට පසුවයි. කලා ලෝකයෙ මේ වෙනුවෙන් අපිට උදාහරණ ගණනාවක්ම සොයාගන්න පුලුවන්. 2008 අවුරුද්දේ Heath Ledger ගේ මරණය මේ වෙනුවෙන්, බොහෝ දෙනා හඳුනන සිදුවීමක් විදිහට අරගන්න පුලුවන්. ඔහුගේ මරණින් පසුව තිරගත වුණු වගේම ඔහු අවසාන වරට රංගනයේ යෙදුණු Dark Knight චිත්‍රපටයෙ Joker ගේ චරිතය සිනමා ඉතිහාසයෙ නොමැකෙන සළකුණක් තැබීමට සමත්වුණු එකක් බව අමුතුවෙන් සඳහන් කල යුතු නෑ. Joker චරිතය Heath Ledger ගේ රංගන ජීවිතයේ උපරිමය සනිටුහන් කලා. නමුත් ඒ සමගම ඔහුගේ ජීවිතයත් අවසන් වුණා. 

2020 අවුරුද්දේ අපිට මෙවැනිම තවත් අවාසනාවන්ත සිදුවීමක් දකින්න ලැබුණා. ඒ Black Panther නම් සුපිරි වීර චරිතය නිරූපණය කරමින් ලොවපුරා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් Chadwick Boseman අනපේක්ෂිත ආකාරයට ජීවිතයෙන් සමුගැනීම. බොහෝ දෙනා නොදැන සිටියත් ඔහු පුරා වසර 4 ක් පිළිකා මාරයා සමග සටන් කරමින් සිටියා. ඔහු චිත්‍රපටවල රංගනයේ යෙදුනේ ඒ මාරයා සමග සටන් කරමින් සිටියදීම බව ඔහු හා රංගනයේ යෙදුණු සහෝදර රංගශිල්පීන් වත් දැන සිටියේ නැහැ. නමුත් කලා ලෝකයේ දිදුලමින් සිටි තාරකාවන් කීපදෙනෙකු ගේ ජීවිත අනපේක්ෂිත ආකාරයට උදුරාගන්න තරම් අකාරුණික වුණු 2020 වසර Chadwick ට කාරුණික වුණේ නැහැ. 2020 අගෝස්තු මාසයෙ 28 දා ඔහු ජීවිතයෙන් සමුගෙන යන්නේ තමන්ගේ නිවස තුළ දී ම යි. Chadwick ගේ අවසන් රංගනය ඇතුළත් Ma Rainey's black bottom චිත්‍රපටය තිරගත වෙන්නෙ ඔහුගෙ මරණින් පසුව 2020 දෙසැම්බර් මාසයේදි. Ma Rainey's චිත්‍රපටයෙ ඔහු නිරූපණය කරන්නෙ Levee නම් තරුණ ට්‍රම්පට් වාදකයෙකුගේ චරිතය. එතැනදි මේ අපි දකින්නේ Black panther සුපිරි වීර චරිතය රඟපෑ Chadwick ම ද කියා හඳුනාගත නොහැකි තරමට ඔහු Levee නම් උද්‍යේගිමත්, ආවේගශීලී, දියුණු වීමේ ආශාවෙන් පෙළෙන ට්‍රම්පට් වාදකයාට ආශක්ත වී ඇති ආකාරය දැකගන්න පුලුවන්. බාහිර ස්වරූපය, දෙබස් උච්චාරණය, අංග චලනයන්ගේ පටන් ඒ චරිතය ගොඩනැංවීමට අවශ්‍ය සියලු අනුපානයන් කිසිදු අඩුපාඩුවකින් තොරව ඔහු සපයා දී තිබෙනව. නමුත් දැනටමත් දෛවය විසින් ඒ ඔහුගේ අවසන් රඟපෑම බව තීන්දු කර අවසානයි. ඒ බව නොදැනීම හෝ ඒ අවසන් රංගනයෙන් ඔහු තමන්ගේ සිනමා ජීවිතේ මුදුන් කුල ට ලඟාවූ බව සැබෑවක්. බොහෝ දුරට මීලඟ ඔස්කාර් සම්මාන උළලේ, වසරේ හොඳම නළුවාට හිමි සම්මානය ඔහුට හිමිවෙන්න හැකියාවක් තිබෙනව. එහෙම වුණෝතින් මිය ගිය පසු හොඳම නළුවා සම්මානය දිනාගත් දෙවැන්නා ඔහු බව ඉතිහාසයේ සනිටුහන් වේවි. (පළමුවැන්නා 1976 The Network චිත්‍රපටය වෙනුවෙන් Peter Finch)

Ma Rainey's black bottom  චිත්‍රපටයෙ කේන්ද්‍රීය චරිතය, නැත්නම් Ma Rainey ගේ චරිතය නිරූපණය කරන්නෙ සුප්‍රසිද්ධ රංගවේදිනියක් වුණු Viola Davis විසින්. Viola ගේ රංගනයත් Chadwick ට දෙවනි නැහැ. Viola දැනට හොළිවුඩයේ සිටින සුවිශේෂීම රංගවේදිනියන් කිහිපදෙනා අතර සිටින කෙනෙක්. ඇය රඟපෑම වෙනුවෙන් ලොව පිදෙන උසස්ම සම්මාන තුන වුණු ඇකඩමි, ප්‍රයිම් ටයිම් එමී, ටෝනි යන සම්මාන තුන හෙවත් "රංගන ත්‍රිත්ව කිරුළ" දිනාගත් පළමු අප්‍රිකානු - ඇමරිකානු ජාතිකයා වීමට සමත් වුණා. නිව්‍ යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් නම් කල, 21 වන සියවසේ ශ්‍රේෂ්ඨතම රංගවේදීන් 25 දෙනාගේ ලයිස්තුවේ 9 වන ස්ථානය ඇයට හිමිවුණා. ඇය කලු ජාතිකයන්ගේ මානව හිමිකම් වගේම කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරිනියක් විදිහටත් ප්‍රකටයි. Viola මින් පෙර ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබන්නෙ හොඳම සහාය රංගනය විදිහට 2016 වසරේ Fences චිත්‍රපටය වෙනුවෙන්. දෙවතාවක්ම ඇය හොඳම නිළිය විදිහට නිර්දේශ ලබා තිබෙනව. මෙවර අනිවාර්යයෙන් ඇය හොඳම නිළිය විදිහට නිර්දේශ ලබාවි. මෙවර සම්මානය, ඒ වෙනුවෙන් ඇය සමඟ තරග වැදීමට අපේක්ෂා කරන Frances McDormand, Carie Mulligan, Vanessa Kirby වැනි තවත් 2020 වසරේ මතක හිටින ආකාරයේ ප්‍රබල රංගනයන් ඉදිරිපත් කල අය අතරින් කාට හිමිවේවිද කියන කාරණය කාලය විසින් විසඳාවි.

Ma Rainey's black bottom චිත්‍රපටය නිර්මාණය  වෙන්නෙ ඇමරිකාවේ සැබවින්ම ජීවත් වුණ Ma Rainey නම් Blues ගායිකාව මුල් කරගෙන. චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ 1920 දශකය. Blues සංගීතය බිහිවෙන්නෙ ඇමරිකාවේ වහල් සේවය සඳහා අප්‍රිකාවෙන් රැගෙන ආ කලු මිනිසුන් ගේ ජන සංගීත නාද මුල් කරගෙන. 1800 යුගයේ අග භාගයේ Blues සංගීතය බිහිවෙන්නෙ ඇමරිකාවෙ දකුණුදිග ඇලබාමා, ජෝර්ජියා, ලුසියානා, මිසිසිපි, සවුත් කැරොලිනා ප්‍රාන්ත වලින්. Blues ස්වර රටාව (scale) නිර්මාණය වෙන්නෙ සංගීතයේ  මූලික ස්වර හතෙන් ස්වර පහක් අරගෙන නිර්මාණය වෙන pentatonic scale අතරෙ minor pentatonic  සවර රටාවෙ පස්වෙනි හෝ තුන්වෙනි ස්වරය flat වීමෙන්. Pentatonic සම්මත ස්වර රටාව blues scale එකක් බවට හැරවෙද්දි එයට මූලික ස්වර පහට අමතරව වැඩිපුර තව ස්වරයක් එකතුවෙනව. මේ අමතර ස්වරය blues note නමින් හඳුන්වනව. කොහොම වුණත් මේ blues සංගීතයේ තිබෙන්නෙ අසම්මත, අඳුරු, දුක් සහගත, විටෙක ආවේගශීලී බවක්. (මේ සංගීතයට Blues නම යෙදෙන්නෙත් මේ දුක්බර අඳුරු ස්වභාවය නිසා විය හැකියි) blues සංගීතයෙන් නික්මුණේ කලු ජාතියකයන් ගේ ජීවිතවලට ඒ වනවිට උරුම වෙලා තිබුණ අවාසනාවන්ත වේදනාත්මක බවේ ස්වරය. ඔවුන්ව මිනිසුන් විදිහට සැලකුණේ නැහැ. මිනිස් අයිතිවාසිකම් ඔවුන්ට හිමිවුණේ නැහැ. ඉතින් මේ කලු මිනිසුන්, තමන් විඳි අනන්ත දුක් ගැහැට blues සංගීතයේ ස්වර අතර මුහු කලා. පසු කාලීනව මේ Blues සංගීතය පදනම් කරගෙන Jazz, Rythem and Blues (R n B), Rock n Roll, Hard Rock, Psychedelic Rock වගේ ප්‍රධාන සංගීත ධාරාවන් බිහි වුණා.

1920 යුගය සංගීත තැටි වෙළඳාම ව්‍යාපාරයක් විදිහට දියුණු වෙමින් පැමිණි කාලය සීමාවක්. Blues නාදය මුසු ගීත තැටි වලට කලු සුදු භේදයකින් තොරව හොඳ ඉල්ලුමක් නිර්මාණය වී තිබුණ. Ma Rainey මේ Blues ගීත තැටි යුගයේ ආරම්භ ගායිකාවක්. ඇයව blues සංගීතයේ මාතාව (Mother of blues) නමින් හැඳින්වුනේ ඒ නිසා. 

Ma Rainey's black bottom චිත්‍රපටයට පාදක වෙන්නෙ ඇමරිකානු ජාතික නාට්‍ය නිර්මාණකරු August Wilson මේ නමින්ම 1980 දශකයේ නිර්මාණය කල වේදිකා නාට්‍යයක්. නාට්‍ය නිර්මාණය වෙන්නෙ Ma Rainey ගේ ගීත පටිගත කිරීමට සුදානම් වෙන මොහොතේ ඇතිවෙන, පැය කිහිපයකට සීමාවුණු සිදුවීම් කිහිපයක්. සීමිත කාලයක් ඇතුලත වෙන සිදුවීමක් ආශ්‍රයෙන් නිර්මාණය වී ඇති නිසා චිත්‍රපටයෙත් යම් වේදිකා නාට්‍ය ස්වරූපයක් දැකගත හැකියි. නාට්‍යකරු August Wilson කලු මිනිසුන්ගේ ජීවිත ඇසුරෙන් නාට්‍ය කිහිපයක්ම නිර්මාණය කර තිබෙනව. ඒවායින් නාට්‍ය දෙකක් දැනට සිනමාවට නැගී තිබෙනව. 2016 වසරේ තිරගත වුණු සහ සුප්‍රකට නලු Denzel Washington ගේ අධ්‍යක්ෂණයෙන් සහ රංගනයෙන් නිමැවුණු Fences ඉන් පළමුවැන්න. 2020 වසරේ Denzel Washington ගේ ම නිෂ්පාදනයක් විදිහට එළිදැක්වුණු Ma Rainey's black bottom එහි දෙවැන්න. තමාගේ අරමුණ August Wilson ගේ නාට්‍ය සියල්ලම සිනමාවට රැගෙන ඒම බවත් මේ නාට්‍ය මාලාවේ තුන්වැන්න රංගවේදි Samuel L Jackson යොදාගෙන නිර්මාණය කිරීමට තමා දැනටම සැලසුම් කරගෙන සිටින බවත් Denzel Washington මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. මේ තුන්වෙනි සිනමා නිර්මාණය හැකි ඉමණින් වගේම උපරිම සාර්ථකත්වයකින් දැකබලා ගන්න ලැබේවි යන බලාපොරොත්තුව සිනමා රසිකයන් විදිහට අපිට දැනට ඉතිරි වී තිබෙනව.



Tuesday, January 12, 2021

Natural Woman

විනාඩි 3 ක සින්දුවක් කියන්නෙ ජීවිතය ගැන   සමාජය ගැන නැත්නම් වෙනත් යමක් ගැන ගැඹුරින් යමක් ප්‍රකාශ කරන්න ඉඩක් නැති සරල සුන්දර කලා මාධ්‍යක් බව කෙනෙකුට හිතෙන්න පුලුවන්. මේ සරල සුන්දර ගීත කලාවේ සීමාවන් ඉක්මවා ගිය අවස්ථාවන් ඉතිහාසයෙ පුරා බැලුවොත් අපිට හොයාගත හැකියි. නමුත් ගීතයේ මේ සංක්ෂිප්ත බව රැකෙමින් නමුත් ජීවිතය ගැන වඩා ගැඹුරින් යමක් ප්‍රකාශ වෙන පදමාලාවන් ඉඳහිට හෝ අහන්න දකින්න ලැබෙනව. මේ කෙටි හැඳින්වීම ලියවෙන්නෙ Aretha Fraklin  ගයන Natural woman ගීය වෙනුවෙන්. මේ ගීය soul සංගීත ආරට අනුව නිර්මාණය වුණු ගීයක්. Aretha  ඇමරිකාවේ 50 - 60 දශකවල බිහිවුණු soul සංගීතයේ අග්‍රස්ථානය හිමි කරගන්නා ගායිකාව කිව්වොත් නිවැරැදියි. Queen of Souls නම් විරුදාවලියෙන් ඇයව හැඳින්වෙන්නේ ඒ නිසා. 

Soul සංගීතය ඇමරිකානු කලුජාතිකයින්ගේ ජනසංගීත රටාවන් ආශ්‍රයෙන් බිහිවුණු Jazz, Rythem and Blues (R n B) වගේම දේවස්ථාන ආශ්‍රිතව Gospel music පදනම් කරගෙන ගොඩනැගුණ සංගීත ධාරාවක්. (Rock සංගීතය බිහිව එන්නෙත් ඔය මුල් වලින්) ඉතාම හැඟුම්බර වගේම උච්ච ස්වරයෙන් සිදුවන ගායනාවන් මේ Soul සංගීතයේ අනන්‍ය ලක්ෂණයක්)

2010 Rolling Stones සඟරාව විසින් එදාමෙදාතුර ලෝකයේ පහළ වුණු අති විශිෂ්ටතම ගායක ගායිකාවන් 100 දෙනා නම් කරද්දි එහි ප්‍රථම ස්ථානය හිමි කරගන්නේ Aretha. Rock සංගීතය ආශ්‍රිත සංගීතඥයන් ඇගයීමට ලක්කරන Rock n Roll hall of fame නාමාවලියට ඇතුලත් වුණ මුල්ම ගැහැනිය Aretha. ඉතින් ඇගේ ගායනාව ගැන ඉන් එහාට හඳුන්වාදීමක් අවශ්‍ය නෑ. Aretha ගේ ගායන කුසලතාව කියන්න ගියොත් මේ වගේ සටහන් කීපයක්වත් ලියන්න වේවි. Aretha ගැයූ ගීත බොහොමයක කලු ජාතික කාන්තාවක් විදිහට සමාජයෙන් එල්ලවුණ පීඩනය වගේම ඒ සියලු දේට වඩා ගැහැනියක් විදිහට ජීවිතයේ ඇය විඳින අත්විඳීම් තේමා වුණා.

ඇගේ Natural woman ගීය නිකුත් වෙන්නෙ 1967 අවුරුද්දේ. මේ පද රචනා කරන්නෙ සුප්‍රකට පද රචක යුවළක් වුණු Gerry Goffin සහ Carole King දෙදෙනා. ඉතාම කෙටියෙන් ඉතාම ගැඹුරින් මේ ගීය ආදරය මුල් කරගත්ත බැඳීමක ස්වභාවය කොයිවගේ විය යුතුද කියන කාරණය පැහැදිලි කරනව. ජීවිතය ඉතාම වෙහෙසකාරී අත්දැකීමක්, දුක් පීඩාවන්ගෙන් බහුල තැනක්. නමුත් ආදරය මේ හැමදෙයකින්ම අපට නිදහස ලැබෙන තැන වියයුතුයි. වර්තමානයෙදි අපිට අහන්න දකින්න ලැබෙන ආදර කතාවල ඇතුලාන්තය මීට වඩා හාත්පසින්ම වෙනස්. ප්‍රේමයෙන් බැඳුනු බොහෝම දෙනා ඒ ප්‍රේමයේ නාමයෙන් එකිනෙකාගේ ජීවිත තමන්ට උවමනා ආකාරයට පාලනය කරගන්න උත්සහ කරනව. තමන්ට උවමනා ආකාරයට පෙම්වතා හෝ පෙම්වතිය හදාගැනීමයි බොහෝ අයගෙ අරමුණ. අනෙකාව සීමාවක හිරකර තැබීම ලොකු ජයග්‍රහනයක් බව ඔවුන් හිතනව. බොහෝවිට ප්‍රේමවන්තයන් තමන් ආදරය කරන ඇය තමන් මෙන් හිතන පතන, ආශාවන් තියන, නිදහස ප්‍රිය කරන මනුශයෙක් බව බාර ගන්න සූදානම් නැහැ. නමුත් Aretha ගයන මේ ගීතයේ ඇගේ ප්‍රේමවන්තයා ඊට වඩා සෑහෙන වෙනස් චරිතයක්. 

Looking out on the morning rain
I used to feel so uninspired
And when I knew I had to face another day
Lord, it made me feel so tired
Before the day I met you, life was so unkind
But you're the key to my peace of mind

'Cause you make me feel
You make me feel
You make me feel like a natural woman (woman)

ඇගේ ජිවිතය ඇයටම උරුම දුක් වේදනාවන් පිරුනු එකක්. මේ මුල් පද කීපයෙන් ඇය ප්‍රකාශ කරන්නෙ ජීවිතේ තමන් විඳින වෙහෙසකාරි බව. නමුත් ඔහු මුණ ගැසීම ඒ වේදනාවන්ගෙන් ඇය මිදවූ බව ඇය කියනව. එහෙම වෙන්නෙ ඔහු ඇයව ‍තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කරන්න උත්සාහ නොකරන නිසා. ප්‍රේමය ඇතුලෙ ඇය විඳන සුවදායක බවේ රහස සැඟවිලා තියෙන්නෙ එතැන.

Before the day I met you, life was so unkind
But you're the key to my peace of mind

මේ ප්‍රේමවන්තයා හරි අපූරු චරිතයක් වියයුතුයි. මොකද සමාජයෙ බොහෝ මිනිසුන් ඇසුරේ පීඩාකාරී බව ම මිසක් සහනයක් ලබන්න බෑ. නමුත් ඔහු ඇයට ලබා දෙනව ඇයට අවශ්‍යම දේ. ඒ මානසික නිදහසත් ඇතුළාන්ත සාමයත් මිස අන් යමක් නොවෙයි. 

You make me feel like a natural woman

මං හිතන්නෙ මේක ගැහැනියක අතින් මිනිසෙකුට ලබන්න පුලුවන් ලොකුම ප්‍රශංසාවක්. මොකද ඔහු ඇයට ලබා දීල තියනව ඇයට දෙන්න පුලුවන් හොඳම දේ  ඇයට ඇයම වෙන්න් ඉඩ හැරීම.  ගීතයේ ඉතිරි පදමාලාවත් ගලා යන්නෙ ඒ ආකාරයට. 

When my soul was in the lost and found
You came along to claim it
I didn't know just what was wrong with me
'Til your kiss helped me name it
Now I'm no longer doubtful, of what I'm living for
And if I make you happy I don't need to do more

'Cause you make me feel
You make me feel
You make me feel like a natural woman (woman)

Oh, baby, what you've done to me (what you've done to me)
You make me feel so good inside (good inside)
And I just want to be (want to be)
Close to you, you make me feel so alive

You make me feel
You make me feel
You make me feel like a natural woman (woman)

මේ ගීතයට වස්තු විෂය වන දෙදෙනා පෙම්වත් යුවලක් බව අපි උපකල්පනය කලත් හැබෑවට මේ එහෙම දෙදෙනෙක් නොවිය හැකියි. සමහර බැඳීම් එහෙම නමක් දීල වර්ගීකරණය කරන්න බැහැ. පිරිමියෙකුට සහ ගැහැනියකට මේ ආකාරයෙ සමීප ඇසුරක් ගොඩනගා ගන්න ඔවුන් අතරේ ප්‍රේම සම්බන්ධයක් තිබිය යුතුම නැහැ. අනෙක් පුද්ගලයා තමන්ට කොයිතරම් වටිනවාද කියන කාරණය නිතරම එකිනෙකාට කියා නොගත්තත් හදවත් ඇසුරේ බැඳීමක ඒ සහනශීලී බව නිතර පවතිනව.

මතුපිට සරලයි සුන්දරයි වගේ පෙනුණත් ජීවිතේ ගැන කොයි තරම් ගැඹුරකට මේ පදමාලාවලන් ඇතුලෙන් යන්න පුලුවන්ද. අපේ මාධ්‍යවලින් ප්‍රචාරය නොවුණත් ලෝක සංගීතය ගැන විමසා බලද්දි මේ වගේ හැංගුණු මැණික් කැට ඕන තරම් හොයාගන්න පුලුවන් බව කියන්න ඕන.






Tuesday, October 27, 2020

බිතෝවන් ගේ සදාතනික ප්‍රේමවන්තිය - Immortal Beloved (1994)

 වර්ෂ 1827 මාර්තු 26 වන දා, වයස 56 ක් වුණු ඔහු ඇඳේ වැතිරී සිටියා. අක්මාවේ හටගෙන තිබුණු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු සිටියේ ඉතාම අසාධ්‍යව. ජීවිතය ක්‍රමයෙන් ඔහු වෙතින් පලා යමින් තිබුණා. තමන්ගේ අවසාන මොහොත අත ලඟ බව ඔහුට දැනෙන්න ඇති. හිතවතුන් කීප දෙනෙක් ඒ අවස්ථාවෙදි ඔහු වටා වටවී සිටියා. හවස් යාමයෙදි අහස අඳුරු පැහැ වුණේ වැස්සක් අතලඟ බව කියමින්. එක්වරම අකුණක් පිපුරුණේ මහ හඬක් නංවමින්. ඔහු තමන්ගෙ දකුණු අත ඉතාම වැර වෑයමෙන් නමුත් ඉහළට එසෙව්වා. ඊළඟ මොහොතේ ඔහුගෙ අවසන් හුස්ම වාතලයට මුහුවුණා. ලුඩ්විග් වෑන් බිතෝවන්, බොහෝ දෙනා හඳුනන ආකරයට, බිතෝවන් නම් ඒ බටහිර සංගීතයේ යුග පුරුෂයා සදහටම දෙනෙත් පියාගත්තා. 


බිතෝවන් ගේ මළගම වෙනුවෙන් මහ විසාල ජනගංගාවක් ඔස්ට්‍රියාවේ වියානා නුවරට එක් රැස් වුණා. නගරයේ වීදි මං මාවත් අතුරු සිදුරු නැතිව පිරී ගිහින්. දස දහසකට අධික ජනතාවක් බීතෝවන් ගේ මළගමට සහභාගි වෙන්න වියානාවට එක්‍ රැස් වුණු බව ඉතිහාසයෙ සඳහන් වෙනව!

බිතෝවන් මේ තරම් විශාල ජනප්‍රියත්වයක් දිනාගන්න සමත් වෙන්නෙ කොහොමද? ඒ ප්‍රශ්නයට පිළිතුර සැඟවිලා තියෙන්නෙ ඔහු නිමැවූව සංගීත නිර්මාණයන් තුළමයි. බටහිර සංගීතයේ යුග බෙදීමට අනුව බීතෝවන් සම්භාව්‍ය යුගය (Classical age,  1730 - 1820, මෝට්සාට්, හයිඩ්න්, බාක්, ෂූබර්ට් වැනි අය අයිති වන යුගය) සහ අරුමැසි යුගය (Romantic age, 1800 - 1910, ෂොපෑන්, බ්‍රාහ්ම්ස් වැනි අය අයිති වන යුගය) යන මේ යුග දෙකටම අයිති වන සංගීතඥයෙක්. ඔහුගේ නිර්මාණයන් අරුමැසි යුගය බිහිවෙන්න විශාල දායකත්වයක් දැක්වූ බව හැඳින්වෙනව. බිතෝවන් ගේ 5 වන සංගීත සංධ්වනිය ලෝකයෙ වැඩිම වාරගණනක් වාදනය වූ සහ එදා මෙදාතුර බිහිවුණු විශිෂ්ටතම සංගීත සංධ්වනිය විදිහට පිළිගැනෙනව. ඔහුව සලකන්නේ බටහිර සංගීතයේ වඩාත් මිනිස් හැඟීම් වලට සමීප සහ විචිත්‍රවත් නිර්මාණ බිහි කල තැනැත්තා වශයෙන්. මිනිසෙකුට තමන්ගේ සහජ කුසලතාවන් කොයිතරම් අසාමාන්‍ය තලයකට දියුණු කල හැකිද කියා පෙන්විය හැකි උදාහරණයක් බිතෝවන්. 

බිතෝවන් උපත ලබන්නෙ වර්ෂ 1770 දෙසැම්බර් 16 වෙනිදා ජර්මනියේ බොන් නගරයේ දි. බිතෝවන් ගේ සීයා බොන් නගරයේ සුප්‍රසිද්ධ සංගීතඥයෙක්. බිතෝවන් ගේ පියාත් සංගීතඥයෙක් නමුත් ඔහු වඩා ප්‍රසිද්ධ වුණේ බීමත්කමට. බිතෝවන්ට කැස්පාර් සහ ජොහාන් නමින් සහෝදරයන් දෙදෙනෙක් සිටියා. බිතෝවන්, මොසාට් මෙන්ම ලමා විස්මයක් බවට පත්කර ප්‍රසංග පවත්වා මුදල් ඉපැයීමට පියාට වුවමනා වුණා. නමුත් ඔහු හිතූ තරම් සාර්ථකත්වයක් බිතෝවන් ලබාගත්තේ නැහැ. මේ නිසා දැඩිව කෝපයට පත්වුණු පියා පුංචි බිතෝවන්ට නිතර පහර දුන්නා. කාමරයක සිරකර තබා පියානෝ වාදනය ඉගෙනීමට බල කලා. මේ නිසා බිතෝවන් ගේ ලමා විය සෑහෙන දුක්බරිත සහ පීඩාකාරී එකක් වුණා. 

යුරෝපයේ සංස්කෘතික සහ සංගීත මූලස්ථානය වුණු ඔස්ට්‍රියාවේ වියානා නුවර නැවතී සංගීතය හදාරන්න ඉතාම ළාබාල වයසේ දී ම බිතෝවන් ට අවස්ථාවක් ලැබෙනව. මේ නිසා ඔහුගෙ දෙමව්පියන් ඔහුව පාසල් අද්‍යාපනයෙන් ඉවත් කර පූර්ණවශයෙන් සංගීතය ඉගෙනීමට යොමු කරනවා. 

සංගීත විද්‍යාලයේ දි දවසක් හරි අපූරු දෙයක් සිදුවෙනව. ඉතා උනන්දුවෙන් සංගීතය හැදෑරූ කුඩා බීතෝවන් ගේ පියානෝ වාදනයක් එවකට යුරෝපයේ සංගීත  විශිෂ්ටයා වුණු මෝට්සාර්ට් ට අහන්න ලැබෙනවා.

"හොඳට බලන්න මේ දරුවා දිහා. දවසක මුළු ලෝකයම ඔහු ගැන කතා කරාවි"

මෝ'ට්සාට් ඒ මොහොතේ පැවසූ බව සඳහන්! 

මවගේ මරණය හේතුවෙන් බොන් නගරය එන බිතෝවන් නැවත වියානාවට පැමිණෙන්නේ මෝ'ට්සාට් ගේ මරණින් පසුව.  ඒ මොහොතේ යුරෝපයේ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා යන නාමය ලැබුවේ ජෝෂප් හයිඩ්න්. බීතෝවන්, හයිඩ්න් යටතේ තවදුරටත් සංගීතය හැදෑරීමට යොමුවෙනවා.

නිර්මාණකරුවෙක් විදිහට ඔහු තමන්ගේ මුල්ම ස්වතන්ත්‍ර පියානො වාදනය ඉදිරිපත් කරන්නෙ 1795 දී. එය ඉතාම ජනප්‍රියත්වයක් ලබනවා. ඒත් සමග බීතෝවන් වියානාවේ උසස් සමාජයේ ගෞරවාදරය ලබාගැනීමට සමත්වෙනවා. 1800 දි වියානා නුවර රාජකීය රඟහලේදී තමන්ගේ මුල්ම සංධ්වනිය ඉදිරිපත් කරන බිතෝවන් ගේ ජනප්‍රියත්වය යුරෝප පුරා පැතිරීයනවා. විශිෂ්ටත්වය කරා ක්‍රමිකව ලංවෙන ඔහු මෝ'ට්සාට්, හයිඩ්න් වැනි අයගෙන් පසු ඒ තත්ත්වයට පැමිණිය හැකි අයෙකු විදිහට හඳුනාගැනෙනවා.

මිනිසුන් ආශ්‍රයේදි බිතෝවන් දැක්වූයෙ ඉතාම සීමාකාරී බවක්. සමාජ ආශ්‍රය ඔහු ප්‍රිය කලේ නෑ. ඔහු නිතරම මිනිසුන් සමග කලහයන් ඇති කර ගත්තා. ඉක්මනින්ම කෝපගැන්වී පහරදීමට පවා පෙළඹුනා. නිතර සිහිමඳ ගතියෙන් පෙලුණා. සංගීත නිර්මාණයන් කොයිතරම් අලංකාර වුණත් ඔහුගෙ ජීවිතයේ ඒ සුන්දරත්වය නම් අහලක වත් තිබුණේ නෑ. 

කොහොම නමුත් බිතෝවන් ට සිදුවුණු විශාලතම ඛේදවාචකය ඔහුගේ ශ්‍රවණ හැකියාව ක්‍රමයෙන් නැතිවී යාම. 

"මම පාපොච්චාරණය කල යුතුයි ඔබට. මම ගෙවන්නෙ ඉතාම දුක්බර ජීවිතයක්. මම ප්‍රසිද්ධ සමාජයට පැමිණීම ප්‍රතික්ෂේප කර දැන් දෙවසරක් පමණ වෙනවා. මම කොහොමද ඔවුන්ට කියන්නෙ මම බිහිරෙක් බව? මම වෙනත් වෘත්තියක නියැලුනා නම් මෙය ලොකු ගැටලුවක් නොවෙන්න තිබුණා. ඒත් සංගීතඥයෙක් විදිහට බිහිරි භාවයට පත්වීම මට මහ විශාල වේදනාවක්"

ඒ බීතෝවන් තමන්ගෙ හිතවතෙකුට ලියා යැවූ ලිපියකින් කොටසක්. බිහිරි භාවය අභියෝගයක් කරගන්නා බිතෝවන් එයින් නොසැලී මහත් වීර්‍යයකින් නොකඩවා තමන්ගෙ නිර්මාණ කටයුතුවල යෙදෙනවා. සංගීතය කොයිතරම් ඔහුගේ ආත්මයටම කාවැදි තිබුණාද කියන්න මේ සිදුවීම හොඳ උදාහරණයක්. බිතෝවන් ගේ නිර්මාණ ජීවිතයේ හොඳම කෘතීන් බිහිකරන්නෙ ශ්‍රවණ ශක්තිය අහිමි වූවාට පසුවයි ! ඔහුගෙ සංගීත කුසලතාවයෙ තිබෙන අසාමාන්‍ය විස්මයජනක බව පැහැදිලි කරන්න මීට වඩා උදාහරණ අවශ්‍ය නැහැ. 

1994 අවුරුද්දේ Immortal Beloved චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ බීතෝවන් ගේ චරිතය මුල් කරගනිමින්. ඒත් මුල මැද අග පිළිවෙලින් ඔහුගේ ජීවිත කතාව කියන ආකාරයට නොවෙයි. 

බිතෝවන් තනිකඩ ජීවිතයක් ගත කල කෙනෙක්, ඔහු කවදාකවත් විවාහ වුණේ නෑ.  මරණින් පසුව ඔහුගේ දේපළ, මුදල් සහ නිර්මාණ වල අයිතිය හිමිවියයුතු කාටදැයි ගැටලුවක් ඇතිවෙනවා. අවසාන ඉල්ලීම වශයෙන් තමන් සතු සියලු දේ ඔහු Immortal Beloved නමින් ආමන්ත්‍රණය කරන යම් ගැහැනියකට පවරා තිබෙනව. බීතෝවන් ගේ පෞද්ගලික ලේකම්වරයා වුණු Shindler, 1812 අවුරුද්දේ දි බිතෝවන් Immortal Beloved නමින් ඔහු ආමන්ත්‍රණය කරන තරුණියකට යැවූ ලිපි තුනක් සොයාගන්නව (මේ immortal beloved ලිපියේ කතාව සැබෑවක්. ඔහු රහසින් පෙම් කල තරුණියක් ඒ නමින් හඳුන්වා තිබෙනවා) Shindler ට මේ Immortal Beloved හෙවත් බිතෝවන් ගේ සදාතනික ප්‍රේමවන්තිය කවුදැයි හඳුනාගන්න ඊටවඩා හෝඩුවාවක් ලැබෙන්නෙ නෑ. ඔහු බීතෝවන් සමීපව ආශ්‍රය කල සහ ඔහුගේ පෙම්බරිය විය හැකි බවට සැක කරන ගැහැනුන් තිදෙනෙක් සොයා යුරෝපය පුරා සැරිසරනව. පළමුව ඔහුගේ සුප්‍රසිද්ධ Moonlight Sonata ව කැප කළ ගියුලීඩා ගියුචියාඩි සිටුවරිය. දෙවනුව, එම්පයර් කොන්සර්ටෝව ඉදිරිපත් කරමින් සිටින මොහෙතේ ඔහුගේ බිහිරි බව මුලින්ම ලොවට අනාවරණය වුනු විට ඔහුව වේදිකාවෙන් බිමට කැඳවාගෙන යෑමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ තරුණිය ඇනා මරියා සහ තෙවනුව තම සොහොයුරා කැස්පාර් ගේ බිරිඳ වශයෙන්. ඔහු සමග රහස් පෙම් දමකින් බැඳී සිටියේ, ඔහුගේ සදාතනික ප්‍රේමය බවට පත්වුණේ මේ තුන් දෙනාගෙන් කවුරුන් ද? බිතෝවන් ගේ හිතවතියන් විස්තර කරන ඔහුගේ චරිත ස්වභාවයෙන් ආශ්‍රයෙන් ඔහුගේ චරිතය අපි ඉදිරියේ මැවෙනව. ආදරය නොහඳුනන, දඩබ්බර කලහකාරී මිනිසෙකුගෙ ප්‍රේමයේ උරුමය සොයන ශින්ඩ්ලර් සමග අපිත් ඒකාත්මික වෙනව.

Gary Oldman නම්, හොලිවුඩයේ ඒ අතිවිශිෂ්ට චරිතාංග නලුවා තමන්ම බිතෝවන් බවට පත්වෙමින් ඉතාම ඉහළින් ඒ චරිතය නිරූපණය කරනවා. චිත්‍රපටයෙ ඇතුළත් බිතෝවන් ගේ පියානෝ වාදනයන් සැබැවින්ම Gary Oldman විසින් වාදනය කර ඇති බවයි කියවෙන්නෙ. ඒ චරිතය වෙනුවෙන් පමණක් ඔහු පුරා සති හයක් නොනැවතී දවසකට පැය හය බැගින් පියානෝව පුහුණුවී තිබෙනවා! ඒ අතිවිශාල කැපකිරීමේ ප්‍රතිඵල කොයිතරම් සාර්ථකද යන කාරණය චිත්‍රපටය නැරඹීමේදි ඔබට වටහාගත හැකියි. 

සමාජය දකින බීතෝවන් ගේ නුරුස්නා ගුණාංගයන් පෙන්වාදීමෙන් ආරම්භවන චිත්‍රපටය අවසන් වෙන්නෙ ඔහු ඒ තත්ත්වයට පත්වුණේ ඇයි යන කාරණය පැහැදිලි කරමින් ඉතාම හද සංවේදීකරන ආකාරයෙන්. හුදෙකලා මිනිසෙකුගෙ අහිමි ප්‍රේමයේ සදාතනික ශෝකය ඉතිරි කරමින්. 

චිත්‍රපටයෙ බීතෝවන් සහ ඔහුගේ ලේකම්වරයා අතරෙ සිදුවෙන දෙබසක් සංගීතය පමණක් නොව සමස්ත කලාව තුළම නිර්මාණයන් බිහිවීමේ පදනම පැහැදිලි කර දෙනව.
...

- සංගීතය කියන්නෙ මහ එපාකරපු දෙයක්. ඇත්තටම ඒ මොකක්ද ? මට තේරුම්ගන්න බැහැ. මොකක්ද සංගීතයෙන් කරන්නෙ ඇත්තට? 

- මම හිතන්නෙ, සංගීතයෙන් කරන්නෙ අපේ හදවත් සතුටින් පුරවන එක

- මල විකාර! ඔයාට පාගමනෙ යන හමුදා කණ්ඩායමක සංගීතය ඇහුනම ඒකෙන් ඔයාගෙ හදවත සතුටින් පිරෙනව ද? නෑ.. ඔයා ඒ රිද්මට අනුව පාද තියන්න ඕන කියල දැනගන්නව. වෝල්ට්ස් සංගීතය ඇහුණම ඔයා මොකක්ද කරන්නෙ.. ඔයා ඒ තාලයට නටනව. පල්ලියෙ ගීතිකා ඇහෙනකොට මොකක්ද වෙන්නෙ? ඔයා දිව්‍යපූජාවට සූදානම් වෙනව. ඒ තමා සංගීතයේ බලවත්කම. කෙනෙකුගෙ මානසිකත්වය සංගීත නිර්මාණකරුවන්ට ඕනැ විදිහට මෙහෙයවන්න පුලුවන් වීම. සංගීතට සවන්දෙන කෙනෙකුට වෙන විකල්පයක් නෑ.  ඒක හරියට මෝහනය කරගැනීමක් වගේ. දැන්..මොකක්ද තිබුණෙ මගෙ මනසෙ මම මේ සංගීතය ලියනකොට? එක මනුස්සයෙක් ඉන්නව ඔහු තමන්ගෙ ප්‍රේමවන්‍තිය හමුවෙන්න යමින් ඉන්නව. ඒත් මහ වැස්සෙ ඔහුගෙ අශ්ව රථය බිඳිල, රෝද ගොහොරු මඩේ එරිල, ඇය ඔහු එනතුරු මග බලා ඉන්නව. ඒත් ඔහුට යන්න විදිහක් නෑ ඇය හමුවෙන්න. මේ ඇහෙන සංගීතය. ඒ තමා ඔහුගෙ ආවේගයේ ප්‍රකාශනය. මෙහෙම තමා සංගීතයට අනුව ඔහුගෙ හදවතේ මතුවෙන හැඟීම් ප්‍රතිනිර්මාණය කරන්නෙ. ඔයාට හුරුපුරුදු විදිහට නොවෙයි. ඔයා හිතන ආකාරයට නොවෙයි. ඒත් මෙන්න මෙහෙමයි සංගීතයෙන් දේවල් කියන්නෙ....



 Joseph Karl Stieler විසින් 1820 වසරේ නිමවන ලද  බීතෝවන් ගේ සිතුවම


බිතෝවන් ගේ මළගම සිත්තර ඇසින්


Garry Oldman බීතෝවන් චරිතය නිරූපණය කරමින්..