Monday, February 20, 2023

වෙඩි නොවදින ළමයි

හතර පැත්තෙන්ම මුහුද තිබුණාම 
රටවල් මළකඩ කනවද...

ලේනෝ ලේනෝ 
මේ රට අරගෙන 
අලුත් රටක් මට දෙනවද.

අපේ රට දැන් මඟ දිගට කෑලි හැලෙමින් පාරෙ යන මළකඩ කාපු ලදරං බස් එකකට සමාන කරන්න පුලුවන්. යන අතරවාරේ හිටපු ගමං මේකෙ තෙල් ඉවර වෙනව. පාරෙ යන වෙන බස්වලින් පින්සෙන්ඩු වෙලා තෙල් ටිකක් ඉල්ලං ආයෙ යනව. ටික දුරක් යනකොට ආයෙ එංජිම ලෙඩ දෙන්න පටං අරං බස් එක මග නතර වෙනව. ඉතිං මොකක් හරි පැලැස්තරයක් අටවං කට්ටිය එකතුවෙලා තල්ලුවක් දාල ස්ටාට් කරං ආපහු යනව. ඇති යන්තං දැංවත් පාඩුවෙ ගමන ගියාකි කියල හිතුවට ආයෙ කැඩෙනව. බස් එක හදාගන්න කියල කොන්දොස්තර සැරින් සැරේ බස් එකෙ ඉන්න මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරත් කොන්දොස්තර ම තමා දන්නෙ ඒ සල්ලිවලට වෙන දේ. බස් එකේ මිනිස්සුන්ටත් ඒ ගැන ගාණක් නෑ වගේ. බස් එකේ ඩ්‍රයිවර්ල විටින් විට මාරු වුණත් ඒ හැම ඩ්‍රයිවර්කෙනෙකුගෙම මහදැනමුත්තගෙ වගේ කටින් ලොකුකම නං අඩුවක් නෑ. හැබැයි මේ බස් එකේ ගමන පටන් ගන්නකොට මීට සෑහෙන පිටිපස්සෙන් හිටපු ගොඩක් බස් දැන් මේක පහුකරන් ගොඩක් ඉස්සරහට ගිහිල්ල.

ඉන්දික ෆර්නැන්ඩුගේ වෙඩි නොවදින ළමයි ෆිල්ම් එකෙ ලාංකික ජනසමාජයෙ හරස්කඩක් හරි අපූරුවට බස් එකක් ඇතුළට ගෙනල්ල තියනව. බස් එක ගමන පටන් ගන්නෙ 1996 මාර්තු 17 රෑ විල්ස් ලෝක කුසලාන ක්‍රිකට් තරඟය වෙලාවෙ. ඒක රටක ක්‍රීඩා කණ්ඩායමක් පරාජයන්, ඇදවැටීම් එක්ක ලෝකෙ ඉහළම ජයග්‍රහණය ලබාගත්තෙ කොහොමද කියන කාරණේ පෙන්වාදෙන්න හොඳ උදාහරණයක්. මැච් එක යන අතරේ බස් එක ඇතුළෙ ෆැන්ටසික ලෝකයක් මවන ඉන්දික ඒ හරහා "රටම කෙටියෙන්" ඉතාම සංකේතරූපීව පෙන්වා දෙනව. චින්තන ධර්මදාසගෙ "ඇවිලෙනසුළුයි" ට පස්සෙ Road movie ගණයට ඇතුළත් කරන්න පුලුවන් සිංහල චිත්‍රපටයක් "වෙඩි නොවදින ළමයි"

ඉන්දික ෆර්නැන්ඩු ගේ මේ ගොඩනැංවීම සිනමාත්මක බව අතින්, දැන් රටේ හැදෙන  බොහෝම චිත්‍රපට එක්ක බැලුවම ඉදිරියෙන් තියන්න පුලුවන් කියන කාරණය ගැන වාදයක් නෑ. ඔරිජිනල් වැඩක් විදිහට මේක සෑහෙන අගය කරන්න ඕන චිත්‍රපටයෙ සින්දු ටිකත්, විශේෂයෙන් "සඳරු" ගෙ සින්දුව, හරි අපූරුයි. නමුත් මේ අත්දැකීම ප්‍රේක්ෂකයාට කොයිතරම් හෘදයාංගම විදිහට අත්විඳගන්න චිත්‍රපටය ඇතුළෙ ඉඩක් හදල තියනවද කියන කාරණේ ගැන ගැටලුවක් ඉතිරිවෙනව. විශේෂයෙන් චිත්‍රපටයෙ දෙවන අර්ධය පළමු අර්ධයට සාපේක්ෂව ගලායාමේ අවුලක් තිබුණා සහ මහේන්ද්‍ර පෙරේරාගෙ චරිතය තව මතුවෙන්න තිබුණා කියන හැඟීම තියනව. මේ අධියථාර්ථවාදී ප්‍රකාශනය අපේ ප්‍රේක්ෂකයන් කොහොම ග්‍රහණය කරගනීද කියන එකත් ගැටලුවක්  අධියථාර්ථවාදය කියන්නෙ ටිකක් පරිස්සමෙන් ගනුදෙනු කරන්න ඕන ඉසව්වක්. මොකද, නිර්මාණකරුවා කියන්න උත්සාහ කරනදේ ප්‍රේක්ෂකයාට අත්විඳගන්න ඉඩක් තියන්නත් ඕන. නමුත් ඒ ප්‍රකාශනය යථාර්ථ ලෝකයෙ කොන්දේසි ඉක්මවා යන්නක් වෙන්න ඕන. වෙඩි නොවදින ළමයි ගැන නම් ප්‍රේක්ෂකයන් හරි මැදින් ඉරක් ගහල දෙකට බෙදන්න පුලුවන් මට්ටමක තත්ත්වයක් තියෙන්නෙ. මේක නියමයි කියන අය සහ කිසි කමකට නෑ කියන අය. ඔය දෙපැත්තටම අයිති නොවෙන තැනක ඉඳගෙන චිත්‍රපටය බලන්න හැමෝටම ආරාධනා කරන්නෙ මේක අපේම නිශ්පාදනයක් විදිහට සිනමාශාලාවක අත්විඳගන්න පුලුවන් සිනමාත්මක බව පිරුණු හොඳ නිර්මාණයක් හින්ද.

මේ රුවන් බන්දුජීව චිත්‍රපටයට ලියූ සින්දුව..

යකඩ යකා ඔච්චර ලොකු 
සෙනග ගොඩක් කන හින්දද
මුහුද නිල්වුණේ ඔච්චර
කාගෙන්හරි ගුටි කාලද

ළමා වීරයෙක් වෙන්නට 
බෙල්ල කැපෙන්නම ඕනෙද
ජාතික වීරයෙක් වුණොත් 
මුද්දරේක හිරවේවිද

තනියා ඒ හැටි තනිවුණෙ 
අපි තරහයි හිතු හින්දද
අපෙ අත්තව ඌ පැගුවෙ 
යාලුවුණේ නැති හින්දද

අපෙ හෝඩියෙ නැති අකුරක් 
පාරෙ තිබිලා ඇහිලුවා මම
ඒක කාටහරි ඕනෙද

මගේ ඔලුගෙඩිය උඩටත් 
දිවුල් නොව ඇපල් වැටුණොත්
මං නිව්ටන් වාගෙ වෙයිද 

හතර පැත්තෙන්ම මුහුද තිබුණාම 
රටවල් මළකඩ කනවද

ලේනෝ ලේනෝ 
මේ රට අරගෙන 
අලුත් රටක් මට දෙනවද.



Thursday, February 16, 2023

එයා දැන් බැඳලා

ෂෝන් පෝල් සාත්‍රේ ගෙ ප්‍රකට කියමනක් තියනව මිනිසා නිදහස් අයෙකු වීමේ දණ්ඩනය ලබා ඇත කියල. නිදහස කියන්නෙ ජීවිතේ කෙනෙකුට ලබාගන්න පුලුවන් උසස් ම දෙයක් විදිහට පොදුවේ සැලකුණත් ඒක දඬුවමක් කියල කියන්නෙ කොහොම ද? සාත්‍රේ තවදුරටත් පැහැදිලි කරනව මිනිසා තමන් විසින්ම නිර්මාණය කර නොගෙන ලෝකයට දමාගසනු ලබා තිබෙන නිසා තමන් කරන හැම දෙයකටම ඔහු වගකිවයුතු යි කියල. ඒ මිනිසාට ජීවිතේ පැවරුණු අර්ථයක් කියා යමක් නොමැති හින්ද පැවැත්ම තුළින් ඔහු තමන්ගෙ ජීවිතේට අර්ථයක් නිර්මාණය කරගතයුතු යි. දැන් මේ කතාව අපිට සමපාත කරගන්න පුලුවන් "එයා දැන් බැඳලා" නාට්‍යයේ මූලික සිද්ධිදාමයත් එක්ක. නාට්‍යයේ ප්‍රධාන ගැහැනු චරිතය සුද්දි. සුද්දි තමන්ගේ ශරීරය මුදලට විකුණමින් යැපෙන ගණිකාවක්. අපේ රටේ ගණිකාවක් කියන්නෙ කෙනෙකුට ඇද වැටෙන්න තියෙන අවමාන සහගත අඳුරු මුල්ලකට. කවුරුන් හරි ගණිකාවක්ව ඒ තත්ත්වයෙන් නිදහස් කරගෙන තමන්ගෙ බිරිඳ බවට පත්කරගැනීම ඉතා විශිෂ්ට, උත්කෘෂ්ට, මානුෂික ක්‍රියාවක් කියන්න පුලුවන් වුණත් ඉන්පස්සෙ ඒ ගැහැනිය එක්ක එදිනෙදා ජීවිතේ කලමනාකරනය කරගෙන අරගෙන යන්නෙ කොහොමද කියන තැනට ආවම තමයි අර මනුස්සය හැබෑම අභියෝගයට මූණදෙන්නෙ. එයා දැන් බැඳල නාට්‍යයේ සිරීටත් වෙන්නෙ ඒක. සිරී ගණිකාවක් වුණු සුද්දි ගැන ආදරේ හිතිල, සුද්දිව ගණිකාව කියන තත්ත්වයෙන් නිදහස් කරගෙන, ඇයව කසාද බැඳගෙන ගෙදර නවත්වාගන්නව. එතන ඉඳන් සිරී සුපුරුදු විදිහට පතලෙ රස්සාව කරගෙන තමන්ගෙ පවුලත් නඩත්තු කරගෙන ජීවිතේ ගෙනියන්න උත්සාහ කරනව. නමුත් සුද්දි ගෙ පරණ රස්සාව සහ සුද්දි ලවා තමන්ගේ ආශාවන් සපුරාගන්න මාන බලන සිරීගේ අප්පච්චි නිසා ඉන්පස්සෙ සිරී මුහුණ දෙන්නෙ වඩාත් සංකීර්ණ තත්ත්වයකට. එතනදි,  ඇයව වඩාත් ආදරෙන් රැකබලා ගන්න ඕන තැන්වලදි සිරී ඇයව මගහරිනව. සුද්දි වෙනත් කවුරු හෝ එක්ක යහන් ගත වෙනව ඇති කියන සැකයෙන් සිරී නිතර පෙලෙනව. ඇය, ඔහුට ඇයිති තැන වෙනත් කෙනෙකුට දේවි ද කියන හීනමානයෙන් ඔහු පීඩාවිඳිනව. සරලව කිව්වොත් එයාලා බැන්දට පස්සෙ තත්ත්වෙ තිබුණාට වඩා සෑහෙන සංකීර්ණ වෙනව.

ලූෂන් බුලත්සිංහල මහත්මය රචනා කරල තියන මෙන්න මේ ගීතය මෙන්න මේ අවස්ථාවට හොඳින්ම ගැළපෙනව කියල හිතනව.

පුන් පෝදා සඳ ඔබ ගෙන අවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරුමල්
එයට නෙළා පිළිගන්වන්නම්..

ඒ සින්දුවේ අවසාන පද පේළි කිහිපය තියෙන්නෙ මෙහෙම.

බිඟු තුඩු නොවැදුණු පියුම ගෙනාවොත්
මානස විල මත පිපුණු සැණින්
නැවුම් පෙමට කිම වෙහෙසෙනු පෙම්වත
යළි උපදිමි ඒ පියුමින් මං

මේ සින්දුවෙ ඉන්න පෙම්වතා හැමතිස්සේම "බිඳකින් වත් කිලිටි නොවුණු පරම පිවිතුරු ප්‍රේමයක්" බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න ඇති. නමුත් ඇය ඔහුට කියල දෙනව යථාර්ථය. එහෙම ඒව ලෝකෙ කොහෙවත් නෑ. ඔයා ඔයාගෙ උපරිම ආදරේ මට දෙන්න. එහෙම වුණොත් හැම දෙයක්ම අමතක කරල ඔයා එක්ක අලුත් ජීවිතයක් මම ලබන්නම් කියල.

මෙතනදි සුද්දි සහ සිරී අතර ඇති වෙන සංවාදයත් ඒකම යි. නමුත් ඇයට ආදරය කරනව කරනව වෙනුවට ඔහුගෙ මනස පිරිල යන්නෙ බයෙන් සහ ඇයව අනිවාරතයේ සැක කිරීමෙන්. එතනදි ඔහු කරන්නෙ ඇගෙන් පලායන එක. තමන්ගෙ ආදරය රැකගැනීම වෙනුවෙන් ඉදිරියට නොඑන්න තරම් පෞරුෂයක් හීනයෙක් බවට පත්වෙන එක. ගණිකාවක් විවාහ කරගන්න ලොකු ආත්මධෛර්‍ය්යක් කෙනෙකුට ඕන නමුත් ඇය එක්ක එදිනෙදා ජීවිතේ පවත්වගෙන යන්න ඕන හයිය ඊට වැඩියි.

මෙන්න මේ හිඩැස් ඇතුළෙන් රිංගන්න උත්සාහ කරන්නෙ අප්පච්චි වගේ සාරධර්මයක නොපිහිටන, තමන්ගේ මනදොළ සංසිඳුවාගැනීමේ ආශාවෙන් පෙළෙන "ආශාවේ පිරිමි". ගැහැනියකට සලකන්න ඕන කොහොමද කියල මේ පිරිමි හොඳහැටි දන්නව. සිරී වගේ "මානුශිකත්වයේ පිරිමි" අතින් මගහැරෙන තැන් ගැන හොඳට දන්න අප්පච්චි ඒ හැම ආදර සැලකුමක්ම ඇයට පාන්නෙ මොහොතකට හරි ඇයව නතුකර ගැනීමේ විනෝදෙය වෙනුවෙන් පමණයි. නැතුව ඇයට ඇති ආදරයට නොවෙයි. අප්පච්චි සුද්දි ගෙ කකුල තවන්න හදන දර්ශනයෙන් මේ අදහස තවත් පැහැදිලි වෙනව. හරියට මනමේ කතාව දුරස්ථ විදිහට සංසංදනය කරල බැලුවොත්, මෙතන ඉන්නෙ අශිෂ්ටසම්පන්න නමුත් කර්‍යශූර, ඇගෙ හැම ඕනෑඑපාකමක් ම හොයල බලල කරදෙමින් පොඩි විනෝදයක් ලබන වැද්දා සහ ජීවිතේ උතුම් ශ්‍රේෂ්ඨ අදහස් තිබුණත් ක්‍රියාත්මක වෙද්දි පෞරුෂහීනතාවයෙන් පෙලෙන සිරී නම් සුකුමාර මනමේ කුමාරයා. ගොඩක් වෙලාවට මේවගේ තැන්වලදි ගැහැනිය "වැදි" පිරිමියා ළඟ නවතින්නෙ ඇයට ලැබෙන සැලකිල්ල නිසා. නමුත් ඒ ගැහැනුන්ට අයිති වෙන්නෙ බොහෝ දුරට අප්පච්චි ලඟට ආ හැම ගැහැනියකටම අයිතිවුණු ඉරණම.  සුද්දි කියන්නෙ මෙන්න මේ පිරිමි දෙන්නා නිසා ගණිකාව නම් කබලේ ඉඳන් දරුවෙකුත් එක්ක, නොසැලකිලිමත් සැමියෙක් සහ ඇයට ආදරයක් මවා පෙන්වමින් තමාගේ ආශාවන් සපුරා ගන්න වෙරදරන පියෙක් කියන ලිපට වැටෙන ගැහැනිය. 

'එයා දැන් බැඳලා' නාට්‍යයේ සුද්දි, සිරී සහ අප්පච්චි කියන චරිතවලින් නිරූපණය වෙන්නෙ ගැහනු සහ පිරිමි අතර ඇතිවෙන ආදරය, අනුරාගය මුල්කරගත් බල සම්බන්ධතාවය. මෙතනදි ගැහැනිය ගේ සිතුම් පැතුම් හැසිරීම් තීරණය වෙන්නෙ ආදරය, අනුරාගය කියන චිත්තවේගමය තත්ත්වයන් මත වුණත් පිරිමියාට ආදරය කියන්නෙ බලය සහ අධිපතිත්වය සම්බන්ධ කාරණාවක්. අප්පච්චිත් සුද්දිත් අතර මොකක් හෝ යමක් ඇති කියල සිරී නිතරම බයෙන් සැකෙන් වේදනාවෙන් පසුවෙන්නෙ මොකද ඇත්තටම එහෙම දෙයක් වුණොත් සුද්දි සම්බන්ධයෙන් තමන්ගෙ බලය ඔහුට අහිමිවීම නිසා. තමන්ගෙ ඇතුළාන්තයෙනුත්, සමාජය ඉදිරියෙනුත් ඔහු පරාජිතයෙක් බවට පත්වෙන නිසා. පිරිමි හරි බයයි පරාජිත නාමය ලබන්න. එතනදි ඇයව අත්පත්කරගන්න පෙරට නොඑන සිරී තමන්ටම පීඩා කරගනිමින්, තමන්ගෙම ඇතුළු ලෝකයේ ගුලිගැහෙමින් හැංගෙනව. නමුත් ඇය ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නෙ ආදරය, රැකවරණය, ජීවිතේ අමාරුකම් එක්ක අතහැර නොයා ලඟ ඉන්න හයිය. අත්දැකීම් අතින් වඩාත් පරිණත අප්පච්චි මේ දේවල් දන්න නිසා වඩාත් සියුම්ව ඔහු ආදරය එක්ක මේ සෙල්ලම ඔහු කරනව. නමුත් අප්පච්චි ඒ හැමදෙයක්ම කරන්නෙ ඔහුට ඈ එපා වෙනතුරු පමණක් බවයි අප්පච්චි ළඟට ආ හැම ගැහැනියකටම අත්වුණු ඉරණම දිහා බැලුවම පේන්නෙ. අප්පච්චටත් ඒ ආශාවේ විෂම චක්‍රයෙන් ගැලවෙන්න බෑ. මෙතනදි තුන්දෙනාම එකම සිද්ධිදාමයක තුන් ආකාරයක වින්දිතයන් වුණත් තත්ත්වය යහපත් අතට හරවගන්න නම් වැඩේ තියෙන්නෙ බොහෝ දුරට සිරී අතේ. මොකද ඔහු තමයි ඇයව ගණිකාවක් වෙලා ඉද්දී එතැනින් නිදහස් කරගෙන ඇවිත් තමන්ගෙ බිරිඳ කරගත්තෙ. මේ ගැටීම එක්ක තුන්දෙනාට මොකක්ද වෙන්නෙ කියන දේ ඉදිරි කොටස්වලින් දැකබලාගන්න ලැබේවි. දන්න විදිහට මේ යන්නෙ අවසාන කොටස් කීපය.

ප.ලි - එයා දැන් බැඳලා ගැන යමක් කියන්න ඕන වුණත්, මතක විදිහට අර සීගිරි කවියක වගේ 'හැමෝම ලියා ඇති බැවින් කිසිවක් නොලීමි''. රඟපෑම් ගැනත් තාක්ෂණික කාරණා ගැනත් බොහෝ අය කියා ඇති නිසා ඒ ගැනත් මොකවත් කියන්නෙ නෑ. (පිස්සු හැදෙන තරම් ලස්සන ඒ ලොකේෂන් එක ගැනත් මොකවත් කියන්නෑ) ඒත් දැනට විකාශනය වුණු අන්තිම කොටස් කිහිපය බලද්දි මේ ටික නොලියා බැරි වුණා..



Friday, February 10, 2023

Metal Loards (2022)

Rock/ Metal music අහන කෙනෙක් කිව්වම ගොඩක් අය හිතන්නෙ සාතන් අදහන, drugs use කරන, ඔලුව පිස්සු විකාර වෙච්ච අමුතු ජීවීන් කොටසක් කියල. පේන විදිහට ලෝකෙ කොහෙ වුණත් බොහෝම වෙලාවට වැරදියට වටහාගන්න දෙයක් මේක. (දැන් ටික කාලෙකට කලින් කවුදෝ කෙනෙක්, කොහෙන් හරි හොයාගත්ත වැරදි අදහස් ටිකක් පටලවල 'දිවයින' පත්තරේට වෙන්න ඕන මතක විදිහට ලිපියක් ලියල තිබ්බ ඔය ගැන) Heavy Metal කියන්නෙ නිකම්ම හයියෙන් කෑගහගෙන කරන සද්ද ගෝසාවක් විදිහටයි බහුතර සමාජෙන් සලකන්නෙ. Metal කවදාවත් mainstream music එකක් වෙන්නෙ නෑ. ලංකාවෙ වගේ නම් ඒක underground level එකටත් පහලින් තියෙන්නෙ. නමුත් ඒකට මාරම passionate වුණු සහ දිගකාලයක පටන් ලෝකෙ පුරාම හැදෙන metal music අහන ඉතාම සීමිත පිරිසක් අපේ රටේ ඉන්නව ඉන්නව. සෑහෙන උනන්දුවකින් Metal අහන, Gigs වලට යන, මම දන්න කිහිපදෙනෙක් ඉන්නව. සහ මමත් කාලෙකෙ ඉඳන් Metal අහනව, නමුත් මටත් ඔය කාටවත් කාටවත් උඩ කියල තියන විදිහෙ කිසිම අගතියක් වෙලා නෑ. 

Metal Loards කියන්නෙ metal බෑන්ඩ් එකක් හදන්න හිතන, Heavy metal ඇඟටම කාවැදිච්ච ගැටවරයන් දෙන්නෙක් ගැන කියවෙන Teenage drama එකක්. School of Rock, The Rocker වගේ මට්ටමක තියන්න බැරි වුණත් Enjoyable film එකක්. Film එකෙත් පෙන්වා දෙන දෙයක් Metal වලට තියන අහේතුක සමාජ විරෝධය. ඒකට මූලික හේතුව මම හිතන්නෙ කලින් කියපු විදිහට මේකෙ තියන සද්දෙ වෙන්න ඕන. සහ metal musicians ල album art වලින් වගේ create කරන Image එක. Guitar, Drums වගේ instrument උපරිම level එකෙන්ම වගේ Metal music ඇතුලෙ භාවිතයට ගන්නව. ඒ කර්කෂ Distorted ගතිය music වල theme එකත් එක්ක එන දෙයක්. මොකද විශේෂයෙන් metal music වල ප්‍රකාශනය කරන්නෙ සමාජයෙ තියන ගතානුගතික, අධිපති මතවාදයන්ට එරෙහි වීම, යුධ විරෝධය, ජීවිතේ අඳුරු පැත්ත, බහුතරය අතරේ ජනප්‍රිය Entertaining media ඇතුලෙ යටපත් කරන්න හදන ජීවිතේ ඇත්ත තිත්ත කටුක යථාර්ථය. එතකොට ඒව ප්‍රකාශනය වෙන්න ඕන ඊට ගැලපෙන ටිකක් extreme level එකකින්. ඒ හින්ද metal වල තියන loud, heavy ගතිය ඒ music වල theme එකත් එක්ක අවියෝජනීයව බැඳිල තියනව.

Metal fan කෙනෙක් නැත්නම් musician කෙනෙක් heavy music ඇහුවට create කලාට ඒ අය ලොකු සමාජ වෛරයකින් ඉන්න පිරිසක් වියයුතු බව හිතන එක වැරදි අදහසක්. Metal අහන සමහරුත් එහෙම මතවාද වල ඉන්නව. Metal කියන්නෙ ප්‍රචණ්ඩත්වය නොවෙයි. සමාජය ගැන විරුද්ධවාදි අදහස් දරනව කියන්නෙ සම්මතයන් බිඳ දමල අපේ පහත් ආශාවන් සපුරගන්න ඉඩක් හදාගන්න එක නොවෙයි. උදාහරණයක් විදිහට යම් බැඳීමක් ඇතුළෙ අපිට විශ්වාසනීය බව රැකගන්න බැරි නම්, අපි  අවංක  නැත්නම් මොන music ඇහුවත් වැඩක් නැහැ. සරලවම music වලින් විප්ලව කරන්න හිතුවත් 'මනුස්සකම' නැත්නම් ඔය කිසිම දේකින් වැඩක් නෑ. ජීවිතේට අවශ්‍ය මූලිකම කොන්දේසිය ඒකයි. Film එකෙන් මං තේරුම් ගත්ත කාරණේ ඒකයි.

ඒක සිංහල සින්දුවක වචන heavy metal music අනුව වෙනස් කරල මෙහෙම කියන්න පුලුවන්.

රැවුලක් වැව්වට Rob Zombie වගේ
Scream කෙරුවට Dani Filth වගේ
හිත්වල කෝ බං ආදරේ



Wednesday, February 8, 2023

Babylon (2022)

"එවිට බලසම්පන්න දේව දුතයෙක් මහා ඇඹරුම් ගලක් වැනි ගලක් ගෙන, මෙසේ කියමින්, එය මුහුදේ හෙළී ය: 

“මෙලෙස ඒ මහා නුවර වූ බබිලෝනිය දරුණු අයුරින් හෙළාදමනු ලබන්නේ ය. එය නැත්තට ම නැති වී යයි. වීණා වාදකයන්ගේ ද ගන්ධර්වයන්ගේ ද නළාකාරයන්ගේ ද හොරණෑකාරයන්ගේ ද ගීත නාදය තී තුළ තවත් නොඇසේ; කොයි ආකාර කර්මාන්ත කාරයෙක් වත් තී තුළ තවත් දකිනු නොලැබේ. ඇඹරුම් ගලේ හඬ තී තුළ තවත් නොඇසේ. පහනක එළිය තී තුළ තවත් නොබැබළෙයි. මනාලයාගේත් මනාලියගේත් හඬ තී තුළ තවත් නොඇසේ. තීගේ වෙළෙන්දෝ පොළොවේ උත්තමයෝ ව සිටියෝ ය. තීගේ අනවිනවලින් සියලු ජාතීහු මුළා කරනු ලැබුවෝ ය.

දිවැසිවරයන්ගේ ද සැදැහැවතුන්ගේ ද මිහි පිට මරනු ලැබූ සියල්ලන්ගේ ද ලේ, ඈ තුළ දක්නා ලදී.”

- ශු. බයිබලය
- එළිදරව්ව 18 : 21 -24
.
.

Letterboxed වල Babylon චිත්‍රපටිය ගැන Review එකකදි කවුද කෙනෙක් කියල තිබුණ මේක සිනමාව ගැන Love letter එකක්ද, නැත්නම Suicide note එකක්ද කියල. ඒ කියන්නෙ කලාමාධ්‍යක් විදිහට සිනමාව උත්කර්ශයට නංවන ගමන් අනික් අතික් අතින් මේ සිනමාව නිසා ඒක කර්මාන්තයක් බවට පත්වෙද්දි, ඒකෙ නියැලිලා ඉන්න අය ගේ ජීවිත, විනාශය කරා ගමන් කරන ආකාරය පෙන්වාදෙනවද කියල. 

අපිට මේ කාරණය වෙනත් ආකරයකින් කියවගන්න පුලුවන් ජර්මන් දාර්ශනික හේගල් ගේ දයලෙක්තික (Dialectic) ක්‍රමවේදයට අනුව. ඓතිහාසික සංසිද්ධින් එක්ක, මානව පැවැත්ම ක්‍රමක්‍රමයෙන් වඩා උත්තරීතර (Absolute) තත්ත්වයක් කරා ගමන් කරමින් ඉන්නා බව හේගල් කිව්ව. චින්තනය සහ විචාර බුද්ධියත් පරම්පරාවෙන් පරම්පරාවට දියුණුවෙමින් ප්‍රවාහයක් වගේ ඉදිරියට ගමන් කරනව. හේගල්ට අනුව සත්‍ය ගැන අපි කතාකරනව නම්, එය අපි කතාකරන යුගයට සාපේක්ෂයි. හේගල් ඉදිරිපත් කළ විග්‍රහන්ට අනුව, අදහසක් (වාදය) ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් (ප්‍රතිවාදය) එක්ක ගැටිල එයින් මතුවන වඩා දියුණු අදහස් (සංවාදය) එක්කයි මානව පැවැත්මේ ඉදිරි ගමන සිදුවෙන්නෙ. සංවාදය තවත් ප්‍රතිවාදයක ගැටිල අලුත් සංවාදයක් බිහිවෙනව. (වැඩවසම් සමාජ ක්‍රමය කාර්මික යුගයේ ආගමනය එක්ක ගැටීමෙන් ධනේශ්වර ක්‍රමය බිහිවීම) මේක මානව පැවැත්ම absolute තත්ත්වයකට පත්වන තුරු සිදුවන, නොනවතින ක්‍රියාදාමයක් බවයි ඔහු කිව්වෙ.  Babylon චිත්‍රපටයට එය අදාල කරගත්තොත්, මූලිකවම චිත්‍රපටයට වස්තුවිෂය වෙන්නෙ නිහඬ සිනමා යුගය. කතානාද සිනමාවෙ ආගමනය එක්ක නිහඬ සිනමාව අර්බුදයකට ගිහින්, දෙබස් සහිත චිත්‍රපට ඔස්සේ, සිනමාව, වඩා දියුණු කලාමාධ්‍යක් විදිහට ඉදිරියට  ගමන්කරන ආකාරයයි අපිට දකින්නට ලැබෙන්නෙ. Babylon චිත්‍රපටයේ, නිහඬ සිනමාවෙ රජුන් රැජිනියන් විදිහට වැජඹුන ජැක් කොන්‍රාඩ්, නෙලී ලැරෝයි, ජෝර්ජ් මාන් වැන්නන්ගේ ජීවිත ඛේදවාචකයන් දක්වා ගමන් කිරීමෙන් සහ මැක්සිකානු ජාතික නිර්ධන පාංතික තරුණයා අවසානෙ විවිධාකාර සමාජ මට්ටම්වලට අයිති ප්‍රේක්ෂකාගාරයක් එක්ක සිනමාහලක චිත්‍රපටයක් නරඹන දර්ශනයෙන් ඒ අදහස නිරූපිත වෙන බව මං හිතනව. ඒ අනුව හිතල බැලුවම Babylon කියන්නෙ සිනමාව වෙනුවෙන් ලියවුණු Love letter එකක් සහ Suicide note එකක් යන මේ දෙකම එකවර පැවතීමක් වෙනව. 

ඉතිහාසයේ එන සැබෑම Babylon පුරවරය පවතින්නේ පුරාණ ලෝකයෙ, ක්‍රිස්තු පූර්ව 1894 සිට 539 දක්වා පැවති Babylonia අධිරාජ්‍යයේ අගනගරය වශයෙන්. Babylon එවකට වඩාත් දියුණුම සංස්කෘතියක් පැවතුණු, සශ්‍රීකම පුරවරය විදිහටයි සැලකුණේ. බැබිලෝනියා නම එන්නේ එරටේ පැවති Akkadian බසට අනුව එන Bābilim යෙදුමෙන්.  මෙහි තේරුම 'දෙවියන්ගේ දොරටුව' යන්නයි. බයිබලයේ උප්පත්ති කතාවේ, එකම භාෂාව කතාකරන පිරිසක් එකතුව නිර්මාණය කරන්න වෙහෙසෙන, ස්වර්ගය කරා යන කුළුනටත් 'බාබෙල් කුළුන' නම එන්නෙ ඒ අනුසාරයෙන්. නමුත් දෙවියන්වහන්සේ ඔවුන් අතර විවිධ භාෂා ඇතිකරල, ඔවුන් අතර සන්නිවේදනය අවුල්කරල, ස්වර්ගය කරා ලඟාවීමේ මිනිස් වෑයම නතරකරනව. බාබෙල් කුළුනෙන් සංකේතවත් කෙරෙන්නේ දේවත්වය කරා ළඟාවීමේ ආශාව. ජීවිතයටත් වඩා විශාල යමක් අත්පත් කරගැනීමේ මිනිස් අරගල‍ය. නූතන සිනමා කර්මාන්තයේ දෙවියන් ගේ දොරටුව හෙවත් Babylon නගරය ආදේශ වෙන්නෙ Hollywood පුරවරයට. සිනමාවේ ආගමනය සිදුවෙන මුල්ම යුගවල, සිනමා ශාලාවකට ගිහින් චිත්‍රපටයක් නැරඹීම කියන්නෙ කෙනෙකුට ලබාගතහැකි උපරිම මට්ටමේ අත්දැකීමක් වුණා. සුවිසාල තිරයක් මත නිරූපණය වෙන ජීවිතය වචනයෙ අර්ථයෙන්ම magic එකක් ව තිබුණා. මිනිස්සු ඒ අත්දැකීම සෑහෙන උත්කර්ෂයකින් අත්වින්දා. චිත්‍රපටයෙ නම යොදාගෙන තියෙන්නෙ සිනමාව නම්, මේ උත්තරීතර භාවයට පත්වීමේ  මිනිස් වෑයම අනුසාර කරගෙන.

අමතර යමක් විදිහට, බයිබලයේ එළිදරව්ව පොතේ, 17 කොටස - අපකීර්තිමත් වෛශ්‍යාව සහ 18  කොටස - බැබිලෝනියාවේ වැටීම යන කොටස් කියවා බැලුවොත් Babylon චිත්‍රපටය එක්ක මේ කොටස් අපූරුවට සම්බන්ධ වෙන හැටි ඔබට දැකගන්න ලැබේවි. 17 කොටසේ තද රතු වස්ත්‍රයක් හැඳගත් වෛශ්‍යාව සහ Margot Robie රඟපාන චරිතයේ ආරම්භක කොටස් කිහිපයත් (පෝස්ටරයේ සඳහන්වන දර්ශනය ඇතුළත්), දුරාචාරය සහ පව්කාරකම නිසා වැනසී යන බැබිලෝනියා පුරය ගැන 18 කොටසේ එන සඳහන් කිරීම සහ Babylon චිත්‍රපටයෙ නිරූපිත Hollywood පුරයත් අතර සහසම්බන්ධතාවයක් ඔබට පෙනේවි.

Babylon කියන්නෙ නම වගේම වැඩක් විදිහටත් දැවැන්ත ප්‍රයත්නයක්. සමහර විට මීට සමගාමීවම තිරගත කෙරුණ Avatar චිත්‍රපටයේ සෙවණැල්ලෙන් Babylon වැසීගියාදෝ කියල හිතෙනව. Babylon කියන්නෙ Whiplash, La La Land වගේ හොලිවුඩයේ සුපිරි ගණයට ඇතුළත් කරන්න පුලුවන් චිත්‍රපට බිහිකරපු Damien Chazelle ගේ අධ්‍යක්ෂණයක්. දැනට අඩු වයසින්ම, හොඳම අධ්‍යක්ෂවරයා විදිහට ඔස්කාර් සම්මානය හිමිකරගත් පුද්ගලයා විදිහට වාර්තා වෙන්නෙ Damien Chazelle තමයි. ඒ 2016 දි La La Land වෙනුවෙන්. Babylon  චිත්‍රපටයට ලැබුණ ප්‍රතිචාර එක්කො චිත්‍රපටය ඉහළින් වර්ණනා කරන ඒව, නැත්නම් දරුණු ගණයේ විවේචන. තමන් ඕනෑම වර්ගයේ සාධාරණ විවේචනයකට එකඟ බවයි Damien කියා තිබුණේ. Babylon ගුණ වර්ණනා කරන්නන් වැඩිවශයෙන් කියා තිබුණෙ එහි දැවැන්ත පසුතල, කැමරාකරණය, Brad Pitt, Margot Robie, Tobey Maguire ගේ රඟපෑම්, පැරණි Jazz, Blues සංගීත රටාවන් අනුව නිමැවුණු, Justin Hurwitz ගේ අති විශිෂ්ඨ ගණයේ පසුබිම් සංගීතය වැනි දේවල්. Babylon වැඩිවශයෙන් විවේචනයට ලක්වුණේ පැය තුනක් තිස්සේ අනවශ්‍ය තරම් දීර්ඝ, අයාලේ යන සිද්දිදාමයක් බව හඳුන්වමින්. චිත්‍රපටය ආදායම් අතින් අසාර්ථක වීම සහ සම්මාන උළෙලවල වැඩිවශයෙන් නිර්දේශ නොලැබීම වැනි කාරණාවලින් කියවෙන්නෙ බහුතර සිනමාලෝලීන්ට,  විචාරකයන්ට Babylon හරි ආකාරයෙන් කියවාගත නොහැකිවූ බව ද කියන ප්‍රශ්නය අවසානෙ ඉතිරි වෙනව.



Monday, February 6, 2023

The Pale Blue Eyes (2022)

රහස් පරීක්ෂක කතා කලාව කියන්නෙ අද ලෝකයෙ වැඩි දෙනෙක් ඉතාම ආසාවෙන් කියවන ප්‍රවර්ගයක්. ඒඩ්ගාර් ඇලන් පෝ, ලෝකයෙ මුල්ම රහස් පරීක්ෂක කතා ලියූ ලේඛකයා විදිහට සැලකෙනව ( මුල්ම නූතන රහස් පරීක්ෂක කතාව විදිහට සලකන්නෙ 1841 ඇලන් පෝ ලියුව The Murders in the Rue Mourgue) ඒ් වගේම මුල්ම විද්‍යා ප්‍රබන්ධ ලියූ ලේඛකයා විදිහට ගැනෙන්නෙත් ඔහුමයි. අද අපි කියවන කෙටි කතාව වැදගත් සාහිත්‍යාංගයක් බවට දියුණු කරන්න පුරෝගාමී වුණු ලේඛකයෙක් ඔහු. සාහිත්‍ය විෂයයක් විදිහට ඉගෙන ගන්න කෙනෙක් නම් අනිවාර්යයන් ඔහු ගැන අසා ඇති. සාහිත්‍ය නම් විෂයය ඇතුළෙ ඔහු ඒ් තරම් මගහැරගන්න නොහැකි චරිතයක්. ඔහුගෙ කතාවල වැඩි වශයෙන්ම තිබුණෙ ත්‍රාසය, භීතිය, කියවන්නාගෙ ඇග කිළිපොළා යන බිහිසුණු අත්දැකීම්. සමහරු පෝ ව හඳුන්වනව හොරර් ශානරයේ පියා කියල. හොරර් චිත්‍රපට නවකතා බිහිවෙන්න මූලික පදනමක් වුණා පෝ විසින් ඇතිකරපු භයානක රසය දනවන සාහිත්‍ය. ඇලන් පෝ ගේ ජීවිතයත් ඔහුගේ සාහිත්‍ය වගේ වෙනම හදාරන්න වටින යමක්. ලිවීම පමණක් තම ජීවන වෘත්තීය කරගත්ත මුල්ම ඇමරිකානු ජාතිකයා ඇලන් පෝ බවයි සමහර මූලාශ්‍රවල සදහන් වෙන්න. ඒ අතින් ඇලන්පෝ කියන්නෙ වෑන්ගෝ වගේ ජීවිතය පරදුවට තබල කලාවේ නියැලුණු අපූර්ව මනුශ්‍යයෙක්.

ඇලන් පෝ තමන්ම රහස් පරීක්ෂකයෙකු බවට පත්කරන චිත්‍රපටයක් ආව 2012 අවුරුද්දේ The Raven නමින්. John Cusack තමා පෝගෙ චරිතය රගපෑවෙ. මෙතනදි වුණේ ඇලන් පෝ තමන්ගෙ කෙටිකතාවල සඳහන් වෙලා තියන ආකාරයටම හැබෑවටම මිනීමැරුම් සිදුකරන අපරාධකාරයෙක් සොයා යෑම. පෝ රහස් පරීක්ෂක කම කරන තවත් චිත්‍රපටයක් 2022 අවුරුද්දෙ තිරගත වුණා. ඒ The Pale Blue Eyes. ඇලන් පෝ නිව්යෝක් නගරෙ බටහිර කොටසේ වෙස්ට් පොයින්ට් නම් හමුදා අභ්‍යාස විද්‍යාලයෙ කැඩෙට් භටයෙක්ව ඉගෙනුම් ලබද්දි සිදුවුණු යමක් විදිහටයි චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. මතක විදිහට පෝ මුල්ම කවිපොත පළ කරන්නෙ වෙස්ට් පොයින්ට්වල ඉද්දි. විද්‍යාලය ආශ්‍රිතව සිද්දවෙන මිනීමැරුම් කිහිපයක අබිරහස විසඳන්න ඕගස්ට් ලැංග්ඩෝර් නම් අතිදක්ෂ රහස් පරික්ෂකයා වෙස්ට් පොයින්ට් වලට එනව. මෙතනදි ඕගස්ට් තමන්ගෙ සහායකයා බවට පත්කර ගන්නෙ ඒ විද්‍යාලයෙම ශිෂ්‍යයෙක්ව හිටපු ඇලන් පෝ ව. ගොදුරු පිටුපස්සෙ දුවන දඩයම් සතෙක් වගේ අපරාධකරුවන් සොයා යන සටන්කාමී ඕගස්ට් ට සාපේක්ෂව ඇලන් පෝ කියන්නෙ තියුණු බුද්ධියක් තියන, අමුතු අමුතු කල්පනාවන් ගෙන් පිරුණ, හුදකලාවේ ඉන්න සහ පසුබසින ගතියෙන් යුතු තරුණයෙක් විදිහටයි අපි දකින්නෙ. ඕගස්ට් සහ ඇලන් දෙපළ වෙස්ට් පොයින්ට් වල අමුතුම මිනීමැරුම් සිද්දකරන ඝාතකයන් අල්ලාගනීද කියන දේ චිත්‍රපටය බලන ඔබ වෙනුවෙන් ඉතිරි කරනව.

එක තැනක ඇලන් පෝ, ඕගස්ට් ලැන්ඩෝර් ට තමන් ගෙ හිතවත් බව ප්‍රකාශ කරන තැනක කියනව මම ඔබගේ නම බොහෝ කල් පවතින එකක් බවට පත් කරනව කියල. ඕගස්ට් නාමය සදාතනික එකක් වෙන්නෙ ඇලන් පෝ නිර්මාණය කරන ඕගස්ට් ඩුපින් නම් රහස් පරීක්ෂක චරිතය හරහා. සාමාන්‍යයෙන් කෙනෙකු නොදකින, දැක්කත් වැඩිදුර නොහිතන සියුම් දේවල් හොඳින් නිරීක්ෂණය කරමින් ඒ ඇසුරෙන් අපරාධරුවන් සොයා යන චරිතයක් විදිහටයි ඇලන් පෝ ඕගස්ට් ඩුපින් ව නිර්මාණය කරන්නෙ. මේ ලක්ෂණ ම තියන තව කෙනෙක් ගැන අහල පුරුදුයි නේ ද... ඔව් සර් ආතර් කොනන් ඩොයිල් සුප්‍රකට ෂර්ලොක් හෝම්ස් චරිතය නිර්මානය කර තිබෙන්නෙ ඇලන් පෝ ගෙ ඕගස්ට් ඩුපින් ආදර්ශයට ගනිමින්!

ක්රිස්ටන් බේල් ප්‍රධාන චරිතය රගපාන හින්ද Pale blue eyes බොහෝ දෙනෙක් බැලුව. බේල් ගේ රංගනය වගේම ඇලන් පෝ ගෙ චරිතය රගපාන හෙන්රි මිලින්ංග් තරුණ පෝ ව ප්‍රතිනිර්මාණය කිරීම සෑහෙන සාර්ථකයි කියල හිතෙනව. ඇලන් පෝ ගෙ තරුණ රෑපකාය ගැන කොහෙවත් සටහන්ව නැතත් ඔහු මෙන්න මේ වගේ වෙන්න ඇති බව හිතා ගන්න පුලුවන් ආකාරයට මිලිංග් පෝ ව ජීවමාන කරනව. මන්දගාමී සහ ගොතික් හොරර් ලක්ෂණ තියන Pale blue eyes අවසාන විනාඩි කීපය කතාව සම්පූර්ණ කණපිට හරවමින් නොසිතන ආකාරයේ පෙරළියක් ඇති කරන twist එකක් සමගයි අවසාන වෙන්නෙ. තරමක් මන්දගාමී වේගයකින් ගලායන murder/ mystery/ detective ගණයට ඇතුළත් කරන්න පුලුවන් gothic/ horror ලක්ෂණ තියන චිත්‍රපටයක් The Pale Blue Eyes. නමුත් ඇලන් පෝ fan කෙනෙකුට මේක ඉන් එහා ගිය අපූරු සිනමා අත්දැකීමක් බව සහතිකයි.