Friday, December 21, 2018

.................


උදේ සිට මුළු දවස
නොනවතී රළ නගන 
විඩාපත් කළපු දිය තුළ
දියව යයි සඳ එළිය..

කොහේදෝ මල් උයනක
සුවඳ සිහි කර කර
කඳු අතර තැනිතලා බිමක
නතරවේ මඳ සුළඟ...

එතෙර කළ නිම වූ පසුව 
අවසාන මගියා ද
තොටුපළක උරහිස මත
සීරුවට හිස තබයි ඔරුව






Thursday, December 20, 2018

Imaikka nodigal (2018) (භාෂාව - දමිළ)


Rastaasan එක්ක මේ අවුරුද්දෙ ඉන්දියානු සිනමාවෙ දැකපු තවත් හොඳම crime/thriller අත්දැකීමක් විදිහට හඳුන්වන්න පුලුවන් සිනමාපටයක් Imaikka nodigal. Rastaasan වල දැක්ක ප්‍රධාන දුර්වලකමක් තමා මුල ඉඳන් අරගෙන ආව කුතුහලය අවසාන භාගය වෙනකොට තරමක් දියාරුවී යාමත් දුෂ්ට චරිතය එතරම් ප්‍රභලව මතු නොවීමත්. Imaikka nodigal ඒ අතින් ඉදිරියෙන් තියන්න පුලුවන් කියල මම හිතන්නෙ. 

"රුද්‍රා" නමින් තමන්ව හඳුන්වාගන්න දාම ඝාතකයෙක් (serial killer) පසුපස්සෙ යන අංජලී නම් පොලිස් නිලධාරිනිය අවසානෙ මෙහෙයුමකින් රුද්‍රාව කොටු කරගන්න සමත් වෙනව. එතනදි අංජලී අතින් රුද්‍රා මිය යනව. මේ සිද්ධියෙන් අවුරුදු පහකට පස්සෙ ආයෙමත් රුද්‍රා ක්‍රියාත්මක වී ඇති බව පොලීසිය දැනගන්නව. වතාවක් නිශ්චිතවම මරාදැමුණු රුද්‍රා නැවතත් මතුවෙන්නෙ කොහොමද? Imaikka nodigal චිත්‍රපටය පටන්ගන්නෙ එතනින්.

සාමාන්‍යයෙන් මේ වගේ අභිරහස් ඝාතකයින් වටා නිර්මාණය වුණ චිත්‍රපට වල දි ඝාතකයා කවුද කියල ප්‍රේක්ෂකයා දකින්නෙ චිත්‍රපටය අවසානෙ. නමුත් මෙතනදි ඝාතකයා කවුද කියල ප්‍රේක්ෂකයා මුල ඉඳන්ම දකිනව. එහෙනම් කුතුහලයක් ඉතිරි වෙන්න දෙයක් නෑ නේද කියා හිතෙන්න පුලුවන්. නමුත් එහෙම වෙන්නෙ නෑ. රුද්‍රා ගෙ චරිතය රඟදක්වන්නෙ සුප්‍රකට ඉන්දියානු සිනමා නිර්මාණකරුවෙක් වුණ "අනුරාග් කාශ්‍යප්", ඒ වගේම මෑතකදි ප්‍රේක්ෂකයන් අතරෙ සෑහෙන ජනප්‍රියත්වයට පත්වුණ "විජේ සේදුපති" මේකෙ සුළු චරිතයකට රංගනයෙන් දායක වෙනව. පොලිස් නිළධාරීනියගේ චරිතය නිරූපණය කරන්නෙ සුරූපී "නයනතාරා".

මුල ඉඳන්ම අපරාධකරුවාව දකින්න ලැබුණත් අවසානය කොහෙත්ම හිතාගන්න පුලුවන් විදිහේ එකක් නොවෙයි. ඒ plot twist එක ඇත්තටම සාර්ථකයි. Rastaasan එක්ක සසඳද්දී Imaikka nodigal අබිරහස් ස්වරූපයට වඩා ක්‍රියාදාම පැත්තට ටිකක් නැඹුරුතාව දක්වන බව තමා මට හිතෙන්නෙ මොනවා වුණත් crime / thriller වර්ගයේ රසිකයන්ට නම් මේක හොඳ සිනමා අත්දැකීමක් වේවි.






Monday, December 17, 2018

Koode (2018) (භාෂාව - මලයාලම්)


Koode ගැන කෙටියෙන් කියනව නම් මලයාලම් සිනමාවෙ හෘදයාංගම ගුණය බොහොම ඉහළින් රැකගත්තු සිනමාපටයක් විදිහට හඳුන්වාදෙන්න පුලුවන් ඒවගේම මේක 2014 අවුරුද්දෙ මරාති හාෂාවෙන් නිර්මාණය වුණු Happy journey චිත්‍රපටයෙ ප්‍රතිනිර්මාණයක්. කේරළයේ නීලගිරි කඳුකරයේ අතිශය සුන්දර පරිසරය පසුබිම් කරගෙන රූපගත කර තියෙන මේ කතාව පුරාම අපිට දකින්න ලැබෙන්නෙ ඇහැට ප්‍රිය බොහොම සෞම්‍ය රූප රාමු පෙළක්. Violence මතු වෙන අවස්තා කීපයක් තිබුණත් ඒ හැම තැනකදිම අවම වශයෙන් violence යොදාගෙන තිබුණා. කතාව ගැන වැඩි විස්තරයක් කියන්නෙ නෑ. මූලිකවම චිත්‍රපටය ඇතුලෙ කතාකරන්නෙ මනුශ්‍ය බැඳීම් ගැන. සහෝදර බැඳීම්, ප්‍රේමාන්විත බැඳීම්, ගුරු ගෝල සම්බන්ධතාව, දෙමාපිය දූ දරු සම්බන්ධතාව, අතීත මතකයන් එක්ක මේ දේවල් ජීවිතයට බලපාන ආකාරය තමා අපි koode චිත්‍රපටයෙන් දකින්නෙ. මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය වුණ ජෝෂුවා ගෙ සහෝදරිය ජෙනී එක තැනකදි කියනව අපි කරන කියන හැමදේටම බලපාන මූලික හේතු දෙකක් තියන බව. ඒ අපි ඒ දෙය කල යුතු නිසා ඒ කියන්නෙ යුතු කමක් ඉටුකිරීම වශයෙන් සහ අනිත් කාරණය තමා අපි ඒ දෙයට ආදරය කරන නිසා, අපි ඒ දෙයත් එක්ක බැඳිල තියන නිසා. ඉතින් මේ යුතුකම් සහ ආදරය අතරෙන් ගලාගෙන යන ජීවිතය දිය සායම් චිත්‍රයක් වගේ සුන්දරව ප්‍රතිනිර්මාණය කරන සිනමාපටයක් විදිහට koode හඳුන්වන්න පුලුවන්. ඒවගේම සංගීතයත් ඒ ඒ අවස්ථාවන්ට අනුව හැඟීම් දැනවෙන අයුරින් යොදාගෙන තිබුණ. සිනමා රසිකයන් අතරෙ බොහොම ජනප්‍රිය මලයාලම් චිත්‍රපටයක් තමා premam කියන්නෙ. Premam බැලුවා නම් රස වින්දා නම් මේ සිනමා නිර්මාණයත් මගහැරගන්න එපා කියලයි කියන්න තියෙන්නෙ. ඒ හැර හදවතටම දැනෙන චිත්‍රපටයක් බලන්න කැමති ඕනෑම කෙනෙකුට මේක ඉහළින් ම නිර්දේශ කරනව.





Pariyerum Perumal (2018) (භාෂාව - දමිළ)

2018 කියන්නෙ ඉන්දියානු සිනමාවට බොහොම හොඳ අවුරුද්දක් බව තමා පේන්න තියෙන්නෙ. විශේෂයෙන් දකුණු ඉන්දියානු සිනමාවෙ, ප්‍රේක්ෂකයන් අතරෙ ජනප්‍රියත්වයක් දිනාගන්න සමත් වුණු වගේම ප්‍රබල කතා පුවත් සහිත සිනමාපට කීපයක්ම එකපිට තිරගත වුණා. Pariyerum Perumal කියන්නෙ ඒවගෙ ඉතාම හද කම්පා කරවනසුළු අත්දැකීමක් අරගෙන එන සිනමා නිර්මාණයක්.

චිත්‍රපටයෙ කතාව කෙටියෙන් මෙහෙමයි. Pariyerum Perumal ඉන්දියාවෙ බොහොම දුෂ්කර ගමක වාසය කරන තරුණයෙක්. මේ ගමේ අයගෙ විෂේශත්වය තමා ඒ හැම කෙනෙක්ම පහත් යැයි සම්මත කුලයකට අයිති අය වීම. Perumal ඉගෙනීමට දක්ෂයෙක්. එයාගෙ එකම අරමුණ හොඳට ඉගෙනගෙන නීතීඥයෙක් වෙන එක. ඉතිං Perumal ට නීති විද්‍යාලයට ඇතුලුවෙන්න හැකියාව ලැබෙනව. Perumal ට ලොකුම ගැටලුවකට මුහුණදෙන්න වෙන්න ඉන්පස්සෙ. මොකද නීති විද්‍යාලෙ ඉගැන්වීම් කටයුතු කරන්නෙ සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන්. කොච්චර හොඳට ඉගෙනගත්තත් Perumal ගෙ ඉංග්‍රීසි දැනුම බොහොම දුර්වලයි. මෙහෙම අසරණ වෙලා ඉන්න වෙලාවක තමා කාන්තාරෙකට වැටෙන පොද වැස්සක් වගේ Perumal ට ජ්‍යෝතිකා එහෙම නැත්තම් ජෝ ව මුණගැහෙන්නෙ. ජෝ , Perumal ට ඉංග්‍රීසි ඉගෙනගන්න උදව් කරනව, ටිකෙන් ටික මේ සම්බන්ධතාව මිතුරු කමකට එහා ගිය තැනකට එනව. ජෝ, අයිති වෙන්නෙ සාමාන්‍යයෙන් උසස් කුලයකට, Perumal ගැන දැනගන්න ජෝ ගෙ තාත්තා Perumal ව ජෝ ගෙන් ඈත් කරන්න උත්සහ කරනව. මේ අතරෙ, කුලය නිසා නීති විද්‍යාලය ඇතුලෙත් Perumal ට නොයෙක් කරදර වලට මුහුණ දෙන්න සිද්දවෙනව. ඉතින් අවසානෙ Perumal ට මොකක් වේවි ද? 

ජාතිය, කුලය මුල් කරගෙන මිනිස්සුන් පීඩාවට පත්කිරීමේ අමානුෂික ස්වභාවය මේ චිත්‍රපටයෙ බොහොම අනුවේදනීය ආකාරයෙන් පෙන්නා දෙනව. ඇත්තටම ඒ සංවේදීකම එක්ක මේ චිත්‍රපටය බලන ඕනෑම කෙනෙකුගෙ ප්‍රාර්ථනාව තමා ඒ පටු බෙදීම් සමාජෙන් තුරන්වෙලා යන්න ඕන කියන එක. යම් ජාතියක් නිසා, කුලයක් නිසා මනුස්සයෙකුට තවත් මනුස්සයෙක් "මනුස්සයෙක්" විදිහට දකින්න බැරිනම් ඒ ජාතිය මොකටද , ඒ කුලය මොකට ද...!
සාමාන්‍යයෙන් දමිල චිත්‍රපට නොබලන කෙනෙකුරට වුණත් මේක මගහැර නොගත යුතු සිනමා අත්දැකීමක් බව තමා කියන්නෙ





Tuesday, November 27, 2018

ඉතිං ඔබ මෙතැනින් නික්මෙන්න.


ඉතිං ඔබ මෙතැනින් නික්මෙන්න. 

ඇස් අගින් බේරී
කොපුල් රූරා ගලන
සීතලම කඳුළකට
එපා තව ඉඩ දෙන්න. 

තබා කෙටි පියවර
මෙතෙක් කල් පැමිණි දුර
මතක විතරක් 
ඇතිය මට සැනහෙන්න..

රෑ අහස වසා ගෙන
සිහින් එළි පතුරවන
දහස් ගණනක් තරු වලට
ඔබේ උවනත දෙන්න..
ඉතිං මට පුලුවන්
සඳ නොමැති හැම රෑක
ඔබේ රුව දැකගන්න...

කඳුවළල්ලෙන් එහා
ලොවක් ඇත මඟ බලන්
යා යුතුයි ඔබ ඒ වෙතට
දැන් දැන් ම..

නොකියාම තව යමක්
හැරී නොබලා වරක්
සුළඟ සේ එක්වරම
හැරයන්න..



96 චිත්‍රපටය නැරඹීමෙන් පසු ඇති වුණ සිතුවිල්ලකි.






Friday, November 23, 2018

ඔයා මගේ අයරින් ඇඩ්ලර්..

ඔයා මගේ අයරින් ඇඩ්ලර්..

දහදිය බිඳිති කෙහෙරැළි
වත්සුණු, රතැති තොල් පෙති
පසුපස හඹා දිවයන
හෝම්ස්මය දෑසකින්
සැඟවී පළා යන..

අහසද පොළව ගැටලන
හිස රිදුම්දෙන බමවන
මහා අබිරහස් මන්තර
එක හිනාවක හංගන..

කලබල බමර ගුමු ගුමු
මල්සර හී ද විස තුඩු
අසල ඇස් වසා තනිවන
තනිවම මොනවදෝ මුමුණන..

හදවතේ
අඳුරු අවකාශේ
අහුමුළු පුරා ඇවිදින..
සියුම් පිය සටහන්
මතකයේ තැනින් තැන රඳවන..

සීරුවට ගොතාගත් සිතුවිලි
හැඩි කර දමා දිවයන
දිවගොස් කොහේදෝ සැඟවෙන..

ඔයා මගේ අයිරින් ඇඩ්ලර්
හීනෙනුත් මට හිනැහෙන
මට කවදාවත් ම නොලැබෙන...


අයරින් ඇඩ්ලර් -  ශර්ලොක් හෝම්ස් කථා වල මුණ ගැසෙන හෝම්ස් පවා පරාජය කළ, ඔහු ගේ විශේෂ ගරුත්වයට නතු වූ එකම කාන්තාවයි.




Monday, November 19, 2018

සියලු දෑ සැලසුම් කල පරිදි සිදුවිය යුතු ය.


ගිවිසුම් ප්‍රකාරව
සත්වෙනි සඳෙන් පසුව
සියලු දෑ සැලසුම් කල පරිදි සිදුවිය යුතු ය.

ඒ අනුව..

වදනතර බොහෝ දිගු විරාම තැබිය යුතු ය.
විශේෂණ පද ගලවා වීසි කළ යුතු ය.
මුදු වදන් හලා ඉවත් කල යුතු ය.
හඬ මදක් වැඩි කර සිනාසිය යුතු ය.
දුටුවත් නොදුටුවා සේ සිටිය යුතු ය.
ඇසුණත් නෑසුණා සේ සිටිය යුතු ය.
ලැවැන්ඩර පුසුඹ ඉවසිය යුතු ය.
රාත්‍රියක් දෙකක් නිදි වැරිය යුතුය
පිටු පණස් හතරක ඉතා දිගු ලිපියක් ලිවිය යුතු ය.

අවසන...
සූර්‍යයන් සතක් පායා
මුරුගසන් වරුසා වැස
ලෝකය මිය යා යුතු ය....

ඉක්බිතිව...
චන්ද්‍රයන් දහසකට පසුව
නර කෙස් පෑදුණ
උදරය නෙරා විත්
සම රැළි වැටුණ
කෙට්ටු කෘශ මිනිසෙක්
වැසුණු කවුළුවක් අද්දරට වී
කවියක් කුරුටුගාමින් සිටිය යුතු ය..





Tuesday, November 13, 2018

නැත නමුත් ඇත

නොයමි යළි
කිසිදින
ඒ පටු මාවතේ
තනිවම..

නොයමි
බස්‍ රථවල
පිටුපස අසුන් වල..

කොයිතරම්
මල් පිපුණට
මග හරිමි උද්‍යානය..

ඇසෙයි
ළඟ ළඟ ම
ඇවිද එන පියවර හඬ..

දැනෙයි
උරහිස මත
සියුමැලි කෙහෙ කැරැල්ලක්
දැවටෙන බව..

මුමුණයි
කෙනෙක්
මන්ද්‍ර ස්වරයෙන්
යම් දෙයක් කණට කර..





Monday, November 12, 2018

Moonrise Kingdom (2012)




චිත්‍රපටයක් අවසානෙ ඇයි එහෙම වෙන්නෙ.. කියල හිතුණ අවස්ථා කීපයක් තිබුණ. බොහෝවිට එහෙම වෙන්නෙ ඒ චරිත වලට අපි ආසක්ත වෙන ප්‍රමාණය අනුව කියල මම හිතන්නෙ. අපි හැමකෙනෙක්ම තියනව අපිටම උරුම වුණ වේදනා කලාපයක්. මොකක් හරි නිර්මාණයක් මේ කලාපය එක්ක සමපාත වෙනකොට අපි ඒ නිර්මාණය එක්ක හදවතින් බැඳෙන්න පටන් ගන්නව. මේ ඉන්නෙ අපිම නේද කියල චිත්‍රපටයක චරිත වල මුහුණ අතරේ තමන්වම දකිනව. ඉතින් මේක මීට වඩා යහපත් විදිහට කෙළවර වෙන්න ඇයි බැරි. 'ඉක්බිති සියල්ලෝම සතුටින් විසිර ගියහ" කතන්දර නම් හැබෑ ජීවිතේට අදාළ වෙන්නෙ බොහොම අඩුවෙන්. ඒක ජීවිතේ දිහා අසුබවාදීව බැලීමක් නොවෙයි. බොහෝ විට ඒක තමයි සිද්ද වෙන්නෙ. ඒ තමයි යථා ස්වභාවය. ඒත් පුංචි බලාපොරොත්තුවක් අපිට ඉතිරි කරගන්න පුලුවන් මේ හැම දෙයක්ම යහපත් විදිහට වේවි කියල. ඒ බලාපොරොත්තුවේ පුංචි හරි ආලෝකය තමා ගොඩක් ජීවිත මෙහෙයවන ගාමක බලය වෙන්නෙ. 



Moonrise kingdom බොහොම ළාබාල කොල්ලෙකුගෙයි කෙල්ලෙකුගෙයි (Sam, Suzie) ප්‍රේමණීය වීරචාරිකාවක් (Romantic Adventure) මේ පසුබිමෙන් ගලායන තවත් ටිකක් පරිණත ප්‍රේමකතාවක් අපි දකිනව. සෑම් සහ සුසී මේ දෙන්නාම එකම විදිහකට පීඩාවට පත් වුණු අය. ඒ කියන්නෙ දෙමව්පියන් වත්, සමාජයෙන් වත් ඒ අයව හඳුනාගන්නෙ නෑ. මේක නිතර දකින්න ලැබෙන කාරණාවක්. බොහෝ අය පෙළඹෙන්නෙ තමන්ගෙ දරුවන්, හිත මිත්‍රයන් තමන් හදාගත්ත රාමුවකට හිර කරල තියන්න මිස ඒ අය ඒ විදිහටම හඳුනාගන්න උත්සහ කරන්නෙ නෑ. විශේෂයෙන් දෙමව්පියන්ගෙ මේ ක්‍රියාකලාපය හින්ද අගතියට පත් වෙන්නෙ එ අයගෙම දරුවන්. බොහෝ විට දෙමව්පියන්ටත් තමන්ට ලැබෙන උරුමය අනුව තමා ගතානුගතිකව තමන්ගෙ දරුවන්වත් හැඩගස්වන්න උත්සහ කරන්නෙ. Sam සහ Suzie මේ හැම දේකින්ම මිදිල ඔවුන්ගෙම ලෝකයක් හොයාගෙන පලායනව. මේ නෑඹුල් යෞවන ප්‍රේමය ඒ අ‍ත්දැකීම ඇති, නැත්නම් ඊට කිට්ටුවෙන් යන අත්දැකීම් ඇති කාටත් චිත්‍රපටය එක්ක බැඳෙන්න සාධකයක් වෙනව. අනික් අතින් කිසිදාක නොලැබෙන, තමන්ගේම කර ගන්න බැරි, දුරින් ඉඳන් එකිනෙකා දිහා බලන් ඉන්න ප්‍රේමයක් අපි දකිනව. ඒක ටිකක් පරිණත අවස්ථාවක් කියන්නෙ එකිනෙකා අයිති කරගැනීමෙන් ඒ ප්‍රේමය කිසිදාක පරිපූර්ණත්වයට පත්වෙන්නෙ නැති බව ඔවුන් දන්නව. තමන් ඉන්න සීමාව ඇතුලෙ ඉඳගෙනම ඔවුන් ජීවිතය බෙදාහදා ගන්නව. ඒක ප්‍රේමයේ අහිමිවීම කියන සිදුවීම ඇතුලෙ කාටත් තමන්ගෙ කරගන්න පුලුවන් තත්ත්වයක්.



ප්‍රේමය කියන කාරණය පැත්තකින් තිබ්බම පුංචි කාලෙ අපි රොබින්සන් අන්දරය, පන්පසිඳුවන් වගේ කතා බලල ලැබුව රසවින්දනය ආපහු ලබන්න පුලුවන් නිර්මාණක් විදිහට Moonrise kingdom හඳුන්වන්න කැමතියි. ඒ කාලෙ අපි හිතින් කල වීර ක්‍රියා, කැලෑ ඇතුලෙ ඇවිදල අතරමං වීම්, ගස් උඩ ගෙවල්, යාලුවො කණ්ඩායම් එකතුවෙලා කරන පෙරළි, මේව ආයෙමත් අපේ ඇස් ඉස්සරහපිට මැවෙනව. ඉතා සුන්දර පසුතල, සංගීතය, පුංචි උන්ගෙ වීරක්‍රියා, මේව එක්ක බැලුවම Moonrise kingdom බොහොම ආකර්ශනීය සිනමා නිර්මාණයක් විදිහට හඳුන්වන්න පුලුවන් 





Tuesday, November 6, 2018

ඒ අත්ල මය මේ


ඒ අත්ල මය මේ
අත්වැරැදීමකින් දවසක්
යන්තමින් ගැටුණ...

ඒ අත්ල මය මේ
හිටිවනම නොසිතුසේ
උනුන් හා පැටලුන...

ඒ අත්ල මය මේ
දෙනෝදහසක් මැද
රහසේම සිපගත්...

ඒ අත්ල මය මේ
දබරැඟිල්ලෙන් සියුම් ලෙස
රේඛා එකින් එක පිරිමැදි...

ඒ අත්ල මය මේ
අවසන් වතාවට
සමුගනු පෙර
දැඩිව අල්ලාගත්...






Monday, November 5, 2018

අතුරු මාවත් දෙකක්



මඳ අඳුර සමඟ ළා සිහිලසම රැඳුන
දුර ඈත ලඳු බිමේ තුරු සෙවණ අතර
දම් පාට කැලෑමල් පිපී ඇති තැනක
අතුරු මාවත් දෙකක් මුණගැසී තිබිණ..

මල් සුවඳ සුළඟ හා මුහු වුණේ එතැනිණි 
මත් බිඟුන් කැළ තුටුව පියැඹුවේ එතැනිණි
සීත උල්පත් කඳුරු උනන්නේ එතැනිණි
ගී ගයන සියොත් කැළ නික්මුණේ එතැනිණි

මිදී මහ මාවතෙන් පැමිණ මේ බෝ දුර
මිනිස් ඇස නොගැසෙනා සීත ඉම් පෙදෙසක
මෙතක් දුර පැමිණි දුක් කඳුළු හා මුසු කර
පිරිමැදුණි හදට හද ගැහෙන සම රිද්මෙට

ලං ලංව හමුවුවද උනුන් හා මෙලෙසට
ගමන නම් අතරමග හැකිද නවතින්නට
හැරෙන බව දැන ගෙන නැවත මහ පාරට
සිහින් සුසුමක් සෙමෙන් නික්මිණිය සුළඟට

මඳ අඳුර සමඟ ළා සිහිලසම රැඳුන
දුර ඈත ලඳු බිමේ තුරු සෙවණ අතර
දම් පාට කැලෑමල් පිපී ඇති තැනක
අතුරු මාවත් දෙකක් වෙන්ව ගොස් තිබිණ..





Saturday, November 3, 2018

වෙණ තත



ඒ සිනිඳු සුළැඟිල්ල සමග
තවමත් පෙමිනි
වරක් කම්පනය වී
නිහඬ වූ වෙණ තත..





Friday, November 2, 2018

The assassination of Jess James by the cowerd Robert Ford (2007)


අපි හරි කැමතියි අපිව හරි විශේෂ අය විදිහට හඳුනාගන්නවට . ඕනෑම තැනක දි අනිත් අය අතරෙ තමන් හරි සුවිශේෂී කෙනෙක් කියල කැපිල පේනවට. අනිත් අය අපි ගැන කතා කරනවට. ෆේස් බුක් වගේ සමාජ ජාලා මාධ්‍ය වල, ඉන් පිටත සමාජයෙ මේ කාරණය දකින්න පුලුවන්. ඕනෑම විෂයය ක්ශේත්‍රයක් ගැන කාලයක් තිස්සේ නියැලී ඉඳීමෙන් ලබාගත්ත අත්දැකීම් , දැනුම, විශේෂ ප්‍රාගුණ්‍යය එක්ක මතු වෙන පුරෝගාමී චරිත අපි දකිනව සහ ඒ අය වටා ඒ සුවිශේෂීතාවයන් තමාට ආසක්ත කරගන්න උත්සාහ කරන පරිවාර පිරිසක් ගොඩනැගෙනව. අර පුද්ගලයා ඇසුරු කිරීමෙන් තමන් හරි වැදගත් කෙනෙක් විදිහට හඳුනානිවි කියල මේ අය හිතනව. මේ විදිහට තමන් හරි "පොරක්" කියල හිතාගැනීමෙ මානසිකත්වය අඩු වැඩි වශයෙන් අපි හැමෝම තුළ තියනව. Assassination of Jess James චිත්‍රපටයෙ මූලික සිද්ධි මාලාව ඇතුලෙ දකින්න ලැබෙන්නෙ මේ වගේ තත්ත්වයක් තමා.

Jess James (Brad Pitt) කියන්නෙ 1880 යුගයේ ඇමරිකාවෙ ජීවත්වුණ එක්තරා නමගිය අපරාධ කාරයෙක්. අපරාධ කාරයෙක් වුණත් පොදු සමාජය ඇතුලෙ ඔහු රොබින් හුඩ් වගේ වීරයෙක් විදිහටයි සැලකෙන්නෙ. Jess James ගැන කතා පොත් ලියැවෙනව, කවි සින්දු හැදෙනව, ඔහුගෙ රැස් වළල්ල අපරාධ ලෝකයෙත් ඉන් පිටත සමාජයෙත් විහිදිලා යනව. Bob (Casey Affleck) කියන්නෙ Jess ගේ ඥාති වෙන එක්තරා ළාබාල තරුණයෙක්. Bob ගේ විනෝදාංශය තමා Jess ගැන කරුණු එකතු කිරීම. සරලව කිව්වොත් Bob කියන්නෙ Jess ව අදහන්නෙක්. Jess ළඟ ඉඳීම Jess ගේ වැඩට උදව් වීම Bob ට නම් ලොකු වීරකමක්. මේ විදිහට Jess වගේ සමාජයේ කතා බහට ලක්වෙන කැපී පෙනෙන චරිතයක් වෙන්න, තද පොරක් වෙන්න තද බල උණක් Bob ට වැළඳෙනව. ඉතින් මේක කොතනින් කෙළවර වේවි ද..

The assassination of Jess James චිත්‍රපටය ආසාවෙන් බලන්න එක හේතුවක් වුණේ කැමතිම පිරිසක් රඟපෑමෙන් දායකවී තිබීම. (Brad Pitt, Casey Affleck, Sam Rockwell, Jeremy Renner) ..මේ හැම චරිතයක්ම විශේෂයෙන් Sam Rockwell බොහොම ආකර්ශනීය රංගනයක යෙදෙනව. ඒ වගේම බොහොම සිත්ගන්නාසුලු පසුතල මේ චිත්‍රපටයෙ යොදාගෙන තිබෙනව. ආරම්භයෙත්, අවසානයෙත්, අතරමැද අවස්ථා කීපයකත් Narrator කෙනෙක් කතාව කියන ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම කතාව ඇතුලෙ තව අරුත් මතුකරන විදිහට යොදාගෙන තිබුණ විශේෂයෙන් අවසානෙ. අපරාධ ලෝකය මුල්කරගෙන නිර්මාණය වුණත් චිත්‍රපටයෙ ක්‍රියාදාම ස්වරූපයකට වඩා දකින්න ලැබෙන්න නාට්‍යමය ස්වරූපයක්. ඒ නිසා හුදු ගහමරා ගැනීම් වලට වඩා ටිකක් ගැඹුරට යන කතාවක් තමා මෙතනදි දකින්න පුලුවන්.12 years a slave, Dijango Unchaind, Mudbound, Lincoln, The Raven වගේ 19 වෙනි සියවසේ ඇමරිකාව පසුබිම් කරගෙන හැදුනු චිත්‍රපට බලන්න කැමති අය මේකට ඉතාම ප්‍රිය කරාවි.






Tuesday, October 30, 2018

දවසක් ඒවි


ළඟ ම ළඟ කටහඬක් වුණත්
දුරකථන මුවකින්
බොහෝ දුර වී ඇහෙන
දවසක් ඒවි
දවසක...

රත් වළාකුළු 
අහසේ
පාවි පාවී තියේවි..

ඉර වුණත්
ඇඟිලි ගැන ගැන ඇවිත්
මුහුදු පතුලට පැන
නිවේවි...
හැන්දෑව..
ඔහේ ගතවේවි...

නික්ම ගිය තැන්
මුණගැහුණ තැන්
පහුකර
පහුකර 
යන්න සිදුවේවි..
යම් දෙයක් ඇති බව
මේ අතු අගිසි වල
බිම හැලුණු මල් වල
උද්‍යාන බංකු වල
සමහරවිට කවියක් දෙකක් ලියවේවි...
(සමහර විට එහෙමත් නැති වේවි)

සේපාලිකා ගස්
ලිය මඩුළු අගිස්සෙන්
බේරි බේරි
හඳ එළිය
අමාවක දාටත්
පෙනේවි...

ඉතින් 
දවසක
ළඟ ම ළඟ කටහඬක් වුණත්
දුරකථන මුවකින්
බොහෝ දුර වී 
ඇහෙන
දවසක් ඒවි...





Sunday, October 28, 2018

Citizen kane (1941)


ගුවන් විදුලි නාට්‍ය රචනය, නිශ්පාදනය සහ වේදිකා නාට්‍ය නිර්මාණයේ යෙදී ඉන්න තරුණයෙක් වුණ Orson Welles ට RKO Radio Pictures සමාගම අනුග්‍රහයෙන් චිත්‍රපටයක් නිර්මාණය කරන්න අවස්ථාවක් ලැබෙනව. මුලින්ම චිත්‍රපටයකට ඔහු ඉදිරිපත් කරන යෝජනා දෙවතාවක්ම ප්‍රතික්ෂේප වුණත් තුන් වෙනි පාර ඔහුට අනුමැතිය ලැබෙනව. ඒ අනුව ඒ වෙනකොට අවුරුදු 25 ක් වුණ මේ තරුණයාගෙ තිර රචනාවෙන්, අධ්‍යක්ෂණයෙන් සහ ප්‍රධාන චරිත නිරූපණයෙන් නිර්මාණය වුන Citizen Kane චිත්‍රපටය 1941 අවුරුද්දෙ මැයි මාසෙ 1 වෙනිදා මුල් වතාවට තිරගත වෙනව. මුල් අවුරුද්දෙ ඒ තරම් හොඳ ප්‍රතිචාර නොලැබුණත් Citizen Kane 1942 ඔස්කාර් සම්මාන උළලේ ප්‍රධාන සම්මාන නවයකටම නිර්දේශ වෙනව. Orson Welles හොඳම රංගනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය මේ අංග තුනටම එකවර සම්මානයට නිර්දේශවෙනව. ඔහු හොඳම තිර රචනයට හිමි සම්මානය දිනාගන්නව. පසු කාලීනව Citizen Kane චිත්‍රපටයට විශාල වශයෙන් ප්‍රේක්ෂක, විචාරක ආදරය ලැබෙනව වගේම ඇමරිකානු චිත්‍රපට ආයතනය (AFI) සකස්කරන, එදා මෙදා තුර හොඳම ඇමරිකානු චිත්‍රපට සියයේ ලයිස්තුවේ පළමුතැන Citizen Kane හිමිකරගන්න සමත්වෙනව. 

චිත්‍රපටයෙ කතාව සරලව මෙහෙමයි. Charles Foster Kane කියන්නෙ ඇමෙරිකාවේ ජීවත්වෙන කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඔහු ජීවත් වෙන්නෙ සුවිසාල වතුයායක් මැද තියන මන්දිරයක. මේ වතුයාය පෞද්ගලික සත්වෝද්‍යානයක්, යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පය අනුව හැදුන ගොඩනැගිලි, කලා නිර්මාණ, අලංකාර උද්‍යාන, මේ හැම දෙයකින් ම සමන්විතයි. සේවක සේවිකාවන් විශාල පිරිසක් මැද වයසක කේන් ජීවත් වෙන්නෙ තනිවමයි. දවසක් හදිසියෙම කේන් මිය යනව. මරණෙට කලින් "Rosebud" කියල එක වචනයක් කේන් ගේ කටින් පිටවෙනව. මේ සිද්ධියට මාද්‍ය වලින් විශාල ප්‍රචාරයක් ලැබෙනව. මොකක්ද මේ Rosebud කියන්නෙ? කිසිම කෙනෙකුට ඒ ගැන වැටහීමක් නෑ. ඇත්තටම ඒක අභිරසක්. එක්තරා මාද්‍යවේදියෙක් මේ අභිරහස හොයාගෙන යනව. කේන් ලඟින් ආශ්‍රය කරපු අය හොයා ගිහින් Rosebud ගැන හෝඩුවාවක් ලබාගන්න ඔහු උත්සහ කරනව. මේ අතර පසුබිමෙන් කේන් ගේ ජීවිත කතාව අපිට දකින්න ලැබෙනව. කේන් උපදින්නෙ කොළරාඩෝ ප්‍රාන්තයේ බොහොම දුප්පත් යුවලකට දාව යි. පියාගේ සැඩ පරුෂ ගති ස්වභාවයන් නිසාත්, දරුවාට වැඩි දුර අද්‍යාපනයක් ලබාදෙන්න තරම් හැකියාවක් නැති නිසාත් කේන් ගේ අම්මා කේන්ව ධනවත් බැංකුකරුවෙක් ට විකුණනවා. මේ විදිහට කුඩා වයසෙදිම කේන්ට දෙමාපිය ආදරය අහිමි වෙනව. උසස් අධ්‍යාපනයත් සම්පූර්ණ කරන කේන් පුවත්පත් මුද්‍රණකර බෙදාහරින ආයතනයක් පටන් ගන්නව. නව මුහුණුවරකින් තමන්ගෙ පුවත්පත වෙළෙඳ පොළට හඳුන්වාදෙන කේන් ටිකෙන් ටික තමන්ගෙ ව්‍යාපාර දියුණු කරගෙන ඉහළටම යනව. මේ අතර ඔහු ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්නව, විවාහවෙනව, ඒ දේවල් නැවත බිඳ වැටෙනව. කේන්ගේ සමීපතමයන්ගෙ මතක සටහන් ඇසුරින් ඔහුගෙ ජීවිත කතාව අපි ඉදිරිපිට දිග හැරෙනව. 

Citizen Kane චිත්‍රපටයෙ සුවිශේෂීතාවයන් අංශ ගණනාවකින් ම හඳුනාගන්න පුලුවන්. එක් කාරණයක් තමා කලින් සඳහන් කලා වගේ එය Orson Welles ගෙ පළමු නිර්මාණය වීම. ඒ වගේම මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිත රඟපාන කිසිම කෙනෙක් ඉන් පෙර කිසිම විදිහකින් සිනමාපටයකට රංගනයෙන් දායක වුණු අය නෙවෙයි. මේ චිත්‍රපටයෙ Kane ගේ අවුරුදු විසි ගණනක තරුණ වයසේ ඉඳන් ක්‍රමයෙන් වැඩිවියට ගිහින් මහළු වයස දක්වාම නිරූපණය කරන්නෙ Orson විසින්මයි. වයස අනුව පුද්ගල ස්වරූපය, කටහඬ, හැසිරීම් වෙනස් වීම ඔහු නිරූපණය කරන ආකාරය නම් විශිෂ්ඨයි. මුලින් සඳහන් කළා වගේ තිරගත වුණ මුල් යුගයේ දි Cities Kane ඒ තරම් හොඳ ප්‍රතිචාර ලබන්නෙ නෑ. ඒකට හේතුව චිත්‍රපටයට යොදාගෙන තිබුණ ක්‍රමවේද ඒ යුගයේ එතරම් ප්‍රචලිත වෙලා නොතිබීම. අඳුරු, ගුප්ත, අසුබවාදී නිර්මාණයක් විදිහට තමා ඒ යුගයේ බොහෝ දෙනා Citizen Kane හඳුනාගෙන තිබුනෙ. ඒත් පසුකාලීනව සිනමාවෙ තාක්ෂණවේදයෙන් වල දියුණුවත් එක්ක Citizen ට නිසි ඇගයීම් ලැබෙන්න පටන්ගත්ත.

Citizen Kane මේ තරම් සුවිශේෂී ඇයි කියන එක මේ වෙනකම් අපි කතා කරපු කාරණා වලින් පැහැදිලි කරගන්න පුලුවන්. ඒත් වඩා වැදගත් ම දේ තමා චිත්‍රපටයෙ අන්තර්ගතය. මනුස්ස ජීවිතේ යථා ස්වභාවය ඊට හිමි නියම පසුබිමක තියල නිරූපණය කිරීම. මේ කාරණය වර්තමානයෙ අපි ගතකරන තරඟකාරී ජීවිත රටාව එක්ක තියල සසඳා බලන්න පුලුවන්. මේක පරිහෝජනය මුල් කරගත්ත යුගයක්. ඒ කියන්නෙ අපිට අහන්න දකින්න ලැබෙන මාධ්‍යන්ගෙන්, සමාජයෙන් නිතරම අපිව යොමු කරන්නෙ පුලුවන් තරම් දේවල් රැස්කර ගන්න, අනවශ්‍ය වුණත් ලෝකෙට පේන්න දේවල් ගොඩගහල තියාගන්න ඒ එක්ක Kane ගේ ජීවිතය සසඳා බැලුවොත් ඔහු ගතකරන සියල් සපිරි ජීවිතයෙ කිසිම දෙයකින් ඔහුට අඩුවක් නෑ. ඒත් අපි දකින්නෙ විශාල වතුයායක් මැද දැවැන්ත මාළිගාවක ජීවත්වෙන ඇතුළාන්තය හිස් වුණ Kane කෙනෙක් ව. ඔහු පෙළන මහා පාලුව, මහා හිස් කම කිසිම දෙයකින් අඩු වශයෙන් ඔහුගෙ කිසිම සම්බන්ධතාවකින් පිරෙන්නෙ නෑ. මේ තමා ඔහුගේ ඛේදවාචකය. බොහෝ දුරට අපෙත් ඛේදවාචකය. අවසානෙ නරඹන්නාගෙ හද කම්පා කරවන තරම් මේ ජීවිත විවරණය නිසා තමා Citizen Kane විශිෂ්ඨ සිනමා නිර්මාණයක් බවට පත් වෙන්නෙ.

ඉතින් Rosebud අභිරහසට අවසානෙ මොකක්ද වෙන්නෙ? මාද්‍ය වේදියා එක තැනකදි කියනව වගේ. "එක වචනෙකට මොනවද කරන්න පුලුවන්? ඒක හරියට විශාල ප්‍රෙහෙලිකාවක එක කොටුවක් වගේ. එක වචනෙකින් පුලුවන්ද මනුස්සයෙකුගෙ මුලු ජීවිතයම විස්තර කරන්න?" ඒක ඇත්තටම එහෙම ද? චිත්‍රපටය බලන ඔබ ම තීරණය කරන්න





Friday, October 26, 2018

Her (2013)


සම්බන්ධතාවකින් ඔයා බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ? එහෙම විශේෂ දෙයක් නැති වෙන්න පුලුවන්. ජීවිතේ හරි පීඩාකාරී, බොහෝ දුර ඇවිදල අවසානෙ වෙහෙසට පත්වෙන සුලුයි. ඔයාට ඕන වාරු වෙන්න යමක්, ඔයාගේ වේදනාව වටහා ගන්න පුලුවන්, ඒ දේවල් බෙදාගන්න පුලුවන් යම් කෙනෙක්, විශ්වාසවන්ත බවක්. කාලයත් එක්ක මේ දෙය ඔයාගෙ ජීවිතේ කොටසක් බවට පත්වේවි. ඒ දෙය නිතර ඔයාට අවශ්‍ය වේවි, නැති අඩුව දැනේවි. ඔයාගෙ ජීවිතේට සමීපවෙන ඒ පුද්ගලයා භෞතික වශයෙන් මේ ලොකෙ නොපවතින කෙනෙක් නම් තත්ත්වය කොහොම වේවිද?

Her චිත්‍රපටය දිගහැරෙන්නෙ තාක්ෂණය මේ පවතින මට්ටමට වඩා දියුණු එක්තරා යුගයක වෙන සිදුවීම් මාලාවක් විදිහට. තියඩෝර් කියන්නෙ තමන් ගෙ බිරිඳ ගෙන් වෙන් වෙලා හුදකලාව ජීවත් වෙන මනුස්සයෙක්. තියඩෝර් ගෙ රැකියාව අපූරු එකක්. ඒ තමා ආදරණීයයන්ට තමන්ගේ හැඟීම් කියා ගන්න බැරි, ඒකට වෙලාවක් නැති අය වෙනුවෙන් ලියුම් ලිවීම. මේ විදිහට අනුන් වෙනුවෙන් ආදර කතා ලිව්වට තියඩෝර් ගෙ ජීවිතය ඇතුලෙ තමන්ගෙම කියල ආදරයක් නෑ. වෙන් වුණු බිරිඳ ගෙ මතකය ඔහුට ගෙන එන්නෙ වේදනාවක් පමණයි. මේ අතරෙ තියඩෝර් ට දකින්න ලැබෙනවා මනුස්සයෙක් වගේ හිතන්න පුලුවන්, සන්නිවේදනය කරන්න පුලුවන් බොහොම අපූරු මෙහෙයුම් පද්ධතියක් (Operating System). තියඩෝර් මේ මෙහෙයුම් පද්ධතිය තමන්ගෙ පරිඝණකයට ඇතුලත් කරනව. පරිශීලකයා ගෙ අවශ්‍යතාව අනුව මහෙයුම් පද්ධතියෙ ගැහැණු පිරිමි බව, සහ තව මූලික කාරණා කීපයක් නිර්මාණය කරගන්න පුලුවන්. ඉතින් අවසානෙ තියඩෝර් ඉදිරිපිට ඉන්නෙ සමන්තා නම් ගැහැණු කෘතිම බුද්ධියක්! සමන්තාට පුලුවන් කටහඬින් ඉරියව් වලින් මනුස්සයෙකුගෙ මනෝභාවයන් තේරුම් ගන්න, අත්දැකීම් වලින් ඉගෙන ගන්න, සරලවම කිව්වොත් සමන්තා කියන්නෙ ශරීරය පමණක් අහිමි ගැහැණියක්. ටිකෙන් ටික සමන්තා සහ තියඩෝර් අතර සමීප සම්බන්ධතාවක් ඇතිවෙනව. ඔහුගෙ දේවල් මෙහෙයවන්න උදව්වෙන තැන ඉඳන්, ඔහු දුකට පත්වුණු මොහොතකත් සනසන්න නිතර ළඟ ඉන්නෙ මේ කෘතිම බුද්ධියක් වුණු සමන්තා. ඉතින් මේ දෙදෙනාගෙ සම්බන්ධතාව කොයිතරම් දුරකට යාවිද, කොහෙන් මේ දේවල් කෙළවර වේවිද.. මේ දේවල් දැන ගන්න නම් චිත්‍රපටය බලන්න වෙනවා.

Her 2014 ඔස්කාර් සම්මාන උළලේ හොඳම චිත්‍රපට අතරට යෝජනා වෙනව ඒ අතර හොඳම තිර රචනයට හිමි සම්මානය ලබනව. ඇහැට බොහොම ප්‍රියමනාප වර්ණාවලියක් චිත්‍රපටයට භාවිතාකරල තියනව. ඒ වගේම පසුබිම් සංගීතයත් සිත්ගන්නා සුලුයි. තියඩෝර් කියන්නෙ තරමක් වැඩිපුර සංවේදී මනුස්සයෙක් විදිහට අපි දකින්නෙ. ඔහු උණුසුම් විනෝදකාමි චරිතයක් වුණත් මේ සංවේදී තාවන් නිසා ජීවිතේ සමහර තීරණාත්මක අවස්ථා ඔහුට මගහැරෙනව. චිත්‍රපටයෙ අවසානය මෙහෙම වේවි, නැත්නම් මෙන්න මේක තමා සිද්ධවෙන්නෙ කියල හිතන්න පුලුවන් ඉඟි වරින් වර දකින්න ලැබෙනව නමුත් ඒක හරියටම දැනගන්න පුලුවන් කතාවෙ අවසානය ලං වෙද්දි. කොහොම වුණත් ඒ අවසානයට මම කැමතියි. Drama/ Romance වර්ගයෙ චිත්‍රපට වලට කැමති අයට ආදරයෙන් වැළඳගන්න පුලුවන් නිර්මාණයක් විදිහට her චිත්‍රපටය හඳුන්වන්න කැමතියි.





මට හිමි තැන


ඔබට පුලුවනි
මේ විසල් හෙවණේ
වාඩිවී
ඈත නොරටක
කළු වලාකුළකට
කවි පබඳින්න..

කොහේ හෝ සිට
හමා එන
සුළඟකට
එකවි
විසි කර දමන්න..

මංමුලා වුණ
තුරු පතකටත්
පුළුවනි
මං වගේ 
පාව විත්
ඔබේ උරහිසේ
රැඳෙන්න..

ගිලිහෙන්න පෙර
මොහොතකට
කෙහෙරොදක
දැවටි දැවටී
හිඳින්න..

හීතලම හීතල
වැහිතුඩු
වදින 
පපුවෙ හරි මැද
ඒ තමා 
ඔබේ කවි
මං ගාව
නතර වෙන තැන..

කිසිවක්ම
නොපවතින
නැතිනම්
කිසිවක්ම
ඇති බවක් 
නොපෙනෙන
අන්ධකාරේ 
ගැඹුරු පතුලක
ඒ තමා
ඔබේ හදවතේ
මට හිමි තැන...






Monday, October 22, 2018

Exam (2009)


රැකියාවකට අයැදුම් කරන කෙනෙකුට ඒ සඳහා තමන් කොයිතරම් සුදුසුද කියා තෝරාබේරා ගන්න සම්මුඛ පරීක්ෂණයකට සමහර වෙලාවට තරඟ විභාගයකට මුහුණ දෙන්න සිද්ධවෙනව. මේ විදිහේ විභාග වලට පෙනී ඉඳල අත්දැකීම් ලබපු අයට ඒ ගැන අවබෝධයක් ඇති. මෙතනදි රැකියා අපේක්ෂකයන්ට පිළිතුරු ලබාදිය යුතු ප්‍රශ්න මාලාවක් සහ නියමිත කාලයක් ලබා දෙනව. Exam කියන්නෙත් මේ වගේ රැකියා අපේක්ෂකයන් පිරිසක් මුහුණ දෙන එක්තරා විභාගයක් ගැන නිමවුණු චිත්‍රපටයක්. චිත්‍රපටය ධාවනය වන පැය එකහමාරකට ආසන්න කාලයක් ඇතුලත එකම පසුබිමක සිද්ධ වෙන සිදුවීම් සමූහයක් තමා දකින්න ලැබෙන්නෙ. එහෙනම් ඒක හරි නීරස අත්දැකීමක් වේවි කියල හිතනව නම් සහමුලින්ම වැරදියි.!

එක්තරා සමාගමක යම් තනතුරක් සඳහා සම්මුඛ පරීක්ෂණ මාර්ගයෙන් අවසානෙ අට දෙනෙකුව තෝරාගන්නව. අවසානෙ ඔවුන්ට සිද්ධ වෙනව යම් විභාගයකට මුහුණ දෙන්න. විභාගය පැවැත්වෙන කුටියට මේ අට දෙනා ඇතුළු වුණාට පස්සෙ විභාග පරීක්ෂකවරයා ඔවුන්ට අදාල වෙන නීති රීති පැහැදිලි කර දෙනවා. ලැබෙන කාලය විනාඩි අසූවයි. ඒ කාලය ඇතුළත ඔවුන්ට පිලිතුරු දීමට ඇත්තේ එක ප්‍රශ්නයකට යි. ඒ ප්‍රශ්නයටත් අවශ්‍ය එක පිලිතුරයි. මේ කරුණු පැහැදිලි කරන පරීක්ෂකවරයා ශාලාවෙන් පිටවෙලා යනව. අපේක්ෂකයන් තමන්ගේ ප්‍රශ්න පත්‍රය හරවා බලනව. නමුත් ඒ හිස් කඩදාසියක් පමණයි! කිසිම ආකාරයෙන් ප්‍රශ්නයක් වත් වෙනයම් දෙයක් වත් එතන නෑ. ඉතින් ඔවුන් ලැබී තියන කාලය ඇතුලත ප්‍රශ්නය සොයාගත යුතුයි!

ගැටලුකාරී අවස්ථාවක දි යම් පිරිසක් හැසිරෙන හැටි. මම මගේ යන ආත්මාර්ථය ඉස්මතු වෙන හැටි. මේ චිත්‍රපටයෙ නියමාකාරයෙන් පෙන්වා දී තිබෙනව. ඔවුන්ට ලැබිල තියන ප්‍රශ්නය මොකක්ද, රැකියාවට සුදුසුකම් ලබන්නෙ කවුද කියන කුතුහලය අවසානය දක්වා ඉහළින්ම රඳවාගන්න සමත් වෙනව. IMBD අගය තරමක් අඩු වුණත් කුතුහලය සපිරි හොඳ සිනමා අත්දැකීමක් ලබා දෙන චිත්‍රපටයක් විදිහට Exam හඳුන්වන්න කැමතියි!






යම් නොපෙනෙන මිනිසෙක් - An Invisible man


මේ අවන්හලේ
විදුලි එළි අඩ අඳුරේ
මගේ අසුනට යාබදව
බීර වීදුරුවක් තොල ගාමින් සිටියි
යම් නොපෙනෙන මිනිසෙක්..

හිරු ගිණියම් වන දහවලේ
නගරයේ මහ සෙනඟ මැද්දේ
සල් පිල් දිගු වීදි අතරේ
පිස දමා දමා නළලට එන ඩා බිඳු
උරින් දරා තම කුඩා දියණිය
ගමන් කරමින් සිටියි
යම් නොපෙනෙන මිනිසෙක්...

සංගීත සන්ධ්‍යාවේ 
රිද්මේ ඉහළ නැංවෙන මොහොතේ
තට්ටු කරමින් මේස කකුලකට
උච්ච ස්වරයෙන් ගැයෙන් ගීයකට
තාලය අල්ලයි
යම් නොපෙනෙන මිනිසෙක්...

ගලා එන මොටෝරථ පෙළ
අත දිගුකර නවත්වා මොහොතකට
මහළු මවක් වාරු කරගෙන
මාවතෙන් එතෙර කරවයි
යම් නොපෙනෙන මිනිසෙක්...

කණමැදිරි එළි විසිරුණු රෑ මැද
නිදිනොඑන දෑස් යුග අඩවන් කර
මේසය මත ඇති සුදු කඩදාසියක් මත
කාබන් පෑනකින් කටුගායි
යම් නොපෙනෙන මිනිසෙක්..

කාලයේ වල් බිහිවී වැඩී ගිය
සරු පොළවක පස් යට සීරුවට
හොවා වෙඩි උණ්ඩයකට සිදුරු වූ ළය
සීතලට ගුලි වී හිඳියි 
එක්තරා මිනිසෙක්..





Tuesday, October 2, 2018

සුළඟ


දුර ඈත සාගරෙන්
දිය බිඳක් අතින් ගෙන
සංවහන සුළං පැමිණේ
දකින්න කඳු නෑදෑ පිරිස..

සමහර සමහර
මල් උයන් වල ගෙවතු වල
නතර වුණු ගමන් ම ය
මඳ පවන..

සිඳුණු පසු නූල
අයාලේ ගියත් 
ඉහළ උඩු සුළඟෙ
සරුංගල
පාත සුළඟේ
කිසිදාක වෙන් නොවේ
දූවිලි පුසුඹ..





Thursday, September 27, 2018

Amadeus (1984)



18 වෙනි සියවසේ ඔස්ට්‍රියාවෙ සල්ට්ස්බර්ග් නුවර ජීවත් වුණ ලියෝපෝල්ඩ් කියන වයලීන වාදකයා දවසක් හරි අපූරු දර්ශනයක් දකිනව. එ් අවුරුදු පහක තරම් වයස තමන්ගේ පුංචි පුතා ගෙදර පියානෝව ලග වාඩි වෙලා කඩදාසියක මොනවද කුරුටු ගාමින් ඉන්න ආකාරය. මොනවද මේ පුතා කරන්නෙ? ලියෝපෝල්ඩ් පුතා ලගට ගිහින් අහනව. මම සංගීතය ලියනව තාත්තෙ. පොඩි එකා උත්තර දෙනව. පුංචි එකෙකුගේ තවත් විකාර වැඩක් කියල හිතන මේ ලියෝපෝල්ඩ් නිකමට පුතා ලියමින් හිටිය කඩදාසිය අරන් බලනව. එ් ඇත්තටම සංගීත ස්වර රචනාවක්! තමන්ගෙ පුතා ගෙ අසාමාන්‍ය කුසලතාව හදුනාගන්න තාත්තා ඔහුට තවදුරටත් සංගීතය ඉගෙනීමට යොමුකරනව. අවුරුදු හය වෙද්දි මේ පොඩි එකා සංගීත වාදන පවත්වමින් යුරෝපය පුරා ගමන් කරන්න පටන් අරගෙන. මේ ගමන නතර වෙන්නෙ එංගලන්තය, ඉතාලිය, ප්‍රංසය, ජර්මනිය ආදි රටවල් ගණනනාවක සංචාරය කිරීමෙන්. අවුරුදු අටේ දි මේ කොල්ල තමන්ගේ පළවෙනි සංගීත සංධ්වනිය ලියනව. අවුරුදු දහ අටක් වෙද්දි තමාගේම සංධ්වනි 30 ක් ඔහු නිර්මාණය කරල ඉවරයි. අවුරුදු තිස් පහක කෙටි ජීවිත කාලයක් ඇතුලෙ සංධ්වනි, කොනසර්ටෝ වාදන, දේවස්ථාන සඳහා ගායන, ඔපෙරා ඇතුලත්ව ස්වර රචනා 600 කට අධික ප්‍රමාණයක් ඔහු අතින් ලියවෙනව. මේ වෙන කවුරුවත් නෙමේ බටහිර සම්භාව්‍ය සංගීතෙ යුග පුරුෂයෙක් වුන Wolfgang Amadeus Mozart නැත්තම් අපි කවුරුත් දන්න විදිහට කිව්වොත් මෝ'ට්සාට්.  මෝ'ට්සාට්ගෙ ම සමකාලීන සංගීතඥයෙක් වුණ Joseph Haydn  කියපු විදිහට තව සියවස් ගණනකින් වත් මිනිස් ඉතිහාසෙ එ් වගේ දක්ෂ කමක් ආය පහළ වෙන එකක් නැහැ. 

 Amadeus  සිනමාපටය නිර්මාණය වෙන්නෙ මෝ'ට්සාට් ගෙ චරිතය මුල් කරගෙන වුණත් අපේ කතාවෙ කතා නායකයා නම් මෝ'ට්සාට් නෙමෙයි. වෙනත් පුද්ගලයෙක්. ඒ තමා ඒ වෙනකොට වියානාවෙ හිටිය ප්‍රධාන පෙළේ සංගීතඥයෙක් වුණ  Antonio Salieri. මොසාට් ගෙ මරණින් අවුරුදු ගණනාවකට පස්සෙ, මෝ'ට්සාට් ගෙ මරණෙට තමා වගකිවයුතුයි කියමින්, Salieri  උමතු රෝහලක ඉදගෙන කරන පාපොච්චාරණයක් විදිහටයි චිත්‍රපටයෙ  කතාව දිගහැරෙන්නෙ. Salieri  අත්දැකීම් බහුල දැනුමෙන් පොහොසත් සංගීතඥයෙක් වුණත්, ඔහු වඩා සාර්ථකත්වයට පැමිණෙන්නෙ, ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගන්නෙ ඔහුටත් වඩා වයසින් බාල තරුණයෙක් වුණ මෝ'ට්සාට්. මේ නිසා  Salieri හිත යටින් මෝ'ට්සාට් ගේ නිර්මාණ වලට ආශා කරන ගමන් ඔහුට බොහොම දරුණු විදිහට ඊර්ෂ්‍යා කරන්න පෙළඹෙනව නිර්මාණකරුවන් අතරෙ මේ ඊර්ෂ්‍යාව කොයිතරම් දුරට යන්න පුලුවන්ද කියල අපිට බලන්න පුලුවන්.

කලාකරුවෙක් තමන්ගෙ නිර්මාණ වලින් තවත් කෙනෙකුට රසවින්දනයක් ලබා දෙන්නෙ තමාත් එය රස විඳින ගමන්. මේ ‘රහ‘ ගැන සංවේදී තාවය ඔහුගෙ ජීවිතේ ඇතුළෙම තියෙන්න ඕන. ඒ කියන්නෙ උපරිමයෙන් ම ජීවිතේ විඳින කෙනෙකුටම තමා තවත් කෙනෙකුව සතුටු කරන්නත් පුලුවන්. මෝ'ට්සාට් තුලින් අපි දකින්නෙත් මේ වගේ උතුරල පිටාර යන මනුස්ස ජීවියෙක් ව. නිතරම දෙපැත්ත කැපෙන විහිලු කතා කියන, රාජ සභාවක වුණත් කෑ ගහල හයියෙන් හිනාවෙන, උත්සව සාද මිතුරු ආශ්‍රයෙන් අඩුවක් නැති, මුදල් වියදම් කරද්දි සීමාවක් නැති අතීශය විනෝදකාමි චරිතයක් විදිහට තමා මෝ'ට්සාට් හදුනාගන්න පුලුවන්. A Musical Joke නමින් උපහාසාත්මක ස්වර රචනාවක් පවා මෝ'ට්සාට් නිර්මාණය කර තියනව. Salieri ගෙන් නියෝජනය වෙන්නෙ මේකෙ ප්‍රතිවිරුද්ධ  අන්තය. ඔහුට අවශ්‍ය ජනප්‍රිය වෙන්න. සාර්ථකත්වය ලබා ගන්න. මිනිස්සු තමන්ගෙ නිර්මාණ ගැන කතා වෙන හැටි දකින්න. මේ ගමනට බාධකයක් විදිහට තමා ඔහු මොසාට් ව දකින්නෙ. ඒ නිසා ඔහු නිතරම මෝ'ට්සාට් ගැන ඊර්ෂ්‍යාවෙනුයි පසු වෙන්නෙ. මෝ'ට්සාට් සහ Salieri දෙදෙනා දෙපැත්තෙන් තියල ඔවුන් දෙදෙනාගෙ වෙනස්කම් එකිනෙකා සැසදෙන විදිහටයි චිත්‍රපටය ගලා යන්නෙ.
    
Amadeus තිරගත වුණ අවුරුද්දෙ ඒ කියන්නෙ 1984 හොදම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය ඇතුලු  තවත් සම්මාන 8 මේ චිත්‍රපටය දිනාගන්නව. ඒ වගේම සම්භාව්‍ය සංගීතය ඒ තරම් ජනප්‍රිය නොවෙන බටහිර රටවලින් පවා  ඉහළ මට්ටමේ  ආකර්ශනයක් ලබාගන්න සමත් වෙනව. මොසාට්ගෙ චරිතය වාර්තාමය ස්වරූපයෙන් නැවත ඉදිරිපත් කිරීමට වඩා නිර්මාණාත්මකව එය නිරූපණය  කිරීමයි අද්‍යක්ශවරයා ගෙ අරමුණ වෙලා තියෙන්නෙ. ඒ නිසා Amadeus කියන්නෙ මෝ'ට්සාට් ගේ හැබෑ චරිත ස්වභාවත් සමහර සිදුවීම් කිහිපයකුත් උකහාගෙන නිර්මාණය කල ප්‍රබන්ධයක්. මෝ'ට්සාට් ගෙ මරණය සිදුවෙන්නෙ අධික උණ රෝගය නිසා බව තමා ඉතිහාසයෙ සඳහන් වෙන්නෙ. නමුත් චිත්‍රපටයෙ දි ඒ මරණයට ලබා දෙන්නෙ වෙනස් අර්ථකථනයක්. ඒ වගේම Salieri පවා මෝ'ට්සාට් ගෙ රසිකයෙක් බව තමා සඳහන් වෙන්නෙ. මේ නිසා Amadeus කියන්නෙ හුදු චරිදාපදානයකට එහා ගිය නිර්මාණාත්මක වෑයමක් විදිහටයි අපිට හඳුනගන්න පුලුවන් වෙන්නෙ. Drama / Historical චිත්‍රපට රසිකයින් මේකට බොහොම ප්‍රිය කරාවි.  මෝ'ට්සාට් කොයි වගේ චරිතයක් ද කියල හොඳින්ම වටහගන්න පුලුවන් ඔහුගේ කියමනකින් මේ සටහන අවසාන කරනව 

(මෝ'ට්සාට් ගෙ මං කැමතිම වාදනයක් මේ සමග ඇති)

Neither a lofty degree of intelligence nor imagination nor both together go to the making of genius. Love, love, love, that is the soul of genius.

-Mozart

"විශිෂ්ටයෙක් බිහිකරන්නෙ ඉහළ ගණයේ බුද්ධිය වත්, පරිකල්පනයෙන් වත්, මේ දෙකම සම සමව වත් නෙමෙයි. ආදරය කරන්න.. ආදරය කරන්න , පුලුවන් තරමක් ආදරේ කරන්න. විශිෂ්ටත්වයෙ සාරය ඒක තමයි"

- මෝ'ට්සාට් 




මෝ'ට්සාට් by Barbara Krafft in 1819



වයස 14 දී මෝ'ට්සාට් by Saverio Dalla Rosa