Monday, December 28, 2020

කිසිවක් ඔබෙන් නොඉල්ලමි - Frida Kahlo

 "කිසිදිනක මා සිඹින ලෙසටද, ඔබ වැරදි බව මා දන්නා කල මගෙන් සමාව ඉල්ලා සිටින ලෙසටද මම ඔබෙන් නොඉල්ලමි. මට වඩාත් ඔබ අවැසි මොහොතක මා වැළඳ ගන්නැයි ඔබෙන් නොඉල්ලමි. මා කොතරම් සුරූපීදැයි (එය සැබෑවක් නොවන නමුත්) පවසන මෙන් ද, මා වෙනුවෙන් ඉමිහිරි දෑ ලියා එවන මෙන් ද ඔබෙන් නොඉල්ලමි. නිතර මා අමතන මෙන් ද, මා ළඟ නොමැති කල ඔබ හද පාලුවෙන් පිරී යන බව පවසන මෙන් ද කිසිදාක මම ඔබෙන් නොඉල්ලමි. ඔබ වෙනුවෙන් මා කල සෑම සියලු දේ වෙනුවෙන් ස්තූතිවන්ත වන ලෙසටද, මා හද ශෝකයෙන් පෙළෙන කල මා සනසන ලෙසටද, මා විසින් ගනු ලබන තින්දු තීරණ කෙරෙහි මට සහය වන ලෙසටද කිසිදාක මම ඔබෙන් නොඉල්ලමි. ඔබ හා බෙදාගැනීමට දහසකුත් දේ ඇති කල මට සවන් දෙන මෙන් ද කිසි දාක මම ඔබෙන් නොඉල්ලමි. කිසිවක් මම ඔබෙන් නොඉල්ලමි. සදහටම මා සමඟ සිටින ලෙස වත් නොඉල්ලමි. මන්දයත් එය ඔබෙන් ඉල්ලා සිටීමට සිදු වුණොත් කිසිදාක මට එය උවමනා නොවන බැවිනි"


- ෆ්‍රීඩා කාලෝ

(ෆ්‍රීඩා කාලෝ මැක්සිකානු ජාතික චිත්‍ර ශිල්පිනියකි, දේශපාලන ක්‍රියාකාරිනියකි. කැරලිකාරී නමුත් උත්කර්ෂවත් කෙටි ජීවිත කාලයක් ගෙවා දැමූ ඇගේ ආත්ම ප්‍රකාශන බඳු ස්වයං ආලේඛ්‍ය සිතුවම් නිසා  ඉමහත් ජනප්‍රියත්වයක් ලැබුවාය)

- Translated by hAsH



Tuesday, December 22, 2020

මිනිසෙකුටත් වඩා විශාල ශාඛ පත්‍රය

 සදාහරිත තෙත් වැසි වනාන්තර කියන්නෙ ජෛව විවිධත්වය අතින් ඉතාම ඉහළ පරිසර පද්ධතියක් බව කලින් පෝස්ටුවකත් සඳහන් කළා. ඒ අතර දකුණු ඇමරිකානු ඇමේසන් වනාන්තරය සුවිශේෂ එකක් වෙන්නෙ ලෝකයෙ දැන් පවතින විශාලතම වැසි වනාන්තරය වගේම වෙනත් කිසිම තැනකින් හමු නොවන අපූර්වතම ජීවි විශේෂ මුණගැහෙන කලාපයක් නිසා. මේ ඒ අතරට එකතු වෙන අලුත්ම සාමාජිකයෙක්. Coccoloba gigantifolia මෙතෙක් හමුවී ඇති විශාලතම පත්‍ර සහිත ශාක විශේෂ අතරින් එකක්. 2019 අවුරුද්දෙදි විද්‍යාඥයන් මේ ශාකය තනි ශාක  විශේෂයක් බවට නිල වශයෙන් පිළිගනු ලබනව. පර්යේෂකයන්ට මුල් වරට මේ අපූරු දැවැන්තයා මුණගැසෙන්නේ 1983 අවුරුද්දේ ඇමේසන් වනයේ Madeira ගංගා ද්‍රෝණිය ආශ්‍රිතව. Coccoloba gigantifolia  ගසක් සාමාන්‍යයෙන් අඩි 50 ක් පමණ උසට වැඩෙනව. ගසේ විශේෂම කොටස වුණු ගසේ පත්‍රයට අඩි 8 ක් පමණ දිගකින් වර්ධනය වීමට හැකියාව තිබෙනව. (පින්තූරයෙ ඉන්නා මිනිසා සමග සන්සන්දනය කරල පත්‍රයේ විශාලත්වය අනුමාන කරගන්න) මේ තරම් විශාල පත්‍ර ගසක පිහිටන්නේ කියල ඔබ පුදුම වේවි. නමුත් සම්පූර්ණ ගසම දැක්වෙන ඡායාරූප වලට අනුව ගසේ මුදුනෙන් පත්‍ර කීපයක් පමණයි හටගන්නෙ. (පළමු කමෙන්ටුවේ) මේ ගස ඉතාම දුර්ලභ එකක්. දැනට සොයාගෙන තිබෙන්නෙත් ගස් කීපයක් පමණයි. කොහොම වුණත් විද්‍යාඥයන් මේ ගස වෙනම ශාක විශේෂයක් විදිහට පිළිගත්තේ නැහැ. ඔවුන් ගසක බීජ ලබාගෙන ගසක් සම්පූර්ණයෙන් වැඩි වර්ධනයවී මල් ඵල හටගන්නා ආකාරය නිරීක්ෂණය කරල තමයි ඒ තීරණය අරගන්නෙ. (මල් සහ ඵලය අද්‍යයනය කිරීම ශාඛ වර්ගීකරණයට අවශ්‍යම දෙයක්) ඉතින් ඔවුන්ට මේ කාර්ය සම්පූර්ණ කරන්න ලැබෙන්නෙ වසර 13 කට පසු 2019 අවුුරුද්දෙ. දැනට සිදුවෙමින් යන සීග්‍ර වන විනාශයන් සහ දේශගුණ විපර්යාසයන් එක්ක මේ ගස සම්පූර්ණයෙන්ම වඳවී යැමේ තර්ජනයට දැඩිව මුහුණපා තිබෙන බව තමා සඳහන් වෙන්නෙ.






Thursday, December 17, 2020

Carol (2015)

 (2020/12/13  "ලංකා" පුවත්පතේ Rose අතිරේකය වෙනුවෙන්)

90 දශකය, සිනමා ඉතිහාසය ඇතුලෙ නොමැකෙන සන්ධිස්ථාන ගණනාවක්ම බිහි කල කාලසීමාවක් විදිහට හඳුනාගත හැකියි. Forrest gump, Shidlers list, Shawshank Redemption, Titanic, Saving Private Rayan, Jurassic Park වගේ  අදටත් බොහෝම දෙනෙකුගේ ප්‍රියතම ලයිස්තුවල රැඳෙන වගේම එදා මෙදාතුර බිහිවුනු විශිෂ්ටතම චිත්‍රපට බිහිවුණේ 90 දශකයෙදි. ඒ වගේම තාක්ෂණයේ දියුණුව සහ ව්‍යප්තිය නිසා, ප්‍රධාන පෙළේ චිත්‍රපට නිශ්පාදන සමාගම් වලින් බැහැරව, ස්වධීන නිර්මාණකරුවන් බිහිවීම බහුල වශයෙන් සිදුවුණ කාලසීමාවක් විදිහට සිනමා විචාරකයින් 90 දශකය හඳුන්වා දෙනව. ජනප්‍රියවාදී ධාරාවන්ගෙන් මිදුණු මේ ස්වාධීන සිනමාව රඳාපවතින්නේ අඩු වියදමකින් වගේම හුදු ලාහ අපේක්ෂාවන් තොරව, වඩාත් මතවාදි සහ කලාත්මක නැඹුරුවකින් චිත්‍රපට නිර්මාණ කරන සිනමාකරුවත් මත. ලිංගිකත්වය පිළිබඳ තිබෙන ගතානුගතික අදහස්වලට එරෙහිව යමින් සහ සමාජයෙ පීඩාවට පත්වුණු ආන්තික ලිංගික කණ්ඩායම් (සමලිංගික, බහුලිංගික, සංක්‍රාන්තික ලිංගික වැනි) තේමා කරගනිමින් මේ නිදහස් සිනමාකරුවන් අතරෙ new queer සිනමා රැල්ල බිහිවෙන්න 90 දශකයෙ දි. අතීතයෙ පටන් එවැනි තේමාවන් මුල් කරගෙන චිත්‍රපට නිමැවුණත් ප්‍රවණතාවක් විදිහට 90 දශකයෙ මේ කරුණ වර්ධනාත්මක තැනකට එනව. වෙනස් ලිංගික නම්‍යතාවන් නිසා සමාජයෙන් පීඩා විඳින චරිත මුල්කරගෙනයි මේ නව රැල්ලේ චිත්‍රපට නිර්මාණය වුණේ. ඇමරිකානු සිනමාකරුවෙක් වන Tod Haynes මේ new queer සිනමා රැල්ලේ පුරෝගාමියෙක් විදිහට හඳුනාගත හැකියි.

Tod Haynes තමන්ගෙ පළමු නිර්මාණය පර්යේෂණාත්මක  වාර්තා චිත්‍රපටයක් විදිහට එළිදක්වන්නෙ 1987 අවුරුද්දෙ. Superstar නමින් නම් වෙන මේ චිත්‍රපටයට මුල් වෙන්නෙ Carpenters සංගීත කණ්ඩායමේ ගායිකා Karen Carpenters ගේ චරිතය. නමුත් ඔවුන්ගේ ගීත නිසි අවසරයකින් තොරව යොදාගැනීම නිසා Superstar චිත්‍රපටය වාරණයට ලක්වෙනව. මේ සිදුවීම නිසා Top Haynes යම් ජනප්‍රියත්වයක් ලබා ගන්නව. Superstar, කුඩා කණ්ඩායමක් අතින් විශේෂ ඇගයීමකට ලක්වෙන cult classic නිර්මාණයක් බවට පත්වෙනව. ඔහුගේ මුල්ම වෘතාන්ත චිත්‍රපටය Poison තිරගත වෙන්නෙ 1991 අවුරුද්දෙ. සුබවාදී ප්‍රතිචාර ලබාගන්නා poison වලින් පසුව ඔහු ක්‍රමාණුකූලව තම සිනමාකරණය වඩා උසස් මට්ටමකට ගෙන එන්න සමත් වුණු ආකරය නිරීක්ෂණය කල හැකියි. Far from Heaven, Im not there, Carol  චිත්‍රපට Tod Haynes සිනමාවලියේ එක් සුවිශේෂ සළකුණු විදිහට හඳුනාගත හැකියි. 

Carol චිත්‍රපටය  තිරගත වෙන්නෙ 2015 අවුරුද්දෙ දි. 1952 දී Patricia Highsmith නම් ලේඛිකාව ලියා පළ කල The Price of Salt නවකතාව ආශ්‍රයෙනුයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. නවකතාවෙ අන්තර්ගතයේ ඇති ආන්දෝලනාත්මක ස්වභාවය නිසා එල්ලවිය හැකි බලපෑම් වලින් මිදෙන්න ඇය මේ නවකතාව පළ කරන්නේ Claire Morgan නම් අන්වර්ථ නාමයකින්. 1990 අවුරුද්දේ දි මේ නවකතාව Carol නමින් නැවත ප්‍රකාශයට පත්වෙනව. පිටපත් රචක Phyllis Nagy ගේ තිර පිටපත මුල් කරගෙන, බ්‍රිතාන්‍යයේ Film4 Productions සමාගම Carol නවකතාව ආශ්‍රයෙන් චිත්‍රපටයක් නිශ්පාදනය කරන්න උත්සාහ දැරුවේ 90 දශකයේ පටන්මයි. නමුත් ඒ උත්සාහයන් අතරමග ඇණහිටින්නේ සමාගම තුළ මූල්‍ය අර්බුද, නවකතාවේ අයිතිය ලබා ගැනීමේ ගැටලු වැනි කාරණා නිසා. නැවත 2013 වසරේදි බ්‍රිතාන්‍යයේ  Film4 Productions, Number 9 Films සහ ඇමරිකාවේ Killer films සමාගම් තුන එක්ව සියලු ගැටලු නිරාකරණය කරගෙන Tod Haynes ගේ අධ්‍යක්ෂණයෙන් නැවතත් Carol චිත්‍රපටය නිර්මාණය සඳහා යොමුවෙනව. 

Carol චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ 1950 දශකය පසුබිම් කරගෙන. Therese Belivet වෙළඳසලක අලෙවි සහකාරියක් විදිහට සේවය කරන විසි හැවිරිදි තරුණියක්. ඇය ජීවිත් වෙන්නෙ මහල් නිවාසයක හුදෙකලාවම යි. ඇගේ පෙම්වතා Richard නම් තරුණයෙක්. රාජකරී කටයුතු අතරේ කාර්‍යබහුල මොහොතක වෙළඳසලට පැමිණෙන ඒ සුරූපී ගැහැනිය Theresa ගේ ඇස ගැටෙන්නේ අහම්බයෙන්. දුටු මතින් ඇගේ රූපස්වභාවෙන් වශීකෘතව මෙන් Theresa ඇය දෙස බලා ඉන්නවා. ඇයගේ රන්වන් කෙස් කළඹ, රත් පැහැ දෙතොල්, සිහින් දිගටි දෑස, මනාසේ හැඩැති සිරුර Theresa ගේ නෙත් පැහැරගන්නේ එක සැණින්. ඊලඟ මොහොතේ දි ඔවුන් ගේ දෑස් එකිනෙක මුණ ගැහෙනව. වචනයෙන් කිව නොහැකි හැඟුමක් දෙදෙනාගේ දෑස් අතරේ හුවමාරු වෙනව. ගැහැනිය Theresa වෙත පැමිණෙනවා. ඇගේ නම Carol. ඇය විවාහක කාන්තාවක්, කුඩා දියණියකගේ මවක්. ඉක්මණින් දෙදෙනා අතර මිතුරු දමක් ඇතිවෙනව. 

Carol තමන්ගේ විවාහ ජීවිතයේ අඳුරු අවධියක් පසු කරමින් ඉන්නා සමයකයි ඇයට Theresa මුණගැහෙන්නෙ. Carol සහ ඇගේ ස්වාමිපුරුෂයා එකිනෙකාගෙන් වෙන් වෙන්න තීරණය කර තිබුණත් දරුවාගේ අයිතිය පිළිබඳ දෙදෙනා අතර එකඟතාවක් තිබුණේ නැහැ. දරුවා මුළුමණින් තමන්ගේ භාරයට ගැනිමට Carol ට අවශ්‍යවී තිබුණත් ඇගේ සැමියා එය පිළිගන්නේ නැහැ. යෞවනය ගෙවමින් වුන් Theresa ගේ ඇසුර ඇයට මේ සිදුවීම් අතරේ යම් සහනයක් වුණා.

චිත්‍රපටයෙ කතාව ගොඩනැගෙන්නේ Theresa ගේ දෘෂ්ටිකෝණයෙන්. ඇගේ ජීවිතය ගෙවීයන්නෙ කොයි ආකාරයේ පසුබිමකද කියන කාරණය ඒ නිසා අපට අවබෝධ කරගන්න පුලුවන්. රැකියා ජීවිතයේ වෙහෙසකාරී බව වගේම Richard ගේ සමහර මිතුරන් ඇයට අනවශ්‍ය ආකාරයෙන් ලං වීමට උත්සාහ කිරීමත් ඇයව පීඩාවට පත් කර තිබුණා. Carol ගේ අහඹු මුණගැසීම ඇයට තමා තුළ තිබෙන බවට මෙතෙක් කල් නොදැන සිටි යමක් අනාවරණය කරන්න සමත් වෙනව. තමන්ගේ ලිංගික නම්‍යතාවය සුවිශේෂ එකක් බව ඈ හඳුනා ගන්නව. Carol නම් මේ අපූරු ගැහැනිය තමන්ගේ ජීවිතයේ එක් වැදගත් ස්ථානයක් හිමිකරගන්න බව ඇය වටහගන්නව. නමුත් ගැටලුව නම් බාහිර සමාජය ඔවුන්ගේ මේ වෙනස් ලිංගික අනන්‍යතාව වටහා නොගැනීම. ඔවුන් එක්තරා ආකාරය පාපිෂ්ට කොටස විදිහට සැලකීම. මේ නිසා දෙදෙනාටම මේ ප්‍රේම වෘතාන්තය මිතුරුකමේ ආවරණය තුළ සඟවා රහසක්ව පවත්වාගැනිමට සිදුවෙනව. 

Carol, Tod Haynes සිනමාවලියේ වඩාත්ම ඇගයීමට ලක්වුණු චිත්‍රපටය විදිහට හඳුනාගත හැකියි. 2016  ඔස්කාර් සම්මාන උළලේ ප්‍රධාන පෙළේ සම්මාන 6 කට වගේම Golden Glob සම්මාන උළලේ සම්මාන 5 කට Carol නිර්දේශ ලබනව. ඊට අමතරව ජාත්‍යන්තර සම්මාන උළල ගණනාවකදිම Carol සම්මානයට පාත්‍ර වෙනව. දැනට හොළිවුඩයේ ඉහළම රංගවේදිනියක වුණු Cate Blanchett (Carol) සහ නැගී එන සිනමා තාරකාවක් වුණු Rooney Mara (Theresa) දෙපළ ගේ ප්‍රබල රංගනයන් චිත්‍රපටය සාර්ථක වීමට කරන්නෙ සෑහෙන බලපෑමක්. ඒ වගේම 1950 දශකය ප්‍රතිනිර්මාණය කරමින් මැවෙන පසුතල නිර්මාණකරණය චිත්‍රපටයට ඉපැරණි සුන්දරත්වයක් අරගෙන එන්න සමත්වෙනව. පැරණි යුගයේ අවන්හල්, නිවාස සහ ගොඩනැගිලි, යානවහන, ඇඳුම් පැළඳුම්වල කුඩා තොරතුරු පවා සියුම්ව නැවත නිමවා ඇති ආකාරය දැකගත හැකියි. 

සුවිශේෂ ලිංගික නැඹුරුතාවක් පිහිටා තිබීම, 50 දශකය වැනි යුගයක දි මානසික රෝගයක්, පාපිෂ්ට බවක් විදිහට නම් කර තිබූ නිසා Carol සහ Theresa වැනි අයට තම ප්‍රේමයන් රහසින් පවත්වාගැනීමට සිදුවුණා. ඒ යුගයට සාපේක්ෂව වර්තමානයෙදි ලොවපුරා ඔවුන් ගැන ආකල්පයන් තරමක් වෙනස් ව තිබෙනව. සමලිංගිකත්වය මානසික රෝගයක් නොවන බවටත් එය ඉතාම ස්වභාවික තත්ත්වයක් බවටත් දැන් පිලිගැනෙනව. ඒ වගේම ඔවුන් ගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් සංවිධාන ගණනාවක්ම බිහිව තිබෙනව. බොහෝ රටවල නීතියෙන් පවා එය පිළිගන්නව. නමුත් ගතානුගතික අදහස් කරපින්නාගත් ලාංකික සමාජය තවමත් එවැනි අය පිළිබඳ කතා කරන්නෙ අවමානයකින්. ලිංගික අනන්‍යතාව කුමක් වුණත් ප්‍රේමය නම් ප්‍රේමයම බව අපේ සමාජය කවදා වටහා ගනීවිද යන ගැටලුව පමණක් අවසානෙ අප හමුවේ ඉතිරිවෙනව.



Saturday, December 12, 2020

සුබ ගමන් Kim Ki-Duk !

 ශ්‍රේෂ්ඨ සිනමාකරු Kim Ki-Duk ගැන මේ සටහන දින කීපයක පටන් පරිවර්තනය වෙමින් තිබුණ එකක්. Covid 19 නිසා ඔහු අද (2020/12/11) මිය ගිය පුවත අහන්න ලැබෙන්නෙ නොහිතුම විදහට. ඔහුගේ මරණයත් සමග මේ සටහන බෙදාහදා ගන්න සිදුවීම ඇති කරවන්නෙ ශෝකයක්. ඒ නික්මයාමෙන් ඉතිරි වුණු හිස්තැන ඉතිහාසයේ හැමදාමත් නොමැකී තියේවි.  Kim Ki-Duk මහත්මයාණෙනි.. ලබාදුන් හැම දෙයක් වෙනුවෙන් ස්තූතියි 🖤

.....................................................................

(දකුණු කොරියානු සිනමාකරු Kim Ki-Duk, 2002 වසරේ Sense of Cinema සහ 2004 වසරේ Groucho Reviews වෙබ් අඩවි දෙක සඳහා ලබා දුන් සම්මුඛ සාකච්ඡා දෙකක සංක්ෂිප්ත පරිවර්තනය)

Kim Ki-Duk දුර්ලභ ගණයේ සිනමාකරුවෙකි. චිත්‍රපට සම්බන්ධව කිසිම ආකාරයක අද්‍යාපනයක් නොලැබූ ඔහු, පාසල් දිවිය අතරමඟ හැරදමා කර්මාන්තශාලා වලද පසුව යුදහමුදාව තුල ද සේවය කලේය. සිතුවම් කලාව ප්‍රියකල ඔහු එය වැඩිදුර හැදෑරීම සඳහා වයස අවුරුදු 30 දී (1990) ප්‍රංශයේ පැරිස් කලා පාසලට ඇතුලත් ව වීදි සිත්තරෙකු ලෙස කටයුතු කලේය. එහිදී නැරඹූ චිත්‍රපට වල ආභාසයෙන් පිටපත් රචනයට පිවිසී පසුව සිනමාපට අද්‍යක්ෂණයට යොමුව මෑතකාලීනව ලොව පුරා සිනමා සම්මාන උළෙලවල වඩාත්ම ඇගයීමට ලක්වන අද්‍යක්ෂවරයෙක් බවට පත්වීමට සමත් විය. ඔහු තම පළමු සිනමාපටය Crocodile නිර්මාණය කරන්නේ 1996 වසරේදී ය. එය සෝල් නගරයේ හැන් ගඟෙ තුළ ගිලීමෙන් සියදිවි නසා ගන්නා මිනිසුන්ගේ මළසිරුරු එකතු කරනා අත්භූත මිනිසෙකු පිළිබඳ කතාවකි. කොරියානු සමාජය පිළිබඳ ඔහුගේ නූතන සහ රැඩිකල් දෘෂ්ටිය ඔහුව බහුතර ප්‍රේක්ෂකාගරයෙන් ඈත් කර තැබුවත් එය ලොව පුරා වඩා උනන්දු සහ කුඩා රසික පිරිසක් ඔහුට උරුම කර දී ඇත. Kim Ki Duk ජාත්‍යන්තර අවධානය දිනාගැනීමට සමත් වන්නේ 1998 වසරේ නිර්මාණය කල Birdcage Inn චිත්‍රපටය හරහා ය. 2000 වසරේ තිරගත වූ ඔහුගේ The Isle චිත්‍රපටය Sundace සහ Venice සිනමා උළෙල වල ප්‍රේක්ෂකාගර කම්පනය කරලීමට සමත් විය. සුවිශේෂ සෞන්දර්ය ගුණයත් කාව්‍යමය සුන්දරත්වයත් නිසා එම චිත්‍රපටය බොහො සේ පැසසුමට ලක් විය.

ප්‍රශ්නය - Kim Ki-Duk මහත්මයා, ඔබ වරක් සඳහන් කර තිබුණා ද්වේශ සහගත බව ඔබේ සිනමාවේ ආරම්භක ලක්ෂ්‍යය වුණු බව. මේ කාරණය ඔබේ නවතම චිත්‍රපටය (2002) Bad guy වෙත බලපෑවෙ කොහොමද?

Kim Ki-Duk - මම "ද්වේශය" කියන වචනය යොදාගත්තෙ පුළුල් සන්දර්භයක් ඇතුළෙ. මම හිතනව ඔබ ඒ යෙදුම අදාළ සන්දර්භයෙන් බැහැරව අරගත යුතු නැහැ කියල. මම කතා කරන්නෙ විශේෂ ආකාරයක ද්වේශයක් ගැන. ඒක නිශ්චිත පුද්ගලයෙක් හෝ වස්තුවක් ඉලක්ක කරගත් යමක් නොවෙයි. ඒක ජිවිතය එක්ක මට දැනුණ එක්තරා හැඟීමක්. ඒක මට පැහැදිලි කරන්න බැහැ. ඒ නිසාම තමයි මම චිත්‍රපට හදන්නෙ. මට වටහාගන්න බැරි යමක් මම දකිනව,  ඒ හරහා චිත්‍රපටයක් නිර්මාණය කිරීමෙන් මම ඒ කාරණා වඩා හොඳින් තේරුම්ගන්න උත්සාහ කරනව. මම හිතනව ද්වේශයට වඩා මේ නොවැටහීම ගැන කතා කිරීම අර්ථසම්පන්නයි කියල.

ප්‍රශ්නය - Bad Guy චිත්‍රපටය හරහා ඔබ වටහාගන්න උත්සහ කලේ මොකක්ද?

KKD - මම අහන ප්‍රශ්නය තමා, හැම මනුශ්‍යයෙක්ම උපදින්නේ එක සමාන ආකරයකට නම්, සමාන අයිතිවාසිකම් ලබමින් නම්, වයසින් වැඩිවර්ධනය වීම එක්ක අපි වර්ගීකරණයට ලක්වෙන්නෙ ඇයි කියන කාරණය. බාහිර ස්වරූපය අනුව අපි විනිශ්චයට ලක්වෙන්නෙ ඇයි? ලස්සන පෙනුමක් තිබීම හෝ අවලස්සන පෙනුමක් තිබීම, යහමින් මුදල් තිබීම හෝ එහෙම නොතිබීම වැදගත් වෙන්නෙ ඇයි? මිනිසුන් විදිහට අපිව මේ මිනුම් දඬුවලින් මැනෙනව. සමාජ ස්ථර අනුව පන්ති වලට අපි බෙදෙනව. තව දුරටත් මේ විනිශ්චයන් ගෙන් බැහැරව මිනිසුන් එකිනෙකා දිහා බලන්නෙ නෑ. මට අහන්න අවශ්‍ය මේ පන්ති වෙනස්කම් වලින් තොරව සියලු දෙනාම මිනිසුන් විදිහට බාරගන්න බැරි ඇයි කියන කාරණය.

ප්‍රශ්නය - ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණද?

KKD - මගේ පිළිතුර, සමාජ තත්ත්වයවත්, මුදලවත්, බාහිර ස්වරූපයවත් නොසලකා මිනිසුන් සියලු දෙනා එකිනෙකාට ගරු කළයුතුයි. නමුත් චිත්‍රපටය නිර්මාණය කිරීමේදි මගෙ අරමුණ වුණේ මේ ප්‍රශ්නය ප්‍රේක්ෂකාගරය හමුවට ගෙන ඒම පමණයි. මට විශ්වාසයි ඔවුන් තමන්ගේම ආකාරයකට පිළිතුරක් සොයාගන්න බව.

ප්‍රශ්නය - බොහොමයක් ඔබේ චිත්‍රපටවල වගේ Bad Guy චිත්‍රපටයේ පවා ප්‍රධාන චරිතය නිහඬ ස්වභාවයක් ගන්නව. ඔහුට සන්නිවේදනය නැත්නම් තමන්ගේම අදහසක් ප්‍රකාශ කරන්න අපහසු බවක් පෙන්නුම් කරනව. ඔහුගෙ භාෂාව ප්‍රචණ්ඩත්වය බවයි පෙනෙන්නෙ. මොකක්ද  මේ නිහඬතාවයට හේතුව?

KKD - මගෙ චිත්‍රපට වල චරිත කතාකරන්නෙ ඉතාම අඩුවෙන්. හේතුව යම් දෙයක් ඔවුන්ව ගැඹුරින් රිදවා තිබීම. අනෙක් මිනිසුන් ගැන ඔවුන් තබා තියන විශ්වාසය බිඳවැටී ගිහින්. කවුරුන් හරි  ඔවුන්ට "මං ඔයාට ආදරෙයි" කියා තිබුණත් කවුරුත් එය ඇත්තටම අදහස් කර නැහැ. මේ බලාපොරොත්තු බිඳවැටීම ඔවුන් කතාබහ අඩු නිහඬ චරිත බවට පත්කරල තිබෙනව. ඔවුන් ඇතුළෙන් මතුවෙන ප්‍රචණ්ඩත්වය, මම කැමති ඒක එක්තරා ශාරීරික භාෂාවක් විදිහට හඳුන්වන්න. ඔවුන් ගෙ ඇතුළාන්තෙ ඉතිරිවෙලා තිබෙන තුවාල කැළැල් ලමා වියේ පටන් ඒ අය ලැබූ අමිහිරි අත්දැකීම් වල සලකුණු. උදාහරණයක් විදිහට දෙමව්පියන් අතින් කායිකව නැත්නම් වාචිකව වෙන අපයෝජන, ඒ අය අඬදබර වෙන ආකාරය බලා ඉඳීම වගේ හේතු නිසා ඇතිවෙන මානසික පීඩන අරගන්න පුලුවන්. නැත්නම් මහ මඟ පිටස්තර පුද්ගලයන් අතින් සිද්දවෙන හිරිහැර වගේ දේවල්. මේ වගේ අත්දැකීම් ලබන කෙනෙක් සෑහෙන අසරණ තැනකට වැටෙනව. කිසි දෙනෙකුට මේ දේවල් කියන්න බැහැ. ඒ වගේ අත්දැකීම් ලැබුව කෙනෙකුගෙ ඇතුලාන්තයෙ ඒ තුවාල කැළැල් ඉතිරිවෙනව. මම පෞද්ගලිකව ඒ වගේ අත්දැකීම් ලබල තියනව. ළමා වයසෙදි, මට වඩා වයසින් බාල නමුත් මට වඩා ශක්තිමත් ලමයින් මට පහර දුන්න. මට  බැරිවුණා මගෙම ආරක්ෂාව සලසගන්න. හමුදාවෙදි මට වඩා තනතුරෙන් උසස් නිලධාරීන් අතින් කිසිම සාධාරණ හේතුවක් නැතිව මම පහර ලැබුව. ඒ වගේ වෙලාවලදි මම මගෙන්ම අහගත්ත ඇයි මට මෙහෙම වෙන්නෙ කියල. මම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් බවටපත් වුණාට පස්සෙත් ඒ ප්‍රශ්න මගෙ ඇතුළාන්තයෙ රැඳිල තිබුණ. මම කියන්න උත්සහ කරනව මගෙ නිර්මාණ ඇතුළෙ එවැනි දේවල් මට දැනුණෙ කොහොමද කියල. 

ප්‍රශ්නය - ඔබේ චිත්‍රපටි ස්වයංචරිතාපදානාත්මක නිර්මාණ විදිහට ඔබ හඳුන්වනවද? 

KKD - Bad Guy අරගෙන බැලුවොත්, මුලින්ම කියන්න ඕන මම මේ ප්‍රධාන චරිතය වගේ මිනිස්සුන්ට ප්‍රිය නැහැ. ඒත් වතාවක් රතු එළි දිස්ත්‍රික්කයේ දි මාත් යම් කෙනෙකුත් අතර අඬදබරයක් ඇතිවුණා. ඒ මොහොතේදි මම ඔහුට වෛර කලා. නමුත් පසුව මට ඔහුව තේරුම් ගන්න උවමනා වුණා. ඇයි ඔහුට එහෙම කරන්න සිද්දවුණේ කියල හිතන්න මම උත්සාහ කලා. මේ චිත්‍රපටය ඇතුලෙත් මම මේ ප්‍රධාන චරිතය ඇතුළට එබී බලන්න උත්සහ කලා ඇයි ඔහුට එහෙම වුණේ කියන ප්‍රශ්නය විමසමින්.

ප්‍රශ්නය - ඔබේ සිනමාපට "අර්ධ භාවාත්මක" නිර්මාණ විදිහට ඔබ ඔබේ වෙබ් අඩවියේ සඳහන් කර තිබුණ. මෙයින් ඔබ අදහස් කළේ මොකක් ද?

KKD - මම අදහස් කලේ පවතින යථාර්ථය ඒ ආකාරයෙන්ම පෙන්වීමට එහා ගිය සිනමාවක් ගැන. මේ දකින්න තියන යථාර්ථයට මිනිස් සිතුවිලි සහ හැඟීම් මුහු කරන්න මම උත්සාහ දරනව.

ප්‍රශ්නය - කලින් ඔබ නිර්මාණය කල චිත්‍රපට වලට සිදුවුණා වගේම Bad Guy චිත්‍රපටයත් ස්ත්‍රීවාදීන් අතින් දරුණු විදිහට විවේචනයට ලක් වුණා නේ ද?

KKD - ඔව් ඇත්තටම, සිනමා විචාර ක්ෂේත්‍රයේ ඉන්න 90% ක් පමණ ගැහැනු මගේ චිත්‍රපටය ගැන ඍණාත්මක අදහස් පළකරල තිබුණ. චිත්‍රපටය නැරඹුව ප්‍රේක්ෂකාගරයෙනුත් 80% ක් ම ඉන්නෙ ගැහැනු අය. සිනමා විශේෂඥයන්, විචාරකයන් Bad Guy විවේචනය කරද්දි සාමාන්‍ය ප්‍රේක්ෂකයන් සුබවාදී අදහස් පළකරල තිබුණ. ඔවුන් චිත්‍රපටය තේරුම් අරගෙන තියනව. මගෙ චිත්‍රපටයෙන් මම ගැහැනු කියන්නෙ ඉතාම අවාසනාවන්ත පිරිසක් විදිහට පෙන්වා ඇති බව කෙනෙක් හිතනව නම් ඒ ඉතාම වැරදි අවබෝධයක්. ඔබ හිතනව නම් අවාසනාවන්ත කම සමාජයෙ තිබෙන එක්තරා අර්බුදයක පැතිකඩක් බව ඔබට ඇත්තටම දුෂ්ටයා (Bad guy) ට වෛර කරන්න බැහැ..

ප්‍රශ්නය - ඔබ වරක් සඳහන් කර තිබුණා චිත්‍රපටයක් කියන්නෙ එක්තරා ආකාරයකට තමන්ගෙම ඇතුලාන්තය සොයා යාමක් බව. 3 iron චිත්‍රපටයෙදි ඔබ මොකක්ද ඔබ තුළින් සොයාගත්තෙ? නැත්නම්, ඔබ හිතන විදිහට, 3 iron චිත්‍රපටය ඔබ ගැන මොකක්ද ප්‍රේක්ෂකයන්ට කියා දෙන්නෙ?

KKD - නොයෙක් ආකාරයෙ චිත්‍රපට දකින්න ලැබෙනව. සමහර චිත්‍රපට තියනව, සමහර මිනිස්සුන්ව සමාජයෙන් අතුගා දැමිය යුතු කලු චරිත විදිහට හදුන්වාදෙනව. අනෙක් පැත්තෙන් තවත් චිත්‍රපට තියනව ප්‍රේක්ෂකයන්ට සරලවම යම් කතාවක් කීමෙන් එහාට නොයන ඒව. එවැනි චිත්‍රපටත් පැවතිය යුතුයි. නමුත් මම වඩා උනන්දු චිත්‍රපටයකින් ජීවිතය කියන්නෙ මොකක් ද? පැවැත්මට මොකක් හෝ අර්ථයක් තියනව ද? මේ ලෝකය එක්තරා ආකාරයක මායාවක් ද? යථාර්ථය කියන්නෙ මොකක් ද? වගේ සාංදෘෂ්ටික ප්‍රශ්න විමසන්න. 3-Iron වගේම Spring, Summer වගේ චිත්‍රපට වල මම කරන්න උත්සාහ කලේ ඒ දෙය. ඒත් මම කිසිම විදිහකින් ඒ ප්‍රශ්න වලට පිලිතුරු සපන්නෙවත්, පිළිතුරු විදිහට මම යෝජනා කරන දේවල් සම්පූර්ණ සත්‍ය බවත් තහවුරු කරන්නෙවත් නෑ.
ප්‍රේක්ෂකයන්ට පුලුවන් ඒ දේවල් නැවතත් විමසන්න. මම විශ්වාස කරනව මගේ දෘෂ්ටි කෝණය වගේම තවත් වලංගු දෘශ්ටි කෝණ පැවතිය හැකි බව.

ප්‍රශ්නය - ඔබ ඔබ වටේ ඇති ලොකයේ පවතින නොයෙක් ආකාරයෙ අදහස් ගැන ඉතාම සවිඥානික සිනමා කරුවෙක්. 3-Iron  චිත්‍රපටයට අදහස ඔබට ලැබුණ ආකාරය පැහැදිලි කරන්න පුලුවන් ද?
 
KKD - බොහොම වෙලාවට චිත්‍රපටයකට මූලික අදහස ලැබෙන්නෙ කුඩා සිදුවීමකින්. දවසක් මගෙ නිවසේ යතුරු සිදුර උඩින් කවුදෝ දැන්වීම් පත්‍රිකාවක් අලවා ගිහින් තිබුණ. නිවසට ඇතුල් වෙන්න දොර විවර කරන්න නම් ඒ දැන්වීම ගලවා ඉවත් කරන්න ඕන. මම කල්පනා කලා මේ විදිහට යම් කෙනෙකුට මම නිවසේ ඉන්නවද නැද්ද කියන දෙය සොයා බලන්න පුලුන් නේද කියල. මම ආරම්භ කලේ ඒ කුඩා අදහසින්. චිත්‍රපටය නිර්මානය කරද්දි මම වඩා ගැඹුරින් සොයා බැලුව කෙනෙකුට පැවැත්මත් නොපැවැත්මත් අතර මායාවී තලයක පවතින පුලුවන් ආකාරය ගැන. අදෘශ්‍යමාන වීමේ ක්‍රමවේදයන් ගැන. අංශක 180ක දෘෂ්ඨි පථයෙන් එහා කෙනෙකුට සැඟවී ඉන්න පුලුවන් නේද කියන දෙය මම සිතා බැලුව. 

ප්‍රශ්නය - ඒ අදහසට අනුව චිත්‍රපටයෙ සමස්ත අර්ථය විවිධාකාරයෙන් අරුත්ගන්වාගත හැකියි. නමුත් දෙදෙනෙක් එක්ව ජීවිතයට මුහුණ දෙන්න දරන උත්සාහය චිත්‍රපටය ඇතුලෙ අපි දකිනව. ඔවුන් දෙදෙනා ගේ ප්‍රේමය යතාර්ථයෙන් පලායාමක් ද? නැත්නම් යතාර්ථය ඉක්මවා යෑමක් ද?

KKD - මම දැඩිව කල්පනාකාරී වුණා කිසිම කෙනෙක් තනි කලු චරිතයක් බවට පත් නොකිරීමට. ස්වාමියාගෙ චරිතය පවා. අවසානයෙදි මේ ප්‍රේමවන්ත යුවළ පලායන්න උත්සහ කලා නම් එතැනදි ස්වාමියා සම්පුර්ණෙයන් ඔවුන්ගෙන් බැහැර වෙනව. ඔහුට ලඟා වෙන්න නොහැකි තැනකට ඔවුන් දෙදෙනාට පිටවී යන්න ඉඩ තිබුනා. නමුත් ස්වාමියා නිවසේ සිටිද්දිම ඔවුන් දෙදෙනා ගෙ ප්‍රේමය පවත්වාගෙන යාම එවැනි තුන්ඈඳුණු බැඳීමක් පැවතීමේ හැකියාව නිරුපණය කරනව. ඉතින් මෙතැන අවසාන ජයග්‍රාහකයෙක් නෑ. පරාජිතයෙකුත් නෑ. ඔවුන් තමගේ ජීවිත ඉදිරියට පවත්වාගෙන යනව. නමුත් සුපුරුදු ආකාරයට නොවෙයි. වෙනසක් සමඟයි. ඒ් වෙනස මොකක්ද කියන දෙය මම ඔබට විස්තර කරන්නෙ නෑ.

ප්‍රශ්නය - දෙබස් ඉතාම අඩු වීම මේ චිත්‍රපටයෙ සුවිශේෂ අංගයක්. මේ චරිත නිහඬතාවය ඇතුළේ තමන්වම රිදවාගන්න බවක් නැත්තම් ඔවුන් නිහඬවම අරගල කරන ස්වභාවයක් අපි දකින්නෙ. චරිත වෙනුවෙන් වචන භාවිත කිරීමේ නිශ්ඵල බව ඔබ කල්පනා කලා ද?

KKD - දෙබස් අනවශ්‍ය නිසාමත් නොවෙයි, නමුත් මම ඒ උපක්‍රමය යොදාගත්තෙ ප්‍රේක්ෂකයන්ට ඔවුන්ට අවශ්‍ය විදිහට ඒ හිස් බව පුරවාගන්න ඉඩ තැබීමක් විදිහට. ඉතින් ඔවුන්ට පුලුවන් තමන්ගේම දෙබස් ඒ වෙනුවෙන් ආදේශ කරගන්න. තමන්ට මෙහෙම යමක් වුණොත් කොහොම හැසිරෙයි ද? නැත්නම් ඒ චරිත මොන වගේ දේවල කතා බහ කරනව ද? ආදී වශයෙන් උපකල්පනය කරන්න ඔවුන්ට පුලුවන්.

ප්‍රශ්ණය - ඔබේ චිත්‍රපටි වල, බාහිර ලෝකය ඔබ ගොඩනගන්නේ තනි මිනිසෙකුට දරාගන්න බැරි යමක් විදිහට. සමහර විට ඒ් චරිත තම තමන්ගේ සීමාවන් ගෙන් එහා ලෝකය දකින්න උත්සාහ කරමින් ඉන්නවා වෙන්න පුලුවන්. ඔබේ කාර්යය තමා මේ හැම දෙයක්ම රූප රාමුවකට අරගැනීම. මේ දෘෂ්‍යමය ගොඩනැංවීම් ගැන ඔබ දකින්නෙ කොහොම ද?

KKD -  මම හිතනව ලෝකය හැදිල තියෙන්නෙ තනි තනි මිනිසුන්ගේ දෘෂ්ටිකෝණයන් එක් වීමෙන්. මේ හැම දෙයම එක තැනකට එකතු කර බැලුවොත් දකින්න ලැබෙන්නෙ එකිනෙකට වෙනස් දෘෂ්ටිකෝණ ගණනාවක්‍. මම විශ්වාස කරනව, මිනිසුන් පොදුවෙ යම් යම් කරුණු සම්බන්ධයෙන් එකඟතාවන් ඇති කරගත්තත්, හැම කෙනෙකුටම තමන්ටම  අනන්‍ය ලෝක දැක්මක් තිබෙන බව. ලෝකය කියන්නෙ කෙනෙකුගෙන් සම්පූර්ණයෙන්ම බාහිරව පවතින යමක් නොවෙයි. මිනිසෙකුගෙ ඇතුළාන්ත දෘෂ්ටීන් අනුවයි කෙනෙකුගෙ ලෝකය මැවෙන්නෙ. ඇත්තටම ඒක මිනිස්සු ඇතුලාන්තයෙන් සටන් කරමින් ඉන්නා යමක්. මගෙ චිත්‍රපටවලිනුත් නිරූපණය කරන්නෙ ඒ් තමන් සමගම තිබෙන අරගලය. එයමයි ලෝකය සමගත් තිබෙන අරගලය. උදාහරණයක් විදිහට Sun-hwa සහ Tae-suk  චරිත දෙක අරගත්තොත් කෙනෙකුට කියන්න පුලුවන් ඔවුන් දෙදෙනා පවතින්නෙ එකිනෙකාගේ කල්පනා මාත්‍රයන් තුළ පමණක් බව. නැත්නම් ඔවුන් දදෙනොම මේ ස්වාමිපුරුෂයා තුළ මැවෙන කල්පනාවක් පමණක් බව. ඉතින් යථාර්ථය මොකක්ද කියල තීරණය වෙන්නෙ ඒගැන කතා කරන්නෙ කාත් සමගද කියන කාරණේ උඩ.

ප්‍රශ්නය - ඔබට මතෙක් කල් ලැබුණ වඩාත් තෘප්තිකරම ප්‍රතිචාරය මොකක් ද?

KKD - Spring, Summer චිත්‍රපටය ඇමරිකාවේ ප්‍රදර්ශනය කල වතාවකදි, වයස අසූ ගණනක ගැහැනියක් සිනමාශාලාවෙන් පිටවී නොගොස් කාර්යමණ්ඩලය මුණගැහිල මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාව හමුවෙන්න අවස්තාවක් ලබා දෙන්නයි ඉල්ලා තිබුණ. ඉතින් ඔවුන් ඇයව මට මුණගැහනේන සැලැස්වුව. ඇය මගේ අතින් අල්ලා ගත්ත. ඇය මියයන්න කලින් මේ අපූරැ චිත්‍රපටය දකින්න සැලැස්වීම ගැන ඇය මට ස්තූති කලා. මමත් නැවත ඇයට ස්තූති කලා.

- Extracted from Sense of Cinema and Groucho Reviews 
- Translated by hAsH-



Wednesday, December 9, 2020

3 Iron (2004)

 ජීවිතය කියන්නෙ සැබෑවක් තුල දකින සිහිනයක් ද? නැත්නම් සිහිනයක් තුළ පවතින සැබෑ යමක් ද? ජීවිත කාලයක් පුරා උපයාගත්ත සියලු දේ එක මොහොතකින් අහිමි වී යන්න පුලුවන් නම් මේ පැවැත්ම ඇතුලෙ සැබෑවටම පවතින යමක් තියනව කියන්නෙ කොහොම  ද? සහතිකයි කෙනෙකුට ලේසියෙන් හොයා ගන්න බැරි බව ඔය ප්‍රශ්නවලට උත්තර. නමුත් අපි අවට ලෝකය දිහා හැරිල බැලුවොත් දකින්න ලැබෙන්නෙ තාවකාලික පැවැත්මක් සදාතනිකව අල්ලගන්න දරන නොනවතින තරඟයක්. ආර්ථිකමය සහ සමාජීය අතින් උන්නතිකාමයම අරමුණු කරගත්ත නොමිනිස් අරගලක්. එක අතකින් වඩා උසස් ආකාරය ජීවිතය ගොඩනංවාගැනීමේ නැඹුරුතාව මිනිස් ශිෂ්ටාචාරය මේ දක්වා හැඩගැන්වූ බවට සැකයක් නෑ. නමුත් අනෙක් අතෙන් සිදුවී තිබෙන්නෙ මිනිසා ක්‍රමාණුකූලව  ලබාගෙන තිබෙන සුවිශාල දියුණුව, කෙටි කාලීනව නවාතැන් ගන්න ඉඩ ඇති ලෝකය සියලු මිනිසුන්ට බියෙන් සැකෙන් තොරව ජීවත්වෙන්න ඇති ඉඩ අහුරන දැඩි තෘෂ්ණාවක් බවට පරිවර්තනය වීමක්. ඛේදවාචකය වෙන්නෙ කෙනෙක් මේ ජීවිත ක්‍රමයට වෙනස් ව පවතින්න උත්සාහ කරන වෙලාවට මුලු සමාජයටම ඒ පුද්ගලය පිටස්තරයෙක් බවට පත් වීම.

කොරියානු කලාපයේ කැපීපෙනෙන සිනමාකරුවෙක් වුණු  Kim ki-duk ගේ 3 iron චිත්‍රපටය අවසාන වෙන්නෙ අපි මේ ගෙවන ජීවිතය සිහිනයක් ද නැතිනම් සැබෑවක්ද යන ප්‍රශ්නය විමසමින්. Kim ki-duk වෙනම සොයාබලන්න වටින සිනමා කරුවෙක්. බොහෝ අය ඔහුගෙ අගනා සිනමා කාව්‍යක් වුණු Spring summer fall winter and spring නරඹා ඇති. ආධ්‍යාත්මිකත්වයට නැඹුරුවුණු බව පෙරදිග මිනිසා තුළ දකින්න ලැබෙන ස්වභාවයක්. නමුත් ලෞකිකත්වය හඹාගෙන ගිය අපරදිග මිනිසාට දියුණුව අත්පත් කරගෙන මුළු ලෝකය තමා යටතට ගන්න හැකි වුණා. ක්‍රමයෙන් වෙළඳපොළ මුල් කරගත්ත ධනවාදය ලොව පුරා පැතිරී යාමත් එක්ක මුදල සහ ලාභය සියලු දේ පාලනය කරන සර්වබලධාරි දේවත්වයට පැමිණුනා. මේ බලපෑම නිසා සිදුවුණ ආධ්‍යාත්මික පරිහානියත්, පවුල නම් කුඩා ඒකකය තුළ ආදරය, උණුහුම සිඳී ගොස් ඇති ආකාරයත් ඉතාම සියුම්ව 3 irons චිත්‍රපටයෙන් නිරූපණය වෙනව.

Tae Suk මෝටර් බයිසිකලයක නැගිල මහ මග එහා මෙහා යන්නෙක්. කොහෙ ඉඳන් ඔහු එනවද කොහෙ යනවද කියන්න කිසි කෙනෙක් දන්නෙ නෑ. මහ පොළවේ ස්ථීර බැඳීමක් ඔහුට නැති ගාණයි. Tea suk සැරිසරන කොරියානු ඉහළ පාන්‍තික වටපිටාව මිනිස් හා හෝවකින් තොර පාලු ස්වරූපයක් ගන්නව. නමුත් හතර අත අලංකාර ගෙඋයන් වලින් හැඩ වුණ සුවිසාල නිවාස වලින් නම් මේ වටපිටාව අඩුවක් නෑ. Tea Suk මෙතැන හරි අපූරු වැඩක් කරනව. ඔහු සියලුම නිවාසවල යතුරු සිදුර ආවරණය කරමින් දැන්වීම් පත්‍රිකා අලවමින් යනව. පසුව ඇවිත් දැන්වීම ඉවත් නොකළ නිවාස වල අයිතිකාරයන් ඒ මොහොතේ නොමැති බව වටහගෙන ඒ නිවසකට හොරෙන්ම ඇතුලුවෙනව. ඉන්පස්සෙ ඔහු නිවසේ ඉතිරිවී තිබෙන ආහාර අනුභව කරනව, රූපවාහිනිය නරඹනව. නමුත් ඔහු කිසි දෙයක් සොරකම් කරන්නෙ නෑ. ඒ වෙනුවට නිවසේ කැඩුණු බිඳුනු උපකරණ පිළිසකර කරනව. නිවැසියන්ගෙ රෙදි සෝදා දමනව.  මේ විදිහට රැයක් ගතකරන ඔහු ඉන් පස්සෙ තවත් නිවසක් සොයා යනව. 

ඔහුට ඇයව මුණගැහෙන්නෙ මෙහෙම එක් නිවසකදි. ඇය ගෙහිමියාගෙ බිරිඳ. ගෙහිමියා ඇයට සලකන්නෙ බොහොම අකාරුණික විදිහට. තරුණයා නිවසට ඇතුළුවන මොහොතේ ඇයත් එතුළ ඉන්නව. ඇය සැඟවිලා ඔහු කරන සියලු දේ බලා ඉන්නව. නමුත් එක මොහොතක ඔවුන් මුණගැහෙනව. ඇය මුහුණ පාන විපතකින් ඔහු ඇය බේරාගන්නව. තරුණයා සොරෙක් මැරවරයෙක් නොව මෘදු හදැත්තෙක් බව ඇය වටහ ගන්නව. ඇයත් ඔහු සමගම නිවසින් පිටවී එනව. ඉන්පස්සෙ හිස් නිවාසයක් සොයමින් ඒ ගමන යන්නෙ ඔවුන් දෙදෙනාමයි.

මේ නිවාස වල ගෘහ නිර්මාණ ශිල්පයත් උද්‍යාන අලංකරණයත් ඉහළ මට්ටමක තිබුණත් ඒවායෙ ඇතුළාන්තය මිනිස්කම් වැළලී ගිය සොහොන් ගෙවල් වගෙයි. මේ නිවාස අයිතිකරුවන් දින ගණන් විනෝද සවාරි ගියත් සතුට ඔවුන්ගෙ ජීවිත වල නැහැ. ඔවුන් ගෙ පවුල් ජීවිත අඬ දබර වලින්  එකිනෙකා වෙත බැණාඬගසා ගැසීම් වලින් පිරිල. අපේ තරුණයා පැමිණෙන්නෙ එවැනි තැන් වලට. ඔහු නිවස ඇතුළ සුද්දපවිත්‍ර කිරීමෙන් සංකේතවත් වෙන්නෙ ඒ තුළ සුඛෝපභෝගීත්වයේ  ගිලී සැඟවී ගිය මිනිස් කම් නැවත ඒ තුළට රැගෙන ඒම. තමන්ගේ ස්වාමියා අතින් හිංසාවට ලක්වෙන බිරිඳගෙන් සංකේතවත් වෙන්නෙ මේ ආදරය අහිමි වීම. නමුත් නීතිය සහ සමාජ සදාචාරය මේ තරුණයාවත් ගැහැණියවත් නිවැරැදිව හඳුනාගන්නෙ නෑ. ඔහු සිරගෙයටත් ඇය නැවත අසතුටුදායක විවාහය නම් සිරගෙයටත් නියම වෙන්නෙ ඒ නිසා. සැරිසරන තරුණයාත් ගෙහිමි කාන්තාවත් අතර ඇතිවන මායාමය ප්‍රේමය, සමාජ තත්ත්වය හෝ පන්ති භේද නොසලකා මිනිසුන් එකිනෙදා ගරු කිරීමට පටන් ගන්න පොළවක ආදරය සැබවින්ම දලුලන බව කියා දෙනවා. 

3 Iron චිත්‍රපටයේ දෙබස් භාවිත කර තිබෙන්නෙ ඉතාම අවමයෙන්. රූගත කිරීම් වලට පෙර බොහෝම රූප රාමුවල දෙබස් ඇතුළත්ව තිබුණත් රූගත කිරීම් අතරෙදී අද්‍යක්ෂවරයා ඒ දෙබස් එකින් එක ඉවත් කර අවසානයෙ තිබිය යුතුම දෙබස් කීපයක් පමණක් ඉතිරි කර චිත්‍රපටය රූගත කර තිබෙනව. ප්‍රේක්ෂකයන්ට දැනෙන ආකාරයට  ඒ ඉඩකඩ පුරාවාගැනීම අරමුණු කරගෙනයි ඔහු ඒ හිස් හිස් ඉඩ ඉතිරි කර තබන්නෙ. යම් මායාමය යතාර්ථවාදී ස්වරූයක් ගන්න 3 iron චිත්‍රපටය වරක් නැරඹූ කෙනෙකුට අමතක කල නොහැකි සුවිශේෂී සිනමා අත්දැකීමක් බව කිවහැකියි.



Monday, December 7, 2020

ඇය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න

බොහෝ සේ පොත පත කියවන ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න, ලිවීමෙහි යෙදෙන ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න, හැඟුම් මාත්‍රයන් ගැඹුරින් අත්විඳින ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න.

මනා සේ උගත්..ඉන්ද්‍රජාලික, උමතු ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න. සිතන ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න. තමන් දන්නා දේ පිළිබඳ නිවැරදි අවබෝධය ඇති, තමන් පිළිබඳවම විශ්වාස කරන මෙන්ම පියාසරන්නේ කෙලෙස දැයි දන්නා ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න. අනුරාගයේ හැසිරෙන කල සිනාසෙන හෝ හඬන. තම සිරුර තම ආත්මය කරගැනීමට දන්නා ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න.

කවියට පෙම් බඳින ඇයට ඇගේ පාඩුවේ හිඳින්නට ඉඩ හරින්න (ඔවුන් වැඩිපුර භයානකය) නැත්නම් සිතුවමක් අගය කරමින් අඩ පැයක් ගත කරන හෝ සංගීතයෙන් තොරව දිවි ගෙවීමට නොදන්නා ඇයට... 

දේශපාලනය පිළිබද උනන්දු, කැරළිකාරී, අයුක්තිය අසාධාරණය හමුවේ දැඩිව කිපෙන ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න. රූපවාහිනිය දෙස ඔහේ බලා සිටීම ප්‍රිය නොකරන මෙන්ම ඇගේ මුහුණේ හෝ සිරුරේ හෝ හැඩතල කෙසේ පිහිටා තිබුණද සුන්දරත්වයෙන් යුත් ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න. 

තියුණු මෙන්ම කෙළිලෝල, මනා දැනුමැති, නොදැමුණු ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න. මක්නිසාද, ඇය ඔබ සමග සිටියද නොසිටියද, ඇය පෙරළා ඔබට ආදරය කළ ද නොකළද, ඇය සමග බැඳුනු ප්‍රේමයෙන් ඔබට කිසිදා අත්මිදෙන්නට නොහැකිවන්නේය. 

— Don't fall in love with a woman who reads by Martha Rivera-Garrido — 

(Translated by me)



Friday, December 4, 2020

We need to talk about Kevin (2011)

(2020/ 12/ 04 ලංකා පුවත්පත)

කොයිතරම් උත්සාහ කලත්, ජීවිත කාලයක්ම එකට ගතකලත් කෙනෙකුව මුළුමනින්ම වටහ ගන්න අපිට බැහැ. කෙනෙකු ලඟ තියන සමහර ගති ස්වභාවයන් ඇයි එහෙම පිහිටා තියෙන්නෙ කියන්න ඒ අයවත් දන්නෙ නෑ. දෙමව්පියන් ගේ ජීවන රටාව, සමාජ සංස්කෘතික බලපෑම්, ආර්ථික දේශපාලනික සාධක ඔය හැම දෙයක්ම අඩු වැඩි වශයෙන් චරිතයක් ගොඩනැගෙන්න බලපානව. නමුත් බොහෝ වෙලාවට දකින්න පුලුවන් දෙයක් තමා එකම පරිසර තත්ත්වයන් යටතෙ ජීවත්වන දෙදෙනෙකුගෙ වුණත් සිතුවිලි සහ හැසිරීම් රටාවන් ක්‍රියාත්මක වෙන්නෙ දෙයාකාරයකට බව. මේ දේ සිද්දවෙන්නෙ කොහොම ද? බාහිර සාධක වලට අමතරව සහජයෙන් අපි අරගෙන එන සමහර දේවල් නිසා ද? එහෙනම් ඒ සහජය එන්නෙ කොහෙන් ද?

අනිත් කාරණය තමා ජීවිතය ඇතුලෙ මිනිස්සුන්ට මුහුණ දෙන්න සිදුවෙන අත්දැකීම් අතර සමාන කම් තිබුණත් සමහරු බොහොම සාමාන්‍ය ජීවිත ගත කරන අතරෙ කලාතුරකින් කෙනෙක් දාම ඝාතකයෙක්, ත්‍රස්තවාදයෙක්, නැත්නම් අනෙක් මිනිසුන් පීඩාවට පත්කර සතුටුවන්නෙක් වගේ ප්‍රචණ්ඩකාරී ගති ස්වභාවයන් පෙන්වන තැනට යොමුවෙන්නෙ කොහොමද කියන දෙය. ඔවුනුත් අපි වගේම මිනිසුන් බව ඇත්ත. නමුත් යම් හේතුවක් නිසා ඔවුන් අර සාමාන්‍ය ජීවිත පැවැත්මෙන් වෙනස් වී ගිහින්, මුලු සමාජයක වෛරයට ලක්වෙන එක්තරා අන්තයකට තල්ලුවි ගිහින් තියනව. මේ කාරණය වටහගත්තොත් මම හිතනව ඔවුන් දිහා  ද්වේශයකින් තොරව අපිට බලන්න පුලුවන් බව.

We need to talk about Kevin චිත්‍රපටයත් කියවෙන්නෙ මේ ආකාරයෙන් මුලු සමාජයට පිලිකුළට ලක්වෙන සාහසිකයෙකු බවට පත්වුණු තරුණයෙකුගෙ කතාව. නමුත් චිත්‍රපටයෙ මේ කතාව අපට කියන්නෙ කෙවින් ගෙ මව Eva ගෙ දෘෂ්ටිකෝණයෙන්. ඒ නිසා මේ චිත්‍රපටය මූලික වශයෙන් මවකගෙ කතාවක් බව කිව්වොත් නිවැරැදියි. මවක් දරුවෙකුට ආදරය කරන්නෙ තමන්ගෙ ජීවිතය පවා දෙවනි කරගෙන. තමන්ගෙ දරුවා සමාජයට මොන ආකාරයක පුද්ගලයෙක් වුණත් අම්මා කෙනෙකුට ඒ තමන්ගෙ දරුවාමයි. දරුවා නිසා මේ ගැහැනියට විඳ දරා ගන්න සිද්දවෙන නින්දා අපහාස හිතාගන්න බැරි තරම්. නමුත් ඈ ඒ හැම දේම ඉවසනව. තමන්ගෙ කුසින් ලොවට බිහිකල දරුවා තමන්ට වෛර කරන මොහොතක පවා ඇය ඔහුට ආදරය කරනව. 

Eva සංචාරක ලේඛ්කාවක් විදිහට නමක් දිනාගත්ත ගැහැනියක්. ඇය ජීවිතයේ නිදහස උපරිමයෙන් භුක්තිවිඳිමින් සිටි තැනැත්තියක්. යම් තැනක ඇයට Frank නම් ආදරණීය මිනිසා මුණගැහෙනව. ප්‍රේමයෙන් බැඳෙන ඔවුන් දෙදෙනා විවාහ වෙනව.  Kevin ඔවුන් දෙදෙනාගෙ මුල්ම දරුවා. Kevin ලැබීමත් සමගම එක් පසෙකින් ඇයට තමන්ගේ සුපුරුදු නිදහස්කාමී ජීවිතය අහිමිවෙනවා. අනෙක් පස දරුවා කුඩා වයසේ පටන් පෙන්නුම් කරන ප්‍රචණ්ඩ ගති සොබාවන් ඇයව රිදවනව. මවක් විදිහට  Eva මේ සැම දෙයක්ම ඉවසා දරා ගනිමින්  Kevin ට ආදරය කරන්න උත්සාහ කළත් ඇයට තමන් ගේ දරුවා ගමන් කරන්නේ වැරදි මාර්ගයක බව වටහාගන්න නොහැකි වෙනව.  ඒ  Eva  සහ Frank අතර  Kevin ගේ සුවිශේෂ ගති ස්වභාවන් ගැන නිවැරදි සංවාදයක් ඇති නොවුණ නිසා ද? චිත්‍රපටයේ අරමුණ Kevin වැනි සමාජයේ බහුතරය අතින් විවේචනයට ලක්වන්නන් ගැන කතාබහක් ඇති කිරීම ද?

Eva ගේ චරිතය නිරූපණය කරන සුප්‍රකට හොළිවුඩ් නිළි Tilda Swinton ගේ රංගනය චිත්‍රපටය පුරාම කැපීපෙන මට්ටමෙන් දැක්ගත හැකියි. මුහුණෙන් විශේෂයෙන්ම දෑසින් කරන ඇගේ හැඟීම් ප්‍රකාශනයන් ඉතාම ප්‍රබලයි. Frank ගේ චරිතය නිරූපණය කරන John C. Reilly  වගේම Kevin ගේ චරිතය නරූපනය කරන Ezra Miller ඉතාම ඉහළින් චිත්‍රපටය ඇතුළෙ තමන්ගෙ කොටස ඉටුකරනව. හොලිවුඩයේ නැගී එන සිනමාවේදිනියක් වුණු Lynne Ramsay (You Were Never Really Here) අධයක්ෂණය කරන We need to talk about Kevin චිත්‍රපටය විචාරක වගේම ප්‍රේක්ෂක දෙපාර්ශවය අතින්ම පැසසුමට ලක්වුණු සිනමා නිර්මාණයක් බව හඳුන්වන්න පුලුවන්.




Wednesday, December 2, 2020

ප්ලාස්ටික් මල

"කීයද මහත්මයා ණය මුදල"
අසයි ඇය
තදින් තොල් සායම් ඉලූ
රතු දෙතොල් ඇද කර..

"සම්පූර්ණ නම ලියන්න මෙතැන"
කියනා විටදි
මනා කොට සකසා ඇති
ඇහි බැම මඳක් එසැවෙයි..

"මෙන්න මෙතනින් අත්සන් කරන්න"
ඉසියුම් ව අණකරයි
කදිමට ඔප දැමූ නිය පෙළ 
තබා තිත් ඉර අසල

ඈ පසෙක 
තබා ඇති ප්‍රින්ටරය මත
මල් බඳුනේ පිපුණු ප්ලාස්ටික් මල
සුවඳක් නැතත් එහි හැඩ..!




Tuesday, December 1, 2020

Scenes from a Marriage (1973)

අවුරුදු දහයක ප්‍රීතිමත් විවාහ ජීවිතයක් කියන්නෙ විශේෂයෙන් කතා කල යුතු මාතෘකාවක් බවට පත් වීම ඇතුලෙ තියෙන්නෙම එක්තරා ආකාරයක උත්ප්‍රාසයක්. මොකද විවාහයක් කියන්නෙ ජීවිත කාලය පුරාම එකිනෙකාට ට ආදරය කරන බවටත් ලෙඩ දුකේදීත් සුව සැපේ දීත් ලඟින් ඉන්නා බවට පොරොන්දු වෙමින් ඇති කරගන්න ගිවිසුමකට නිසා. නමුත් සෑබෑ ලෝකයෙදි දකින්න ලැබෙන තත්ත්වය ඊට වඩා සෑහෙන වෙනස්. අවුරුදු ගණනාවක විහාහ ජීවිත ගත කරමින් ඉන්නා බොහෝමයක් දෙනෙකුගෙ අත්දැකීම් විමසල බැලුවොත් තමන් ගත කරන මේ ජීවිතේ විශේෂ සතුටක් හෝ දුකක් නැතිව, විවාහ වුණ නිසා මොන ආකාරයකින් හරි එය පවත්වාගෙන යන බවත් කියාවි. නැත්නම් වෙන් වෙන්න තරම් දැන් ප්‍රමාද වැඩියි, දරුවන් නිසා හරි එකට ඉම්මු.. වගේ අදහසකින් විවාහයක ඒකාකාරී නීරස බව විඳදරාගෙන ජීවිත ගෙවාදමන බව කියාවි. ඇයි එහෙම වෙන්නෙ?


හොඳට ඉගෙන ගන්න, හොඳ රස්සාවක් කරන්න, වාහනයක් ගන්න, ගෙයක් හදන්න, විවාහ වෙන්න, දරුවන් ලබන්න, ජීවිතේට ඉලක්කයක් තියාගන්න කුඩා කාලයෙ පටන් දෙමව්පියන් ගෙන්, සමාජයෙන් අපේ මනසට ඇතුළුකරන්නෙ මෙවැනි දේවල්. ජීවිතය අංග සම්පූර්ණ එකක් කරගන්න නම් ඔය අවශ්‍යතාවන් හැකි උපරිමයෙන් සපුරාගතයුතු බව තමයි කියවෙන්නෙ. මේ අදහස එක අතකින් වරදකුත් නැහැ. නමුත් ඔතැන මඟ හැරුණු යම් දෙයක් තියනව. හිතන්න එක පුද්ගලයෙක් එක්තරා ආකාරයක මෝටර් රථයක් මිලදී ගන්න සිහින දකිනව. ඒ නිසා ඒ පුද්ගලය වෙහෙස මහන්සි වෙලා වැඩ කරල මුදලක් ඉතිරි කරගෙන අවසානෙ මෝටරථයක් මිලදී ගන්නව. සිහිනය යථාර්ථයක් බවට පත්වුණායින් පස්සෙ ඔහුට තවත් සිහින දකින්න යමක් ඉතිරි වෙන්නෙ නෑ. ටික දවසකින් ඔහුට ඒ වාහනය බොහොම සාමාන්‍ය දෙයක් බවට පෙනේවි. එහි කිසිම විශේෂ යමක් ඇති බව නොසිතේවි. ඉක්මනින්ම ඔහු අතෘප්තියට පත්වේවි. ඉතින් මේ හිස් බවෙන් මිදෙන්න  ඔහුට සිද්දවෙනව වෙනත් වස්තුවක් සමග බැඳෙන්න. මිනිස්සු ජීවිතය ඇතුලෙ ලබා ගන්න වෙරවෑයම් කරන බොහෝම දේවල් වල ස්වභාවය එහෙමයි. දැන් මේ ස්වභාවය විවාහය සමග ආදේශ කර බලන්න. ඔබට මුණගැහෙනව ආකර්ෂණීය ගැහැණියක් හෝ මිනිසෙක්, ඔබ දෙදෙනාම ප්‍රේමයෙන් බැඳෙනව, කිසිදාක කිසිම බලවේගයකට ඔබේ ආදරය බිඳ දැමිය නොහැකි බව කල්පනා කරනව. ඉතින් ඔබ දෙදෙනා විවාහ වෙනව. එතනින් එහා කලින් උදාහරණයෙ වාහනයක් ගත්ත පුද්ගලයගෙ ඉරණම මයි.

නමුත් නැහැ, විවාහය දිහා සර්ව අසුබවාදීව බලන්න තරම් ඉක්මන් විය යුතු නැහැ. වෙනස් ආකාරයේ අදහස් ඇති දෙදෙනෙකුට වුණත්, එක මතයක පිහිටල වැඩකටයුතු කරගෙන යන්න හැකියාව තියනව නම් එකිනෙකා වෙනුවෙන් පවතින ගරුත්ව සහ විශ්වාසනීයත්වය ආරක්ෂා වෙනවනම් ඒ විවාහය  ඇතුලෙ ප්‍රීතිමත් බව ආරක්ෂා කරගන්න පුලුවන්. විවාහය ඇතුලෙ සතුට කියන්නෙ දෙදෙනෙක් පොදුවෙ බෙදාහදා ගන්නා යමක්. එතනදි දෙදෙනාටම සිද්දවෙනව තමන්ගෙන් එක්තරා කොටස කැපකරන්න. එය පහසු නෑ. ඒ නිසාන ප්‍රීතිමත් විවාහ ජීවිත ඒ තරම් සුලබ නෑ.

ස්වීඩන් ජාතික ශ්‍රේෂ්ඨ සිනමාකරු Ingmar Bergman නිර්මාණය කල Scenes from a Marriage චිත්‍රපටයෙන් විවාහයක් ගැන තියන මේ යථාර්ථයන් ඉතාම විශිෂ්ට ආකාරයෙන් නිරූපණය වෙනව. විවාහක යුවළක් මුල් කරගෙන ගොඩ නැගෙන  Scenes from a Marriage විවාහයක් ඇතුළෙ පමණක් නොවෙයි දිගු කාලීන ප්‍රේම බන්ධනයකින් බැඳුනු ඕනෑම දෙදෙනෙකුගෙ කතාවක් විය හැකි තරම් සියුම් බවකින් සහ ගැඹුරකින් Bergman මේ කතාව නිර්මාණය කරනව.  Scenes from Marriage නිෂ්පාදනය වෙන්නෙ අඩු වියදමකින් නිර්මාණය වෙන, කොටස් හයක රූපවාහිනි මාලා නාටකයක් විදිහට. රූපවාහිනියෙන් විකාශනය වුණායින් පස්සෙ පැය තුනකට ආසන්න චිත්‍රපටයක් විදිහට Scenes from marriage සංස්කරණය වෙනව.  Marianne සහ Johan යුවළ තමන්ගෙ දහ අවුරුද්දක විවාහ ජීවිතය ගැන එක්තරා සඟරාවකට සම්මුඛ සාකච්ඡවක් ලබා දෙන තැනින් චිත්‍රපටය ආරම්භ වෙන්නෙ. ඔවුන් දෙදෙනා, එකිනෙකා බොහොම ප්‍රිය කරන සාමකාමීව ජිවිතය ගතකරන ඉතාම වාසනාවන්ත යුවළක් බව සැක නැහැ. නමුත් මේ දස අවුරුදු උත්කර්ෂයෙන් එහාටත් කිසිම ගැටලුවකින් තොරව ඒ සතුට පවත්වාගන්න මේ දෙදෙනාට පුලුවන් වේවි ද? 

Marianne විදිහට Bergman ගේ බොහෝමයක් සිනමා නිර්මාණ වල රංගනයෙන් දායක වෙන විශිෂ්ට රංගන ශිල්පිනි Liv Ullmann සහ Johan විදිහට Erland Josephson රංගනයේ යෙදෙනව. මේ දෙදෙනාට අමතරව අවශේෂ චරිත දකින්න ලැබෙන්න අඩුවෙන්. ප්‍රබල වගේම අවස්ථානුචිත දෙබස් බහුලව යොදාගැනීමෙන් Marianne සහ Johan අතරේ තියන බැඳීමත් ඔවුන්ගෙ මනෝභාවයනුත් නිරාවරණය කරනව. ඔවුන් අතරෙ ඇතිවෙන සංවාද සුහදශීලී භාවයෙ පටන් ක්‍රමයෙන් රළුපරළු වදන් හුවමාරුවකටත් නැවත සුහද භාවයටත් හුවමාරු වෙන ආකාරය නිරීක්ෂණය කල හැකියි. එක්තරා නිශ්චිත මොහොතක ඔවුන් අතර ඇතිවෙන ආවේගය උපරිම තැනට ඇවිත් පුපුරා යන්නෙ නැවතත් සාමකාමී බවකට ඉඩ හදමින්. ඒත් ඒ සිහිනෙකින් නොහිතු තැනක දි.

Scenes from a Marriage සිහින පසුපස්සෙ යමින් සිත් රිදවාගන්න නැවත නැවතත් එකෙනෙකා වෙතම බැඳෙන දෙදෙනෙකුගේ ප්‍රේම වෘතාන්තයක් අපිට කියනව. චිත්‍රපටය ගැන Bergman ගේම වචනවලින් කියනව නම්

"පිටපත රචනා කරන්න ගත වුණු කාලය මාස දෙකහමාරක් පමණක් වුණත්, Scenes from a Marriage චිත්‍රපටයෙ මතුවන හැඟීම කෙනෙක් ජීවිත කාලයක් උසුලාගෙන යන තරම් බරැති එකක්




Monday, November 30, 2020

ඔබ හමුවීම සුදුසු නැත

ඔබ හමුවීම සුදුසු නැත
එක්වරම
දෙනෝදහසක් මැද
අහම්බෙන් දුටු අයෙකු මෙන්....
හඳුනාගත හැකිදැයි
කොයිතරම් කල් ගත වුණා දැයි
විමසීම පහසු නැත
ඔබට මෙන් මට...

එබැවින්
හිතවතිය
ඔබෙ දෑස ඉදිරිපිට
ගලා යන මහ මිනිස් ගංගාවක
අංශුවක් තුළ සැඟෙවෙමි...
ඇස් කෙවෙනි අග
මතුව එන තෙත
ඇස් පියන් යට සඟවමි...
ළයෙහි මතුවන
සියුම් කටු තුඩු රිදුම
නොපෙනෙන ලෙස කවියක අතුරමි...
පෙනෙන නොපෙනෙන
ඈතකින් දැකගමි
නොකියාම නික්මෙමි....




Thursday, November 26, 2020

Lucia -(2013, language - Kannada)

(Psychological/ Drama/ Romantic)

ඔබ මායාවෙහි නිමැවුමක් ද?
නැතිනම් මායාව ඔබේ නිමැවුමක් ද? 

"ඔබ" ශරීරයෙහි කොටසක් ද?
නැතිනම් ශරීරය ඔබේ කොටසක් ද?

අවකාශය තුළ ලෝකය පවතීද 
ලෝකය තුළ අවකාශය පවතී ද?
නැතිනම් ලෝකයත් අවකාශයත් එය විමසන ඇස තුළ පවතී ද?

ඇස ඇසුරුකොටගෙන මනස පවතී ද?
මනස ඇසුරුකොට ගෙන ඇස පවතී ද?
නැත්නම් ඇසත් මනසත් ඔබ ඇසුරුකොටගෙන පවතී ද?

උක්දඬුවෙහි පැණිරස පිහිටා ඇත් ද?
පැණිරසයෙහි උක්දඬු පිහිටා ඇත් ද?
නැත්නම් උක්දඬුවද පැණි රසය ද රස විමසන දිවෙහි පිහිටා ඇත් ද?

දිව ඇසුරුකොටගෙන මනස පවතී ද?
මනස ඇසුරුකොට ගෙන දිව පවතී ද?
නැත්නම් දිවත් මනසත් ඔබ ඇසුරුකොටගෙන පවතී ද?

සුගන්ධය මල ඇසුරුකොටගෙන පවතී ද?
මල ඇසුරුකොටගෙන සුගන්ධය පවති ද?
නැත්නම්  සුවඳත් මලත් ඔබ ඇසුරුකොටගෙන පවතී ද?

ඇසෙන දකින සියලුදේ මනස ඇසුරුකොටගෙන පවතී ද?  
එසේනම් ඒ සියලු දේ මනසේ මැවෙන පිළිබිඹු පමණ ද?
.
.
.
හිතන්න.. ඔයා ඉන්නෙ කන්දක් පාමුල. කඳු මුදුන දිහා බැලුවම යාන්තමට කූඹියෙකුගෙ ස්වරූපයකින් යම් මිනිසෙකුගෙ රූපයක් ඔයා දකිනව. කඳු මුදුනෙ ඉන්න මිනිසා දකින්නෙ මොනවද? එතැනට මේ අහසම කොයිතරම් අපූරුවට පේනව ඇති ද? ඔයා හිතනව. ඔයාගෙ හීනය තියන්නෙ එතැන. ඒ කඳු මුදුන මත. මුදුනෙ ඉන්න මිනිසාගෙ ඇස් දෙකෙන් බැලුවොත්. ඔහු දකින්නෙ පහළ භූමිය. පුංචියට එහෙ මෙහෙ යන මිනිස්සු. ගස් කොලන් වල නිල් පාට. පොළවේ පිහිටි ගංගා දිය ඇළි. පොළව කොයිතරම් සුන්දර ද. ඔහු හිතන්නෙ එහෙම. 

සම්මුඛ සාකච්ඡවකදි එක්තරා සුපිරි තරුවකට යොමු වෙනව ප්‍රශ්නයක්. ඔබේ ජීවිතයෙදි දකින ලොකුම හීනය මොකක්ද? 

ඒ සුපිරි තරුව ඒ ප්‍රශ්නයට දෙනව හරි අපූරු පිළිතුරක්..

හැමෝම හිතනව සුපිරි තරුවක් වෙන එක හරි අපූරු දෙයක් කියල ඒත් ඒක එහෙම නෑ. ඔයාට, ඔයා කැමති තැනක යන්න කැමති දෙයක් කරන්න නිදහසක් නෑ. හැම වෙලාවෙම දහස් ගණනක් ඔයා දිහා බලාගෙන ඉන්නව!

මගෙ හීනයය තමා කවුරුත් නොදන්න සාමාන්‍ය මනුස්සයෙක් වගේ පාරවල් වල ඇවිදින එක. පාර අයිනෙ කෑම කඩවලින් කන එක. මම කැමති කෙනෙක් එක්ක කැමති තැනකට වෙලා මොහොතක් නිදහසේ ඉන්න එක. ඕව තමා මට තියන ලොකුම හීන!

සාමාන්‍ය ජීවිත ගත කරන අපි හීන දකින්නෙ අසාමාන්‍ය ජීවිතයක් ගැන. අසාමාන්‍ය තැනක ඉන්න කෙනෙක් හරිම සාමාන්‍ය තැනක ජීවිතයක් ගැන හීන දකිනව නම්!!

පොඩ්ඩක් හිතන්න.  ඔයා ගතකරන ඔය ජීවිතය තව කෙනෙකුට බව!
.
.
තමන්ට අහිමි වුණ  ජීවිතයක් ගැන හීන දකින්නෙකු මුල් කරගෙන කන්නඩ භාෂාවෙන් නිර්මාණය වුණ Lucia චිත්‍රපටය ආකාර කිහිපයකින් සුවිශේෂයි. මූලිකම කරණාව Lucia කියන්නෙ crowdfunding චිත්‍රපටයක් වීම. චිත්‍රපටයට ප්‍රධාන වශයෙන් මූල්‍යමය දායකත්වය දක්වා තිබෙන්නෙ සිනමා රසිකයන්මයි! Lucia තිර රචනා කරන ඉන්දියාවේ තරුණ සිනමාකරු Pawan Kumar ට චිත්‍රපටය වෙනුවෙන් නිෂ්පාදකවරයෙක් සොයාගන්න බැරි වෙනව. ඒ නිසා ඔහු තීරණය කරනව සමාජ මාධ්‍ය හරහා චිත්‍රපට රසිකයන්ගෙන් සහාය ලබා ගන්න. ඔහු හිතුවට වඩා පිරිසක් චිත්‍රපටය නිෂ්පාදනය වෙනුවෙන් දායක වෙන්න ඉදිරිපත් වෙලා තිබෙනව. ඉතින් ඔවුන්ගෙ මූල්‍යමය දායකත්වය මත තමා චිත්‍රපටය නිෂ්පාදනය වෙන්නෙ.  Lucia ඉන්දියානු චිත්‍රපටයක විචිත්‍රවත් බව මෙන්ම psychological ගුණයද නොඅඩු ඉතාම අපූර්ව සිනමා අත්දැකීමක් ප්‍රේක්ෂකයන්‍ට ලබා දෙනව. සිනමා විචාරකයන්ගෙ පවා පැසසුම් ලබමින් සෑහෙන ආකර්ෂණයක් දිනා ගන්න සමත්වෙනව. චිත්‍රපට නිෂ්පාදකයින් අතින් ප්‍රතික්ෂේප වුණත් Pawan Kumar සිනමාවට ආදරය කරන පිරිසක් එකතු කරගෙන මේ හීනය සෑබෑවක් කර ගත් ආකාරය අපූරුයි. Lucia චිත්‍රපටයෙ කේන්ද්‍රීය චරිතයත් සිනමා පිස්සෙක් ඒ නිසා Lucia, සිනමා පිස්සෙක් සිනමාව වෙනුවෙන්ම ලියූ ප්‍රේම ගීයක් බව කිව්වොත් වඩා නිවැරැදියි.




Wednesday, November 25, 2020

කැඩපත

"සීතල සෙවණ"
නිවසේ
වැව අද්දර කුටියට
අපි ආව මුල්ම දවසේ පටන් 
ඒ කුඩා කැඩපත
බලා උන්නා අපි දිහාවම..

"සීතල වුණත් නම
මේකෙ තියන ග්‍රීස්මය!"

ඇය කිව්වෙ කැඩපතේ
දූවිලි පැල්ලම් අතරේ
ඇගෙම පිළිබිඹුව ට..
කවුලුවෙන් අඩක්
යන්තමට
විවර කලා මං
පිට හුළඟට..

ඉන් පස්සෙ කී වතාවක් 
අපි හමුවුණාද මෙතැනම...
බලා උන්නා කැඩපත 
අපි දිහා වෙනසක් නැතුවම..
පෙන්වමින් 
අවුල් වී පැටලුණු තැන්
ඇගෙ කෙහෙකැරළි වල...
පොඩි වී අපිළිවෙල වූ තැන්
සයනය මත..
සෙමෙන් මතුවන අඳුරු පැහැය
මගෙ දෑස් යට..

ඇඳෙන පිළිරූ සැණෙකින්
මැකීයනවා මිසක
අල්ලා නොගන්නා බැවින් 
කිසිවක් මතක
තවදුරටත් අපි නොඑන
ඒ කුටියෙ මළ පාලුව
ඉවසා දරාගෙන ඇති දැන්
ඒ කුඩා කැඩපත
සමහරවිට..



Friday, November 20, 2020

Waves (2019)

 (2020/11/20 "ලංකා" පුවත්පත වෙනුවන්)

මුහුද කියන්නෙ ජීවිතයත් එක්ක හරි ලස්සනට සම්බන්ධ කරන්න පුලුවන් දෙයක්. ඒ විවිධාකාර ස්වරූප වලින් පවතින්න මුහුදට තියන හැකියාව නිසා. බොහොම නිහඬව නිසලව රළ මතුවෙනකොට මුහුද තරම් සුන්දර තැනක් තවත් නෑ. ඒ රළම තව මොහොතක වියරු කුණාටුවක් බවට හැරුණම මුහුද තරම් බියකරු තැනක් තව නෑ. වෙරළෙදි සෑහෙන නොගැඹුරු වුණත් දියඹෙදි ඒ ගැඹුර කොයිතරම්ද කියල හිතාගන්නත් බෑ. අපේම ජීවිතය, අපිවම වටකරගෙන පවතින මිනිස් බැඳීම් මේ ස්වභාවය එක්ක කොයිතරම් අපූරුවට ගැළපෙනව ද?

2019 අවුරුද්දේ තිරගත වුණු Waves චිත්‍රපටයේ කතාව ගොඩනැගෙන්නෙ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජීවත්වන කළු ජාතික පවුලක් වටා. ටේලර්, පවුලේ වැඩිමහල් දරුවා, උසස් පාසලේ ප්‍රසිද්ධ පෙරළිකාර චරිතයක්. ඒ වගේම ඔහු මල්ලව පොර ක්‍රීඩකයෙක්. තමන්ගෙ සුරූපී පෙම්වතිය සමඟත්, මිත්‍රයන් සමග විනෝද වෙමිනුත් ඔහුගෙ ජීවිතය නිදැල්ලේ ගලා යනව. ටේලර් ගේ බාල සොහොයුරිය එමිලි. ඔවුන්ගෙ පියා රොනල්ඩ්. ඔහු බොහොම දැඩි විනයකට අනුව තමන්ගෙ දරුවන් මෙහෙයවන පියෙක්. ටේලර් ගෙත් එමිලිගෙත් සැබෑ මව මිය ගිහින්. පියාගෙ දෙවන විවාහය වුණු කැතරින් දරුවන්ට සැබෑම මවක් වෙමින් ඔවුන්ට ආදරය දක්වනව.

ටේලර් ගේ කෙළිලොල් ජීවන රටාව හිටිහැටියේ වෙනස් වෙන්නෙ නොසිතූ විදිහට. ටේලර් සහ ඔහුගෙ පෙම්වතිය අතර සිදුවෙන බහින්බස් වීමක් දුරදිග යාම නිසා මේ දෙදෙනාගෙ සම්බන්ධය බිඳවැටෙනව. ඉන්පස්සෙ ටේලර් ගේ ජීවිතය ගමන් කරන්නෙ අඳුරට. මත්ද්‍රව්‍ය භාවිත කරන්න යොමුවෙමින් ඇයට තවත් වෛර කරන්න පෙළඹෙන ඔහු ජීවිතේ කුණාටු රළ පහරවල් හමුවේ සම්පූර්ණයෙන් බිඳ වැටෙනව.

චිත්‍රපටයෙ එක් අර්ධයක් අපි දකින්නෙ ටේලර් ගෙ කතාව. අනෙක් අර්ධය වෙන් වෙන්නෙ ඔහුගෙ සොයුරිය එමිලි වෙනුවෙන්. චිත්‍රපටයෙ ආරම්භය සහ සාපේක්ෂව වැඩි කාලයක් ටේලර් වෙනුවෙන් වෙන් වුණත් කේන්ද්‍රීය චරිතය වෙන්නෙ එමිලි. චිත්‍රපටයෙ යටි පෙළ අරුත්ගැන්වෙන්නෙ ඇගේ චරිතයෙන් ප්‍රතිමූර්තිමත් වෙන ගති ස්වභාවයන් එක්ක. මෙතනදි ඇය සංසංදනාත්මක වෙන්නෙ ටේලර් සමග. ඔහු නොහික්මුණු, ආවේගශීලී තරුණයෙක් වුණත් ඇය ඊට සහමුලින් වෙනස් ඉවසිලිවන්ත සහ කාරුණික ස්වභාවයක් ගන්නව. ජිවිතයෙ අභියෝගයන් හමුවෙ දරාගනිමින් නොසැලී ඉන්නව. පීඩාකාරී තත්ත්වයන් වලදි වෛර කරනව වෙනුවට ඇය සමාව දෙනව.

චිත්‍රපටයෙ ගලායාම මුල් අර්ධයෙදි යම් වේගවත් ආකාරයකින් සිදුවෙන බව නිරීක්ෂණය කරන්න පුලුවන්. භ්‍රමණය වෙන සහ වේගවත්ව චලනය වෙන කැමරාව මේ හැඟීම තව තීව්‍ර කරනව. නමුත් දෙවනි අර්ධයෙදි කතාවෙ ස්වභාවය වෙනස්වෙමින් බොහෝවිට නිශ්චල කැමරා කෝණ හරහා කතාව ගලා යනව. ටේලර් ගෙ සහ එමලි ගේ කතා දෙකේ ස්වභාවයන්ට ගැලපෙන්න ඒ ක්‍රමවේදය යොදාගෙන ඇති බව පැහැදිලියි. මේ සුවිශේෂ සිනමාකරණය (Cinematography) මෑතකාලීනව සිනමාවට පිවිසුනු Drew Daniels නම් සිනමාවේදියාගෙ. චිත්‍රපටය පිටපත රචනා කරමින් අධ්‍යක්ෂණය කරන්නෙත් නවක සිනමාකරුවෙක් වුණු Trey Edward Shults.

රසවිඳිය හැකි අපූර්ව සිනමා අත්දැකීමක් ලබාදෙන අතරෙ Waves චිත්‍රපටය ජීවිතේ රළ බිඳීම් හමුවේ බිඳ වැටෙන යළි නිසල වෙන මිනිස් සම්බන්ධතා සමූහයක් දිහා බලා ඉන්න සලස්වනව. ඉවසිලිවන්ත හදවතකට කොයි තරම් දේවල් දරා ඉන්න පුලුවන්ද කියන කාරණය පෙන්වා දෙනව.



Thursday, November 19, 2020

මිහිමත ජීවයේ හෙට දවස - David Attenborough : A Life on our planet

සර් ඩේවිඩ් ඇටන්බරෝ, මේ මොහොත වන විට ජීවතුන් අතර වටිනාම මිනිසුන් කිහිපදෙනා අතරට නම් කල හැකි කෙනෙකු බව කීවොත් එහි වරදක් නෑ. 1926 වසරේ උපත ලැබූ ඔහු ඉන්පසු මිනිස් ශිෂ්ටාචාරයේ ඇති වූ ලෝක යුදධ, කාර්මිකරණයේ ව්‍යාප්ත වීම, සඳ තරණය කිරීමේ පටන් එදිනෙදා ජීවිතයේ වැඩ පහසු කරන යන්ත්‍ර සූත්‍ර බිහිවීම, ගුවන්විදුලිය, රූපවාහිනිය, පරිගණකය, අන්තර්ජාලය, ඉන්පසු ස්මාර්ට් ජංගම දුරකත දක්වා මෑත ඉතිහාසය තුළ සිදුවුණු තීරණාත්මක වෙනස්වීම් සියැසින් දුටු සාක්ෂිකරුවෙකි. ඒ සියලුදේටම වඩා සන්නිවේදකයෙකු, ස්වභාවධර්ම විද්‍යාඥයෙකු ලෙස පෘථිවියේ අස්සක් මුල්ලක් නෑර සැරිසැරුවෙකි. උත්තර අර්ධගෝලයේ හිම තලාවන් අතරද, අත්ලාන්තික් සයුරේ නිල් තල්මසුන් සමගද, වැලි කාන්තාර සහ සදාහරිත වනාන්තර අතර ද සැරිසරමින් මෙතෙක් ලොව නොදුටු අරුමැසි සත්ත්වයන් ඒ ඒ බිම්කඩ වලට ස්වදේශක ජනකණ්ඩායම් මුල් වරට ලෝකයට අනාවරණය කලේ ය. සොබාදහම පිලිබඳ, ඔබත් මමත් නිවසේ සිට සුවපහසුව නරඹන වාර්තාමය වැඩසටන් නිපදවීම පිළිබඳ පුරෝගාමී වූයේ ඔහු ය.  ලෝකයේ විවිධාකාර පරිසර පද්ධතීන් මෙන්ම ජීවයේ පරිණාමය පිළිඳව ඔහු ඉදිරිපත් කල වැඩසටහන්වල දැනුමෙන් පරම්පරා ගණනක් පෝෂණය වී තිබේ.


දැන් ඒ මිනිසා ගෙවමින් සිටින්නෙ ජීවිතයේ සැඳෑ සමයයි. ලෝකය පිළිබඳ මෙතෙක් අත්දුටු දෑ ඇසුරෙන් මිනිස් වර්ගයාගේ අනාගතය පිළිබඳ ඔහුට කීමට යමක් ඉතිරිව තිබේ. එහෙත් ඒ පණිවුඩය එතරම් සුබදායි එකක් නොවේ. මිනිසාද, ගස් කොළ සතුන් සමගම සොබාදහම නම් විශාල ජාලයෙහි එක  පුරුකක් පමණක් බව කීවේ රතු ඉන්දියානු නායක සියැටල් ය. දැන් මිනිසා සැම අතින්ම බලවතෙකු වී, ලෝකයේ පාලකයා වී තමන්ගේ කෙටි කාලීන ආර්ථික වාසි වෙනුවෙන් සොබාදහමේ ජාලය විනාශ කර දමමින් සිටියි. එනම් දිගුකාලීනව ඔහු තමන්වම විනාශයේ මුවදොර දක්වා ගෙනයමින් සිටියි. 1930 දශකයේ පෘථිවියේ සමස්ත වන වැස්ම 60% අගයක් ගෙන තිබූ අතර අද එය 30% ආසන්නයට පැමිණ තිබේ. ලෝකයේ සමස්ත වැසි වනාන්තර හරි අඩක් මේ වනවිට සහමුලින් වැනසී ගොස් හමාරය. මේ හේතුවෙන් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ඉහළයාම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා උතුරු දකුණු ධ්‍රැව ආශ්‍රිත අයිස් දිය වීම, සාගරයේ මූලික ආහාර ප්‍රභවය මෙන්ම පෘථිවියේ ඇති ඔක්සිජන් ප්‍රමාණයෙන් අතිශ්‍ය බහුතරය නිපදවන කුඩා සාගර ජීවීන් විනාශ වීම, පානීය ජලය හිඟ වීම, මේ ආදී අර්බුද ගණ්නාවකට අප මුහුණපා සිටී. David attenborough විසින් 2019 ලෝක ආර්ථික  සමුළුවේ තම දේශනයක් අතර තුර උතුරේ හිම දියවීම නිසා පීඩා විඳින වල්රස් සතුන් ගේ දර්ශන පෙළක් ඉදිරිපත් කරයි. එය නරඹන්නන්ගේ දෑස් වලින් කඳුළු කඩා හැලෙයි. අපි අපේ පැවැත්ම වෙනුවෙන් පෘථිවියේ අනෙක් ජීවීන්ට වේදනාව උරුම කරදීමට තරම් ආත්මාර්ථකාමි ජාතියක් වූයේ කෙසේ ද?

2020 වසරේ Netflex ආයතනය විසින් බෙදාහරිනු ලැබූ මෙන්ම ලෝකයේ විවිධාකාර පරිසර පද්ධතීන් පිළිබඳ අසමසම රූපමය පෙළහරක් වූ A life on our planet වාර්තා වැඩසටහන තුළින් David Attenborough සියවසකට ආසන්න තම දිවිසැරියෙහි සැමරුම් නැවත මෙනෙහි කරයි. කැලෑ බෙරි පඳුරු අතරේ උනන්දුවෙන් දුව පනිමින් හිඳ ගහ කොළට පෙම් බැඳීමට ගත් කුඩා දරුවා ලෝකයේ එතෙක් මිනිස් පා පහස නොලත් බිම් කඩවල් තුල ජීවයේ පැවැත්ම සොයා යන සංචාරකයෙකු වූ අයුරු විස්තර කරයි. කාලයත් සමග තමා දැක පුරුදු ගහ කොල සතුන් වියැකී යමින් පරිසරය තුළ සිදුවූ වෙනස්වීම ඔහු පැහැදිලි කරයි. මේ අනුව අනාගතයේ එළඹීමට අනිවාර්ය වූ විනාශයන් ගෙන් ගැලවීමට නම් අප කල යුත්තේ කුමක් දැයි මෙම වැඩසටහනින් ඔහු යෝජනා කරයි. අපටත් අප දරු පරම්පරාවන්ටත් ඉදිරියට මුහුණපෑමට සිදුව ඇත්තේ කවර තත්ත්වයකටදැයි අප දැන සිටිය යුතුය. අප නොදැන අප ගමන් කරමින් සිටින්නෙ කොයි දිසාවකට දැයි අවබෝධ කරගත යුතුය. ඒ නිසා Life on our planet සෑම මිනිසෙකුම අනිවාර්යයෙන් නැරඹීය යුතුය. මේ මිනිසාගෙ හඬට අප සවන්දිය යුතුය.

"අපි විසින් පරිසරය රැකබලාගනු ලැබුවොත්, පරිසරය විසින් අපව රැක බලා ගනීවි"

ඔහු පවසයි.

"බුද්ධිමත් කම හෝ, කාර්‍යශූර බව ප්‍රමාණවත් නෑ. අපට දැන් වඩාත්ම අවශ්‍යවී තිබෙන්නෙ ප්‍රඥාව "

A life on our planet සොබාදහමට පෙම් බැඳ ඒ සමග තම ජීවිත කාලය ගත කල  මුනිවරයෙකුගේ ප්‍රකාශනයකි.



Wednesday, November 18, 2020

පොළව ගැඹුරෙන් නික්මෙන හඬ - දොස්තොව්ස්කි

 "මම ලෙඩෙක්.... මම නපුරු මිනිහෙක්. මහ එපාම කරපු ජාතියෙ එකෙක්. මම හිතන්නෙ මගෙ අක්මාව වේදනා දෙනව. මොනාවුණත්, මගෙ ලෙඩේ ගැන තඹ සතේක දෙයක් මම දන්නෙ නෑ. රිදුම එන්නෙත් හරියටම කොතනින්ද කියන්නත් මට නිච්චියක් නෑ. වෛද්‍ය විද්‍යාවටත් දොස්තරවරුන්ටත් ගරු කරනව වුණත්, මම කවදාවත් මේ ලෙඩේට බේත් අරගෙන නෑ. තවදුරටත් කියනවනං, මම මිත්‍යාදෘෂ්ටිකයි සෑහෙන තරමට, අඩුගානෙ බෙහෙත් වලට ගරුනොකර ඉන්නෙ නැති තරමට. (මිත්‍යාදෘෂ්ටික නොවෙන්න තරමේ උගත් කමක් මට තිබුණත්, මම මිත්‍යාදෘෂ්ටිකයි). නැහැ මහත්මයා, මම බෙහෙත් නොගෙන ඉන්නෙ මගෙ තියන නපුරු කම නිසා මිස වෙන දෙයක් හින්ද නොවෙයි. දැන්, මේ කාරණේ නම් ඔබට කොහෙත්ම තේරුම්නොයන බව නම් සහතිකයි. හොඳයි මහත්මය, ඒත් මට ඒක හොඳටම තේරුම් ගන්න පුලුවන්. මගෙ නපුරුකම හින්ද විඳවන්න වෙන්නෙ කාටද කියල මම අමුතුවෙන් පැහැදිලිකර දෙන්න යන්නෙ නෑ. බෙහෙත් නොගෙන ඉඳීමෙන් මම දොස්තරවරලට "මහ වාතයක්" වෙන්නෙ නැති බව හොඳාකාරවම මම දන්නව. මේ හැමදේකින්ම අවසානෙ විඳවන්නෙ මම බව වෙන කාටත් වඩා හොඳට මම දන්නව. ඒව කොහොම වුණත් මම බෙහෙත් නොගෙන ඉන්නෙ නම් මගෙ නපුරුකම හින්දමයි. මගෙ  අක්මාව රිදෙනව.. හොඳයි එහෙනම් ඒක තව වැඩි වැඩියෙන් රිදුනදෙන්!!


I am a sick man.... I am a spiteful man. I am an unattractive man. I believe my liver is diseased. However, I know nothing at all about my disease, and do not know for certain what ails me. I don't consult a doctor for it, and never have, though I have a respect for medicine and doctors. Besides, I am extremely superstitious, sufficiently so to respect medicine, anyway (I am well-educated enough not to be superstitious, but I am superstitious). No, I refuse to consult a doctor from spite. That you probably will not understand. Well, I understand it, though. Of course, I can't explain who it is precisely that I am mortifying in this case by my spite: I am perfectly well aware that I cannot "pay out" the doctors by not consulting them; I know better than anyone that by all this I am only injuring myself and no one else. But still, if I don't consult a doctor it is from spite. My liver is bad, well--let it get worse!

ෆොයදෝර් දොස්තොව්ස්කි ගේ Notes from underground කෙටි නවකතාවේ  Pevear සහ Volokhonsky පරිවර්තනයේ ආරම්භක  ඡේදය . (සිංහල පරිවර්තනය මගෙන්)

දොස්තොව්ස්කි ගෙ මේ කෙටි නවකතාව බොහෝම වාර ගණනක් මුල් රුසියන් භාෂාවෙන් ඉංග්‍රීසි බසට පරිවර්තනය වී තිබුණත් ඉන් වඩාත්ම සාර්ථක පරිවර්තනය විදිහට පිළිගැනෙන්නෙ Richard Pevear සහ Larissa Volokhonsky යුවල විසින් 1994 වසරේදි පළ කරනු ලැබූ පරිවර්තනය. Pevear සහ Volokhonsky යුවල විසින් කල, දොස්තොව්ස්කි ගේ කරුමසෝ සහෝදරයෝ, ටෝල්ස්ටෝයි ගේ ඇනා කැරනිනා, යුද්ධය හා සාමය පරිවර්තනයන් වඩා නිවැරදි සහ ගුණාත්මක භාවයෙන් ඉහළ බව පොදුවේ පිලිගනු ලබනව.

මේ Notes from underground ඉංග්‍රීසි පරිවර්තනයෙ හැඳින්වීම වෙනුවෙන්  Pevear සහ Volokhonsky සම්පාදනය කල හැඳින්වීමෙන් කොටසක අදහස සරල සිංහල භාෂාවෙන්..

" Notes from underground නවකතාවේ පළමු වාක්‍ය ඛණ්ඩයෙන් පසුව යෙදෙන තිත් පේළිය (මම ලෙඩෙක්...) සාහිත්‍ය තුළ හමුවන අමතක කල නොහැකි චරිතයක ක්ෂණික දර්ශන මාත්‍රයක් අපට ලබා දෙන කුඩා කවුළුවක් වැනිය. ඉන් අප දකින්නේ දෑස් කොණින් අප දෙස බලා සිටිනා මිනිසෙකි. ඔහු අප කෙරෙහිද, තමන් පවසන වදන් තුළින් මතුවන හැඟුම් මාත්‍රයන් කෙරෙහිද මනා සේ සැලකිලිමත් ය. ඇත්තවශයෙන්ම, අපට ඔහු ඇසෙනවා මිස ඔහුව පෙනෙන්නේ නැත. එහෙත් කවුලුවක් වැනි ගරු කටයුතු යමක් තුළින් නොව. අපට ඔහු ඇසෙනුයේ පොළව පතුලේ ඇති වූ පැලුමකිනි. ඔහු අවට ලොව අමතන්නේ ඒ පැලුම තුළිනි. ඔහුද මුලු ජීවිත කාලයක් එයට සවන්දෙමින් කල් ගත කර ඇත. ඔහු ගැන මෙන්ම ඔහුට එරෙහිව කිව හැකි සියලු දේ ගැන ඔහු හොඳාකාරවම දනී. ..

මේ වීරයාට නමක් නැත. ඒ ඔහු තුළ අප හැමකෙනෙකුම නියෝජනය වන බැවිනි. විචාරක Viktor Shklovsky යෝජනා කරන පරිදි, දොස්තොව්ස්කිගේ අනෙකුත් බොහෝම කතානායකයින් ට සමානවම, මොහුද ලේඛකයෙකු විය යුතු ය. නමුත් ඒ මහා සාහිත්‍යධරයකු ලෙස නොවේ. ජීවිතයේ මුහුණපෑමට සිදුවූ යම් තත්ත්වයන් හමුවේ පෑනක් අතට ලිවීමට පොළඹවනු ලැබූ මිනිසෙකි. ලියනු ලබන වචනවලින් තමා තුළම වූ බිඳවැටුණු යමක් පිළිසකර කරන්නට වෙරදරන්නෙකි. අන් සියලු දේට වඩා ඔහු ලියනුයේ තමාම වෙනුවෙනි.එමෙන්ම කියවන, විචාරය කරන,විනිශ්චය කරන, සම සමව වාසය කරන සියලු දෙනා වෙත යොමුවූ දෑසිනි. ඔහුගේ උද්‍යෝගිමත් ආධුනික ස්වභාවය  ඔහුගේම ප්‍රකාශන ශෛලිය ද, එහි ආකෘතිය ද, එහි අන්තර්ගතය ද හැඩගස්වයි. පළපුරුදු ලේඛකයෙකු නම්, කිසිදු ඇද පළුද්දකින් තොරව, මනාසේ ගෙත්තම් කරන ලද සාහිත්‍යමය වියමනක් පරිද්දෙන් එය ඉදිරිපත් කරන්නට ඉඩ තිබුණි. නමුත් ඊට සංසන්දනාත්මකව පොළවෙහි ඇතුළු ගැබෙහි වෙසෙන මිනිසා ඔහුගේ කතාව අපට කියනුයේ කියවන්නා නොසලකා හරින, ඔහුගේම අභිමතාර්ථයන් ගෙන හැර දක්වන, ඉතා අක්‍රමවත්, නොහික්මුණු බසකිනි. ඔහු ගේ රචනයෙහි ඇති සාහිත්‍යවත් බව මෙන්ම ඔහුගේ රචනා ශෛලියෙහි ඇති සාහිත්‍යවත් නොවන බවද ඔහුගේ කැළඹිලිකාර මනස හේතුකොට ගෙනම ජනිත වූවකි. Notes from underground සමස්ත කතා සාරයම මේ කතාව අපට කියන මිනිසා මතද, ඔහුගේ ලේඛන ශෛලිය මතද රඳාපවතී. මෙලෙස සාහිත්‍යමය වශයෙන් දොස්තොව්ස්කි පෙන්වූ කුසලතාව මෙම ඉංග්‍රීසි පරිවර්තනය තුළද මනා සේ සුරැකී ඇත."



Tuesday, November 17, 2020

තව එක රැයක් පමණයි..

තනිවම
ආකාසෙ කෙළවරක එල්ලුණු අඩ සඳ
පොකුරක එක්තරා තරුවකට 
යන්තමින් හිනැහෙයි..
සර සර හඬින් සෙළවෙන
අඹ අතුපතර අතහැර
කොහේදෝ යන සුළඟින් බිඳක් ගෙට එයි..
මේ රැය
තව එක රැයක් පමණයි...

වැස්සක
සීතලෙන් සියොළඟ පිරිමැද
මන්දාරමක් පැතිරෙයි
වළාකුළු වළාකුළු අතරේ පවා
රහසින් අකුණු පිපිරෙයි
මේ රැය 
තව එක රැයක් පමණයි...

හාත්පස
පැතිරුණු ගණ නිහඬතාවය බිඳ
කිරලෙක් කෑ ගසා ගෙන පියඹයි..
නතර විය නොහැකි
කුඩා නැවතුම් පොළක් පසු කරන
දුම්රියක හඬ ඈතින් මතුවෙයි...
මේ රැය 
තව එක රැයක් පමණයි...

බොහො ඈත
අඳුරටත් මඟ වරදුණු වීදියක
කණමැදිරියෙකුගේ එළිබිඳක් සැඟවෙයි..
පොත් රාක්කයෙ
සුළඟට පිටු පෙරළි සටහන් පොතක
කුරුමිණි අඬු ඇද අකුරු 
අඩ අඳුරෙ බොඳවෙයි..
මේ රැය
ගෙවී යාමට නියමිත
රැයවල් දහස් ගණනක් අතර
තව එක රැයක් පමණයි...