Friday, October 30, 2020

Dead man walking (1995) - ආගම, ආධ්‍යාත්මය, සදාචාරය

 "ආගම" සහ "ආධ්‍යාත්මිකත්වය" බැලූ බැල්මට බොහොම එක සමානව පෙනුණත් මේ දෙක වෙනස් කාරණා දෙකක්. ආගම, මූලික වශයෙන්, සමූහයක් විසින් අනුගමනය කරන, පොදු ඇදහිලි, විශ්වාසයන්, සිරිත් විරිත්, පුද පූජා සහ ඒ සමග බැඳුණු සංස්කෘතිකාංග එක් රැස් කරගත් ආයතනික ස්වභාවයකින් ක්‍රියාකාරී වෙන යමක්. ආගමක ප්‍රධානම ලක්ෂණය, මිනිස් ස්වභාවයෙන් ඉහළට නැඟුණු, සහ සියලු දේ ගැන අධිපතිත්වය දරන යම් අදෘශ්‍යමාන බලවේගෙයක් පිළිබඳ විශ්වාස තැබීම සහ ප්‍රශ්න කිරීමකින් තොරව එය ඇදහීම. මේ තමා ආගමකට ඇතුළත් වෙන්න තියන මූලිකම කොන්දේසිය. මේ තනි තනි සහ විසිරුණු අදහන්නන් එකට එකතු කර ගැනීමෙන් සමූහයක් විදිහට වඩා බලවත්ව සහ එකිනෙකා අතර සහයෝගිතාවයකින් පවතින්න පුලුවන් කම ලැබෙනව. ඇදහීම, විශ්වාසය "ආගම" නම් ආයතනයක් බවට පත් වෙන්නෙ එහෙම. ආදි කල්පිත විශ්වාසයන් මත පදනම් ව, යම් පුරෝගාමී ශාස්තෲවරයෙක් විසින් දේශනා කරන ලද, ධර්මය, ලෝකය, මිනිස් පැවැත්ම පිළිබඳ අදහස්, පුද පූජා ක්‍රම පවත්වාගෙන ඒම සහ ප්‍රචාරණය කිරීමෙන් "සාමූහික බලය" ආරක්ෂා කරගැනීම "ආගම" නම් ආයතනයෙ මූලික කාර්‍යය වෙන්නෙ. ඒ නිසා ආගම සමාජීය සහ සම්මුතික, පොදු එකඟතාවයන් මත ගොඩනැගුණු යමක් විදිහට හඳුන්වන්න පුලුවන්.


"ආධ්‍යාත්මිකත්වය" ගැන කාලෙන් කාලෙට විවිධාකාර අදහස් පළවුණත්, ඒ ගැන නිශ්චිත අර්ථකථනයක් තවම නැහැ. අපේම අත්දැකීම සහ යම් කියවීමකින් අපිට ඒ ගැන සංසන්දනාත්මකව යම් අදහසක් ගන්න පුලුවන්. "ආගම" සමාජ කාරණාවක් වුණත් "ආධ්‍යාත්මය" පුද්ගලබද්ධයි. මේ මොහොතේ සැබෑ ජීවන අත්දැකීමට නිරාවරණය වීම සහ වඩා උත්තරීතර මනුශ්‍යභාවය ගැන සංවේදීතාව ආධ්‍යාත්මිකත්වයයි කියන්න පුලුවන්. "ආගම" සිරිත් විරිත් සහ සංකෘතීන් පිලිපැදීමට මුල්තැන දෙද්දි "ආධ්‍යාත්මිකත්වය" තමන්ගේම සිතුවිලි ගැන අවබෝධයත්, චර්‍යාවන් ආස්‍රයෙන් මනස ක්‍රියාත්මක වෙන ආකාරයත් ගැන සොයාබලන්නත් අවධානය දෙනව. ඒ වුණත් ආධ්‍යාත්මිකත්වය ට නිශ්චිත ප්‍රතිපදාවක් නෑ. ආගම ඇතුලෙ දි ස්වර්ගය, නිවන වගේ අවසාන නිශ්ටාවක් පොරොන්දු වෙන්නෙ නෑ. "ප්‍රඥාවන්තයෙකුගෙ අඩිපාරෙ ගමන් කලාට ප්‍රඥාවන්තයෙක් වෙන්න බෑ" මත්සුවෝ බැෂෝ ගෙ මේ කියමනේ සඳහන් වෙන ආකාරයට එය තමන්විසින් තමන්ගෙම  චින්තනය මෙහෙයවා පහදවාගත යුතු මානසික මට්ටමක් මිස අන්‍ යමක් නොවෙයි. 

ආගම තුළම කෙනෙකුට එහි උගන්වන වටිනාකම් අනුගමනය කරමින් ආධ්‍යාත්මික ජිවිතයක් ගත කරන්න බැරිද? නැත්නම් ආගමෙන් තොරව කෙනෙකුට ආධ්‍යාත්මිකව පවතින්න පුලුවන් ද යන කාරණය සෑහෙන විවාදාපන්නයි. ආගමෙන් තොරව නමුත් කෙනෙකුට වඩා අර්ථවත් ජීවිත පැවැත්මක් වෙනුවෙන් ශ්‍රාස්තෲවරුන්ගෙ ඉගැන්වීම් වලින් ආලෝකයක් ලබන්න් පුලුවන්ද, නැත්නම් ආගමෙන් තොර වුණු බව කියන කෙනෙක් හොඳ නරක ගැන සාදාචාරාත්මක තීරණයකට එන මොහොතෙ ඔහුට නොදැනි හොඳ නරක පිළිබඳ ආගමික ඉගැන්වීම් ඔහුට බලපෑමක් කරනවද කියන කාරණා අපිට පෙරළා ප්‍රශ්න කරන්න පුලුවන්.

Dead man walking (1995), ආගම, ආධ්‍යාත්මිකත්වය සහ සදාචාරයත් මේ අතර ඇතිවෙන සංවාද, විසංවාදයනුත් පෙන්වාදෙන ඉතාම සංවේදී සිනමාපටයක්. මරණ දඬුවමට නියම වුණු සිරකරුවන්ට ආධ්‍යාත්මික මඟ පෙන්වන්නියක් සහ මරණීය දණ්ඩයට එරෙහි සමාජ ක්‍රියාකාරිනියක් වුණු හෙලන් ප්‍රිජන් නම් ඇමරිකානු ජාතික කන්‍යාසොයුරියකගෙ සැබෑ ජීවිත අත්දැකීම් ආශ්‍රයෙන් ලියැවුණු Dead man walking කෘතිය පදනම් කරගෙනයි චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. (සිරකරුවෙක් මරණ දඬුවම ලබාදෙන්න ගෙන යද්දි බන්ධනාගාර නිලධාරීන් "Dead man walking" කියමින් අපහාසාත්මකව හඬ නගනව. මේක ඔවුන් අතර පවතින සිරිතක්)

මැතිව් පොන්සිලොට්, තරුණයෙක් වෙඩි තබා ඝාතනය කිරීමටත්, ඔහුගෙ පෙම්වතිය දූෂණය කර මරා දැමීමටත් වරදකරු වී මරණ දණ්ඩනය නියමවූවෙක්. මැතිව් ලිපියක් මාර්ගයෙන් තමා වරදක් නොකල බව කියමින් මරණ දඬුවමෙන් බේරාගන්නැයි හෙලන් ප්‍රිජන් කන්‍යා සොයුරිය ගෙන් ඉල්ලා සිටිනව. ලිපියට ප්‍රතිචාරයක් ලෙස මැතිව් හමුවන හෙලන් සොයුරිය තමන් හඳුනන තීඥයෙකු ගෙ මාර්ගයෙන් ඔහුට උදව් කරන බවට පොරොන්දු වෙනව. ඉක්මණින්ම ඇය වටහ ගන්නව මැතිව් ඉතාම නොහික්මුණු ගති ඇති, ප්‍රියතාවයක් ඇති නොකරන, කලහකාරී මනුශ්‍යයෙක් බව. අනෙක් අතින් ප්‍රිජන් සොයුරිය මරා දැමුණු යුවල ගෙ දෙමව්පියන්ගේ වෛරයට ලක්වෙනව. ඇය දෙවියන් පවා පිලිකුල් කරන, මිනිසෙකුට වඩා යක්ෂයාට සමීප වුණු කෙනෙක් වෙනුවෙන් පෙනී සිටින බවත්, ඇය ආගමටත් නිග්‍රහයක් බවත් ඔවුන් කියනව. හෙලන් ඔවුන්ට අනුකම්පා කරනව. ඔවුන් සිටින තත්ත්ව ඇය තේරුම් ගන්නව. නමුත් මැතිව් වෙනුවෙන් සටන ඇය දිගටම ගෙන යනව.

පල්ලියෙන් ඇයට අවවාද කරන්නෙ මැතිව් කිතුණු දහමට අනුගත කරගෙන සිත් හැරුණු යහපත් කිතුණුවෙක් විදිහට මරණයට මුහුණ දෙන්න ඔහුව සූදානම් කරන්නැයි කියමින්. එහෙත් ඇය ඔහුව ආගමික මිනිසෙක් බවට පත්කරනවා වෙනුවට ඔහුගේ නොහික්මුණු ගති ස්වභාවයන් ඔහුටම තේරුම් ගන්න ඉඩ හරිනවා. තමන් වරදක් කර තිබෙයි නම් නොබියව එය පිළිගන්න ඔහුගෙ මනස සූදානම් කරනව. ඇය ඔහුට කාරුණික වෙනව, සැබෑම ආදරයෙ ප්‍රතිරූපය තමන් තුළින්ම ඇය ඔහුට පෙන්වා දෙනව. ඒ තමයි හෙලන් සොයුරිය ගෙන් ඔහුට ලැබෙන ආධ්‍යාත්මික මඟ පෙන්වීම. 

හෙලන් ප්‍රිජන් කන්‍යා සොයුරිය ගේ චරිතය Susan Sarandon සහ මැතිව් පොන්සිලොට් ගේ චරිතය Sean Penn විසිනුත් රඟ දක්වනවා. Susan එම රංගනය වෙනුවෙන් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබනව. Sean penn සම්මානයට නිර්දේශ වෙනව. ඔවුන්ගෙ රඟපෑම්, මුහුණෙන් පලවන ඉතා සියුම් භාවයන් ඒ රඟපෑමක් දැයි සිතාගත නොහැකි තරම්. මරණයට දින පැය නියම වුණු මිනිසෙක් ගෙ මුහුණ අපිට දකින්න ලැබෙන්නෙ කොයි ආකාරයෙන්ද ? සමාජ සම්මතයන් නොතකා, ජේසුස් වහන්සේගේ ජීවිත ආදර්ශය අනුගමනය කරමින්, මිනිසුන් අතර ඉතාම පහත් කරනු ලැබූ මිනිසෙකුටත් එක සමානව ආදරය කරන ගැහැණියකගෙ දෑස කොයිතරම් දයාබරිත ද? Sean සහ Susan තමන්ම ඒ චරිත බවට පත්වෙමින් චිත්‍රපටය තුල ජීවමාන වෙන බව කිව්වොත් වඩා නිවැරැදියි. Dead man walking පිටපත ලියා අද්‍යක්ෂණය කරන්නෙ සුප්‍රසිද්ධ හොලිවුඩ් නළු Tim Robbins (Shawshank Redemption, Jacobs Ladder, Mystic River) Robbins නලුකමට පමණක් නොවෙයි අධ්‍යක්ෂණයටත් එකසේ දක්ෂයෙක් බව මේ චිත්‍රපටය ඔප්පු කර පෙන්වනවා. Roger Deakins ගෙ Cinematography කරණයත් චිත්‍රපටයට තවත් ආලෝකයක් අරගෙන එනවා.

Dead man walking චිත්‍රපටයෙ සංගීතය සෑහෙන සුවිශේෂී එකක්. චිත්‍රපටයෙ පසුබිම් සංගීතය විදිහට බොහෝතැන් වල අපිට ඇහෙන්නෙ ඉන්දියානු සම්භාව්‍ය සංගීතයක්. නුසරත් ෆටේ අලි ඛාන් සහ රාහත් ෆටේ අලි ඛාන් යන පිය පුතු දෙපළ ගේ අසමසම ආලප් ගායනාවන් චිත්‍රපටයේ ඒ සිදුවීම් වල ශෝඛ රසය තවත් තීව්‍ර කරන්න සමත් වෙනව. Pearl Jam සුප්‍රසිද්ධ රොක් සංගීත කණ්ඩායමේ ගායක Eddie Vedder ගේ ගීයකුත් ඉන්දියානු සංගීතය සමග මුසුව චිත්‍රපටයට ඇතුළත් වෙනව. ඉන්දියානු කව්වාලි නාදයත් ඇමරිකානු ග්‍රන්ජ් රොක් හඬත් එකට හමු වෙන දුර්ලභ අවස්ථාවක් විදිහට Dead man walking හඳුන්වාදෙන්න පුලුවන්.

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙ තියන සාදාචාරාත්මක බව චිත්‍රපටයෙන් ප්‍රශ්න කරනව. වරදක් කිරීම දඬුවමට හේතුවෙන බව නොදන්නා කෙනෙක් නෑ. කෙනෙක් යම් වරද කරන්නෙ මොහොතක අතපසු වීමකින්,  නැත්නම් හදිස්සි ආවේගයෙන් ඒ සුලු මොහොතක් වෙනුවෙන් මිනිසෙකුට ජීවිතය අහිමි කරවීම කොයිතරම් සාධාරණ ද? අනෙක් කාරණාව ඇමරිකාවේ බොහෝ වෙලාවට මරණ දඬුවම ලබන්නෙ හොඳ නීතිඥවරයෙකුගෙ සේවය ලබාගන්න තරම් මුදල් නැති දුප්පතුන් සහ කලු ජාතිකයින්. සමාජයෙ අඳුරු සහ පහත් ස්ථරය විදිහට මේ අය අනන්තවත් අසාධාරණ‍යට ලක්වෙනව. (මෑතක George Floyd සිදුවීම) මේ අය වෙනුවෙන් පෙනී ඉන්නෙ කවුද? දඬුවම් ලබන්නෙ නීතියෙ සහයක් නැති අහිංසකයෙක් නම් (උදාහරණ Just Mercy චිත්‍රපටයේ සිදුවීම ) ඒ පාපය ආපසු හරවන්නෙ කොහොමද? දතට දත ඇසට ඇස, බයිබලයේ පුරාණ ගිවිසුමේ මෝසෙස් ගේ නීතිය වෙනුවට සමාව දීම සහ සිත් හැරීම මුල් කරගත්ත නව ගිවිසුමේ ජේසුස් වහන්සේගේ ඉගැන්වීම වෙනුවෙන් හෙලන් ෆ්‍රීජන් සොයුරිය මරණ දඬුවමට එරෙහිවෙන්නෙ  ඒ නිසා.

චිත්‍රපටයෙ අවසානය ඉතාම හද කම්පා කරවන සුලු එකක්. බොහො වෙලාවට කෙනෙකුට Green Mile චිත්‍රපටය මතක් වීම වලක්වන්න බැරි වේවි. සංස්ථාපිත ආගම නියෝජනය කරන සහ එහි වටිනාකම් වඩාත් මානුෂික ආකාරයෙන් ක්‍රියාත්මක කරන හෙලන් කන්‍යාසොයුරියට ආගම ගැන හැඟීමක් නැති මිනිසෙකුට ආවෙගයෙන් තොරව නිදහස් සහ විවෘත මනසකින්, ආදරය ලැබුවෙකුගෙ තෘප්තිමත් බවින් මරණයට මුහුණ දෙන්න සූදානම් කල හැකිද. නමක් දෙන්න බැරි, රොමාන්තික බවක් හෝ අනුරාගික බවක් ගෑවී නැති, ඔවුන්ගෙ මානුෂික බැඳීම අපිට කියා දෙන දේවල් කොයිතරම් ද.



Thursday, October 29, 2020

ප්‍රසිද්ධිය සහ මිතුදම - Fame and Friendship

Fame and Friendship by Henry Austin Dobson

ප්‍රසිද්ධිය නම් මළ මිනිසෙකුගෙ අහරකි
නැත මට ප්‍රියතාවයක් එවන් යමකට..
එකදු මුදුවදනකුත් නො ඇසෙන
නිහඬ සොහොන් කොත් යට හිඳ‍ගෙන
අනුභව කරති මිනිසුන් එය
සිරගතව අඳුරු කුටි තුළ..

එහෙත් එවැන්නක් නොවේ මිතුදම ....
පිරී යනු ඇත සොම්නසින් ඔබ හද
ගීයකින් ගයන්නට හැක ඔබට ඒ ගැන..
නික්ම ගියමුත් මිනිසෙක් මෙලොවින 
මිය නොයනු ඇත මිතුරෙකුගෙ මතකය තුළ
ළබැඳි හදින් ඔහු ගුණ සමරන
අත්වැරදි ඔහු අතින් සිදු වූ
සියල්ල අමතක කර දමන!



Tuesday, October 27, 2020

බිතෝවන් ගේ සදාතනික ප්‍රේමවන්තිය - Immortal Beloved (1994)

 වර්ෂ 1827 මාර්තු 26 වන දා, වයස 56 ක් වුණු ඔහු ඇඳේ වැතිරී සිටියා. අක්මාවේ හටගෙන තිබුණු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු සිටියේ ඉතාම අසාධ්‍යව. ජීවිතය ක්‍රමයෙන් ඔහු වෙතින් පලා යමින් තිබුණා. තමන්ගේ අවසාන මොහොත අත ලඟ බව ඔහුට දැනෙන්න ඇති. හිතවතුන් කීප දෙනෙක් ඒ අවස්ථාවෙදි ඔහු වටා වටවී සිටියා. හවස් යාමයෙදි අහස අඳුරු පැහැ වුණේ වැස්සක් අතලඟ බව කියමින්. එක්වරම අකුණක් පිපුරුණේ මහ හඬක් නංවමින්. ඔහු තමන්ගෙ දකුණු අත ඉතාම වැර වෑයමෙන් නමුත් ඉහළට එසෙව්වා. ඊළඟ මොහොතේ ඔහුගෙ අවසන් හුස්ම වාතලයට මුහුවුණා. ලුඩ්විග් වෑන් බිතෝවන්, බොහෝ දෙනා හඳුනන ආකරයට, බිතෝවන් නම් ඒ බටහිර සංගීතයේ යුග පුරුෂයා සදහටම දෙනෙත් පියාගත්තා. 


බිතෝවන් ගේ මළගම වෙනුවෙන් මහ විසාල ජනගංගාවක් ඔස්ට්‍රියාවේ වියානා නුවරට එක් රැස් වුණා. නගරයේ වීදි මං මාවත් අතුරු සිදුරු නැතිව පිරී ගිහින්. දස දහසකට අධික ජනතාවක් බීතෝවන් ගේ මළගමට සහභාගි වෙන්න වියානාවට එක්‍ රැස් වුණු බව ඉතිහාසයෙ සඳහන් වෙනව!

බිතෝවන් මේ තරම් විශාල ජනප්‍රියත්වයක් දිනාගන්න සමත් වෙන්නෙ කොහොමද? ඒ ප්‍රශ්නයට පිළිතුර සැඟවිලා තියෙන්නෙ ඔහු නිමැවූව සංගීත නිර්මාණයන් තුළමයි. බටහිර සංගීතයේ යුග බෙදීමට අනුව බීතෝවන් සම්භාව්‍ය යුගය (Classical age,  1730 - 1820, මෝට්සාට්, හයිඩ්න්, බාක්, ෂූබර්ට් වැනි අය අයිති වන යුගය) සහ අරුමැසි යුගය (Romantic age, 1800 - 1910, ෂොපෑන්, බ්‍රාහ්ම්ස් වැනි අය අයිති වන යුගය) යන මේ යුග දෙකටම අයිති වන සංගීතඥයෙක්. ඔහුගේ නිර්මාණයන් අරුමැසි යුගය බිහිවෙන්න විශාල දායකත්වයක් දැක්වූ බව හැඳින්වෙනව. බිතෝවන් ගේ 5 වන සංගීත සංධ්වනිය ලෝකයෙ වැඩිම වාරගණනක් වාදනය වූ සහ එදා මෙදාතුර බිහිවුණු විශිෂ්ටතම සංගීත සංධ්වනිය විදිහට පිළිගැනෙනව. ඔහුව සලකන්නේ බටහිර සංගීතයේ වඩාත් මිනිස් හැඟීම් වලට සමීප සහ විචිත්‍රවත් නිර්මාණ බිහි කල තැනැත්තා වශයෙන්. මිනිසෙකුට තමන්ගේ සහජ කුසලතාවන් කොයිතරම් අසාමාන්‍ය තලයකට දියුණු කල හැකිද කියා පෙන්විය හැකි උදාහරණයක් බිතෝවන්. 

බිතෝවන් උපත ලබන්නෙ වර්ෂ 1770 දෙසැම්බර් 16 වෙනිදා ජර්මනියේ බොන් නගරයේ දි. බිතෝවන් ගේ සීයා බොන් නගරයේ සුප්‍රසිද්ධ සංගීතඥයෙක්. බිතෝවන් ගේ පියාත් සංගීතඥයෙක් නමුත් ඔහු වඩා ප්‍රසිද්ධ වුණේ බීමත්කමට. බිතෝවන්ට කැස්පාර් සහ ජොහාන් නමින් සහෝදරයන් දෙදෙනෙක් සිටියා. බිතෝවන්, මොසාට් මෙන්ම ලමා විස්මයක් බවට පත්කර ප්‍රසංග පවත්වා මුදල් ඉපැයීමට පියාට වුවමනා වුණා. නමුත් ඔහු හිතූ තරම් සාර්ථකත්වයක් බිතෝවන් ලබාගත්තේ නැහැ. මේ නිසා දැඩිව කෝපයට පත්වුණු පියා පුංචි බිතෝවන්ට නිතර පහර දුන්නා. කාමරයක සිරකර තබා පියානෝ වාදනය ඉගෙනීමට බල කලා. මේ නිසා බිතෝවන් ගේ ලමා විය සෑහෙන දුක්බරිත සහ පීඩාකාරී එකක් වුණා. 

යුරෝපයේ සංස්කෘතික සහ සංගීත මූලස්ථානය වුණු ඔස්ට්‍රියාවේ වියානා නුවර නැවතී සංගීතය හදාරන්න ඉතාම ළාබාල වයසේ දී ම බිතෝවන් ට අවස්ථාවක් ලැබෙනව. මේ නිසා ඔහුගෙ දෙමව්පියන් ඔහුව පාසල් අද්‍යාපනයෙන් ඉවත් කර පූර්ණවශයෙන් සංගීතය ඉගෙනීමට යොමු කරනවා. 

සංගීත විද්‍යාලයේ දි දවසක් හරි අපූරු දෙයක් සිදුවෙනව. ඉතා උනන්දුවෙන් සංගීතය හැදෑරූ කුඩා බීතෝවන් ගේ පියානෝ වාදනයක් එවකට යුරෝපයේ සංගීත  විශිෂ්ටයා වුණු මෝට්සාර්ට් ට අහන්න ලැබෙනවා.

"හොඳට බලන්න මේ දරුවා දිහා. දවසක මුළු ලෝකයම ඔහු ගැන කතා කරාවි"

මෝ'ට්සාට් ඒ මොහොතේ පැවසූ බව සඳහන්! 

මවගේ මරණය හේතුවෙන් බොන් නගරය එන බිතෝවන් නැවත වියානාවට පැමිණෙන්නේ මෝ'ට්සාට් ගේ මරණින් පසුව.  ඒ මොහොතේ යුරෝපයේ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා යන නාමය ලැබුවේ ජෝෂප් හයිඩ්න්. බීතෝවන්, හයිඩ්න් යටතේ තවදුරටත් සංගීතය හැදෑරීමට යොමුවෙනවා.

නිර්මාණකරුවෙක් විදිහට ඔහු තමන්ගේ මුල්ම ස්වතන්ත්‍ර පියානො වාදනය ඉදිරිපත් කරන්නෙ 1795 දී. එය ඉතාම ජනප්‍රියත්වයක් ලබනවා. ඒත් සමග බීතෝවන් වියානාවේ උසස් සමාජයේ ගෞරවාදරය ලබාගැනීමට සමත්වෙනවා. 1800 දි වියානා නුවර රාජකීය රඟහලේදී තමන්ගේ මුල්ම සංධ්වනිය ඉදිරිපත් කරන බිතෝවන් ගේ ජනප්‍රියත්වය යුරෝප පුරා පැතිරීයනවා. විශිෂ්ටත්වය කරා ක්‍රමිකව ලංවෙන ඔහු මෝ'ට්සාට්, හයිඩ්න් වැනි අයගෙන් පසු ඒ තත්ත්වයට පැමිණිය හැකි අයෙකු විදිහට හඳුනාගැනෙනවා.

මිනිසුන් ආශ්‍රයේදි බිතෝවන් දැක්වූයෙ ඉතාම සීමාකාරී බවක්. සමාජ ආශ්‍රය ඔහු ප්‍රිය කලේ නෑ. ඔහු නිතරම මිනිසුන් සමග කලහයන් ඇති කර ගත්තා. ඉක්මනින්ම කෝපගැන්වී පහරදීමට පවා පෙළඹුනා. නිතර සිහිමඳ ගතියෙන් පෙලුණා. සංගීත නිර්මාණයන් කොයිතරම් අලංකාර වුණත් ඔහුගෙ ජීවිතයේ ඒ සුන්දරත්වය නම් අහලක වත් තිබුණේ නෑ. 

කොහොම නමුත් බිතෝවන් ට සිදුවුණු විශාලතම ඛේදවාචකය ඔහුගේ ශ්‍රවණ හැකියාව ක්‍රමයෙන් නැතිවී යාම. 

"මම පාපොච්චාරණය කල යුතුයි ඔබට. මම ගෙවන්නෙ ඉතාම දුක්බර ජීවිතයක්. මම ප්‍රසිද්ධ සමාජයට පැමිණීම ප්‍රතික්ෂේප කර දැන් දෙවසරක් පමණ වෙනවා. මම කොහොමද ඔවුන්ට කියන්නෙ මම බිහිරෙක් බව? මම වෙනත් වෘත්තියක නියැලුනා නම් මෙය ලොකු ගැටලුවක් නොවෙන්න තිබුණා. ඒත් සංගීතඥයෙක් විදිහට බිහිරි භාවයට පත්වීම මට මහ විශාල වේදනාවක්"

ඒ බීතෝවන් තමන්ගෙ හිතවතෙකුට ලියා යැවූ ලිපියකින් කොටසක්. බිහිරි භාවය අභියෝගයක් කරගන්නා බිතෝවන් එයින් නොසැලී මහත් වීර්‍යයකින් නොකඩවා තමන්ගෙ නිර්මාණ කටයුතුවල යෙදෙනවා. සංගීතය කොයිතරම් ඔහුගේ ආත්මයටම කාවැදි තිබුණාද කියන්න මේ සිදුවීම හොඳ උදාහරණයක්. බිතෝවන් ගේ නිර්මාණ ජීවිතයේ හොඳම කෘතීන් බිහිකරන්නෙ ශ්‍රවණ ශක්තිය අහිමි වූවාට පසුවයි ! ඔහුගෙ සංගීත කුසලතාවයෙ තිබෙන අසාමාන්‍ය විස්මයජනක බව පැහැදිලි කරන්න මීට වඩා උදාහරණ අවශ්‍ය නැහැ. 

1994 අවුරුද්දේ Immortal Beloved චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ බීතෝවන් ගේ චරිතය මුල් කරගනිමින්. ඒත් මුල මැද අග පිළිවෙලින් ඔහුගේ ජීවිත කතාව කියන ආකාරයට නොවෙයි. 

බිතෝවන් තනිකඩ ජීවිතයක් ගත කල කෙනෙක්, ඔහු කවදාකවත් විවාහ වුණේ නෑ.  මරණින් පසුව ඔහුගේ දේපළ, මුදල් සහ නිර්මාණ වල අයිතිය හිමිවියයුතු කාටදැයි ගැටලුවක් ඇතිවෙනවා. අවසාන ඉල්ලීම වශයෙන් තමන් සතු සියලු දේ ඔහු Immortal Beloved නමින් ආමන්ත්‍රණය කරන යම් ගැහැනියකට පවරා තිබෙනව. බීතෝවන් ගේ පෞද්ගලික ලේකම්වරයා වුණු Shindler, 1812 අවුරුද්දේ දි බිතෝවන් Immortal Beloved නමින් ඔහු ආමන්ත්‍රණය කරන තරුණියකට යැවූ ලිපි තුනක් සොයාගන්නව (මේ immortal beloved ලිපියේ කතාව සැබෑවක්. ඔහු රහසින් පෙම් කල තරුණියක් ඒ නමින් හඳුන්වා තිබෙනවා) Shindler ට මේ Immortal Beloved හෙවත් බිතෝවන් ගේ සදාතනික ප්‍රේමවන්තිය කවුදැයි හඳුනාගන්න ඊටවඩා හෝඩුවාවක් ලැබෙන්නෙ නෑ. ඔහු බීතෝවන් සමීපව ආශ්‍රය කල සහ ඔහුගේ පෙම්බරිය විය හැකි බවට සැක කරන ගැහැනුන් තිදෙනෙක් සොයා යුරෝපය පුරා සැරිසරනව. පළමුව ඔහුගේ සුප්‍රසිද්ධ Moonlight Sonata ව කැප කළ ගියුලීඩා ගියුචියාඩි සිටුවරිය. දෙවනුව, එම්පයර් කොන්සර්ටෝව ඉදිරිපත් කරමින් සිටින මොහෙතේ ඔහුගේ බිහිරි බව මුලින්ම ලොවට අනාවරණය වුනු විට ඔහුව වේදිකාවෙන් බිමට කැඳවාගෙන යෑමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ තරුණිය ඇනා මරියා සහ තෙවනුව තම සොහොයුරා කැස්පාර් ගේ බිරිඳ වශයෙන්. ඔහු සමග රහස් පෙම් දමකින් බැඳී සිටියේ, ඔහුගේ සදාතනික ප්‍රේමය බවට පත්වුණේ මේ තුන් දෙනාගෙන් කවුරුන් ද? බිතෝවන් ගේ හිතවතියන් විස්තර කරන ඔහුගේ චරිත ස්වභාවයෙන් ආශ්‍රයෙන් ඔහුගේ චරිතය අපි ඉදිරියේ මැවෙනව. ආදරය නොහඳුනන, දඩබ්බර කලහකාරී මිනිසෙකුගෙ ප්‍රේමයේ උරුමය සොයන ශින්ඩ්ලර් සමග අපිත් ඒකාත්මික වෙනව.

Gary Oldman නම්, හොලිවුඩයේ ඒ අතිවිශිෂ්ට චරිතාංග නලුවා තමන්ම බිතෝවන් බවට පත්වෙමින් ඉතාම ඉහළින් ඒ චරිතය නිරූපණය කරනවා. චිත්‍රපටයෙ ඇතුළත් බිතෝවන් ගේ පියානෝ වාදනයන් සැබැවින්ම Gary Oldman විසින් වාදනය කර ඇති බවයි කියවෙන්නෙ. ඒ චරිතය වෙනුවෙන් පමණක් ඔහු පුරා සති හයක් නොනැවතී දවසකට පැය හය බැගින් පියානෝව පුහුණුවී තිබෙනවා! ඒ අතිවිශාල කැපකිරීමේ ප්‍රතිඵල කොයිතරම් සාර්ථකද යන කාරණය චිත්‍රපටය නැරඹීමේදි ඔබට වටහාගත හැකියි. 

සමාජය දකින බීතෝවන් ගේ නුරුස්නා ගුණාංගයන් පෙන්වාදීමෙන් ආරම්භවන චිත්‍රපටය අවසන් වෙන්නෙ ඔහු ඒ තත්ත්වයට පත්වුණේ ඇයි යන කාරණය පැහැදිලි කරමින් ඉතාම හද සංවේදීකරන ආකාරයෙන්. හුදෙකලා මිනිසෙකුගෙ අහිමි ප්‍රේමයේ සදාතනික ශෝකය ඉතිරි කරමින්. 

චිත්‍රපටයෙ බීතෝවන් සහ ඔහුගේ ලේකම්වරයා අතරෙ සිදුවෙන දෙබසක් සංගීතය පමණක් නොව සමස්ත කලාව තුළම නිර්මාණයන් බිහිවීමේ පදනම පැහැදිලි කර දෙනව.
...

- සංගීතය කියන්නෙ මහ එපාකරපු දෙයක්. ඇත්තටම ඒ මොකක්ද ? මට තේරුම්ගන්න බැහැ. මොකක්ද සංගීතයෙන් කරන්නෙ ඇත්තට? 

- මම හිතන්නෙ, සංගීතයෙන් කරන්නෙ අපේ හදවත් සතුටින් පුරවන එක

- මල විකාර! ඔයාට පාගමනෙ යන හමුදා කණ්ඩායමක සංගීතය ඇහුනම ඒකෙන් ඔයාගෙ හදවත සතුටින් පිරෙනව ද? නෑ.. ඔයා ඒ රිද්මට අනුව පාද තියන්න ඕන කියල දැනගන්නව. වෝල්ට්ස් සංගීතය ඇහුණම ඔයා මොකක්ද කරන්නෙ.. ඔයා ඒ තාලයට නටනව. පල්ලියෙ ගීතිකා ඇහෙනකොට මොකක්ද වෙන්නෙ? ඔයා දිව්‍යපූජාවට සූදානම් වෙනව. ඒ තමා සංගීතයේ බලවත්කම. කෙනෙකුගෙ මානසිකත්වය සංගීත නිර්මාණකරුවන්ට ඕනැ විදිහට මෙහෙයවන්න පුලුවන් වීම. සංගීතට සවන්දෙන කෙනෙකුට වෙන විකල්පයක් නෑ.  ඒක හරියට මෝහනය කරගැනීමක් වගේ. දැන්..මොකක්ද තිබුණෙ මගෙ මනසෙ මම මේ සංගීතය ලියනකොට? එක මනුස්සයෙක් ඉන්නව ඔහු තමන්ගෙ ප්‍රේමවන්‍තිය හමුවෙන්න යමින් ඉන්නව. ඒත් මහ වැස්සෙ ඔහුගෙ අශ්ව රථය බිඳිල, රෝද ගොහොරු මඩේ එරිල, ඇය ඔහු එනතුරු මග බලා ඉන්නව. ඒත් ඔහුට යන්න විදිහක් නෑ ඇය හමුවෙන්න. මේ ඇහෙන සංගීතය. ඒ තමා ඔහුගෙ ආවේගයේ ප්‍රකාශනය. මෙහෙම තමා සංගීතයට අනුව ඔහුගෙ හදවතේ මතුවෙන හැඟීම් ප්‍රතිනිර්මාණය කරන්නෙ. ඔයාට හුරුපුරුදු විදිහට නොවෙයි. ඔයා හිතන ආකාරයට නොවෙයි. ඒත් මෙන්න මෙහෙමයි සංගීතයෙන් දේවල් කියන්නෙ....



 Joseph Karl Stieler විසින් 1820 වසරේ නිමවන ලද  බීතෝවන් ගේ සිතුවම


බිතෝවන් ගේ මළගම සිත්තර ඇසින්


Garry Oldman බීතෝවන් චරිතය නිරූපණය කරමින්..


Sunday, October 25, 2020

සිහිකල මැනවි මා - Christina Rossetti

19 වන සියවසේ ජීවත් වූ, ඉංග්‍රීසි ජාතික කිවිඳියක වන Christina Rossetti ගේ Remember me පැදිය ඇසුරෙන්..
.
ප්‍රියය..
දිනක් එළඹෙනු ඇත මට ඔබ හැර
නික්මයාමට සිදුවන
ඒ නිහඬ බිම්කඩ වෙතට...
නොහැකි වනු ඇත ඔබට තව
අල්ලා ගැනුමට මා සුරත...
නොහැකි වනු ඇත මට ද
හැරී එන්න යළි ඔබ වෙතට...
ප්‍රියය
සිහිකල මැනව මා එවිට..

සිහිකල මැනව මා..
අනාගත සැලසුම් ඔබ අඳින
හෙට යැයි දිනක් නොමැති වූ කල අපට...
සිහිකල මැනවි මා..
දෙනු පිණිස ඔබ ඔවදන්
පමා වැඩි බව වටහගත් කලෙක...
අමතක වූවත් මා මොහොතකට
නොතැවෙන්න නැවත සිහි කර...

රැඳී ඇත්නම් ශේෂයන් මා තබා ගිය
ගෙනේ නම් එය ඔබ වෙත අඳුර
කිමද තව දුක්වෙමින් හිඳ
මතකයන් මා දරා හද තුළ..

ප්‍රියය එවිට මා අමතක කර
ඔබ සිනාසෙනු මැනව සිතුලෙස...




Thursday, October 22, 2020

The Machinist (2004)

 "තවත් කෙට්ටු වුණොතින් නම් ඔයාව පේන්නෙවත් නැතුව යාවි"


Stevie  එහෙම කියන්නෙ Trevor ට. Stevie  විතරක් නොවෙයි කාර්මිකයෙක් වුණු Trevor Reznik ව දකින ඕනෑම කෙනෙකුට හිතෙන්නෙ එහෙම. මනුස්සයෙකුට වෙන්න පුලුවන් උපරිම මට්ටමින් එයා ගේ ශරීරය කෙට්ටුයි. ඇස් කුහර අස්සේ ගිලී ගිය ඇස් දෙකෙන් මතු වෙන්නෙ කණාමැදිරි එළියක් වගේ දුර්වල ආලෝකයක්. කම්මුල් අස්ථි ඉහළට මතු වෙලා මුහුණ ඇදීගිහින් මතු වෙන්නෙ ඉතාම අසාමාන්‍ය පෙනුමක්. Trevor හුදෙකලාව ජීවත්වෙන මනුෂ්‍යයෙක්. රැකියාව කරන තැන වත්, වෙන කොතනක වත් ඔහුට මිතුරන් කියල කිසි කෙනෙක් ඇති බව පෙනෙන්න නැහැ. නමුත් දෙදෙනෙක් ඇරෙන්න. Stevie, ඇය මුදලට තම ශරීරය විකුණන ගැහැණියක්. Trevor  ඇයගෙ දිනපතා ගණුදෙනුකරුවෙක්. ඒත් මුදල් ගණුදෙනුවකින් එහා බැඳීමක් ඔවුන් දෙනො අතර තියන බව අපි දකිනවා. Marie අවන්හලක වේටර් වරියක්. Trevor එක්ක යම් මිත්‍රශීලී බවක් පෙන්වන්නෙ මේ ගැහැණු දෙදෙනා පමණයි. 

"මම අවුරුද්දකින් මෙහා නින්දක් ලබල නෑ"

 Trevor  වතාවක්  Marie  ට කියනව. Trevor නිතර  යම් බයකින් පීඩාවකින් ඉන්න බවක් පෙනෙන්නෙ. ඔහුගෙ ශරීරයෙනුත් පෙනෙන්නෙ ජීවත ආශාව අතහැරදමපු කෙනෙකුගේ පෙනුමක්. ඇත්තටම ඇයි ඔහු එහෙම වෙන්නෙ. ඔහුට මොකක්ද වුණේ?

වරදකාරි බව, පසුතැවීම විසින් ආත්මය ගිලගත්තාට පස්සෙ ඉතිරිවන අදුරු මිනිස් ඡායාවට Trevor යන නම දෙන්න ඕන නම් පුලුවන්. අතීතයක බිහිසුණු මතක සෙවණැලි තමන් පසුපස හඹාඑන, ඒ සියලු දෙයින් ගැලවී පලායන්න වෙරදරන, යම් සිදුවීමක වරදකාරීත්වය තමන්ටම පවරාගෙන මුලු ආත්මයම ඒ වෙනුවෙන් ලියාදුන් මිනිසෙකුගෙ කතාවක් The Machinist. නමුත් ඒ වරදකාරි බවේ වියරුව ඔහුව කොයිතරම් දුරක් ගෙනියනවද. යථාර්ථයත් ෆැන්ටසියත් අතරේ දෝලනනය වෙන මේ කතාවේ මොකක්ද ඇත්තටම වෙන්නෙ කියන කාරණය ගැන අපිට යමක් වැටහෙන්න පටන් ගන්නෙ චිත්‍රපටය අවසානෙදි. අඩු වැඩි වශයෙන් අපි හැම කෙනෙක් ඇතුළෙම Trevor කෙනෙක් ජීවත්වෙන බව හිතන්න ඉඩක් තියමින් චිත්‍රපටය අවසන් වෙන්නෙ.

 The Machinist. එක අතකින් මිනිසෙකුගෙ අදහාගත නොහැකි කැපවීම ගැන කියා දෙනවා . ඒ Trevor ගේ චරිතය වෙනුවෙන් Christian Bale සිදුකළ ශාරීරික පරිණාමය. දිනකට ස්වල්ප ආහාරයකින් යැපෙමින් ඔහු මේ චරිතය වෙනුවෙන් තමන්වම හැඩගස්වාගත්ත ආකාරය වාර්තාගත එකක් බවයි සදහන් වෙන්නෙ. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා පවා මේ තරම් වෙනසක් අපේක්ෂා කරල නෑ. නමුත් Christian Bale බොහොම කැමැත්තෙන් මේ වෙනස වෙනුවෙන් කැපවුණු බවයි කියන්නෙ. 

The Machinist චිත්‍රපටය පුරා අඳුරු බවක්, තේරුම්ගන්න බැරි මළානික ගුප්ත ස්වභාවක් මීදුමක් වගේ තැවරිලා තියනව. විශේෂයෙන් Trevor ගේ මුහුණෙන් මේ හැගීම් හොදින්ම මතුකරනව. Christian Bale ගේ රගපෑම් ගැන අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැතිවුණත් ඔහුගේ මේ රංගනය වෙන කිසිම රඟපෑමකට දෙවනි නොවන එකක්. ඒ තමන් මුළු ශරීරයෙන්ම මුළු ආත්මයෙන්ම Trevor නම් අසාමාන්‍ය චරිතය සමග ඒකාත්මික වෙන නිසා. මේ රංගනය Joker චිත්‍රපටියේ Pheonix ගේ රංගනය සමග සසඳා බලන්න ඔබට පුලුවන්.

Horror, Thriller, Psychological Drama මේ සියලු රස කැටිවුණු වඩාත් අඳුරු ගුප්ත නමුත් අවසානය වෙනතුරු කුතුහලය බිඳනොගෙන බලා සිටියහැකි සිනමා අත්දැකීමක් මට The Machinist.



Wednesday, October 21, 2020

Jacobs Ladder (1990)

 ජිවිතය සහ මරණය එකිනෙකාගෙන් වෙන් වෙන්නෙ බොහොම පටු සහ ඕනෑම මොහොත බිඳවැටිය හැකි ඉඩ ප්‍රමාණයකින් බව කිව්වොත් ඒක පැවැත්ම ගැන කරපු ඍණාත්මක ප්‍රකාශනයක් බව ඔබට කියන්න පුලුවන්. ඒත් මොහොතක් හිතල බැලුවොත්, තමන් බොහෝම සමීපව ආශ්‍රය කල සහ තමන් ආදරය කල කෙනෙක් ජීවිතයෙන් සමුගත්ත මොහොතක ඒ පුද්ගලය සමග ගතකරපු ජීවිතය මහ රෑක දුටු හීනයක ස්වභාවයෙන් එක මොහොතකින් නැතිවී ගිය එකක් බව ඔබට දැනේවි. සියලු දේ සැණෙකින් නැතිවී යා හැකි තැනක, අපිට හැමදෙයක්ම වෙනුවෙන් ඉතිරි වෙලා තියෙන, ජීවිතයත් මරණයත් අතර පවතින මේ හිස් අවකාශය පිරිල තියෙන්නෙ මොනවයින් ද? කෙනෙක් කියාවි සිහිනවලින්, බලාපොරොත්තු වලින්, ආශාවන්ගෙන්, දිනාගතයුතු අරමුණු වලින් බව. තව කෙනෙක් කියාවි බිඳ වැටුණු අපේක්ෂාවන්, ඉටුනොවුණු ආශාවන්, කළකිරීම්, දුක් දොම්නස් වලින් ඒ අවකාශය පිරිල ඇති බව. ඒ මොකක් වුණත් එදිනෙදා පැවැත්ම ඇතුලෙ ජීවිතේ අරගෙන යනව මිස මෙතනින් එහාට මොකක් වෙයිද, මේ කරපු කියපු දේවල් වලට, අපි ආදරය කල අයට වෙන්නෙ මොකක් ද කියල අපි හිතන්නෙ නෑ. ඇත්තටම ඇයි ඔය දේවල් හිතමින් කාලය නාස්ති කරන්න අවශ්‍ය..?


ඒත් යුධ බිමක් වගේ මේ මොහොතේ ජීවිතයත් ඊළඟ මොහොතෙ මරණයත් තීරණාත්මක වුණු අත්දැකීමකට මුහුණ දුන්න කෙනෙකුට පස්සෙ ඉන්පස්සෙ ගතකරන්න සිදුවෙන්නෙ කොහෙත්ම ඔහුගෙ පෙර තිබුණු ජීවිතය නම් නොවෙයි.  ඔහු මරණයේ අඳුරු සෙවණැල්ල දුටුව කෙනෙක්. ඒ බියකරු බව අත්වින්ද කෙනෙක්. ඒ බිහිසුණු අත්දැකීම ඔහුගෙ ඊළඟ මුළු ජීවිත කාලයම වෙනස් කරන සුළු තරම් ප්‍රබලයි. 

ජේකබ් වියට්නාම යුද්ධයට සහභාගි වුණු ඇමරිකානු සොල්දාදුවෙක්. යුද්ධයෙදි සිද්දවෙන යම් අනතුරකින් පස්සෙ ඔහු හමුදාවෙන් ඉවත්වෙලා වැඩිදුරටත් ඉගෙන ගෙන ආචාර්‍ය උපාධියක් ලබාගන්නව. ඒත් ඔහු තෝරාගන්නෙ තමන්ගෙ අධ්‍යාපනයට කිසිසේත් නොගැලපෙන විදිහට ලියුම් බෙදන්නෙකුගෙ රැකියාවක්. විවාහය ඇතුලෙ ඇතිවෙන ගැටලුකාරී තත්ත්වය නිසා ජේකබ් ජීවත් වෙන්නෙ බිරිඳ ගෙන් වෙන්ව සුන්දර තරුණියක් වුණු ජෙසබෙල් සමග. 

යුද්ධයෙදි ලැබුව අත්දැකීම් ටිකෙන් ටික ඔහුට පීඩාකරන්න පටන් ගන්නව. නොයෙක් අත්භූත විකාර දර්ශන ඔහුට පේනව. කවුරුන් හෝ තමන්ව ලුහුබැඳ එන බවක් ඔහුට දැනෙනව. හමුදාවෙදි තමන්වත් තමන් සමග එකට යුදවැදි සොල්දාදු සගයින් වත් නොදැනුවත්වම යම් පරීක්ෂණයකට යොදාගෙන ඇති බව ඔහු හිතනව. තමන් පීඩාවට පත්කරන මේ විකාර දර්ශන ඒ පරික්ෂණයෙ ප්‍රතිඵලයක් බව ඔහු කල්පනා කරනව. ඒ ගැන වැඩිදුර හොයාබැලීමක යෙදෙන ජේකබ් ට කුමක් සිදුවේවි ද?

අනෙක් බොහෝ දේවල් වගේ අපේ සමාජෙ අවභාවිත වෙන "යුද්ධය" සහ "සොල්දාදුවා" කියන වචන දෙක ඇතුළෙ තියන වඩා අඳුරු සහ ඇත්ත ස්වභාවයන් චිත්‍රපටය ඇතුළෙ නිරාවරණය වෙනව. යුද්ධය යනු දිනාගත හැකි ක්‍රීඩාවක් ද? යුද්ධයෙ නිරතවෙන සොල්දාදුවා ඒ ක්‍රීඩාවෙ නියුතු වීරයෙක් ද? ඒක එහෙම නම් යුද්ධය කියන දේශපාලන ක්‍රීඩාව ඇතුලෙ අවභාවිත වෙන්නෙ මිනිස් ජීවිතයම නෙමෙයි ද?

Jacobs Ladder මේ කිසිම ගැටලුවකට උත්තර සපයන්නෙ නෑ. චිත්‍රපටය අවසානය එක්තරා ආකාරයක තිගැස්මක් ඇතිකරවනසුලු එකක් වුණත් මුලු චිත්‍රපටය පුරාම මොකක්ද ඒ වුණේ කියන දෙයට ඒ අවසානයෙන් නිශ්චිත විසඳුමක් දෙන්නෙ නෑ.  චිත්‍රපටය පුරාම පැතිරිලා තියෙන්නෙ වටහගන්න බැරි ගුප්ත සහ සිහිනමය ස්වභාවය එක්ක, අවසානය සහ මුල මැද අග ගලපමින්  හිතන ප්‍රේක්ෂකයෙකුට සෑහෙන කම්පනයක් ඇති කරනවන සුලු එකක් බව කියන්න ඕන. Tim Robins ගේ අද්විතීය රංගනයෙන්, Adrian Lyne  අද්‍යක්ෂණයෙන්, Bruce Joel Rubin තිර රචනයෙන් නිමවුණ Jacobs Ladder, දේශපාලන බල අරගල ඇතුලෙ මිනිස් ජීවිත වල වටිනාකම අවප්‍රමාණයවී යන ආකාරයත්, තමන් ආදරය කරන අය, වඩාත් සමීප අය අහිමි වීම කොයිතරම් ජීවිතයට බලපෑමක් කරනවද කියන කාරණයත් පෙන්වා දෙන, සිනමාත්මක ගුණය අතින් ඉතාම ඉහළ ගණයේ චිත්‍රපටයක්.



Monday, October 19, 2020

වයර් පොටක සෞන්දර්ය

 තරිඳු ශ්‍රී ලොකුගමගේ, මුහුණු පොතෙන් මම හඳුනාගත්ත හොඳම ලියන්නන් අතර ඉහළම තැනක තියන්න පුලුවන් කෙනෙක්. පොත පත ගැන, වාහන, සුරතල් සත්තු මේ ආදී නොයෙක් දේවල් ගැන, තමන්ටම අනන්‍ය වුණු භාෂා ශෛලියකින්, වචනෙ අර්ථයෙන්ම "රහට" ලියන්න දක්ෂයක් තරිඳු. විශේෂයෙන් වාහන ගැන ඔහු ලියන දේවල්, වාහන ගැන මෙලෝ දෙයක් නොදන්න, වාහන වලට කිසිම කැමැත්තක් නැති කෙනෙකුට පවා බොහොම ආසාවෙන් කියවිය හැකි ඒව. තරිඳු ගෙ මුල්ම නවකතාව, 2019 අවුරුද්දේ එළිදැක්වුණු "වයර් පොටක සෞන්දර්ය" මේ 2020 පොත් ප්‍රදර්ශනයෙන් මිලදී ගන්නෙ කියවන කාලය අපතේ නොයන්නක් බව ලොකු විශ්වාසයකින්. ඒ විශ්වාසය කඩ නොවූ බව කියන්නෙ සතුටෙන්.


"වයර් පොටක සෞන්දර්ය" නවකතාව මට දැනෙන්නෙ එක්තරා ආකාරයක "ටැරන්ටිනෝමය" පන්නයෙ සිනමා අත්දැකීමකට සමානව. ටැරන්ටිනෝ ගේ චිත්‍රපට නරඹපු කෙනෙක්ට මේ කාරණය වටහගන්න පුලුවන් වේවි. ඔහුගෙ චිත්‍රපට වල නැති දෙයක් නෑ. ඇඟ ලොමු ඩැගැගන්වන තරම් ත්‍රාසජනක සිදුවීම්, ඉළඇදෙන විහිළු, රොමාන්තික පෙම්වත්තු, "සිරා" චරිත, අමුම අමු දුෂ්ටයො ඔය ආදී අනුපානයන් අඩු වැඩිවශයෙන් අරගෙන කලවම් කරල තමයි ඇමරිකානු චිත්‍රපට අද්‍යක්ෂවරයෙක් වුණු ක්වින්ටන් ටැරන්ටිනෝ චිත්‍රපට නිර්මාණය කරන්නෙ. තරිඳු ගේ වයර් පොටෙත් ඔය හැම සෞන්දර්ය ම අඩුවැඩි වශයෙන් ඇතුලත්. විශේෂයෙන් හොලිවුඩ් චිත්‍රපට වල අපි විඳින "ඩාර්ක් කොමඩි" රසය ඔහු හරි ගාණට මේ නවකතාව ඇතුළට ගේනව. ඒව ඇත්තටම මතක තියාගෙන දවස් ගාණක් වුණක් හිනාවෙන්න පුලුවන් විහිළු. 

"අලුත් පරපුරේ කියනා ගායක ගායිකාවන් මුකුන්ද කියා මා දැන සිටියේ නැත. මට උන් හැම එකාගෙන් ම එන්නේ එකම හොටු බර හඬකි. අනික් අතට හැම එකීම සින්දු කියන්නේ සති පොළේ වැල්පෙනෙල විකුණන හඬකිනි" 

"එය අම්මට සිරි මක්වෙලාද ලෙස ඇරඹී, පවු ඩෝ හිත හොඳ කොල්ලා,බවට පත්වී, ඔය කාර්කාරයෝ මහ * රියෝ කීම දක්වා ගොස්, මේක මහ සක්කිලි ආණ්ඩුවක් මට්ටම ඉක්මවා, මේ ඔක්කොම බලා ඉන්නෙ වරදින තුරු අපට තත්ත්වයට පැමිණ, ඉන්පසු රාත්‍රී ප්‍රවෘත්ති රස කිරීම සඳහා එක්කරන සුප්කැට  කෑල්ලක් වන තුරු විකාශය වූ සීන් එකකි"

"මම ටොපා සංජේ ගේ මිනිය දෙස බැලීමි. දොදොල් පට්ටයක් උඩට පවුඩර් ඉස්සා සේ උගේ කලුපාට මූණ එම්බාම් එකෙන් තැනින් තැන සුදුවී ඇත"

තරිඳු නවකතාව වෙනුවෙන් භාවිතා කර තියෙන භාෂාව සරල සැහැල්ලු, ආයාසයකින් තොරව කියවාගෙන යා හැකි එකක්. දේවල් ක්‍රමානුකූලව විස්තර කරනවා වෙනුවට භාෂාවත් එක්ක සෙල්ලම් කරමින්, කොයි තැනකවන් මින්පෙර කියවා නැති අලුත් ම උපමා රූපක යොදාගනිමින්, කියවන්නා ඇතුලෙ චිත්තරූප මැවෙන අමුතුම ආකාරයෙ භාෂාමය ලෝකයක් ගොඩනගමින් ඔහු මේ කතාව අපිට කියනව. 

"රැලේ යන පුසෙකු ටෙරිටරි මාක් කරන්නට ඇල්ලූ හදිසි චූ පාරක් වැනි සීමිත අවු රැල්ලක් ජනේලයෙන් පෙරී ආවේ ය"

"එහෙත් එහි තිබුණු පාරේ ත්‍රීවීලර් එක ගියේද සංසාරයේ වැටි වැටී ආත්මයෙන් ආත්මයට යන පවුකාර ගන්ධබ්බයෙකු ලෙසිනි"

"බෝඩිම ප්‍රාග් ඓතිහාසික මහා ගංවතුරකට අහුවුණු ඩයිනසෝර සොහොනක් මෙනි"

"වයර් පොට" කියවීම කියන්නෙ එක්තරා ආකාරයක අලුත් අත්දැකීමක්. බොහෝමයක් සිංහල භාෂාවෙන් පළවෙන නවකතා වල ඇතුලත්වෙන කතන්දර වලින් බැහැරව වෙනස් මානයකට විහිදෙන කතාවක්. සමස්තයක් විදිහට "වයර් පොටක සෞන්දර්ය" ක්‍රයිම් ත්‍රිලර් වර්ගයෙ නවකතාවක් විදිහට හඳුන්වන්න පුලුවන්. කතාවෙ සමහර තැන්වල තියන අඳුරු අත්භූත රසයත් එක්ක මේක "The Identity, Silence of the lambs, Shutter Island වගේ චිත්‍රපටයකට හොඳටම ගැලපෙන බවක් කතාව කියද්දි මට දැනුණ. ඒ වගේම ජීවිතය ගැන ඉතාම සියුම් සංවේදනාවන් මේ කතාවෙ සමහර තැන් කීපයක මතුවෙන්නෙ බොහොම අනුවේදනීය ආකාරයෙන්. හදවතට ඉඳිකටු තුඩකින් අනින ගාණට ඒ සියුම් තැන් කතාව ඇතුලෙ මුහුවෙලා තිබුණා.

වයර් පොටේ සෞන්දර්ය ගැන කතාවෙම ඇතුලත් වෙලා තියන ඒ අපූරු වාක්‍ය කීපයෙනුයි මේ කෙටි සටහන අවසාන කරන්නෙ. කොහොම වුණත් වයර් පොට, මේ අවුරුද්දේ එළි දැක්වුනු, සහ පොත් ප්‍රදර්ශනයෙන් මම මගහැරගත්තු,  තරිඳු ගේ දෙවනි නවකතාව "ජීවිතයේ ඔයිල් පැල්ලම" ඉක්මනින්ම මගනොහැර කියවිය යුතුයි කියන හැඟීම ඉතිරි කලා. ඉදිරි ලේඛන වැඩකටයුතු වෙනුවෙන් තරිඳුට මුලු හදින්ම සුබ පැතන්න කැමතියි. 

"ඔය එකෙකු වත් ලේසියෙන් වයර් පොටක සෞන්දර්ය හඳුනාගන්නේ නැත. උන් වෙලාවට එන්නේ නැත. වෙලාවට කන්නේ නැත. වෙලාවට දොට්ට යන්නේ නැත. උන් ඉතිරි කර යන්නේ පිස්සු ගෑනියකගේ කොණ්ඩය මෙන් අවුල් ජාලයකි.

ලස්සනට හැදුවත් මොඩර්න් ශිෂ්ටාචාරයේ ජීවනාලිය වන විදුලිය එහා මෙහා රැගෙන යන්නෙ වයර් ය. වයර් නැතිව අපට පැවැත්මක් නැත. බ්ලූටූත් වලින් කවදාවත් අපේ ශිෂ්ටාචාරය පණගන්වන්නට හැකිවන්නේ නැත.

 ඇත්තටම සමකාලීන මනුෂ්‍ය ශිෂ්ටාචාරය යනු මිනිසා සහ වයර් අතර තිබෙන සම්බන්ධතාවයේ ප්‍රතිඵලයකි. 

මේ සම්බන්ධතාව කවියක් කරගත හැක්කේ එහෙමත් මිනිහෙකුට ය."



Friday, October 16, 2020

නගරයේ මේ විසල් ඝෝෂාව

නගරයේ මේ විසල් ඝෝෂාව 
ඇසෙන්නෙද කොයිතරම් ඉහළට..?

උස කුළුණු මුදුන් දැවටෙන
මීදුම් ඉසව්වෙන් එපිටට..

ලිහිණින් පියාපත් සලන
අවකාශයෙන් ඔබ්බට..

මනරම්ව සත්පාට තැවරෙන
දේදුණු රැඳුණු ඉම ද පසුකර

ඇසෙන්නෙද නගරයේ ඝෝෂාව 
වළාකුළුළ් ඉම තෙක්ම..?

අසා මේ වියවුල
නිහඬ කරවනු පිණිස
එවන්නෙද වළාකුළු වැහි බිඳු
ගුගුරුවා අහස..

නගරයේ මේ ඝෝෂාව 
ඇසෙන්නෙද වළාකුළුළ් වලට ද..?



Thursday, October 15, 2020

Inside man (2006)

 "මගෙ නම ඩෝල්ටන් රසල්. "කවුද?" කියන ප්‍රශ්නෙට තියන උත්තරේ ඒක. "වුනේ මොකක්ද?" කියන එක හරිම ලේසියි. කිසිම අඩුපාඩුවක් නොහිටින්න සර්ව සම්පූර්ණ  බැංකු මංකොල්ලයක් මම සැලසුම් කරල ක්‍රියාත්මක කලා. "කොහෙද?" කියන ප්‍රශ්නෙටත් උත්තරේ ඒකමයි. "ඇයි?" කියන ප්‍රශ්නෙට, අනිවාර්යයෙන් ලැබෙන මුදල්

කන්දරාවට එහා තියෙන්නෙ එකම එක දෙයයි. ඒ "මට පුළුවන් නිසා". අන්තිමට අපිට ඉතුරුවෙන්නෙ "කොහොමද?" කියන දේ විතරයි. දැන් ඔබ හැමකෙනෙක්ම විස්තර ඇතුව බලාගන්න සූදානම් වෙන්නෙ ඒ දේ තමයි.."

Inside man (2006) චිත්‍රපටය ආරම්භයේදීම හැම දෙයක්ම පැහැදිලි කර දීල අවසන්. එතකොට නරඹන කෙනෙකුට ඉතුරු වෙන්නෙ හරි සරලව "ඒක වුණේ කොහොමද " කියන දේ බලා ඉන්න විතරද? ඔව් සහ නැහැ.. කිසිවක් විස්තර නොකර ඒ ප්‍රශ්නෙට දෙන්න පුලුවන් උත්තරේ එපමණයි..

Inside man නිමවෙන්නේ හොලිවුඩ් වල  මෑතකාලීනව හොඳ චිත්‍රපට නිදපවමින් නමක් දිනාගත්ත Spike Lee ගේ අධ්‍යක්ෂණයෙන්. Denzel Washington, Clive Owen, Judie Foster, Christopher Plummer, William Dafoe වගේ නම කිව් සැණින් අපි හඳුනන විශිෂ්ට නළුනිලි පිරිසක් රංගනයෙන් දායක වෙනව. සංගීතය, කැමරාකරණය, රංගනය වගේම ඊළඟ මොහොතේ මොකක්වෙයිද කියන කුතුහලයෙන් මේ චිත්‍රපටය ඇතුළෙ ඉහළින්ම විඳගන්න පුලුවන්. ඉතාම සූක්ෂමව සැලසුම් කල බැංකු මංකොල්ලයක් අවසාන වෙන්නෙ කිසිවෙක් නොසිතූ තැනකින්. ඒ මොකක්ද කියල ඇඟවෙන කෙටි දෙබසකින් මේ කෙටි සටහන අවසන් කරන්නම්..

- ඔයා කියන්නෙ නැද්ද මට.. කොහොමද මෙතනින් ගැලවිලා යන්න හිතාගෙන ඉන්නෙ කියල ?

- කෙලින්ම ඉස්සරහ දොරෙන්.. ඇයි වෙන යන්න විදිහක් තියනවද මෙතනින්?

- ඔයා කොහොමද මේ හැම රහසක්ම දැනගත්තෙ?

- ඒක ඒ හැටි දෙයක් නෙමේ.. කාරණාව තමයි.. හැම බොරුවම, හැම නපුරු දුෂ්ට ක්‍රියාවම දවසක ගඳගහන්න පටන් ගන්නව..ඔයාට පුලුවන් ටික වෙලාවකට ඒව යටපත් කරල තියන්න. ඒත් ඒවයෙ තියන දුර්ගන්ධය නම් මකන්න බෑ...



Wednesday, October 14, 2020

කෘමී ලොවේ දැවැන්තයෙක් Titan Beetle

දකුණු ඇමරිකානු වැසි වනාන්තර කියන්නෙ නොයෙක් ආකාරයේ අරුම පුදුම සත්ත්වයින්ට නවාතැන් දෙන පාරාදීසයක් වගේ කිව්වොත් වඩා නිවැරැදියි. කෘමි සත්ත්වයන් අරගත්තත් ඒ වගේ අපූරුම විශේෂ ගණනාවක් මේ කලාපයෙන් හමුවෙනව. Titan Beetle ඒ අතරෙන් විශේෂයි. දකුණු ඇමරිකාවේ පමණක් නොවෙයි මුලු ලෝකෙන්ම විශාලම කෘමි සතුන් අතර එක් විශේෂයක් Titan Beetle. අඟල් 6.5 ක් පමණ දිගට, වැඩුණු මිනිසෙකු ගෙ සම්පූර්ණ අතලේ ප්‍රමාණයට ආසන්න දිගකින් මේ Titan Beetle කෘමියෙක් වර්ධනය වෙනව. ඔබ කවුරුත් දන්න විදිහට කෘමි සතුන් මුලින්ම පිලා අවධියක් පසු කරමින් තමයි සම්පූර්ණ  වැඩුණු අවස්‍තාවට පත් වෙන්නෙ. ඒත් තවම Titan Beetle වර්ගයෙ පිලවෙක් සොයාගන්න ලැබිල නැති බවයි වාර්තා වෙන්නෙ. මේ පිලවෙක් අඩියක් පමණ දිග විය හැකි බව අනුමාන කරනව. පියාපත් පිහිටා තිබුණත් ශරීරයෙ විශාලත්වය නිසා පොළවේ ඉඳගෙන පියාසරන්න මේ කෘමියාට හැකියාවක් නෑ. ගසක නැත්නම් වෙන ආධාරකයකින් ඉඳගෙන වාතලයට පැනීමෙන් මොවුන් පියාසැරිය ලබාගන්නෙ. පියාඹන අවස්‍තාවෙ සෑහෙන ලොකු ශබ්දයක් නික්මෙන බව තමයි කියන්නෙ. විශේෂයෙන් දකුණු ඇමරිකානු කලාපයෙ සංචාරකයන් මේ සත්ත්වයන් සියැසින් දැකගන්න උත්සාහ කරන නිසා සංචාරකයන් අතරේ සෑහෙන ජනප්‍රියත්වයක් උසුලන බව කියවෙනවා. කොහොම නමුත් වනාන්තර විනාශය නිසා වඳවී යෑමේ තර්ජනයට මුහුණදි ඉන්න අපූරු කෘමි සත්ත්වයෙක් Titan Beetle.




Sunday, October 11, 2020

නිම්නාගේ ඉතිහාසය

 ෆේස්බුක් එකවුන්ට් එකක් පටන් ගන්න එක ඉතාම ඓතිහාසික සිදුවීමක් වේවි කියල කවදාකවත් හිතුවද? සාමුහික මිනිස් පැවැත්මක ඉළඟ පියවර තීරණය කරන අතිශ්‍ය වැදගත් මොහොතකට තමන් දායක වෙන්න යනව වගේ හැඟීමක් ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගන්න කිසි කෙනෙකුට කවදාකවත් තියෙන්න නැතුව ඇති. අනෙක් අතට අපි දේවල් කරන්නෙ ඉතිහාසය සටහන් කරන අරමුණෙන් නොවෙයි නෙ. අපි කරන්නෙ ඒ මොහොතෙ ජීවිතේ ගත කරන එක පමණයි. ඒත් ආපහු අපි පහුකරන් ආව අතීත සිදුවීම් දිහා හැරිල බැලුවම එදිනෙදා දෛනිකත්වය ඇතුලෙ අපේ වර්තමාන මේ මොහොත හැඩගස්වන තීරණාත්මක දේවල් තිබුණ නේද කියල හඳුනගන්න පුලුවන්. සමාජ මාධය සහ ඒක අපේ ජීවිතය ඇතුලෙ ස්ථානගත කරන්නෙ කොයි වගේ තැනකද කියල හිතල බැලුවොත් මේ බලපෑම ගැන අදහසක් ගන්න පුලුවන්.


කෞශල්‍ය කුමාරසිංහගේ "නිම්නාගේ ඉතිහාසය" නවකතාව ආරම්භ වෙන්නෙ, මේ කතාවේ කතා නායිකාව, "නිම්නා ද සිල්වා", කිරුළපන ප්‍රදේශයේ වාසය කරන අවුරුදු විසිපහක් වයස ඒ තරුණිය ගේ ෆේස්බුක් ගිණුම හිටිහැටියේ අතුරුදහන් වීමෙන්. මේ අතුරුදහන් වීමත් එක්ක නිම්නාගේ කතාව අපිට කියන කෞශල්‍යය කුමාරසිංහ, තමන්ගේ නමින්ම තමන් හඳුන්වා දෙමින්, නිම්නා සමග තමන්ගේ සම්බන්ධතාව පැහැදිලි කරමින් ඇය ගැන මූලික කරුණු කීපයක් අපි ඉදිරියට ගේනව. නවකතාවෙ තව ඉදිරියට වඩා විස්තරාත්මකව අපිට දැනගන්න ලැබෙන කාරණා කීපයක් ගැන මූලික දැනීමක් ඒ හඳුන්වාදීමේ ඇතුලත් වෙලා තියනව. ඉන්පස්සෙ මේ කතාව කියන කථකයා තමන් ගේ ස්වභාවයෙන් මිදිල අතීතය වර්තමානය සියලු දේ දකින, සහ මිනිස් සිතුවිලි බලට එබී බලන සර්වවේදීත්වයක් ලබාගනිමින්, නිම්නාගේ උපතේ පටන්, වරින් වර ඇගේ දෙමව්පියන්, මුතුන්මිත්තන්ගේ ජීවිතවලට දෑස් යොමුකරමින්, ඒ අතීත සිදුවීම් වර්තමානයෙ කැන්වස් තලය මත යලි චිත්‍රනය කරමින්, වයස විසිපහ වන තුරු නිම්නාගේ කතාව අපිට කියනව. "නිම්නාගේ ඉතිහාසය" ආඛ්‍යානමය වශයෙන් ගොඩනැගෙන්නෙ එහෙම. 

කේන්ද්‍රීය වශයෙන් ගැහැනු ලමයෙක් වටා ගෙතුණු කතාවක් නිසා, "නිම්නාගෙ ඉතිහාසය" කියන්නෙ ස්ත්‍රීත්වය ආත්මය කරගත්ත කතාවක් කිව්වොත් වරදක් නැහැ.  නිම්නාට අමතරව, මිලි නෝනා, චාලට්, ඇග්නස්, රමණී, විශ්මි, තාරා මේ කතාවෙ මුණගැහෙන අනෙක් ගැහැනු චරිත. ගැහැනිය දේශපාලනික නැහැ. ඇය අනුරාගිකයි, ඇයගෙ සිතුම් පැතුම්, ක්‍රියාවන් මූලිකවම පදනම් වෙන්නෙ ආදරය, විශ්වාසය, සුරක්ෂිතබව වගේ හැඟීම් මුල් කරගෙන. කාලයත් එක්ක වෙනස් වෙන සමාජ, දේශපාලනික, ආර්ථික ගතිකයන් ඇයට කරන බලපෑම කොයිවගේද කියන කාරණය මේ කතාවෙ සියුම් ව විවරණය වෙනව. ගෙදරට හොරෙන් ලියුම් ලියමින් ආදරය හුවමාරු කරගත් කාලයෙ පටන්, පෙම්වතා සමග විහාරමහාදේවි උද්‍යානයේ, ගාලුපාරේ ඇවිද යන, බැරිස්ටාවේ මුණහැහී කතාබහ කරන කාලය දක්වාම ප්‍රේම සබඳතා ඒ ඒ යුගයට අනුව හැඩගැන්වුණ ආකාරය, පිරිමියාට වඩා විචිත්‍ර විසිරුණු ඇගේ ලිංගික නම්‍යතාවන් දැඩි සංස්කෘතික විනය, වික්ටෝරියානු සදාචාරවාදී ක්‍රමය ඇතුලෙ විකසිත වන ආකාරය මේ නවකතාවෙ ඇතුළත්වෙලා තියනව. ඇය නම් වූ මේ අපූරු අරුමැසි දේශයේ භූ විශමතා කලාප ඇතුලෙ රස්තියාදු වීම මට නම් හරි අපූරු අත්දැකීමක් වුණා.

නිම්නා නියෝජනය කරන්නෙ නාගරික මද්‍යම පන්තික සමාජිය පැවැත්ම. ගෙදරට චීත්ත ගවුමක් එක්ක කොණ්ඩය කරල් දෙකට පීරල හැඩවෙන ඇය තවත් වෙලාවක කොෆීබීන් අවන්හලේ කැපුචිනෝ පානය කරන හැටිත්, මිනි ස්කර්ට් ඇඳල හයි හීල්ස් දාල රාත්‍රී සමාජ ශාලා වල ටිකිලා සමග වොඩ්කා බොමින් දුම්පානය කරමින් ඩී ජේ සංගීතයට නර්තනයේ යෙදෙන හැටිත් අපිට දකින්න පුලුවන්. ඇය උපදින්නෙත් ඉතිහාසගත දවසක. ඒ බර්ලින් තාප්පය බිඳ වැටුණු දවසෙ. යුරෝපයේත්, ලොව පුරාමත් පැතිරීගිය සමාජවාදී ෆැන්ටසික සිහින බිඳවැටීමත් නිදහස් වෙළඳපොල මුල් කරගත් ලිබරල් ධනේශ්වර ක්‍රමය ක්‍රමයෙන් ලොව පුරා පැතිරී යෑමත් මේ සිදුවීමෙන් නිරූපිත බව "නිම්නාගෙ ඉතිහාසය" ක්‍රමයට කියනව නම් "ඔබට ඕනෑ නම් කියන්න පුලුවන්" (මේ යෙදුම නවකතාව පුරා බහුලව දකින්න ලැබෙනව). නිම්නා ලිබරල් ධනවාදයේ දරුවෙක්. ඈ උපදින්නෙ සමාජවාදයෙ (අමර - නිම්නාගෙ තාත්තා) මරණයත් එක්ක. ඇගෙ රැකියාව අලෙවිකරණය. ඇගේ ජීවිත පැවැත්ම වඩා නිදහස්කාමියි. ඇය ආසක්ත වෙන්නෙ ගතානුගතික සහ ජාතිවාදි පණ්ඩුකට නොවෙයි, (නමුත් ඔහු ඇයගෙ මිතුරෙක්) ඇය ආසක්ත වෙන්නෙ බොහිමියානු අරවින්දට. ඇත්තටම ඇය ඉන්නෙ සතුටින් ද? තමන්ගෙම ජිවිත පැවැත්ම ගැන මහ හිස් හැඟීමක් ඇගේ හිත පුරා පැතිරී තිබුණ බව අපි කියවන්නෙ නැද්ද ? ඇත්තටම මේ ජීවිත රටාව ගැන ඒ විදිහට හිතන්නෙ නිම්නා පමණද?

"නිම්නාගේ ඉතිහාසය" යුගයන් කීපයන් නිරූපණය කරන නවකතාවක්. මුල මැද අග පිළිවෙලින් නොවුණත්, කතුවරයා වරින් වර උපතේ පටන් ඇගේ ජීවන කාල රේඛාව ඇතුලේ මේ අතීතයට එබිකම් කරනවා. යටත් විජිත සමයේ පටන් ක්‍රමික සමාජ විකසනය, හැත්තෑව අසූව යුගයේ වාමාංශික අරගල සහ දෙදාස් නවයෙ යුධ ජයග්‍රහණ උතකර්ශය දක්වා සහ ඉන් එපිටටත් අපි ඉදිරියෙ මැවෙනව. මම විශ්වාස කරනව "නිම්නාගෙ ඉතිහාසය" නවකතාවෙ මුඛ්‍ය අරමුණ මේ මොහොත තේරුම් ගැනීම කියල. මේ නිශ්චිත සමාජ දේශපාලන මොහොත කියන්නෙ අපි පහුකරගෙන ආව ඉතිහාසයෙම නිශ්පාදිතයක් මිස අනෙකක් නොවෙයි. ෆේස්බුක්, වට්සැප් වගේ සමාජ මාධ්‍ය ඇතුලෙ සැරිසරමින්, උදේ හවස වැඩට යමින් එමින්, කීයක් හරි වැඩිපුර හම්බකර ගන්න වෙරදරමින් අපි ගෙවන මේ මොහොත ඒ ඓතිහාසික පසුබිම සමග තුලනාත්මකව විවරණය කිරීමයි මේ නවකතාවෙන් සිද්ධවෙන්නෙ. නිම්නා උපත ලබන්නේ සමාජවාදය (වම) පරාජයට පත්වුණු මොහොතක වුණත්, මේ සමාජ ක්‍රමය වඩා යහපත් ආකාරයට, සියලු මනුශ්‍යයන්ට යුක්තිය සහ සාධාරත්වය සැලසෙන ආකාරයට වෙනස් වියයුතු බව විශ්වාස කරන වාමාංශික සුළුතරයක් අප අතරෙ ඉන්නව. නමු අපිට ඔවුන්ගෙ හඬ ඇහෙන්නෙ නෑ. සමාජය පුරා පැතිරිල තියන මහ වෙළඳ ඝෝෂාව ඇතුලෙ ඒ හඬවල් යටපත් වෙමින් තිබෙනව. පරිභෝජනය, ජීවිත අරගලය ඇතුලෙ සංස්කෘතික පැවැත්ම, සාහිත්‍ය කලාකෘතීන් විසින් නගන හඬ යටපත් වෙනව. හොඳ චිත්‍රපටයක් නරඹන්න, පොතක් පතක් කියවන්න, කවියක් රසවිඳින්න, ජීවිතය ගැන ගැඹුරින් හිතන්න අපිට විවේකී මනසක් නෑ, නැත්නම් ඒ කිසි දෙයක් ගැන අදහසක් අපිට නෑ. මම හිතන විදිහට මේ තමයි අපි ගතකරමින් ඉන්න "හුස්ම ගන්න බැරි තරම් අන්ධකාර මොහොත". බොහෝ වෙලාවට අපිට අපි කවුද කියන දෙය හරියට හඳුනාගන්න හැකියාවක් නැහැ. කැඩපතකින් බලන තුරුම අපිට අපිවම පෙනෙන්නේ නැහැ. "නිම්නාගේ ඉතිහාසයෙන්" සිදුකරන්නෙ මේ කැඩපත ඇල්ලීමේ කාර්‍ය. "නිම්නාගෙ ඉතිහාසය" ඒ ඥානනය කිරීමේ ක්‍රියාවලිය සර්ව සර්ම්පූර්ණ ආකාරයෙන් කරන බව මම කියන්නෙ නෑ. නමුත් ඉතා වැදගත් බලපෑමක් මේ නවකතාවෙන් කල හැකි බව ඇත්‍ත.

මම බොහොම දරුණුවට විශ්වාස කරන දෙයක් තමා හැත්තෑව අසූව කාලෙ ඒ අඳුරු යුගයෙදි වාර්ගික අරගලයෙදි අහිමි වුණු මිනිස් ජීවිත වලින් ඇති කරපු හිස් ඉඩ අපේ සමාජය පුරා පවතිනව කියන දෙය. දැනුමෙන් පොහොසත්, මේ ක්‍රමය වෙනසක් කල යුතුයි කියල හිතපු ඒ වෙනුවෙන් වැඩ කරපු, රටට ඇත්තට ආදරය කරපු ජීවිත දහස් ගණනක් නිස්කාරණෙ අපිට අහිමිවුණා. ඒ ජීවිත සුරැකුණා නම් රටට සමාජයට කොයිතරම් වැඩදායක වෙන්න තිබුණ ද? ඒ ජීවිත අහිමි වීමෙන් ඇති කරපු හිස් තැන අදටත් එහෙමම පවතිනව. මේ මොහොතේ අපි මේ විඳින අන්ධකාරය ඒ හිස්කමේ ගැඹුරු පතුලක ඉඳන් මතුව එන එකක් වෙන්න පුලුවන්. 

මේ කරුණු කාරණා හැමදෙයක්ම එක්ක "නිම්නාගෙ ඉතිහාසය" "නාගරිකත්වය" වඩා සමීප සමාජයකට වැඩිපුර දැනෙන නවකතාවක් විදිහට හඳුන්වන්න කැමතියි. බොහොමයක් සිංහල නවකතා "ගැමිකම" මුල්කරගත්ත ඒව. නිම්නාගේත් අක්මුල් ගමෙන් මතුවුණත් ඇගෙ පරම්පරා ගණනාවක් මුතුන්මිත්තන් හැදී වැඩෙන්නෙ නාගරිකව. මාටින් වික්‍රමසිංහ මහත්මයගෙ "ගම්පෙරළිය" නවකතාවෙ, වෙළඳාම් කරන්න ගමෙන් පිටවෙන ජිනදාස ගැන ඉන්පස්සෙ කිසිම ආරංචියක් ලැබෙන්නෙ නෑ. මේ තියෙන්නෙ ගමෙන් නගරයට එන ජිනදාසලා ගෙ දරුමුණුබුරන් ගේ කතාව විදිහට මම හඳුන්වා දෙන්නම්. අපි දන්නව නාගරික පොළව මේ යුගයෙ සමාජ දේශපාලන නාටකයන් වේගයෙන් රඟදැක්වෙන තැනක් බව. ඒ නිසා ඒ නාගරික දෘෂ්ටිකෝණය සෑහෙන වැදගත් එකක් කියල මම හිතනව. ඉතාම සිත්ගන්න සුළු ආකාරයට භාෂාව භාවිත කරමින් සහ වෙන කොහේවත් කියන්න ලැබී නැති නැවුම් උපමා රූපක යොදාගනිමින් කතුවරයා මේ නවකතාව රචනා කර ඇති බව කියන්න පුලුවන්. කතාව කොටස් කීපයකට වෙන් කර තිබෙනව. මුල් කොටසෙ වැඩි ඉඩක් ලැබෙන්නෙ "නිම්නාගෙ ඉතිහාසයෙ" "ඉතිහාසය" කොටසට. "නිම්නා" සම්පූර්ණවශයෙන් මුණගැහෙන්නෙ තුන් වෙනි කොටසෙ. මම වැඩියෙන්ම ආසාවෙන් කියෙව්වෙ එතන ඉඳන්. නවකතාවෙ මුල් භාගෙ අර නිතර දක්නට ලැබෙන "ඔබට හිතන්න පුලුවන්" වාක්‍ය ඉන් පස්සෙ දකින්න ලැබුණෙ අඩුවෙන්. මම හිතනව ඒ යෙදුම කතාව කියවන්න තරමක් බධාකාරි එකක් වුණාද කියල. කොහොම වුණත් නවකතාව අවසන් වෙන්නෙ නිශ්චිත අවසානයකින්, අභිරහස් අනාවරණයකින්, මුල මැද අග ගැලපීමකින් තොරව. ජීවිතයත් ඒ වගේ නෙ. හැම විස්මයක්ම තියෙන්නෙ ගමන ඇතුලෙ මිස අවසානෙ නොවෙයි. ඉතින් විස්මයජනක අවසානයක් නොතීබීම නවකතාවෙ අගය අඩු කරන සාධකයක් නොවෙයි. කොහොම නමුත් කතුවරයා සෑහෙන වෙහෙසකින් අතීත කරුණු පොත වෙනුවෙන් සොයාගිහින් තියනව. ඔහුටත් පොත ප්‍රකාශයට පත් කල ප්‍රකාශකයින්ටත් ස්තූතියි කියන්න කැමතියි.
ඒ නිර්මාණාත්මක ශ්‍රමයට ආචාර කරන ගමන් කතුවරයගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න සුබ පතමින් මේ සටහන අවසන් කරනව.



Friday, October 9, 2020

ඔව් ඒ ඔබ....

ඉමිහිරිම ගීයක 
පාළුවක් හිතට කැන්දන
ශෝක බර තනි ස්වරය..

සිනා හඬ ඉහිරෙන
ප්‍රිය තෙපුල් වෑහෙන
සාදයක අතර මැද 
නොහෙලන සුසුම..

උදෑසන රෑ දහවල
මුව අගින් ගිලිහෙන
නෙක සුබපැතුම් අතරේ
නොකියවෙන සුබ පැතුම.

හිතමිතුරු ඇසුරේ
අවන්හල් අඩ අඳුරේ
පිරෙන මධු බඳුනක
දියව යන හිස් කම ..

සවනතේ වැදී
බොඳවී යන ඇමතුම් අතරේ
කිසිදාක නොඑන ඇමතුම..

ඔව් ඒ ඔබ
දහසකුත් සතුටු දෑ මැද
නොරැඳී රඳන 
එකම දුක..



Wednesday, October 7, 2020

අසන් බමරුනි..

අසන් බමරුනි
රොද බඳින
සීගිරි ශිඛරයෙහි
රළු පර්වත බිත්ති මත
කිමද නුඹ
නතර නොවනුයේ මඳකට
ඒ බිතුසිතුවම් අසල ?
විඳ නෙක වර්ණ හැඩතල
නොකියවන්නෙ ඇයි
කුරුටු ගී
මනරම් බසින් ලියැවුණ ?

ඒ අසා පැන
බමර පිරිවර
එකහඬින් පැවසීය මේ ලෙස..
"ඉදිකරනු පිණිස
ජනපද
සොයා ඉමිහිරිම 
මකරන්ද
බොහෝ දුර ඈත
පියාසලනා අපට
නොමැත හිතවත ඉස්පාසුවක්
නතර වන්නට 
ඒ නුහුරු නුපුරුදු
ඉම්පෙදෙසෙහි වන
සිතුවම් හෝ කුරුටු ගී අසල...
දවස අවසන
නිමවා තම තමන් මෙහෙවර
පැමිණ කුටියට
විදහා රිදුම් දෙන අත්තටු
දෑත දෙපය ද
සුවෙන් සැතපෙනු මිස රෑට"





Monday, October 5, 2020

සමාජ මාධ්‍යවල නොපෙනෙන මුහුණ. The Social Dilemma (2020)

 කොහේ හරි පොදු තැනක, සමාජයෙ යම් පිරිසක් ගැවසෙන අවකාශයක ටිකක් වටපිට බැලුවොත් දකින්න ලැබෙන බොහොම සුලබ දර්ශනයක් තමා බොහෝ අය ඉන්නෙ තමන්ගෙ දුරකථන තිරයට එබිල, වටපිටාව ගැන කිසි හැඟීමකින් තොරව. ඒ අය මේතරම් උනන්දුවෙන් කරන්නෙ මොකක්ද කියල හොයා බැලුවොත්   Facebook, Instagram, Twitter වගේ සමාජ මාධ්‍ය වල ඉහළ පහල යමින්, Whatsapp වගේ Massaging app එකක් භාවිතා කරමින් කාලය ගතකරන එකයි වැඩිදෙනා කරන්නෙ. ඒත් ඔය අතරෙ තමන්ට වෙන්නෙ මොකක්ද කියල ඒ අයට අදහසක් නැති බව පැහැදිලියි.


Google කියන්නෙ මොකක්ද කියල ඇහුවොත් ඒ නිකම් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක් බව බොහෝ අය කියාවි. Facebook කියන්නේ මිතුරන් මුණගැහෙන්න, ඔවුන් බෙදාගන්න පින්තූර සහ නොයෙක් දේවල් බලන්න තියන ඉඩක් බව කියාවි. ඒත් ඔබ නොදන්න දේ තමා ඔබේ අවධානය දිනාගන්න මේ යෙදවුම් බිහිකල සමාගම් තරඟයක නියැලිලා ඉන්න බව. facebook, Snapchat, Twitter, Instagram, You Tube වගේ සමාගම් වල මූලික අරමුණ සහ ඔවුන් සියලුදේ කරන්නෙ ඔබව දුරකතන තිරයට ඇදබැඳ තබා ගැනීම වෙනුවෙන් බව ඔබ නොදන්නව ඇති.

මේ සමාගම් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියල හොයා බැලුවොත් ඔබට කාරණේ වැටහේවි. අන්තර්ජාලය හරහා මේ හැමදෙයක්ම ලැබෙන නිසා ඔබ හිතනව සියලු දේ නොමිලයේ ලැබෙන බව. ඒත් ඒක එහෙම නෑ. වෙළඳ ප්‍රචාරයකයන් තමන්ගේ දැන්වීම් මේ සමාජ මාධ්‍යවල පළකරගැනීම වෙනුවෙන් ඒ සමාගම් වලට මුදල් ගෙවා තිබෙනව. අපේ අවධානය තමා මෙතනදි නිශ්පාදිතය වෙන්නෙ. අපේ අවධානයයි මේ සමාගම් ප්‍රචාරයක ආයතන වලට විකුණන්නෙ. මේ වෙළඳාම ඩොලර් ට්‍රිලියන ගණන් මුදල් උපයාදෙන ඉතාම ලාභදායී එකක්. කොයිතරම් ද කියනව නම් මේ සමාජ මාධ්‍ය ආයතන මිනිස් ඉතිහාසයෙ වැඩිම ලාභ ලබන ආයතන බවට පත්වෙලා තියනව. 

ඒත් හැමදෙයකටම කලින් මේ සමාජ මාධ්‍ය විසින් ඒවා පරිහරණය කරන්නන්ගේ අවධානය දිනාගත යුතුයි. ඒ වෙනුවෙන් මේ ආයතන තමන්ගේ පරිශීලකයින්ව බොහෝම සියුම්ව නිරීක්ෂණයට ලක් කරනව. ඔවුන් අන්තර්ජාලය හරහා කරන හැමදෙයක් ගැනම තොරතුරු රැස් කරනවා. ඔබ වැඩිපුර like කරන්නෙ කොයි ආකාරයේ post සඳහාද, ඔබ වැඩිපුර කාලයක් නතර වී බලා ඉන්නෙ කවරනම් පින්තූර මත ද. මේ හැම සියුම් තොරතුරක්ම ඔවුන් විශ්ලේෂණය කර බලනවා. ඉතින් ඔබ ගැන හැම දෙයක්ම මේ සමාජ මාධ්‍ය මෙහෙයවන්නන් හොඳහැටි දන්නවා. ඔබට තනිකම දැනෙන විට, ඔබ මනසින් පීඩා විඳින විට, ඔබ පැරණි පෙම්වතියගෙ ගිණුම පරික්ෂා කරන විට ඒ හැම දෙයක්ම ඔවුන් දන්නවා. 

ඉතින් මේ තොරතුරු වලින් ඔවුන් කරන්නේ මොකක්ද ? අපේ ක්‍රියාකාරකම් අනුමාන කල හැකි ආකෘතියක් ඔවුන් ගොඩනගනවා.

තමන්ගේ මනස ක්‍රියාකරන්නෙ කොහොමද කියන්න වැඩි දෙනෙකුට අවබෝධයක් නැහැ.  තමන්ට නොදැනි තමන්ව කොයිතරම් භාවිතා වෙනවද කියන්න බොහෝ අය දන්නෙ නෑ. මේක ඉතා සියුම් මනෝවිද්‍යාත්මක කාරණාවක් (Persuasive technology ). මේ යෙදුමෙන් අදහස් වෙන්නෙ වචනයෙන, ක්‍රියාවෙන්, නිතර දකින්න ලැබෙන දේවල් වලින් කෙනෙකුගේ චර්‍යාවන්‍ට බලපෑමක් කරන්න පුලුවන් කියන කාරණය. සමාජ මාද්‍ය ඇතුලෙ මේ "පෙළඹවීමේ තාක්ෂණය" හොඳින්ම භාවිතා වෙනව. ඔබට නොදැනී ඔබේම යටි සිතට යම් අදහසක් ඇතුලත් කරල ඒ අනුව ඔබව මෙහෙයවනව. මේක කිසිසේත්ම අහම්බයක් නොවෙයි. මේක ඉතාම සැලසුම් සහගතව වෙන දෙයක්. 

උදාහරණ විදිහට පින්තූර Tag කිරීම, reaction වගේ දේවල්. මේව facebook ඉතාම ආකර්ෂණීය තැනක් බවට පත්කරනව. Facebook, Google වගේ සමාගම් මේ වගේ පොඩි පොඩි පරීක්ෂණ නිතර සිදුකරනව. අඩු පරිශ්‍රමයකින් වැඩි පිරිසක් ආකර්ශණය කරගැනීම වෙනුවෙන්. ඒත් ඒ කිසි දෙයක් ඔබ දන්නෙ නෑ. ඔබ පරීක්ෂණාගාරයක් ඉන්න මීයෙක් වගේ එතනදි. පරික්ෂණාගාර මීයන්ගෙන් ලැබෙන ප්‍රතිඵල යොදාගන්නෙ මිනිස් වර්ගයාගෙ යහපත වෙනුවෙන්. ඒත් මේ පරීක්ෂණ වල ප්‍රතිඵල යොදාගන්නෙ ඔබව Facebook වල තවත් අලවා තබන්නටත් ඒ හරහා සමාගම් වල ලාභය ඉහළ දමාගැනීමටත් පමණයි.

මෘදුකාංග භාවිතාව ආරම්භ වුණේ යම් tool එකක් විදිහට. Tool එකක් භාවිතා කරල ඔබට පුලුවන් යම් දෙයක් කරන්න. ඒත් facebook එහෙම tool එකක් නොවෙයි. එයට තියනවා දිනාගන්න ඊටම අනන්‍ය අරමුණු. ඔබේ මනසේ ක්‍රියාකාරිත්වය ප්‍රයෝජනයට අරගෙන එය ඔබව තමන්ගෙ අරමුණු වෙනුවෙන්  මෙහෙයවනවා. ඔබ facebook භාවිතා කරනවාට වඩා facebook ඔබව භාවිතා කරනවා.

Facebook වල newsfeed එකේ ඔබට නිතර දකින්න ලැබෙන්න මොනවද කියන දේ තීරණය කරන්නෙ facebook සමාගම විසින්. ඒ ඔබේ ආශාවන්, ඔබ කැමති අකමැති දේ, ඔබ කැමති පුද්ගලයින් ගැන සියුම්ව අද්‍යයනය කිරීමෙන්. ඔවුන් කියනව සියලු දේ තිබෙන්නෙ ඔබේ අතේ බව. තෝරාගැනීමේ නිදහස ඔබ සතු බව. ඒක ඇත්තටම විහිලුවක්. ඔවුන් තමයි ඔබට තෝරා දෙන්නෙ ඔබ නැරඹුය යුතු කුමක්ද කියල. ඔබ දකින්නෙ ඔවුන් ඔබට තෝරා දෙන දේ මිස වෙන යමක් නොවෙයි.

Twitter වල, අසත්‍ය තොරතුරු සැබෑ තොරතුරු වලට වඩා හය ගුණයක් වැඩිපුර වේගයකින් සංසරණය වෙන බව හොයාගෙන තියනව. මේ ක්‍රමවේදය රඳාපවතින්නෙ අසත්‍ය තොරතුරු මත. ඒ අසත්‍ය තොරතුරු උඩ තමා ව්‍යාපාරික වශයෙන් වැඩිපුර ලාභ උපයන්න පුලුවන්. ඇත්ත තොරතුරු ඒ තරම් උනන්දුවක් ඇති කරවන්නෙ නෑ. ඒක ඒතරම් ආකර්ෂණීය නෑ. උදාහරණ විදිහට කොරෝනා වෛරසය ගැන අසත්‍ය තොරතුරු වෛරසයට වඩා වේගයෙන් ප්‍රචාරය වුණා. කොරෝනා කියල දෙයක් නෑ කියල සමහරු කියා තිබුණා. මේක චීන රජයේ සැලසුමක් කියල සමහරු කිව්ව. මේව සෑහෙන්න ප්‍රචාරය වුණා. මිනිස්සු දන්නෙ නෑ ඇත්තටම වෙන්නෙ මොකක්ද කියල. 

මේ හැමදෙයක්ම වෙන්නෙ එක්තරා ගණිතමය ක්‍රමයකට (Algorithm ) අපේ ආශාවන් දල්වන්න සමත් කොහොමද කියන්න, ඒ අනුව අපේ සිතුවිලි මෙහෙයවන්න මේ ගණිතමය ක්‍රමවේදයට සුවිශේෂ හැකියාවක් තියනව. 

අවධානය දිනාගැනීමේ තරඟය කවදාවත් නතරවෙන දෙයක් නොවෙයි. මේ තාක්ෂණය අපේ ජීවිත ඇතුලට එබී බැලීම තවත් වැඩිවෙනවා මිස අඩුවීමක් නැහැ. කෘතිම බුද්ධිය විසින් මෙහෙයවන මේ ක්‍රමවේදයන් නිතර උත්සාහ කරමින් ඉන්නවා තවත් වැඩිපුර දුරකථන තිරයට අපිව ඇදබැඳ තබාගන්න.

මේ කරුණු කාරණා විමසද්දි ඔබට හිතෙනව ඇති නූතන තාක්ෂණය කොයිතරම් නපුරු රාක්ෂයෙක්ද කියල. ඇත්තටම කිව්වොත් එතන රාක්ෂයෙක් සහ දේවදූතයෙක් එකවර පවතින තැනක්. මට දුරකතනයෙ එක බොත්තමක් එබීමෙන් මට අවශ්‍ය වාහනයක් මගෙ ලඟට ගෙන්වාගෙන  මට උවමනා තැනකට ඉක්මනින්ම යන්න පුලුවන්. ඒක පුදුමාකාර දෙයක්. ඒක අපේ වැඩකටයුතු තව පහසු කරල තියනව. ඒක ඇත්තටම හොඳ දෙයක්. like බොත්තම නිර්මාණය කරද්දි සලකා බැලුවෙ එකිනෙකා ගැන ආදරය, කැමැත්ත ප්‍රකාශ කරන්න ඉඩක් හදල දීම ගැන. ඒත් අවශ්‍ය තරම් ලයික් නොලැබී බොහෝ අය මානසික පීඩාවිඳීවි කියල කිසිකෙනෙකුට වැටහුණේ නෑ. ඒක රාක්ෂයෙක් නොවෙයි ඒක ව්‍යාපාරික මාදිලියක්. එපමණයි. අපි මේ ව්‍යාපාරික මාදිලියේ හිරකරුවන් බවට පත්වෙලා. දුරකථන සමාගම් ලඟ තියනව ටොන් ගණනින් තොරතුරු ඔබ ගැන. ඔවුන් ඒව වැරදියට භාවිතා නොකරයි කියල නීතිය මගින් තහවුරු කරනව. නමුත් බොහෝ විට මේ නීති පවතින්නෙ පරිශීලකයන් ගේ පහසුව වෙනුවෙන් නොවෙයි. ඒ ආයතන වල පැවැත්ම සඳහා පමණයි. නීතිය මගින් හැමදාම ආරක්ෂා වෙන්නෙ මේ සුපිරි ගණයේ ධනවත් පිරිසක් පමණද..

අපි ජීවත්වෙන්නෙ ගහක් කපා දැම්මම ඒක තිබුණට වඩා ආර්ථික ලාභයක් ලැබිය හැකි ක්‍රමයක. තල්මසෙක් ජීවත්ව ඉන්නවට වඩා ඌ මරාදැමීම ආර්ථික වාසි සලසන ක්‍රමයක. ඉතින් මිනිස්සු ගස් කපා දමනව, තල්මසුන් මරනව. තෙල් ලබාගන්න පොළව කණිනව එයින් පෘථිවිය විනාශ වෙන බව දැන දැනම වුණත්. අනාගත පරපුර වෙනුවෙන් අපි ඉතිරි කරල තියෙන්නෙ වඩා ලෝකයක් නොවෙන බව අපි දන්නව. දැන් අපි තමයි ගස්, අපි තමයි තල්මසුන්, අපේ අවධානයයි විකුණන්න පුලුවන්. මේ විදිහට සමාගම් වලට අපි වඩාත් ලාභදායක විදිහට හසුරුවන්න පුලුවන් වෙන දෙයක් නොකර නිතර දුරකතන තිරය දිහා බලන් ඉන්නකොට. කෘතිම බුද්ධියෙන් මෙහෙයවන වැඩසටහන් මේ සමාගම් නිපදවල තියනව. ඒ අපේ අවධානය වැඩිපුර දිනාගන්න පුලුවන් කොහොමද කියල තීරණය කරන්න. 

සමාජ මාධ්‍ය වල ඉහළ තැන් වල ඉන්න බොහෝ අය ඉතාම සීමාසහිතව මේ දේවල් පරිහරණය කරන බව ඔබ දන්නවා ද. සමහරු තමන්ගෙ දරුවන්ටවත් සමාජ මධ්‍ය භාවිතා කරන්න ඉඩ ලබා දෙන්නෙ නෑ. ඉතින් ඔබ ඉන්නෙ කොතනද?
.

(Social Dilemma (2020) වාර්තා චිත්‍රපටය ඇසුරෙන්.)

 Social Dilemma නිර්මාණය කරන්න දායක වෙන්නෙ Facebook, Pinterest, Instagram වගේ ආයතන වල ඉහළම තනතුරු දැරුවත් පසුකාලීනව තමන්ගෙ ආයතන ගැන කළකිරිල සේවයෙන් ඉවත්වුණ කීපදෙනෙක් විසින්. සමාජ මාධ්‍ය ගැන ඇත්ත ලෝකයට එළිදරව් කිරීමයි ඔවුන්ගෙ උත්සහය. Social Dilemma මේ යුගයෙ හැමකෙනෙක්ම අනිවාර්යයෙන් නැරඹිය යුතු චිත්‍රපටයක් බව නම් කරන්න පුලුවන්. හැමකෙනෙක්ම මේක බලන්න!