Monday, July 20, 2020

පළිගැනීමේ සාහිත්‍ය හෙවත් Nocturnal Animals

අඳුර වැටුණාට පස්සේ නිව්යෝර්ක් නගරෙ කොයි වගේද කියන්න අමුතුවෙන් විස්තර කරන්න ඕන නැහැ. ලෝකෙ තියන ජනාකීර්ණම සහ වඩාත් සංකීර්ණතම නගර අතරින් එකක් නිව්යෝර්ක්. බැලූ බැලූ පැත්තෙන් ඇස් නිලංකාර වෙන නියොන් එළි, පොළවෙන් මතුවෙච්ච යෝධයින් වගේ තැන තැන හිටගෙන ඉන්න ගොඩනැගිලි, තරඟෙට දුවන වාහන, අසීමිතව ගලා යන මිනිස් ගඟ. දස දහස් ගණනාවක මේ මහ මිනිස් ගංගාව ඇතුළෙ සූසන් කියන්නෙ තවත් එක අංශුවක් තරම් කෙනෙක් පමණයි. උසස් පාසල් ශිෂ්‍යාවක් විදිහට ඈ උන්නේ ජීවිතේ නැවුම් තරුණ වයසේ. අත්තටු නැතත් ජීවිතේ පාවි පාවී යන නිදහස් යෞවනයේ. දැනට නිව්යෝර්ක් වල වාසය කළත් ඈ ඉපදී හැදී වැඩී තිබුණෙ ටෙක්සාස් වල. හරියට එඩ්වර්ඩ් වගේ. ඔවුන් දෙදෙනාම එකට හැදී වැඩුණු සමවයසේ අය. ඉතින් මෙහෙම මහ ජනගංගාවක් මැද්දෙ සූසන් සහ එඩ්වර්ඩ් එකිනෙකා මුණගැහීම අපි පැහැදිලි කරගන්නෙ කොහොමද? ජීවිතේ ඇතුලෙ සිද්ද වෙන මේ වගේ අහම්බයන් "දෛවයෝගය" නමින් මිස වෙනත් නමකින් හඳුන්වන්න නම් පුලුවන්කමක් නැහැ. කාලෙක ඉඳන් එකිනෙකා ගැන යම් ආකර්ශණයක් ඇතිකරගනිමින් උන්න දෙදෙනෙක් මේ වගේ රෑක පාරක හමුවීම දෛවයෝගයම මිස වෙන මොකක්ද...

මහ නගරයක මැද වුණු මේ අහඹු මුණගැසීම සූසන් ගේ ජීවිතයට කරන බලපෑම විශාලයි. විශේෂයෙන්ම එඩ්වර්ඩ් එක්ක කරන කතාබහ ඇයට ඉඩක් ලබාදෙනව වටහගන්න ඔවුන් දෙදෙනාම එකිනෙකාට නොකියා වුණත් එකිනෙකාට කොයිතරම් කැමත්තකින් හිටියාද කියන වග. ඔහු බොහෝම සංවේදී හදවතක් තියන කාරුණික මනුශ්‍යයෙක් බව ඈ දැනෙගෙන හිටි කාරණාවක්. දැන් ඔහු හීන දකිමින් ඉන්නව ලේඛකයෙක් වෙන්න. සූසන් කලාවට ඉතාම කැමතියි. එඩ්වර්ඩ් කරමින් ඉන්නා දෙයටත් ඇය කැමතියි. එඩ්වර්ඩ් සහ සූසන් අතරෙ ආදරයක් ලියලන්නෙ ඒක හරියටම වෙන්න නියමිතව තිබුණු දෙයක් වගේ. ඒත් සූසන්ගෙ අම්මා නම් එඩ්වර්ඩ් ට පොඩ්ඩක්වත් කැමති නැහැ. අම්මාව හඳුන්වන්න සූසන් ලස්සන වචන ටිකක් පාවිච්චි කරනව. ඒ හැමදෙයකම අවසාන අදහස තමා අම්මා හරිම ගතානුගතික අදහස් තියන ගැහැණියක් බව.

"ඔය රස්තියාදුකාරයව බැඳගෙන උඹට වෙන්න හැමදාම දුක් විඳින්න. ඌට බැහැ ගෑණියෙක්ව නඩත්තු කරන්න. අනිත් එක ඌ මහ පණ නැති එකෙක්. උංගෙ තාත්ත මැරුණු වෙලාවෙ ඌ අඬපු හැටි දන්නෙ මම නෙ. ඔය රොමෑන්ටික් මිනිස්සු ඔහොමමයි. ලස්සන වචන කතා කතා කලාට උංගෙ හිත දුර්වලයි. විකාර කරන්නෙ නැතුව අපේ පවුලට ගැලපෙන හොඳ වැදගත් මිනිහෙක්ව හොයාගනිං" 

සූසන් ගෙ අම්ම එඩ්වර්ඩ් ගැන දරන අදහස සරලවම ඔහොමයි. ඉතින් සූසන් සහ එඩ්වර්ඩ් විවාහ වෙනව පවුලේ වැදගත්කම අම්මටම තියාගන්න කියල.

විවාහයෙන් පස්සෙ හැම කෙනෙකුම අපේක්ෂා කරන දෙයක් තමා එයා හැමදාටම එහෙමම ආදරණීයව ඉඳීවි කියල. ඒත් අතිශ්‍ය බහුතරය විවාහක යුවලවල කතන්දරය අරගත්තොත් වෙන්නෙ ඒකෙ අනික් පැත්ත. කාලය එක්ක ලබන අත්දැකීම් වල මිහිරියාව අඩු වෙද්දි අර මුලින් තිබුණු ආදරණීයබව පෑල දොරෙන් පලායන්නෙ පැදුරටත් නොකියාමයි. විවාහ ජීවිතේ ගැන ඇත්තම කතාව ඒක. බොහෝමයක් විවාහ බිඳ වැටෙන්නෙ ඔතනින්. ඉතින් ඒ කාරණේ එඩ්වර්ඩ් සහ සූසන්ටත් පොදුයි. ලේඛකයෙක් වෙන්න හීන දැක්කත් ඔහු ලබන්නෙ අසාර්ථකත්වය. ඇයට දරුවෙක් ලැබෙන්න ගියත් ඇය දරුවව ගබ්සා කරගන්නව. එඩ්වර්ඩ් සහ සූසන් මේ වගේ අමිහිරි අත්දැකීම් ගණනාවක් පසු කරනව. දෙදෙනා අතර බැඳීම බිඳීයාමේ මුල් පියවර තබන්නෙ ඇය. ඇය තමන්ට මුණගැහෙන ආකර්ශණීය මිනිසෙක් සමග බැඳෙනව. කිසි අනුකම්පාවකින් තොරව ඇය ඔහුව අතහරිනව. 

මේ කතාවෙ එක පරිච්ඡේදයක් අවසාන වෙන්නෙ එහෙම. කතාව අවසන් කරල සූසන් පොතත් වහල රාක්කයෙනුත් තබල පිටවී ගියත්, "එඩ්වර්ඩ් සහ සූසන් ගෙ ආදර කතාව" කියන පොත ආයෙත් ඇගෙ අතට එන්නෙ නොහිතූ විදිහට. හැබැයි ඒ අවුරුදු විස්සකට පස්සෙ. ජීවිතේ වෙනස්ම ඍතුවක් ඇතුලෙ. (චිත්‍රපටය පටන්ගන්නෙ එතනින්) 

මේ ගෙවෙන්නෙ කලාවට ආදරය කළ සූසන් "කලාගාරයක් හිමි ධනවත් ව්‍යාපාරික" කාන්තාවක් විදිහට රූපාන්තරණය වුණු අවධියක්. දැන් ඇය විවාහ වෙලා ඉන්නෙ ඉතාම කඩවසම්, ගානට නූලට පිළිවෙළට අඳින පළඳින, ව්‍යාපාරික ගමන් යන බව කියමින් වෙනත් ගැහැනුන් එක්ක හෝටල් ගානෙ යන ව්‍යාපාරික මිනිසෙක් සමග. නිව්යෝර්ක් නගරෙ දූවිලි අංශුවක් වගේ සැහැල්ලුවෙන් පාවි පාවි උන්නු සූසන් වෙනුවට දැන් ඉන්නෙ ඉස්තරම් ඇඳුමෙන් පැළඳුමෙන් සැරසුණත් මූණේ හිනාවක් නැති, සැප පහසුකම් අඩුවක් නැති, සියල් සපිරි නවීන පන්නෙ ගෙදරක ඉන්න සතුටක් නැති සූසන් කෙනෙක්. නිව්යෝර්ක් නගරෙදි නම් ඇගෙ ජීවිතේ පෙරළියක් කල ඔහු මුණ ගැහෙන්නෙ දෙනෝදාහක් සෙනග මැද්දෙ. දැන් ඔහු ඇයට දෙවනි වතාවට මුණගැහෙන්නෙ වෙනස්ම විදිහකට. තැපැල් මාර්ගිකව ආපු පාර්සලයකින්. හැබැයි දැන් ඒක අහඹුවක් වෙන්නෙ නැත්තෙ ඒක ඈ වෙනුවෙන්ම ඔහු හිතාමතාම සමහරවිට අවුරුදු විස්සක්ම සැලසුම් කල දෙයක් නිසා. නමුත් ඔවුන් දෙවනි වර මුණගැහෙන්නෙ භෞතිකව නොවෙයි. ප්‍රබන්ධයක් විදිහට.

එඩ්වර්ඩ් සූසන්ට එවනව නවකතාවක්. "Nocturnal Animals" (නිශාචර සත්තු) කතාවෙ නම. ඒ ඔහු ඇයට විහිලුවට වගේ කියන්න පුරුදු වෙලා හිටි නමක්. Nocturnal Animal. පුරුද්දක් විදිහට සූසන් හිතේ මොකක් ප්‍රශ්නයක ඉන්නකොට, දුකක් කරදරයකින් පීඩා විඳිනකොට මුලු රෑම නොනිදා ඉන්නව. ඒ හින්දයි එඩ්වර්ඩ් සූසන්ට ඒ නම පටබඳින්නෙ. මෑතක ඉඳන් තමන්ගෙ ජීවිතේ ගතවෙමින් තියෙන්නෙ නොනිදාම නේද කියල සූසන් කල්පනා කරනව. ඇය නවකතාව කියවනව. ඉන්පසෙ නවකතාවෙ චරිත වල ස්වරූපයන් අපි දකින්නෙ සූසන්ගේ ඇසින්.

නවකතාව ගොඩ නැගෙන්නෙ ටෝනි නම් මිනිසෙක් වටා. ටෝනි විදිහට සූසන් හිතේ මවාගන්නෙ එඩ්වර්ඩ් ගේ රුව. ටෝනිට බිරිඳක් හා තරුණ දියණියක් ඉන්නව. ටෝනි ගේ බිරිඳ ලෝරා තමන්ගෙ රූපයට සමානවත් ඒ දෙදෙනාගෙ දියණිය ඉන්දියා එඩ්වර්ඩ්ට සහ තමන්ට ලැබෙන්න හිටි නමුත් අහිමි කරගත් තමන්ගෙ දරුවා විදිහටත් සූසන් හිතෙන් මවනව. කතාව ගලා යන්නෙ ටෙක්සාස් වල රාත්‍රියක මහ පාරක මේ තුන්දෙනාට (ටෝනි, ලෝරා සහ ඉන්දියා) මුහුණ දෙන්න සිදුවෙන බිහිසුණු අත්දැකීමක් මුල් කරගෙන.

එඩ්වර්ඩ් ගේ Nocturnal Animals නවකතාව ඔහුගේම දුක්බර ජීවිත අත්දැකීම මුල් කරගෙන ලියවුණ එකක් බව ඉඟි කිහිපයක් කතාව ඇතුලෙන්ම හොයාගන්න පුලුවන්. ලේඛකයෙක් විදිහට මුල් කාලීනව ලැබිච්ච අසාර්ථකත්වය යටපත් කරගෙන නැගීහිටින්න සූසන්ගෙන් ලැබිච්ච වේදනාව ඔහුට තහනම් නොවන උත්තේජකයක් වෙන්න ඇති. සමාන්‍යයෙන් විශිෂ්ටම ගණයේ ලේඛකයන්ගේ ජීවිත දිහා බැලුවම ඒ අය ජීවිතේ කෙළවරක් නැතුව දුක් ගැහැට විඳපු අය බව හොයා ගන්න පුලුවන්. ලියන්න නම් කෙනෙකුට ඕන ලියන්න යමක්. වේදනාත්මක අත්දැකීම් ගණනාවක්ම ජීවිතේ විඳපු කෙනෙකුට ලියන්න අමුද්‍රව්‍ය ඒ වේදනාත්මක ජීවන අත්දැකීම තුළම තියනව. 

I guess it's a way of keeping things alive. You know, saving things that will eventually die. If I write it down, then... it'll last forever.

චිත්‍රපටය ඇතුලෙ එඩ්වර්ඩ් කියන මේ කියමන ඒ කරුණ සනාථ කරවනව.

ඉතිං Nocturnal Animals කියන්නෙ හුදු එඩ්වර්ඩ් ගේ වේදනාවේ ප්‍රකාශනයක් පමණයි ද. එහෙනම් ඇයි ඒක සූසන් ට එවන්න හිතන්නෙ ඔහු? මොනව වුණත් ඒ කතාව සූසන් ඇතුලෙ සෑහෙන කම්පනයක් ඇති කරන්න සමත් වුණු බව ඇත්ත. කර්මානුරූපව තමන් ඔහුට කළ කී දේ වල ප්‍රතිවිපාක තමන් දැන් භුක්තිවිදීමින් ඉන්නා බව ඇය කල්පනා කරමින් ඉන්න ඇති. ඒ හැම දේටම තිත තියල එඩ්වර්ඩ් ගේ දෙවනි ආගමනය අවස්ථාවක් කරගෙන සූසන් තමන් ගතකරමින් හිටි සියල් සපිරි වුණත් හදවතින් හිස් ජීවිතෙන් ගැලවී පලා යන්න සැලසුම් කලා වෙන්න පුලුවන්. ඇය අවුරුදු විස්සකට පස්සෙ ඔහුට නැවත ඊ මේල් පණිවිඩයක් යවන්නෙ ඒ හින්ද වෙන්න පුලුවන්. ඔහුගේ පැත්තෙන් ගත්තොත් ඔහු නවකතාව ලියන්නෙ තමන් ජීවිතේ දුක් වින්ද ආකාරය සාහිත්‍යමය ලියවිල්ලක හංගල සූසන්ට කියවන්න සැලැස්වීමෙන් ඇයට තමන් කල දේ ගැන පසුතැවීමක් ඇති කරවන අදහසින් වෙන්න පුලුවන්. මුලු සැලැස්මේම පිටුපස්සෙන් තියෙන්නෙ පළිගැනීමේ චේතනාව වෙන්න පුලුවන්. කාරුණික මනුස්සයෙක් විදිහට මුලින් අපි හඳුනාගන්න එඩ්වර්ඩ් එහෙම පළිගැනීමකට යන්න පුලුවන්ද? වේදනාව මිනිස්සු වෙනස් කරන බව අපි දන්නව. ඇය දුන්නු වේදනාව ඔහු ඇතුළෙ කල වෙනස්කම ද ඒ ? සියුම්ව සාහිත්‍යමය වශයෙන් පලිගන්නෙක් විදිහට !

ජීවිතේ කියන්නෙ ඉතා සංකීර්ණ දාමයක්. මිනිස්සු ආදරේ කරනව. ආදරේ ජීවිතේ ම කොටසක් කරගන්නව. කාලය එක්ක ඒ ආදරයෙ ආදරණීය බව මැකිල ගියාම ජීවිතේ ඒ තැන ඇතිවෙන හිස් කමෙන් පීඩා විඳිනව. ඒ හිස් කම මකාගන්න තාවකාලික සතුට පස්සෙ දුවනව. ඒත් ඇත්තම කතාව කිව්වොත් වඩාත්ම ආදරණීයව හිතට දැනිච්ච ආදරයක් තමයි සදානුස්මරණීයව හදවතේ රැඳෙන්නෙ, කාලය එක්ක මොන දේවල් වෙනස් වුණත්. ඉතින් චිත්‍රපටය අවසානෙ හිස් තැනක් තබල තියනව අපිට හිතන්න. එඩ්වර්ඩ්වත් සූසන්වත් වෙන කිසි කෙනෙක්වත් මුලු කතාවම අපිට කියන්නෙ නෑ. මේ විදිහෙ විවෘත අවසානයන් නොයෙක් පැති වලට හිතන්න සිතුවිලි අවුලවනව. ඇත්තටම ඒ දෙන්නට මොකක් වෙයි ද ? 

Nocturnal Animals (2016) චිත්‍රපටය නිර්මාණය කර තියෙන්නෙ කතාවක් කියවන ගැහැණියකගේ මනසෙ ඇතිවෙන සිතුවිලි ආශ්‍රයෙන් ලියවුණ Tony and Susan නවකතාව පදනම් කරගෙන. පිටපත ලියමින් අද්‍යක්ෂණය කරන්නෙ බොහෝම කතාබහට ලක්වුණ Single Man චිත්‍රපටය අද්‍යක්ෂණය කරමින් හොලිවුඩයට පිවිසුන Tom Ford. මේ Tom ගේ දෙවනි චිත්‍රපටය. මේ චිත්‍රපටය එක්ක Tom සිනමාවේ බොහෝ දුර යා හැකි අද්‍යක්ෂවරයෙකු ගෙ ආගමනය සනිටුහන් කරනව. Nocturnal Animals ප්‍රේක්ෂක විචාරක දෙපාර්ෂ්වයෙන්ම යහපත් ප්‍රතිචාර දිනාගන්න සමත් වෙනව. විශේෂයෙන් චිත්‍රපටයෙ සමහර දේවල් නොකියා හිතන්න ඉඩ විවරකර තියන නිසා ඒ ගැන fan theories ගණනාවක් නිර්මාණය වෙලා තියනව. ඒ වගේම රඟපෑම් ගැන කතා නොකරම බැහැ. Psychological Thriller ගණයේ චිත්‍රපට වල රඟපෑම වෙනුවෙන්ම නම් දරාපු Jake Gyllenhaal ගේ විශිෂ්ට රංගනය මේ චිත්‍රපටයෙ දැක ගන්න පුලුවන්. Jake සම්මාන උළෙල වල වැඩිපුර නොකියවෙන, ඇගයීමට ලක්නොවෙන අති දක්ෂයෙක්. Jake ගේ හොඳම රඟපෑමක් මේ චිත්‍රපටයෙ දැකගන්න පුලුවන්. සූසන් විදිහට Amy Adams සහ රහස් පරීක්ෂකයෙකු විදිහට Michael Shanon සෑහෙන හොඳ මට්ටමේ රංගනයක යෙදෙනව (89 ඔස්කාර් සම්මාන උළලේ හොඳම සහාය රංගනයක් විදිහට Shanon ගේ රඟපෑම නිර්දේශය ලබනව) 

"කෙනෙකුට ආදරය කරද්දි, ඔබ ඔහුව හෝ ඇයව නිකම්ම අතහැර දමන්නෙ නෑ"

මේක තමා චිත්‍රපටයෙ tag line එක. චිත්‍රපටයෙ කතාවත් එක්ක ඒක එක අතකින් මහ භයානක අදහසක්. අනෙක් අතින් කෙනෙකුට ආදරය කරනව කියන්නෙ තමන්ගෙ ජීවිතේ අවදානමේ හෙලීමක්. මොකද තමන්ගෙ ජීවිතේ ඇතුලෙ ඔවුන් නමට කොටසක් වෙන් කර දෙන නිසා. මම හිතනව චිත්‍රපටයෙ හොඳම කොටස තියෙන්නෙ චිත්‍රපටයෙ අපිට නොකියන කතාව ඇතුලෙ කියල.



Friday, July 17, 2020

Incendies (2010)

අංක 72 හිරකාරි
"සින්දු කියන ගෑනි"
උපන් මොහොතෙම
දරුවාගෙන් වෙන් කල
පවුලෙන් පිටමං කල අසරණී
"නවාල් මර්වාන්"

මොකක්ද උඹ කල වැරැද්ද 
සමාජ සම්මතය
සංස්කෘතිය
සභ්‍යත්වය 
අරව මේව කිසිදෙයක් නොසලකා
හදවතේ නීතියට අනුව ආදරය කිරීමද?
උන් කියනවා
උඹ නැති කලාලු පවුලෙ නම්බුව
විනාස කර දැම්මලු හැම දේම
උන් මරා දැම්ම උඹෙ පෙම්වතාව
වෙන් කලා
උපන් මොහොතෙම දරුවාව..

යුද්ධයේ ගින්දර ඇවිලුනා
හදවතේ ගින්දර මදිවට
ජාති ආගම්වලට
දෙපැත්තට බෙදිලා
උනුන් මරාගත්තා
ගෙවල් දොරවල් ගිනිතිබ්බා
මිනිස්සු 
අමු අමුවෙ මැරුම්කෑව
එකම හේතුව උන්
විශ්වාස කල ආගම වෙනස් එකක් වීම
මොනදේ වුණත් නවාල්
උඹ ඇහුවෙ එක ප්‍රශ්නයයි
"කෝ මගේ දරුවා?"
උත්තර තිබුණෙ නෑ කාටවත්
ඒ ප්‍රශ්නෙට
බැරිම තැන උඹ අතට ගත්තා තුවක්කුව
මුදා හැරියා උණ්ඩ උන්ගේ 
හිස්කබල් පුපුරා යන්න
ඉතින් උන් උඹව දැම්මා හිරේ..

අවුරුදුම පහළොවක්!
උන් උඹට දුන්නා දස වද 
යෙදෙව්වා කුලියට
ස්ත්‍රී දූෂකයෙක්
උඹව නැතිකරන්න
ඒත් නවාල්
උඹ නොවැටී හිටියා
ගලක් වගේ හයියට
නොහඬා හිටියා
සින්දු කියමින්
දුක දරාගත්තා
අවුරුදුම පහළවක්.!

උන් උඹව පිටුවහල් කරා
දරු දෙන්නෙකුත් එක්ක
උඹ උන්ව හැදුවා වැඩුවා
ලොකු මහත් කළා..
ජීවිතේ 
අවසාන කෙළවරේ
උඹ ලියනවා අන්තිම කැමැත්ත
"වළදමාපල්ලා මාව
නිර්වස්ත්‍රව
මුහුණ යටපැත්තට
නොදකින්න තවත් මේ ලෝකය
කියන්නෙපා ඔරසන් බොරුවට
ලියන්නෙපා මගෙ නම සොහොන් කොතක

ඒත් මගෙ දරුවනේ
හොයා යා යුතුයි වහාම
නුඹලාගෙ හැබෑ පියා
නොදන්නා සොහොයුරා
හොයා ගන්න උන්
මේ පොළවේ කොතනක හරි
දෙන්න උන්ට
මා ලිව්ව ලියමන
සැතපෙන්න හැකි සමාදානයෙ
ඉන් පසුවයි මට"

ඉතින් නවාල්
උඹ වගෙම ගැහැනුන්
අදත් පොළවේ වැළලෙමින් ඉන්නවා
පූදින්න කලින් කැකුලු මල්
පරවෙලා පොඩිවෙලා
නටු අගින් වැටෙනවා
අද වගේ හෙටත්
වැළලේවි උඹ වගේ තවකෙනෙක්
පොළවෙ කොතන හරි තැනක..
කෑගහල කියපන් උඹෙ කතාව
ලැජ්ජා හිතෙන්න පාපතරයන්ට
කෑලි කෑලිවෙලා යනකන් උන්
කෑගහල කියපන් 
උඹෙ කතාව
මුළු ලෝකෙටම..

(Incendies චිත්‍රපටය ඇසුරෙන්)



Wednesday, July 15, 2020

ඇද වැටුණු පොඩිඑකා..

විඩාබර දවසක
හොඳින් හිරු පැයු හවසක
ගියෙමි මා විසූ ගම් දනව්වේ 
තිබූ ක්‍රීඩා පිටිය වෙත
සැඳෑ සක්මන පිණිස..

නොයෙක් මිනිසුන්ද ගැහැණුන්
වීය තැන තැන පුරුදු ලෙස
සෙල්ලමෙහි ගැලී උන්හ තරුණන්
හඬ නගා සිනහ සලමින
සරුංගලයක් අතට ගෙන
යැවීය කෙනෙක් අහසට..

වාඩි වී පිටිය කෙළවර
විසල් මැයි මාර සෙවණක
සුළං සුව විඳිනා කලට
හසුවුනි යමක් 
සැණෙන් මා නෙතට..

කුඩාවුන් පිරිසකි ඒ
එක පෙළට සිටගෙන
නොසන්සුන් දෑස් යොමවා
දුවන ලෙස මීටර් සියය..

අණ ලැබුණි විගසින්
දුවන්නට විය පොඩිඋන්
රැගෙන වීරිය දෙපයට
වේගෙන් එකිනෙකා පරයන..

පොඩි එකෙකු විය අවසන
වගක් නැත ඔහුට තරඟය ගැන
උඩ අහස හාත්පස ගහකොළ දෙස බලමින
දිවීය ඔහු ගසකින් කඩා හැලෙනා
තුරුපතක් සේ හෙමිහිට..

දුවයි වේගෙන් මිතුරුකැළ තරඟෙට
කිසි තරඟයක් නැතිසේය ඔහු හට
දිවයමින් සිටිනතර ඉබි ගමන් සිහිකොට 
පාපැටලි ඇද වැටුණි ඔහු පොළවට..

සිනාසුණි එවිට මහ හඬින්
ඔහු දෙස බලා සිටි මිනිසුන්
නැගී සිටියා යළි පොඩිඑකා
දෙතොල් සීරී ගලනා
ලේ බිංදු පිසලමින්
දිවුම යළි අරඹමින්..

දනෝදහසක් මහ සෙනඟ
මුවගින් සරදම් සිනා නැඟින
නොබලාම ඔවුන් දෙස
පොඩි එකා පෙරටම ඇදිණ
තරඟයක් නොදන්නා 
හෙමින් ගමනේ දුවනා
ඒ පොඩි එකා දැක
මගෙ කොපුල් තලයෙන්
කඳුලු බිඳුවක් හැළින.




Monday, July 13, 2020

Kappela (2020)

"ඉමාෂා දෙව්මිණි" අවුරුදු දාහතක වයසේ යෞවනය පසුකරමින් උන්නු හරි සුන්දර මලක් වගේ ඒ දැරිය දූෂණය කරල මරා දමන්නෙ ඇගෙම පෙම්වතා විසින්. ඒක මුළු රටක් හඬවාපු, පොළව නූහුලන අපරාධයක්. කොටදෙනියාව සේයා, යාපනේ විද්‍යා.. "දෙයියනේ මිනිස්සු කොහොමද එහෙම කරන්නෙ" කියල හිතා ගන්න බැරි, මතකයෙ ඇනිච්ච කටුවක් වගේ රිදුම් දෙන සිද්ධි. අද සමාජෙ පුදුම විදිහට ලිංගික අසහනයෙන් පිරිල ගිහින් බව කියන්න මේ උදාහරණ ඕනාවට වැඩියි. කොල්ලෙක් කියන්නෙ කෙල්ලෙක් පාරෙ යනකොට විහිළු කරන, විසිල් ගහල කුණුහරපයක් කියන එකෙකුටයි කියල අදහසක් සමාජෙ ඇතුලෙ මුල්බැහැල තියනව. කවුරු හරි කෙනෙක් එහෙම කලොත් ඒ "කොලුකමට" කියල සාධාරණීකරනය කරනව. නැහැ ඒක වැරදියි. ගැහැනු හෝ පිරිමි හෝ කිසි කෙනෙක් කැමතිවෙන්නෙ නෑ අපහාස උපහාස විඳින්න. ෆැන්ටසිමය ආශාවන් සන්සිඳුවන ආශාවේ වස්තුව බවට පත්වෙන්න. තව කෙනෙකුගෙ බලපෑමට අනවශ්‍ය විදිහට යටත් වෙන්න කිසි කෙනෙක් කැමති නැහැ. කවුරුවත් එහෙම විය යුතු නැහැ. නමුත් ගැහැනිය ඉස්සරහ බලේ පෙන්නල තමන්ගෙ පිරිමිකම ඔප්පු කරගන්න අර ගතානුගතික අදහස් ඔලුවෙ පුරවගත්ත සාම්ප්‍රදායික පිරිමියා උත්සහ කරනව. අනිත් කාරණය අද සන්නිවේදන මාධ්‍යන්ගෙ දියුණුව එක්ක ලිංගික ආශාවන් ඇතිකරවන දේවල් අන්තර්ජාලය හරහා ඕන තරම් හොයාගන්න පුලුවන්. හිතන්න මේවගේ ගතානුගතික සමාජයකට එහෙම දෙයක් ලැබුණාම වෙන දේ. ස්ත්‍රී දූෂකයෙක් එකවර බිහිවෙන්නෙ නෑ. ඔයවගෙ හේතු සාධක එක්ක ක්‍රමානුකූලව මනුස්සයෙක් ඒ තත්ත්වෙට පත්වෙන්නෙ

බස් වල කෝච්චි වල යන එන, රැකියා කරන ගැහැනුන්ට මේ ගැන අත්දැකීම් ඇති හොඳට. අද සමාජෙ ඉතාම අනාරක්ෂිත තැනක් බවට පත්වෙලා. එහෙම සමාජෙක මිනිස්සු කොහොමද එකිනෙකා විශ්වාස කරන්නෙ? පණ දෙන්න වගේ ලඟ හිටියත් හිතේ තියෙන්නෙ මොනවද කියල කොහොමද දන්නෙ? 

2020 අවුරුද්දෙ තිරගත වුණු Kappela මලයාලම් චිත්‍රපටයෙ ඇතුලත් වෙන්නෙ මේ එකිනෙකා රවටා ගන්න, බියකරු සමාජය ඇතුලෙ ගොදුරක් වෙන්න ගිය "ජෙසී" නම් ගැහැනු ලමයෙකුගෙ කතාව. මලයාලම් සිනමාවටම ආවේණික වුණු කේරළේ සොබාදහම මුහුවෙච්ච අතිසුන්දර පසුතල මැද්දි අපිට දකින්න ලැබෙන කතාව නම් සුන්දර එකක් නොවෙයි. "ජෙසී" ආදරය කලා, පමණටත් වඩා විශ්වාස කලා. ඒ ආදරය ඇයව ජීවිතේ විනාශයේ මුවවිට දක්වාම කැඳවාගෙන එනව. ඇයව ගොදුරට ගන්න මග බලා වුන්නෙ පිරිමියෙක් වගේම ඇයව ඒ උගුලෙන් ගලවා ගන්නෙත් පිරිමියෙක්. ජෙසී නොදැන යන මේ ගමනෙ කෙළවර මොකක්ද කියා වටහගන්න ඔහු ඇය පසුපස්සෙ ඇවිත් අනතුරෙන් ගලවා ගන්නව. පිරිමියෙක් කියන්නෙ අන්න එහෙම කෙනෙකුට. ඔහු අසහනයවත් පීඩනයවත්, මුදාහරින්නෙක් නොවෙ යි. ඔහු ආරක්ෂකයෙක්. ඒ මොහොතෙ ඔහුගෙන් සිද්දවෙන්න ඕන දෙය හරියට ඉටුකරන්නෙක්. "රෝයි" ඔහු ලබාදෙන්නෙ මිනිසත්කමේ ආදර්ශය.

මේක පොඩි ඉල්ලීමක් චිත්‍රපට බලන හැමකෙනෙකුගෙන්ම කරන්න තියන. Kappela චිත්‍රපටය බලන්න. ඒ ගැන අදහස් බෙදාහදා ගන්න. මේ මොහොතෙ අපි කතා කල යුතු මාතෘකාවක් මේක. යුනිකෝඩ් වලින් අපිට කතාකරන්න පුලුවන් පොඩි සීමාවක් ඇතුලෙ වුණත් වඩා යහපත් දෙයක් ඒ ඇතුලෙ අපි බෙදාහදා ගන්න ඕන කියල මම හිතනව. අසහනකාරින්ට විරුද්ධව අපේ අදහස් ලියන්න ඕන පුලුවන් විදිහට. හැමෝම මේ චිත්‍රපටය බලන්න.



Friday, July 10, 2020

ප්‍රතිමා රුව...

නිමැවීය 
ප්‍රතිමා නෙලන්නා 
ළඳක රුව...
දිවා රෑ වෙහෙසව 
සියුම් කටු මිටි පහරින්
රළු ගලක..
වසර ගණක රිදුම් ලැබ
විඳ දරා නොයෙක් දුක් ගැහැට
සුමට කරගත් කෝමල රේඛාවන්
මතු කරලමින් 
ඈ වත..

කාලයේ කටු පඳුරු 
දළු දමා පැන නැගුණ
ජීවිතේ පටුමගෙහි 
යම් තැනක මඟ හැරුණ 
එක් මතක බිම් කඩක
බොඳ වී නොවී ඇඳුණ 
යම් රුවක් සිහිකර..

රැගෙන විත්
වෙළඳසැලකින් 
කෙනෙකු
තැබීය ඒ පිළිරුව
තුන් මහල් ප්‍රාසාදයක
පහතම මාලයේ
තනි සුදු බිත්තියක පසුබිම් ව
ඇගෙ රහස් හැඬුම්
හෙළනා සුසුම්
උසුලන
කුටියට යාබද ව.




Wednesday, July 8, 2020

Paterson (2016)

ජිම් ජාමූෂ් ගේ Paterson චිත්‍රපටය ගැන ඒක නොබැලූ කෙනෙකුට විස්තර කිරීම සමාන කරන්න පුලුවන් හරියට හමන හුළඟක් අතින් අල්ලල නවත්වන්න උත්සහ දරන එකට. ඒක කරන්න පුලුවන් වැඩක් නෙමෙයි. කෙනෙකුට පැහැදිලි කරදෙන්න නම් ඒක ඇතුලෙ යම් නිශ්චිත මුල මැද අග ගැලපුණ කතාවක් තියෙන්න ඕන. ඒත් Paterson චිත්‍රපටයෙ එහෙම දෙයක් නෑ. ඒක ඇතුළෙ තියෙන්නෙ හැඟීම්. හැඟීම් ඒ අයුරින්ම ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙන තැන භාෂාව හරි අසමත්. මොකද ඒ හැඟීම් තියෙන්නෙ වචන වලින් විස්තර කරන්න පුලුවන් සීමාවෙන් එහා පැත්තෙ නිසා. Paterson කියන්න බලන්න ඕන චිත්‍රපටයක්ට වඩා විඳින්න ඕන සිනමා අත්දැකීමක් වෙන්නෙ ඒ හින්ද.

Paterson ඇමරිකාවේ නිව්ජර්සි වල ඒ නමින් තිබෙන තිබෙන නගරය. දෙවනියට තවත් පැටර්සන් කෙනෙක් ඒ Paterson නගරෙ බස් රියැදුරෙක් වුණ Paterson (Adam Driver). (ඇමරිකානු කවියෙක් වුණ විලියම් කාලෝස් විලියම්ස් ගේ Paterson නමින් හඳුන්වන කවි පෙළ චිත්‍රපටය ඇතුළෙ හමුවෙනව. ඒ හින්ද ඒ තුන්වෙනි Paterson විදිහට හැදින්වූවත් වරදක් නෑ)  Paterson ගේ ආදරණීය භාර්යාව Laura (Golshifteh Farahani). ඉන්නේ කොතනද කියල දැනගත්තත් මේ අය කාගේ කවුරුද කියල නම් නෑ අපි අඳුනන්නේ. චිත්‍රපටයෙන් කිසිම තොරතුරක් ලැබෙන්නෙ නෑ මේ දෙන්න එන්නෙ කොහෙන්ද හමුවුණේ කොහොමද කියන වගට. පැටර්සන් හැමදාම උදේ එකම වෙලාවට අවදි වෙනව. ඒ වෙනකොට නින්දෙ ඉන්නෙ ලෝරාට හාද්දක් දීල නැඟිට ගිහින් උදේ කෑම ගන්නව. ඇඳපැළඳ ගෙන වැඩට යනව. කම්මැලි හිතුණම කවි ලියනව. බස් රථේ නගරෙ පුරා ගෙනියල හවසට ගෙදර එනව. ඒ අතරෙ ලෝරා ගෙදර ඉඳන් කෑම හදනව. නොයෙක් සැරසිලි කරනව. පැටර්සන් හවසට ක්ලබ් එකට ගිහින් එනව. මූලිකවම අපි දකින්නෙ ඔය ටික.

පැටර්සන් සහ ලෝරා ඉතාම සතුටින් ජීවිතේ ගෙවන යුවළක්. ගැහැණියක් සහ පිරිමියෙක් ඒ තරම් සංයමයකින්, ඒ තරම් එකිනෙකා ගැන ඉවසීමෙන්, ඒ තරම් තෘප්තිමත්ව බැඳීමක් දිගුකාලීනව පවත්වාගෙන යාම අද කාලෙ හැටියට සෑහෙන දුර්ලභ දෙයක්. පැටර්සන් කවියෙක්. කවියෙක් කියන්නෙ නිතරම තමන්ගෙ පරිකල්පන ලෝකයත් එක්ක ජීවත්වෙන තැනැත්තෙක්. තමන්ට අහන්න දකින්න ලැබෙන දේවල් ගැන ඔහු නිතරම කල්පනාවේ යෙදෙනව. කවි උපදින්නෙ එහෙම. ලෝරා නිතරම පැටර්සන් ව අගය කරනව ඔහුව දිරිගන්වනව. මේ දෙන්නා ආසාවෙන් බලා ඉන්න හිතෙන ආදරණීය යුවලක්. පැටර්සන් කියන්නෙ බලල කාලයක් ගතවුණත් නැවත සිහිපත් කරද්දි හදවත ආරණීය බවින් පුරවන ආදරණීය සිනමාපටයක්.

ජාමූෂ් ගේ චිත්‍රපට හඳුන්වන්නෙ යම් නිශ්චිත පිටපතකට අනුගත නොවී වඩා නිදහස්ව ගොඩනැගෙන නිර්මාණයන් විදිහට. "ජීවිතයට පිටපතක් නැත්නම් චිත්‍රපටිවලට පිටපතක් මොකටද"...ඒ ගැන ඔහු කියන්නේ එහෙම. ඒවගේම ජාමුෂ් ගේ චිත්‍රපට සීමිත චරිත ප්‍රමාණයක් ඇතුළත් වෙන, එකම දර්ශනය මත බොහෝ වෙලාවක් ප්‍රේක්ෂකයා රඳවා තබාගන්න, මන්දගාමී වේගයකින් ගලායන නිර්මාණ විදිහටයි හදුන්වන්නෙ. චරිත ගොඩනැංවීමට වඩා චරිතවල, මනෝභාවයන්ට ඔහු අවධානය යොමු කරනව. කතාවක් කියනවා වෙනුවට යම් අත්දැකීමක් සමග නරඹන්නා ඒකාත්මික කරමින් ඔහුට එහි විඳින්නට සැලැස්වීමයි සිනමාකරණයේදී ජිම් ජාමූෂ් භාවිතා කරන ක්‍රමවේදය. මේවගේ ඉතාම පර්යේෂණකාමී, රැඩිකල් අදහස් දැරීම නිසා සිනමාවේ පෙරළිකාර චරිතයක් විදිහට ඔහුව හඳුනාගන්න හැකිවෙන්නෙ. ඒ වගේම ජාමූෂ් ඇමරිකාවේ ජනප්‍රියවාදී හොලිවුඩ් සිනමාවට ප්‍රතිවිරැද්ධව ස්වාධීන සිනමාවක් වෙනුවෙන් පෙනී ඉන්නව. ඒ වෙනුවෙන් හඬනගනව. මේ හින්ද ප්‍රධාන ධාරාවේ සිනමාවෙන් වෙන්ව ඔහුට තියෙන්නෙ කල්ට්මය පිළිගැනීමක්.

 මට දැනෙන විදිහට චිත්‍රපටයෙ බොහෝම තැන්වල දකින්න ලැබෙනව දේවල් ද්විත්ව ස්වරූපයෙන් පවතින බව පෙන්වන්න උත්සහ කරන ස්වභාවයක්. පැටර්සන්ට බස් රථයෙ දකින්න ලැබෙන අය, ඔහුත් සමග කතාබහ කරන කවියක් බෙදා ගන්න ගැහැණු ළමයා, මේ අය නිවුන්නු. ලෝරාත් තමන් නිවුන් දරුවෙක්ට උපත ලබා දෙන හැටි සිහිනෙන් දුටු බව කියනව. මේ දෙදෙනාගේ සුරතල් සුනඛයා මාර්වින් නිතරම කේන්තියෙන්, නොරිස්සුම් සහගතව ඉන්න බවක් පේන්නෙ. වතාවක් පැටර්සන් මාවින්ව අරගෙන එළියට යද්දි මාර්වින් වම් පැත්තට හැරෙනකොට පැටර්සන් හැරෙන්නෙ දකුණට. මේ දෙන්න අන්ත දෙකකට යන්න උත්සහ කරනව. මාර්වින් ගෙන් සංකේතවත් වෙන්නෙ පැටර්සන් ගේ ම යටපත්වුණු අවිඥානය ද ? ඔහු බිරිඳ එක්ක සතුටින් ජීවිතේ ගෙව්වත් ඔහුගේම ඇතුලාන්තයෙ තව කොටසක් මේ හැම බැඳීමකින්ම මිදිල නිදහස්වීම අපේක්ෂා කරන බවද මේ කියන්නෙ?  චිත්‍රපටය ඇතුලෙ පැටර්සන් ගේ පෑන්තුඩෙන් ලියවෙන කවි කීපය අතරෙ මේ කවියෙන් කියවෙන්නෙ ජීවිතයේ ඒ ද්විත්වරූපී ස්වභාවයද? (කවියේ පරිවර්තනය මගෙ ඊට යටින් තියෙන්නෙ චිත්‍රපටයෙ ඇතුළත් වෙන මුල් කවිය)

මම ඉන්නෙ ගේ ඇතුළෙ
පිටත හරි ලස්සනයි
උණුසුම් 
සීත හිම මත්තෙ ඉර එළිය වැටිල
වසන්තයේ පළමුවෙනි දවස මේ
නැත්නම් සිසිරයේ අවසාන දවස.

මගෙන් එක් අර්ධයක්
පඩිපේළි නැගගෙන
දුවගෙන ගියා දොරෙන් පිටතට
මගෙ අනෙක් අර්ධය
නැවතී මෙතැනම
ලියුවා මේ කවිය ..

I’m in the house
It’s nice out
Warm
Sun on cold snow
First day of spring
Or last day of winter

My legs run up the stairs
And out the door
My top half here writing



Monday, July 6, 2020

Where is the friends home ? (1987)

පුංචි අහමඩ් දුවගෙන ගියා. එයාට පුලුවන් උපරිම වේගයෙන්. ආපහු හැරී නොබලාම. මොහොතකට වත් නොනැවතී. එයාගෙ අතේ තිබ්බ සටහන් පොතක්. ඒකත් අතින් අරගෙන රළු ගල් පොලව මතින් එයා දිව්ව. වංගු ගැහි ගැහි පාර තවත් ඈතට ඇදුණ. ඒත් අහ්මඩ් ඒ පාර දිගේ දිව්ව. කන්ද උඩින්, ඔලිව් ගස් ගොන්න මැද්දෙන්. නගරය දක්වාම. එයා හොයා යමින් හිටිය ඒ නගරය. එයා හොයා යමින් හිටිය එයාගෙ මිත්‍රයව. ඒත් එයා ඉන්නෙ කොහෙද? මේ නගරෙ එයා ඉන්න බව අහමඩ් දැනගෙන උන්නත් හරියටම කොතනද කියන්න එයා දන්නෙ නෑ. කෙළවරක් නැති ගෙවල්, කඩ වීදි මේව අතරෙ කොතනක හරි එයා ගෙ යාලුව ඉන්නම ඕන. 

ඒත් ඇයි අහමඩ් තමන්ගෙ යාලුව  හොයාගෙන දිව්වෙ? මේතරම් හදිස්සියකින්? යාලුවයි එයයි දෙන්නම හිටියෙ ඉසකෝලෙ එකම පන්තිය‍ෙ. එකලඟ, එහාපැත්ත මෙහා පැත්ත පුටුවල. යාලුවට දෙපාරක්ම ගෙදර වැඩ කරන් එන්න බැරි වුණ නිසා පන්තියෙ ගුරුතුමා එයාට බොහොම තදින් බැණවැදිල තිබ්බ. තුන් වෙනි වතාවටත් ගෙදර වැඩ කරන් ආවෙ නැත්තන් එයාව පන්තියෙන් එළියට දාල තියනව කියල ගුරුතුමා තදින්ම යාලුවට තර්ජනය කළා. ඉතින් එදා වැරදීමකින් එයා යාලුවගෙ සටහන් පොත අරගෙන ඇවිත් කියල අහමඩ් දැක්කෙ සුපුරුදු විදිහට ඉස්කොලෙ ඉවර වෙලා ගෙදර ආවට පස්සෙ. අදත් යාලුවට ගෙදර වැඩ කරන්න වෙන්නෙ නෑ. හෙට නං ගුරුතුමා යාලුවාට හොඳටම බනීවි. එයාට කිව්ව වගේ පන්තියෙන් එලියට දමාවි. එහෙම වෙන්න දෙන්න බෑ. එයා මගෙ යාලුව. මේ දැන්ම කොහොම හරි යාලුවගෙ ගෙදර හොයාගෙන ගිහින් එයාට පොත දෙන්න ඕන. යාලුවගෙ ගෙදර තිබ්බෙ කොයි නගරෙද කියල අහ්මඩ් දැනගෙන හිටියත් ඒ නගරෙ හරියටම කොතනද කියන්න අහ්මඩ් දැනගෙන උන්නෙ නෑ. අනිත් එක එයාගෙ අම්ම එයාට ගෙදරින් එලියට බහින්න දුන්නෙත් නෑ. "ඉස්කෝල වැඩ කරල පාඩුවෙ සෙල්ලමක් කරගෙන ඉන්න" අහමඩ් ගෙ අම්ම එයාට කිව්ව එහෙම. ඒත් අහමඩ්ට නම් කොයි විදිහකටවත් පාඩුවෙ ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. ඇයි. එයා වැරදිලා එයාගෙ යාලුවගෙ පොත ගෙදර ගෙනාව නිසා අද යාලුවට ගෙදර වැඩ  කරන්න වෙන්නෙ නෑ. හෙට එයාට සිද්ද වෙනව ඒකට දඩුවම් විඳින්න. එහෙම වෙන්න දෙන්න බැ. වටපිට බලල අම්ම ලගපාතක නැති බව සැක හැර දැනගත්ත අහ්මඩ් යාලුවගෙ පොතත් අරගෙන වේගයෙන් දුවන්න පටන් ගත්ත. එයා ඉන්න තැනක් නොදැන. ඒත් කොහොම හරි හොයාගැනීමේ අරමුණෙන්.

අබ්බාස් කිරොස්තාමි ගේ Where is the friends home ? (1987) ඉරාන සිනමාව ලෝකයට හදුන්වාදෙන්න මුල්තැනක් ගත්ත පුරෝගාමී නිර්මාණයක් බව අද හඳුන්වනව. 70, දශකයේ ඉරානය තුළ සිද්ධවුණ දේශපාලන පෙරළියත් එක්ක ඉරාන සිනමාවේත් විප්ලවීය පෙරළියක් සිදුවුණා. යුරෝපයේ ඉතා දියුණු මට්ටමක තිබුණු කලාත්මක සිනමාවෙ අනුප්‍රාණයෙන් ඉරාන සිනමාකරුවන් තම රටේ දේශපාලන සංස්කෘතික වාතාවරණයන් සිනමාවට ගෙන එන්න පටන් ගත්‍ත. අබ්බාස් කිරොස්තාමි එතැනදි ඉතාම වැදගත් කාර්‍යභාරයක් කල සිනමාකරුවෙක් විදිහට හඳුනා ගැනෙනව. ඔහුගෙ Where is the friends home ? චිත්‍රපටය ලොව පුරා සිනමා විචාරකයන්, රසිකයන් අතින් පැසසුමට ලක්වුණා. ඉන්පස්සෙ ඔහු මේ චිත්‍රපටයට මුල් වෙන koker ගම් ප්‍රදේශය පසුබිම් කරගෙන තව සිනමාපට දෙකක් නිර්මාණය කරනව. Life and nothing more (1992), Through the olive trees (1994). මේ චිත්‍රපට ත්‍රිත්වය Koker trialogy නමින් හඳුන්වනව.

අහමඩ් දුවන හැටි බලන් හිටපු වැඩිහිටියෙක් සෑහෙන දොෂාරෝපණයක් කලා. දැන් කාලෙ පොඩි උන්ගෙ නැහැදිච්ච කම් ගැන. උන්ට හොදට ගහල හදන්න ඕන. එතකොටයි උන්ට විනයක් ඇතුව වැඩකරන්න පුරුදුවෙන්නෙ. සිරිත් විරිත් අපේ සංස්කෘතිය මේ දරුවන්ට කියල දෙන්න ඕන. එතකොට තමයි ඒව පවතින්නෙ. ඒකයි මේ වැඩිහිටිය ගෙ අදහස. අහමඩ් දුවන්නෙ මේ ගතානුගතික සීමාවන් කඩාබිඳ ගෙන. හදවතේ නීතිය වෙන කිසිම දේකට වඩා ඉහළ බව කියමින්. තවත් කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න හැකි නම් ඒක ඒ මොහොතෙම කළ යුතු බව කියමින්. අපි අවට සමාජය ලෝකය වඩා යහපත් තැනක් බවට පත්කරන්න අපිට හැකිවෙන්නෙ එහෙමයි. පුංචි දරුවෙක් අපිට කියා දෙන ලොකු කතන්දරේ අන්න ඒකයි.



Wednesday, July 1, 2020

චන්ද්‍රා

එදා රාත්‍රියේත් හුළඟ අඹ අතු අස්සෙන් සර සර ගාගෙන හමායමින් තිබුණ. හුළඟේ හඬත්, ඉඳහිට රෑසියෙක් දෙන්නෙකුගෙ කීරිගෑමත්, මැඬියෙකුගෙ බුක් ගෑවිල්ලත් ඇරෙන්න වෙන කිසි සද්දයක් පරිසරයෙ තිබුණෙ නෑ. ටකරන් වහලෙ හිඩැසක් අතරින් අහසෙ අඩ හඳ පායා තියෙන හැටි චන්ද්‍රාවතීට පෙනුණ. හඳෙන් එක අර්ධයක් අඳුරට වැහිල තියෙද්දි අනෙක් අර්ධය ආලෝකය දිදී දිස්නෙ දෙනව. තමන්ගෙ ජීවිතේ කොයිතරම් අර්ධයක් අන්ධකාරෙට වැහිලද කියල චන්ද්‍රාවතී කල්පනා කරා. අවට පරිසරයෙ තිබුණෙ නිහඬ බවක් වුණත් තව ටිකකින් මෙතැන පහු කරන පොඩි මැණිකෙ කෝච්චියෙ සද්දෙට ඒ නිහඬ බව සීසීකඩව බිඳීයන්න නියමිතව තිබුණ. චන්ද්‍රා උන්නෙ රේල්පාර කිට්ටුවෙ තියන ගෙවල් පේළියෙන් එකක. ලෑලි වලින් වටකරල ටකරන් හෝ පොල් අතු හෙවිල්ලපු ගෙවල් යායෙන් රේල් පාරට ආසන්නවම තිබ්බෙ ඒ ගෙදර. රේල්පාර එතැනින් වංගුවක් අරගෙන මතුවුණ නිසා එතනින් ආව හැම කෝච්චියක්ම ආවෙ මහ හඬින් හූ සද්දෙ දී ගෙන. ඒ හැම වතාවෙම චන්ද්‍රා ට හිතුනෙ කෝච්චිය හූ කියන්නෙ එයාට කියල.

එතැන ඉඳන් හැමදාම වගේ මතකේ ඇඳෙන සිදුවීම් මාලාව සිතුවම් පටයක් වගේ ඇගෙ හිතේ ආයෙමත් මැවුණ.

චන්ද්‍රාවතී උන්නෙ මීට ගම් දෙකකට විතර ඈතින්. චන්ද්‍රා ගෙ තාත්ත කලේ ගොවිතැන. අම්මා උන්නෙ ගෙදර. චන්ද්‍රාට තව වැඩිමල් සහෝදරියක් හිටිය. පොඩි කාලෙ ඉඳන්ම පොත පතේ වැඩට මේ දෙන්නම දක්ෂකමක් පෙන්නුව. ඒ නිසාම ගමට පොඩ්ඩක් ඈතින් නගරෙ ඉස්කෝලෙට යන්න ඒ දෙන්නට පුලුවන්කමක් ලැබුණ. චන්ද්‍රා ගෙ අක්ක උසස්පෙළ හොඳින්ම සමත්වෙළා විශ්වවිද්‍යාලයෙට ඇතුලත් වෙන්න පුලුවන් වුණා. අක්කගෙම අඩිපාරෙ යෑමයි චන්ද්‍රා ගෙ හීනය වුණේ. නගරෙ ටිකක් ඈත නිසා චන්ද්‍රා ඉස්කෝලෙ යන්න පුරුදු වෙලා හිටියෙ බස් එකේ. කොන්දොස්තර සෝමෙ බස් එකේ වැඩට එනකොට චන්ද්‍රා හිටියෙ උසස්පෙළ පන්තියෙ. බස් එකේ ටිකට් කඩන අතරෙ සෝමෙ ටිකක් වැඩිපුර තමන් දිහා බලන බව චන්ද්‍රා ට නොතේරුණා නෙමේ. ඉස්කෝලෙ වුණත් පිරිමි ළමයින්ගෙ ඇල්ම බැල්ම තමන්ට ලැබෙන බව චන්ද්‍රා ට වැටහිල තිබුණත් සෝමෙ ගැන චන්ද්‍රා ට ඇතිවුණ විශේෂත්වය මොකක්ද කියල එයාට හිතාගන්න බැරිවුණා. අක්බමරු වගේ ලස්සන කොණ්ඩෙ, හරි පිළිවෙළට අඳින පළඳින විදිහ, බොහෝම වැදගත් විදිහට තමන්ගෙ රස්සාව කල හැටි. මේව නිසා සෝමෙ ගැන චන්ද්‍රා ගෙ හිතේ යම් පැහැදීමක් ඇතිවෙලා තිබුණ කිව්වොත් හරි. චන්ද්‍රා බොහෝම වෙලාවට නිහඬව උන්නු චරිතයක්. තමන්ගෙ පාඩුවෙ පැත්තකට වෙලා තනියම ඉන්නයි එයා කැමති වුණේ. චන්ද්‍රාට වැඩියො යාලුවො හිටියෙ නෑ. තනියම බස් එකේ යන එන අතරෙ සෝමේ චන්ද්‍රා එක්ක කතාබහ කලා. දවසක් ඉතුරු සල්ලිත් එක්ක ලියුම් කඩදාසියක් චන්ද්‍රාගෙ අතට ලැබී තිබුණ. එතනම විසි කරදාන්නත් බැරි කම හින්ද හිමිං සැරේ අතේ ගුලි කරන් චන්ද්‍රා ඒක ගෙදර ගෙනත් කියවා බැලුව. තමන් ගැන සෝමේ ගෙ හිතේ ඇතිවෙලා තිබ්බ ආදරය ඒ ලියුම පුරා ලස්සනට ලියවිලා තිබ්බ. තව ජෝතිගෙ මිල්ටන්ගෙ සින්දු කෑලිත් තිබ්බ. දැන් මොකද කරන්නෙ කියල එයාට හිතාගන්න බැරිවුණා. සෝමේ කතා කරනකොට කතා නොකර ඉන්නත් බෑ. දවස් කීපයක් ඔහොම ගත වෙලා ගියා. බස් එකෙ සෙනඟ අඩු වෙලාවක තමන් දීපු ලියුම ගැන සෝමෙ ඇහුව. චන්ද්‍රාට ඒකට උත්තර දුන්නෙ නෑ. හවස පන්ති ඇරෙන වෙලාවක දවසක් පන්තිය ගාවට සෝමෙ ඇවිත් හිටිය. එයා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන් ද කියල ඇහුව. චන්ද්‍රා ඒකට හ්ම් කිව්ව විතරයි. නමුත් සෝමෙ එක්ක කතාබහ කරනකොට චන්ද්‍රාට සැනසීමක්, සහනයක් ආරක්ෂිත බවක් දැනෙමින් තිබ්බ බව ඇත්ත. කාලය ඔහොම ගතවුණා. දෙන්නටම එකිනෙකා නොදැක ඉන්න බැරිතරම් වුණා. අන්තිමෙ එයා එක්ක යන්න එන්න කියල සෝමෙ චන්ද්‍රා ගෙන ඉල්ලුව. ගෙදරින් කොහොමත් මේකට කැමත්තක් නොලැබෙන බව චන්ද්‍රා දැන උන්න. සෝමෙ ව හිතින් අහක් කරගන්න එයාට බැරිව උන්නෙ. එතකොට තමන්ගෙ අධ්‍යාපනේ, ජීවිතේ හීන.. ඒවට මොකද වෙන්නෙ.... තමන් කොහොම හරි එයාව බලාගන්න බවත් එයා නැතුව තව දුරටත් ජීවත් වෙන්න බැරි බවත් සෝමේ චන්ද්‍රාට තදින්ම කියා හිටිය. චන්ද්‍රාට රේල් පාර ගාව ගෙදරට එන්න වුණේ එහෙම.

සෝමේ ගෙ ලෑලි ගෙදර උන්නෙ එයාගෙ අම්මත් තාත්තත් විතරයි. අම්මා නම් මුලින්ම අකමැති ගතියක් පෙන්නුවත් පස්සෙ ඒක හරිගියා. කණගාවින්ම වගේ ඔලුවත් දෙදෙරවගෙන කෝච්චිය යන සද්දෙ නං චන්ද්‍රාට උහුලගෙන ඉන්නම අමාරු වුණා. වැස්ස වෙලාවට වහලෙ තහඩු අස්සෙන් ගේ ඇතුලෙත් පුංචි වැස්සක් වැස්ස. කොහොම හරි වත්තේ ජීවිතේට චන්ද්‍රා ටිකෙන් ටික හුරු වුණා. චන්ද්‍රාත් සෝමේත් දෙන්නා පටන් ගත්ත අලුත් ජීවිතේ මුල් අවධිය සතුටින් ගෙවුණ එකක් කිව්වොත් හරි. හැමදාම මෙහෙම ඉඳල හරියන්නෑ ටවුමෙ පොඩියට ගරාජ් එකක් පටන් ගන්න ඕන කියල සෝමෙ නිතරම කිය කියා උන්නත් ඒක කවදාවත් කෙරුණෙ නෑ. ඉක්මණින්ම දරුපැටියෙක්ගෙ මූණ බලන්න දෙන්නම ආසාවෙන් උන්න බව ඇත්ත. කාලය ගෙවුණත් ඒ කිරි කැටි හීනෙ එළි වෙන බවක් නම් පෙනුණෙ නෑ. සෝමේ කලබල වුණා. අඳුනන දොස්තර කෙනෙක් හම්බවෙන්න යමුයි කිව්ව. ඒත් චන්ද්‍රා ඒකට කැමති වුණේ නැහැ. සෝමේ ගෙන් එල්ල වෙල බලපෑම ටිකෙන් ටික වැඩි වුණා. බොහෝම තදින් අමු තිත්ත වචනෙන් සෝමෙ චන්ද්‍රාට බැණවැදුණ. ඒ ඔක්කොම එයාගෙ වැරදි බව කියමින් චෝදනා කලා. වෙන ගෑණියෙකුගෙන් දරුවෙක් හදාගන්න බව කිව්ව. ඒත් චන්ද්‍රා කන්දක් වගේ නොහෙල්ලීම හිටිය. ටිකෙන් ටික සෝමේ හවසට බීල ගෙදර එන්න පුරුදු වුණා. ඒ ඇවිත් චන්ද්‍රාට මහ හයියෙන් බැණ වැදුණ. අම්මත් දවසක් චන්ද්‍රා ගෙ මූණටම "වඳ ගෑණි" කියල කිව්ව. එයා ගෙ පුතාව විනාස කලේ චන්ද්‍රා ලු. චන්ද්‍රාට හිතුණෙ ඒ වෙලාවෙම දුවගෙන ගිහින් පහළ තිබ්බ ඇළට පැනල ජීවිතේ නැති කර ගන්න. ඒත් චන්ද්‍රා මේ හැම දෙයක්ම විඳදරා ගෙන හිටිය. 

සමහරදාක, කොහෙන්දෝ ඉඳල ආව අළු කොබෙයි යුවළක් ගෙදර වහලය යට කූඩුවක් හදන්න උත්සාහ කරමින් ඉන්න හැටි චන්ද්‍රා බලාගෙන උන්න. කෝච්චි යන සද්දෙ නිසා උන් කොහොමත් එතැන රැඳුණෙ නෑ. තමන්ගෙ දරු දෙන්නා අහිමි කරගත්ත අළු කොබෙයි අම්මා කෙනෙක් ගැන කතාව චන්ද්‍රා කොහෙන් හරි අහල තිබුණ. "මී පුප් ලදින්, දරු නොලදින්, රං කැටි පුතා කෝ.. කෝ.." එදා ඉඳන් අළු කොබෙයියන් කෑ ගගහ කියන්න ඒක ලු. මේ කුරුල්ලන් නිතර දකින එක දරුවන් නොලැබෙන්න හේතුවක් කියල මිනිස්සු කියනව. ඒ කතාවට නම් චන්ද්‍රා තනියම හිනා වුණා. "මී පුප් ලදිම්.. දරු නොලදිම්" අඩු ගාණෙ තමන්ට ලැබුණ දෙයක් හරි තියනවද කියල චන්ද්‍රා කල්පනා කල වාර නම් අනන්තයි. තාත්ත අන්තරා වුණා, අම්ම ලෙඩ ගාණෙ, සෝමෙ නූල කැඩිච්ච සරුංගලේ වගේ නන්නත්තාරෙ. ජීවිතේ හොඳම කාලයක් කෝච්චියෙ යකඩ රෝදවලට යට වෙලා ගියා වගේ වුණ බවයි ඈ නම් දැනගෙන හිටියෙ.

එදා රෑ ඔය සිදුවීම් ආයෙත් තමන්ගෙ මනසෙ ඇඳුනෙ ඇයි කියල චන්ද්‍රාට හිතාගන්න බැරිවුණා. අම්ම, තාත්ත, අක්ක.. කොයි ලෝකෙක කොහොම ඉන්නව ඇත්ද.. චන්ද්‍රා ගෙ හිත ගල් ගෙඩියක් වගේ මහා බරකින් පිරුණ. දොර පැලැල්ල ඇරගෙන චන්ද්‍රා ගෙයින් එළියට බැස්ස. හඳ එළිය වැටිල බිම පුරා හෙවණැළි රටා මැවිල තිබ්බ. සට සට ගාල පිනි කැට වහලෙ තහඩුව උඩට වැටුණ. චන්ද්‍රා ආයෙමත් අහසේ පායල තිබ්බ හඳ දිහා බැලුව. හඳට හැමදාම උරුම තනියම දුක උහුලා ගන්න එක ද.. පිනිකැට වගේ මේ වැටෙන්නෙ හඳේ කඳුළු ද.. කෝච්චිය තව ටිකකින් එන්න නියමිතයි. චන්ද්‍රා රේල්පාර දිහා බැලුවෙ නිකමට වගෙයි. රේල් පාර ගාව කව්දෝ කෙනෙක් එහා මෙහා වෙන හැටි චන්ද්‍රා දැක්කෙ හඳ එළියෙන්. තරමක් ඈත වුණත් ඒ ගැහැණු පරාණයක් බව චන්ද්‍රාට අඳුනගන්න පුලුවන් වුණා. "මේ වෙලාවෙ.. කවුද මෙතන.." ප්‍රශ්නයත් එක්ක චන්ද්‍රා රේල් පාර ගාවට කිට්ටු වුණා.

ඒ උන්නෙ කුසුම්. වත්තෙම තමා එයත් හිටියෙ. කුසුම් ඒ ළඟම තිබ්බ පොඩි ගාමන්ට් එකක වැඩ කලා. එතනම වැඩ කල කවුදෝ හාදයෙක් එක්ක ඇතිවෙච්චි පළහිලව්වකින් කුසුමාට දරුවෙක් ලැබෙන්න හිටිය. මිනිහ එතනින් මාරුවෙලා ගිහින් ලු, බැඳපු මිනිහෙක් ලු, ඔහොම ගෑණු අනාත කරල පැනල යන එක මිනිහගෙ පුරුද්දක් ලු. වත්තෙ තැන තැන තලුමරන කතා චන්ද්‍රාට එහෙන් මෙහෙන් ඇහුණත් එයා හිටියෙ ඒව නෑහුණ ගාණට. ඔය මිනිස්සු තමන් ගැනත් කතා හද හද රසකරමින් කියන්නෙ ඔය කටවල් වලින් තමා කියල චන්ද්‍රා දැනගෙන උන්න.

දැන් මේ මහ රෑ කුසුම් රේල් පාර මැද හිටං උන්නෙ මාස දෙකක ඒ කිරිකැටියව වඩා ගෙන. ඈතින් යන්තම් හූ හඬක් ඇහුණ. රේල් පාරෙ කොණකින් එළියක් මතු වුණා. පොඩි මැණිකෙ තමන් ළඟම එන බව දැනුම් දෙමින් හිටිය.

"කුසුම් ඔය මොකද කරන්නෙ.. මෙහෙ වරෙන්" චන්ද්‍රාට කෑගැහුණෙ ඉබේටම. 

"ඌගෙ දරුවත් නැති කරං මාත් මැරෙනව .. මට මැරෙන්න දීපං"

කුසුම් කියෙව්වෙ මරුවිකල්ලෙන්..

"මාව රැවැට්ටුව..මාව නැති කලා.. බොරු කාරය.. ඔක්කොම එකයි.."

පොඩි මැණිකෙ හිනාවීගෙන වංගුවෙන් මතු වුණා. කුසුම් ඉන්නව දැකලද මන්ද හයියෙන් හූ කිව්ව.

"මේ නොදරුව මරාගන්න හදන්නෙ මොන වරදකටද. අයින් වෙයං ඔතනින් " 

වහාම එතනට දුවගෙන ආව චන්ද්‍රා කුසුම් ගෙ ඇඟේ එල්ලිල රේල් පාරෙන් ඉවතට ඇදගන්න හැදුව

"මට මැරෙන්න දීපං." 

කුසුම් කෑ ගැහුව. හැකි වැර දාල ඇදල ගන්න හැදුවත් කුසුම් එතනින් හොල්ලන්නවත් චන්ද්‍රාට හැකිවුනේ නෑ. පොඩි මැණිකෙ දැන් තවත් ළඟ. ටකස් ටකස් ගාල රෝද වලට සිල්පර කොට හෙල්ලෙන සද්දෙ, කෝච්චි පෙට්ටි එකිනෙක ගැටෙන සද්දෙ දැන් හොඳට ඇහෙනව. ලොකු යකඩ රෝද රේල් පීල්ලෙ ඇතිල්ලිල ක්‍රීස් ක්‍රීස් ගෑව. එක පාරම චන්ද්‍රා ගෙ ඇහැ යොමු වුණේ කුසුම් අතේ තුරුලු කරන් හිටපු රෙදි පොට්ටනිය දිහා.

"දරුවා! දෙයියනේ!" 

එකපාරම කොහෙන්ද ඉඳන් අමුතු හයියක් චන්ද්‍රා ගෙ දෑතට ලැබුණ වගේ දැනුණ. චන්ද්‍රා කුසුම්ගෙ අතේ උන්නු දරුව ව උදුරල ගත්තෙ ඒක වුණේ කොහොමද වුණේ කියල හිතා ගන්න බැරි තරම් වේගෙකින්. තමන් ඇත්තටම දරුව ඇදල ගත්තද නැත්තං කුසුම් දරුව ඒ මොහොතෙ අතහැරියද කියන්න චන්ද්‍රාට නිනව්වක් නෑ. ඒ වේගෙන්ම චන්ද්‍රා රේල් පාරෙන් පැත්තකට තල්ලු වෙලා ගියා. පොඩි මැණිකේ චන්ද්‍රා ගෙ ඇඟේ ගෑවී නොගෑවී කුසුම් ගේ සියුමැලි ශරීරය මත්තෙන් ඇදිල ගියා. 

තල්ලු වුණ පාරට චන්ද්‍රා බිම වැටුණ. කොච්චියෙ දඩස් බඩස් දඩස් බඩස් සද්දෙ ටික වෙලාවක් යනකම් තිබුණ. අවසානෙ ආයෙත් සියල්ල නිශ්ශබ්ද වුණා. පරිසරය ආයෙත් තිබුණු විදිහමයි. චන්ද්‍රා වැටුණු තැනින් නැගිටල අතේ තිබ්බ රෙදි පොට්ටනිය දිග ඇරල බැලුව. රෝස පාට පුංචි කිරිකැටියෙකුගෙ මූණ ඒ රෙදි පොට්ටනිය අතරෙ හඳ එළියෙ බබලමින් තිබ්බ. චන්ද්‍රා ට දැණුන තමන්ගෙ පපුව පුරා අමුතු හීතලක් ගමන් කල බව. එයා තවත් පුංචි එකාව ළමැදට තුරුලු කරන් ඒ අසීමිත සැනසීම වින්ද. චන්ද්‍රා ගෙ ඇස් කොණෙන් මතුවෙලා කම්මුල දිගේ ගලාගෙන යන්න පටන් ගත්ත හීන් කඳුළු බිඳු දෙකක්. ටික වෙලාවකින් මෙච්චර කාලෙකට හිර වී තිබුණ ඒ වාන් දොරටුව බිඳුණා. කඳුළු කැට වැස්සක් වෙලා පොඩි එකාත් චන්ද්‍රාත් ඒ වැහි දියේ තෙමුව. රෑ මැදියමටත් කිට්ටු වෙලාවෙ,හඳ එළියේ නෑවෙමින් එයා ඒ විදිහටම දරුව ව දරාගෙන හිටිය.

රේල් පාර නිහඬයි, පාලුයි. රේල් පාර යොමුවෙලා තිබ්බෙ කොහේදෝ නොපෙනෙන ඈතකට. චන්ද්‍රා, සෝමේ එක්ක උන්නු ලෑලි ගෙදර දිහා අවසාන වතාවට හැරිල බැලුව.