Monday, August 28, 2017

වනස්පතිය

වැව් කණ්ඩිය ඉහත්තාවෙ 
බොරලු පාරෙ හන්දිය ලඟ 
මහ සරුවට වැඩී තිබුණ 
බදන්න බැරි වනස්පතිය

පිනවන දුටු දන සැම දෙන 
වැව ලඟ පිහිටුව කදිමට 
අතු පෙල විහිදා අහසට
හෙවණ දුන්න වනස්පතිය

ගිණියම් අව්වේ වෙහෙසෙන 
සහසක් ජනතාව ගිමන 
නිවා දැමුව මහ පොළවක 
නටබුන් පමණිය අද දින

වනස්පතිය තිබුණ පොළවෙ
කටු කම්බිද සිමෙන්ති කණු 
හෙවණ දෙන්නෙ කොයි කාහට 
කුරා කුහුඹුවන්ට පමණ..

දහසක් දුහුනන් වටවී 
වැව්කණ්ඩියෙ හන්දිය ලඟ 
මුල උදුරා බිම දමද්දි 
ඒ අගනා වනස්පතිය 
පොළව බදා වැලපෙන්නැති 
ඒ කඳුලෙන් 
වැව් දිය බොර පැහැ වෙන්නැති 
ඒ සුසුමන් 
වැව්තලයේ පාව ඇවිත් 
හුලඟ වෙලා හමනව ඇති...





Friday, August 25, 2017

විමතිය


නාටකය අවසන
පෙම්වත් යුවළ එක් වෙති...

නරඹන්නෝද
අත්පොලසන් දී
තුටු සිතින් ගෙදර යති.. 

වැසුණු තිර කඩ දෙස
විමතියෙන් බලාගෙන
ගැලරියේ එක් මිනිසෙකි.






Thursday, August 24, 2017

නැවියාණනි..

නැවියාණනි.. 
නිදහස් භූමියකැයි සිතා
ගොඩ බැස යටත් විජිතයකට
ආපසු යනු පිණිස
නැංගුරම් ගොඩගත්තද
අවනත නැත සුලඟ
ඔබ හට.. 

අකුලා දමා රුවල
තවත් වැලපීම එල නැත...

ඊලඟ මෝසමට
මාරුවනු ඇත සුළං අත
එතෙක් නතරවී ඉනු මැන
වෙරළ බඩ.




Wednesday, August 23, 2017

කඩුපුලක කව



හෝරාවයි දෙකයි තව ඇත්තෙ එළි වෙන්න.. 
බඹරෙක් වත් කොහෙද කලුවරේ රොන් ගන්න... 
එහෙ මෙහේ ඉගිල යන වවුලනේ මෙහි එන්න... 
කාටවත් නැති මේ පැණි බිඳුව අරගන්න...





Monday, August 21, 2017

ෆර්මිනා

ෆර්මිනා... 
කලුවර කියන්නේ
කවිබර හිතකට
අතවර වැඩියෙන්ම වෙන
වෙලාවයි..

පුංචිම පුංචි 
කදෝපැණි එලියකත්
දැල්වෙන්නෙ තනිකමේ 
කලාවයි...

මේ අවට
කොයියම්ම තැනක හරි
ඔබ හුස්මගන්නව දැනෙන එක
ඇත්තටම ජීවිතේ 
මුලාවයි

මේ ලියන පත්ඉරුව
කීතු කීතු වලට ඉරා ගුලි කර
කොහෙට හෝ 
විසිකර දමන්නට
හිතෙන්නෙත් අන්න එතකොටයි...

-මීට ෆ්ලොරෙන්තිනෝ...





Friday, August 18, 2017

අවසානය...

අවසාන කුසුමද
පරව ගිය පසුව
පිළිගනිමි
වසන්තය නිමාවූ වග.





Thursday, August 17, 2017

ගසක් වනු කැමැත්තෙමි

ගසක් වනු කැමැත්තෙමි
ඔබ වැලඳ ගනු රිසි
එවිට ඔබ හද ගැහෙන රිද්මය
මට අසාගෙන ඉනු හැකි.





දුම්රියපොළේ බංකුව

එන යන ගමන් බල බල 
හූල්ලනව මිසක් හුලඟට 
වෙන මොකක් කරන්නද 
දුම්රියපොළේ බංකුව.





Tuesday, August 15, 2017

එපා පරමල් පයින් පාගන්න

කීවෙමි ඔබට
"එපා පරමල් පයින් පාගන්න"

-රත්න ශ්‍රී

සේදුන පාට පෙති වල
විහිදා සුවඳ අතීතෙට
පර වෙන තුරුම මෙහෙ කොට
කැලි කසල මත්තේ
ගස පාමුල
වැතිර උන්නද
එය මලකි සොඳුරිය...

අතැගිලි තබා බැලු කල
තවමත් නොදැනෙද 
උණුහුම.. 

කේඩෑරි මනිපත්ර මත.. 
සමණලුන් පෙම් බැන්ද
ලකුණු ඒ මත නොවෙද...

උන්න දෙන් ගහ යට
ඉදල් පහරට ඔබේ
නතු නොව
පර මලද මලකි සොදුරිය
එපා එය පාගන්න.





පරිවාස කාලයක්

රිදෙන තැන් ටික
පිරිමදින්නට
පරිවාස කාලයක්
ඕනමයි පෙමකට.





ඉඳහිටමත් නොවෙයි
බොහොමයක් දිනවල
තිත්ත කලුවර වටවුණ
රෑ දෙගොඩහරි යාමෙට
සිහිනෙන් වගෙ 
ඇසෙයි
කවුරුන්ද
දොරට තට්ටු කරන හඬ..

නොසිහියෙන්ම
නැගිට
දිව ගොස්
ඇර බලමි 
දොර...

රැවටෙමි
කවුරුවත් 
නැතිබව දැක..





අසුන

බැසගිය පසු මගිය
තවම උණුසුම් අසුන....





එන්න සොඳුරිය.

එන්න සොඳුරිය...
කුණාටුව 
අහවරය...

ගස යට
හැලුන
කුඩා කුඩා  පෙති
අහුලන්න
හැකිය
දැන් 
අපට...





සීගිරි සිත්තරා..


මේ තරම්ම හැඩහුරුවට
ස්ත්‍රී රූපෙක ලස්සන
අඳින්න හුරුවුණේ කොහොම
අහන්නෙපා රජතුමනී... 

ඔබතුමාම කිව් විදිහට
ජනපද කළණියකගෙ රුව
නොබලා මේ සිතුවම් ටික
ඇන්දේ මම මතකෙන්.. 

දිවුල් ලාටු රතු පස් මැටි
එක්කල මදුරුවො තල තල
වෙහෙස නැතුව වැඩකරද්දි
බොරු කියන්නෙ මොකටද මං
මතක් වුණේ නිතරම මට
ගෙදර ඉන්න මගෙ රංකඳ

කැටපත් පවුරෙම පැත්තක
නින්දක් නැති රෑ තුන්යම
ඒ පපුවේ මල් සුවඳක්
හීනෙන් වගෙ මට දැනෙනව.. 

අත ඇරලා මේ ඔක්කොම
පැනලා මේ ගලෙන් බිමට
ගෙදර ගිහින්
කලා වැවට හඳ පෑව්ව
වාගේ ඒ මූණු පොඩ්ඩ
එක මොහොතක් බලල එන්න
මට හිතෙනව.. 

රන් කහවණු රිදී කාසි
ගම්වර සහ නොයෙක් තෑගි
නොලැබුණාට කම් නෑ දැන්
මග බලාන ඇති මගෙ පණ
යන්න දෙන්න රජතුමනි
යන්න දෙන්න දැන් මට.... 





Friday, August 11, 2017

කහ ඉරි.

එතෙරකර මහ සෙනග
පෑගෙයි කහ ඉරි...





කමක් නෑ ඔබ යන්න...


කමක් නෑ
ඔබ යන්න
උදුරගෙන
මුල

හිස් ඉඩට
පැළකරමි
මම
මගේ 
දුක





Thursday, August 10, 2017

ඔබ නො දැනගතයුතු යමක්...

කළුගලක පැලුමක් කැපී
අකුරු පේලියක් නික්මිණ
ඉන් කුමක් කියවෙන්නෙ දැයි
ඔබ නොදන්නවනම් හොඳය.





ගොයම


කැත දඬු මුගුරු බැඳ 
වට කලත් දැඩිව
ගොයමටත් දැනෙනව ඇති
පඹයෙක් නැති අඩුව..







Wednesday, August 9, 2017

ඔබ නැතුව


මේසය
පුටුව
බංකුව
බස්රථවල
කොනේම අසුන
මේවා නිකම්ම
වස්තු පමණය
ඔබ නැතුව.






වතුසුද්ද


උදා හිරු රැස් නැගෙනු පලමුව 
බෙදාගෙන ලංලංව මුදු සුවඳ 
සීත මීදුම් සළුපිලි අතර
ප්‍රේමයෙන් බැඳෙනවලු වතුසුද්ද... 





කඳුවැටි සහ මම


සංවහන වලාකුළු
ඇවිදින් උරහිස් සිඹ
ලතෙත් මදනල දිගේ
වැහි අරන් යනකොට
අර කඳුවැටිත් ඉන්නවලු 
නොහෙල්ලිම
මං වාගෙම...





සිතුවම


බොහෝසේ වෙහෙසව
නිදිවරා
මා ඇන්ද සිතුවම
දෙසවත් නොබැලූ ඔවුහු 
පින්සල පිස දැමූ
කඩදාසිය දෙස බලා
එය මහා කලාකෘතියකැ යි කීහ..





ගිමන් හැරුම

විඩාහරී මඳක්
එකිනෙක පැටලෙනු පෙර
අතැඟිලි.





ගැඩුඹ ගස්.

පැණි වරකාව
මුලින් ඉගිලූ තැන
දවසට දෙකට උස යන
ගැඩුඹ ගස්.





සයුරු රළ

සයුරු රළ 
නොසිඹියි
ප්‍රදීපාගාරයක
පා යුග
සුමුදු පෙණ පිඩු
විසිරුවයි
වෙරළ මත...






බිම වැටුණ හදවත

කුණු ඇළ ගාව
බිම වැටුණ හදවත
රොබරෝසි ගහ යටින්
අහුලා ගනිමි.





එකම පවුලේ නෑයෝ

පෑගෙන තණකොළ ගසද
යෝධ උණ පඳුරද
එකම පවුලේ නෑයන් ය
එකිනෙකා නාඳුනන.





උල්පතක මතක

උල්පතක මතක මොකටද
මුහුද සිපගන්න ඉන්න ගඟකට
පරිස්සම් කරගත් වතුර ටික
මුහුදු දෑතට බාරදෙනු මිස.






මල් නැති ගහක්...


පුංචි පඳුරුත්
මල් වඩාගෙන
සුවඳ හල හල 
හිනාවෙනකොට
මොකක් හිතුනද
මලක් නොපිපෙන
අර මහ ගහට.






හුලඟ උඹට හුඟක් වෙහෙසද

හුලඟ උඹට හුඟක් වෙහෙසද
ගෙනත් මේ වළාකුළ අහස මුදුනට
ඒ වුණත් වැහි වහින්න ගත්තම
කාටවත් මතක නෑ උඹේ වගතුග





Stone walls do not a prison make


ගල් බිත්තියකට හෝ
යකඩ සිරකූඩුවකට
නොහැකිය මිනිසෙකු
සිරකරුවෙකු කරන්නට....

නිදොස් නම් නිසල නම් 
ඔහුගේ මනස
අසපුවකි ඔහු සිටින
කවර තැන වුවද...

නිදහස් නම් මගේ ප්‍රේමය
නිදහස් නම් මගේ මුුළු හදවත
අත්විදිමි මම නිදහස
ඉහළ අහසේ සැරිසරන
දේවදූතයන් පවා අත්විදින..

Richerd Lovelace
Translated by Hash




Pablo Neruda


එනමුදු පෙම් කරමි මම
ඔබ දෙපා යුගලට....

ඇවිද ආ බැවිනි ඒවා
මහ පොළොව මත්තෙන්
සුළං රැළි අතරින්
ජලතලා පසු කර
අවසන
මුණගැසෙන තුරු මා....

Translated by Hash




Blowing in the wind


ඇමරිකානු ගායක Bob Dylan විසින් ලියා ගායනා කරන Blowing in the wind ගීයේ සිංහලට පරිවර්තනය 

කොපමණ මාවත් ගණනක
ඇවිද යායුතුද මිනිසෙකු
ඔවුන් ඔහු "මිනිසෙකු" යැයි
කියන්නට පෙර? 

කොපමණ මුහුදු ගණනකින්
පියඹා යා යුතුද සුදු පරෙවියක
සුසිනිඳු වෙරළ මත
නිදන්නට පෙර ඇය? 

කොපමණ වාර ගණනක්
ඇවිලිය යුතුද වෙඩි උණ්ඩ
ඒවා සදාතනිකව
නිහඬ කර දමනු පෙර? 

පිළිතුර මාගේ මිතුරනි
සුළගේ මුසුව ඇත
පිළිතුර සුළගේ මුසුව ඇත..... 

කොයිතරම් වසර ගණනකට
පැවතිය හැකිද කන්දකට
දියවී යන්න පෙර එය
මහ සයුරටම? 

කොතරම් කාලයකට
පැවතිය හැකිද සමහර මිනිසුනට
ඔවුනට හිමි නිදහස
උරුම කර ගනු පෙර? 

කොතරම් වාර ගණනක්
හැරවිය හැකිද මිනිසෙකු හිස
අඟවමින් ඔහු කිසිවක් නොදුටු බව? 

පිළිතුර මාගේ මිතුරනි
සුළඟේ මුසුව ඇත.. 
පිළිතුර සුළගේ මුසුව ඇත.. 

කොපමණ වාර ගණනක්
බැලිය යුතුද මිනිසෙකු ඉහල
දැකගනු පෙර ඔහු අහස? 

කොපමණ වසර ගණනක්
ගතකල යුතුද මිනිසෙකු
අනෙක් මිනිසුන් හඬන හඬ
ඔහුට ඇසිය හැකිවනු පෙර? 

කොතරම් මරණ ගණනක් වනු ඇතිද
ඔහු දැන ගන්න පෙර
පමණට වඩා මිනිසුන් මැරුණ බව? 

පිළිතුර මාගේ මිතුරනි
සුළඟේ මුසුව ඇත.. 
පිළිතුර සුළගේ මුසුව ඇත.. 

Bob Dylan
Translated By - Hash





කඩල සුවඳ..


තරුපහේ හෝටලය

ඉදිරිපස පාරේ ඉඳගෙන
කඩල විකුණන 
වෙළෙන්දෙකුගේ
කඩල ගොටුවක සුවඳ..




Tuesday, August 8, 2017

දූවිල්ල.


ඒ තරම් ලං ලංව

මහ පාර වැළඳගෙන හිටියට
පොඩි රෝද පාරකිනුත්
ඇවිස්සෙන හැටි
දූවිල්ල.





රන් තැටියක කිරි පැණි මුසුකර 
ගෙනැවිත් දෙනු බැරිව තම පුතුනට
පියෙකු කියයි අග මුල පැටලුන
සුරංඟන කතාවක්....
හෙමිහිට නිදා වැටේ බිළිඳක්..

කැඩුණු ලිග්ගල් තුන උඩ
ළය ගින්දරෙන් ගිනි පත්තු කර
ඉදෙමින් තිබේ පොඩි පැල්පතක් තුල 
රස නැති බොජුනක්
නොඉවසිල්ලෙන් මුව අයා
බලා හිඳී දෙදෙනෙක්...

දින ගණන් වෙහෙසී මෙහෙ කොට
ලැබුන සුළු වැටුපෙන් සරි කර
පෙම්වතෙකු ගෙන යයි පෙම්වතියට
පෙති මිලින මල් කලඹක්
ලා රක්ත දෙතොලක
ඇඳේ සිනහ රේඛාවක් ....

දහස් ගණනක් සෙනඟ යන එන
කොළඹ කොටුවේ පාලම ලඟ
අන්ධ දරුවෙකු ගයයි
තාලෙන් බැහැරව ගීයක්
මදක් නතර වී එතැන 
බලාගෙන හිඳී ඔහු දෙස
එකම එක මිනිසෙක්..





සිහින

සිහිනයක් තිබේ
හැම කඳු මුදුනකටම

නෙක රුදුරු වන සපුන්  
කටු පඳුරු ඇති වුණත්
සුනිල් වන් දිය ගලන
තැනිතලා බිමක් ගැන...

අහස අතපොවන මානෙක
නිරන්‍තර සිහිලසම පවතින
බොහෝ උස කඳු මුදුනක් ගැන
සිහිනයක් තිබේ
හැම තැනිතලාවට ම...






අහම්බෙන් මුහුණට එබී
තමන්ගෙම හැඩරුව බලන්නෙකුට
තමන් හැටි පෙන්නා දුන්නා මිස...

පිපාසෙන් සියොළඟ දැවී
මරණාසන්න මගියෙකුට
දිය බිඳක් දන් දුන්නා මිස...

මෙගොඩින් දියට වන් පහුරකට
එතෙර වෙන්නට
උරහිස්ස දුන්නා මිස..

නම් ගම් මතක තබා නොගනී
ගඟ...





සුලඟටත් ඇයි බැරි?

අතින් අත පටලන් 
ඇවිද යන්නට
නාවත් ටික දුරක් හරි
සුවඳ ගෙන යනු පෙර
මලක් ලග
මොහොතක් නතර වෙන්නට
සුලඟටත් ඇයි බැරි?








හිතේ පැටලෙන දිග කොණ්ඩ ගස්..

රවුම් හැඩපලු ගෙතී හැඩවුණ කොණ්ඩ ගස වුව දිග ඇතී
නිතර හීනෙන් දැවටි දැවටී හිතම අවසඟ වෙන හැටී
අවුල් වෙන මතකයන් ගුලිකර පීරුවත් හැඩ වෙන්නැතී
කොණ්ඩ ගසකද ලිහා ගනු බැරි කප්පරක් පැටලුම් ඇතී

හෙමින් සැරයෙන් හමන හුලඟට පවා කලබල වී ඉතා
ලැගුම් ගන්නට උරිස් තලයක සිහිල් පහසම පත පතා
ලතෙත් සිතුවිලි තෝර බේරා මතකයන් හිත ගොත ගොතා
කොණක් පාදා ගන්න බැරුවම දිගට ඇදි ඇදි යන කතා

මතක ඉමිහිරි සුවඳ මුහුකල විදාහල නුඹෙ කෙහෙරැළී
හිතග්ගිසේ ගැට ගැහීගෙන සිතුම් සුලඟක නැවි නැවී
අවුල් වී යන හැඟුම් පීරා හදාගෙන හිත යලි යලී
සොඳුර නුඹ වාගෙමයි නිතරම කරයි මගෙ හිත පැටලිලී








ඈත දියඹේ ඇදී
හබලකුත් අත නැතී
කැඩුණු ඔරුවක නැගී
ඔහේ පාවෙමු අපී... 

ඇස දකින මානෙක
නොමැත ගොඩබමක්
කැලති කැලතී හැපෙයි
නැගෙන දිය රලත්
සුදෝ සුදු පෙන බිදිති
සුලගෙ මුසු කලත්
ලවණ දිය තලාවක
පිබිදෙයිද මලක්...

හුරු පුරුදු ලුණු රසකි
හමන සුළඟ ද
නිමක් නැති සයුර ලඟ
දැවෙයි පවසද

මග කියන තරුවකුදු
නොමැති අහසක
මග නොමග සොයාගනු
ඉතින් කොහොමට....

ඈත දියඹේ ඇදී
හබලකුත් අත නැතී
කැඩුණු ඔරුවක නැගී
ඔහේ පාවෙමු අපී...