Monday, November 30, 2020

ඔබ හමුවීම සුදුසු නැත

ඔබ හමුවීම සුදුසු නැත
එක්වරම
දෙනෝදහසක් මැද
අහම්බෙන් දුටු අයෙකු මෙන්....
හඳුනාගත හැකිදැයි
කොයිතරම් කල් ගත වුණා දැයි
විමසීම පහසු නැත
ඔබට මෙන් මට...

එබැවින්
හිතවතිය
ඔබෙ දෑස ඉදිරිපිට
ගලා යන මහ මිනිස් ගංගාවක
අංශුවක් තුළ සැඟෙවෙමි...
ඇස් කෙවෙනි අග
මතුව එන තෙත
ඇස් පියන් යට සඟවමි...
ළයෙහි මතුවන
සියුම් කටු තුඩු රිදුම
නොපෙනෙන ලෙස කවියක අතුරමි...
පෙනෙන නොපෙනෙන
ඈතකින් දැකගමි
නොකියාම නික්මෙමි....




Thursday, November 26, 2020

Lucia -(2013, language - Kannada)

(Psychological/ Drama/ Romantic)

ඔබ මායාවෙහි නිමැවුමක් ද?
නැතිනම් මායාව ඔබේ නිමැවුමක් ද? 

"ඔබ" ශරීරයෙහි කොටසක් ද?
නැතිනම් ශරීරය ඔබේ කොටසක් ද?

අවකාශය තුළ ලෝකය පවතීද 
ලෝකය තුළ අවකාශය පවතී ද?
නැතිනම් ලෝකයත් අවකාශයත් එය විමසන ඇස තුළ පවතී ද?

ඇස ඇසුරුකොටගෙන මනස පවතී ද?
මනස ඇසුරුකොට ගෙන ඇස පවතී ද?
නැත්නම් ඇසත් මනසත් ඔබ ඇසුරුකොටගෙන පවතී ද?

උක්දඬුවෙහි පැණිරස පිහිටා ඇත් ද?
පැණිරසයෙහි උක්දඬු පිහිටා ඇත් ද?
නැත්නම් උක්දඬුවද පැණි රසය ද රස විමසන දිවෙහි පිහිටා ඇත් ද?

දිව ඇසුරුකොටගෙන මනස පවතී ද?
මනස ඇසුරුකොට ගෙන දිව පවතී ද?
නැත්නම් දිවත් මනසත් ඔබ ඇසුරුකොටගෙන පවතී ද?

සුගන්ධය මල ඇසුරුකොටගෙන පවතී ද?
මල ඇසුරුකොටගෙන සුගන්ධය පවති ද?
නැත්නම්  සුවඳත් මලත් ඔබ ඇසුරුකොටගෙන පවතී ද?

ඇසෙන දකින සියලුදේ මනස ඇසුරුකොටගෙන පවතී ද?  
එසේනම් ඒ සියලු දේ මනසේ මැවෙන පිළිබිඹු පමණ ද?
.
.
.
හිතන්න.. ඔයා ඉන්නෙ කන්දක් පාමුල. කඳු මුදුන දිහා බැලුවම යාන්තමට කූඹියෙකුගෙ ස්වරූපයකින් යම් මිනිසෙකුගෙ රූපයක් ඔයා දකිනව. කඳු මුදුනෙ ඉන්න මිනිසා දකින්නෙ මොනවද? එතැනට මේ අහසම කොයිතරම් අපූරුවට පේනව ඇති ද? ඔයා හිතනව. ඔයාගෙ හීනය තියන්නෙ එතැන. ඒ කඳු මුදුන මත. මුදුනෙ ඉන්න මිනිසාගෙ ඇස් දෙකෙන් බැලුවොත්. ඔහු දකින්නෙ පහළ භූමිය. පුංචියට එහෙ මෙහෙ යන මිනිස්සු. ගස් කොලන් වල නිල් පාට. පොළවේ පිහිටි ගංගා දිය ඇළි. පොළව කොයිතරම් සුන්දර ද. ඔහු හිතන්නෙ එහෙම. 

සම්මුඛ සාකච්ඡවකදි එක්තරා සුපිරි තරුවකට යොමු වෙනව ප්‍රශ්නයක්. ඔබේ ජීවිතයෙදි දකින ලොකුම හීනය මොකක්ද? 

ඒ සුපිරි තරුව ඒ ප්‍රශ්නයට දෙනව හරි අපූරු පිළිතුරක්..

හැමෝම හිතනව සුපිරි තරුවක් වෙන එක හරි අපූරු දෙයක් කියල ඒත් ඒක එහෙම නෑ. ඔයාට, ඔයා කැමති තැනක යන්න කැමති දෙයක් කරන්න නිදහසක් නෑ. හැම වෙලාවෙම දහස් ගණනක් ඔයා දිහා බලාගෙන ඉන්නව!

මගෙ හීනයය තමා කවුරුත් නොදන්න සාමාන්‍ය මනුස්සයෙක් වගේ පාරවල් වල ඇවිදින එක. පාර අයිනෙ කෑම කඩවලින් කන එක. මම කැමති කෙනෙක් එක්ක කැමති තැනකට වෙලා මොහොතක් නිදහසේ ඉන්න එක. ඕව තමා මට තියන ලොකුම හීන!

සාමාන්‍ය ජීවිත ගත කරන අපි හීන දකින්නෙ අසාමාන්‍ය ජීවිතයක් ගැන. අසාමාන්‍ය තැනක ඉන්න කෙනෙක් හරිම සාමාන්‍ය තැනක ජීවිතයක් ගැන හීන දකිනව නම්!!

පොඩ්ඩක් හිතන්න.  ඔයා ගතකරන ඔය ජීවිතය තව කෙනෙකුට බව!
.
.
තමන්ට අහිමි වුණ  ජීවිතයක් ගැන හීන දකින්නෙකු මුල් කරගෙන කන්නඩ භාෂාවෙන් නිර්මාණය වුණ Lucia චිත්‍රපටය ආකාර කිහිපයකින් සුවිශේෂයි. මූලිකම කරණාව Lucia කියන්නෙ crowdfunding චිත්‍රපටයක් වීම. චිත්‍රපටයට ප්‍රධාන වශයෙන් මූල්‍යමය දායකත්වය දක්වා තිබෙන්නෙ සිනමා රසිකයන්මයි! Lucia තිර රචනා කරන ඉන්දියාවේ තරුණ සිනමාකරු Pawan Kumar ට චිත්‍රපටය වෙනුවෙන් නිෂ්පාදකවරයෙක් සොයාගන්න බැරි වෙනව. ඒ නිසා ඔහු තීරණය කරනව සමාජ මාධ්‍ය හරහා චිත්‍රපට රසිකයන්ගෙන් සහාය ලබා ගන්න. ඔහු හිතුවට වඩා පිරිසක් චිත්‍රපටය නිෂ්පාදනය වෙනුවෙන් දායක වෙන්න ඉදිරිපත් වෙලා තිබෙනව. ඉතින් ඔවුන්ගෙ මූල්‍යමය දායකත්වය මත තමා චිත්‍රපටය නිෂ්පාදනය වෙන්නෙ.  Lucia ඉන්දියානු චිත්‍රපටයක විචිත්‍රවත් බව මෙන්ම psychological ගුණයද නොඅඩු ඉතාම අපූර්ව සිනමා අත්දැකීමක් ප්‍රේක්ෂකයන්‍ට ලබා දෙනව. සිනමා විචාරකයන්ගෙ පවා පැසසුම් ලබමින් සෑහෙන ආකර්ෂණයක් දිනා ගන්න සමත්වෙනව. චිත්‍රපට නිෂ්පාදකයින් අතින් ප්‍රතික්ෂේප වුණත් Pawan Kumar සිනමාවට ආදරය කරන පිරිසක් එකතු කරගෙන මේ හීනය සෑබෑවක් කර ගත් ආකාරය අපූරුයි. Lucia චිත්‍රපටයෙ කේන්ද්‍රීය චරිතයත් සිනමා පිස්සෙක් ඒ නිසා Lucia, සිනමා පිස්සෙක් සිනමාව වෙනුවෙන්ම ලියූ ප්‍රේම ගීයක් බව කිව්වොත් වඩා නිවැරැදියි.




Wednesday, November 25, 2020

කැඩපත

"සීතල සෙවණ"
නිවසේ
වැව අද්දර කුටියට
අපි ආව මුල්ම දවසේ පටන් 
ඒ කුඩා කැඩපත
බලා උන්නා අපි දිහාවම..

"සීතල වුණත් නම
මේකෙ තියන ග්‍රීස්මය!"

ඇය කිව්වෙ කැඩපතේ
දූවිලි පැල්ලම් අතරේ
ඇගෙම පිළිබිඹුව ට..
කවුලුවෙන් අඩක්
යන්තමට
විවර කලා මං
පිට හුළඟට..

ඉන් පස්සෙ කී වතාවක් 
අපි හමුවුණාද මෙතැනම...
බලා උන්නා කැඩපත 
අපි දිහා වෙනසක් නැතුවම..
පෙන්වමින් 
අවුල් වී පැටලුණු තැන්
ඇගෙ කෙහෙකැරළි වල...
පොඩි වී අපිළිවෙල වූ තැන්
සයනය මත..
සෙමෙන් මතුවන අඳුරු පැහැය
මගෙ දෑස් යට..

ඇඳෙන පිළිරූ සැණෙකින්
මැකීයනවා මිසක
අල්ලා නොගන්නා බැවින් 
කිසිවක් මතක
තවදුරටත් අපි නොඑන
ඒ කුටියෙ මළ පාලුව
ඉවසා දරාගෙන ඇති දැන්
ඒ කුඩා කැඩපත
සමහරවිට..



Friday, November 20, 2020

Waves (2019)

 (2020/11/20 "ලංකා" පුවත්පත වෙනුවන්)

මුහුද කියන්නෙ ජීවිතයත් එක්ක හරි ලස්සනට සම්බන්ධ කරන්න පුලුවන් දෙයක්. ඒ විවිධාකාර ස්වරූප වලින් පවතින්න මුහුදට තියන හැකියාව නිසා. බොහොම නිහඬව නිසලව රළ මතුවෙනකොට මුහුද තරම් සුන්දර තැනක් තවත් නෑ. ඒ රළම තව මොහොතක වියරු කුණාටුවක් බවට හැරුණම මුහුද තරම් බියකරු තැනක් තව නෑ. වෙරළෙදි සෑහෙන නොගැඹුරු වුණත් දියඹෙදි ඒ ගැඹුර කොයිතරම්ද කියල හිතාගන්නත් බෑ. අපේම ජීවිතය, අපිවම වටකරගෙන පවතින මිනිස් බැඳීම් මේ ස්වභාවය එක්ක කොයිතරම් අපූරුවට ගැළපෙනව ද?

2019 අවුරුද්දේ තිරගත වුණු Waves චිත්‍රපටයේ කතාව ගොඩනැගෙන්නෙ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජීවත්වන කළු ජාතික පවුලක් වටා. ටේලර්, පවුලේ වැඩිමහල් දරුවා, උසස් පාසලේ ප්‍රසිද්ධ පෙරළිකාර චරිතයක්. ඒ වගේම ඔහු මල්ලව පොර ක්‍රීඩකයෙක්. තමන්ගෙ සුරූපී පෙම්වතිය සමඟත්, මිත්‍රයන් සමග විනෝද වෙමිනුත් ඔහුගෙ ජීවිතය නිදැල්ලේ ගලා යනව. ටේලර් ගේ බාල සොහොයුරිය එමිලි. ඔවුන්ගෙ පියා රොනල්ඩ්. ඔහු බොහොම දැඩි විනයකට අනුව තමන්ගෙ දරුවන් මෙහෙයවන පියෙක්. ටේලර් ගෙත් එමිලිගෙත් සැබෑ මව මිය ගිහින්. පියාගෙ දෙවන විවාහය වුණු කැතරින් දරුවන්ට සැබෑම මවක් වෙමින් ඔවුන්ට ආදරය දක්වනව.

ටේලර් ගේ කෙළිලොල් ජීවන රටාව හිටිහැටියේ වෙනස් වෙන්නෙ නොසිතූ විදිහට. ටේලර් සහ ඔහුගෙ පෙම්වතිය අතර සිදුවෙන බහින්බස් වීමක් දුරදිග යාම නිසා මේ දෙදෙනාගෙ සම්බන්ධය බිඳවැටෙනව. ඉන්පස්සෙ ටේලර් ගේ ජීවිතය ගමන් කරන්නෙ අඳුරට. මත්ද්‍රව්‍ය භාවිත කරන්න යොමුවෙමින් ඇයට තවත් වෛර කරන්න පෙළඹෙන ඔහු ජීවිතේ කුණාටු රළ පහරවල් හමුවේ සම්පූර්ණයෙන් බිඳ වැටෙනව.

චිත්‍රපටයෙ එක් අර්ධයක් අපි දකින්නෙ ටේලර් ගෙ කතාව. අනෙක් අර්ධය වෙන් වෙන්නෙ ඔහුගෙ සොයුරිය එමිලි වෙනුවෙන්. චිත්‍රපටයෙ ආරම්භය සහ සාපේක්ෂව වැඩි කාලයක් ටේලර් වෙනුවෙන් වෙන් වුණත් කේන්ද්‍රීය චරිතය වෙන්නෙ එමිලි. චිත්‍රපටයෙ යටි පෙළ අරුත්ගැන්වෙන්නෙ ඇගේ චරිතයෙන් ප්‍රතිමූර්තිමත් වෙන ගති ස්වභාවයන් එක්ක. මෙතනදි ඇය සංසංදනාත්මක වෙන්නෙ ටේලර් සමග. ඔහු නොහික්මුණු, ආවේගශීලී තරුණයෙක් වුණත් ඇය ඊට සහමුලින් වෙනස් ඉවසිලිවන්ත සහ කාරුණික ස්වභාවයක් ගන්නව. ජිවිතයෙ අභියෝගයන් හමුවෙ දරාගනිමින් නොසැලී ඉන්නව. පීඩාකාරී තත්ත්වයන් වලදි වෛර කරනව වෙනුවට ඇය සමාව දෙනව.

චිත්‍රපටයෙ ගලායාම මුල් අර්ධයෙදි යම් වේගවත් ආකාරයකින් සිදුවෙන බව නිරීක්ෂණය කරන්න පුලුවන්. භ්‍රමණය වෙන සහ වේගවත්ව චලනය වෙන කැමරාව මේ හැඟීම තව තීව්‍ර කරනව. නමුත් දෙවනි අර්ධයෙදි කතාවෙ ස්වභාවය වෙනස්වෙමින් බොහෝවිට නිශ්චල කැමරා කෝණ හරහා කතාව ගලා යනව. ටේලර් ගෙ සහ එමලි ගේ කතා දෙකේ ස්වභාවයන්ට ගැලපෙන්න ඒ ක්‍රමවේදය යොදාගෙන ඇති බව පැහැදිලියි. මේ සුවිශේෂ සිනමාකරණය (Cinematography) මෑතකාලීනව සිනමාවට පිවිසුනු Drew Daniels නම් සිනමාවේදියාගෙ. චිත්‍රපටය පිටපත රචනා කරමින් අධ්‍යක්ෂණය කරන්නෙත් නවක සිනමාකරුවෙක් වුණු Trey Edward Shults.

රසවිඳිය හැකි අපූර්ව සිනමා අත්දැකීමක් ලබාදෙන අතරෙ Waves චිත්‍රපටය ජීවිතේ රළ බිඳීම් හමුවේ බිඳ වැටෙන යළි නිසල වෙන මිනිස් සම්බන්ධතා සමූහයක් දිහා බලා ඉන්න සලස්වනව. ඉවසිලිවන්ත හදවතකට කොයි තරම් දේවල් දරා ඉන්න පුලුවන්ද කියන කාරණය පෙන්වා දෙනව.



Thursday, November 19, 2020

මිහිමත ජීවයේ හෙට දවස - David Attenborough : A Life on our planet

සර් ඩේවිඩ් ඇටන්බරෝ, මේ මොහොත වන විට ජීවතුන් අතර වටිනාම මිනිසුන් කිහිපදෙනා අතරට නම් කල හැකි කෙනෙකු බව කීවොත් එහි වරදක් නෑ. 1926 වසරේ උපත ලැබූ ඔහු ඉන්පසු මිනිස් ශිෂ්ටාචාරයේ ඇති වූ ලෝක යුදධ, කාර්මිකරණයේ ව්‍යාප්ත වීම, සඳ තරණය කිරීමේ පටන් එදිනෙදා ජීවිතයේ වැඩ පහසු කරන යන්ත්‍ර සූත්‍ර බිහිවීම, ගුවන්විදුලිය, රූපවාහිනිය, පරිගණකය, අන්තර්ජාලය, ඉන්පසු ස්මාර්ට් ජංගම දුරකත දක්වා මෑත ඉතිහාසය තුළ සිදුවුණු තීරණාත්මක වෙනස්වීම් සියැසින් දුටු සාක්ෂිකරුවෙකි. ඒ සියලුදේටම වඩා සන්නිවේදකයෙකු, ස්වභාවධර්ම විද්‍යාඥයෙකු ලෙස පෘථිවියේ අස්සක් මුල්ලක් නෑර සැරිසැරුවෙකි. උත්තර අර්ධගෝලයේ හිම තලාවන් අතරද, අත්ලාන්තික් සයුරේ නිල් තල්මසුන් සමගද, වැලි කාන්තාර සහ සදාහරිත වනාන්තර අතර ද සැරිසරමින් මෙතෙක් ලොව නොදුටු අරුමැසි සත්ත්වයන් ඒ ඒ බිම්කඩ වලට ස්වදේශක ජනකණ්ඩායම් මුල් වරට ලෝකයට අනාවරණය කලේ ය. සොබාදහම පිලිබඳ, ඔබත් මමත් නිවසේ සිට සුවපහසුව නරඹන වාර්තාමය වැඩසටන් නිපදවීම පිළිබඳ පුරෝගාමී වූයේ ඔහු ය.  ලෝකයේ විවිධාකාර පරිසර පද්ධතීන් මෙන්ම ජීවයේ පරිණාමය පිළිඳව ඔහු ඉදිරිපත් කල වැඩසටහන්වල දැනුමෙන් පරම්පරා ගණනක් පෝෂණය වී තිබේ.


දැන් ඒ මිනිසා ගෙවමින් සිටින්නෙ ජීවිතයේ සැඳෑ සමයයි. ලෝකය පිළිබඳ මෙතෙක් අත්දුටු දෑ ඇසුරෙන් මිනිස් වර්ගයාගේ අනාගතය පිළිබඳ ඔහුට කීමට යමක් ඉතිරිව තිබේ. එහෙත් ඒ පණිවුඩය එතරම් සුබදායි එකක් නොවේ. මිනිසාද, ගස් කොළ සතුන් සමගම සොබාදහම නම් විශාල ජාලයෙහි එක  පුරුකක් පමණක් බව කීවේ රතු ඉන්දියානු නායක සියැටල් ය. දැන් මිනිසා සැම අතින්ම බලවතෙකු වී, ලෝකයේ පාලකයා වී තමන්ගේ කෙටි කාලීන ආර්ථික වාසි වෙනුවෙන් සොබාදහමේ ජාලය විනාශ කර දමමින් සිටියි. එනම් දිගුකාලීනව ඔහු තමන්වම විනාශයේ මුවදොර දක්වා ගෙනයමින් සිටියි. 1930 දශකයේ පෘථිවියේ සමස්ත වන වැස්ම 60% අගයක් ගෙන තිබූ අතර අද එය 30% ආසන්නයට පැමිණ තිබේ. ලෝකයේ සමස්ත වැසි වනාන්තර හරි අඩක් මේ වනවිට සහමුලින් වැනසී ගොස් හමාරය. මේ හේතුවෙන් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ඉහළයාම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා උතුරු දකුණු ධ්‍රැව ආශ්‍රිත අයිස් දිය වීම, සාගරයේ මූලික ආහාර ප්‍රභවය මෙන්ම පෘථිවියේ ඇති ඔක්සිජන් ප්‍රමාණයෙන් අතිශ්‍ය බහුතරය නිපදවන කුඩා සාගර ජීවීන් විනාශ වීම, පානීය ජලය හිඟ වීම, මේ ආදී අර්බුද ගණ්නාවකට අප මුහුණපා සිටී. David attenborough විසින් 2019 ලෝක ආර්ථික  සමුළුවේ තම දේශනයක් අතර තුර උතුරේ හිම දියවීම නිසා පීඩා විඳින වල්රස් සතුන් ගේ දර්ශන පෙළක් ඉදිරිපත් කරයි. එය නරඹන්නන්ගේ දෑස් වලින් කඳුළු කඩා හැලෙයි. අපි අපේ පැවැත්ම වෙනුවෙන් පෘථිවියේ අනෙක් ජීවීන්ට වේදනාව උරුම කරදීමට තරම් ආත්මාර්ථකාමි ජාතියක් වූයේ කෙසේ ද?

2020 වසරේ Netflex ආයතනය විසින් බෙදාහරිනු ලැබූ මෙන්ම ලෝකයේ විවිධාකාර පරිසර පද්ධතීන් පිළිබඳ අසමසම රූපමය පෙළහරක් වූ A life on our planet වාර්තා වැඩසටහන තුළින් David Attenborough සියවසකට ආසන්න තම දිවිසැරියෙහි සැමරුම් නැවත මෙනෙහි කරයි. කැලෑ බෙරි පඳුරු අතරේ උනන්දුවෙන් දුව පනිමින් හිඳ ගහ කොළට පෙම් බැඳීමට ගත් කුඩා දරුවා ලෝකයේ එතෙක් මිනිස් පා පහස නොලත් බිම් කඩවල් තුල ජීවයේ පැවැත්ම සොයා යන සංචාරකයෙකු වූ අයුරු විස්තර කරයි. කාලයත් සමග තමා දැක පුරුදු ගහ කොල සතුන් වියැකී යමින් පරිසරය තුළ සිදුවූ වෙනස්වීම ඔහු පැහැදිලි කරයි. මේ අනුව අනාගතයේ එළඹීමට අනිවාර්ය වූ විනාශයන් ගෙන් ගැලවීමට නම් අප කල යුත්තේ කුමක් දැයි මෙම වැඩසටහනින් ඔහු යෝජනා කරයි. අපටත් අප දරු පරම්පරාවන්ටත් ඉදිරියට මුහුණපෑමට සිදුව ඇත්තේ කවර තත්ත්වයකටදැයි අප දැන සිටිය යුතුය. අප නොදැන අප ගමන් කරමින් සිටින්නෙ කොයි දිසාවකට දැයි අවබෝධ කරගත යුතුය. ඒ නිසා Life on our planet සෑම මිනිසෙකුම අනිවාර්යයෙන් නැරඹීය යුතුය. මේ මිනිසාගෙ හඬට අප සවන්දිය යුතුය.

"අපි විසින් පරිසරය රැකබලාගනු ලැබුවොත්, පරිසරය විසින් අපව රැක බලා ගනීවි"

ඔහු පවසයි.

"බුද්ධිමත් කම හෝ, කාර්‍යශූර බව ප්‍රමාණවත් නෑ. අපට දැන් වඩාත්ම අවශ්‍යවී තිබෙන්නෙ ප්‍රඥාව "

A life on our planet සොබාදහමට පෙම් බැඳ ඒ සමග තම ජීවිත කාලය ගත කල  මුනිවරයෙකුගේ ප්‍රකාශනයකි.



Wednesday, November 18, 2020

පොළව ගැඹුරෙන් නික්මෙන හඬ - දොස්තොව්ස්කි

 "මම ලෙඩෙක්.... මම නපුරු මිනිහෙක්. මහ එපාම කරපු ජාතියෙ එකෙක්. මම හිතන්නෙ මගෙ අක්මාව වේදනා දෙනව. මොනාවුණත්, මගෙ ලෙඩේ ගැන තඹ සතේක දෙයක් මම දන්නෙ නෑ. රිදුම එන්නෙත් හරියටම කොතනින්ද කියන්නත් මට නිච්චියක් නෑ. වෛද්‍ය විද්‍යාවටත් දොස්තරවරුන්ටත් ගරු කරනව වුණත්, මම කවදාවත් මේ ලෙඩේට බේත් අරගෙන නෑ. තවදුරටත් කියනවනං, මම මිත්‍යාදෘෂ්ටිකයි සෑහෙන තරමට, අඩුගානෙ බෙහෙත් වලට ගරුනොකර ඉන්නෙ නැති තරමට. (මිත්‍යාදෘෂ්ටික නොවෙන්න තරමේ උගත් කමක් මට තිබුණත්, මම මිත්‍යාදෘෂ්ටිකයි). නැහැ මහත්මයා, මම බෙහෙත් නොගෙන ඉන්නෙ මගෙ තියන නපුරු කම නිසා මිස වෙන දෙයක් හින්ද නොවෙයි. දැන්, මේ කාරණේ නම් ඔබට කොහෙත්ම තේරුම්නොයන බව නම් සහතිකයි. හොඳයි මහත්මය, ඒත් මට ඒක හොඳටම තේරුම් ගන්න පුලුවන්. මගෙ නපුරුකම හින්ද විඳවන්න වෙන්නෙ කාටද කියල මම අමුතුවෙන් පැහැදිලිකර දෙන්න යන්නෙ නෑ. බෙහෙත් නොගෙන ඉඳීමෙන් මම දොස්තරවරලට "මහ වාතයක්" වෙන්නෙ නැති බව හොඳාකාරවම මම දන්නව. මේ හැමදේකින්ම අවසානෙ විඳවන්නෙ මම බව වෙන කාටත් වඩා හොඳට මම දන්නව. ඒව කොහොම වුණත් මම බෙහෙත් නොගෙන ඉන්නෙ නම් මගෙ නපුරුකම හින්දමයි. මගෙ  අක්මාව රිදෙනව.. හොඳයි එහෙනම් ඒක තව වැඩි වැඩියෙන් රිදුනදෙන්!!


I am a sick man.... I am a spiteful man. I am an unattractive man. I believe my liver is diseased. However, I know nothing at all about my disease, and do not know for certain what ails me. I don't consult a doctor for it, and never have, though I have a respect for medicine and doctors. Besides, I am extremely superstitious, sufficiently so to respect medicine, anyway (I am well-educated enough not to be superstitious, but I am superstitious). No, I refuse to consult a doctor from spite. That you probably will not understand. Well, I understand it, though. Of course, I can't explain who it is precisely that I am mortifying in this case by my spite: I am perfectly well aware that I cannot "pay out" the doctors by not consulting them; I know better than anyone that by all this I am only injuring myself and no one else. But still, if I don't consult a doctor it is from spite. My liver is bad, well--let it get worse!

ෆොයදෝර් දොස්තොව්ස්කි ගේ Notes from underground කෙටි නවකතාවේ  Pevear සහ Volokhonsky පරිවර්තනයේ ආරම්භක  ඡේදය . (සිංහල පරිවර්තනය මගෙන්)

දොස්තොව්ස්කි ගෙ මේ කෙටි නවකතාව බොහෝම වාර ගණනක් මුල් රුසියන් භාෂාවෙන් ඉංග්‍රීසි බසට පරිවර්තනය වී තිබුණත් ඉන් වඩාත්ම සාර්ථක පරිවර්තනය විදිහට පිළිගැනෙන්නෙ Richard Pevear සහ Larissa Volokhonsky යුවල විසින් 1994 වසරේදි පළ කරනු ලැබූ පරිවර්තනය. Pevear සහ Volokhonsky යුවල විසින් කල, දොස්තොව්ස්කි ගේ කරුමසෝ සහෝදරයෝ, ටෝල්ස්ටෝයි ගේ ඇනා කැරනිනා, යුද්ධය හා සාමය පරිවර්තනයන් වඩා නිවැරදි සහ ගුණාත්මක භාවයෙන් ඉහළ බව පොදුවේ පිලිගනු ලබනව.

මේ Notes from underground ඉංග්‍රීසි පරිවර්තනයෙ හැඳින්වීම වෙනුවෙන්  Pevear සහ Volokhonsky සම්පාදනය කල හැඳින්වීමෙන් කොටසක අදහස සරල සිංහල භාෂාවෙන්..

" Notes from underground නවකතාවේ පළමු වාක්‍ය ඛණ්ඩයෙන් පසුව යෙදෙන තිත් පේළිය (මම ලෙඩෙක්...) සාහිත්‍ය තුළ හමුවන අමතක කල නොහැකි චරිතයක ක්ෂණික දර්ශන මාත්‍රයක් අපට ලබා දෙන කුඩා කවුළුවක් වැනිය. ඉන් අප දකින්නේ දෑස් කොණින් අප දෙස බලා සිටිනා මිනිසෙකි. ඔහු අප කෙරෙහිද, තමන් පවසන වදන් තුළින් මතුවන හැඟුම් මාත්‍රයන් කෙරෙහිද මනා සේ සැලකිලිමත් ය. ඇත්තවශයෙන්ම, අපට ඔහු ඇසෙනවා මිස ඔහුව පෙනෙන්නේ නැත. එහෙත් කවුලුවක් වැනි ගරු කටයුතු යමක් තුළින් නොව. අපට ඔහු ඇසෙනුයේ පොළව පතුලේ ඇති වූ පැලුමකිනි. ඔහු අවට ලොව අමතන්නේ ඒ පැලුම තුළිනි. ඔහුද මුලු ජීවිත කාලයක් එයට සවන්දෙමින් කල් ගත කර ඇත. ඔහු ගැන මෙන්ම ඔහුට එරෙහිව කිව හැකි සියලු දේ ගැන ඔහු හොඳාකාරවම දනී. ..

මේ වීරයාට නමක් නැත. ඒ ඔහු තුළ අප හැමකෙනෙකුම නියෝජනය වන බැවිනි. විචාරක Viktor Shklovsky යෝජනා කරන පරිදි, දොස්තොව්ස්කිගේ අනෙකුත් බොහෝම කතානායකයින් ට සමානවම, මොහුද ලේඛකයෙකු විය යුතු ය. නමුත් ඒ මහා සාහිත්‍යධරයකු ලෙස නොවේ. ජීවිතයේ මුහුණපෑමට සිදුවූ යම් තත්ත්වයන් හමුවේ පෑනක් අතට ලිවීමට පොළඹවනු ලැබූ මිනිසෙකි. ලියනු ලබන වචනවලින් තමා තුළම වූ බිඳවැටුණු යමක් පිළිසකර කරන්නට වෙරදරන්නෙකි. අන් සියලු දේට වඩා ඔහු ලියනුයේ තමාම වෙනුවෙනි.එමෙන්ම කියවන, විචාරය කරන,විනිශ්චය කරන, සම සමව වාසය කරන සියලු දෙනා වෙත යොමුවූ දෑසිනි. ඔහුගේ උද්‍යෝගිමත් ආධුනික ස්වභාවය  ඔහුගේම ප්‍රකාශන ශෛලිය ද, එහි ආකෘතිය ද, එහි අන්තර්ගතය ද හැඩගස්වයි. පළපුරුදු ලේඛකයෙකු නම්, කිසිදු ඇද පළුද්දකින් තොරව, මනාසේ ගෙත්තම් කරන ලද සාහිත්‍යමය වියමනක් පරිද්දෙන් එය ඉදිරිපත් කරන්නට ඉඩ තිබුණි. නමුත් ඊට සංසන්දනාත්මකව පොළවෙහි ඇතුළු ගැබෙහි වෙසෙන මිනිසා ඔහුගේ කතාව අපට කියනුයේ කියවන්නා නොසලකා හරින, ඔහුගේම අභිමතාර්ථයන් ගෙන හැර දක්වන, ඉතා අක්‍රමවත්, නොහික්මුණු බසකිනි. ඔහු ගේ රචනයෙහි ඇති සාහිත්‍යවත් බව මෙන්ම ඔහුගේ රචනා ශෛලියෙහි ඇති සාහිත්‍යවත් නොවන බවද ඔහුගේ කැළඹිලිකාර මනස හේතුකොට ගෙනම ජනිත වූවකි. Notes from underground සමස්ත කතා සාරයම මේ කතාව අපට කියන මිනිසා මතද, ඔහුගේ ලේඛන ශෛලිය මතද රඳාපවතී. මෙලෙස සාහිත්‍යමය වශයෙන් දොස්තොව්ස්කි පෙන්වූ කුසලතාව මෙම ඉංග්‍රීසි පරිවර්තනය තුළද මනා සේ සුරැකී ඇත."



Tuesday, November 17, 2020

තව එක රැයක් පමණයි..

තනිවම
ආකාසෙ කෙළවරක එල්ලුණු අඩ සඳ
පොකුරක එක්තරා තරුවකට 
යන්තමින් හිනැහෙයි..
සර සර හඬින් සෙළවෙන
අඹ අතුපතර අතහැර
කොහේදෝ යන සුළඟින් බිඳක් ගෙට එයි..
මේ රැය
තව එක රැයක් පමණයි...

වැස්සක
සීතලෙන් සියොළඟ පිරිමැද
මන්දාරමක් පැතිරෙයි
වළාකුළු වළාකුළු අතරේ පවා
රහසින් අකුණු පිපිරෙයි
මේ රැය 
තව එක රැයක් පමණයි...

හාත්පස
පැතිරුණු ගණ නිහඬතාවය බිඳ
කිරලෙක් කෑ ගසා ගෙන පියඹයි..
නතර විය නොහැකි
කුඩා නැවතුම් පොළක් පසු කරන
දුම්රියක හඬ ඈතින් මතුවෙයි...
මේ රැය 
තව එක රැයක් පමණයි...

බොහො ඈත
අඳුරටත් මඟ වරදුණු වීදියක
කණමැදිරියෙකුගේ එළිබිඳක් සැඟවෙයි..
පොත් රාක්කයෙ
සුළඟට පිටු පෙරළි සටහන් පොතක
කුරුමිණි අඬු ඇද අකුරු 
අඩ අඳුරෙ බොඳවෙයි..
මේ රැය
ගෙවී යාමට නියමිත
රැයවල් දහස් ගණනක් අතර
තව එක රැයක් පමණයි...



Monday, November 16, 2020

The Babadook - 2014

යම් දෙයකට බය වීම සැහෙන පීඩාකාරී මනෝභාවයක් බව අපි දන්නෙ අත්දැකීමෙන්ම යි. තර්ජානාත්මක යමක්, ජීවිතයෙ යම් නුහුරුදායක තත්ත්වයක් හමුවෙ බිය ජනක හැඟීම් ඇතිවෙන මේ සහජ ගති ස්වභාවය, ස්වභාවිකවම අනතුරුදායක තත්ත්වයන් ගෙන් ගලව ගන්න ආරක්ෂන ක්‍රමවේදයක් විදිහටත් සමහර වෙලාවක ක්‍රියාකරනව. Horror වර්ගයෙ චිත්‍රපට වලින් කරන්නෙ මේ සහජ හැඟීම යම් වින්දනාත්මක තලයකට අරගෙන ඒම. සමහර චිත්‍රපටයක් නිකම්ම බය කිරීමකින් කෙළවර වුණත්, කලාකෘතියක් විදිහට චිත්‍රපටයකට එතනින් එහා ජීවිත විවරණයකට යන්න පුලුවන්. 2014 තිරගත වුණු The Babadook චිත්‍රපටය මේකට උදාහරණයක්. පියා අහිමි පවුලක මවක් සහ කුඩා දරුවෙක් වටා චිත්‍රපටයෙ කතාව ගොඩනැගෙන්නෙ. මේ දරුවා කියවන පින්තූර පොතක චරිතයක් වෙන භයානක රාක්ෂයෙක් Babadook නමින් හැඳින්වෙන්නෙ. පොතෙන් එහාට තමාට මේ Babadook සැබෑවටම හමුවෙන බව පොඩි එකා කියනව. තමාගෙ මවට හිරිහැර කිරීමට එන ඔහු ගෙන් මව බේරාගත යුතු බවත් පොඩි එකා නිතර කියනව. පොඩි එකෙකුගේ මනෝ විකාර කියමින් ඒවා නොසලකන මවට, සැබෑවට එවැනි යමක් සිදුවෙන බව හැඟී යන්නෙ ඇය මුහුණ දෙන යම් අත්භූත සිදුවීම් මාලාවක් නිසා. තත්තවය ක්‍රමයෙන් හැරෙන්නෙ වඩාත් භයානක අතකට.

මේ නිවසේ පෙනී නොපෙනී යන අද්භූත ආගන්තුකයෙකුගෙ ස්වරූපයෙන් අපි දකින Babadook ගෙන් සංකේතවත් වෙන්නෙ හුදෙකලා ගැහැණියකගේ යම් යම් අඳුරු මනෝභාවක් ද නැත්නම් පියා නොමැති කුඩා දරුවෙක් ගේ අනාරක්ෂිත බවද කියන කාරණය හිතන්නෙ චිත්‍රපටයෙ ඉඩ විවර කර තබනව. චිත්‍රපටය ඇතුලෙ භාවිත කර තියෙන රූපරාමු වල අඳුරු වර්ණ, Babadook ගේ අත්භූතජනක ස්වරූපය සහ විශේෂයෙන් මේ මවගේත් දරුවාගේත් චරිත නිරූපණයන් ඒ හැඟීම තවත් තීව්‍ර කරවන්න සමත් වෙනව. ජීවිතයෙ ඉතිරි අතෘප්ති කර ස්වභාවයන් කිසිදාක කෙළවර නොවෙන බවත්, නොයෙක් ආකාරයෙ බැඳීම් (චිත්‍රපටයෙ නම් මව සහ දරුවා) ආශ්‍රයෙන් අපි එක් ආකාරයට අපි ලඟ ඉතිරි ඒ හිස් තැන් තෘප්තිමත් කර ගැනීමේ නොනිමෙන ලුහුබැඳ යාමක නිරත වෙන බවත් චිත්‍රපටයෙ වටහා ගන්න බැරි, අවසානයක් නැති අවසානයෙන් කියවෙන බව මම හිතනව. Horror රසය සමග යම් ගැඹුරක් ඇති කතා පුවතක් ඉදිරිපත් වෙන චිත්‍රපටයක් විදිහට The Babadook හඳුන්වන්න කැමතියි.




Friday, November 6, 2020

වැස්ස

අසනු ඇත ඔවුන් ඔබෙන්
ඇයි මේ තරම් ආදරේ වැස්සට?
එවිට ඔබ ඔවුන්ට 
කියන්න මෙලෙසට..
මා දුකින් සිටිනා කල
තනිකමින් හිඳිනා කල
සිපගන්න බැවිනි 
වැහි බිඳු මා කොපුල
වෙලාගන්නා බැවිනි
හිරිපොද මා සිරුර
බොහෝ මිනිසුන්ට වැඩියෙන්
මෘදුව..
දයාබරිතව..

From a short poem of Nikita Gill



Thursday, November 5, 2020

Clouds (2020)

 5 Nov 2020 "ලංකා" පුවත්පත වෙනුවන්, Clouds (2020) චිත්‍රපටය ගැන ලියූ සටහන..


“බොහෝ අයට, ජීවිතයෙ තැමන්ට ලැබී තිබෙන දේවල් වල අගයක් නැහැ. සමහරු ඒ දේවල් වෙනුවෙන් සටනක නියැලිලා ඉන්න බව ඒ අය දන්නෙ නෑ. ඒත් විශ්වාස කරන්න, මම හොඳ සටන්කරුවෙක්”

එහෙම කියන්නෙ ඇමරිකානු ජාතික නව යෞවනයෙක් වුණු Zach  Sobiech. එයා උපන්නේ එක්සත් ජනපදයේ මිනිසෝටා හි සෙන්ට් පොල් වල. ඒ 1995 මැයි මාසේ තුන්වෙනිදා.

ඔහු දක්ෂතාවන් ගණනාවක් සතු වූ කෙනෙක්. තමන්ගෙ සිතුවිලි වචන බවට පෙරළන්නත්, ඒ වචන ගිටාරයක් වයමින් මිහිරට ගයන්නත් ඔහුට තිබුණෙ හොඳ හැකියාවක්. එක් අතකින්, ජීවිතය ඔහුට අසන්නන් පිනවීමට හැකි අපූරු තෑග්ගක් ලබාදෙද්දි වෙනත් යමක් ඔහුගෙන් උදුරාගෙන යමින් තිබුණා. Zach, සිරුරේ අස්ථිවල වැලඳෙන පිළිකා රෝගයකින් පෙළෙමින් සිටියා. ඔහුව පරික්ෂා කළ වෛද්‍ය වරු ඔහුට ජීවත්විමට ලබා දී තිබුණේ බොහෝම සීමිත කාලයක්. ඉතිං, Zach තීරණය කරනව තමන්ට හිමි මේ කෙටි කාලය තුළ මුළු ලොවටම ඔහු ගැන මතක හිටින යමක් කරන්න. ඔහු සතු වටිනා කුසලතාවයෙන් යමක් ලෝකයට දෙන්න.

ඒ තමයි Zach ගේ ජීවිතය ඇසුරෙන් නිමැවුණු Clouds ගීතය. එය මේ වන විට අන්තර ජාලීය ප්‍රේක්ෂකයන් 15,826,856ක් නරඹා අවසන්. ක්‍රමයෙන් බලාපොරොත්තු විරහිතව ජීවිතයේ අගාධ අඳුරට ඇද වැටෙමින් ඉන්න මොහොතක ආදරය විසින් ඔහුව ඔසවා ගන්න ආකාරය යි මේ ගීතයෙන් කියවෙන්නෙ

නව යෞවනය, ජීවිතය ගැන නැවුම් හැඟුම් ඇති කරවන කාලයක්. අත්තටු ලබල අහසේ පියාසරන නිදහස් සිතුවිලි හදවතින් මතුවෙන වයසක්. ආදරය, මේ යෞවනයෙන් වෙන් කරන්න බැරි යමක්. ඒ තරම් මේ වයසට ආදරය සුන්දර අත්දැකීම්ක්. Zach ට පමණක් මෙයින් ගැලවෙන්න පුලුවන් ද. Amy ඔහුගේ සිහින යුවතිය. ඔහුගේ ප්‍රේමය. එකම පාසලේ ඉගෙනුම ලබන Zach ගේ හිත සුරූපී Amy වෙත ඇදී යන්නෙ නිරායාසයෙන්. එකිනෙකා ගැන ඇතිවෙන සියුම් ආකර්ශණය යෞවන ආදරයක් බවට හැරවෙනව. ඔහු ගෙවමින් ඉන්නෙ කොයි ආකාරයේ දුක්බර ජීවිතයක් ද යන කාරණය දැන හිටියත් ඒ කිසි දෙයක් නොතකා Amy ඔහුට ආදරය කරනවා. ඒ කිසිවක් ඇගේ ආදරයට බාධාවක් කරගන්නෙ නෑ. ඇය ආදරය කරන්නෙ ඔහුගේ කැළැල් වලටත් එක්කමයි.

අනෙක් අතින් Sammy. බාල වයසෙ පටන් Zach ගේ හොඳම මිතුරිය ඇයයි. ඔහු ලියන ගී පද මුලින් කියවන්නෙ Sammy. ජීවිතයේ ඕනෑම දුකකදි ඔහු ලඟ ඉන්න හිතවතිය ඇය. මේ දෙන්නා අතර රහස් නැහැ. ඒත් වඩා දුක සැප බෙදාගන්න ළඟම මිතුරිය විදිහට ඇය, සියුම්ව සහ අප්‍රකාශිතව ඔහුට ප්‍රේම කරනව.

සැබෑම Zach  Sobiechb මිය යන්නෙ 2013 මැයි මාසේ 20වෙනිද. වයස 18 සම්පූර්ණ කර දින 13කින්. ඔහුගෙ මරණයත් එක්ක Clouds ගීතය අන්තර්ජාලය ඇතුළෙ විශාල ජනප්‍රියත්වයක් ලබනව. Billboard ගීත දර්ශකයේ ඉහළ ස්ථානයකට එනව. සංගීත ලෝකයෙ දිදුළන තරු කීපදෙනෙක් ඔහුගෙ Clouds ගීය නැවත ගායනා කරනව. කෙටි ජීවිත කාලයක වුණත් කෙනෙකුට කොයිතරම් විශාල දෙයක් ලෝකය වෙනුවෙන් කළ හැකිද.. ඒ ඔහු තමන්ගෙ ජීවිතයෙන් දෙන ආදර්ශය. ඔහුගෙ පවුල, අස්ථි පිළිකාවෙන් පීඩා විඳින දරුවන්ට උපකාර කිරීමේ අරමුණෙන්, Zach නමින් අරමුදලක් පිහිටුවනව. ඩොලර් මිලියන ගණනක මුදල් එයට එකතු වෙනව.

“මට පමණක් නොවෙයි. අපි හැමකෙනෙකුටම ඉතිරි වෙලා තියෙන කාලය සීමා සහිතයි. ඉතින් මට, මගෙ කාලය ඇතුලත කරන්න උවමනා වුණු දෙය බොහොම සරලයි. මට උවමනා වුණා අනෙක් අයට සතුට ලබාදිය හැකි යමක් කරන්න.  ඉතිං මම හිතනව මගෙ කතාව උදව්වක් වෙන බව, ජීවිතය හොඳින් ගත කරන්න නම්, ඔබ මැරෙන බව වටහා ගන්නකම් ඉන්න එපා”. ඒ තමයි Clouds ගීතය නිමවූ Zach  Sobiechb වචන.

දැන් Zach  Sobiechb ගේ Clouds ගීතය ඇතුළත්ව සිනමාපටයක් නිර්මාණය වෙලා. ඒ සිනමාපටය Clouds. චිත්‍රපටය  2020 ඔක්තොබර් 16 දින මුදාහරින්නෙ Disney සමාගම විසින්. Clouds අධ්‍යක්ෂණය කරන්නෙ මෑතක ඉතාම ජනප්‍රිය වුණු වගේම යෞවන ප්‍රේමය තේමා වුණු Five Feet Apart අධ්‍යක්ෂණය කළ Justin Baldoni විසින්.

Clouds චිත්‍රපටයෙන් දැක්වෙන්නෙ Zach ගේ ජීවිතයේ අවසන් වසර කීපය. ඔහු තමන්ගේ දෙමව්පියන්, හිත මිත්‍රයන් සහ ඔහු ආදරය කරන අය සමග අවසාන මොහොත දක්වා ජීවිතය ගෙන යන ආකාරය ගැන. ක්‍රමයෙන් තමන් වෙළාගනිමින් ඉන්නා මරණයේ අඳුරු සෙවණැලි වලට එරෙහිව ඔහු සටන් කළ ආකාරය ඒ මුළු චිත්‍රපටයට පුරාම ලියවෙනවා.

එය ජීවිතය තම ඇඟිලි අතුරින් ගිලිහී යන බව දැනහුන් යෞවනයෙකුගේ ජීවිතය අප වෙත දිගහරින විචිත්‍ර සිනමාපටයක්.

 හෂාන් රන්දික ඩයස්

Edit by - Sisira Yapa