Showing posts with label සිවුපද. Show all posts
Showing posts with label සිවුපද. Show all posts

Monday, August 10, 2020

 තරු පොකුර


සිහින් එළි බිඳු බිඳු පෙරා දී වළාකුළු අතර
දුරින් උන්නද මුළු රැය පුරා අහසේම වැතිර
අතින් පිස දැමුව පසු මඟ කියු තරු පොකුර
ඉමක් නොපෙනෙන හිස් ඉඩකි වැලි කතර




Friday, June 14, 2019

මහපාරට.....


තැන තැන අතැර යන කුණු කන්දල් දුගඳ
යන එන දනන් ලන කෙළ පහරද නිබඳ
උසුලන හදින් උන් නිසි රිසි තැන් වලට
ගෙන යන අයුර නුඹ මහ අරුමෙකි මිතුර..





Wednesday, March 27, 2019

පහන් පාමුල


බොහෝ දිගු රැය වල
තනිකමේ රුදුරු
ලසෝ දුක් පිසදමා
ළඟින් හිඳ සොඳුරු
හාත්පස එකළු කර
සිය එළිය පැතිරු
පහන් පාමුල තමා
වැඩියෙන්ම අඳුරු..





Wednesday, March 13, 2019

ප්‍රේමය!


හදක මතුවී නැගෙන ආලය
බිඳවැටී ගිනි දැවෙන ශෝකය
දිනක වූවද විප්‍රයෝගය
සබඳ.... මනරංජිතයි ප්‍රේමය.





Tuesday, March 5, 2019

නෙතු බැල්ම


බිඳෙන් බිඳ නැගෙන කල වියරු රළ මාරුතය
කොහොම උහුලාගම්ද ගැඹුරු හද සාගරය
තියුණු තුඩු ඇනෙන කල දුක් සුසුම් හී සරය
නුඹේ නෙතු බැල්මකින් කියව ගමි ජීවිතය..






Tuesday, February 26, 2019

මිහිරිය


පියමැන මගෙහි මෙතෙක් දුර පැමිණිය
අතින් අත නොරැඳි ගිලිහි ගිය මිහිරිය
නුඹන් ලද මතක හදෙහි නොව පැරණිය
කඳුලකට කොපුලතක් තරමින් ම ළබැඳිය





Monday, November 5, 2018

අතුරු මාවත් දෙකක්



මඳ අඳුර සමඟ ළා සිහිලසම රැඳුන
දුර ඈත ලඳු බිමේ තුරු සෙවණ අතර
දම් පාට කැලෑමල් පිපී ඇති තැනක
අතුරු මාවත් දෙකක් මුණගැසී තිබිණ..

මල් සුවඳ සුළඟ හා මුහු වුණේ එතැනිණි 
මත් බිඟුන් කැළ තුටුව පියැඹුවේ එතැනිණි
සීත උල්පත් කඳුරු උනන්නේ එතැනිණි
ගී ගයන සියොත් කැළ නික්මුණේ එතැනිණි

මිදී මහ මාවතෙන් පැමිණ මේ බෝ දුර
මිනිස් ඇස නොගැසෙනා සීත ඉම් පෙදෙසක
මෙතක් දුර පැමිණි දුක් කඳුළු හා මුසු කර
පිරිමැදුණි හදට හද ගැහෙන සම රිද්මෙට

ලං ලංව හමුවුවද උනුන් හා මෙලෙසට
ගමන නම් අතරමග හැකිද නවතින්නට
හැරෙන බව දැන ගෙන නැවත මහ පාරට
සිහින් සුසුමක් සෙමෙන් නික්මිණිය සුළඟට

මඳ අඳුර සමඟ ළා සිහිලසම රැඳුන
දුර ඈත ලඳු බිමේ තුරු සෙවණ අතර
දම් පාට කැලෑමල් පිපී ඇති තැනක
අතුරු මාවත් දෙකක් වෙන්ව ගොස් තිබිණ..





Wednesday, September 5, 2018

කවිය සහ රිදුම


කුසුමක් නැගෙන්නේ සුසුමක්ලන ගසෙනි
කඳුලක් පිසින්නේ රිදුමක් හුරු අතෙනි
රිදුමක් තියෙන්නේ කවියට ලඟ දුරෙනි
කවියක් ගලන්නේ පැලුමක් ඇති හදෙනි.





Monday, August 6, 2018

සුළඟ මොනව දන්නවද මල් දරන ගස් ගැන......


සියුම් ලා දළු අතර හිතුමතේ හැමුවට
සුළඟ මොනව දන්නවද මල් දරන ගස් ගැන
ඉපල් අතු ඉති මැදින් තුරු පතක් පැළඳගෙන
වසන්තේ හැරගියත් සිනාසිය හැක ගසකට...

දුර ඈත සමණල්ලු සොයා එන තරමට
මකරන්ද සතර අත පැතිර යන තරමට
තුරු සිරස සොඳුරු මල් පිපී එන තරමට
වේදනාවේ මුල් තවත් ගිලී යයි ගැඹුරට..





Monday, July 30, 2018

රෑනෙන් මිදුණු කුරුල්ලෙක්



අත්තටු සලසලා මීදුම් සළු   අතරේ
සිත්ලෙස නැගූ ගී හඬ නිලඹර ඉතිරේ 
එක්වී පියාඹන සියොතුන් කැළ අතරේ
නුඹ පමණක් තනිව කොයි යනවද මිතුරේ

රතු හොට අයා ඒ සියොතුන් නගන නද
රසබර නුඹෙ හිතට මිහිරක් නොදෙනවද  
තනිව පියාඹන තටුදෙක රිදෙනවද
කුරුල්ලෝ නුඹට තනිකම දැනෙනවද

මිතුරන් සමග පියඹායන විට රෑනේ
උන් යන තැනක මිස වෙන ගමනක් නෑනේ
උන් හා සම නොවෙති නුඹ දකිනා හීනේ
නුඹෙ හිත රැඳී ඇත තුරු වදුලක් ගානේ

සාර ඵලය අඹ දඹ තුරු සිනා සලා
මීර ජලය ඇල දොළ කඳු පිටින් හලා
සාර උයන් නුඹෙ මිතුරන් පසු කලා
නෑර තුටින් යනවද යලි එදෙස බලා

සුන්දර බව නොදන්නා රුදු හිත් අතර 
ඉන්නෙද කෙලෙස අත්තටු විදහා නිතර
සුන්දර වන මලක් අසලින් වී නතර
ගින්දර නිවාගෙන ඉඳපන් මගෙ මිතුර

2016/07/29






Thursday, June 28, 2018

මදුවැල්


අතු ඉති වසාගෙන හැම කල්
පිපුණ මල් හැලුනු පසු මනකල්
ඉතිරි වුණ තනි ගස් බදා ගෙන සුවිසල්
වැඩෙනා පිළිලයක් ද මේ මදුවැල්?





Tuesday, June 19, 2018

නිහඬ විණ ඒ රන් ස්වර ...


දකුණ නැගෙනහිර සහ බටහිර උතුර
එක ලෙස රස කෙරූ ගී පද අම වතුර
රන් දෙවොලෙන් දෙවිවරු බැස යන අතර
නික්මී ගිහින් රහසෙම හද රන් ස්වර...

බොඳවී ඇත පෙරඹර පෑයු ගුරු තරුව
උදුම්බරා ඇයි අද වෙරළේ ගොළුව
දහස් ගණන් කෙත් වතු බිම් සරු කෙරුව
අංගාරා ගඟ ගලයි දුක වාවනු බැරුව...

අඳුරු කුටිය තුළ නොවසන දෙවිවරූ
ගිණියම් අව්වේ වැඩවසන දෙවිවරූ
වළාකුළෙන් පොළවට වඩින දෙවිවරු
ඉතින් අපට පෙන්නා දෙන්නෙ කව්රූ...

රාසි වෙවී ජන කව් පද ගායනයේ
දේව පුතු ද නැළැවූ රස සාගරයේ
මාස්ටර් සමග මැව් ගී ආකරයේ
බේස් හඬ අඩුය සිරිලක හාමොනියේ...

ඉරවට යන ඉරවට යන ගිරව් ගිහින්
මලවටකර රැඟුම් රඟන බඹරු ගිහින්
රකුසන් නාද කරනා බැවින් ගොරබිරම්
ස්වර්ණමාලියේ උඹ ගහ උඩම ඉඳින්..

ඉඳිකටු තුඩක් මෙන් හද පත්ලෙහි ඇණුන
කරුණක් වේය ඇස කඳුළැල් බොඳ කරන
පියඹා ගිය පසුව ඒ කොවුලන් පරණ 
සොහොනක් නොවෙද මේ කපුටන්ටම ඇරුණ..

-----------------------------------------------------------------


 අයිවෝ ඩෙනිස් මහත්මයා අපේ රටේ බිහිවුණ සුවිශේෂී සංගීතවේදියෙක්
පහත් ස්වර පරාසය ඒකියන්නෙ බේස් ස්වර හොඳින් ගායනා කරන්න පුලුවන් දුර්ලභ 
කටහඬක් එතුමාට පිහිටලා තිබුණෙ. ලංකාවෙ ප්‍රධාන සංගීතඥයින් දෙදෙනා 
 සුනිල් සාන්ත සහ ප්‍රේමසිරි කේමදාස තමන්ගෙ ප්‍රධාන ගායකය විදිහට 
යොදාගත්තෙ එතුමාව. විශේෂයෙන් කේමදාස මාස්ටර් එතුමාගෙ ඒ හඬෙන් හොඳට 
වැඩගත්ත. අයිවො ඩෙනිස් මහත්මයා ලංකාවෙ සංගීතයට කල සේවය මේ තරම් කියන්න බැහැ. 
සංගීත ගුරුවරයෙක් විදිහට විශේෂයෙන් ලංකාවෙ ජන සංගීතය හදාරමින් ඒ දැනුම තවත් ශිෂ්‍ය 
පරම්පරාවන් ගණ්නාවකට ලබා දෙමින් එතුමා කල සේවය විශාලයි. ඒ වගේම ලංකාවෙ 
කිතුණු සංගීතයේ එතුමා නිර්මාණය කල තනු බොහොමයක් තවම දේවස්ථාන වල අපි ගායනා 
කරනව.ඉතින් මේ සංගීතය අපි හෙටත් රසවිඳීවි. ඉන් මතුවටත් මේව පවතීවි. අවසාන වශයෙන්  
මේ හැම දෙයක් වෙනුවෙන්ම ඔබට ස්තූතියි.






Friday, June 15, 2018

කන්කොටා

යාල වනෝද්‍යානයේ "කන්කොටා" නම් සුප්‍රසිද්ධ කොටියා මරා මස් කර තිබියදී සොයා ගැණින. 

රන් බඳේ වැටුණ රන් ගෝමර දිලුනයි
පින් කඳේ රුවට යාලම එළි වැටුණයි
ලෙන් දොරේ සිහිල් හෙවණක කල් ඇරුණයි
කන් කොටේ නමට මුළු වනපෙත නැමුණයි

වනේ ගහකොළක පාටින් හැර නොයන
සෙනේ බැඳන් ගස් ගොමු අතරේ රැඳුන
කුසේ දැවෙන ගින්දරකට දැන පමණ
ගතේ සවිය නොයෙදුණි ගොදුරක් නසන

පානම් පත්තුවේ අහසින් කිරණ හලා
ඉර මිය ඇදුන කලුවරවූ රැයක ඉතා
හෙවණැලි අතර බඩගා ලේ සුවඳ බලා
නොදුටුවෙ ඇයිද උඹ දෙපයින් ආපු සතා

වනමල් පිපී සුවඳින් බරවුණු ලන්දේ
අවකල් කුයිලයකි ඒ රැය වහගත්තේ
සිහිලැල් සුවය විඳිමින් සිටියදි බැද්දේ
සිහිනෙන්වත් නොමැත උඹ ඒ වග දැක්කේ

අඩි තිය තියා ගණ අඳුරේ මස් වැද්දා
යකඩ දුනු බටේ දුනුදිය ගෙන ඇද්දා
රන්වන් පපුවටම එල්ලය ගෙන විද්දා
ගැලු ලේ කඳට මහ පොලවත් ඉකි බින්දා

අරුණලු කැරලි පැතිරෙන විට හතර වටින්
ඇඟ මස පැටවුණිය මන්දිර වහල යටින්
සිල් පද රකින ඒ උතුමන් මේස උඩින්
මස් රස බැලුනි ලෝකෙට බණ දෙසන කටින්

කලුවර අදත් ගුලිවෙනවා වන අරණේ
පිහිටට කතරගම දෙවියොත් නැහැ සරණේ 
හඬගා කියනු බැරි හින්දය උඹ මැරුණේ
ඉතින් කොහොම සැතපෙනු ගිනිගත් දෙරණේ... 

2016/06/15




Wednesday, June 13, 2018

නෙත්සර


අමා බඳුනෙන් බිඳක් මුහුකර
කියා ගනු බැරි වදන් දියකර
තබා හද මන්දිර සිදුරු කර
මුදා හල හීයක් ය නෙත්සර..





Saturday, May 19, 2018

සිතුවිලි ගිලන් ව..


බෙදා ගත නොහැකි සුසුමක
සදාතන වෙහෙස පමණද
ගිලානව ඇලව වැතිරුණ
මළානික මුහුණ සඳවත.

තබා මුදු දෙතොල සුළගට
බදා වැළඳ ගනු නොහැකිව
ඔහේ පාව යන්නෙද මේ
වළාකුළු පවා අඳුරු ව.

වෙලී ගෙන උනුන් බඳ වට
එතී ලිය මඬුලු පැටලුන
කතා වෙන රහස් හෙමිහිට
තරුවකට කොහොම ඇහුණද.

නොහිම් රැය වසා පැතිරුණ
අනන්ත වු අහස වගුරන
සිහිල් පිනි ලෙසින් එකිනෙක
හැලෙන්නේ රැයක කඳුලු ද.

2017/05/19




Friday, May 4, 2018

නෙළුම් මල්


බොහො උස්ව වැඩුණාට පොළව මත මෙතෙක් කල්
කොහොම දළු දමන්නද සිඳුණු කල ගසක මුල්
හමුවුණත් කොයිතරම් පෑදි දිය පිරුණු විල්
මඩ දියේ පමණක්ය හටගත්තෙ නෙළුම් මල්






Monday, April 16, 2018

නිල් පුරුක්


නිතර යන එන අඩිපාරේ වැට මායිමේ
නිල් පුරුක් මල් දරාගෙන එක පෝලිමේ
වන්දනාවේ යන සමනලයිනේ මී මැස්සනේ
මන්ද මේ ඉසව්වෙන් නුඹ නොයන කාරණේ?

සෑදී කුඩාවට ලාදළු අතු අගට
පීදී සුනිල් මල් නගමින් සොඳ රුවට
පෑගී පයට යනෙනා ගොන් කුර වලට
පේවී හිඳිනු පමණද උරුමය නුඹ ට?

තැනි පොළව වසාගත් සමතලා කොළ පාට
ඔපවේය නුඹ අතින් තැවරිලා නිල් පාට
රොන් සුවඳ විඳින්නට කෙනෙකු ලඟ නැතුවාට
අඩු නොවේ කිසි දිනක නුඹේ මල් පෙති පාට

මහ උසට වැඩුණු තුරු සෙනඟතර මේ බිමේ
දුහුවිල්ල වැසුණු මිහිතලේ සුවඳ උරමිනේ
පියාසලනා ඈත සමණලුන් දෙස බලමිනේ
සිය දහස් ගණන් තව නිල් පුරුක් මල් පිපේ.





Friday, March 16, 2018

තණකොළපෙත්තාණනි මා මිතුර..



උදා හිරුරැස් සමග අළුයම්ව ඇහැර
සීත පිනි කැට විසුල තණ පියලි අතර
සිනිඳු පා පොඩි තබා ඇවිදිමන් නිතර
තණකොළ පෙත්තාණනි මා ගී ගයන මිතුර

වස්සාන වළාකුළු ගොඩ ගැසෙයි අහස් කොණ
තවත් අහරක් සොයා දුවයි කළු කුහුඹු රැළ 
ගිටාරේ තනු මැවෙයි මුදු සරින් සුසර කළ
අලුත් ගී පද ගොතා ගයයි නුඹ මියුරු ලෙස

නැති බැවින් ගොඩගසා අහර පොදි අහුරු
සිත තුටින් මේ ලෙසට ගයනවද මිතුරු
එහෙත් යම් දසුනකින් සසල වේ හද මැදුරු
කියාපන් මගෙ මිතුර ඇයි මේ ගිටාරේ කඳුළු ?





Tuesday, March 6, 2018

මතක සළුපිලි එකින් එක ලිහා දැමෙන සංකාබර වූ හැන්දෑ වරුවක දී ය.



හැන්දෑවේ හිරු මියැදෙන අඳුරු නිමේශෙක 
ගංගාවේ රළ ඉවුරක ගිමන් හරිනකොට
සංසාරේ හීන අහුරු ලිහී ගොසින් හිත
සංකාවේ රතු දළු පොඩි එතේවි බඳවට

උයනක සමුදුරු වෙරළක ළවැලි තලාවක
අවන්හලක බස්රථයක පිටුපස අසුනක
බොඳවුණු රූ සිතුවම් පට පෙළින් පෙළට ඇඳ
මතක කිමද තවමත් දැවටෙනුයේ හදවත

මීවිත මධු මායාවෙන් පැමිණ බොහෝදුර
සීතල බිඳුවක් එබේවි ජනේලයෙන් ගෙට
අතීතයේ කටු පඳුරේ සුසුම් කැකුළු සිඳ
ජීවිතයේ රෝස කුසුම පිපී එයිද හෙට

දවස පුරා ඇවිදිනකොට මග මරුවැල් මැද
පවස නිවන සුව ගෙනේද මිරිඟු වතුර පොද
පහන් තරුව හැන්දෑ අහසට එන මොහොතට
නිල් දෑසක එළි දිලේවි ඝන කළුවර බිඳ

වන්දනාව තවත් දුරයි යා යුතු හෙමිහිට
දෙපා රිදුම් දෙයි දිවියේ මහ ගිරිදඹ නැග
විඩා දැනෙන ළය මොහොතක් නිවා දමන්නට
ඔබේ එකම සිනා පොදක් අරගෙන එනවද..




Thursday, December 21, 2017

නගරයට රෑ වී....


අහස් ගෙයි අවරග දොරටු හැර
බිම වැටෙයි කළුවර නගරේ වීදි වල
නිවෙමින් දැල්වෙන නියොන් එළියක් ලඟ
සොයයි රෑ සලබයෙක් නිවැරදි මඟ තොට

අඩ අඳුර පිරුණු අවන්හලක ඇතුලත
දුක් දැවී නැගෙන දුම් මතුව එයි තැන තැන
බඳුන් පුරවා පිරෙන බීර අහුරක පෙන බුබුළක
කඳුළු බිඳු  දිලිසෙයි රත්තරන් පාටට

දාවලේ තරඟයට හමාගිය සුළඟද
හති අරියි පාරබඩ මී ගහක හෙවණ යට
තවත් දුර යාමට ඇති බැවින් අරුණට පෙර
දුරගමන් බසයක් හඬයි රැහැයියෙක් වෙනුවට 

කළුවන් සෙවණැලි සේ මා වවුල් පිරිවර
වැළඳගෙන විදුලි රැහැන් මත හාදු විසුරුවන
උදෑසන ලිහෙන ඝන මීදුම් සළුපිලි අතර
හමුවන්නෙ අන්න ඒ වවුලෙකුගෙ මළකඳ