Thursday, October 20, 2022

සැලී උද්‍යානය කෙළවර...

සැලී උද්‍යානය කෙළවර
හමුවුණමි මා මගේ ප්‍රේමිය..
හිම කුමරියක සේ සුමුදු
දෙපා තබමින් ඇය
ඇවිද ගියේ සැලී උයන පසුකර....
අයැද සිටියා ඇය මගෙන්
ඉවසිලිවන්ත වන්නැයි ප්‍රේමයෙහි
බිඳෙන් බිඳ දළු දමන්නා සේ තුරු පත්...
ඒහෙත් තුරුණුව අනුවණව සිටි මා
ඒකඟ නොවූවෙමි ඇය හා.....

ගංගාව අබියස කෙතෙහි..
සිටියෙමි මම මගේ ප්‍රේමිය සමග
හිම කුමරියකගේ මෙන් වූ
කුඩා ඇගෙ දෑත
දවටමින් මා කෙසඟ උරහිසෙහි
අයැද සිටියා ඇය මගෙන්
ඉවසිලිවන්ත වන්නැයි ජීවිතයහි
ගං ඉවුර මත ඇති තෘණ මෙන්
ඒහෙත් තුරුණුව අනුවණව සිටි මා
පසුවෙමි කදුලින්ම දැන්....


A traditional Iris folk song modified into a poem 

~William Butler Yeats



Monday, October 17, 2022

කුමර කොබෙයි

මිනිසා ස්වභාවයෙන්ම සංචාරය ප්‍රිය කරන්නෙකි. ලැබෙන කුඩා හෝ විවේකයෙන් අපි බලන්නෙ කොහේ හෝ ඇවිදින්න යාමටයි. මේ සංචාරය කිරීම, පරිණාමිකව මිනිස් වර්ගයාට උරුම වුණු නම්‍යතාවයකි. හෝමෝ සේපියන් මානවයා මේ නොදුටු ඉසව් සොයා ගමන් යාමෙ කුතුහලයෙන් නොපෙළී, ගුහාවාසීව පහසුවෙන් සොයා ගත හැකි සුලු අහරකින් යැපීමට හුරු වූ බව සිතන්න. එසේ නම් අප්‍රිකා මහද්වීපයේ එක් අඳුරු මුල්ලකින් බිහි වුණු මේ මානවයා අන්දමන් දූපත් සිට ඇලස්කාව දක්වාත්, සයිබීරියාවේ සිට මැඩගස්කරය දක්වාත් මේ මුළු පොළෝ තලය පුරා විසිරී පැතිරී යන්නට ඉඩකඩක් නොමැත්තේම ය. නමුත් නිතර අලුත් දෑ කෙරෙහි කුතුහලෙන් පසුවූ ඔහු තම පැවැත්ම සංකීර්ණත්වයෙන් වඩා සංකීර්ණත්වයට ගෙන ගියේ ය. ඒ නිසා අද මිනිසුන් ගේ මේ ගමන් බිමන් ද වඩා පැතිරුණු අරුමුණු අනුව විසිරී ඇත. බොහෝ විට මේ ගමන් මාර්ග වැටී ඇත්තේ මිනිස් වර්ගයාම නිර්මාණය කරගත් එකිනෙකට මුළුමනින්ම වෙනස් ද නොවන සමාන ද නොවන නොයෙකුත් සංස්කෘතීන් හරහා ය. භෞතික වශයෙන් දූපතකට සීමාවීම නිසා ලාංකික අපට මේ සංස්කෘතික විවිධත්වය අත්විඳගන්න ඉඩ ලැබෙන්නේ, මහද්වීපික වැසියන්ට සාපේක්ෂව අඩුවෙනි.

ශමෙල් ජයකොඩි ලේඛිකාවගේ, "කුමර කොබෙයි" නවකතාව පදනම් කරගන්නේ  ශ්‍රී ලංකාවේ ඉපදී පසුව මාතෘ භූමියෙන් වෙන්ව ඇමරිකාවේ විප්‍රවාසගතව දිවිගෙවන ඉන්දිකා නම් මැදි වයස් ගැහැනිය සිය පෙම්වතා මුල්වරට මුණගැසීමට ඇමරිකානු මහද්වීපය හරහා යන දීර්ඝ සංචාරයයි..

ඇමරිකාවේ නිව් ජර්සි නගරයෙ දිවි ගෙවන ඉන්දිකාට තවමත් ගැලපෙන සහකරුවෙක් නොසිටීම ඇගේ ඇමරිකානු සමාජයට ද යම් ආකාරයක ගැටලුවක් වෙයි. අඩුවශයෙන් ඇය මැදිවයස ඉක්මයාමට පෙර දරුවෙකු හෝ සිටිය යුතු බව ඒ සමාජයෙන් ඇයට ලැබෙන අවවාදයයි. ඉන්දිකා එය ප්‍රතික්ෂේප කරන්නේ නැත. නමුත් ඈ පැතූ ලෙස ආදරය ඇගේ ජීවිතය තුළ හටනොගැනීම ඇයව වේදනාවට පත්කරයි. ඉන්දිකා වැඩිපුරම බියවන්නේ නිසි වයස ඉක්මගොස් දරුවෙකු ලැබීමට නොහැකිවේ යන කරුණටයි. ඇමරිකාවේ වැනි අතිශ්‍ය නිදහස්කාමී සමාජයක වුවද මවක වීමට ගැහැනියක සතු ස්වභාවික නම්‍යතාව වැදගත්‍ ලෙස පිලිගැනෙයි.

ඇමරිකාවේ බටහිර ඉවුරේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ වෙසෙන අනවසර පදිංචි කරුවෙකු වන කාලිංගව ඉන්දිකාට දැන හඳුනා ගන්නට ලැබෙන්නෙ මේ අතරයි. ඇමරිකානු මහද්වීපයේ ඒකොණ සහ මේකොණ වෙසෙන ඔවුන් දෙදෙනාට හමුවන්නට ඉඩ ඇත්තේ දුරකතන මාර්ගයෙන් පමණි. සැතපුම් පන්දහසක් පමණ දුර ගෙවා කාලිංගව මුණගැසීමට යාමට ඉන්දිකා සූදානම් වෙයි. මේ ගමනට ඇය හා එක් වන්නෙ ඇගෙ හොඳම මිතුරිය නිර්මලා ය. නිර්මලාගේ මිතුරියක් වන අරුන්දතී ද ඔවුන් හා එක්වෙයි. "කුමර කොබෙයි" මේ ගැහැනු තුන්දෙනා ඇමරිකානු මහද්වීපය හරහා කරන සංචාරයේ වෘතාන්තයයි. 

 "කුමර කොබෙයි" ප්‍රධාන වශයෙන් ගැහැනු තිදෙනෙක් මුල් කරගෙන ලියවී තිබෙයි. එයිනුත් කතාව අපට ඉදිරිපත් වන්නේ ඉන්දිකාගේ දෘෂ්ටිකෝණයෙනි. ඒ නිසා එය නිරායාසයෙන්ම ස්ත්‍රීත්වය ආත්මය කොටගන්නා නවකතාවකි. මාතෘත්වයද එයින් වෙන් නොකළ හැකි කොටසක් බවට පත්වෙයි. ඉන්දිකා, නිර්මලා සහ අරුන්දතී මේ තිදෙනාම ජීවිතේ මැදි විය ගෙවාදමමින් ඉන්නා අය යි. ජීවිතේ බොහෝ කඩඉම් පසුකර අත්දැකීම් ලබා සිටින අය යි. මේ තිදෙනාගේම එකිනෙකට වෙනස් අරුම ආදර කතා ගමන අතර මැද ක්‍රමයෙන් නිරාවරණය වෙයි. එවිට ක්‍රමයෙන් ඉන්දිකාත්, නිර්මලාත් අරුන්දතීත් ශමෙල් ජයකොඩි ලේඛිකාවගෙන් මිදී ඇය ලවා ඔවුන්ගේ කතාව තමන්ම කියවාගන්නා තිදෙනෙක් බවට පත්වෙයි. චරිත නිර්මාණය කිරීමේදී ඔවුන් මහපොළව මත පය ගසා සිටින සැබෑම මිනිසුන් බවට පත් කිරීමට කතුවරිය සමත්වී ඇත්තේ ඒ ආකාරයට යි.

කිසියම් ආකාරයකට මහා මාවතක සිදුවන ගමනක් කේන්ද්‍රකොට ගෙන නිර්මාණය වෙන චිත්‍රපට Road movies ලෙස හැඳින්වෙන්නා සේ ම මේ නවකතාවද Road novel ලෙස හැඳින්වීම සුදුසු දැ යි නොදනිමි. නමුත් මෙය ලාංකික නවකතාව තුළ අලුත් අත්දැකීමක් බව සහතික ය. මේ ගමන තුළ නගරයෙන් නගරයට සිදුවන පාරිසරික වෙනස්කම් මැනවින් චිත්‍රණය කරන කතුවරිය පාථකයාටද ඉන්දිකාලාගේ මෝටර් රථයේ අසුනක් වෙන්කර ඔවුන් සමග මේ ගමන යාමට ඉඩ සලස්වයි. මේ ගැහැනු තිදෙනාගේ කතා අතර ඔවුන්ගේ ජීවිතාන්දර මෙන්ම තවත් අතකින් ඇමරිකානු සමාජයද නිරාවරණය වෙයි. එරට පවතින අති දියුණු ආර්ථිකයේ බර දරා සිටින කුලුණු වන සැලසුම් සහගත උන්නතිකාමී පුරවැසි ජීවතයේ සැබෑ ඇතුළාන්තය ඒ සංවාදයන් ඔස්සෙ මතුවෙයි. ඉන්දිකා මේ ඇමරිකානු දියුණුවේ ආලෝකධාරාවන් ගෙන් දෑස් අඳ කර නොගන්නට වෙර දරන තැනැත්තියකි. නමුත් මේ ගැහැනු තුන්දෙනාම පොදුවේ මාතෘභූමියෙන් වියෝ වීමේ සියුම් වේදනාවකින් පෙළෙති. 

ගමනක නම් දිශානතියක් අරමුණක් සේම යන මාර්ගයද වැදගත් වෙයි. ඉන්දිකාගේ සැන් ෆ්‍රැන්සිස්කෝ ගමනද ඒ අතර අරුන්දතී සහ නිර්මලාගේ ජීවනාන්දර වෙත නිරාවරණය වීමෙන් ආත්මිකව ඇය අත්විඳින වෙනස නවකතාවේ මතුවෙයි. අවසානයේ සැන් ෆ්‍රැන්සිස්කෝහි නතර වන්නේ නිව් ජර්සි නගරයෙන් පිටත්වන ඉන්දිකා නොව, වඩා බලාපොරොත්තු සහගත, ආදරය අබිමුව ජීවිතේ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් මනසකින් යුත් වෙනස්ම ඉන්දිකා කෙනෙකි. පිලා කෝෂයක සිට උපත ලබන සමනලියක සේ ඇයට අලුතෙන් ජීව්තට මුහුණපෑමට පන්නරය වන්නේ ඇගේ හොඳම මිතුරිය නිර්මලාත් අතරමග හමුවූ අරුමැසි ගැහැනිය අරුන්දතීත් බව කීම වරදක් නොවේ. "කුමර කොබෙයි"  නවකතාව  ඇමරිකානු සමාජය මෙන්ම ආදරය, විවාහය, මාතෘත්වය සබැඳිව ගැහැනියකගේ ආත්මයේ සියුම් ජීවන කම්පනයන් නිරාවරණය කරයි. 

ශමෙල් ජයකොඩි මහත්මිය මුණගැහුණු මොහොතක ඇය කීවේ "කුමර කොබෙයි" පොතට ගැහැනු පාර්ශවයෙන් වැඩිපුර හොඳ ප්‍රතිචාර ලැබුණු බවයි. ගැහැනියකගේ ජීවිතය මුල් කරගෙන ඇයගේ සියුම් සිතුම් පැතුම් නිරාවරණය කරමින් ලියවී ඇති නිසා එය එසේ වූ බවට උපකල්පනය කල හැකියි. නමුත් පොදුවේ එය මිනිස් ජීවිතයේම එක් පැතිකඩක් නිසා වෙනසකින් තොරව විඳගත හැකිවූ බව කියමි. ශමෙල් ජයකොඩි මහත්මියගේ කිසිදු ලේඛනයක් මින් පෙර කියවා නොතිබීම ගැන මටම දොස් පවරගමි. ඇය මඟ නොහැර කියවාගත යුතු ලේඛිකාවක බව සිතමි. ඇගේ ඉදිරි ලේඛන ජීවිතයට හද පිරි සුබ පැතුම් එක්කරමි!



Wednesday, October 12, 2022

සමාවනු මැනවි මට...

කහවන්ව පැතිරෙයි  සැඳෑලෝකය,
අප්‍රියෙල් සිහිලස සිනිඳුයි...
ප්‍රමාදයි ඔබ වසර ගණනක්,
එහෙත් ඔබ පැමිණීම ගැන සතුටුයි..

හිඳගන්න දැන් මා ළඟින්,
බලන්න මා දෙස තුටින් පිරි දෑසින්...
මෙන්න මගෙ නිල් පැහති සටහන් පොත,
පිරී ඇති මගෙ ළමා කවිවලින්...

සමාවනු මැනවි මට...
ස්වල්පයක් සතුටු වී හිරු එලියේ..
ශ‌ෝකයෙන් දිවිගෙව්වට...
සමාවෙන්න මට 
සමාවෙනු මැනවි හිතවත..
බොහෝ අය ඔබ යැයි
වරදවා වටහාගත්තට....


Anna Akhmatova ගේ The Evening Light is Broad and Yellow පැදිය ඇසුරෙන්

Image - "Portrait of Anna Akhmatova" by Nathan Altman



Friday, October 7, 2022

නරක කලාව, හොඳ කලාව..

නරක කලාව යනු කුමක් ද? කලාව පිළිබඳව කතාකරන කල, "හොඳ" හෝ "නරක" යන හැඳින්වීම, යම් අදහසකට හෝ මතයකට වඩා නිශ්චිත සාධකයක් ලෙස මිනිසුන් භාවිත කරති. ඔබ කෞතුකාගාරයක හෝ කලාගාරයක ඇවිද යන කල මිනිසුන්ගේ මේ කතාබහ ඔබට ඇසෙනු ඇත. ඔවුන් වඩාත් යොමුවන්නේ යම් කෘතියක් හොඳ හෝ නරක වශයෙන් වර්ගීකරණය කිරීමට බව ඔබට පෙනී යනු ඇත. ඉන් එහා පැහැදිලි කිරීමක් මේ හැඳින්වීමට නැත. කිසිදු තර්කයක් හෝ විරෝධතාවක් නැත. බොහෝවිට මිනිසුන් ප්‍රශ්න කිරීමකින් තොරවම එය බාරගැනීමට පෙළඹී සිටිති.

ඔබ වින්සන්ට් වෑන්ගෝ නම් කලාකරුවෙකු ගැන අසා තිබේ ද? ඔබ බොහෝ දුරට ඔහුගේ සිතුවම් නිර්මාණ දැක තිබෙන්නට ඉඩ ඇත. ඔහු ද ඔහුගේ සිතුවම් ද බටහිර කලා සම්ප්‍රදාය තුළ වැඩියෙන්ම අගය කරනු ලැබූ ඒවා වෙයි. වෑන්ගෝ ගේ නිර්මාණ හොඳ සහ අර්ථවත් ඒවා බවට පොදුවේ පිළිගැනෙන නිසා ඒවා අගය කිරීමට බොහෝ අය පෙළඹෙති. නමුත්, මතක තබාගත යුතු වැදගත් කරුණක් නම්, වෑන්ගෝ ගේ ජීවිත කාලය තුළ, ඔහු වර්ණ වලින් සහ පින්සල් පහරවලින් කළ නිමැවුම්, හොඳ ඒවා යැයි ඒ සමාජය පිළිනොගත් බවයි. බොහෝම කලාගාර වලින් ඔහුගේ සිතුවම් ප්‍රදර්ශනය සඳහා බාර ගත්තේවත් නැත. ඔහු සිය ජීවිත කාලය තුළ විකුණා ඇති බවටද වාර්තාවන්නේ එකම සිතුවමක් පමණි. ඒ මෙහි දැක්වෙන ආර්ල්ස් හි රතු වයින් උද්‍යානය (The Red Vineyard - 1888) නම් සිතුවම පමණයි. ඔහු ජීවතුන් අතර සිටි කාලයේ මිනිසුන්ගෙන් ඇසුවොත් ඒ නිර්මාණ හොඳ ඒවා නොවන බව ඔවුන් කියනු ඇත. ඉතින් වෑන්ගෝ ගේ සිතුවම් ගැන නිවැරැදිම ප්‍රතිචාරය දක්වා ඇත්තේ කවුද? ඔහුගේ සමකාලීන සමාජය ද? නැත්නම් එයින් පසු අප ද?

කලාකෘතියක් අගය කිරීමේදී කල යුතු මූලිකම දෙය නම් ඔබ තුළ එය ගැන කැමැත්තක් ඇතිවන්නේද යන්න විමසා බැලීමයි. තවත් කෙනෙකුගේ අදහස් විමසා බැලීමට පෙර ඔබ කළයුත්තේ එයයි. හැකි තරම් කාලය ගෙන එම කෘතිය සමග ඔබ ගැවසෙන්න. සිතුවමක, තත්ත්පර කිහිපයක් තුළ නොපෙනෙන යමක්, විනාඩි ගණනක් ඒ දෙස බලා සිටීමෙන් ඔබට දැකගැනීමට හැකි වෙයි. ඒ ගැන ඔබ තුළ කැමැත්තක් හෝ අකමැත්තක් ඇතිවේ නම් ඒ ඇයිද යන්න පිළිබඳව ඔබට ඒ අනුව පැහැදිලි කරගත හැකි වනු ඇත. හොඳ හෝ නරක යන නාමකරණයෙන් එහාට එම කෘතිය විස්තර කිරීමට ඔබට හැකි වෙයි. ඉන්පසුව තවත් කෙනෙකු සමග ඒ ගැන කතාබහ කරන විට ඔබේ මේ අදහස් තව දුරටත් වැඩි දියුණු වී ඔප් මට්ටම් වනු ඇත. කාලයත් සමඟ වෙනස් වීමට තරම් විවෘත මනසක් තිබීම ද අතිශ්‍ය වැදගත් ය. එමෙන්ම යමකට ඔබ කැමත්තක් නොමැති නම් මුලු සමාජයම එයට කැමති වූවද කම් නැත. ඔවුන් සමග එකඟ නොවී සිටින්නට ඔබට හැකියාව තිබිය යුතු ය.

ඉතින් ඔබ වින්සන්ට් වෑන්ගෝ ගැන සිතන්නේ කුමක් ද? ඔහු හොඳ කලාකරුවෙක් ද? ඔහු නරක කලාකරුවෙක් ද? මේ හැඳින්වීම් වලින් එහා ඔහුගේ නිර්මාණයන් ගැන අප වැඩි දුර සොයාබැලීම වඩා හොඳ යැයි ඔබ නොසිතන්නේ ද?

Lauren Toman



Wednesday, October 5, 2022

හිමෙන් වැසෙනා සවසක වන පෙතක අබියස...

කාගෙදැයි මේ සොඳුරු  වනපෙත,
දනිමි මම, එය කාට උරුම ද,
එහෙත් ඔහු මා දකිනුයේ නැත,
තිබෙනමුත් ඔහු නිවස මේ ගම...
නරඹමින් සිටිනා කල මෙතැන මා,
හිමෙන් වැසෙනා ඔහුගෙ වනපෙත...

නිවසකුත් ළඟ නොමැති මොහොතක
නතර වී ඇයි ගමන මෙලෙසින්?
සිතනු ඇත දැන් මගෙ කුඩා අසු..
මිදුණු විල හා තුරු ගොමුව අස,
ගෙවෙයි අඳුරුම සවස වසරේ....

කුමන වරදක් සිදුවුණේ දැයි 
අසන්නේ දැන් කුඩා අසු මා
සොළවමින් ඌ ගෙළෙහි සීනුව...
හිම පියලි මුසු මඳ සුළං සර
පමණි ඇත්තේ වෙනත් හඬකට..

සුන්දරයි මේ අඳුරු වනපෙත
ඒ ලෙසින් බොහොමත්ම ගැඹුරුයි...
එහෙත් සුරකින බවට නිති මා
පොරොන්දුව සිටිනා යමක් වෙයි ..
ගමන අවසන නිදන්නට පෙර, 
තවත් යා යුතු දුර බොහෝමයි...
ගමන අවසන නිදන්නට පෙර, 
තවත් යා යුතු දුර බොහෝමයි...


Robert Frost ගේ Stopping by the Woods on a Snowy Evening පැදිය ඇසුරෙන්



Monday, October 3, 2022

ශිෂ්ටාචාරයේ ආරම්භය

 වසර ගාණනාවකට කලින්, මානව  විද්‍යාඥවරියක වන Margaret Mead ගේ එක් ශිෂ්‍යයෙක් ඇගෙන් ප්‍රශ්නයක් අහනව. ඔහු අහනව මිනිසා සත්ත්ව භාවය ඉක්මවල ශිෂ්ටාචාරගත වෙන්න පටන්ගත්ත බවට හමුවෙන මුල්ම සාධකය මොකක්ද කියල. ශිෂ්‍යයා බලාපොරොත්තු වුණා ඇය මාලු අල්ලන්න භාවිතා කළ බිලී කොක්කක්, මැටියෙන් හැදූ වළඳක්, ඇඹරුම් ගලක් වගේ දෙයක් ගැන කතා කරාවි කියල. 

නමුත් නැහැ. ඇය දුන්නෙ කිසි කෙනෙක් බලාපොරොත්තු නොවුණ විදිහෙ අපූරු උත්තරයක්. ඇය කිව්ව මිනිසා ශිෂ්ටසම්පන්න වෙන්න පටන් ගෙන ඇති බවට ලැබෙන මුල්ම සාක්ෂිය කැඩිල ගිහින් නැවතත් සුවපත් වුණු කකුලක අස්ථි කොටසක් කියල. සත්ත්ව ලෝකයේදි නම් කකුලක් කැඩෙනව කියන්නෙ ජීවිතේ අවසානය බව ඇය පැහැදිලි කලා. කකුලක් කැඩුණු සතෙකුට අනතුරකින් පැනල දුවන්න බැහැ. ආහාරවත් ජලය වත් සොයාගෙන යන්න පුලුවන් කමක් නැහැ. එතැනම ඉඳල විලෝපිකයෙකුට, ඒ කියන්නෙ වෙනත් සතුන්ගෙ මාංශයෙන් යැපෙන සතෙකුට ආහරයක් වීම හරි නැත්නම් ආහාර නැතුව මැරිලා ගිහින් පොළවට පස් වීම හරි ඇරෙන්න කකුලක් කැඩුණු සතෙකුට වෙන විකල්පයක් නැහැ.

කැඩුණු කකුලක් නැවත සුවපත් වෙනව කියන්නෙ කවුරුන් හරි කාලය වැය කරල, කකුල කැඩුණු පුද්ගලයව ආරක්ෂිත තැනකට ඔසවාගෙන ගිහින් තියනව. කැඩුණු තැන තදින් වෙලලා නැවත සුවපත් වෙනතුරු ළඟ ඉඳලා ඔහුව රැකබලාගෙන තියනව. ශිෂ්ටාචාරගතවීම පටන් ගන්නෙ මෙන්න මෙතන ඉඳල. අමාරුවෙ වැටුණු කෙනෙකුව එයින් ගලවාගන්න ඕන කියල හිතන තැන ඉඳල. ශිෂ්ටසම්පන්න වීම කියන්නෙ තවත් කෙනෙකුව විපතකින් මුදවාගන්න එකට. Margaret Mead මේ විදිහට තමන්ගෙ පිලිතුර සම්පූර්ණ කල බව සඳහන්.

- Translated from the page "Humanity and Peace"