Friday, September 22, 2017

පොත් කඩේ ලඳ

මේක මම කවියට අත තිබ්බ මුල්ම කාලෙ ලියවිච්ච එකක්. එක්තරා විදිහට ඇත්ත අත්දැකීමක් මේකට මුල්වුණා කියන්න පුළුවන්. පොත් කියවීම මිලදී ගැනීම ගැන ලොකු කතාබහක් ඇතිවෙන කාලයක් නිසා ආයෙම පළ කරන්න හිතුණා.


නගරයේ ලොකු පොත් කඩේ
ඉඳන් පොත් විකුණන ලඳේ
රැව් දිදී එන ඔය සිනාකැන්
පොත් කවර මත ඔප වැටේ... 

නිමක් නැති ජීවිත පොතේ
පිටු එකින් එක පෙරලුන තැනේ
තිබෙන හිස් පිටු පුරවගන්නට 
අකුරු නැතිවද හමුවුනේ... 

හිතේ දහසක් වේදනා 
හංගගෙන හිනා පෙන්නනා
ඔය දෑස් කියනා කතාවට
නවකතා වුව පරදිනා... 

ලෑලි කාමර පෝලිමේ
නුඹ වැඩට එන පටු මාවතේ
පොතේ පිටුවල නැවුම් සුවඳක්
නැතේ එදෙසින් විහිදුනේ..... 

අලුත් පොත් පටවාගෙනේ
කොළඹ සිට ලොරි ආ දිනේ
උදව්වට කවුරුවත් නැති තැන
නුඹේ කරට යි පැටවුනේ... 

බරට පොත් මිටි කර තියන්
ඉහළ මාලෙට ගෙන යමින්
රිදෙන දෙපයක දුක අහන්නට
කවුරුවත් උන්නෙ නෑ ලඟින්..... 

හැදී රුදු වෛරස් උණේ
ගෙදර ඉන්නට වුනු දිනේ
පඩි පතෙන් අඩුකර තිබෙනු දැක
හදවතේ කොටසක් නැවතුනේ... 

ගලායන ජීවිත ගඟේ 
ඇදෙන කඩදහි ඔරු වගේ
ගිලෙන ජීවිතෙ ගොඩනගන්නට 
පොතේ පිටු වේවිද අගේ...... 





Thursday, September 21, 2017

ගීයක්ය මුළු ලොවම


බටහිර සුලං තීරේ
පාවි පාවී නින්නාදදේ
චෙලෝවේ ගැඹුරු සර....

සොනාටාවේ 
විසිරුණු තාල අතරේ
පියානාවක් සිනාසේ
පෙන්වා දසන් පෙළ...

ගාංගා නදී ඉවුරේ
මැදියමේ මධුර හෝරාවේ
සියුම් අතැඟිලි සරින් හැඬවේ
සිතාරෙක කෝමල ස්වර...

යමුනා ගංගාවේ
දිය රල මතුවී බිඳෙන්නේ
ඇයි ද මේ තරමට
ක්‍රිශ්ණා ඔබේ වස්දඬුව
වයන්නේ කාහට ද අද...

කොංගෝ වන පෙතින්
නැංවේ හාමොනික ගායන
හිම මිදුනු කඳු මුදුන් අතරින්
පාවී විසිර යේ සතර දෙස....

වැයෙනා බෙන්ධීර් බෙරයක
ගැයෙනා උච්ච සර ගැයුමක
මුසුවී ඇසේ සහරාවේ පාලු වැලපුම .....

නොනවතින බැන්ජෝ රිද්මේ
ෂර්වුඩයේ මිතුරෝ මාගේ
සිනහ උතුරන සාදේ
අත්තල නගා පා නැටවේ....

අවසන
මේ සියලු නද
කැටි වී එක තනි ස්වරයකට
නැලවිලි ගීයක්ව ගැයේ 
මවකගෙ මුවින් බිළිඳෙකුට...




Wednesday, September 20, 2017

ඔරු සෑදීම හෙවත් කවි ලිවීමේ කාර්‍යය කෙටියෙන්....


නොහැක මිතුරනි
මා දකින මා විඳින
මහත් සමුදුර ගැඹුර
ගෙනැවිත් තබන්නට
මේ කුඩා ඉඩ ට...

පරිස්සම් වදනකින් 
දෙකකින් 
තනාගත් 
මේ කුඩා කුඩා ඔරු 
එබැවින් 
තබමි
වෙරළ මත...




Monday, September 18, 2017

හුදකලාව



වැසි වසින බව ලඟ ලඟම
කෑ ගසා පවසා මුළු ලොවට
ලිහිණියෙක් ගිලී නොපෙනී ගියා
හුදකලා වැසි වළාකුළක.





පොද වැස්ස


හිරු රැස් නොව 
පොද වැස්සය
කැලඹුවේ
නෙළුම් විල.




Thursday, September 14, 2017

කාර්යබහුල වීදියක හුදකලා පහන් කණුවක්ව


නිවීගිය පසු අහසෙහි
මහ පහන,
දැල්වෙමි.

එති යති බොහෝ දෙනා
වේගෙන් වේගෙන්
මග සොයාගෙන
මගෙ කුඩා එළියෙන්.

තුඩින් එල්ලා පලවැල
කැදලි සොයා පියඹන 
සියොත් මිතුරන්ට
නවාතැන්පළ වෙමි 
මඳකට..

නොයෙක් විසිතුරු සළු පැළඳ
අඟනුන් මග බලති පාමුල
ඔවුන්ගේ මළානික මුහුණු වල
තවරා ඇති වත්සුණු
දිලිසෙනු පෙනේ මට...

කල්පනාවේ පියවර තබමින් 
හෙමින් හෙමින් මග ගාටන
මිනිසෙක්...ගැහැණියක්....
දකිමි අතරින් පතර
එළිය දෙමි ඔවුන්ටත්..

එහෙත් මා මිතුරනි
පහන පාමුල
ඔබට නොපෙනෙන
යම් දෙයක් ඇත
නිරන්තරයෙන් මා පෙළන 
මා දවන.....





Tuesday, September 12, 2017

අහස දැකීම


මහ ගස්
ඇදවැටුණු පසුවයි
පුංචි පැළ
දකින්නේ අහස





Monday, September 11, 2017

මේ තරම් මොකටද කවි පොත්?


පොත් අල්මාරියේ
වැඩි ඉඩක් අරගෙන
සේකර, රත්න ශ්‍රී, රණවීර
පරාක්‍රම, මොනිකා
ඇස් මානෙ පැටලි පැටලී
හීන් සීරුවේ හිත කියනකොට
අරන් පෙරලා බලන්නට.

සුලං පොදක් වත් අහලක
නැති වෙද්දි ජීවිතේ
කවියන්ගෙ සුසුම් ඇමිණුව
පිටුවල අතරමං වෙන්නට.

හිත අස්සේ
නිදිකිරා වැටෙන
දාස්ගාණක කැකුළු මල්
සියුම් ඉඳිකටු තුඩකින්
තට්ටු කර
පුබුදුවා ගන්නට

අන්ධකාරයෙ පවා දිදුලන
සිනිඳු අකුරක් කෙළවර
දිලිසෙන පිනි කඳුළු බිඳුවක
එළිකිරණේ රැස් දහරේ
මොහොතක් නතර වෙන්නට

කාලයක් ලඟ උන්න
පැරණි පෙම්වතියක සේ
මතකයේ ආදරණීය තැනක
රිදුමක්ද සමඟින්
පරිස්සම් කර තියා ගන්නට.

ඉන්න ඕනමයි
අත පෙවිය හැකි මානෙන්
ඒ කවි පොත් එතන
අතට ගන්නා තුරු
ආයෙමත් දවසක.

2016/09/11




Friday, September 8, 2017

Wednesday, September 6, 2017

පා සලඹ


ඈ දෙපා යුග වැලඳ
වැතිරහුන් පා සලඹ
බිඳක්වත් නොහෙල්ලී
ස්වකැමැත්තෙන් 
හඬ නැගිණ.

බොහෝ කල් නිදා සිටි
විඩාබර දිගු නින්ද
එක සියුම් සරයකින්
අවසන් කෙරිණ.






Friday, September 1, 2017

තවත් රළක්.


සිප්පි කටුවක්
ගනියි හුස්මක්
තවත් රළක්.





කුඩා කුටියක්


අතැර දැමු නිවසක
කුඩා කුටියක්
මිතුරෙකු වෙනුවෙන්.