ටෙරන්ස් මලික් ගේ The Thin Red Line කියන යුධ චිත්‍රපටයෙ එක තැනක ඇමරිකානු හමුදාවේ ලුතිනන් කර්නල් වරයෙක් තමන් ගෙ යටතෙ ඉන්න කපිතාන් කෙනෙකුට මෙහෙම කියනව.
"බලන්න කැලෑව දිහා. බලන්න මේ ගස් බදාගෙන, ඒව යටපත් කරගෙන කැලෑ වැල් වැවෙන හැටි දිහා. සොබාදහම හරි කෲරයි කපිතාන් ස්ටැරෝස්"
මේ චිත්‍රපටයෙම තවත් තැනක ට්‍රේන් නම් සොල්දාදුවාගෙ ආත්මකථනයෙදි ඔහු කියනව ආලෝකයත් අඳුරත්, ආදරයත් වෛරයත් එකම මිනිස් මනසින් උපදින බවත්, එකම මුහුණෙන් ප්‍රකාශමාන වෙන බවත්. (මේ වචන විලියම් වර්ඩ්ස්වර්ත් ගෙ පොතකින් උපුටාගත් එකක්). මිනිසා කියන්නෙ සොබාදහමෙම නිමැවුමක් විදිහට ගත්තොත්, සොබාදහමෙ තියන සෞන්දර්යත්, කෲරත්වයත් මිනිසා තුළ එකවිට පවතින්නෙ එහෙමයි කියල අපිට වටහගත්තකි. එතකොට ශිෂ්ටාචාරය කියන්නෙ මිනිසාගෙම තියන නපුරත් ඔහුගෙම උතුම් මනුෂ්‍යත්වයත් එකිනෙක ගැටෙමින් යන ගමනකට.
"ඉතිහාසයම තිබුණේ දඩයම් බිමක"
කියල අපේ කවියෙක් වුණු චන්ද්‍රකුමාර වික්‍රමරත්න ලියන්නෙ ඒ නිසා.
The Thin Red Line චිත්‍රපටයෙ, කාගෙවත් යුද්ධයකය මැදිවෙන ඒ සොල්දාදුවන් ගේ මුහුණු තුළින් නිරූපිත වෙන්නෙ, මානුෂික බවත්, නපුරත් අතර ගැටුමෙන් ඔවුන් ලබන ආධ්‍යාත්මික විඩාපත් භාවය. කළකිරීම, වඩා යහපත් හෙට දවසක් ගැන ඔවුන්ට තිබෙන බලාපොරොත්තුව. නමුත් මේ අන්ත දෙක වෙන් වෙන්නේ ඕනෑම මොහොතක බිඳවැටිය හැකි සියුම් රේඛාවකින්. (Thin Red Line) යුධ බිමක් කියන්නෙ කෙනෙකුට එහෙම සදාචාර ගැටුමකදී, හිත හිත කල්මරන්න ඉඩක් ලැබෙන තැනක් නොවෙයි.
The Thin Red Line නමින්ම ලියවී ඇති (written by James Jones) නවකතාව මුල් කරගෙන මේ චිත්‍රපටයෙ පිටපත ලියා අද්‍යක්ෂනය කරන්නෙ, "සිනමාවේ ඇමරිකානු කවියා" විදිහට නිසැකවම හඳුන්වාදිය හැකි ටෙරන්ස් මලික්. ටෙරන්ස් මලික්ගේ චිත්‍රපට මන්දගාමීව ගලායන, රූපමය සෞන්දර්ය, පසුබිම් සංගීතය අතින් ඉතාම ඉහළ තැනක තිබෙන කලාත්මක බවින් උසස් නිර්මාණ විදිහට සාමාන්‍යයෙන් පිළිගැනෙන්නෙ. (Days of Heaven, New World, Tree of Life, A Hidden Life) යුධ භූමියට මේ සෞන්දර්ය ඔහු අරගෙන එන්නෙ කොහොමද කියන දේ නම් බලන්න වටින කාරණාවක්.
ටෙරන්ස් මලික් දර්ශනවාදය ගැන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙ උපාධිධාරියෙක්. ඔහුගෙ චිත්‍රපටවල දාර්ශනික ස්වභාවයට ඔහුගේ මේ අධ්‍යාපනික පසුබිම හේතුවෙන බව වටහගන්න පුලුවන්. ඔහු තමන්ටම අනන්‍ය ආකාරයකට වැඩ කරන පුද්ගලයෙක් විදිහටයි ප්‍රසිද්ධ. උදාහරණ විදිහට අඳුර සහ ආලෝකයේ හැසිරීම අතිශ්‍ය වැදගත් සමහර දර්ශනවලදි, ඔහු ඒ දර්ශන එකිනෙකට වෙනස් ආලෝක තත්ත්වයන් තුනක් යටතේ සම්පූර්ණයෙන්ම තුන් වතාවක් රූගත කරනවාලු. චිත්‍රපටයෙ අවසාන සංස්කරණයෙදි අදාළ තැනට හොඳින්ම ගැලපෙන ආලෝක තත්ත්වයෙන් රූගත කළ දර්ශනය එතැනට යොදාගන්නවාලු. කොහොම වුණත් ඔහු නළුනිලියන් වුණත් බොහොම ප්‍රියකරන අද්‍යක්ෂවරයෙක් විදිහට සැලකෙනව. Thin Red Line චිත්‍රපටය තමන්ට නියමිත කුඩා චරිතයෙ රූගත කිරීම අවසාන වුණත්, ටෙරන්ස් මලික් වැඩ කරන ආකාරය බලා ඉන්න ඇති කැමැත්ත නිසාම ප්‍රකට නළු වූඩි හැරල්සන් මාස ගණනාවක් එක දිගට දර්ශන තලයේම රැඳී සිටියාලු.
සාමාන්‍ය සෙබළ විට්, මේ චිත්‍රපටයෙ එක් වැදගත් චරිතයක්. විශෙෂයෙන්ම, බොහෝම අවස්ථාවල, චිත්‍රපටය අර්ථගැන්වෙන්නෙ ඔහුගේ ආත්මකථනයන්ගෙන්. රඟපෑමෙදි, ඔහුගෙ මුහුණෙන් මතුවෙන භාවයෙන්ගෙන් නිරූපිත වෙන්න මෙලොවට එහා යන නිවුනු සැනහුණු සාන්තුවර පෙනුමක්. ඔහු තමයි පසුකාලීනව මෙල් ගිබ්සන්ගේ Passion of the Christ චිත්‍රපටයෙ ක්‍රිස්තුස්වහන්සේ ගෙ චරිතය රඟපාන ජේම්ස් කැවීසෙල්. නවකතාවෙදි ප්‍රධාන චරිතය වෙන්නෙ, ඒඩ්‍රියන් බ්‍රෝඩි රඟපාන කෝප්‍රල් ෆයිෆ් ගේ චරිතය වුණත් චිත්‍රපටයෙදි වැඩිපුර මතුවෙන්නෙ සාමාන්‍ය සෙබළ විට් ගෙ චරිතය. මේ බව නොදැන චිත්‍රපටය නරඹන්න ගිය ඒඩ්‍රියන් බ්‍රෝඩි, තමන්ට චිත්‍රපටයෙ අවසාන සංස්කරණයෙ වෙන්වෙලා තියෙන්නෙ බොහෝම අඩු ඉඩක් බව දැකල බලාපොරොත්තු කඩවීමට ලක්වුණාලු. විට් ගේ චරිතය හරහා ටෙරන්ස් මලික් චිත්‍රපටය ඇතුළෙ මූලික හරය ගොඩනඟන්නෙ එහෙම.
චිත්‍රපටයට පාදක වෙන්නෙ දෙවනි ලෝක යුද්ධයේදි ජපන් අධිරාජ්‍යයට යටත් වුණු පැසිෆික් සාගරයේ ග්වාඩල්කැනල් දූපත මුදවාගන්න ඇමරිකානු හමුදා කළ මෙහෙයුම. යුධ බිමක බිහිසුණු වටපිටාව චිත්‍රපටය ඇතුළෙ ඇඟට දැනෙන්නම ගොඩනගල තිබුණත් සාමාන්‍ය යුධ චිත්‍රපටයක් බලන මානසිකත්වයකින් මේ චිත්‍රපටය බැලුවොත් ඔබට සිද්දවෙන්නෙ බලාපොරොත්තු කඩකර ගන්න. මෙය යුදධයේ ක්‍රියාදාම (action) ස්වභාවය උත්කර්ශයට නංවන චිත්‍රපටයක් නොවෙයි. පැය තුනකට ආසන්න ධාවන කාලයක් සහිතව, යුද්ධය පසුබිම් කරගෙන ජීවිත විවරණයක යෙදෙන දාර්ශනික සිනමා කෘතියක්. ඒ හින්ද, විශේෂයෙන් ටෙරන්ස් මලික් ගෙ චිත්‍රපට නරඹන්න නම් මේ ආකාරයෙ චිත්‍රපට නරඹල හොඳ ඉවසීමක් ඔබට තියෙන්න අවශ්‍යයි.
ප.ලි : 1999 තිබුණ 71 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය විදිහට තිබුණ නිර්දේශ නාම අතරට The Thin Red Line, Saving Private Rayan, Life is Beautiful කියන යුධ විරෝධී තේමාව ඇතුළත් සහ සිනමා ඉතිහාසයෙ බිහිවුණු විශිෂ්ටතම චිත්‍රපට යටතට සැලකෙන කෘතින් නිර්දේශ වෙලා තිබුණා. නමුත් සම්මානය හිමිවුණේ Shakespeare in Love නම් Romantic Darama එකට. Shakespeare in Love කිසිසේත්ම නරක චිත්‍රපටයක් නොවෙයි. ඒත් අර කියපු චිත්‍රපට අතරින් මේකට සම්මානය දුන්නෙ ඇයි කියල දන්නෙ ඉතින් ඔස්කාර් ජජ් බෝඩ් එකම තමයි.