Friday, August 31, 2018

අග සිට මුලට


රෝස සුවඳක් සමගින්
තැනින් තැන ලුණු දියෙන් බොඳවුණ
ඔබ එවූ ලියුම් රැස
අග සිට මුලට කියවමි.

එවිට අවසන
සියලු දේ සතුටින් නිමා වූ වග
සිතා තනිවම මගෙ සිත
මටම රවටා ගතහැකි.






Thursday, August 30, 2018

Departures (2008), Language - Japanese



චිත්‍රපටයක් බලල අවසානෙ ඇස්වලට කඳුලක් එනව කියන්න ඒක සෑහෙන හදවතටම දැනෙන කතාවක් වෙන්න ඕන. මේ චිත්‍රපටය බලන කෙනෙකුට එහෙම නොවුණ කියන්නෙ නම් ලොකු පුදුමයක්..

සාමාන්‍යයෙන් ඔයා දවසට කොයි තරම් දුරක් ගමන් කරනවද. වැඩට යන කෙනෙක් නම් බස් එකේ, කෝච්චියෙ, පයින් මේ නොයෙක් ආකාරයට කිලෝමීටර් ගණනාවක් දවසකට ගමන් කරනව. මෙහෙම සතියක් ඇතුලත කොයිතරම් දුරක් යනවද? මාසයක් ? අවුරුද්දක් ? ඊලඟට මේ ජීවිත කාලෙම  කොයිතරම් දුරක් ගිහින් තියනව ද ?  තව කොයිතරම් කාලයක් මේ ගමන යන්න ඕන ද? අවසාන ප්‍රශ්නෙට උත්තර නැතත් යම් නිශ්චිත තැනකින් නවතින තුරු අපි නිරන්තර ගමනක තමයි යෙදිල ඉන්න බව නම් ඇත්තක්. ඉතින් මෙහෙම ගිහින් අවසානෙ ඉතුරු වෙන යම් දෙයක් තියනව ද? මේ කාරණාව මතුවෙන්නෙ චිත්‍රපටයෙ එක කුඩා සිදුවීමකින්. චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය නිරූපණය කරන තරුණය පාලමකින් පහල ගඟක් දිහා බලන් ඉන්නව. ගඟේ ඉහළට උඩුගං බලා පීනන සැමන් මාලු මේ තරුණය දකිනව. සැමන් මාලු ජීවත් වෙන්නෙ සාගරයෙ. හොඳින් වැඩුණ සැමන් මාලු රංචු ගැහිලා ගංගාවන් දිගේ ඉහළට පිහිනනව. ගොඩබිම ආශ්‍රිත වැව් පොකුණ වල තමා මේ සැමන් මාලුන් ගෙ ඊලඟ පරම්පරාව බිහිවෙන්නෙ. උන් කුඩා වයසෙදි සාගරය බලා පීනා යනව. වැඩුණට පස්සෙ ආයෙත් ඉහළට එනව. මෙහෙමයි සැමන් මාලුව ගෙ ජීවිත චක්‍රය ගතවෙන්නෙ. ඒත් මේ උඩුගං බලා යන ගමනෙ ගොඩක් මාලු මිය යනව. නොයෙක් සත්තුන්ට ගොදුරු වෙලා, ගල්පර වල හැපිලා වැඩිහරියක් මාලු ජීවිතේ කෙළවර කර ගන්නව. එහෙනම් ඇයි උන් මෙච්චර දුරක් ගෙවාගෙන ඉහළට පීනන්නෙ. ඉහළට එන්න දරපු මහන්සිය එක තප්පරයකින් ඉවරයි නෙ ?. දැන් අපේ ම ජීවිත වලට හැරිල බැලුවොත් අපිට පුලුවන් මේ ප්‍රශ්නෙ අපෙන්ම අහගන්න.

Depatures චිත්‍රපටයෙ කතාව මෙහෙමයි ඩියාගෝ කොබයාෂි කියන්නෙ කුඩා කාලෙ ඉඳන් චෙලෝ වාදනවට දක්ෂතා පෙන්වන තරුණයෙක්. ඔහු විශාල වාදක මණ්ඩලයක චෙලෝ වාදකයෙක් විදිහට කටයුතු කරනව. ඒත් එක දිගටම ප්‍රසංගවලින් ලබන අසාර්ථකත්වය නිසා කණ්ඩායමේ ප්‍රධානියා තීරණය කරනව වාදක මණ්ඩලය  විසුරුවා හරින්න. කරන්න දෙයක් නැති තැන කොබයාෂි , විශාල මුදලක් ගෙවල මිලට ගත්ත චෙලෝවත් විකුණා දමල තමන්ගෙ බිරිඳ එක්ක කුඩා කාලෙ හැදුනු වැඩුණු නගරෙට එනව.  කොබයාෂි ගෙ අම්ම කුඩා  කාලෙම ජීවිතෙන් සමුඅරගෙන. තාත්තත් කොබයාෂි ව අතහැර ගිහින්. ඒ නිසා එයා ඉන්නෙ තමන්ගෙම තාත්තා එක්ක තද වෛරයකින්. ජිවත් වෙන්න රැකියාවක් හොයන කොබයාෂි ට එක්තරා අපූරු දැන්වීමක් දකින්න ලැබෙනව. කරන්න තියන දේ ඒතරම් පැහැදිලි නැතත් විශාල වැටුපක් ලබන්න පුලුවන්. ඉතින් කොබයාෂි ඒ රැකියාව හොයා යනව. රැකියාව ලැබෙනව ඒත් ඊට පස්සෙයි කරන්න තියෙන්නෙ මොනාද කියල හරියටම කොබයාෂි දැනගන්නෙ. මිනි එම්බාම් කරුවෙකුගෙ සහයකයෙක් විදිහට වැඩ කරන්න තමයි ඔහුට සිද්දවෙන්නෙ. අකැමැත්තෙන් වුණත් ලැබෙන මුදල ගැන හිතල කොබයාෂි මේ වැඩේට කැමති වෙනව. ජපානයේ සම්ප්‍රදාය අනුව මියගිය පුද්ගලය ගෙ ශරීරය සූදානම් කරන්නෙ පවුලෙ අය ඉදිරියෙ. පුද්ගලය ගෙ රහස්‍යභාවය ආරක්ශා වෙන විදිහට බොහොම ඉවසීමෙන්, පිලිවෙලට කරන්න ඕන කටයුත්තක් ඒක. ඉන්පස්සෙ මියගිය කෙනා ගෙ පවුලෙ අයගෙ කැමැත්ත  අනුව දේහය සරසල අන්තිම කටයුතු වලට සූදානම් කරන එක තමා තියෙන්නෙ. මුල දි එපා වුණත් ඉවසීමෙන් වැඩ ඉගෙන ගෙන කොබයාෂි මිනි එම්බාම් කරුවෙක් වෙනව. මළසිරුරු එක්ක වැඩකිරීමෙන් ඔහු ජීවිතේ ගැන නොයෙක් අත්දැකීම් ලබනව. ඒත් තමන් ගෙ රැකියාව ගැන කොබයාෂි බිරිඳ ගෙනුත් හිතමිත්‍රයන් ගෙනුත් වසන් කරනව. දවසක් මේ රහස එළිවෙනව. බිරිඳ ඔහුව හැර යනව. ඉන්පස්සෙ කොබයාෂි ගෙ ජීවිතේ කොහොම ගෙවෙයි ද?  

Departures , 2009 අවුරුද්දෙ  හොඳම විදේශ භාෂා චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය ඇතුලුව තවත් සම්මාන ගණනාවකින් පිදුම් ලබනව. මෙතෙක් ලෝකයෙ හැදුනු හොඳම චිත්‍රපට අතරට මේක බොහෝ අවස්ථාවල කියැවෙනව. මුලින්ම සඳහන් කළා වගේ මේ චිත්‍රපටය බලන කෙනෙකුගෙ ඇස් වලට කඳුලක් නංවන්න සමත් වර්ගයෙ එකක්. ඒකට හේතුව මම හිතෙන්නෙ ආසියාතික අපිටම දැනෙන හෘදයාංගම බවක් ළතෙත් කමක් මේ කතාව පුරා තැවරී තියන නිසා විය යුතුයි.

ජීවිතේ විවිධාකාර පැතිකඩ ගණනාවක් මේ චිත්‍රපටයෙන් කියවාගන්න පුලුවන් . අපිට ආදරය කරන අය අපි කොයිතරම් හොඳින් හඳුනාගෙන ඉන්නව ද. අපි ජිවිතේ ඇතුලෙ මොනවගේ වටිනාකමක් ද ඒ ආදරයට දීල තියෙන්නෙ. සමහර විට දේවල් වටහගන්නකොට අපි ප්‍රමාද වැඩි වෙන්න පුලුවන් ( මේ ගැන වැඩි විස්තර කියන්නෙ නෑ කතාව Spoil වෙන්න ඉඩ තියන නිසා). අනිත් අතට හැම දෙයක්ම අපි සැලසුම් කරන ආකාරයටම සිද්දවෙන්නෙ නෑ. මොකද ජීවිතේ කියන්නෙ නිකම් රේල් පීල්ලක් උඩ දුවන කෝච්චියක් වගේ එකක් නොවන හින්ද.  කොබයාෂි හීන දකින්නෙ චෙලෝ වාදකයෙක් වෙන්න. ඒත් බොහොම අවාසනාවන්ත විදිහට ඔහුගෙ ඒ හීනෙ බොඳවී ගිහින් අවසානෙ ඔහු නතර වෙන්නෙ දක්ෂ මිනි එම්බාම් කරුවෙක් බවට පත්වෙලා. සමාජෙ ඇතුලෙ, තමන්ගෙ හිතමිත්‍රයන් අතරෙ, ඒ කටයුත්ත ගැන පිලිකුලක් ඇති වුනත් අවසානෙ තමාගෙ වෘත්තීය ගැන ඒ හැමකෙනෙක් ඇතුලෙම විශාල ගෞරවයක් ඇති කරවන්න කොබයාෂි සමත් වෙනව. මේ ආකාරයකට ජීවිතේ ගැන අලුත් ඇහැකින් හිතන්න නොයෙක් පැති වලට දොරටු විවර කර දෙන සිනමා නිර්මාණයක් විදිහට මට Departures හඳුන්වා දෙන්න කැමතියි. හදවතට දැනෙන බොහොම සංවේදී කතාවක් බලන්න කැමති අයට මේක ඉහළින් ම නිර්දේශ කරනව.





Tuesday, August 28, 2018

හමාර කිරීම


වසන්තේ වළදමා
සකසා මනාකොට පොළොව
නික්ම ආවෙමි ගසා
අවසන් උදළු පහර ද...

ගිම්හානෙ අතර මැද 
දැන් එතැන
හැදී එන පොඩි පොඩි පැල
යන්තමින් හිස හරවා බලා
හිනාවෙයි මා එක්ක.





Wednesday, August 22, 2018

යළිත් හමුවේද ඔබ.......


වසා දැමුවත් කවුළුව
දමා දැඩිකර අගුල
ඉරිතැලුම් ඇති නොවෙතයි
සිතන්නද මම කෙලෙස..

සුළඟ කවුළුවෙන් පිටත 
ගලා එන කල මෙපිට
ඒ අතර යළිත් මට
හමුවේද ඔබෙ සුවඳ..





Friday, August 17, 2018

සියලු දුක් තුනී වෙයි


කලක් ගතවන විට
සියලු දුක් තුනී වෙයි..

නොපෙනෙයි
එනමුදු පවතියි..

සුළඟ මෙන් වෙයි..

වරින් වර
කඩාවැද
කෙහෙරැල් අවුල් කර දමයි..

කාලේ අකාලේ ඇදහැලුණු 
වියළි තුරු පත් පිරුණු 
ඉම් පෙදෙස් අවුස්සා හමයි
යලිත් සැඟවෙයි...

කලක් ගතවන විට
සියලු දුක් තුනී වී
සුළඟ මෙන් වෙයි

නොපෙනෙයි
නමුත්
වඩාත් සියුම් ලෙස
පවතියි...





Thursday, August 16, 2018

October (2018)


කියාගන්න බැරි මොකක්දෝ හිස් හැඟීමක් එක්ක ඔක්තෝබර් බලල ඉවර කළා. ඇත්තටම ඒක මහ හිස් හැඟීමක්. චිත්‍රපටයක සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තුවෙන්නෙ අභිරහස් අනාවරණය වීමක්, නොහිතූ විරූ සිදුවීමක්, විශාල කුතුහලයක් එක්ක තිගැස්මක් ඇතිකරවන අවසානයක්. ඒත් ඒ දේ මේ කතාවෙ දකින්න ලැබෙන්නෙ නෑ. යම් නිශ්චිත තැනකින් පටන් අරගෙන අවසන් වෙන කතාවක් කියනව වෙනුවට මේ චිත්‍රපටය, සිද්ධිදාමයක් එක්ක පැය එකහමාරකට ආසන්න කාලයක් නරඹන්නාව ගමනක් අරගෙන යනව. ඒ ගමන ඇතුලෙ අහන, දකින දේවල් වලින් මතුවෙන විඳීම්, විඳවීම් හරහා තමයි මේ කතාව අල්ලගන්න සිද්දවෙන්නෙ.  නාහෙට අහන්නැති, හිතුවක්කාර තරුණයෙක් වුණ ධනේෂ් වාලියා එහෙම නැත්තම් "ඩෑන්" ව මුල් කරගෙනයි මේ චිත්‍රපටය ගොඩනැගෙන්නෙ. තමන්ගෙ සේවථානයෙ වැඩ කරන, තමන් එක්ක ලොකු බැඳීමක් නැති, යන්තමින් හඳුනන, තරුණියක් හදිස්සි අනතුරකට ලක් වුණාම, ඈ වෙනුවෙන් ඩෑන් තමන්ගෙ ජීවිතයේ කරන කැපකිරීම තමා චිත්‍රපටය පුරාම අපි දකින්නෙ.  ඉතාම සුන්දර රූපමාලාවක් මේ චිත්‍රපටයෙ බොහොමයක් තැන් වල දකින්න පුලුවන් ඒ වගේම සංගීතයෙනුත් ඒ හැඟීම මතුකරන්නෙ කටුවකින් ඇනගන්නව වගේ මතක් කර කර රිදවාගන්න පුලුවන් ඉමිහිරි වේදනාවක් ඇති කරමින්..

එතකොට මේ ඔක්තෝබර් කියන නම මේ කතාව එක්ක ගැලෙපෙන්නෙ කොහොමද? චිත්‍රපටයෙම සඳහන් වෙන විදිහට ඔක්තෝබර් කියන්නෙ සේපාලිකා මල් පිපෙන කාලෙ. සේපාලිකා පිපුනම පළාතම සුවඳයි.  ඒ තරම් සුවඳක් ඒක. ගහක් පිරෙන්න සේපාලිකා පිපුණම ඒක හරි සුන්දර දර්ශනයක්. ඒත් දවසක මේ මල් ගහ පාමුල ඇදවැටෙනව. ලස්සන, සුවඳ , මැකී ගිහින් මතකයක් විතරක් ඉතුරු කරල ඒ මල් පරවෙලා යනව. කොයි තරම් සුන්දර වුණත් ඒ තමා මලක සොබාවය. ඔක්තෝබර් කියන්නෙ මේ ජීවිත යථාර්ථය කියලයි මම හිතන්නෙ





Wednesday, August 15, 2018

අපේ ගෙදර ජරමර


එදින වැඩ රාජකාරි තරමක් බහුල වූ හෙයින් සුපුරුදු වේලාවට මගේ රැකියා ස්ථානයෙන් පිටත් වීමට නොහැකි විය. කෙසේ හෝ රාත්‍රී 8 තැපැල් දුම්රිය අල්ලා ගැනීමට මට හැකිවිය. එය කොළඹ කොටුවට පසු නවත්වන්නේ රාගම දුම්රිය  ස්ථානයෙ බැවින් මට එය විශාල පහසුවකි. 

මා නිවස වෙත පැමිණෙන කල ඉදිරි දොර හැර දමා තිබුණි. වෙනදා මා වැඩ ඇරී එන කල පෙරමඟට පැමිණෙන ඇය අද පෙනෙන්නට වත් නොසිටියාය. මම කුස්සියට ගියෙමි. ඈ එහිද නොවූවා ය. 

"පරක්කු වුණ නිසාවත් ද" 

මා සිතුවෙමි. මා ගමන් බෑගය කුස්සියේ මේසය මත තබා හැරෙන සැණෙන් කණ ලඟින් හඬක් නික්මුණි.

"මහා ජරා මනුස්සයෙක්! ශික්!!!"

නිරාගමිකයෙකු දුටු සිංහල බෞද්ධයෙකු සේ කෝපයෙන් ඈ මා දෙස බලා සිටියාය.

 " මං හිතුව විස්වාස කරන්න පුලුවන් කියල!!  අපො නෑ!  මට වැරදුනා ..හොඳටම වැරදුනා..තඹ සතේ කට වත් විස්වාසකරන්න බෑ"

උපසිරැසි නොමැතිව මලයාලම් සිනමාපටයක් නරඹන්නෙකු සේ මම ඈ දෙස බලා උන්නෙමි. වෙනදානම් ගෙදර ඒමට පමාවූ විට ඈ මඳක් අමනාපයෙන් පසුවූවත් රැකියාවේ ස්වභාවය අනුව එසේ සිදුවන බව පහදාදුන් කල ඈ එය වටහා ගන්නීය. නමුත් අද? අද සිදුව ඇත්තේ කුමක් ද??

"හැමෝම එකයි...!! හැමෝම එකයි!!! ...මුලදි නම් කොහොමද කියන්නෙ.... පහු වෙනකොට තමයි  ජරා ගති ඔක්කොම එලියට එන්නෙ" 

ඇය ටැප් එක කැඩුණාසේ වචන වලින් දමා ගසමින් සිටින්නීය. මම තමන්ට බණිමින් කමෙන්ට් දමන්නන් බ්ලොක් කරන්නෙකු මෙන් ඇයට තනිවම කියවන්න ඉඩ දී  එතනින් ඉවත්වී ගියෙමි.

මම ඇඟ පත සෝදා  අලුත් ඇඳුමක් ඇඳගෙන පැමිණ පරිගණකය ඉදිරිපිට වාඩි ගතිමි. නැවතත් යක්ශාවේෂ වූ ඇය මා ඉදිරිපිටට පැමිණ බැණ වදින්නට පටන්ගත්තාය.

"කාළකණ්නියෙක්! පුදුම විදිහෙ කාළකන්ණියෙක්... මං නං මගෙ ජිවිතේට දැකල නෑ!!  අර තියෝන් ග්‍රේජෝයි කියන එකා!! ඌ කොහොමද තමන්ගෙ සහෝදරයෙක් වගේ ඉන්න රොබ් ස්ටාක් ට විරුද්ධව යුද්ද කරන්නෙ. අනික අර ජෙෆ්රි ලැනිස්ටර් කියන පාහරයා. ඕකව අහුවුණොත් මම කෑලි කෑලි වලට කඩනවා!! කාලකණ්ණියා....!!!"

ඇගේ  හඬ තරමක් බාල විය..

"පව් අනේ අර අහිංසක ජෝන් ස්නෝ කොල්ල. නාකියා ඌට බිම දාගෙන ගැහුව නේ"

ඇගේ ඇස අගින් කඳුළු බිංදුවක් රූරා හැලෙනු මම දුටුවෙමි. පරිඝණක තිරය මත ගේම් ඔෆ් ත්‍රෝන්ස් සීසන් දෙක අටවෙනි කොටස දාවනය වෙමින් තිබුනි.









Tuesday, August 14, 2018

හැර යාම


රහසේම අඩි තබා
ගිම් සමය පැමිණෙද්දි
"දැන් ඉතින් වෙන් වෙමු"යි
මිමිණුවත් සවණත...

වසන්තේ කෙළවර
තබායන පා ළකුණු
මකාදමනට හැකිද
කිසිදාක සුළඟට...

"යළි නොඑන්නෙමැ"යි
හිස මතුයෙ අත් ගසා
දිව්රා ශපථ කළ 
පසුවද..

පෙර දාක මහ රෑක
ඇද වැටුණ තනි තරුව
අඳුරේම ඇවිදින් 
ආයෙමත් 
අහසට....





Thursday, August 9, 2018

ඇස් ලැබීම


ඇදවැටුණු දා සිට
උස ගිරිකුළෙන් පහලට
දැනගනී ගඟ
නිවැරදිව තමන් ගැන.






ගින්දර


ඇවිලුවත් කොයිතරම් 
සිගරට් කංසා කූරු ළංකර
මිතුර කිසි දවසක 
මත් නොවේ ගින්දර.





Monday, August 6, 2018

සුළඟ මොනව දන්නවද මල් දරන ගස් ගැන......


සියුම් ලා දළු අතර හිතුමතේ හැමුවට
සුළඟ මොනව දන්නවද මල් දරන ගස් ගැන
ඉපල් අතු ඉති මැදින් තුරු පතක් පැළඳගෙන
වසන්තේ හැරගියත් සිනාසිය හැක ගසකට...

දුර ඈත සමණල්ලු සොයා එන තරමට
මකරන්ද සතර අත පැතිර යන තරමට
තුරු සිරස සොඳුරු මල් පිපී එන තරමට
වේදනාවේ මුල් තවත් ගිලී යයි ගැඹුරට..





Friday, August 3, 2018

නම් ලයිස්තුව



අමුත්තන්ගේ නම් ලයිස්තුව
ඇස දුටුව එක සැණින්
අල්පෙනෙති තුඩක් හමුවිය..

ඔව්
සුපුරුදුම නමකි එය
ඉස්සර දවස්වල
හීනෙනුත් මිමිණුව..
සෙනෙහසින් බොහොම
තනිව කොඳුරා නොගෙන
එක දවසක් ගත නොවුණි
එකල.... 

අමුතුයි ද කොයිතරම්
මෙකල
අමුත්තන්ගේ නම් අතර
අමුත්තක් හිතට කැන්දන
අමුත්තක් නැති
එකම නම...





Wednesday, August 1, 2018

අවසාන මුහුණ


දහස් ගණනනක්
මුහුණු පසුකර
දකිමි
අවසාන මුහුණ
ගේ දොරකඩ..