Monday, April 25, 2022

Wild (2014)

තරුණ රංගවේදියෙක් කිලෝ ගාණක් බර කුරුසයක් දරාගෙන මීගමුවෙ ඉඳන් කොළඹට බොහෝම දුකක් විඳගෙන පයින් ගමන් කිරීමේ සිද්ධිය අපි දැක්ක. මීට වසර තුනකට කලින් සිද්දවුණු පාස්කු ප්‍රහාරය නිසා එයින් වේදනා විඳින ජනතාව වෙනුවෙන් තවමත් ඉටුනොවුණු යුක්තිය ඉල්ලාසිටිමින් කල ඒ පාගමන අපේ රටේ මෑත ඉතිහාසයෙ සිදුවුණු සංකේතාත්මකව ඉතා ප්‍රබල ප්‍රකාශයක්. තවත් යුග ගණනාවක් මිනිස්සු බොහෝම ආදරණීයව සිහිපත් කරන්න නියමිත යමක්. එයින් ඔහු ඉල්ලා සිටි යුක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් මේ කියන්නෙ තවත් ඒවගේ වේදනාවේ දීර්ඝ පාගමනක් ගැන වෙනත් කතාවක්. නමුත් මේ ගමනෙ අරමුණ තරමක් වෙනස් එකක්. Cheryl Strayed නම් ගැහැනිය තමන් අතිශ්‍ය පීඩාවට පත් කල වේදනාවන්ගෙන් ආත්මය නිදහස් කරගැනීම වෙනුවෙන් යන ගමනක්. 


පැසිෆික් සාගරයෙන් සීමාවන ඇමරිකානු බටහිර වෙරළ තීරයට සමාන්තරව දකුණෙන් මැක්සිකානු සීමාවේ පටන් උතුරෙන් කැනඩාව දක්වා ඇමරිකාවේ පහළ සිට ඉහළට විහිදෙන Pacific Crest Trail (PCT) නම් ගමන් මාර්ගයෙන් කොටසක තමා ඇය ගමන් කරන්නෙ. Cheryl ගේ පාගමනෙ මුළු දුර කිලෝ මීටර් 1800 ක්, ඇයට ඒ වෙනුවෙන් ගතවෙන කාලය දවස් 94 ක්. අතරමග උවමනා වෙන අඩුමකුඩුම එක්ක උහුලාගන්න බැරි තරම් බර ගමන් මල්ලක් ඔසවගෙනයි ඇය යන්නෙ. මේ මාර්ගය කාන්තාර බිම්, වනාන්තර, හිමෙන් වැසුණු භූමි, කඳු හෙල් වලින් පිරුණු එකක්. ඉතින් ගැහැනියක් විදිහට කාත් කවුරුත් නැතුව නතියෙන් තමන්ගෙම උත්සාහයෙන් ඇය ගිය  ගමන කොයිතරම් දුෂ්කර එකක්ද කියන දෙය දැන් ඔබට වැටහෙන්න ඇති.

Cheryl ඇගේ මේ සැබෑම ජීවිත අත්දැකීම පදනම් කරගෙන 2012 වර්ෂයේදි ලියාපළ කරන Wild: From Lost to Found on the Pacific Crest Trail කෘතිය ඇසුරෙන් 2014 වසරේ Wild චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. Wild නිර්මාණය කරන්නෙ සුප්‍රකට Dallas Buyers Club චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Jean-Marc Vallée විසින්. චිත්‍රපටයෙ Cheryl ගේ චරිතය නිරූපණය කරන්නෙ හොලිවුඩ් නිළි Reese Witherspoon. ඒවගේම තවත් වැදගත් චරිතයක් වුණු Cheryl ගේ මව ගේ චරිතය Laura Dern රඟදක්වනව. මේ දෙදෙනාම වසරේ හොඳම රංගනය සහ සහය රඟපෑම වෙනුවෙන් ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වෙනව. 

ඔබ In to the wild චිත්‍රපටය නරඹල ඇත්නම් Wild නරඹන අතරෙ එය ඔබට මතක් වේවි. මේ දෙකම තෙරක් නොපෙනෙන මහ වනාන්තර මැද අතරමං වුණු මිනිස් ජීවිතවල සැබෑම කතා පුවත් ආශ්‍රය කරගෙන නිර්මාණය වුණු චිත්‍රපට. මේ දෙක අතරේ සමානකම් වගේම අසමානකම් බොහොමයි. ගැහැනියකගේ ජීවතයේ ඇය විඳින දුක් වේදනාවන් විඳදරා ගැනීම් Wild චිත්‍රපටයට මුල් වෙන්නෙ. ආදරය, විවාහය, පවුල, මාතෘත්වය මේ හැමදෙයක් ගැනම Wild චිත්‍රපටය ඇතුලෙ කියවෙනව. තමන්ගේ  මේ ආත්මික නිදහස වෙනුවෙන් ඇය කරන මේ දුෂ්කර ක්‍රියාව සමහර වෙලාවට බලා ඉන්න අපහසු තරම් අසීරු එකක්. කලිනුත් සඳහන් කලා වගේ වන දුර්ග, ගිරි දුර්ග මැදින්  මේ දීර්ඝ ගමන යන්න ගැහැනියක් විදිහට තනියම එලියට බහින්න ඇයට තිබුණු හයිය අනිවාර්යයෙන් පැසසිය යුතුමයි. ඒ තරම් අමාරු නොවුණත් අපි ඇවිද යන මේ ජීවිත ගමනත් පහසු එකක් නොවෙයි. විශේෂයෙන් අපේ රට මුහුණ දීල තියන තත්ත්වය එක්ක. බොහෝ අයට චිත්‍රපටයක් බලන්න වත් හිතෙන්නෙ නැතුව ඇති. මම හිතනව ඇයගෙ මේ ගමන අමාරු කම් මැද ජීවිතේ ගෙවන අපි කාටත් අනුප්‍රාණයක් වෙන බව. පුලුවන් කමක් තියනව නම් අනිවාර්යයෙන් මේ චිත්‍රපටය බලන්න. මේවගෙ මොහොතක නිතැතින්ම මතකය එන සහ අපි කවුරුත් අහල තියන කුඩලිගම කවියාගෙ ගංගාවේ ගීතය කවියෙ අවසාන පේළි හතරෙන් මේ කෙටි සටහන අවසන් කරන්නම්.

හිරිමල් සිනා රැළි පෙණ පිඬු මිහිරිතම
ගල් පරවලම හැපි හැපි බිහි කරමි මම
සම තැනිතලා වල හමුවෙයි අලසකම
නිරසයි අතර මඟ අවහිර නොදුටු බිම