"ජීවිතය අසීරු යැයි මට දෙවතාවක්ම පසක් විය. එක වරක් ඔබ පැමිණීමට පෙර ය. දෙවනවර ඔබ ගිය පසු ය"
එහෙම කියන්නෙ ඕෂෝ. මිනිස්සු විදිහට අපේ පැවැත්ම තවත් කෙනෙක්, හදවතට සමීප ආදරණීයයෙක් එක්ක කොයිතරම් බැඳිල තියනවද කියන දේ එක වාක්‍යයකින් පැහැදිලි කරන්න මීට වඩා හොඳ වෙනත් විදිහක් තවත් නැතුව ඇති. ඒ තරම් අපි පවුල ඇතුලෙ, දරුවන් දෙමව්පියන් විදිහට, ප්‍රේමවන්තයන් වන්තියන් විදිහට, යාලු මිත්‍රයන් අතරේ එකිනෙකාට බැඳිල ඉන්නව. මනුස්සයෙක් අසරණ තැනට වැටෙනව කියන්නෙ මෙහෙම කිසි කෙනෙක් තමන්ට නැහැ කියල තේරුම් යන මොහොතක් ආවම. කියා ගන්න කෙනෙක්, හේත්තු වෙන්න උරහිසක්, අල්ල ගන්න විශ්වාසවන්ත අත්දෙකක්.. මේව කිසි දෙයක් තමන්ට නැති වුණාම. මනුස්ස ජීවිතයක කඩා වැටෙන්න පුලුවන් අඳුරුම ප්‍රපාතයකට ඇද වැටෙන්නෙ තමන් හදවතින්ම ආදරය කල කවුරුත් තමන්ට නැහැ කියන තැනට ආවම. ලෝකයෙ මෙතෙක් බිහිවෙලා තියන කවි, ගීත, චිත්‍රපට, කතන්දර බොහෝමයක් ලියවෙන්නෙ ඔය හිස්කමේ වේදනාව මැද්දෙන්. සමහර විට මිනිස්සු එහෙම දුකක් නොවින්ද නම් අර තරම් කලා නිර්මාණ බිහි නොවෙන්න තිබ්බ. එක පැත්තකින් මිනිස්සු වේදනාව විඳවීමට එහා ගිහින් ඒක වින්දනයක් බවට පත්කරගන්නව කලාව හරහා. "දිවිය මොනතරම් සුන්දර දෝ, දුකම කොයිතරම් සතුටක් දෝ" කියල කියවෙන්නෙ එතකොට තමයි.
Fabietto ඉතාලි ජාතික තරුණයා මෙන්න මේ අහිමිවීමේ අත්දැකීමෙන් බොහෝම තදබල විදිහට පීඩා විදිහට පීඩා විඳිමින් හිටිය.
"යථාර්තය කියන්නෙ මහ පිස්සුවක්. මට ඕන ඒකෙන් මිදෙන්න. මට ඕන චිත්‍රපට හදන්න"
Fabietto එහෙම කිව්වෙ ඇත්ටම ජීවිතේ විඳින්න සිද්දවුණු දේවල් ඒතරම් දරාගන්න අපහසු නිසා. Fabietto නිතරම තනිවම ඉන්න පුරුදු වෙලා හිටපු තරුණයෙක්. ඔහුට යාලුවෙක් මිත්‍රයෙක් කියන්න කවුරුත් හිටියෙ නෑ. ටිකක් හරි ඔහුට සමීපයෙන් උන්නෙ දෙමව්පියනුත්, පවුලේ හිතවතුනුත් තමා.. ඒත් මේ හැමදෙයක්ම අහිමි වෙන මොහොතක් ආවම ජීවිතේ ඇත්තම වේදනාව මොකක්ද කියල Fabietto ට දැනෙන්න පටන්ගත්‍ත. ඒ හින්ද රෝම නගරයට ගිහින් චිත්‍රපට කලාව තවදුරටත් ඉගෙනගන්න එයා හිතමින් උන්න.
දවසක් Fabietto ට එයා ආසම චිත්‍රපට අධ්‍යක්ෂවරයා වුණු Capuano මුණගැහුණ. Fabiettoට ඕන වුණා ඔහුත් එක්ක කතා කරන්න.
"හැමෝටම ඕන චිත්‍රපට් හදන්න. චිත්‍රපටි හදන්න නම් හොඳ කොන්දක් තියෙන්න ඕන.. ඔයාට එහෙම එකක් තියනවද? මට නං සැකයි ඒගැන. ඔයාට මොකක් හරි වේදනාවක් තියෙන්න ඕන... නෑ ඔයාට ඒකත් නෑ.. ඔයාට තියෙන්නෙ හීන විතරයි.. හීන එක්ක ඔයා හදන්නෙ නිකම් සුබවාදී දේවල් විතරයි.. ඒක උගුලක්... ඔයාගෙ වේදනාව ඇත්ත එකක් නෙමේ... ඒක ඔයා හදාගත්තු එකක්... ඔයා කරන්න හදන්නෙ මොකක්ද? රෝමෙට යන්න.. ඒක මහ විකාරයක් ඇත්තට... රෝමෙට ගියා කියල ඔයා ඔයාගෙ අසාර්ථක කමෙන් ගැලවෙන්න නෑ... කිසි කෙනෙකුට බෑ තමන්ගෙ අසාර්ථක කමෙන් ගැලවෙන්න.. ඒවගේම මේ නගරෙ කිසි කෙනෙකුට බෑ ඒකෙන් පිටවෙන්න.. රෝමෙට ගිහින් ඔයා මොන මගුලද කරන්නෙ.. මේ නගරෙම කොච්චර කතන්දර වලින් පිරිල ද.. අර බලනව..."
Capuano බොහෝම ආවේගයෙන් ඒ වචන ටික කියල දැම්ම Fabietto ට. ඔහුට capuano මුණගැහෙන්නෙ අහම්බයකින්. ඒ හින්ද Fabiettoට මේ මොහොත හීනයක් වගේ. නමුත් මොනාද ඒ චිත්‍රපට අධ්‍යක්ෂවරයා කියන්නෙ? කියන්න දෙයක් තියන්න ඕන? වේදනාවක් තියන්න ඕන? දුකක් වේදනාවක් නොවින්ද කෙනෙක් කොහෙද ඉන්නෙ? එහෙනම් හැමෝම මහා කලා කාරයො වෙන්න එපැයි..
"ඒක නිකම්ම කියල දාල හරියන්නෑ. ඒක හරියට කියන්න ඕන"
මොකක් ගැනද මේ සිනමාවේදී Capuano මහත්මය කියන්නෙ?
.
.
නාපොලී නැත්නම් නේපල්ස් කියන්නෙ මුහුද අද්දර පිහිටා තිබුණ බොහෝම සුන්දර නගරයක්. ඉතාලියේ තිබෙන ප්‍රධානතම නගර අතරින් එකක්. 1980 දශකයේ මැද භාගයෙ මේ නේපල්ස් නගරෙ ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්වෙනව. ඒ 1984 අවුරුද්දේ සුප්‍රකට ආජෙන්ටිනියානු පාපන්දු ක්‍රීඩක ඩියාගේ මැරඩෝනා ඉතාලියේ නේපල්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩාකිරීමට පැමිණීම. මේ වෙනුවෙන් නේපල්ස් ක්‍රීඩා සමාජයෙන් ඔහුට ගෙවන මුදලත් වාර්තාගත එකක්. ඒ ඩොලර් මිලියන 10.48 ක්! මැරඩෝනා පසුකාලීනව තමන්ගේ "Touched by God" නම් කෘතියේ ඒ ගැන සඳහන් කරන්නෙ මෙහෙම.
"ඔවුන් මට ආදරය කළා, ඔවුන් මට ඇත්තටම ආදරය කළා"
මෙතනදි ඔවුන් නමින් හඳුන්වන්නෙ නේපල්ස් නගරෙ ජනතාව. මැරඩෝනාට ආදරය කළ දස දහස් ගණනක් නේපල්ස් නාගරිකයන් අතරේ Paolo Sorrentino කියන්නෙ එක් තරුණයෙක් පමණයි. මේ තරුණයා පසුකාලීනව පිටපත් රචකයෙක් වෙලා ඉන් පස්සෙ සම්මානනීය චිත්‍රපට අද්‍යක්ෂවරයෙක් බවට පත් වෙනව. 2021 අවුරුද්දේ The hand of the God නමින් ඔහු නිර්මාණය කරන්නේ තරුණ වයසේ නේපල්ස් නගරේ තමන්ගේ ජිවන අත්දැකීම. මෙතන Fabietto කියන්නෙ වෙනකවුරුත් නොවෙයි Sorrentino මයි. චිත්‍රපටය ඇතුලෙ එක මොහොතක මැරඩෝනා නිසා Fabietto ගේ ජිවිතය බේරෙනව. ඒ කොහොමද කියන දේ The hand of God නැරඹුවොත් ඔබට දැකගන්න ලැබේවි.
The hand of the God චිත්‍රපටය මුල්භාගයේ මුළුමණින්ම වගේ පෙන්වන්නෙ Fabietto සහ එයාගෙ පවුලේ අය ගතකරන විනෝදකාමී සැහැල්ලු ජීවිත රටාව. ඇත්තටම වද වෙන්න කාරණයක් Fabietto ට නොතිබ්බ ගාණයි. නමුත් චිත්‍රපටය මැදදි මේ විනෝදය සහමුලින්ම කණපිට පෙරළෙනව. Fabiettoට මෙතෙක් තිබුණු නිදහස් සැහැල්ලු ජීවිතේ එකවරම අවසාන වෙනව. ජීවනබර කියන දේ එකවරම ඔලුවට කඩාවැටෙනව. හිතන්න එහෙම යෞවනයේ උපරිම සැහැල්ලුවෙන් පසුවුණු කෙනෙකුට එහෙම දෙයක් වුණාම එතනින් එහා ජීවිතේ ඔහු අරගෙන යන්නෙ කොහොමද? Sorrentino ට සිනමාකරුවෙක් වෙන්න බලපෑම් කරමු මූලික සිදුවීම් ටිකයි ඔහු මේ Fabietto ගෙ චරිතය හරහා කියන්නෙ.
Hand of God, මේ පාපන්දු ක්‍රීඩක මැරඩෝනා ලැබුව විරුදාවලි නාමයක්. ඔහුට මේ නම ලැබෙන්නෙ 1986 ලෝක කුසලාන තරඟාවලියෙදි මැරඩෝනා ලබාගත්ත ගෝලයක් නිසා. හිසින් පන්දුවට පහර දීමෙන් මැරඩෝනා අපූරු ගෝලයක් වාර්තා කළා. නමුත් ඔහු පන්දුව ගෝලයට යොමුකරන්නෙ හිසින් නොවේ අතින් බව චෝදනාවක් එල්ලවුණා. ඒ යුගයේ තාක්ෂණය එක්ක ගෝලය ලබාගන්න අවස්ථාවේ වීඩියෝ දර්ශන ඉතාම සමීපව නැරඹුවත් මැරඩෝන පන්දුව ගෝලයට යොමුකරන්න පාවිච්චි කලේ හිස ද අත ද කියන දේ නිවැරැදිව තෝරාබේරාගන්න බැරි වුණා. මේ ගැන මැරඩෝනා ගෙන් විමසුවාම ඔහු කිව්වෙ. ගෝලය ලබාගත්තෙ "මැරඩෝනාගේ හිසෙන් සහ දෙවියන්ගේ අතින්" බව. මේ නිසා ඔහුට දෙවියන්ගේ හස්තය "The hand of God" නාමය ලැබෙනව. මැරඩෝනා ලබාගත්ත මේ ගෝලය සියවසේ ගෝලය විදිහටත් හඳුන්වන්ව.
The hand of God එක් ආකාරයකින් Comming of age වර්ගයේ සිනමාපටයක් විදිහටත් නම් කළ හැකියි. වයසින් වැඩීමත් එක්ක යමෙකුට ජීවිතේ සැබෑම අරගලයට ක්‍රමයෙන් මුහුණදෙන්න වෙන ආකාරය මූලිකවම මේ චිත්‍රපටයෙ නිරූපණය වෙන නිසා. Fabietto ගේ චරිතය රඟදක්වන Filippo Scotti ගේ රඟපෑම චිත්‍රපටය නැරඹුවොත් ඔබට අමතක කරන්න බැරි රංගනයක් බවට පත්වෙවි. 2022 ඔස්කාර් සම්මාන උළලේ ඉතාලියානු නියෝජනය විදිහට The hand of God තෝරාගෙන තිබෙනව. 2013 අවුරුද්දේ දි Paolo Sorrentino ගේ The Great beauty චිත්‍රපටය හොඳම විදෙස් භාෂා චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය දිනාගත්තා. මේ අවුරුද්දේ නැවතත් Sorrentino ට ඒ වාසනාව හිමිවේවිද කියන දෙය නුදුරේදිම අපිට දැකගන්නට ලැබේවි .