Tuesday, September 21, 2021

මම සීත රටකින් ආවෙමි

මම සීත රටකින් ආවෙමි 
නොනැවතී මුළු දවස
මද්දහනේ පවා හිම වැටෙන...

උත්තරාර්ධගෝලයේ
සුදෝසුදු තැනිතලා කලාපයේ
තුන්ද්‍රා වනය අසබඩ කල් ගෙවීමි...
කටු තුඩු තුහින බිඳු කැටුව එන
සුළඟින් වැලකෙනු පිනිස
ඉග්ලූම නිවසක වාසය කළෙමි..
අතරින්පතර බීර බඳුනක
පතුළේ පෙණකැටි අතර
ගොරතර හිම වලස් සමක
උණුහුම ලැබූවෙමි...

ඔබ සමකාසන්නයෙහි සිට පැමිණි කෙනෙකි
වසත් සුළඟ සේ ඉපිළෙන
උණුහුම් සූර්‍යාලෝකය ඔබට සුහුරුය..
රන් පාට තණබිම් දිගේ
වල් සාවුන් හඹා දිව යන..
අතු අගිසිවල ලැගගෙන
කඨෝර හඬින් කෑගසන
කපුටන්ට උස් හඬින් බැණවදින...
හිරුරැස් සේ වහා රතුවන
දෑස් ඇති කෙනෙකි ඔබ...

කමා කරන්නේද එබැවින් 
තවමත් හිමකබා පැළඳිම පිළිබඳ?
ඝනකම් කබා සාක්කුව තුළ
බීර බඳුනක් ගෙන යාම පිළිබඳ ?
කමා කරන්නේද
මේ සූර්‍යාලෝකයෙහිද
ගුහා වාසී වීම ගැන
තවමත් ඔබ මට?



Tuesday, September 14, 2021

Njan Prakashan (2018)

මගේ නම ප්‍රකාශන්... පොඩ්ඩක් ඉන්න.. දියුණු වෙන මනුස්සයෙකුට ඊට වඩා හොඳ නමක් තියෙන්න ඕන.. ඉතින් මම මගෙ නම වෙනස් කරගත්‍ත... ආකාශ්.. P R ආකාශ්... අර  ප්‍රකාශන් කියන හරි ගතානුගතික නමට වඩා ඒකෙ පොඩි ගතියක් තියනව නේ. කොහොම වුණත් මගෙ ජීවිතේ නම් සෑහෙන කාලයක් නිකම් නාස්ති වෙලා ගිය බවක් තමයි මට දැනුණෙ. මට පොඩි කාලෙ ඉඳන් ආසාවක් තිබෙණෙ දොස්තර කෙනෙක් වෙන්න. ඒත් මට ඒ හීනෙට ළංවෙන්නවත් බැරි වුණා. ඒ හින්ද වෙදකම බැරි නම් හෙදකම කියල මම හෙදකම ගැන පාඨමාලාවකුත් හැදෑරුව. අවසානෙ මට හිතුනෙ මේ වැඩේ හරියන්නෑ කියල. කොල්ලෙකුට නර්සින් කියන්න නිකම් ගැලපෙන්නෙනෑ වගේ නෙ. අනිත් එක මේ ඉන්දියාවේ නම් නර්සින් රස්සාව කරල මනුස්සයෙකුට දියුණු වෙන්න පුලුවන් ද. මට ආරංචි වුණා පිටරට වල නම් මේ වැඩේට හොඳට ගෙවනව කියල. ඒ ආරංචිය ලැබුණ වෙලාවෙ ඉඳන් මගෙ ඔලුව වැඩකරන්න ගත්තෙ කොහොමින් හරි පිටරටකට පැනගන්න විදිහක් ගැන. ඒත් මෙච්චර ලස්සන කේරළේ දාල යන්නෙ කොහොමද කියල විතරක් මගෙන් අහන්න එපා. ඇත්ත. මේ පරිසරේ පුදුම ලස්සනයි. බැලු බැලූ අත කොළ පාට.. නිල් කැටේට වතුර ගලන ගංගාවල්, උසට උස පොල් ගස්.. මේ පළාතට "දෙවියන්ට උරුම රට"  කියන නම පටබැඳිල තියෙන්නෙ නිකම් නෙවෙයි. ඒත් මේ ජීවිතේ ඔය පරිසරේ තරම් ලස්සන නෑ.

ඉතින් පිටරටකට යනව කියන්නෙ සෑහෙන මුදලක් වියදම් වෙන වැඩක් නෙ. මං කොහොමද එච්චර ගාණක් හොයාගන්නෙ. ඊට වඩා ලේසියෙන් මේ වැඩේ කරගන්න පුලුවන් වෙනත් විදිහක් ඇත්තෙම නැද්ද... ඉතින් මම මගෙ කපටි මොලේ පාවිච්චි කරල ඒකට ක්‍රමයක් හිතුව. ඒත් මට පහුකාලීනව දැනගන්න ලැබුණ එහෙම හිතන අය මේ කේරළේ තවත් ඉන්න බව. ඒවගේම මට දැනගන්න ලැබුන ඕනැම දෙයකදි තමන්ගෙ අතින් පාඩු කරගෙන උදව්වට එන මිනිස්සුත් මෙහෙ ඉන්න බව. ඒ වගේම තමන්ගෙ උත්සාහයෙන්ම යමක් කරල දියුණුවෙන මිනිස්සු, පිටින් බැලුවම මහ දඩබ්බර වගේ පෙනුණට ඇතුලෙන් මනුස්සකම පිරුණු අයත් මෙහෙ ඉන්නව කියල මම දැනගත්‍ත. යාලු මිත්‍ර කම කියන්නෙ කෙනෙකුට ජීවිතේ අවශ්‍යම දෙයක්. ඒකට ගෑනු පිරිමි දුප්පත් පෝසත් මේ කිසිම බේදයක් නෑ. මේකත් මේ විදිහෙ නොයෙක් ආකාරයෙ මිනිස්සු ඇසුරේ ගෙවීගිය මගේ මේ ජීවිතේ ඇතුලෙ  මම තේරුම් ගත්ත එක කාරණයක්. වෙලාවකට මගේ කතාව විනෝද සාගරයක්, තව වෙලාවකට අරමුණක් හොයාගෙන ඇවිදින මනුස්සයෙකුගෙ කතාවක්. සමහර විට මේ කතාව බලන කෙනෙකුට ඒකෙන් තමන්ගෙ ජීවිතේට අරගන්න පාඩමක් තියෙන්න පුලුවන්. නැත්නම් හොඳට හිනාවෙන්න පුලුවන්. මොනාවුණත්, මගෙ ජීවිතේ ඒ හැම දෙයක්ම මැද්දෙ සෑහෙන දුක්වේදනාවන්ට මම මුහුණ දුන්න තමයි. ඒත් මෙහෙම දෙයක් තියනව. චාලි චැප්ලින් කියන ඒ සුප්‍රසිද්ධ රංගධරයා වතාවක් කියල තියනව එකම විහිලුව ආයෙ ආයෙම කරාම මිනිස්සුන්ට ඒකට හිනා යන්නෙ නෑ, ඒ වගේ එකම දුක ආයෙ ආයෙ මතක් කර කර දුක් වෙන්නෙ මොකටද... ඉතින් මගෙ කතාව Njan Prakashan හාස්‍ය, දුක, වෛරය, ආදරය මේ හැම දෙයක්ම පිරුණු හරි අපූරු ජීවිත කතන්දරයක් බව කියන්නම්. 

මම ප්‍රකාශන්.. නැහැ වැරදුනා.. මම ආකාශ් 
P R ආකාශ්..
...........................................................................

Njan Prakashan 

Directed by Sathyan Anthikad

Written by Sreenivasan

Starring

Fahadh Faasil as P. R. Akash / Prakashan / Sylvester

Sreenivasan as Gopal Ji

Nikhila Vimal as Salomi

K. P. A. C. Lalitha as Pouly Chechi

Devika Sanjay as Teenamol

Anju Kurian as Shruthi (voice dubbed by Raveena Ravi.)

Release date - 21 December 2018

Running time - 131 minutes

Country - India

Language -  Malayalam



Saturday, September 11, 2021

එපා වැසි වස්වන්න......

මෝසම් සුළඟේ
උස සානු කඳුකර භූමි අතරේ
පාව එන හුදෙකලා මේකුළ
එපා වැසි වස්වන්න මේ බිමට...!

හුස්ම ගනු නොහැකියි
පොළෝ ගැඹුරෙන් නික්මෙන
අළුත් ළා දලුවලට...
පිපෙන්නට ඉඩ නැත
පුංචි කැකුළකට
පෙති විදා රිසි ලෙස....

බොහෝ දිගුවිය
හිම කැට ගෙනා හිම සමය
පමා විය අතු අගට
හසරැල් පළඳනා වසන්තය..

එබැවින් මේකුළ
නොහඬන්න තවත්
සලා හිරිකඩ..

ගෙන යන්න ඔය දිය බිඳු
මෝසම් සුළඟ සමඟින්
දුර ඈත රටකට..

වස්වන්න සිහිල් වැහි
ඉමක් නොපෙනෙන
ගිනියම්ම කතරකට
හුදෙකලා ගැඹුරු මුහුදකට....
එපා වැසි වස්වන්න
රුදු සීතලෙන් හිම මිදෙන
මේ බිමට...



Tuesday, September 7, 2021

කුඩා තෘණ පඳුරු

ඉතා උස තුරු මුදුන්
සිප ගත් පසුයි පළමුව
වැළඳගන්නේ වැහි බින්දු
නොමැතිව කිසිදු වෙනසක්
අඩු නොවී සෙනෙහෙ බිඳකුත්
මේ කුඩා කුඩා තෘණ පඳුරු..



Sunday, September 5, 2021

The Virgin Suicides (1999)

1972 අවුරුද්දේ නිර්මාණය වුණු Godfather චිත්‍රපටය ගැන නොඇසූ කෙනෙක් ඉන්න විදිහක් නෑ. එය ඒ තරම් ජනප්‍රියත්වයක් දිනාගත්ත සහ මෙතෙක් නිර්මාණය වුණු හොඳම සිනමාට අතරට තෝරාගැනෙන නිර්මාණයක්. Godfather අධ්‍යක්ෂණය කරන්නෙ Francis Ford Coppola නම් ඇමරිකානු සිනමාකරු. Francis Coppola, Godfather චිත්‍රපට ත්‍රිත්වයට අමතරව Apocalypse Now, Bram Stoker's Dracula වගේ සිනමා ඉතිහාසයේ නොමැකෙන සිනමාපට ගණනාවක් බිහිකළ නිර්මාණකරුවෙක්. නමුත් සිනමාව වෙනුවෙන් ඔහු ලබාදී අති වටිනාම දායාදය නම් තමන්ගේ දියණිය Sofia Coppola බව කිව්වොත් වරදක් නැති වේවි. ඇගේ රුව මුලින්ම කැමරා ඇසකට හසුවෙන්නේ ඇයට අවුරුදු 1ක් වයස වෙද්දීමයි. ඒ Godfather චිත්‍රපටය වෙනුවෙන් වුණු දර්ශනයකට. පසුකාලීනව පියාගේ චිත්‍රපට වැඩකටයුතුවලට සහාය දෙමින් හැදී වැඩෙන ඇය සිනමාකාරියක් විදිහට තමන්ගේම අනන්‍යතාවක් සහිතව චිත්‍රපට නිර්මාණයට පිවිසෙනව. ඒ 1999 වසරේ The virgin suicides චිත්‍රපටය තිර රචනාව සහ අධ්‍යක්ෂණය සිදු කරමින්. The virgin suicides බිහිවෙන්නේ Jeffrey Eugenides නම් ලේඛකයා මෙනමින් ම රචනා කල සම්මානනීය නවකතාව ඇසුරෙන්. 

චිත්‍රපටයෙ කතාව මේ වගෙයි. මිචිගන් ප්‍රාන්තයෙ ඩෙට්‍රොයිට් නගරයෙ ලිස්බන් පවුල ජීවත්වුණු ගෙදර ඒ අහල පහල කොලු ගැටවුන්ගෙ වැඩිපුර අවදානෙට ලක්වුණු තැනක්. ඒ මේ පවුලෙ අති සුන්දර දියණියන් පස්දෙනා හින්ද. තරුණ වයසෙ නොයෙක් අවධි පහුකරමින් උන්නෙ ඒ පස් දෙනා ගෙ නම් වයස අඩුවෙන පිළිවෙලින් තෙරේසා,මේරි, බොනී, ලක්ස් සහ සිසිලියා. නමුත් මේ පවුලෙ යම් වෙනසක් තිබුණ. ලිස්බන් දෙමව්පියන් ඉතාම දැඩි ක්‍රිස්තියානි භක්තිකයන්. ඔවුන් තමන්ගෙ දියණියන්ව හැදුවෙ තදින්ම විනය නීති රීතිවලට යටත් කරලයි. ඇමරිකානු සමාජෙ බොහෝමයක් තරුණ තරුණියන් අත්විඳින නිදහස් සුන්දර යෞවනය මේ දියණියන් පස් දෙනාට හිමි වුණේ නෑ. ඒ ඒ වයස්කාණ්ඩවලදි ලැබිය යුතු ජිවිත අත්දැකීම් නොලැබි යනකොට මේ දියණිවරු පස්දෙනාට සිද්දවෙන්නෙ මොකක්ද කියන කාරණයයි චිත්‍රපටයෙන් මූලිකවම නිරූපිත වෙන්නෙ. 

චිත්‍රපටය නැරඹුවොත් ඔබට මෙය සියලුම සිදුවීම්වල හේතු සාධක ගැලපුණ පරිපූර්ණ කතාවක් දකින්න නොලැබේවි. නරඹන ඔබ විසින්ම සපුරාගත යුතු හිස් ඉඩක් ඉතිරිකරමිනුයි මේ ප්‍රෙහේලිකාව සම්පූර්ණ වෙන්නෙ. චිත්‍රපටය විසින් එහි සිදුවෙන හැම දෙයක්ම පහදාදෙන්නෙ නැහැ. නමුත් නව යෞවනය පහුකල කෙනෙක් විදිහට ඔබගෙ ජීවිතයත් සමාජයෙ බොහොමයක් තරුණ තරුණියන් දිහාත් වෙනස් ඇසකින් දකින්න "ඔබ ඔවුන් බවටම පත් වෙලා ඔවුන් දිහා නැවතත් බලන්න" ඔබ පෙළඹේවි. බාලම දියණිය සිසිලියාගෙ දිනපොතක් එක තැනකදි මේ අසල්වැසි පිරිමි ළමයි කාණ්ඩය අතට ලැබෙනව. ඇයගෙ සිතුවිලි කොයිතරම් විචිත්‍රවත් ද කොයිතරම් ෆැන්ටසික ද කොයිතරම් පරාසයක ඒ සිතුවිලි විහිදී යනවද කියන කාරණය ඒ දිනපොත ආශ්‍රයෙන් වටහගන්න පුලුවන්. නමුත් ඇගෙ ගතානුගතික අදහස් දරන දෙමාපියන් පුලුවන් තරම් කරන්නෙ ඒ සිතුවිලි වලට වැට බැඳීම. ජීවිතය විඳින්න යම් අවස්ථාවල මේ තරුණ ගැහැනු ලමයින් ඉඩ ලැබුනත් ඒ දහසක් සීමාවන් මැද්දෙයි. පැහැදිලිවම යම් විනයක් සදාචාරයක් යෞවනයේ සිටම කෙනෙක් ජීවිතය ඇතුලෙ පුරුදු පුහුණු කරගත යුතුයි. නමුත් එය සීමාව ඉක්මවා යන තැන ඇතිවෙන්නෙ ඛේදවාචකයක්. ඒ අනුව The virgin suicides කියන්නෙ සීමා මායිම් නොතකා නිදහස සොයාගෙන පියාපත් දිගහරින යෞවනියන් පස් දෙනෙක් ගැන අනුවේදනීය කතා පුවතක් බව කිව්වොත් නිවැරැදියි. චිත්‍රපටයෙ එක් දෙබස් ඛණ්ඩයකින්ම මේ කෙට් සටහන නිමා කරන්නම්. එකතැනකදි රෝහල්ගත වෙන සිසිලියාගෙන් වෛද්‍යවරයා මෙහෙම අහනව

"මේ පොඩි වයසට ජීවිතේ නැති කරගන්න හිතුවෙ ඇයි. ඔයා  ජීවිතෙන් බාගයක් වත් අත්විඳල නෑ"

ඇය ඒකට දෙන පිළිතුර 

"ඔයා කවදාවත් අවුරුදු දහතුනක ගෑනු ලමයෙක් වෙලා හිටියද දොස්තර මහත්මය?"



Friday, August 27, 2021

Sympathy for Lady vengeance (2005)

ජීවිතේ කියන මේ සුවිශාල සිතුවම එක තනි පාටකින් වර්ණගන්වාගන්න ඔබට සිදුවුණොතින් ඔබ තෝරාගන්න මොන පාටද? පැතිරුණු නිල් අහස වගේ අසීමිත නිල්පාට? සොබාදහමත් ජීවිතයත් අතර අවියෝජනීය බැඳීම කියා පෙන්වන කොළ පාට? ලෝකට ප්‍රාණවත් බව අරගෙන එන, හිරු එළිය වගේ ජීවයෙන් උතුරන කහ පාටට හුරු තැඹිලි පාට? නමුත් දැන් මම ඔබට කියන්නෙ තද රතු පාටින් තමන්ගේ ජීවිත සිතුවම වර්ණගන්වාගත් කෙනෙක් ගැන. වෛරය, පළිගැනීම, රුධිරය සංකේතවත් කරමින් රතු වර්ණයෙන් තමන්ගෙ ජීවිතය සරසාගත් ගැහැණියක් ගැන. Lee Geum-ja ඇගේ නම. එක් වතාවක් ඇය මුලු රටක්ම කතාබහ කල චරිතයක්ව උන්නා. ඇයගෙ නම නොහසාපු කෙනෙක් කොරියානු කලාපයෙ නොහිටි තරම් වුණා. ඇයට එතරම් ප්‍රසිද්ධියක් ලැබුණෙ කොහොමද?

අවුරුදු හයක පොඩි දරුවෙක් අමානුෂික විදිහට ඝාතනය කිරීම වෙනුවෙන් Lee Geum-ja වැරදි කාරිය වී තිබුණා. ඇය තමන් ඒ වරද කල බව පිළිගත්‍තා. එතකොට ඇයට වයස 19යි. ඇත්තට බොහෝම දෙනා ඇය ගැන කතාබහ කරන්න හේතුවක් වුණේ ඇගේ අසමසම සුන්දර රූපකාය නිසාමයි. ඇය වැනි අහිංසක පෙනුමක් ඇති කෙනෙක් අර තරම් බිහිසුණු අපරාධයක් සිදුකිරීම කාටවත් අදහාගන්න බැරි පුවතක් වුණා. "මිනීමරු දේවදූතිය" ඒ විදිහටයි ඇය රටපුරා ප්‍රසිද්ධ වෙන්නෙ. ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබල ඈ කර වරද වෙනුවෙන් සිරගත වෙනව. සිරගෙය ඇතුළෙ දි නම් ඇයට සිද්දවෙන්නෙ අපූරුම පෙරළියක්. "මිනීමරු" නමක් දිනාගෙන හිටි Lee Geum-ja  හිරගෙය ඇතුළෙ දි අසාමාන්‍ය විදිහට ධාර්මික චරිතයක් බවට පත්වෙනව. කොයිකාටත් උදව් පදව් කරන ආදරේ කරුණාවම හදවතේ උතුරල යන ගැහැනියක් විදිහටයි ඇයව හිරගෙය ඇතුලෙදි හඳුනාගන්නෙ. දැන් ඇය "සමාදානයේ දේවදූතියක්" බවට පත්වෙලා. ආගම දහම අකුරට පිලිපදින ආදර්ශමත් චරිතයක් ඇය. ඉතින් ඇගෙ මේ යහපත් කල්ක්‍රියාවෙ ප්‍රතිඵලයක් විදිහට අවුරුදු 13කින් පස්සෙ ඇගේ සිරඳුවම ලිහිල් වෙලා ඇයට නිදහස්වෙන්න පුලුවන් කම ලැබෙනව.

Lee Geum-ja සිරගෙයින් නිදහස්වෙලා එන මොහොතේ හරි අපූරු වැඩක් වෙනව. එතනදි ඇය පිළිගන්න සූදානමින් ඉන්නෙ ඇතුලෙදි ඇයව ධාර්මික මාර්ගයට යොමු කල පූජකවරය. ඇය එනකොටම ඔහු ඇය ඉදිපිට තබන්නෙ සුදු පැහැ කේක් කැබැල්ලක්. සිරගතව හිටපු යමෙක් නිදහස ලබල එනමොහොතෙ සුදු පාට කේක් කැබැල්ලක් පිරිනැමීමෙ අර්ථය ඔහු හෝ ඇය තමන්ගේ පාපිෂ්ථ ගති වලින් මිදිල යහපත් ජීවිතයකට ඇතුලු වීම බවයි කියවෙන්නෙ. කේක් කැබැල්ල අතට ගන්න Lee Geum-ja  කරන්නෙ ඒක සතුටු සිතින් පිළිගැනීමද? නැහැ ඇය කරන්නෙ එය බිමට අත ඇරීම. පුදුමෙන් කටඇර ගෙන බලා ඉන්නා පූජකයාට හොඳ වචන දෙකක් කතා කරලයි ඈ එතනින් එන්නෙ.

ඉතින් හැමදෙයක්ම ඈ සූක්ෂමව සැලසුම් කල දේවල් බව පැහැදිලියි. ඇයට අවශ්‍ය වුණේ හිරෙන් නිදහස් වෙන්න. තමන් මේ තත්ත්වයට පත්කල අය සොයා ගිහින් පළිගන්න. ඇගේ එකම අරමුණ එයයි. ඉතින් ඇය තමන්ගෙ අරමුණ සාර්ථක කරගන්න උත්සාහ දරන්නෙ කොයි විදිහටද කියන කාරණයයි චිත්‍රපටය පුරාම දැක ගන්න ලැබෙන්නෙ. චිත්‍රපටය නරඹන කෙනෙකුට පොඩි උපදෙසක් දෙන්න කැමතියි. හැම කුඩා සිදුවීමක්ම මඟ නොහැර උවමනාවෙන්ම නරඹන්න. කතාව කොතැනින් හෝ මඟහැරුනා වගේ දැනුණා නම් ඒ නොතේරෙන කොටස් ආයෙ ආයෙම නරඹන්න. මොකද සමස්ත කතාවෙම වැදගත් වෙන සමහර කුඩා කුඩා සිදුවීම් මේ චිත්‍රපටය පුරා ඇතුලත්ව තියෙන නිසා. ඒවැනි තැන් මඟහැරුණොත් චිත්‍රපටයෙ කතාව හරි ආකාරව නොතේරී යන්න පුලුවන්.

Lady vengeance අධ්‍යක්ෂණය කරන්නෙ සුප්‍රසිද්ධ කොරියානු සිනමාකරු Park Chan-wook. "පළිගැනීම" කියන කාරණය තේමා කරගත්ත චිත්‍රපට ත්‍රිත්වයක (vengeance trialogy) අවසාන සිනමාපටය විදිහටයි Lady vengeance නිර්මාණය වෙන්නෙ. (අනෙක් චිත්‍රපට දෙක Sympathy for mr vengeance සහ Oldboy) මේ චිත්‍රපට තුන තේමාත්මකව මිස කතාවක් වශයෙන් එකිනෙක සම්බන්ධ නොවෙන නිසා එකක් නරඹන්න ඊට පෙර චිත්‍රපට නරඹා තිබීම අවශ්‍ය නැහැ. අපරාධකරුවන්ගෙ තියන කැත, අප්‍රසන්න ගතිගුණ ඒ ආකාරයෙන්ම පෙන්වා තිබීම චිත්‍රපටයෙ දකින්න ලැබෙන  කරුණක්. කොරියානු සිනමාවෙ මේ ගුණාංගය මම හිතන්නෙ මම ඔබට අමුතුවෙන් විස්තර කරදෙන්න අවශ්‍ය නැහැ. ඒ චිත්‍රපට බොහෝ අය නරඹන්න අපහසු බව කියන්නෙ ඒ නිසා. මෙතනදිත් එහි වෙනසක් වෙලා නැහැ.

මුලින්ම සඳහන් කලා පලිගැනීමේ රතු වර්ණයෙන් තමන්ගේ ජීවිතය සිතුවම් කරගන්නා ගැහැනියකගෙ කතාවක් මේ චිත්‍රපටයට තේමාවෙන බව. ඇගේ අරමුණට අනුවම මේ කතාවේ"රතු වර්ණයෙන් නැහැවෙන" අවසානයක් ගැන ඉඟියක් පමණක් දෙන්නම්. නමුත් ඔබ නරඹල තියන පළිගැනීම තේමා කරගත් චිත්‍රපටවලට වඩා මෙය සෑහෙන වෙනස් යමක් වීමට හොඳටම ඉඩ තියනව. ඒ අවසානය ඉතාම වැදගත් එකක්. Lady vengeance අනෙක් පලිගැනීමේ කතන්දරවලින් වෙනස් වෙන තැනක් එතැන. ජීවිතයට සෑහෙන වටින පාඩමක් සමඟ හිතන්න යමක් ඒ අවසානය අපිට ඉතිරි කරනව. අපරාධ දූෂණවලින්, තෘෂ්ණාවෙන්, රාගයෙන්, ලේ පිපාසිත කමින් පිරුණු ලෝකයක් ඇස් ඉස්සරහ මවන අතර Lady vengeance නැරඹිය යුතුම වැදගත් සිනමා නිර්මාණයක් විදිහට හඳුන්වන්න හැකියාව ලැබෙන්නෙ වැඩිවශයෙන්ම අන්න ඒ අවසන් කාරණය නිසා.



Friday, August 20, 2021

Mimi (2021)

"හුණුවටයේ කතාව" අපි බොහෝ දෙනෙක් බලල හෝ අවම වශයෙන් අහලවත් ඇති බවට සැකයක් නෑ. ජර්මානු ජාතික නාට්‍යකරු බර්ටෝල් බ්‍රෙෂ්ට් ගේ The caucasian chalk circle නම් නාට්‍ය ඇසුරෙන් හෙන්රි ජයසේන මහත්මය යි මේ හුණුවටයේ කතාව නිර්මාණය කරන්නෙ. නාට්‍යයෙ කතාව සාරාංශයක් විදිහට මෙහෙමයි. 

යුරෝපයේ කොකේසියන් කඳුකරය ආශ්‍රිත ගෘසිනියාව නම් රාජ්‍යයේ යුවරජ ජෝර්ජියෝ අබෂ්විල්, රජ බිසව නතාලියා කුමරිය සහ ඔවුන් දෙපළගෙ අලුත උපන් පුත් කුමරා මයිකල් ඇතුළු පරිවාර සේවක සේවිකාවන් පිරිස පාස්කු ඉරිදාවක උදයෙම දේවස්ථානය බලා යමින් ඉන්නව. රටේ ඇතිවී තියෙන්නෙ කැරළිකාරී තත්ත්වයක්. මේ යුවරජ ඇතුළු කණ්ඩායම හිටිහැටියේ ම කැරළි කරුවන් පිරිසකට මැදිවෙනව. කැරළිකරුවන්, යුවරජ ජෝර්ජියෝ එතැනදිම මරා දමනව. තමන්ගේ ජීවිතය සහ පැළඳ ඉන්නා වටිනා ආභරණ බේරාගන්න නතාලියා බිසව පුත් කුමාරයාවත් අමතක කරල පළායනව. බිසවගෙ සේවිකාවන් අතර උන්නු ගෘෂා නම් තරුණ ගැහැණු ලමයෙක් මේ සිද්දිය දකිනව. පුත් කුමර මයිකල් ගැන අනුකම්පාවක් ඇති කරගන්න ගෲෂා ඔහුවත් අරගෙන කඳුකරයට පළායනව. 

ගෲෂා විවාහ වෙන්න නියමිතව උන්නෙ සයිමන් නම් හමුදා සෙබළෙක් සමගින්. රටේ ඇති වුණු තත්ත්වය එක්ක සයිමන් රාජකාරිය වෙනුවෙන් බැහැරව ගිහින්. ගෲෂා නවතින්නෙ තමන්ගෙ සහෝදරයා ගෙ නිවාසයෙ. එතැනදි ජෝසප් නම් තව මනුෂ්‍යයෙක් එක්ක විවාහ වෙන්න ගෲෂාට බල කරනව. අවසානෙ අකැමැත්තෙන් වුණත් ඇයට ජෝසප් එක්ක විවාහ වෙන්න සිද්දවෙනව. 

ඔය අතරෙ රටේ කලබලකාරී තත්ත්වය එක්ක එක් ආදිපාද වරයෙන් වෙස්වලාගෙන පලායනව. ඔහු සතුරන් අතට පත්වෙන්න ආසන්න වෙනකොට අසඩක් නම් සොරදෙටුවෙක් ආදිපාදවරයා කවුදැයි නොදැන ඔහුව එයින් ගලවගන්නව. අසඩක් නම් අසමාන බුද්ධිමත් කමක් හිමි මනුෂ්‍යයෙක් බව ආදිපාදවරයා දැනගන්නව. කාලයත් එක්ක කැරළි කෝලහාල යටපත් වෙලා කලින් තිබූ රජය ආයෙත් බලයට එනව. ආදිපාදවරයා තමන්ගෙ ජීවිතේ බේරුව අසඩක් නම් බුද්ධිමත් සොරාට නඩුකාර පදවියක් පිරිනමනව. අසඩක් ඉතාම සාධාරණ සහ දුප්පතුන් වෙනුවෙන් පෙනී ඉන්නා මනුෂ්‍යයෙක් විදිහට ප්‍රසිද්ධිය ලබනව.

රටේ තත්ත්වය යහපත් අතට හැරුණායින් පස්සෙ සයිමන් නැවතත් ගෲෂාව සොයාගෙන ගමට එනව. ඒත් ගෲෂා දැන් වෙනත් කෙනෙක් විවාහ කරගෙන දරුවෙකුත් ලබල ඉන්න හැටි සයිමන් දකිනව. සයිමන් කල්පනා කරන්නෙ දරුවා ගෲෂා ගෙ බව ඒත් පසුව ඔහු ඇත්ත දැනගන්නව. මේ වෙද්දි නතාලියා බිසවත් මයිකල් කුමාරයාව සොයමින් ඉන්නෙ. යුවරජ ගේ දේපල ඇගෙ නමට හරවාගන්න මයිකල් ඇයට අවශ්‍යයි. නතාලියා බිසව මයිකල් සොයමින් ඉන්න වැදගත්ම හේතුව ඒකයි. අවසානෙ ගෲෂා ලඟ ඔහු ඉන්නා බව දැනගන්න සෙබලු දෙදෙනාම රජමාලිගයට අල්ලාගෙන යනව. මයිකල් තමන්ගේ දරුවා බව කියමින් ගෲෂා ඔහුව ආපහු බාරදීම ප්‍රතික්ෂේප කරනව. මේ අවනඩුව විසඳන්න බාර වෙන්නෙ අසඩක්ට.

වෙච්ච සිදුවීම හොඳ හැටි අහගන්න අසඩක් මේ නඩුව විසඳන්නෙ හරි අපූරු ක්‍රමයකට. හුණු කැබැල්ලකින් රවුමක් ඇඳල මයිකල්ව ඒ රවුම මැද තියන අසඩක්, නතාලියා බිසවටත් ගෲෂාටත් දෙපැත්තෙන් ඉඳන් දරුවාව තමන්ගෙ පැත්තට ඇදගන්න නියම කරනව. මුලුමනින්ම දරුවාව තමන්ගේ පැත්තට ඇදගන්න තැනැත්තියට දරුවාගෙ අයිතිය හිමි කර දෙනව හැරෙන්න මෙය විසඳාගත හැකි වෙනත් ක්‍රමයක් නැති බව අසඩක් කියනව. දැන් රවුම මැද මයිකල් ව තබල එක අතිකින් නතාලියාත් අනික් අතින් ගෲෂාත් ඔහුව තමන්ගෙ පැත්තට අදිනව. මේ දෙන්නෙක් අත්දෙකෙන් දෙපැත්තට අදිනකොට දරුවාට ඉතාම වේදනාවක් දැනෙනව. ඒ නිසා ඔහු අඬන්න පටන් ගන්නව. දරුවා නිසා උරුම වෙන දේපල වස්තුවට ලෝබ කමේ නතාලියා තවත් වේගයෙන් අදින්න පටන් ගන්නව. ඒත් ඇත්තටම දරුවට ආදරෙන් ඔහුව හදාවඩාගත්ත ගෲෂාට දරුවගෙ දුක වේදනාව දැනෙනව. ඇය ඒ නිසා දරුවා අතහරිනව. දරුවාට ඇත්තටම ආදරේ කරන ගෲෂා ට ඔහුව හිමි කර දෙමින් අසඩක් තීන්දුව ලබා දෙනව. මෙන්න මේ සුප්‍රසිද්ධ වාක්‍යය ඔහු අවසානෙදි කියනව. 

"දෙයක් වේ නම් සුදුස්සාටම හිමිවිය යුතුයි"

බර්ටෝල් බ්‍රෙෂ්ට් මේ නාට්‍යයට පාදක කර ගන්නෙ සාම්ප්‍රදායික චීන නාට්‍යක් බව තමයි කියවෙන්නෙ. අපේ බෞද්ධ සාහිත්‍ය ඇතුලෙ උම්මග්ග ජාතකයෙ මහෞෂධ පඬිතුමා මේ ආකාරයෙන්ම නඩුවක් විසඳන ආකාරය ඔබ අහල ඇති. කොහොම වුණත් 2021 අවුරුද්දේ තිරගත වුණු Mimi නම් හින්දි භාෂිත චිත්‍රපටය නරඹද්දි  "හුණුවටයෙ කතාව" සිහිපත් වීම වළක්වන්න බැරි කාරණයක්. Mimi, 2011 අවුරුද්දේ තිරගත වුණු Mala Aai Vhhaychy නම් මරාති චිත්‍රපටයෙ හින්දි ප්‍රතිනිර්මාණය. Mimi අද්‍යක්ෂණය කරන්නෙ 
English Vinglish, Dear Zindagi, Hindi Medium ඇතුළු තව චිත්‍රපට ගණනාවක cinematography නිර්මාණකරු විදිහට කටයුතු කල  Laxman Utekar. මේ ඔහුගෙ හතරවෙනි අධ්‍යක්ෂණය. A. R. Rahman ගේ සංගීතයත්  "මිමී" නම් ප්‍රධාන චරිතය රඟදක්වන Kriti Sanon ගේ රඟපෑමත් චිත්‍රපටය ආකර්ෂණීය බව තවත් ඉහළනංවනව. රියැදුරෙකුගේ චරිතය නිරූපණය කරන Pankaj Tripathi ඉතාම හොඳ මට්ටමේ රංගනයක යෙදෙන බව දැකගන්න පුලුවන්.

Mimi සරල විනෝදාත්මක බව ඇතුලෙ ලොකු සමාජ පණිවුඩයක් ගෙන එන චිත්‍රපටයක්. "හුණුවටයෙ කතාවෙ"  ගෲෂා වගේම Mimi ගේ කතාවේ මිමී ත් දරුවෙක්ට ආදරය කරනව කියන්නෙ ඇත්තටම කොයි වගේ දෙයක්ද කියන කාරණාව හරි අපූරුවට පෙන්නා දෙනව. "හුණුවටයත්" "Mimi" ත් හරියටම එකිනෙක සමපාත වෙන්නෙ කොහොමද කියන කාරණේ චිත්‍රපටය බලලම ඔබ වටහ ගන්න.

නමුත් මේ කාරණය කිවයුතුමයි. මේ චිත්‍රපටයෙ එක් වැදගත් සමාජ කාරණාවක් නිරාවරණය කරනව. ඒ ඉන්දියාවේ  දැන් නීතිගතවම ක්‍රියාත්මක වන surrogacy නැත්නම් දරුවන් ප්‍රතිනිහිත කිරීම ගැන. ඉන්දියාවේ පමණක් නොවෙයි ලෝකයෙ බොහොම රටවල මෙය නීත්‍යනුකූලවම සිදුවෙමින් තිබෙන දෙයක්. මෙතනදි සිද්දවෙන්න දරුවන් නැති හෝ දරුවන් ලබන්න හැකියාවක් නැති යුවලකගෙ ජීවානු යොදාගෙන වෙනත් කාන්තාවකගෙ ගර්භාෂයෙ ඔවුන් වෙනුවෙන් දරුවෙක් හටගැන්වීම. ඉතිහාසය ඇතුලෙ මේ විදිහට දරුවන් නොලැබෙන යුවලක් තුන් වෙනි පාර්ශ්වයක් විදිහට වෙනත් කාන්තාවක් යොදාගෙන දරුවෙක් ලබාගැනීම කියන්නෙ සෑහෙන කාලයක පටන් පැවතගෙන ආ යමක්. මුලින්ම අදාල යුවලගෙ පිරිමි පුද්ගලයගෙ ශුක්‍රාණුවක් ප්‍රතිනිහිතතාවට සූදානම් අනෙක් ගැහැනිය ගෙ ගර්භාෂයෙ තැන්පත් කිරීමෙන් මෙය සිදුවුණත් දැන් අදාල යුවළගේම ජිවානු අනෙක් ගැහැනිය තුල තැන්පත් කරන්න හැකි තරමට තාක්ෂණය දියුණුයි. ප්‍රතිනිහිතතාව නීතිගත වුණාට පස්සෙ විදේශිකයන් විශාල ප්‍රමාණයෙන් මේ වෙනුවෙන් ඉන්දියාවට පැමිණෙන්න පටන් ගත්ත. මේ විදිහට උපදින දරුවන්ට මොකක්ද වෙන්නෙ කියන කාරණය නිශ්චය කරගන්න හැකියාවක් නැහැ. එය සදාචාරමය අතින් විශාල ගැටලුවක් නිසා ඉන්දියාවේ දැන් විදේශිකයන් වෙනුවෙන් දරුවන් ප්‍රතිනිහිත කිරීම තහනම් කර තිබෙනව. රටවල් කීපයක මෙය සියලුදෙනාටම නීතියෙන් තහනම්. එකක් ආගමික හේතු මත වගේම මේ විදිහට වෙනත් අරමුණු වෙනුවෙන් දරුවන් උපදවාගැනීමේ සදාචාර විරෝධී ව්‍යාපාර බිහිවිය හැකි නිසා යි සමහර රටවල මෙය තහනම් කර තිබෙන්නෙ. මුදල් නිසම මෙයට පෙළඹෙන කාන්තාවන් ඉන්නව වගේම කිසිම මුදලක් නොගෙන සේවයක් විදිහට අන් අයට තමන්ගේ ගර්භාෂයෙ ඉඩ වෙන් කර දෙන කාන්තාවන් ඉන්නා බව කිව්වොත් ඔබ පුදුම වේවි. Mimi චිත්‍රපටයෙන් පෙන්වා දෙන්නෙ දරුවන් ප්‍රතිනිහිත කිරීමේ එක් අඳුරු පැතිකඩක්. දරුවන් ලැබීමෙ අපේක්ෂාවෙන් ඉන්න හෝ දැනටමත් මව් පිට පදවි ලැබූ අයට පමණක් නොවෙයි ඕනෑම කෙනෙකුට ජීවිතේට වටිනා පාඩම් ගණනාවක්ම කියාදෙන චිත්‍රපටයක් විදිහට Mimi හඳුන්වාදිය හැකියි.





Monday, August 9, 2021

සිනාසෙන විට ඔබ...

සිනාසෙන විට ඔබ
මඳක් වැඩෙයෙන් ඇසෙයි හඬ..
යම් කුඩා දිලිසුමක්
මතුව ඒ ඇස් අග..
මනා සේ හැඩකොට
පීරා තිබේ කෙස් කළඹද..
සුදු පැහැති මුදු මලක්
රැඳවී තිබේ 
බැස යන සැඳෑ හිරුගේ
වර්ණයෙන් ඔපනැංවූ වරලස..
කුමක් හෝ යමක්
සිදුවී තිබේ අද...



Thursday, August 5, 2021

කවිපොතක්... හීනයක්...

 ටික කාලයක පටන් මූණුපොතේත් බ්ලොග් අවකාශයෙත් කවි නැත්නම් ඒවැනි දේ ලිව්වට කවි පොතක් පළ කිරීම කියන්නෙ එක්තරා ආකාරයක හීනයක්ව තිබුණ යමක්.  නමුත් සමහර හීන හැබෑවෙන්නෙත් හීනයක්ම ආකාරයට. 2020 ගොඩගේ අත්පිටපත් තරඟයට මේ කවි කිහිපයක එකතුවක් යොමු කලේ ඒ තරම් ලොකු බලාපොරොත්තුවක් ඇතුව නෙමේ. තරඟයේ අවසානයෙදි මේ කවි එකතුවට ප්‍රශස්ත ඇගයීමක් හිමිවෙන්නෙ නොසිතූ විදිහට. "ළා රත් පැහැති දෙතොලක සිනහවක්" නමින් මේ කවි එකතුව දැන් ඔබට මරදාන ගොඩගේ පොත් හලෙන් නැත්නම් kbooks අඩවිය හරහා online ක්‍රමයට මිලදී ගන්න පුලුවන්. මේ පොත සම්බන්ධව Lanka news web අඩවිය සමඟ පැවැත්වුණ සංවාද⁣යක්. බොහෝම ස්තූතියි කසුන් සමරතුංග සහෝදරයාට මේ අවස්ථාව මට ලබාදීම වෙනුවෙන්.

.
2020 ගොඩගේ සාහිත්‍ය අත්පිටපත් තරගාවලියේ, කාව්‍ය අංශයේ ප්‍රශස්ත කෘතිය ලෙස ඇගයීමට පත්‍ර වූයේ හෂාන් රන්දික ඩයස් රචනා කළ 'ළා රත් පැහැති දෙතොලක සිනහවක්' කවි සරණියයි. මතු දැක්වෙන්නේ එය නිමිති කරගෙන ලංකා නිව්ස් වෙබ් අඩවිය ඔහු සමඟ කළ සංවාදයකි.

#. 'ළා රත් පැහැති දෙතොලක සිනහවක්' මේ මොහොතෙ හෂාන් රන්දික ඩයස්ගෙ දෙතොල මතට සිනහවක් කැන්දගෙන ඇවිල්ලද තියෙන්නෙ?

ගොඩගේ ආයතනය සංවිධානය කළ අත්පිටපත් තරගයෙන් ප්‍රශස්ත ඇගයීමක් ලැබීම සෑහෙන ප්‍රහර්ශයක් ඇති කළ බව කිව්වොත් ඒක නිවැරැදියි. දන්න කියන නම් කිහිපයක් එක්ක අවසාන වටයට නිර්දේශ වෙන්න ලැබීමත් ඒ අතර අමතර සතුටක්. සයිබර් අවකාශයෙ ලියවුණ යුනිකෝඩ් අකුරු මෙහෙම පොතක් බවට පත්වෙලා අතට එනකොට ඒක වෙනම හැඟීමක්. ඩිජිටල් මාධ්‍ය කොයිතරම් දියුණු වුණත් මුද්‍රිත පොතකින් ලැබෙන හැඟීම වෙන දෙයකින් ලබා ගන්න බෑ. ඉතින් ඒ සතුට මේ මොහොතෙ භුක්ති විඳිමින් ඉන්න බව කියන්න කැමතියි. ඒක මට විතරක් උරුම යමක් නොවෙයි. මේ අත්පිටපත වෙනුවෙන් වෙහෙස මහන්සි වුණු, අදහස් පල කළ තවත් කීපදෙනෙක් ඉන්නව. ඒ ප්‍රහර්ශය ඒ හැම කෙනෙකුටම උරුමයි. ඒ හැඟීම කවි කියවන බෙදාහදා ගන්න මේ හැම කෙනෙකුටම අයිති සතුටක්. නවක ලියන්නන් දිරිමත් කරමින් මේ වැනි අවස්ථාවක් ලබා දීම වෙනුවෙන් ගොඩගේ ආයතනයටත් අත්පිටපත් තරගය සංවිධානය කල හැම කෙනෙකුටමත් ස්තූතිය පළකරන්න කැමතියි.

#. පොතට ලැබුණු ඇගයීම ඔබට මොන වගේ සාහිත්‍යමය උත්තේජනයක් වුණාද?

ෆේස්බුක් මාධ්‍යයේ ලියනකොට ඒ දේවල්වලට නොයෙක් විදිහේ ප්‍රතිචාර විවිධාකාර මට්ටම් වලින් ලැබෙනවනෙ. ඒ ප්‍රතිචාර එක්ක අපි ලියන දේවල් ඇත්තටම කොතනද තියෙන්නෙ කියන කාරණය ගැන නිවැරැදි තක්සේරුවකට එන්න හරි අමාරුයි. මම මේ තරඟය ඉදිරිපත් වෙන්න කල්පනා කල එක හේතුවක් වුණේ මෙතෙක් කල් ලියපු දේවල් කොයිවගේ මට්ටමක තියනවාද  කියන කාරණය ගැන මටම යම් අගය කිරීමක් කරගන්න පුලුවන් වීම නිසයි. ඉතින් මේ ලැබුණ ප්‍රතිඵලය ගැන සෑහෙන තෘප්තිමත්. ඒ හැඟීම තවදුරටත් ලියන්න 'තහනම් නොවන උත්තේජනයක්' විදිහට වැඩකරන බව ඇත්ත. නමුත් මේ ජයග්‍රහණය එක්ක කියවන පිරිස ඇතුලෙ වැඩිපුර අවධානයට ලක්වෙන්න පටන් ගන්නව. 'කවි පොතක් කළ කවියෙක්' කියන හැඳින්වීම ඒ එක්කම එනව. කොහොමත් ෆේස්බුක් වගේ මාධ්‍යක කවියක් ලියල පළ කරනකොට මේක කීදෙනෙකුට තේරුම් ගන්න පුලුවන් වෙයිද, මේකට කොහොම ප්‍රතිචාර ලැබෙයිද කියල යම් චකිතයක් ඇතිවෙන්නෙ නෑ කියන්න බැහැ.නමුත් පොතකින් පස්සෙ 'කවියා' නම් හැඳින්වීමත් එක්ක අර කලින් තිබ්බ නිදහස අවම වෙන ස්වභාවයක් තියනව.

#. කවිය එක්ක මුලින්ම ගනුදෙනුව පටන් ගත්ත හැටි සහ ඒ ගමන පොතක් දක්වා ආ හැටි ගැන අපිට පොඩි විස්තරයක් කියන්න?

බොහෝම වෙලාවට කවි ලියන අය කියන දෙයක් තමා ඒ අය පාසල් කාලයෙ ඉඳන්ම කවි ලිව්වා කියන දෙය. නමුත් මම සම්බන්ධයෙන් නම් ඒ තත්ත්වය සෑහෙන වෙනස්. මම කවි ලියන්න පෙළඹුණේ ෆේස්බුක් එක නිසා කිව්වොත් තමයි වඩා නිවැරදි. ලිවීම ගැන මට එහෙම ලොකු ඉතිහාසයක් නැහැ. නමුත් මෙහෙම දෙයක් තිබුණ. මම කුඩා කාලෙ ඉඳන්ම හරි ආසාවෙන් කවි කියෙව්ව. බොහෝම වෙලාවට ඉරිදා පත්තරේ අනිවාර්යයෙන් අපේ ගෙදර මිලට ගන්නවා. ඒත් එක්කම නොයෙක් සාහිත්‍ය අතිරේක, කවි විචාර, පෙර කවි කිවිඳියන්ගේ කවි මට කියවන්න ලැබුණා. කවි ගැන විශේෂ ඇල්මක් ඒ දේවල් නිසා කාලයක් තිස්සෙ මං ඇතුළෙ වැඩෙමින් තිබුණා. ෆේස්බුක් මාධ්‍ය අපේ සමාජයෙ ප්‍රචලිත වෙන්න පටන් ගන්නෙ ඉන් පස්සෙ. මුල් කාලීනවම මේ ෆේස්බුක් අඩවියට පිවිසුණු කෙනෙක් විදිහට  ප්‍රමාණාත්මකව ඒතරම් ලොකුවට කවි මෙතැන ලියවෙන බවක් දුටුවෙ නෑ. නමුත් පසුකාලීනව යුනිකෝඩ් අකුරු භාවිතය එක්ක. බොහෝමයක් දෙනා මේක ඇතුලෙ කවි ලියන්න පටන් ගන්නව. කවි සමූහ හැදෙනව, කවි සංවාද, මිතුරු කණ්ඩායක් ඕව හැදෙනව.  මේ දේවල් දකිනකොට කවියක් ලියන්න ඕන කියන පෙළඹවීම මට ඇතිවුණා. කවියට මාව ඇදවැටුණෙ නැත්නම් කවිය මාව හොයාගෙන ආවෙ එහෙම.

#. එතැනදි ඔබට පෙර සහ ඔබට සම පරපුරෙන් උකහා ගත් යමක් තියෙනවද?

අනිවාර්යයෙන් ඔව් ! ඒක මට පමණක් අදාල කරුණක් නොවෙයි සහ එය කවියට පමණක් අදාළ කරුණකුත් නොවෙයි. සාහිත්‍ය ඇතුළෙ කෙනෙක් නිර්මාණකරණයට පෙළඹෙන්නෙ යමක් කියවීමෙන් ලබන ආහ්ලාදය නිසාම තමයි. ලිවීම පවත්වාගෙන යන අතරත් කියවීම ඉතාම වැදගත්. මම කලින් සඳහන් කලා පෙර කවි කිවිඳියන්ගේ කවි මට සෑහෙන කියවන්න ලැබුණු බව. විශේෂයෙන් ආරියවංශ රණවීර වගේ කවියෙක් එතනදි සෑහෙන මගේ සිත්ගත්ත බව කියන්න ඕන. ඔහු සම්මත සෞන්දර්ය රීති වලින් වෙනස් මඟක් ගත්ත කවියෙක්. ඒ කවිවල උපමා රූපක නැති තරම්. භාෂාවෙ අලංකාරයට වඩා කවියට නිමිති කරගන්න දේ සහ ස්වල්ප වචන ප්‍රමාණයකින් කරන ගොඩනැංවීම ඇතුලෙයි ඒ කවියේ විස්මය තියෙන්නෙ. ඒ අවමවාදී කවිය මුල් කාලීනව මට සෑහෙන බලපෑමක් කලා. ඉන්පසු පරම්පරාවල කවි කිවිඳියන්ගෙ නිර්මාණ පසුකාලීනව මට කියවන්න ලැබෙනව. මම යමක් ලියනව නම් ඔවුන්ගේ කවි කියවීමෙන් ලැබුණු ප්‍රහර්ශය අනිවාර්යයෙන් අඩුවැඩි වශයෙන් මට බලපෑමක් කලා. ඒ වගේම සමකාලීනව කවියට පිවිසුණු මිතුරු මිතුරියන් පිරිසක් ෆේස්බුක් සමාජයෙ ඉන්නව. ඔවුන් ලියන දේවල් වලිනුත් අනිවාර්යයෙන් යම් බලපෑමක් මේ කවියට සිදුවෙනව. කවිය කියන්නෙ මෙන්න මේ ආකාරයි කියල එක සීමාවක රඳවල තියන්න මම කැමති නෑ. විවිධත්වයට මම ඉතාම කැමතියි. නමුත් ඒ අතර තමන්ගේ අනන්‍යතාව පැවතිය යුතුයි. මම හිතන්නෙ එය මම තවම සොයමින් ඉන්නව.

#. ඔබ සංගීතයට සහ සිනමාවට ලොකු ඇල්මක් දක්වන බව පේන්න තියෙනවා. ඒක ලිවීමට එල්ල කරන්නෙ කොහොම බලපෑමක්ද?

සංගීතයත් සිනමාවත් කවියට ඍජුව බලපෑම් කරන්නෙ කොහොමද කියන කාරණය ගැන මට නිශ්චිත අදහසක් නෑ. නමුත් මෙහෙම දෙයක් තියනව. කලා මාධ්‍යක් විදිහට සංගීතය අරගත්තොත් ලෝකය පුරා විවිධාකාර සංගීත සම්ප්‍රදායන් තියනව. ඒ ඒ රටවල් වලට සහ භූගෝලීය කලාපවල, ඒ ඒ සංස්කෘතින්ට අනන්‍ය වුණු සංගීත රටා තියෙනව. මේ හැම දෙයක්ම එක වගේ රසවිඳින්න අපිට බැරි වෙන්න පුලුවන්. නමුත් මේ විවිධ සංස්කෘතින්ට අයිති දේවල් රසවිඳින්න පුලුවන් විවෘත රසිකත්වයක් තිබීම ඉතාම වැදගත්. රසිකත්වය කියන්නෙ පුහුණු කරගත යුතු යමක් තමයි. සිනමාව ගත්තත් එහෙමයි. චිත්‍රපටයක් බලන්න හිතුණත් අපි බොහෝම වෙලාවට රැඳෙන්නෙ හොලිවුඩ් සහ බොලිවුඩ් අන්තවල පමණයි. නමුත් ලෝකය පුරාම කොයිතරම් හොඳ චිත්‍රපට නිර්මාණය වෙනවද? ලෝකයෙ ලොකුම සිනමා කර්මාන්තයක් හිමි අපේ සංස්කෘතික අසල්වැසියා ඉන්දියාවේ වුණත් ප්‍රධාන ධාරාවන්ගෙන් එහා කොයිතරම් හොඳ චිත්‍රපට හැදෙනවද. චිත්‍රපට හුදු විනෝද මාධ්‍යකින් එහා විවිධාකාර සංස්කෘතික, දේශපාලනික සීමා ඇතුළෙ මිනිස් ජීවිතය කියවාගත හැකි කලා මාධ්‍යක් විදිහට අපි හඳුනාගත යුතුයි. හොඳ සිනමාත්මක ගුණයෙන් තියන නිර්මාණයක් 'සිනමා කාව්‍යයක්' විදිහට හඳුන්වනව. ඒ සියුම් සෞන්දර්ය රසවිඳින්න එක්තරා ආකාරයක පුහුණුවක් අවශ්‍යයි. මම හිතෙනව කවියෙකුට නොයෙකුත් සංස්කෘතික සහ සෞන්දර්ය කලාපයන්ට තියන විවෘතකම ඉතාම වැදගත් දෙයක් කියල.

#. ඔබේ රැකියාවත් පොත් පත් ආශ්‍රිත එකක්. ඒ අත්දැකීම කොහොමද?

තමන් ඉතාම ආදරය කරන යමක් එක්ක රැකියාව කරන්න ලැබීම මම හිතන්නෙ කෙනෙකුට ලැබෙන සෑහෙන වටින අවස්ථාවක්. ඒ සතුට මේ රැකියාව ඇතුලෙ මම භුක්ති විඳිනව. පොතක මූලික අත්පිටපතේ ඉඳන් අවසානෙ මුද්‍රණය වෙලා අතට එන මොහොත දක්වාම වෙන සියලු වැඩකටයුතු ගැන අවබෝධයක් මේ නිසා ලැබිල තියනව. මගෙ පොතේ නිර්මාණාත්මක කටයුතු මේ නිසා මටම කරගන්න පුලුවන් වුණා. අත්පිටපත් තරඟයෙදි මේ කාරණාව මට සෑහෙන පහසුවක් වුණා.

#. සමාජ මාධ්‍ය ප්‍රමුඛ කරගත් නූතන ලියන - කියවන අවකාශය ගැන ඔබේ තක්සේරුව මොකද්ද?

මම කලිනුත් සඳහන් කලා මට කවි ලියන්න පෙළඹවීමක් ඇතිවෙන්නෙ ෆේස්බුක් එක හරහා කියන දෙය. ඒ නිසා මේ අවකාශයෙ කිසිම ආකාරයකින් සාධනීය දෙයක් වෙන්නෙ නැහැයි කියන්න සදාචාරාත්මක අයිතියක් මට නැහැ. ඇත්ත, අපිට සාධනීය කුලකයට ඇතුළත් කරන්න පුලුවන් දේවල් මේ අවකාශයෙන් හොයාගන්න පුලුවන්. ලියන කෙනෙකුට තමන්ගේ ලිවීම අභ්‍යාස කරන්න මේක හොඳ අවකාශයක්. ඒ වගේම කාලයක් තිස්සෙ තමන්ගේ ලිවීම වැඩිදියුණු කර ගත්ත වගේම නැවුම් ආකාරයෙන් හිතන, හැමදාම දකින දෙයක් ගැන වුණත් වෙනස් විදිහට දැකල රහක් ඇතිවෙන්න ලියන්න පුලුවන් අය, එහෙම ලියවෙන නිර්මාණ කියවගන්න ලැබෙනව. ඒක මේ අවකාශයෙ සෑහෙන සතුටුවෙන්න පුලුවන් කාරණාවක්. ඒ වගේම මෑතකාලීනව කවිය ගැන ලොකු උනන්දුවක් ඇතිවෙලා තියන බව දකින්න ලැබෙනව. අලුතෙන් කවිපොත් සෑහෙන එළිදකිනව. ඒව ගැන සංවාද, නොයෙක් ආකාරයේ විචාරාත්මක අදහස් පළකිරීම් වැනි දේවල් දකිනව. ඒ දේවල් වල නරකක් මම දකින්නෙ නෑ. ඒත් අර අපි හැමදාම දකින සමාජ මාධ්‍ය අවකාශයෙන් මිදිල අපේ සමාජය දිහා බැලුවම දකින්න ලැබෙන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. කවිය විතරක් නෙමේ සංස්කෘතික ජීවිතයක් ගැන හැඟීමක් මේ සමාජෙට නැති තරම්. දවසම මහන්සි වෙලා වැඩකරල ඇවිත් හවසට මෙගා ටෙලිනාට්‍යක් දිහා බලන් ඉන්න එක තමා අපිට දැන් තියන සංස්කෘතික ජීවිතේ. ඒත් සැප්තැම්බර් මාසයෙදි කොළඹ පොත් ප්‍රදර්ශනයට ඇවිත් බැලුවොත් දැක බලා ගන්න පුලුවන් විශාල ජන ගංගාවක්. ඒත් ඇත්තටම එළියෙ සිද්දවෙන දේවල් බැලුවම අපි කියවන බව පෙන්වුවත් ඇත්තටම නොකියවන සහ ඒ අනුව සිතීම දියුණු කර නොගත්‍ත සමාජයක් බව තමයි කණගාටුවෙන් වුණත් කියන්න වෙන්නෙ. අපි අහල තියෙන්නෙ කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියල විතරයි. නමුත් කියවීම පමණක් ප්‍රමාණවත් නෑනෙ. කියවන දේ කිරා මැන බලන්න විචාරය කරගන්න ඒ අනුව හිතීමත් දියුණු වෙන්න ඕන. අර කියන විදිහට 'සම්පූර්ණ මිනිසෙක්' හැදෙන්න ඕන එහෙම. ඒකට සෑහෙන නිදහස් මනසක් විවේක බුද්ධියක් අවශ්‍යයි. දැන් තියන තරඟකාරී සමාජ ආර්ථික වටපිටාව ඇතුලෙ ඒ ඉඩ ක්‍රමයෙන් ඇහිරෙමින් යන බවක් තමා පේන්න තියෙන්නෙ.

සමාජ මාධ්‍ය ලියන කියවන අවකාශයක් විදිහට මේකෙ නිශේධනාත්මක විදිහට හඳුන්වන්න පුලුවන් දේවලුත් තියනව. එක් කාලයක් තිබුණ ප්‍රවණතාත්මක කවි ලිවීම විලාසිතාවක් බවට පත් වෙලා තිබුණ. සමහර දේවල් කවි විදිහට හඳුන්වන්න බැරි වාර්තා රූපී ප්‍රකාශන. නමුත් මේව කවි විදිහට හඳුන්වමින් සෑහෙන පිරිසක් අතරෙ බෙදාහැරෙනව. කවිය ගැන අදහසක් නැති කෙනෙකුට නම් මේ දේවල් කවි විදිහට වැරදි හඳුනාගැනීමක් කරනව. මම අපේ පරපුර වර්ණනා කරනව නොවෙයි. ඒත් ෆේස්බුක් වැනි දෙයක් එන්න කලින් අපිට පුවත්පත් සඟරා වගේ මාධ්‍යවලින් පෙර නිර්මාණකරුවන්ගේ හොඳම ලිවීම් කියවන්න ලැබුනා. එවැනි මාධ්‍යකින් යමක් පළවෙන්නෙ සෑහෙන තෝරාගැනීමකින් යුතුව. නමුත් ෆේස්බුක් එහෙම නෑ. ඕනෑ කෙනෙකුට ඕනෑම දෙයක් පළ කරන්න පුලුවන්. අලුත් පරම්පරාව කෙලින්ම සම්බන්ධ වෙන්නෙ මේ මාධ්‍යට. ඒ නිසා අර කියවීම ඔවුන්ට අහිමි වෙන බවක් පේන්න තියනව. තව දෙයක් තමා අලුතෙන්  කෙනෙක් හොඳට ලියන්න පටන් ගත්තම මේ ලියන කියවන ප්‍රජාව විසින්ම ඒ පුද්ගලයව 'ඔයා දැන් කවියෙක්' කියල නාමකරණය කරනව. යම් රසික පිරිසක් ඒ පුද්ගලය වටා හැදෙනව. ඒ නිසා අර කියවන්නන් පිනවීමේ අරමුණෙන් තමයි අර පුද්ගලය ලියන්නෙ. මේ බොරු වලවල් වල නොවැටී ඉඳීම ලියන කෙනෙක් වශයෙන් අනිවාර්යයෙන් පුහුණු කරගත යුතු දෙයක්. තමන් කල නිර්මාණයකට හොඳ ප්‍රතිචාර ලැබෙනකොට ලියන්නෙකු විදිහට ඒ සතුට විඳ ගත යුතුම තමයි. නමුත් මේ ප්‍රතිචාර නිසා තමන්ගේ අනන්‍යතාව අහිමි කර නොගත යුතුයි.

#. මේ වෙද්දි පොතට ලැබෙන ප්‍රතිචාර සහ ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැනත් යමක් කියල අපි දැනට මේ සංවාදය මෙතැනින් ඉවර කරමු?

පොතට ලැබෙන ඕනෑම ප්‍රතිචාරයක් සම සිතින් බාරගන්නව. මෙතුවක් ලැබුණෙ යහපත් ප්‍රතිචාර. පොත කියවා යම් අදහසක් කිව්ව හැම කෙනෙකුටම ස්තූතියි කියන්න මේක අවස්ථාවක් කරගන්නව. ඉදිරි වැඩ ගැන කියනව නම් ළමා සහ යොවුන් ගණයේ  නවකතාවක සිංහල පරිවර්තනයක් කර තිබෙනව. ඒක තරමක කාලෙකට කලින් කල දෙයක්. ඒ පරිවර්තනය පොතක් බවට පත්කරගැනීමේ හීනය ඉතුරුවෙලා තියනව. ජීවිතය විසින් ලියන්න කවි හොයල දෙනකම් කවි ලියනව.

සංවාදය - කසුන් සමරතුංග



Tuesday, August 3, 2021

අරුත සොයා යන්න...

 "අරුත සොයා යන්න. ජීවිතයේ දුක්බර ස්වභාවය සහ සිත තුළ හටගැනෙන අඳුරු හැඟීම් එකිනෙකින් වෙන් කර හඳුනාගන්න. පිටතට ගොස් ඇවිදින්න. එය උද්‍යානයක් හරහා සිදුවන ප්‍රේමණීය ඇවිදයාමක් විය යුතු නැත. වසන්තය සිය උපරිමත්වයට පැමිණ සිටින දිනය විය යුතු නොවන්නේ ය. මල් පිපී තිබීම ද, ඒ මල් සුවඳින් වාතලය පිරී ගොස් තිබීම ද, කාව්‍යමය වූ සුන්දරත්වයකින් පරිසරය සැරසී තිබීම ද අවැසි වන්නේ නැත. ඒ අතරතුර දී ඔබේ මනසට එදා මෙදාතුර කිසිවෙකුට සිදු නොවූ ආකාරයේ ජීවිත අභිරහස් අනාවරණයන් සිදුවීම අනිවාර්ය නොවේ. ඔබට, ඔබත් සමඟම ගතවයන කාලයෙහි ගුණාත්මකභාවය පිලිබඳව බිය වීමට අවැසි නැත. අරුතක් සොයාගන්න. එලෙස කිසිවක් සොයා නොගත්තද කම් නැත. නමුත් කාලයෙන් බිඳක් සොරාගෙන එය ඔබ වෙනුවෙන් නිදහස්ව ද නිර්ලෝභීව ද වැය කරන්න. ඒ වෙනුවෙන් හුදෙකලා වීම තෝරාගන්න. එය ඔබව සමාජ විරෝධියෙකු හෝ මුළු ලොවින්ම පිටස්තරයෙකු බවට පත්කරන්නේ නැත. නමුත් ඔබ නිදහස්ව හුස්මක් ගත යුතු ය. ඔබ ඔබලෙසම පැවතිය යුතු ය. "


- ඇල්බෙයා කැමූ



Monday, August 2, 2021

ඈ නිදනවා ඇති දැන්...

ඈ නිදනවා ඇති දැන්
වසා දමා කවුළුව..

වරින් වර නික්මෙන
සුසුම් හෙළනා හඬ
නොඇසෙයි දැන් ඇගේ කුටියෙහි..
නොඇසෙයි සිහින් ඉකිබිඳුම් ද..

නොහඬමි මම
කඳුළු නොනැගෙයි
මේ වියළි දෑසට...

අවසාන කර
අවසාන රතු වයින් බඳුන
කියවමි යළි
නැවතූ තැන් සිට
ලාබ රොමාන්තික නවකතාව...

රිදුම් දෙයි දෙපය
මේ විසල් මැදුරේ
දවස පුරා මෙහෙ කර..
නොපෙරළේ පොතේ පිටු
රැළි වැටෙන අඟිලි තුඩගට
නිදිබරින් පිරෙයි හිස...

පසෙකින් තබා පොත
පියනඟමි හනික
සිහින ලෝකය වෙතට..
කඳු පාර කෙළවර
මල් පිපෙන උයන මැද
මඟ බලා ඇති ඇය ද..
.
.

The remains of the day චිත්‍රපටය ඇසුරෙන් උපදින.



Tuesday, July 27, 2021

The remains of the day (1993)

සුවිශල මන්දිරයක ප්‍රධාන ගෘහසේවක නැත්නම් butler (සිංහලෙන් බොටලේරුවා නම භාවිත වෙනවා) කියන්නෙ සෑහෙන ඉතිහාසයක් තියන වෘත්තියකට. දැනට සොයාගෙන තියන විදිහට මේ වෘත්තිය ආරම්භය අතීතයේ ග්‍රීක රෝම ශිෂ්ටාචාරවල සහ ඉන්පසුව මද්‍යතන යුගයේ යුරෝපය දක්වා විහිදෙනව. රජවරුන් සහ සමාජයෙ උන් ප්‍රභූවරුන්ට තමන්ගෙ මන්දිරවල වයින් සහ තවත් මද්‍යසාරමය පානයන් ගබඩා කල විශාල ගබඩා කාමර තිබුණා. ඔවුන් මේ වයින් ගබඩා කාමරවල සේවයට යොදවා තිබුණේ තමන් ළඟ ඉන්නා විශ්වාසවත්තම වහල් සේවකයාව. වයින් බෝතල රැගෙන එන්නා bottler පසුව butler ලෙස ව්‍යවහාර වුණ බවයි සඳහන් වෙන්නෙ. පසුව, වයින් ආගර වලට අමතරව, නිවසේ මුළුතැන්ගෙය, කෑම කාමරය ආදි සියලුම කොටස්වලත්, අනෙකුත් සේවයන් ගේත් වගකීම භාරවන විදිහට මේ butter තනතුර විකාශනය වුණා. වහල් සේවකයන් අතරින් ආරම්භ වුණත් අද වන විට ඉතාම ගෞරවනීය සහ වගකීම් බහුල වෘත්තියක් විදිහට මේ ප්‍රධාන ගෘහ සේවක නම් තනතුර පැමිණ තිබෙනව. 

එංගලන්තයේ බකිංහැම් මාලිගයේ වසර 50ක් පුරා butler තනතුර දැරූ Cyril Dickman, තමන් ගේ වෘත්තිය ගැන සඳහන් කරන්නෙ මේ ආකාරයට. "බට්ලර් වරයෙක් වෙනව කියන්න කිසිවෙක්ම නොවන තැනැත්තෙක් බවට පත්වීම. ඔබ කාමරයක ඉන්නවා නම් එය පැවතියාටත් වඩා හිස් තැනක් බවට පත්විය යුතුයි". ඔහු මෙයින් අදහස් කරන්නෙ ගෘහ සේවකයෙක් පුද්ගලිකත්වය මුලුමනින්ම අමතක කර තම ස්වාමියා වෙනුවෙන් කැප විය යුතු බවයි. තමන්ගේම අරමුණුක්, තමන්ගේම ආශාවක්, තමන්ගේ ඕනෑම යමක් වෙනුවෙන් ඔහුට ජීවිතේ ඉතිරි වෙන්න ඉඩකඩ ඉතාම සීමිතයි. ගේදොර වැඩකටයුතු සොයා බැලීම, ස්වාමියාගේ උවමනාවන් ඉටුකිරීම ඔහුගේ ජීවිතය වෙන්නෙ මේ දේවල්. "තමාවම අතහැරීම" කියන දෙය බට්ලර් වරයෙකුගෙ ජීවිතයේ කොයිතරම් දුරකට යන්න පුලුවන්ද කියන දෙය අපූරුවටම පෙන්වාදෙන චිත්‍රපටයක් The remains of the day.

ඔබ ලෝක සාහිත්‍ය ඇසුරුකරන කෙනෙකුට නම් ඔබට මේ නම හොඳින්ම හුරුපුරුදු නමක් විය යුතු යි. The remains of the day ලොව පුරා ප්‍රසිද්ධියට පත්වුණු නවකතාවක්. ජපන් සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ලේඛක Kazuo Ishiguro විසින් රචනා කරනු ලැබූ මේ නවකතාව එළිදැක්වෙන්නෙ 1989 අවුරුද්දේ දි . ඒ අවුරුද්දේ booker සම්මානයෙන් නවකතාව පිදුම් ලබනව. එදාමෙදාතුර ලෝකයේ, ලියවුණු හොඳම නවකතා අතරට මෙය එක්වී හමාරයි. 1993 වර්ෂයේ, ඇමරිකානු සිනමාකරු James Ivory
ගේ අධ්‍යක්ෂණය යටතේ The remains of the day චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ මේ නවකතාව පදනම් කරගෙනයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍යයයි The remains of the day කතා පුවතට පසුබිම් වෙන්නෙ. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් ප්‍රාන්තයේ, ඩාර්ලිංටන් මන්දිරයේ වාසය කල ඩාර්ලිංටන් අර්ල්වරයා හදිස්සියේ මිය යනව. ඔහු මිය යන්නේ ජර්මානු නාසිවාදීන්ට සහයෝගය දැක්වූ අපකීර්තිමත් මිනිසෙක් විදිහට. අර්ල්වරයාගෙ මරණින් පස්සෙ වෙන්දේසියේ විකිණෙන ඩාර්ලිංටන් මන්දිරය මිලට ගන්නෙ සුප්‍රකට ඇමරිකානු දේශපාලකයෙක් වුණු ලුවිස් නැමැත්තෙක් විසින්. අර්ල්වරයා යටතේ, මන්දිරයේ ප්‍රධාන ගෘහසේවක තනතුරේ වැඩකල ස්ටීවන්සන් නැවතත් එහි තමන්ගේ නව ස්වාමියා යටතේ රාජකාරිය ආරම්භ කරනව. මේ අතර අර්ල්වරයාගේ සමයේ තමන් සමඟ ප්‍රධාන ගෘහසේවිකාව විදිහට සේවය කල කෙන්ටන්   මහත්මියගෙන් ස්ටීවන්සන්ට ලියුමක් ලැබෙනව. අවුරුදු විස්සක වගේ කාලයක පටන් ඔහු ඇයව දැක නැහැ. කිසිම සම්බන්ධතාවක් ඔවුන් අතර තිබුණේ නැහැ. ස්‍ටීවන්සන් තමන්ගේ රැකියාවෙන් නිවාඩු ලබාගෙන, මෝටරථයක නැගිල ඇය වාසය කරන මුහුදුබඩ නිවාසය බලා පිටවී යනව. එය ඉතා දීර්ඝ ගමනක්. ගමන අතර ස්ටීවන්සන්ට, අර්ල්වරයා සිටි කාලය සහ ඇය සමග ගෙවුණු මතකයන් නැවතත් සිහිපත් වෙන්න පටන් ගන්නව. කතාපුවත නිර්මාණය වෙන්නෙ මේ දිගු ගමන සහ ඒ අතර ගොඩනැගෙන ස්ටීවන්සන්ගේ මතක ලෝකය අතර.

චිත්‍රපටයෙ දකින්න ලැබෙන විශේෂම දෙය ස්ටීවන්සන් විදිහට මහා නළු Anthony Hopkins සහ කෙන්ටන් මහත්මිය විදිහට සුප්‍රකට නිළි Emma Thompson ගේ අතිවිශිෂ්ට රංගනයන්. කෙන්ටන් මහත්මියගේ චරිතය වෙනුවෙන් මුලින් තෝරාගැනුනේ Meryl Streep වුණත් ඇය එය ප්‍රතික්ෂේප කල නිසායි Emma ට ඒ අවස්ථාව හිමිවෙන්නෙ. හොලිවුඩ් සිනමාවේ සදාතනික තරුවක් වුණු Christopher Reeve මේ චිත්‍රපටයෙ ලුවිස් ගේ, බොහොම සීමිත දර්ශන කාලයක් සහිත නමුත් ප්‍රබල චරිතය රඟදක්වන ආකාරය දැකගත් හැකියි. Anthony Hopkins සහ Emma Thompson දෙදෙනාම මේ චිත්‍රපටයෙ තමන්ගේ රඟපෑම් වෙනුවෙන් ඔස්කාර් නිර්දේශ ලබනව. ඒ ඇතුළුව තවත් ඔස්කාර් සම්මාන අටකට The remains of the day නිර්දේශ වෙනව.

කලිනුත් සඳහන් කල ආකාරයට, වෘත්තියේ ස්වභාවය නිසාම, තමන්ගේ පුද්ගලික ආශාවන් සහ අරමුණු යටපත් කරගැනීමේ බට්ලර්වරුන්ගේ ඛේදජනක ඉරණම නම් ඔබත් මමත් අපි දිහාම හැරිල බැලුවොත්,  අපේ ජීවිතය ඇත්තටම අපේම තෝරාගැනීමක් ද? කොයිතරම් දේවල්වලින්, දැන හෝ නොදැන අපි අපිවම සීමා කරගෙන තියනවද? ජිවිතේ කොයිතරම් තැන්වල අපි අපේම උවමනාවන් අතහරිමින් මේ කතාවේ එන ස්ටීවන්සන් ගෙ චරිතය රඟපෑවද? ජීවිතේ හැබෑම ඛේදවාචකය මේකද? මේ ප්‍රශ්න කීපය පමණක් ඔබ හමුවේ තබමින් මේ සටහන් අවසන් කරන්නම්.



Monday, July 26, 2021

තමාගෙම අඳුරක්

හැම කෙනෙකුටම තියනවා
තමාගෙම අඳුරක්..

ඇහුවොත් කියාවි ඔබට 
ගිම්හානයෙත් මල් දරන
කුඩා මල් පඳුරක් ..

වැහි අන්ධකාරය මැද වුණත්
දේදුණු අඩ කවයකින්
හිනාවුන්නැද්ද අහසත්?

හෙට දවස ගැන යම් පැතුමක් 
නිවි නිවී දල්වන තරුවකත්
පසුබිමෙන් ඇත්තෙ පැතිරුණු
රාත්‍රී කළුවරක්..

සියුම් වැලිකැටයකත්
රිදුම් ඇති බව මහමෙරක්
පෙන්වා දේවි ඔබට
හමුවුණොන් මුතු බෙල්ලෙක්...

කොයිකාට වුණත් තියනවා
තමාගෙම කියා අඳුරක්

ඇහුවොත් යම් දවසක
කියාවි ඔබහට
ගිම්හානයෙත් මල් දරන
කුඩා මල් පඳුරක් ..



Monday, July 19, 2021

මට කියන්න.....

මට කියන්න
වැස්ස ගැන කුමක්ද හිතන්නෙ ඔබ?

සියොළඟ තෙමෙයි
ලෙඩ දුක් ගෙනෙයි
පහත් බිම් යටවී
වතුරෙන් පිරෙයි
ඒත් නැතුවත් බැහැ තමයි..
.
.
මට කියන්න
සුළඟ ගැන කුමක්ද හිතන්නෙ ඔබ?

කොහෙ ඉඳන් හමනවද
කොහේ යනවද කලබලෙන් මේ තරමට
කෙහෙරැළි අවුල් කරගෙන...
ඒත් මං ආසම
නම නොදන්නා මල් සුවඳ මුහු වෙනකොට 
.
.

එතකොට ගංගාව ගැන ?
??????????
.
.
සීතලම සීතට ගැලුවත්
උඩ පනින්නේ ඔය හැටි
ඉවුරු දරාගෙන ඉන්න තරමට
ඒ වුණත් උහුලාගන්න බැරිම දෙය
උස කන්දකින් ඇද වැටෙනකොට
දිය ඇල්ලෙ ගෝසාව

හොඳයි මට දැන් කියන්න.......
.
.
නවත්වන්න 
මහත්මිය...
ඇයි ඔය තරමට පැන?
මේ මාවතේ තව මඳක් දුර
විලෝ ගස් වැඩී ඇති හෙවණට
පෙනෙයි දුර තැනිතලාවේ
හිරු කිරණ වැටෙන ලස්සන..

එක් වරක්වත් දැක ගන්න ආසයි 
ඔබ සමඟ එය...




Tuesday, July 13, 2021

මුලින් ආ අය වෙති...

මුලින් ආ අය වෙති
සිතු සේ හිස් බිම්කඩක
අඩි ලකුණු තබා යති...

අවසාන යැයි කෙනෙක් නැති
ඕනෑම මොහොතක 
ඕනෑම කෙනෙක් යළි පැමිණිය හැකි..

එහෙත් යම් කෙනෙක් දවසක
වඩා මෘදුව වඩාත් ගැඹුරුව
ඉතිරි කර ගිය අඩි ලකුණක් දෙකක්
පණමෙන් සුරැකීමටයි
වෙරළක් වඩාත් කැමති...



Wednesday, July 7, 2021

The Danish girl (2015)

පහුගිය ජුනි මාසයත් එක්ක මුහුණුපොතේ බොහොමයක් ප්‍රොෆයිල් පින්තූර දේදුණු පාටින් වැසී ගියා ඔබට මතක ඇති. මේ දේදුණු වර්ණ කොඩියත් සමග ජුනි මාසයේ සිදුවෙන සැමරුම මොකක්ද කියන කරණය බොහෝවිට ඔබ දැනටමත් දන්නවා ඇති. නැත්නම් නොදන්නවා ඇති. දේදුණු වර්ණ කොඩිය ලොව පුරා වෙසෙන LGBTQ ප්‍රජාව නියෝජනය කරන්න යොදාගනු ලබනව. LGBTQ නමින් හැඳිනවෙන්නෙ සුවිශේෂ ලිංගික නැඹුරුතාවන් සහිත කණ්ඩායම්, එනම් Lesbian - ගැහැනුන්ට පමණක් ලිංගිකව ආකර්ෂණය වන ගැහැනු, Gay - පිරිමින්ට පමණක් ලිංගිකව ආකර්ෂණය වන පිරිමි, Bisexual - ගැහැනු සහ පිරිමි දෙපාර්ශවයටම ලිංගිකව ආකර්ෂණයවන ගැහැනු සහ පිරිමි, Transgender - උපතේදි ලබන ලිංගික අනන්‍යතාව එනම් ගැහැනු/ පිරිමි බව පසුව වෙනස් කරගන්නන්, Queer - එනම් මේ කාණ්ඩ හතරට අමතරව සිටින සියගණනක් පමණ වුණු අනෙකුත් සුවිශේෂ ලිංගික නැඹුරුතාවක් දක්වන කණ්ඩායම් හඳුන්වන පොදු යෙදුමක් (umbrella term - එනම් විශාල විශය පරාසයක් හඳුන්වන්නට යොදාගන්නා තනි වචනයක්). Queer යෙදුමෙන් heterosexual - විරුද්ධ ලිංගියන්ට පමණක් ආකර්ෂණය වෙන්නන් සහ Cisgender - උපතේදි හඳුනාගන්න අනන්‍යතාව ජිවිත කාලය පුරා පවත්වාගන්නන් හැර අනෙක් සියලු දෙනා ආවරණය වෙනවා.

Pride month නැත්නම් අභිමානයේ මාසය නමින් ජුනි මාසය නම් වෙන්නේ 1969 ජුනි 28 වෙනිදා ඇමරිකාවේ  නිව්‍ යෝක් නගරයේ Stonewall inn අවන්හලේ වුණු සිද්ධියක් මුල් කරගෙන. එදා උදෑසනින්ම Stonewall අවන්හල වටලන පොලීසිය, එතුල සිටි පිරිස අත් අඩංගුවට ගන්න පටන්ගත්තා. මේ ස්ථානය සමරිසි (Gay/ Lesbian) කණ්ඩායම් නිදහසේ මුණගැහෙන්න යොදාගත් තැනක් වුණා. ඒ යුගයේදී සමරිසිභාවය නීතියෙන් පවා වරදක් ලෙස සැලකුවා. සමාජයෙන් ඔවුන් හැඳින්වුනේ පාපිෂ්ට මිනිසුන් විදිහට. මේ හේතු නිසා Gay, Lesbian පුද්ගලයන්ට තමන්ගෙ සැබෑ අනන්‍යතාව සඟවාගන්න සිදුවුණා. Stonewall වටලෑමෙදි පොලීසිය ඔවුන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී ආකාරයෙන් හැසිරෙන්න පටන් ගත් නිසා එතැන සිටි පිරිස පොලීසියට එරෙහිව ප්‍රතිප්‍රහාර දෙන්න වුණා. ප්‍රදේශය පුරා සිටි සමරිසියන් Stonewall වෙත රැස් වෙන්නට පටන්ගත්තා. ක්‍රමයෙන් තත්ත්වය දරුණු අතට හැරුණා. ඉන්පසුව රට පුරාම සමරිසි සහ වෙනත් සුවිශේෂ ලිංගික අනන්‍යතාවක් සහිත පිරිස් වීදිබසිම්න් තමන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන ප්‍රචණ්ඩත්වයට විරුද්ධව හඬනැගුවා. මේ සිදුවීම එක්ක තමන් වෙනුවෙන් සමාජයෙ රැල්ලක් නිර්මාණය කරන්න ඔවුන්ට පුලුවන් වුණා. ලෝකයෙම ඇස් ඔවුන් වෙත හැරෙන්න ගත්තෙ ඉන් පසුවයි. සුවිශේෂ ලිංගික නම්‍යතාවන් තිබීම පාපයක් නොව එය අතීශ්‍ය ස්වභාවික කාරණයක් බව සමාජගත වෙන්නත් ඔවුන් වෙනුවෙන් සැකසී තිබුණු නීති රීති වෙනස් වෙන්නත් මුල් ගිනිපුපුර දැල්වුයේ 1969 Stonewall සිදුවීම. එයින් වසරක් සම්පූර්ණ වෙන 1970 ජුනි මාසයෙදි මේ සිදුවීම සමරන්න විශාල රැලියක් පවත්වා ආඩම්බරයෙන් එය සමරන්න LGBT පිරිසට හැකිවෙනව. එම රැලිය සංවිධානය කරන බ්‍රෙන්ඩා හොවාර්ඩ් ජුනි මාසය pride month හෙවත් අභිමානයේ මාසය විදිහට හඳුන්වාදෙනව. එයින් පසු හැම වසරකම ජුනි මාසයෙදි LGBT ප්‍රජාව ඔවුන්ගේ අභිමානය සමරනව. 1978 ඇමරිකානු චිත්‍ර ශිල්පියෙකු වෙන ගිල්බර්ට් බේකර්ස් අතිනුයි අභිමානයේ සංකේතය වන දේදුණු කොඩිය නිර්මාණය වෙන්නෙ. මෙහි රතු පැහැයෙන් ජීවිතයත්, තැඹිලි පැහැයෙන් සුවපත්වීමත්, කහ පැහැයෙන් සූර්‍යාලෝකයත්, කොළ පැහැයෙන් සොබාදහමත්, නිල් පැහැයෙන් සාමයත් සහ දම් පැහැයෙන් ආත්මයත් සංකේතවත් කෙරෙනවා.

මේ LGBTQ නාමකරණයෙදි Transgender/ Trance, සිංහල භාෂාවෙන් නම් සංක්‍රාන්ති ලිංගිකයින් විදිහට හඳුන්වන්නෙ උපතේදි තහවුරු කරනලද ලිංගික අනන්‍යතාව පසුව වෙනස් කරගන්නා පුද්ගලයින් බව කලිනුත් සඳහන් කලා. ලාංකික සමාජයෙ ජීවත්වන එවැනි ප්‍රසිද්ධ චරිත කීපයක්ම ඔබට මතකයට නැඟෙන්න ඇති. එයින් අදහස් වෙන්නෙ ඔවුන්ගෙ භෞතික ශරීරයෙන් ඔවුන්ට හිමිවන අනන්‍යතාවට සහමුලින් වෙනස් ආකාරයට ඔවුන්ගේ මානසික නැඹුරුතාවන් ක්‍රියාත්මක වෙන බවයි. හිතන්න ශාරීරිකව පිරිමි බව ලැබුවත් මනසින් සිතිවිලි වලින් ගැහැණු ස්වරූපයට සමාන කෙනෙකුට ජීවිතය පුරා දරාගන්න සිදුවෙන පීඩනය කොයිතරම් ද. මෙවැනි පුද්ගලයන් වෙනුවෙන් ලිංගිකත්වය ප්‍රතිස්ථාපනය කිරීමේ සැත්කම් සිදුකිරීම ආරම්භ වෙන්නෙ 1920 යුගයේ පටන්. නමුත් වෛද්‍ය විද්‍යාව අද තරම් දියුණු මට්ටමක නොතිබ්බ එවැනි යුගයක මේ වැනි ඉතා අවදානම් සහගත සැත්කමකට මුහුණදීම කෙනෙකුට ජීවිතයත් මරණයත් අතරින් සිදුකරන තෝරාගැනීමක් වුණා. මුල්ම සාර්ථක ලිංගික ප්‍රතිස්ථාපන සැත්කම වාර්තා වෙන්නෙ 1931දි. සැත්කම සිදුකරන්නේ මේ විශය ක්ෂේත්‍රයේ පුරෝගාමි ජර්මානු ජාතිකයෙක් වුණු වෛද්‍ය Magnus Hirschfeld විසින්. සැත්කමට මුහුණදෙන පිරිමියා ඉන් පසුව ඩෝරා රිචර් නම් ගැහැනියක් බවට පත්වෙනව. මේ ආරංචිය ලැබුණු පසු ඩෙන්මාර්ක් ජාතික චිත්‍ර ශිල්පීන් යුවළක් වන Gerda Wegener සහ Einar Wegener වෛද්‍යවරයා හමුවට පැමිණෙනව. ඔහු Einar තමන්‍ට ලිංග විපර්‍යාස සැත්කමකට මුහුණදෙන්න අවශ්‍ය බව වෛද්‍යවරයාට කියනව. එහි ඇති බරපතළ කම වෛද්‍යවරයා ඔහුට පැහැදිලි කර දුන්නත් කොයි ආකාරයෙන් හෝ අවදානමක් දරමින් සැත්කම සිදුකරගැනීමට අවශ්‍ය බවයි ඔහු කියන්නෙ. Gerda සහ Einar  චරිත මුල් කරගනිමින් 2000 වසරේදී ඇමරිකානු ලේඛක David Ebershoff විසින් The Danish girl නමින් නවකතාවක් රචනා කරනව. ඒ නවකතාව පදනම් කරගනිමිනුයි 2015 දි Tom Hooper ගේ අධ්‍යක්ෂණයෙන් The Danish girl චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ.

Gerda සහ Einar ඩෙන්මාර්කයේ කොපන්හේගන් නගරයේ වාසය කරන චිත්‍ර ශිල්පි යුවළක්. පොඩි පොඩි හිත්‍ රිදවීම් ඉඳහිට වුණත් වසර ගණනක ඔවුන්ගේ විවාහය සතුටින් පිරුණු එකක්. දවසක් ගර්ඩාගේ සිතුවමකට ආදර්ශයට ගන්නා නිරූපණ ශිල්පිනිය නොපැමිණෙන බව දන්වනව. සිතුවම ඉක්මනින්ම අවසන් කරගත යුතු නිසා නිරූපණ ශිල්පිනිය වෙනුවට ඇය වගේ සැරසිලා පෙනී ඉන්න Gerda විසින් Einar ගෙන් ඉල්ලා සිටිනව. එයට එකඟ වෙන ඔහු ගැහැනියකගෙ ඇඳුමෙන් සැරසිලා සිතුවමට පෙනී ඉන්නව. මේ අතර තමන් තුළ  යම් දෙයක් සිදුවෙන බව ඔහුට වැටහෙනව. Einar ගැහැනියක ස්වරූපයෙන් ඇඳපැළඳගෙන ඇයට Lili Elbe නමින් නමකුත් තබල තමන්ගේ බිරිඳ එක්ක ප්‍රසිද්ධියේ උත්සව වලට සහභාගි වෙනව. Lili ව හඳුන්වාදෙන්නෙ Einar ගෙ ඥාති සහෝදරියක් විදිහට. ඔවුන් දෙදෙනා මෙය කරන්නේ විනෝදයට වුණත් ක්‍රමයෙන් Einar ට තමා තුළ සැබවින්ම තිබුණු සහ යටපත් කරනු ලැබූ යමක් යළි මතුව එන බව වටහගන්නව. ගැහැනියක ලෙස Lili Elbe යනු තමාගෙ සැබෑ අනන්‍යතාව බවත් Einar යන පිරිමි ස්වරූපය වැරදීමකින් තමාට හිමිවූ යමක් බවත් ඔහුට දැනෙනව. සාර්ථකව ලිංගිකත්වය ප්‍රතිස්ථාපනය කරන්න සමත් වුණු වෛද්‍ය Magnus Hirschfeld  ඔහුට දැනගන්න ලැබෙන්නෙ ඔය අතරෙ. Gerda මෙවැනි තත්ත්වයක් කොයි ආකාරයෙන් බාරගනීවිද. ඔහුට ඇය බවට පත්වෙන්න දරන උත්සාහය අවසානෙ සාර්ථක වේවිද..

The Danish girl කතා පුවත නිර්මාණය වෙන්නෙ සැබෑ සිදුවීමක් මුල් කරගනිමින්. වෛද්‍ය Magnus Hirschfeld, Gerda, Einar, Lile මේ හැමකෙනෙකුම සැබෑවට ජීවත්වුණු චරිත. තමන්ගේ පිරිමි ශරීරය තුලින් ගැහැනියකගේ ලාලිත්‍යවත් බව මතු කරගනිමින් ඉතාම සියුම් අංගචලනයන්ගෙන්, මුහුණේ හැඟුම් ප්‍රකාශනයන්ගෙන් Einar සහ Lile යන මේ දෙදෙනාවම තමන් තුළින් ජීවමාන කරවන්න එම චරිත රඟදක්වන Eddie Redmayne දක්වන නම්‍යශීලීත්වය පුදුමාකාර එකක්. ඔහු තමන්ගේ පරම්පරාවෙ අතිදක්ෂයෙක් බව දැනටම ඔප්පු කර හමාරයි. හොඳ නිර්මාණ තෝරාගෙන තමන්ගේ රංගනකාර්‍ය පවත්වාගන්න සමත් වුණොත් හොලිවුඩයේ දැවැන්තයින් අතර ඔහුගේ නමත් කියැවෙන්න ඉඩ ඇති බව නොඅනුමානයි. ඒ වගේම Gerda ගේ චරිතය රඟදක්වන Alicia Vikander ගේ නිරූපණයත් ඉහළම ගණයේ එකක්. දෙදෙනාම තමන්ගේ රංගනයන් වෙනුවෙන් ඔස්කාර් නිර්දේශ ලබනව.

සංක්‍රාන්තික ලිංගිකත්වයට අමතරව The Danish girl චිත්‍රපටයෙ තවත් වැදගත්, අනුවේදනීය කාරණාවක් මතුකරගත හැකියි. ඒ බිරිඳක් විදිහට Gerda තමන්ගේ ස්වාමියාට දක්වන නොවෙනස් ආදරයයි. කෙනෙකුට ආදරය කිරීම ඇතුලෙ තියන සැබෑ අර්ථය ඒ පුද්ගලයාව ඒ අයුරින්ම බාරගැනීම, කවර තත්ත්වයක් යටතේ වුණත් හැරනොයාම. එය පහසු නෑ. හිතන්න, ගැහැනියකට තමන් මෙලොව ආදරය කරන පිරිමියා, ගැහැනියක් බවට පත්වෙන්න සූදානම් වෙනව නම් ඇය එය දරාගන්නෙ කොහොමද! ආදරය නම් මෙය නොවෙයිද. තමන් ආදරය කරන තැනැත්තාට  ඔහුම හෝ ඇයම බවට පත්වෙන්න ඉඩහැරීම නොවෙයිද. The Danish girl චිත්‍රපටය ඒ අතින් ලෝකයේ වෙනත් කිසිම ප්‍රේම කතාවකට සමාන නොවන අසම සම ප්‍රේම කාව්‍යයක් බවයි මම හිතන්නෙ.

කොහොම වුණත්, නීතිමය වශයෙන් මේ LGBTQ ප්‍රජාව මිනිසුන් විදිහට  තමන්ට උරුම අයිතිවාසිකම් ක්‍රමයෙන් දිනාගනිමින් සිටියත් තවමත් සමාජය ඔවුන් දිහා වපර ඇහින් බැලීම නම් අඩුවක් නැහැ. ඔවුන් පාපිෂ්ට පිරිසක්වත්, අස්වාභාවික ජීවීන් කොටසක් වත් නොවෙයි. ඔබ මම වගේම ඔවුනුත් මනුශ්‍යයන්. වෙනසකට තිබෙන්නෙ ඔවුන්ගේ ලිංගික අනන්‍යතාව පමණයි. එය අතිශ්‍යයින්ම ස්වභාවික කාරණාවක්. ඔබ තවමත් ඔවුන් අස්වාභාවික පහත් මිනිසුන් පිරිසක් විදිහට කල්පනා කරනවා නම් මේ චිත්‍රපටය නරඹන්න. ඔබේ ඒ ආකල්ප සහමුලින් වෙනස් වෙන බව නිසැකයි.



Thursday, July 1, 2021

The woman in the window (2021)

පුරාණ ග්‍රීසියේ, මේ කියන්නෙ ක්‍රිස්තු පූර්ව 10 ත් 4 ත් අතර කාලයෙ නිර්මාණය වුණු නගරවල Agora නමින් එක් සුවිශේෂ තැනක් වෙන් කර තිබුණා. මිනිස්සුන්ට නිදහසේ හමුවෙන්න කතාබහ කරන්න පුලුවන් පොදු අවකාශයක් විදිහටයි Agora ව වෙන් වුණේ. දැන් වගේ විද්‍යුත් මාධ්‍ය නොතිබුණු ඒවගේ යුගයක ප්‍රබලම සන්නිවේදන මාර්ගය වුණේ වචනය, කතාව. මේ Agora වලට එකරැස් වුණු දාර්ශනිකයන්, දේශපාලකයන්, කලාකරුවන් වගේ විවිධාකාර ක්ෂේත්‍රවල නියැලිලාවුන් අය තම තමන්ගේ විශයයන් පිළබඳ කතා කලා. සංවාද විවාද පැවැත්වුවා. ඒ අතර වෙළෙන්දන් නොයෙක් දේ අලෙවි කරමින් ඔවුන් අතර ඇවිදගියා. Agora කියන්නෙ මෙන්න මේ වගේ පොදු සංවාද භූමියකට. (පොඩ්ඩක් හිතල බැලුවම දැන් facebook එක කරන්නෙත් ඉස්සර මේ Agora ව කරපු වැඩේද කියල හිතෙනව) කොහොමවුණත් අද වෙනතුරු පොදු අවකාශ සම්බන්ධයෙන් නාමකරණය කරනකොට මේ Agora නම් පදය භාවිතයට ගන්නව.

Agoraphobia නමින් හඳුන්වන්නෙ මේ ආකාරයට මිනිසුන් ගැවසෙන තැන්වලට අනියත බියක් දක්වන එක්තරා මානසික සංකූලතාවකට. Agoraphobia ව වර්ගීකරණය වෙන්නෙ මනසේ ඇතිවෙන phobia නම් කාංසාමය තත්ත්වය යටතට. Phobia නමින් හඳුන්වන්නෙ යම්දෙයකට අහේතුකව සහ අසීමිතව බයක් දැක්වීම. මෙවැනි තත්තවයක් ඇතිවෙන්න නිශ්චිත හේතුවක් හොයාගෙන නැහැ. මේ ෆෝබියාව සාමාන්‍යෙන් කෙනෙක් බිය වන දේවල් උදාහරණ විදිහට  රුධිරය දැකීමට බියවීම (Hemophobia)  උස ස්ථාන වලට බියවීම (Acrophobia) අඳුරට බියවීම (Nyctophobia) සර්පයන්ට බියවීම (Opidiophobia) ඉඳන් කිසිසේත්ම බිය විය යුතු නැති කාරණා වලට බියවීම කණ්නාඩි වලට බියවීම (Catoptrophobia) අංක වලට බියවීම (Arythmophobia) වැස්සට බිය වීම (ombrophobia) කඩදාසි වලට බිය වීම (papyrophobia) මල් වලට  බිය වීම (Anthrophobia) වගේ පරාසයක විහිදෙනව. Agoraphobia හෙවත් පොදු අවකාශයට බියවීම මූලිකවශයෙන් යම් හදිස්සි කම්පනයක අතුරු ප්‍රතිඵලයක් විදිහට ඇතිවියහැකි යමක් විදිහට සොයාගෙන තිබෙනව.

2021 අවුරුද්දේ නිකුත්වුණු The woman in the window චිත්‍රපටයෙ ඇතුළත් වෙන්නෙ මේ Agoraphobia තත්ත්වයෙන් පෙළෙන ගැහැනියක් පිලිබඳ කතාවක්. ඇයත් ඇගේ නිවසින් පිට ලෝකයත් සම්බන්ධ කරන මාධ්‍ය වෙන්නෙ ඇගෙ නිවස වටා තිබෙන ජනෙල් කවුළු කිහිපය. ඇයගෙ අසල්වාසි නිවසට අළුතෙන් පැමිණෙන පවුලක් සහ ඇය ජනේලයෙන් දුටු එක් දසුනක් මුල් කරගෙනයි චිත්‍රපටය ගොඩනැගෙන්නෙ. 

The woman in the window සියලු වැඩකටයුතු අවසන් කරල එලිදක්වන්න නියමිතවී තිබුණේ 2019 දි. නමුත් තෝරාගත් ප්‍රේක්ෂකයන් කිහිපදෙනෙකු සමග කල එක් දර්ශන වාරයකදි චිත්‍රපටය තේරුම්ගන්න ඉතාම අපහසුවුණු බව ඔවුන් කියා තිබුණ. ඒ නිසා නැවත වතාවක් සමහර කොටස් අලුතෙන්ම රූගත කර චිත්‍රපටය නැවත සංස්කරණය කරන්න මෙහි නිර්මාණකරුවන්ට සිදුවුණා. සිනමා ශාලාවල චිත්‍රපටය එළිදක්වන්න සැලසුම් කර තිබුණත් කොරෝනා වසංගතය නිසා එය රූපවාහිනි මාධ්‍ය හරහා එලිදක්වන්න කටයුතු යොදා තිබුණ.

චිත්‍රපටයට බහුලවම ලැබෙන්නෙ නම් ඒ තරම් හොඳ ප්‍රතිචාර නොවෙයි. සමහරවිට නවකතාවක් පදනම් කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටයක් නිසා අදාල නවකතාවත් සමග සන්සන්දනාත්මකව ඒ ඍණාත්මක ප්‍රතිචාර ලැබෙනව වෙන්න පුලුවන්. සමහර තැන් කීපයක කතාව තව විස්තරාත්මකව ඇතුළත් වුණානම් වඩා හොඳ බව දැනුණා. ඒ හැර The woman in the window කිසිසේත්ම රසවිඳිය නොහැකි සිනමාපටයක් නොවෙයි. Amy Adams සහ Gary Oldman දෙදෙනාගේ ඉහළම මට්ටමේ රඟපෑමක් වගේම Cinematography සහ පසුබිම් සංගීතය චිත්‍රපටය නරඹන්නන්ව ඇදබැඳ ගන්න සමත්වෙනවා කිව්වොත් නිවැරදියි. සමස්තයක් විදිහට The woman in the window කොරියානු සිනමාවේ අපි දකින thriller ගණයේ නිර්මාණ වැනි චිත්‍රපට සමග සන්සන්දනය කරන්න බැරි වුණත් කුතුහලය රඳවාගන්න සමත්වෙන සිනමාපටයක් බව කිවහැකියි.

The woman in the window (2021)

- Cast

Amy Adams as Anna Fox
Gary Oldman as Alistair Russell
Julianne Moore as Jane Russell
Anthony Mackie as Ed Fox
Brian Tyree Henry as Detective Little
Jennifer Jason Leigh as Jane Russell

- Director

Joe Wright (Atonement, Pride and prejudice, Darkest hour)

- Writer (based upon the novel by)

A.J. Finn

- Cinematographer

Bruno Delbonnel

- Editor

Valerio Bonelli

- Composer

Danny Elfman
.


Saturday, June 26, 2021

The secret in their eyes (2009)

" පිටත්වෙන්න සූදානම් වුණු දුම්රිය, වේදිකාවෙ නවත්වා තිබුණ. ගමන් බෑගය අතට ගත්ත ඔහු ගලා යන මිනිස් ගංගාව මැද්දෙන් පියවර තබමින් දුම්රියට ළඟාවුණා. මැදිරියේ දොර ළඟදී මොහොතක් නතරවෙලා ඔහු ආපසු හැරී බැලුවා. ඈතින් හිටිතැනම නොසෙල්වී ඈ තවමත් ඔහු දිහා බලා ඉන්නව. ඒ ඇස් බැල්මෙන් මිදෙන එක කොයිතරම් අමාරුයිද. නමුත් දැන් ආපසු හැරෙන්න පුලුවන්කමක් නැහැ. පිටත්වෙන බවට දැනුම්දුන් දුම්රිය ගමන ආරම්භ කලා. දීර්ඝ ගමනකට සූදානම් වෙලා මැදිරිය ඇතුළේ ජනේලය ලඟ ආසනයෙ ඔහු වාඩිවුණා. නමුත් එකවරම ජනේලය අසල මැවුණේ ඇගේ රුව. ඇයට උවමනා වුණා තව වතාවක් ඔහුගේ අතින් අල්ලා ගන්න. එකම වතාවක් පමණක් ඔහු සෙවණේ රැඳෙන්න. නමුත් ජනෙල් වීදුරුව මහ බාධකයක් වගේ ඔවුන් දෙදෙනා මගින් නැගී හිටිය. ඇයට පුලුවන් වුණේ යන්තම් ජනෙල් වීදුරුව මත අත තබන්න පමණයි. ක්‍රමයෙන් දුම්රිය ගමන් වේගය වැඩිකලා. ඇයට තවදුරටත් ඒ වේගයෙන් ඇවිද එන්න බැරිවුණා. දුම්රිය නොනවත්වා ඉදිරියටම ගමන් කළා. වහාම නැගීහිටි ඔහු දිවගියේ අවසාන මැදිරියේ පිටුපස ජනේලය ලඟට. තමන්ගේ ජීවිතයේ සතුට උදුරාගෙන යන දුම්රිය පිටුපස පොඩි එකෙකු වගේ දුවමින් එන ඇය දිහා ඔහු බලා සිටියා. හදවතින් මතුවුණු සියුම් වේදනාත්මක හැඟීමක් තමන්ගේ දෑස කෙළවරින් ගලා යන ආකාරය ඔහුට දැනෙන්න පටන් ගෙන තිබුණා"

.
නෑහ්... අපරාධමය නවකතාවක් පටන් ගන්න ඒක ඒ තරම් හොඳ විදිහක් නෙමේ. බෙන්ජමින් එස්පසීටෝ මෙතෙක් දුර ලියපු කඩදාසිය කුරුටුගාල විසිකරල අලුතෙන් පිටුවක් අරගෙන ආයෙ ලියන්න පටන්ගත්ත. සිද්දිය වෙච්ච දිනවකවානු ඔහුට තවමත් මතකයි. 

"1974 ජූනි මාසෙ 21 වෙනිදා, රිකාඩෝ මොරාලේස් තමන්ගේ බිරිඳ ලිලිනා සමඟ අවසන්වරට උදෑසන ආහාරය ගත්තා...."
.
.
නැහැ එහෙම හරියන්නෙත් නෑ. එස්පොසිටෝ ඒ කඩදාසියත් ඉරා විසිකර දැම්ම. ඔහු කල්පනා කරන්න පටන්ගත්ත ඒ අපරාධය කොහොම සිද්දවුණාද කියන කාරණය. ඒ එක්කම තවදුරටත් කිසිවක් ලියාගන්න බැරි හැඟීමකුයි ඔහුට දැනුණේ. අලුත් කඩදාසියක එක වචනයක් පමණක් ලියාතබල එස්පොසිටෝ නින්දට වැටුණ.
.
.
"ලෝකයෙ භාෂාව කියල දෙයක් නැතිවුණු දවසට මිනිස්සු ඇස්වලින් කතා කරන්න පටන් ගනීවි" මේ සුප්‍රසිද්ධ කියමන කාගෙද කියන කරණාව නම් දැන් මගෙ මතකයෙ නෑ. නමුත් 2010 අවුරුද්දේ පැවති 82  වන ඔස්කාර් සම්මාන උළලේදි, හොඳම විදෙස් භාෂා චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් "The secret in their eyes" ආර්ජන්ටීනියානු චිත්‍රපටය නැරඹුවොත් ඔබට ඇස්වලින් සිදුවෙන සියුම් හැඟීම් ප්‍රකාශනයන්ට කොයිතරම් පරාසයක විහිදී යන්න පුලුවන්ද කියන කාරණය හොඳින්ම වටහා ගන්න ලැබේවි.

The secret in their eyes චිත්‍රපටය වර්ගීකරණය වෙන්නෙ අපරාධ සහ අබිරහස්මය ගණයට වුණත් මෙය හුදු අපරාධමය චිත්‍රපටයක් විදිහට නම් කිරීම මම හිතනව එහි අන්තර්ගතය එක් සීමාවකට පටුකර දැක්වීමක් කියල.  අප්‍රකාශිත ප්‍රේමයක්, මිත්‍රත්වය පිලිබඳ කතාවක්, පළිගැනීමක්, සමකාලීන දේශපාලනය, නීතිය, යුක්තිය, අතීත මතකයන් ජීවතයට ඇතිකරන බලපෑම.. මේ වගේ තේමාවන් ගණනාවක්ම එකවිට වර නැඟෙන ආකාරය මේ චිත්‍රපටයට ඇතුළෙ දැකගන්න පුලුවන්. චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ Eduardo Sacheri නම් ආජෙන්ටිනියානු ලේඛකයාගෙ La pregunta de sus ojos (The Question in Their Eyes) නවකතාව පදනම් කරගෙන. (මේ නවකතාව  මුල් කරගෙන මේ නමින්ම 2015 දි හොලිවුඩ් සිනමාපටයකුත් නිර්මාණය වුණත් එය එතරම් සාර්ථක එකක් නොවෙන බවයි කියැවෙන්නෙ) සාහිත්‍යමය "පිරුණුබව" චිත්‍රපටය ඇතුළෙ ඉහළම මට්ටමකින් පවත්වාගන්න මෙහි නිර්මාණකරුවන් සමත්වී තිබෙන බව කිවයුතුයි. 

චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ 1970 සහ 90 දශකවල ආර්ජෙන්ටිනාව. බෙන්ජමින් එස්පසිටෝ (Ricardo Darín) අපරාධ පරීක්ෂකවරයෙක්. ඔහු වැඩකරමින් ඉන්න ආයතනයට අයරීන් (Soledad Villamil) නමින් නීති උපදේශකවරියක් සේවයට පැමිණෙනව. ඔහුට වැඩකරන්න නියමිත වෙන්නෙ ඇය යටතෙ. මේ අතර ලිලිනා නම් ගැහැණිය ඇයගේ නිවසේදීම කෲර ආකාරයට දූෂණය කර මරාදමා තිබෙද්දී සොයාගැනෙනව. එහි අපරාධකරුවන් සොයා යාමට භාරවෙන්නෙ එස්පසිටෝට. ලිලිනාගේ සැමියා රොකාඩෝ, අපරාධකරුවා සොයාගෙන හැකි උපරිම දඬුවම් ලබා දෙන්න එස්පොසිටෝගෙන් ඉල්ලාසිටිනව. ලිලිනාගේ කුඩා වයසේ පටන් මිතුරෙක්වන ගෝමෙස් නැමැත්තෙක් ගැන එස්පොසිටෝට සැකයක් ඇතිවෙනව. ඒත් ඔහු ඉන්නා තැනක් කිසි කෙනෙක් නිවැරදිව දන්නේ නැහැ. ගෝමෙස් පසුපස යන එස්පොසිටෝ අවසානෙ ඔහුව අල්ලාගන්න සමත්වෙනව. ඒවනවිට ආජෙන්ටිනාව ඒකාධිපති මිලිටරි පාලනයකට යටත්ව තිබුණා. මිලිටරි ආණ්ඩුව, එයට විරුද්ධ මත දරන්නන් දැඩිව මර්ධනය කලා. වෘත්තිය ජීවිතයේ එස්පොසිටෝගේ විරුද්ධවාදීන් ගෝමෙස් ඇප මත නිදහස් කරවාගෙන ආණ්ඩුවේ කුලී මැරයෙක් විදිහට බඳවාගෙන තිබුණා. ඒ අතර එස්පොසිටෝ ගෙ හොඳම මිත්‍රයා පැබ්ලෝවත් මරා දමා තිබුණා. 

මේ සැම දෙයක්ම අතරේ අයිරින් ගැන එස්පොසිටෝ තුළ යම් පැහැදීමක් ඇතිවෙනව. ඒවගේම ඇයත් ඔහු ගැන ඒ ආකාරයෙන්ම සිතනව. ක්‍රමයෙන් දෙදෙනා අතරෙ යම් කිට්ටු සම්බන්ධතාවක් ඇතිවෙනව. නමුත් ඇය නුදුරේදිම විවාහවෙන්න නියමිතයි. වෘත්තිය ඇතුලෙ ඔහු ඇය යටතේයි වැඩ කරන්නෙ. ඒ වගේම  ආර්ථිකමය සමාජමය තත්ත්වය අතින් ඇය ඉන්නෙ ඔහුට වඩා ඉහළ තැනක. මේ නිසා ඇය ගැන ඇතිවෙන ප්‍රේමණීය හැඟීම් යටපත් කරගන්නයි ඔහු උත්සාහය දරමින් ඉන්නෙ. මිත්‍රයාගේ ඝාතනය සමඟ තමන්ගේ ජීවිතයත් අනතුරක ඇති බව වටහගෙන එස්පොසිටෝ තමන්ගේ වෘත්තියත් ඇයත් අතහැර යනව. හුදකලාවේ අවුරුදු විස්සක් පමණ ගතකරන එස්පසිටෝ නැවත ඇය හමුවෙන්න පැමිණෙනව. ඔහු අදහස් කරගෙන ඉන්නව ලිලිනාගේ ඝාතන සිදුවීම ගැන නැවත වරක් සොයාබලන්න. ඔහු මේ සිදුවීම මුල්කරගෙන දැනටමත් නවකතාවක දළ සටහනක් ලියා අවසන්. අසම්පූර්ණ කතාවක් පරිපූර්ණව ලියා අවසන් කරන්න ඔහුට හැකිවේවි ද?

The secret in their eyes චිත්‍රපටයෙ නිරීක්ෂණය කරගන්න පුලුවන් කාරණයක් තමා ඒ ඒ අවස්ථාවන්වල අරුත් මතුවන ආකාරයට ඉතාම හොඳ දෙබස් භාවිත කර තිබීම. නවකතාවක් මුල්කරගෙන ගොඩනැගුණු චිත්‍රපටයක් නිසා කලිනුත් සඳහන් කල ආකාරයට ඒ සාහිත්‍යමය බලපෑම චිත්‍රපටයට ලැබෙන්න ඇති. ඒ වගේම කලිනුත් සඳහන් කලා ඇස්වලින් සිදුකරන හැඟුම් ප්‍රකාශනයන් මේ චිත්‍රපටයෙ බහුලව භාවිත කර ඇති බව. බොහෝ විට චිත්‍රපටය ඇතුලෙ වචනවල සීමාවන් අතික්‍රමණය කරමින් සියුම් ඉඟියෙන් නමුත් ප්‍රබලව අරුත් දනවන ස්වභාවය දැකගන්න පුලුවන්.

The secret in their eyes මෑත යුගයෙ බිහිවුණු විශිෂ්ටතම චිත්‍රපට අතරට ගැනෙන සිනමාපටයක්. අපරාධ පරීක්ෂණයක් මුල් කරගෙන කතාව නිර්මාණය වුණත් එයින් එහා සමාජ දේශපාලනික තේමාවන්ට වගේම ප්‍රේමය පිලිබඳවත් ජීවිත කියවීමක් නිරූපණය වෙන  අපූර්වම චිත්‍රපටයක්. චිත්‍රපටයෙ දෙබස් ගැන කලිනුත් සඳහන් කලා. චිත්‍රපටයෙ මම කැමති දෙබස් ඛණ්ඩයකින් මේ සටහන අවසන් කරන්නම්..
.
.
.
- මට එයාට ආදරේ කරන්න බැරිවුණා. ඒක එයාගෙ වරදක් නෙමේ. 

- එක හරි දුර්වල අවසානයක් කතාවකට නම්. 

- ඔයාට පේනවනෙ. මට තව අවස්ථාවක් නිකම් නාස්ති කරගන්න ඕන නෑ. මම කොහොමද ඒ ගැන කිසිදෙයක් නොකර ඉන්නෙ? මම ඇහුව මගෙන්ම. මේ අවුරුදු විසිපහටම මට එක උත්තරයයි හම්බවුණේ. "ඒක අමතක කරන්න. ඒක ජීවිතේ තව එක යුගයක් විතරයි. ඒක දැන් ඉවරයි. ආයෙ මතක් කරන්න එපා" කියන දෙය පමණයි. ඒත් ඒක වෙනම යුගයක් නෙමේ. ඒ වෙන ජීවිතයක් නෙමේ. ඒක මේ ජීවිතේම තමයි. මෙන්න මේ ජීවිතේම තමයි ඒ. මට දැන් තේරුම්ගන්න ඕන. කොහොමද කෙනෙක් හිස් ජීවිතයක් ගෙවාදමන්නෙ. මොකවත්ම නැති නිකම්ම හිස් ජීවිතයක්? ඔයා මොකක්ද එහෙම වුණොත් කරන්නෙ?"

-hAsH-

..................................................

The secret in their eyes (2009)

Directed byJuan José Campanella 

Written by Juan José Campanella, Eduardo Sacheri

Based onLa pregunta de sus ojos by Eduardo Sacheri

Starring

Ricardo Darín
Soledad Villamil
Pablo Rago
Javier Godino
Guillermo Francella