Friday, January 26, 2024

The Breaking Ice (2023)

මේ මහ පොළවත්, හමන සුළඟත්, සූර්යාලෝකයත් හැමදාම එකම විදිහට අපි වටා පවතින්නෙ නැහැ. කාලෙන් කාලෙට මේවයෙ රටාවන් විවිධාකාර විදිහට වෙනස් වෙනව. කාලෙකට වේලාසනින්ම හැන්දෑ වෙලා කළුවර වැටෙන්න පටන් ගන්නව, තවත් කාලෙකට වැඩිපුර හුළඟ හමනව, කාලෙකට උදෑසන මීදුමෙන් බර වෙනව, සීත, උෂ්ණ බව අඩු වැඩි වෙනව. ඍතු බේදය කියල අපි කියන්නෙ මේකට. අපි වගේ සමකාසන්න රටවලට යන්තමිනුත්, උත්තර සහ දක්ෂණාර්ගෝල කිට්ටුවෙන් බොහෝම පැහැදිලිවත් මේ දේශගුණික වෙනස්කම් දැකගන්න පුළුවන්. මෙහෙම සිද්දවෙන නොයෙක් ඍතු විපර්යාස අතරේ හිමකැට අරන් එන සීත කාලය කියන්නෙ ඒ රටවලට නම් සාපේක්ෂවශයෙන් දුෂ්කර සමයක්. උෂ්ණත්වය සමහර විට සෙල්සියස් අංශක ඍන ගණන්වලට බැහැලා පාරවල් හිමෙන් යට වෙනව, ලස්සනට තිබුණු ගංගා, ඇළ දොළ, විල්, පොකුණු ඝනීභූත වෙලා යනව. පර්යටනික කුරුල්ලන් නම් මේ කාලෙට අපේ වගේ උෂ්ණ රටවල් සොයාගෙන පියාඹා යනව, බොහොම සත්තු පොළවේ හාරාගත්ත බිම් ගෙවල්වලට වෙලා සිසිර නින්දේ නිදාගෙන සීත ඍතුව ගෙවා දමනවා. මේ දුරුතු මාසේ උදේම තියන සීතල උහුලන් ඉන්න අමාරු අපිට ඔය යක්ස හීතල කොයි වගේද කියල ටිකක් විතර හිතා ගන්න පුළුවන්.

මෙන්න මේ විදිහට වෙනස්වෙන දේශගුණික රටාවන් කියන්නේ ජීවිතයත්, පරිසරයත් එකිනෙක හරි අපූරුවට සම්බන්ධ කළ හැකි ඉසව්වක්. සමහරවිට ජීවිතේ යම් යථා ස්වභායන් තේරුම්ගන්න සොබාදහමේ මේ ගතිගුණය අපිට උදව්වෙනවා. ජීවිතේ ඇතුළෙන් මල් පිපෙන කාල වගේම හිම වැටෙන සීත කාල එන බව එතකොට තේරුම්ගන්න පුලුවන්. කාලෙකදි සනීප සීතලක් අරගෙන ආව හුළඟ වුණත් ඇඟට ඉඳිකටු තුඩු වලින් අනින්නා වගේ දරා ඉන්න අමාරු දෙයක් බවට පත්වෙද්දී, සියළු ළතෙත් බර තැන් ඝනීභවනය වෙලා අයිස් මිදිලා යද්දී, ජීවිතේ එකම හිම කාන්තාරයක් බවට පත්වෙනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. සනීපදායක මනුස්ස ඇසුරක පහස ලබන්න කාටත් ඕන වෙන්නෙ අන්න ඒවගේ මොහොතක . එහෙම බැඳීම් හරියට සීත කාලෙදි උණුහුම ගේන හිමකබායක් වගේ හදවත උණුහුම් කරනව. ජයග්‍රහණයෙදී සතුට සමරන්න වගේම පරාජය ලබල එනකොට ආදරණීයව වැළඳගන්න කෙනෙක් දෙන්නෙක් හෝ ජීවිතේ ඉන්නම ඕන. නමුත් එහෙම අය අපිට මුණගැහෙන්නෙ බොහොම කලාතුරකින්. මොකද මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ පැවැත්ම වෙනුවෙන්. තමන්ගේ පැවැත්ම සහ ලාභ ප්‍රයෝජනය වෙනුවෙන් මිනිස්සු බැඳීම් ඇති කරගන්නෙ. ඇත්තම කතාව ගත්තොත් අපිට තියන ගොඩක් සම්බන්ධකම්වල තියෙන්නේ දේශපාලනයම සහ ව්‍යාපාරිකමය වියළි බවක් තමයි. එවැනි තැන්වල සහෘදාත්මක අවංකභාවය නෑ. එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් ලෝකය ගොඩනැගිල තියෙන්නෙ එහෙම තමා. ඒකට කාටවත් දොස්පවරලා වැඩක් නෑ. බියක්, සැකක් තියගන්නේ නැතිව අවංකම තම හදවත විවෘත කළ හැකි, සහ හිත හඳුනාගන්න පුළුවන් ටික දෙනෙක් පමණක් හරි ජීවිතේදි අපිට මුණගැහෙනව නම් ඒක වටිනව. වැඩි දෙයක් බලාපොරොත්තු නොවී ළඟ ඉඳීමෙන්, බෙදාහදා ගැනීමෙන් පමණක් සෑහෙන එහෙ ලස්සන මනුස්ස සම්බන්ධකම් දිහා බලන් හිටියත් හිත පිරෙනව.

2023 අවුරුද්දේ චිත්‍රපටි ලයිස්තුවේ මෙහෙම චිත්‍රපටියක් දැකගන්න ලැබුණා. ඔස්කාර් සම්මානය වෙනුවෙන් හොඳම විදෙස් භාෂා අංශයෙන් සිංගප්පූරුව නියෝජනය කළ The Breaking Ice චිත්‍රපටියට ඇතුළත් වෙන්නේ කලින් කිව්වා වගේ අපූරු මනුස්ස සම්බන්ධකමක් ගැන කියවෙන කතා පුවතක්. මේක සිංගප්පූරු ජාතික සිනමාකරු Anthony Chen ගේ නිර්මාණයක්. මෙතනදි අපිට දැකගන්න ලැබෙනව තුන් දෙනෙක්. ජීවිතේ හිම කුණාටු සමයක් ගෙවා දමමින් ඉන්නා තුන්දෙනෙක්, එකිනෙකට වෙනක් ගති ගුණ තියන තුන්දෙනෙක්. එක මොහොතක මේ තුන්දෙනා හමුවෙන හැටිත්, ඉන් පස්සේ දවස් කිහිපයක් තුන්දෙනා එකට ගෙවාදමන හැටිත් තමා මේ කතාවෙ ඇතුළත් වෙන්නෙ. චිත්‍රපටිය පුරාම දැඩී සීතල, හිම සහ අයිස් කියන සංකේත රෑප ඉතා ප්‍රබලව පසුබිමෙන් දක්නට ලැබෙනව. සැබෑම නිර්ව්‍යාජ මිත්‍රත්වයත්, ආදරය සහ අනුරාගයත්, මනුෂ්‍යත්වයත් ජීවිතේ දුක්වේදනාවේ සීතල අයිස් කුට්ටි දිය කරමින් මතුවෙන හැටි බලා ඉන්න අපූරුයි. ටිකක් වැඩිපුර සීතල දැනෙන මේ කාලෙ මට මේ චිත්‍රපටිය හරියට උණුහුම්ව විඳගත හැකි සිනමාත්මක වැළඳගැනීමක් වගෙයි දැනුණේ.




Tuesday, January 23, 2024

The Color Purple (2023)

1985 අවුරුද්දේ දි, ඒ වෙනකොට චිත්‍රපටි හතක් පමණක් නිර්මාණය කර සිටි අධ්‍යක්ෂවරයෙක් වුණ ස්ටීවන් ස්පීල්බර්ග්ට, තමන්ගේ අටවෙනි සිනමා නිර්මාණය විදිහට The Color Purple නම් චිත්‍රපටය නිර්මාණය කරන්න අවස්ථාව හිමිවෙනවා. The Color Purple නමින් මුලින්ම ලෝකය හමුවට ආවේ 1982 අවුරුද්දේ ඇලිස් වෝකර් නම් ඇමරිකානු ලේඛිකාව එනමින්ම ලියා පළ කල නවකතාව. මේ නවකතාව ලබපු සාර්ථකත්වයත් එක්ක ඇලිස් වෝකර්ට එයින් චිත්‍රපටියක් නිර්මාණය කරන්න උවමනා වෙනවා. මේ කටයුත්තට ස්පීල්බර්ග් තෝරාගන්නෙ ඇයමයි. The Color Purple ඇමරිකාවේ දකුණු පෙදෙසේ ප්‍රාන්තවල වැඩිවශයෙන් ඉන්නා කළු ජාතිකයින්ගේ සමාජය මුල්කරගෙන ලියවුණ ප්‍රබන්ධයක්. තමන්ට මේ ජන කොටසත්, ඔවුන්ගේ සංස්කෘතියත් ගැන තියන දැනුම ප්‍රමාණවත් නැතැයි කියමින් ස්පීල්බර්ග් ඒ අවස්ථාව ප්‍රතික්ෂ්ප කරන්න උත්සාහ කරනව. නමුත් ඇලිස් වෝකර් ඔහුගේ E.T the Extra Terrestrial චිත්‍රපටය නරඹලා තිබුණා. තමන්ගේ කතාව සිනමාවට ගේනන එකම සුදුස්සා ඔහු බව ඈ තීරණය කරලා අවසානයි. කොහොම හරි ස්පීල්බර්ග් මේ කටයුත්ත බාරගන්නව. අවසානෙ ඇමරිකානු ඩොලර් මිලියන 15ක වියදමෙන් නිමවුණු The Color Purple ඩොලර් මිලියන 98ක ආදායම් වාර්තාවත් තබමින් ප්‍රේක්ෂක විචාරක පැසසුම් මැද තිරගත වෙනවා. The Color Purple ලැබුව සාර්ථකත්වය ස්ටීවන් ස්පීල්බර්ග්ගේ සිනමා දිවියටත් ලොකු බලපෑමක් කළා. ඉන් අවුරුදු හතලිහකට ආසන්න කාලයක් ගතවෙලා ගිහින් තියෙන වෙලාවේ, දැන් ස්පීල්බර්ග් කියන මහා සිනමාකරුවා The Color Purple නවකතාව අශ්‍රයෙන්ම වෙනස් ආකෘතියක සිනමාපටයක් ලෝකය හමුවට අරගෙන එන්න නිෂ්පාදකවරයෙක් විදිහට දායක වෙලා තියනවා. නමුත් මේ අලුත් චිත්‍රපටිය වැඩි වශයෙන් පාදක කරගන්නෙ ඔය නමින්ම 2005 අවුරුද්දේ ආව බ්‍රෝඩ්වේ නාට්‍යය. ඒවගේම මේක නැටුම් ගැයුම් පිරුණු සංගීතමය චිත්‍රපටයක්! 

ඇලිස් වෝකර්ගේ The Color Purple සැලකෙන්නේ නූතන සම්භාව්‍ය (modern classic) කෘතියක් විදිහට. හරියට අරුන්දතී රෝයි ගේ The God of Small Things වගේ Color Purple නිකුත් වුණු කාලයේ සමාජෙ සෑහෙන ආන්දෝලනයක් ඇති කරලා තියනවා. එක් අතකින් Pulitzer වගේ ලැබිය හැකි ඉහළම ගරු සම්මානවලින් පිදුම් ලබන අතරේ අනික් පැත්තෙන් අන්තර්ගතය නිසාම මේ කතාව නොයෙක් වාරණවලට පවා ලක්වුණා. වාග් විලාසය, ප්‍රචණ්ඩත්වය, ලිංගික කරුණු සහ සමලිංගිකත්වය වගේ හේතු මුල්කරගෙන ආගමික සංස්ථාවලින් පොතට විශාල විරෝධයක් එල්ල වුණා. ඊශ්‍රායෙලයෙදී මේ පොත මුළුමණින්ම තහනම් වුණා. අරුන්දතී ඉන්දියානු සමාජෙ ගතානුගතිකත්වයෙන් සහ කුල බෙදීම් වලින් පීඩිත ස්ත්‍රිය තම ප්‍රබන්ධය හරහා නිරූපිත කරද්දී, ඇලිස් වෝකර් 1900 මුල් යුගයේ ඇමරිකාවේ පැවති වර්ගවාදය වගේම තමන්ගේ වර්ගයා අතින්ම අතවරයන්ට ලක්වෙන, ගැහැනියක් වීම නිසාම අප්‍රමාණ හිරිහැරයන්ට ලක්වෙන සහ නිවස ඇතුළේම හිංසනයන්ට සහ හිතාගන්න බැරි තරම් නොයෙක් ආකාරවලින් අසීමිත වදබන්ධනයන්‍ට ලක්වුණ කළු ජාතික ස්ත්‍රීයක් පෙරබිමට අරගෙන ආවා. (The Color Purple සිංහල පරිවර්තනය - "දම් පාට කතාව", අමාලි බොරළුගොඩ, විදර්ශන ප්‍රකාශනයක්)

පීඩනය, හිංසනය වගේ දුකම වේදනාවම තේමා කරගත්තු කතාවක් නටමින් ගයමින් කියන්නේ කොහොමද කියල ඔබට හිතෙන්න පුළුවන්. මුල් පොත කියවා නැතත් Musical Drama එකකට ගැළපෙන විදිහට කතාවෙ සැර අවම කරලා ද කියල හිතුණා චිත්‍රපටයේ සමහර තැන් වලදී. නමුත් කලාව කියන්නෙ මනුස්ස හැඟීම් නිරූපණයට. සතුට, ප්‍රහර්ෂය ඇතුළු නොයෙක් මිහිරි හැඟුම් වගේම දුක්, දොම්නස්, වේදනා ආවේගයන් වගේ කර්කෂ හැඟීම් පවා ගයමින් වයමින් අසන්නෙකුට නරඹන්නෙකුට දනවන්න ඊට හැකියි. The Color Purple කියන්නෙ එහෙම දුක්වේදනාවත්, සතුටත් උත්කර්ශවත් බවත් මේ සියළු ප්‍රකාශනයන් ගෙන් වර්ණවත් වුණු චිත්‍රපටියක්. වසරේ හොඳම ලයිස්තුවට නිසැකවම ඇතුළත් කළහැකි, හදවත පුරවාලන වැඩක්. 2023 අවුරුද්දේ චිත්‍රපට නාමාවලියට අඩුවෙලා තිබ්බේ මං හිතන්නේ හොඳ Musical Drama එකක්. The Color Purple එක්ක ඒ අඩුවත් සම්පූර්ණ වෙනව.




Friday, January 19, 2024

Fallen Leaves (2023)

ආදරය කියන දෙය ජීවිතේ ඇතුළේ හටගන්න නිශ්චිත මොහොතක් නැහැ. සමහර විට, නොහිතනම වෙලාවකදි එකවරම ඒක ඇති වෙන්න පුළුවන්. නැත්නම්, සෑහෙන දිගු කාලයක් ඇතුළත, හෙමින් සැරේ ඇති වෙන්නත් පුළුවන්. නමුත් කොහොම වුණත් ඒවා සැලසුම් කරලා ලබාගන්න පුළුවන් දේවල් නෙමේ. අපි කැමති අකමැතිකම් සහ කෙනෙකුගෙන් අපි බලාපොරොත්තු වෙන දේවල් ගැන අදහසක් තිබුණාට, මෙන්න මේ වයස වෙනකොට මෙන්න මේ විදිහේ කෙනෙක් මට මුණගැහිලා තියේවි කියලා සැලසුම් ඇඳලා තියාගන්න කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ හින්දා වැඩි දුරක් නොගිහින්, වැඩි වෙහෙස මහන්සියක් නොදරාම ආදරය මුණගැහුණු අය වගේම, කාලයක් තිස්සේ ජීවිතේ ඇතුළේ බොහොම දුරක් අමාරුවෙන් අමාරුවෙන් ඇවිදලා, අවසානෙ හතිවැටිලා දැන් ඇති කියලා හිතෙන්න තරම් හෙම්බත් වෙලා ඉන්න තැනකට ආවම ආදරේ මුණ ගැහුණු අයත් කියන දෙකොට්ඨාසයම අපි දකිනව. හැබැයි නව යව්වන වයසට වඩා ජීවිතේ පහු වෙන්න පහුවෙන්න අපිට ආදරේ මුණ ගැහෙන්නෙ දුෂකරතාවන් ගොඩක් මැද්දේ. මොකද වයසත් එක්ක හැමදෙයක්ම සංකීර්ණ බවට පත්වෙනව වැඩියි, ජීවිතේ ටිකෙන් ටික පත්වෙන්නෙ අරගලයක ස්වරෑපයකටයි, ඇතිවෙන හැලහැප්පිලි බහුලයි, ලබන්න සිද්ද වෙන අත්දැකීම් කටුකයි. එහෙම තැනක ඉන්න කෙනෙකුට ප්‍රේමණීය හමුවීමක් සිද්දවෙනකොට ඒක කොයි වගේ තියෙයි ද? ඒක අර රුවන් බන්දුජීවගේ සුප්‍රසිද්ධ කවි පේළියෙන් කියන්නා වගේ කියලයි මට හිතෙන්නේ.

වියළී ඇදවැටීමෙන් පසුවයි
ඇවිදින්න පටන් ගන්නේ තුරුපත්..

අව්, වැසි, සුළං විඳලා, වියළිලා ගිහින් මහපොළොවට ඇද වැටුණායින් පස්සෙයි තුරුපතකට වුණත් ඇවිදින්න පුළුවන් වෙන්නේ. විසකුරු තැන් පැටලිලා, මනසින් පීඩාවන් ගොඩක් දරා ඉඳලා, අමාරු කාලයක් ගත කරලා ඉද්දී ආදරයක් ජීවිතේට ආවමත් එහෙම තමයි. මේවගේ ඇදවැටුණු තුරුපත් දෙකක්ම එකට මුණගැහුණොත් ඒක කොහොම වේවිද? 2023 අවුරුද්දේ කාන්ස් සිනමා උළලේ Palme d'Or සම්මානයට නිර්දේශවුණු සහ ජූරියේ විශේෂ ත්‍යාගයකින් පිදුම් ලද වගේම ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදෙස් භාෂා අංශයට ෆින්ලන්තයෙන් ඉදිරිපත් කරන Fallen Leaves චිත්‍රපටයෙත් තියෙන්නෙ එහෙම කතාවක්. හැබැයි මේක රොමාන්තික ප්‍රේම වෘතාන්තයක් විදිහට අපිට දැනෙන ආකාරයකට නෙමෙයි නිර්මාණය කරලා තියෙන්නේ. ප්‍රධාන චරිත දෙකට සහ අමතර චරිත කීපයකට කතාව සීමාකරලා, ඉතාම කෙටි ධාවන කාලයකින් සහ අවමවාදී ස්වභාවයකිනුයි මේ චිත්‍රපටිය ගොඩනැගෙන්නේ. වෙලාවකට ටිකක් හිනා යන සහ මුන් දෙන්නා මේ මොනව කරනවද කියලා හිතන තරම් අඩුවෙන් ප්‍රේමය දකින්න ලැබෙන කතාවක්. මේ කතාවේ ප්‍රධාන චරිත දෙකම අර කලිනුත් කිව්වා වගේ ජීවිතේ ගැටගහගෙන යන අරගලයෙන් පීඩිත, වියළි, නීරස, ඒකාකාරී ජීවිත ගතකරන චරිත. ඒ වගේම දෙන්නම පිටස්තර සමාජයේ කවුරුත් තේරුම් නොගත්ත, සමාජෙන් ටිකක් ඈත් වුණු චරිත. නමුත් එක තැනක ඔහුගේත් ඇයගේත් දෑස එකිනෙක මුණගැහෙනවා. එතැන ඉඳලා ඔවුන් දෙන්නා මුණගස්වමින්, යළි වෙන්කරමින් දෛවය ලිියවෙන්න පටන්ගන්නවා. 

Fallen Leaves කියන්නේ ෆින්ලන්තයේ මහා සිනමාකරුවෙක් විදිහට සලකන Aki Kaurismäki ගේ නිර්මාණයක්. ෆිල්ම් එකට පසුබිම්වෙන්නෙ අපි ජීවත් වෙන මේ යුගයම බව අපිට වටහගන්න පුළුවන් වෙන්නේ පසුබිමේ ඇහෙන රුසියන් යුක්‍රේන යුද්ධයේ ප්‍රවෘත්තිවලින් පමණයි. නමුත් ඒ හැර, අඳින ඇඳුම් පැළඳුම්, කොණ්ඩ විලාසිතාවල් වගේ බොහෝ දේ වලින්  ෆිල්ම් එකේ අනෙක් හැම දෙකයක්ම සමාන වෙන්නෙ හැට හැත්තෑව කාලෙට. ඔහුත් ඇයත් දෙන්නාම ස්මාර්ට් ෆෝන් පාවිච්චියක් නැති, ඉන්ටර්නෙට් යුගයට අයිති නැති අය වගේයි පෙනෙන්නෙ. ෆිල්ම් එකට පාවිච්චි කරලා තියන පරණ සින්දු වලිනුත් මේ පරණ වයිබ් එක හොඳින්ම දැනෙන්න සලස්වනවා. දෙන්නාම මේ තාක්ෂණය මුල්කරගත්ත නූතන සමාජෙට අකමැති, ඒවාට අනුගත නොවෙන, පිටස්තර චරිත බව දනවන්න වෙන්න ඕනා අධ්‍යක්ෂවරයා මේ විදිහට චිත්‍රපටිය නිර්මාණය කර තියෙන්නෙ.

ෆිල්ම් එකට ඇතුළත් වෙන සිද්ධිදාමය මේ අපි ජීවත් වෙන වර්තමාන යුගයට අයිති එකක් බව දනවන එකම ක්‍රමය පසුබිමෙන් ඇහෙන යුක්‍රේන-රුසියා යුද්ධය ගැන ප්‍රවෘත්ති බව කලිනුත් කිව්වා. ඇයි ඇත්තටම යුද්ධයක් මේ කතාවට පසුබියෙමන් තියලා තියෙන්නෙ? ඒ ගැන එන්න පුළුවන් මෙහෙම නිගමනයකට. ලෝක සිතියමක් අරගෙන බැලුවොත්, ෆින්ලන්තය පිහිටා තියෙන්නේ රැසියානු මායිමේ බව දැකගන්න පුළුවන්. ඒ නිසා ඍජුවම සම්බන්ධ නොවුණත්, යුද්ධයේ කළු වළාකුළු ෆින්ලන්ත අහසේත් ඈතින් ඇඳී තිබුණා. ඒ වගේම, යුද්ධයට අමතරව, මේ කතාවේ ප්‍රධාන චරිත දෙක වුණු ඔහුටත් ඇයටත්, ජීවත් වෙන්න කරන්න සිද්දවෙලා තියෙන්න යකඩ, සිමෙන්ති, ගල්, වැලි එක්ක පොර බදන කම්කරු රැකියාවන්. දෙදෙනාටම ආදරය වගා කර රැකබලාගන්න සිදුවෙන්නෙ මේ වගේ දුෂකරකම් පිරුණු පොළවක කියන දෙයයි මම හිතන්නෙ නිර්මාණ කරුවන් අපට දනවන්න උත්සාහ කර තියෙන්නෙ. මතක විදිහට නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ Fallen Leaves ගැන පළවෙලා තිබුණු විචාරයේ සඳහන් කරලා තිබුණා මේක අපායෙන් පටන් අරගෙන ස්වර්ගයෙන් ඉවර වෙන, ඒ අතර හුදෙකලා රාත්‍රීන්, වෙහෙස වී වැඩ කිරීම්, අවමානයන්, සතුටු මොහොතවල්, මත්පැන්, සිගරැට් වලින් පිරුණු ෆිල්ම් එකක් කියලා. ආරම්භක දර්ශනයත්, අවසාන දර්ශනයත්, ඒ අතර වෙන සිදුවීම් ටිකත් එක පෙළට තියලා බැලුවොත් මේ කතාව අපිට තේරුම් ගන්න පුළුවන්. මට හිතෙනව Fallen Leaves කියන්නෙ ජීවිතයත් ආදරයත් එක ළඟ තියලා බොහොම යථාර්ථවාදීව විවරණය කරන සරල සුන්දර චිත්‍රපටයක් කියලා.



Wednesday, January 17, 2024

Four Daughters (2023)

2016 අවුරුද්දේ IS (Islamic State) ත්‍රස්ත සංවිධානයට සම්බන්ධව කටයුතු කිරීමේ වරදට Gofrane සහ Rahma කියන තරුණ ගැහැනු ළමයින් දෙන්නා ලිබියාවෙදි අතඩංගුවට පත් වෙනවා. මොවුන් දෙන්නාම ටියුනීසියානු ජාතිකයින් (ටියුනීසියාව පිහිටා තියෙන්නේ අප්‍රිකානු මහාද්වීපයේ උතුරින් ඊජිප්තුවට සහ ලිබියාවට යාබදව). මේ ගැහැනු ලමයින්ගේ විශේෂත්වය තමා මේ දෙන්නා සහෝදරියන් වීම. අනෙක් විශේෂත්වය මේ දෙන්නාට තවත් සහෝදරියන් දෙදෙනෙක් සිටීම. ටියුනීසියාවේ ගැහැනු ලමයින්ම හතර දෙනෙක් ඉන්නා පවුලක වැඩිමල් සහෝදරියන් දෙන්නා තමා මේ ත්‍රස්ත කටයුතුවලට චෝදනා ලබන Gofrane සහ Rahma කියන්නෙ. බාල සහෝදරියන් දෙන්නා Eya සහ Tayssir. මේ හතර දෙනාගෙම අම්මා Olfa. Olfa ට සෑහෙන ලොකු අවධානයක් ඒ කලයෙදි රට ඇතුළෙ ලැබෙනවා. ඇය තමන්ගෙ දියණියන්  දෙන්නා බේරගන්න නොබියව ඉදිරියට ගිහින් කතා කරනව. මේ අය බැතිමත් ඉස්ලාම් ආගමිකයින් වුණත් කොයිම විදිහකින් වත් අන්තවාදී අදහස් නොදරන බොහෝම සාම්ප්‍රදායික ටියුනීසියානු පවුලක්. එහෙනම් ඒ පවුලේම සහෝදරියන් දෙන්නෙක් සාමාන්‍ය විදිහට හැදී වැඩෙද්දී තවත් දෙන්නෙක් විතරක් ආගමික අන්තවාදයෙ ගොදුරු බවට පත්වෙන්නෙ කොහොමද? Four Daughters කියන්නෙ ඒ ගැන කතාවට. 

අරාබි භාෂාවෙන් නිමවී ඇති Four Daughters චිත්‍රපටයෙ විශේෂත්වය තමා මේ කතාව කියන්න ඉදිරිපත් වෙන්නේ ඒ අත්දැකීම්වලට මුහුණ දුන්න හැබෑම චරිත වීම. සිරගතව ඉන්න දියණියන් දෙන්නා වෙනුවට පෙනුමෙන් ඒ සමාන වෙනත් දෙන්නෙක් යොදාගෙන තියනවා. සමහර තැන්වල පමණක්, අම්මාගෙ චරිතය වෙනත් නිළියක් නිරූපණය කරනවා. පිරිමි චරිත හැම එකටම එකම නළුවෙක් ඉන්නවා. චිත්‍රපටිය ඇතුළෙදි Olfa තමන් ගෙ කුඩාකාලෙ ගැන කෙටියෙන් විස්තර කරමින්, ඈ විවාහ වුණු හැටි ඉන්පස්සෙ දරුවන් ලැබිලා ඔවුන් හදා වඩා ගත්තු හැටි සහ වෙනත් පිරිමින් එක්ක තිබුණ සම්බන්ධකම් විවෘතව කතා කරනවා. Eya සහ Tayssir ඔවුන් ගෙ ළමා කාලෙ ගැන සහෝදරියන් එක්ක තිබුණු මතකයන් ගැන විස්තර කරනවා. සමහර තැන්වල ඔවුන් රඟපාලා පෙන්වනවා. Four Daughters කියන්නෙ ප්‍රබන්ධමය කතාවකට එහා සත්‍ය ඒ අයුරින්ම වාර්තා කරන වාර්තාමය ගණයට ඇතුළත් කළ හැකි චිත්‍රපටයක්.

චිත්‍රපටයෙ ආත්මය තියෙන්නෙ මේ සහෝදරියන් හතර දෙනාත් අම්මාත් අතර පවුලක් විදිහට තියෙන අවියෝජනීය බැඳීම ඇතුළෙ. මොකද එකම කුසක ඉපදිලා, එකටම හැදිල වැඩිලා  එකටම ජීවිතේ බෙදාහදාගෙන එකම පවුලක් විදිහට ජීවිතේ ඇතුළේ  ගොඩනැගෙන බැඳීම වෙන කිසිම දෙයකට සමාන කරන්න බැරි නිසා. මග හැරුණු ඔවුන්ගෙම සහෝදරියන් දෙන්නා සිහිපත් කරන හැම තැනකදිම ඔවුන්ගේ ඇස්වලින් කඩා හැලෙන උණු කඳුළු ඊට සාක්ෂියි. Four Daughters කියන්නෙ පැහැදිලිවම ස්ත්‍රීත්වය ආත්මය කරගත්ත, ඔවුන්ගේ සැබෑම සිනහවන්, දුක්, කඳුළු, සුසුම් වලින් ඇඳුණු සිනමා සිත්තමක් බව කිව්වොත් නිවැරැදියි.

Four Daughters, 2023 වසරේ කාන්ස් සිනමා සම්මාන උළලේ Palme d'Or සම්මානය වෙනුවෙන් තරඟවදින්න තෝරාගෙන තිබුණා වගේම මෙ වසරේ පවත්වන්න නියමිත 96 වන ඔස්කාර් සම්මාන උළලේ හොඳම විදෙස් භාෂා චිත්‍රපටය වෙනුවෙන් ටියුනීසියාව නියෝජනය කරමින් තෝරාගෙන තිබෙනවා. 



Thursday, January 11, 2024

Dream Scenario (2023)

ඒ කාලේ ඩෙක් පීස් වලින්, වීසීඩීවලින්, නැත්නම් අයිටීඑන් සටර්ඩේ නයිට් මූවීස්වලින් චිත්‍රපටි බලපු අපේ ලෝකේ හිටි වීරයෙක් තමා නිකලස් කේජ් කියන්නේ. කොන් එයාර් වල ගුවන්යානාවක් මංකොල්ලකාර කණ්ඩායමකින් බේරාගන්න තනිව සටන් වැදුණු, ෆේස් ඕෆ් වල තමන්ගේ ස්වරූපය ගත්තු ජෝන් ට්‍රැවල්ටා එක්ක පොරබදපු, ද රොක් වගේ මිලිටරි ඇක්ෂන් මූවි එකක ෂෝන් කොනරි එක්ක රඟපාපු, ගෝස්ට් රයිඩර්වල යක්ෂාවේෂවන යතුරුපැදි ධාවකයා වුණු නිකලස් කේජ් ගේ තරුණ රෑපකාය 90 දශකය සහ 2000 මුල් කාලේ යුගවල නොස්ටැල්ජික මතක ආයෙ අවදිකරවනවා. ස්ටැලෝන් ලා, ආනෝල්ඩ්ලා ලොකු ප්‍රමාණයේ පෝස්ටර්වලින් රෙකෝඩ්බාර්වල, සීඩී කඩ ඇතුළේ අරක්ගනිද්දී, පොත් පත්තර සඟරා පිටුවල අවි ආයුධ අතේ දරාගෙන ඉඳිද්දී , නිකලස් කේජ් ලා, ජෝන් ට්‍රවල්ටා ලා, වෙස්ලි ස්නයිප්ස් ලා, බෘස් විලිස් ලා ත් ඒ අහළපහළම උන්නු බව මතකයි. කාලයත් එක්ක ටිකෙන් ටික මේ ඇක්ෂන් හීරෝ ලා සහ එයාලා පෙන්නපු වැඩ අපේ මතක පොත්වලටම සීමා වුණා, නැත්නම් වෙනත් අය ඒ තැන්වලට ආවා. ඒත් මේ ෆේස්බුක් යුගයේ නිකලස් කේජ් නම් ආයෙ අපි අතරෙ සැරිසරන්න පටන් ගන්නවා ආධාත්මික සුවය මීම් එකෙන්. (ඒක කොන් එයා ෆිල්ම් එකේ සීන් එකක්). 

කේජ් නම් ඇක්ෂන් හීරෝ පමණක් නොවෙයි මූන්ස්ට්‍රක්, ලීවින් ලාස් වේගාස්, සිටි ඔෆ් ඒන්ජල්ස් වගේ ෆිල්ම්වලින් රොමාන්තික ප්‍රේමවන්තයෙකුත් වුණා. හැබැයි කේජ් දිගටම රඟපෑමේ යෙදුණත් ඒ තරමේ කැපී පෙනෙන චිත්‍රපටයකින් ඉන්පස්සේ එළියට ආවේ නැති තරම්. විශේෂයෙන් 2010න් පස්සේ කාලය කේජ්ට ඒ තරම් සුබදායක වුණේ නෑ. නිකලස් කේජ් මේ කාලයේ නීතිමය ගැටළු ගණනාවකටම මුහුණ දුන්නා. වතාවක් පොලිස් අත්අඩංගුවටත් පත්වුණා. ඒව කොහොම වුණත්, රඟපාන චිත්‍රපටි එක දිගට අසාර්ථක වුණත්, වර්තමානය වෙද්දි නම් නළුවෙක් විදිහට තමන්ගේම අනන්‍ය ක්‍රමවේදයක් ගොඩනගාගෙන ඔහු සෑහෙන දියුණු මට්ටමකට පැමිණ ඉන්නා බවට විචාරක පැසසුම් ලබන්න නම් කේජ් සමත් වෙලා තියනව. (2021 ආව Pig ෆිල්ම් එකට සෑහෙන හොඳ ප්‍රතිචාර තිබුණා) තවමත් ඉහළම ගෙවීමක් ලබන නළුවන් අතරින් ඉහළින්ම ඉන්නා කෙනෙක් නිකලස් කේජ්. කලා පවුලකින් පැවත ආවත් (ගෝඩ්ෆාදර්, ඇපොකැලිප්ස් නව් වගේ අග්‍රගණයේ චිත්‍රපට හදපු ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපොලා කියන්නෙ නිකලස් ගේ මමා) තමන්ගෙම අනන්‍යතාවයකින් ඉදිරියට ආ කෙනෙක් ඔහු.

2023 දී ආව, A24 ප්‍රඩක්ෂන් එකක් වුණු Dream Scenario ෆිල්ම් එකෙන් නිකලස් කේජ් කම්බැක් එකක් කියන්න බැරි වුණත් එක්තරා විදිහක කම්බැක් එකක් දීලා තියනවා. A24 වැඩක් නම් වියර්ඩ් මාස්ටර්පීස් එකක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේකත් එහෙම තමා. නමුත් මේ ෆිල්ම් එකේ වියර්ඩ් ගතිය ඇතුළේ යටි පෙළක් විදහට යම් අනතර්ගතය් තියන බව ෆිල්ම් එක බලද්දී දැනුණා. ඒ වගේම මේ ෆිල්ම් එක අපි ජීවත් වෙන මේ සෝෂල් මීඩියා යුගය සහ ඒ ඇතුළේ දේවල් ට්‍රෙන්ඩින් වෙන හැටි  කෑන්සල් කල්චර් හැදෙන හැටි වගේ නූතන සංසිද්ධීන් ගැන පොඩි විවේචනයක් ඇතුළත් වෙන බව හිතුණා. ඒ ගැන තමයි මේ බොහෝම කෙටියෙන් කියන්න උත්සාහ කරන්නේ.

මේ සෝෂල් මීඩියා වැඩකරන්නෙ තනිකර අවධානය උඩ දුවන ක්‍රමයක් අනුව නේ. සමහර පුද්ගලයෝ නැත්නම් සිද්ධි හිටි ගමන් හැමෝම කතා කරන, හැමෝගෙම අවධානය ගන්න මාතෘකා බවට පත්වෙනව මේක ඇතුළේ. ඔහොම මොකක් හරි දෙයක් ට්‍රෙන්ඩින් උනාම හැමෝම ඒ ගැන තමන්ගෙ අදහස් ෂෙයා කරන්න පටන්ගන්නව. එතකොට නිව්ස් ෆීඩ් එකේ දකින්න ලැබෙන්නෙ ඒ සම්බන්ධ දේවල් විතරයි. උපරිම සතියක් දෙකක් එක දෙයක් ගැන කියන්න ඕන දේවල් ඔක්කොම කියලා ඉවරවුණාම ඒව අවුට්ඩේට් වෙලා තව අලුත් මාතෘකාවක් කරළියට එනව. ඊටපස්සෙ කාලෙකින් ඒකත් ඉවර වෙනව. ඕක තමා සෝෂල් මීඩියා සංසාර චක්කරේ. මේ ට්‍රෙන්ඩින් වෙන දේවල්වලින් පිට දෙයක් ගැන නොදන්න සමාජයක් හැදෙන එක ඕකෙන් සිද්ද වෙන අහිතකර බලපෑමක්. නිව්ස් ෆීඩ් එකේ ඇහැට ඇනලා බලෙන් පෙන්නන දේ විතරයි දකින්නේ, ඉන් එහාට සොයායෑමක් නෑ, කොයිවෙලාවෙත් ෆෝන් එක තියෙන්නෙ අතේ, ලෝකෙ තියන ඕනම දැනුම් පද්ධතියක් ඇක්සෙස් කරන්න පුළුවන් ඒ මොහොතෙම. ඒ වුණත්, මේ අළුත් පරම්පරාවල් එක්ක වැඩකරනකොට දකින්න ලැබෙන දෙයක් තමා එයාලගෙ අදහස්, ආකල්ප, රසඥතාව මේ හැමෝම කතා කරන, ට්‍රෙන්ඩින් වෙන දේවල් වලින් එහාට ගිහින් නැහැ කියන දෙය. උදාහරණ විදිහට සින්දුවක් ඇහුවත් එයාල දන්නෙ යූටියුබ් එකේ ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ පෙන්නන ටික. මෙහෙම කෙනෙකුගෙන් කේමදාස මාස්ටර්ව දන්නවද කියල ඇහුවොත් ඒ කවුද කියලා උඩබිම බලන්න පුළුවන්. ලෝකෙ විවිධාකාර මියුසික් අහන, නොයෙක් අදහස් වලට විවෘත වෙලා තියන, ඒව ගැන සෙන්ස් එකක් තියන බොහොම ටික දෙනයි මට මුණගැහිලා තියෙන්නෙ ඔය පරම්පරාවල. 

කවදත් අමුතු අමුතු ජාතියෙ වැඩ එළියට දාන A24 ලාගේ Dream Scenario (2023) ෆිල්ම් එකත් ඔය ට්‍රෙන්ඩිං මාතෘකා උඩ දුවන නූතන සමාජෙ ගැන විවේචනයක් බවයි මට දැනුණේ. ෆිල්ම් එකේ ඉන්න පොල් මැතිව්ස් නම් මහාචාර්වරයාව රටේ බාගයකටත් වඩා දෙනෙකුට අහේතුකව හීනෙන් පේන්න පටන් ගන්නව. මේ නිසා පෝල් රටේ ජනප්‍රිය චරිතයක් බවට පත්වෙනව. හැමෝටම ඕන පෝල් එක්ක සෙල්ෆි ගන්න. පෝල් යන එන කන බොන හැටි වීඩියෝ කරන්න. පොල් මැතිව්ස් කියන්නේ පරිණාමික ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. නමුත් පොල් තමන්ගේ විෂය ක්ෂේත්‍රය ගැන කතා කරද්දී කිසි කෙනෙකුට ඒ ගැන ඇහුම්කන් දෙන්න උවමනාවක් ඇති බවක් පෙනෙන්නේ නැහැ. පෝල් විසින් රචනා කරන ග්‍රන්ථයට වැඩි දෙනෙකුගේ අවධානයක් ලැබෙන්නෙ නෑ. පරිණාමික ජීව විද්‍යාව කියන්නේ අපි හැමකෙනෙකුම යම් තරමකින් හෝ දැනුමක් තිබිය යුතු විෂයයක්. මොකද අපේ බොහෝමයක් හැසිරීම්, ගතිගුණ, සිතුම් පැතුම්වලට හේතු සාධක වෙන කාරණා මේ විෂය හරහා අනාවරණය කරගන්න පුළුවන් නිසා. ආදි මානවයින්ගෙන් පැවත එන මිනිස් ගති ස්වභාවයන් ගැන නිවැරදි දැනුමක් තිබීම ජීවතයේ බොහෝ ගැටලුසහගත තැන් විසඳාගන්න උදව්වක් වෙනවා. නමුත් පෝල්ව සුපිරි තරුවක් බවට පත්කරලා තවත් සමාජ මාධ්‍ය රසකාරකයක් බවට පත්කරගැනීමත්, ඔහුව වෙළඳ ප්‍රචාරකයෙක් බවට පත්කරලා තමන්ගේ භාණ්ඩ විකුණාගන්න උත්සාහ කිරීමත් මිස සමාජය ඔහුගෙන් වෙන කිසි වැඩක් ගන්න බවක් අපිට දැකගන්න ලැබෙන්නෙ නෑ.  Dream Scenario ෆිල්ම් එකෙන් පෙන්වා දෙන්නෙ නූතන ලෝකයෙ මෙන්න මේ හැසිරීම.

කලින් කිව්වා වගේ නිකලස් කේජ් ගේ මෙතෙක් දකින්න නොලැබුණු විදිහෙ රංගනයක් එක්ක, වෙලාවකට හිනා යන, වෙලාවකට පොඩි බයක් ඇඟට දැනෙන අමුතු කතාවක් අරගෙන එන, වසරේ වෙනස්ම චිත්‍රපටයක් Dream Scenario කියන්නෙ.