Tuesday, November 29, 2022

කැඩපතේ මිනිසා...

යහමින් සරුව අතමිට,
සිහසුනේ නුඹව හිඳවූ පසු ලෝකය,
සොයාගොස් කැඩපතක් හනිකට
බලන්න ඉන් පෙනෙන මිනිසා දෙස...
අසන්න ඔහුට කීමට ඇති ‌දෙය....

පියාත් නොවෙයි ඔබේ මවත් බිරිඳත් නොව,
ගනු ලැබුවෙ ඔබ නමින් තීරණ,
ඔහුයි තෝරාගත්තෙ බොහෝ දෙය,
මිනිසා කැඩපතේ සිටින....

සතුටු කළ යුත්තෙ නුඹ ඔහුවයි,
නිතර ඔබ අසලින්ම වෙසෙන..
පසු කරන්නට රුදුරු මාවත්,
මිතුරෙක්ම විය යුතුයි ඔහු ඔබට....

"හරි අපූරුම කෙනෙක් මම නම්"
ඔබ ගැනම ඔබ හිතන්නට පුලුවන් 
ළමා කවි ගීතයක ඉන්නා
ළදබොළඳ ළදරුවෙක් විලසින්..

ඔහුට කැඩපත තුළින් පෙනෙනා
පලක් නෑ ඔය කිසිම කිසිවක්,
ඔබ නිකම් නිකමෙක් ය ඔහු හට
ඔහු දෑස දෙස බලනු බැරි නම්...

ගෙවා සිව්සිය වසර ගණනක්
ඔබට රවටනු හැකියි මුලු ලොව...
බොහෝ මිනිසුන් මුවින් නි‍රතුරු
ගායනා වෙනු ඇති ඔබේ ගුණ..
එහෙත් සුසුමන් කඳුළැලි ද හා
හදවතේ රිදුමක් ම පමණයි,
ඉතිරිවන්නේ ඔබට අවසන,
රැවටුවොත් කැඩපතේ මිනිසා ඔබ...
.
.
From a poem written by Peter Wimbrow



Friday, November 25, 2022

සාදයකි මෙතැන...

මධ්‍යධරණී පොළවේ
දූවිලි වළාවන්ට ඉහළින්
උදා වෙයි චෙරි පුසුඹැති මඳ හිරු.. 

කඳුකරයට යන පාරේ
වේගයෙන් දුවයි පුංචි ළමයා
කෝ කොහෙද අසමින්
මගේ මිතුරාගේ නිවහන...

තෝකියෝ නගර පෙදෙසේ
ෆූජි කන්ද පාමුලින් පටන් ගෙන
හමා යයි සිහිල් සුළඟක්
රෂොමොන් දොරකඩ සිඹිමින්..

ඒ සුළඟින්
මෑත් වෙයි යුවතියක මුහුණේ
වැසුණු වේල් පොට මොහොතකට...
ඇගේ රූ සිරියෙන්
මත් නොවී සිටින්නු හැකිවෙයිද කාට...

එහෙත් අර 
සිඟිති උයනේ ඔංචිල්ලාවේ
මියයමින් සිටින මිනිසාට නම්
වගක් නැති ගාණයි මේ කිසිවක්..

දුර ඈත තරුවකින් ගිලිහුණු
එළියකි ඔහුගේ දෑසේ..
පුරා සඳ මෙන් පිරුණු
සිනහවකි ඒ මුහුණේ...

ඒ මොහොතේම නතර වෙයි
සේද මාවත දිගේ පැමිණි
ටෙහෙරාන් වාහනයක් එතැන..
මරණය සොයායන
එක් පර්සියන් මිනිසෙක්
බසියි සිනාමුසු මුහුණින් 
වාහනෙන් පිටතට...

මල්බෙරි පඳුරු අතරින්
බටහිරින් පැමිණි පවනකට
මුහුවෙයි සකුරා මලක සුවඳ
ඔලිව් පත් සර සර ගා හැලෙන
සාදයකි දැන් මෙතැන..

Image - Abbas Kiarostami/ Akira Kurosawa



Wednesday, November 23, 2022

විමසනා කළ ඔබෙන්, විස්තර කරන්නැයි මා..

විමසනා කළ ඔබෙන්, 
විස්තර කරන්නැයි මා..
මට අවැසි ඔබට, සිහිවන්න වැසි දවස්
ගිගුම් දෙන අකුණු මාරුත..
කළු වළාකුළු සහ අළු පැහැති අහස..
දුර ඈත වන පෙතක
හුදෙකලාවේ වෙසෙනා සිංහ දෙනක
මට අවැසි ඔබට
සිහිවේ නම් බියකරු දේ සියලුම..

සිතන විට මා ගැන ඔබ
මට අවැසි ඔබට දැනෙන්නයි
වසන්තයෙ විල්තෙරක නිසල බව..
මල් පිපෙනයුරු එහි ඉවුරුබඩ..
අවැසි මා හට
සිහිවෙන්නටයි ඔබට
ලොවැති මිහිරි ම මෘදු ම දේ සියලුම
සිතන විට ඔබ මා ගැන...
‍.
.
.
From a poem written by Neha Radharapu



Monday, November 21, 2022

All Quite on the Western Front (2022)

1930 ගණන්වල ජර්මනියේ ආඥාදායක හිට්ලර්ගේ පාලන සමයේ සිදුවුණු පොත් පුළුස්සා දැමීමේ මහා ව්‍යාපාරය ලෝක ඉතිහාසයෙම එක්තරා අපකීර්තිමත්ම සිදුවීමක් විදිහට නම් කළ හැකියි. නාසිවාදී අදහස්වලට ප්‍රතිවිරුද්ධ, යුදෙව් ජාතිකයින් අතින් ලියවුණු වගේම සමාජවාදය, ලිබරල්වාදය, ලිංගිකත්වය වගේ කරුණු කාරණා ගැන විවෘතව රචනාවුණු පොත් පත් ප්‍රසිද්ධ ස්ථානවල දහස් ගණනින් ගොඩගසල පුළුස්සා දැමීමයි මෙතනදි වුණේ. කාල් මාක්ස්, ඇල්බට් අයින්ස්ටයින්, හෙලන් කීලර් වගේ අයගෙ පොත් පවා මේ ආකාරයෙන් තොග පිටින් පුලුස්සා දැමීමට ලක්වුණා. මේ පොත් විනාශ කිරීමේ ව්‍යාපාරය මෙහෙයවනු ලැබුවෙ ජර්මනියේ නාසිවාදී ශිෂ්‍ය ව්‍යාපාරය විසින්. All Quite on the Western Front කියන්නෙ මේ විදිහට පුලුස්සා දැමූ පොත් අතරට අනිවාර්යයෙන්ම ඇතුළත් වුණු ප්‍රසිද්ධ නවකතාවක්. පළමු ලෝක යුද්ධයෙ අත්දැකීම් ආශ්‍රයෙන් 1929 අවුරුද්දේ දි Erich Maria Remarque නම් ජර්මානු ජාතික ලේඛකයා ජර්මානු බසින් රචනා කල මේ නවකතාව පසුව ලෝකයෙ භාෂා ගණනාවකටම පරිවර්තනය වෙලා සෑහෙන ජනප්‍රියත්වයට පත්වුණා. තවමත් මේ පොත එදාමෙදාතුර ලියවුණු හොඳම යුධ විරෝධී නවකතාවක් විදිහට සැලකෙනව. 1930 දි පොත මුල් කරගෙන එම නමින්ම නිර්මාණය වෙන හොලිවුඩ් චිත්‍රපටයත් සම්මානනීයත්වයට පත්වෙමින් ඇමරිකානු සිනමා ඉතිහාසයෙ ඉහළම කෘතියක් විදිහට සැලකුම් ලබනව. 2022 අවුරුද්දේ නිර්මාණය වුණු All quite on the western front කියන්නෙ මේ නවකතාවෙම ජර්මානු ප්‍රතිනිර්මාණය. 2023 අවුරුද්දේ පවත්වන්න නියමිත 95 වන ඔස්කාර් සම්මාන උළලේ විදෙස් භාෂා අංශයෙ ජර්මානු නියෝජනය විදිහට මේ චිත්‍රපටය දැනටමත් තෝරාගෙන තිබෙනව. All quite on the western front සුවිශාල දර්ශන තල, ගණනින් විශාල අතිරේක නලු නිලියන් ප්‍රමාණයක්, සුවිශේෂ කැමරා කෝණ වගේ දේවල් එක්කල, වචනෙ අර්ථයෙන්ම දැවැන්ත නිර්මාණයක්. චිත්‍රපටය බැලුවොත් මේ දැවැන්ත බව ඔබට දැකගන්න ලැබේවි. Saving Private Rayan නැත්නම් Hacksaw Ridge වල වගෙ පුපුරන බෝම්බ වෙඩිවරුසා මැද්දෙ යුදබිමේ හිටගෙන ඉන්න බවක් ඔබට දැනේවි. ඒ මේ චිත්‍රපටයෙ එක විශේෂත්වයක්.

චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ 1917 පළමු ලෝක යුද්ධයේ අවසාන කාල සීමාව. පාසල් වයස නිමා කරන යාලුවන් හතර දෙනෙක්, ඉස්කෝලෙදි නිතරම අහන්න ලැබෙන දේශප්‍රේමී කතා වලින් උද්දාමයට පත්වෙලා රට වෙනුවෙන් යුතුකම ඉෂ්ටකරන්න සොල්දාදුවන් විදිහට යුධ සේවයට බැඳෙන්න තීරණය කරනව. නමුත් යුදබිමේදි මේ තරුණයන්ට දකින්න ලැබෙන්නෙ නොයෙක් කතන්දරවලින් මෙතෙක් ඔවුන්ගෙ මනස් තුළ මැවූ චිත්‍රයට වඩා හාත්පසින්ම වෙනස්, ලේ ගඳ ගහන කටුක යථාර්ථයක්. දේශාභිමානයෙන් ඔද වැඩුණු තරුණයන් අත්දකින සැබෑම යුද්ධ භූමිය තමයි All quite on the western front චිත්‍රපටයෙ දකින්න ලැබෙන්නෙ. ජෙනරල් ෆ්‍රෙඩ්‍රික් වගේ බලලෝභීන් ගේ දේශපාලන අරමුණු ඉෂ්ටකරගන්න සදාකල් ඔවුන් රජ පුටුවල වැජඹෙන්න පෝල් ලා, ලුඩ්විග් ලා, ඇල්බර්ට් ලා වගේ තරුණයින් බිල්ලට දීම යුද්ධ නමින් නම් කරන්න පුලුවන්. ජාතික රණ දෙරණ මත ගැටී වැටී මැරෙන සැබෑම මොහොත ඒ ගැන ලියවෙන කවි සින්දුවල කියවෙනවට වඩා බොහෝම වෙනස් එකක්. 1917 ජර්මනිය පමණක් නොවෙයි  2000 ගණන්වල මේ ශ්‍රී ලංකාද්වීපයේ කතාවත් ඕකම බව ටිකක් හිතා බැලුවොත් ඔබට වැටහෙන්න ඕන.



Wednesday, November 16, 2022

Three horror films from this year

Pearl

හොඳ character buildup එකක් එක්ක slasher ගුණයත් අඩු නැතුව mix වුණු එකක්. Horror වලට වඩා Psychological පැත්තට බර Film එකක්. සාමාන්‍යයෙන් horror film වල දකින්න ලැබෙන අඳුරු මළානික වර්ණ වෙනුවට සෑහෙන bright colours භාවිතා කරල තිබීම මේ film එකේ විශේෂත්වයක්. 2022 අවුරුද්දේම මුලින් ආව X film එකේ Origin story එක විදිහට මේක නිර්මාණය වෙන්නෙ. X direct කරපු Ti West මයි මේකත් Direct කරන්නෙ. Pearl අවසාන වුණු විදිහට කතාව සම්පූර්ණ වෙන්න නම් තවත් කොටසක් එන්න ඕන. බොහෝවිට අනික් කොටසත් ඉක්මණින් ඒවි. එහෙම වුණොත් X කියන්නෙ Horror/ Slasher genre එක ඇතුළෙ උඩින්ම තියන්න පුලුවන් Trialogy එකක් වෙනව. Pearl සෑහෙන සාර්ථක වෙන්න හේතුව යථාර්ථවාදී වගේම කලින් කියපු විදිහට හොඳ character buildup එකක් ඇතුළත් වෙලා තිබීම. ඒ අතින් මේක Joker (2019)ට ටිකක් සමාන කරන්න පුලුවන්. Main Character එක කරන Mia Goth ගෙ act එකට තමයි මේ සාර්ථකත්වයෙ ලොකු credit එකක් යන්නෙ. එක scene එකක් තිබ්බ Mia එක දිගට විනාඩි ගාණනක් නොනවත්වා දෙබස් කියාගෙන යන. ඒ scene එක දෙබස් මතක තියාගෙන කොහොම කළාද කියල හිතාගන්න බැරි මට්ටමේ එකක්. Award එක නොලැබුණත් Oscar nomination එකක් වත් deserve ඒ act එක. ඉක්මණින්ම ඉවරවුණා වගේ ගතියක් දැනෙන එක ඇරෙන්න අනික් හැම අතින්ම Top Notch වැඩක් Pearl කියන්නෙ.


**********************************************************
Smile

First half එකේ develop කරන horror feeling එක නිකම් ඇඟේ මයිල් කෙළින් කරවන, තනියම බලනව නම් heart attack හදවන මට්ටමේ එකක්. හැබැයි ending එකත් එක්ක ඒ ගොඩනගපු feeling එකට සාධාරණයක් කළා ද කියන ප්‍රශ්නෙ මේක බලපු ගොඩ දෙනෙක් අහල තිබ්බ. ඒක චිත්‍රපටය බලන ඔබම තීරණය කරන්න. ඒත් මගෙ අදහස overall, average මට්ටමට වඩා ඉහළින් තියන්න පුළුමන් horror film එකක් Smile කියන්නෙ. මේකටත් හොඳ මට්ටමේ origin story එකක් ආවොත් මරුවට තියෙයි කියල හිතනව. කතාව නම් ටිකක් It Follows film එකේ වගේ. ඒ හැර වැඩිදෙයක් කියන්නෑ. මේක බැලුවට පාඩු නෑ.


**********************************************************
Barbarian

Tess කියන්නෙ තරුණ ගෑනු ලමයෙක්. හදිස්සි වැඩකට Detroit නගරයට එන Tess නවාතැන් ගන්න ගෙයක් කුලියට අරගන්නව. ගෙදරට ගිහින් බැලුවම, තමන්ට කලින් වෙනත් කෙනෙක් මේ ගේ අරගෙන තියන බව Tess දකිනව. ඔහු ගෙ නම Keith. ගෙවල් කුලියට දෙන එක සමාගමකින් එදාමයි ඔහුත් මේ ගෙදර අරගෙන තියෙන්නෙ. ඒ මොහොතේ මේ පටලැවිල්ල විසඳගන්න වෙන ක්‍රමයක් නෑ. හොඳටම රෑ වෙලා සහ එළියෙ තදින්ම වහිනව. Tess ට වෙන යන්න තැනකුත් නෑ. Keith ඇරයුම් කරනව Tess ට අද මේ ගෙදර නවාතැන් ගන්න. අකැමැත්තෙන් වුණත් වෙන කරන්න දෙයක් නැති නිසා Tess ට ඒ ඇරයුම බාරගන්න සිද්දවෙනව. ටිකක් කතාබහ කරනකොට Keith කියන්නෙ තමන්ටම ගැලපෙන අදහස් තියන හරි අපූරු තරුණයෙක් බව Tess දැනගන්නව. 

දැන් මේක Romantic කතාවක් ගොඩනැගෙන්න හොඳ පසුබිමක් නේද කියල ඔබට හිතෙන්න පුලුවන්. නෑ.. ඒක එහෙම වෙන්නෙ නෑ. Romantic කතාවකට මෙතැන ඉඩක් නෑ. ඒක වෙන්නෙ කොහොමද කියන දේ දැනගන්න නම් චිත්‍රපටය බලන්න. මේ අවුරුද්දට ආව තවත් හොඳ horror film එකක් Barbarian කියන්නෙ. ඒත් අවසානය පොඩ්ඩක් typical ending එකකට තල්ලුවෙලා ගියාද කියල හිතෙනව. නමුත් සමස්තයක් විදිහට බලන්න recommend කරන්න පුලුවන් horror film එකක් බව කියන්න ඕන.



Monday, November 14, 2022

ස්වල්පව, ගෙවා දමනට සිතුවෙමි මා දිවිය..

ස්වල්පව, එහෙත් නුවණැතිව,
ගෙවා දමනට සිතුවෙමි මා දිවිය..
යදින්නට දෙවිඳුන්, බලා අහස...
දුර ඇවිදයන්නට සැඳෑවනු පෙර,
තුනී වන තුරු මා හද, පිටාරව යන දුක..
කැලෑ බාර්ඩොක් පඳුරු සැලෙනා කළ,
සර සර හඬින් කඳු මුහුණු මත,
රෝන්බෙරි ගෙඩි ඉදෙන සමයට
පොකුරුවල රතු කහ පැහැතිව
සතුටු කවි පබැඳිය හැකියි මට,
දිනෙන් දින වැහැරෙන දිවියක 
සොඳුරු බව ගැන....

ආපසු පැමිණි විට මා,
ලොම් පිරුණු අර කුඩා බළලා
සිඹිනු ඇත මගෙ අත්ල,
පුරු පුරු හඬ දිදී ඉමිහිරිව...
වැව දෙසින් ඇති කම්හලේ කොත මත,
උණුහුම්ව ඇවිලෙයි ගිනි දැල්ල...
වහලයේ කොකුන් නඟනා හඬ
බිඳ දමයි හාත්පස නිහඬ බව..
ඔබ ඇවිත් දොරට තට්ටු කරනා කළ
සමහරවිට නෑසෙනු ඇත මට....


~ Translation of a poem written by Anna Akhmatova



Tuesday, November 8, 2022

Where the crawdads sing (2022)

ඇමරිකාවේ නැගෙනහිර වෙරළ ඉවුරේ උතුරු කැරොලිනා ප්‍රාන්තයෙ පිහිටා තියන වගුරුබිම් කියන්නෙ සුවිසාලව පැතිරුණු නිහඬබවත්, හුදෙකලාවත් එක්ක අමුතුම අභිරහස් ගුප්ත ස්වභාවයකින් නිතරම පිරිලා තියන සහ මේ කලාපයටම ආවේණික ජලාශ්‍රිත ජීවී සමූහයකින් පිරුණු අපූරු බිම්කඩක්. ලුණු මිශ්‍රිත කලපු වතුරේ කෙළවරක් නැතිව වැඩිලා තියෙන්නෙ සිහින් තෘණපඳුරු. ඒ එක්කම ගංගාවේ මිරිදියේ හැදිලා තියන දැවැන්ත සයිප්‍රස් ගස් පෙනෙනේ වතුරේ තැන් තැන්වල, පෙඳ පාසිවර්ග අතු ඉති අගින් එල්ලා ගෙන හිටගෙන ඉන්න යෝධයින් වගේ. මේ සියලු දෙයින් මැවෙන්නෙ වගුරටම අනන්‍ය රූපමය සෞන්දර්යක්. කැරොලිනා වගුරුබිම්වල වැඩිලා තියන Bald cypress ගස් දැනට හඳුනාගන්න පුලුවන් ඉපැරණිම ගස් වර්ගයක් බව ස්වභාවධර්ම විද්‍යාඥයින් කියනව. මේ එක ගහක් අවුරුදු දෙදහක් පමණ පැරණි බවයි ඔවුන් කියන්නෙ. ස්වභාවධර්ම විද්‍යාඥයින්ට අනුව කැරොලිනාවේ වගුරුබිම් කියන්නෙ මිහිමත වෙනත් කොහේවත් දක්නට නොලැබෙන අසමසම පරිසර පද්ධතියකට. 

ඒ අතර අපේ කතාව ලියවෙන්නෙ 1950 යුගය පසුබිම් කරගෙන. අපේ කතා නායිකාව, තරුණ ගැහැනු ලමයෙක් වුණු Catherine Clark නැත්නම් කවුරුත් කියන විදිහට Kya. ඇයත් හැදී වැඩෙන්නෙ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ මේ වගුරුබිමේ. Kya ගෙ ගෙදර තියන්නෙ වගුර මැද්දෙමයි. ගෙදරට අවශ්‍ය දේවල් අරගෙන එන්න නම් බෝට්ටුවක නැගිල නගරයට යන්න ඕන. Kya සහ එයාගෙ අම්මයි තාත්තයි සහෝදර සහෝදරියනුයි හැමෝම හිටියෙ මේ ගෙදර. නමුත් ගෙදර ජීවිතේ නම් සාමකාමී එකක් වුණේ නෑ. Kya ගෙ අම්මයි තාත්තයි නිතරම රණ්ඩු වුණා. තාත්තා ගොඩක් දවස්වල බීගෙන ඇවිත් දරුවන්ටයි බිරිඳටයි හොඳටම පහර දුන්නා. බැරිම තැන අම්මා මේ ගෙදර අතහැර දාල යනව. ඉන්පස්සෙ සහෝදරියන් දෙන්නාත්, එකම සහෝදරයාත් අවසානෙ තාත්තත් හැමෝම වගුරේ නිවස අතහැරල පළායනව. අවසානෙ ගෙදර ඉතුරු වෙන්නෙ, එතකොට පුංචි ළමයෙක් වුණු Kya පමණයි. දැන් ඉතින් කොහොම හරි තනියම ජීවිතේ ගැටගහගන්න ඕනෙ. Kya මේ හැමදේකටම ඉක්මණින් හුරුවෙනව. ඇගේ හොඳම මිත්‍රයා වෙන්න වගුරුබිම. ඈ බොහොම උනන්දුවෙන් වගුරේ තියන ගස්වැල් සත්තු කුරුල්ලන් ගැන ඔවුන් අතරම හැදී වැඩෙමින් ඉගෙන ගන්නව. ඈ ටිකෙන් ටික අපූරු තරුණියක් විදිහට වැඩෙනව. නගරේ අය මේ වගුරේ හුදෙකලා ගෑනුලමය ගැන නොයෙක් කයිකතන්දර කියන්න පටන් ගන්නව. ඈ මිනිස් වෙස් ගත්ත, වගුරට අධිපති යක්ෂණියක් බව මිනිස්සු කතාවෙනව. සමහරු කියන්නෙ ඇය නොදියුණු මානව විශේෂයකට අයිති කෙනෙක් බව. නගරේ සමාජය ඇයව මනුස්ස දියණියක් විදිහට පිළිගන්නෙ නෑ. ඒ හින්ද ඇයත් නගරෙ මිනිස්සු එක්ක වැඩි කතාබහකට යන්නෙ නෑ. නගරේ පිරිමි ළමයි දෙන්නෙක් එකවර ඈත් එක්ක ප්‍රේමයෙන් බැඳෙන්නේ ඔය අතරෙයි. Kya ගේ නිදහස් නිවහල් ජීවිතේ තවත් අමාරු සහ දුක් වේදනාවන්ගෙන් පිරුණු එකක් බවට පත්වෙන්න පටන් ගන්නෙ ඉන්පස්සෙයි. ඔය අතරෙ වගුරේ අබිරහස් මරණයක් සිද්දවෙනව. ඒ මරණය ගැන චෝදනාව එල්ල වෙන්නෙත් Kya ට. නීතිය ඉදිරිපිටට යන සහ හිතවත් කිහිප දෙනෙක් ඇරෙන්න වෙන කා එක්කවත් කතා නොකරන ඈ වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වෙන්නෙ කවුද? සමාජයෙන් සම්පූර්ණයෙන් බැහැර කරල තියන ඈ වගේ කෙනෙකු කියන දෙයක් ඇත්තටම කවුරුත් විශ්වාසකරාවි ද? මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න නම් බලන්න Where the crawdads sing.

Where the crawdads sing කියන්නෙ මේ අවුරුද්දට මම දැක්ක visually ලස්සනම වැඩක්. වගුරු බිමේ ස්වභාවය සෞන්දර්ය දිය සායම් සිතුවමක වගේ උපරිමයෙන් මතුවෙන විදිහට කැමරාව මෙහෙයවිලා තිබුණා. කතාව කියවෙන 1950 යුගයත් වගේම ප්‍රේමණීයබවටත්, ශෝකය මුහුවෙන අඳුරු ගුප්ත ස්වභාවයටත් ගැලපෙන වර්ණ භාවිත කරල තිබුණ. චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ 2018 අවුරුද්දේ Delia Owens නම් ලේඛිකාව මේ නමින්ම ලියා පළකල නවකතාව ආශ්‍රයෙන්. ඒ හින්ද ඉතාම දීර්ඝව විස්තර වියයුතු දේවල් රූපමය භාෂාවෙන් සංක්ෂිප්තව ඉදිරිපත් කරල තියන ආකාරය නරඹන්නන් වටහාගන්න ඕන. මේ අධ්‍යක්ෂවරිය වුණු Olivia Newman ගේ දෙවන චිත්‍රපටය. රංගනයේ යෙදෙන පිරිසත් අපි වැඩිපුර දැකපුරුදු අය නොවෙයි. නමුත් Kya ගෙ චරිතය නිරූපණය කරන Daisy Edgar-Jones ගේ රඟපෑම සෑහෙන හොඳ මට්ටමක තිබුණු බව කියන්න ඕන. ඒ රඟපෑම මේ අවුරුද්දේ දැක්ක female performance for leading role අතරෙ අමතක නොවෙන තැනක තියන්න පුලුවන්. Taylor Swift මේ චිත්‍රපටය වෙනුවෙන්ම ලියල ගායනා කරන Carolina නම් ගීය අහන්න ලැබෙනව චිත්‍රපටය අවසානෙ දි. බොහෝම විචාරකයන් අතින් ධනාත්මක වගේම ඍණාත්මක ප්‍රතිචාර වැඩිපුර ලැබුණත් චිත්‍රපටය ආදායම් අතින් සෑහෙන සාර්ථක වුණා. ඒ දේවල් කොහොම වුණත් Where the crawdads sing කියන්නෙ නවකතාවක් වගේ හෙමින් කියවාගත හැකි, පරිසරය ගැන ඇඳුණු දියසායම් චිත්‍රයක් වගේ ඇස් දෙකට සනීප සිනමා අත්දැකීමක් බව කියන්න කැමතියි.



Friday, November 4, 2022

හිතුවක්කාරයෙකු සමඟ සංලාපය

සිය මරණයට සිව් වසරකට පෙර, එනම් වර්ෂ 1990 දී, ලොස් ඇන්ජලීස් නගරයේ වාසය කළ, ජර්මන් සම්භවයක් ඇති ඇමරිකානු කවියෙකු වන Charles Bukowski තම ජීවිතය හා ලේඛනය පිළිබඳව ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකි මේ. Bukowski මාධ්‍ය වෙත ලබා දී ඇති සම්මුඛ සාකච්ඡා කිහිපයක් Sunlight, Here I Am නමින් ග්‍රන්ථයක් ලෙස 2003 වර්ෂයේදි ප්‍රකාශයට පත්විය. Poetic Outlaw අඩවියේ පළවූ, එහි උපුටාගත් එක් කොටසක පරිවර්තනයි පහත සංවාදය. Bukowski මෙහි පළකරන අදහස් විමසා බලන කළ ඔහුගේ අසම්මත, හිතුවක්කාරී ගති ස්වභාවය මැනවින් නිරාවරණය වේ. ඔබද මමද අනුගතව සිටින මේ දෛනික ඒකාකාරී නීරස ජීවිත රටාව දෙස ඔහු බලනුයේ සෝපහාසික ඇසකිනි. Bukowski ගේ කවිවලද බොහෝවිට ඇත්තේ දෛනික හිස් බව ඉක්මයා යන නිදහස් මිනිස් ආත්මයකි. එමෙන්ම ඒ කවිවලින් ඇමරිකානු සමාජයේ ආගමික අධිපතිත්වයටද වානිජ්‍යත්වය මුල්කරගෙන භෞතික දියුණුව හඹායන  තරඟකාරීබවටද එරෙහි ඔහුගේ විරෝධාකල්පය  හෙළිවෙයි. ඔහු පළ කර ඇති අදහස් සමග ඔබට එකඟ වීමට හැකි මෙන්ම නොහැකි කරුණු කාරණා තිබිය හැකිය. එහෙත් Bukowski ගේ ම කවියක කියවෙන ආකාරයට ඔහු මියගොස් වසර ගණනාවක් ගත වූවත් තවමත් අපි ඔහු ගේ ලේඛන කියවයි නම්, ඒවා ගැන කතා කරයි නම් ඔහු සාර්ථකත්වය ලබා ඇත. 

***************************************

Reporter:

ලිවීම හරහා ඔබ පැහැදිලි කිරීමට උත්සාහ කළේ කුමක් ද?

Bukowski: 

මගේ ලිවීම්වලින් මොකක් හෝ දෙයක් පැහැදිලි වෙනවද කියන්න මම නම් දන්නෙ නැහැ. ඒත්, ඒක මොකක් වුණත්, මට නිතරම දැනෙනව එය ලියා තැබීම වඩා හොඳ බව. මට අනුව, නිර්මාණකරණය කියන්නෙ පැවැත්මට දක්වන එක් ප්‍රතිචාරයක් පමණයි. එය තවත් ආකාරයකට වරක් ගත කළ ජීවිතය දිහා දෙවනි වතාවටත් හැරී බැලීමක්. ජීවිතේ ඇතුළෙ ඔයාට යමක් සිද්දවෙනව, ඉන්පස්සෙ මොකවත් නොවී හිස් කාලසීමාවක් ගතවෙනව. ඔයා ලියන කෙනෙක් නම් ,ඔයා ඒ දෙය දිහා නැවතත් බලල ඒක අකුරු බවට හරවනව. එයින් කිසිම දෙයක් වෙනස් වෙන්නෙවත්, අමුතුවෙන් විස්තර වෙන්නෙවත් නැහැ. ඒත් ලිවීමේ දැහැනට සමවැදුණාම සතුටුදායක අමුතු හැඟීමක් දැනෙන්න පටන් ගන්නව. ඒක එක්තරා ආකාරයක උණුහුමක්, සුවපත් වීමක්, නැත්නම් මේ හැමදෙයක්ම එකවර සිදුවීමක්. ගොඩක් වෙලාවට, මගෙ එහෙම අත්දැකීමක් මුල්කරගෙන ලියන්න පටන්ගන්න කොට මට බොහෝම යහපත්, හොඳ හැඟීමක් ප්‍රබලව දැනෙන්න පටන් ගන්නව. ඇත්තටම සම්පූර්ණ ප්‍රබන්ධයක් එක්ක වැඩරද්දී පවා ඒකට මුල් වෙන්නෙ නිශ්චිතවම කොහෙන් හරි ඇහුව දුටුව, හීනෙන් හරි හිතුව දෙයක් තමයි. යමක් අලුතෙන් නිර්මාණය කිරීම කියන්නෙ පුදුමාකාර ප්‍රාතිහාර්‍යයකට.

Reporter:

ඔබේ බොහෝම ලිවීම් අඳුරුයි. ඒත් ඒව ඍණාත්මකයි කියල මම කියන්නෙ නෑ. ඔබේ අම්මා වරක කියල තිබුණ "මිනිස්සු කැමති සතුටු දායක දේවල් කියවන්න" කියල. මේ ගැන ඔබ හිතන්නෙ මොකක් ද?

Bukowski: 

මගෙ ලිවීම්වල මොකක් හරි අඳුරක් තියනව නම් ඒ මම ආලෝකය බවට හරවන්න උත්සාහ කළ අඳුරක්. මට ඒක ආලෝකය බවට පත්කරන්න බැරි වුණා නම් ඒක කොහොම හරි කොතන හරි නිතරම අපිත් එක්කම තියන අඳුරක්. 

මගෙ අම්ම ගැන කියනව නම්, එයා එයාට උගන්වා තිබුණ හැම දෙයක්ම එහෙමම විශ්වාස කළා. ඊට විරුද්ධව තියන කිසිම දෙයක් ගැන හොයා බලන්න එයාට ඕන වුණේ නැහැ. සහතිකවම එයාට මේ විශ්වාසයන් ගෙන් ගැලවිලා යන්න අරමුණක් තිබුණෙ නෑ. එයා බොහොම සාමාන්‍ය විදිහට හිතපු කෙනෙක්. මගෙ ළමා කාලෙ පුරාම එයා මට කිව්ව "හිනාවෙන්න, හෙන්රි. සතුටින් ඉන්න" කියල. මම කියන්නෙ, එයා හිතුව මම හිනාවෙනව නම් මට සතුටින් ඉන්න පුලුවන් වෙයි කියල. තරුණ කාලෙ මම සමහර දේවල් ලියල ලාච්චුවේ හංගල තිබ්බ. මගෙ තාත්තට ඒව අහුවුණා. "මේ විකාර කවුද කියවන්නෙ" කියල එයා කිව්ව. හැබැයි එයා කිව්වෙ ඇත්ත. අවුරුදු පනහ වෙනකම් මට එහෙම ලොකු වාසනාවක් තිබ්බෙ නෑ. එයාට මං ගැන තියන අන්තිම මතකය, ලාබ නවාතැන්වලට වෙලා ඉඳගෙන පිස්සු ගෑනුත් එක්ක බොන එකෙක් ය කියල. 

Reporter:

 "ඔබ සෑහෙන විශාලව වැඩෙන්න ඕන. කොයි ක්‍රමයෙන් වත් දිනන්න බැරි ක්‍රීඩාවක යෙදෙන අතරේ අත්වැරදි ටිකකුත් කරන්න පුළුවන් කම තියෙන්න ඕන"

ඔබ වතාවක් මෙහෙම කිව්ව. ලේඛනය කියන සන්දර්භයෙන් එළියට අරගෙන පොදුවෙ හිතල බැලුවොත් ඔබ මෙයින් අදහස් කලේ මොකක්ද ?

Bukowski:  

පොදුවෙ මිනිස්සු අතරට දාල මේ ගැන හිතුවොත් දකින්න ලැබෙන්නෙ ලොකු විනාසයක්. එහෙම හිතුවොත් එයාල බාරගන්නෙ නෑ පැය අටක රස්සාවක්, යාන වාහන, රූපවාහිනී වැඩසටහන්, අමාරුවෙන් ගොඩගහගත්තු සල්ලි, ඔක්කොම එයාල කරන මෝඩ වැඩ. එහෙනම් ඔයාට දකින්න ලැබෙන්නෙ හිස් වෙච්ච බැංකු, ගිනිගන්න ජනාධිපති මන්දිරේ, හිස් වෙච්ච දේවස්ථාන, පාර පුරා වැටිල ඉන්න බේබද්දො වගේ දේවල්. සාමාන්‍ය මිනිස්සුන්ට විශාලව වැඩෙන්න බැහැ. ඒ අය අත්වැරදි කරනව තමයි ඒත් ලොකුම වැරද්ද එයාලමයි. සාමාන්‍ය මිනිස්සුන්ට එයින් ගැලවෙන්න ඕන නෑ. ක්‍රෙඩිට් කාඩ් බිලක් ගෙවන එක වගේ දෙයක් තමා එයාලට ලබන්න පුලුවන් ජයග්‍රහණ. එයාලට පමණට වඩා වැරද්ද පටවන්නත් බෑ, මොකද එයාලට විකල්ප නෑ. මේ ජීවිතේ කඩා බිඳගෙන ගිහින් නිදහස් වෙන්න පුලුවන් ඇත්තටම මොකකටවත් බය නැති ආත්මයකට විතරයි.

Reporter:

- තවත් ඒවගේම ප්‍රශ්නයක් 

"මේ පොළවේ අපේ කාලය තමයි මේ. ඇයි ඉක්මණින්ම ජීවිතේ අතහැරල පහුබහින්නෙ?"

ඔබට මේ වාක්‍ය තව දුරටත් විස්තර කරන්න පුලුවන් ද ?

Bukowski: 

මිනිහෙක් පසුබැහැල ඉන්නකොට එයාට මොකක්වත් හරියට කරගන්න බෑ. අඩුගානෙ හරියට ඇවිදගන්නවත් බෑ. ගොඩක් මිනිස්සු වළලන්න සෑහෙන කාලෙකට කලින් මැරෙන්නෙ. ඒකයි මළගෙවල් මේ තරම් දුක. මිනිස්සු හරි ඉක්මණ්ට හැම දෙයක්ම අතහැරදානව. ඉක්මණින්ම පරාජය පිළිගන්නව. එයාල කිසිම වටිනකමක් නැති දේවල් වෙනුවෙන් සටන් කරල වටිනාකමක් නැති ජීවිත බවටම පත්වෙනව. හැම කෙනෙක්ම විශේෂ වෙන්න ඕන නෑ. ඒත් වැඩි දෙනා මෝඩකම වෙනුවෙන්, හරි ආත්මවිශ්වාසයකින් තරඟෙට දුවනව. 

Reporter:

ගොඩක් මිනිස්සු මඟහැරගෙන තියන මොකක් හරි දෙයක් තියනව ද? දෙවියන් විශ්වාස නොකරන කෙනෙකුට නම් ජීවිතේ කියන්නෙ මහ භයංකාර අත්දැකීමක් වෙන්න පුලුවන්. ඔබට තවමත් තියනවද බලාපොරොත්තුවක්, නැත්නම් ඔබ ජීවිතේ අතහැරල ද? පිහිටක් වෙන්න පුලුවන් කිසි දෙයක් නැත් ද? ජීවිතේ කිසි අර්ථයක් නැත්නම් සතුටක් වගේ යමක් අපි අත්පත් කරගන්නෙ කොහොමද?

Bukowski: 

මිනිස්සුන්ට හැමදෙයක්ම මගහැරිල. හොඳ සිතුවම්, පොතපත, සම්භාව්‍ය සංගීතය වගේ ගොඩක් දේවල්. මූල්‍යමය වශයෙන් සාර්ථක වෙන එක ජීවිතේ ජයගැනීම බවයි ඒ අය හිතන්නෙ. ගොඩක් වෙලාවට දෙවියන් අදහන අයට තමයි ජීවිතේ භයංකාර අත්දැකීමක් වෙන්නෙ. එයාලගෙ ඔලුගෙඩි ඇතුළෙ පිරිල තියෙන්නෙ අවුරුදු දහස් ගණනක් පරණ මතවාද. 

ජීවිතේ මම බාරගන්නෙ  ඒ අයුරින්ම. මම හොඳටම බංකොලොත් වෙලා ඉන්නකොට ඒක දෙවියන්ගෙ කැමැත්ත බව කියන්නෙ නෑ. ඒවගේම මම මොකක් හරි විශේෂ සාර්ථකත්වයක් ලබනකොට උඩ බලල ඒකට ස්තුතියි කියන්නෙ නෑ. මම මේ ලෝක සම්මුති වලින්, විශ්වාසයන්ගෙන් නිදහස්වයි පුලුවන් තරම් මගෙ මනස මෙහෙයවන්නෙ. මරණය ගැන කිව්වොත්, මම ලෑස්තියි මරණෙට, මම මගෙ ජීවිතේ ගතකලා වගේ මගේම විදිහකට මම ඒක වැළඳගනීවි. සතුට සහ අර්ථය ගැන කිව්වොතින්, කවුරුන් හරි කලින් හදල දීල තියන නීති රීති අනුගමනය කරනවට වඩා, ඇත්තටම අපි කැමති දේ අපිට උවමනා විදිහට නිදහසේ කරන්න පුලුවන් තත්ත්වයක් හදා ගන්න හැකි නම් ඔය දෙකම අපිට අත්පත් කරගන්න පුළුවන් කියල මම හිතනව. ඒක සරල වගේම සටන් කරන්න වටින යමක් තමා. බොරු දේවල් ඉස්සරහ දණ නමස්කාර කරන කාටත් අන්තිමට උරුම වෙන්නෙ නාස්ති කරල දැම්ම ජීවිතයක වේදනාව විතරයි.